පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, February 27, 2015

උඩරට ගිවිසුම අදටත් වලංගුයි


                                                   

 


                මීට වසර දෙසීයකට පමණ ප්‍රථම 1815 මාර්තු මස 02 දින සවස 4.00 ට පමණ ඓතිහාසික සෙංකඩගල මහනුවර මගුල්මඩුව අභියස විශේෂ සිදුවීමක් විය. ඒ නම් අස්ගිරි මහා විහාරයේ අනුනායක  වාරියපොල සුමංගල ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රීසීන් ගේ කතිර කොඩිය( Union Jack Flag ) බිම දමා සිංහ කොඩිය එසවීමයි. සිදු වූ දෙයින් ඉංග්‍රීසීන් විශ්මයට පත් වූහ.  එංගලන්තයේ තුන්වන ජෝර්ජ් මහාරජානන් ගේ නියෝජිත ආණ්ඩුකාර තැන්පත් රොබට් බ්‍රවුන්රිග් අත්සන් කරන්නට සකස් කරන ලද ගිවිසුම අතැතිව මගුල් මඩුවේ සූදානම්ව සිටි අතර එයට එක්ව සිටීමට නියමිත වූ සිංහල රදළයන් එකොලොස්දෙනද නොසන්සුන් වූහ. මේ වන විටත් ලංකාවේ කඳුරටින් දුර බැහැර ප්‍රදේශයක බුලත්සිංහල ප්‍රදේශයේ තවත් කඳු ඉස්මත්තක සිංහ කොඩිය එසැවීමට සූදානමක් වූහ. එහි අර්ථය නම් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු යොදාගන්නා ලද නැකතකට එය ඔසවා ඉංග්‍රීසීන් ගේ අධිරාජ්‍ය තැත පරාජයට පත්කිරීමට අවශ්‍ය ශක්තිය ගැනීමයි.නමුත් ඉංග්‍රීසි හේවායා විසින් කඩිමුඩියේ ඉංග්‍රීසි කොඩිය එසැවීම නිසා වාරියපොළ සුමංගල ස්වාමීන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන්නට සැලසුම් කරන ලද  ඒ අප්‍රකට උත්සාහය ඵල රහිත විය.පසුව දළදා වහන්සේ සඟවාගෙන වනගත වූයේ එම උත්සාහයට වෙනත් ශක්තියක් ලබාදීමේ අදිටනිනි. එහෙත් ජාතියේ අවාසනාවට එයද අසාර්ථක විය. අවසානයේදී යාපනේ අඳුරු හිරගෙදරක ලගින්නට උන්වහන්සේට සිදු විය.

       වසර දහස් ගණනාවක් තිස්සේ සිය ස්වාධීනත්වය ආරක්ෂා කර ගෙන සිටි සිංහලයන් ජාතියක් වශයෙන් සංවිධිත භාවයෙන් පිරිහීමකට ලක් වූයේ ඇයි දැයි යන්න ප්‍රහේලිකාවකි. ඔවුහු ඉතිහාසයේ යුග ගණනාවක් තිස්සේ විවිධ සතුරු ආක්‍රමණයන් හමුවේ අභීතව නැගී සිටිමින් දේශයේ ස්වාධීනත්වය  වෙනුවෙන් දිවි දුන්හ. එහෙත් ඒ සිදුවීම් වඩාත් හොඳින් නිරීක්ෂණය කරන කල්හි වැටහී යන්නේ ඒ කිසිවක් සංවිධිතව ගොඩ නැගූවක් නොවන බවයි. වෙසෙසින්ම වසර පන්සීයක් ආපස්සට හැරී විමසන කල්හි මේ බැව් පසක් වෙයි.ඔවුහු සැම විටම ජාතියට ආරෝවක් පැමිණි කල්හි නැගී සිටිති. ආසාධාරණයක් වූ සැණින් ඇඟ රුහිරු කකියවමින් නිර්භීතව ඉදිරියටම එති. එහිදී සතුරාගේ ඊතලයකට හෝ බයිනෙත්තු උණ්ඩයකට හෝ පපුව විවර කරන්නට මැළි නොවෙති. කිසි දිනකත් සතුරන් පස්සේ හඹා ගොස්  පසුපස්සෙන් පහර දී ඝාතනය කිරීමට තරම් සිංහලයා නිවට නොවීයයි කියති. ඉංග්‍රීසීන්ට සේවය කළ මොනරවිල කැප්පෙටිපොළ සිය ප්‍රතිමල්ලවයන් පරාජයට පත් කිරීමට ගිය ගමනේදී පළමු වරට ජාතියේ හෘද සාක්ෂිය අවබෝධ කරගත්තේය. එහිදී ඔහු ආපස්සට හැරී සිය අත තිබූ ආයුධ සියල්ල යළිත් ඉංග්‍රීසීන්ට භාර දෙන්නටයයි කියා හරවා යැවූ බව කියති. මේ වෑයම් කිසිවක් උපක්‍රමික නැත. කඳු සිඛර අස්සේ සැංගී සිට මහා කළු ගල් පෙරලා කළ ගරිල්ලා සටනක් ගැන කියන කල්හි එය උපක්‍රමික සංග්‍රාමයක් යැයි උදන් ඇණීමට හැකිද.නැත. සිංහල ජාතිය උපක්‍රමිකව වැඩ කලේ නම් 1815 දී සිය ස්වාධීනත්වය අහිමි කරගන්නේ නැත.

         අපගේ අවසාන නරපතියා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ වඩුගයෙකි. ඔහු සිය ඒකාධිපති බලයෙන් රදළ ආධිපත්‍ය විනාශ කලේය. ඉංග්‍රීසීන් ගේ සටකපට රාජ දූතයා වූ ජෝන් ඩොයිලි ගැමියෙකු ලෙස හැසිරෙමින් කටේ පුරවා ගත්  බුලත්විට ඇතිව කළ සූක්ෂම මෙහෙයුම තුළ අවසාන අවුරුදු කීපය තුළ රජු බේබද්දෙකු විය. රජ මාළිගයේ සැම තැනකම හිස් මත්වතුර බෝතල් වලින් පිරීයන්නට විය. රදළවරු එකින් එකා දංගෙඩියට යද්දී. මල්වත්තේ පරණාතල රතනපාල අනුනායක තෙරණුවන් ද දංගෙඩියට යද්දී රජු ඒ ඝාතනයන් දෙස  මහත් අභිරුචියෙන් බලාසිටියේ යයි කියති. මේ කුමන්ත්‍රණයේ එක් පැත්තක බල අරගලයක් විය.ඉංග්‍රීසීන් සමග ගනුදෙනු කොට රහස් ගිවිසුම් ගසා රජුට ද්‍රොහී වීම නිසා පිළමතලව්වේ මහ අධිකාරම රජු අණින් දං ගෙඩියට දැක්කවූ පසු එම තැන් ගත් මොල්ලිගොඩ මහ නිළමේ ගේ සටකපට උපායෙන් ඇහැලේපොළ ද අනතුරට වැටිණ.ඇහැලේපොළ පවුලට මරු කැඳවීමට කුමන්ත්‍රණය කළ මූලිකයා වූයේ මොල්ලිගොඩයි. රජු ඇහැලේපොළගෙන් බිඳවීමට නොයෙකුත් ගතු කී ඔහු රජු පත්තිරිප්පුවේ සිටින විට කුමාරිහාමි සහ දරුවන් රජ හමු වට කැඳවීය. එය රජ අණින් කරන ලද්දක් නොවීය. ඔවුන් දැකීමට රජු නොකැමති බව දැන්වූ විට මෙවැනි දුෂ්ටයන් ජීවතුන් අතර සිටින්ට ඉඩ නොහල යුතු යයි රජුට ඇසෙන්නට කීහ. හෙඳටම සුරා මතින් සිටි රජු ඒ හරි යයි කියා ආපසු මාළිගයටම ගිය බව කියති. ඇහැලේපොළගේ බලඋපායන් කෙරෙහි  නොරිස්සූ මොල්ලිගොඩ රජු නැති අතරක් බලා කුමාරහාමි ඇතුළු පවුල වධකස්ථානයට කැඳවා දරුවන් කෙටවීමට අණ කළ බව ප්‍රකටය. රජු මෙය දැනගත් වහාම මොල්ලිගොඩ කැඳවා තරවටු කළේය. එක් මොල්ලියක් ඇති කුළු ගොනෙකු ආම්බාන් කිරීමත් අමාරු කොට මොල්ලිගොඩක් ඇති කුළු හරකෙකු කෙසේ අවනත කරන්නටදැයි ඉන්පසු තමන් අසල සිටි තමන්ගේ දුක්ගන්නා නිළමේට පවසා ඇත.      

