පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, February 19, 2021

උඩරට ගිවිසුමෙන් පසු සමයේ දළදා ප්‍රාතිහාර්යක් පෑ හැටි

 

 

 


                            

               දළදා වහන්සේ මෙරට බෞද්ධයන් ගේ මුදුන් මල් කඩ වෙයි.රාජ්‍යයේ සංකේතය වෙයි.බුද්ධ ශාසනයේ වත්මන් පැවැත්ම තහවුරු කරන අසමසම ආශ්චර්යමත් වස්තුවක් බවටද පත් වෙයි.කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු සමයේ මෙරටට වැඩම කරන ලද දළදා වහන්සේ පිළිබඳ කතාව බ්‍රහ්මදත්ත රජ පරපුර හා සම්බන්ධ වෙයි. ගුහසීව රජු හා සම්බන්ධ වෙයි. මේ රජ පරපුර සිංහල රාජාවලියේ රජුන් සමග  කළ අවාහ විවාහයෙන් සම්බන්ධ වෙයි.බුද්ධ ආදාහන මලුවෙහි දී ඉතිරි වුණ ද්‍රෝණයක් පමණ වූ ධාතුන් වහන්සේලා අතරින් දකුණු දළදා වහන්සේ සහ යටි වම් දළදා වහන්සේ ලංකාවට වැදගත් ව තිබූයේ මේ රාජාවලියේ අවිච්ඡින්න පැවැත්ම උදෙසාය.

    එදා දන්ත කුමරු ගුහසීව රජු වෙත පැමිණ දළදා වහන්සේ වැඩ සිටි දළදා මාළිගයෙහි තේවාව ඉල්වා අයැදීය. ශ්‍රද්ධාවන්ත බවින් උසස් ඒ තරුණයා හට ගුහසීව රජු දළදා වහන්සේ භාරකරන ලද්දේ බුදුන් වහන්සේට කරන සත්කාර සංග්‍රහ  දළදා වහන්සේ උදෙසාද කළ යුතු බැවිනි. දඹදිව බ්‍රහ්මදත්ත පරපුර පිළිබද ඉතිහාස කතාවට ලංකාවේ රජ පවුලද සම්බන්ධය.කාලිංග රජපරපුරේ චක්‍රවර්තී මහාමේඝවර්ණ චේතිය රජු ගේ පුත්‍රයා වන දධිවාහන සහ පද්මාවතී දේවියගේ විවාහයෙන් චක්‍රවර්තී කරකණ්ඩු රජ බිහිවෙයි. මේ පද්මාවතී කුමරිය ලංකාවේ කුමරියකි.කරකණ්ඩු රජු විවාහ වන්නේ ද ලංකාවේ රජ කුමරියක් වන රිතිවේගා බිසව සමගයි.. ඒ විවාහයෙන් උපන් වාසුපාල රජුට පසුව සිටි ප්‍රබලතම රජු වූයේ බ්‍රහ්මදත්ත රජුය.බ්‍රහ්ම දත්ත රජුගෙන් පසුව කාරවේලද ඉන්පසු ගුහසීව රජු ද වෙයි.ලංකාවේ රජපවුල සමග වූ දීර්ඝ කාලීන සම්බන්ධය දරන කාලිංගරජ පවුලෙන් දියණියක් වන හේමමාලියත් දන්ත කුමරියත් ලංකාවට පැමිණෙන්නේ මේ දැඩි සබඳකම් හේතු කොටගෙනය.

       දළදා වහන්සේ මුල්වරට ප්‍රාතිහාර්ය පාන ලද්දේ දළදා යුද්ධය අවස්ථාවේ දීය.දළදා වහන්සේ කිණිහිරය මත තබා විනාශ කරන්නට අර අදින විට එයින්  මෑත්ව අහසට නැගී  ප්‍රාතිහාර්ය පෑ බව දැක්විය හැකිය . දළදා වහන්සේ ලංකාවට වැඩම කිරීම සඳහා තාම්‍රලිප්ත තොටුපලෙන් නැව් නැගිමට ප්‍රථම වැලි ගොඩක දළදා වහන්සේ නිදන් කොට තබන ලදී.එහිදී නාග ලෝකයෙන් පැමිණි පණ්ඩු නම් නා රජෙකු දළදා වහන්සේ පැහැර ගෙන නාග ලෝකයට ගිය අතර ඛේම නම් රහතන් වහන්සේ ගුරුලු වෙස් ගෙන නාග ලෝකයට ගොස් ආපසු තොටුපලේ වැල්ලට පැමිණි බවත් එහිදී දළදා වහන්සේ හේමමාලාවෝ ගේ ශීර්ෂයට වැඩම කොට ප්‍රාතිහාර්ය පෑ බවත් දැක්වේ. ඉන් පසු රාජකීය යුවල ට බිහිසුණු අත්දැකීම් කීපයකටම මුහුණ දෙන්නට සිදු විය. නැව දියත් කොට දියඹේ දී ඇති වූ කුණාටුව මැඩ පවත්වා යහතින් ලංකාවේ ලංකාපටුනට ගොඩ බැසීමට හැකි වූයේ ඛෙම නම් රහතන් වහන්සෙ නිසාය.මේ රහතන් වහන්සේ බ්‍රහ්මදත්ත රජ පරපුරට ඥාති සබඳකම් ඇති භික්ෂුන්වහන්සේ නමකි.

     දළදා වහන්සේ අනුරාධපුරයට සැපත් කරවීමේ ගමනද එදා දුෂ්කර වන්නට ඇත. ලංකාපටුනේ සිට නාග දේවාලයට වැඩම කොට රැයක් එහි තබා පිටත් වූ බව ජනප්‍රවාදයේ ඇත.එම ගමන් මග පිළිබඳ ප්‍රවාදකතා බහුලය. කෙසේ වෙතත් අනුරාධපුරයට වැඩම කල දළදා වහන්සේ මහත් භක්තියෙන් මේඝ විහාරයෙහි තැන්පත් කළහ. එහිදී රාජකීයන් විස්මයට පත්කරමින් දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑහ.මේ ආශ්චර්යයෙන් ඔද වැඩී ගිය රජු මුලු සිංහල ද්වීපයම දළදා වහන්සේට පූජා කොට සත්කාර කළහ..

  දළදා වහන්සේ සිය සිංහසාන මස්තකයේ තබා නව කරඬුවකට ඇතුලත් කර වාර්ෂිකව අභයගිරි විහාරය දක්වා දළදා පෙරෙහැර පැවැත්වීමට රජු කටයුතු කලේය. දළදා වහන්සේ ලංකාවට වැඩම කළ දන්තකුමරු සහ හේමමාලී කුමරියට කෑගල්ල දිසාවෙන් ගම්වරයක් දී පදිංචි කල අතර එතැන් පටන් දළදා භාරකාරත්වය(දාඨා රක්ඛ ) මේ දෙපළගේ දරුවන් සහ අනතුරුව පැමිණි කාලිංග රජදරුවන් විසින් ඉසිලූ ආකාරයත් ඉතිහාසයෙන් පැහැදිලි කරගත හැකිය.     පොලොන්නරුව අවදියේ දී මහා විජයබාහු රජු අභිනව දළදා මන්දිරයක් ඉඳි කල අතර තමන්ගේ බිසව ලෙසට කාලිංග කුමරියක් ගෙන්වා ගත්තේ දළදා උරුමයට සාක්ෂි වශයෙන් බව පැහැදිලිය.පොලොන්නරු යුගයෙන් පසුව ඇතිවූ සතුරු ආක්‍රමණ හමුවේ දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටියේ නිදන් කොට තබා මහා සංඝ රත්නය විදෙස් ගත වූ බව ඉතිහාසයේ සඳහන්ය.මේ බැව් දැන ගන්නට ලැබුනු කාලිංග විජයබාහු කුමරු ( එකල රාජ්‍යත්වයට පත්ව නොමැත ) මහත් හරසිරින් දළදා වහන්සේ බෙලිගලට වැඩමවා දළදා මැදුරක් සාදවා තැන්පත් කල බව දැක්වේ. 1226 වසරේ මැදින් මාසයේ දී බෙලිගලදී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පාන්නට යෙදුණු බව කීරවැල්ල පරපුරේ ප්‍රවාද අතර වෙයි.විජයබාහු කුමරුට රාජ්‍යත්වය හිමි වූයේ දළදා වහන්සේ ගේ අයිතිය ලැබුණු පසුවයි.

