පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, May 16, 2019

රජෙක් නැති රටක බුද්ධ බලය පිහිටුවිය හැකි නාථ දේව සංකල්පය


                    
        වසර දෙසීයකට පමණ පසුව සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් ඉතා තීරණාත්මක අවස්ථාවකට පැමිණි තිබේ.ඉංග්‍රීසීන් හට ලංකාව ගිවිසුමකින් භාර දුන් පසු බුද්ධ ශාසනයට එළඹි අභියෝග වලට වඩා භයානක උවදුරු වලින් සමන්විත කාලවකවානුවක් පසු කරමින් තිබීම පිළිබඳව අවබෝධයක් මේ රටේ ජනතාවට පමණක් නොව මහා සංඝරත්නයට පවා අතැයි නොසිතමි.එක් අතකින් ඉස්ලාම් මූලධර්මවාදීන් ගේ අසිපත් ජනතාව ඉදිරියේ අමෝරාගෙන ඇත. අනෙක් පසෙකින් ඇමරිකන් යටත් විජිතවාදීන් ගේ කුමන්ත්‍රණ වලින් රටේ ජාතික ආරක්ෂාව බරපතල ලෙසට කඩා වැදී තිබේ.රටේ නායකයෙක් නැත. එකවර සූර්යයන් දෙනෛකු පායන්නට ගොස් චීන එළියපෙට්ටියක ආලෝකය  ගානට පාලකයන්ගේ රැස් පහළ බැස තිබේ.
       මෙම විපරීත කාලවකාවානුව දෙස බැලිය හැකි වන්නේ විශ්මයෙන් නොවේ. සමාජයට මරණ බිය දැනුනද ඉතිහාසයේ බොහෝ අවස්ථාවන්හිදී මෙලෙසම මෙවැනි ප්‍රවණතාවයන් ට ජාතියක් වශයෙන් මුහුණ දී ඇත්තෙමු. ඒවාට අභීතව උපක්‍රමශීලීව මුහුණ දෙමින් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් රැක ගැනීමේ භාරදූර  වගකීමද ඉටුකර ලීමට දායක වී ඇත. එසේ නම් ඒ මග පෑදී ඇත්තේ කෙලෙසකදැයි අප කල්පනාකළ යුතුය. රටක හරිහමන් පාලකයෙකු නොමැති විටකදී බුද්ධ ශක්තිය විහිදුවන දේව බැල්ම අහකට යයි. රටේ සම්ප්‍රදාය අනුව දසදෙස විහිදී තිබූ ශක්තීන් ගේ ප්‍රභාවයන් අඩුවෙයි. ප්‍රාතිහාර්යයන් යටපත් වෙයි. අද සිදුව ඇත්තේ එයයි.
        හත්වන සියවසේ අනුරාධපුර සමයේ දී ද්‍රවිඩ ආක්‍රමණයන් නිසා දෙවන කාෂ්‍යප රජුගේ පුත් මාන කුමරු ඉන්දියාවට පැන ගොස් පල්ලව දේශයේ නරසිංහ වර්මන් රජුගේ රාජ සභාවේ සෙන්පතිවරයෙකු ලෙසට සේවය කරමින් සිට නිසි කල පැමිණි කල්හි බලසෙන් ගෙන ලංකාවට පැමිණ දෙමළුන් පන්නවා හැර රට නිදහස් කරගත් ආකාරය ඉතිහාසයේ සඳහන්ව තිබේ. මේ රජුගේ කාලයෙන් පසු ලංකාවේ මහායාන අදහස් වේගයෙන් ප්‍රචලිත වන්නට විය.මාන කුමරුන් විසින් ආභාෂය ලබන ලද මහායාන බෞද්ධ සංකල්පයන්  අනුරාධපුර රාජධානිය අවට ප්‍රචලිත ව පැතිරුණි. එතැන් පටත් දළදා වහන්සේ වැඩ සිටි සෑම තැනකම නාථ දෙවියන් වැඩමවීම දක්නට ලැබිය හැකිය. අනුරාධපුර පොළොන්නරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල පමණක් නොව ගම්පළ රයිගම සහ කෝට්ටේ මෙන්ම සෙංකඩගල මහනුවර ද දළදා මන්දිරය අසලින් නාථ දේව මන්දිරයක් ගොඩ නැන්වී තිබුණි.එසේ නැතහොත් දළදා වහන්සේ සහ නාථ ප්‍රතිමාවන් එකම ස්ථානයක් තැන්පත් කරන ලදහ.

