පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, July 22, 2017

ආයුර්වේද පණතට දොස්තර වික්‍රමසිංහ විරුද්ධ වෙයි

                                 
            ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටතේ පැවති ආණ්ඩු ක්‍රමයන්හි දේශීය වෙදකමට නිසි තැනක් අත් නොවීය. ග්‍රාමීය වෛද්‍යාවරයා ඔවුන්ට වෙදරාළ විය.එයි වෙදරාළ මෙහෙට වරෙන් යයි ඇමතූ සුදු දිසාපතිවරු මෙන්ම සිංහල දිසාපතිවරුද  එකල වූහ. 1926 දී පමණ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී දේශීය වෙදකමට ලැබිය යුතු තැන පිළිබඳ කතාබහක් ඇති විය. ඒ අනුව බාලසිංහම් නම් මන්ත්‍රී වරයා යටතේ ස්වදේශ වෛද්‍ය උපදේශක සභාවක් පත් කරන ලදී. මෙම තත්ත්වය මත 1928 කෝට්ටේ පාරේ වෛද්‍ය විදුහලක්ද රෝහලක්ද බෙහෙත් සාදන ස්ථානයක්ද ඇති කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු යෙදූහ. පසුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙම උපදේශක සභාවේ සභාපති වූවායින් පසුව 1937 ද පමණ කවිරජ් දාස් ගුප්තා මහතා යටතේ කොමිෂන් සභාවත් පත් කර තිබේ. මෙහි කොමිෂන් වාර්තාව අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවක් පිහිටුවා වෛද්‍ය වරු ලියාපදිංචිය ඇරඹී දේශීය ආයුර්වේදය නව මුහුණු වරකින් ඉදිරියට පැමිණියේය.
         1956 ජයග්‍රහණයේ දී බණ්ඩාරනායක මහතා නැවතත් දෙශීය වෙදකමට අවශ්‍ය ස්ථානය ලබා දීමේ අභිප්‍රායෙන් සිටියද එතුමාගේ හදිසි අභාවයෙන් පසුව එය ඇණ හිටින. නමුත් 1960 බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ආයුර්වේද පණතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පණත ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය ජේ. පී. ඔබේසේකර මහතා විසිනි. එම පණත දෙවනි වර කියැවීමේදී විවාදය මදක් උණුසුම් විය. බදුල්ල මහජන මන්ත්‍රී වෛද්‍ය බී.එච්. බණ්ඩාර මහාත එහීදී කරන ලද දීර්ඝ දෙශනය 1961 මැයි 18 දින හැන්සාඩ් ගත වී තිබේ.මේ එයින් උපුටා ගත් කොටස් කීපයකි.
      දැනට වුවත් නොයෙක් වර්ග වල ආයුර්වේද බෙහෙත් කෙළවරක් නැතිව ඉනිදියාවෙන් අපේ රටට ගෙන්වා ගන්නවා. අපේ ඇතැම් වෙද්‍යවරුන් කපාඩියා සමාගම වැනි සමාගම් වල සාප්පු වලින් ආයුර්වේද බෙහෙත් වර්ග මිළයට ගන්නවා. ඒවා ඉන්දියාවෙන් ගෙන්වන්නට පටන් ගෙන තිබෙන්නේ ඒවා අපේ රටේ නොසාදන නිසයි. මේ රටේ වෛද්‍යවරුන් නව බෙහෙත් වර්ග ඉන්දියවෙන් ගෙන්වා ගන්නට වෙනත් හේතුවක් නැහැ. ඒ හේතුවෙන් අපේ රටෙන් විශාල ධනසම්භාරයක් ඉන්දියාවට ඇදී යනවා. මේ අයුර්වේද පණතේ සඳහන් කර තිබෙන අන්දමට ඖෂධ නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයන් ඇති කර එම බෙහෙත් බෙදාහැරිමේ ක්‍රමයකුත් ඇති කිරීමෙන් මේ රටට විශාල ආර්ථීක උන්නතියක් ඇතිවන බව මතක් කරන්නට ඕනෑ.මේ රටේ වැවෙන අරලු බුලු නෙල්ලි හාතාවාරිය රසකිඳ කොතෙක් තිබුණත් ඒවත් සමහර විට ඉන්දියවෙන් ගෙන්වනවා. මෙවැනි අමු බෙහත් වර්ග එකතු කර රජය මගින්ම ඖෂධ බවට හරවා මේ රටේ ආයුර්වේද වෛද්‍ය වරුන්ට බෙදා දීමේ ක්‍රමයක් ඇති කළහොත් ඒ මගින් මහජනතාවට සෙතක් සැලසෙනවාත් හැර මේ රටේ ආර්ථිකයත් පෝෂණය වනවා.
       දැනට තිබෙන සෑම ආරෝග්‍ය ශාලාවකම ආයුර්වේදය පිළිබද වෙනම අංශයක් ඉක්මනින් ඇති කරන්න පිළිවන්. ඒ සඳහා වැඩි මුදලක් යන්නේ නැහැ. ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට සුව කළ නොහැකි රෝග සඳහා ආයුර්වේද බෙහෙත් තිබෙනවා.
    මෙම විවාදයට එක් වූ ගාල්ල මන්ත්‍රී ඩබ්.දහනායක මහතා පළ කළ අදහස් මෙසේය. අලුතෙන් ආයුර්වේද ඉස්පිරිතාල පිහිටුවීම සුදුසු යයි සෞඛ්‍ය ඇමති තුමා කීවත් ඇමති තුමා මුදල් අමාරුකම් කියාවි.මේ රටේ සෑම ප්‍රධාන නගරයකම තිබෙන රෝහල් වල අඩු ගණනේ එක වාට්ටුවක් වත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව වෙදකම් කිරීමේ වැඩ පිළිවෙලක් ඇති කිරීමට කටයුතු කිරීම සුදුසුය. චීනයේ බටහිර වෛද්‍ය ක්‍රමය අනුව පුහුණුවූ වෛද්‍යවරුන් සිටින්නේ ස්වල්ප දෙනයි. එහෙයින් වැඩි පිරිසක් ප්‍රයෝජනය ලබා ගන්නේ පැරණි වෛද්‍ය ක්‍රමය අනුව වැඩ කටයුතු කරන වෛදවරුන්ගෙනුයි. සමහර ලෙඩුන් බටහිර වෛද්‍ය වරුන් වෙත යවන අතර අනෙක් අය අනෙක් වෛද්‍ය වරුන් වෙත යවනවා. ඇයි අපටත් එවැනි වැඩ පිළිවෙලක් කරන්න බැරි. සෑම ඉස්පිරිතාලයකම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව බෙහෙත් කරන වාට්ටුවක් තිබිය යුතුය.
         මෙම ආයුර්වේද පණත සම්මත කර ගැනීමට සෘජුවම විරුද්ධ වූ මන්ත්‍රීවරයා වූයේ අකුරැස්ස මන්ත්‍රී දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතාය. දෙස්තර වරයෙකු වූ ඔහු මෙම පණතට විරුද්ධ වීම පුදුමයක් නොවේ. දහනායක මහතා කතා කරන විට ඔහු කියා සිටියේ ඇටයක් කැඩුනම නිකම්ම එකට එකතු වෙනවා ඒක පාස්සන්න බෙහෙත් තෙල් පත්තු අවශ්‍ය නැහැ කියලයි.එහිදී දහනායක මහතා කියා සිටියේ ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමය මගින් කකුල් කපා දමන්නේ එම නිසා වෙන්නට ඇති කියාය. දොස්තර වික්‍රමසිංහ මහතා මෙදී වැඩි දුරටත් පවසා  සිටි කරුණු මෙලසෙය.
    වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් පමණක් නොව අනික් හැම ශාස්ත්‍රයන් සම්බන්ධයෙනුත් පුරාණ ඥානයත් වර්තමාන ඥානයත් යන දෙකොටසම සම්බන්ධ කර සම්පූර්ණ ශාස්ත්‍රයක් සම්පූර්ණ නවීන විද්‍යාවක් ඇති කිරීමයි අද ලෝකයේ සෑම තැනකම සිදු වන්නේ. කවුරුත් පිළිගන්නා ඥානවන්ත ක්‍රමය ඒකයි. නමුත් මෙම පණත ඉදිරිපිත් කර තිබෙන පිළිවෙල අනුව අද ලෝකයේ වෛද්‍ය විද්‍යාවන් දෙකක් තියෙනවාය යන අදහසක් ඉදිරිපත් වෙනවා. කතා නායක තුමනි. විද්‍යාත්මක අන්දමට මනුෂ්‍යයාගේ සනීපාරක්ෂාව ඇති කිරීමට මනුෂ්‍යයාගේ ලෙඩ රෝග සුව කිරීමට එකම ක්‍රමයයි ලෝකයේ තිබුණේ. තියෙන්නේ. නවීන වෛද්‍ය විද්‍යාවට පැරණි වෛද්‍ය ක්‍රමයේ වැදගත් කොටස් අඩංගු කර ගන්ට ශක්තිය නැතිකම. ඒ දුර්වලකම මේ වෛද්‍ය ක්‍රම දෙක වෙන්කරලා ගෙන යන්ට ඕනෑ යන තර්කය ඉදිරිපත් කිරීමට හේතුවක් නොවෙයි. මා ගරු පාර්ලිමේන්තු ලේකම් තුමා ඉදිරියේ ප්‍රකාශ කර සිටිනවා මේ විධියේ පණතක් ඉදිරිපත්  කර තිබෙන්නේ අයුතු බලපෑම් උඩ වෙන්න ඕනෑය.කියා. වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳව මූලික ප්‍රතිපත්ති මොනවාද කියා නොදැන මනුෂ්‍ය ජීවිත වෙනුවෙන් වගකීමට සුදුසු අය කවුරුන්ද නුසුදුසු අය කවුරුන්ද යන්න හරි අවබෝධයකින් නැතිව මේ පණත පිළියෙල කොට තිබෙන අතර එවැනි දේ ගැන මේ පණතේ එකම වචනයක් එකම වාසගමක් වත් සඳහන් වී නැහැ. ගරු කතා නායක තුමනි. නවීන ක්‍රමයට පුහුණුව ලැබ වෛද්‍ය වෘත්තියෙහි යෙදී සිටින ඇතැම් වෛද්‍ය වරුන් අතින් පවා වැරදි කෙරෙන එක ඇත්තයි. තමන් උගත් ශාස්ත්‍රය අයුතු අන්දමට පාවිච්චි කර පුද්ගලික ප්‍රයෝජනය සලසා ගන්නා අය සිටිනවා. යම් මනුෂ්‍යයකුට ඇතිවන විපතක් තම පුද්ගලික ප්‍රයෝජනය පිණිස යොදා ගැනීම ධනපති ක්‍රමයේ මූලික දෙයක් හැටියට හඳුන්වන්න පිළිවන්. යම් මනුෂ්‍යයකු විපතකට වැටුනාම එවැනි වෛද්‍යවරුන් වැඩියි. ඇතැම් දෙනා ඒ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා එම ක්‍රමයම ධනපති ක්‍රමයේ දූෂිත වැඩ පිළවෙලක් ලෙසට හඳුන්වන්නට පිළිවන්.
