වට්ටගාමිණි අභය නොහොත්
වලගම්බා නම් රජ කෙනෙක් පිළිබඳව සිංහල වංශකතා වල දක්වා ඇත්තේ දෙවරක් රාජ්‍යත්වයට
පත් වූ නරපතියෙකු ලෙසටයි.අනුරාධපුරයේ ස්වර්ණමය යුගය ඇති කළ දුටුගැමුණු රජු ගෙන්
පසුව වලගම්බා රාජ්‍ය කාලය තුළ ඇති වූ විවිධ විදෙස් ආක්‍රමණයන් නිසා
සිංහල රාජ්‍යය ක්‍රමයෙන් නැවතත් දුර්වල
විය. මේ කාලයේ තීය නම් බමුණෙක් රුහුණු පෙදෙසෙහි නකුල නම් නගරය මූලික කරගෙන
කැරැල්ලක් ඇති කළ බව පුරාණකතා වල සඳහන්ය. එහිදී බ්‍රහ්මණයා ගේ මූලිකත්වයෙන් ද්‍රවිඩයන්ට
විරුද්ධව සටන් මෙහෙයවන ලද අතර බමුණා පරාජයට පත් වූ ආකාරය දක්වා තිබේ.මෙම හැප්පීම
දේශපාලන උපක්‍රමයක් දැයි සැක සිතේ.අවසානයේ දී ද්‍රවිඩ ආක්‍රමණයක් හේතුවෙන් රජුට රජ
වාසලින් පලා යන්නට සිදු විය.රාජකීය අශ්ව රථයේ නැගී පලා යන රජුගේ බිසව ඒ කාලයේ ගැබ්බරව සිටියහ. ඒ නිසා රජුගේ
සෝමාදේවිය ස්වකැමැත්තෙන්ම රථයෙන් බැස රජු ගේ ආරක්ෂාව තහවුරු කලේය.මේ පලා යෑමත්
සමගම රට ආරාජික විය. ද්‍රවිඩයන් පස්දෙනෙකු අන්‍රක්‍රමයෙන් අනුරාධපුරය පාලනය කරන
ලද්දේය. වලගම්බා රජු පැන යන්නේ මේ අභියෝගයන්ට ඒ අවස්ථාවේ දී මුහුණ දී ගත
නොහැකිවයි.මේ ආරාජික කාලයේ දී රටපුරා මහා නියන් සායක් ඇතිවුණ බවද ඒ නිසා ජනතාව මහා
විපතකට පත් වුණ බවද අතීත කතා වල දැක්වේ.මහාවංශය මේ කතා පුවත ගැන සඳහනක් නොකරයි.නමුත්
සද්ධර්මාලංකාරයේ වත්ථුල පබ්බත වස්තුවේ සහ රුක්ඛදේවතා වස්තුවේ මේ බැමිණිටියාසාය ගැන සඳහන්ය. ඒ සැයෙන්
පීඩිතවූ මනුෂ්‍යයෝ යකුන් යකින්නියන් මෙන් දුර්වලව විරූපව අනුන් මරා මස් අනුභව කරන
තත්වයට වැටුණු සැටි විස්තර කරයි.භික්ෂූන්
වහන්සේලා ට සිය දානය සපයා ගත නොහැකිව අපවත් වූ අකාරය ඒ කතාවල දක්වා තිබේ.
ලංකාවේ පුස්කොළපොත් නාමාවලියේ දක්වන
බැමිණිතියාසාය නම් වූ ග්‍රන්ථයක දක්වන පරිදි(ජාතික ලේඛනාගාරයේ 5/63/115/1 ) මෙම බ්‍රාහ්මණ
ශාපය සිදු වූයේ එවකට දඹදිව විසූ මිළිදු නම් රජුගේ අධර්ම ක්‍රියාවක් හේතුකොට ගෙනය.
