පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, November 25, 2023

දිඹුලාගල කෙටූ අකුරු - දිග පළලක් ඇත සුමිතුරු

 

                           


            ශ්‍රී ලංකා කඩයිම් පොතේ සඳහන් පුරාණ තමන්කඩුව පළාතේ වර්තමාන පොළොන්නරු දිස්ත්‍රික්කයේ දිඹුලාගල අසල නාමල් පොකුණ පර්වත මස්තකයේ ගැලවී ගිය ගල්තලයක කොටවා තිබෙන සිංහල අක්ෂරයන් ගැන මේ වන විට රටේ සුවිසාල උනන්දුවක් ඇති වී තිබේ.මේ තාක් හමුව තිබෙන විශාලතම ශිලාලේඛනය මෙය බව පුරාවිද්‍යාඥයන් දක්වා ඇත. දිගින් අඩි පණහක් පමණ ඇති උසින් අඩි දහඅටක් පමණ ඇති මේ පාර්වත කැබැල්ලේ සුමට පෘෂ්ඨය මත අඟල් හයක් පමණ උසින් යුත් අඟල් තුනක් පමණ පළල අකුරින් රාජකීය සන්නසක් කොටවා ඇත. පුත්තලම් දිස්ත්‍රික්කයේ තෝනිගල ශිලා ලිපියට වඩා මෙම ලේඛනයේ පේළි ප්‍රමාණය වැඩිය.ගල්පොත ලිපියට වඩා දිගින් පළලින් වැඩිය.අඩි නවයක් උසට පේළි දහයකින් සමන් විත වන බැවින් මේ ගල් දෙබොක්කාවේ සිට ලිපිය කියැවීම පහසු නැත.නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානයේ සිට කි.මී. එකහමාරක පමණ දුෂ්කර ගමනික් මෙයට ළඟා විය හැකි බැවින් මෙහි වැඩ වාසය කළ භික්ෂූන් උදෙසා කල පූජාවක් හෝ කතිකාවක් මෙයට අඩංගු විය හැකි යැයි සිතිය හැකිය.දිඹුලාගල පර්වතයේ ශිලා ලේඛන බොහොමයකි.මාරාවීදිය, නාමල් ,පොකුණ, කොස් ගහ උල්පත සහ පුල්ලිගොඩ ගල්ගේ යනුවෙන් හඳුන්වන ස්ථාන ගණනාවක් දිඹුලාගල අවට තිබේ. ඒ සැම තැනකම ගල් ලෙන් වල කොටවා තිබෙන්නේ පුරාණ සිංහල අක්ෂර ලෙසින් සැළකෙන පූර්ව බ්‍රාහ්මී ලේඛනයන්ය.

                     දිඹුලාගල අවට දලුකාන සහ ඉද්දපිච්ච යනුවෙන් වැව් දෙකකි.විහාරයට ජල පහසුව සැලසීමට ඉද්දපිච්ච වැව උපයෝගී වී ඇත. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ක්‍රි.පූ.දෙවන සියවසේ වළගම්බා සමයේ දී ථූපාරාම වාසී කුන්තගත්ත තිස්ස තෙරුණ් වහන්සේට පූජා කළ ගල්ලෙන් සහිත ස්ථානයකි. මාතුල දනව්වේ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪයෙන් පසුව කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේ දිඹුලාගලට වැඩමවා ලූ බව අස්ගිරි තල්පත විස්තර කරන්නේ මෙසේය.

        ඉක්බිතිව එම කුන්තගත්ත තිස්ස මහ රහතන් වහන්සේ පිළිවෙලින් දනවු සැරිසරා දිඹුලාගලට වැඩමවා එක ගිරි ගුහාවක ධාන්‍ය සැප විඳිමින් වැඩවසන වග වළගම්බා රජුට සැලව මහ සෙනග පිරවරා එතනට පැමිණ එම ස්ථානය වල් එළි පෙහෙළි කර ඒ ගිරිලෙන ඇතුලුව  අනෙකුත් බොහෝ ගිරි ලෙන් කර්මාන්ත සහ පුෂ්පාරාම පිරිවෙන් කර්මාන්ත නිමවා බොහෝ සංඝයාට වැඩ ඉන්ඩ සලස්වා උන්වහන්සේගේ සැප විහරණයට පරිවාර ජනයන් සහ ග්‍රාම ක්ෂේත්‍රාදිය තනා පස්වාදහසක් මුලුල්ලෙහි පවත්නා ශාසනය උදෙසා ප්‍රදානය කලා හා යනුවෙන් දක්වයි.අනතුරුව ඊට අවුරුදු 1200 කට පසුව පළමුවැනි ජයබාහු රජ දවසදී එතුමාගේ සුන්දරදේවී නම් බිසවක විසින් දිඹූලාගල මාරාවිදියේ ලෙනත කළ ලිපියක සඳහන් වන්නේ ඒවකට පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේලා මෙහි වැඩ වාසය කළ බවයි.ඉන්පසු මහා පරාක්‍රමබාහු සමයේ දී දිඹුලාගල අරණ්‍යවාසීව වැඩ සිටි මහා කාශ්‍යප මහ රහතන්වහන්සේ පිලිබඳවද දඹදෙණි අවදියේ දී දඹදෙණි කතිකාවත සකස් කිරීමට මුලු දී එහි වැඩ සිටි සංඝරක්ඛිත මහාසාමී මේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගැනද සඳහන්ය.

      දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පරිහානිය ඇරඹෙන්නේ කාලිංග මාඝ ආක්‍රමණයන්ගෙන්ය. එහි වැඩ සිටි සංඝ පරම්පරාවෙන් කොටසක් දිඹුලාගල හැර දමා යාපහුවේ වලස්ගලට වැඩම කරන ලද වග අස්ගිරි තල්පතේ දක්වා තිබේ.කාලාන්තරයකට පසුව 1940 දීපොලොන්නරුව පලුගස්දමන ට පැමිණි පූජ්‍ය කිතලගම සීලාලංකාර හිමියන් 1948 දි දිඹුලාගල අවට භාවානායෝගීව සිට පසුව මිල්ලානේ වැදි නායක තුමාගේ සහයෝගය මත දිඹුලාගලට වැඩම කර  කටුකොහොල් අරවා එළි පෙහෙළි කර නැවත දිඹුලාගල ආරණ්‍ය සේනාසනය ප්‍රබෝධමත් කළහ.කිසිම හව්හරණක් නොමැතිව සිටි මේ ප්‍රදේශයේ සිංහලයන් ද්‍රවීඩීකරණයට ලක්ව තිබෙන කාල වකාවානුවක උන්වහන්සේ විසින් ඔවුන් හට නිසි මග පෙන්වා පාසල් ඇති කර දිඹුලාගල ප්‍රදේශය නැවත ගොවිබිමක් බවට පත් කළහ. සිංහල ජනතාව පමණක් 45000 ක් පමණ මෙහි පදිංචි කරවන ලද බව පැවසේ. .සැබවින්ම අනුරාධපුර පොළොන්නරු අවදිය වන විට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට රජවරුන් විසින් පූජා කරන ලද සඟ සතු භූමිය වශයෙන් අක්කර අටදාහක් පමණ අයත්ව තිබී ඇත. මාදුරු ඔය දක්වා අවට විහාරගම් සියල්ල දාන ක්ෂේත්‍ර කොට බද්දෙන් පවා නිදහස් කිරීම පැරණි සම්ප්‍රදායයි.අද මාදුරු ඔය එගොඩ කෝරළේ පත්තුව දක්වා මහවැලි සංවර්ධන බල ප්‍රදේශයට අයත් වෙයි.මහවැලිය ව්‍යාපාරය ආරම්බ කරන ලද්දේ මේ සමස්ත පැරණි රජ දහන නැවත ප්‍රතිෂ්ඨාපනය කර අතීත සමෘද්ධිය යළි ළඟා කරවා ගැනීමටයි.කීතලගම සීලාලංකාර හිමියන්ගේ බලාපොරොත්තුව වූයේ එයයි. නමුත් අවාසනාවකට මේ සඟ සතු බිම්කඩවල් මහවැලිය විසින් අත්පත් කරගෙන හිතූ මනාපේ අනසන්තක කරවමින් එහි විසූ පාරම්පරික සිංහල ගැමියන් නඩුකර වලට පටලවමින් ඉවත් කරවමින් තිබේ.

             පෙර සඳහන් කළ පරිදි දිඹුලාගල පර්වතය අවට විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින ගල්ලෙන් සමූහයක් ඇත.ගල් ලෙන් 113 ක් පමණ හඳුනාගෙන තිබේ යැයි කියති. පෙර පන්සීයක් මහ රහතන් වහන්සේලාට සැප පහසුව සැලැස්වූ එම ගල්ලෙන් වල තිබෙන ශිලා ලේඛන සංඛ්‍යාව අති මහත්ය. ඒ අතරින් නාමල් පොකුණ දිශාමුඛය සුවිශේෂිය. එහි ලෙන් ලිපි නවයකි. අස සුමනහ, ගපති ශිව ,අය නදහ වැනි උපාසක උපාසිකාවන් විසින් සකස් කරන ලද ගල්ලෙන් මේ අතරට අයත්ය.ක්‍රි.පූ. දෙවනි තුන්වන සියවස් වලට අයත් මේ ලෙන් ලිපි මගින් කියැවෙන්නේ දෙවනපෑතිස් රජ සමයේ සිට පැවත පැමිණෙන සිද්ධස්තානයක් බවයි. පණ්ඩුකාභය කුමරු ගේ මුණුපුරු මුටසීව කුමරු උප්පත්තිය ලබා ඇත්තේ මේ දිඹුලාගල ගල්ලෙනක බව ජනප්‍රවාදයේ එන්නකි.මෙම ගල්ලෙන් සමූහයේ ඉතා වැදගතම ගල්ලෙනක් වන පුල්ලිගොඩ ගල්ගේ තුළ පවතින බිතු සිතුවම් සිංහල චිත්‍රකලාවේ අතිශයින් වැදගත් නිර්මාණයන් ලෙසට සලකති. එම නිසා දිඹුලාගල නාමයත් එහි අතීත ශ්‍රී නාමයත් මගින් කියැවෙන්නේ මේ රටේ සැබෑ අනන්‍යතාවයයි.මේ ශ්‍රී විභූතිය වත්මන් නැගෙනහිර පළාත දක්වාද සමස්ත උතුරු පළාත දක්වාද පැතිර පවතින ශිලා ලේඛන වලින් තහවුරු කළ හැකිය.

