පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, April 23, 2024

බෙදා හදා ගැනීම පිළිබඳ රාජ නීතිය සහ පැරණි මූලාශ්‍ර

 

                          


          මෙරට ගැමි සමාජය හසුරුවන ප්‍රධානතම රැහැන නම් සාමූහිකත්වයයි.පැරණි ගැමියන් කිසි විටක සාමූහිකත්වයෙන් තොරව සංවිධාන ගත නොවූහ.ඔවුන්ගේ ප්‍රධානතම ආර්ථික ක්‍රියාවලිය වූ කුඹූරු ගොවිතැන සහ හේන් ගොවිතැන සාර්ථකත්වයට පත් කරනු ලැබූවේ එකට වැඩ කරගැනීමට තිබූ දක්ෂතාවයෙනි.මුල් කැටෑ හේන නම් වියළ් ගොවිතැනේ දී සියලුම දෙන එකතු වී මූකලානක් කොටා පුලුස්සා වටේ දඬුවැට සවි කර තමන්ගේ පංගු වෙන් කර ගත්තද හේනේ පැල් රැකීම කරන ලද්දේ සාමූහික හැඟිමකිනි. එසේම අස්වනු කපා පා ගා ගැනීම සහ බෙද‌ා හදා ගැනීම සඳහා පුද්ගලිකත්වයට වඩා සාමූහිකත්වය ඉස්මතු විය.මේ නිසා මුලු රටේම වැඩ කිරීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමින් තිබුණි. පසු කාලීනව රාජකාරිය යනුවෙන් නම් කළ අතර සියලුම රට වැසියන්ට තමන්ගේ කාර්යයක් හිමි විය. කුල වශයෙන් වෙන් කර තිබුණද ඒ ඒ අය අතර බෙදා හදා ගැනීමද අත්තමට කයියට වැඩ කිරීමද උපරිම මට්ටමින් තිබූ ආකාරය පැහැදිලි වේ.

          මේ බෙදා හදා ගැනීම ජාන වලින් පැමිණි දෙයක් නොවේ.බදු දහම වැළඳ ගැනීමෙන් පසු ඒ සාර්ධර්මයන් හි රජු පිහිටීම නිසා මෙවැනි හැදියාවක් ආරම්භ වන්නට ඇත. සතුරු ආක්‍රමණ මත රටේ අවුල් වියවුල් ඇති වූ නිසා නැවත ඒ පෙර සිරිත් පණ ගැන්වීම අවශ්‍ය විය.ඒ අනුව සකස් කරනු ලැබූ නීති සහ රීති මගින් නැවත ඒ සිරිත් ආරම්භ විය..චාරිත්‍ර සහ වාරිත්‍ර යනුවෙන් අප අතර අද ව්‍යවහාර වන්නේ එයයි. යම් නීතියක් චාරිත්‍රයක් වන්නට නම් ඒ සිරිත දිගු කාලයක් තිස්සේ ජන සමාජය විසින් භාවිත කල යුතු විය.එවිට එම පෙර සිරිත නීතියක් වුවත් නීතියක් නොවී ජන සමාජය විසින් ආරක්ෂා කරනු ලබති. බෙදා හදා ගෙන කෑම බෙදා හදා ගෙන වැඩ කිරීම සිංහල ජන සමාජයට පුරුදු පුහුණු කරන ලද්දේ එසේය.ඉරිපින්නියාව( පදවිය අසල ) ටැම් ලිපිය අනුව වාරිමාර්ග අමුණු බැන්දවීමටද පෙර සිරිත ක්‍රියාත්මක විය.එයද නීතියකින් පැමිණියකි.මේ සම්බන්ධව තිබෙන තවත් වැදගත් හොඳම උදාහරණයක් ලිඛිතව පැවතීම මේ පිළිබඳව විමර්ශනය කරන්නවුන්ට ඉතා වැදගත්ය. අනුරාධපුරයේ ඇතුලු නුවර මහාපාලි දාන ශාලාව ආසන්නයේ පවතින සතරවන මිහිඳු රජුගේ ශිලා ලේඛනය ඊට දෙස් දෙයි.

      සතරවන මහින්ද( ක්‍රි.ව.980 -996) පස්වන කාශ්‍යප රජුගේ පුත්‍රයෙකු ලෙස සැළකිය හැකිය. ඔහුගේ බිසව කාලිංග කුමරියක වූවාය. ඒ වන විට දළදා වහන්සේ සන්තකයේ පැවතීම කාලිංග දළදා පරපුරේ නොහොත් කීරවැල්ල බිසවක් සිටීම රාජ උරුමය තහවුරු කරලීමට බලවත් සාධකයක් විය.ඒ ශක්තිය නිසා මහින්ද රජු දඹදිව ආක්‍රමණය කොට තුන්වන කෘෂ්ණ රජු පරාජයට පත් කළේය.එසේම ඌරාතොට නැතිනම් කයිට්ස් දූපතට පැමිණි දෙමළ ආක්‍රමණිකයෙකු පරාජයට පත් කොට රාජ්‍ය ස්ථාවර කොට වසර දහසයක් රජකම් කලේය.මේ නිසා ඔහුට ශාසනික මෙහෙයක් කල හැකී වූ අතර දළදා වහන්සේ කෙරෙහි තිබූ භක්තිය නිසා දළදා මැදුර ප්‍රතිසංස්කරණයට ලක් කළේය. අනතුරුව ඒ ආසන්නයේ ශිලා ලේඛනයක් ද පිහිටුවන ලද්දේය. ඊට අමතරව වෙස්සගිරිය අසල සහ මිහින්තලයේ යන ස්ථාන වල පිහිටුවන ලද ශිලා ලේඛන මෙරට ශාසනික නීතිය සහ රටේ පෙර සිරිත හුවා දක්වන ප්‍රබල සාධක වෙති. අනුරාධපුර පුවරු ලිපියයයි සදහන් වන පහත සඳහන් ලිපිය මගින් කියැවෙන වැදගත් රීතින් සමාජය වෙත මුදා හැරීමට සිදු වූයේ කුමක් නිසාදැයි මේ ලිපි ය කියැවීමෙන් පසක් කරගත හැකිය. 


   

          'සිරිබර් කැත් කුල කොත් ඔකාවස් රජ් පරපුරෙන් බට් ලක්දිව් පොලොයොන පරපුරෙන් හිමි වූ සිරි සඟ්බො අබය් මහ රජ්හු තුමා සත් ලැගු සොලොස්වන හවුරුදුයෙහි මැදින් දින සන්ද් අවප් මස්හි  දස පක් දවස් සතර් පස්හි අය්වූ උකස් ගම්හි ඉසා පමුණු ගම්හි ඉසා ගිය තුවාක් දවස්හි රද් කොලට් වැලෙන්දමින් සිටි කැබැල්ලෙ හි කළැලි කුම්බුර් පෙරෙ වළන්දමින් සිටි සෙ වළදනු කොට් ඉසා සෙසු වියළ් තිබූ තුවාක් තැන් පමුණු ලදුවන් වියළ් නෙරුන් මුත් කැබලි ලදුවන් වියළ් නෙරනා කොට් ඉසා පමුණු ලදුවන් වියළ් නෙල් තැන්හි පහන් ........................ගත් කිරි අමුණ බා  දෙ කැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා ..............මෙයට් උපන් දෙවිතයක්  ඇත ගම් වැසියන් ......................පිරි කපා බා ගන්නා කොට් ඉසා පෙරෙ කැබලි .........................වල් පියොව තිබූ තුවාක් තැන් වැව් බැන්දැ....................කැරුණ් හසෙකැ බෙදා ගන්නා කොට් ඉසා ...............................ක් ඇත ගම් වැසියන් දුට් නැස්මක් ........................යන් බෙදා ගන්නා කොට් ඉසා මෙකුන් විය ................................බද් වැව් සර් වියළ් නෙළැයෙහි වැවූ ප............ගම්වැසියන් පස් දෙනෙකු කී බා දෙ කැබලි...................කොට් ඉසා පෙරෙ ඔත් ගස් කොලට් අ..............වහන්සෙ හුණන්හි වැඩැ වෙන කලැ කළ ව්‍ය ..................තුනින් එකක් නියායෙන් බෙදා ගන්නා කොට් ඉසා ...................තුවාක් දවස්හි පමුණු ලදුවනට කුඩී.................වැටෙමින් සිටි වැට්මක් ඇත පෙරෙ .........................කොට් ඉසා මෙකුන් අයෙළින් ඔත් නැරුළ් ත..................මහ වරක් දෙකැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා ................කින් පකක් දෙකැබලි ලදුවන් බෙදා ගන්නාකොට් ඉසා ................බුලත් දොඩම් කෙල් කොස් සෙසු උපො පල ............හවුරුදු පතා වත්තකට් ළිදෙකින් දෙ අකක් බැ...............න් බෙදා ගන්නා කොට් ඉසා...................ගම් වැසියන්................. ඇත  කුඩීන් නොපල්වා ගම් වැසියන්.....................කැබලි ලදුවන් බෙදා ගන්නා කොට් ඉසා .........තන්හි මෙලාට්සි ලද්දකු ගන්නා කොට් ඉසා ගම් වැසියන් පස් දෙනෙකු කී දඩ් ගන්නා කොට් ඉසා දෙකැබලි ලදුවන්  වෑ මෙහෙයට් දෙ ...................උපන් වියවුලක් ඇත මහා ලෙයක් හු ..................වරැඅරක්මෙහෙකැමියක් හු ඉසා ස..................කුසල් කැමි ලෙයක්හු ඉසා දඩ් නා ප.........................පි කාරයක් හු ඉසා ඇතුළ්වැ මෙතුවාක් ....................සාහා දෙනු කොට් ඉසා එකොලොස් ....................හිමියන් වහන්සෙ  පසුවනු ප...............කැබලි ලද් කෙනකු න් විචාර කොට් ......................ත්‍යාග කරනු කොට් ලියවා දළදා ගෙ ..................ලී කර්ම නො ඉක්ම වැ  වෙනු සන්ද් හා.................තබනු ලදි සතර් පස්හි දෙමෙළ් ගම්බිම් ...............ඔත් ගස් කොළ්හි පෙරෙ සිරිත් සෙ ගන්නා කොට් ඉසා මෙහි පවා මත්තෙ ඔත් ගස් කොළ්හි දස පැකින් පකක් හා සතර් මහ වරක් හා ළින්දෙකින් දෙ අකක් බැගින් ගතැ යුතු

