පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, August 4, 2021

බුලත් හුරුල්ල පැළවීමේ කථාව

 

                                       

            ගජබා රජ්ජුරුවන්ගේ කාලයේ නීල මහා හෝධයා සමග දකුණු ඉන්දියාවට ගොහින් ලංකාවෙන් ගෙන ගිය සෙබළු දොළොස්දාහ වෙනුවට තවත් දොළොස්දහක් කැටුව ලංකාවට පැමිණි කථාව අනුව රටේ  තැන් තැන්වල ඒ අය පදිංචි කළා. පස්යොදුන් කෝරළයේ මහපත්තුවේ අගලවත්තට නුදුරුව තිබෙනවා ඔලීගේවත්ත කියල තැනක්. මේ කියන සොළින්ගෙන් පැවත එන්නන් එහි හිටිය කියලයි ජන ප්‍රවාදයේ එන්නේ. ඔය කියන කාලයේ පත්තිනි දේව වන්දනාව පිලිබඳ හැඟීම ජනතා සිත්සතන් තුළට කාන්දු වුණ බව ද ඇත්තයි. ඔය කියන්නේ ක්‍රි.වර්ෂයෙන් දෙවැන්නේ. බෙල්ලනත් අගලවත්තත් අතර තියන තෙලහිටියාව කියන හරියට පේනවා විශාලගල් කුලක්. එයට කියන්නේ උස්ගල කියලයි. මේ උස්ගල මුදුනේ තමයි පැරණි පත්තිනි දේවාලය පිහිටා තිබී තියෙන්නේ. රන් හළඹ මෙහි තැන්පත් කර තිබූ නිසා අදටත් රන්ගල කියලා කියනවා. මේ දේවාල පරම්පරාව හැඳින්වූයේ බෙන්තර මහාසාමි යනුවෙන්. බෙන්තර ගලතුරුමුල සිටලා මෙහිපැමිණි බවයි කියන්නේ. මේ පරම්පරාවේ දයාරත්න කියලා දැන උගත් පුද්ගලයෙක් හිටියා. මෙහි ඉතිහාසය ගැන ඔහු කියන්නේ මෙහෙමයි.

         බෙල්ලන කපු ගම පිහිටි දේවාල කන්ද බෙල්ලන හංදිය නොහොත් රංගෙදර හංදිය අසලයි. දේශීය ජන වහරේදී මේ මේ  කන්දේ උස්ගල මුදුනේ ලංකාවේ පැරණිම සුදුහුණු පිරියම් කල දේවාලය පිහිටා තිබූ බව අසා ඇත.මෙම දේවාල කන්දට බටහිර බෑවුමේ එම දේවාලය බැබළු බ්‍රහ්මචාරී දේව බැතිමතුන් විසූ දේව විමානය නොහොත් සඝගල ඇත.මේ ප්‍රදේශයේ කුඹුරු නම් අතර රාජ පුරන්දරගේ නාමය හමුවෙන්නේ සොළීන් සමග පැමිණි අය නිසයි. මෙම දේවාලයට  අන්ඇදි පිට්ටනියක්ද තිබී ඇත. මේ නිසා රාජ නියමයෙන් දේවාලය සඳහා වෙන්කර තිබූ ඉඩ කඩම් නිසා කපු ගම වූ බවයි කියැවෙන්නේ.

        මෙම දේවාලකන්ද අදටත් හාස්කම් පිරුණු තැනක්. හොඳට පේවී නොගියහොත් අතරමංකරනවා. මීට වසර හතරකට පෙර එවැනි සිද්දියක් වාර්තා වූ බව වත්මන් කපු මහතා පවසා සිටියා. දේවාල මඩුවට කෝටු කපන්නට රන්ගලට ගිය පිරිස අතරමංවෙලා ගාලක පැටලිලා ආපසු එන්නට බැරිව හිඳිද්දී ඔහුට හමු වෙලා තිබෙනවා.   මේ දේවාලය ආරම්භ වූ කාලය පිළිබඳ නිශ්චිතවම කිව නොහැකි වුවත් මීට වසර දෙසීයකට පමණ පෙරදී මෙහි සිටි බෙන්තර මහසාමිලාගේ අර්නෝලිස් පත්තිනි මහතා සිය තේවා කටයුතු කර තියෙන්නේ රන්ගල කන්ද මුදුනේ නොවෙයි. කුමන හෝ හේතුවක් නිසා දේවාල හළන් පහතට වඩම්මවලා කපුගම කියන ගම්මානයේ තැන්පත් කරලා තිබෙනවා. ඉතින් අර්නෝලිස් පත්තිනි හාමි ගේ කාලයේ සිදුවූ හාස්කම් දෙකක් ජනප්‍රවාදයට එක් වෙලා තියෙනවා.