         ආයුර්වෙද පණත ඉදිරිපත් කර සම්මත කර දැන් වසර ගණනාවක් ගතව ඇත. ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමය සැලකිය යුතු දියුණුවක් ලබා තිබේ. ආයුර්වේද රෝහල් වලින් නොමිළයේ ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් සංඛ්‍යා ඉතා විශාලය. මේ වෙනුවෙන් රජය විශාල මුදලක් කැප කරයි. එය සාමාන්‍ය මහජනතාවට බලවත් සහනයකි. වර්තමානය වන විට මෙම ක්‍රමය දෙස රජය බලන්නේ වෙනත් කෝණයකිනි. ආයුර්වේද මූල ධර්ම අනුව සාදන බෙහෙත් වෙනුවට නවීන රසායනික ක්‍රම මගින් නිපදවන ශාකසාර හඳුනවා දෙන්නට උනන්දුවක් ඇතිව තිබේ. එසේම වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉන්දීය ශාක ඖෂධ නිපදවන සමාගම් ලංකාවට වැද්දගැනීමට කරන තැත නව ප්‍රවේශයකට පත් වී තිබේ. ඒ නම් ආයුර්වේද පෞද්ගලික රෝහල් ඇති කරලීමටද ඒ යටතේ ආයුර්වේද අධ්‍යාපනය ලබාදීමටද  ගිවිසුම් අත්සන් කිරීමට උත්සාහ දැරීමයි.මේ මගින් දේශීයව පවතින වෛද්‍ය විද්‍යාල අර්බුදයට පත්වනු ඇත. ආයුර්වේද පණතට විරුද්ධ වුවත් දොස්තර වික්‍රමසිංහ මහතා එදා මේ දුෂ්ට ධනවාදී ක්‍රම හෙළා දැක තිබේ.


Monday, July 10, 2017

බලු කපුටු වන්නට කැමැත්තෝ දඹුල්ලට අත තබන්න

                           

          පසුගියදා අස්ගිරි මහා විහාරයේ දී රැස්වුණු ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නයේ මූලිකත්වයෙන්   රජයට ඉදිරිපත් කරන ලද යෝජනා සංඝ ආඥාවක් බවට පත් විය.මහා සංඝ රත්නය විෂයෙහි එවැනි බලයක් නොමැති බව එන්.ජී.ඕ. බත් බැලයන් සහ දේශපාලන කුක්කන් ද මාක්ස් සරණ ගිය ඇතැම් හිමිවරුන්ද පවසති. සංඝ ආඥාවන් මෑත කාලයේ පමණක් නොව අතීතයේ රජුන්ටද  නිකුත් කර තිබේ. මේ සංඝ ආඥාව වර්තමාන විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය මගින් නිකුත් කරන ආඥාවක් මෙන් නොව ඊට වඩා බලවත්ව ඉහළින් තැබෙන බුද්ධ නීතියේ සම්ප්‍රදායයි. එය අද ප්‍රකාශයට පත් වනුයේ කන්ද උඩරට මහනුවර වැඩසිටින ලක් ජනතාවගේ මුදුන් මල්කඩවන් දළදා වහන්සේ ගේ ආනුභාවයෙනි.සිංහල බෞද්ධ ජනතාවත් මහා සංඝ රත්නයත්  සිය වගකීම දක්වනු ලබනුයේ දළදා වහන්සේට පමණකි.ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා  පත්වූ පසු දළදා වහන්සේ වැඳ නමස්කාරකොට ආශිර්වාද ලබන්නේ මෙම සම්ප්‍රදාය අඛණ්ඩ අවිච්ඡින්නව පැවතෙන හෙයිනි.
        වර්තමාන සංඝ ආඥාව ප්‍රකාශ කිරීමෙන් පසු ජනාධිපතිවරයා මහනුවරට පැමිණ මහා සංඝ රත්නය බැහැ දුටහ. සංඝ ආඥාවෙන් ප්‍රකාශ වන කරුණු පිළිගත්හ.සත්‍ය සෙවීමට කොමිසමක් පත් කරන බවද දැන්වූහ.ව්‍යවස්ථා කොටුම්පත මහා සංඝ රත්නයට ඉදිරිපත් කරන බවද දැන්වූහ.එහෙත් ජාතික උරුමයන් භාර ඇමැතිවරයා ගෙන් එම විෂය ඉවත් කිරීමට කරන ලද ඉල්ලීම අගමැතිවරයාගේ කැමැත්ත මත කරන බව කියා සිටියහ. මෙයින් ගම්‍ය වන්නේ කුමක්ද.අගමැතිවරයාගේ කැමැත්ත නොමැතිව තීරණාත්මක වෙනසක් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බවයි. මහ නායක හිමිවරු කුමක් පැවසුවද නව ව්‍යවස්ථාවක් ගෙන එන බව අගමැතිවරයා මන්නාරමේදී කළ ප්‍රකාශය මත මෙය තව දුරටත් තහවුරු විය.
      රන්ගිරි දඹුලු රජමහා විහාරය ලෝක උරුමයක් ලෙස නම් කර ඇති බැවින් තමන්ට තිබෙන බලතල ප්‍රකාරව ප්‍රවේශ පත්‍ර අච්චු ගසා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මුදල් අය කිරීම ආරම්භ කරන බවට ඇමතිවරයා යලි යලිත් ප්‍රකාශ කරයි.දැන් එහි තවත් පියවරක් වශයෙන් දඹුලු විහාරය තාවකාලිකව වසා දමන්නට තීරණය කර තිබේ.ඇමතිවරයා දඹර අමිල හිමි පුරා විද්‍යා අධ්‍යක්ෂ බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු පිරිසක් එක්ව එම තීරණය ගත බව මාධ්‍ය වාර්තා කර ඇත.මධ්‍යම සංස්කෘතික අරමුදල ආරම්භ වූයේ 1980 වසරේ වුවද සංස්කාතික ත්‍රිකෝණ ව්‍යපෘතිය පිළිබඳ අදහස මතුව එන්නේ පැරිස් නුවර දී පැවැත්වුණු යුනෙස්කෝ සමුලුවේදීය . පසුව 1970 දී ලක්ෂ්මන් ජයකොඩි සංස්කෘතික ඇමතිවරයාගේ නියෝගයෙන් සංස්කෘතික ත්‍රිකෝණ නාමය ස්ථාපිත කර ඇත. සංස්කෘතික හා ආගමික ස්මාරක සංවර්ධනය කිරීමේ අරමුණින් ද සංස්කෘතික ප්‍රවර්ධනයට දායක වන කලාකරුවන් නගා සිටුවීමේ පුළුල් අරමුණින් ද පිහිට වූ මේ අරමුදල පුණ්‍යාතනයකි.  මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි සභාපති වරයා වන්නේ නිල බලයෙන් අගමැතිවරයාය. සංස්කෘතික ඇමති සංචාරක ඇමති හින්දු සංස්කෘතික ඇමති පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්  මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රජයේ නියෝ ජිත පිරිසක්ද අගමැතිවරයා නම් කරනු ලබන පුද්ගලයන් දෙදෙනෙකුද මේ අරමුදල නියෝජනය කරයි.1998 පුරාවස්තු සංශෝධන පණත මගින් සුදුසු ස්ථාන වලින් මුදල් අය කිරීමේ බලය අධ්‍යක්ෂ ජනරාල් වරයාට ලැබුණි.සුදුසු ස්ථාන යනුවෙන් දැක්වෙන්නේ රජයේ ඉඩම් වල පවතින ස්මාරකයන් හෝ ආරක්ෂිත ස්මාරකයන්ය.රෝලන්ඩ් සිල්වා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් වරයා ගේ කාලයේ ඔහු විසින් සිය බලතල ප්‍රකාරව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහා විදේශීය මුදල් සොයා ගත්හ.යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති ඇරඹෙන්නේ එතැනිනි.පසු කාලයේ එම යුනෙස්කෝ ව්‍යාපෘති අවසන් වූ කළ මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් නැති විය. රජයේ භාණ්ඩාගාරයෙන් ලැබුණද එය ප්‍රමාණවත් නොවීය.එම නිසා ප්‍රවේශ පත්‍ර වලින් මුදල් අය කිරීම ආරම්භ කරන ලද්දේ යටකී පුරාවස්තු ආඥා පණතේ බලතල යටතේය.රෝලන්ඩ් සිල්වා මහතා සිය බලතල යොදවාගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කළ යුතු ශාස්ත්‍රීය  කැණීම් සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘති හරහා ඇරඹීය. පොළොන්නරුවේ තිවංක පිළිමගෙය රන්කොත් විහාරය ආදී තැන් එකල මෙම ව්‍යාපෘති මගින් හානියට පත් කරන ලදැයි චෝදනා එල්ල විය.මේ තත්ත්වය ඇති වූයේ සංස්කෘතික ත්‍රිකෝණය සිය බල සීමාවෙන් එපිට පුරාවිද්‍යා වැඩ කටයුතු වලට පෙළඹීමෙනි. එහෙත් පුණ්‍යාතනයක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූලික අරමුණ වනුයේ එය නොවේ.
       වර්තමාන රජය පත් වූ පසු අධ්‍යපන ඇමතිවරයා හීන් සීරුවේ මධ්‍යම සංස්කාතික අරමුදල් පණත ට සංශෝධන කීපයක් ගෙනවුත් තිබේ. අගමැතිවරයාට තිබෙන බලතල වලට අමතරව ඇමතිව‍රයාගේ ලේකම්වරයාද පාලක මණ්ඩලයට ඇතුලත් කරගෙන ඇත. ඒ සංස්කෘති ඇමතිවරයා සහ ලේකම් යන පදය වෙනස් කොට රේඛීය අමාත්‍යංශයේ ඇමති සහ ලේකම් යනුවෙන් යොදමිනි. අද වන විට මෙම ආයතනයට සේවකයන් 1600 ක් පමණ අලුතින් බඳවා ගෙන ඇත.පුරාවිද්‍යා ස්ථාන විසිනවයක් සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කරුවන් 12ක් අලුතින් බඳවා ගෙන තිබේ.එසේම සීගිරිය ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් පදනමින් සේවය කළ සීගිරිය අවට ගම් වාසීන් හතලිස් දෙනෙකු පමණ සේවයෙන් ඉවත් කොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමන්ගේ චන්ද දායකයන් විසිදෙනෙකුට පමණ ස්ථීර රැකියා ලබා දී තිබේ.එමෙන්ම සංස්කෘතික ත්‍රිකෝණයේ සේවය කළ පැරණි අයගේ වැටුප් වර්ධක අඩකින් කපා හැර තිබේ.වර්ෂයකට රුපියල් දෂලක්ෂ 3600 ක් පමණ ආදායමක් මෙම සංස්කෘතික අරමුදල උපයා ගන්නේ යැයි කියති.එම සැබෑ ආදායම ජනතාවට හෙළි කළ යුතුව ඇත.මෙම මුදලින්  සියයට විසිපහක් පමණ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු පිනිස නිදහස් කිරීමටද එකඟතාවයක් තිබේ. එහෙත් පසුගිය කාලයේදී විශේෂඥයන් ගේ හිඟය නිසා මෙම මුදලෙන් දෙපාර්තමේන්තුව භාවිත කොට තිබෙන්නේ සියයට පහත් දහයත් අතර ප්‍රමාණයකි.
