පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, December 14, 2012

ගැබිණි මව්වරුන්ට සුදුසු පාරම්පරික සහල්

-->
                                 

            කාන්තාවක් මව් පදවිය ලැබීම සොබා දහමට අනුව අරුමයක් නොවේ. නමුත් විවිධ සංස්කෘතීන් පවතින ලොව තුල මව් පදවිය තක්සේරු වන්නේ වෙනස් ලෙසටයි. ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කිව හැකි සිංහල ජන සමාජය  මව් පදවිය ඉතා උතුම් කොට සලකයි. ඒ නිසාම මවක් බවට පත් වීම පමණක් නොව ගැහැණූ ළමයෙකු වැඩිවිය ට පත් වීමද වෙසෙසියාවක් වේ .  නිරෝගීමත් දරුවෙකු  බිහි කරලීමෙන්  අනාගතයේ දී උසුලනු ලබන ජාතික වගකීම දරා ගැනිමට ශක්තිය  ඇති වන බව පැරණි සමාජය විශ්වාස කරලීම ඊට හේතුවයි.නිදසුනක් වශයෙන් ලංකාවේ ප්‍රධාන ආර්ථිකය බවට පත්ව තිබූ ගොවිකම පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්ති සම්පන්න ශ්‍රම සම්පත  දැක්විය හැකිය. එය ඇති වන්නේ නිරෝගීමත් දරුවකු බිහිකරලීමෙන් පසුව බව පැරණියන් තේරුම් ගෙන සිටියහ. එසේම ගැහැණු ළමයෙකු නිරෝගීව වර්ධනය වීම ද ජාතිය බිහිකරලීමට ඉවහල් වන බව ඔවුහු තේරුම් ගෙන සිටියහ.
          ගැබිණියක්  දසමසක් (චන්ද්‍ර මාස දහයක් ) තුල සිය කුසෙහි දරුවා රඳා ගෙන සිටීම ස්වභාවික දෙයක් ලෙසට අතීත සමාජය සලකා ඇත. එහෙත් ගැබිණි අවදියේ දී ඇයට ඇති විය හැකි අපහසුතා වළක්වාලීමට විවිධ ආහාර තහංචි අනුගමනය කිරීමක් ද විය. අපත්‍ය ආහාර පරිභෝජනය කිරීම නිසා මවගේ ලේ දූෂ්‍ය වී කුස තුල සිටින බිළිඳා ගේ සිරුරේ රත ඇති වන බව වෙද පොත පතේ කියා දී තිබේ. මේ නිසා තෑම පරිහරණයේ දී ඇය බෙහෙවින්ම පරෙස්සම් විය යුතුයයි සම්මතයක් විය.
       දරුවා කුස දරා සිටින මුල් මාස තුන ගැබිණියන්ට බෙහෙවින්ම පීඩා කාරි නමුත් ක්‍රමයෙන් එම අපහසු කම් දුරු වී යයි. එහිදී එක් එක් මාසයට ගැලපෙන ඖෂ වර්ග නියම කරලීමක් ආයුර්වේදයේ ඇත. කෙසේ වෙතත් අවසාන මාස වලදී ගර්භය  සැහැල්ලු කර ගැනීමටට අවශ්‍ය ශක්තිය මවට ලැබිය යුතු වන අතරම දරුවා ද සුවෙන් සිටිය යුතුය. මේ සඳහා පැරණියන් ගැබිණියට ලබා දුන් ඖෂධ වර්ග මෙන්ම ආහාර වර්ග ද විවිධය. ගර්භය පහුසුවෙන් පහත හෙළිමට නම් අපාන වාතය (මළ මුත්‍රා හා ගර්භය පහත හෙළන වාත ශක්තිය ) හීන නොවී ශක්තිමත් විය යුතුය. එහි දී සුදු ලූනු බැබිල මුල් කසායට තිප්පිලි ප්‍රතිවාප දමා දීම සිරිතකි. එයට හේතුව සුදුලූනු මගින් මේ වාත වේගය ශත්තිමත් කරලීමයි.   
          විසිවන සියවස මුල් භාගයේ දී ගමක ඇති  වූ සිද්දියක් මේ සමගම මට මතකයට නගා ගත හැකිය. එකල ගම් ප්‍රදේශ වලට හෝ වතුවලට පත් කරන ලද ඉංග්‍රීසි වෛද්‍ය වරුන් හැඳින්වීමට ඇපොතිකරි යන නාමය භාවිතා කළහ. ගමක ගැබිණියක් දරු ප්‍රසූතිය සඳහා සූදානම් වූ නමුත් පහසුවෙන් එය සිදු නොවූ නිසා මේ ඇපොතිකරි වරයා කැඳවීය. නගරයෙන් පැමිණි බැවින් එකළ එම වෛද්‍ය සේවය ගැමියා ගෞරව සම්ප්‍රයුක්තව සැලකිමට පුරුදු ව සිටියේය. නමුත් දරු ගැබ ස්වභාවිකව එළියට ගැනීමේ පිළියමක් ඔහු සතු නොවීය. එවිට ගමේ වෙද මහතා මතක් වූ නිවැසියන් කලබලව ඔහුද කැඳවා ගෙන ආයේය. ලෙඩා සෝදිසි කළ වෛද්‍ය වරයා වහා කරුණු තේරුම් කර ගත්තේ නාඩි පරීක්ෂා කිරීමෙනි. අනතුරුව පැසුණු කොස් ගෙඩියක් කඩන්නට අණ කළ වෙද මහතා ගෙදර කුඹුක් ගහ ළිඳෙන් හොඳ හැටි නාකියා ගත්තේය. අනතුරුව තැම්බූ කොස් ආහාරය ට ගන්නා ලෙසද උපදෙස් දුන්නේය. ගත වූයේ ටික වේලාවකි.බිළිඳා ගේ හැඬීම කාහටත් ඇසෙන්නට විය. ඇපොතිකරිවරයා විශ්මයට පත්ව නොකියාම යන්නට ගියේය. සිදුව ඇත්තේ මවගේ අපාන වාතය හීන වී තිබීමයි. එවිට පහසුවෙන් දරුවා එළියට නොපැමිණෙයි. කොස් කෑම නිසා වාත කෝපය ඇති වූ අතර අපාන වාතයද ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. මේ විද්‍යාත්මක හේතුව වෙද මහතාගෙන් දැන ගෙනම ඇපොතිකරි වරයා පිටව ගියේ නම් වර්තමානයේ සිදු වන සීසේරියන් සැත්කම් රාශියක්ම රොහල් වලින් නතර කරගන්නට ඉඩ කඩ තිබුණු බවද කිව යුතුය.තවමත් සිංහල වෙද මහතුන්ගෙන් ඉගෙනීමට බටහිර වෛද්‍යවරු නොකැමතිය.

        ගර්භය සැහැල්ලූ කර ගැනීමට පෙර සඳහන් කළ  අගනා ඖෂධ  ගන්නා අතරම කුසේ සිටින දරුවා ගැනද ඇය කල්පනා කළ යුතුය. එහිදී දරුවා නිරෝගීමත් ලෙස දොරට වැඩමවීමට අවශ්‍ය ආහාර ඇය ගත යුතුය. බත් අපගේ ප්‍රධාන ආහාරය බව සැබවි. නමුත් වර්තමානයේ රටේ බහුතරයක් ආහාරයට ගන්නේ අභිජනනයෙන් පසු වගා කරන ලද වී ප්‍රභේදයන්හි සහල්ය. වැඩි අස්වනු ඇති කර ගැනීමට පමණක් මෙසේ වැඩි දියුණු කරන ලද බැවින් එහි ගුණාත්මය හීන වීඇත. එසේම රසායනික වසවිස යෙදීම නිසා මේවා ආහාරයට ගැනීමෙන් විවිධ ලෙඩ රෝග වලටද බඳුන් විය හැකිය. පැරණි සිංහල ජනතාව වැඩි වශයෙන් භුක්ති විඳින ලද්දේ දේශිය පාරම්පරික සහල් වර්ගයි. ඒ අතර ගැබිණියන්ට සුදුසු සහල් වර්ගද විය. වෙසෙසිසන්ම ඇල් සාල් හි බත ඇයට සුදුසු වන්නේ ඒවා සෞම්‍ය වන බැවිනි. හේන් වල වැවෙන ඇල් සාල් ද මඩේ හෝ ගොඩ වැවෙන ඇල් සාල් යනුවෙන් දෙවර්ගයකි. ගංතුඹ ඇල් නමින් යුත් ඇල් වී වර්ගය මා අවසාන වරට දුටුවේ කුකුලේ ව්‍යාපාරය ආරම්භ කරන අවදියේ දීය. එම ජල විදිලි බල ව්‍යාපාරය නිසා සහ අක්‍රමවත් තේ වගාව නිසා මේ ඇල් වර්ග වර්තමානයේ දී අභාවයට පත් වී තිබේ. නමුත් පොලැල් නම් වූ ඇල් වර්ගය ගොඩ හෝ මඩේ වගා කිරීමට තවමත් හැකියාව ඇත. මේ වර්ගය ගැබිණියන්ගේ ආහාරයට ඉතාමත් උචිතය. සෙම් පිත් නසන බැවින්ද මිහිරි රසයෙන් යුක්ත හෙයින්ද ගැබිණියගේ මෙන්ම දරුවාගේ ශක්තිය වර්ධනය කරයි. එයට අමතරව  මුරුංගකායන් නමැති  පාරම්පරික වී වර්ගයේ සහල් වලින් බත් පිස ලබා දුන්නේ යයි ද පැවසේ. එය අවසාන මාස කීපය තුල ආහාරයට එක් කර ගැනීමෙන් දරුවා නිරෝගීව වැඩේ. මවට අවශ්‍ය තර්පණ ගුණය නිතැතින්ම ලැබෙයි.ඕජාව වැඩි කරයි. එසේම ගැබ පහත හෙළිමටද එයින් පහසුවක් වන බව කියා ඇත.
        දරුවා ලැබුණ පසුව මව ද නිරොගීමත්ව සිටිත් නම් දරුවාට කිරි දීමේ අපහසුවක් පැමිණෙන්නේ නැත. නමුත් අද බොහෝ මව් වරුන්ට විවිධ හේතු නිසා කිරි නැත. පැරණි මව් වරු මේ අවස්ථාවේ දී විවිධාකාර අත් බේත් සහ කෂාය වර්ග ප්‍රයෝග කර ගත්හ. හාතාවාරිය අල ආඩාතෝඩ මුල් කලු උක්දඬු ඉරමුසු  බැබිල කිරි අඟුණ මුල් වැල්මී අදී ඖෂධ පළමක් ගෙන පත අට එකට සිඳුවා සීනි  මීපැණියෙන් දීම එක් ක්‍රමයකි. මේ සියලු ඖෂධ කිරි එරෙන හා තුන් දොස් සමනය කරන බෙහෙත්ය. ඒ අතර වෑවර ගෙඩියක(කුරුම්බා ) ළොඳ බත් මුට්ටියේ වාශ්පයට අසු කර තබා කතා නොකර දීමද කරති.
            අවසාන වශයෙන් ගැබිණියන්ට මෙන්ම කාන්තාවන්ගේ තර්පණයට ඉතා රසවත් පාරම්පරික ආහාරයක් සඳහන් කිරීම මැනවි යයි සිතමි.එය සුදුසු වන්නේ අලස සුවයෙන් ගත කරන කාන්තාවන්ට නොව බෙහෙවින් ක්‍රියාශීලී පුද්ගලයින්ටයි. මෙම ආහාරයට උඩරට පළාත් වල කියන්නේ කිරි රොටී නැතහොත් කී රොටී යනු වෙනි. මුරුංගකායන් හෝ පොලැල්  වැනි වී වර්ගයන්හි හාල් පිටි පොල් කිරිවලින් අනා ස්වල්ප වේලාවක් තබා ඉන්පසු කිරි රොටි කබල ගෙන එයට ආප්ප මිශ්‍රණය වත් කරන පරිද්දෙන් වත් කර පිස ගන්නා මේ රසවත් ආහාරය කෑමට ගන්නේද පිටි හා පැණි මිශ්‍රණයක දවටා ගෙනයි. මේ කිරි රොටි කබලේ කිබෙන වෙසෙසියාව නම් රා මණ්ඩි හෝ ඊශ්ට් නොමැතිව පිපීම සිදුවන තාක්ෂණයකින් යුක්ත විමයි. රූපයේ පෙනෙන ලෙස රොටි කබල  මූඩියෙන් වැසූ පසු රත් වූ කබලේ මූඩියට වරින් වර වතුර ඉසිනු ලබයි. එවිට පිටි තැම්බී උඩට ඉස්සෙයි. මේ අගනා උපකරණය අද අභාවයට ගොස් ඇති අතර බටහිර සංස්කෘතියේ නොගැලපෙන ආටෝපයන් බදා ගැනීම නිසා මිනිසුන් අතරමං වී සිටිති. හොඳම උදාහරණය පසුගිය ලිපියේ දී සඳහන් කළ කොස් පස් පංගුවයි.ඒ ගැන පාඨකයින් විමසූ  පැණයන් ගෙන් වර්තමාන සමාජයේ පැතිකඩක් තේරුම් ගත හැකිය. මේ ලියන දේ සිහි බුද්ධියෙන් විමසා බැලිය යුත අතර ඇතැම් ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස් මත ලබා ගත යුතු බවද මතක් කර සිටිමි.එයට හේතුව එක් එක් පුද්ගලයා අනුව පිළියම් වෙනස් විය යුතු බැවිනි. මෙම ලිපියට කරුණු සැපයූ පාලින්ද නුවර යකුපිටියේ විජේරත්න වෙදමහතා ටද ගන්දර දෙල්ගල්ලේ පල්ලෙවෙල මාතාවටද වෙසෙසි ස්තූතිය පළ කර සිටිමි.
2012 - 12- 10 රිවිර

