පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, November 27, 2020

දිගාමඩුල්ලේ ආශ්චර්ය හෙවත් දීඝවාපී ස්ථූපයේ සාධුනාදය

 


 

 

                       

            නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පවතින දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේ සදා වන්දනීය පූජ්‍යස්ථානයකි.බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩ සිට නැගෙනහිර පළාතේ දීඝ මණ්ඩලයට වැඩම කළහ.එහි භාවනායෝගීව වැඩ සිටි අතර සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව ලබාගත් උන්වහන්සේ ගේ දික්නිය ධාතුව මෙහි තැන්පත් කොට සත්රියන් උස ඉඳුනිල් මුවා දාගැබක් නිර්මාණය කරන ලදැයි පැවසේ. පසුව දුටුගැමුණු මහරජුන් ගේ මලණුවන් වූ සද්ධාතිස්ස රජු විසින්  මේ ස්ථූපය විශාල කරවා සාදවා තිබේ.මේ අසිරිමත් පුදබිම වසර දහස් ගණනාවකට පසු නැවත ජීවමානව සුදෝසුදුවන්ව බැබළෙන්නට නියමිතය.ඒ වර්තමාන රජය සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා මේ දාගැබ සම්පූර්ණ වශයෙන්ම තහවුරු කරලීමට තීරණය කර තීබිමයි.

     දීඝවාපී දා ගැබේ මෑත කාලීන පුරාවිද්‍යා කැණීම් ආරම්භ වන්නේ 2011 වසරේ පමණ සිටයි.දැන් ඒ කැණීම් ලහිලිහියේ අවසන් කිරීමේ අදිටනින් පසුවන අතර එහි දකුණු වාහල්කඩ ධාතු ගර්භයක තිබී ශිලාමය ධාතු මංජුසාවක් හමු වීම අශ්චර්යක්ම වී තිබේ.ලංකාවේ පළමු වතාවට එකම මංජුසාවක තිබී සර්වඥ ධාතු තැන්පත් කරන ලද රන් කරඬු හතරක් සම්මුඛ වන්නේය.භික්ෂූන් වහන්සේලා ගේ පමණක් නොව ගිහියන් ගේද පිරිත් හඬ මධ්‍යයේ මේ ධාතු මංජුසාව පුරාවිද්‍යා කැණීම් නිළධාරීන් විසින් ගොඩගත් අතර සැදැහැති බෞද්ධයන්ගේ සාධු නාදය දස අත ගිගුම් දුන්හ.අනතුරුව ඉතා ශ්‍රද්ධාවෙන් යුක්තව මෙම කරඬු පුරාවිද්‍යා රසායනික සංරක්ෂණ නිළධාරීන් විසින් විවෘත කළහ.රන්කරඬු හරතක් පළිඟු කරඬුවක් ආදීවශයෙන් මේ ධාතු කොටස් හඳුනා ගන්නට උත්සාහ ගන්නා ලද්දේ මින් අනතුරුවයි.දැන් අම්පාර මහදිසාපති තැන්පත් ඩී.එල්.එම්.බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණය යටතේ මේ සර්වඥධාතුන් වහන්සේලා දිසාලේකම් මැදුරේ විශේෂ කුටියක තැන්පත්ව තිබේ.

      ස්ථූපයක ගර්භය තුළ ධාතු තැන්පත් කල පසු කාලාන්තරයක් තිස්සේ වන්දනාමානයට ලක්ව ජරාවාසව ගිය කල්හි පසුකාලීන රජවරු තව තවත් ධාතුන් වහන්සේලා තැන්පත් කොට නැවත තහවුරු කරලීමට පෙළඹේ.වාහල්කඩ සැළකෙන්නේ ස්ථූපයට ඇතුල් වන දොරටුව ලෙසටයි. සද්ධර්මාලංකාර කතා වස්තුවේ සිරිනාග වර්ගයේ දක්වන පරිදි ඒ රජු ධාතු ගර්භ කඩා නිධන් ගත් කෙනෙකි.ධාතු ගර්භයට ඇතුල් වෙන සන්ධිය දන්නේ මේ ස්ථූපයන් රකින පුද්ගලයන් පමණකි.අනුරාධපුරයේ හෙල්ලොලි නම් ගම එක් චන්ඩාලයෙන් මේ සන්ධිය දනිතැයි අසා ඒ  රහස් හෙළ කිරීමට බල කළ බව දැක්වේ. නමුත් දාගැබ් බිඳුවීම පඤ්ඤානතරීය පාපකර්මයක් බව දත් චණඩාල උපාසක එය නොකී කල්හි ඒ පුද්ගලයන්  උල හිඳුවා ඝාතනය කළ බව ඒ කතාවේ කියාපායි.කෙසේ වෙතත් දීඝවාපී ධාතු ගර්භයට ඇතුල් වන දකුණු වාසල් කඩේ මේ ධාතුන් වහන්සේ තැන්පත් කරන්නට ඇත්තේ සිරිනාග රජුට පෙර සිටි භාතිකාභය වැනි රජුන් අනුදත් ධාතු තැන්පත් කරලීමේ පූජාඋත්සව ආදර්ශයට ගෙන බව නිසැකය

 


   

 

 

 

 නැගෙනහිර පළාත් වශයෙන් වර්තමානයේ දී හඳුනාගන්නා මේ ප්‍රදේශය පැරණි දිගා මඩුල්ලයි.දීඝායු කුමරු ට දුන් මේ පෙදෙස ඒ නමින්ම හඳුන්වා තිබීම අදටත් ජනප්‍රවාද ගතය.දඹදිව ශාක්‍ය ජනපද වල සිට සංක්‍රමණය වූ බුදුන් වහන්සේ ගේ ඥාතීන් මේ පෙදෙස් වල පැලපදියම් වූයේ මහින්දාගමනයටත් පෙර සිටය. විජයාගමනයෙන් පසුවත් මේ පරපුරු සහ කාලිංග දේශය අතර සිදු වූ විවාහ සබඳකම් ඉතිහාසයට රහසක් නොවේ.දීඝ මණ්ඩලය අතීතයේ දී ඉතාමත් සශ්‍රීක ප්‍ර දේශයක් විය.ගොවිතැන් බතින් සුලභ කරන ලද ජන ජීවිතය ආලෝකමත් කරන ලද්දේ ප්‍රසිද්ධ නාවිකයන් විසින් වරින් වර සම්බුද්ධ ශාසනයට කරන ලද පූජාවන් කරණ කොටගෙනය.වෙසෙසින්ම නාගයන්ගේ ආධිපත්‍ය මත සිංහල රජවරු ද නාග නාමකරණය වී මෙම පළාතේ දේශපාලන බලය තහවුරු කර ගත්හ. අනතුරුව සම්බුද්ධ ශාසනය වෙනුවෙන් විශාල පූජාවන් ඉටු කළහ. නැගෙනහිර පළාතේ තැනින් තැන විසිරී තිබෙන දහස්ගණනක් ස්ථූප නටබුන් මෙයට සාක්ෂි සපයයි.

