පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, September 5, 2024

මැකෝ ගෙ පොලීසියෙන් සාහිත මාසය වාරණය කරයි

 

                               


                 දිවයින පුවත්පතේ මාධ්‍යවේදී එරික් ගාමිණී ජිනප්‍රිය මහතා විසින් රචනා කළ එන්පීපී කතාව සහ ජේවීපී ක්‍රියාව නම් කෘතිය ජනගත කිරීමට යොදා ගෙන තිබුණේ සැප්තැම්බර් මස 04 බුද දිනයේ දීය.සාහිත්‍ය මාසය ඇරඹීමත් වර්තමාන ‌ෙද්ශපාලන තුළ සාකච්ඡා කල යුතු වැදගත් මාතෘකාවක් වීමත් නිසා ජනතාව අතර යම් සංවාදයක් ඇති කිරීම මෙම ජනගත කිරීමේ අරමුණ විය.නමුත් එම දිනයේ අචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයට කඩා වැදුණු පොලිසිය මෙම උත්සවය පැවැත්වීම නතර කිරීමට උපෙදෙස් ලබා දී ඇත.මැතිවරණ සමය බැවින් මෙය වෙනදාට ක්‍රියාත්මක පොලිසිය නොව මැතිවරණ කොමිසමේ  පොලීසිය වී යැයි දැන ගන්නට ඇත.

         2023 අවුරුද්දේ අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලමේන්තුවේ දී සම්මත විය.ඊට අමතරව මැතිවරණ ප්‍රචාරක කටයුතු පාලනය කිරීම සඳහා වනවැදගත් නීතියක් මාධ්‍ය උපමාන නමින් ගැසට් කරන්නට යෙදී ඇත.අප දන්නා පරිදි මනාප චන්ද ක්‍රමය ප්‍රචලිත වීමත් සමගම මැතිවරණ අපේක්ෂකයන් විසින් වියදම් කරන මුදල කෝටි ගණනින් වැඩි විය.එම මුදල් හා පක්ෂ වල වත්කම් පිළිබඳ කිසිම තොරතුරක් ද සමාජ ගත නොවීය. එ නිසා මැතිවරණය සමය යනු එක්තරා ආකාරයකට කළු සල්ලි සුදු කරන සමයක් බවට පත් විය.මැතිවරණ නියාමන පනතක අවශ්‍යතාවය පැණ නැගී තිබුණේ මේ පසුබිම මතයි. මැතිවරණ කාල පරිඡේදය තුළ මැතිවරණ පනත අනුවත් මැතිවරණ නියාමන පනත අනුවත් ස්වාධින මැතිවරණ කොමිසමට කටයුතු කිරීමට බලය ලැබී ඇත. එම ක්‍රියාවන් දේශපාලන බලය යොදා නැවැත්වීමට නොහැකිය.මෙය හොඳ තත්වයති ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම පිණිස ගන්නා ලද යහපත් තීරණ අතරට වැටෙයි.