         දවසක් පත්තිනි හාමිට කියලා තේවාවක් කරගන්නට ගැමියෙක් එනවා. පත්තිනි හාමි නිතරම දේවාලයෙ සිටින්නේ නැහැ නොවැයි. ගැමියා බලා හිඳලා ගෙනා බුලත් හුරුල්ල දේවාලය කනප්පුව උඩ තියලා පල්ලම් බැස්සා. සවස් යාමයේ පත්තිනි හාමි ආපසු දේවාලයට පැමිණියා. පැමිණි පසු නිවසට නොයා කෙළින්ම යන්නේ දේවාලයටයි. මෙන්න අපූරු සිදු වීමක්. බුලත් හුරුල්ල පැළවෙලා. මේ පැළ වූ බුලත් වලින් හැදුණු පැළ රාශියක් දේවාලය වටේටම අදත් තිබෙනවා.ඉතින් එදායින් පස්සේ මේ දෙවාලය හුරුළු ගෙදර දේවාලය කියාලයි හැඳින්වෙන්නේ.

        අරනොලිස් පත්තිනි හාමි යහපත් පුද්ගලයෙක්. ඔහු දේවාල රාජකාරි වලට අමතරව ගොවිතැන් කලා. එළවුළු අල භෝග වැවීම මගින් ගෙදර දොරට අවශ්‍ය අඩුම කුඩුම සපායාගත්තා . අමුඩයකින් සැරසිලා කොරටුවේ හිටින පත්තිනි හාමි ඉදිරියේ දවසක් කත්කාරයෙක් පෙනී හිටියා. දුර බැහැරක ඉඳන් එන නිසා පත්තිනි හාමි ඇහුවා ගොයියෝ ඔය කදේ මොනවාදැයි කියලා. සිංහලයන් ගේ සිරිත ඒක නොවැ. ඉතින් කත් කාරයා ගත් කටටම කීවේ. කදේ තියෙන්නේ උඳු කියලයි. උන්නැහේ කිව්වේ කටට ආපු බොරුවක්. කදේ තිබුණේ හාල්. නෑගම් ආපු ගමනක්. ඉතින් මේ කත් කාරයා පත්තිනි හාමිඑක්ක තවත් කථාවට නොවැටී යන්නට ගියා. නෑ ගෙදර ගිහින් කද වහුම් ඇරලා ලිහන්න ලෑස්ති වෙනකොට අපූරු දෙයක් සිදු වෙලා තිබුණා. කත් කාරයා කිව්වා වගේම කතේ පුරෝලා තිබුනේ උඳු. ඉතින් ගෙදර උදවිය ඇහුව මගදි කවුරුත් මුණ ගැහුණද කියලා. අමුඩයකින් සැරසිලා  කොරටුවක වැඩ කරගෙන උන්නු ලොක්කෙක් මුණ ගැහුණා කියලා කිව්වා. ගෙදර අයට කාරණය තේරුණා. මේ හමු වෙලා තියෙන්නේ පත්තිනි හාමි බව දැන ගත්තා. විගැහින් ලෑස්ති වෙලා. අර ගොයියත් කැටුව දේවාලයට ගියා. ගිහින් පඬුරු ඔප්පු කරලා බුලත්දීලා කිව්වා වෙච්චි හරිය. පත්තිනි හාමි හිනැහිලා කීවා මෙහෙම. ආ ඕක ඔය හැටි ගණන් ගත්තේ මොකටදැයි. මට පණිවුඩයක් ඒව්වා නම් ඉවරයිනෙ.ඉතින් කට්ටිය ආපසු ගෙදරටම ආවා. ඇවිත් බැලින්නම් උඳු ටික ආයේ හාල් වෙලා. හුරුළු ගෙදර පත්තිනි දේවලයේ හාස්කම් අදටත් ඔහොම තමයි.

මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment