පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, January 27, 2019

ඔරුමිත්ත නාඩු පොලිසිය වැඩ අරඹයි


                         
         දළදා වහන්සේ මුල්වරට වැඩම කලා යැයි ජන ප්‍රවාදගත නයාරු ලංකාතොට අසල ගුරුකන්ද රජමහ විහාරයට පසුගියදා ටී.එන්.ඒ. දේශපාලන අංශයෙන් බලහත්කාරකමක් සිදු විය. ගුරුකන්ද රජ මහ විහාරයේ වර්තමාන විහාරාධිපති කොළඹ මේධාලංකාර හිමියන් ගේ මූලිකත්වයෙන් එහි බුදු පිළිම වහන්සේ නමක් ප්‍රතිෂ්ඨාපනය වීම ඊට හේතුවයි.දුරුතු මස තෛයිපොංගල් දිනයේ දී පන්සලට කඩා වැදුණු හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රවිහරන් ඇතුළු සියයක පමණ කණ්ඩායමක් ස්වාමීන් වහන්සේට සහ එහි දායකයන්ට බැණ තර්ජනය කරමින් බලහත්කාරයෙන් පන්සල් භූමිය තුළ මඩුවක් අටවා පොංගල් කිරිබත් උයා පන්සල් භූමියේ කෝවිලකට අත්තිවාරම් දමන්නට උත්සාහ දරා ඇත.මෙම සිද්දියෙන් පසු එතැනට කඩා වැදුණු ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු කීප දෙනෙක්ද ආලම්පීල් කෝකිලායි පල්ලි වල පූජකයන්ද චාල්ස් නම් පූජකයාද එක්ව පන්සලට තිබෙන අයිතිය ගැන මේධාලංකාර හිමියන් ගෙන විමසා ඇති බව වාර්තා වේ. මෙම සිදු වීම අතරතුර උතුරේ ගංවතුරෙන් අනාථ වූ දෙමළ ජනතාවට සහනාධාර ලබා දීමට පැමිණි පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු බෞද්ධ උපාසක උපාසික කණ්ඩායමක්ද උදෑසන ආහාර ගැනීමට මෙහි ළගා වී තිබේ.මෙම කණ්ඩායම සමග එක්ව පැමිණි මවුබිම මාධ්‍ය වේදී සපුමල් ජයසේන මහතාද එහි විය. විහාරස්ථානයේ සිදු වූ බලහත්කාරකම් ඔවුන් ඇස් පනාපිට දුටු අතර වහාම එහි අසල තිබෙන හමුදා කඳවුරේ අණදෙන නිළධාරීන් මැදිහත්ව මෙම කණ්ඩායම එතනින් ඉවත් කළ බවටද  මාධ්‍යෙව්දීන්ට ඡායාරූප ගැනීමට පවා ඉඩ නොදුන් බවටද වාර්තා වේ.
       මෙවැනි සිදු වීමක් දකුණේ සිදු වූවා නම් රජයේ මැති ඇමතිවරු බොහෝ දෙනෙකු එම සිදු වීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමට පැකිලෙන්නේ නැත. එසේම පොලිසිය වහාම මැදිහත්ව ගැටුමට මැදිහත් වූවන් අත් අඩංගුවට ගැනීමට උසාවි නියෝග ගනී. නැතිනම් තහනම් නියෝග ගැනීමට පමා නොවේ. කූරගල උද්ඝෝෂණය මාවනැල්ල උද්ඝෝෂණය අවස්ථාවලදී පොලිසිය ගත් ක්ෂණික ක්‍රියාමාර්ග රාශියක් ගැන වාර්තා ඇත. දිගන ඇති වූ ගිනි තැබීම් සහ කොලාහලයේ දී අමිත් වීරසිංහ ඇතුළු පිරිස අත් අඩංගුවට පත් වන්නේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පණත යටතේ ජාතිවාදය ඇවිස්සීමේ වරදකටයි. සෑහෙන කලක් මේ පිරිසට ඇප නොමැතිව බන්ධනාගාර ගතකොට තිබූ ආකාරයද සිහිපත් වේ. එහෙත් ගුරුකන්ද රජමහා විහාරයේ ඇති වූ ජාතිවාදී ගැටුම පොලිසිය විසින් දැක තිබෙන්නේ සාමය කඩ වීමේ අවස්ථාවක් ලෙසටයි. මෙම ගැටුම සම්බන්ධව විහාරාධිපති ස්වාමීන් වහන්සේ ගෙන් කට උත්තර ලබා ගත් මුලතිව් පොලිසිය බී වාර්තාවක් ගොනුකර දෙපාර්ශවයම 29 වනදා උසාවියට  කැඳවීමට නියෝගයක් නිකුත් කර තිබේ. කෝලාහලයක් සාමය කඩ වීමක් යනු සාමාන්‍ය යෙන් සමථ මණ්ඩලයක විසඳා ගැනීමට හැකි ප්‍රශ්ණයකි. එහෙත් මුලතිව් ගුරුකන්ද විහාරයේ සිදු වූයේ එය නොවේ. බලහත්කාරයෙන් ඇතිකළ ජාතිවාදී  සහ ආගම් වාදී ගැටුමකි.මේ සම්බන්ධව නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා මුලතිව් පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතා විමසීමේ දී ඔහු පවසා ඇත්තේ සිවිල් අයිතිවාසිකම් පණත යටතේ නඩු දැමීමට නම් නීතිපති විමසිය යුතු බවයි.එහෙත් අප දන්නා පරිදි දිගන සිද්දියේ දී පොලිසිය  විසින් නීතිපති විමසා නැත.
        ජනවාරි මස 27 වන දින මෙම විහාරයේ අභිනව පිළිමවහන්සේ නිරාවරණය කරලීමේ උත්සවය යෙදී තිබුණි. එම උත්සවයට අස්ගිරි පාරශවයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඥානරතන නායක හිමියන්ට ද අනූනායක අති පූජ්‍ය වෙඩරුවේ උපාලි නා හිමියන්ටද ලේඛකාධිකාරී අති පූජ්‍ය මැදගම ධම්මානන්ද නා හිමියන්ටද ඇරයුම් කර තිබුණි. දෙමළ ජාතික සන්ධානයේ  මන්ත්‍රීවරුන් ඒ අතර වහා ක්‍රියාත්මක වෙමින් ජනවාරි 29 වනදාට වන කැඳවීම අවලංගු කරමින් 24 වනදා උසාවියට කැඳවිය හැකි වන පරිදි මෝසමක් ගොනු කරගෙන තිබේ.    මෙම ක්‍රියාන්විතයේ අරමුණ වන්නට ඇත්තේ පිළිම වහන් සේ නිරාවරණය කරලීමේ උත්සවයට තහනම් නියෝග ගැනීමයි. පොලිසියද ටී.එන්.ඒ. මන්ත්‍රී වරුන්ට චෝදාන ගොනු නොකරම සාමය කඩවීමේ බී වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙවැනි තත්ත්වකට මග හදන්නටයි. මීට පෙරද මුලතිව් කුරුඳු මලේ පුරාවිද්‍යා ස්ථානයට ගිය පුරාවිද්‍යා කණ්ඩායමකට සහ සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනයේ ශාන්තබෝධි හිමියන්ට මුලතිව් පොලිසිය විසින් උසාවිය මගින් තහනම් නියෝග ගෙන තිබුණි.එම සිද්දියට ද මුල් වූයේ රවිහරන් මන්ත්‍රීවරයාමය.ඔහු ස්වාමීන් වහන්සේට බාධාකරමින් ජාතිවාදී ලෙසට හැසිරී තිබුණි. කෙසේ වෙතත් 27 වනදාට යෙදී තිබුණු පිළිම වහන්සේ නිරාවරණය කිරීමේ  උත්සවය වහා වෙනස් කොට මෙම මස විසිතුන් වන දිනට එම උත්සවය ගනිමින්  අස්ගිරි පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී නායක හිමියන් ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නය අතින්  පිළිම වහන්සේ විවෘත කරන්නට යෙදුණු බවද මෙහිදී සඳහන් කළ යුතුය..
        යෝජිත නව ව්‍යවස්ථාව සඳහා සකස්ව තිබෙන පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරපිත් කරන ලද ව්‍යවස්ථා කොටුම්පතේ නීතිය සහ සාමය කොටසේ 254 වගන්තිය ප්‍රකාරව පළාත් බද පොලීසියක් සහ ජාතික පොලිසියක් නිර්මාණය වේ. එවිට  පළාත් නමයකට පොලිසි කොටස් නවයක්ද අග නගරයට එක් පොලිසියක්ද වශයෙන් කොටස් දහයකට කැඩෙනු ඇත. ව්‍යවස්ථා සම්පාදකයන් විසින් ඒකීය රට  ඔරුමිත්ත නාඩුවක් වශයෙන් නම්කර ඇත . පොලිසි දහයක් නිර්මාණය වන විට ඔරුමිත්තනාඩුව ට පිළි ගැනීමක් සහ නීතිමය වටිනාකමක් හිමිවේ.දැන් මුලතිවු ගුරුකන්ද විහාරයේ ඇති වූ සිද්දිය පොලිසිය මගින් කළමනාකරණය කරන්නේ රටේ මූලික නීතියට පටහැනිව පළාත් බද පොලිසීයක් ලෙසටයි. පොලිසියට අණ දෙන්නේද උපදෙස් දෙන්නේද නීතිය අතට ගෙන කටයුතු කරන්නේද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී වරුන්ය. පූජ්‍ය අගුලුගල්ලේජිනානන්ද හිමියන් විසින්කොළඹ පොලිස් මූලස්ථානයේ මේ සම්බන්ධව  ගොනුකළ පැමිණිල්ලද කොළඹ ජාතික පොලිසිය  විසින් මේ වනතුරුම විභාගයට ගෙන නොමැත.එහෙයින් ව්‍යවස්ථා ලියවිල්ල සම්මත කර ගැනීමට ද ප්‍රථම මේ ක්‍රියාත්මක වන්නේ උතුරේ පළාත් බද පොලිස් නීතිය බව පැහැදිලිව කිව හැකි වී තිබේ.
         පොලිසිය බිහි වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව ඔවුන්ගේ තිඹිරි ගෙයක බැවින් එහි හැඩය වටිනාකම් සහ සම්ප්‍රදායයන්  කෙරෙහි දේශීයත්වයක් අතැයි පවසන්නට නොහැකිය. පොලිස්  නම් ඉංග්‍රීසි වචනය සකස් වීමට ගැනෙන මුල් අකුරු වල වගන්ති අරුත අනුව එහි මහාර්ඝ වැදගත්කමක් තිබුණද  යටත් විජිත සමයේ සිටම පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන කල්හි එම ආයතනයේ මූලික අරමුණු වලින් ඉවත් වී දේශපාලන පක්ෂපාතීත්තවය උදෙසාම ක්‍රියාත්මක වී ඇති බව පෙන්වා දිය හැකිය. දැන් එහි ජාතික වටිනාකමද අහෝසි වී වර්ගවාදී පළාත් බද පොලිසියක් තත්ත්වයට වැටී තිබේ. යහපාලන රජයේ ව්‍යවස්ථාමය විප්ලවය මගින් අරමුණු කරගන්නේ මෙවැනි වර්ගවාදී පෙරළියක් නම් මුලු රටටම පළාත් බද පාතාලයන් ගේ පිහිට පමණක් ඉතුරු වන බව පැවසිය යුතුයි.


Tuesday, January 8, 2019

කිතුල් මලක කඳුළ ගන්න පාරම්පරික ක්‍රම


                                       
        කඳුකරයේ මනාළිය වශයෙන් හඳුන්වන කිතුල් ගස සිංහල ජනතාව සතු මහඟු සම්පතකි. ලංකාවේකඳුකරය ආශ්‍රිතව බහුල වශයෙන් ඉබේ හටගන්නා බැවින් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව සතු ප්‍රධාන ආර්ථික භෝගයක් බවටද පත් වී තිබේ.කුඩා තේ වතු වගාව ව්‍යාප්ත වීඹට ප්‍රථම ඔවුහු තමන් ගේ සියලු ජීවන ක්‍රියාකාරකම් සඳහා මුදල් උපයා සපයා ගෙන ඇත්තේ මෙයිනි. කිතුල් ගහකින් දෑවැදි තුනක් දිය හැකි බව කට වහරට කියන්නේ එහෙයිනි. කිතුල් මල් කපා කඳුළ වෑස්සෙන විට ඒවා එකතු කර ගැනීම මෙහි පිළිවෙලියි.  මල කැපීමට නියමිත ශාස්ත්‍රයක් පවතින අතර නම්බුකාර ගහක් ලෙසට සැලකුම් ලබන කිතුලෙන් කඳුළු නොහොත් තෙලිදිය ලබා ගැනීමට නම් ඒ ශාස්ත්‍ර යෙන් නිසි පරිදි වැඩ ගැන්මත් ගහට කීකරුව ගෞරවයෙන් කටයුතු කළ යුතු ආකාරයත් මේ පාරම්පරික ශිල්පීන් දැන සිටින්නට ඇත.
      කිතුල් ගහේ ප්‍රභේද කීපයක් ඇති බව කියැවෙයි. ගෑනු පිරිම් ප්‍රභේදය ඉන් එකකි. ඒ අනුව තෙලිදිය ලබා ගැනීමට සමත් වඩාත් හොඳ ප්‍රභේදය ලෙසට සැලකෙන්නේ පිරිමි ප්‍රභේදයයි. අගින් හීන් කඳ මැදින්  නොහොත් බණ්ඩියෙන් මහත් වූ ගෑනු ප්‍රභේදය ලෙහෙසියෙන් හඳුනා ගත හැකිය..පිරිමි කිතුල මුලින් මැදින් අගෙන් එක පමණය. සීරුවෙන් උසයයි.කිතුල් වැවෙන කදුකරයේ වනය අස්සසෙන් මතුවී එන පිරිමි ගස් අපට දැක ගත හැකිය.ඒවා වාඩාත් සුදුසු වන්නේ වනයේ සාරවත් ව වැඩී සූර්යා ලෝය සොයා ඉහළට ගිය බැවිනි.කහට කිතුල නම් තෙලිදිය ගැන්මට අසීරු කහට රසයක් ගන්නා තොලිදිය වෑසේසෙන කිතුලයි.ඒවා මදින්නන් මලට බෙහෙත් නොතබා පුළුස්සා ගනිමිනි.. එවිට වැඩි කාලයක් අස්වැන්න ලබා ගත නොහැකිය. පැණි ප්‍රමාණයද ලැබෙන්නේ අඩුවෙනි.කටු කිතුල් සහ කුරු කිතුල් නම් වූ තවත් ප්‍ර භේද දෙකක් පවතී. ඒවායින් තෙලිදිය ලබා ගැනීම දැනට නොකරති.එසේම ලංකාවේ කිතුල් වගා කිරීමක් දක්නට නැතිය. නමුත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කිතුල් පැළ ප්‍රචාරණය කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ. ඉදිරි අනාගතයේ ආරථික වතාවක් ලෙසට එය ඉහළට ඔසවා තැබීමට නම් එවැනි ප්‍රචාරණයක් අත්‍යවශ්‍ය වේ.
        තෙලිදිය ලබා ගැනීමට යොදා ගන්නේ කිතුල් මලයි. මල කැපීම පිණිස ගහ දිගේ ඉහළට නැග ගත යුතුය.මේ මාර්ගය පහසු කර ගැනීම පිණිස මල් මදින්නන් විසින් කිතුල් ගස හැර සා ගනී. කිතුල් ගස හැර ගසා ගැනීමට භාවිතා කරන ප්‍රධාන රිටි වර්ගය වනයෙන් සොයා ගන්නා හැඩවක ලීයයි. ඊට අමතරව ගොඩපර වන මී වන ඉදල වල් ලියන් ලියන් සහ තෙලන් වැනි ලී වර්ග  භාවිතා කෙරේ.මුදුන් මලේ සිට බතලේ මල දක්වා(එකිනෙකට පසු එන මල් තුනක්) මාස තුනක් කාලයක් ගත වන බැවින් ශක්තිමත්ව දිරාපත් නොවී තබා ගැන්මට නම් මේ ලී වර්ග භාවිතා කල යුතුය. උණ ගස් බහුලව යොදා නොගන්නේ දීර්ඝ කාලයකට ඒවා ඔරොත්තු නොදෙන බැවිනි.මේ ගසේ හැර වෙලීම සිදු කරන්නේ පට්ටික්කා වැල් කොරස වැල් මාබණ්ඩා වැල් කිරිඳි වැල් කළු බඹර සුදු බඹර වෙනි වැල් සහ කලවැල් වලිනි.වෙළෙඳ පලේ මිළදී ගන්නට තිබෙන කොහු ලණු වලට වඩා ඒවා විශ්වාස කළ හැකි බව මදින්නන්ගේ මතයයි. කිතුල් ගස් හැර දැමීමේ දී චන්ද්‍ර මාස ක්‍රමය අනුව ගැනෙන පුර ජලවක දිනය යොදා ගන්නා බව ඉතා අහම්බෙන් දැන ගන්නට ලැබුණේ රක්වානේ මදින්නෙකුගෙනි.
        කිතුල් මල කැපීමේදී ආරම්භයේ දී මල් කිනිත්ත විවර කර කොළ පැහැ වන්නට අරිති. ඉන්පසු ගසට ළන්ව පවතින පුරුක ඇර ඉතිරි පුරුක් ඉති ගැටේ දක්වා ගලවා සුඹුල ගා දමා ගලකින් තලා පදම් කරති.මලේ කිරි පුරක නොහොත් පැණි පුරුකට බෙහෙත් තබන්නේ අනතුරුවයි.මෙයින් පසු මලට ඔලොම්බුව නමින් ආධාරකයක් සවි කර ගනිති. මල දෘඩව තබා ගැනමට එය උපකාරී වේ. දින තුනක් තිස්සේ  මල පදම් කර ගනිති.ඉන් පසු මල කැපීම ආරම්භ කරනුයේ යහපත් හෝරාවකිනි.එසේම වඩදිය වේලාවටයි.මේ කාලය උදේ අට පමණ වන විට උදාවන බව ඔවුන් ගේ මතයයි.  මල කපන පිහිය කලින් සූදානම් කර තබා ගැනීමද කළ යුතුය. මල් කපන පිහි පණ පොවන්නේ මඩ වතුරෙන් නොවේ. පොල් තෙල් වලිනි. කම්මල් කරුවා ළඟට යන විට පොල්තෙල් කොලපුවක් රැගෙන යෑම සිරිතයි. පණ පෙවූ පිහිය සෑම කැපීමකදීම මුවහත් තබා ගත යැතුය. ඒ සඳහා වල්ලා හෝ මිල්ල ලීයක් භාවිතා කරන අතර තිරිවානා කුඩු යොදමින් මුවහත් තැබීම කරගනිති. මුදුන් මල කපන අවස්ථාවකදී කහ ලුණු සහ පොල් තෙල් ගෙන පුරුකේ සුඹුල හැර මුලු මලේම ගෑම කරති. මුදුන් මල ළපටි බැවින් ඒය ප්‍ර වේශමින් කළ යුතුය.   
       කිතුල් මදින්නන් බෙහෙත් වට්ටෝරු කීපයක් භාවිතා කරති. ප්‍රදේශ වල විවිධත්වය අනුව රා හෝ මීරා අවශ්‍යතාවය මත මෙන්ම කිතුල් ගසේ මලේ ස්වභාවය අනුවත් එසේ කරති. ඉන් කීපයක් මෙසේ සඳහන් කළ හැකිය.1/ කොල්ලන් කොළ අළු සහ විටට කන හුණු පදමක් 2/ කොල්ලන් කොළ වියන් දුඹුළු ලුණු දියර අළු සහ ඇඹුල් ඉස්ම 3/ කොච්චි ගම්මිරිස් රතු ලූණු හීන් දුරු සහ ලුණු ටිකක් 4/ කෙටල අල සුද්ද කොට පෙති කපා පොල් කිරෙන් තම්බා අඹරා තැබීම.මෙලෙස භාවිතා වන වට්ටෝරු රැසක් පවතින අතර ඒ ඒ පළාත්වල සම්පත් අනුව ඒවා තීරණය වේ. බෙහෙත් තැවරීමෙන් පසු කිතුල් කොළයක තබා බාඳුරා වලින් බැඳීම කරති. බෙහෙත් යොදීමෙන් කෙරෙන්නේ මලේ අභ්‍යන්තරය් තිබෙන සිදුරු පාදා ගැනීමයි.දින තුනක් පමණ කල් ගත වූ පසු තෙලිදිය කඳුළ වෑස්සීමට පටන් ගන්නේ මෙලෙස මල හොඳින් පදම් වූ පසුවයි.ඇතැම් අය බැටරි කුඩු ආදිය මල් බෙහෙත් ලෙස භාවිතා කළද ගසේපැවැත්මට එය හානිකරය.බැටරිකුඩු වල රසායනික ද්‍රව්‍ය  නිසා මලට රත් කුරමිණයෙක්(මානෙලා) ආකර්ශනය වන අතර ඌ විසින් දමන බිත්තර වලින් පණුවන් හට ගනී. එයින් මල විනාශයට පත් වීමට තිබෙන ඉඩකඩ බෙහෝය.ඇතැම් කඳුකර පළාත්වල මල කැපීම පිණිස ආරම්භයේ දීම ඔලොම්බුව දමා සම්පූරණ පුරුකේම කොපු ඉවත් කර ගනිති. ඉන් පසු උදයට දහවලට කපා හවසට සම්පූර්ණ කොපුවම වැල් වලින් වෙලා දමති. ඉන්පසු උදෙට නැවතත් කපා හවසට වෙලා දමති . මේ ක්‍රමයට මල පදම් කරගත්තද වැසි කාලයට මෙවැනි පදම් කරගැනීම වලින් මල ඇරීමට තිබෙන ඉඩකඩ වැඩි වන බව අසන්නට හැකිය.දෙසැම්බරයේ සිට අප්‍රියෙල් මස පහළෙව දක්වා කාලය ( බක් මසේ අවසානය දක්වා) කිතුල් මල් කැපීමට හොඳම කාලයයි. තෙල් ගෑමේ අවුරුද්දෙන් පසු එළඹෙන කාලය අධික වර්ෂාවට බර බැවින් මල පදම් කර ගැනීම ලේසි නැත.ඒ නිසා තෙලි දිය ගැනීමට ඇතැම් විට ඉඩ නොලැබේ.මහ රා දමන්නට පෙළඹෙන්නේ එවැනි අවස්ථාවලදීය.
       සාමාන්‍ය යෙන් කිතුල් ගසක මල් පහළොවක් පමණ හට ගනිති.මුදුන්මල සහ දෙවනි මල වන ඉපියාව කැපීමෙන් අත් හරින්නේ ඒවායේ ඇට මගින් කිතුල් පරාම්පරාව ප්‍රචාරණය වන බැවිනි. තෙවනි මලේ නොහොත් බතලේ සිට කැපීම ආරම්භ කරන්නට පැරණි මල් මදින්නන් උත්සාහ දරන අනෙක් කාරණය ලෙස සළකන්නේ මුදුන් මලේ වඩුකම හරියට නොකෙරුණහොත් ගසෙන් වැඩක් ගත නොහැති තත්ත්වයට පත් වන බැවිනි.කිතුල් ගස පීදෙන්නට වසර පහලොවක් පමණ කල් ගත වන අතර වසර පහක් පමණ මල් මැදීම සඳහා ප්‍රයෝජනයට ගත හැකිය. කිතුල් මලේ වඩුකම අවුල්කරන්නා වන්නේ රිලවාය. ඌ මදින්නන් පස්සේ රහසේ වැටී මදින්නා ඉවත් වූ පසු ගස් මුට්ටියත් කොලපුත් ඇද දමා යකා නටති. ඇතැම් රිලවුන් රා බී දවස තිස්සේ අනෙක් රිලවුන් සමග කෑ කොස්සන් ගසමින් රණ්ඩුවන හැටි දකින්නට හැකිය.මල් මදින්නන්ට නීතියෙන් කිසිම පිසරණක් නැත. රා බොතල් දෙකක් ළඟ තබා ගැනීමටත් ගස් තුනක් කපා ගැනීමටත් අවසරය හිමව තිබුණද සුරාබදු අංශ සහ පොලිසිය තමන්ට වාරිකව අවශ්‍ය නඩු සදහා මල් මදින්නන් කොටු කර ගනිති.ඇතැම් විට නූගත් කම නිසා රවට්ටා කොල වලට අත්සන් ලබා ගෙන නඩු දමති. තරුණ පරපුර මල් මදින්නට නොඑළඹෙන්නේ මේ දුෂ්කරතා ඔවුන් දන්නා බැවිනි. මේ නිසා අගනා කර්මාන්තයක් ඉදිරි කාලයේ දී අතුරුදහන් වීමට තිබෙන ඉඩකඩ බොහෝ වේ.