පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, June 7, 2021

උතුර හෝ නැගෙනහිර දෙමළුන්ට අයිති නැත . ආණ්ඩුව එය පිළිගත යුතුය

 

 

                                                          ආනකෝට්ටේ මුද්‍රාව (කෙවෙත)       

                                        

                                  

             ඇමරිකාවේ කොන්ග්‍රස් සභික ඩෙබෝරා රෝස් නම් කාන්තාව ලංකාවට එරෙහිව සකස් කළ බරපතල ලියවිල්ලක් එහි කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.කරුණු ගණනාවකින් සමන්විතව තිබුණද එම ලියැවිල්ලේ ප්‍රධාන වශයෙන් ඉස්මතු කරවන කාරණය නම් ලංකාවේ  උතුරුකරය ද්‍රවිඩ නිජභූමියක් බවයි. එම භූමිය ලංකා හමුදාවේ මිලිටලීකරණයට ලක්ව ඇතැයිද ඇය වැඩිදුරටත් චෝදනා කරයි. මෙම චෝදනා වල කිසිම අලුත් බවත් නොමැත. කොටි ත්‍රස්තවාදය පැවති සමයේ ද ඉන් පෙර තමිල් අරසු කච්චිය විසින් ගෙන ගිය මතවාද තුළද මෙම ප්‍රකාශ අඩංගු වී තිබුණි.නමුත් මේ අවස්ථාවේ දී සිදු වන්නේ මෙම ප්‍රකාශ ඇමරිකානු රජය විසින් පිළිගැනීමට උත්සාහ දැරීමයි.. ලංකාවේ ඉතිහාසය ගැන නොදන්නා ඇමරිකාව මෙම ප්‍රකාශ යම් විදියකින් පිළිගැනුමට ලක් කළහොත් පුදුමයට කරුණක් වන්නේ නැත. එහෙත් පුදුමය වන්නේ මේ තාක් පත් වූ ලංකාවේ කිසිම ආණ්ඩුවක් උතුර හෝ නැ‌ගෙනහිර දෙමළුන් ගේ නිජ බිමක් නොවන බවට කිසිම ප්‍රකාශයක් නොකිරීමයි.

        වර්තමාන උතුර  නාගද්වීපය ලෙසට හැඳින්වුණි. උත්තර පස්ස යනුවෙන් වංශකතාවල දැක්වේ. පාචීන පස්ස යනු නැගෙනහිරයි. කඩයිම් පොත් වලට අනුව නාගද්වීපය පමණක් නොව පාචීනපස්සයට අයත් කුරුඳු ගමු රට කනුකින්නියා රට කොටසර ගන්තලා රට මෙන්ම මඩුවල්ලියාරට මෙන්ම මන්නාරමද පිහිටි රටට අයත්ය. ත්‍රීසිංහලය නම් වූ පැරණි භූමියේ විශාලතම බිම්කඩ පිහිටි රට වෙයි. නාග ද්වීපය පිළිබඳව  සිංහලයන්ගේ පාරම්පරික භූමි අයිතිය කියාපන වැදගත්ම සාධකය වන්නේ යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ වල්ලිපුර ගමෙන් ලැබුණු රන් සන්නසයි. වසභ  රජු ගේ කාලයේ ඉසිගිරිය නම් ඇමතිවරයෙකු නකදිව නොහොත් නාග ද්වීපය පාලනය කළ බව පැහැදිලි සිංහල බ්‍රාහ්මී අක්ෂර වලින් එහි කොටවා තිබේ.ඊළඟට අපට හමු වන වැදගත්ම සාක්ෂිය යාපන විශ්ව විද්‍යාලීය පරියේෂණ කණ්ඩායමක් විසින් 1980 දශකයේ දී වඩමාරච්චි ප්‍රදේශයේ ආනකෝට්ටේ දී කරන ලද කැණීමකින් සොයා ගන්නා ලද අක්ෂර සහිත ලෝහ මුද්‍රාවයි. කෙවෙත යනුවෙන් සිංහල බ්‍රාහ්මී අක්ෂර තුනක් මෙහි කොටවා තිබෙන බව මහාචාර්ය රාජ සෝමදේව මහතා විසින් පෙන්වා දී ඇත.ඊට අමතරව කෙවෙත යන්නම පැහැදිලි කරවන සංකේත අක්ෂර තුනක් එම මුද්‍රාවේ ම දක්වා තිබේ යැයි සැක කල හැකිය..පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් දක්වන පරිදි මෙම සංකේත තුන පැරණි නාග ද්වීපයේ පාලනය ගෙනගිය කෙවෙතස්ථ නම් අධිපතියාගේ නාමය දක්වන්නකි.නමුත් මෙම මුද්‍රාව සොයාගත් මහාචාර්ය ඉන්ද්‍රපාලන් මෙම අකුරු තුන විග්‍රහ කර තිබෙන්නේ කොවෙටාන් යනුවෙනි.අද වන විට මෙම මුද්‍රාව ඔහු විසින් මදුරාසි විශ්ව විද්‍යාලය වෙත රහසේම පන්නා ගෙන ගොස් තිබෙන්නේ ද්‍රවිඩ නිජ භූමිය පිළිබඳ මිථ්‍යාව සනාථ කරවන සාක්ෂියක් ලෙසටයි.

       ඉන්දීය මහද්වීපයට ඉතා ආසන්නයේ තිබුණු බිම් කඩක් හෙයින් නාග ද්වීපය සියවස් ගණනාවක් සිට නිරන්තර විදේශ ආක්‍රමණ වලට ලක් විය. ඇතැම් විදේශ බලපෑම් නිසා මෙම බිම්කඩේ ඇති වූ බෞද්ධ ප්‍රබෝධයද ඉතා විශාලය. වර්තමාන කන්දරෝඩය නොහොත් පැරණි කදුරුගොඩ එවැනි ස්ථානයකි. ඉන්දුනීසියාව දක්වා පැතිරුණු බෞද්ධ ශිෂ්ඨාචාරයේ ආභාශය ලබමින් කදුරුගොඩ විහාරයේ සිට අපවත් වූ භික්ෂූන් වහන්සේලා සැට නමකගේ භෂ්මාවශේෂ තැන්පත් කොට කුඩා කුඩා ස්ථූප ගණනාවක් හිරිගලෙන් බඳවා තිබේ.

     මෙම වාස්තු නිර්මාණ බෝරෝබුදූර් සිහිකරන්නකි.කදුරුගොඩට අමරතරව යාපනයේ හුණුගම නොහොත් චුන්නාකම්වලින් ලැබුණු බුදු පිළිමයක්ද යාපනයේ කෞතුකාගාරයේ තැන්පත් කරතිබේ.එසේම යාපනයේ තුනුකායි නිලාවරෙයි මෙන්ම වල්ලි පුරම් ප්‍රදේශවලින්ද බුදු පිළිම ලැබී තිබේ.පෘතූගීසීන් ලංකාවට පැමිණෙන විට නාග ද්වීපයේ තිස්ස විහාරය දඹකොළ පටුන ඇතුලු බෞද්ධ විහාරස්ථාන රාශියක් තිබුණු බවට සාධක හමුවෙයි. පෘතුගීසීන් ගේ සහ ලන්දේසීන් ගේ ආගමික ආක්‍රමණ හමුවේ. මෙම විහාරස්ථාන බිමට සමතලා කිරිම ඇරඹුණි. එම විහාරස්ථාන කඩා ඒ අමුද්‍රව්‍ය භාවිතා කොට ලන්දේසි පල්ලි තැනවූ ආකාරය ලන්දේසි පූජකයෙකු වූ බල්දෙයස් සිය ග්‍රන්ථයේ දක්වා තිබේ.

       කාලිංග මාඝ ආක්‍රමණය ලංකාවට සිදු වූයේ නිශ්ශංකමල්ල රජුගේ අභාවයෙන් පසුවය.ඒ පරපුරේ උරුමය පතා පැමිණි කුමාරවරු උතුරුකරය හරහා දිවයිනට කඩා වැදී රට අවුල් කළහ. කාලිංග මාඝ මෙන්ම චන්ද්‍රබානු ද එසේය. පසුව සිංහල රාජධානිය දුර්වල වී කුරුණැගල හරහා ගම්පළට පසුබසින කල්හි. උතුරේ මෙම පරපුර බලවත් විය.බ්‍රාහ්මණ සම්බන්ධයක් සහිතව පැමිණි මේ පිරිස ඉතිහාසයේ හඳුන්වා දී ඇත්තේ ආර්ය චක්‍රවර්තී වරු යනුවෙනි. මේ පරපුරේ රජවරු සිංහල අග රජුට එරෙහිව ස්වාධීන වන්නට ගත් උත්සාය පරාජයට පත් කරන ලද්දේ සපුමල් කුමරු විසිනි. සපුමල් කුමරු මේ රජ පවුලෙන් කුමරියක්ද ලබා ගත් අතර සයවන පරාක්‍රමබාහු රජුටද බිසවක් ආර්ය චක්‍රවර්තී වරුන්ගෙන් ලැබුණි.පසුව කුමාරසිංහ සහ විජේපාල යන කුමාරවරුන්ටද කුමරියන් ලාබා දී ඇත්තේ මේ පරපුරෙනි.1560 දී පළමුවන සංකිලි පරාජය කල පෘතූගීසීන් තෙන්මාරච්චි පෙදෙසේ බලය පිහිටුවාගත්හ. අනතුරුව වඩමාරච්චියේ තනිවුණු රජපවුල අභිබවා එවක සිටි රදළ පන්තිය නැගී ආ හෙයින් 1591 දී පරංගීන් සමග ගිවිසුමකට එළඹුණි. .  එය සකස් කර තිබුණේ සිංහල බසින් බව ප්‍රකටය. මෙයින් සිදු වූයේ දෙවනි සංකිලි ගෙන් මේ පරපුර අවසන් වීමයි. අවසානයේ යාපනයේ සිටි අවසන් පාලකයන් තම ග්‍රහණයට ගනිමින් පරංගීන් කළ සංහාරය නිසා යාපනයේ සිටි රජ පවුල සැඟවී වන්නියටත් පසුව මාතලයටත් පැන ගත් බවට තිබෙන සාක්ෂි රාශියකි..