         මෙවර පැවැත්වෙනුයේ ජනපතිවරණයකි. රටේ විධායක ජනපතිවරයෙකු සිටින කාලවකවානුවක ඔහුද අපේකෂකයෙකු වූ විට නිතැතින්ම යටකී මැතිවරණ නියාමන පාලන නීතියට ඔහුද යටත් වෙයි. ජනපතිවරයා රටේ සේනාධිනායකයා වන බැවින්  ජාතික ආරක්ෂාව ඉටු කරලීමේ ව්‍යවස්ථාමය   වගකීම ඔහු සතු බැවින්  යම් යම් ක්‍රියා මාර්ග ගැනීමට ඔහුට කටයුතු කළ හැකි විය යුතුය. එයට බාධා කිරීමට මැතිවරණ කොමිසමට නොහැකිය. නමුත් ඔහුගේ අපේක්ෂකත්වය තුළ ජනපතිවරයාගේ භූමිකාවතමන්ට වාසිදායක ලෙසට ඉස්මතුවන්‌ෙන් නම් මැතිවරණ නියාමන නීතියට පටහැනිය.පසුගියාදා ජනපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීම් වලදී නියමිතව තිබූ භෝජන  සංග්‍රහයන් නැවැත්වීමට මැතිවරණ කොමිසම ක්‍රියාකර තිබේ.එහෙත් තැපැල් චන්දය අභිමුව තිබිය දී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කරන යෝජනා එළි දැක්වීමට කටයුතු කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමු වූයේ නැත. දෙසැම්බර් මාසය වන විට සකස් කළ යුතු අයවැය යොජනා මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට යෝජනා කිරීමම ජනපතිවරයාගේ බලය මත කරන චන්ද දූෂණයකි.එසේම ත්‍රීවීල් රියදුරන් ජනපති ලේකම් කාර්යාලය අසලට ගෙන්වා   අතට සන්තෝෂම් දී රථ වල ස්ටිකර් ඇලවීමට ක්‍රියාකිරීමද ජනපති තනතුර අවභාවිතා කිරීමකි. එයට වඩා බරපතල ප්‍රශ්ණයක් වූයේ ජනපතිවරණ සමයේ රටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය අජිත් දෙවොල් සමග ගිවිසුම් අත්සන් කිරීමට ජනපතිවරයා  පෙළඹීමයි. මේ කාලය තුළ ඔහුද අපේක්ෂකයෙකු වන බැවින් ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුත්තේ දී හැර අනෙක් කටයුතු වලට රාජ්‍ය සම්පත් යොදා ගැනීම ඒවා අනිසි විදියකින් ප්‍රචාරය කිරීම නොකළ යුත්තකි.මෙවැනි තත්වයන් පාලනය කිරීමට මැතිවරණ කොමිසම අපොහොසත් වී ඇති බව කිව යුතුය.

      මැතිවරණ වියදම් පිළිබඳ සම්පූර්ණ ලේඛනයක් මැතිවරණය පවත්වා දින විසි එකකින් කොමිසමට ඉදිරිපත් කළ යුතු බවට නීතියකි.අප දන්නා පරිදි මේ ජනපතිවරණයේ දී කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කිරීම දක්නට ලැබේ. එක් අපේක්ෂකයෙකු විසින් එක් චන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල වන්නේ රැපියල් 109 කි. එක් චන්ද දායකයෙකුට රුපියලක් වියදම් කළද එක් කෝටි හැත්තෑ එක් ලක්ෂයක් වියදම් කිරීමට හැකිය. මෙවැනි මුදල් කන්දරාවක් පක්ෂයකට ලැබෙන්නේ කෙලෙසකදැයි ජනතාව දැන ගත යුතුය. දිවයිනේ තබන සෑම රැස්වීමකටම බස් යොදා සෙනග අදින බව කවුරුත් දන්නා රහසකි.පිටස්තර දිස්ත්‍රික්ක වලින් බස් යොදා සෙනග ඇදීම පාලනය කිරීමට කොමිසම උත්සුක වී නොමැත.එවැනි රැස්වීම් වලින් ප්‍රකට වන්නේ කෘතිම ජන මතයකි. රැළි වලින් නොමග යන ජනතාවට ප්‍රතිපත්ති ගරුක අපේක්ෂකයෙකු තෝරා පත් කර ගැනීමට අවස්ථාවක් උදා නොවේ. රැස්වීමකට කූඩාරම් ගැසීමට පවා කෝටියක් පමණ වියදම් කරන අපේක්ෂකයන් සිටිති. පෝස්ටර් මුද්‍රණය පෝස්ටර් ගැසීම කූඩාරම් ගැසීම වැනි මැතිවරණ ප්‍රචාරක ක්‍රියා භාර ගෙන තිබෙන ප්‍රචාරක ආයතන රැසකි. පාක්ෂිකයන් දායකත්වය  ගනු වෙනුවට මැතිවරණ සමය මෙම ව්‍යාපාරිකයන්ගේ  ලාභය උපරිම කර ගැනීමේ අවස්ථාවක් බවට පත් කරගෙන තිබේ  මේ වියදම් කරන මුදල ලැබෙන්නේ දේශීයවද ඒවායේ මූලාශ්‍ර කෙබඳුද විදේශ රාජ්‍ය නොවන සංවිධාන වලින් ලැබෙන්නේ ද තානාපති අංශ වලින් වියදම් කරන්නේ ද යන්න දැන ගැනීමට ජනතාවට තිබෙන අයිතිය මේ මැතිවරණ පාලන නීතියෙන් සීමා කොට තිබේ. මන්ද මැතිවරණය අවසන් වී කරන ඉදිරිපත්   කිරිම් යොදා ගැනෙනුයේ නීති විරෝධී ප්‍රචාරක කටයුත්තක දී ලැබෙන දඬුවම් ගැන සළකා බැලීමට පමණක් වන නිසාය.අනෙක ඒ වන විට කොමිසමේ බලතල අවසන් වී ඇති බැවින් පත්ව සිටින ජනපතිවරයෙකුට විරුද්ධව කටයුතු කිරීමේ හැතියාක් නැතිබව ද දැක්විය යුතුය.