ඒ මිලිඳු රජු භික්ෂූන් වහන්සේලා නොසලකා හැර බමුණන් වටකොට ගෙන රාජ්‍ය විචාල
කෙනෙකි.රජු හා විරසක වූ එක් බමුනෙක් රජ අණින් මරණයට පත් කරන ලද්දේය. ඒ බමුණා ගේ
භාර්යාව බැමිණි තෙම පතිවෘතාව ආරක්ෂා කළ කාන්තාවකි. ඇය කළ ශාපය නිසා
දොලොස් අවුරුද්දක් යනතෙක් මහ පොලවට එක වැසි බිඳකුදු නොවැටුණ බව මේ ග්‍රන්ථයේ දක්වා
තිබේ.මේ කතාව විග්‍රහ කර තිබෙන්නේ මෙසේය.
' තවද දස දහසක් සක්වල මහ මෙරවල් ද සක්වල ගල
සත් කුළු පව් සදත් මහාතල මුළු පොළව නටවන ලද අක් බඹරුන් සේ වෙවුල්ලා සතර වසා කරාට
දෙවමින් විශේෂයෙන් කම්පා කරවා නිරුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළහ.
සාරසිය අනූනව හවුරුදු පිරුණු සඳ (බු.ව.490 ) සිරිලක වළගම්බා මහ රජහට පසලොස්වැන්නේ දඹදිව
මධ්‍ය දෙශයේ වූ සාගල නම් නුවරට දොලොස් හවුරුද්දක් මහත් වූ නියන් සායක් ගැසීය.'ඒ
නියන් සාය දඹදිව මධ්‍ය දේශය ඉක්මවා කේරල පුත්‍ර සිට තම්බපණ්නී දක්වා පැතිරුණි.මේ
නියන් සායට හේතු වූ අතීත කතාව දක්වා වර්තමාන කතාව කියන්නේ මෙසේය.
අපගේ ගෞතම සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ පිරිනිවී.
සාරසිය හැත්තෑහවුරුද්දක් පිරුණු සඳ (බු.ව.470 ) මිළිඳු දෙව්පුත් දිව්‍ය ලෝකයෙන්
චුතව දඹදිව මධ්‍ය දේශයෙහි වූ රජගහ නුවර මිළිඳු නම් මහ රජ වීය. හෙතෙම පණ්ඩිතය.නුවණැතිය.
දුටු දුටුවන් තර්කවාදීය.
තපස් වීවරුන් හා භික්ෂු සංඝයා වහන්සේ තර්ක කොට
පරදවා මහ සඟන රටින් නෙරපා බෞද්ධ හෙයින් බුද්ධ ශාසන නැති කොට තෙමේද මිථ්‍යා දෘෂ්ටි
ගෙන ඒබඳුම දෘෂ්ටි ගත් දඹදිව බමුණන් රැස් කොට දවස් පතා දන්දෙවන්නේය. එසේ දන් දෙන
කල්හි දන් දෙන බමුණන් අතුරෙන් කිසියම් වරදකට අසවලා යයි වරද නිවරද බව නොවිචාරා ආයුක්තීයෙන්ම බමුණකු මැරූහ. එකල ඒ බමුණා ගේ අඹු
බැමිණි මාගේ අනන්‍ය බමුණා ආද්‍යන්තයේ නිවරදේ මැරූ හෙයින් අඬා වැලප ඕ තොමෝ
ස්වභාවයෙන් පතිවෘතා හෙයිනුත් දේවතාවන්ට යැද කියන්නේ මගේ නිවරදි දඹුවාන් මැරූ මේ
රජුගේ රාජ්‍යය සැබෑ වූ පතිවෘතා ධර්මයෙන් රැක්මේ වී නම් වැසි නොවසීවයි පතුල් තබා
අධිෂ්ඨාන කලාය. එසෙමැයි පස් පරිද්දෙන් වාර්ෂාවෝ නොවස්නාහුය.
