පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, April 3, 2019

මන්නාරම් සමූල ඝාතන වල ඉතිහාසය පුරා විද්‍යාව සහ දේශපාලනය


            
                          
            මන්නාරම පැරණි කොටුව අභියස එසේම මන්නාරම උසාවිය ඉදිරිපිට තිබූ ස.තො.ස. ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සහ නව ගොඩ නැගිල්ලක් තැනීමට පස් හෑරීමේ දී හමුවූ මිනිස් ඇට කටු සමූහය අද සැමට ප්‍රශ්ණයක්ව ඇත.මාස හතක් පුරා මෙම ස්ථානයේ කැණීම් කටයුතු කොට මළ සිරුරු රාශියක ඇට සැකිලි ගොඩ ගෙන තිබෙන අතර එතුළින් ගම්‍ය වනුයේ සමූල ඝාතනයක් බවට විශාල ඝෝෂාවක් මතු විය අනතුරුව මෙම ඇට කටු සාම්පල හයක් ඇමරිකාවේ බීටා ඇනලිටිකල් ආයතනය වෙත යවන ලදුව දැන් එම සාම්පල් වල කාල නිර්ණයන් ලැබී තිබේ.ඒ දින වැටෙන්නේ පරංගි සහ ඕලන්ද සමයටයි.කෙසේ වෙතත් මෙම මිනී වල තිබෙනුයේ පැරණි පල්ලියක සොහොන් භූමියක බවට තොරතුරු තිබේ..එසේම කොටි සංවිධානයට අයත් අතුරු සංවිධානයක කාර්යාලයක්ද මෙහි පවත්වාගෙන ගොස් ඇත.මෙම මිනී වලේ  ක්‍රමවත්ව තැන්පත් කරන ලද මිනිස් සිරුරු මෙන්ම අක්‍රමවත්ව එකට ඇමිණුන සිරුරු වල කොටස්ද දක්නට ලැබුණි. කාල නිර්ණය පීලිබඳ විස්තර ලැබීමත් සමග පරංගි සහ ඕලන්ද සමයේ මනුෂ්‍ය ඝාතන ගැන පුවත් පත් වල විවිධ අදහස් පළ වී ඇත.
        මන්නාරම නැතහොත් මාන්තොට අපේ ඉපැරණිම වරාය පෙදෙසයි.මල්වතු ඔය මුහුදට වැටෙන මෝදරගම් ආර කල්පිටිය ආදී සීමාවන්හි සිට තලෙයි මන්නාරම දක්වා තිබෙන මුතු පර කිමිදීම බඩු හුවමාරු කර ගැනීම ආදී කටයුතු වලට නිතරම මෙහි විදේශිකයන් ගැවසුණහ. මන්නාරම අවට ක්‍රි.වර්ෂයෙන් පසු කාලයට අයත් සෙල්ලිපි කීපයක්ම හමුවෙයි. මුල්ලිකුලම ලිපිය කිත්සිරිමෙවන් රජු ගේ දීමනා ලිපියකි.මුල්ලිකුලම පෙදෙස හඳුන්වන්නේ මංගන නගර යනුවෙනි. එය විල්පත්තුවේ ඔච්චප්පුකල්ලු සෙල්ලිපියේ සඳහන් වෙයි.එසේම මන්නාරම් කච්චේරියේ තැන්පත් කර ඇති ලිපිය සතරවන කාෂ්‍යප රජ සමයට අයත්ය. එසේම මාතොට රජ මහා විහාරයේ තිබෙන ටැම් ලිපිය මෙන්ම ජාතික කෞතුකාගාරයේ තිබෙන අත්තාණි ලිපිය මගින් කියැවෙන්නේ මෙම පෙදෙසට පැරණි සිංහල ඉතිහාසයක් හිමි බවයි.මහානාම රජු සිය මව සිහිවීමට තැනූ  යෝධවැව නොහොත් මානාමාතුක වැව මන්නාරමේ සහල් බඳුන නොහොත් යෝධ වැව අස්වැද්දුමයි. ඒනිසා රජවරු මෙහි වෙහෙර විහාරස්ථානයන් ඇති කොට ජනාවාස ඇති කරමින් විශාල සංවර්ධනයකට අඩි තාලම දැමූ බව ඉතිහාසයෙන් පෙන්වා දිය හැකිය. අයාලේ ගම්වදින දෙමළුන් අල්ලා මහවටුතොටින් බැහැර කළ යුතු බවට නීති පණවා තිබෙන බව සොරබොර වැව ලිපියෙන් පැහැදිලි වෙයි. මන්නාරමේ සිට රාමේශ්වරම දක්වා තිබෙන සංගිලි පාළම රාම රාවණ යුද්ධය අවස්ථාවේ දී තනන ලද්දක් යැයි පැවසේ. එම පාළම පසු කාලයේ දී පාලනය කිරීමට පැවරූ බ්‍රාහ්මණ වංශයට අයත් පිරිස් සමග කාලිංග වංශික ගංගා පෙළපත් විවාහ වීමෙන් ලද උරුමය මත යාපනය ආශ්‍රිතව නව රාජ වංශයක් ද ඇති විය.
