1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා
කලේ දෙමළ මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය. එයට ප්‍රධාන හේතුව වූයේ දෙමළ ඊළාම්
සිහිනය එදත් තිබුණු බැවිනි.ව්‍යාජ දෙමළ
ඉතිහිසයක් මත පදනම්ව උතුරේ දෙමළ පාලනයක් තිබුණේ යැයි ඇති කළ මතය අනුව ඊළාම් රාජය්‍යට
ජලය සපායා ගැනීම ඔවුන්ගේ අරමුණක්ව තිබුණි.වසර සියයකට පමණ පසු මොරගහකන්ද ජලාශය හරහා
උතුරු මැද කොන්ක්‍රීට් ඇළ කපා ඒ සිහිනය ඉටු කර දෙන්නට වර්තමාන දේශපාලනඥයන් උත්සාහ
කරමින් සිටින සමයක මහවැලියේ වර්තමාන මෝඩකම් සහ කුරිරුකම් පිළිබඳ සැකෙවින් දැක්වීම
මැනවි යයි සිතමි.
චෝල
ආක්‍රමණ වලදී සිංහලයන්ගෙන් කොල්ලකන ලද උතුරු දිග තැනිතලාවේ ඉඩම් සංවර්ධනය කොට ගෙන දෙමළ
ජනතාව පදිංචි කර සිංහල ජනතාව අභිබවා යෑමේ වුවමනාවක් මේ දෙමළ ජාතිවාදීන් තුළ එදා
පටන්ම තිබුණි. සමස්ත මහවැලි සංවර්ධන සැලැස්මේ ජේ. කේ. එල්.එම්. යන පළාත් සංවර්ධනය
කරන්නට හැකි වූවා නම් තම නිජ භූමිය අහිමි වූ සිහලයන්ට පමණක් නොව දෙමළ මුස්ලිම්
ජනතාවට පවා සාධාරණයක් ඉටු වන්ට තිබුණි. නමුත් මහවැලි ව්‍යාපාරය මුලසිටම ක්‍රියාත්මක
කරන ලද්දේ විදේශ අදිසි හස්තයන්ගේ වුවමනාව පිටය. මහවැලි මහ සංවර්ධන සැලැස්මේ සඳහන්ව
තිබෙන පරිදි ප්‍රධාන ඇළ මාර්ග වලින් පමණක් සමස්ත ප්‍රදේශ වලට ජලය සැපයිය යුතුව
තිබුණි. ඇතැම් ගම් බිම් මෙම ඇළ මාර්ගයන්හි ජල පිරවුම් ස්ථාන ලෙසට භාවිතා කළ යුතුව
තිබුණි.එසේම අනෙකුත් සියළුම ගම්වැව් කපාදැමීම කළ යුතුව තිබුණි. ජනපදිකයන්ට ඉඩම්
භාරදීමට පළමු සියලුම් වගා බිම් සුද්ද කළ යුතු අතර සමතලා කොට මට්ටම් කළ යුතුය.(all
crop land will be cleared and leveled prior to hand over to the settlers ) මෙහි යෝජනා
කරන ලද අනෙකුත් ක්‍රියාකාරකම් අතර වෙසෙසි දෙයක් විය. ඒ නම් ගුරුත්ව බලයෙන් යුතු ජල
සම්පාදනය වෙනුවට පිරිසෙයින් දියයෙදුම ( sprinkler Irigation ) ක්‍රමය යෝජනා
කිරීමයි. මේ සඳහා විදේශීය ආයෝජන රැසක් යෙදිය යුතුව තිබෙන බැවින් තාවකාලිකව අත්
හැරියද අනාගතයේදී එම ක්‍රමය සලකා බැලිය යුතු යයි නිර්දේශ කර තිබුණි.