         රදළ කුලයට පරිභෝග වූ උකස් ගම් සහ පමුණු ගම් වල කැබලි වල අස්වනු පෙර සේම වැළඳීම නොහොත් පරිභෝජනය කළ යුතු යැයි මෙහි මුලටම දක්වා තිබේ.මෙම ගම්හි හේන් ගොවිතැන් ගැන දක්වා තිබෙන්නේ වියළ් යනුවෙනි.ඒවා පෙර සේම වළන්දවමින් ඒ ලැබෙන අස්වැන්න ගම් වැසියන් විසින් අඩක් වශයෙන් බෙදා ගත යුතු බව දක්වා තිබේ.ඒ ගම්වල කැලෑ එළි කොට වැව් සකස් කර ගත් කල්හි ලැබෙන ලාභයන් බෙදා ගත යුතු බව දක්වා තිබේ. එසේම ගම් වැසියන්ට යම් කරදරයක් නොහොත් නැස්මක් වුවහොත් තිබෙන තැනින් ගෙන බෙදා හදා ගැනීම අගය කර තිබේ. සැබවින්ම අදටත් මේ සිරිත ගම් වල පවතී. කරදරයකදී ඔවුන් සැම එකතු වෙයි. සැමියා නැතිවූ බිරිඳ නඩත්තුවට කුඹුරු කැබලි පවා වෙන් කරන සිරිතක් දක්නට තිබුණි. දඹුල්ල අසළ කලුන්දෑවේ එලෙස වෙන් කරන ලද කූඹුරකට සුද්දන්ගේ පාලනය යටතේ අත්වූ ඉරණම ගැන විස්තර මෑත කාලයේ දී අසන්නට හැකිය.එකල රාජ්‍ය සේවයේ සිටි දෙමල අගම්පඩි සේනාවක්ට දුන් දෙමළ ගම් බිම් වලින් පෙර සිරිත් ලෙසම එනම් දෙමළ් කූලී අය කරගන්නා ලෙසටද මෙහි දක්වා තිබේ. ඒ අනුව සතරවන මහින්ද රජුගේ අනුරාධපුර පුවරු ලිපියෙන් හෙළිවන්නේ සිංහල නීතියේ වැදගත් මූලාශ්‍රයකි.

 

මතුගම සෙනෙවිරුවන්

 

Friday, April 5, 2024

කච්චතිවු අපේ - සිරිමාවෝ කිව් ලිව් හැටී මෙහෙමයි

 


                              

             ඉන්දියාවේ මහ චන්දය ළඟා වී ඇත.බහුජන සාක්ෂරතාවය  දුර්වල ඉන්දියාවේ චන්ද ගොඩ රැඳි තිබෙන්නේ මිනිසුන් ගේ හැඟීම් මත බැවින් ඒ හැඟීම් ඇවිස්සීමට නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා කච්චතිවු දූපත ඈඳා ගෙන ඇත. කච්චතිවු ලංකාවට ලබා දීම ගැන ඔහු ඉන්දීය කොන්ග්‍රස් බලධාරීන්ට දොස් කියා තිබෙන්නේ මේ ඇවිස්සීම කරන්නටයි.මේ උණුසුම අවුරුදු කටේ ලංකාවටත් දැනී තිබේ.ඉන්දියාවේ සරණ යන අන්තාවාදී දෙමළ දේශපාලඥයන් මෝදි ගේ කියුම් අල්ලා ගෙන නටන්නට බොහෝ විට ඉඩ ඇත.දැනටමත් උතුරේ ධීවර සහයෝගිතා ව්‍යාපාරය විරෝධය පළ කර ඇත. උතුරේ චන්ද ගොඩ වැඩි කර ගැනීමට වළිකන මේ දේශපාලඥයන් කිසිවිට සිංහල දෙමළ සමගිය පිළිබඳ කතා නොකරන බව සිකුරුය.කච්චතිවු හි යථාර්තය පිළිබඳ මහජනතාව දැනුම්වත් කළ යුත්තේ එහෙයිනි.

           1766 දී ලන්දේසීන් සමග කීර්ති ශ්‍රී රාජසිංහ සහ රදළයන් අත්සන් කල ගිවිසුම අනුවලංකාවේ මුහුදුබඩ පළාත් ලන්දේසීන්ට අයත් විය. මේ නිසා උතුරේ සමුද්‍ර තීරය සහ දූපත් සියල්ල ඔවුනට අයත් විය. මාලදිවයිනද තිබූ බව පැහැදිලිය. ඉන්පසු උඩරට ගිවිසුම ඉංග්‍රීසීන් සමග අත්සන් කරන කල්හිද මේ තත්වය එසේම විය.නුමුත් 1948 දී රට නිදහස් කර ස්වදේශික දේශපාලකයන් අතට ලංකාව නැවත පත් කරන කල්හි මාලදිවයිනේ අයිතිය අපට නැති විය.කෙසේ වෙතත් මන්නාරම් බොක්කට උඩින් තිබෙන දූපත් සමූහය යාපන දිස්ත්‍රික්කයේ පාලනය යටතේ පැවතේ.යාපනයට දුරින්ම තිබෙන දූපත වශයෙන් සැළකෙන්නේ කච්චතිවු නොහාත් කැස්බැ දූපතයි. මෙහි ජනාවාසයක් නැතද ශාන්ත අන්තෝනි මුනිඳුන්ට කැපවුණු කතෝලික දේවස්ථානයක් ඇත. පරංගීන් යාපන අර්ධ දීවීපය අල්වා ගත් පසු සිදු කරන ලද මිෂනාරී ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ දූපත්වල කිතුණු දේවස්ථාන ඇති විය.ලන්දේසි යුගයේ දී ද ඒ තත්වය තවදුරටත් වර්ධනය විය.ඉන්දීය ධීවරයන්ද ලංකාවේ ධිවරයන්ද මසුන් මැරීමේ නිරතව සිටින අතර තුර මෙම දූපතේ වාඩි පිහිටුවාගෙන කටයුතු කරති. මහුදේ අතරමං වූ ධීවරයන් කීප දෙනෙකු අන්තෝනී මුණිදුන්ට යාඥා කොට මේ දූපපතෙහි දී දිවි ගලවා ගත් හෙයින් විසිවන සියවස මුල් භාගයේ දී මේ දේවාස්ථානය අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ඉඳි වී ඇතැයි කියති. එහි වාර්ෂික මංගල්ල දිනයට ලංකාවේ සහ ඉන්දීය ධීරවරයන් මෙහි පැමිණෙති.

             ලංකාවට නිදහස ලැබීමෙන් පසු මෙම දූපතේ අයිතිය පිළිබඳ ඉන්දියාවත් ලංකාවත් අතර මත භෙදයක් හට ගැණුනි. යටත් විජිත සමයේ දී එය ගැටළුවක් නොවුණද දෙරට ස්වදේශික පාලකයන්ගේ අණසකට ලක් වූ පසු තත්වය වෙනස් විය.මේ පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වරින් වර දෙරට අතර පැවැත්වුණ නමුත් එකඟතාවයක් ඇති කර ගැනීමට අවස්ථාව නොලැබුණි.සිරමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති බවට පත් වීමෙන් පසු අවධානය යොමු කළ ප්‍රමුඛ ප්‍රශ්න දෙකෙන් එකක් වූයේ කච්චතිවු පිළිබඳ අයිතිය තහවුරු කර ගැනීමයි. මේ අවදියේ දී බෙංගාල බොක්කේ සමුද්‍රීය සීමාව පිළිබඳ තීරණයක් ගැනිමට අන්තර් ජාතිකව බල කෙරුණු පසුබිමක ඉන්දීය අගමැතිති ඉන්දිරා ගාන්ධි  සමග තිබූ සුහද සම්බන්ධ තාවයද ප්‍රයෝජනයට ගෙන යම් ද්වීපාර්ශවික ගිවිසුමක් කරා යන්නට උත්සුක වී තිබේ. ඒ අනුව 1974ජූනි මස 26 දින එම ගිවිසුමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විදේශ කටයුතු අමාත්‍යංශයේ දී අත්සන් තැබූ අතර ජූනි 28 දින දී ඉන්දීය අගමැතිණියද එම ගිවිසුමට අත්සන් කොට ඇත. මෙම ගිවිසුම පිළිබඳ සම්පූර්ණ වාර්තාව සිරිමාවෝ මැතිණිය විසින් 1974 ජූලි මාසයේ දී එවකට පැවතී ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කරන ලදී. එම වාර්තාව 1974 ජූලි  23 දින හැන්සාඩ් වාර්තාවේ දක්නට හැකිය.එහි කච්චතිවු ගැන මෙසේ සඳහන්ය.