    සෙනරත් රජුගේ කාලයේ දී ඔහුගේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට තිබූ දුෂ්කරතා නිසා නැගෙනහිර පළා ශක්තිමත්ව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ද මතුවිය.  විදේශිකයන් නිතරම මේ වෙරළ තීරයෙන් රටට ගොඩ බැස වානිජ ආධිපත්‍ය පවත්වා ගැනීමට මාන බැලීය.සෙනරත් රජුට එරෙහි සිංහල කුමාරවරු ද මේ විදේශිකයන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළහ. මේ අතර පෘතුගීසීන් ගේ තාඩන පීඩනවලට ලක්වූ දකුණු ඉන්දීය මරක්කලයන් සෙනරත් රජුගේ ආරක්ෂාව අයැද සිටියිහ. රජු මොවුන් කෙරෙහි අනුකම්පා කොට අවතැන් වූ පිරිස දිගාමඩුල්ලේ පදිංචි කරන ලද්දේ ඒ ගම් නියම්ගම්වල රාජකාරි පිණිසමය. එහි සිටි සිංහල පිරිස සමග මිශ්‍ර වන ලෙසටද කියා සිටි බවට කතාවක් ඇත.

     අවසාන වශයෙන් මේ දිගාමඩුල්ල සංවර්ධනය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු අතිනි. එතුමා දීඝවාපී විහාරය ට වී බිජු අමුණු දහසක පමණ ඉඩම් පූජා කර ගල් සන්නසක් පිහිටවූ අතර දැනට දක්නට ඇත්තේ එහි පිටපතක් පමණි. කෙසේ වෙතත් ඉංග්‍රීසි පාලන සමය වන විට මේ ප්‍රදේශයේ සිංහල ජනගහනය ක්‍රමයෙන් අඩු වන්නට විය. මේ පළාතේ දෙමළ පාසල් පිහිටුවීම නිසා සිංහල ජනතාවද වැදි ජන වර්ගයන්ද ද්‍රවිඩ බස සිය මව් බස කර ගත්හ.මේ අතර ඉංග්‍රීසීන් ගේ සේවවාන්ට එකතුවී මරක්කලයන් ධනයෙන් හා රජකාරි බලයෙන් ශක්තිමත් වූහ.1916 වසරේ දී පූජ්‍ය කොහුකුඹුරේවත ස්වාමීන් වන්සේ විසින් දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ නැවත සොයා ගන්නා කල්හි එය ඝන කැලෑවෙන් වටව තිබූ ගඩොල් ගොඩක් පමණක් විය. විසිවන සියවසේ මුල් භාගයේ දී වාරිමාර්ග කටයුතු සඳහා බඳවා ගත් මරක්කලයන් මේ දාගැබේ ගර්භය බිඳ වාහල්කඩ බිඳ එහි තිබෙන ගඩොල් ද කලුගල්ද ගලවා ගෙන ගල් අමුණු  ඉඳි කරලීමට කටයුතු කරමින් සිටියහ.මඩකලපුවේ දිසාපතිවරයාව සිටි ඇලන්සන් බේලි මහතාගේ අනුදැනුම ඇතිව මෙසේ දීඝවාපී චෛත්‍ය විනාශ කරමින් සිටි මරක්කලයන් පළවා හැර එම ස්ථානයේ ගසක අත්තක් උඩ නවාගැන් ගත් රේවත හිමියන් ඉතා දුෂ්කර ලෙසට දිවි ගෙවමින් පැරණි බෞද්ධ උරුමය අරක්ෂා කොටගත් බව මෙහිදී මතක් කළ යුතුය.                                               

       දීඝවාපී චෛත්‍යය ස්ථානය නොයෙකුත් සතුරු ආක්‍රමණ මධ්‍යයේ ජරාවාසව ගිය කල්හි නිදහස් ලංකාංවේ ප්‍රථම වරට එහි කැණීම් හා සංරක්ෂණ කටයුතු ආරම්භ වන්නේ හැටේ දශකයේ දීය.ඒ පිළිබඳ වාර්තා රාශියක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතී. අනතුරුව අවස්ථා කීපයකදීම මෙම කටයුතු නැවත ආරම්භ කරන ලද නමුත් කොටි ත්‍රස්ත සමයෙන් පසුව ඒ කටයුතු සියල්ල අඩාල විය. එම ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන සිටි මුස්ලිම් අන්තවාදී මන්ත්‍රීවරු තම බල වපසරිය තුළ විශාල විනාශයක් කළහ.

 

 

 දීඝවාපී සෑයේ පරිවාර සෑරදුන් හතරක් තිබූ අතර ඉන් ඒක් ස්ථූපයක් මේ මුස්ලිම් අන්තවාදීන් විසින් ඩෝසර කරන ලදහ.දැනට එක් පරිවාර චෛත්‍යයක් පමණක් සංරක්ෂණයට බඳුන් කර තිබේ. කෙසේ වෙතත් දෙමළ කොටි පරාජය කරලීමෙන් පසු නැවත 2011 වර්ෂයේ දී නැවත මේ ‌ෙඑතිහාසික ස්ථානයේ වැඩකටයුතු ආරම්භ කරන ලද්දේය.එහිදී සල පතුල මලුවේ කරන ලද කැණීම් වලදී ඉතා වැදගත් ශීලා ලේඛන කීපයක්ද ලැබී ඇති අතර සිවිල් ආරක්ෂක බලකයේ සහයෝගයෙන් ස්ථූපයේ සංරක්ෂණ කටයුතු ද දිගින් දිගටම ක්‍රියාත්මකවේ. වර්තමාන කැණීමේ දී හමූ වූ වැදගත්ම සාධකය නම් නිධන් සොරුන් විසින් විනශ කරන ලද දක්ෂිණ වාහල් කඩ ආසන්නයේ සම්මුඛ වූ ධාතු මංජුසාවයි. මේ සමග ලැබුණු අකුරු කෙටූ රන්පත් කීපය ඉතා වැදගත්ය. මීට පෙර බටහිර වාහල්කඩ අසල කැණීමේ දීත් මෙවැනි රන්පත් ඉරුකීපයක් දැක ගන්නට ලැබී තිබේ. මේ පත් ඉරු වල ලේඛන වලට අනුව මලුතිස නොහොත් කණිෂ්ට තිස්ස නම් රාජ්‍ය කාලයේ එනම් ක්‍රි.වර්ෂයෙන් යට දෙවනි සියවසේ දී මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නට අතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක් මහතා සහ මෙම ස්ථානයේ කැණීම් භාර නිළධාරී සේනක චන්ද්‍රකුමාර මහාත පවසයි.මෙහිදී ලැබී තිබෙන රන් කරඬු හතර සුවිශේෂීය මීට පෙර නිධන් හොරුන් විසින් සහ අන්තවාදීන් වසින් නැගෙනහිර මොට්ටාගල සහ හිරුකෝවිල් දාගැබ් ඩෝසර කිරීමේ දී ලැබුණු ධාතු කරඬු වලට මේවා සමාතය. වෙනසකට පවතින්නේ එකම ස්ථානයකින් කරඬු හතරක්ම ලැබීමයි.මෙහි සතරැස් කොටුවේ රන්වන් ධූර ඡත්‍ර පැහැදිලිවම දර්ශනය වීම කෙතරම් භාග්‍යයක්ද. එදා භාතිකාභය රජ දවසදී මහාචෛත්‍ය පාදයේ පටන් ධූර ඡත්‍රය දක්වා සුවඳ කලලින් ආලේප කරන ලදැයි මහාවංශයේ දැක්වේ.ශ්‍රද්ධ සම්පන්න මහරජවරු ධූර ඡත්‍රය ගැන මහත් සැලකිල්ලක් දක්වා ඇත.ඒවා රන්කරඬු ආකෘතිවලද සටහන් කළහ. වසර විසිඅටක් අනුරාධපුරයේ රජකල කණිෂ්ට තිස්ස නොහොත් මලුතිස රජු මහා ශ්‍රද්ධ සම්පන්න රජෙකු බව මේ ධාතු පූජාවෙන් පැහැදිලි වේ.