 බෞද්ධ නාථ සංකල්පය ශාරි පුත්‍රය නම් වාස්තු විද්‍යා ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේය.
     දවිභූජං ශෙවත වර්‍ණණඤච -අභයං වරදං තථා
     අක්ෂ මාලා කිරීටඤච -ශෙවතාඞගං ස්‍යාම වස්ත්‍රකම්
     පද්මාසනං තථා වාපී -බෞද්ධ නාථස්‍ය ලක්ෂණම්
බෞද්ධ නාථ සංකල්පයට මුල් වන්නේ බෝධිසත්ව සංකල්පයයි. ජාති ජරා මරණයනට භාජනව සසර සැරි සැරීමෙහි කලකිරී පාපයන්ගෙන් තුරන්ව පාරමිතා පූරණයෙන් හා අසූසාර දහසක් ධර්ම ස්කන්ධයන්ගේ හේතුවෙන් බෝධිය සොයමින් සකල පුණ්‍ය සම්භාරයන් රැස් කරන්නේ බෝධිසත්ව චිත්තයයි.බෝධි චිත්තයේ දී ප්‍රධාන වන්නේ කරුණාව සහ ප්‍රඥාවයි.(ලංකාවේ මහායාන අදහස් ) මහායාන බුද්ධ ධර්මයේ හැටියට සියලුම සත්වයන් විමුක්ති මාර්ගයට ප්‍රවිෂ්ට වීම සඳහා බෝධිසත්ව පාරමිතාව පිරිය යුතුය. බෝධිචිත්තය වර්ධනය කරගත යුතුය. නාථ මෛත්‍රී ක්ෂිති ගර්භ ආකාශ ගර්භ වජ්‍රපානී ආදී වශයෙන් බෝධිසත්වවරු  රාශියක් පිළීබඳ සංකල්පනා ලංකාවේ දක්නට ලැබෙන්නේ මේ නිසාය. බුදුරුවගලදී ලෝකේශ්වර නාථ තාරා දේවී මෛත්‍රී යන බෝධිසත්ව ප්‍රතිමා සියල්ල එක් ස්ථානයක දක්නට ලැබේ. කරුණෑගල රත්කැරැව්වෙන් හමුවන වජ්‍රපානී බෝධිසත්ව ප්‍රතිමාව නව වන සියවසට අයත්ය. දාහතර වන සියවසේ දී යාපහුවේ සිට කුරුණැගලට දළදා වහන්සේ වැඩම කරන කල්හි මෙම ස්ථානයේ රත් කෑර ගසක දළදා වහන්සේ ප්‍රාතිහාර්ය පා තිබේ. අනුරාධපුර වෙහෙරගලින් ලැබෙන රාජ ලීලාව නිරූපිත නාථ ප්‍රතිමාව විශිෂ්ට කලා කෘතියක් ලෙසට සැලකේ.  මහනුවර නාථ දේවාලයේ දී දක්නට ලැබෙන්නේ ද මෙවැනි ප්‍රතිමාවකි. වේගිරියේ නාථ දේවලයේ ද මීට සමාන ප්‍රතිමාවක් දක්නට හැකිය. අටවන සියවසට අයත් තිරියාය අවලෝකිතේශ්වර නාථ පිළිමය හා සමානව වර්ධනය වූ බෝධිසත්ව ප්‍රතිමා දඹුල්ලේ ලෙන් තුළ පවතින මනරම් නාථ ප්‍රතිමාව දක්වා විකාශනය වී ඇත.
         කෙසේ වෙතත් මහායාන සංකල්පයක් වූ බෝධි සත්ව සංකල්පය ථෙරවාදී රටක් වූ සිංහලද්වීපයට වැද්ද ගනු ලබන්නේ රජවරුන් ගේ ධාර්මික බව රෝපණය කරන්නට යැයි සිතමි. රජු බෝධිසත්වයෙකු විය යුතු යැයි ද දශ රාජ ධර්මයෙන් රට පාලන කළ යුතු යැයි ද පිළි ගැනීමත් මේ නිසා ඇති විය. රජු ගේ අභිෂේක මංගල්ලයේ දී අනුගමනය කරනු ලබන මෙම චාරිත්‍ර යෙන් පෙන්නුම් කරනුයේ නාථ දේව සංකල්පය තුළින් රෝපණය කරනු ලබන දෙවත්වයට රජුන් යටත් වූ ආකාරයයි.
රාජ කුමාරයෙකු රාජ්‍යත්වය පිණිස නිර්දේශ කළ පසු සිය රාජකීය ඥාතීන් සමග නාථ දේවාලයේ දිග්ගෙය ඔස්සේ නාථ දෙවි වන්දනය සඳහා ප්‍රවිශ්ෂ විය යුතුය. දිග්ගෙය පුරාවටම අතුරා ඇති දෙහි ගෙඩි  උඩින් ඔහු ඒ ගමන නොවැටී යා යුතුය. එහිදී රාජකීය ඥාතීන්ගේ අතින් අත අල්ලා ගෙන එම ගමනට එක් නූනහොත් රජුගේ සමබරතාවය පවත්වා ගෙන යා නොහැකි වෙයි. රජු එම චාරිත්‍ර යෙන් හික්මීමකට පත් වේ. අවසානයේ නාථ දේවාලය ඇතුලත කරන අභිෂේකයේ දී නාථ දෙවියන්ගේ රාජ ලීලාව රජතුමාට ආරෝපණය කරලීමට අභිනව අභිධානය නාථ දෙවියන්ගේ ශිර්ෂයෙන් රජු ගේ ශීර්ෂය වෙතට වඩම්මනු ලැබීම සිරිත වේ. එය පුරාණයේ දී ඉටු කෙරුණේ මෙසේය. නාථ දේව ප්‍රතිමාව ඉදිරපිට තිබූ ගල් ලෑල්ල මතට රජ කුමරු නන්වනු ලැබේ. පරම්පරා ගත නමක් හෝ තමන් කැමති අනෙක් රාජ නාම කීපයක් හෝ රන් පත් ඉරු වල ලියා නාථ දෙවියන් අත මත තබනු ලැබේ. ස්වල්ප වේලාවක් ගත වූ පසු එයින් එක් නාමයක් ගෙන නළල් පටේ තබා බැඳ ඉන් පසු රජ කිරුළ හිස පළඳී.
      ලංකාවේ රජ කිරුළ දැරීමට දළදා වහන්සේ ගේ  උරුමය ලැබිය යුතුය.එසේ වන්නට නම් දළදාවාසික පරපුර වූ දන්ත හේමමාලා කීරවැල්ල පරපුරෙන් කුමරියක් අග බිසව වශයෙන් පත් විය යුතුය.කුමරියගේ පියාණන් හෝ සහෝදරයා දළදා වහන්සේ භාර දාඨා රක්ඛක නිලමේ වශයෙන් සිටිය යුතු අතර නාථ දෙවියන් ඉදිරියේ පෙර පරිදි දිව්රුම් දිය යුතුය. මෙම සිරිත කිත්සිරි මෙවන් රජ දවසෙන් පසු අඛණ්ඩව සෙංකඩගල රාජධානි සමය දක්වාම පැවත පැමිණියේය. නමුත් රජ උරුමයක් නොතිබූ සෙනරත් රජු ට බිසවක් වශයෙන් කීරවැල්ල පරපුරෙන් කුමරියක් නොලැබීම නිසා කෝපයට පත් ව දළදා වාසික පරපුරෙන් දළදා භාරකාරත්වය ඉවත් කොට එම පරපුරට ඥාතීන් වූ භික්ෂූන් වහන්සේලා වෙත පවරන ලද්දේය. රඹුක්වැල්ලේ පරපුර සහ වාරියපොළ සුමංගල යති පරපුර විසින් දළදා භාරකාරිත්වය දරනු ලැබූයේ එලෙසය. ඉන්පසු කාලයේ දී සිංහල රජකිරුළ නායක්කර් පිරිසක් අතට පත් වෙයි. ඔවුහු දකුණු ඉන්දීය වඩුගයන් බවද කිසිම රාජ උරමයක් නොමැති බවද සඳහන් මූලාශ්‍රයන් කීපයක්ම ඇත. මේ කියන කාලයේ දී නාථ දෙවියන් පරාජයට පත් කොට පිටියේ දෙවියන් බලට පත්ව ජන ඇදහීම් අතරද රජවරුන්ද අතරද මහේශාක්‍ය ලෙසින් වැජඹෙන්නට පටන් ගත් බව කියැවේ. මේ නිසා නාථ දෙවියින් සතු ශක්තිය ලෞකික ජීවිතයේ සශ්‍රීක්තවයට ආරෝපණය වූ අතර රජවරුන් අතර සම්භාවනාවට පාත්‍රව රාජ ලීලාව අතුරුදහන් විය. එසේම නාථ දෙවි යනු මතුබුදුවන මෛත්‍රී බෝධිසත්වයන් ලෙසටද ඇදහීමක් ජනතාව තුළ ප්‍රචලිතව පවතී. නාථ දෙවියන් පරදා පිටියේ දෙවියන් බලයට පත් වීම ලංකාවට එරෙහිව ගොඩ නැගුණු ශාපකාරී ප්‍රවේශයක් බව ප්‍රඥාවන්තයන් ගේ මතයයි. වසර තුන්සීයයකට ආසන්න කාලයක් තිස්සේ මේ ශාපය බල පැවැත්වෙමින් පවතී.
        වර්තමානයේ අප අත් දකින බිහිසුණු සිදු වීම් ත්‍රස්තවාදය ශාසනික පරිහානිය විදෙස් අත පෙවීම් වලදී ජාතියේ ශක්‍යතාවය හීනවීම වැනි දේ සිදු වන්නේ මේ ශාපකාරී ප්‍රවණතාවයන් අනුවයි. ශාසනය රකින සිවුවරම් දෙවිවරුන්ද එයට ශක්තිය සපයන දේවමණ්ඩලයන්ද මහත් ඉවසීමෙන් සහ ප්‍රඥාවෙන් මේ වසර තුන්සීය පුරාවටම ලංකාව පාලනය කරමින් සිටී. කෙතෙක් උත්සාහ කලද ශාසනය අතුරුදහන් කරලීමට සතුරු බලවේග වලට නොහැක්කේ ඒ නිසාය. දැන් මේ ශාපකාරී බලවේග තුරන් කොට රටත් ජාතියත් ශාසනයටත් යලි නිසි තැන ලබා දී ඔසවා ශක්තිමත් කරලීමට ප්‍රවේශයක් ලබා දී තිබේ. ඒ සඳහා දළදා වහන්සේ ගේ ආශිර්වාදයත් නාථ දෙවියන් ගේ ආශිර්වාදයත් අවශ්‍ය වේ. අධ්‍යාත්මික ශක්තියෙන් පිරිපුන් සත් පුරුෂයන් විසින් එක්සත්ව එක්සිත්ව රටේ ශක්ති සථාන තෝරාගෙන පුදපූජා පවත්වමින් නාථ දෙවියන් ගේ බලය නැවත රජ ලීලාව දක්වා ඔසවා තැබීමෙන් සිංහල බෞද්ධ රජකෙනෙකු නොහොත් ප්‍රඥාවත් පාලකයෙක් බිහිකරගත හැකිය.දූෂණයන් ඉහවහා ගිය කුණු වී ඕජස් ගලන වර්තමාන දේශපාලන සම්ප්‍රදායෙන් බැහැර  එවැනි පාලකයෙකු සඳහා ඉදිරි කාලය විවෘත වනු නිසැකය.

       

No comments:

Post a Comment