       'දැන් මම මෙම සභාවේ  ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කරන්නේ හ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අර්බුදකාරීව තිබුණි දෙවනි ප්‍රහ්නය වෙතටයි. ඒ දෙවනි ප්‍රශ්ණය කච්චතිවු ප්‍ර්ශ්නයයි. ඒ කියන්නේ කච්චතිවු දූපතේ අයිතිය නැත්නම් ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්ණයයි. මීට ඉහත කාලයේ දී මෙම ප්‍රශ්ණයට විසඳුමක් සෙවීමට ප්‍රධාන වශයෙන් තුඩු දුන්නේ අපේ රටට හොරෙන් නීති විරෝධී ලෙස පැමිණෙන්නවුන්  කල්ලතෝනීන් වළක්වාලීම සහ හොරෙන් නීති විරෝධී ලෙස බඩු එහා මෙහා ගෙන යෑම වැළැක්වීමත් ධීවර කර්මාන්තයේ අවශ්‍යතාවයනුත් පමණයි. නමුත් මෑත කාලයේ දී මේ ප්‍රදේශයේ ඛනිජ සම්පත් සංවර්ධනය කිරීමට අපි සැලසුම් කරගෙන යන නිසා මේ ප්‍රශ්ණය වහාම විසඳීමක් අවශ්‍ය  වූ වැදගත් ප්‍රශ්නයක් ලෙසට පත් වුණා. මේ ප්‍රශ්ණය පිළිබඳව 1968 සහ1969 යන වර්ෂ වලදී අභවප්‍රාප්ත ඩඩ්ලිසේනානයක  මහතා විසින් ඉන්දියානු අගමැති සමග සාකච්ඡා පවත්වන ලද නමුත් කිසියම් සම්මුතියකට එළඹීමට අපොහොසත් වුණා. මේ ප්‍රශ්ණය පිළිබඳව මා සකච්ඡා ආරම්භ කලේ 1973 අප්‍රියෙල් මාසයේ දී ඉන්දිරා ගාන්ධි මැතිණිය ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දීය. මේ සාකච්ඡා වල ප්‍රතිඵලයක් වශයෙන් අප රටවල් දෙකේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ලවා මේ ප්‍රශ්ණයට අදාල කරුණු ගැන විමසා බලවා වාර්තාවක් ලබාගැනීමට තීරණය කර ගත්තා ලබා ගත හැකි සියලුම ‌ෙඑතිහාසික හා වෙනත් සාක්ෂි නීතිමය කරුණු ආදිය ගැන ඉතා හොඳින් විමසා බලන ලෙස නිළධාරීන්ට නියෝග කලා මේ නිළධාරීන් කොළඹදී සහ නව දිල්ලියේ ත් සාකච්ඡා  මාලාවක්පවත්වා  අදාළ කරුණු ගැන ඉකා හොදින් සළකා බලා  වර්තාවක් ඉදිරපත් කලා.ඒ වාර්තාවල ඇතුළත් කරුණු හා නිගමනයන් ඉතා සුපරීක්ෂාකාරීව සලකා බැලීමෙන් පසුව දෙපැත්තටම සතුටුදායක හා සාධාරණ තීරණ අඩංගු ගිවිසුමකට එළඹීමට ඉන්දියාවේ අගමැතිනියට හා මට පුළුවන් වූ බව සතුටින් ප්‍රකාශ කිරීමට කැමතියි.

     මේ සාකච්ඡා වලින් අපි කච්චතිවු දූපත පමණක් වෙන් කොට ගෙන සලකා බැලුවේ නැහැ පෝක් සමුද්‍ර සන්ධියේ සිට ආදම්ගේ පාළම දක්වා ඇති මුහුදු තීරයේ අප දෙරට අතරේ මුහුදු මායිම ලකුණු කර ගැනීමට තීරණය කලා එසේ කිරීම මේ ප්‍රදේශයේ අපේ ඛණිජ සම්පත් සොයා ගැනීමට හා සංවර්ධනය කිරීමට දීර්ඝ කාලීනව අපට වාසියක් හා වැඩි ප්‍රයෝජනය් ගෙන දෙන ක්‍රියා පිළිවෙලක් වන බව පැහැදිලියි.'