    දීඝවාපී චෛත්‍යට පළන්දන ලද ධජයක් සුළඟේ ගසාගෙන ගොස් කුඹුරක වැටී තිබියදී පොරෝනයක් ලෙසට පරිහරණය කිරීමේ පාපයෙන් ප්‍රේතයෙක් ලෙසට ඉපැදුණු කෙළෙඹි පුත්‍රයෙකු ගැන බණකතා සාහිත්‍යයෙහි සඳහන් වෙයි.ඒ ප්‍රේතයාට සුගතිය අත්කර දීමට හැකිවූයේ පතාක දහසක් දීඝවාපී චෛත්‍යයට පූජා කරලීමෙනි.ශ්‍රද්ධා සම්පන්න ගුණයෙන් හෙබි සිංහල බෞද්ධයන් මේ හොඳ නරක දෙකම හොඳින් දනී. නමුත් සුමග නොයන්නේම මේ රටේ දෙශපාලකයන් සහ අන්තවාදීන් පිරිසයි.දීඝවාපී ස්ථූපයෙන් ලැබුණු මේ අගනා ධාතු සම්පත්තිය දක්වා මේ රටට හඬනගා කිය යුත්තේ පෙර රජවරුන් ගිය මග ගැනීම කෙතරම් අර්ථවත්ද යන්න නොවේද.

මතුගම සෙනෙවිරුවන්

                                                                                      

           

Tuesday, November 10, 2020

ව්‍යවස්ථා චෞරයෙකු සමග අලුත් ව්‍යවස්ථාවක් සැකසිය හැකිද


         ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පත් කරගන්නා ලද නව රජය ස්වකීය ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.මේ කරුණ සාකච්ඡා කිරීමේ දී පැවති ආණ්ඩුකම ව්‍යවස්ථා පිළිබඳ විමසීම කරනු වටී. එංගලන්ත රැජින යටතේ ස්වාධීන පාලනයක් ලංකාවට ඇති කරලීම පිණිස 1948 දී සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග  යම් පමණක දේශපාලන නිදහසක් රටට හිමි විය. නමුත් ලංකාව පූර්ණ වශයෙන් රැජින ගේ පාලනයෙන් මිදී නිදහස ලබනුයේ 1972 වසරේදීය.ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් සැකසුණු 1972 ව්‍යවස්ථාව තුළ මෙතෙක් සිංහලේ නැතිනම් සිංහල ද්වීපය යනුවෙන් භාවිත කල රට ශ්‍රී ලංකාව බවට පත් විය.කොල්වින් ආර්.ද සිල්වා මහතා වරක් පිළිසඳර කතාබකදී පවසා ඇත්තේ එකල සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාපේක්ෂව එම නාමය ඇති කළ බවයි.1977 වර්ෂයේ දී විශාල ජන වරමක් ලබාගත් ජේ.ආර්.ජයවර්ධන මහතා 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලබා දෙමින් විධායක ජනපති ක්‍රමය ලකාවට දායාද කලේය.ඒ සමගම ඔහු ලංකාවේ ජීවත් වූ පාරම්පරික සිංහලයන් සහ ලියාපදංචියෙන් පුරවැසිකම් ලැබූ විදෙස් ජන වර්ග එක මට්ටමක ලා සලකමින් පුරවැසි භාවය පිළිබඳ නව වගන්තියක්ද ඇතුලත් කලේය.එසේම එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නිර්දේශයන් මත ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් ඡෙදය වඩා බල ගන්වමින්  එය මගින් ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන බවටද ප්‍රතිපාදනද ඇතුලත් කලේය.1978 සිට 2020 දක්වා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන විස්සක් ගෙනවුත් තිබේ. මේ සංශෝධන ගෙන ඒමට මුල් වූයේ හුදෙක් දේශපාලන කාරණාය.අතැම් විට බලයේ සිටි පුද්ගලයන්ගේ බලය වැඩි කර ගැනීමටද විරුද්ධ පක්ෂයේ අයට චන්දයට ඉදිරිපත් වීමට නොහැකිවන ලෙසටද ගෙනා සංශෝධන විය. එලෙසම විවිධ ජන වර්ගයන් සතුටු කිරීමට සහ ඔවුන් ගේ බලය වැඩි කර දීමට ගෙනා සංශෝධන ද විය. උතුරේ සහ නැගෙනහිර පළාත් වල දෙමළ  පාරිපාලන භාෂාව කරන ලද්දේ 16 වන සංශෝධනය මගිනි.නමුත් මේ සංශෝධන වලින් කිසිවිටක සිංහල බෞද්ධයන් ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීමට එකදු පියවරක් තැබීමට නොහැකි විය.

