පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, April 21, 2017

පරිසර සංචරණයට බිලිදෙන ජාතික උරුමය

                                        

         පරිසර සංචරණය මුවාවෙන් සංචාරක හෝටලයකට ලබාගත් වන සංරක්ෂණ ඉඩමක පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් ඉහළ ගල්ලෙනක මීටර් දෙකහමාරක් පමණ දිග ඉපැරණි ලෙන් ලිපියක් ග්‍රයින්ඩරයක් මගින් මකා දමා එම වන සංරක්ෂණ ඉඩම සංචාරක සමාගමට අත්පත් කර ගැනීමට කරන ලද බොළඳ උත්සාහයක් පසුගියදා සීගිරිය කුඹුක්කඳන්වලින් වාර්තා විය.මෑත කාලයේදී වාර්තා වූ පුරාවස්තු හානි අතර මෙම සිද්දිය කිසිසේත්ම ලඝු කොට තැකිය නොහැකිය. ඊට හේතුව මෙම ලෙන් ලිපිය මේ වන තෙක්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කර ගෙන නොතිබීමයි. ඒ අනුව මෙම ප්‍රදේශයේ ඉතිහාසයට ආලෝකය සැපයිය හැකි වැදගත් ශිලා ලේඛණයක් ජාතියට අහිමි විය.

           ලංකාවට සංචාරකයන් පැමිණීම තුළින් දේශීය ආර්ථිකයට ලැබෙන දායකත්වය  සුවිශේෂීය. වසර තිහක පමණ කාලයක් ආපස්සට සලකා බලන කල්හි විවෘත ආර්ථික ප්‍රතිපත්ති මත සංචාරක කර්මාන්තය බෙහෙවින් දියුණට පත් වී තිබේ. සංචාරකයා මෙරටට පැමිණෙන්නේ විවිධ අරමුණු ඔස්සේය. ලංකාව සුන්දර රටක් බැවින් සොබාව සේන්දර්ය විද ගැනීම වෙරළ ආශ්‍රිත පරිසර සුන්දරත්වය ආදිය ඔවුන්ගේ සිත් ගැනීමට හේතු වී තිබේ. මෙරට පවතින කැලෑ සහ වැව් ආශ්‍රිත පරිසරයද මෙ සඳහා දායක කර ගැනීමට සංචාරක කර්මාන්තයේ නියුතු බොහෝ දෙනා අද උනන්දු වී සිටිති.මීට කලකට ඉහත කණ්ඩලම වැව් තාවල්ලේ හෝටලයක් ගැසීම සිදු විය.එය පාරිසරික සංචාරක කර්මාන්තයේ මෑත කාලීන කඩයිමකි. නමුත් මෙම ව්‍යාපෘතියට එකල විශාල ජනතා විරෝධයක් එල්ල විය. වැවේ බැන්ද හෝටලය මගින් සිදු වන පරිසර විනාශය ගැන බරපතල සාකච්ඡාවක් එහිදී මතුවිය. නමුත් පාරිසරික අණ පණත් අනුව හෝටලයේ ප්‍රමිතිය සකස් කර ගැනීමෙන් පසු එම කඩයිම ජයග්‍රහණය කර ගැනීමට ඔවුනට පිළිවන් විය.මේ සිද්දිය ජනතා මතකයෙන් ඈත්වී දැන් පාරිසරක සංචාරක කර්මාන්තය විශාල වශයෙන් ලංකාව පුරා ප්‍රචලිත වී තිබේ. විශ්ෂයෙන්ම මුහුදු තීරය ආශ්‍රිතව ඉදි කරන විවෘත හෝටල් සංකීරණ නිසා සංචාරකයන්ගේ ආකර්ශණය වැඩිවී තිබේ.
          පාරිසරික සංචාරක කර්මාන්තයට අදාල හෝටල් අද බහුල වශයෙන් ඉඳි කරනු ලබන්නේ වැව් සහ පාරසරික සුන්දරත්වය පවතින අභය භූමි ආශ්‍රිතවයි. මෙවැනි තැන් වල ඉඳි කිරීම් සිදු වන කල්හි කළ යුතු පාරිසරික අගැයුම් මෙන්ම පුරාවිද්‍යා හානි අගැයුම් ගැන සැලකිල්ලක් නොමැතිව පසුගිය කාලයේ විශාල වශයෙන් වන හානි සහ පාරිසරික හානි සිදු කර තිබේ. යුද්ධයෙන් පසු  උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ කරන ලද ඉඩම් බදු දීම් වලදී ඉහත නීති රීති කිසිවක් අදාල කර ගෙන නැත. විශේෂයෙන්ම පාරිසරික කාබනික වගා ආදර්ශ පවත්වා ගෙන යෑමට කැමැති සමාගම් නිසා වන සංරක්ෂණ ඉඩම් පවා නීතියට පිටින් අත්පත් කර ගෙන ඇත. මෙහි නවතම නිදසුන වාර්තාවන්නේ දඹුල්ල කණ්ඩලම කුඹුක්කඳන්වල ගමේ මහකපුයාය වන රක්ෂිතය තුළයි.
          මහකපුයාය වැවට ආසන්න කලුදිය පොකුණ පුරාවිද්‍යා රක්ෂිතය ගැසට් කරනු ලබන්නේ 1935 දී පමණය.අක්කර 89 ක් ඊට අයත්ය. පූර්ව අනුරාධපුර යුගයට අයත් සුවිශේෂී සෙල් ලිපි රැසක් එහි පවතී. පසු කාලයේදී සීගිරි කාශ්‍යප කාලයට අයත් ආරාම සංකීර්ණ මෙම කඳුරයේ විවිධ තැන්වල දක්නට ලැබෙයි.සීගිරිය දක්වා දිවෙන මේ කලාපයේ විවිධ ගල් පර්වත ඇසුරු කරගෙන ඉඳි වී ඇති ලෙන් සංකීර්ණ ආරණ්‍ය මෙහි බහුලය. නුවර යුගයේදී(1681 දී ) මෙම පෙදෙස ආශ්‍රිත කුඹුක්කඳන්වල ගම්මානය මිල්ලවානේ රත්තරන් ගෙදර රදළයන්ට සන්නසකින් හිමි විය.වෙලන්ගොල්ල හීන්නෙන් කරඹවැල් යායේ වැට වැරැල්ලෙන් කෙරටිය ගලෙන් පන්හේනේ මහ මීගහෙන් රඹ වැවේ දිය ගිලුමෙන් මහ ගුරුළු හීන්නෙන් ගල් ටැඹෙන් දුන්නබිඳි වැවෙන් අකුරු කෙටූ ගලෙන් මහ කපුයායේ හීන්නට යනුවෙන් එම සන්නසේ කුඹුක්කඳන්වල හතරමායිම් දක්වා තිබේ. ඉංග්‍රීසීන් රට බාර ගත් පසු විශේෂයෙන්ම 1848 ජාතික විමුක්ති අරගලයෙන් පසුව සන්නසේ සඳහන් ඉඩ කඩම් කුඹුක්කඳන්වල ගම්වාසීන්ට අහිමි විය. පසුව 1966 සැප්තැම්බර් මස 16 දින ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මෙම ගම්මානයට අයත් ඉඩ කඩම් වලට අයිතිවාසිකම් කියන්නන්ට ඉදිරිපත් වීමට හැකි වන පරිදි ගැසට්ටුවක් නිකුත් කර ඇත. මේ අනුව ගමේ විවිධ පුද්ගලයන් එයට ඉදිරිපත් වූහ. නමුත් කාලයක් ගත වුවද එම කාර්යයන් සම්පූර්ණ වූ බවක් නොපෙණුනි. සැබවින්ම මෙම ගම්මනායේ ඉඩම් සංචාරක කර්මාන්තයට මංකොල්ලකෑමකට ලක් වීම ඇරඹෙන්නේ මෙතැන් සිටයි.