        ඇහැලේ පොළ කොළඹට පැනගොස් ඉංග්‍රීසීන් සමග එකතු වී වඩුග රජා පැන්නවීමට හමුදා සමග බලන කන්ද තරණය කරන කල්හි මොල්ලිගොඩ නිළමේද සිය හමුදාව කැටුව එයට මුහුණ දීමට පැමිණෙමින් සිටියේය. එහිදී ඇහැලේපොළ විසින් මොල්ලිගොඩට හසුන් පතක් එවන ලද්දේය. එහි මෙසේ සඳහන් විය.

ගුණවත් මොල්ලිගොඩ සොහොයුරු තුමනි සොඳ -බලවත් වරද කලෙ මට වඩිග රජ තද

තෙරපත් කරලන්ට ඉංග්‍රීසි හට මෙසඳ -කොහොමත් ඉඩ දෙනු මැනවි නොකරමින්    යුද

එයට මොල්ලිගොඩ නිලමේ විසින් එවන ලද පිළතුරු පත මෙසේ විය.

බලවත් සොහොයුරනි ඇහැලේපොළර යුතු- ඉඩ හැර මම ඉඳිමිඔබ අදහසට සිතූ

මෙ විතර කල් පැවති අප ජාතියෙ දිමුතු - පුවතර නිදහස ඉවරයි මෙයින්       මතු

     රදළයන් රජු සහ ඉංග්‍රීසීන් අතර වූ න්‍යෂ්ටියේ බල අරගලය මේ අයුරින් නිමාවට පත් වෙමින් තිබුණි.රදළයන්ට එරෙහි වඩුග දෙමළ පීඩනය අවසන් කර ඉංග්‍රීසීන් සෙවණේ රදළ බලය යළි නැගිට්ටවා ගැනීම මෙහි අරමුණ විය. වඩා හෙඳ යහපාලනයක් ඉංග්‍රීසින් වෙතින් ඉටු වේවියැයි මේ රදළයන් සිතන්නට ඇත. ඒ අනුව 1815 මාර්තු මස 02 දින රාජාධිරාජසිංහයන් විසින් තැනූ ඓතිහාසික මගුල්මඩුවේදී රොබට්බ්‍රවුන්රිග් සහ උඩරට නිලමේ වරු දසදෙනෙකු මේ ගිවිසුමට අත්සන් ගැබූහ. නුවර කලාවිය දිසාවේ වන ගලගොඩ එහි සිටියත් එය අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා දිනපතාම ගලගොඩ වලව්ට  පැමිණ එය අත්සන් කිරීමට බල කලේය. එහෙත් ඔහු විසින් එය නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන ලද බව පුංචිබණ්ඩාර දොලපිහිල්ල මහතා ගේ ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලය නම් ග්‍රන්ථයේ සඳහන් වෙයි.නමුත් උඩරට ගිවිසුමේ මුද්‍රිත පිටපතේ ගලගොඩගේ අත්සන සඳහන්ව ඇත. එය හොර අත්සනක් ද යන සැකය අප තුළ මතුවේ.

             1815 උඩරට ගිවිසුමේ 02  03 සහ05 වන වගන්ති ඉතා වැදගත්ය. 02 වන වගන්තිය මෙසේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො රජ දරුවන්ගෙ ප්‍රධාන තවද මහත් ශීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවකින ඒ රාජඟයට ඇත්තා වූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රජඟයෙන් බැහැර කරන්ඩ යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන නොහොත් ආවහ විවාහයෙන් පැවත එන අනෙක ප්‍රකාර වූ නෑදෑයින්ද හැම කල්ම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙදුනා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තා වූ සියළුම අයිතිවාසිකම් නැති කරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ.(..and all claim and title of the Malabar race to the Dominion of the Kandyan Provinces is abolished and extinguished )

       මෙම වගන්තිය අනුව සිංහලේ රටවල් ආණ්ඩු කිරීමට දෙමල වර්ගයාට ඇති අයිතිය ( ඉංග්‍රීසිපිටපතේ දක්වා තිබෙන්නේ මාලබාර්) යනුවෙනි) අවසන් කළ බව ඉංග්‍රීසි ආණ්ඩුව පිළිගෙන තිබේ. එසේම එම පුද්ගලයන් උදෙසා බලපැවැත්වූ මලබාර් නීතියද අහෝසි වී ඉංග්‍රීසි ගොවැර්ණමේන්තුවේ නීතිය බල පැවැත්වෙන්ඩ යෙදෙන්නේයැයිද ගිවිස ගෙන තිබේ.එහෙත් 1818 ජාතික විමුක්ති අරගලයෙන් පසුව ඉංග්‍රීසීන් මේ වගන්තිවල බලය ඒපාක්ෂිකව වෙනස් කර සියළුම බලතල රදලයන් ගේ බැහැර කෙට ඔවුන් සන්තක කර ගත් බව පැහැදිලිය.

          1815 වසරේ ජූනි මස කෙළඹදී පැවැත්වීමට නියමිත වූ තුන්වන ජෝර්ජ් මහ රජතුමාගේ පස් පණස් ජන්ම දින සැමරුම් උත්සවයට ඇහැලේපොළ සහ මොල්ලිගොඩ යන නිලමේ වරුන්ද කණිෂ්ට පිලමතලව්වේට ද කණිෂ්ට මොල්ලිගොඩ නිලමේට ද ආරාධන කරනු ලැබිණ. මේ වන විටත් පිළමතලව්වේ ගෙන් හිස් වූ මහ අදිකාරම් ධූරයට මොල්ලගොඩ පත් කර තිබුණි. ඒ පතාග 500 ක වැටුප් දීමනා සහිතවයි. ( රන් පවුම් 37 සිලිං 10 )  ඉංග්‍රීසීන් මේ නිලමේ වරුන්ට නවාතැන් ගැනීමට සුදු රෙදි වලින් සරසන ලද නිවාස සකස් කරන ලදහ.1815 ජූනි 05 ගැසට් පත්‍රයේ මේ නිලමේ වරුන්ගේ පැමිණීම ගැන විශේෂයෙන් සඳහන් කර තිබේ. එහිදී හැත්තෑ හත් වන වියේ සිටි ඇහැලේපොළ සුදු අසකු අරා පැමිණ ඇති අතර ඉංග්‍රීසි යුධ භටයන්ගේ ආචාර ගාලු මුවදොර පිටියේදී පරීක්ෂා කලේය. එහදී ආචාර වෙඩිමුර පවත්වන කල්හි නොකැමත්තෙන් මෙන් අසු පිටින් බැස්ස බවද  සටහන් තබා තිබේ. මේ ගෞරව බුහුමාන ඉතා ටික කලකට විය. 1818 න් පසු ඇහැලේ පොළ මොල්ලිගොඩ පිළමතලව්වේ ඇතුළ රදළයන් සියල්ල මුරිසියට පිටිවහල් කරන ලද්දේය.     

     ශ්‍රී වික්‍රම රාජ සිංහ සතුව තිබූ සිංහ කොඩිය වසර දහස් ගණනාවක් තිස්සේ සිංහල රාජ පරම්පරාවට අයත්ව තිබූ රාජකීය අභිමානය ප්‍රකට කරවන ලද සංකේතයක් බඳු විය. බෝමුරේ අප්පුරාල ආරච්චිලාගේ ගෙදරදී සිංහලේ රජු අල්ලා ගන්නා ලද්දේ එක්නැලිගොඩ ප්‍රමුඛ රදළවරුන් විසිනි.එහිදී රජුටත් බිසෝ වරුන්ටත් හිංසා කරන ලද පැවසේ. රජු පිටිවහල් කළ අතර සිංහ කොඩියත් රාජකීය කකුධ භාණ්ඩත් එංගලන්තයට යැවිණ. මේ භාණඩයන් දුටු ඉංග්‍රීසීන් සිංහල ජාතියේ අභිමානය කුමක්දැයි වටහා ගත් බව නිසැකය.

             1948 දී ලංකාවට නිදහස ලබා දෙනකල්හි ද මේ අභිමානවත් කොඩිය ඔසවා ඇත. එහෙත් නිදහස සමරන්නන්ට මගුල්මඩුව නම්  මතක් වූයේ නැත. ලක් රජය ඉංග්‍රීසින්ට භාරදෙන ලද්දේ මගුල්මඩුවේදී අත්සන් කරන ද ගිවිසුමක් මගින් බව මතකයට නතා ගත නොහැකි විය.ඒ වෙනුවට වෙස්ටිමිනිස්ටර් පාර්ලිමේන්තුවත් ටොප්හැට් එකත් ටේල්කොටයත් පමණක් ඩී.එස්. සේනානායක මහතා සතු විය.1950 දී පමණ ඔහු විසින් ජාතික කොඩිය නිර්මාණය කිරීම පිණිස නිශ්ශංක විජේරත්න මහතාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කරන ලද්දේය. 1951 දී මෙම කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කරන ලදී. සැබවින්ම සිංහ කොඩිය විකෘති කිරීමට සහ ලංකාව ජාතීන් වශයෙන් බෙදා වෙන් කිරීමට එදා තීරණය කරන ලදහ.  සිංහ කොඩියේ ඉදිරිපසින් සිංහයා හිර කර පටි දෙකක් එල්ලා බෙදුම්වාදය ආරම්භ කරන ලද්දේ මෙලෙසය.

      එහෙත් උඩරට ගිවිසුම අනුව දෙමල වර්ගයාට මේ ශ්‍රී ලංකා ද්වීපය තුළ යලිත් ආණ්ඩු කිරීමට බලයක් ලැබෙන්නේ නැත. එසේම බුද්ධශාසනය හා දේවාගම කඩ කළ නොහැකිව පැවැත්වීම අනිවාර්ය වේ.එම ගිවිසුම අපගේ පසු කාලීන නීති පොතට ද ඇතුළත් වී තිබේ. එහෙයින් මෙම ගිවිසුම් ප්‍රකාරව ඇතිකර ගත් එකඟතාවයන් අදටත් වලංගුය.1951 සිට දැන් වසර හැටහතරක් ගෙවී ගොස් තිබේ. එදා සම්මත කරන ලද බෙදුම්වාදය මේවන විට කෙතරම් දුරට වර්ධනය ව ඇත්දැයි කල්පනා කළ යුතුය. ජාතීන් වශයෙන් බෙදුණු රට පක්ෂ වශයෙන් බෙදුණු සිංහලයා පාගා දමමින් දෙමළ මුස්ලිම් ජන වර්ග බලයට පත් කරමින් සිටී. අප නිදහස සමරන්නේ මෙලෙස බෙදී වෙන්වුණු රටක සිටය. වඩා යුක්ති ගරුක සමාජයක් සොයමින් වල්මත්ව සිටින සිංහල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදයද දැන් සුඛෝපභෝගී භාණ්ඩයක් බවට පත් ව තිබේ. ඒවා පරිහරණය කරන්නේ අතලොස්සක් වූ බමුණු කුලයක් විසිනි. නීතිය අනුව ගියද නොගියද පක්ෂ වලට බෙදී සිටින සිංහලයා මෙකී බමුණු කුලය අනුමත කරති. ඔවුහු අනුගමනය කරති.1815 වර්ෂයෙන් පසු වසර දෙසීයක් ඉකුත්ව ගිය තැන බලලෝභී සිංහලයන් විසින් නැවතත් රට පාවා දී තිබේ.  යහපාලනය සකස් කළ හැකි යයි කියන විජාතික බලවේගයන්ට මෙලෙස රට පාවා දී ඇත. එදා ඉංග්‍රීසීන් විසින් මල්වතු සහ අස්ගිරි මහනායක තෙරවරුන්ටද මෙවැනි යහපාලනයක් ගැන මහ ලොකු කතා කීබව ඉතිහාසයේ ඇත. එහෙත් වර්ෂ කීපයක් ඉකුත්වන්නට පළමු ඔවුහු ගිවිසුම කඩකොට සිංහල සිරිත් විරිත් උල්ලංඝණය කරමින් හැසිරෙන්ට වන. අද සිදු වන්නේද එලෙස නොවේද. එසේ නම් සිංහලයන් ගේ උපක්‍රමික භාවයේ විශාල අඩුපාඩුවක් තිබෙන බව අප තේරුම් ගත යුතුය.සිංහලයා පාර්ලිමේන්තුව තුළ ගාල් කර භේද භින්න කරන ලද බව ප්‍රකාශ කළ යුතුය.එසේ නම් නිදහස පවතින්නේ පාර්ලිමේන්තුව තුළවත් යටකී බමුණු කුලයේ මග පෙන්වීමෙන් රැස්කරගන්නා පක්ෂ දේශපාලනය තුළත් නොවේ. සිංහල රට පාවා දීමට ගිවිසුම් අත්සන් කළ මගුල් මඩුව පදනම්ව ඇරඹෙන නව ජාතික විමුක්ති අරගලයක් මගින් යැයි අප තේරුම් ගත යුතුය.

Tuesday, February 17, 2015

කටුපොල් වැවීමට දිරි දීම තව දුරටත් කල යුතුද


                                  

 


              ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නගා සිටුවීමේ නව වැඩපිලිවෙලක් ආරම්භ කරන බවද ඒ යටතේ කටුපොල් තවත් හෙක්ටයාර් 50000ක් වගා කිරීම තමගේ අරමුණ බවද 2013 වර්ෂයේදී පොල් පර්යේෂණායතන අධ්‍යක්ෂක වරයා පවසා තිබුණි. ඒ සඳහා ඔයිල් ෆාම් බීජ ලක්ෂ අටක් ආනයනය කර දෙන මෙන් සමාගම් හයක් ඉල්ලා ඇතැයි තව දුරටත් ඔහු දක්වා තිබුණි.අප දන්නා පරිදි මෑතකදී ඉන්දියාවෙන් කොප්පරා මෙට්රික් ටොන් විසිපන්දහසක් ගෙන්වීමට සිදු වූයේය. එයට හේතුවී තිබුණේ දිසිඳි පොල් අපනයන තත්ත්වයන් වැඩි වර්ධනය වීමත් පසුගිය කාලයේ දී ඇති වූ නියඟයෙන් කොප්පරා කිරීමට පොල් ප්‍රමාණය අඩුවීමත්ය.මේ වන විට පොල් ගෙඩියක මිළ රුපියල් හැත්තෑව දක්වා වැඩවී ඇත. එසේ නම් කළ යුතු වන්නේ පොල් මිළ අඩු කිරීම පිණස අවශය ක්‍රියාමාර්ග ගැනීමයි. ඒ වෙනුවට තවදුරටත් කටුපොල් වගාව ප්‍රවර්ධනයට රජය දිරි දෙන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්ණයකි.

          රටක් වශයෙන් ආහාර අවශ්‍යතාව සඳහා පොල් වැඩිමනත්ව පරිභෝජනය කරන රටක් වශයෙන් ප්‍රශ්ණයකට මුහුණ දෙන විට පොල් ගැන වගකිව යුතු ආයතන එක්ව අඩුපාඩුසොයා බලා ප්‍රතිකර්ම යෙදවීම කල යුතු වෙයි. පොල් සංවර්ධන අධිකාරිය හා පොල් පර්යේෂණායතනය මේ සඳහා මැදිහත්ව කටයුතුකිරිම අත්‍යවශ්‍ය වෙයි. පොල් පර්යේෂණායතනය පිහිටවනු ලැබූයේ 1971  අංක 46 දරණ පනත අනුවයි.(An Act To provide for The Development And Regulation Of The Coconut  industry And The Utilization Of Land For Coconut Plantations.) එහි කාර්යභාරය විස්තර කර දී තිබෙන්නේ මෙසේය.

1/ පොල් වගා කිරීම සම්බන්ධයෙන් සිදු කරන විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයවීම සහ ඒවා වැඩි දියුණු කිරීම.

2/ පර්යේෂණ මධ්‍යස්ථාන පර්යේෂණ ආයතන සහ තවාන් ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම.

3/ පොල් නිෂ්පාදන සැකසුම් සහ උපයෝගීතාවය ආශ්‍රිත විද්‍යත්මක පර්යේෂණ දියත් කිරීම සහ වැඩි දියුණු කිරීම.

4/ පොල් නිෂ්පාදන සැකසුම්  ආශ්‍රිත නියාමක පර්යේෂණ ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීමත් පොල් සැකසුම් පර්යේෂණ දුෂ්කරතා හඳුන්වාදීම.

5/ පොල් කර්මාන්තය ආශ්‍රිත උපදේශන හා ව්‍යප්ති නිළධාරීන් පුහුණු කිරීම සහ මග පෙන්වීම.පොල් කර්මාන්තයට අදාල සියලුම තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් උපදේශනය හා මග පෙන්වීම ලබා දීම.

    මේ පණතේ කිසිම තැනක කටුපොල් වගාව ගැන සඳහනක් කර නොමැත. පොල් පර්යේෂණායතනයට හා පොල් පර්යේෂණ මණ්ඩලයට අවසර ඇත්තේ පොල් පිළිබඳව පර්යේෂණ කිරීම සහ වැඩි දියුණු කිරීම බව අදාල පණතේ පැහැදිලිව විස්තර කර දී තිබේ. නමුත් 2010 ජූනි මස 23 දින පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේ දී පොල් පර්යේෂණායතනය තුළ කටුපොල් පර්යේෂණ අංශයක් ඇති කිරීමට අවසර ලැබී ඇත. සැබවින්ම අදාල පණතට අනුව මෙය නීති විරෝධි ක්‍රියාවකි.

            පොල් යනු කප්රුකකි. එම වෘක්ෂයෙන් ලැබෙන සම්පත් කිසිවක් ඒ හා සමාන වෙනත් ගසකින් නොලැබේ. ලංකාවේ පොල් වගාවේ වැඩි දියුණ කිරීම් පිණිස පොල් පර්යේෂනායතනය විසින් පසුගිය කාලවකවානුවේ විශේෂ කාර්ය භාරයක් ඉටු කර ඇති බව පැවසිය යුතුය. වෙසෙසින්ම ලංකාවේ පොල් වගා ක්ෂේත්‍රෙය් ව්‍යාප්තිය සඳහාද නඩත්තු කිරීම් දියුණු කිරීම උදෙසාද යම්කිසි මෙහෙවරක් ඉටු කර තිබේ. නමුත් මෙම මෙහෙවර සම්පූර්ණත්වයට පත් කිරීමට පසුගිය කාලයේ දී සමත්ව ඇත්දැයි  සොයා බැලිය යුත්තේ ඔවුන් විසින් පසුගිය වර්ෂවල පළ කරන ලද  ප්‍රගති වාර්තා කියවීමෙන් නොවේ. සැබවින්ම පොල් වලින් රට ස්වයංපෝෂිතව තිබේ යන්න සොයා බැලීමෙනි.එසේම පොල් ගසට වැලඳෙන  ලෙඩ රෝග සමනයට ඔවුන් දැක්වූ දක්ෂතාවයන්ද මෙහිදී ගෙන හැර දැක්විය හැකිය. නමුත් දකුණු පළාතේ හටගත් කොළ මැලවීමේ රෝගයට(ෆයිටොප්ලැස්මා) මේ ආයතනයට කිසිම විසඳුමක් නැත. ඔවුන් ගේ එකම නිර්දේශය පොල් ගස් කපා දැමීම පමණි. මේ රෝගය මුලින්ම හටගත් කේරළයේ පවා මේ ගස් නොකපති. එහෙත් ලංකාවේ ඒවා කපන්නට නියම කරති. ඒ මතුද නොව වසර  දහයක් පමණ ඉකුත්ව තරුණ වයසේ තිබෙන නිරෝගී පොල් ගස් කපන්නටද මේ යටතේ අවසර ලැබී තිබේ. අලුත්ගම මීගම නමුණුකුල වැවිලි සමාගමට අයත් හෙක්ටයාර් 07 ක් මෙලෙස කපා ඉවත් කර ඇත්තේ වගාව තරුණ වයසේදීමය. දැන් එහි කටුපොල් සිටුවා තිබේ. නමුත් වැලිගම ප්‍රදේශයේ සිටින නව නිපයුම් කරුවකු මෙම රෝගයට සාර්ථක විසඳුමක් දී ඇතිබව පසුගියදා පැවති සහසක් නිමැවුම් ප්‍රදර්ශනයේ දී දකින්නට ලැබුණි.

         රතු කුරුමිණි රෝගය පිළිබඳවද පොල් පර්යේෂණායතනයට විසඳුමක් නැත. ඒ සඳහා මැතකදී මොනක්‍රොටපස් කෘමි නාශකය ආනයනය කර පොල් සංවර්ධන මණ්ඩලයට ලබා දී ඇත්තේ පොල් පර්යේෂන ආයතනය මැදිහත් වීමෙනි.ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ළමුන් 23 දෙනෙකුට මරු කැඳවූ  මෙම කෘෂි රසායනය ලංකාවට ගෙන්වීම තහනම් කර ඇත. නමුත් යම් පර්යේෂණායතනයක කටයුත්තකට පමණක් සීමිත අවසරයක් ඇත. එහෙත් මෙම විස රසායනිකය ගෙන්වා පොල් සංවර්ධන මණ්ඩලයට නිදහස් කර හැරීමෙන් විශාල වරදක් කර ඇත. එවිට මේ අහිතකර කෘෂි රසායනයෙන් නිකුත් වන විස නිදහසේ පරිසරයට මුදා හැරෙන බැවිනි.  

     ලංකාවේ ජනතාව පරිභෝජනය කරන ආහාරමය තෙල් වර්ග අතරින්  පොල්තෙල විශිෂ්ඨතම ස්ථානයක පවතී. අතීතයේ දි මී තෙල් දුන් තෙල් හා තල තෙල් ආදිය භාවිත කළද පොල් වගාව ප්‍රචලිත වීමත් සමගම පොල් තෙල් පළමු ස්ථානයට පත්ව ඇත. එය ආහාරමය තෙලක් පමණක් නොව විශිෂ්ඨ ගණයේ ඖෂධීය තෙල් වර්ගයකි. පිලිස්සුම් තෙල් සඳහා එය අගනේය. නමුත් දිසිඳි පොල් අපනයනය  වැඩිවීමත් සමගම ලංකාවේ තෙල් නිෂ්පාදනය වරින් වර අඩු වැඩි වේ. දැනට පොල් ගෙඩි දශලක්ෂ 2800 සිට 3000 ක් පමණ ප්‍රමාණයක් වාර්ෂිකව ලැබේ යයි ගණන් බලා තිබේ. ගෙවතු වල වවා තිබෙන ප්‍රමාණය ගණනය කළහොත් තවත් ලක්ෂයක් පමණ එම ගණනට එකතු විය හැකිය. නමුත් නියඟය හා ඉඩම් කට්ටි වෙන්දෙසි කරුවන් ගේ ගස් කපා දැමීම නිසා පොල් වගාව ක්‍රමයෙන් අඩුවී යාමේ තර්ජනයට ලක්ව තිබේ. මෙයට කල යුතු පළමු ප්‍රතිකර්මය ගෙවතු මට්ටමින් පොල් වගාව වැඩි වැඩියෙන් ප්‍රචලිත කිරීමයි. මේ සඳහා පොල් සංවර්ධන මණ්ඩලය දායකත්වයක් දුන්නද අලුතෙන් බිහිවන පොල් ප්‍රභේද ඒ ඒ පළාත්වලට නොගැලපීයාම නිසා ඉතා ඉක්මනින් ඵලදාව අඩුවන සැටිද රෝග වලට පාත්‍ර වන සැටි ද නිරීක්ෂණයකර ඇත්තෙමු. මේ නිසා ඉල්ලුමට සරිලන ලෙසට පොල්ගෙඩි හා කොප්පරා නිෂ්පාදනය ඇති වන්නේ නැත. මෙයට විකල්පය කටුපොල් වැවීමයයි පොල් පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකවරයා නිරන්තරයෙන් කරන ප්‍රකාශයකි.  ඔහු පොල් පර්රේයේෂණායතනයේ අධ්‍යක්ෂක වරයා වුවද පොල් සහ කටුපොල් අතර තිබෙන ගුණාත්මක වෙනස හඳුනන්නෙකු නොවේ. මේ කටුපොල් ව්‍යපෘතියට ආසියානු සංවර්ධන බැංකුව ආධාර කරන අතර මේ ආධාර මුදලට ගිජු වූ සමාගම් රබර් වගාව හා පොල් වගාව ගලවා දමමින් කටුපොල් වගා කිරීමේ ක්‍රමය ව්‍යාප්ත කිරීමට පටන් ගෙන ඇත. මේ නිසාද ලංකාවේ පොල් ප්‍රමාණය අඩු වෙමින් ඇතැයි කිවහොත් එය මුසාවක් නොවේ.

                   පොල් සංවර්ධන රාජ්‍ය ක්ෆෂ්ත්‍රය දැන් නැවතත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට එක්ව ඇත. මෙතෙක් පොල් ඇමතිවරුන්ද පත්වී සිටියහ. අවසානයේ සිටි ඇමතිවරයාගේ අමාත්‍යකාර්ය භාරය වූයේ වැලිකන්දේ තමන්ගේ පුද්ගලික වත්තේ පොල් වැවීමට පොල් ආයතන වල සහයෝගය ලබා ගැනීම පමණකි. කටුපොල්  විස්මිත භෝගයක් යයි මවා පෙන්වා නීති විරෝධීව පොල් පර්යේෂණායතනය තුළ කටුපොල් පර්යේෂණ අංශයක් ආරම්භ කර තිබෙන්නේ මේ ඇමතිවරුන් නොමග යැවීමෙන් බව පෙනේ. එහිදී පොල් සංවර්ධනය යන තේමාව යට ගසමින් කටුපොල් ඉස්මතු කර ඇත. පොල් පර්යේෂණායතනය විසින් පළ කරන ලද  පොල් තාක්ෂණික  පත්‍රිකාවේ 2010 දෙවනි නිකුතුවේ කටුපොල්පර්යේෂන අංශය ආරම්භ කරමින් ලිපියක් පළ කර ඇත. එහිදී කටුපොල් පර්යේෂණ ස්ථානභාර නිළධාරියා ලෙසට ආචාර්ය ජයන්ත ගුණතිලක මහතා පවසා ඇත්තේ මෙවැනි අදහසකි.ලංකාවට එළවලු තෙල් මෙට්රික් ටොන් 160000 ක් වාර්ෂික ව අපනයන කරයි.  නමුත් පොල් තෙල් නිෂ්පාදනය මෙට්රික් ටොන් 79000 කි. මේ නිසා වාර්ෂිකව විශාල විදේශ විනිමයක් යෙදවීමට සිදුව ඇත.මෙම අඩුව නොහොත් එළවුලු තෙල් අවශ්‍යතාවය සඳහා කටුපොල් වගාව ලංකාව තුළ සිදු කිරීමෙන් මේ විදේශ විනිමය අපට නවත්වා ගත හැකිය..

     එළවුලු තෙල් වැඩි ප්‍රතිශතයක් ලංකාවට ආනයනය කරන්නේ හෝටල් සඳහාය. නමුත් දේශීය පරිභෝජනයේ දී පොල් තෙලට එහා තෙලක් නැත. හෝටල් සඳහා වුවද මීතෙල් හා තල්තෙල් වැනි දේශීය ශාකමය තෙල් ආදේශක යොදවා ගනිමින් එළවුලු තෙල් ආනයනය ක්‍රමානුකූලව නතර කරගැනීමේ හැකියාවක් ද ඇත. පොල්පර්යේෂණායතන අධ්‍යක්ෂවරයා පවසන පරිදි හෙක්ටයාර් පණස්දහසක් කටුපොල් වවනවාට වඩා තමන්ගේ ආයතනයේ අරමුණු වලට කැපවී පොල් හෙක්ටයාර් පණස් දහසක් වැවීම බෙහෙවින්ම හිතකාරීය. ඒ සඳහා ලංකාව වටා තිබෙන මුහුදුබඩ තීරය යොදවා ගත හැකිය. එදා දෙවනි පැරකුම් රජ දවස දී කලුතර සිට යොදුනක් පළල පොල් වගාවක් බෙන්තර දක්වා කර තිබූ බවද මෙහිදී සිහිපත් කළ මනාය.වර්ෂයකට ගසකින් පොල් ගෙඩි 1200 ක් පමණ කඩා ගත හැකි වන අතර ඉහත කී ඉලක්කය සපුරා ගතහොත් ලංකාවට අවශ්‍ය පොල් ගෙඩි ප්‍රමාණය හිඟයකින් තොරව සපයා ගත හැකිය. ඇරත් දැනටමත් ගෙවතු වල වගා කරන සහ පරිභෝජනය කරන එමෙන්ම ඒවා කොප්පරා කොට තෙල් හිඳින ප්‍රමාණය ගැන නිවරදි සංඛ්‍යා ලේඛන නැත. ගෘහස්ත තෙල් හිඳීමේ ක්‍රියාවලියට අද වැඩි ඉල්ලුමක් පවතින්නේ පිටරටින් ගෙන්වන ආර්.බී.ඩී. නම් වූ කටුපොල් තෙල් පොල් තෙලට කලවම් කරමින් වෙලෙන්දන් ජාවාරම් කරන නිසාය. එම නිසා ග්‍රාමීය වශයෙන් තෙල් නිෂ්පාදනයද වැඩි කිරීමට අප අවධානය යොමු කළ යුතුය. මේ තත්ත්වය මෙසේ වුවද පොල් වෙනුවට කටුපොල් ආදේශ කිරීමට හා ලංකාවේ පොල් වගාව ක්‍රමයෙන් තුනී කිරීමටද වෙසෙසින්ම දකුණු පළාතෙන් පොල් ඉවත් කිරීමට යම් කුමන්ත්‍රණයක් තිබෙන බව පෙන්වා දිය යුතුය. සමාගම් කීපයක අවශ්‍යතාවයද මෙයට දායක කර ගෙන තිබේ. පොල් පර්යේෂණායතනය තුළ නීති විරෝධිව කටුපොල් අංශයක් ආරම්භ වන්නේ මේ කුමන්ත්‍රණය දියත් කිරීමට අවශ්‍ය දීර්ඝකාලින වැඩ පිලිවෙලකට පදනම් වශයෙන් දැයි සැකයක් උපදී..

                                                                     
 

 

Monday, February 9, 2015

යහපාලනය තුළ හට ගැනෙන ස්වයං පාලන පිළිකාව


                             


 

                    විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියාදා ඉන්දියාවේ කරන ලද සංචාරයක් අතරතුරදී ජන වාර්ගික ප්‍රශ්ණයට විසඳුමක් වශයෙන් 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ. එසේම විදෙස් මාධ්‍යවේදීන් අමතා ඇති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙන්නේ යුද අපරාධ සම්බන්ධව  ජාත්‍යන්තරයට පිරමහින පරීක්ෂණයක් කරන බවයි. මේ ප්‍රකාශ දෙකින්ම කියැවෙන්නේ කුමක්ද. ලංකා දේශපාලය තුළ පසුගිය අඩ සියවස තුළ ඇතිවූ බෙදුම්වාදී ප්‍රවණාතාවයන් මර්දනය කරලීම පිනිස ගත් නිවට ක්‍රියාමාර්ගයන්හි ස්වභාවයයි. පළාත්සභා ක්‍රමය ඇතුළත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම තුළ ප්‍රකාශ වන්නේ උතුරු හා නැගෙනහිර සිටින ජනතාවට ස්වයං පාලනය කර ගෙන යෑමට ඉඩ දිය යුතු  බවයි. එයට ඉඩම් බලතල පොලිස් බලතල ආදිය ද ඇතුළත් විය යුතු බව පිළිගෙන තිබේ. උතුරට හා නැගෙනහිරට පමණක් මේ ක්‍රමය ක්‍රියාත්මක කල නොහැකි බැවින් එය සමස්ත පළාත් නවයටම ආදේශ කර තිබේ. පළාත්සභා ක්‍රමය ප්‍රභාකරන් ඇතුළුකොටි සංවිධානය පිළි නොගත්හ. ඒ වෙනුවට පූර්ණ සවයං පාලනයක් සඳහා තව දුරටත් ත්‍රස්ත ක්‍රියා කරමින් රජයට එරෙහිව ක්‍රියා කළහ. මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ ආරක්ෂකහමුදා විසින් මේ ත්‍රස්තවාදී සංවිධානය යුධබිමේදී පරාජයට පත් කිරීමයි. මේ ක්‍රියාවලිය වැරදි බවත් ඒ මගින් ද්‍රවිඩ ජනතාවගේ මානව අයිතීන් කඩ කළ බවත් දැන් ජගත් සංවිධාන හඬ නගයි. එහෙත් රට පුරා ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු වන විට ඔවුහු කොටි සංවිධානයට එරෙහිව ප්‍රකාශ නිකුත් කළේ නැත.

        පසුගිය ජනාධිපතිවරණයේ දී  දෙමළජනතාවගෙන් විශාල පිරිසක් මහින්ද රජපක්ෂ මහතාට එරෙහිව චන්දය භාවිතා කළහ. ඒ මහින්ද ගේ රජය විසින් උතුරේ දෙමළ ජනතාව අරභයා විශාල සංවර්ධන වැඩ කොටසක් ඉටුකළ පසුබිමක් යටතේය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නැවත  පදංචි කිරීම ඇතුළු සිවිල් වැඩ කටයුතු අති සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක කළ අතර  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් හෝ වෙනත් දෙපාර්තමේන්තුවකින් ඉටු නොවූ කාර්යක්ෂම සේවයක් සැලසූ බව අවිවාදිතය. උතුරු වැසියන් ගේ ඉඩම් සමාගම් වලට පවරා දීම ඇතැම් තැන්වල දේශපාලකයන්ගේ ගෝල බාලයන්ගේ සංචාරක හෝටල් ඉඳිකිරීම ආදී ක්‍රියා සිදු වුණද යුධ හමුදාවට පූර්ණ වශයෙන් චෝදනා කිරීම සුදුසු නොවේ. ඒ මන්ද දේශපාලකයන්ගේ නියොගයන්ට අවනතව ක්‍රියාකිරීම ඔවුන්ගේ වගකීම වූ නිසයි.කෙසේ වෙතත් උතුරේ  ජීවත් වන දෙමළ ජනතාව සිතන පතන ආකාරය තවම වෙනස් වී නොමැත. ඔවුන්ගේ නිජ බිම තුළ ශ්‍රී ලංකා යුධ හමුදාව බලයෙන්ම රැඳී සිටින්නේ යැයි කියති. මේ දේමළ ඊළාම් වාදීන් දශකපහක් පමණ තිස්සේ කැවූ ජාතිවාදී අදහසකි. මෙය සත්‍යයක් බව දෙමළ දේශපාලකයන් පිළිගනිති. දකුණේ සිටින දෙමළ ප්‍රජාවද පිළිගනිති. එසේම සිංහල දේශපාලකයන්ද පිළිගනිති. මේ නිසා මහින්ද රාජපක්ෂ පමණක් නොව පසුගිය කාලයේ රට ආණ්ඩු කළ දේශපාලකයන් සියල්ලම උතුරේ හා නැගෙනහිර සිංහලයන්ගේ අයිතිවාසිකිම් පිළිබඳ ප්‍රශ්ණය නොතකා හරින ලදහ.

        දහතුන් වන සියවසේ සිට පැවති ආර්ය චක්‍රවර්තී පාලනය මගින් ද්‍රවිඩ රාජ්‍යයක් උතුරේ පැවතුණා යැයි කියන මිත්‍යාව මේ සැම පිළිගැනීම මීට හේතුවයි. උතුරේ හා නැගෙනහිර ප්‍රදේශ වල වාසය කරන්නන් සහමුලින්ම ද්‍රවිඩයින් නොවේ . ඒ අතර සිංහලයින් වැද්දන් මුක්කුවාර් වරුන් ද සිටියහ. මේ නිසා ඉංග්‍රිසි ආණ්ඩුව තම බලය තහවුරු කරගත් පසු 1806 දී පමණ ලන්දේසීන් විසින් පැණවූ තේසවලාමෙයි නම් නීති රීති වලට අර්ථ කථන සැපයීම සිදු කරන ලදී. මේවා සිදු වූයේ ඔවුන් අතර තිබූ නඩු ආශ්‍රයෙනි. උදාහරණයක් වශයෙන් නිල්ලෙයිනාදන්ට එරෙහිව රාමස්ස්වාමි චෙටිටියාර් නඩුවේ දී බොන්සර් අගවිනිසුරු තේසවලාමෙයි හඳුන්වාදුන්නේ යාපන පළාතේ ද්‍රවිඩ පදිංචි කරුවන් ගේ පැරණි සිරිත් ලෙසිනි. මන්නාරමේ මඩකලපුවේ මෙන්ම දකුණේ ද සිටි ද්‍රවිඩයින්ට වෙනත් සිරිත් මෙන්ම රීතිත් තිබුණද උතුරු පළාතේ වාසය කරන සෑම ද්‍රවිඩයෙකුම තේසවලාමෙන් ආවරණය කරන බව මේ නඩු තීන්දු වලින් ප්‍රකාශ විය. නමුත් මධ්‍යම පළාතේ ජීවත් වන ඉන්දීය දෙමල වැසියෙකු මේ නීතියෙන් ආවරණය නොවන බවට තීන්දුවක් රජයට එරෙහිව පෙරුමාල් නම් නඩු තීන්දුවෙන් ප්‍රකාශයට පත් ව ඇත.( මෙසේ තිබියදීත් උතුරේ හා නැගෙනහිර ඇතැම් තැන්වල වතු දෙමළ ජනතාව පදිංචිකරවන ලදහ. මේවා කරන ලද්දේ රෙඩ්බානා සංවිධානය විසිනි.) ඇතැම් නඩු වලදී පෙළපත් මත වාසය ඔප්පු නොකළ හැකි යයි තීරණය කර ඇත. වුඩ්රෙන්ටන් නම් අග විනිසුරු වරයා මෙයට දුන් අර්ථ නිරූපණය අනුව උතුරු පළාතේ පදිංචියක් හෝ ස්ථීර නිවාසයක් ලබා ගැනීමත් වැදගත් බව ඔහු වේලුපිල්ලේ ට එරෙහිව සිව කාමි පිල්ලේ නඩුවේ දී කියා සිටියේය. මේ අනුව සිදු වූයේ සංක්‍රමණියන්ටද තමන්ට ස්ථීරව පැලපදියම් විය හැකි නීතිමය ආවරණයක් ලැබීමයි.මෙම නීතිය පුද්ගල නීතියක් ලෙසටද සලකනු ලැබූ අතර කොළඹ සිටි පුද්ගලයෙකුට යාපනයේ ඉඩම් තිබුණ අවස්ථාවකදී වුවද ඔහුට තේසවලාමේ අවරණය ලැබීමේ හිමි කම ඇති විය.

             දේපළ අයිතිය පැවරීම වැනි අවස්ථා මත උතුරේ පදිංචි ද්‍රවිඩයින්ට මේ නීති ආවරණය ලැබීම නිසා සිහලයින්ට සිදු වූයේ උතුරු පළතට ආගන්තුක වූ වෙළෙන්දන් බවට පත් වීමටයි.ඔවුන්ට ස්ථීරව යාපන පළාතෙන් ඉඩම් මිලදී ගත නොහැකි විය.  ඉංග්‍රීසි යුගයේ සිටම මූදුකර වැද්දන් ඇතුලු වැදි ජන වර්ගයා දෙමල භාෂවට හුරු කර සිටීම නිසා ඔවුන්ද ද්‍රවිඩයින් ලෙසට සැලකූ අතර තේසවලාමේ නීතියෙන් ඔවුන් ද ආවරණය විය. මේ නිසා උතුරු පළාත යනු ද්‍රවිඩ වාසභූමියක්ය යන මතය දීර්ඝකාලීනව තහවුරු විය.කොටි ත්‍රස්තවාදීන් ඇතුලු ඊලාම් අරමුණු සහිත බලවේග සියල්ල ඓතිහාසික ද්‍රවිඩ වාසභුමි නම් මිථ්‍යාවට පදනම් සකස් කර ගැනීමට අවශ්‍ය නීතිමය රාමුව මේ මලබාර් සිරිත් සංග්‍රහයෙන් ලබා ගත් බව පැහැදිලිය.

       උතුරේ සිටි සිංහලයන් පළවා හැරීම ආරම්භ වූයේ වික්‍රමසිංහආර්යන් රජු කලයේදී බව යාල්පාන වෛපමාලය ග්‍රන්ථය දක්වා ඇත. ඉන්දියාවෙන් ගෙනා ද්‍රවිඩයන් සහ සිංහල බෞද්ධයන් අතර වූ ගැටුමක් හේතුවෙන් පුංචිබණ්ඩා ඇතුළු සිංහල නායකයන් දාහත් දෙනෙකු ඝාතනය වී යැයි පැවසේ. යාපනය බෙහෝ දුරාතීතයේ  සිටම රාක්ෂ ගෝත්‍රිකයන් ගේ වාස භූමියක්ව තිබුණි.එය කෙවෙතස්ථලාභ යනුවෙන් හඳුන්වනලදී. ආනකොට්ටෙන් ලැබූ වෙළෙඳ මුද්‍රාව මත මේ කෙවෙත යන නාමය සටහන්ව පවතී. ඔවුහු නාගගෝත්‍රිකයන් සමග වෙළෙඳාම් කළහ.පසුව නාගයන් සහ කේරළයේ රාජ්‍ය පාලකයන් අතර වූ සම්බන්ධතාවය මත ඔවුන්ගේ බලය වර්ධනය විය. එකල යාපනය නාගද්වීපය නමින් පරසිදු විය. අටවන සියවසේ දී ලංකාවේ සිහසුන ද්‍රවිඩයන් උදුරා ගැනීම නිසා හතරවන කාශ්‍යප රජුගේ පුත් මාන කුමරු දකුණු ඉන්දියාව පාමුළ දූපත් අතර බලය තහවුරු කරගෙන පොරොත්තුව පසුවිය. වත්මන් ඩෙල්ෆ්ට් දූපතේ ඔහු විසින් ඉඳිකරන ලද බලකොටුව තවමත් දක්නට ඇත. පසුව පල්ලව රටට පැනගිය මාන කුමරු එහි වර්මන් රජවරුන්ට සේවය කරමින් සිට බලය ශක්තිමත් කර සිට සිහසුන යළි ලබා ගත්තේය. මේ මාන කුමරු ගේ පරම්පරාවේ ටික්කම උග්‍රසිංහ නම් කුමාරයෙකු යාපනයට පැමිණ සිය බලය තහවුරු කරගන්නේ නව වන සියවසේදීය. ඔහුගේ නමින්ම ටික්කම නම් රාජධානියක් බිහිවූ අතර අද ව්‍යවහාරයේ පවතින මානතිඩල් ටික්කම සෙංකණ්ඩි ආදී නම් ඒ ඉතිහාසයේ ශේෂයන්ය.

        මාන කුමරුගේ දරු පරපුර කේරළයේ බලය තහවුරු කරගනිමින් අලකඊශ්වර නමින් පරසිදු විය. ඔවුහු ද්‍රවිඩබලයට මුහුණ දෙමින් යාපනයේ ද දකුණේ දෙවුන්දර තුඩුවේද ආධිපත්‍ය දැරූහ. නමුත් පසු කාලයේදී චෝල ආක්‍රමණටන්ට මුහුණ දීමට නොහැකිව මේ ආධිපත්‍ය ගිලිහී ගිය බව පෙනේ.නිශ්ශංක අලකේශ්වර ශ්‍රී ජයවර්ධනපුර බලකොටුව තනන්නේමේ විදේශඅක්‍රුමණයන්ට මුහුණ දීමටයි. කෙසේ වෙතත් වික්‍රමසිංහආර්යයන් කාලයේදී ඇතිවූ ගැටුම යනු ද්‍රවිඩයන්ගේ බලය ක්‍රමයෙන් පැතිරී යන අවස්ථාවකි. මේ ද්‍රවිඩයන් මන්නාරම අවට සේතුව පාලනය කරමින් මුතු වෙළෙඳාමද සියතට ගත්හ. පසුව පහලොස් වන සියවසේ දී සපුමල් කුමරු විසින් වන්නියේ උතරු කොණේ පිහිටි. නෙල්ලිඌර් ප්‍රදේශය අත්පත් කරගෙන ද්‍රවිඩයන් මර්දනය කරන අතර එහි බලකොටු සහ දේවාල සාදා ඇත.පසුව වඩමාරච්චි තෙන්මාරච්චි සහ පච්චලේ පල්ලෙයි යන තැන් අත්පත් කර ගත් සපුමල් කුමරු කෝට්ටේ නගරයට යටත් ප්‍රදේශයක් බවට උතුර නැවතත් පත්කළ බව ඉතිහාසයෙන් පෙනේ. මේ සම්පූර්ණ කාලය තුළම ද්‍රවිඩපාලනයක් උතුරේ නොතිබූ අතර මාන කුමරුගේ පරම්පරාවේ ටික්කම උග්‍රසිංහගෙන් පැවත එන පිරිස් සහ ගංගා බ්‍රාහ්මණ පෙළපත් අතර ඇතිවූ විවාහයෙන් ජනිත ආර්ය චක්‍රවර්තී වරු යාපනය පාලනය කළහ. පරංගීන් ගේ පාලන සමයේදී මේ ආර්ය චක්‍රවර්තී බලය ශූන්‍ය වෙයි. සංකිලි මැරුම් කන අතර යාපන රජ පෙළපත වන්නියට පැනවිත් පසුව මාතලේපදිංචිව දිවි ගලවාගත් බව ජනප්‍රවාද ගත සාක්ෂිවලින් පැහැදිලි කළහැකිය.

      ලන්දේසි සමයේදී ඉන්දියාවෙන් ආනයනය කළ වහලුන් යාපනයේ හා වන්නියේ පදිංචි කළහ. ඔවුන්ට ඇතිකළ නීති සංග්‍රහය තේසවලාමෙයි වෙයි. යාපනයේ ඉතිරිව සිටි සිංහලයන් සහ වැද්දන් ක්‍රමයෙන් ද්‍රවිඩීකරණය වූ අතර ඉංග්‍රීසීන් ගේ යුගයේදී නැවත වෙළෙඳාම  බේකරි කර්මාන්තය සදහා සිංහලයන් උතුරට යන් තෙක්ම සිංහල ජනගහනය ව්‍යාප්ත නොවීය. කොටි ත්‍රස්තක්‍රියා නිසාවෙන් නැවතත් අවතැන් වූ සිංහලයන් උතුරෙන් බැහැරවූහ. ඒ ප්‍රමාණය 45000 ක් පමණ වෙයි. මේ ද්‍රවීඩිකරණය පිළිගත් අය අද ද්‍රවිඩ ඊළමට අවශ්‍ය මතවාද සකස්කරන අතර සිංහලයගේඋරුමය පසෙකලා දෙමළ ක්‍රිස්තියානි රජ්‍යයක් ඇතිකිරීමට ස්වයංපාලනයක් යෝජනා කරති. ද්‍රවිඩ නිජබිම් මිත්‍යාව සහ බෙදුම්වාදය අප පරාජයට පත් කළ යුත්තේ යුගගණනාවක්තුළදීම යාපනයේ ද්‍රවිඩරාජ්‍යයක් නොතිබූ බැවිනි. මහාචාර්ය විමල විජේසූරිය අභය ආර්යිංහ යන විද්වතුන් ඇරුණු කොට විශ්ව විද්‍යාල උගතුන් මේ ද්‍රවිඩ නිජබිම් මිත්‍යාවට පහුර නුදුන්හ. ඒ වෙනුවට දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය මතවාද සකස් කරමින් පෞද්ගලික වාසි සලසා ගත්හ.වාමාංශිකපක්ෂ ස්ව්‍යංනිර්ණ අයිතියක් ගැන කතාකරන්නේ බොරු ද්‍රවිඩ නිජබිමක්  මතපදනම්වයි. දකුණේ සිටින කිසිම සිංහල දේශපාලකයෙකුට මේ බෙදුම් වාදය නීතිගතකිරීමට අවසරය ඉතිහාසය විසින් පවරා දී නොමැති බවද අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.එය රනිල් වික්‍රමසිංහයන්ටද මෛත්‍රීපාල සිරිසේන මහතාටද පොදු බව කිව යුතුය.