        මොවුහු දහතුන් වන සියවසේ දී ඉස්මතු වූ අතර උතුරේ වෙනම රාජ්‍යක් නිර්මාණය කරලීමට තරම් බලවත් විය. නමුත් කෝට්ටේ සයවන පරාක්‍රබාහු රජ දවස( 1412 -1472) දී සපුමල් කුමරු විසින් මේ රාජ වංශය පරාජයට පත් කොට නැවත රට එක සේසත් කරලීම නිසා උතුරේ මෙන්ම මන්නාරමේ ද ජන ජීවිතය සුරක්ෂිත කෙරුණි. සයවන පරාක්‍රමබාහු ගෙන් පසුව සපුමල් කුමරු  රජ වීමට ප්‍රථම මන්නාරම අවට මුතු පර කිමිදීම සහ තොටමුණු වල බලය අල්වා ගෙන සිටින ලද්දේ මුක්කර ජන කොටසක් විසිනි.  මෙම මුක්කරුන් අප්‍රිකානු දේශයේ සිට පැමිණි දියමන්ති පතල් ආශ්‍රිතව වැඩ කිරීමට පළ පුරුද්දක් තිබූ ජනවර්ගයක් විය. ඔවුහු කල්ලු මරන් නම් යාත්‍රා වල නැගී දකුණු ඉන්දීය වෙරළ බඩ ප්‍ර දේශ වලට පැමිණ බලයක් තහවුරු කර ගත්හ. චෝල  බලය නිසා ද්‍රවිඩයන් සමග මුසුව ලංකාවේ මන්නාරම් පෙදෙස් වලටද පැමිණ එහි සිටි අසුර නාග පැරණි සිංහලයන් පන්නා දමා  වෙළෙඳ බලයකටද හිමිකම් පෑහ.
       සපුමල් කුමරු විසින් මොවුන් 1416 දී  සහ 1451 වර්ෂ වලදී පළවා හැර නැවත අසුර සාගර නාග ජනයාට මීගමුවේ සිට මන්නාරමේ  දක්වා  විසීමට ඉඩ හැර කෝට්ටේ රජුට යටත්ව බදු ගෙවන ලෙසට සන්නස් දෙමින් (1462 ) අණක් නිකුත් කලේය.මොවුහු මන්නාරම් සේතුවද පාලනය කරමින් කෝට්ටේ රජුට අයබදු කොටසක්ද යාපනයේ රජුට අයබදු කොටසක්ද ගෙවමින් බලය පවත්වාගෙන ගියහ.වර්ණ කුලාට් කුරුකුල යනුවෙන් පෙළපත් නාම සහිතව සිට ඇත්තේ මේ සාගර නාග අසුර ජනයාය.ඔවුහු මන්නාරමේ සිංහලයන් විය.මේ අවදියේ යාපනයේ පාලකයා වූ සිංහ වරරාජසේකරට (ක්‍රි.ව. 1492) කෝට්ටේ රාජධානියෙන් ස්වාධීන වීමට වුවමනාවක් ඇතිවී එවක මන්නාරම් සේතුව පාලනය කළ වික්‍රතුක්කුරි බණ්ඩාර නමැති සාගර නාග ප්‍රධානියා සමග කුමන්ත්‍රණයක් සිදු කළහ. මෙම පුවත ආරංචි වූ කෝට්ටේ අටවන වීරපරාක්‍රමබාහු සිංහ වරරාජසේකරව කෝට්ටේ රජවාසලට ගෙන්වා තරවටු කලේය. සිංහ වරරාජසේකර කෝට්ටේ රජුට ප්‍රශස්ති ගැයූ බව සඳහන්ය.