ලංකාවේ දිගම ගංගාව වූ මහවැලිය මූලික
කරගෙන අතීතයේ සිටම පුරාණ රජ දරුවන් විසින් විශේෂ වාර්මාර්ග සකස් කොට ගොවි ජනතාවට
දියවර සැපයූහ.ඔවුන් ඒ සඳහා අනුගමනය කරන ලද්දේ ඉතාම සරල තාක්ෂණයකි. විදෙස් ආධාර
කිසිවක් නොමැතිව දේශීය හිල්පීන් ගේ උසස් ඥාණයෙන් මේ වාර්මාර්ග ව්‍යාපෘති සකස් කළ
බව දැකිය හැකිය. හොඳමඋදාහරණය කලාවැවේ සිට ගලන යෝධ ඇළ නොහොත් මීමත කඳුරයි.අනෙක නම්
මහවැලිය හරස් කොට ලූ මිණිබේ යෝධ ඇළයි.මහවැලි ගඟ වක් වූ ස්ථානයක උස්බිමකට ගිය දිය
අත්තක් සාර්ථක ලෙසට සරළ බැම්මක් යොදා හරස් කර මිණිබේ කඳු වැටි වල සමෝච්ච වැටි
ඔස්සේ පොළොන්නරුව දක්වා ජලය ගෙන ගිය හැටි අපූරුය.කලාවැවේ යෝධ ඇළත් එයට දෙවනි
නැත.සැතපුම් පනස් හතරක් මේ යෝධ ඇළ අනුරාධපුර නුවර වැව දක්වා ගමන් කරනුයේ නිසොල්මනේ
තමන්ගේ ජලයට ප්‍රවේගයක්ද එක් කර දෙමිනි. ඒ ගමනේදී කුඩා වැව් රැසක් පෝෂණය කරමින්
කෙත් වලට ජලය ලබා දුන් හැටි මවිත කරය.හුරුලු වැවෙන් නිදහස් කරන ජලය යාන් ඔයට
වැටුණු කල්හි.තැන් කීපයකින් කුඩා බැමි යොදා යෝධ ඇළවල් නිර්මාණය කර පදවිය සහ
වාහල්කඩටත් අනතුරුව උතුරේ ඉරනමඩු වැව දක්වාත් වැව් පෝෂණය කරමින් ඇදුණු හැටි බ්‍රොහියර්
මහතා සිය ග්‍රන්ථ වල සඳහන් කර ඇත.
නව තාක්ෂණය නව යන්ත්‍ර උපකරණ මහවැලියට
ලැබුණි.අධිකාරිමය බලතල ලැබුණි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලද දරුවන් ඉංජිනේරුවන්
බවට පත් වී මහවැලි උසස් නිලතල වලට පත්වූහ.කඩිනම් මහවැලිය යටතේ වසර පහකින් එය නිම
කිරීමට සැලසුම් කෙරිණ. අනතුරුව සිදු වූයේ කුමක්ද එලිච්චියකගේ ගමන අනුව සමෝච්ච වැටි
දිගේ ගලා ගිය කලාවැව යෝධ ඇළ කෙළින් කර ගැඹුරු කළහ.පැරැන්නන්ගේ තාක්ෂණය නොදත්
මහවැලි දරුවන් කුඩාවැව් එකින් එක කපා දැමූහ. ව්දේශිකයයන් කියාදෙන අයුරින් සිය
ඉංජිනේරු ශිල්පය මෙහයවූ එක් මහවැලි ඉංජිනේරුවරයෙකු වන මහින්ද පනාපිටිය මහතා මේ කළ
විනාශය පිළිබඳ වසර ගණනාවකට පසු සිය පාපෝච්චාරණය ඉදිරිපත් කළේමෙසේය.
'හැත්තෑ ගණන්
වලදී පැරණි යෝධ ඇළ යටතේ තිබූ ඉඩම් සංවර්ධනය කිරීමේ අප නියැලී සිටි අතර ප්‍රදේශයේ
තිබුණු වැව් බොහොමෙයක් නවීන සැලසුමට අනුව අවශ්‍ය වූ පරිදි විනාශ කිරීමට අපට සිදු
විය. ප්‍රදේශයේ සාම්ප්‍රදායික ගම්වල මුල් පදිංචිකරුවන්ගෙන් එල්ල වූ බලපෑම් හේතු
කොට ගෙන වඩා විශාල වැව් කීපයක් එසේ විනාශ නොකොට ඉතිරි කිරීමට ද සිදු විය මහවැලි
අධිකාරිය විසින් වැව් කඩා බිඳ දැමීම වැළැක්වීමට මහජනතාව විසින් එවකට සිටි ජනාධිපති
ජේ.ආර්. ජයවර්ධන මහතාද කැඳවන ලදී. අප තවදුරටත් නිරීක්ෂණය කලේ කපා එළි කොට ගොවි
බිම් බවට පත් කිරීමට නියමිතව තිබූ කැලෑ ප්‍රදේශ වල නිම්න හරහා කුඩා වේලි රාශියක්
තනා තිබූ බවය. අපේ සැලසුම් නිර්ණායක අනුව එම වේලි අපට පෙනුණේ කිසිසේතම් නොවටිනා
දේවල් හැටියටය.ඉඩම් සංවර්ධන මුල් අවදියේ ව්‍යාපෘති ඉංජිනේරුවරයෙකු ලෙස මා කටයුතු කළ ප්‍රදේශයේ ම පුනරුත්ථාපන වැඩ
සටහනකට සාභාගි වීමට වසර 30 කට පසු 2003 දී මට අවස්ථාව සැලසුණි. පෙරදින වල සිට මේ ප්‍රදේශයේ
සිට ගෙදර යන විට මී පැණි මී කිරි සහ කුරක්කන් මුං ඇට වැනි ධාන්‍ය වර්ග බොහොමයක්
මිලදී ගෙන රැගෙන යෑමට පුරුදු වී සිටියෙමි. වර්තමානයේ මේ ප්‍රදේශ වල මී පැණි
නැත.මක් නිසාද යත් රසායනික වස විස යෙදූ
ඉඩම් ආශ්‍රිතව මී මැස්සන් වද නොබදින
බැවිනි. දේශීයව පහසුවෙන් වගා කළ හැකි ධාන්‍ය
වෙනුවට ඔවුන් ආනයනය කළ පරිප්පු සහ පාන් පිටි මත යැපෙති. මෙහි මුල් පදිංචි කරුවන්
හැම කෙනෙකුම පාහේ ගෙවත්තේ ගවයන් සිටි අතර මේ ගවපට්ටි වලට සිදු වූයේ කුමක්ද ජනතාව
තමන්ගේ උදෑසන තේ පානය සඳහා ආනයනය කළ
කිරිපිටි මත යැපෙති.'
තමන් අතින් සිදු වූයේ මහා අපරාධයක් බව ඔහු
පිලිගැනීමම සැබවින්ම කෙතරම් අගනේද. රජරට පාරම්පරික සිංහල ගැමියන් කමන්ගේ වැව් ටික
ඩෝසර්යට කපා හෙළනවා දැක දැක ඉවසුවේ නැත ඔවුහු ඩෝසරය ඉදිරියේ බමි වැතිර විරොධය පළ
කළහ. මහවැලි ජලය මගින් රජරට ගම්බිම්
තෙත් කිරීමෙන් අත්වුනු ආර්ථික භෝග ප්‍රතිඵලද
බොහෝ වෙයි යයි කියති. මිරිස් කව්පී වර්ග පමණක් නොව අර්තපල්ද මහවැලි ගොවි
බිම් වලින් එළියට පැමිණ තිබුණි. නමුත් මුදල් අතමිට ගැවසුණ ඔවුන්ගේ ජීවිත දුක්මුසු
විය.කුඩා වැව් නොතිබීම නිසා ජලය නැති කමින් පීඩා විඳින ජනපදිකයන් ගැන අසන්නට
ලැබුණි.වී විකුණා ගන්නට බැරිව වස බිව් පොලොන්නරු ගොවීහු ගැන එදා පත්තර පුන පුනා
කතා කළහ.කුඹුරු වලට ජලය දීමට වඩා විදුලිබල නිෂ්පාදනයට මුල් තැනක් ලැබුණි.සමනල
වැවෙන් පෝෂණය ලැබූ උඩවලවේ ගොවීන්ට අත් වූ ඉරණම මෙයට උදාහරණයකි.මහවැලිය නිසා උතුරේ
සිංහල ජනපද බහිවූහ. කාලාන්තරයක් තිස්සේ වල් බිහිව තිබූ රජරට යළි මිනිසුන් ගෙන්
පිරී ගියේය.ඒ සෑම බිමකම සිංහල පමණක් නොව දෙමළ මුස්ලිම් අයද පදිංචි කරවන ලද්දේ ජන
අනුපාතයට සරිලන ලෙසටයි. නමුත් මේ ජනපද කරණයට උතුරේ දෙමල අන්තවාදීන් විරුද්ධ
වූහ.වර්තමානය වන විට මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසාන සංවර්ධන බල ප්‍රදේශය වන බී
කාලපෙයේ මාදුරු ඔය දකුණු ඉවුර පිළිබඳ අවධානය යොමු වී තිබේ.
