මොග්ගල්ලාන රජ දවස ඉදි කලා යයි
සැලකෙන පදවිය මහා වාරි ව්‍යාපාරය විශාල කරවා මහා සාගරයක් බවට පත් කරන ලද්දේ මහා
පරාක්‍රමබාහු රජ දවසදී යයි පැරණියන් ගේ කියමනකි.මේ මහා සාගරය නිසා කොකල කලපුව(
කෝකිලායි ) දක්වා මහා භූමියක් අස්වද්දන ලද බවත් මුලතිව් දිශාව දක්වා ජලය රැගෙන ගිය
බවත් පවසන කතා තවමත් දනන්ගේ තුඩ තුඩ පවතී.මේ වාරි ඉතිහාසය සොයා රජරට පීරූ සුදු
නිළධාරීන් අතර ලන්දේසි ජාතික බ්‍රෝහියර් මහතා ඉදිරියෙන්ම සිටී. මිනුම්පතිව සිට
තමන්ගේ රාකාරියට අමතරව ලංකාවේ වාරි ක්‍රමය ගැන අගනා ග්‍රන්ථ කීපයක් ඔහු අතින් රචනා
විය. මේ වාරි දැනුම සොයා නොසන්සිදෙන පිපාසයෙන් රජරට ගම් දනව් වල හක්කොලන් කළ ඔහු
අපගේ උදාර සංස්කෘතික උරුමය පාලකයන් හට පෙන්නා දුන් බව පැහැදිලිය. 1900 දී ආරම්භ
කරන ලද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනුගමනය කරන ලද්දේ මේ විද්වතුන්ගේ උපදෙස් මත බව නිසැකය.
එහෙත් මහවැලි ව්‍යාපාරය පිණිස මහවැලි මහසැලසුම සකස්කරන කල්හි අතීත දැක්ම සහ දැනුම
නොසලකා ක්‍රියාකරන්නට පාලකයන්ට සිදු විය. හුදෙක් පිටරටින් ගෙන එන සල්ලි කන්දරාවට
යටවී විදෙස් උපදේශකයන්ගේ සැලසුම් වලට පාලකයන් නැමුණි.
අතීත සිංහල රජදරුවන් අතින් ගංගා සෘජුවම
හරස් කෙරුණේ නැත. එයට හේතුව ගංගා මගින් පිටාර ගලන ජලයෙන් සාරවත් නිම්නයන් බිහිව
තිබීමයි. එය ගොවිතැනට යොදා ගැනීම පැරණියන්ගේ උපක්‍රමය විය. පදවිය වැව සඳහා ජලය ගෙන
එන්නේ මොර ඔයෙන් සහ මුගුණු ඔයෙනි. මේ ඔයවල් කලකදී සිඳී යන බැවින් ඒවායේ ජලය ගබඩා
කොට රැස් කරගෙන ගොවිතැන සඳහා යොදා ගත යුතු විය. අක්කර අඩි ගණනකට විහිදී යන පදවියට
පැරණියන් යෙදුවේ මහා සාගරය යන නමයි. මහසෙන් සමය වන විට පදවියට ඉහළින් තවත් වැවක සේයාවක්
දක්නට තිබුණි. එය අද හඳුන්වන්නේ වාහල්කඩ යනුවෙනි. මුගුණු ඔයත් මොර ඔයත් කලකදී හිඳි
යනබව කලින් කීවෙමි. මේ නිසා පදවියෙන් ගෙන යන ජලය උතුරු දිගට රැගෙන යන්නට බාධා ඇති
විය. මේ නිසා මුගුණු ඔයට අතිරේක ජලය එක්
රැස් වන වවුනියා දිශාවෙන් ජලය ගෙන පදවියට ඉහළින් ගබඩා වැවක් තැනීමේ අදහසක්
පැරණියන්ට මතු විය. අප මේ සොයන්නට යන්නේ ඒ වැව සහ වාරි මාර්ගයයි.
කැබිතිගොල්ලෑව වවුනියා මාර්ගය පසු කර
මුගුණු ඔයට ඇදී එන ජල ප්‍රවාහයකි. මේ ජල ප්‍රවාහය යකාවැවට ආසන්නයේදී මුගුණු ඔයට
එකතු වේ. මේ ජල බැඳුම් සන්ධීය මත වාර්ෂිකව මහා ජල කඳක් පිටාර ගලන බව පැරණියන්
දුටුවහ. යම් කිසි විදියකින් මුගුණු ඔය එහිදී හරස් කලා නම් හාත්පස සමස්ත නිම්න භූමියම
යට වෙයි. එවිට කලාගම් වෙහෙර වැනි සිද්ධස්ථාන වල වැඩ සිටින මහා සංඝ රත්නයට බාධා පැමිණෙයි.එදා කලාගම් වෙහෙර(හල්මිල්ල
වැටිය ) සිට යකා වැව නිම්නයට යන මහා මාර්ගය වැටී තිබුණේ මුගුණු ඔය හරහාය. තවමත්
එහි නටබුන් වී ගිය ගල් පාළමක්ද තිබේ.එසේම ගොවීන්ට සිය වාසගම් අත හැර යන්නට සිදු
වෙයි. එම නිසා වඩා සුදුසු මාර්ගය ඔවුහු තොරා ගත්හ. එනම් මුගුණු ඔයට වැටෙන ජල ප්‍රවාහය
කුඩා බාධකයක් යොදා හරස් කිරීමයි. මෙය ඉඳි කරන ලද ගල් වැටියක් නොවීය. ඇළ මගේ තිබූ
ස්වභාවික වක්කලමක් ළඟ ගල් වැටියකට බාධකයක් යොදා ගැනීම උපක්‍රමය විය. මෙහිදී වැසි
කාලයට උතුරා පිටාර යන මුගුණු ඔය ජලයද අතු ගංගාවේ ජලයද එකට එක් වීම සිදු වෙයි.
එයින් උස්සාලන ජල ප්‍රවාහය යකා වැව දෙසට තල්ලු කිරීම පැරණියන් දුටු සරළතම වාරි වික්‍රමය
විය.දැන් අප සිටින්නේ ඒ පැරණි යකා වැව ගම්මානයේ නටබුන් වී ගිය වාරි ඇළ සමීපයේය.
පසුගිය යුද්ධ කලයෙන් පසු මෙහි සිවිල් ආරක්ෂක ගොවිපළකි. එය මැදින් මේ පැරණි ඇළේ නටබුන්
විහිදී තිබේ. එම ජලය මගින් යකා වැව පුරවා උතුරු දෙසට ජලය තල්ලු කිරිම මෙහිදී සිදුව තිබේ.
යකා වැවට එම නාමය සැදී තිබෙන්නේ යක්ෂ සේනාධිපතියෙකු සහ
හේනක පැල් රැකි ගොවියෙකු මහ රෑ තරඟයට කවි සීපද කීම නිසාවෙනි. එහි පෙර නම අප නොදනී.
එහෙත් යකා වැව ඉස්මත්තේ වැවේ ගිල්ම
ආසන්නයේ උස්ගලකන්ද යනුවෙන් සැලකෙන වඩා උස්
නොවූ මහ ගල් කුලකි. එය තරණය කළ කල්හි යකා වැවත් එය නිසා අස්වද්දන කුඹුරු යායත්
ඔයත් දර්ශනය කළ හැකිය. උස්ගල කන්ද මුදුනේ ආකාශ චෛත්‍යයකි. අනුරාධපුර යුගයට ද ප්‍රථම
මෙහි තපස් වරුන් වැඩ සිටි කටාරම් කෙටූ ගල්ලෙන්ය. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ආභාශයෙන්
පණ කැවුණු ශාසනික පුනරුදය නිසා උස්ගල කන්දේ ගල් ලෙන් වල රහතුන් වහන්සේලාට ලැගුම්
කුටි ඉඳි විය. ශමිය ගොපක ගමික උගහ බරිය උපශක තිශය ලෙනේ ශගශ යනුවෙන් තිබෙන එක් ලෙන් ලිපියක ස්වාමි ගොපල්ලෙකු ග්‍රාමීය නායකයෙකු මෙන්ම උපාසකයෙකු ද
උපසිකාවකගේද අනුග්‍රහයෙන් ලෙන් පූජාව කළ බව සඳහන්ය.වෙලු නම් පුත්‍රයා සහ ශමදහනම්
පුද්ගලයාගේ දියණීය විසින් පිදූ ලෙනක් ද මෙහි තිබේ.මෙහිදී මගේ මතකය නැගෙන්නේ යකා
වැව අරභයා මෙහි තිබෙන ජන ප්‍රවාදයයි. ගොපළු යකා ගේ වේශයෙන් පැමිණ කවි සීපද කීවේ මේ
ගමට අරක් ගෙන සිටින ශමිය ගොපක නම් පුද්ගලයාද යන්නයි.
පොළොන්නරු යුගයේදී මහ පැරකුම් රජු
පදවිය විශාල කරවන විට යකා වැව ගම් වාසීන්ට අගනා දායාදයක් ලැබුණි. ඒ යකා වැවේ
කුඹුරු යල මහ දෙකටම පාස්සන්නට හැකි ජල දහරාවකි.නමුත් යකා වැවේ පැන්නුමෙන් නැවතත්
ජලය මුගුණු ඔයට යාවෙන්නට නොදී එය ඵලක් ගත හැකි වන ලෙසට යොදා ගත යුතුව තිබුණි. එහි
අරුත නම් පදවියට අවශ්‍ය අතිරේක ජලය ලබා ගැනීමයි. යකා වැවේ සිට පදවිය වැවට
කිලොමීටර් තිස්පහක පමණ දුරක් වෙයි. එම නිසා යකා වැවේ උතුරන ජලය සෘජු ඇළක් ඔස්සේ තව
තවත් උතුරුට තල්ලු කොට ඇත. ඒ අනුව යකා වැවෙන් පිටවන ජලය සෘජු යෝධ ඇළක් ඔස්සේ උතුරට
ඇදී යයි.එම ජලය මෙනේරි වැව එසේම මානෑව හල්මිල්ලපොතාන වැනි කුඩා වැව් ද පෝෂණය
කරමින් තව තවත් ඉහළට ඇදී යයි. හරියටම පදවිය වැවේ ගිල්මට ඉහළින් පැරණියන් නිසි ස්ථානයක්
තෝරා ගෙන ගබඩා වැවක් සාදන්නට තීරණය කර ඇත. මෙය අද හඳුන්වන්නේ නාම්බ කඩ යනුවෙනි.
විශාල වෑකන්දක් සහිත සොරොව්වක් සිහිතව තිබෙන
නාම්බ කඩට මේ නම සෑදී තිබෙන්නේ ගව නාම්බෙක් නිරන්තරයෙන් ප්‍රදර්ශණය වන
නිසාය. සැබවින්ම යාකා වැවේ ගොපළු යකා අරක් ගෙන තිබෙන්නේද ගවයන්ටයි. ගවයන්ට අධිපති
ගොපළු යකා නාම්බකඩ මහ වැවටද අරක්ගෙන නොසිටන්නේද. දැන් අපි මේ නාම්බකඩ ආසන්නයේ සිටිමු.
කාලයක් තිස්සේ වන ගතව තිබෙන මේ විශාල වැවට පැරණියන් මති සාගරයයි( මධ්‍ය සාගරය ) කී
බව බ්‍රෝහියර් මහතා සිය ග්‍රන්ථයේ දක්වා තිබේ. අද අලි වලසුන් ගහන මේ භූමියට ඇතුල්
වන විට දැනෙන කුතුහලය විසින් තනිකම ඈත්කරයි. බිය පහ කරයි. නාම්බ කඩ සොරොව්වේ සිට
බලන කල්හි එහි කඩවල මැනවින් පෙනේ.ඝන වනයට වැසී තිබෙන නමුත් සොරොව්ව ද හොඳින්
දර්ශනය කළ හැකිය. කෙසේ වෙතත් පදවිය වැව ප්‍රතිසංස්කරණය කරන කල්හි මේ වැව ගැන
සැලකිල්ලක් දක්වා නොමැත. ඒ වෙනුවට පදිවියට හිඟ වන ජලය සපයා ගැනීමට වාහල්කඩට පහළින්
යාන් ඔය ජලාශය යයි නම් කර ඇති නව මහ වැවක් සෑදීමට දැන් කටයුතු කරමින් තිබේ. එහි
සාධාරණත්වය ගැන දැන් මම අනාවැකි පළ කළ නොහැකිය. නමුත් අතීත රජ දරුවන් සශ්‍රීක ගොවි
බම් වසා මහ වැව් සෑදුවේ නැත. මහා ජල ප්‍රවාහයන්ට ගම් බිම් යටකලේ නැත.අතිතයෙන්
පාඩම් ඉගෙන නොගැනීමෙන් සිදුව තිබෙන්නේ රටපොහොරට හඬන්නටය. බහුජාතික සමාගම් වල
වහලුන් වන්නටයි.