     13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බෙදුම්වාදය ශක්තිමත් කර ලීමට පියවර කීපයක් තැබූ ආකාරය මේ වන විට පැහැදිලිය.ඉන්දියාව සහ ඇමරිකාව කරන ලද බලපෑම් මගින් මේ කටයුත්ත සඳහා මෙරට අතරමැදියන් පත් කරතිබුණි.19 ගෙන ඒමට ජයම්පතී වික්‍රමරත්න සහ එම්.ඒ .සුමන්තිරන් වැනි අය මැදිහත් වී සිටියහ.19 සම්මත වන කල්හි 1978 ව්‍යවස්ථාවේ 70(1) ව්‍යවස්ථාව අනුමත කරන ලද්දේ 2002 ශ්‍රේෂ්ඨාධීකරණ තීරණයන්ට පටහැනිවය. එසේම කාරක සභා අවස්ථාවේ දී මන්ත්‍රීවරුන්ට කොලේ වසා නොයකුත් සංශෝධන ඇතුලත් කරන ලද්දේ විය.මේ අවුල විසින් යහපාලන රජය පරිහානියට ගෙනයන ලද්දේය. ඔවුහු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කරමින් වසර කීපයක් කල්මරමින් සිට ඔරුමිත්ත නාඩු නම් බෙදුම් වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්මත කරගන්නට උත්සාහ දරනු ලැබීය.මේ සම්බන්ධයෙන් රට පුරා ඇති වූ විරෝධය ඉතා මහත් විය.ඇතැම් කරුණු සඟවා ගන්නට උත්සාහ කළ ද ඒවා වේගයෙන් ජනතාව අතරට සන්නිවේදනය විය.ඒ අතර යුධ අපරාධ චෝදනා රණ විරුවන් සිරගත කිරීම් ආදිය නිසා ජනතා අප්‍රසාදය දිනෙන් දින උත්සන්න විය. 

     ජනතාව නව නායකයෙකු කෙරෙහි විශ්වාසය තබන ලද්දේ ඒ නිසාය. 19 ව්‍යවස්ථාව මගින් මහින්ද රජපක්ෂ මහතාට නැවත ජනපතිවරණයට ඉදිරිපත් වීමේ ඉඩකඩ අසුරා තිබුණි.එසේම ද්විත්ව පුරවැසියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාටද එම පුරවැසි කම නිසා මෙරට නායකත්වයට පත් වීම පිණීස අවස්ථාව අහිමි කර තිබුණී.නමුත් චන්දයෙන් පරාජයට පත් කරන ලද මහින්ද රජපක්ෂ මහතා ජනතා අනුකම්පාව දිනමින් නැවත ජනප්‍රියත්වයට පත් වීමත් සමගම නව නායකයෙකු ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහාතාට පිළිගැනුමක් ඇති විය. ඒ ඔහු ආරක්ෂක ලේකම්වරයා ව සිටි සමයේ කල සපන්කම් නිසාවෙනි. වෙසෙසින්ම යහපාලන කාලයේ උත්සන්නව පැවති මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ග මුස්ලිම් අන්තවාදය දෙමළ බෙදුම්වාදය මෙන්ම රාජ්‍ය සේවයේ බිඳ වැටීම් ජය ගන්නට නම් ඔහු වැනි සෘජු නායකයෙකු පත් විය යුතු යැයි මතයක් සමාජ ගත විය.2019 වසරේ වත්මන් ජනපති වරයා ජයග්‍රහණය කරන ලද්දේ මේ සියලු කාරණා එකට ගොනු වීමෙනි.

      ලංකාවේ දේශාපාලනය තුළ ව්‍යාකූල තත්වයක් ඇති කරන ලද 19 වන සංශෝධනය ඉවත් කිරීම කළ යුතුම දෙයක් විය.එදා 19ට විරුද්ධව සිය චන්දය භාවිතා කල එකම මන්ත්‍රීවරයා සරත් වීරසේකර මහතා පමණි. මහින්ද රජපක්ෂ මහතා ගේ සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපති වරයාගේ මැදිහත් වීම මත  බොහෝ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 19 ට පක්ෂව චන්දය භාවිතා කළහ.එසේ භාවිත කිරීම විශ්ලේෂණය කරන විට දැන ගන්නට ඇත්තේ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන විට සහ කාරක සභා අවස්ථාවන්හිදී මන්ත්‍රීවරුන්  අදාල වගන්ති වලට නිසි අවධානයක් යොමු කොට නැති ආකාරයයි.සභා මේසයට පැමිණෙන කෙටුම්පත් කියවා නොබලා අත් ඉස්සීම සුලභ දෙයකි. හිතු හිතු ලෙස කල ව්‍යවස්ථා සංශෝධන නිසා 19 අවුලක් බවට පත් වූයේ එලෙසයි. නමුත් තමන්ගේ අරමුණු කර යමින් සිටි ව්‍යවස්ථා චෞරයන්ට එනම් රනිල් වික්‍රමසිංහ ජයම්පතී වික්‍රමරත්න සහ සුමන්තිරන් වැන්නවුන්ට මේ වංචාව ක්‍රීඩාවක් විය.කෙසේ වෙතත් අද වන විට 19 නැවත ආපිට  හරවා යවා ඇත. ඒ සඳහා 2020 අගෝස්තු මාසයේ දී ගෙන එන ලද 20 ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළ සැණින් ජනතාව ඉදිරියේ එය මහත්  කලබගෑනියක් ඇති කරන ලද්දේය.  වෙසෙසින්ම ද්විත්ව පුරවැසි බාවය ඉවත් කිරීම රාජ්‍ය සමාගම් විගණනය ඉවත් කිරීම ප්‍රතිඥාව ඉවත් කිරීම අමාත්‍ය මණ්ඩල සීමාව ඉවත් කිරීම ආදී කරුණු එම පනතේ තිබූ බැවින් වෙසෙසි සාකච්ඡාවට බඳුන් විය.ශ්‍රේෂ්ඨාධීකරණයේ දී අභියෝගයට ලක් වූ වගන්ති හතර ගැන නීතිපතිවරයා සහ අධීකරණ ඇමතිවරයා සැලකිල්ල නොදැක්වීම මේ අවුලට තවත් හේතුවක් විය.ජනමතවිචාරණයට තුඩුදෙන මේ වගන්ති හතර නිසා 76 ව්‍යවස්ථාවෙන් කියැවෛන් ව්‍යවස්ථාදායක බලය අත් හැරීමක් ද සිදුව ඇත.අවසානයේ ජනතා විරෝධය මත ආණ්ඩුව පියවර කීපයක් පස්සට තබා ගනිමින් ජාතික සංවිධාන ඇතුලු භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් වලට කන්දුන්හ.

     2020 ඔක්තෝබර මාසයේ 20 වන දින 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සංවාදයට බඳුන් විය. ඒ මෙම පනතට දුන් ශ්‍රේෂ්ඨාධිකරන තීරණය ද සභාගත කරමිනි.නමුත් එය සභාගත කරන ලද්දේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණකි.ඔක්තෝබර 20 වන දිනට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුප පැස්කුවල් මහතා ස්ථාවර නියෝග යටතේ  මෙම ඉහළ උසාවියේ නියෝග වල සිංහල පරිවර්තනයක් ලබා දීය යුතු යැයි ඉල්ලීමක් කරන ලදී. නමුත් පාර්ලිමේන්තු ලේකම්වරයාගෙන් එය සිදු වී නැත.හැන්සාඩ් වාර්තාවටද සිංහල පරිවර්තනය ඇතුලත් වී නැත. 

20 සම්මත කරන ලද්දේ යම් සංශෝධන කීපයක් සමගිනි. ද්විත්ව පුරවැසි භාවයට මරාගත් ජනපති වරයා සහ ආණ්ඩුව 1978 සිට 2015 දක්වා සිංහලයන්ට විරුද්ධව ගෙනා සංශෝධන අකුලා ගන්නට කිසිම තැතක් නොදරන ලදී.ඒ වෙනුවට දේශපාලන වශයෙන් සහ පුද්ගලිකව වාසිදායක වන සංශෝධන සඳහා උනන්දු වූ බව පැහැදලිය.   එයට අමතරව කාරක සභා අවස්ථාවේ දී අධිකරණ අමාත්‍ය වරයා 20 පනත් කොටුම්පතේ නොවූ නමුත් 19 යටතේ 46(4) වශයෙන් තිබූ වගන්තිය එනම් ජාතික ආණ්ඩුවක් ඇති කර ගෑනීමට  ලබා දී තිබෙන බලය පිළීබඳ ප්‍රතිපාදනය නැවත ඇතුලත් කර තිබේ.මෙම ප්‍රතිපාදනය ඉහල උසාවියේ පවා ප්‍රශ්න කරඇති අතර යහපාලන කාලය තුළම ජනතා විවේචනට ලක් ව තිබුණි.මේ සංශෝධන සියල්ල ඔහු සාකච්ඡා කරනුයේ නැතිනම් සභාගත කරනුයේ ඉංග්‍රීසි භාෂාවෙනි.සිංහල බසින් හොඳින් කතා කළ හැකි අධිකරණ ඇමතිවරයා සිංහල භාෂා පාඨයට තිබෙන මුල් තැන ගැන නොදන්නවා නොවේ.අතැම් විට ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි පිටපතේ එක තිතක් වෙනස් කිරීමෙන් අර්ථය ද වෙනස් කළ හැකි බව ඔහු දන්නවා ඇත. උදාහරණ වශයෙන් 9 වන වගන්තිය සහ 76 වගන්තිය ගත හැකිය. ඔහු සටකපට අන්දමින් ඉංග්‍රීසි බසින් සංශෝධන ඉදිරිපත් කරමින් සිටිනාතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද රීති ප්‍රශ්ණ අසමින් සභාවේ අවධානය වෙනත් තැන් වලට යොමු කළ ආකාරය 2020 ඔක්තේබර 22 හැන්සාඩ් වාර්තවෙන් බලාගත හැකිය. කෙසේ වෙතත් සිංහල බෞද්ධ නායකයෙකු වශයෙන් මහත් විශ්වාසයක් තැබූ ගෝඨාභය රජපක්ෂ මහතා සිය අධීකරණ අමාත්‍යවරයා මගින් ජනතා විශ්වාසය වංචනික ලෙසින් කඩ කරතිබේ. අලුත් ව්‍යවස්ථාවක් සෑදිමටද භාර දී ඇත්තේ ද මෙවැනි චෞරයෙකුටය.මේ තටයුත්තට විද්වත් කමිටුවක් පත් කර තිබුණද එම කමිටුවේ එක් පුද්ගලයෙකුට ඇරෙන්නට මෙවැනි භාරදූර වැඩක් ගොඩ දාන්නට අනෙක් අයට තිබෙන සුදුසුකම් මොනවා ද යන්න ප්‍රශ්ණයකි.ඒ අතර අලුත් ව්‍යවස්ථාව ගෙන ඒමට ගන්නා ලද මුල් පියවරෙන්ම මේ චෞරයන් ගේ හැටි  තවදුරටත් අනාවරණය වේ.

     ඒ සඳහාද උදාහරණ මෙහි දැක්විය හැකිය.එනම් යහපාලන රජය විසින් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවත් ජනතාවගේ අදහස් විමසීමට දැමූ පුවත් පත් දැන්වීමත් වර්තමානයේ අධිකරණ ඇමතිවරයා දැමූ පුවත් පත් දැන් වීමත් පෙන්වා දිය හැකිය. යහ පාලන පුවත්පත් දැන්වීම තුළ අදහස් දැක්විය යුතු වගන්ති 20 ක් ඇතුලත් විය. එහිදී බලය බෙදීම බල හවුල්කාරිත්වය වැනි බෙදුම්වාදී මාර්ග  ගැන අසා තිබුණී. වර්තමාන පුවත් පත් දැන්වීමේ ඇත්තේ වගන්ති 12ක පමණකි.  ආගම පුරවැසි භාවය ආදී මූලික වැදගත් කරුණු  එහිදී මහජන අදහස් විමසීමෙන් ඉවත් කර තිබේ. ඒ අතර යහපාලන දැන්වීමට සමාන බලය බෙදීම යන කාරණයද ඉස්මතු කරතීබීම විශේෂයකි. මෙයින් අප තේරුම් ගත යුතව ඇත්තේ ව්‍යවස්ථා චෞරයන්ට ජනතාව රවටා හිතු හිතූ දේ කරගන්නට අවස්ථාවක් ලැබී ඇති බවයි.මුස්ලිම් මන්ත්‍රීවරයෙකු වන අලි සබ්‍රි මහතා කොරොනා නිසා මිය යන මුස්ලිම් මිනිසුන් ගේ භූමදාන කටයුතු නීතියෙන් කරගන්නට විශේෂ උත්සාහයක් දරයි.පවිත්‍රා ඇමතිතුමිය ඒ ගැන සලකා බැලීමට කමිටුවක්ද පත් කර තිබේ.නමුත් සිංහල බෞද්ධයන්ගේ චන්දයෙත් පත් වූ මන්ත්‍රී වරු අඩු ගණනේ පාර්ලිමේන්තු වගකීම් වත් ඉටු කර නැති බව පෙනේ . ජාතික ආණ්ඩු වගන්තිය නැවත ඇතුලත් කරන විට මේ මන්ත්‍රිවරු එයට කිසිම අවධානයක් යොමුකර නැත.

 වන විට පළ වී තිබෙන හැන්සාඩ් වාර්තාව පවා කියවා ඇත්දැයි සැකයකි.මෙවැනි තත්වයක් තුළ අලුත් ව්‍යවස්ථාවක් ගෙනවුත් රටේ එකීය භාවයද බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානයද හිමින් සැරේ ඉවත් කරන්නට මේ චෞරයන්ට හැකිය.ව්‍යවස්ථා මර උගුලක් ගැන අපට නැවත කතා කරන්නට සිදුව තිබෙන්නේ   සෞභාග්‍ය  සඳහා යන ගමනට චෞරයන් ද සාභාගි කරගෙන ඇති බැවිනි.



Tuesday, November 3, 2020

කුරුණෑගල විස්තරය සහ පැරණි තැන් හඳුනා ගැනීමේ ප්‍රවේශය

 

 

 

                                

            ලංකාවේ පස්වන රාජධානිය වශයෙන් සැලකෙනුයේ කුරුණෑගල නොහොත් ඇතුගල් පුරයයි.මහා පර්වත තුනක් ආශ්‍රයෙන් ගොඩ නැගුණු කුරුණැගල රාජධානිය නිල වශයෙන් ආරම්භ වනුයේ වත්හිමි බුවනෙකබාහු නොහොත් දෙවන බුවනෙකබාහු රජුගේ මූලිකත්වයෙනි.පොළොන්රු රාජධානිය බිඳ වැටීමෙන් පසු කාලිංග මාඝ ආක්‍රමණ වලට මුහුණ දී ගත නොහී දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටියේ සඟවා තැබූ කාලවකවානුවක තුන්වන විජයබාහු නොහොත් වත්හිමි විජයබාහු රජු විසින් දඹදෙණීය සිය රාජධානි කොට ගෙන ඇති කළ නවයුගය ලංකාවේ අනාගතයට බෙහෙවින්ම වැඩදායක විය. නමුත් ඉතා කෙටි කලක් දඹදෙණිය රාජධානිය පැවතුණි. ඉන්පසු යාපහුව බලකොටු නගරයේ ආරක්ෂක රැකවල් මැද සිටි අතර දලදා වහන්සේ පවා පැහැර ගන්නට යෙදිණ.පසුව මේ සියලු සතුරු කරදර ඉවත් කොට ගෙන නැවත දළදා වහන්සේ කුරණෑගලට වැඩමවා නව රාජධානියක් ස්ථාපිත කරන ලද්දේය.දළදා වහන්සේ කුරුණැගලට වැඩමවන අතරවාරයේ නගරයට ආසන්නයේ රත්කැරැව්වේ අනුරාධපුර යුගයට අයත් පැරණි පුදබිමකදී දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පෑම කුරුණෑගල ස්වර්ණයමය යුගය ගැන කියාපෑමක් විය. කුරුණෑගල ජනාවාසයට ඈත අතීතයක් තිබෙන බව නගරය අසල විල්බා දනව් පුවත් වලින් පැහැදිලිය.පර්වතයන්ගෙන් ලැබෙන ආරක්ෂාව හාත්පසින් ගලන සිසිල් දියදහරාවන් ගෙන් ඒවා හරස් කර බඳවාලූ වැව් සහ කුඹුර වල සශ්‍රීකත්වය මනරම් වන උයන් දැක සැනහුණූ ජනී ජනයා හට නායකත්වය දුන් ප්‍රභූ දනන් නිසා කුරුණැගල රාජධානිය ඉතිහාසයේ යම් සන්ධිස්ථානයක් බඳු විය.මේ රාජධානියේ පිහිටීම සහ සේවාවන් ගැන ලියැවුණු පැරණිතම විස්තරයක් වනුයේ කුරුණෑගල විස්තරයයි.මේ එහි දක්වා සිටින තොරතුරු සමුදායයි.

      හිරු නමස්කාර කරණ ගල පිට පහුරු සතරක් හා ගල උඩ මාලිගා සතරක් හා ගල පහළ පහුරු සතරක් නුවරට ආධාර බැම්මක් හා කුරුමිණියාගලට පහතින් අසූරියන් මහ ගබඩාවක් හා සැතපෙන මාලිගාවෙ සිට ඉබ්බාගලට පන්තිස් බඹයක් හා සැතපෙන මාලිගාවෙ සිට බස්නා අතට තිබෙන මහගල් තාප්පෙ විසි බඹයක් හා සැතපෙන මාලිගාවේ සිට දකුණු දිහාවට තිබෙන නිරාවිය දොලොස් බඹයක් හා ඌරාලින් තුන්සියයක් හා මහබල ඇමතියන්ගෙ ගෙවල් පන්සීයක් හා නළු නාටක ස්ත්‍රීන් වසන ගෙවල් පන්සීයක් හා රදා ගෙවල් අට සීයක් හා තුන්සියයක් බෙරවා ගෙවල් හා අටසීයක් බඩහැල ගෙවල් හා සත්සීයක් දඬුබඩු ගෙවල් හා නවසීයක් නවන්දන්න වූ ආචාරි ගෙවල් හා අස්පන්ති හතරක් හා ඇති පන්ති තුනක් හා දඩ මීගොන් පන්ති දෙකක් හා කුරුල්ලන් මඩුවක් හා කුක්කන් මඩුවක් මහවල කඩු හරමයන් සියයක් හා හස්තයට ගත් නෙලුම්මල සෙ නුවර සතර වීදි තැනී තිබෙන්නේය.

     දකුණු දිසාවට තිබෙන නිරාවියට පහලින් ගල් බැඳි ළිඳද උල්පැන් ළිඳද සැතපෙන මාලිගාවෙ සිට බස්නා අතට මහ දුනු සියයක් ගි තැන විල් තෙරක්ද ඒ විල වට සපු දුනුකෙ නා පනා සිහිනිද්ද බෝලිද්ද සමන් බදුවද පෙතන් ගිනිහිරිය කොබෝලීල කටරොලු පිච්චමල් ගැවසුනාය.මෙසේ මහදුනු සියයක් ගිය තැන දළදා මාළිගාවද ඒතැන සිට නැගෙනහිරට නව බඹයක් ගිය තැන කලු ගලෙන් සත් රියනක් කොටා විසි එක් දහසක් මසුරන් තබා උඳු  බිඳක් පමණ බිදලු ශරීර ධාතූන් වහන්සේද එතැන සිට අගලින් එගොඩ මහා දේවාලේද ඊට බස්නා අතින් හැට බඹයක් ගිය තැන නාථ දේවාලේද ඊට හැට බඹයක් ගිය තැන කතරගම දේවාලේද උඩවහල වත්තෙ ආරාධනා මලුවය.

 

 

  පල්ලෙ වාහල වත්තෙ වී ගුලය. උඩගන් පල්ලෙ ගන් පහ කටුබුරුල්ලෙ ගන් දහයද එ හස්ති පුර නුවර බස්නා අත බමුණු වීදියද උතුරු දිගට මහ වීදියද එ නුවරට පර්වත තුනක් ආධාරව තිබෙන්නාය. බස්නා අතින් අඟංගලය. නැගෙනහිරෙන් ලුනු කැටියා ගලය උතුර දිගින් ආඳාගලය. එනුවරට දකුණු දිගින් වීරබාහු ගමය.නැගෙනහිරට මිල්ලව යන ගමය. උතුරු දිගට කටගමුව යන ගමය. බස්නා අතින් තිත්තවැල් ගමය.එනුවර වැව් හතරක් ආධාරව තිබෙන්නේය බස්නා අතින් විල්ගොඩ වැවට හැතැක්මෙක්ද දකුණු දිග වෑනරුවැව හැතැක්ම දෙකක්ද බස්නා අතින් තිත්වැල්ලෙ වැව හැතැක්ම දෙකක්ද උඩවත්තෙ වැව නුවරට සමීපවය.කිඹුල් කොටුවට පහලින් ගල්පාලමද සැතපෙන මාලිගවෙ සිට දකුණු දිගට තිබෙන නීරා දොලසේ භාගයද ඊට බස්නාතින් ගල් බැඳි ළිඳද ඇතුගල පිට ගල බැඳි පොකුණද හුනු පලට මෙපිටින් ගල් බැඳි ළිඳද මෙතැන උනුපැන් පනිවුඩ තැනය.කරල්යාවලට පහළින් කයිකාවල කඩවත පීලිකඩ කඩවතද මරලුවාවෙ කඩවත ඌරුපාකඩේ කඩවතද කලහොගෙදර කඩවතද වදාකඩෙ කඩවතද තිබෙන්නේය.

       මෙම විස්තරයේ සඳහන් බොහෝ නම් ගම් අද මැකී ගොසින්ය. එයට හේතුව වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රමානුකූලව නගරයේ පවතින ඉඩම් වෙන්දේසි කිරීමයි.එසේම ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානයක් වශයෙන් නගරය දියුණු කිරීමද කොළඹ අනුරාධපුර මාර්ගයත් දඹුලු මාර්ගය තැනවීමත් හේතු කොට ගෙන මෙය සිදු විය.ඉහතකී කුරුණෑගල විස්තරය අනුව රජුගේ මාළිගය පිහිටා තිබී ඇත්තේ ඇතුගල මුදුනේය.මාළිගා සතරක් ගැන මෙහි සඳහන්ය. නමුත් මාළිගාවන්හි නටබුන් ප්‍රමාණවත් පරිදි අද දක්නට නොහැකිය.මෙම විස්තරයේ සැතපෙන මාළිගය යනුවෙන් දැක්වෙන ස්ථානය ගල පාමුළ දැනට පැරණි කච්චේරිය පිහිටා තිබෙන භූමිය වන බවට නිසැකය. පැරණී බ්‍රිතාන්‍ය නිළධාරීන් ගේ සටහන් අනුව එය අපට තේරුම් ගත හැකිය.එම මාළිගයේ නටබුන්  පදනම් භාවිත කොට කච්චේරි ගොඩනැගිල්ල තනවා ඇති බව පැහැදිලිය.මාළිගයට නුදුරින් මහදුනු සියයක් ගිය තැන දළදා මාළිගය පවතින බව කියා තිබේ. 2011 දී දළදා මාළිගය යයි දැන් හඳුන්වන වයඹ පළාත් සභා ගොඩනැගිල්ල අසල තිබෙන ගල් උලුවස්ස වටා ගඩොල් බැමි විය. දැන් එය නැත. පඩිපෙළ වෙනම පවතී. මේ උලුවස්ස දළදා මාළිගයක කොටසක්ද යන්න තවදුරටත් විමර්ශනය කළ යුතුය.මෙම ස්ථානයට නුදුරින්වූ  ගල්තලාව මත කැපූ කුඩුම්බි වලවල් කීපයකි. ගල්පඩි කීපයකි.පැරණි මිනුම් ක්‍රම අනුව මහදුන්නක් යනු මහබඹ හතරකි. බඹයකට අඩි හයකි.එවිට මහදුනු සියයක් යනු අඩි හයසීයකි. මේවා පිළීබඳ ගවේශණාත්මක විමර්ශනයක් කිරීමට මේ මිනුම් ප්‍රයෝජනතවත්ය.දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගල් උලුවස්ස සමීප භූමියේ කැණීම් ආරම්භ කර තිබේ.

      සතරවන පරාක්‍රමබාහු සමයේ දී කුරුණෑගලට සතුරු ආක්‍රමණයක් එල්ලවූ බව නාරන්බැද්ද සෙල් ලිපියෙන් දතහැකිය .එම අවස්ථාවේදී බොහෝ තැන් විනාශ වන්නට ඇත. අනතුරුව ගම්පළට රාජධානිය ගෙනයෑමෙන් පසු කුරුණැගල ශ්‍රී විභූතිය අවසන් වන්නට ඇත. පසුව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී උඩරට වැසියන් සහ සත් කෝරලේ වැසියන් ඉංග්‍රීසි ආණ්ඩුවට එදිරිව කල අරගලයේ දී ඒ කැරලි වලට මුහුණ දීමට බ්‍රිතාන්‍ය හමුදාව සිය වාසස්ථාන වශයෙන් කුරුණැගල නගරය තෝරා ගෙන තිබේ. අනතුරව දහනවවන සියවසේ අග භාගයේ දී විශේෂයෙන්ම පළාත් පාලන ආයතන එනම් නගරසභා සහ ලෝකල්බෝඩ් නම් පාලන ආයතන වර්ෂ 1892 දී ඉංග්‍රීසින් විසින් බිහි කරන ලද්දේ නගරවල සනීපාරක්ෂක කටයුතු විධිමත් කරලීමටයි.ඒ අනුව කුරුණෑගල නගරයේ වරින් වර වැඩි දියුණු කිරීම් වලට ඉංග්‍රීසින් අත ගසා තිබේ. විශේෂයෙන්ම ඔවුන්ගේ පරිපාලන ගොඩනැගිලි සංවර්ධනය ට මුල් තැන ලැබී ඇත. රජුගේ සැතපෙන මාළිගයේ කොටස්   ගලවා දමා ඒ අසල කච්චේරි ගොඩනැගිල්ල තැනූ බව පැහැදිලි වන සාක්ෂි එමටය.එසේම පැරණී ගොඩ නැගිලි වල ගල් ගලවා නගරයේ කාණු පද්ධතිය සකස් කළ බවට හැඟවෙන ලියවිලි කීපයක් ලෝකල් බෝර්ඩ් වාර්තා වල දක්නට ඇත.

 

 


  ඉන්පසු නගරයට ජලය සැපයීම ගැන ඔවුන් උනන්දු වී තිබේ. ගල මුදුනේ සිට ගලන සිසිල් දිය ඇළි ගල පහළට දිය ඇල්ලක් මෙන් වැටී ගලා ගිය මනරම් පරිසරයක් කුරුණැගලට තිබුණි. හතරවටේ වැව් හතරකි.වේනරු වැවත් උඩවත්ත වැවත් තිත්ත වැල්ලවැවත්(සාරගම) අදටත් ජීවමානව තිබේ. නමුත් වීල් ගොඩ වැව මැදමීගහවැව මෙන්ම කොකටියාව යන වැව් විනාශ වී ඒ මත ගොඩ නැගිලි ඉඳිවී තිබෙන ආකාරය දැකිය හැකිය .විල්ගොඩ වැව සෑදී ඇත්තේ විල් පහක් එකතු වීමෙනි.වේනරු වැව ගැන අගනා පුරාවෘතයක් බ්‍රොහියර් මහතා දක්වා තිබේ. ඒ මෙසේය.පුරාණයේ එක් නියන් සමයක වැව් සියල්ල හිඳි ගිය නමුත් වේනරු වැව පමණක් ජලයෙන් පිරී තිබුණි. මේ නිසා අලි ඇතුන් සහ වන සීපාවුන් විශාල ප්‍රමාණයක් වතුර බීමට පැමිණෙන්නට පටන් ගෙන ඇත.මිනිසුන්ට වතුර හිඟ වන්නට පටන් ගැණුන හෙයින් එක්තරා මහලු කාන්තාවක් විසින් කොළ පැලැල්ලක් වියා වැව ආවරණය කරන ලදී. නමුත් මේ පැලැල්ලත් කඩා ගෙන පැමිණි අලි ඇතුන් නිසා කෝපයට පත් කාන්තාව ශාපයක් කලේලු. ඒ ශාපය නිසා අලි ඇතුන් ගල් වී ඇතුගල සැදුණු බවද කියයි. කොළ පැලැල්ලෙන් ආවරණය වූ ප්‍රදේශයේ පිහිට කන්ද අදටත් කොළ පැලලි කන්ද ලෙසට ව්‍යවහාර වෙයි.

   වර්තමාන කුරුණැගල නගරයේ පිහිටි වැව උඩවත්ත වැව ලෙසට කුරුණෑගල විස්තරයේ දක්වා තිබේ. පසු කාලයේ එයට රන්තලියේ වැව යයි කීවේ. වත්හිමි කුමරු ගේ කාලයේ දී රන්තලියක් මතුවීම නිසාවෙනි. මෑත කාලයේ මෙම වැව පිළිසකර කරන විට වසර 900 ක් පමණ පැරණි යැයි සැලකෙන අඩි 32 ක් දිග කුඹුක් දැවමය විශාල ඔරුවක් මතුවී ඇත. එය දැනට පුරාවිද්‍යා කාර්යාලය අසල තැන්පත් කර තිබේ.වැවේ වාන පිහිටා තිබී ඇත්තේ යන්තම්පලාව පැත්තෙනි. වානවීදිය යයි නාමයක් තවමත් දක්නට ඇත. පුරාණ රජපිහිල්ල රජුන් ස්නානය කළ තැනයි.එම ස්ථානයේද ඇත් කඳ විහාරය අසලද පැරණි ළින් දෙකක් තිබී ඇත. 1883 දී මෙය අලුත්වැඩියා කර ඇත. ඊට අමතරව 1895 දී අධිකරණ කාර්යාලය භූමියේ තිබූ ළිඳක් ඉංග්‍රීසීන් විසින් ප්‍රතිසංස්කරණය කර තිබේ.එසේම වසංගත රෝහල් භූමියේ තිබූ ළිඳක් ද පිළිසකර කර තිබේ.කුරුණැගල විස්තරයේ සඳහන් පැරණි ළින් රාශිය ගැන සාක්ෂි අදවන විට ඉතා අවමය.

         උඩවත්ත වැවෙන් ගලන ඇළ වාන් ඇළ වශයෙන්ද වේනරුවෙන් ගලන ඇළ බූ ඇළ වශයෙන් ද හඳුන්වන අතර ඒ ඇළවල් දෙකම එක්වී මගුරු ඔයට වැටේ.මල්කඩුවාව යයි ව්‍යවහාර වන පෙදෙස පැරණි විලකි.රජුට මල් නෙලා ගත් මේ විල දැන් දක්නට නැත. කොකටියාවත් මැදමීගහවැවත් මේ ආසන්නයෙ තිබෙන්නට ඇත. හකුරුකැටියාව නමින් වූ තවත් වැවක් තීබී පවතින බවට සක්ෂි හමුවෙයි.පැරණි නගරයට පිවිසෙන කඩවත් අතරින් නුවර පාරේ ඇළ ආසන්නයේ පවතින පීලිකඩ කඩවත මරලුවාවේ කඩවත සහ වදාකඩෙ  පමණක් අද නාමික වශයෙන් ජීවමානය. නුවර පැත්තට යන්නවුන් පිළී උනා ඇලෙන් එගොඩ වූයේ පිළී කඩවතේ දීය.

     1890 සිටම ඉංග්‍රීසීන් නගරය ගොඩ නැන් වීමට බොහෝ දේ කර ඇත. ඉඩම් වෙන්දේසි වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ මුස්ලිම් වානිජයන්ය. ඔවුහු පසු කාලයේ ලෝකල් බෝඩ් වල ප්‍රධාන සාමාජිකයන් වූහ.මෑතකදී කාඩා බිඳ දමන ලද පැරණි නගර ශාලා ගොඩනැගිල්ල ගැන අගනා ලිපියක් මීට පෙර ධනේෂ් වෙසුම්පෙරුම මහතා විසින් දිවයින බදාදා අතිරේකයට සපයා තිබුණි.

 

 

 මේ ගොඩනැගිල්ල ආසන්නයේ දඹුලු මාර්ගය පුලුල් කිරීමේ දී දැමූ කොන්ක්‍රීට් කාණුව හෑරීමේදී පැරණි ගල් කාණුවක කොටස් අසු විය.මේවා පැරණි ගල් තලාඳ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.1892 සිට කළ නගර සංවර්ධන කටයූ වලදී ඉංග්‍රීසීන් සාදවන ලද කාණු පද්ධතියේ කොටසක් ලෙසට මෙය හැඳින්විය හැකිය. මෙවැනි කාණු රාශියක් නරගය පුරා 1907 දක්වා ම සාදවන ලද බව ලෝකල් බෝඩ් වාර්තා මෙන්ම කුරුණෑගල කච්චේරි වාර්තා විසින් පැහැදිලි කරදෙනු ලබයි. විශාල ඉතිහාසයක් තිබෙන නගරයක පැරණි ශ්‍රී විභූතිය මෙන්ම එහි නටබුන් වූ කොටස් ගැන විධිමත ගවේශනයක් මෙතෙක් සිදු කර නොතීබීම ඛේදජනකය.මෙම ලිපිය එවැනි විමර්ශනයකට මග පෙන්වීමක් වේවා.

මතුගම සෙනෙවිරුවන්

මූලාශ්‍ර -

(1). සැසි වාර්තා අංක  -1878

(2). PF 1106 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(3). Administration Report of Kurunegala Local Board, 1890 -1907

 (4). PF 2007 ගොනුව (ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය)

(5) Ancient Irrigation Works in Ceylon –part 3 –R.L.Brohier

(6) හස්තිගිරිනගරය හෙවත් කුරුණෑගල් නුවර - රංගන කුරුවිට

(7) කුරුණැගල විස්තරය -පුෂ්පදේව හිමි -(ජාතික පුස්තකාලය අංක 15460)