පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, October 26, 2025

බුදුන් අනුදැන මාර්ගයේ යන රජුන් තැනීම දුෂ්කරයි

 

                             


               මේ දිනවල සාකච්ඡාවට බඳුන්වන කාරණා කීපයක් ඇත. ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීම පිළීබඳව පාර්ලිමේන්තුව තුළ මතුකළ ප්‍රශ්නය ඉන් ප්‍රධානය. මහ බැංකුව විසින් එම චෝදනා  ප්‍රතික්ෂේප කර ඇත. එසේම සංචාරක ආකර්ෂණය දිනා ගැනීම උදෙසා මහනුවර දළදා වීදිය තුළ නොනිදන සැණකෙළි තීරුවක් නිර්මාණය කිරීම මත අස්ගිරි මල්වතු ප්‍රධාන විහාර පාර්ශවයන්ගෙන් ඊට විරෝධය එල්ල වීම නිසා ශාසනික පැත්තෙන් ඇතිව තිබෙන නොසන්සුන්තාවය බරපතල තත්වයකි. අනෙක නම් නෝර්වේ සහ තවත් යුරෝපා රටවල සහ ලෝක බැංකුවේ ආධාර මත ලංකාව තුළ සමලිංගික ප්‍රජාවට සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට අවශ්‍ය නීති සකස් කිරීම ද පාසල් වල විනය පවත්වාගෙන යෑමේ දී තරවටු කිරීම් වලට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රය වෙනස් කිරීම සඳහා කරන  උත්සාහයයි.අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුව තුළ නීතිය සම්බන්ධ රෝම නීතියේ දෙවියන්ගේ ආඥාව පිළිබඳ පාඨ කියැවීම නිසා චාමර සම්පත් මන්ත්‍රීවරයා සඳහන් කළ පසුබිම පාර්ලිමේන්තුව තුළ නිර්මාණය වන්නේ දැයි බියක් ද බෞද්ධ සමාජය තුළ නිර්මණය වෙමින් පවතී. මේවාට උත්තර නැත.

          ජනපතිවරණය ආරම්භ කළ කාල වකවානුවේ දී බුද්ධ ශාසනය පිළිබඳව හෝ මෙරට ජාතිකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට කිසිවෙකු ගේ උනන්දුවක් නොවීය.එයට හේතුව වූයේ 2019 දී බලයට පත් වූ ගෝඨාභය ජනපතිවරයා විසින් මෙරට බහුතරයකගේ බලාපොරොත්තු සුන් කල බව දැනෙන බැවිනි යැයි කල්පනා කළ හැකිය. එහෙත් ජනපතිවරණ සටන අවසාන සමයේ මේ මාතෘකාව යළි කරළියට පැමිණියහ. එයට හේතු වූයේ අපේක්ෂකයන් ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ වල සටහන් වූ යම් යම් වගන්ති හේතු කොට ගෙනය. දේශපාලන රැස්වීමක දී කියන දේට වඩා යම් ප්‍රකාශනයක සටහන් ව ඇති කාරණා වල වලංගුතාවය වැඩිය. ඒ නිසා බුද්ධ ශාසානය සුරක්ෂිත කොට පවත්වාගෙන යෑම පිණිස ව්‍යවස්ථාවේ දැනට දී තිබෙන බලය හීන කරාවි යන සැකය මතු වීම ස්ළුභාවිකය.මාස එකොළහකට පසු දැනට සිදු වෙමින් පවතින යම් යම් සිදු වීම් මත ආණ්ඩුව ක්‍රමානුකූලව එතැනට ගමන් කරන්නේද යන්න ගැන සාකච්ඡාවක් ඇතිව තිබේ.

          මිහිඳු මහ රහතන්වහන්සේ මිහින්තලේ ට වැඩම කර දේවානම් පියතිස්ස රජ දවසදී මෙරට බුද්ධ ශාසනය ස්ථාපිත කළ පසුව රජවරුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලද්දේ මහා විහාරීය සම්ප්‍රදාය පදනම් කොට ගනිමිනි . බුද්ධ ශාසනය යනු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිවු වනක් පිරිසගෙන් සැදුම් ලද්දකි. උපාසක උපාසිකාවන් වන මහජනයා බුදු සසුන පිහිටුවීමටත් පෙර සිටම මෙහි විසූහ. එකල ඔවුන් ගේ පැවති සිරිත් විරිත් සහ පාලන මූල ධර්ම පිළිබඳ වර්තමානයේ දී සම්පූර්ණ අවබෝධයක් නැති වුවද යම් ශික්ෂණයක් ඇති පිරිසක් ජීවත්ව සිටි බව පැහැදිලිය. මෙරට වාපී ශිෂ්ඨාචාරය පිළිබඳ සලකා බලන කල්හි පූර්ව අනුරාධපුර අවදියේ දී වැව් තනා බත බුලත් සපයා ගත් සශ්‍රීක ජීවිතයක් ගත කළ පිරිසක් සිටි බව කිව යුතුය. මහින්දාගමනයෙන් පසුව මේ පිරිස බුදු සසුන හා බැඳි පවතින්නට උත්සාහ කළහ. අතැම් පැරණි මූලාශ්‍ර සලකා බලන කල්හි යක්ෂ ජනයා ගිරි දිවයින් වලට පළවා හරින්නට සිදු වූයේ එවැනි මත ගැටුම් හේතු කොට ගෙනයැයි සිතිය හැකිය. කෙසේ වෙතත් රජවරුන් සමීපයේ සිටිමින් ඔවුන්ට අවවාද අනුශාසනා කරලීමට භික්ෂූන් වහන්සේ ලා නිරන්තතරව කැප වූහ.

    පිටකත්‍රයට අයත් බුද්ධ දේශනා කීපයකම ගිහියන් හැසිරිය යුතු ආකාරය දක්වා තිබේ. සිඟාලක සූත්‍රය ඉන් ප්‍රධාන වේ. එහි 10 වන ගාථා සමුච්චයේ ගිහියන් රැස් කළ යුතු ආදායම ගැනද පරිභෝජනය ගැනද සඳහන් වේ.

එකෙන භොගෙ භු‌ඤෙජය්‍ය ද්වීහි කම්මං පයොජයෙ

චතුත්ථඤච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති

(මල නොතලා මල් පැණි රැස් කොට මී බඳින බඹරක්හු සෙයින් මෙරමා නොපෙළා  භෝග රැස්කරන්නහු ගේ  භෝග සම්පත්හු  වැඩිමට යෙත්.ක්‍රමයෙන් සුඹසක් පස් කැට රැස් කොට බඳිනු ලබන්නාක් මෙනි. මෙසේ භෝගයක් එක් රැස් කොට ගිහිගෙයි වසන්නට සමර්ථ වූ ගෘහස්ථ තෙමෙ භෝගයක් සතර කොටසකට බෙදන්නේය.  හේ ඒකාන්තයෙන් මිතුරන් බැඳ ගනී. බිඳීයනු නොදී රැකගනු සමත් වෙයි. එක් කොටසකින් භෝග සම්පත් වළඳන්නේය. කොටස් දෙකකින් කර්මාන්ත යොදන්නේය. විපතක් පැමිණි කල්හි  ප්‍රයෝජනය පිණිස වන්නේය. යැයි සලකා සතර වන කොටස නිදහන් කොට තබන්නේය.)