     මෙම ද්වීපාර්ශවික ගිවිසුම වගන්ති අටකින් යුක්ත වන අතර එහි පළමුවන වගනන්තියෙන් දක්වා තිබෙන්නේ ඉන්දීයාවත් ලංකාවත් අතර මුහුදු තීරයේ මායිමේ අක්ෂාංශ හා දේශාංශක සටහනයි. පසුව එන වගන්ති වලදී ඉන්දියාවේ සිට කච්චතිවු කරා වන්දනාවට පැමිණෙන වන්දනා කරුවන් ගේ අයිතිය පිළිබඳව සහ රටවල් දෙක අතර මුහුදු තීරයේ ධිවරයන් තමන් භුක්ථි විඳින අයිතිවාසිකම් දිගටම පවත්තා ගෙන යා යුතු බවද දක්වා තිබේ. මෙම දූපත නැවත ඉන්දියාවට පවාරා ගන්නා ලෙසට ඉන්දීය පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහ ජයලලිතා ජයරාම් විසින ඉල්ලීම කළද ද ඉන්දීය නීතිපති වරයා තීරණය කරනු ලැබූවේ තිවිසුමේ ඇති බලවත් භාවය ඊට හරස් වන බවයි.කෙසේ වතත් සිරිමාවෝ මැතිණිය ඉතා මත් සුපරීක්ෂාකාරීව ගන්නා ලද පියවර නිසා අදටත් අපගේ මුහුදු තීරය සුරක්ෂිතව ඇත.එය ආක්‍රමණය කිරීමට  පැමිණෙන ඉන්දීය ධීරවරයන් වරින් වර අත්අඩංගුවට පත් වන අතර ඔවුහු මේ මුහුදේ පතුලේ කරන හානි කර ට්‍රොලින් නිසා අර්බුද රැසක් හට ගෙන තිබේ. ඒබැවින් මෙම ගිවිසුම කිසිසේත් අවලංගු කිරීමට කටයුතු නොකළ යුතු අතර ලංකාවේ ස්වාධීනත්වයට එය ඉතා වැදගත්ය.එ බැවින් මේ ගිවිසුම පිළිබඳ තත්වය ඉන්දීය බලධාරීන්ට පෙන්වා දීම ලංකාවේ දේශපාලකයන්ගේ බලවත් යුතුකමකි.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, April 2, 2024

සිංහල අවුරුද්ද යනු නිෂ්පාදනයට පිවිසෙන සුබ මුහුර්තයයි

 

                                

             සූර්යයා පෘතුවියට සාපේක්ෂව යන ගමනේ දී ලංකාවට මුදුන්වන්නේ බක් මාසයේ දීය.සූර්ය රශ්මියේ තෙදබල වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ගහකොළ බවභෝග වර්ධනයටයි. පැවති වර්ෂයේ යල සහ මහකන්න යන්හි අස්වනු කපා පා ගැනීමෙන් පසු ඉටු දෙවියන් සතුටු කිරීමට ගම්භාර වැව් කොටු භාර දෙවි දෙවතාවුන් සතුටු කිරීමට ගම්මඩු දෙවොල් මඩු නටා දේව දානය අහවර වීමෙන් පසු බක් මාසයේ ප්‍රථම වර්ෂාව පතිත වන බව පැරැන්නන් දැන සිටියහ. ඒ නිසා අවුරුදු උත්සවයට පළමු යල කන්නයේ ගොවිතැන සම්පූර්ණ කරති.එහෙත් එළඹෙන වසර සඳහා නිෂ්පාදන සැලසුමක් පිළිබඳ සුභ මුහුර්තයක් ගනු ලබන්නේ සූර්යයා මේෂ රාශියෙන් මීන රාශියට සංක්‍රමණය වීමෙන් අනතුරුව අවුරුදු දිනයේ දීය.

           සෙයිලාන් සිලෝන් සෙරන්ඩිබ් සිංහලද්වීප සහ ශ්‍රී ලංකාව යනුවෙන් හඳුන්වනු ලබන මේ කුඩා දිවයින ආසියාකරයේ වැදගත් ස්ථානයක පිහිටා තිබෙන මුතු ඇටයකැයි කියති.මෙහි ජීවන ක්‍රමය කෘෂිකර්මයයි. බත් ප්‍රධාන ධාන්‍ය වලින් සපිරුණු අල බතල බුලතින් කිරි ගිතෙලින් ස්වයංපෝෂිත ආර්ථිකයක් එයට තිබුණි. පැරණි රජවරු කෘෂිකර්මයට විශේෂ තැනක් දුන්හ. ලොකු කුඩා වැව් සෑදිමට මෙන්ම නඩත්තුවට කැප වූහ. විදෙස් සතුරු ආක්‍රමණිකයන් විසින් වැව් කොටු කඩා බිඳ දමා  ආර්ථිකය වනසා ලීමට වරින් වර උත්සාහ කළහ. සතුරු බිය මැඩ පවත්වා කළ පළමු කාර්යය නම් වැව් අමුණු යලි ගොඩ නැන්වීමයි. ඉරිපින්නියාව ශිලාලේඛනයේ සඳහන් පරිදි ඒවා පෙර සිරිත අනුව සිදු කළහ. ධන ධාන්‍ය බැංකු වල තැන්පත් කොට ඒ ලබන පොළියෙන් සද් ධර්මයේ චිරස්ථිතියට කටයුතු කළ බව තෝනිගල ශිලා ලේඛනයෙන් පැහැදිලි වේ.මේ නිසා ගොවිතැන රටේ සියලුම දෙනගේ ජීවන ක්‍රමය විය.රජවරු වප් මඟුල් උත්සව තබා ගොවීන්ට කලට වේලාවට කෙතට බැසීමට මුල් ආදර්ශය දුන්හ. නිසි කළට වැසි ලැබීමට එතුමන්ලා දස රාජ ධර්මයෙන් රාජ්‍ය විචාලහ.

        යුරෝපීය ආක්‍රමණයන්ට දීර්ග කාලීනව නතු වීම නිසා අපට රටට නායකයෙකු නැති විය. මහා බ්‍රිතාන්‍යයේ රජෙකුට යටත්  වූ කාල වකවානුවේ දී අපේ පෙර සිරිත කඩ විය. ශාසනික සම්ප්‍රදායයන් උඩු යටි කරු විය. ධර්මය වල් වැදී දුෂ්චරිතය නැග ආයේය. මේ කාලයේ දී මෙරට පැවති අවුරුදු චාරිත්‍ර  හින්දු අවුරුද්ද යනුවෙන් වර්ග කර ඇත.ඉංග්‍රීසි පාලකයන් එයට දිනයක් වෙන්කොට දුන්හ.නිවාඩු ද ලබා දුන්හ. නමුත් සිංහල ගැමියන් සුපරුදු පරිදි අවුරුදු දිනය එළඹෙත්ම ගමේ නැකැත්තා ළඟට ගොස් නැකැත් සීට්ටුවක් සාදා ගෙන අවුරුදු චාරිත්‍ර ඉටු කළහ.මේ චාරිත්‍ර තුළ කුටුම්භය ට නව පෙනුමක් ලබා දීම අලුත් පිරිසිදු ඇඳුම් එක් කර ගැනීම දිවි පැවැත්මට බලපාන ආහාර තෝරා බේරාගෙන අනුභව කිරීම සෞඛ්‍යට වැදගත් වන හිස තෙල් ගෑම ආදී වැදගත් පියවරයන් අනුගමනය කළහ.එසේම  නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීම පිණිස අවුරුදු දිනයට සුබ මුහුර්තිය අනුව වැඩ අල්ලා නව අවුරුද්ද වෙනුවෙන් පූර්ව  සැලසුමක් සකස් කිරීම දැක්විය හැකිය.රජුගේ නැකැත්තා රාජ්‍ය පාලනය සඳහා අවශ්‍ය විවිධ නැකැත් සාදා දෙන අතර ගමේ නැකැත්තා විසින් ගොවිතැන් කටයුතු ආරම්භය වැපිරීම අස්වනු කපා පාගා ගැනීම ගව මහේෂාදීන් ගේ සුභ සිද්දියට අවශ්‍ය නැකැත් වැව් කොටු අමුණු සකස් කිරීමට අවශ්‍ය වන නැකැත් සෙක්කු ආදී තෙල් හිඳින යන්ත්‍රයන්ගෙන් වැඩ ගැනීමට නැකැත් ආදී රටේ ආර්ථික පැවැත්මට අදාල සියලුම නැකැත් සාදා දුන්හ. ඒ අනුව ඊළඟ වසරේ නිෂ්පාදනය කළ යුතු බවභෝග ගැන තීරණයක් කර ගත්හ.ගොයම් අස්වද්දන්ටද ධාන්‍ය වර්ග සුලභ කිරීමටද කිරි ගිතෙල් උක් හකුරු නිෂ්පාදනය අවුරුද්දට වැදගත් බැවින් ඒ පිළිබඳ වෙසෙසි අවධානයක් යොමු කලහ.