       අගමැතිවරයාගේ සහ ඇමතිවරයාගේ බූදලයක් බදුවූ මධ්‍යම සංස්කෘතික අරමුදල් පණතේ බලය මගින් මහා විහාරය පාලනය කිරීම ඇමති වරයාගේ අභිප්‍රායයි. දෙමල ඩයස් පෝරාවෙන් සහ එන්.ජී. ඕ. බත් බැලයන්ගෙන් යැපෙන ආණ්ඩුව ඊට එරෙහි වන ඕනෑම බලයක් ශූන්‍ය කිරීමට මුලු ගැන්වෙන බව මෙම සිද්දියේදී පෙන්නුම් කර තිබේ.උතුර සහ නැගෙනහිර සඳහා වෙනම සවයං පාලනයක් ලබා දීමට ආණ්ඩුව ගත් ප්‍රතිපත්තිමය තීරණය ට එරෙහි වන මහා සංඝරත්නය හෑල්ලුවට ලක් කොට අකර්මණ්‍ය කිරීම මෙහි අරමුණයි.අවසානයේ ව්‍යවස්ථාව තුළ බුද්ධ ශාසනයට හිමි තැන අවසන් කොට අනාගමික රාජ්‍යයක් දක්වා ගෙන යෑමට යෝජනාද අගමැති වරයා ගේ වාර්තාවේ දැනටමත් අඩංගුය. දඹුල්ල සිද්දිය තුලින් මේ තරමටම ඇමතිවරයාගේ උද්දච්ඡ කම ඉහවහාගොස් තිබෙන්නේ එහෙයිනි.
      1931 විහාර දේවාලගම් පණත 1940 පුරාවස්තු ආඥා පණත මෙන්ම 1980 මධ්‍යම සංස්කෘතික අරමුදල් පණත ආදී සියල්ල ඉංග්‍රීසීන් රට භාර ගත් පසු ඔවුන්ගේ නීති රීති පද්ධතිය යටතේ මෙරට වර්තමාන ආණ්ඩු විසින් ඇති කරන ලද නීතිමය ලියවිලි වේ. නමුත් මෙම නීතිවලට ඉහළින් මෙරට සාම්ප්‍රාදායික ව්‍යවස්ථා ලියවිලි කීපයක් තිබේ. ඒවා නීති පොතේ නොමැති වුවත් ගලේ කොටවා තිබෙන බව ද ඉර හඳ පවතිනා තාක් කල් වලංගු වන බවද පෙන්වා දිය යුතුය.එයින් එකක් නම් අනුරාධපුර ජේතවන විහාරය අසළ  රත්න ප්‍රාසාද භූමියෙහි පවතින දහවන සියවසට අයත් පස්වන කසුප් රජගේ සෙල් පුවරු ලිපියයි. එහි 53 වන ඡේදයේ මෙලෙස සඳහන් වේ.පිරිවෙන ලදුවන් තමන්ට නියම කල වස්තුවෙන් වැඩි ඉතිරි වූ තාක් දෙයින් සංඝයාගේ දාසයන්ට උපස්ථාන කොට කර්මාන්ත නව කර්මාන්ත පූජා චිත්‍ර කර්ම කොට වැඩියෙන් ඇතොත් ඉඩම් ගැනීම මැනවි.
       මෙයින් කියැවෙන්නේ කුමක්ද ගම් බිම් වලින් සහ රජය විසින් නියම කළ දීමනාවන් ගෙන් ලබන ලද ආදායම පරිහරණය කරන ආකාරයයි. එම මුදල් සහ වැඩ කටයුතු පරිපාලනය කරනුයේ පිරිවෙන් හෝ විහාර භාර සංඝරත්නය විසිනි. විහාර දේවාලගම් පණතින් විකෘති ලෙස ආවරණය වන්නේ ද මෙම සම්ප්‍රදායයි. එබැවින් දඹුලු විහාරයෙන් යම් මුදලක් එකතු කරන ලද්දේද ඒම වස්තුව පරිභෝග කීරීමේ සම්පූර්ණ අයිතිය හිමිවන්නේ විහාර පාලනය කරන මහා සංඝ රත්නයටයි. එයින් විහාර සංවර්ධනය කිරීමටද චිත්‍ර කර්මාන්ත සංරක්ෂණයට සහ පවත්වාගෙන යෑමටද චිත්‍ර ශිල්පීන්ට ගෙවීමටද අවශ්‍ය බලය පවරා දී තිබේ.එම මුදල් පරිපාලනය කිරීමට රජය මැදහත් විය හැකි නමුත් ඒවා වෙනත් කටයුතු වලට යෙදීමෙන් හෝ පුද්ගලික පරිභෝජනයට යෙදවීමෙන් බලු කපුටු වෙන්නට හැකි බවද එම සෙල් ලිපි පාඨවලින් පැහැදිලි වේ.
         රජය විසින් මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවන ලද්දේ මහා සංඝරත්නය විසින් කරනු ලැබූ මෙම ඓතිහාසික කාර්යයන්ට යම් කිසි මූල්‍ය ශක්තියක් ලබා දීමටයි.එම ආයතනය පුණ්‍යාතානයක් බවට පත් කරන ලද්දේ එහෙයිනි.2002 බුද්ධ ශාසන ජනාධිපති කොමිසමේ පළමු නිර්දේශය මෙහිදී සිහිපත් කළ යුතුය.  බුද්ධ ශාසනය යන්නට එහි පැහැදිලි නිර්වචනයක් ලබා දී තිබේ.තථාගතයන් වහන්සේ නවලෝකොත්තර ධර්මය සංඝ රත්නය විහාරාංග සහිත විහාර්ස්ථාන ආරණ්‍ය සේනාසන හා භාවනා මධ්‍යස්ථාන බෝධි වෘක්ෂ ස්තූප පිළිම ගෙවල් ධාතු මන්දිර බණ පොත් හා පුස්තකාල ආදී වශයෙන් එහි අර්ථ විවරණයක් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය ප්‍රකාරව බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමයි. මේ සඳහා පිහිටුවා තිබෙන ප්‍රමුඛ ආයතනයක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ කාර්ය භාරය විය යුත්තේ ඉහතකී ශාසනික දේපළ ස්මාරක සංරක්ෂණය කිරීම ප්‍රවර්ධන කිරීම ආදී කටයුතු සංවිධානයයි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශේෂඥ සහාය ලබාගත යුත්තේ එම කටයුතු මනා ලෙසට විධිමත්ව කරවා ගැනීමටයි. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් ලෙසට අරමුදල් එකතු කරමින් සංස්කෘතික උරුමයන් විකෘති කිරීම් වලට භාජනය කරලීමෙන් මෙතෙක් ගෙන ගිය වැඩ පිළිවෙල  වර්තමාන අමතිවරයා විසින් වැඩි දියුණු කර තිබේ.  තමන්ගේ චන්ද දායකයන් හට රැකියා ලබා දෙන ආයතනයක් බවට මධ්‍යම සංස්කෘතික අරමුදල පත් කරගෙන තිබේ.අගමැති වරයාගේ බලය මෙහිදී අයුතු ලෙසට ප්‍රයෝජනයට ගෙන ඇත.
       ගලේ කොටවා තිබෙන පුරාණ සෙල් ලිපි පාඨ මගින් හෙළිවන බලය නැවත ස්ථාපිත කොට සිංහල රට බෞද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා මහා සංඝරත්නය පෙරමුණ ගැනීමට දැන් කාලය පැමිණ ඇති බව මෙම සිද්දි වලින් පැහිදිලි වේ.දඹුලු විහාරයේ ප්‍රවේශ පත්‍ර අලෙවියට මධ්‍යම සංස්කෘතික අරමුදලට ඉඩ නොදීම එක් පියවරකි.බුද්ධ ශාසනයට එරෙහි දුෂ්ඨ බලවේගයක් ලෙසින් ක්‍රියාත්මක වන වර්තමාන ආණ්ඩුව විසින් කෙටුම්පත් කර තිබෙන රට බෙදන ව්‍යවස්ථාව සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීම සඳහා ජනතා පෙළ ගැස්වීමද අත්‍යවශ්‍ය වේ. දළදා හාමුදරුවන් කෙරෙහි පවතින භත්තිය  සහ ජනතාවගේ වගකීම වැඩි වර්ධන කොට  එම බලය රට පුරා පිළිගැනුමට ලක් කිරීමෙන් රටේ නායකයන්ද එයට හිස නැමීමට සිදු වනු ඇත.