මහාවංශයේ ප්‍රථමවරට සාගතයක් ගැන දක්වා ඇත්තේ
කාවන්තිස්ස රජුගේ කාලය වර්ණනා කරන කල්හිය. අක්ඛක්ඛායික දුර්භික්ෂය හෙවත් බුළු කෑ සැය යනුවෙන් දක්වා
තිබේ. අටුවාවල දක්වා ඇත්තේ ගල් කෑමට සිදු
වූ සාගතය යනුවෙනි. කෙසේ වෙතත් වලගම්බා රජු කළ ඇති වූ සාගතය පිළිබඳ මෙම පුස්කොළ ග්‍රන්ථයේ දක්වන වැදගත්ම තොරතුර නම්වැසි
නොවැටීමට හේතුවයි.ඒ සඳහා හේතු පහක් එහි දක්වා ඇත්තේය.ඒ මෙසේය
' අහස උඩ උන වලාහක දෙව්
පුතුගේ ආනුභාවයෙන් තේජස උත්සන්න වූ කල්හි මහා මේඝ නගා ආ කල්හි අන්තරා වෙයි.එසේම
අහස උඩ වැස්ස වලාහක දේවතාවගේ අනුහසින් ධාතු
උත්සන්න වූ කල්හි මහා මේඝ හා වැසි ගප් සුළගේ පතිතව එම මුහුදෙහි අන්තැනෙකට දුවන්නේය.එසේම
අහස උඩ වැසි මේඝ නගා ආ කල්හි රාහු
අසුරෙන්ද්‍ර තමාගේ දෙසීයක් යොදුන් පළල
අත්ලෙන් ගෙන මුහුදට වන්නේය. එසේම යම් කලෙක වැස්ස වලාහක දේවතාවෝ
ප්‍රමාදව සඳු ගම් නොවී නම් පස් වනුව යම් කාලෙක... අධර්මිෂ්ටව පැවතීම ලෝකචාර
නොකෙරෙන්ට වී නම් මනුෂ්‍යයා අධර්මිෂ්ට වූ කල්හි වැසි නෙවසිනා පරිදි කෙසේද යත් යම් කලෙක කලියුගයේ හි රජහු අධර්මිෂ්ටව වේ .රජු
බලා රාජ පුරුෂයෝ අධර්මිෂ්ට වේ.රාජ පුරුෂයෝ බලා බ්‍රාහ්මණ ගෘහපති අධර්මිෂට
වෙති.ඔවුන් බලා ජනපද නියන්ගම වැසි අධර්මිෂ්ට වෙති. ඔවුහු අධර්මිෂ්ට වූ කල් හිරු
සඳු දෙදෙනාද විෂම ගමන් ගිය කල්හි නක්ෂත්‍ර තාරකාවෝ විෂම ගමන් යෙයි.ඔවුන් විෂම
පවතින කල්හි රෑ දවල් දෙක විෂම වෙයි. රෑ දවල් දෙක විෂම වූ කල්හි මස අමාවක විෂම
වෙයි. මාසයන් විෂම වූ කල්හි ඉර්තු විෂම වෙති.ඉර්තු විෂම පෙරලූ කල්හි විෂම වාත හමා
යයි. විෂම වාත හැමූ කල්හි දේවතාවෝ බොහෝ සේ කුපිත වෙත්. දේවතාවෝ කුපිත වූ කල්හි කලට
වැසි නොවස්නේය. කලට වැසි නොවට කල්හි ගොවිතැන් සෂ්‍ය පලා සමව වැසී ඵල නොදෙයි.විෂම
පැසුණු පලයන් අනුභව කරන මනුස්සයෝ අල්ප ආයුෂ වෙති. කය දුබල වෙයි. බොහෝ ආබාධ වෙයි.
ලෙඩ හට ගනියි. නුවණ මද වෙයි. සිත්මුලා වෙයි.'