Thursday, November 29, 2012

නැගෙනහිර බෞද්ධ උරුමය දෙපලු කළ හෝරාව

                                         

     තවත් සිංහල බෞද්ධ උරුමයක් හිත්පිත් නැති නරුමයින් විසින් විනාශ කර ඇත. මොට්ටාගල ගමිණි තිස විහාරයේ දාගැබ විනාශ කොට යන්තමින් මාස තුනක් වත් ගත  වූයේ නැත. මුස්ලිම් වර්ග වාදය පසු පස්සේ හඹා එන දෙමළ ජාති වාදයෙන් පණ කැවුණු අධමයින් කිසිම බයක් හැකක් නොමැතිව මහ දවාලේ මොට්ටාගලට නුදුරු ඉපැරණි දාගැබක් දෙකට මැද්දෙන් දෙපලු කර පුරා වස්තු හා සර්වඥ ධාතූන් වහණ්සේලා පැහැර ගෙන ගොස් ඇත.මේ ගත වන්නේ ශ්‍රී ලංකාවේ තලේබාන් වරුන්ගේ හෝරාව දැයි සැක සිතේ.දැන් දැන් ඉස්මතු වන සිද්දීන් ගෙන් එවැනි රැල්ලක් ඇති නොවුණානම් පුදුම විය යුතුය.
       ලංකාව පුරාවටම විසිර පවතින්නේ බෞද්ධ නශ්ඨාවශේෂයන්ය. කාලිංග මාඝ පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් අතින් වැනසුන පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන අද මෙසේ නටබුන් වී තිබේ. ඒවා රැක බලා ගන්නට මලක් පහණක් වත් පුදන්නට ඇතැම් විට ඉංග්‍රීසි පාලන සමයේ දී ඉඩක් නොලැබුණි. නැගෙනහිර පළාතේ මෙන්ම උතුරේ ද සිංහල ජනගහනය තුනී ව යද්දී වරින්වර දකුනු  ඉන්දියාවෙන් දෙමළ වහලුන් ගෙනවිත් පදිංචි කරවන ලදහ. දකුණු ඉන්දීය මුස්ලිම් වර්ගයන්ද  හම්බන් සමගින් පැමිණ මෙහි පැලපදියම් වූහ. ජන ශූන්‍ය වූ උතුරු දිග තැනිතලාව මෙන්ම නැගෙනහිර පෙදෙස්ද ඔවුන් ගේ ග්‍රහණයට අයත් විය. සෙනරත් රජු විසින් පදිංචි කරවන ලද  මුස්ලිම් මට්ටයින්ද මේ අයට එකතු ව බලයක් ගෙඩ නගා ගත්හ. ඉතිරිව සිටි සිංහලයින්ට හා මූදු කර වැද්දන්ට යන එන මං නැතිව දෙමල මුස්ලිම්වරුන්ගේ පාසල් වලට ගාල් කරන ලදහ. එම නිසා ඔවුන්ගේ ගෙදර බස දෙමළයම විය. වර්තමානයේ නැගෙනහිර බහුතරයක් වාසය කරන්නේ දෙමළ හා මුස්ලිම් වරුන් පමණකි. පෙර රජ දරුවන් විසින් වෙහෙර විහාරයන්ට පිදූ ඉඩකඩම් මොවුන් විසින්  අල්ලා ගෙන ඇත. ඉංග්‍රීසීන්ගේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේවායේ නෂ්ඨාවශේෂ පමණක් ආරක්ෂා කරමින් සිටියහ.නමුත් ඒ කිසි තැනක් නැවත මහා විහාරයට හෝ ආරණ්‍යයකට බාර නොදුන්හ.. දීඝවාපිය වැනි අති පූජනීය සිද්ධස්ථානයන් රැකුණේ දකුණේ සිට පැමිණි ශාසන හිතකාමී යතිවරයින් වහණ්සේලා  නිසාවෙනි. එහෙත් වැලි කැට ගාණට මෙහි පැරණි සිද්ධස්ථාන වෙයි. ඒ සියල්ලම රකින්නට ඉදිරි පත් වන්නට අවැසි බෞද්ධ භික්ෂූන් වහණ්සේලා ද අද නොමැත.
        මේ හෝරාව නරුමයින්ගේ හෝ තලේ බාන් වරුන්ගේ හෝරාව බවට පරිවර්තනය වී යමින් සිටින්නේ මේ නිසාය. අශ්රොෆ් ඇමැති වරයා විසින් ඇවිලූ මුස්ලිම් වර්ගවාදය නිසා අද නැගෙනහිර කලාපයම උණුසුම් වී තිබේ. සිංහල දේශපාලනඥයින් සිංහල ජනතාවගේ චන්දයෙන් බලයට පත්ව සිංහලයින්ගේ ම උරුමය අන්සන්තක කරවීමේ තුච්ඡ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් සිටී. කූරගල දෙවන ගල කුංචි කුලම සිට මොට්ටයාගල දක්වා මේ වර්ග වාදය දලු ලමින් ඇවිදින් ඇත. පුරා වස්තු ආඥා පණතේ  15 (අ) (ආ)  සහ 31 වගන්ති අනුව හානි කරන ලද පුරා වස්තු වෙනුවෙන් සිරබත් කෑමට හෝ දඩමුඩ ගෙවිය යුතු බව මේ නරුමයින් හොඳ හැටි දනී. එහෙත් ඒ ටික කලකට පමණකි. උසාවියෙන් ඉතා ඉක්මනින් නිදහස් විය හැකිය. මේ නරුමයන්ට මග පෙන්වන්නේ සිංහල දේශපාලඥයින්ය. අනුරාධපුරයේ කලත්තෑවේ වන්නම් මඩුවේ ඉපැරණි දාගැබක් හාරමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගැනුණේ 2011 වසරේ දී ය. මේ පිරිසගෙන් එක්කෙකුට ලක්ෂ හය බැගින් දඩ මුදල් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. එක් පුද්ගලයෙක් ඇරුණු කොට අනෙක් පස් දෙනා දඩ මුදල් නොගෙවා බන්ධනාගාර ගතවූහ. මේ පිරිස අනුරාධපුර පළාතේ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට සම්බන්ධකම් පවත්වන ගෝල බාලයින්ය. බන්ධනාගාරගත වී මාස් තුනක් ඉකුත් වූයේ නැත. පෙබරවාරි හතරවන දා ඔවුන් නිදහස ලබා එළියට පැමිණියහ.
            මෙට්ටාගල දාගැබ ඩෝසර් කල නරුමයින් ද අත් අඩංගුවයට ගැණුනි. යම් කිසිවෙක් පුරා වස්තු වලට හානි කර සිර භාරය ට පත් වූ   පසු පුරා විද්‍යා වර්තාව එනතෙක්ම ඇප නියම කරන්නේ නැත. නඩු පවරන්නේ ද නැත. එහෙත් මේ සිද්දියේ දී මුස්ලිම් දේශපාලනඥයින්ගේ පිහිටෙන් වාර්තාව එන තුරු නොසිට ඉතා සුලු දඩයකට යටත්ව මේ පිරිස නිදහස් කෙරුණි. පුරාවිද්‍යා අංශ වලට කල හැකි දෙයක් නැත. අම්පාරේ පුරාවිද්‍යා  කාර්යාලයේ සිටින සහකාර අධ්‍යක්ෂවරයා මේ ස්ථාන ගැන දැනුම්වත් නැත. එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුලු ස්වාධීන ගවේශකයින් කරන ලද ගවේශණ ඇරුණු කොට නැගෙනහිර පළාතේ බොහෝ පුරා වස්තු ස්මාරක වශයෙන් තවමත් ලියාපදංචි කොට ගැසට් කර නැත. හේතුව මේ කාර්යයයන් යෙදවිය හැකි වන නිළධාරීන් පිරිසක් දෙපාර්තමේන්තුව සතු නොවීමයි. අම්පාර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක වරයා ඇතුලුව සිටින්නේ දෙදෙනෙකි.   පසු ගිය කාලයේ උපාධිධාරීන් බඳවා ගැණුනද ඒ අය  ස්ථාන මාරු සකස් කර ගෙන ගොස් ඇත. සමහරක් විශ්‍රාම ගොස් ඇත. වෙනත් අය උපාධිධාරී පත්වීම් වලට ගොස් ඇත.
               ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂක තනතුරු රාශියක් පුරප්පාඩු වි තිබේ. මේ පදවි උසුලන්නේ වැඩබලන සහකාර අධ්‍යක්ෂක වරුන්ය. මේ තනතුරු පුරවන්නට හා දෙපාර්තමේන්තුවේ මුල්‍යමය හිඟයන් පියවීමට රජයේ කිසිම උත්සාහයක් නැත. මේ විෂයට පත් වන ඇමති වරු බෙහෙවින් ම නිද්‍රාශිලි වෙත්. ලේකම් ලාද එසේමය. හරි හම්බ කර ගැනීමට නොහැකි අමාත්‍යංශයක් බැවින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ ද නැත. ඒ වෙනුවට දේශපාලනඥයින් ගේ හස්තයට අසුවූ දිවයිනේ සිද්ධස්ථාන ගල් බෝර වලින් දෙපලු වෙයි.  නිදන් සෙවීමේ ආශාවෙන් පිරි ඔවුහු ඇතැම් විට ආරක්ෂක අංශ ද යොදවා ගනිමින් නිදන් රැගෙන යති.. ඔයා මඩුව හොරොව්පතාන වැනි පෙදෙස් වල එසේ සිදු වූ බවට නිවරදි සාක්ෂි ඇත. මේ අපරාධයන්ට මූලිකත්වය ගන්නේ සාමාන්‍ය මිනිසුන් නොවේ. හයිරන් කාර දේශපාලඥයින්ය. නමුත් පුරා විද්‍යා දෙපාරතමේන්තුව නිදන් නොමැති බව කියමින් ජනතාව මුලා කරති. එහෙත් ඇතම් පුරා විද්‍යා නිලධාරින්ද මේ නිහීන ක්‍රියාවන්හි යෙදුණු බවට සාක්ෂි තිබේ.
      මේ ආදර්ශය ලංකාවේ තලේ බාන් වරුන්ට හොඳටම ප්‍රමාණවත්ය. මොට්ටාගල මෙන්ම එයට මීටර පන්සීයක් නුදුරු ස්ථානයක තිබූ  හඳුනා නොගත් විශාල දාගැබ මහ දවාලේ දින දෙකක් පුරා ඩෝසරයක් යොදවමින් හාරන්නේ සිංහල දේශපාලකයින් විසින් සපයා දී ඇති ආදර්ශයන් ප්‍රයෝජනයට ගෙනයි.අම්පාරට දැයට කිරුළ ප්‍රදර්ශනය එන බව ඔවුහු දනිති. ඒ කළ නිදන් හාරන්නට මේ පෙදෙස් පීරන්නට දේශපාලනඥයින් එන බවද ඔවුහු දනිති. එම නිසා ඊට කලියෙන් තිබුණහොත් යමක් ලබා ගැනීම මේ නරුමයින් ගේ ආශාවයි. එමතුද නොව නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය ඩෝසර් කරමින් නෂ්ඨාවශේෂ පවා අතුගා දැමීම ඔවුන්ගේ අරමුණයි. යුද්දයට කලින් අක්කර පත්තුවේ සිංහල පවුල් දෙසීයක් පමණ දිවි ගෙවූහ. කොටි ත්‍රස්තවාදය නිසා අවතැන්ව අසරණව සිටි දෙමළ මුස්ලිම් අය නම් නැවත පදිංචි කරවීමට නොයෙකුත් වැඩ සටහන් ක්‍රියාත්මක විය. එහෙත් තමන්ගේම ශක්තියෙන් අක්කර පත්තුවට පැමිණි සිංහල පවුල් අනූවක් පමණ දුකසේ එහි ලැගුම් ගෙන ඇත. අක්කර පත්තුව සිංහල පාසල තවමත් තිබීම වාසනාවකි. නගරයේ ඔරලෝ කණුවේ දාගැබ තවමත් දක්නට ලැබිම වාසනාවකි. එහෙත් අසරණව ජීවිකාවට සටන් කරන්නට වන් මේ සිංහලයින්ට මොට්ටාගල වැනි මහා සිද්ධස්ථාන රැක ගන්නට තරමේ ශක්තියක් නැත.
දෙපලු කරන ලද මොට්ටාගල අසල වෙල්යායේ ඉපැරණි දාගැබ ගර්භයේ තිබී මංජුසා කීපයක්ම නිදන් හෑරූ ද්‍රවිඩ ජාතිකයින් විසින් ගෙන ගොස් ඇත. ඒවා අත් අඩංගුවට නැවත පත් වූයේ 2012 නොවැම්බර් මස 27 වැනිදා  ය. එහි රන් පත් ඉරුවලින් සකස් කරන ලද කරඬුවක් ඉතා දුබල ගණයේ කුෂාන යුගයේ ප්‍රතිමාවක් පබලු ඇට සත්වන සියවසට අයත් යැයි කිව හැකි කිර ගරුඬ කරඬුවක්  හා රන් ගුලි කීපයක්ද විය. රන් කරඬුව දීඝවාපියෙන් හමු වූ කරඬුවට සමානය. දෙවනි සියවසට අයත් යැයි අනුමාන කළ හැකිය. තවත් පුරාවස්තු රාශියක් එහි තිබෙන්නට ඇතැයි විශ්වාශ කළ හැකිය. මෙම දාගැබ පිහිටා තිබෙන භූමිය අක්කර එකොළහක් පමණ කුඹුරු යායක පිහිටා ඇත. මෙය අයිති නැගෙනහිර පළාතේ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ගණකාධිකාරී වරයෙකු ලෙසට සේවය කරන ද්‍රවිඩ ජාතිකයෙකුටයි.ඔහුගේ මෙහෙයවීමෙන් තවත් සය දෙනෙකු පමණ එක්ව මේ විනාශය කර ඇත. මීට වසරකට පමණ පෙර මේ දාගැබ ආසන්නයේම තිබූ තවත් පරිවාර චෛත්‍යයක් ඩොසර් කොට එහි කුඹුරු ලියදි කීපයක් තනා ඇති ආකාරය හොඳ හැට පෙන්නුම් කෙරේ. මේ විනාශයන් දිගින් දිගටම සිදු වී ඇති බව පැහැදිළිය. මීට මාස තුනකට පමණ ප්‍රථම මොට්ටාගල ආසන්නයේ දාගැබ ඩොසර් කිරීමෙන් පසු ජාතික උරුමයන් පිළිබඳ ඇමති ජගත් බාලසූරිය මහතා ප්‍රකාශ කලේ මාස තුනක් ඇතුලත මෙය සංරක්ෂණය කරන බවයි. නමුත් මේ වන තුරු ආරක්ෂක අංශ නිළධාරීන් ඇරුණු කොට අදාල පුරා විද්‍යා නිළධාරීන් කිසිවෙක් එහි ගොස් නැත. ඇමති වරයා දුන් නියෝගයක් ද නැත. නොවැම්බර් විසි නව වන් දින බොදු බල සේනා සංවිධානය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටලා අදාළ ඇමති වරයාගෙන් හා පුරාවිද්‍යා අධ්‍යක්ෂක වරයාගෙන් පෙරොන්දුවක් ගත්තද මේවා පිළිබඳ විශ්වාශය තැබීම අනුවණ කමකි. ඒ වෙනුවට මේ ස්ථාන කීපයකට එකක් හෝ බැගින් තෝරා ගෙන  විහාරස්ථාන ගොඩනැගීම කළ යුතුමය.    හිරුකෝවිල් පොලීසිය විසින් මේ ද්‍රවිඩ ජාතිකයින් හත් දෙනා අත් අඩංගුවට පත් නොකරන්නට මේ අපරාධයද වැල්ලේ වසන්ව යන්නට හොඳටම ඉඩකඩ තිබුණි. අපගේ ප්‍රණාමය මේ නිළධාරීන්ට හිමි විය යුතුය. නමුත් දිගින් දිගටම මේ සිදු වන දේ සාක්ෂි ඇතිව  බලා සිටින සිංහල බෞද්ධයින් අසරණව නිද්‍රාශිලීව තුෂ්නිම්භූතව සිටිති. මේ නිද්‍රාව අවදිකරන්නට සෝම ස්වාමීන් වහණ්සේ යලිත් වඩින්නේ  කවදාදැයි අප බලා සිටිමු.
චායාරූප හා විස්තර - සුසන්ත අමර බන්දු - අම්පාර
                    

Saturday, November 17, 2012

දියවැඩියාවට වැලි කොස් ඇට

                             
              අත්තේ පනත්තේ කොහොඹේ ලියක් ඇති-ඒකිගෙ බඩේ දරු තුන්සිය හැටක් ඇති යනුවෙන් ප්‍රචලිතව පවතින තේරවිල්ල ගැමි කට වහරට අයත්ය. මේ කතාව කොස් ගැනය. අත්තක්උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවා ගෙන කිවුවත් කොස් ගැනමය. හෙරලිය කියන්නේ ද කොස් වලටමය. එය වටා තිබෙන ජන කතාවක් ද ඇත. කොස් තම්බා කෑමට හපන් අපේ ගැමියන් ගැට කොස් ද වං කොස් ද බත් පොලොස්ද දඩු පොලොස්ද පිටොස් ද කොස් ඉරි ද සිවිඩිද ආදී වශයෙන් කොස් වහල්ල ඇරුණු කොට අන් සියල්ලම ආහාරයට ගනිති. මේ කොයිවත් ආහාරයට මෙන්ම නිරෝගී තාවයටද ඉතා උතුම් යයි කියවෙතත් මේ අතරින් බෙහෙත් වශයෙන්ම ගන්නා පස්පංගුවක් ඇත. ඒවා අතරින් මුල් තැන් ගන්නේ පොලොස් ගෙඩියයි. මව් වරුන්ට කිර එරෙන්නට ද පෙලොස් තම්බා දීම  කරති.අතීසාර රොගීන්ට ග්‍රහණි රොගීන්ට ඉතා ගුණ දායක ආහාරයක් වන පොලොස් උණු අලු පල්ලේ දමා කෑමෙන් වඩා ගුණ ලැබෙන බවද කියති. නින්ද නොයන අයට ගුණ දායක පනා මල ද දියවැඩියා රෝගීන්ට හිතවත් වැලි කොස් ඇටද ඉදුණු කොස් කොළයද කොස් මුලද මේ පස්පංගුවට අයත්ය.
        පාලින්ද නුවර යකුපිටියේ පදිංචි කොහිලමුල්ල ආරච්චිගේ විජේරත්න  වෙද මහතා මාලේවන ආයුර්වේද විදුහලේ ආචාර්ය වරයෙකි. එසේම විද්‍යා ගුරුවරයෙකි. සාම්ප්‍රදායික ආයුර්වේද බෙහෙත් භාවිතා කරනවාට වඩා දේශිය ආහාර හා ඖෂධ ගැන වැඩි නැඹුරුවකින් කටයුතු කරන බැවින් කොස් ගහේ පංචාංගය සිය රෝගීන්ට නියම කරන්නෙකි. මේ පංචාංගය අතරන් වැලි කොස් ඇට ගැන හෙතෙම වැඩි මනාපයක් දක්වයි. එයට හේතුව වෛද්‍ය තුමා ගේ නිවස අසල ගැමි ගෙවල් වල මුලුතැන් ගෙයි කොස් ඇට මුල්ලක් නොවරදින හෙයිනි. වැලි කොස් ඇට ගැන ප්‍රසිද්ධ ජන කවියක් මෙසේය.
අහේනියට වැලි මුල්ලේ ලූ සංගා - කෑවිට වාත වේගන පාතින්        රිංගා
කෑ අට වේල උතුරන මුත්තර ගංගා - වේලී යාවී සදහට නොකරන් ඩුංගා
කොස් ඇටය වැලි කොස් ඇටය බවට පරිවර්තනය වීමද ඉන් ඇති වන ඖෂධීය විපර්යාසයද විජේරත්න වෙද මහතා පැහැදිලි කර දුන්නේ මෙසේය.  හොඳට පැසුණු කොස් ගෙඩියේ තිබෙන කොස් ඇටය බරයි. ඒ කියන්නේ දිරවන්න ටිකක් අපහසුයි. නමුත් මේ ඇට වැලි හා මැටි කොටස් සමග එකට එක් කර තබන විට කොස් ඇටය වියළී නොගොස් සෛලීය ස්වශනයකට ලක් වනවා. මේ නිසා පිෂ්ඨය  ශක්තිය   බවට පත් ව කොටසක් ඉවත්ව යනවා. ඒ නිසා බර ආහාරය ලඝු නැත්නම් සැහැල්ලු ආහාරයක් බවට පත් වෙනවා. ඒ සමගම මැටි හා වැලි වල තිබෙන පඨවි භූතය මගින්  ග්‍රාහී ගුණය( වැගිරෙන බව නවතාලන ගුණය ) ඇටයට ඇතුලත් වෙනවා. එයට වෙද මූල ධර්ම වල පදාර්ථ විඥාණයේ දී කියන්නේ සමවාය ගුණය කියලයි. උදැල්ලේ මිට ගොරෝසු නිසයි අතේ කරගැට එන්නේ. ගොරෝසු කම අත්ලට එනවා. එය ස්වභාව ධර්මයේ සංසිද්ධියක් .මේ විදියට වැලි කොස් ඇටයේ සිදු වන ශක්ති විපර්යාසය නිසා ප්‍රමේහ රෝග වලට ඉතා ගුණයි. වැඩියත්ම දියවැඩියා නොහොත් බහුමුත්‍රතාවය නවත්වාලන බව කියවෙනවා. කොස් ඇටයේ තිබෙන පොටෑසියම් ප්‍රමාණය ඉතා අධිකයි. පොස්පරස් හා කැල්සියම්ද යහමින් තිබෙනවා. මේ නිසා නිරෝගීව සිටින්නට වැලි කොස් ඇට හොඳ ආහාරයක්. නමුත් වර්තමානයේ වැලි කොස් ඇට දමන්නේ පොලිතීන් මලුවලයි. ඒ අර සමවාය ගුණය නොදැනයි. පැරණි අය එය දැන සිටියා. මේ නිසා කොස් වාරයට අපතේ නොහැරම කොස් ඇට පිරිවැස්සක වැලි හා පස් සමග දැමීම කාටත් ප්‍රයෝජනවත් වේවි.
         කොස් ඇට වගේම පනා මල්ද බෙහෙතට ගැනේ. නින්ද නොයන රොගීන්ට මේවා ගුණදායකයයි පැවසේ. මෙම කරුණ විජේරත්න වෙද මහතා විග්‍රහ කරන්නේ මෙසේය. පනාමල් කියන්නේ ගෙඩිය එන්නට පළමු හටගන්නා නොපෙනෙන මල් කොටසයි.  මේවා රාත්‍රියට මලවා කෑමෙන් නින්ද නොයන අයට නිදි සුව ලබන්නට හැකිවන බව කියැවෙන්නට හේතු කීපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නින්ද නොයන අයගේ පිත් කෝප ගතිය වැඩියි. හිත කලබලයි. පිත ඉහළට ගැසීම( උර්ධවගාමී වීම) මේකට හේතුවයි. පනා මල් වල තිබෙන කසට රසය නිසා පිත්ත ශාමක ගුණය අන්තර්ගත වනවා. එහිදී වාතයත් අනුලෝමනය වෙලා පිත ඉහළට යාමට ඉඩ නොදී රෝගියා සන්සුන් කරනවා. මෙය පැරණි ගැමියන් ගේ අත්දුටු ප්‍රතිකාරයක්.       1935 දී   කොස් ගැන පර්යේෂණ වල යෙදුණු බර්කිල් නම් විද්‍යාඥයා මේ ඖෂධ ගුණයන් මැනවින් පෙන්වා දී තිබේ.වෙසෙසින්ම කොස් කොළ කොස් ගහේ මුල් බීජ කොහොල්ලෑ ආදියෙහි ඇති විශේෂතා මේ පර්යේෂණ මගින් හෙළි දරවු කොට තිබේ.1961 වසරේ දී ක්‍රිෂ්ණ මූර්ති  1965 වසරේ දී මෝටන් වැනි විද්‍යාඥයින්ද ප්‍රංශයේ පැවේරෝ නම් විද්වතෙක්ද මේ කොස් ගුණ ගැන මැනවින් දක්වා තිබේ. පැවේරෝ දක්නා විදියට කොස් ඒඩ්ස් රෝගයට මහඟු ඔසුවක් වනවා.
          ආතර වී දියෙස් මහතා කොස් පැළ වැවීමටත් ඒවා රටේ බත් ගස ලෙසට ජනප්‍රිය කරවීමටත් වෙහෙස මහන්සි වූයේ මේ ගුණ පණ පාරම්පරිකව අත්දුටුව නිසයි.මේ ජන කවියේ සඳහන් වන්නේ එම අත් දැකීමයි.
වැස්සට පින්නකට නොතෙමා මනා කොට -පස් යට කර තබා කොස් නැති අවාරෙට
නිස්සට පොල් ගා තම්බා   දවාලට - කොස් ඇට වැනි රසයක් කෝ             හැබෑවට
 මෑතකදී දියෙස් මහතාගේ පුත් නන්ද ඩයස් මහතා සහ කොස් සංවර්ධන පදනම මූලික වී යලිත් පැළ සිටුවීමේ ව්‍යපාරයක් ආම්භකර තිබෙන අතර එහදී එක් අවස්ථාවකදී කල්‍යාණි දිසානායක පාසල් සිසුවිය විසින් මේ කොස් ආහාර හා ජන සමාජය ගැන ඇඳි චිත්‍රයක් ද මෙම ලිපිය සමග පළ කරන්නට යෙදෙනුයේ වර්තමානයේ වුවද ජාතියේ නිරෝගී තාවයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයටත් කොස් ගහේ අමිල සේවාව අවශ්‍ය නිසයි. වෛද්‍ය විජේරත්න මහතා සම්බන්ධකර ගැනීමට අවශ්‍ය නම් 0718393889  අංකය යොදා ගත යුතු බව අවසාන වශයෙන් සඳහන් කරමි.
                             

Friday, November 2, 2012

ෙමාටිටාගල දාගැබ මටිටමි කිරීම පිටුපස තිෙබන බල ෙවිගය

                                                                                                                                                                                                                 අම්පාර දිස්ත්‍රික්කයේ අලයාඩිවෙම්බු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන මොට්ටයාන් මලේ නොහොත් තට්ටගල නමින් වර්තමානයේ දී හඳුන්වන ස්ථානය අවට විසිරී තිබූ ගඩොල් සමග පවතින පස් කඳු කීපයක් පසුගිය දා ඩෝසර් කරන  ලදහ. ඒ ගල් තලාව අවට හාත්පසම පැතිර පවතින්නේ විශාල වෙල් යායාකි.. මෙහි වගා කරන මුස්ලිම් ගොවියන් පිරිසක් එම ස්ථානයට ඩෝසර්යක් ගෙනවුත් පස් කන්ද සමතලා වන්නට මට්ටම් කොට එහි කුඹුරු ලියැදි කීපයක් තනා තිබේ. ඒ ස්ථානයේ තිබූ තල් ගස් දෙකක් ද ඩෝසරයට අසුවී පැත්තට වැටී තිබෙනු දැකිය හැකිය. ඩෝසර පහරින් බේරුණු සෙල් ලිපිය දිරාපත් වූ ගල් තලා වේ දක්නට ඇත.මෙම විනාශය කරන ලද මුස්ලිම් වරු අත්අඩංගුවට පත් කරන ලද අතර අක්කර පත්තුව පොලීසියේ නිගමනය වූයේ මෙහි දාගැබක් නොතිබුණු බවටයි. නමුත් අක්කර පත්තුවේ පදිංචි සමන් දිසානායක මහතා ඩෝසර් කිරිමට සතියකට පමණ පළමු මෙම ස්ථානයට පැමිණ ගත් ඡායාරූපයක් නිසා පොලිසියට කර ඇරිය නොහැකි විය. ඒ අනුව සිද්දියට අදාලව නඩු පවරන ලද අතර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව පැමිණෙන්නටද ප්‍රථම අදාල සැක කරුවන්ට පුරාවිද්‍යා ආඥාපනත අනුව අවම දඩය වූ රුපියල් විසපන්දහසක් නියම කොට නිදහස් කරනු ලැබ ඇත. නමුත් මෙම ඓතිහාසික ස්ථානය තවමත් අනාරක්ෂිතය.                                                                           මොට්ටාගල ට දෙමළ බසින් මොට්ටයකල්ලු කියති. මේ ස්ථානය පිලිබඳව ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අවධානය යොමුකර ඇත. ඒ අනුව එම ගල්තලාව වටේ පවතින කටාරම් කොටූ ගල් ලෙන් රාශියක් ගවේශණයට ලක් කර ලෙන් ලිපි කීපයක් ද පිටපත් කර එම වාර්තාව රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පළකර තිබේ. එම ලිපි කියවූ විට මේ වැකි කීපය හමු වෙයි.               දසභතික රනඣවක නය උපරඣ නග උපරඣ නගහ මරුමකනෙ මහ පසඩිකෙ අභය රඣහපුතෙ ගමණි තිසහ විහරෙ අගත අනගත භිකු සගස නියතෙ (දසබෑ රජුන්ගේ ජාවක නියමු උපරාජ නාගගේ මුණුබුරු මහපසඩික අභය රජුගේ පුත් ගාමිණී තිස්සගේ විහාරය)                                             මෙම ලෙන් ලිපියට අනුව මෙම ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් සෑදවූ විහාරස්ථානයක් පිහිටුවා තිබී ඇති බව පැහැදිළිය. මෙහි දස බෑ රජු න් ගේ ජාවක සම්බන්ධයක් සහ උපරාජ නාග නොහොත් මහා නාග රජුගේ පෙළපත දැක්වීමක්ද ඇත. ඉන්දියාවේ ශාක්‍ය ප්‍රදේශයෙන් ජාවක ප්‍රදේශ වලට රාජ්‍යයන් පිහිටුවීම සඳහා ගිය කුමාරවරුන් ගැන ඉතිහාසයේ තිබෙන්නේ දුර්ලභ විස්තරයක් වුවද මෙම ලිපියෙන් අපට පැහැදිළි වන්නේ  ඔවුන් ලංකාවේ නැගෙනහිර පෙදෙස් වලටද පැමිණ බවයි. ඒ  වන විට නැගෙනහිර නොහොත් දිගා මඩුල්ලේ බලවත්ව සිටි නාග ගෝත්‍රිකයින් නිසා ශාක්‍ය කුමාරවරුන්ද නාග අභිධානය භාවිතා කර තිබෙන බව පැහැදිලිය.  කෙසේ වෙතත් මොට්ටාගල ගමිණි තිස විහාරය දුටු ගැමුණු යුගයේ දී බෙහෙවින්ම ප්‍රචලිත ව තිබූ ස්ථානයක් වශයෙන් හඳුනා ගත හැකිය. ඒ යුගයේ  දී ගල මතු පිට දාගැබ් දෙකක් ඉඳි කර තිබී ඇත.ගල මතු පිටට නගින් පඩි පෙළක් ද ඇත. නිදන් හොරුන් විසින් හාරන ලද එම ස්ථානයන් අදටත් දැකිය හැකිය. එයට අමතරව මොට්ටාගල පර්වතයට සමීප අනෙක් පර්වතයේ ද දාගැබක් පිහිටා ඇත.                                                                                      ඉහතකී ලෙන් ලිපි වලට අමතරව තවත් පර්වත ලපි දෙකක් මොට්ටාගල තිබේ. මේවා මුල් යුගයේ දී පිටපත් කර නැත. නමුත් 1966 වර්ෂයේ  දී එක් ලිපියක් පමණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කර  රැගෙන ගොස් ඇති අතර එය ප්‍රකාශයට පත් කර නොමැත. මෙම ලිපිය අඩි විසි හතරක් දිගැති බවද එය ක්‍රි.වර්ෂයෙන් පළමු සියවසේ ලියැවුණක් බවද දෙපාර්තමේන්තු සතු ලේඛන වල සටහන්ව තිබේ. නමුත් මෙම ලිපියේ ස්පර්ශ ලාංඡනය ලේඛනාගාරයට ගෙන ගොස් තිබෙන බවද දැන ගන්නට ඇත.                                                              අම්පාර දිසාව එදා දිගා මුඩුල්ල යනුවෙන් හැඳින්වුණි. එහි නුදුරුව තිබෙන බෞද්ධ සිද්ධස්ථාන රාශියකි.වසර තිහක් පමණ තිස්සේ ඇදීගිය කොටි ක්‍රස්තවාදී යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රදේශ වල සිටි සිංහලයන් සිය වාසස්ථාන අතහැර අම්පාරට සහ වෙනත් දිස්ත්‍රික්කයන්ට සංක්‍රමණය විය. අක්කර පත්තුවේ පමණක් සිංහල පවුල් දෙසීයක් පමණ එකළ සිය රැකී රක්ෂා කටයුතු කරමින් සිට ඇත. එහි දැනටත් සිංහල පාසලක් වන අතර අක්කර පත්තුව නගර මධ්‍යයේ ඉඳි කර තිබෙන ඔරලෝසු කණුවේ ඉහළ කොටසේ තිබෙන ස්ථූපයෙන් පැහැදිලි වන්නේ මේ ප්‍රදේශයේ බෞද්ධ සංකේතයයි.                                                                                                නැගෙනහිර පළාත වශයෙන් වර්තමානයේ දී හඳුනා ගන්නා මේ ප්‍රදේශය පැරණි දිගාමඩුල්ලයි. ලංකාවේ රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමට පටන් ගත් කල්හි මේ පළාත් සියල්ල සංවර්ධනයෙන් ඈත්ව ගියේය. නමුත් යුරෝපීයන් ගේ ආගමනයත් සමගම ත්‍රිකුණාමලය මඩ කලපුව ආදී ස්ථාන වානිජ වශයෙන් වැදගත් වන්නට වූයෙන් රට මැද සිටි රජවරු මෙහි ආරක්ෂා සංවිධාන වරින්වර තර කළහ. සෙනරත් රජුගේ කාලයේ දී ඔහුගේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට තිබූ දුෂ්කරතා නිසා නැගෙනහිර පළාත ශක්තිමත්ව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ද මතු විය. විදේශිකයින් නිතරම මේ වෙරළ තීරයෙන් රටට ගොඩ බැස වානිජ ආධිපත්‍ය පවත්වා ගැනීමට මාන බැලීය. සෙනරත් රජුට එරෙහි සිංහල කුමාරවරුද මේ විදේශිකයින් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළහ. මේ අතර පෘතුගීසීන් ගේ තාඩන පීඩන වලට ලක්වූ දකුණු ඉන්දීය මුස්ලිම් වරු සෙනරත් රජුගේ ආරක්ෂාව අයැද සිටියහ. සෙනරත් රජු මොවුන් කෙරෙහි අනුකම්පා කොට අවතැන් වූ පිරිස දිගාමඩුල්ලේ පදිංචි කරන ලද්දේ ඒ ගම් නියම් ගම් වල රාජකාරි පිණිසමය. එහි සිටින සිංහලයින් සමග මිශ්‍ර වන ලෙසටද කියා සිටි බවට කතාවක් ඇත.               අවසාන වශයෙන් මේ දිගාමුඩුල්ල සංවර්ධනය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතිනි. එතුමා දීඝවාපී විහාරයට වී බිජු අමුණු දහසක පමණ  ඉඩම් පූජා කර ගල් සන්නසක් පිහිටවූ අතර දැනට දක්නට ඇත්තේ එහි පිටපතක් පමණි.  කෙසේ වෙතත් ඉංග්‍රීසි පාලන සමය වන විට මේ ප්‍රදේශයේ සිංහල ජනගහනය ක්‍රමයෙන් අඩු වන්නට විය. මේ පළාතේ දෙමළ පාසල් පිහිටුවීම නිසා සිංහල ජනතාවද වැදි ජන වර්ගයන්ද ද්‍රවිඩ බස සිය මව් බස කර ගත්හ.මුස්ලිම් වරුන් ගෙන් වැඩි පිරිසක් දකුණු ඉන්දියාවෙන් පැමිණි බැවින් වානිජ භාෂාව වශයෙන් ද බලවත් වූයේ ද්‍රවිඩ භාෂාවයි. මේ අතර ඉංග්‍රීසීන් ගේ සේවාවන්ටද එකතු වූ මුස්ලිම් වරු ධන බලයෙන් හා රාජකාරි බලයෙන් ද ශක්තිමත් වූහ.                                                                                                            1916 වසරේ දී පූජ්‍ය කොහුකුඹුරේ රේවත ස්වාමින් වහණ්සේ විසින් දීඝවාපී චෛත්‍ය රාජයානන්වහණ්සේ නැවත සොයා ගන්නා කල්හි එය ඝන කැලෑවෙන් වටව තිබූ ගඩොල් ගොඩක් පමණක් වී තිබුණි. විසිවන සියවස මුල් භාගයේ දී වාරිමාර්ග කටයුතු සඳහා බඳවා ගත් මුස්ලිම් වරු මේ දාගැබේ ගර්භය බිඳ එහි තිබෙන ගඩොල් ද කලුගල් ද ගලවා ගෙන ගල් අමුණු  ඉඳි කරලීමට කටයුතු කරමින් සිටියහ. මඩකලපුවේ දිසාපතිවරයාව සිටි ඇලන්සන් බේලි මහතාගේ අනුදැනුම ඇතිව මෙසේ දීඝවාපී චෛත්‍ය විනාශ කරමින් සිටි මුස්ලිම් කම්කරුවන් පළවා හැර එම ස්ථානයේ  ගසක අත්තක් උඩ නවාතැන් ගත් රේවත හිමියන් ඉතා දුෂ්කර ලෙසට දිවි ගෙවමින් පැරණි බෞද්ධ උරුමය සුරක්ෂිත කරන්නට වෙහෙසුනේය. දීඝවාපී චෛත්‍ය වටා ඉඩම් වල හේන් ගොවිතැන් කරමින් සිටි මුස්ලිම් වරුන්ට එරෙහිව කටයුතු කළ උන් වහණ්සේ නඩු කියා ඔවුන් එතැනනි ඉවත් කළහ. සෙනරත් රජු විසින් දාහත් වන් සියවසේ පදිංචි කරන ලද මේ මුස්ලිම් වරු ඉන්පසු රේවත හිමියන් හා වෛර බැඳ ගත්හ.කොළඹ දුම්රිය සමිතියේ අනුග්‍රහයෙන් මෙහි ආවාස ගෙයක් තනවා ගෙවදී ඇත්තේ 1933 වසරේ දීය.                                      1950 ඔක්තොබර් 3 වන දින  උදෑසන රේවත හිමියන් පැන් පහසුව පිණිස ළිඳ අසලට යන විට ඒ අසල කැළයේ සැඟව සිටි ඉස්මයිල් නම් මුස්ලිම් වරයා විසින් තබන ලද වෙඩි පහරින් උන්වහණ්සේ  ජීවිතක්ෂට පත් විය.පසුගිය කාලයේදී අශ්රොෆ් ඇමති වරයාගේ අනුදැනුම ඇතිව දීඝවාපී පෙදෙසේ විහාරකාඩුවේ චෛත්‍යයක්ද ඩෝසර් කරලීමෙන් රටපුරා මහත් ආන්දොලනයක් ඇති විය. මෙයින් ඇති වූ බෞද්ධ ප්‍රබෝධය නිසා දීඝවාපී විහාරයට අක්කර පන්සීයක් පමණ වෙන්කර එය සංවර්ධනය කරලීමට රජයට සිදු විය.නමුත් මේ පළාතේ කිසිම ඓතිහාසික ස්ථානයක් සුරක්ෂිතව නොමැත. වරන් වර ඒවා නෙයෙක් අරමුණු උදෙසා විනාශ කරන ලබයි. මොට්ටාගල නොහොත් ගමිණි තිස විහාරය ද එසේමය. එම විහාරස්ථානය සතුව තිබූ ඉඩම් තවමත් පුරා වස්තු ආඥාපණත යටතේ ගැසට් නොකර සිටීමෙන්ද නිදන් හාරන්නන්ට හා මුස්ලිම් වර්ගවාදයට ඉඩහසර ලබා දී ඇත.                                                                                                 දීඝවාපී චෛත්‍යට පළන්දන ලද ධජයක්  සුළඟේ ගසා ගෙන ගොස් කුඹුරක වැටී තිබියදී   පොරෝණයක් ලෙසට පරිහරණය කිරීමේ පාපයෙන් ප්‍රේතයෙක් ලෙසට  ඉපදුණු කෙළෙඹි පුත්‍රයෙකු ගැන බණ කතා සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ඒ ප්‍රේතයාට සුගතිය අත් කර දීමට හැකි වූයේ පතාක දහසක් දීඝවාපී චෛත්‍යට පූජා කරලීමෙනි. මේ ආකාරයට ප්‍රේත ආත්ම භාවයන් හා භූත ආත්ම  භාවයන් ලබා ගෙන දුක් විඳින ලක්ෂ ගණනක් පිරිසක් මේ නැගෙනහිර ප්‍රදේශ වල වෙසෙන බව අපට දැන ගණ්නට ලැබුණේ භාවනා යොගීන් ගෙනි. වෙසෙසින්ම මුස්ලිම් වරු කලක් තිස්සේ මේ ඓතිහාසික තැන් විනාශ කරමින් හැසිරීමේ ප්‍රති විපාක වශයෙන් එසේ දුගතියෙහි ඉපද මේ පෙදෙස් වල පින්කම් කරලීමට පැමිණෙන්නන්ට කරදර පමුණු වමින් සිටින බව ද දැන ගන්නට ලැබුණි. කොහු කුඹුරේ රේවත මාහිහියන් වහණ්සේ ජීවිතක්ෂයට පත් කළ පුද්ගලයාටද අත්ව ඇත්තේ එම ඉරණමයි. ඔවුහු වෛර බැඳ ගෙන තවමත් මේ ස්ථාන ගැන ලෝභයෙන් සිටිති. ඒ නිසා අප නිරන්තරයෙන්ම මේ ස්ථාන වලට පැමිණ පුද පූජා පවත්වා දුගතියට පත් ආත්මයනට පින් පමුණුවා මේ වෛරයන් සන්සිඳ වීම කළ යුතු බව අපට දැන ගන්නට ලැබුණි. මොට්ටාගල ද දැනට විහාරයක් නැති බැවින් එතැන විහාරයක් අභිනවයෙන් තනවා හෝ ඒ ස්ථාන වලට සෙත් ශාන්තිය අත්කර ගත හැකි පින්කම් කළ යුතු බවට අවසාන වශයෙන් සඳහන් කරමි.   එසේ නොමැති වුවහොත් මේ ප්‍ර දේශ වල බෞද්ධ උරුමය නැවත ස්ථාපිත කරලීමේ කටයුත්ත බෙහෙවින්ම දුෂ්කර වනවා නිසැකය.                                                                                                                                                                                                                                                                                                                                                                                                      

Tuesday, October 16, 2012

නවතම පොත් -2012 සැප්තැම්බර්



හෙළ බදාම වරුණ ග්‍රන්ථයේ තෙවනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත. සම්බුද්ධ ජයන්ති මන්දිරය මැදිමාල බෞද්ධ මධ්‍යස්ථානය නුගේගොඩ සරසවි පොත් හල සහ නුගේ ගොඩ කියවන නුවණ පොත් හලෙන් මෙම කෘතිය මිළදී ගත හැකිය.
මෙම කෘතියේ අඩංගු වන්නේ ගෘහ නිර්මාණ ශිල්පයේ දී වෙසෙසින්ම බදාම සකස් කිරීමේ දී ලංකාවේ ශිල්පීන් භාවිතා කල පාරම්පරික දැනුමයි. දළදා මාළිගාව ලංකා තිලක විහාරය යන ඓතිහාසික ස්ථානයන්හි අත්දැකීම් ඇසුරෙන් මෙය සකස් කර ඇත.

Sunday, September 30, 2012

රජ රට වැව් කොමළිය මියෙම්වා රැකෙම්වා

                                                                                                                                                                                                                                                                                මේ වන විට  වන විට පරාක්‍රම සමුද්‍රය ගිරිතලේ මින්නේරිය කවුඩුල්ල හා කලාවැව යන විශාල වැව්  සහ මධ්‍ය ප්‍රමාණයේ ග්‍රාමීය වැව් වල ධාරිතාව වැඩි කර ගැනීමේ වුවමනාවෙන් ඒවායේ තිබෙන පස් හා රොන් මඩ ඉවත් කිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකව පවතී. ඒ අතර වැව් බැම්ම හා රළපනාව ශක්තිමත් කිරීමේ වේලි ආරක්ෂණ වැඩ සටහනක් ද ලෝක බැංකුවේ ප්‍රතිපාදන යටතේ වාරි මාර්ග අමාත්‍යංශය  ක්‍රියාත්මක කර  ඇත. වැව් හෑරීමේ  ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් මිලියන තුන්දහසක මුදලක් යොදවා තිබෙන  බව  ද දැන ගන්නට තිබේ.                                                                    
 වැව් ගැඹුරු කිරීමට හේතු වූ කරුණු -------                                                                                    
 2012 වර්ෂයේ යල කන්නයේ ලංකාවේ  ඇති වූ නියඟය නිසා මධ්‍ය කඳුකරයේ වැසි ප්‍රමාණය බෙහෙවින්ම අඩු විය. මේ නිසා රජරට ප්‍රධාන වැව් වලට ජලය සපයන මහවැලි හැරවුම් පදධතියට අයත් අඹන් ගඟ ඇතුලු ජල මූලාශ්‍රයන් රාශියක් වියළි ගියේය. මහවැලි ජල හැරවුම් පද්ධතිය මගින් නිකුත් වන ජලයෙන් දැනට කියුබික් මීටර් දශලක්ෂ 683 ක් ඇළහැරටද අංග මැඩිල්ලට කියුබික් මීටර් දශලක්ෂ 333 ක්ද නිකුත් කෙරේ. වැසි වැටුණු විට ඇළ හැර ප්‍රදේශයට තවත් කියුබික් මීටර් දශලක්ෂ 1145 ක් ලබා ගත හැකිය. මේ ප්‍රමාණය පසුගිය නියන් සමයේ නොලැබී ගියේය. යෝජිත මොරගහ කන්ද ජලාශය ඉඳි කළ  විට ඇළ හැරට නිකුත් කරන ජලය කියුබික් මීටර් දශ ලක්ෂ 603 දක්වා ද එකතු වන වැහි ජලය කියුබික් මීටර් දශ ලක්ෂ 661 දක්වා ද අඩු වේ. මේ තත්වය තුල ඇළ හැර ප්‍රදේශයෙන් උතුරා යන ජලය කියුබික් මීටර් දශලක්ෂ 462 සිට 59 දක්වා අඩු වේ.                                                                                          
පොල්ගොල්ල වේල්ලෙන් අඹන් ගඟට හැරවෙන ජලය පාලනය කිරිමට ද ගිරිතලේ මින්නනේරිය වැව් පිරවීමට  ඇළක් නිර්මානය කිරීමට ද අඹන් ගඟේ මොරගහ කන්ද ප්‍රදේශයේ ජලාශයක් තැනීමට යෝජනා තරන ලද්දේ 1948 -1968 දක්වා කරන ලද වර්ෂපතන දත්තයන් පදනම් කර ගෙනයි. මහවැලි ගඟ ඉහත්තාවේ තිබෙන්නේ කොත්මලේ ජලාශයයි. ඉන්පසු පොල්ගොල්ලෙන් හැරවෙන ජලය උමගකින් උකුවෙලට ගොස් ජල විදුලිය ලබා දී අඹන්ගඟේ  අත්තක් වන සුදු ගඟට එක්වෙයි.ඉන්පසු බෝවතැන්න බෙදුම් ජලාශයෙන්වැටෙන් ජලය කලාඔය යාන් ඔය සහ අඹන් ගඟ යන නිම්න  තුන පෝෂණය කිරීම සඳහා  මුදා හැරේ. ලෙන දොර සිට සීගිරි වැව හරහා ගෙන යන ජලය හබරණ අසළ හිරි වඩුන්න වැවට වැටී හබරණ ඔය හරහා උතුරට ඇදී ගොස් යාන් ඔයේ තිබෙන හුරුලු වැවට වැටේ. බෝවතැන්නෙන් නැගෙනහිරට ගලන ජලය අඹන් ගඟ හරහා ගොස් ඇළහැර පැරණි අමුණෙන් හැරවී යෝධ ඇල දිගේ ගොස් එම ප්‍රදේශ පෝෂණය කොට ඉන්පසු ගිරිතලේ වැවටත් මින්නේරි වැවටත් දිය බෙදුමෙන් බෙදී යයි. මින්නේරියට එන ජලයෙන් කොටසක් මින්නේරි කන්තලේ යෝධ ඇළ ඔස්සේ කන්තලේ වැව යටතේ කුඹුරු පෝෂණය කරයි. තවත් කොටසක් කවුඩුල්ලට ගමන් ගනී. ඇළ හැර දී එක්වන ජලය ට අමතරව  අඹන් ගඟ දිගේ ගොස් අංගමැඩිල්ලලේ දී පරණ අමුනෙන් පරාක්‍රම සමුද්‍රයටද එකතු වේ.                                                                                                                       
                 මහවැලි ව්‍යාපාරයේ එක් යෝජනාවක් වූ මොරගහකන්ද ව්‍යාපතිය ආරම්භ කිරීමට ප්‍රථම මේ ප්‍රදේශයට වර්තමානයේ දී වැටෙන වැසි ගැන නිවරදි වාර්තාවක් විද්‍යාඥයින් විසින් රජයට ඉදිරිපත් කර තිබුණි. එම නිසා එම ව්‍යාපෘතිය එකල පටන් ගැනුණේ ද නැත. නමුත් පොළොන්නරු ප්‍රදේශයේ දේශපාලනඥයින් ගේ බලවත් වුවමනාව පිට වර්තමාන රජය විසින් එය නැවත ආරම්භ කරන ලද්දේ ප්‍රචාරයට පමණක් කොටි ගණනක් මුදලක් වියදම් කරමිනි. මොරගහකන්ද ව්‍යාපෘතිය තවමත් අවසන් කර නොමැති වුවත් මහවැලි මුල් සැලැස්මේ තිබෙන ජලය උතුරට හැරවීමේ ක්‍රියාවලිය පණ ගැන්වීමට ද  මහවැලි අමාත්‍යංශය සැලසුම් කර ඇත. ඒ තත්වය තුල පොළොන්නරු දිශාවේ වැව් මහවැලි ජලයෙන් නිරන්තර ව පිරවීමේ  අභියෝගයකටද මහුණ පා තිබේ.වැව් හෑරීමට පදනම් කර ගත් එක හේතුවක් වශයෙන් මෙය දැක්විය හැකිය.නමුත් වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාසයන් නිසා මහවැලි සැලසුම් සියල්ල නන්නත්තාර වී තිබෙන බවද කිව යුතුය.                                                                                
              වැව් හෑරීමට පදනම් වූ අනෙක් කාරණය නම් පරාක්‍රම සමුද්‍රය කලා වැව තිස්ස මහාරාම වැව ගිරිතලේ වැව මින්නේරිය කන්තලේ  ග්‍රෙගරි වැව නුවර වැව කන්දලම වැව වැනි මහා වැව් වලට සංචාරක ව්‍යාපාරයේ අවශ්‍ය තාවය සඳහා අහස් යාත්‍රා බැස්වීමේ වුවමනාවයි .මේ සඳහා දැනටමත් වැව්වල පැරණි රළපනා ගලවා වැව් බැමි ශක්තිමත් කරලීමට ගල් ඇතිරිම සිදු කරන අතර අහස් යාත්‍රා වලින් ගොඩ බට කල්හි බැම්මට ප්‍රවිශ්ඨ වීමට පඩි බැඳීම සිදු කර ඇත.නෑමට නුසුදුසු ස්ථාන වල පවා මේ පඩි බැඳ තිබෙන ආකාරය දක්නට හැකි බැවින් මේ කාරණය තවත් තහවුරු වේ.. මේ ක්‍රියාවලිය වැව් වල අනාගතය බරපතල විනාශකාරි ඉරණමකට ගොදුරු කරන බව කිව යුතුය.එය මෙසේය.       
1/ අහස් යාත්‍රා වල ධාවන සීමාව තුල තිබෙන ගස් වැල් ඉවත් කිරිමට සිදු වීම. දැනටමත් එය ගිරිතලේ වැව ආසන්නයේ සිදු වේ. වැව් තාවල්ලේ ළඳු කැලෑ පවා මෙයින් ඉවත් කිරීමට යෝජිත විය හැකිය.මේ නිසා වැවේ පරිසර පද්ධතියට හානි ඇති වේ.
2/ අහස් යාත්‍රා බැස්සවීමේ දී ඇති වන දිය රළ පකුල නිසා ඉවුරු වලට හානි සිදු වේ. එය දීර්ඝ කාලීනව ඉවුරු ඛාදනය ඇති කරලීමට හේතු වනවා ඇත. වැව් බැම්මේ ගල් ඇතිරීමෙන් එය වළක්වා ගත නොහැකිය.
3/ අහස් යාත්‍රා වලින් නිකුත් වන අපද්‍රව්‍ය වැව් වලට එකතු වීම වළක්වා ගත නොහැකි කාරණයකි. එම දුව්‍ය මගින් අවට වායු ගෝලයද දූෂණය කරනු ඇත. මේ නිසා වැව අසල ජීවත් වන ජලජ ජීවීන් විනාශ වී යාමද වැවේ ජල දූෂණයට ද පදනම සකස් කරනු ඇත.
4/ විදේශීය රටවල ජලාශ සාමාන්‍යයෙන් පිටස්තර අයට විවෘත නොකෙරේ. එයට හේතුව ආරක්ෂක තත්වයයි. කොටි යුධ සමයේ දී වන්නියේ වැව් පුපුරුවා හැරීමට උත්සාහ කළ බව කවුරුත් දන්නා කරුණකි. මෙහිදී අපේ රටේ ප්‍රධාන වැව් විදේශකයින්ට විවෘත කිරීම ආරක්ෂක තත්වය පිළිබඳ බරපතල නොසලකා හැරිමකි. ඒ මගින් විදේශ වල සිට වුවද අහස් යාත්‍රා පැමිණ මේ වැව් පුපුරුවා හැරිමට ඉඩ පහසු කම් සැලසෙනවා ඇත.