ලංකා වාසී සිංහල බෞද්ධයන් මේ බුදු වදන අකුරටම අනුගමනය කළහ. ඔවුන් ගේ සෑම ගෙදරකම වී බිස්සක් හෝ අටුවක් හෝ වී පෙට්ටියක් විය. ඒවා සතර කොටසකට බෙදනු ලැබූහ. බිත්තර වී වලට කොටසක් ප්‍රයෝජනයට කොටස් දෙකක් සහ ඊළඟ කන්නය වන තෙක් සුරක්ෂිත කොට තැබීමට කොටසක් වශයෙන් විය. රජවරු මේ පිළිවෙත රටේ ආර්ථක සුභ සිද්දියට උපයෝගී කොට ගත්හ.රාජ්‍ය භාණ්ඩාගාරයේ වස්තු දෙකොටසක් විය. එකක් මුදල්මය වශයෙනි. අනෙක ධාන්‍යමය වශයෙනි. රන්කාසි සහ තඹ කාසි වශයෙන් මුදල් අච්චු ගැසූහ.විදේශ වෙළෙඳාමට ද යොදා ගත්හ.රටේ විවිධ ප්‍රදේශ වලින් ලැබෙන අයබදු සතර කොටසකට බෙදා ප්‍රයෝජනයට ගත්හ. මිහින්තලේ පිහිටුවා තිබෙන ශිලා ලේඛනයකින් හෙළිදරව් වන්නේ වැවකින් ලැබෙන දිය බද්ද සතර කෙටසකට බෙදා එක් කොටසක් චෙතිය ගිරියට පූජා කළ ආකාරයයි.

වවිය දකපති චතර බකහි -එක බග .......චෙතගිරි මහ විහරහි දිනි.

තිඹිරිවැව ශිලා ලේඛනයෙහි දක්වා තිබෙන්නේ මෙයට වෙනස් ක්‍රමයකි.

සිද්ධම් අමෙතය මතුල සියරහි - ගගවි වවි තිණි මහ පතය එක මහ පතික තිණි කොටසහ කොටු එක කොටසක තුමහ අසනක ගග පවත විහරහි බිකු සඟනට දිනෙ

ගංගා වාපිය නම් වැවේ ආදායම කොටස් තුනකට බෙදා ඉන් එක් කොටසක් යළිත් තුනකට බෙදා අමාත්‍ය මතුල සියර ට අයත් කොටස ගංගා පබ්බත විහාරයට දී තිබේ.මෙහිදී අපට හෙළි වන්නේ අමාත්‍යවරයා ලබන ආදායම රජයේ අදායම සහ ගැමියන්ගේ ප්‍රයෝජනය සඳහා ලැබෙන ආදායම යන කොටස් තුන බව කල්පනා කළ හැකිය. අයබදු ගැන්මේ දී රාජ්‍ය ආර්ථිකය දියුණු කිරීමත් ගැමියා පෝෂණය කිරීමත් ප්‍රධාන වශයෙන් බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමත් සිදු වූ ආකාරය පැහැදිලි වේ.

මුදල්මය වන වස්තු මෙන්ම ධාන්‍යමය වශයෙන් ලැබෙන වස්තු ගැන ද ශිලා ලේඛන කොටවා තිබේ. වවුනියාව අසළ තෝනිගල තිබෙන ලේඛනයෙහි දක්වා තිබෙන්නේ ධන්‍ය බැංකුවෙන් ලැබෙන පොළියෙන් කඨින සමයේ අරියවංශ දේශනාව සඳහා ධනය වෙන්කල බවකි. රාජ මහා විහාර ආශ්‍රිතව විශාල වී අටු පිහිටා තිබුණි. ගොවි ජනතාව විසින් කන්නය අවසානයේ දී මේ අටුව පුරවනු ලබති. මෙම ධන්‍ය කොටසද සතරකට බෙදා එකක් විහාරයේ පරිභෝජනයට ද එකක් රාජ්‍ය භාණ්ඩාගාරයට ද එකක් ආයෝජනය ද නැතිනම් බිත්තර වී සඳහාද තව එකක් මතු ප්‍රයෝජනයට ද යොදවනු ලැබූහ.

දීඝ නිකායේ සීලෙඛන්ධ වර්ගයේ එන කූඨ දත්ත සූත්‍රයේ රජුගේ කාර්ය භාරය මැනවින් දක්වා තිබේ.මහා විජිත නම් රජ කෙනෙකුට  පුරෝහිත බමණෙකු දුන් උපදෙස් මෙහි අන්තර්ගතය රාජ්‍යය සොර බියෙන් පිරී පැවතුණු විට සොරුන් අල්ලා දඩුවම් කිරීමාදිය කිරීමෙන් පසු යම් සොර කෙනෙකු ඉතිරි වත්ද ඉන් පසු කාලයක ඔහු ශක්තිමත් වී රට පෙලන්නට පටන් ගන්නා බවද ඒ නිසා සොරබිය නැති කිරීම ලෙහෙසි නොවන බව ද කියා තිබේ. ඒ වෙනුවට  සිය රටෙහි යම් කෙනෙකු ගොවිතැනෙහි දක්ෂ නම් ඔහුට ධානය බිජුවට දිය යුත්තේය.යම් කෙනෙකුන් වෙළෙදාමට දක්ෂ වී නම්  ඔහුට රජු විසින් බඩු මිල දිය යුතුය.  රාජකාරිය කරන ඇත්තන්ට බත් වැටුප් දිය යුතුය.එවිට මිනිසුන් තමන්ගේ වැඩ පලෙහි යෙදුණේ  රට පෙළන්නේ නැත. රාජ්‍යය භාණ්ඩාගාරය පිරී යන්නේය.  සොර උවදුරුද නැත්තේමය යයි කියා ඇත.

   පැරණි සිංහල රජවරු මේ කාරිය අකුරටම ඉටු කළහ. මහාවැව් සාදා දී ජල පහසුව ඇති කළහ. බිජුවට තැන් තැන් වල ගබඩා කර තබා කන්නයක් පාසා මිනිසුන් වෙත බෙදා දුන්හ. වෙළෙදාමේ නියුක්ත වූවන් ට දිරි දුන්හ. හේවා පන්න ලේකම් ආදී රාජකාරියෙහි නියුක්ත වූවන්ට බත් වැටුප් දුන්හ.

දෙවනි සියවසට අයත් සෝමාවතී චෛත්‍ය ස්ථානයේ පවතින ශිලා ලේඛනයෙහි ඉතා වැදගත් අර්ථයක් දක්වා තිබේ.

මෙම රජ විහරහි මණි අගිය පොහොතකරහි අරක නිචිද කට වටනක බවිනි මෙ වෙහෙර අසනක සඟ බොගයි වසන කුලෙ මහ අවරනහි බලි කඩය වෙහෙරහි අරකෙහි  දනෙකෙහි.

මේ වෙහෙරට අයත් සංඝයා සතු ඉඩම් වල සිටිනා ජනතාව මහ අමුණෙහි ( වැව් තැනීමේ කාර්යයෙහි )  වැඩ කිරීම අවලංගු කොට  එසේම වැඩ නොකරන කල්හි ගෙවිය යුතු ගාස්තුව ද අවලංගු කොට  මණි අගිය නම් උපෝසතාගාරයෙහි ආරක්සාව සඳහා යෙදවීම මෙහි අදහසයි. රටේ අර්ථ සිද්දිය උදෙසා කරන කාර්යෙන්ද මුදවා ශාසනයෙහි ආරක්ෂාව පිළිබදව ජනතාව යෙදවීමට පවා රජවරු මහන්සි වූයේ ශාසනය නටහොත් ජාතික ආරක්ෂාවද විනාශ වන බැවිනි.එදා උතුරේ දහසක් රහතුන් වහන්සේලා වැඩ සිටියේ මුහුදට ඔබ්බෙන් වූ දේශ වලින් එන සතුරන් මෛත්‍රීයෙන් දමනය කරවීම පිණිසය.වර්තමානයේ දී උතුරේ විහාර තැනවීම සංහිඳියාවට බාධකයක් ලෙසට සැළකීමට පවතින රජයයන් උත්සාහ කරති.