වංශ කතා ප්‍රවෘත්ති වල
සඳහන් බැමිණිතියා සාය පිළිබඳ වෙනස් අදහසක් අප්‍රකට ග්‍රන්ථයක සඳහන් වන්නේ ඇයිදැයි
යන්න මදක් විමසා බැලිය යුතුය.ඒ ග්‍රන්ථය අනුව මේ සාගතයට නිදාන කතාව ඇති වන්නේ
දඹදිව රජගහනුවර කේන්ද්‍ර කරගෙනයි.එහෙත් මෙරට ලියැවුණු අතැම් අටුවා වල දක්වන්නේ
රුහුණු දනව්වේ නකුල නගරයේ විසූ බමුණා ගේ කැරැල්ල නිසා මේ සාය සිදු වුණ බවයි. නමුත්
ඒ සඳහා වංශකතා අනුබල නොදෙයි.ඒ වෙනුවට රාජාවලිය දක්වන්නේ වළගම්බා පුත්‍රයාගේ කාලයේ
මිළිඳු රජුගේ අධර්මයෙන් මෙය සිදුවූවක් බවයි.තම්බපණ්නීය දක්වාම මේ සාය පැතිරුණු බව
කීම අනුව වළගම්බා රජු පලාගිය සමයේ මේ විපත මෙරටටද බලපෑ බව සිතන්නට හැකිය.
මේ
අනුව බැමිණිතියාසාය නම් වූ පුස්කොළ ග්‍රන්ථය වඩා විශ්වාස සහගත බව පෙනේ. මෙම
පුස්කොළ ග්‍රන්ථයේ දීර්ඝ කතාවක් පෙළ ගස්වා තිබෙන අතර එහි දී රජුන්ගේ අධර්මය ගැන සහ
ඉන් වන ප්‍රතිවිපාක ගැන ගැඹුරින් සාකච්ඡා කරයි.රාවනා ගේඅධර්මයෙන් ලංකාවේ බොහෝ භූමි
පෙදෙසක් මුහුදට ගිලී ගිය ආකාරය පවා එහි දක්වා තිබේ.ජනතාව තුළ ශ්‍රද්ධාවත් රජුන්
විෂයෙහි ලෝක පාලන ධර්මතා අවබෝධ කර දීමත් මෙම ග්‍රන්ථයේ අරමුණ බව පෙනේ.ප්‍රකට
මිලින්ද ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාවක් තිබෙන
කාලයක බැමිණිතිය සාය ඒ යුගයටම ඇතුලත් කිරීම බමුණු දහමත් බුදු දහමත් පිළිබඳ කරන
ශාස්ත්‍රීය සංවාදයක් බඳුය.බුදුන් වදාල ධර්මයේ තිබෙන සත්‍යතාවය මෙහි ඉස්මතු කරයි.ඒ
නයින් බලන කල්හි මෙම අප්‍රකට ග්‍රන්ථය ලියැවුණු සමය ගම්පොළ කෝට්ටේ යුගයෙන් මෙපිට
ඇති වූ පරිහානි සමය විය යුතු යැයි සිතමි.මෙම පුස්කොළ ග්‍රන්ථයේ ත්‍රි සිංහලයේ
කඩයිම් ගැනද සඳහන් වන නිසා ඒ කාලය පිළිබඳව නිසැක ලෙසට සිතන්නට හැකිය. බමුණු දහම
බලවත්ව ආඬි ගුරුන් බලවත්ව සිටිද්දී රජුන් බුදු දහම කෙරෙහි පහදවා ගන්නට කරන ලද
වෑයමක් ලෙසට ද පෙනේ.බැමිණිතියා සායේ කාල වකවානුව වලගම්බා සමයේ ලක්දිව සිදු වූ
පුවතක් ලෙසට ගත් පුරාණ කතා කරුවාට වඩා මෙම අප්‍රකට ග්‍රන්ථ කතුවරයා බුදු දහම
කෙරෙහි මහත් භක්තියෙන් මේ රචනාව කළ බව පැහැදිලිය.
මතුගම
සෙනෙවිරුවන්