       ලන්දේසීන් සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ නිලමේ වරු අතර අත්සන් කරන ලද හඟුරන්කෙත ගිවිසුම නිසා 1766 න් පසු මුහුදේ සිට ගව්වක දුර ලන්දේසී පාලනයට අයත් විය. මේ නිසා යාපනය  ස්වාධීන විය. එහි සිටි සිංහල ජනතාව උඩරටට සේන්දු විය. අවසානයේ දුම්කළ වගාවටත් වෙනත් සේවා කුලී සඳහාත් දකුණු ඉන්දියාවේ සිටි වහලුන් වශයෙන් ගෙනා විවිධ ද්‍රවිඩ ජන වර්ගයා උතුරේ පදිංචි කරන ලදහ. අද දක්වා සිංහල ජනතාව යටපත් කොට යාපනයේ සහ නැගෙනහිර පළාත් වල බලය අල්වා ගෙන සිටින්නේ මේ විදේශික කම්කරුවන් යැයි කිව යුතුය.1819 දී මිෂනාරීන් ලංකාව දෙකට බෙදා උතුර දෙමළ ජනයාටත් දකුණ සිංහල ජනයාටත් අයත් යැයි සම්මත කරගත්හ.මිෂනාරීන් ගේ ක්‍රමයට අනුව පුද්ගලයන්ගේ වාසගම් වෙනස්කළහ. අනුරාධපුර පළාතේ ජීවත් වන සිංහළයන්ගේ වාසගම් වල පැරණි හුරුව පවා වෙනස් වන්නේ මේ නිසාය.

      බ්‍රිතාන්‍ය පාලනයෙන් පසු සිංහල ජනතාව නැවතත් උතුරට සේන්දු වී විවිධ ව්‍යාපාර කරමින් ජීවත් වූහ. 1981  ජන සංගණනය අනුව ඔවුන් ගණනින් හයදහසක් පමණ විය. වන්නි ප්‍රදේශයත් සමග ගතහොත් හතලිස්පන්දහසක් පමණ සිංහල පිරිසක් එහි ජීවත් වූහ. මන්නාරමේ පමණක් අටදහසකට වැඩිය. නමුත් 1987 දී කොටි ත්‍රස්තයවාදය විසින් සිංහලයන් සමූළඝාතනයට ගත් තැත නිසා අද වන විට මෙම ප්‍රදේශ වල දිවි ගෙවමින් සිටින්නේ ඉතාමත් සුලු සිංහලයන් පිරිසකි.

   කෙසේ වෙතත් නන්දි කඩාල් කලපුවේ දී ප්‍රභාකරන්ගේ පරාජයත් සමගම නැවත මේ සිංහල ජනගහනයට උතුරේ වාසභූමි ලබා ගැනීමට අයිතියක් තිබුණි..එවකට සිටි මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද ඉන්පසු පැවති ආණ්ඩුද කිසි විටක උතුර දෙමළ නිජ බිමික් නොවන බව ‌ ප්‍රකාශ නොකරති. සිංහලයන් ඉදිරියේ ව්‍යාජ ලෙසට යම් යම් ප්‍රකාශ කලද ජාත්‍යන්තර වශයෙන් එසේ කියන්නේ නැත. ජිනීවා මානව හිමිකම් සමුලුවේ දී මේ ‌ෙඑතිහාසික සත්‍යය කියාපෑමට කිසිවිටක රජය උනන්දු වී නැත.එසේම දෙමළ නිජබිම් මිත්‍යාව මත පදනම් වූ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උඩ ඇති කළ පළාත් සභා දිගින් දිගටම පවත්වා ගෙන යෑමට ද උත්සුක වෙති.

      එවැනි තත්වයක් මත විදේශගතව සිටින ගෝලීය කොටි සංසදයේ ඊලාම්වාදී අදහස් වලට වටිනාකමක් ලැබීම පුදුමයට කරුණක් නොවේ.මේ කොටි නඩය විසින් නඩත්තු කරන කොන්ග්‍රස් සභිකයන් අතින් ඉහතකී යෝජනා කරළියට පැමිණෙන්නේ ඒ නිසාය.  වර්තමාන රජයද යුධ අපරාධ පිළිබඳ යෝජනාවන් ප්‍රතික්ෂේප කළද සිංහල ජනතාවගේ පාරම්පරික අයිතිය ජගත් තලයේ තහවුරු කරලන්නට උනන්දු වන්නේ නැත. කොටින්ම දෙමළ ජාතිවාදය ඊලාම්වාදය පරාජය කොට ලංකාවේ බෙදුම්වාදය අවසන් කර ගැනීමට පවතින රජයටද කිසිම උපාය මාර්ගික සැලැස්මක් නොමැති බව පැහැදිලිවම පෙනී යයි..

මතුගම සෙනෙවිරුවන්

 

1 comment:

  1. මළ සමයන්..අවූරුදූ දහස් ගානක් ජීවත් වෙනවා වගේ....

    ReplyDelete