මේ දිනවල ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය
වන දැනට අතිශයින් ජනප්‍රිය වී තිබෙන අමුතු දොස්තර ටෙලි නාටකය පිළිබඳ සමාජයේ සිදු
වන කතා බහ යොමුව තිබෙන්නේ ඉන් ලබන අමුතු රසාස්වාදනය සාකච්ඡා කරමින්. රසය තීව්ර
කිරීම, ගැටුම් නිර්මණය මගින් කතාව උච්චස්ථානයකට පත් කර කුතුහලය ඇවිස්සීම ඒ මගින්
නව රසයන් මතු කිරීම නාටකීය ස්වරූපයකි.අමුතු දොස්තර දේශපාලනමය තිර රචනයක් සහිත
ටෙලිනාටකයක් බව පැවසිය යුතුය.මීට පෙරද බොහෝ අවස්ථාවල දේශපාලනය පිළිබඳ සාකච්ඡා කරන
ටෙලි නාටක බිහිව ඇති නමුදු මෙම නාටකය ඊට වඩා වෙනස් මගක ගමන් ගන්නා බව පෙනේ.
කලපු ඉස්පිරිතාලය පසුබිම් කොට දිග හැරෙන
රූප රාමු තුළ සමාජයෙන් වියුක්ත අමුතු පුද්ගලයෙකු දකින්නට ලැබෙන නමුදු ඒ චරිතය යම්
කිසි අරමුණකින් හසුරුවා ඇති බව දක්නට ලැබේ.ඉස්පිරිතාලය පුරාම දක්නට ලබෙනුයේ අබලි
දුව්‍ය පිරුණු ,වංචා දූෂණය ඉහවහා ගිය ,සියලු මානව සබඳතා වානිජ බලවේ විසින් හසුරුවන
වැසෙන්නට නියමිත රාජ්‍ය ආයතනයකි. පෙනුමෙන් ගමනින් සහ චර්යාවෙන් අමුතු පුද්ගලයෙකු
එතනට පැමිණෙන්නේ එහි කාර්ය භාර නිළධරයා වශයෙනි. එතැන් සිට මේ කතාව කුතුහලයෙන් පිරුණු
නමුත් ක්‍රමයෙන් තිර රචකයාගේ අරමුණ හෙළි කරන අමුතු ගණයේ කතා මාලාවක් ලෙසට ඉදිරියට
යයි.අමුතු දොස්තර කතා වස්තුව තුළ සමාජයේ දකින්නට තිබෙන දුබලකම් වංචා සහ දූෂණ යන
කාරණා අපූරුවට විග්‍රහ කරන්නට උත්සාහ කර
තිබේ. ඒ එක්කම නාටකයට සිංහල දෙමළ සහ ඉංග්‍රීසි කතා කරන ඉහළ මධ්‍යම පන්තියත්
ආකර්ෂණය කර ගැනීමට උපක්‍රම භාවිතා කිරීමට උත්සාහ දරා ඇත. තවද ඉතා සියුම්ව මෙරට
සංස්කෘතියට පහර දීමටත් යම් අවස්ථා යොදා
ගැනීම දක්නට හැකියි.ඇතැම් නළුවන්ට නම් යෙදීමේ දී ඒ ගැන සැළකිල්ලක් යොමු කළ
බව පැහැදිලියි. නාටකය ඉදිරියට ඇදී යන කල්හි මෙකී නළුවන් හට තමන්ගේ වැරදි ස්මරණය
කිරීමටද ඒ තුළ සහ කම්පනයක් ඇති කිරීමට සැලැස්වීමද අගය කළ යුතු කරුණක්. එහෙත් මෙරටේ
සෑම ජන කොටසක සතු මෙවැනි ගුණාංග ජානගතව පවතින්නේ මෙරට පවතින සිංහල බෞද්ධ සංස්කෘතිය
නිසා බව ඇඟවෙන්නට සමත් රූප රාමු මුදා නොහැරීමට වග බලා ගෙන ඇති බවද පැහැදිලියි.
හින්දි රිදී තීරයේ කලකට ඉහත ප්‍රදර්ශනය කළ අමීර් ඛාන් රඟ පෑ ඩෝබි ඝාට් සිතුවම්
පටයේ ශෛලියෙන් මෙහි නිර්මාණ කරුවන් ආභාශය ලබා ඇත්දෝ කියා මදකට කල්පනාවට පැමිණි බව සටහන් කල යුතුයි.කෙසේ
වෙතත් වර්තමානයේ බලයට පත්ව සිටින අමුතු ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා සමපාත වී මෙහි රූප
රාමු සකස් කරගෙන යන්නේ ජාතික රූපවාහිනියේ විකාශනය වන නිසා වන්නට ඇත.
අමුතු දොස්තර චරිතය ආක්‍රමණශීලී නැත. ඔහු
වංචාවට දූෂණයට අකාර්යක්ෂමතාවයට තිත තබන්නේ උපාය උපක්‍රම යොදා ගනිමිනි. කලපු
ඉස්පිරිතාලේ සැම සිදු වීමක්ම හොඳින් අධ්‍යනය කිරීමත් සේවක මණ්ඩලයේ මනෝභාවයන්
හොඳින් විශ්ලේෂණය කිරීමත් දූෂණයට වැට බැඳීම පිණිස සියළුම දේ ලිඛිතව පවත්වාගෙන යෑම
ආරම්භ කිරීමත් සමගම ගැටළුව නිරාකරණය කිරීමට අවස්ථාව උදා කර ගැනීම විශිෂ්ටයි. නීතිය
ඉදිරියේ අදාළ පුද්ගලයන් ප්‍රශ්න කරනුයේ ඉන් අනතුරුව බව දැක්වීම තුළ අප වටහා ගත
යුත්තේ මානව සාර ධර්මයන්ට පසු පස්සෙන් නීතිය අවශ්‍ය බවයි.
ලංකාවට නිදහස ලැබුණු කාල වකවානුවෙන් පසුව
අමුතු ආණ්ඩුවක්ද බලයට පත් වී තිබේ.ඔවුන් විපක්ෂයේ සිටියදී වංචාව දූෂණය අරභයා
නොයෙකුත් කතා ගෙතූහ. උද්ඝෝෂණය කළහ. අරගල කළහ. නමුත් රටේ ව්‍යුහයේ වෙනස් කමක් සිදු
නොවීය.එයට හේතු ගණනාවක් තිබුණද ජනතාව අමුතු පිරිසකට බලය අත්පත් කර දුන්නේ යම්
පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වෙමිනි.එම ක්‍රියාවේ පැහැදිලි එල්ලයක් නොතිබුණි. නමුත්
අමුතු ආණ්ඩුවෙන් තවමත් අමුතු දේවල් සිදු වුණේ නැත.වෙළඳ පළ සහල් ගැටළුවේ දී ඔවුහු
වරද්ද වරද්දා ගොඩ යන්නට උත්සාහ දරමින් සිටී.කාලයක් තිස්සේ විපක්ෂයේ ඉඳිමින් වංචා දූෂණයන්ට
එල්ල කළ ආක්‍රමණශීලී ප්‍රහාරයන් තවමත් එහෙමමයි. ඉතා සියුම්ව සමාජය විශ්ලේෂණය
කරමින් ගැටළු විසඳා ගැනීමට තවමත් අසමත්. ජනතාවගේ මනෝභවයන් සහ විපක්ෂයේ මනෝභාවයන්
තේරුම් ගෙන යා යුතු අතුරේ ගමනට සූදානම් වනවා වෙනුවට විපක්ෂයත් අවුස්සා ගනිමින්
ජනතාවත් කළකිරීමකට පත් කරමින් යෑමට උත්සාහ කරන ගමන් මග නිසා මෙතෙක් නොතිබුණු ගැටලු
මතු වන්නට තිබෙන ඉඩකඩ වැඩියි. රනිල් වික්‍රමසිංහ අටවා ගිය උගුල නැතිනම් ජාත්‍යන්තර
මූල්‍ය අරමුදලට ගැට ගැසීම, මහ බැංකුව ස්වාධීන කිරිම ,විදේශ විනිමය පාලන පනත
සංශෝධනය ආදී කරුණු ගැන විපක්ෂයේ සිටියදී කරන ලද චෝදනා අනුව සියුම්ව ක්‍රියා කිරීම
වෙනුවට උගුලේ තව දුරටත් අසුවන සෙයක් දකින්නට ඇත. අමුතු දොස්තර අත්හරින්නට කැමතිය.
ඔහුට හොඳ අභිලාහයක් පවතී. ස්වකීය අරමුණ වෙත ඔහු ළඟා වන්නේ යම් පිටපතක් සිතේ තබා
ගෙනයි. ආදර්ශය සැමට වඩා උතුම්.
එහෙත් අමුතු ආණ්ඩුව අත් හරින්නට සූදානම්
නැත.තමන්ගේ උද්දච්චකම් මුග්ධකම් අතහරින්න කැමති නැත. රට වෙනුවෙන් ආණ්ඩුවට අභිලාහයක්
නොතිබෙන බව පැහැදලියි. එහෙත් පක්ෂයේ අනාගතය ගැන අබිලාශයන් ඇත.ඉන්දියාවේ ගිය ගමනෙන් සිදු වුණේ මේ රටේ රාජ්‍ය සේවකයන්
ඉන්දීය ක්‍රමයට හැඩ ගැස්වීමට මගක් පාදා දීමයි. එය තවත් අනතුරක් .රටේ ජාතික ආරක්ෂාව
ගැන හෝ උතුරේ ධීවර ගැටලුව ගැන පෙර ඉන්දිරා ගාන්ධි සමයේ ඇති කරගත් එකඟතා ගැන එතනදී
සඳහන් කිරීම හානියක් නොවෙයි.ගෝව ප්‍රාන්තය ගැන ඉන්දියාව අනුගමනය කළ පියවරයන්
පිලීබඳව මෝදි අගමැති එක්ක කතා කරන්න තාම කල් වැඩියි. හැබැයි බුද්ධ ගයාවට වඳින්න
ගියාම ඔහුට මතක් වන්නට ඕනෑ ලක්ෂ හතරක් පමණ වන්දනා කරුවන් ලංකාවේ සිට ඉන්දියාවට
පැමිණෙන වග. ඔවුන්ගේ පහසුකම් ගැන, විශ්‍රාම ශාලා ගැන දෙරට අතර එකඟතා ඇති කර ගන්නට
ඉඩ කඩ තිබුණි.ජනාධිපතිවරයා තවම ආධුනිකයි.ඔහුගේ විෂය ජාතික ආරක්ෂාවට මුල් තැන් දීම
නමුත් ඉන්දියාවේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම තුලින් පෙනෙන්නේ රට වෙනුවෙන් තිරසර
අභිලාශයක් අධිෂ්ඨානයක් නොමැති බවයි.අමුතු දොස්තර බලා හෝ මේ වැරදි හදා ගත යුත්තේ
දොස්තර වරුන් පමණක් නොවේ. මේ රටේ දේශපාලඥයන්ද නීතියට වඩා ඉදිරියෙන් සාරධර්ම තබා පුද්ගල
සබඳතාවන්ට මානව ගුණ ධර්මයන්ට මුල් තැන දෙන්නේ නම් බෙහෙවින් වටිනා බව මතක් කළ
යුතුයි.
මතුගම සෙනෙවිරුවන්