        නවීන වෙළඳ පළ ආර්ථිකය තුළ සිදු වන්නේ මුදල් මගින් මුදල් මැවීමයි. ණයට දීම පොලියට දීම.මූල්‍යම වෙළඳ පළට අවශ්‍ය මුදල් සැපයුම ආදී කරුණු එයට ප්‍රධාන වේ.ඇමරිකාව වැනි රටවල් බලවත්ව තිබෙන්නේ මුදල් අච්චු ගැසීමත් ඒවා ආසියාතික රටවලට බෙද හැරීම .ඉන් ලැබෙන පොලිය දෙගුණ තෙගුණ කර ලබා ගැනීමත් නිසාය.තෙල් තිබෙන රටවල් තෙල් නිසා පොහොසත් වෙති.යළි ඒවා මූල්‍ය වෙළඳ පලේ ආයෝජනය කරති.ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට පටන් ගැණුනේ මූල්‍යමය වෙළඳ පළ සඳහා ඔරොත්තු නොදෙන ලෙසට ණය ගැනීම නිසාවෙනි. එය යළි යථාවත් කිරීමට ජනතාවගෙන් අධික අයබදු ගත්හ. වර්තමාන ආණ්ඩුව දුවන්නේ ඒ අයබදු මතින් ගත් සංචිත වලිනි.දැන් මහ බැංකුව ස්වාධීනය. ඔවුහු නිෂ්පාදන ආර්ථිකය පීළිබඳ තැකිමක් නොකරති. රටේ  මෙට්රික් ටොන් මිලියන 4.5 ක වී සංචිතයක් තිබෙන නමුත් ඒ වටිනාකම ආර්ථිකයට සම්බන්ධ කර නොගනිති. මේ ක්‍රමය බෞද්ධ ආර්ථික සංකල්පයට විරුද්ධය.රට හිගමනට පත් වී ශාසනය අර්බුදයට පත්ව තිබෙන්නේ ඇයිද යන්න අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැත.පසුගිය ආණ්ඩු වලට ව්‍යාපාරිකයන් පිරිසක් සහාය ලබා දුන්හ. මූල්‍යමය ශක්තිය ලබා දුන්හ. ඒ පාලකයන් ඔවුන්ට විශේෂ වරප්‍රසාද අත්පත් කර දුන්හ. බදු සහන දුන්හ.වර්තමාන ආණ්ඩුවටද තමන්ට හිතැති ව්‍යාපාරිකයන් පිරිසක් අවශ්‍ය වී තිබේ.කෝටිපති ව්‍යාපාරිකයන් ගේ ශක්තිය මත ආණ්ඩුව පවත්වාගෙන යා හැකි යැයි දැන් දැන් ඔවුහු කල්පනා කරති.වංචාව හා දූෂණය නැවත හිමින් හිමින් හිස ඔසවන්නේ මේ නිසාය.අපි බුදුන් වදාළ මාර්ගයේ යෑමට මැළි කමක් දක්වන තාක් මේ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදු වනවා නියතය.රජය ඒ මාර්ගයට තල්ලු කිරීම අතිශයින් දුෂ්කරය.නමුත් එය කළ යුතුය.බුදුන් වහන්සේට දළදා වහන්සේට පූජා කළ රටක ඒ මාර්ගය නැවත විවර නොවේවි යැයි නොසිතිය යුතුය.

 මතුගම සෙනෙවිරුවන්

Thursday, October 23, 2025

නාවක්කුලි කොටිත් එක්ක උස්සන දෙසැම්බරයේ කොඩි

 

                         


      යාපන දිස්ත්‍රික්කයේ එකම සිංහල ගම්මානය පිහිටා තිබෙන චාවකච්චරි ප්‍රා දේශීය සභාව විසින් අරුම පුදුම නිවේදනයක් නිකුත් කර තිබේ.නාවක්කුලි හි  දුම්රිය ස්ථානයට යාබදව පවත්වාගෙන යනු ලබන සමිද්ධි සුමන විහාරස්ථානයේ පිහිටුවා තිබෙන වන්දනා කරුවන්ට තිබෙන විශ්‍රාම ශාලා පහසුකම් වහාම නවතා දමන ලෙසටත් එසේ නොකළහොත් නඩු පවරන බවටත් මේ නිවේදනයේ කියා තිබේ.මේ පිළීබඳව පුවත් පත් වල පළ වී තිබෙන වාර්තා අනුව නාවක්කුලියට පමණ් නොව යාපනයේ සිංහල ජනතාව ජීවත් වන තවත් ප්‍රදේශ වලටත් මේ නීතිය බලපවත්වන්නට ඔවුන් කැස කවන බව පෙන්නුම් කෙරේ.

          දෙමළ ඊළාම් මතවාදයෙන් පෝෂණය වූ   වර්ගවාදී මෙහෙයුම් ආරම්භ වන්නේ කන්කසන්තුර මහජන මන්ත්‍රීවරයාව සිටි එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ උසි ගැන්වීම් මත 1950 දශකයේය.බොහෝ සාමකාමීව තිබූ උතුර ගිනි ගැනීම්වලට ලක්වන්නේ ඔහුගේ උග්‍ර වර්ගවාදී හැසිරිම් වලට ආකර්ශණය වූ දෙමළ තරුණයන් රට බෙදීමේ ව්‍යාපාර වලට තල්ලු වී යෑමෙන්ය.මේ නිසා යාපන දිස්ත්‍රික්කයේ සිටි විසිහතරදහසකට අධික සිංහල ජනතාවට පමණක් නොව මුස්ලිම් ජනතාවට සහ මේ දෙගොල්ලන් සමගම සමගියෙන් සිටි දෙමළ ජනතාවත් මහත් සේ පීඩාවට පත් වූශ.

        උත්තර පස්සය, උතුර සහ නාග ද්වීපය යනුවෙන් හඳුන්වන කලාපය තුළ අතීතයේ දී පැවති බෞද්ධ සභ්‍යත්වය සතුරු ආක්‍රමණ හේතුවෙන් වැනසී ගියේය. ඇතැම් තැන්වල රහතුන් වහන්සේලා පමණක් හයසීයයකට අධික සංඛ්‍යාවක් වැඩ වාසය කළ බව වංශ කතා දක්වන අතර යම් මුහුද ගොඩ ගැලීමක් නිසා මේ ප්‍රදේශය විනාශ වීමෙකට ලක්ව මීටර තුනක පමණ වැලි තට්ටුවකින් වැසී ගොස් ඇති බව මෑතකදී කළ පුරාවිද්‍යත්මක කැණීම් වලින් හෙළි වී තිබේ. කදුරුගොඩ විහාරයේ පවතින නටබුන් චෛත්‍ය වලට යටින් පූර්ව යුග වලදී ඉඳි කරන ලද බෞද්ධ නටබුන් රැසක් තිබෙන බව මේ සොයා ගැනීම් වලින් තහවුරු වී තිබේ.දහ අට වන සියවස් වලදී උතුරට ගෙන්වන ලද වහල් ශ්‍රමිකයන් වන මලබාරයන් නිසා මේ ජන ශූන්‍ය වූ භූමිය නැවත වහල් ජනපද වශයෙන් ජනාවාස කර ඇත.ලන්දේසීන් විසින් අඳින ලද පැරණි සිතියම් වලින් ඒ බැව් සනාථ වේ.මෙකී ජනාවාස භූමි වල සාරය විදෙස් වලට යැවුණූ අතර මලබාර් දෙමළ ජනයා ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කළහ. ලන්දේසි ආධිපත්‍යය ලිහිල් වී යෑමෙන් පසු මේ ජනයා පාලනය කිරීම උදෙසා නැවතත් මලබාර් දිස්ත්‍රික්ක වලින් වත් පොහොසත් කම් ඇති වෙල්ලාල ජනයා යාපනයට පැමිණියහ. ඔවුහු ලන්දේසීන් ගෙන් සහ පසුව ඉංග්‍රීසින් ගෙන් ඉඩම් මිළදී ගෙන වහල් ජනපද පාලනය කළහ. මේ වන විටත් යාපනයේ ජීවත් වූ සිංහල ජනයා වන මඩප්පිලි ගොවි කුලය සහ ඉන්දීය වෙල්ලාල වර්ගය ෙඇතැම් විට එක සමාන කර ඇතද සිංහලයන් බෞද්ධයන් වූ බවද මලබාර් වෙල්ලාලයන් හින්දූන් වූ බවද පැහැදිලි කළ හැකිය. ලන්දෙසි පල්ලි ඉඳි කළ ඇතැම් ප්‍රදේශ වල සිටි  සිංහල බෞද්ධ ජනතාව ගැන බල්දෙයස් නම් ලන්දේසි පූජක තැනගේ විග්‍රහයෙන් ඒ බැව් පැහැදලි වේ.