එහෙත් රජු ගේ මරණයෙන් පසු සිංහ වරරාජසේකරට මුක්කර කල්ලාර් කාන්තාවක්(මාන්ගත් අම්මාල් ) සරණපාවා දීමට කටයුතු සැලසුම් කරන ලද්දේ වික්‍රතුක්කුරි බණ්ඩාර විසිනි. එහෙත් ඇය  නාගයන්ගේ නාවික යාත්‍රා මගින් මන්නාරමට පැමිණෙන විටම වික්‍රතුක්කුරි බණ්ඩාර නිසා ගැබ් ගෙන සිටියේය. මේ බැව් දැනගත් රජු මේ කාන්තාව නැවත වික්‍ර තුක්කුරිටම දී මන්නාරමේ රාජාන්(රාජ අණ ක්‍රියාත්මක කරන්නා) ලෙසට පාලනය කිරීමට අවසර දී ඇත. මේ කාන්තාවට ඉපදුනු දරුවා සංඛ ඉටි නොහොත් සංකිටි විය. පසු කලකදී සංකිටි සංකිලි යනුවෙන් ප්‍රසිද්ධ විය.ඔහු සිය පියාගේ මරණයෙන් අනතුරුව මන්නාරම් සේතුව පලනය කිරීම සියතට ගැනීමට කටයුතු කළේය.එම තත්ත්වය මත සංකිලි ගේ උදව්වෙන් මුක්කර බලය නැවත ඉස්මතු විය.  මන්නාරමේ සිටි සිංහලයන් ගේ කල දවස අඳුරු විය.ඔහු යාපනයේ රජ පෙළපතටද අභීයෝග එල්ල කරමින් යාපනයේ කොටසක් වන පච්චලෙයිපල්ලිය සියතට ගත්තේය.       යාපනය සහ මන්නාරමේ සිටි සිංහල බෞද්ධයන්ද විශාල පිරිසක් පළවා හැරියේය.
        මේ අතර වාරයේ 1542 වර්ෂයේ දී ගෝවට පැමිණි ප්‍රැන්සිස් සේවියර් නම් පූජකවරයෙකු ලිස්බනයේ අණින් ගෝව ක්‍රිස්තියානිකරණයට පත් කළේය.අනතුරුව1544 දී පමණ පරංගි සොල්ලදාදුවන් සමග ගෝවේ සිට ලංකාවට පැමිණ මන්නාරමේ සිටි සංක්‍රමණික මුක්කර මුතු පර කිමිදින්නන් සහ නාග  සිංහළයන් ක්‍රිස්තියානි කරණයට කල උත්සාය නිසා ගැටුමක් ඇති විය. මේ අවස්ථාවේ දී මන්නාරමේ අවට විහාරස්ථාන වල සිටි භික්ෂූන් වහන්සේලා පා ගමනින් යාපනයට වැඩම කොට යාපනයේ සිටි සිංහවරරාජසේකර රජුට මේ බව සැළ කළහ. සංකිලි  මේ අවස්ථාවේ දී විශාල සේනාවක් රැගෙන පැමිණ මන්නාරමේ සිටි ක්‍රිස්තියානිකරනයට ලක් කළ ජනතාව විශාල ප්‍රමාණයක් ඝාතනය කළහ.ඉන් පසු සේවියර් පරංගි සේනාවක්ද සමග පැමිණ මන්නාරම් සිංහලයන් ඝාතනයට ලක්කොට මලබාරයෙන් නොයෙකුත් කුල වලට අයත් (මුක්රුන් කල්ලාර් මරවර් සහ විල්ලාවර් ) ක්‍රිස්තියානිකරණයට ලක් වූ දෙමළ ජනයා ගෙන්වා මන්නාරමේ පදිංචි කලේය.සේවියර් සහ පරංගි සෙන්පතියන්ගේ ආක්‍රමණ නිසා වෙහෙර විහාරස්ථාන සියල්ල බිමට සමතලා  විය.මෙම සේනාව භික්ෂුන් වහන්සේලාද ඝාතනය කළහ. වර්තමානයේ මන්නාරම අවට විශාල දෙමළ ජනගහනයක් ස්ථාපිත වන්නේ මෙලෙසය.සේවියර් සාන්තුවරයෙකු නොවන බවත් ඔහු ලිස්බනයේ අණින් ලංකාවට පැමිණි ජන ඝාතකයෙක් බවටත් මේ අනුව පැහැදිලි වේ.
           පරංගින් විසින් යාපනය අත්පත් කර ගැනීමට පසුබිම් සකස් වන්නේ මේ දෙශපාලන කලබගෑනිය තුළය. සංකිලි පරංගීන් සමග ගිවිසුමට යෑමට උත්සාහ කළ අතර පසුව පරංගීන් විසින් සංකිලි ඝාතනය කරන ලදී.එහිදී යාපනයේ රජ පෙළපතේ පරනෘපසිංහ රජු පරංගීන් ගේ ආරක්ෂාව මත රාජ්‍ය පාලනය ගෙන ගියේය.පසු කාලයේ දී මෙම රජ පෙළපතේ අය වන්නියට පැන විත් පසුව මාතලේ ප්‍ර දේශයේ රැකවරණ පැතූ බව සඳහන්ය. ඉන්පසු යාපනයේ සහ මන්නාරමේ විසූ නාග සිංහළයන් එකතුවී පරංගීන් සමග ගිවිසුමකට එළඹුණි. එය සුප්‍රසිද්ධ නල්ලූර් ගිවිසුමයි. මන්නාරම් කොටුවේ ආරක්ෂාව පතා පැමිණි උඩරට කරලියද්දේ බණ්ඩාර සහ සිය පවුල පවා ක්‍රිස්තියානි වූ බව ඉතිහාසයේ සඳහන්ය. මේ කාලයේ ඇති වූ වසූරිය වසංගිතයක් නිසා කොටුවේ සිටි කරලියද්දේ රජු සහ බිසව මෙන්ම මන්නාරම් වැසියන් විශාල ප්‍රමාණයක් මිය ගිය බවටද ඉතිහාසයේ දැක්වේ..පරංගි සමයෙන් පසු ලන්දේසි සමයේ දී මන්නාරමේ ක්‍රිස්තියානි ජනගහනයට කරදර සිදු විය.වර්තමාන මඩු වන්දනා කරුවන් ගේ මුල්ම ජනාවාසය මන්නාරමයි. එහි විශාල කතෝලික දේවස්ථානයක් විය. 1670 දී ලන්දේසින් එම පල්ලිය රැස්විම් ශාලාවක් බවට පරිවර්තනය කොට ආගම ඇදහීම  තහනම් කරන ලදී. අනාථ වූ කතෝලික ජනතාව එම ස්ථානයෙන් ඉවත්ව කන්ද උඩරට රජුගේ රැකවරණය සලසා ගැනීමට වන්නියට පැමිණියහ.  අද මරද මඩු යනුවෙන් හැඳින්වෙන්නේ මේ සරණාගතයන් පදිංචි ප්‍ර දේශයයි.මෙයද පැරණි සිංහලයන් සතුව තිබූ ඓතිහාසික මඩු වල්ලියා රටයි.
     ඉංග්‍රීසි පාලන සමයේ දී නැවතත් සිංහලයන් රාශියක් මන්නාරමේ පදිංචියට ගොස් සිටියහ. ඔවුහු වැඩි පිරිසක් මුතු පර වෙළෙදාමටද ධීවර කටයුතු වලටද සාභාගි වූවන් විය.මේ කාලයේ දී ඉංග්‍රීසි රජය මුතු පර කිමිදීම රජයට පවරාගෙන මුතු පර කිමිදීමේ කඳවුරක් මරිචිචකට්ටුවේ ස්ථාපිත කළ බව ව්‍යවස්ථාදායක සභාවේ වාර්තා වල සඳහන් කර ඇත.. මේ නිසා දෙමළ අරාබි සහ ඉන්දීය මුතු පර කිමිදින්නන් රාශියක් මන්නාරමේ මරිචිචකට්ටුවේ ස්ථාපිත විය. සිංහලයන්ද මරිචිචකට්ටුව සිලාවතුර මුරුන්ගන් ආදී තැන් වල වෙසෙමින් ගොවිතැන් වෙළෙදාම් සහ වෙනත් රැකියා වල නියුක්ත විය.1911 ජන සංගණනය අනුව විශාල සිංහලයන් පිරිසක් ද පළමු වරට මුවර් ජනගහනයක් ද  විශාල දෙමළ පිරිසක් ද ලැගුම් ගෙන සිටි බව හෙළිවෙයි.      1953  දී මන්නාරමේ සිංහල බෞද්ධ ජනගහනය 1316 කි. එවිට දෙමල ජනගහනය 22422 වී තිබුණි. නමුත් මුවර් වරු සිටියේ 10872 පමණකි.1981 වන විට මන්නාරමේ සිංහල බෞද්ධයින්3224 ක් බවට වර්ධනය වී සිටි අතර දෙමළ ජනගහනය 28500 ක් බවට පත් ව සිටියහ. එසේම මුස්ලිම් වරු 30079 දක්වා වර්ධනය ව සිටියහ. 1911 කාල වකවානුවේ රෝමානු කතෝලිකයින් 50% ක ප්‍රමාණයක් මන්නාරමේ සිටි බව පැහැදිලිය. 1981 දී එම ජනගහනය 44003 කි.
       ඉංග්‍රිසි පාලන සමයෙන් පසු   ඇමරිකාන් මිෂනාරීන් ගේ පෝෂණය ලැබූ නව දෙමළ පාලක පැලැන්තිය දෙමළ ජාතිවාදය ඇති කරමින් මධ්‍ය යේ බලයත් උතුරේ සහ නැගෙනහිර බලයත් තමන් අතට පත් කර ගනන්ට සැලසුම් කළහ.දකුණු ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍රම් කලහම් ව්‍යාපාරය අදාර්ශයට ගෙන දෙමළ ජනයා ගේ ඓතිහාසික වාසභූමි නමින් ප්‍රලාපයක් මුදා හරිමින් සිටියහ. දහනමවන සියවසේ මුල් භාගයේ සිට සිංහලයන් මර්දනය කිරීමේ චේතනවෛන් ඉංග්‍රීසින් විසි දෙමළ සහ මුස්ලිම් ජනයාට ව්‍යවස්ථාදායක සභාවේ සහ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සම තැනක් දීමේ පතිඵලයක් ලෙසට මෙය හැඳින්විය හැකිය.
       නවසිය අසූව දශකයේ සිට දෙමළ ජාතිවාදය නව මගක යමින් ත්‍රස්තවාදී අත්හදා බැලීම් වල නිරත විය.දෙමල එක්සත් විමුක්ති පෙරමුණේ සිටි දෙමළ ජාතිවාදීන්ගෙන් පෝෂණය ලත් දෙමළ තරුණයන් විසින් දෙමළ විමුක්ති කොටි සංවිධානය ආරම්භ කල පසුව ඉන් ගැලවී ගිය කීප දෙනෙකු විසින් ටෙලෝ ඊ.පී.ආර්.එල්.එෆ්. ඊ.පී.ඩී.පී. ප්ලොට් වැනි සංවිධාන පිහිටුවා ගත්හ.මේ සංවිධාන වල සියලුම කාඩරයන්ට අවි පුහුණව ලබා දෙන ලද්දේ දකුණ ඉන්දීය ප්‍ර දේශ වලදීය. ඉන්දීය රජයේ ඔත්තු සේවා වල සම්පූර්ණ ආශීර්වාදයෙන් සිදු වුණු මෙම කටයුත්ත තුළ පසු කලකදී මේ සංවිධාන එකිනෙක ඇණ කොටා ගත්හ.1986 මැය 07 වනදා ටෙලෝ සාමාජිකයන් 350 දෙනෙකු එල්.ටී.ටී.ය විසින් ඝාතනය කිරීමෙන් පසු මේ ගැටුම තවත් උග්‍ර විය.මේ සංවිධාන සෘජුව හෝ වක්‍රව ඉන්දීය රහස් ඔත්තු සේවා විසින් නඩත්තු කරන ලද්දේ විය.ඊ.පී.ඩී.පී. වැනි සංවිධාන එක්සත් ජාතික පක්ෂය විසින් හදා වඩා ගත්තවුන් විය. කෙසේ වෙතත් අසූව දශකයේදී ප්ලොට් සංවිධානය සතු වධකාගාර 14ක වවුනියාව අවට තිබෙන බවට වාර්තා වූයේ ප්ලොට් නායකයෙකු වූ මාණික්කදාසන් ගේ ක්‍රියා කලාපය නිසාවෙනි. මේ සියළු දෙමළ සංවිධාන මුල් කාලයේදී කලේ වාර්ගික සංහාරයයි. ඔවුහු සිංහල ගම්මානයන්ට පැන ජනතාව කැති ගෑහ. මුස්ලිම් ගම්මාන වලට පැන ජනතාව කැති ගෑහ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ පසුව ඒ සංහාරය වේගවත් විය. සිංහල සහ මුස්ලිම් ජනතාව උතුරු සහ නැගනෙහිර සහ මන්නාරම් ප්‍ර දේශ වලින් පලවා හරින ලදහ. මන්නාරම් ප්‍ර දේශයෙන් වාර්තා වන පළමු සමූහ ඝාතනය විල්පත්තුව අවටිනි. දෙවනුව මඩු පල්ලිය අසලිනි.මේ අය අතර කතෝලික වන්දනා කරුවන්ද විය. කොටි සංවිධනයේ  විවිධ කල්ලි විසින් මන්නාරමේ සිලාවතුර කොක්කු පඩයාන් මරිච්චකට්ටු මුරන්ක්න් වැනි තැන්වල පදිංචි ව සිටි සිංහල මුස්ලිම් අය වෙත භීතිය එල්ල කළහ.1981 ජන සංගණනය අනුව මන්නාරම් දිස්ත්‍රික්කයේ සිටි  සම්පූර්ණ සිංහල ජනගහනය අටදහස ඉක්මවයි. මන්නාරම් නගරයේ පමණක් පන්සිය පනස් හතක්ද මන්නාරම අවට පන්දහසක් පමණද සිංහලයන් ජීවත්ව සිට ඇත. වර්තමාන මාතොට රජ මහ විහාරය ඔවුන් ගේ ප්‍රධාන පූජ්‍ය ස්ථානයයි.මේ පිරිසෙන් වැඩි තරමක් එම ප්‍ර දේශ වලින් පළවා හරින ලදහ. ඇතැමෙක්  ආගිය අතක් නැත. මුස්ලිම් ජනතාවද මෙලෙසම පළවා හරින ලදහ.
         වර්තමාන මන්නාරම් සමූහ මිනීවල පිළිබඳ ඇමරිකානු කාල නිර්ණ වාර්තාව ප්‍රසිද්ධ වනුයේ මෙවැනි  ඉතිහාසයක් ඇති ප්‍ර දේශයක් අරභයා වීම ඉතා සංකීර්ණ කාරණයක් ලෙසට සැලැකිය යුතුය. නෙයෙකුත් දේශපාලන කලබගෑනි නිසා විශාල මිනිස් ඝාතන සිදු වී ඇති අතර දෙමළ ජාතිවාදීන් ගේ ක්‍රියාකලාපයන් නිසාද විශාල මනුෂ්‍ය ඝාතන සමූහයක් සිදු වී තිබේ. නමුත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ඉතා මත් විනය ගරුකව දෙමළ ජාතිවාදීන්ට එරෙහි සටන් මෙහෙයවූ බව බහුතරයේ පිළිගැනුමයි. නන්දිකඩාල් අවට සිදු කළ මානුෂීය මෙහෙයුමෙන් ඒ බැව් සනාථ විය. දැන් මේ මිනී වල සම්බන්ධව 2019 ජිනීවා මානව හිමිකම් සමුළුවට  ගෙනා බ්‍රිතාන්‍ය වාර්තාවේද සඳහනක් ඇත. ඒ ශ්‍රී ලංකා හමුදාවට අඟිල්ල දිගු කරමිනි.මන්නාරමේ සමූහ මිනීවලේ මිහිදන්ව සිටින්නේ ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කළ දෙමළ ජනතාව බවට මේ වාර්තාව කියයි. නමුත් ඇමරිකානු කාල නිර්ණ වාර්තාව නිසා බ්‍රිතාන්‍ය යෝජනාව මේ වන විට පච වාර්තා ගණයට වැටෙන කැලෑ පත්තරයක් වී තිබේ.. කෙසේ වෙතත් ඉතිහාසය විසින් වාර්තා කරන සිදු වීම් සියල්ල පුරා විද්‍යාව විසින් සනාථ කරනු ලබන බවට අප පූර්ව නිගමනයක් නොදැක්විය යුතය.
        පුරා විද්‍යාත්මකව කරන ලද පරීක්ෂණයේ දී හමුවන පුරා වස්තු ඒවා රැඳි තිබෙන පස් ස්ථරයන් සහ විද්‍යඥයන්ගේ නිගමන මත ඒවා රඳා පවතී. වෝහාරික පුරා විද්‍යාව ගැන මනා පරිචයක් ඇති මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් අධීක්ෂණය කරනු ලබන මෙම මිනී වල තළින් පුරා වස්තු රාශියක් ලැබී ඇත.  මළ සිරුරු දෙකක අත් වල පැළඳි සත්ව ඇට කටු වලින් තනන ලද මුදු දෙකක්ද වීදුරු පබළු කීපයක්ද ඕලන්ද සමයට අයත් භාජනයක කොටසක්ද මළ කෑ යකඩ කොටස් කීපයක්ද දැනට මතු කර ගෙන ඇති බව පැවසෙයි. එසේ වූ කල්හි මන්නාරම් සමූහ මිනී වල පිළිබඳව කැලෑ පත්තර නිකුත් කිරීමට හෝ ඉතිහාසයේ සිදු වීම් අනුව සංසන්දනයන් කිරීමට පුරාවිද්‍යඥයන් පෙළඹෙන්නේ නැත. ඔවුහු සැම විටම විධිමත්ව තමන්ට හවු වූ අමුද්‍රව්‍ය මත කරන විග්‍රහයක් වෙයි. එම විග්‍රහය සඳහා සමස්ත නිරීක්ෂණයක් අවශ්‍ය වේ. ඒ සඳහා කාලය නොදී ජිනීවා හදිස්සියට කාල නිර්ණයන් ගැනීම පිණිස ඇටකටු සාම්පල කීපයක් පමණක් ඇමරිකාවට යැවීම තුළින් සිදු වූයේ සියලුම අවධානයන් වෙනතක යොමු වීමයි.නමුත් දෛවය විසින් මේ සියල්ල පාලනය කරනු ලබන බැවින් එවැනි අහඹු සිදුවීම් වන්නට තිබෙන ඉඩකඩ ගැනද අප කල්පනා කළ යුතුය. දෙමළ ජාතිවාදී දෙශපාලන යේ ගොදුරු වලක් බවට තිබූ මන්නාරම් මිනීවල අතේ පත්තු වුණ පුස් වෙඩිල්ලක් බවට පත් වූයේ එලෙසිනි. කෙසේ වෙතත් ජිනීවා 30/1 යෝජනාවට අනුව ස්ථාපිත කළ අතුරුදහන් කාර්යාලයට සහ මන්නාරම් මහේස්ත්‍රාත්වරයාට මෙම කාර්යය කළමනාකරණයට ඉඩ නොදී  පුරාවිද්‍යඥයන්ට ඉතිහාසඥයන්ට සහ සමාජ විද්‍යඥයන් ඒකාබද්ධ කරගත් වැඩ සටහනකට යෑමට  රාජ්‍ය අනුග්‍රහයක් ලබා දීමට කටුතු කලේ නම් මන්නාරමේ සමූල ඝාතන පිළිබද රහස් අහක යන කපුටන් ගේ ගොදුරු බවට පත් නොවන්නටද ඉඩ තිබුණු බව අවසාන වශයෙන් සිහිපත් කළ යුතුය..

              

No comments:

Post a Comment