මහවැලියේ ආරම්භක ඉංජිනේරුවරයෙකුව සිටි මහින්ද
පනාපිටිය මහතා මතු කරන සත්‍යය වර්තමාන ඉංජිනේරුවන් නොසලකා හරින බව පෙනේ. උගත්
පාඩම් අමතක කර ඔවුහු යළිත් පැරණි පාරේම යන්නට උත්සාහ දරති. මාදුරු ඔය දකුණු ඉවුරේ
කැඩී බිඳී ගිය කුඩා වැව් රාශියක් වෙයි.පුරාවිද්‍යෘ හානි අගැයුම් වාර්තාවේ ද මේ කුඩා වැව් වල තිබෙන පුරාවි ද්‍යා වටිනාකම්
හුවා දක්වා ඇත..තොප්පිගල නරක මුල්ල සිට නෙලුගල පර්වතය දක්වා වූ බිම්කඩේ දැනට
අම්පාර සහ මඩකලපු දිස්ත්‍රික්යන්හි පවතින මේ සාරවත් භූමිය තුළ වැව් තුනක් පමණක්
ඉතිරි කරවා ඉතිරි සියලු වැව් කපා හැර ආයෝජන කලාපයක් ඇති කිරීම මහවැලියේ සැලැස්මයි.
ඒ අතර දිවුල්පතාන බෝගමුයාය වැනි ගම්මානයන්හි දැනට සිටින අනවසර කරුවන් යැයි හඳුන්වන
ජනතාව ඉන් පළවා හැර පළතුරු සහ වෙනත් ආර්ථික භෝග වැවීමට දේශීය සහ විදෙස් සමාගම් වෙත
ලබා දීමට මේ වන විට සැලසුම් සකස් කොට අවසන්ය. ඒ අතර මඩකලපු දිස්ත්‍රික්කයේ දෙමළ සහ
මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම පරිදි විශාල ගව පට්ටි ඇති කරන්නට හෙහක්ටයාර් 3025
ක් වෙන් කර තිබේ. පෙර දී සෑම ජනපද ව්‍යාපාරයකම ජාතික ජන අනුපාතය අනුව ජනතාව පදිංචි
කළහ. මේ ව්‍යාපාරයේ දී ඒ තත්වය වෙනස් වී ඇත. මඩකලපුවේ ඉඩම් දෙමළ මුස්ලිම් ජනතාවට
පමණක්ය. ආයෝජකයන් සඳහා ලබා දෙන ඉඩම් ද ඉන්දීය අනුමැතිය හිමිවන සමාගම් වලට පමණක්
ලබා දීමේ පිඹුරු පත් සැකසෙමින් පවතී. වැව් කපා හැර අතීත ශිෂ්ඨාචාරය සමතලා කල
කාලිංග මාඝටත් වැඩියෙන් වර්තමාන පාලකයන් ඉදිරියෙන් සිටින්නේ විදෙස් මනදොල පුරවා
දීමටයි. ඔවුන්ට පරිසර පද්ධතියක වටිනාකමක් නැත. එල්ලංගා පද්ධිතයක වටිනා කමක් නැත.
පළමුවත් ඉඩම් දෙවනුවත් ඉඩම් තුන්වනුවත් ඉඩම් පමණකි. මාදුරු ඔය ජලාශයෙන් ජලය නිකුත්
වන කල්හි ආයෝජකයන් විසින් යහමින් ජලය පරිභෝජනය කරන කල්හි. හෙක්ටයාර් 2700 පමණ සුලු
ඉඩම් ප්‍රමාණයක වී වගාවේ නියකුත් ව සිටින ගොවි ජනතාවට ජල හිඟයෙන් පීඩා විඳීමට අනිවාර්යයෙන්ම
සිදු වන නියතය. මෙම සැලසුම් සකස් කිරීමට උපදෙස් දෙන්නේ දෙශපාලඥයන් නමුත් නිර්මාණය
මහවැලි ඉංජිනේරුවන්ගේය.නිදහස් අධ්‍යාපනයෙන් පන්නරය ලබා ඔවුහු රට වෙනුවෙන් සේවය
කරනවාට වඩා සිදු කරනුයේ රටේ සම්පත් කාබාසිනියා කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීමය.
මාදුරු ඔය දකුණ ඉවුරේ සංවර්ධන සැලසුම් වලින් අප දකින කටුක යථාර්තය එයයි.
මතුගම
සෙනෙවිරුවන්