     .අනතුරුව දෙවනි පරාක්‍රමබාහු රජු සමයේ දඹදෙණියේ දළදා මන්දිරයට වැඩම කළ දළදා වහන්සේ එහිදීද ප්‍රාතිහාර්ය පෑ බව සඳහන්ය. දඹදෙණියෙන් පසු දළදා වහන්සේ යාපහු බලකොටුවේ අභිනව දළදා මැදුරේ තැන්පත් කර තිබූ අතර සතුරු ආක්‍රමණයකින් පසු දළදා වහන්සේ හා පාත්‍රා ධාතූන් වහන්සේ පාණ්ඩව දේශයට පැහැර ගෙන ගොස් තිබේ.නමුත් දළදා භාරය ඉසිලූ පරපුරේ රාජකීයන් යාපහුවේ වැඩ සිටි දළදා වහන්සේ රහසේම ඉන් පිටමං කොට සඟවන ලදැයි ජනප්‍රවාදයේ සඳහන්ය. පාණ්ඩව රටට පැහැර ගෙන යන ලද්දේ දළදා අනුරුවකි.  බුවනෙකබාහු රජු විසින් නැවත ලංකාවට මේ ධාතුන් වහන්සේ වැඩම කරවාලූ අතර වාරයේ කුරුණැගල අසල රත් කැරැව්වේ සපු ගසක් මස්තකයේ දී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පා ඇත.එසේ ප්‍රාතිහාර්ය පාන ලද්දේ යාපහුවෙන් රහසේම සඟවා ගෙන යන ලද  සැබෑ දළදා වහන්සේය. මේ ආකාරයට විටින් විට රට අස්ථාවර වූ කාල වකාවානු වලදී දළදා වහන්සේ සඟවන ලදහ.දළදා අනුරුවක් තබා දිව නිලමේ විසින් දළදාව දුරු රටකට ගෙන ගොස් ඇත. කෝට්ටේ යුගයේ දී එලෙස සිදු විය. කීරවැල්ල පරපුරට අයත් හිරිපිටියේ දිවන නිලමේ තුමා දළදා අනුරුවක් දළදා මැදුරේ තබා රහසේම පිටමං විය.අනතුරුව සෙංකඩගල මහනුවරට දළදා වහන්සේ වැඩම කොට රාජ්‍යත්වය උදෙසා කොනප්පු බන්ඩාර ගෙන් යම් දිවුරුමක් ලබා ගත්තේය.ඒ අවස්ථාවේ දීද දළදා වහන්සේ හිරිපිටියේ නිලමේ වරයාගේ දෑත් මස්තකයේ සිට ප්‍රාතිහාර්ය පා ඇත. අනතුරුවකොනප්පුබණ්ඩාර කුමරු පළමුවන විමලධර්මසූරිය නමින් ඔටුණු පැළඳ  දළදා මන්දිරයක් කරවා දළදා වහන්සේ එහි තැන්පත් කොට මහත්සේ සත්කාර කළහ..

         දළදා ප්‍රාතිහාර්ය වනාහි රටසෙමෙහි තබන්නට උත්සාහ කළ නරපතියන්හට ලබා දුන් ආශිර්වාදයකි.ධාර්මික පිළිවෙත මේ යැයි පෙන්වා දීමට කළ වෑයමකි.දළදා භාරය හිමි කීරවැල්ල පරපුර දිවි හිමියෙන් දළදාව ආරක්ෂා කරමින් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත කරලීමට කැපවූ ආකාරය ඉතිහාසයේ දැක්වේ.වීරපරාක්‍රමනරේන්ද්‍ර සිංහ රජුගෙන් පසු සිංහල රාජාවලිය අවසන් විය. දළදා භාරකාරත්වය උසුලන කාලිංග පෙළපත් වන වැදින. ඉන් පසුව මේ පරපුරු වලට ඥාති සම්බන්ධ කම් දැක්වූ මහා සංඝ රත්නය දළදා භාරකාරත්වය ඉසිලූහ.එසේම දළදා තේවාව ඉටු කලහ. වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ සිල්වත් සමාගම සමග රටෙහි ධාර්මික පෙරළියක් ඇති කළහ. උපසම්පදාව ගෙන ඒමට නායක්කාර රජුගේ දෑස් පෑදුහ.

උන්වහන්සේ ගේ ශාසනික පුනර්ජීවනයෙන් පසු දළදා වහන්සේ අවසාන වශයෙන් ප්‍රාතිහාර්ය පෑ බව සැලකෙන පුස්කොළ ලේඛනයක් දැනට ජාතික ලේඛනාගාරය සතුව ඇත. එම තල්පත් ඉරු දෙකේ මෙසේ දැක්වේ.

සකල සාමාන්‍ය ගුණගනා ලංක්‍රතවූපාතරට වාසී භූත ස්ථවීර මධිම නිකාදී සැම සංඝයා ලගන්නා පිනිස ලියා එවන වදන් පත්‍රයේ වග හැටිනන් ......ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය තෙශටක් වූ මෙම වර්ෂයෙහි  දුරුතු පුර විසේනිය නම් තිථිය ලත් සියාවසේ නැකත ලත් සඳු දින මධ්‍යාන වේලෙහි නොහොත් ඉර උදාවූ තෙලෙස් පැයහමාර නිසම  හරිහර ත්‍යාග රබහ පුහු සම සත සුරෙන්ද්‍ර භ්‍රනැ වන්දිත ශ්‍රී මර තර විනැ.. නෙන්ද පත ක්ෂිත ජිනේද්‍රතමයන් වහන්සේ ශ්‍රීමත් ශ්‍රී ධාංෂඨ්‍රා දළදා ස්වාමීන් වහන්සේ වැඩ හුන් නානා විධ රතන කමමාප සෝභිත රන් කරඬුවෙහි ථූපිකාග්‍රයෙන් රිදී සම සුදු බුදු රැස් කදෙන් නෙග්ගිතව මාලිගාවෙහි රන් කොත සමීපයෙන් අහසට පැන නැගී  පහලොස් බඹයක් වැඩියක් පමන අද්‍රිසපයෙන් ගොස් එතැන්හිදී සමන් මාල්රාශියක් මෙන්ද සෙවුවන්දි මල් රැසක් මෙන්ද සුදු නෙලුම් මල් රාශියක් මෙන් පොළඟුන් රැසක් මෙන්ද ඉතා සුදු බුදු රැස් කඳන් අහස් කුස බුබුළුවා ආකාසයෙන් නොපෙනෙන තැන දක්වා ඉතා උස්ව පැන නැගී විනාඩියකට වරක් දෙවරක්  වාගේ සත් පැයක් ප්‍රමාන කල් බුදු රැස් විහිදුනු හැටි දකින්ඩ ලැබුණා ඇත.ඉන් නිසා  බුදුන් ගේ මෙබඳු ප්‍රාතිහාර්යයක් මෙබඳු ආශ්චර්යක් මෙබඳු විස්මයක් මෙබඳු මහිමතාවයක් නුදුටුවෝ අවාසනාවන්තයෝයි හැඟිම්හ.

   එතකුදු වුවත් පාතරට වාසී බුද්ධාගම යාදීම්ත්වය ඇති ශ්‍රද්ධාවේ බුද්ධි සම්බේත....රදල ප්‍රධානීන් ප්‍රමුඛ කොට සියලු ස්ත්‍රී පුරුෂයන් අතුරෙහි මේ ගැන සැළ කොට කියා බුදුන් කෙරෙහි සිත් පහදවා සඟ මොක් ඉසුරට පැමිණ විය යුතුය.අපිම කීර්ති ශ්‍රී මහ වාසල රාජසිංහ මහවාසල ප්‍රස්ථාවෛහිදී බුදුරැස් වැඩිය අන්දමට මේ මෝසමෙන් බුදු රැස් වැඩම කර වදාලේ බුද්ධ ශෑශන පසු බස්නා නිසාවෙන් බව සත්තය. එ බැවින් සංඝයා වහන්සේලා එක්වී සිය අන්තේවාසිකාදී දුස් කථා පත්තියෙන් දුරුව සම්‍යක් ප්‍රතිපත්තියෙන් දාරව පිහිටා තම තමන් ආශ්‍රය කරන ගෘහස්ථ උපාසක උපාසිකා දීන්ටත් අවවාදානුශෑසන කොට සම්‍යක් පිලිවෙත්හි යොදවා ස්වර්ග සම්පත්හි ප්‍රතිලාභයට පැමිණෙන ලෙසත් උත්සාහ කටයුතුය. මේ වගදක්වාලූවෙ පෝයමළු විහාරෙ වැඩ සිටිනා වැලිවිට නායක පදවිය ලැබීතිබෙන මහානායක උන්නාන්සේය.( වර්ෂ 1819 -1822 කාලයේ මහානායක පදවිය හෙබවූ වැලිවිට සරණංකර මහනාහිමි )

         දළදා ප්‍රාතිහාර්ය පාන අවස්ථා ගණනාවකදී රජුන් ප්‍රමුඛ කොට එය සිදු වී ඇත. රජුන් ගේ ශ්‍රද්ධාවත් දළදා භාරකාරිත්වය ඉසිලූ පරපුරේ ශ්‍රද්ධාව හා කැපවීමත් නිසා මෙවැනි අශ්චර්යයන් සිදු වී තිබෙන බව පැහැදිලිය.මෙයට හේතුව දළදාවහන්සේ ට පූජා කරන ලද සිංහල ද්වීපය ආරක්ෂා වීමටත් සිංහල රාජ්‍යත්වය ආරක්ෂා වීමටත් ඉන් මග සැලසීමය. මෙම තල්පතේ සඳහන් දළදා ප්‍රාතිහාර්ය ප්‍රවෘත්තිය මීට මදක් වෙනස්ය.පරංගි සහ ලන්දේසි පස්සේ වැටී සිටි ක්‍රිස්තියානිකාර බුද්ධ ඇදහිලිවන්තයන් ගේ පූජාසත්කාරයට ලක්ව සිටි පහතරට භික්ෂු සංඝයා වහන්සේලා පැහැදවීම මෙම ලියමනේ අරමුණයි.එසේම ඉන් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු වන බව  මල්වත්තේ පුෂ්පාරාමයේ වැලිවිට පන්සලේ වැඩසිටි  වැලිවිට සරණංකර සඝ පරපුරේ මහ නා හිමියන් දකින්නට ඇත. 1815 න් පසු දළදා වහන්සේ සඟවා ගෙන සිටි කීරවැල්ල පරපුරේ වාරියපොල සුමංගල හිමියන් සිරභාරයට ගත් පසු ඉංග්‍රීසීන් විසින් දළදා වහන්සේ ඔවුන් සන්තක කරගන්නා ලදී.අද දක්වාම මහනුවර දළදා මාළිගයෙහි වැඩ සිටිනුයේ ඒ දළදා වහන්සේය.වත්මන් ශාසනික ප්‍රබෝධය උදෙසා දළදා වහන්සේ නැවතත් ප්‍රාතිහාර්ය පෑ යුතු බව සිංහල බෞද්ධයන්ගේ අධීෂ්ඨානයයි.

 

Sunday, February 14, 2021

කුරුන්දි විහාරයෙන් මතුවන්නේ යූප ගලක්ද ශිව ලිංගයක්ද

 

 

 


                                

           ශ්‍රී ලංකා කඩයම් පොත දක්වන පරිදි රුහුණු මායා පිහිටි නම් තුන්සිංහලේ රට නමින් වූ ස්ථාන රාශියක් ඇත. පිහිටි රට යනු සිංහල ශිෂ්ඨාචාරයේ හදබිමයි එය රජ රට යනුවෙන්ද ව්‍යවහාර වේ. පිහිටි රටේ පැවති කුරුඳු ගමු රට යනු කුරුන්දි රට්ඨ යනුවෙන් දැක්වූ බිම් පෙදෙසයි.     සිංහලයේ පැවති පැරණි හෙළ අටුවා අතර ජනප්‍රිය වූ කුරුන්දට්ඨ කතාවට එම නම ලැබුනේ කුරුන්දික විහාරයේදි ලියන ලද නිසා බව සඳහන් වෙයි. බල්ලාඨ නාග රජු විසින් කරවන ලද මෙම විහාරය කුරුන්දවාශෝක, කුරුන්දපාසක යන දෙනමින්ම මහවංශ පිටපත් වල සඳහන් වෙයි. පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි පවසන පරිදි      කුරුන්දවාශෝක කුරුන්දවාපි අශෝක යන්න අක්‍රමවත් ලෙස කෙටවීමකි. කුරුඳු වැව අසල අශෝක විහාරය ඒ නමින් හැඳින්වූවා විය හැකිය. කෙසේ හෝ මේ සියල්ලේම කුරුන්ද යන කොටස සුරැකී තිබේ.  වර්තමාන "කුරුන්දම" යන්න මේ නමේම ව්‍යවහාරයකි. ඒ අනුව සිංහල අට්ඨකතා රචනා කරන ලද යුගයේ එනම් මිහිඳු මාහිමියන් වහන්සේ ගේ ආගමනයෙන් පසු යුගයේ සිටම කුරුන්දගම හා එම විහාරය පැවත ඇත. එම නම අද දක්වාම වෙනස් වී නැත. සිංහල අටුවා සාහිත්‍යයට අනුව මෙම විහාරයේ දී ද එක් අටුවාවක් ලියැවී ඇත. ලංකාවේ ශාසනික ඉතිහාසයේ අට්ඨකතා රාශියක් ගැන සඳහන් වේ.එය ගණනින් විසි අටකි.පච්චරියඅට්ඨකතා යනු පහුරක සිට රචනා කරන ලද්දකි.රයිගම පොකුණුවිට ශිලා ලිපියේ මෙවැනි අට්ඨ කතාවක් ගැන දැක්වේ.මේ පාළි අට්ඨ කතා අතර කුරුන්දි අට්ඨකතා ව ගැන දැක්වෙන්නේ ඉතා සැකවි විස්තරයකි.මෙම අට්ඨකතාව රචනා කරන ලද්දේ ලංකාවේ වර්තමාන නැගෙනහිර පළාතේ මුලතිව් නොහෝත් මූලදීප ආසන්න විහාරස්ථානයක සිටයි.මෙම අට්ඨ කතාව රචනා කිරීම නිසාවෙන්ම එම විහාරය කුරුන්දාවශෝක විහාරය ලෙසින් ඉතිහාසයේ හැඳින්වෙන්නට ඇත.. එසේ වී නම් ක්‍රි.පූ. යුගයේදී මෙම ප්‍රදේශය ජනපදයක් ව දියුණුව පැවති බවත් සිංහල බෞද්ධයන් මෙහි විසූ බවත් පැහැදිලිය. මෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා සියගණනක් වැඩ සිටි බවටද සාධක හමුවෙයි. මනෝරථපූරණියේ සඳහන් වන එක් තෙර නමක් කුරුන්දක වාසී යනුවෙන් විශේෂණය කොට ඇත. උන්වහන්සේ ඵුස්ස්මිත්ත තෙර නමින් අටුවා වල දැක්වෙයි.  (නැගෙනහිර පළාත හා උතුරු පළාත සිංහල බෞද්ධ උරුමය -පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි)

         පදී රට යනු පදවිය ප්‍රදේශයයි.පදින්නරු යනුවෙන්ද ව්‍යවහාරයකි.එයද ශ්‍රී ලංකා කඩයිම් පොතේ සඳහන් වෙයි.කුරුඳු රට සහ පදී රට අතර ඉපැරණි සිංහල ජනාවාස රාශියක් තිබී ඇත. 2 වන පැරකුම්බා රජු (1236 - 1270) විසින් විනාශ කරන ලද මාඝ ගේ එක් බලකොටුවක් කුරුඳු වෙහෙර ආසන්නයේ පැවති බව ඉතිහාස විමර්ශනයෙන් දත හැකිය.. මේ කාලයෙන් පසු මාඝ පරපුරේ  ජාවක චන්ද්‍රභානු ලංකාව ආක්‍රමණය කළ අතර ඔහුගේ කඳවුරක්  ද මෙහි පිහිටුවාගත් බව දැක්වේ. කුරුඳු විහාරය අසල තන්නිමුරුප්පු වැව පවතී. නෙල්ලාරු ඔය හරස්කොට තන්නිමුරුප්පු වැව කරවා ඇත. එය කුරුන්දම්මලේ කන්දට දකුණින් පිහිටා ඇත. මේ කන්දට උතුරු පැත්තෙන් කුරුන්දන්වාපි ( කුරුන්දන්කුළම ) පිහිටයි. මේ වැව් දෙකම පුරාතන නිර්මාණයන්ය..

    වංශ කතා වලින් සහ ජනප්‍රවාද ගත තොරතුරු අනුව කුරුන්දි විහාරය සියවස් ගණනාවක සිට බෞද්ධයන් වැඳුම්පිදුම් කරන ස්ථානයකි.චෝල ආක්‍රමණ මාඝ ආක්‍රමණ වලින් පසු දුබල වූ මෙහි සිංහල ජනතාව විවිධ ලෙඩ රෝගයන්ට ගොදුරුව මේ ප්‍රදේශයන් ජන ශූන්‍ය විය.උඩරට රාජධානි සමයේ අවසාන භාගයේ කීර්ති ශ්‍රි රාජසිංහ රජු සහ නිලමේවරු ද ලන්දේසි කොම්පඤ්ඤයද එක්ව අත්සන් කරන ලද හඟුරන්කෙත ගිවිසුම මගින් මුහුදේ සිට ගව්වක ප්‍රමාණයක් ලන්දේසින්ට අත්හරින ලදහ.මේ නිසාමුහුදු බඩ තීරය ඇරණු කොට එයට ආසන්න රට තුළ ප්‍රදේශ තවදුරටත් ජනශූන්‍ය විය.කුරුන්ද විහාරය වෙඩිකිරිනාමලේ නෙහොත් වඩ්ඩමාන පර්වතය කොච්චයි සමලන්කුලම් හෙවත් වර්තමාන සපුමල්ගස්කඩ  ගුරුකන්ද ආදී පැරණි බෞද්ධ සිද්ධස්ථාන විනාශමුඛයට ගියේ මේ නිසාය.තිස්වසරක් පැවති කොටි ත්‍රස්ත සමයේ දී මෙවැනි ස්ථාන කොටිබංකර බවට පත් විය

    

     පසුගිය යහපාලන රජයේ ස්ථාවරය වූයේ මෙවැනි ‌ෙඑතිහාසික පුදබිම් උතුර සහ නැගෙනහිර පාලනය කරන දෙමළ හෝ මුස්ලිම් දේශපාලඥයන් ගේ ගෝල බාලයන්ට රිසිසේ පරිහරණය කරලීමට ඉඩ සැලැස්වීමයි. පුරාවිදයා දෙපාර්තමේන්තුවට පවා මෙවැනි තැන් වලට අත ගැසීම සීමා කරන ලදී. ඒ තත්වය මත මුලතිව් ගුරුකන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන උත්සවය පැවැත්වීමට එරෙහිව පවා තහනම් නියෝග පැනවිණ.  වත්මන් රජය බලයට පත් වූ පසුව මේ ප්‍රදේශයට වැඩම කළ සංඝයා වහන්සේලා කැළයට යටවූ බොදු පුදබිම් සොයා හෙළි පෙහෙළි කරමින් නැවතත් බෞද්ධ ප්‍රබොධයට අවස්ථාව සලසා දුන්හ.වවුනියාවේ ‌‌ෙඑතිහාසික සපුමල්ගස්කඩ විහාරයේ පිළිමගෙය සංරක්ෂණට බඳුන්වන්නේ ඒ පසුබිම මතය. එසේම සපුමල්ගස්කඩ විහාරයේ වැඩසිටින ශන්තබෝධී හිමියන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ‌ෙඑතිහාසික කුරුන්දි විහාරයද පීළිසකර කිරීමට රජය විසින් මුදල් වෙන් කරන ලදී.කාලානත්රයකට පසු එහි කරන ලද ගවේශණයක ප්‍රතිඵල වශයෙන් සතරවන උදය රජු විසින් කරවූ දහවන සියවසට පමණ අයත් ශිලා ලේඛනයක් කැලයේ යටවී තිබූ සම්මුඛ විය.අනතුරුව ස්ථුපය සංරක්ෂණ ආරම්භ කරන ලද්දේ වත්මන් සංස්කෘතික රාජ්‍ය ඇමති විදු වික්‍රමනායක මහතා ගේ ප්‍රධානත්වයෙනි.

       කුරුඳු විහාරයේ දැනට සිදු කරන ලද කැණීම්වලින්   පළමු සහ දෙවැනි සියවස්වලට අයත් පුරාණ ස්ථූපයක කොටස්  ද ශිලාමය ගජස්ථම්භයක් හෙවත් යූප ගලක් ද මතු කරන ගැනීමට හැකි වී තිබෙන බව   පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත. දාගැබේ උතුරු, නැගෙනහිර,දකුණු සහ බටහිර දිශාවන්ට හසුවන සේ අගල් හතරක කැණීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. එම අගල්වල කැණීම් කටයුතු ඉදිරියට සිදු කරමින් පවතින අතර නැගෙහිර දිශාවෙහි කැනීම් කටයුතු පමණක් මේ වනවිට අවසන් කර තිබේ.

නැගෙනහිර  අගලේ කැණීම් කටයුතු මඟින් දාගැබේ පුරාණ ස්වරූපයට  අදාල තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබේ. තුන්මහල පේසාව මෙහි ඇති වැදගත්ම වාස්තු විද්‍යාත්මක ස්වරූපයයි. පේසා වළලු සමඟ දැනට දාගැබේ සම්පුර්ණ උස මීටර් 03යි සෙන්ටිමීටර් 50ක් පමණ වන බවට  පුරාවිද්‍යා කැණීම් නිළධාරීන් දක්වති. නැගෙනහිර දිශාවේ කළ කැණීමේ දී  මල් ආසනයක් තබා ඇති බවට තහවුරු  වී තිබේ. එය කැබලී කිහිපයකට පුපුරා හැර තිබේ.ස්ථූපයට අයත් යූප ගලේ කොටසක් නැගෙනහිර අගලේ කැණීම් ස්ථරයෙන් ලබා ගැනීමට හැකි වී ඇත. .  යූප කෑබැල්ලේ ඉහළ අටපට්ටම් වේ. මේ අතර දකුණු පස අගලේ කැණීම් මඟින් මෙන්ම උතුරුපස අගලේ කැණීම් මඟින්ද දාගැබේ සලපතල මළුවට අදාළ  තොරතුරු ද අනාවරණය වෙමින් පවතී..



      මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරින් සිය ලංකාවේ ස්ථූප නම් ග්‍රන්ථයේ දක්වන පරිදි තුන් මහල් පේසාව විශේෂ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයකි. අනුරාධපුර යුගයේ මෙවැනි මාලක සහිත ස්ථූපයන් කීපයක්ම දැක ගන්නට ඇත.කණ්ඨක චේතිය මිරිසවැටිය අභයගිරිය උදාහරණ වෙති. මහාවංශයෙහි මෙවැනි මාලක වලට පුප්ඵාධාන නම යෙදී තිබේ.මල්පියවසා යන්න සිංහල ව්‍යවහාරයයි. එනම් මේ මාලකයන් හි මල් පිදීමට තැනක් වෙන් කරවා ගෙන තිබේ. කැණීම් වලින් මතුව එන්නේ මෙලෙස මල් පිදීමට යොදා තිබූ මල් ආසනයයි.යූප ගල  ඉන්ද්‍ර කීලය යනුවෙන්ද ගජස්ථම්භය යනුවෙන් ද දක්වා ඇත. ලක්ෂ්මන් ඇඹූල් දෙණිය විසින් රචිත පෞරාණීක චෛත්‍ය හා එහි විද්‍යාත්මක පසුබිම නම් කෘතියේ දක්වා ඇති පරිදි ස්ථූපයට ඉහළින් ආරෝපණය වන අධිවොල්ටීය ධාරාවන් මේ ගජ ස්ථම්භය තුළින්  භූගත වේ. මේ යූපය සඳහා මුල් කාලයේ යොදා ගෙන තිබෙන්නේ දඹ දැවයකි.ගෙරවිලි ගොරතර විදුලි අකුණු මැද මහ දඹ රුක උනු මගෙ අම්මා යයි ජන කවියා දක්වන්නේ දඹ දැවයේ විශේෂත්වයයි. යූපය ශිලාමය  ව්‍යයහාරක් වූ පසුව ස්ථූපයන්හි  භාවිතයේ පූජනීය බව මෙන්ම අධ්‍යාත්මික පසුබිමද ක්‍රමයෙන්  සංවර්ධනය වී තිබේ.යූපයේ අට පට්ටම් හැඩය වර්ධනය වී ඇත්තේ යටකී ආරෝපණ ග්‍රහණය කර ගැනීමටයි.

  කුරුන්දි විහාරයේ කැණීම් වලින් මතු කර ගත් යූප ගල ශිව ලිංගයක් බවත් මෙහි පවතින්නේ ශිව කෝවිලක් බවටත් තර්ක කරන පිරිසක් මේ වන විට බිහි වී තිබේ. උතුරේ සහ නැගෙනහිර ප්‍ර දේශයන්හි පවතින සියලුම බෞද්ධ පුරාවස්තු වල ත්‍රී ශූල සවි කරමින් කෝවිල් ඉඳි කරන්නට උත්සාහ කරන ඔවුන්ට න්‍යායත්මක පසුබිම සලසා දෙන්නේ යාපන විශ්වවිද්‍යාලයේ සිටින ඇතැම් ජාතිවාදී ආචාර්ය වරුන්ය. ඒ අතර පුරාවිද්‍යා කටයුතු වල යෙදී සිටින එක් පුරාවිද්‍යා මහාචාර්ය වරයෙකුද සිටී.විශාව විද්‍යාලයෙන් බිහිවී යන සිසුන් මේ විද්වතුන් ගේ දෙමළ ජාතිවාදී මත විශ්වාස කරති. මෑතකදී පුරාවිද්‍යාවට බැඳුණු උපාධිදාරින් ද ඉගෙන ගෙන ඇත්තේ මේ රටේ සිංහල ඉතිහාසය නොව ඊලාම් ඉතිහාසයයි. එවැනි තත්වයක් යටතේ යූප ගලකට ශිවලිංගයක් යයි කීමට පෙළඹීඹ පුදුමයට කරුණක් නොවේ. කණගාටුවට කරුණක් වවන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධති වල සිටින ඉතිහාස ආචාර්ය මහාචාර්ය වරුන් හෝ පුරාවිද්‍යාඥයන් මෙවැනි දෙමළ ජාතිවාදී මත වලට ශාස්ත්‍රීයව පහර ගැසීට ඉදිරිපත් නොවීමයි.එම තත්වය තුළ මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා දෙමළ ජාතිවාදී ඉතිහාස මතවාදය හෙවත් ඊලාම් මතවාදය තහවුරු වන්නට අවස්ථාව සැලසී තිබේ. මාර්තු මාසයේ පැවැත්වෙන ජිනීවා සමුලුවේදී පවා මේ ජාතිවාදීන් උත්සාහ දරනු ඇත්තේ උතුරේ සහ නැගෙනහිර පවතින පුරාවිද්‍යා භූමි දෙමල කෝවිල් බව අර්ථ ගැන්වීමයි. .එයට කිසිසේත්ම ඉඩ දිය යුතු නැත.


 

 

 

 

+3

 

 

 

 

   

Wednesday, February 10, 2021

නීති අධ්‍යාපනය ට සිංහල බස තහනම් අධිකරණ ඇමති බලය අතට ගනී

 

 

 


                

         මෙරට පවතින වර්තමාන නීතියට අදාළව නීති අධ්‍යාපනය සංස්ථාගත කිරීම ආරම්භ කරන ලද්දේ වර්ෂ 1873 දී පමණය.නීති අධ්‍යයන සභාව පිහිටුවා 1874 දී ලෝකොලෝජිය ආරම්භ කර ඇත.ඉන්පසු 1889 උසාවි භාෂා පනත ප්‍රකාරව කටයුතු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ පිළිගැනීමක් ඇති.දක්ෂ දැනුමක් ඇති අය වෙනුවෙන් බැරිස්ටර්වරුන් සහ ප්‍රොක්ටර්වරුන් වශයෙන් බඳවා ගැනීමට 1900 දරණ ආඥාව මගින්   සංස්ථාගත නීති අධ්‍යයන සභාවක් පිහිටුවන ලදහ.එංගලන්ත ක්‍රමයේ රෝම ලන්දේසි නීතිය හැදෑරීම පිණිස ලංකාවේ ඉඩ ප්‍රස්ථා සැලසීම මෙහි අරමුණ විය. මෙම සභාවට සාමාජිකයන් සත් දෙනෙකු නම් කරන ලදහ.

             විසිවන සියවස ආරම්භ කාල වකවානුවේ එංගලන්තයට ගොස් බැරිස්ටර් විභාගයට හිඳ යළි මෙරට පැමිණි සිංහලයන්ට සිංහල බසින් වැඩ කළ නොහැකි විය. ඔවුහු සිංහල ගැමියන් ඉදිරියේ උජාරුවෙන් ඉංගිරිසියෙන් නඩු ඇසූහ.අහිංසක ගැමියා ඔවුන් කියන දේ කුමක් දැයි නොදැන නිරුත්තරව සිටියහ. ලෙනාඩ් වුල්ෆ් රචනා කල විලේජ් ඉන්ද ජන්ගල් නම් කතාවේ සිළිඳු නම් ගැමියා මුහුණ දෙන්නේ එම ගැටළුවටයි. සංස්ථාපිත නීති අධ්‍යයන සභාව විසින් නැවත උත්සාහ කරන ලද්දේ ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් සකස් කරන ලද නීතිඥයෙකු බිහි කරලීම පිණිසය. 1948 වර්ෂයේ දී ස්වදේශිකයන්ට බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් යම් දේශපාලන නිදහසක් ලැබුණද ඉංග්‍රීසි නීතියෙන් ගැලවීමක් නොවුණි. 1815 න් පසු ස්ථාපිත වූ සියලුම නීති දිගටම ක්‍රියාත්මක විය. ඒ අනුව උසාවි වල වැඩ කටයුතු දිගටම සිදු කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි.නීතිය උගන්වනු ලැබූයේ දී ඉංග්‍රීසි භාෂාවෙනි.1960 බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක මැතිණිය විසින් යටත් විජිත බැමී රාශියක් බිඳ හෙළීමට කටයුතු කළද ඇයගේ මුල් දේශපාලන කාලවකවානුවේ දී නීති ප්‍රතිසංස්කරණයකට අත ගැසිය නොහැකි විය.1970 දී යලි බලයට පත් වූ ඇය ගේ ආණ්ඩුවේ අධීකරණ ඇමතිවරයා වූ ෆීල්ක්ස් ඩයස් බණ්ඩාරනායක මහතා විසින් 1973 අංක 44 පණත මගින් 1900 ආඥා පනත තුළ පවතින ස්වභාවය අවලංගු කොට 1974 අංක 06 යටතේ (ගැසට් අංක 104/2 ) අධිකරණ ඇමතිවරයාගේ බලතල සහිත නීති අධ්‍යයන සභාවක් පිහිටුවන ලදී. ඒ අනුව මෙතෙක් එංගලන්තයේ ස්කොට්ලන්තයේ සහ අයර්ලන්තයේ නීති බැඳීමෙන් මෙරට නීති විද්‍යාලය යම්තරමකින් වෙනස් විය.මෙම නිදහස් වීමත් සමගම නීති විද්‍යාලයේ අධ්‍යාපනය සිංහල භාෂාවෙන් ලැබ දීමටද විභාග වලට ඉදිරිපත් වීමේදී සිංහල භාෂාවෙන් ඉදිරිපත් වීමට හැකිවන පරිදද  අවස්ථාවක් ලැබුණි.ඉන්පසු 1993 දී  (1993 අංක 44 ) පනතක් මගින් යලි නීති අධ්‍යයන සභාව වෙනස් කර ඇත. ඒ අනුව අධිකරණ ඇමතිවරයා විසින් පත් කරන නියෝජිතයන් ගණන 07 දෙනෙකු බවට පත් කර ඇත. එහිදී නීතිපති අග විනිසුරු ඇතුලු 07 දෙනාට අමතරව ඇමතිවරයා විසින් පත් කර නියෝජිතයන්ද 07 දෙනෙකු විය.මේ කාලයේ නීති විද්‍යාලයේ ප්‍රවේශ විභාගයට  ඉදිරිපත් වීමේ දී තමන්ට රිසි භාෂාවකින් ඉදිරිපත් වීමට අවස්ථාවද සලසා දී ඇත.

         2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වී තිස්වසරක කොටි ත්‍රස්තවාදය අවසන් කර නන්දිකඩාල් කලපුවේ දී ප්‍රභාකරන් පරලොව යැවූ නමුත් ඊලාම් මතවාදය අවසන් නොවුණි. ඊලාම් වාදීන් විදෙස් වල සිට සංවිධානය වූ අතර මුස්ලිම් අන්තවාදීන් ආණ්ඩුව තුළ සිට සංවිධානය විය. ඒ අනුව රවුෆ් හකීම් අධිකරණ ඇමතිවරයා බවට පත් විය.  මුස්ලිම් චන්ද කේවල් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එය සිදුවිය.

 

මේ ඇමතිවරයා සහ නීති අධ්‍යපාන සභාවේ සෙසු සාමාජිකයන් එකතු වී 2010 වසරේ දී ගත් තීන්දුවක් මගින් නීති විදුහලේ අධ්‍යාපන කටයුතු ඉංග්‍රීසි බසින් පමණක් කළ යුතු බවට නීතියක් සම්මත කර ගන්නා ලද්දේය. ඒ කාලයේ ඒ තීරණයට එරෙහිව නැග ආ විරෝධය වඩා ප්‍රබල නොවුණි.නමුත් සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් විභාග වලට පෙනී සිටීමේ  අයිතිය එහිදී නැති කළ නොහැකි විය.ඒ සඳහා අගනා සේවයක් කරන ලද්දේ  ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. හකීම් ඇමතිවරයා නීති විභාගයේ ප්‍රශ්ණ පත්‍ර යම් උපක්‍රමයකින් පිට කළ බවට ඒ කාලයේ රාවයක් පැතිරුණි. කෙසේ වෙතත් ඒ වසරේ නීති විද්‍යාලයට ඇතුලත් වූ මුස්ලිම් සිසුන් ගේ ප්‍රමාණය 150 කට වඩා ඉතා අධීක විය.

     ලංකාවේ නීතිය සැබවින්ම සැමට එක සමාන නොවේ. ඉංග්‍රීසි භාෂා ආධිපත්‍යය එයට එක හේතුවක් ලෙසට සැලකිය හැකිය. උසාවියක පවතින නඩු විභාගයකදී තවමත් ඒ තත්වය සාමාන්‍ය ජනතාවට බලපාන බව සත්‍යයකි.උපරිමාධිකරණයේ  සියලු නඩු ඇසෙන්නේ තවමත් ඉංග්‍රීසි භාෂවෙනි. හිටපු අධිකරණ ඇමතිවරයෙකු වූ දේවනායගම් මහතා උපරිමාධිකරණ භාෂාව පිළිබඳ නීති සංශෝධනයක් සකස් කලේය.එම උසාවි වලින් ලැබෙන නඩු තීන්දු වල පිටපත් පවා ලැබෙන්නේ ඉංග්‍රීසි   භාෂාවෙනි.පාර්ලිමේන්තුව වෙත යැවෙන්නේද ඉංග්‍රීසි භාෂාවෙනි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට පරිශීලනය කරන්නට ලැබෙන නඩු ලියවිලිද ඇත්තේ ඉංග්‍රීසි  භාෂාවෙනි. මේ නිසා යම් ගැටළුවකදී බොහෝ මන්ත්‍රී වරු නිශ්ශබ්දව අසා සිටිති.20 වන සංශෝධනය සභා සම්මත කරලීමේ දී අලි සබ්‍රි අධිකරණ ඇමතිවරාය තම කතාව කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙනි.  19 සංශෝධනය තුළ තිබූ එක් අහිතකර වගන්තියක් වූයේ ජාතික ආණ්ඩුවක් පිළිබඳ සංකල්පයයි.20 ගෙන ඒමේ මූලික අදහස වූයේ 19 අහෝසි කරලීමයි.එවිට ජාතික ආණ්ඩු සංකල්පයද අහෝසි වේ. නමුත් අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා මේ වගන්තිය ඉතාමත් සූක්ෂමව 20 සංශෝධනයටද ඇතුලත් කරන ලදී.ඉංග්‍රීසි බසින් කළ මෙම වංචාව උසාවි පරිශ්‍රයන්හිද කළ හැකිය.නීති ක්ෂේත්‍රයේ භාවිතා කරන පාරිභාෂික වචන බොහෝ දෙනා නොදනිති.එවැනි තත්වයක් තූළ ඉංග්‍රීසි කතා කරන විනිසුරුවන් අතින් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මෙන්ම පශ්චාත් යටත් විජිත සමයේ ද සාමාන්‍ය ජනතාවට වූ අසාධාරණ කම් බොහෝ වේ.

       2010 වසරේ හකීම් අමැතිවරයා සහ නීති අධ්‍යයන සභාව එකතු වී නීති විදුහලේ අධ්‍යාපනය සිංහල බසින් ලැබීමේ අයිතිය සිංහල සිසුන් වෙත අහිමි කලා සේම වර්තමාන අධිකරණ අමතිවරයාද සිය බලතල අතට ගෙන නීති අද්‍යයන සභාව සමග එකතු වී සිංහල බසින් නීති විභාගය ලීවීමේ 2020/12/30 ගැසට්ටුව මගින් අහිමි කර තිබේ. මේ ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඇ), 4(ඈ), 9, 21, 23(4), 24 ,27(6), 27 (10) යන වගන්ති උල්ලංඝණය කර තිබේ.සිංහල ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර තිබේ. නීතිඥ අරුණ උණවටුන මහතා මේ වන විටත් නීති අධ්‍යයන සභාවට විරුද්ධව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පණත යටතේ පොලිස්පති වරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.පසුගිය දිනක පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා අධිකරණ ඇමතිවරයාගේන් ප්‍රශ්ණයක් විමසන ලදී.එනම් උපරිමාධිකරණයේ නඩු තීන්දු සිංහල බසින් ලබා ගැනීම පිළිබඳවයි. එසේම පාර්ලිමෙන්තු මන්ත්‍රී  අනුප පැස්කුවල් මහතා පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයාට ලිපියක් යවමින් දන්වා සිට ඇත්තේ පාර්ලිමේන්තුවට ලබා දෙ නඩු තීන්දු වල සිංහල පාරිවර්තනයක් ලබා දෙන ලෙසටයි. නමුත් අධීකරණ ඇමතිවරයා මේ ප්‍රශ්ණ වලට විසඳුම් දෙනු වෙනුවට සිංහල භාෂා අයිතිය සම්පූර්ණයෙන් අවසන් කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී.

   බද්යුදීන් හිස්බුල්ලා වැනි මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් එකතු වී මුස්ලිම් අන්තවාදය පෝෂණය කරමින් මනුෂ්‍ය ඝාතනයකට තල්ලු කරන ලද්දේ කුමන චින්තනයකින්ද එම චින්තනයේම රැඳී සිටින පුද්ගලයෙකු අධීකරණ ඇමතිවරයා බවට පත් වූ විට සිදුවන ශෝචනීය තත්වය අද ඇස් පනා විට තහවුරු වෙමින් පවතී.ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දී මහා විහාරීය මහ නායක හිමිවරු බැහැ දැකගත් අවස්ථාවේ දී උන්වහන්සේලාගෙන් විශේෂ ඉල්ලීමක් විය.  අධිකරණ ඇමති කම අලිසබ්‍රි මහතාට නො‌දෙන ලෙසට උන්වහන්සේලා කරුණු දක්වමින් කියා සිටි බව දැන ගන්නට ඇත.නමුත් ඒ හඬට කන්නුදුන් ජනපතිවරයා නුසුදුස්සෙකු අධිකරණ ඇමතිකරමින් සිංහල ජාතියම පමණක් නොව තමනුත් අනතුරට පත් කරවා තිබේ.අධිකරණ ඇමතිගේ මූලධර්මවාදී ක්‍රියා එකින් එක දැන් හෙළි වෙමින් පවතින බැවින් එදා මහානායක ස්වාමීන් වහන්සේලා දැක්වූ අදහස් තහවුරු වෙමින් පවතී. මේ භයානක තත්වය වහා වෙනස් නොකළහොත් සිංහල හා දෙමළ  භාෂා දෙකම අහෝසි වී ඉංග්‍රීසි භාෂෘව සහ අරාබි භාෂාව පමණක් මේ රටේ ප්‍රධාන භාෂා වීම වැලැක්විය නොහැකිය.මේ ආණ්ඩුව පාර කපන්නේ එයටදැයි සොයන්නට හැටනව ලක්ෂයක සිංහලයන් අවදියෙන් සිටිය යුතුය.