          මැතිවරණ වියදම් නියාමනය සහ මාධ්‍ය උපමාන සම්බන්ධව මෙවැනි අඩු ලුහුඬුකම් පවතින විට ඒවා පක්ෂ සමග සාකච්ඡා කොට යාවත්කාලීන කර ගැනීම මැතිවරණ කොමිසමේ වගකීමකි. එවැනි දෙයක් සිදු නොවන බව පෙනේ.පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුට අනෙක් පක්ෂයක අපේක්ෂකයෙකුගේ ප්‍රතිපත්ති සහ හැසිරීම් විවේචනය කිරීමට ඉඩ තිබෙන්නේ වාචිකව පමණකි. ලිඛිතව ඉඩ නැති බව දැන ගන්නට ඇත. දිවයින මාධ්‍යවේදී එරික් ගාමිණී මහතා පක්ෂයකට ගැති පුද්ගලයෙකු නොවේ. ඔහු ස්වාධීන ජනමාධ්‍යවේදියෙකි. දේශපාල විචාරයකි. එවැනි පුද්ගලයෙකුට මැතිවරණ සමයේ වුවද සීමා මායිම් නැත.ගත් කතුවරයෙකුට සාහිත්‍ය මාසයේ දී ලැබෙන අවස්ථාව වෙනත් මාසවලදී ලැබෙන්නේ නැති බවද මතක් කළ යුතුය.

     සදය විවේචනයකට කවදත් පුවත්පත් වල  ඉඩකඩ විවර විය යුතුය. පෞද්ගලිකව මඩ ගසනවානම් පුවත්පත් කොමිසමට පැමිණිලි කිරීමට හැකියාව ඇත.එරික් ගාමිණී මහතාගේ දේශපාලන කෘතිය ජනගත කිරීම සහ සංවාදය නැවැත්වීමට විවේචනයට බඳුන් වූ පක්ෂය මුල් වූයේ ද එසේත් නැතිනම් ඒ පක්ෂයට සහාය දක්වන ඇමරිකානු තානාපතිනිය මුල් වූයේ ද යන්න අප නොදනිමු. පසුගිය කාලයේ දී තානාපතිනි ජූලි චන් තානාපතිවරුන්ගේ ආචාර ධර්මද නොසලකා හරිමින් මැතිවරණ කොමසාරිස් තුමා හමු වන්නට ගිය බව මාධ්‍ය වලින් දුටුවෙමි.මේ අතර හිරු මාධ්‍ය ජාලයේ විකාශනය වූ විමල් වීරවංහ මහාතා සාභාගි වූ සළකුණ වැඩසටහනද අතුරුදහන් කෙරී ඇත.ඒ සිද්දියෙන්ම අපට දැන ගත හැක්කේ කාටද රිදුණේ කවුරුද වාරණයට පෙළඹුණේ යන්න පමණි. අනාගතයේ දී මෙවැනි වාරණයන් තවදුරටත් බලාපොරොත්තු විය හැකිය.

මතුගම සෙනෙවිරුවන්