         නාවක්කුලිය ,කදුරුගොඩ, උඩුප්පිඩිය ,චුන්නාකම කැස්බ දූව නොහොත් කයිට්ස්, බූරු දිවයින නොහොත් ඩෙල්ෆ්ට්, කාරතිවු නොහොත් කාර දිවයින එලෙස සිංහල ජනතාව ජීවත් වු ප්‍රදේශ අතරට ගැනේ. ඉංග්‍රීසීන් ගේ කාලයේ දී මේ ප්‍රදේශ වල සිටි සිංහල ජනයා අභිබවා දෙමළ ජනගහනය වර්ධනය වන කල්හි ඇතැම් සිංහලයන් වන්නියට සහ අනුරාධපුරයට සංක්‍රමණය වී ඇත. නමුත් ලංකාවට නිදහස ලැබීමෙන් පසු උතුර යළි ක්‍රමයෙන් සිංහල ව්‍යාපාරිකයන් ගෙන් පිරී ගියේය. බේකරි කර්මාන්තය ,ගරාජ නොහොත් කාර්මික වැඩ පළ වල් මේ අයගේ ප්‍රධාන ජීවනෝපාය වීය. හතළිහේ දශකයේ දී උතුරේ විහාරස්ථාන යළි ඉඳි වීමෙන් පසු ඒවායේ වන්දනා කරුවන් සඳහා නවාතැන් පහසුකම් ඇති විය. දායකයන් නොමැතිව වන්දනා කරුවන් නිසාම පැවතුණු මෙවැනි විහාරස්ථාන නඩත්තු වූයේ ඒ ශත්තියෙනි. අසූව දශකයේ ඇරඹුණු යුද්ධයෙන් පසුව 1985 දී පමණ උතුරේ සිටි සිංහල ජනතාව ඝාතනයය ලක් වීමෙන් සහ පහරදීම් වලින් පීඩාවට පත්ව දකුණට සහ අනාථ කඳුවරු වලට සංක්‍රමණය වූහ.නාවක්කුලියේ  තිබූ සිංහල පාසල විනාශ කරන ලද අතර සිංහල ජනතාවට උන්හිටි තැන් නැතිවූහ. 2009 වසරේ දී යුද්ධය හමාර වූ පසු අවතැන් ව සිටි නාවක්කුලියේ සිංහල පවුල් 180 ක්  2010 දී නැවතත් උතුරට ගොස් බැලූ විට ඔවුන් පරිහරණය කළ ඉඩම් කොටි මහවිරු පවුල්  විසින් අත්පත් කරගෙන තිබුණි. එහිදී ඔවුන් නවාතැන් ගෙන තිබුනෙ දුම්රිය ස්ථානයේ බව එකල පුවත් පත් වාර්තා කළහ. අනතුරුව මේ ජනතාවගේ උද්ඝෝෂණයන් නිසා එංගලන්තයේ සිටින සිංහල ජනතාවගේ ආධාරයෙන් උපතාරයෙන් සහ සිංහල රාවයේ මෙහෙයවීමෙන් නාවක්කුලියේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් පොල් වත්තක ඉඩම් කට්ටි කීපයක් ලබාගෙන පදිංචි වන්නට ඉඩ ප්‍රස්ථා ලැබිණ. අනතුරුව දුම්රිය ස්ථානයට යාබදව විහාරස්ථානයද ඉඳි කිරීම ආරම්භ කළද මන්ත්‍රී ශිවාජිලංගම් ගේ විරෝධය හමුවේ  එවකට පැවති ප්‍රාදේශිය සභාව විසින් වාරණයක් ගැනීම නිසා අතර මග නැවතුණි. නමුත් නඩු කටයුතු වලදී එවකට සිටි ශ්‍රී නිධී නන්දසේකරන් මහේස්ත්‍රාත් තුමිය විසින් දෙන ලද අපක්ෂපාතී තීන්දුව නිසා යළිත් නාවක්කුලි විහාරස්ථානය ඉඳි කරලීමට අවස්ථාව ලැබුණි.අද වන විට උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වන නාග ද්වීපය, තිස්ස විහාරය, නාග විහාරය සහ කදුරුගොඩ ආදීයට වන්දනාවට යන සැදැහැවතුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ස්ථාන අතරින් ප්‍රමුඛ තැනක් ගන්නේ නාවක්කුලි විහාරස්ථානයයි. වන්දනාකරුවෝ එහි නවාතැන් ගෙන උයා පිහා ගෙන ගිමන් නිවා ගෙන විහරස්ථානයටත් මූල්‍යමය ශක්තියක් වී පිටත්ව යති.

          වර්තමානයේ පත්ව සිටින චාවකච්ඡරි ප්‍රාදේශීය සභාවේ පාලන අධිකාරියට ප්‍රශ්ණයක්ව තිබෙන්නේ මේ ක්‍රමවේදයයි.ඔවුහු ඉතාමත්ම වර්ගවාදීව කටයුතු කරමින් සිටී.මේ අතර  දෙසැම්බර් මාසයේ 12 13 සහ 14 යන තෙදින තුළ සංහිඳියාව උදෙසා ජාතික දිනයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.සියලු ජාතීන් සහ ආගම් නියෝජනය කරමින් මේ දිනය උත්කර්ශවත් කිරීම ද සංස්කෘතික අවස්ථාවන් ප්‍රදර්ශනය කිරීම ද සිදු කිරීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙන් කළ මුදල මිලියන තුන්සීයකි.රටේ අතැම් පිරිස් විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත්වල දේශපාලන නායකයන් විසින් රටේ නීතියට ද පයින් ගසා සංහිඳියාවට බාධා කරන වර්ගවාදී ඇවිස්සීම් සිදු කරන කල්හි  උසාවි නියෝග පවා නොතකා විහාරස්ථාන ඉදිරියේ කලහකාරී අන්දමින් හැසිරෙන කල්හි රජය පැත්තෙන් දියත් කරන සංහිඳියාව ගොළු වී ඇත. නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ තොප්පිගල ආසන්නයේ දිවුලපතාන නමැති පාරම්පරික ගම්මානයේ ජීවත් වූ සිංහල ජනතාවට නඩු දමා එළවා දැමීමට කටයුතු කරන ලද්දේ පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි. ඒ මගම ගනිමින් ඒ ජනතාව මඩකලපු දිස්ත්‍රික්කයෙන් ඉවත් කර අම්පාර පමණක් කේන්ද්‍ර කොටගෙන ඉඩම් බලපත්‍ර ලබා දීම සිදු කරන්නේ මඩකලපු දෙමළ මන්ත්‍රීන්ගේ ඉල්ලීම් මතයි. මේ කිසිවක සංහිඳියාව නැත.ප්‍රායෝගිකව සංහිඳියාව සඳහා කැප වන්නේ දකුණේ සිංහල ජනතාව පමණකි. කෝවිලක් සැදුවත් පල්ලියක උත්සවයක් තිබුණත් ඒ සැම විටම කරුණාවෙන් මෛත්‍රියෙන් සැළකීමටත් ඒ සංස්කෘතික උත්සව  වලට සාභාගි වීමද සිංහල ජනතාවගේ සිරිතකි.ජාතික දිනයක් කෘතිමව නිර්මාණය කර  සර්ව ආගමික උත්සව පැවැත් වීම තුළින් ඒ අයට අලුතින් ඇතිවන හැඟිමක් නැත. රජය නාවක්කුලිය ගැන මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.ජාතිවාදය අවුස්සන්නේ යැයි පවසා නැත.රටේ අනෙක් පළාත් වල පාතාලේ ක්‍රියාකාරකම් සිදුවන විට විපක්ෂයට ඇගිල්ල දිගුකරන  ආණ්ඩුව උතුරේ වර්ගවාදය පෝෂණය කරමින්   නිහඬවම බලා සිටී.චාවකච්ඡරි දේශපාලනයේ වර්ගවාදී කොඩි දකුණේ ඉස්සීමෙන් කිසිවෙකුට පලක් නැත. රටේ සංස්කෘතික උත්සව විශේෂයෙන් අවුරුදු දින වැනි සුවිශේෂි උත්සව තිබෙද්දී විශාල මුදල් කන්දරාවක් වියදම් කිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුව කරන ඇත්තන් ගේ බංකොලොත්භාවයයි.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, October 14, 2025

ගුරුගෙදර විදුගෙදරක් කළ කන්නන්ගර මැතිඳු

 

                                        


             සීතාවක රාජ්‍යය බිඳ වැටීමේ කාලවකවානුව තුළ ශාසනික වශයෙන් සිදු වූ පරිහානියත් සමග මෙරට පැරණි අධ්‍යාපන ක්‍රමයද අභාවයට පත් විය.ඉන් පසු  සරණංකර සංඝරාජ සමයෙහි පුනර්ජීවනයට පත් ශාසන සම්ප්‍රදාය සහ මෙරට අධ්‍යාපනයට මූලික වූ මහඟු ග්‍රන්ථයක් වූයේ වදන් කවි පොතයි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ දවස දී ශාස්ත්‍රඥයෙකු ලෙසට ප්‍රකටව සිටි  අත්තරගම බණ්ඩාර පඬිතුමන් විසින් මෙම කාව්‍යග්‍රන්ථය රචනා කරන ලද බව දැක්වේ. එතුමා තම තරුණ කාලයෙහි දිම රාජ කුමාරවරුනට අකුරු ශාස්ත්‍රයට  ගුරු වූ නිසා   රාජගුරු යනුවෙන් ද ප්‍රකට වූහ.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනා - එසැඬ මනාවන් වතුරෙන් වල නොයනා

කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා -  උගතමනා ශිල්පය මයි මතු රැකෙනා  යැයි  වදන් කවිපොතේ දක්වයි.

ශිල්ප ශාස්ත්‍ර සේවනයෙහි යෙදීමට අකුරු ශාස්ත්‍රය මනා ලෙස ප්‍රගුණ කළ යුතුය.පරංගි යුද්ධ, ලන්දේසි යුද්ධ වලින් බියෙන් ඇළලී වල් වැදි සිටි ජනතාව ඉන් මුදවා ගැනීමට සංඝරාජ මහා හිමි පාණන් ඇති කළ අධ්‍යාපන පරිසරය තුළ අකුරට යන්නට මැළි කළ දරුවන් ට මෙන්ම චණ්ඩ ගති ප්‍රකට කළ දරුවන්ට ද මතක සිටින ලෙස මේ කව ලියා  ඇත.

පොල් ඉරටේ අණ තදකර ගතිම්මා  - ඉන් ඔල මොළ කමකට සිත නොයම්මා

දැන් නිසලව ඉඳ අකුරුත් කියම්මා - ඉන් අප දඟ ගේක ලූදැය  අපෙ අම්මා

කුඩා කළ දරුවන් ගේ හැසිරීම දඟකාරය. කොල්ලන්ටත් බල්ලන්ටත් නළියන්නේ නැතිව සිටින්නට බැරි බව දෙමාපියන් දනී. ඒ නිසා ගොවිපළෙහි පියා සමග වැඩට යන්නට සැලැස්වුහ.අතීතයේ නම් අංගම් ඉළන්ගම් හරඹ සමග මේ තරුන ගාය මෙල්ල වූ බව වැඩිහිටියෝ කියති.සෙල්ලමත්, දැනුම ලබා ගැනීමත් ඒ සැම තැනකින්ම  සිදු විය. ගැහැණු දරුවන් ගේ දැනුම මුලු තැන්ගෙයි ඇසුරෙහිම වැඩිණ.අල පලාවන් සහ දර සොය ගිය ඔවුහු  සමාජ ආශ්‍ර යෙන් හොඳ නරක දැන ගත්හ.දරුවන් හදා වඩා ගැනීමෙහි පරිචයක් ලැබූහ. නමුත් පිරිත් පොත කියවන්නට සකස්කඩ, ඝණදෙවි හෑල්ල ,නම්පොත කියවන්නට අකුරු දැන ගත යුතු විය. බාල කළ සිටම පණ්ඩිතයෙක් බව පෙනේ නම් පන්සලේ ගුරුගෙදර වැඩි දුර ශික්ෂණයට යෙදවිය යුතු විය.දහම් පොත් පත් පරිශිලනයට පෙළඹවිය යුතු විය.කොලු දඟ කාරකම් මඩින්නට ඇතැම් විට වේවැල අතට ගන්නට සිදු විය.හැඳි නොගෑ හොද්ද කැටි වනවා සේ ශරීරයේ අනුමත තැන් වලට මෘදු පහරක් දීමෙන් ගත සිත අවදිවන බව දෙගුරුන් දැන සිටියහ.වැලිපිල්ලේ අකුරු ලියන විට ක්ෂණිකව මොළය කරා සන්නිවේදනය වන්නාක් මෙන්ය.එසේම වැඩිහිටියන් වෙත කීකරු වන්නටත් ගෞරව කරන්ටත් උපතින් පැමිණෙන උද්දච්ච කම් මඩින්ටත් මාර්ගය පාදා තැබූහ.

      බ්‍රිතාන්‍ය රජුට ගිවිසුමකින් රට භාර දෙන්නට සිදු වූයෙන් රටේ අධ්‍යාපන පුනර්ජීවනය තවදුරටත් සිදු නොවීය.ඒ වන විට පන්සල් ආශ්‍රිතව පාසල් හය දහසක් තිබුණු බව ලංකාවට පැමිණි මිෂනාරීන් වාර්තා කර තිබේ.ඔවුන්ට අවශ්‍ය වූයේ පන්සල අභිබවා පල්ලිකුඩම් වල ආගමික අධ්‍යාපනයක් ආරම්භ කිරීමයි.වෙස්ලියන්, බැප්ටිස්ට් සහ ඇන්ග්ලිකන් නිකාය මගින් පාලනය වන ඉස්කෝල ආරම්භ වූයේ රජයේ අනුග්‍රහයෙනි රොබට් බ්‍රවුන්රිග් එයට පූර්ණ අනුග්‍රහයක් දැක්වූහ.මෙරට නිදහස් අධ්‍යානයේ පියා ලෙසට හඳුන්වන සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා සිය මූලික අධ්‍යාපනය ලබා ගත්තේ වෙස්ලියන්  උසස් පාසලෙනි. පසුව ගාල්ලේ රිච්මන් විදුහලට ඇතළත් විය. බෞද්ධ ළමයෙකු වුවද ඔහුට හැදී වැඩීමට සිදු වූයේ කතෝලික ආගමික පරිසරයක් තුළය. නේවාසිකාගාර පුහුණුව බටහිර ක්‍රමයට විය. මේ කාලයේ බෞද්ධ පාසල් රට පුරා ව්‍යාප්ත වූ සමයයි. පූජ්‍ය දොඩන්දූවේ පියරත්න තිස්ස මාහිමියන්ගේ ආරාධනයෙන් ලංකාවට සැපත් කර්නල් ඔල්කට් තුමා විසින් පරම විඥාණාර්ථ පාසල් ඇති කිරීම නිසා මිෂනාරි පාසල් හා තරඟ කරමින් ස්වභාෂා අධ්‍යාපනයක් සහ නවීන අධ්‍යාපනයක් තහවුරු කරලීමට උත්සාහයක් විය.

      1931  ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ රැස්කළ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන විධායක කමිටුවේ  සභපති ධූරයට පත් වූයේ කන්නන්ගර මැතිතුමාය. මේ වන විට දහනව වන සියවසේ සිදු වූ අධ්‍යාපන පෙරළිය පිළිබඳවත් මිෂනාරි අධ්‍යාපනය නිසා රටේ සංස්කෘතියට සහ ඉදිරි ගමනට ඇති වූ පසු බෑමත් ගැන පුළුල් අවබෝධයක් ඇතිව එතුමා විසින් සිය මුල්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 1932 දී පමණ ආරම්භ කරන්නට යෙදුණි.මේ වන විට දිවයින පුරා බෞද්ධ පාසල්  240 ක් ක්‍රියාත්මක වූ අතර 1162 ක් වූ  අනෙක් සියලුම පාසල් විවිධ ආගමික නිකායන් මගින් පාලනය කරන්නක් විය. ඒවායෙහි ආගම  ඉගැගැන්වීම කෙරෙහි උනන්දුවක් දක්වා නොමැත. ස්වභාෂාවද නොසලකා හැර තිබුණි. ඒ නිසා යම් ප්‍රතිසංස්කරණයකදී අන්වාර්යයෙන්ම ස්වභාෂා ඉගෙනීම ශක්තිමත් කිරීම සිදු කළ යුතු විය. එම නිසා කන්නන්ගර මහතා විසින් සෑම පාසලකම ස්වභාෂා අධ්‍යාපනය දියුණු කරලීමට උත්සාහ ගන්නා ලද අතර ඉංග්‍රීසි දෙවන බස ලෙසට හැදෑරිමට උනන්දු කරවන ලදී. මෙම ක්‍රමයට ආගමික නිකායික පාසල් විරුද්ධ වූ නමුත් නොපැකිළව තම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දහිරිය එතුමා තුළ පැවතිණ. ඉන්පසු එම වසරේ  මහනුවර ගම්පළ අසළ හන්දෙස්ස ග්‍රාමයේ මෙරට කලා ශිල්ප පදනම්  කොට ගත් අධ්‍යාපනයක් ලබා දීම සඳහා වැඩ සටහනක් ආරම්භ කර ඇත එහි පළමු පියවර වශයෙන් ආදර්ශ පාසල්  13 ක් ක්‍රියාත්මක කොට එය සාර්ථක වූ පසු අනෙක් පළාත්වලට ද ආදේශ කොට පාසල් 79 ක දක්වා ව්‍යාප්ත කරන ලදී.  මෙතෙක් නොසලකා හැර තිබු මෙරට මූලික ශිල්ප කලා දැනුම අදාළ පරම්පරාවට පමණක් නොව සියලුම දෙනට ලබා දීමේ අරමුණින් අධ්‍යාපන අරමුණු පුළුල් කරනු ලැබිණ.

      මෙතෙක් ගුරු ගෙදරට සීමාව තිබූ අකුරු කරවීම ඇතුළු ඉගැන්වීම් වලින් ඔබ්බට ගිය ප්‍රතිසංස්කරණයන්හි අරමුණ වූයේ ගුරු ගෙදෙර විදු ගෙදරක් බවට පත් කිරීමයි.මේ වන විට රට පුරා ක්‍රියාත්මක වූ බෞද්ධ පාසල් එතුමාගේ ක්‍රියාවලියට නොමද සහායකින් ඉදිරිපත් විය.දෙඩෙන්දූවේ පළමු බෞද්ධ පාසල මෙන්ම රටපුරා පන්සල් අසල සකස් කළ එවැනි පාසල් පදනම් කොට ආධාර ලබන පාසල් ලෙසට ඒවායේ බෞද්ධ අධ්‍යාපනය මෙන්ම නවීන අධ්‍යාපන ක්‍රම ද ඇතුල් කිරිමට උනන්දු කරවනු ලැබූහ.මේ පාසල් වල ග්‍රාමීය කෘෂිකර්මයට වැදගත් තැනක් ලැබුණි. පාසලේ ගෙවත්ත ද කුඹුර ද වගා කිරීමට ළමුන් යොදවනු ලැබූහ.ඒවායේ අස්වනු විකුණා ලද මුදල් ළමුන් ගේ ඉතිරිකිරීම් පාස් පොත් වලට දමා ඉතිරි කිරීම ට පදනම ඇති කළහ.ආර්ථික වශයෙන් සමෘද්ධිමත් බෞද්ධ ජනතාවක් ඉදිරියට ගැනීම ඒ අරමුණු අතර විය.1937 වර්ෂය වන විට මෙකී ග්‍රාමීය අධ්‍යාපන ක්‍රියාවලිය තුළ ශාස්ත්‍රීය විෂයයන් කෘෂිකර්මය ඇතුලු ග්‍රාමීය විද්‍යා විෂයයන් වඩු වැඩ යකඩ වැඩ ඇතුළු කාර්මික පුහුණුව දියුණු කරන ලදී. 1939 වසර වන විට මේ ආකාරයෙට සාර්ථකව පාසල් 253 ක් තුළ මෙම ග්‍රාමීය අධ්‍යාපන වැඩ සටහන් ස්ථාපිත කරතිබුණි.

     1945 වසරේ නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගන්නා විට 1939 ආඥා පනත මගින් ද ඇති කර ගත් බලතල අනුව කන්නන්ගර මහතාගේ මූලික අභිප්‍රායන් සාර්ථක අඩියකට පත්ව තිබුණි. එම  අධ්‍යාපන මූල ධර්ම විදෙස් රටකින් ක් නොව එතුමාගේ සහ බෞද්ධ පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් හදා වඩා ගත්තකි. ඒ අනුව ඊළ පියවර වූයේ ගුරුවරුන් පුහූණ කිරීම උදෙසා අඩිතාලමක් තැබීමයි. ඒ අනුව 1934 දී මීරිගම කෘෂිකර්ම පහුණු මධ්‍යස්ථානය ද 1936 න් පසු  ගුරු අභ්‍යාස විද්‍යාල කීපයක්ම බිහි කරන ලදී. ඉන් 1946 වසරේ ගිරාගම සෞන්ර්ය ආයතනයද මහරගම ගුරු අභ්‍යස විද්‍යාලය ද කැපී පෙනේ.ඒ ගුරු විදුහල් වලින් පිටවූ ගුරු ශිෂ්‍යන් සඳහා සකස් කළ ප්‍රතිඥාවත් ද විය.'සිතින් ද කයින් ද වචනයෙන්ද ශිෂ්‍ය පරම්පරාවට ගුරු කුලයට මාතෘ භූමියට හා මනුෂ්‍ය  සංහතියට ද අචල භක්තියෙන් යුක්තව ජාති කුල ආගම භේදයෙන් සහ සතර අගතියෙන් තොරව ගුරුවරයෙක් වශයෙන් සේවය කිරීමටත් ගුරු සේවානුබද්ධ සකල සම්ප්‍රදායන් සපුරා ආරක්ෂා කිරීමට සහ ආදර්ශමත් චරිතයක් හා පෞරුෂයක් මා තුළ මෙන්ම ශිෂ්‍ය පරම්පරාව තුළද සංවර්ධනය කිරීමටත් අධ්‍යාත්මක ගුණ වගාව ඥාන පූරණය හා ශිල්ප ශාස්ත්‍ර දානය සඳහා මගේ පූර්ණ හ්‍රමය යෙදිමටත් ප්‍රතිඥා දෙමි' යනුවෙන්  එහි දැක්වා ඇත.

මේ අනුව බලන කල්හි කන්නන්ගර අධ්‍යාපන ක්‍රමය තුළ තිබූ උදාර ගුණ සමුදාය තුළින් නව ලොවක් බිහිකර ගැනීමට', ජාතියක් ඉහළට  ඔසවා තැබීමට ගත් වෙහෙස මනාව ප්‍රකට වේ. අවාසනාවකට මිෂනාරීන් ගේ සහ සමසමාජ පාක්ෂිකයන්ගේ වුවමනාවට කන්නන්ගර මහතා මතුගම ආසානයෙන් පරාජයට පත් කිරීමෙන් පසු 1951 දී අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙසට එච්.ඩබ්.  වුඩ් හවුස් නම් ඉංග්‍රීසි ජාතිකයෙකු පත් කිරීමෙන් පසු ග්‍රාමීය අධ්‍යාපනය නොසලකා හැර නැවතත් පංති කාමරය මූලික කරගත් ශාස්ත්‍රීය අධ්‍යාපනයට පමණක් මුල් තැන් දුන්හ. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ තිබූ උදාර අරමුණු විනාහ කරනු ලැබිණ. අද අප කළ යුත්තේ ඒ ප්‍රතිපත්ති වලින්  බැහැරව විදෙස් උපදෙස් අනුව මොඩියුල ආරෝණය කිරීම නෙව කන්නනන්ගර චින්තනයෙන් පදනම දැමූ  විදු ගෙදරට මෙරට සම්ප්‍රදායත්  ෙමන්ම විශ්ව දැනුමත් එක් කර  ආත්ම අභිමානයෙන් සහ ජාතික අභිමානයෙන් යුක්ත  යහපත් පිරිපුන් දරුවන් සෑදීමේ වැඩ පිළිවෙල ආරමභ කිරීමයි. ආචාර්ය සී.ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාට දක්වන උපහාරය එයයි.

මතුගම සෙනෙවිරුවන්

Sunday, October 5, 2025

දිය දබරයක් නිසා ලියැවුණූ පුරාණ වාරි පරිසර නීතිය

 

                          


              ගොවිතැනෙන් සිය ජීවිතය පවත්වාගෙන ගිය අතීත සිංහල ජනතාවට වැව සහ කෙත අතිශය වැදගත් විය.ජල සම්පත සුරැකීම උදෙසා දිය කඳුරු හරස් කොට වැව් බැඳ වූ ඔවුහු අහසේ පාවෙන වළාකුළු වලින් පවා ජලය උරා ගන්නට සමත් ජල බිංදු තාක්ෂණයක් නිර්මාණය කළහ. පැරණියන් කඳු වැව් යනුවෙන් හඳුන්වනුයේ ඉතා උස් කඳුකර වල බැඳවූ සොරොව්වක්  නැති නමුත් පැන්නුමක් පමණක් ඇති එවැනි වැව් පිළිබඳ දක්වන්නටයි.දිය බිත්තර වලින් ගැබ්බර වූ වැහි වළාකුළු පිටස්තර  ප්‍රදේශයන්ට ගසා ගෙන යෑම වළක්වනු පිණිස එවැනි වැව් ඇති කළහ.ජලයට ජලය ආකර්ෂනය වෙයි.  උස් ගිරි ශිඛර ආසන්නයෙන් ගමන් කරන වළාකුළකට මේ වැව මග හැර යා නොහැකිය.වැසි බිංදු පතිත වෙමින් වැසි මෝරන්නට පටන්  ගන්නා අතර වැව පිරී ඉතිරී පැන්නුමෙන් පිට මහ කැළයට ගලා යයි.කැලෑ දිගේ රූරා බසින ජලය කැළයේ අටවා  තිබෙන තවත් වැවකට එකතු වෙයි. මේවාට මූකලාන් වැව් කුළු වැව් යයි හෝ පෝටා වැව් යැයි ව්‍යවහාර කළහ.වන සතුන්ට ප්‍රයෝජනවත්ය.මේවායේ ද සොරෙව්වක් නැත පැන්නුමක් නැත්නම් වානක් පමණක් ඇත.එවැනි මූකලාන් වැව්ද පිරී ගලා යන ජලය කැළය පසු කර ගමට ගලා යයි. ගමේ එකිනෙකට සමාන්තරව පවතින වැව් පද්ධතියකි. මූකලානෙන් ගලා එන ජලය ගම් වැව් වලට එකතු වි ගොවිතැනට අවශ්‍ය පිරිසඳු ජලය ලබා දෙයි. ජලය සැබවින්ම පිරිසිඳුය. බොර වතුර නැත. හේතුව ඒ වැව් තාක්ෂණය තුළින් පස ඉල්පී නොයෑමයි.

            අතීත මුතුන් මිත්තන් විසින් මෙවැනි වාරි මාර්ග නිර්මාණය කලා පමණක් නොව එවා ආරක්ෂා  කරන්නට ද නීති පැණවූහ.හිලා ලේඛන වල ඒ නීති රීති ලියවා තැබූහ.පදවිය අසළ රඹෑව ටැම් ගිපිය ඉන් එකකි. පෙර සිරිත් ප්‍රකුර් වඩා යනුවෙන් එහි සඳහන් කර තිබේ. කොණ්ඩවට්ටවාන් ලිපිය තවෙකකි.පෙර සිරිත රජ අණටත් වඩා ලොකුය. එය උල්ලංඝණය කිරීමෙන් සොබා දහමෙන් දඬුවම් ලැබෙන බව ඔවුහු දැන සිටියහ.සිංහල රජ දවස පියමන් වී පෘතුගීසි, ලන්දෙසි සමයේ දී උඩරට රාජධානිය හෙබවූ රාජාධිරාජ රාජසිංහ (1781-1798)  රජුගේ කාලයේ දී උඩරට පළාතේ දුම්බර පන්සිය පත්තුවේ දිය දබරයක් ඇති විය. දිය දබරය යනු ජලය බෙදා හැරීම සම්බන්ධව ඇති වූ රණ්ඩුවකි. ගමේ ජීවත් වූ දෙපිරිසක් අතර ඇති වූ ආරෝවකි. එක් පිරිසක් පුරාණ සිරිත කඩ කළ අතර තවත් පිරිසක් එයට විරුද්ධව ඉහළට පැමිණිලි කළහ.අවසානයේ දී රාජ සභාවේ සිටි මහ අදිකාරම් වූ ගලගොඩ මුංවත්තේ දිසාව ද දෙවන අදිකාරම් පිළිමතලව්වේ ද හත් කෝරලේ දිශාව වන දුම්බර පළමුවන නිළමේ ද සබරගමුවේ දිසාපති දෙවන ගලගොඩ නිලමේ ද  ඌවේ දිශාව වන තුන්වන ගලගොඩ නිළමේ ද මාතලේ දිසාව වන දෙවන පිළීමතලව්වේ ද බිම්තැන්නේ දිශාව වන රත්වත්තේ නිලමේ ද උවේ දිහාව වන යටවත්තේ නිලමේ ද හිප්පොල,ඊරියගම ,කහඳව ,අරඹේපොල ,දොඩම්වල, සතරවන ගලගොඩ, මාම්පිටිය ,දුනුවිල සහ ඇරැව්වාල යන මොහොට්ටාල වරුද එකතු වී එම දබරය සන්සිඳවනු පිණිස නීතියක් සම්මත කළහ.මෙහි වර්ෂය සඳහන් වනුයේ ශකවර්ෂ එක් දහස් හත්සිය දාහතර යනුවෙනි. එනම් ක්‍රි.වර්ෂ එක්දහස් හත්සිය අනූ දෙවැන්නයි.මේ කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු ජීවත්ව නොසිටියද රාජාධිරාජසිංහල රජුටද කීර්ති ශ්‍රී යනුවෙන් ආමන්ත්‍රණය කර ඇති බව පෙනේ. එම යුගයේ පණිවුඩ පනත නැතිනම් නීතිය සම්මත කර ගැනීමට නිලමේ වරු එක් රැස් වී තිබේ.මන්ද  පුරාණ සිරිත කඩ කිරීම බරපතල වරදක් බැවිනි.ඒ පනතේ මෙලෙස සඳහන් වේ.