 

Wednesday, February 3, 2021

සිංහ කොඩියට පටි ගසා බෙදුම්වාදය ඇතිකර වසර හැත්තෑවයි

 

 

 

 


                            

              බ්‍රිතාන්‍ය කිරීටයට සිංහලේ රටවල භාර දී මෙන් පසු සිංහල ජාතිය ක්‍රමයෙන් පරාධීන වීය.එම වේදනාව අපට තවමත් දැනේ. 1948 වසරේ දී  නිදහස් රාජඥා පනතෙන් දේශපාලන අයිතිය ස්වදේශිකයන්  වෙත සතු කර ගැනීමට යම් උත්සාහයක් ගත්හ.1972 වසරේදී එම දේශපාලන නිදහස පූර්ණ වශයෙන් දිනා ගැනීමට ඔවුන් සමත් වූහ. 1815 දී  සිංහලේ රාජ්‍යය බ්‍රිතාන්‍යයන්ට පවරා දීමට සකස් කරන ලද ගිවිසුම අත්සන් කිරීමට සුලු මොහොතකට පෙර  සිංහල රජතුමාගේ රාජකීය කොඩිය ඉංග්‍රීසි හේවායෙකු විසින් බිම හෙලන ලදහ. නමුත් අස්ගිරි මහා විහාරයේ අනුනායකව වැඩ සිටි වාරියපොල සුමංගල ස්වාමීන්වහන්සේ වහා මැදිහත්ව එම කොඩිය යලි ඔසවන ලදහ.   සිංහල රදළයන් විසින් සහ බ්‍රිතාන්‍ය නිළධාරීන් විසින් අත්සන් කරන ලද ගිවිසුම අනුව මාර්තු 02 දින පටන් එංගලන්තයේ මහ රජු ලංකාවේ මහ රජු බවටපත් විය. ඔහු ලංකාවේ සම්ප්‍රදායානුකූල ආගම ධර්මයයත් සිරිත් විරිත් ආදියත් ආරක්ෂා කල යුතු බවට ගිවිසුම අනුව සහතික විය. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා මේ වගන්ති වලට අකමැති වුවද භික්ෂූන් වහන්සේලා ගේ දැඩි ඉල්ලීම මත ගිවිසුමට එකඟ වූ බව පැවසෙයි. කෙසේ වෙතත් 1948 වර්ෂයේ දී  සහ 1972 දී යලි නිදහස ලබා ඇත්තේ අප භාර දුන් සිංහලේ රටවල් වල ස්වාධීනත්වය අරභයා නොවේ යැයි මේ වන විට තහවුරු වී තිබේ..

        1945 වර්ෂයේ දී පමණ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ ප්‍රකාශයක් වූයේ ලංකාවට නිදහස ලැබෙන කල්හි සිංහලේ රාජකීය කොඩිය වශයෙන් තිබූ සිංහ කොඩිය යළි එසවිය යුතු බවයි. ඒ අනුව 1948 ජනවාරි 16 දිනදී මඩකලපු මන්ත්‍රීවරයාව සිටි සින්නලෙබ්බේ මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවට එම යෝජනාව ඉදිරිපත් කර ඇත. එහිදී ඩී.එස්. සේනානායක මහතා ප්‍රකාශ කර සිටියේ ලංකාවේ අවසන් රජු දෙමළ ජන වර්ගයට අයත් නමුත් සිංහ කොඩිය නිල රාජකීය කොඩිය වශයෙන් පිළිගෙන කටයුතු කළ බැවින් එය එසවීම කාලෝචිත බවයි. නමුත් නිදහස දිනා ගැන්මේදී දෙමළ ජනතාවටද සම තැන ඉල්වා සිටි ජී.ජී. පොන්නම්බලම් චෙල්වනායගම් ඇතුලු දෙමළ නායකයන් මේ කොඩිය එසවීම ට සපුරා විරුද්ධ වූහ. දෙමළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව ඔවුහු ආණ්ඩුකාරවරයා ට අභියාචනා ඉදිරිපත් කළහ. මේ පිළීබඳව ප්‍රශ්ණය සමහන් කිරීම උදෙසා ඩී.එස්. සේනානායක මහතා මේ දෙමළ නායකයන්ට යම් පොරොන්දුවක් දුනි. ඒ නම් නිදහස් දින උත්සයෙන් පසු නව ලංකාවේ නිල කොඩිය නිර්මාණය කරලීමට කොඩි කාරක සභාවක් පත් කරන බවවයි. පොරොන්දු වූ ප්‍රකාරව 1948 මාර්තු මස 06 දින එස්.ඩබ්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී.මෙම කමිටුවේ අනෙක් සාමාජිකයන් වූයේ ජෝන් කොතලාවල ජේ.ආර්. ජයවර්ධන ලලිත රාජපක්ෂ ටීබී. ජයා. සෙනරත් පරණවිතාන ජී.ජී. පෙනේනම්බලම් සහ එස් . නඩේසන් යන මහත්වරුය.මෙම කමිටුව 1948 පෙබෙරවාරි 15 ජූනි 12 ජූනි 22 සහ අගෝස්තු 15 -22 යන දිනයන්හිදීද 1949 වසරේ මැයි 10 ජූලි 08 නො22  දෙසැ 09 යන දිනයන්හිදීද 1950 ජන 20 සහ පෙබ 13 යන් දිනයන් වලදීද රැස්වී තිබේ.         

   එහිදී මහජනතාව වෙත ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර ඇත. ලංකාව බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලේ රටක් වශයෙන් ඩොමීනියන් තත්වය ලබා ඇති බැවින් බ්‍රිතාන්‍ය කතිර කොඩියට වෙනස්වූ රටේ අනන්‍යතාවය සහතික කරන ජාතික කොඩියක් පිළිබඳව යෝජනා ඉදිරිපත් කල යුතු බවද එහි සඳහන් විය. වසර දෙකක් තිස්සේ 227 දෙනෙකුගෙන් පමණ මේ පිළීබඳ සාක්ෂි ලබා ගෙන තිබුණි.එහිදී 159 දෙනෙකු සිංහල භාෂාවෙන්ද හැට අට දෙනෙකු ඉංග්‍රීසි භාෂවෙන්ද යෝජනා ඉදිරිපත් කර තිබුණී.ඒ වන විට සකස් කර තිබූ ජාතික  කොඩියට විරුද්ධව කොමිටියේ සාමාජික එස්.නඩේසන් මහතා අදහස් ප්‍රකාශ කරන ලද්දේය. ඔහු තර්ක කරන ලද්දේ මෙම කොඩියේ සිංහයාට පිටතින් ගසන ලද පටි දෙක නිසා සිය ජන වර්ගයේ අනන්‍යතාවය බැහැරට දමා ඇති බවයි.ඔවුන් ගේ ජාතික ජීවිතය සිරගත කිරීම සිදු නොවිය යුතු බව ඔහුගේ තර්කය විය.( In Our national life We do not Want create Water tight compartments &  මෙම කොඩි කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා අතරින් 97 දෙනෙකු ගේ කැමැත්ත වූයේ පැරණි සිංහ කොඩිය ජාතික කොඩිය වශයෙන් සම්මත කරගත යුතු බවයි.ඔවුන් සියල්ල සිංහලයන් වෙති.සිංහල ජනතාව අතරින් කීප දෙනෙකු ශ්‍රීපාද ස්ථානය සහ දළදා කරඬුව කොඩියේ සංකේතය වශයෙන් ත යුතු බවද සූර්යා සහ ශ්‍රී පාදය ගත යුතු බවද දක්වා තිබුණි.ඒ .මයාලන් නම් පුද්ගලයෙකු කියා සිට ඇත්තේ කඩුව නැති සිංහයාද වෘෂභ (නන්දි) රූපයද අඩ සඳ හා තරුවද සහිතව කොඩිය සකස් විය යුතු බවයි.ගරුතර ස්වාමීන් වහන්සේලාගේ අදහස් කීපයක් ඉරිදිපත් වූ අතර ලංකාව බෞද්ධ රටක් බැවින් බෞද්ධත්වය නිරූපණය වීමක් මෙම කොඩිය යෙන් සිදු විය යුතු බව දක්වන ලදී. ඇතැම් අය මෙතෙක් පැවති යුනියන් ජැක් කොඩිය සමග සිංහයා යෙදීමටද යෝජනා කර තිබුණි.වැදගත්ම කාරණය වශයෙන් සදහන් කළ හැක්කේ කොළඹ ආනන්ද විදුහලේ ගුරුමග නම් සංවිධානය කියා සිටි මතයයි.ඔවුහු සිංහයා අඩ සඳ තරුව දාගැබ කුරුසිය මෙන්ම කොන් සතරේ පිත්තල පහනද බෝකොළ ද යෝජනා කර තිබුණි.මෙහි අදහස් නම් ලංකාව බහුජාතික බහු ආගමික රටක් වශයෙන් ඔවුන් පිළිගත් බවයි.