         යටත්විජිතකරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ පෙර සිරිත ක්‍රමයෙන් අභාවයට ගිය අතර ගොවිතැනට වැදගත් වන චන්ද්‍ර මාස ක්‍රමයත් සූර්ය මාස ක්‍රමයත් නාමිකව පමණක් භාවිතයට පත් වූහ.භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම් වශයෙන් ඒ මාස ක්‍රමය ගණන් ගත් නමුත් දවසේ ආරම්භය සඳහා ක්‍රමානුකූලව සැවොම රාත්‍රී දෙළෙහ කණිසම භාවිතා කරන්නට පටන් ගත්හ.සංකර වූ සිංහල සමාජය ජනවාරි පළමුවනදා නොහොත් ජනේරුව ව්‍යවහාර වශයෙන් තම ජීවිතයට එක් කර ගත් අතර සිංහල අවුරුද්ද නැකැත් කෙළියක් නෑදෑ හිතවතුන් හමු වීමක් කෙළි සෙල්ලම් කිරීමට අවස්ථාවක් මෙන්ම අවුරුදු ආහාර එකට එක්වී අනුභව කිරීමටත් පමණක් යොදා ගත් බව කිව යුතුය.

      2024 අවුරුද්දේ රාජ්‍ය නැකැත් සීට්ටුව පරිදි උක්හකුරු සහිත කිරිබතක්ද තල මිශ්‍ර කැවිලිද අනුභව කළ යුතුය .මේ ආහාර අතරින් ප්‍රධාන වන බත් සුලභ වීම තවමත් සාම්ප්‍රදායිකව සිදු වුණද උක්සකුරු සහ තල නිෂ්පාදනයට කිසිවෙක් තැනක් දී නැත. විකල්ප නැකැත් සීට්ටුව අනුව ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ තල මිශ්‍ර කැවිලි යොදා ගත් යුතුය. එතනදී ගිතෙල් නිෂ්පාදනය පිළිබඳ කිසිවෙක් උනන්දු වූ බවක් පෙනෙන්නට නැත. අතීතයේ දී නම් එළ දෙනුන්ගෙන් දොවා ගත් කිරි  වල යොදය ඉවත් කර මත් ගා ගිතෙල ගෙදරදීම සාදා ගත්හ. මී ගවයන්ගේ කිරි වල යොදය ඉවත් කර මත ගා දුන්තෙල් සාදා ගත්හ. දැන් එවැනි උනන්දුවක් නැත. මග පෙන්වීමකුත් නැත. තල නිෂ්පාදනය ඉතා මද වශයෙන්ය. එවිට විදෙස් වලින් අනයනය කළ යුතුය. උක්හකුරුද වැඩි වශයෙන් දැන් ගෙන්වන්නේ ඉනිදියාවෙන්ය.නිෂ්පාදනය ප්‍රමුඛ කාර්ය වශයෙන් අවුරුද්දට ගැනෙන බව සියලුම දෙනට අමතක වී ගොසීන්ය. ඒ වෙනුවට නැකැත පමණක් මුල් තැනට පැමිණ ඇත. නිෂ්පාදනය ආරම්භ කළ යුත්තේ ඒ සඳහා වැඩ ඇල්ලිය යුත්තේ සූර්යයාගේ බලය උපරිම වශයෙන් ලැබෙන උදය කාලයේ දීය.නැකැතට පමණක් වහල් වීම නිසා මේ ප්‍රමුඛ අරමුණ දෙවනි තැනට පත් වීම රටේ ආර්ථිකය නගා සිටුවීම පැත්තෙන් ගතහොත් ‌ෙඛ්දනීය තත්වයකි.මෙරට සංස්කෘතික අමාත්‍යංශයක් තිබුණද අමාත්‍යවරයෙකු සිටියද මෙවැනි මත භේදාත්මක අවස්ථාවකදී අවශ්‍ය මග පෙන්වීම නොකිරීම නිසා ඇතිවී තිබෙන දෙගිඩියාව නිසා සිංහල අවුරුදු චාරිත්‍ර හෑල්ලු වී රටම එක මිටට ගත හැකි වඅස්ථාව වළක්වා තිබේ.මේ නිෂ්පාදන අවුරුද්දට සිංහල ජනයා පමණක් නොව දෙමළ ජනයාටද මුස්ලිම් ජනයාටද සියලුම ආගමිකයන්ටද සාභාගි විය හැක්කේය.ඒ අවස්ථාව මග හැරීම රට පැත්තෙන් විශාල පාඩුවකි.

මතුගම සෙනෙවිරුවන්