          මීකඩන්නට වනයට වැදුණු පුද්ගලයෙකු විසින් නාමල්පොකුණ සිද්ධස්ථානයේ ඉහළ කන්දේ පැවති විශාලතම ශිලා ලේඛනයක් හඳුනාගනු ලබන්නේ 2022 වසරේ දීය. ඉන්පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ශිලා ලේඛන අංශයේ නිළධාරීන් මෙහි පැමිණ ඒව පිටපත් කරලීමට අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කර ඇත. නමුත් මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා මාස හයක් පමණ කාලයක් ඒ කටයුත්තට අත ගසන්නට නොලැබිණ. හිටපු පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්ෂ ප්‍රදීපා සේරසිංහ මහත්මිය විසින් මේ කටයුත්ත සඳහා ප්‍රතිපාදන වෙන් කරවා ගත් පසු බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ මෙන්ම ශිලාලේඛන අංශයේ සහකාර අධ්‍යක්ෂ වූ ඩග්ලස් බණ්ඩාර මහතාගේ මග පෙන්වීම මත පර්යේෂණ නිළධාරී තනුර දයානන්ද මහතාගේ අධීක්ෂණය මත 2023 ඔක්තෝබර් මස 26 දින ලංකාවේ විශාලතම ශිලා ලේඛනය පිටපත් කිරීම ඇරඹිණ. මේ කටයුත්තේ පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නා හිමියන් සහ පූජ්‍ය අලුත්වැව ජීවාලංකාරහිමියන්ගෙන් ලද සහය අපමණය.

   


  අතිශයින් දුෂ්කර ලෙසටළග විය හැකි ගල් පර්වතය උඩ කූඩාරමක් ගසා එහි ලැගුම් ගෙන පර්වත තලයේ පලංචි සවි කරලීම ශිලා ලේඛන නිළධාරීන්ට විශාල ආයාසයක් දරන්නට සිදු විය.වර්ෂාවෙන් මැසි මදුරුවන්ගෙන් පීඩා ලබමින් මේ විශාලතම ශිලා ලේඛනය පිටපත් කරලීමට මසක පමණ කාලයක් ගත වී තිබේ.ක්‍රි.පූ. පළමුවැන්නේ සිට තුන්වන සියවස්  දක්වා පැතිර පවත්නා පූර්ව බ්‍රාහ්මී අක්ෂර යන් ගෙන් මේ ලේඛනය කොටවා තිබේ.  මේ ලිපිය සම්පූර්ණයෙන්ම කියැවීමෙන් පසුව එහි අන්තර්ගතය විග්‍රහ කර ගැනීම ට යොමු විය යුතුය. පළපුරුදු ශිලලේඛනඥයන් පිරිසකගේ මැදිහත් වීම මත නුදුරේම එය සිදු කරනු ඇත. ලෙන් ලිපි පමණක් කොටවා තිබූ සමයක එනම් ක්‍රි.පූ. තුන්වන සියවස වැනි ඈත කාලයක මෙම ලේඛන සම්ප්‍රදාය ඇරඹීම පුරාවිද්‍යාඥයන්ට අලුත් අත්දැකීමක් වනු නිසැකය.එසේම දිඹුලාගල පිළිබඳ නව කියැවීමක් මේ තුළින් ලැබේ යැයි කුතුහලයෙන් පසුවන්නන්ට ද  නවමු බලාපොරොත්තු දනවන වෑයමක් වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

 

1 comment:

  1. ඉතා අඟනා ලිපියක් සෙනෙවිරුවන් මහත්මයා...

    වලගම්බා රජතුමන් නම් ලංකාවේ හිටියෙ නැති ගල්ගුහාවක් , කැලයක් නෑ වගේ...හැමතැනට එතුමාගෙ වැඩ තියෙනවා.
    මේ වගේ දුශ්කර තත්වයන් යටතේ පුරාවිද්‍යා නිලධාරීන් රාජකාරි කිරිම ගැන අපි ඔවුන්ට ස්තූතිවන්ත විය යුතුයි. එ වගේම බඹර කඩන්න කැලයට ගිය පුද්ගලයට ත් මෙය හොයා ගැනිමේ ගෞරවය හිමි විය යුතුයි. - මයියා - http://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete