පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, May 30, 2016

ෆෙඩරල් ප්‍රකාශ මගින් සිංහල ජනතාව කුපිත වෙයිද


                                

            යළිත් වරක් උතුරේ මහඇමතිවරයා සහ පළාත්සභාව රට බෙදීමේ භයානක උන්මත්තක යෝජනාවලියක් සමාජ කරළියට දමා ඇත. ගංවතුර පීඩාව නිසා විස්සෝපයට පත්දකුණේ ජනතාව උතුරේ මහ ඇමතිවරයා ගේ මීට පෙර ප්‍රකශ  අමතක කළ බවට නිසැකය. නමුත් තුවාළයක් පාරන්නා සේ උතුරේ මහ ඇමතිවරයා නැවතත් සිය බෙදුම්වාදී   වුවමනාවන් සිංහල ජනතාවට යළි මතක් කර දී තිබේ.

         මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන සමයේදී උතුරු පළාත්සභාව පත්කිරීම පිණිස චන්දය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී මෙරට ජාතික බලවේග විසින් කරුණු කීපයක් එතුමන්ට අවධාරණය කළහ. එකක් නම් පළාත්සභා පණතේ තිබෙන ඇතැම් හානිකර වගන්ති ඉවත්කරන ලෙසටය. පළාත්සභා පණතේ 154 (අ) සිට 154 (ඩ) දක්වා වූ ව්‍යවස්ථාවේ 17 (අ) පරිඡේදය වෙනස් කිරීම . 155(3 අ) අනුව්‍යවස්ථාව වෙනස් කිරීම සහ නවවන උපලේඛණය පරිච්ඡින්න කිරීම මෙම සංශෝධන යෝජනාවන්ට අයත් විය. පොලිස් බලතල පිළිබඳ ෆෙඩරල් ප්‍රතිපත්ති උතුර සහ නැගෙනහිර එක් කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ සහමුලින්ම වෙනස් කිරීම මෙහි අදහස විය. එසේම යම්පළාතක් රජයට එරෙහිව කටයුතු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට එයට මැදිහත් විය හැකිවන සේ පළාත්සභා පණත සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා විය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 ප්‍රතිපාදනයේ ලිඛිත නීතිය යන්නහි අර්ථ කථනයේ පළත් සභාවක් විසින් සාදන ලද ප්‍රඥප්ති හෝ කවර වූ නීතියක් යටතේ යන වචන වෙනුවට කවර හෝ නීතියක් යටතේ යන වචන අදේශ කිරීමටද මෙහිදී යෝජනා විය.අනෙක නම් චන්ද බලය ලබා දීමේදී 1971 ජන සංගණනය අනුව එය තීරණය කරන ලෙසය. සිංහල ජනතාව ඒ අනුව නැවත පදිංචි කිරීමකින් තොරව උතුරු පළාත්සභා චන්දය නොපවත්වන ලෙසට සියළු දෙනාම ඉල්ලීම් කර සිටියහ. එහෙත් සන්ධාන රජය ගත් ප්‍රතිපත්ති තීරණ වල වෙනස්කමක් ඇති නොවීය. ජනතා හඬට කන්නොදුන් ආණ්ඩුව පළාත්සභා මැතිවරණය පවත්වා විග්නේශවරන් මහතා මහ ඇමතිවරයා බවට පත් කරන ලදහ.නැගෙනහිර පළාත්සභා මැතිවරණය ඊට කලින් පවත්වන ලදඅතර ඒ මගින් මුස්ලිම් පක්ෂ සමග සන්ධාන ගතව පළාත් ආණ්ඩුවක් පිහිටුවීමට සන්ධාන කණ්ඩායම තීරණය කළහ.  මෙහි ප්‍රතිඵලය වූයේ උතුරු පළාත තුළ දෙමළ ජතිවාදයට අවශ්‍ය නෛතික බලය ලබාදීමයි. එසේම නැගෙනහිර පළාත තුළ මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය දේශපාලන බලයද සන්ධාන රජය මගින් හිමිකර දුන්හ.

              දෙමළ පක්ෂ සැමවිටම ඉතිහාසය තුළ පෙන්නුම් කරන ලද්දේ  සිය ජාතිවාදී වුවමනාවන් ක්‍රමානුකූලව ලබාගැනීමයි. එකක් ලබා ගැනීමෙන් පසු තවෙකක් ලබාගැනීම ඔවුන්ගේ පිළිවෙත විය. පසුකාලයේදී මුස්ලිම් පක්ෂ ද එම පිළිවෙතම අනුගමනය කරන ලදී. යම් හෙයකින් පවතින ආණ්ඩුව එම ඉල්ලීම් වලට කන්නොදුනහොත් විපක්ෂය සමග  එක්වී කුමන්ත්‍රණකාරී ලෙසට කටයුතු කිරීම ඔවුන්ගේ පිළිවෙත විය. සිංහල බෞද්ධ ජනතාව ඉදිරියේ තිබෙන අභියෝග සමාජ ගත කරමින් ඒවාට විසඳුම් ඉල්ලා සිටි බොදු බලසේනාව උගුලකට හසුකරන ලද්දේ මෙලෙස කුමන්ත්‍රණකාරී ලෙසට කටයුතු කළ අන්තවාදී පක්ෂ විසිනි. අළුත්ගම ධර්ගානගරයේ ඇතිවූ කෝලාහලය කලින් සැලසුම් කරන ලද්දකි. මේ කෝලාහලයේ වගකීම බොදුබලසේනාව වෙතට පැවරීම ඔවුන්ගේ ප්‍රයෝගයේ එක් අදියරක් විය. අනෙක නම් බොදු බල සේනාවට ආණ්ඩුව පැත්තෙන් උදව් කිරීම අතිශයෝක්තියෙන් සමාජ ගත කිරීමයි.නමුත් ඇත්ත තත්ත්වය නම් හලාල් ප්‍රශ්ණයේදී සහ මුස්ලිම් අන්තවාදී ක්‍රියාපිළිවෙත හමු වේ නීතිය කාහටත් එකසේ බලපැවැත්වීම සඳහා ආණ්ඩුව කටයුතු නොකළ බවයි.අන්තවාදීන්ගේ මෙම උපක්‍රම සියල්ල සැබවින්ම සාර්ථක විය. ගිනිතබන ලද මුස්ලිම් දේපළ ගැන පමණක් වාර්තා සකස් කරන ලද අතර ඒවා ජාත්‍යන්තර තලයට පිටත් කර හැරීමේ කාර්යයද ඉතා සාර්ථක අන්දමින් සිදු කරනු ලැබිණ. මහින්ද රාජපක්ෂ රජය මගින් සියළු වරප්‍රසාද ලබාගත් මුස්ලිම් දේශපාලඥයන් සිය අභිමතාර්ථ සාධනයෙහි තත්පරව අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය උදෙසා සන්ධාන ගතවිය.

             1987 වර්ෂයේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද පළාත්සභා පණතට කලියෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබිණ. මේ ගිවිසුමට රටපුරා ජන විරෝධයක් එල්ල වූ අතර ඒවා මැඩ පවත්වමින් ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් එයට එකඟතාවය ප්‍රකාශ කරනු ලැබිණ. මේ ගිවිසුමෙන් පසුව ඉන්දීය සාමසාධක හමුදාව සහ කොටිත්‍රස්තවාදීන් එක්වී  උතුරු සහ නැගෙනහිර පළාත් තුළ සිටි සිංහල ජනතාව එලවා දමන ලදහ. මේ ක්‍රියාවලියේදී සිංහලයන් බලවත් සේ ප්‍රකෝප විය. ජන උද්ඝෝෂණ මෙන්ම විරෝධතා රාශියක්ම එල්ල විය. දකුණේ ජාතික බලවේගයන් මේ විරොධතාවයන්ට සෘජුව මැදිහත් වනු දක්නට ලැබුණි. අවසාන ප්‍රතිඵලය වූයේ මහජන ප්‍රකෝප කිරීම් උත්සන්නවී ලංකා රජය වෙත ජාත්‍යන්තර පීඩනයක් එල්ල වීමයි. මේ නිසා ජයවර්ධන රජයට  ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරලීමටත් පළත් සභා පණත සම්මත කර ගැනීමටත් උතුරු නැගෙනහිර ප්‍රදේශ ද්‍රවිඩ ජනතාවගේ සාම්ප්‍රදායික නිජභූමි ලෙසට පිළිගැනුමටත් සිදු විය.1984 වර්ෂයේ සිට 1987 දක්වා මේ කුපිත කිරීම් එකදිගට අඛණ්ඩව සිදු විය. මේ කෝලාහල පිටිපස ඉන්දීය රහස් ඔත්තු සේවා සිටි බව නිසැකය.

          ලංකාව දෙකඩ කිරීම විදේශ දේශපාලනයේ අරමුණයි. ඉන්දියාවද ලංකාව සිය අණසක යටතේ දීර්ඝ කාලයක් තබාගෙන ආර්ථික වශයෙන් සිය වෙළෙඳ පළ අවශ්‍යතාවයද දේශපාලන අවශ්‍යතාවයද සපුරා ගැනීමේ චේතනාවෙන් පසුවෙයි. අවසාන වශයෙන් ලංකාව තුළ සිංහල ජනතාවට තිබෙන අයිතිය නැති කිරීම අරමුණක් වශයෙන් තබා ගෙන තිබේ. එයට හේතුව වසර පන්සීයකටත් එපිට සිට බටහිර බලවතුන්ට එය කළ නොහැකිව තිබීමයි. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත් වීම් අවසන් කිරීම ඉලක්කයක් වශයෙන් පවතී.වත්මන් යහපාලන රජය කුමන්ත්‍රණයක් මගින් පත් කරගන්නා ලද්දේ ඒ සඳහාය. සිය බල වුවමනාවන් පිණිස රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාද කටයුතු කිරීම මීට විශාල අනුබලයකි. පවත්නා ව්‍යවස්ථාව වෙනස් කොට ලංකාව ප්‍රාන්ත කීපයකට කඩා බලය දුර්වල කිරීම එහි පළමු අදියරයි. අනතුරුව සමස්ත ලංකාවම ගිල ගැනීමට පිඹුරු පත් සකස් වනු ඇත.මෙම ව්‍යවස්ථා පෙරහැරට කස පුපුරුවාලීම දැන් ආරම්භ කොට ඇත. උතුරු පළාත් මහ ඇමතිවරයා කරන ප්‍රකාශ මෙන්ම නැගෙනහිර මහ ඇමතිවරාගේ හැසිරීම් ඊට උදාහරණයන්ය. මේ තත්ත්වය තුළ සිංහල ජනතාව යළි කුපිත කිරීම් ඔවුන්ගේ බලාපොරෙත්තුවයි. එමගින් රටේ දෙශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කොට සංශෝධනය කරන ලද ව්‍යවස්ථාව සම්මත කරලීම සිදු වනු ඇත.

        මේ වනතෙක් ඒකාබද්ධ විපක්ෂය නිල වශයෙන් ෆෙඩරල් යෝජනාව පිළිබඳව සිය මතය ප්‍රකාශ කර නොමැත.එසේම ව්‍යවස්ථා වෙනස තුළින් විධායක අගමැති කම ඇතිකිරීම ටද ඔවුන්ගේ සහාය පළවෙමින් පවතී. ජාතික හෙළ උරුමයද මෙම යෝජනාවට එරෙහිව බස්නාහිර පළාත්සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් රජය තුළදී එය සාකච්ඡා කළ බවක් දක්නට නොමැත. මෙම නිශ්ශබ්දතාවයෙන් සිදු වන්නේ ක්‍රමානුකූලව සිංහල ජනතාව ගැටුම් කරා ගෙනයෑමට පසුබිම සකස් කිරීමයි. මෑතකදී මඩවල මදීනා මුස්ලිම් පාසලේ සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර දමා ගැසීමේ සිද්දියෙන් පසු එයට මග විවර වෙමින් ඇත. සැබවින්ම මෙම තත්ත්වය ඉතා ඛේදනීය වෙයි. මෙයින් හිරිහැරයට පත් වන්නේ අහිසංක ජනතාවයි. දේපළ අහිමි වන්නේත් ජීවිත වලින් වන්දි ගෙවන්නේත් ඔවුන්ම වේ. එම නිසා සිංහල ජනතාව ගැටුම් කරා මෙහෙයවීමට තිබෙන ඉඩකඩ වහා ඇවිරිය යුතුය. බෙදුම්වාදය පරාජය කිරීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ කිරීමේ වගකීම ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි. එසේම ජනධිපතිවරයා සහ අගමැතිවරයා සමග මෙම ප්‍රශ්ණයන් සෘජුව සාකච්ඡා කොට විසඳා ගැනීම කළ හැක්කේ ජාතික හෙළ උරුමය වැනි රජයේ පාර්ශවකාර කණ්ඩායමකට පමණි. එසේ නැතිව මාධ්‍ය මගින් මේ ගැටුම් සමාජ කරළියට දමා ගැසීමෙන් සිදුවන විපත් අප දැන්වත් තේරුම් ගත යුතුය.

 

Saturday, May 21, 2016

සිංහල බෞද්ධයාගේ වෙසක් මහ පින්කම්


                                          

 

                තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ උප්පත්තිය බුද්ධත්වය හා පරිනිර්වාණය සිදුවූයේ වෙසක් මස පුර පසලොස්වක දිනයේ බව සිංහල බෞද්ධයන් ගේ විශ්වාසයයි.බුද්ධගයා කෞතුකාගාරයේ මේ තෙමගුල ගැන කළ මූර්තියක් ඇත.සිංහල මාස ක්‍රමයට අනුව වෙසක් මාසය අවුරුද්දේ දෙවනි මාසයයි. අමාන්ත ක්‍රමයට( අමාවක සිට අමාවක දක්වා) නම් වෙසක් මාසය ඇරඹෙන්නේ බක් මස අවසානයේ අමාවක දිනයෙන් පසු එළඹෙන පෑලවිය දිනයෙනි.  පූර්ණිමාන්ත ක්‍රමයට අනුව පසලොස්වක දා සිට එය ඇරඹේ. නමුත් සිංහල බෞද්ධයා අමාන්ත ක්‍රමයටම මාසය නිශ්චය කරති.එම නිසා වර්තමාන ව්‍යවහාර මාස ක්‍රමයට අනුව අප්‍රියෙල් මාසයේදී වෙසක් මාසය ඇරඹෙයි. එම මාසයේ උච්චතම අවස්ථාව වෙසක් පුර පසලොස්වක දිනයයි.

         සිංහල බෞද්ධයන් පසලොස්වක දිනය දෛනික වැඩවලදී අත්හළහ. නැකැත් ගැනීමාදිය නොකර සිටියහ. ඊට හේතුව රවි චන්ද්‍ර සප්තම දෘෂ්ටිය වැටී සිටීමයි. නමුත් පුර පසලොස්වක යෙදුණු ගුරුදිනයත් කිවි දිනයත් යම් යම් වැඩවලදී යොදා ගත්හ. එසේම පසලොස්වක දින සූර්ය උදාවත් සමග දෙහි ගස් සිටුවීමට යොදා ගත්හ.කෙසේ වෙතත් අනාදිමත් කාලයක පටන්ම පස්ලොස්වක දිනය වැඩෙහිදී අත්හලේ එම දිනය තුළ බොහෝ පින්කම් වල යෙදිය යුතු බැවිනි. මෙවැනි පුරුද්දක් ඇති වීමට හේතුව නම් පුරාණ රජ දරුවන් වෙසක් දිනය පූජා උත්සව දිනයක් ලෙසට පැවැත් වීමයි.දුටු ගැමුණු රජතුමා සිය මරණ මඤ්චකයේ දී රුවන්මැලි සෑ රජුන් අභියස වැතිර සිටින අවස්ථාවේදී ථෙරපුත්තාභය මහ තෙරුන්වහන්සේ පින්පොත ගෙන්වා කියන්නට ලියන්නා මෙහෙයවීය.ඒ අසා සිටි රජතුමා තමා විසින් වෙසක් උත්සව විසිහතරක් පැවැත්වූ බව සඳහන් කලේය. වෙහෙර පෙළහැර සතියෙහිද එසේම ප්‍රසාද පූජා සතියෙහිද මහා සෑය ආරම්භ සතියෙහිද ධාතු නිධානයෙහිද සතර දිගින් වැඩියා වූ මහත්වූ උභතෝ මහා සංඝයාට මා විසින් මාහැඟි වූ අවිශේෂ මහා දානය පවත්වන ලද්දේය. සූවිස්සක් මහත් වෙසක් පූජා ද කරවීමි යයි පැවසීය. මහා වංශයේ තිස්දෙවනි පරිච්ඡේදයේ එසේ සඳහන්ය.

         දේවානම් පියතිස්ස මහ රජතුමා දෙවන වරට අභිෂේකයට පත් වූයේ ක්‍රි.පූ. 250-210 වෙසක් පුන් පොහෝ දිනයේදීය. දුටු ගැමුණු රජු මහා ථූපය නොහොත් රුවන් මැලි සෑය කරවීම ආරම්භ කරන ලද්දේ වෙසක් පුන් පොහෝ දින විසා නැකතිනි.ක්‍රි .පූ. 20 සිට ක්‍රි.ව. 9 දක්වා රජකල භාතිකාභය රජු වෙසක් පූජා විසි අටක් පවත්වන ලෙසට නියෝග කර තිබේ. වසභ රජු ද වෙසක් පූජා හතලිස් හතරක් පවත්වා තිබේ. ක්‍රි.ව. 214-236 දක්වා රජකල වෝහාර තිස්ස රජතුමා මහා වෙසක් පින්කම් පවත්වා ලක්දිව සියළු භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පිළිගැන්වූ බව ඉතිහාසයේ සඳහන්ය.ගෝඨභය රජතුමාද වර්ෂයක් පාසා වෙසක් පූජා කරවමින් අවුරුදු පතාම භික්ෂූන් වහන්සේලාට ෂට් චීවර දානය කළ බව පැවසේ. එසේම දෙටු තිස් රජතුමාද එම මග ගනිමින් වෙසක් පූජා පවත්වමින් ෂට් චීවර පූජාව උසස් අන්දමින් කර තිබේ.තෙවන මොග්ගල්ලාන රජතුමාද දෙවන සේන රජුතුමාද මෙලෙසම වෙසක් පූජා මහ ඉහළන් පැවැත්වූ නරපතියන් වෙති. එහිදී දෙවන සේන රජු දුප්පතුන්ට අහාර පාන හා වස්ත්‍ර  දීමෙන් සහ ඔවුන් සමග ගැවසීමෙන් වෙසක් උත්සව කාලය තුළ වැදගත් ආගමික පරිසරයක් ඇති කළ බව සඳහන්ය.පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාද පොලොන්නරු අවදියේදී වෙසක් කෙළි පැවැත්වූ බව සුළු රාජාවලියෙහි සඳහන්ව තිබේ.

      රජවරුන්  ගත් මග ගනිමින් සිටු වරුන් සහ ඇමැත්තන්ද සිය ධනය වෙසක් සමයෙදී දුප්පතුන් වෙනුවෙන්ද මහා සංඝයා වෙනුවෙන්ද කැප කොට පින් රැස් කර ගත් බව පැවසිය යුතුය. වෙසෙසින්ම දන්සැල් පැවැත්වීමේ සිරිත මේ සමගම ආරම්භ වී තිබේ. රජවරුන් වන්දනාමාන කළ දළදා වහන්සේ වැදපුදා ගැනීමට මහජනයාට විවෘත කිරීමත් ඒ යන මග දෙපෙස දන්සැල් පැවැත්වීමත් සිරිතක් වශයෙන් ආරම්භ වී ඇත්තේ අනුරාධපුර යුගයේදී බව පැහැදිලිය. එම සිරිත අනුකරණය කරමින් ගම් වාසී ප්‍රභූවරුන්ද සිය ධන ධාන්‍ය දුප්පතුන් අතර බෙදා හැරිය බවත් දන් සැල් පැවැත්වූ බවත් පිළිගත හැතිය.මේ කාලයේදී පූජනීය ස්ථාන හුණු පිරියම් කිරීමද අලංකාර කිරීම ද කළහ. දීප පූජා යනුවෙන් සඳහන් කර ඇති පහන් පූජා වලින් නගරය බැබළීම රජවරුන් ගේ වාර්ෂික පුරුද්දක් විය. අනුරාධපුරය අතහැර පොලොන්නරු නගරය අග නගරය වූ කල්හි සතුරන් විසින් විනාශ කළ අනුරාධපුරයේ සිද්ධස්ථාන අළුත් වැඩියා කරමින් එහි දීප පූජා පැවැත්වීම සිදු කර ඇත.වෙසක් කූඩු භාවිතය පැතිරෙන්නට ඇත්තේ සයවන පරාක්‍රමබාහු රජදවස දීය. චීනය සමග සෘජු සම්බන්ධතා වර්ධනය වීම නිසා ගිනිකෙළි සංදර්ශනයන් ගෙන් නුවර අලංකාර විය.චීන වෙසක් කූඩු වලින් රජමැදුර ප්‍රදීපාලෝක විය.

         යුරෝපා අක්‍රමණ වලින් පසු සිංහල බෞද්ධයන් සිය වත් පිළිවෙත් සංගා ගත්හ. වෙසෙසින්ම මුහුදු බඩ පළාත් වල සිංහල බෞද්ධයන් ක්‍රිස්තියානිකාර බෞද්ධ ඇදහිලිවන්තයෝ විලස හඳුන්වන ලදහ. ඔවුහු කතෝලික සිරිත් අභාෂයෙන් බැතිගී කියමින් පහන් කූඩු තනිමින් සිය නිවෙස් අලකාර කර ගත්හ. නමුත් පල්ලියේදී සිය විවාහ චාරිත්‍ර ඉටු කර ගත්හ. මේ සංස්කෘතික විපර්යාසය නිසා අද දක්වා පැවැත්වෙන වෙසක් උත්සවයට විවිධ අංගයන් එක් රැස් වී තිබෙන  බව පෙන්නුම් කළ හැකිය.තොරණ සිංහළ කලාශිල්ප අතර උසස් අංගයකි. ගෙඩි තොරණ ඒ අතර විශේෂිතය. ඒ ආශ්‍රයෙන් විදුලි ආලෝක කරන ලද තොරණ් සාදා ඇති බව පෙනේ. තොරණ් බැලීමට කොළඹ නගරයට ඇදී එන සිංහල බෞද්ධයන් ගේ නිරාමිස ප්‍රීතිය වඩවනු රිසියෙන් ධනවත්හු එක් රැස් වී මේ තොරණ් ඉඳි කළහ. සාමාන්‍ය ජනතාව මුදල් සම්මාදම කොට දන්සැල් පැවැත්වූහ. වෙසක් සමයේදී බොහෝ හෝටල් ආපන ශාලා වසා ඇති බැවින් මේ දන්සැල් සේවය ගැමියාට බොහෝ සේ ප්‍රයෝජනවත් විය.

        භාග්‍යවතුන් වහන්සේ හැර අන්කිසිවෙක් වාසනා සහිත කෙලෙසුන් නැසීමට සමත් නෙවේ. එවැනි අසම සම ශ්‍රේෂ්ට උත්තමයෙකුගේ උප්පත්තියත් බුද්ධත්වය ලැබීමත් පිරිනිවීමත් සිදුවූ වෙසක් පුන් පොහොය නිමිත්තෙන් පවත්වන වෙසක් උත්සවය පෙර රජුන් කලා සේම රජ්‍ය උත්සවයක් බවට පත් විය යුත්තේමය. මහත් භාග්‍ය ඇති බවද පස්මරුන් බිඳි හෙයින්ද රාගාදී කෙලෙස් නැති කළ හෙයින්ද උසස් ලොව්තුරු ගුණ භජනය කළ හෙයින්ද තුන් භවයෙහිම ගමන් කිරීම නැති කළ හෙයින්ද සියළු ධර්මයන් නාම රූප වශයෙන් දේශනා කළ හෙයින්ද බුදු රාජා ණන් වහන්සේ බගවත් වන සේක. උන්වහන්සේ ගේ එම ගුණයන් සිහිපත් කරමින් මෙවර වෙසක් උත්සවය සැමරිම අපගේ යුතුකමයි. ඒ මන්ද බලගතු දේශගණ විපත් සතුරු විපත් ආදියෙන් රට දැය සමය අනාරක්ෂිත වී ඇති හෙයින්ය.බුද්ධ ශාසනය අනතුරේ ඇති හෙයින්ය.

Thursday, May 5, 2016

මලයනාඩුවට මුල්ගල් තැබෙයි


                                 
     

 

                යහපාලන රජයේ කැබිනට්ටුවේ තිබෙන විශේෂිත අමාත්‍යංශයක් ලෙසට උඩරට නව  ගම්මාන සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය හඳුන්වා දිය හැකිය.එහි අරමුණ නම් උඩරට කඳුකරයේ වතු ආශ්‍රිතව ජීවත්වන දෙමල වතු කම්කරුවන් උදෙසා නිවාස යෝජනා ක්‍රම ඇතුලත් ගම්මාන පිහිටුවීමයි. ඉඩම් ලබාදීමත් නිවාස සකස් කිරීමත් යහපත්ය. නමුත් 1951 උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම් වාර්තාව ප්‍රකාරව ඉංග්‍රීසීන් ගේ වතු වගාව නිසා ඉඩම් අහිමි කරවනු ලැබූ සිංහල ජනතාව වෙනුවෙන්  මීට කලින් නිසි පියවර ගත යුතුව තිබුණි.නිදහසින් පසුව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වූ අදහස් මත පිහිටුවනු ලැබූ මේ කොමිසම මගින් ඉදිරිපත් කරන ලද වාර්තාව පරිපූර්ණ වාර්තාවක් ලෙස විද්වතුන් සලකයි. එහි සභාපතිවරයා වූයේ එන්.ඒ. වීරසූරිය මහතාය. ලේකම් වරයා වී.තෙන්නකෝන් මහතාය. ටී.බී.පානබොක්කේ එච්.ආර්.යූ. ප්‍රේමචන්ද්‍ර සහ සී.ඊ.ආටිගල මන්ත්‍රීවරය එහි සෙසු සමාජිකයන් වූහ. 1951 පෙබරවාරි 28 දින නිකුත් වූ මෙම වාර්තාව තුළින් උඩරට ජනතාව මුහුණ දෙන ගැටළු රාශියක්ම හඳුනාගෙන තිබුණි. එයින් ප්‍රධානතම ගැටළුව ලෙසට මෙම කොමිසම නිර්දේශ කොට  ඉදිරිපත් කර තිබුණේ  ඉඩම් නොමැතිකමයි. මධ්‍යම පළාතේ සහ ඌව පළාතේ වතුවලට ආන්තිකව පවතින පැරණි සිංහල ගම්මානයන් තුළ මෙම ප්‍රශ්ණය වඩාත් උග්‍රව පවතින බව ප්‍රකාශ විය.එහිදී ඔවුන්ගේ පළමුවන නිර්දේශය වූයේ රජය සතු ඉඩම් ලබාදීමය. දෙවැන්න පවත්නා වතු ඉඩම්වලින් කොටසක් ලබා දීමය. එසේම අළුතින් නිර්මාණය කරන ජනපද ඉඩම් ලබාදීම සේම ඉඩම් භුක්ති ක්‍රමයේ සංශෝධනයක් ඇතිකිරීමය.

         1951 සිට වත්මන් 2106 වසර දක්වා ගෙවී ගිය කාලය සලකා බලන කල්හි මේ මූලික නිර්දේශයන් ඉටුව ඇත්නම් ඒ අල්ප වශයෙනි.වසර හැටපහක් තිස්සේ විශාල වශයෙන් සමාජ දේශපාලන මෙන්ම සංස්කෘතික පරිවර්තනයන් සිදුව තිබේ. එහිදී කොමිසම නිර්දේශ කළ සෙසු කාරණා වන යටිතල පහසුකම් ඇති කිරීම යම් තරමකින් සිදුවී තිබේ. නිදහස් අධ්‍යාපනයේ අරුණළු වැටීම නිසා මේ කඳුකරයෙන් බිහිකරන ලද උපාධිධාරීන් බොහෝය.ගාමිණී දිසානායක මහතා මහවැලි සංවර්ධන අධිකාරිය පිහිටුවාලීමෙන් පසු උඩරට පසු පරම්පරා රාශියක් එම ප්‍රදේශ වලින් බැහැර කොට යෝජිත මහවැලි පෙදෙස් වලට යැවූහ. නමුත් මධ්‍යම ඌව මෙන්ම සපරගමුව පළාත් වල ආදී උඩරැටියන්ගේ දරුමුණුපුරන් හට තමන්ගේ භූමිපුත්‍ර අයිතිය ලබාදීමට කටයුතු නොකළහ. චන්ද්‍රිකා රජය මගින් උඩරට සංවර්ධන අධිකාරිය පිහිටුවා ලීමෙන් පසුව මේ සම්බන්ධයෙන් යම් යෝජනා ඉදිරිපත් වුවද බිම් තලයේ ක්‍රියාත්මක නොවූයේ එය දේශපාලන ග්‍රහණයට අසුවීම නිසාය. ඉංග්‍රීසින් විසින් ලංකාවට ආනයනය කරන ලද මෙම වතු කම්කරුවන් වර්තමානය වන විට සිංහල හා දෙමළ දෙශපාලඥයන්ගේ ඉත්තන් බවට පත්ව තිබේ. සිය චන්ද පදනම රැක ගැනීම සඳහා මේ පිරිස භාවිතා කිරීම සිදු වෙයි.ගාමිණී දිසානායක මහතා උඩරටින් ඉවත් කරන ලද සිංහලයන් වෙනුවට එම හිස්තැන පිරවීමට සමත්වූයේ මෙම වතු කම්කරුවන්ය. උඩරට නව ගම්මාන අමාත්‍යංශයක් පිහිටුවීමට වත්මන් රජය කටයුතු සිදු කලේ මේ වතු කම්කරුවන්ට සලකා චන්දය ලබා ගැනීමටයි.මෙය ආරම්භ කරන ලද්දේ 2015 අගෝස්තු මසදීය. නාවලපිටිය බණ්ඩාරවෙල රත්නපුරය වැනි පෙදෙස් වල  වතු කම්කරුවන්ට සින්නක්කර ඔප්පු ලබාදීම නිසා එක්සත් ජාතික පක්ෂයේ චන්ද පදනම පුළුල් විය. 

         හදබිම අධිකාරියේ අධ්‍යක්ෂකවරයාව සිටි හිටපු සිවිල් නිළධාරියෙකු වූ උඩරට ජ්‍යෙෂ්ට පුරවැසි සංගමයේ සභාපති සුදත් ගුණසේකර මහතා කාලයක් තිස්සේ මේ ප්‍රශ්ණය උදෙසා දේශපාලන තලයේ කටයුතු කළ කෘතහස්ත සිවිල් නිළධාරියෙකි. මේ සම්බන්ධව ඔහුගේ අදහස මෙසේය.    1848 සිංහලේ විමුක්ති අරගලයෙන් පසුව එවකට යටත් විජිත භාර ලේකම් වරයාව සිටි එමර්සන් ටෙනන්ට් මහතා 1848 අගෝස්තු මස 14 දින ටොරින්ටන් ආණ්ඩුකාරතුමාට ලියා යවා ඇත්තේ උඩරට ජනතාව එම කැරලි ඇතිවූ ප්‍රදේශ වලින් ඉවත්කර ඔවුන්ගේ ඉඩම්වල ඉන්දීය කම්කරුවන් පදිංචිකරවිය යුතුය කියාය. මෙම ලිපිය 1850 ලංකාව පිළිබඳ තෙවනි වාර්තාවේ පිටු අංක 258 හි  අඩංගුව තිබේ.සැබවින්ම 1949 දී උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පිහිටවූයේ අසාධාරණයට ලක්වූ උඩරට සිංහල ජනතාවට සහන සැලසීමේ අරමුණිනි. උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම් වාර්තාව පිට වුනේ 1951 දී. 1815 ඉදන් උඩරට ජනතාව මුහුණ දුන් නොයෙකුත් ජීවන කම්කටොලු වලට විසඳුම් යෝජනා ඇතුලත් මේ වාර්තාව මගින් කියැවුනේ අගමැතිවරයා යටතේ විශේෂ දෙපාර්තමේන්තුවක් පිහිටුවා උඩරට ජනතාවට සහන සලසා දිය යුතු බවයි. නමුත් 1951 සිට 1957 දක්වාම එය ඉටු වූයේ නෑ.1954 නේරු කොතලාවල ගිවිසුම අනුව වතු කම්කරුවන් සිංහල ඉගෙන ගෙන සිංහල අයටඑක් විය යතු යයි කොන්දේසියක් දැම්මා.එහෙත් එයද ඉටු වූයේ නැහැ.


        සිරිමාවෝ මැතිනිය 1962 දී පමණ උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පිහිටුවා එයට කොමසාරිස්වරයෙකු පත් කලා . නමුත් අරමුණු කරා ළගා වන්ට බැරි වුණා. පසුව1970 දශකයෙන් පසුව වරින්වර මෙම දෙපාර්තමේන්තුව ඇමතිවරු යටතේ පාලන වුණා. නිළධාරීන් පත් වුණා. ගාමිණි දිසානායක මහතාගේ කලයේදී එම දෙපාර්තමේන්තුව පවරා ගෙන පාරවල් සෙල්ලම් පිට්ටනි මෙන්ම විදුලි බලය ලබා දීමත් කලා මිසක් උඩරට ජනතාවට ඉඩම් ලබා දුන්නේ නැහැ. වික්ටෝරියා රන්දෙණිගල ආදී ජලාශ වලට යටවුණු පාරම්පරික සිංහල ගම්මාන වෙනුවට මහවැලියෙන් ඉඩම් ලබා දුන්න පමණයි.  තොන්ඩමන් මහතාගේ බලය උපරිම අන්දමින් තිබුණු බැවින් දෙමළ චන්ද වලට කෑදර කමින් සිංහලයන්ට නොසැලකූ බව කිව යුතුයි.1987 දී ජේ.ආර්.ජයවර්ධන මහතා මුද්දරයක් උඩ අත්සන් ගෙන දිව්රුම් පෙත්සමක්  ලබාගෙන මේ වතු කම්කරුවන්ට පුරවැසි කම දුන්නා. චන්ද්‍රිකා මැතිණිය බලයට පත්වූ පසු එවකට මා කටයුතු කළ අග්‍රාමාත්‍ය ලේකම් වරයා ලෙස ඉල්ලීමක් කළා ඉතා ඉක්මනින් උඩරට සංවර්ධන අධිකාරියක් පිහිටුවන ලෙසට. පසුව කැබිනට් පත්‍රිකාවක් මගින් එය පිහිටවනු ලැබුවා.එහෙත් මෙකී අරමුණු ඉටු කරන්නට බැරිවුණා. මා හදබිම අධිකාරියේ අධ්‍යක්ෂකවරයා ලෙසට පත්වූ කාල වකාවානුවේදී මේ අරමුණ වලින් කීපයක්ම ඉෂ්ට සිද්ධ කර දෙන්නට හැකියාව ලැබුණා.2014 දී හිටපු රජය උඩරට ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව විසිරුවා හැරියා. දැන් උඩරට නව කඳුකර ගම්මාන අමාත්‍යංශයක් පිහිටුවන්නේ මේවා කිසිත් නොදැන අහසින් වැටුණ වගේ නේද.පසුගිය දිනක ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ.සිං. උඩරට වතුකරයට ගොස් මේ මලයනාඩුවට මුල් ගල් තැබුවා. ඒකට බෙරපදය ගහන්නේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන්.පාර්ලිමේන්තුවේ සිංහල මන්ත්‍රී වරුන් කී දෙනෙක් සිටිනවාද.ඔවුන් ගෙන් කී දෙනෙකුට මේ ගැටළුව තේරෙනවාද යන්න ප්‍රශ්ණයක්.


         1960 මැතිවරණයේදී නුවරඑළිය චන්ද කොට්ඨාසයෙන් පත්වූ ටී.විලියම් ප්‍රනාන්දු මහතා  උඩරට ජනතාව මුහුණ දුන් මෙම ප්‍රශ්ණයට සාර්ථකව පිළියම් යෙදූ පුද්ගලයෙකි. නුවර එළිය ආශ්‍රිතව ශාන්තිපුර ගාමිණි පුර ඇතුළු ගම්මාන රාශියක් ඇති කිරීමට අත්තිවාරම් දැමූ ඔහු සිංහල දෙමළ සමගිය වෙනුවෙන් දූරදර්ශී ලෙසට කටයුතු කල තැනැත්තෙකු ලෙසින්ද ප්‍රකටය. අද ඔහු ජීවතුන් අතර නැතද ඔහුගේ පුත් රංජිත් ප්‍රනාන්දු මහතා සිය පියාගේ විශිෂ්ට කාර්යභාරය පිළිබඳ දක්වා සිටියේ මෙසේය.
මගේ පියා වතු වල කාර්මික වැඩට පැමිණි බාස් කෙනෙක්. ඔහු පහතරටින් පැමිණියත් උඩරට පවතින ඉඩම් හිඟය දුටුවා. ඒ අනුව ඔහු සේවය කළ ඔලිපන්ට් වත්තට යාබද ව තිබූ කිකිළියාමාන කඳුකරයෙන් ඉඩම් ලබාගෙන ගම්මානයක් සෑදීමේ අභිප්‍රායෙන් කටයුතුකළද වතු සුද්දන් සහ එවකට සිටි ඉඩම් ඇමතිවරුන් නිළධාරීන් එයට කැමති වූනේ නැහැ. නමුත් දැඩි කැපවීමෙන් කටයුතු කිරීමෙන් පසු බණ්ඩාරනායක මහතාගේ ආශිර්වාද ඇතිව පළමු ගම්මානය ලෙස ශාන්ති පුරය 1959 වසරේදී ආරම්භ කරනු ලැබුවා. උඩරට කඳුකරයේ උසම ස්ථානයේ පිහිටා තිබෙන බැවින් සියළුම රට වැසියන්ට ශාන්තිය පිණිස මෙම ගම්මානය ආරම්භ කිරීම ඔහුගේ ප්‍රාර්ථනාව විය.මෙම නාමය බිහිකලේ එවකට අශෝකාරාමයේ වැඩසිටි පූජ්‍ය ඌරුගමුවේ සේනානන්ද නායක හිමියන්. අනතුරුව සිරිමා බණ්ඩාරනායක රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔහු ගාමිණි පුර අභයපුර වැනි ගම්මාන දහතුනක් නිර්මාණය කලේ මහත් කැපවීමෙන්. මේ ගම්මාන වල සිංහල දෙමළ භේදයක් තිබුණේ නැහැ.සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් ළමුන් එකතු කර පස්වග ළමුන් නමින් ළමා සමාජයක් ආරම්භ කොට අනාගතයේදී එක්ව විසීමේ ගුණාංග පෙන්වා දුන්නා. නමුත් ඔහු රටේ ජන අනුපාතය අනුව පමණයි අන්‍ය ජාතිකයන් පදිංචි කලේ. පසු කාලයේදී එක්සත් ජාතික පක්ෂ රජය බලයට පත්වූ පසු සිරිමා ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවට යන්නට සිටි දෙමළ වතු කම්කරුවන්ද මෙහි නවතා ගෙන මගේ පියාගේ වැඩ සටහන් කඩාකප්පල් කර දැමූ බව කිව යුතුයි.වර්තමානයේ පිහිටුවා තිබෙන උඩරට නව කඳුකර ගම්මාන අමාත්‍යංශයේ වැඩ පිළිවෙල මගින් යළිත් දෙමල ජාතිවාදය ඇති වීමට මග පාදනවා.උඩරට ඉඩම් අහිමිව සිටින සිංහල ජනතාවට මෙයින් සෙතක් නම් වන්නේ නැහැ.