          2013 වසර වන විට මෙම ඉඩම් හිමිකම් සඳහා ගම්මුන් තෝරාගෙන ඇති බවට කිසිවෙක් දැන නොසිටියහ.එහිදී ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මෙම ඉඩම් සඳහා අතුරු සහතික නිකුත් කිරීම අරඹා තිබේ. එම ගමේ සේවය කල විශ්‍රාම ලත් ග්‍රාම සේවකවරයෙකු එය දැන සිටියේය. ඔහු ඉහළ නිළධාරින් සමග එකමුතුව මෙම ඉඩම් ගම්මුන් ගෙන් ඉතාමත් අඩු මිළකට මිලට ගත්තේය. එසේ මිලදී ගත් මහකපුයාය වැව ආශ්‍රිත ඉඩම් අක්කර හතළිස්හතක් සමාගමකට විකුණා දැමීමට මොවුන්ට හැකි විය. . ඊළඟ ඉඩම් කොල්ලය ඇරඹෙන්නේ වන සංරක්ෂණය සතු ඉඩම් වලට අත පෙවීමෙනි. මහකපුයාය වැව මෙම ඉහතකී කුඹුරු ඉඩම් වලට දියවර සපයන වැවයි. එය ගම සතුය. නමුත් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සමාගම් හිමියාට  මෙම වැව භාර කොට ඇත. වැවට උඩින් මහගල් තලාව සහිත වන හීන්නයි.සමාගම් විසින් මෙම වන ගහනයෙන් තවත් අක්කර 46ක්  පමණ කොටු කර ගෙන ඇත්තේද  අයථා ලෙසිනි.. මහ කපුයාය නම් පොදු වැව එයට යන ගම්සභා පාර පවා  අත් පත් කරගත් සමාගම ගම්මුන්ට එහි ඇතුල් විය නොහැකි වන පරිදි වැට ගසා ගෙන තිබේ.
       මේ ප්‍රශ්ණය එළියට පැමිණෙන්නේ ගමේ තරුණයෙකු වූ ඩබ් .ජී.වසන්ත ගේ ඉඩමක්ද කොටුකර  ගැනීමෙනි.අතුරු සහතික නිකුත් කරන කල්හි වසන්තගේ මවට අයිති උරුමය වෙනත් අයෙකුගේ නමට අතුරු සහතික සාදවා සමාගම් සතු කරන්නට ගත් උත්සාහය වසන්තට දැන ගනන්ට ලැබී ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවට දන්වා වෙනස් කර ගැනීමට වසන්තට හැකි විය. නමුත් වසන්තට ඉඩමට ඇතුල් වීමට සමාගම් ඉඩ නුදුන්හ.  සමාගම ඔහු වළක්වා  පොලිසිය යොදවා අත්අඩංගුවට ගෙන ඇත.  දැන් මේ සම්බන්ධව නඩුවක් පවතී. අවසානයේදී සිදු වූයේ කවුරුත් නොසිතූ සිදු වීමකි. වන සංරක්ෂණ සීමාවට අයත්ව තිබූ තලයායගල්ගේ තිබූ මීටර්  දෙකහමාරක් පමණ දිග ලෙන් ලිපියක් ග්‍රයින්ඩරයක් දමා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට යම් කිසි පිරිසක් උත්සාහ දැරීමයි. මේ විනාශ කාරී ප්‍රවේශය කල් තියා දැනගත් වසන්ත පොලිසියට පැමිණිලි කළද සීගිරි පොලිසිය එම පැමිණිලි විභාග නොකළහ.සෙල් ලිපියෙන් කියැවෙන ඉතිහාසය මකා දමා පුරාවිද්‍යා උරුමය අවසන් කිරීමට ඔවුන් සිතුවා විය හැකිය. නමුත් ඉතිහාසය විසින් ලබා දෙන සාක්ෂි සෑම තැනකම සැඟවී තිබෙන බව මේ මෝඩ මිනිසුන් නොදනී.
          පාරිසරික සංචාරක කර්මාන්තයත් එයින් ජනතාව වෙත කාන්දු කර ඇති දුෂ්ට ආකල්පයන් ද මේ සිද්දියෙන් මනාව හෙළිවී ඇත. විශාල ලෙස මුදල් ආයෝජනය කරන කවර හෝ සමාගමක්  උත්සාහ කරන්නේ තමන්ගේ අභිප්‍රායට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමටයි. ඉඩම් අවශ්‍ය නම් නීත්‍යානුකූල නොවන ලෙසට හෝ ඒවා ලබා ගෑනීම ට ඔවුහු කටයුතු කරති. විශේෂයෙන් සොබා සෞන්දර්යයෙන් පිරි පරිසර ස්ථාන සියල්ල ගොනු වී පවතින්නේ වන සංරක්ෂණ සතු ඉඩම් ආශ්‍රිතව බැවින් ඒවා දෙස ගිජු ලෙස බැල්ම හෙළමින් ලබා ගැනීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කරති. ගමට එන පොහොසතුන්ට ගමේම පුද්ගලයන් සම්බන්ධ වන්නේ හුදෙක් වස්තු තණ්හාවෙනි. විවෘත ආර්ථික ප්‍රතිපත්ති කරණ කොට ඇතිවූ මුදල් පසුපස හඹායන මානසිකත්වය මෙහිදී ඉතාමත් නරකට යොදා ගෙන ඇත. ඉඩම් තැරැව්කරුවන් බිහිවන්නේ එලෙසය. මේ දුෂ්ට ධනවාදී ආකල්පයන් නිසා සීගිරිය වුවද දඹුල්ල වුවද විකිණීමට ඔවුන් පසුබට වන්නේ නැත. ළඟදී සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලේ දඹුල්ල ව්‍යාපෘතිය පිලිබඳ රැස්වීමකදී ඇමතිවරයා පවසා ඇත්තේ අවශ්‍ය නම් දඹුලු ගල පවා විකිණිය හැකි බවයි.පරිසර සංචරණය මුවාවෙන් කෙරෙන මේ ජඩකම් නීත්‍යානුකූල වන තෙක් ජනතාව බලාසිටින්නේ   ඇයිද යන්න ප්‍රශ්ණයක් ලෙසින් අප ඉදිරියේ පවතී.ඒ මෙවැනි අඳබාල ඇමතිවරුන්ට ජනතාවගෙන්ද වටිනාකම් හිමිව ඇති බැවිනි.



      

No comments:

Post a Comment