  'ශකවර්ෂ එක්වාදහස් දහතර වැනි වූ පර්ධාවී නම් මෙම වර්ෂයෙහි උඳුවප් මස අව සතවක නම් තිථිය ලත් බ්‍රහස්පතින්දා දීපදෝත්තම වූ කීර්ති ශ්‍රී විරාජමාන වූ රාජෝත්තමයාණන් වහන්සේ ගෙන් ලැබුණු පණිවුඩ පනතට දුම්බර පන්සිය පත්තුව බද ගම්පහේ ගොඩ කුඹුරේ ගෙදර අප්පුහාමි අබකොන් මුදියන්සේද එම ගෙදර තව්රාළ ද ගොඩ කුඹූරේ යාපා මුදියන්සේලාගේ ගෙදර යාපා හාමිද හලංගොඩ වලව්වේ පුංචි රාළ මොහොට්ටාලද තව බොහෝ දෙනෙකුට අයිති කුඹූරුවල ඇළ අමුණු කඩා වතුර පිටගෙන ගියාය කියා උණ දිය දබරේ ගැන සැළ කළ නිසා මෙසේම කැඩුණු අමුණු නම්

     වදගහ පෝටාව ද මැද පෝටාවද දෙතල් අමුණ ද වැවද යන මෙකි අමුණු කඩා වතුර පිට ගෙන පල්ලෙවෙල වඩුවා ,වෙල ගෙදර පිංචි හාමි ද මැදිවක ගෙදර කලංසිහාමිද ගොඩ කුඹූරේ දාසින් මුදියන්සේලෑ ගෙදර අප්පු රාළද තවත් බොහෝ දෙනෙකු පිට ගෙන ගියාය කියා  කළ පැමිණිල්ල ඒත්තු ගනිමින් ලැබුණු පුස්කොල පනතේ වගනම් මෙසේමයි

මේ භූ මන්ඩලය පවතින තුරුම රාජධානි පවතින තුරු  මේ උල්පත් වතුර ද වැව්ද වැවේ වතුර ද කුඩු ගලේ වතුර ද මේ වෙලෙන් පිට ගෙන යන්නට තහනම් කලා ඇත. පැමිණිලි කාරයෝ සහ ඒ කුඹුර ඇත්තන්ට පුරාණ සිරිතට ලැබුණා ඇත. මේ පනත අවලංගු කළ එකාට දුන් එකාට පනන් දහක් දඩයි.

 මේ උල්පත පරවේසමට තුබුණු මූකලාන වග නම් දකුණට මළ කඳුර ද නැගෙනහිරට හින්නද බස්නාහිරට වෙලෙන් උඩද උතුරට පාරද යන මෙකි හකර මායිමට මැදිවුණ කැළෙන් ලී වැල් ආදියක් කපන්නට තහනම්ය කැපූ අයට පළමු දඩය මයි.'

     1960 වසරේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පළ කළ ශ්‍රී ලංකා සඟරාවේ පළ ව තිබූ මෙම පණවුඩ පනත අපේ පුරාණ සිංහල නීතියේ වැදගත් කම කියාපන වැදගත් ලියවිල්ලකි.එහි වැදගත්ම කොටස නම් අවසානයේ දි දිය අල්පත ආරක්ෂා කර ගැනීම සඳහා පැනවූ නීතියයි.මෙම දිය උල්පත ගැමියා විසින් හඳුන්වන ලද්දේ ගොඩකුඹුර උල්පත යනුවෙනි.එම උල්පතෙන් පටන් ගත් ගොඩ කුඹුර ඔය මේ පෙදෙස තෙත් කරමින් පහළට ගලා යයි. උල්පතේ නැගෙනහිර සීමාව නම් යග්ගිරිගල මූකලාන නොහොත් හින්නයි. ඉහළින් තවත් වෙල් යායක් දක්නට ලැබේ.එය බස්නාහිර සීමාවයි. උතුරට උඩු දුම්බර මැදිවක මාර්ගයයි.දකුණට මළ කඳුරයි.දිය උල්පත පෝෂණය වන පෙදෙසෙහි සීමා ලකුණු කොට ඒ සීමාව තුළ ගස් වැල් කැපීම වරදක් බවද එහි දක්වා ඇත. මෙයින් පෙනී යන්නේ අතීතයේ දී කෙතරම් සූක්ෂම ලෙසට සොබදහමේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට නීති පැනවීමට උත්සාහ කළේද යන්නයි ඇතැම් විට රාජකාරියක් සඳහා සන්නස් ප්‍රදානයේ දී ද මෙම ක්‍රමය අනුගමනය කර ඇති බව පෙනේ. විශේෂයෙන්ම කුඹුරු වතුපිටි ආදිය ඒ නින්දගමට අයත් වුවද මහ කැළය දිය උල්පත් ආදිය රජයට තබා ගෙන ඇති බව පැහැදිලි වේ.මෙම දිය දබරය ඇතිව තිබෙන්නේ ගොඩකුඹුරේ සිට මැදිවක වෙල් යායට ජලය යන අතර මග තිබෙන අමුණු පෝටා කඩා හෝ ගලවා දියතමන්ගේ වෙල් වලට බලහත්කාරයෙන්  ගෙන යෑම නිසයි.ජල කළමනාකරණය භාර විදානේ ගේ අණ නොතකා කටයුතු කිරීම මෙහිදී  සිදුව ඇත.

     වර්ෂ 1833 දී කොල්බෘක් කොමිෂමේ නිර්දේශ මත රාජකාරිය අහෝසි කළ අතර මුදලක් ලබාදීමෙන් පමණක් සේවා ලබා ගත යුතු බවට නීතියක් පමුණුවන ලදී. විහාරගම් සහ දේවාලගම් වලට ද එම නීතිය ආදේශ විය.ඉන් පසු සිදු වූයේ මුදල මුල් කරගත් අසීමිත තණ්හාභරිත සමාජ ක්‍රමයක් ඇති වීමයි.එහිදී ඉඩමේ මූල්‍ය වටිනාකම මුල් තැනට පැමිණුනි.පරිසරය, දිය උල්පත් ,මූකලාන ආදිය කිසිවක් නොබලා ඉඩම් මංකොල්ලයක් සිදු විය. මේ නිසා ඇති වූ විකෘතිය බරපතලය.එහෙත් පුරාණ සිරිතට අනුව තවමත් ගොඩකුඹුර උල්පත්  වන බූටෑව තවමත් පරිස්සම් සහගතය.ඒ වටිනාකම ගොඩකුඹුර ගම්මුන්ට හිමිය.

 මතුගම සෙනෙවිරුවන්