        වැව් හෑරිමට සහ ඒ අවට දියුණ කරලීමේ අනෙක් අරමුණ නම් වැව් තාවල්ලේ සහ බැම්මේ සංචාරක හොටල් නඩත්තු කරලීමයි. දැනටමත් ගිරිතලේ පරක්‍රම සමුද්‍රය වැනි වැව් වල මෙලෙස හෝටල් ඉඳි කර තිබේ. පරක්‍රම සමුද්‍රයේ එරමුදු වැව ආසන්නයේ එහි කලිඟු බැම්මේ ඉහත්තාවේ සකස් කර තිබූ පැරණි අරලිය හෝටලය වැවේ ගිල්ම දක්වා තවත් පුලුල් කර තිබේ. මේ නිසා වැව පිරුණු කල්හි හොටලයේ තණ තලාව ජලයෙන් යටවෙයි. මෙහිදී අදාළ හෝටලය හිමි කර ගෙන තිබෙන පුද්ගලයා විසින් ප්‍රදේශයේ වාරිමාර්ග බලධාරීන්ට  දේශපාලන බලපෑම් ඇති කර ජලය අක්කර අඩි විසිදහසක් පමණ අඩුකර ලීමට ක්‍රියා කර තිබේ. පරාක්‍රම සමුද්‍රයේ වැව් ගිල්ම යටතේ තවත් හෝටලයක් ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු විසින් දැනට ඉඳිකර ගෙන යමින් පවතී. ඒ අතර කලාවැවේ වැව් රක්ෂිතයේ ද තට්ටු හතරක හෝටලයක් අනුරාධපුර දේශපාලන ප්‍රබලයෙකුගේ මැදිහත් වීමෙන් ඉඳි කර තිබේ. එසේම එහි සාදා තිබෙන ධීවර ගම්මානය මගින්ද වැව රක්ෂිතයට හානි පමුණවා ඇත. මෙම හොටල් වල අපද්‍රව්‍යයන් සෘජුවම වැවට මුදා හැර තිබෙන අතර ඒ මගින් වැවේ ඇල්ගී ගහනය අනාගතයේ දී වැඩි විය හැකිය. ඒ නිසා පානීය ජලය ගැනීමට තිබෙන් බොහෝ වැව් විනාශ වී යා හැකිය. නෑමට පවා නොහැකි තත්වයක් අනාගතයේ දී උදාවිය හැකිය. ( කොළඹ බේරේ වැවේ තත්වය සැලකිල්ලට ගන්න )
         වැව් හැරීමට වෙන් කර ඇති මුදල මැනීමක් කළ නොහැකිය. වැව් වල තැනින් තැන වල්වල් හාරා යට මැටි තට්ටුවටද හානි කර ඇත. මේ නිසා වැවේ ජලය රඳා සිටීමේ ශක්‍යතාය අඩු විය හැකිය. මේ පස් ගැනීම හා ගොඩ ඉඩම් පිරවීම සඳහා ප්‍රාදේශිය දේශපාලනඥයින් අතර තරඟයක් ඇති වී තිබෙනු දක්නට හැකිය.වැව් හෑරීමට පෙර නිවරදි ශක්‍යතා අධ්‍යනයක් කරලීමට නිළධාරීන්ට මෙහිදී ඉඩ දී නොමැති බව සඳහන් කළ යුතුය. වැව් හෑරිමට තිබෙන අනෙක් ඕනෑකම ගොඩ නැගී තිබෙන්නේ ජලය විකිණීමේ අවශ්‍යතාවයට පසුබිම සකස් කර ගැනීමටයි. ජගත් සංවිධාන වලට සම්බන්ධව සිටින නිළධාරීන් 1985 අංක 06 දරණ පණත යටතේ ජලය විකිණීමට    උත්සාහ කළහ.මේ අය ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන වලින් මුදල් ලබා ගෙන අවශ්‍ය නීතිරිති සකස් කර ලීමට කැපවී සිටියහ.වර්තමාන වේලි ආරක්ෂණ ව්‍යාපෘතිය පැමිණෙන්නේ ද මේ සැලසුම් හරහාය. වාරිමාර්ග ජලයට මිළක් නියම කිරීම පානීය ජලය සඳහා මිළක් අය කිරිම මෙන්ම ජල පරිහරණයේ දී නීතිරීති සකස් කිරිම ද මෙයින් සිදු වේ. මේනිසා අනවසරයෙන් වැවකට බැසීම පවා දඩ ගැසුමකට ලක් වීමේ කාරණයක් විය හැකිය. එම දඩය රුපියල් විසිපන්දහසක් ලෙසට ද තක්සේරු කර ඇත. මෙහිදී වැවේ ධීවර ප්‍රජාව අවතැන් කරන අතර වැව සංචාරක හෝ සමාගම් වලට බදුදීම සිදු වනු ඇත. එහිදි ගොවීන් ධීවරයන් සමග මෙම ආයතන නිරන්තර ගැටුම්වලට යනු ඇත. මේ ගැටුම් නිරාකරණය කිරීමට ගැටුම් සමථ ආයතන පිහිටවීමට ද යෝජිතය.                                             
වැව සහ එහි නිර්මිතය
        ලංකාවේ වැව් නිර්මාණයව තිබෙන්නේ යුග ගණනාවක ඉතිහාසයේ මනුෂ්‍ය අවශ්‍යතාවයන් උදෙසාය. ලංකාවේ  භූ විෂමතාවයන් මැනවින් සැලකිල්ලට ගෙන මෙම නිර්මාණයන් කර ඇති බව පෙනේ. අහස් වැවේ සිට මූකලාන් වැව දක්වාද එහි සිට කුලු වැව් දක්වාද පසුව ගම් වැව් හා නිවුන්වැව් දක්වාද විහිදී තිබෙන වැව් පද්ධතියක අවසාන ඉලක්කය මහා වැවයි. මෙලෙස විවිධ පරිසර පද්ධතීන් සමග සම්බන්ධ වන සේ වැව් සෑදීමේ අරමුණු රාශියක් තිබී ඇත. නිදසුනක් වශයෙන් අහස් වැව නොහොත් කඳු වැව නිර්මිත කර තිබෙන්නේ වර්ෂා ජලය ක්ෂණිකව මහ පොළවට බා ගැනීමටයි. වැහි කාලයට පොළවට ඉතා පහළින් ගමන් කරන වැහි වළාකුළු අහස් වැවේ තිබෙන ජලයට ආකර්ෂණය වේ. මේ සිද්ධාන්තය ක්‍රියාත්මකව තිබෙන වැව් කීපයක්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කඳු පන්ති වල තිබී පුරාවිද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත.
අහස් වැවේ සිට මහ වැව දක්වා ජලය සංරක්ෂණය කරන වැව් පද්ධති ක්‍රමය එල්ලංගාව යනුවෙන් හඳුන්වා දී ඇත. මේ පද්ධති ක්‍රමයේ ප්‍රයෝජනයන් අති මහත් වේ. මහ වැව පිරවීමටද එහි තිබෙන ජලය දිගු කාලයක් භාවිතා කිරීමට ද මේ එල්ලංගාව අත්‍යාවශ්‍ය වේ. නමුත් පසු ගිය යටත් විජිත සමයේ දී මේ වැව් රාශියක් විනාශ වී තිබේ. නැතහොත් විනාශ කර තිබේ. හෑරීමට ලක් කෙරෙන පහත සඳහන් වැව් වල නිර්මිතයන් පරීක්ෂා කර බැලූ කල්හි මේ වැව් පද්ධති ක්‍රමය හා එහි වටිනාකම් අවබෝධකර ගත හැකිය.
මින්නේරිය වැව.----
          ලංකාවේ මධ්‍ය කඳුකරයේ සිට රජරට ප්‍රදේශයේ ඊශාන දිග නිම්නය දක්වා විහිදෙන භූ විෂමතාවක් සහිත  විශේෂිත කඳු පන්තියක් ඇත. ඒවා සුදු කඳු යනුවෙන් පැරණියන් හඳුන්වති.  පරාක්‍රම සමුද්‍රය මින්නෙරිය ගිරිතලේ මෙන්ම කවුඩුල්ල යන වැව් නිර්මිතව තිබෙන්නේ මෙම සුදු කඳු පන්තිය පදනම් කර ගෙනයි. මින්නේරිය නිර්මිතයේ දී එය මැනවින් භාවිතා කර ඇත. මේ නිසා වැවේ බැම්ම ඉතා ශක්තිමත් වන අතර ඒ මගින් විශාල ජල ධාරිතාවක් රඳා ගැන්මට අවකාශ ලැබී තිබේ. මින්නේරිය වැහිකාලයට පෝෂණය කරන්නේ බටු ඔයෙන් හා ඊරිගේ ඔයෙනි. නමුත් දීර්ඝ නියන් කාලයට මෙහි ජලය නොසිඳෙන ලෙසට ඇළහැර අමුණෙන් ජලය හරවා මෙයට ගෙන එන්නටද පැරණියන් සමත්ව ඇත. නමුත් ඇතැම් නියන් කාලවලදී කඳුකරයේ සිට ගලන මහා ජල ධාරාවන් පවා සිඳි යයි. මෙයට පිළියමක් වශයෙන් මින්නේරිය රක්ෂිතය ඉහළින් කුලු වැව් රාශියක් ඉඳි කර තිබේ. නිදසුනක් වශයෙන් ඕකුලුවැව  රළපනා වැව      අඹගස් වැව ඉහ කුලු වැව සහ කට කුලු වැව සඳහන් කළ හැකිය.මේ වායේ සොරොව් නැති අතර වැහි කාලයට ජලය රඳා පවතිමින් සෙමින් සෙමින් නිදහස් කිරීමේ ප්‍රවණතාවයක් පවතී. එසේම වර්ෂා කාලයේ දී ඇද හැලෙන ගං වතුරාව පාලනය කරමින් වැව වෙත ඇදෙන රොන් මඩ ද පාලනය කර ගැනීමේ හැකියාවක් ද මේ කුලු වැව් වලට පවතී. 
         පරාක්‍රම සමුද්‍රය ගිරිතලේ යන වැව්ද ජලයෙන් පිරී රඳා පවත්නේ මෙලෙසමයි. බාහිර ප්‍රභවයකින් ජලය රැගෙන ආවද අනෙක් කාලයට වැව පෝෂණය කිරිමට අවශ්‍ය පරිසර පද්ධතීන් මේ වැව වල පවතී. එසේම නුවර ගල් කන්ද මින්නේරිය කන්ද වැනි වන ගහනයන් තුලින් ද ඇළ හැර යෝධ ඇළ ද පොෂණය වේ. සෑම වැවකම කුලු වැව් දක්නට නැති අතර ඒ වෙනුවට රොන් මඩ පාලනය කර ගැනීමට යෝධ ඇලේ නැමි සකස් කර තිබේ. මේ නිසා වැහි කාලයට ඇලේ නැමි අතර රොන් මඩ තැන්පත් වන අතර නියන් කාලවලදී ඒවා පහසුවෙන් ඉවත් කළ හැකිය.( මේ පිළිබඳ වැඩි විස්තර උදුල බණ්ඩාර ඖෂධහාමි මහතාගේ වැව ග්‍රන්ථයෙන් ලබා ගත හැකිය. )
නවීන සංවර්ධනය නිසා වූ විනාශය -------
       ලංකාවේ  වැව කුමක්දැයි හරිහැටි හඳුනාගැනීමක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදු කර නැත. වාරිමාර්ග අංශයන් වැවේ නිර්මිතයන් දෙස බලා ඇත්තේ තවත් ඉඳි කිරීමක් දෙස බලන ආකාරයටයි. ඔවුන් විසින් පසු කාලයේ දී සකස් කරන ලද රාජංගන වැව වැනි වැව් නිර්මිත දෙස බලන කල්හි එය පැහැදිලි වේ. පැරණි සෙරොව් පවා ඉවත් කර ඇති අතර වැවේ මඩ ඉවත්කරන මඩ සොරොව් අතහැර දමා ඇත. එවැනි සොරොව් දෙකක් දැනට පරාක්‍රම සමුද්‍රයේ තෝපාවැව හා බූ වැව ආසන්නයේ ඇත.මහවැලි ව්‍යාපාරයේ දීද සිදු වූයේ කුඩා වැව් කපා දමමින් මධ්‍යම ප්‍රමාණයේ වැව් ගබඩා ජලාශ ලෙසට සකස් කරලීමේ ක්‍රියාදාමයයි. මේ නිසා නියන් කාලයේ දී වන සතුන්ට ගවයින්ට පවා බීමට ජලය පොදක් පවා ලබා ගැනීමේ අසීරු තත්වයක් ඇති වී තිබේ.මෙයින් අප තේරුම් ගත යුව තිබෙන්නේ විදේශ වල ක්‍රියාත්මක කළ සංවර්ධන ආකෘතීන් අන්ධානුකරණයෙන් ලංකාවේ සිදු කරලීමට ගොස් ඇති වී තිබෙන අන්ත අසරණ බාවයයි. එම වැරදි නිවරදි කර ගැනීමට නම් මහවැලි ව්‍යාපාරය හා වාරමාර්ග  කේෂ්ත්‍රය පිළිබඳව නැවත සමාලෝචනයක් කොට රටට ගැලපෙන වාරිමාර්ග පිළිවෙතක් පැරණි සම්ප්‍රදාය අනුව සකස් කර යුතුයයි සිතමි. එහිදි තිබෙන එකම බාධකය වන්නේ මුදල් තණ්හාවෙන් විදේශ ආයතන මත යැපෙන නිළධාරීන් සහ කොමිස් කුට්ටි වලට වහවැටී සිටින දේශපාලනඥයින්ය. මේ බාධකය ජය ගැනීමට නොහැකි වුවහොත් වාරිමාර්ග බලධාරීන්ගේ ද විරෝධතා මත ක්‍රියාත්මක වන වැව් හෑරීමේ වැඩ පිළිවෙල නිසා මියෙම්වා රැකෙම්වා යයි සිතමින් සිත හදා ගැනීමට සිදු වනු ඇත.