        හලාවත බිෂොප් වරයා ප්‍රකාශ කර තිබෙන අදහසද ඉතා වැදගත්ය.ඔහු අනෙක් අයට වඩා මේ කොඩියේ ඉතිහාසය සඳහන් කරමින් අගනා ලිපියක් ඉදිරිපත් කර ඇත. එයට අනුව පැරණි සිංහ කොඩිය ඉතිහාසය විසින් ලබා දුන් ජාතික කොඩියක් බවත් නමුත් එය සිංහල කොඩියක් නොවන බවත් කියා තිබුණි. කපුකොටුව දොළපිහිල්ල කැප්පෙටිපොළ උනම්බුව ආදී උඩරට ප්‍රධානීන් බහුතරයක් සිංහ කොඩියම සම්මත කර ගනීමට මැලි කමක් දැක්වූහ.ඔවුහු තමන්ගේ උගත්කම දක්වාලමින් සියලු ජනවර්ගයා නියෝජනයට පටි අවශ්‍ය බව ප්‍රකාශ කර සිටි අතර හැට නව දෙනෙකු සිංහයා ඉවත් කර ජන වර්ග නියෝජනය සඳහා වර්ණ පටි යෙදීම හෝ දම්වැල් මෙන් පටි යෙදීම නිර්දේශ කර ඇත. එයින් 22 දෙදෙනනෙකු සිංහලයන් නොවෙති. ඔවුහු සිංහයා යෙදීමට එහෙලා අකමැති වූහ.මෙයින් තේරුම් ගත යුතුව පවතින්නේ බහුතර සාමාන්‍ය ජනතාවට පවා එදා ජාතික කොඩිය සකස් කර ගැනීමට තිබූ උනන්දුවයි.එසේම ඔවුහු තම හෘද සාක්ෂියට එකඟව සිංහ කොඩිය අනුමත කර තිබුණි.නමුත් සිංහල සිංහල බහුතරයේ ප්‍රජාතන්ත්‍රීය අදහස් වලට ගරු නොකළ කාරක සභාව සිංහ කොඩියට තැඹිලි වර්ණයෙන් සහ කොළ වර්ණයෙන් යුතු පටි දෙකක් එක් කිරීමට තීරණය කොට සම්මත කරගෙන ඇත.

         මෙම කොඩිය පිළිබඳව 1951 මාර්තු මස 01 සහ 02 දින පවත්වන්නට යෙදුණු නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසි වාරයේ දී කොඩිය වෙනස් කිරීමට එරෙහිව සිංහල මන්ත්‍රීවරුන් දෙදෛනෙකු කතා කළහ.මතුගම මන්ත්‍රීවරයාව සිටි විල්මට් පෙරේරා මහතා එහිදී දැක්වූ අදහස් මෙසේය.ගරු කතා නායක තුමනි සිංහ කොඩිය ගැන වාද කරන අවස්තාවේ දී සිංහලයෙකු හැටියට මගේ අදහස් සිංහලෙන් ප්‍රකාශ කිරීම යෝග්‍ය යයි මම සිතමි.

   අතීතයේ සිට පැවත එන ත්‍රී සිංහල කොඩිය වූද නුවර රාජධානියේ කොඩිය වූද මේ කොඩිය ගැන විවේචනයක් කිරීමට බලාපොරොත්තු නොවෙමි.එහෙත් මා නගන එකම ප්‍රශ්ණය නම් විල්බාවේ කැප්පෙටිපොළ ආදී ශ්‍රේෂ්ට  ජාතිත වීරයන් මේ ලාංඡනය ආරක්ෂා කිරීමට ඒ වෙනුවෙන් දිවි පිදීමට ඉදිරිපත් වුණි නම් මෙරට මහ ජනයා වෙනුවෙන් මේ ගරු සභාවෙහි පෙනි සිටින මැති ඇමතිවරුන් ඒ ශ්‍රේෂ්ට ලාංඡනය කෙළසන්නටඑහි ඉරි අඳින්නට මොන හිතකින් අදහස් කරන්නේද මොන හිතකින් එවැන්නක් අනුමත කරන්නේ ද යන්න සිංහලයෙකු හැටියට මට නම් නොවැටහේ.

     සිංහ කොඩියට පටි ගසා බෙදුම්වාදී මානසිකත්වයක් දේශපාලනය තුළ ඇති කොට දැන් වසර හැත්තෑවක් ගත කර තිබේ.මේ කාලය තුළ මේ බෙදුම් වාදීන් තමන් ගේ ම වූ ඊලාම් දේශයක් සඳහා වෙනම භාෂා අයිතියක් දිනා ගෙන තිබේ.එම ප්‍රදේශ සඳහා දෙමළෙන් කතා කරන නිළදාරීන් විනිසුරුවරුන් පමණක් යෙදවීමට වග බලාගෙන තිබේ. ඒ අතර භූමිය අත්පත් කර ගැනීමට වසර තිහක ත්‍රස්තවාදී යුද්ධයක් ද දියත් කෙරුණි.එම ත්‍රස්තවාදය පරාජය කරනු ලෑබූවද බෙදුම්වාදය සඳහා උදව් උපකාර කළ විදේශීය හාම්පුතුන් විසින් ලංකාවේ යුධ හමුදාමව වෙත යුධ අපරාධ චෝදනා ගොනු කරමින් මානව හිමිකම් දඬුකඳේ හිර කර තිබේ.මේ අමාරුවේ වැටීම විහින් ළඟාකර ගත්තකි. සිංහලේ දේශය සිංහලයන් ගේ භූමියයි.එයට විදෙස් වලින් විවිධ ජන වර්ග පැමිණියද ඒ කිසිවෙකුට මේ භූමිය හිමි නැත. ඔවුන්හට මෙහි ගෞරවනීය පුරවැසියන් ලෙසට ජීවත්ව සිටි හැකි වුවද භූමිය බෙදා වෙන් කර ගැනීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකිය. සැබවින්ම මෙරට දේශපාලනය තුළ මෙකී සම්මුතිය නැත. පක්ෂ වලට බෙදී යෑම නිසා සිංහල ජාතිය සම්මුතියෙන් ඉවත් ව ගොස් තිබේ.ජිනීවා වලදී ලක් රජය අමාරුවේ වැටෙන්නේ මේ සම්මුතිය නැති බැවිනි.එම තත්වය තුළ සිංහලේ සිංහ කොඩියට නැවත ගෞරවනීය ‌ෙඑතිහාසික තත්වය ලබා දෙමින් මෙරට බෙදුම්වාදී මතවාදය සහමුලින්ම පැරදීවීමට අදිටන් කර ගැනීමට කාලය එළඹ ඇත.. වාරියපොල සුමංගල හිමියන් එදා සිහලේ කොඩිය අභීතව එසවූයේ නම් ඒ ජාන පරම්පරාවෙන් පැවත එන අප හට එය කිරීම අපහසු නොවනවා ඇත.