පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, December 22, 2014

විජාතික බලවේග සහ ජාතික බලවේග අතර සටන කුමක් වේවිද


                         

 

          වත්මන් ජනාධිපතිවරණය ලංකාවේ දේශපාලන බල අරගලය ගැන පැහැදිලි කරන මනා අවස්ථාවක් ලෙසට සැලකිය හැකිය. යටත් විජිත සමයට පෙරාතුව පවා මෙවැනි බල අරගල ලංකා දේශපාලන තලයේ දකින්ට තිබුණි.අපේ රට 1815 දී බ්‍රිතාන්‍යයන් සතු වූයේ එවැනි බල අරගලයක උච්චතම අවස්ථාවේදීය. න්‍යෂ්ටියේ සිදු වන මේ බල අරගලයන් සාමාන්‍ය දෙයක් වුවද රටක ඉදිරිගමන ඒ මගින් වළක්වාලන්නේ නම් ඒ පිළිබඳව සබුද්ධිතව කල්පනාකිරීම සැමගේ යුතුකමකි. යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සිතනවා මෙන්ම සමස්ත රටේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සාධකයන් වඩා ඥානාන්විතව හසුරුවා ගැනීමට උත්සාහ දැරීම වටනේය.

             වත්මන් රජය කොටි  ත්‍රස්තවාදය පරාජයට පත්කොට සාමය ස්ථාපිත කරන ලද ආකාරය රට වැසි සියළු දෙන අනුමත කරන ලද්දකි. එහෙත් මේ කොටි ත්‍රස්තවාදය සහ ඊලාම් අරමුණින් රට බෙදීමට කරන ලද වෑයමට බොහෝ අයගේ විරුද්ධත්වය ප්‍රකාශ නොවුණි. ඊට හේතුව එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමාජවාදී පක්ෂ තුළ සිටින ඇතැම් පිරිස් ඊලාම් අරමුණු අනුමත කිරීමයි. උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් තිබී යයි දෙමළ ජාතිවාදීන් විසින් පතුරුවන ලද මතවාදය මේ සැම පිළිගනිති. ඒ මතවාදයේ සත්‍යතාව ලොව පිළිගත් බැවින් ඔවුන් වෙත ස්වයංපාලනයක් දියයුතුය යන අදහසේ මේ බහුතරය සිටි බව නොරහසකි. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් වරුන් ගේ අත්පොතේ පවා මේ ඊලාම් අරමුණු සාධාරණ යයි සලකන කියමන් ඇතුලත්ව තිබේ. නමුත් ලංකාවේ බහුතර දෙනා මේ මතය පිළිනොගනිති. සිංහල දෙමල ජනයා දකුණේත් උතුරේත් එකට වාසය කරමින් වෙළ හෙළදාම් කරමින් ජීවත් විය යුතුය යන මතය අදහන ඔවුහු බෙදුම්වාදය කිසිලෙසකින්වත් අනුමත නොකරති.මෙහිදී විජාතික බලවේග නියෝජනය කරන ලද්දේ පෙරදී බේදුම් වාදය අනුමත කරන ලද පිරිසමයි. සාමාන්‍ය ජනතාව එහිදී ජාතික බලවේග නියෝජනය කළහ. එයට දේශපාලන නායකත්වය දුන් පිරිස ගෙන් ඇතෙමෙක් ජනතාවගේ මතයට කන්දී යුද්ධයට නායකත්වය දී කොටි සටන පරාජයට පත් කළහ.

     පශ්චාත් යුධ සමයේදී නැවත බෙදුම්වාදී අදහස මතු වී පැමිණියහ. ඒ නිසා උතුරේ හා නැගෙනහිර දී සිංහළයන් පදිංචි කිරීමට අවස්ථාවක් දුන්නේ නම් ඒ කලාතුරකිනි.දෙමළ ත්‍රස්තවාදය පරාජයට පත් කරන ලද හේතුව නිවැරදිව ජාත්‍යන්තර වශයෙන් සංනිවේදනය නොකර යුධ සමයේදී කරන ලද ක්‍රියාකාරකම් විමර්ශනයට  උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම පත් කළහ. ඒ මගින් සිදු වූයේ යම් වැරැද්දක් රජය අතින් සිදු විණි යැයි යන පණිවිඩයක් ලෝකයට පිටත් කර හැරීමයි.මේ තත්ත්වය විමර්ශනය කරන කල්හි අපට තේරුම් යන්නේ මේ අවස්ථාවේදී රජය විජාතික බලවේග  නියෝජනය කරන ලද ආකාරයයි.

         ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයන් හි සැලසුම් වලට සංකල්ප පැමිණෙන්නේ ද විදේශ වලිනි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුවේ අවශ්‍යතා මත පුහුණ කරන ලද නිළධාරීන් යළි ලංකාවට පැමිණි පසු ඒ අවශ්‍යතාවය ගෙඩි පිටින්ම ගෙන වාර්තාවන් සකස් කරති. 2002 වර්ෂයේ දී ඉදිරිපත් වූ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහන එවැනි ක්‍රියාදාමයකි. එම වාර්තාව සකස් කිරීමට  නිළධාරීන් රාශියක් සාභාගි වන්නට ඇත. එහෙත් එය ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. වර්තමානයේදී වැඩියෙන්ම කතාබටහට ලක් වූ කැසිනෝ ක්‍රීඩා සහිත හෝටල් දෙක ඉදිකිරීම පිළිබඳව මූලික සංකල්පය මෙම වාර්තාවේ 208 වන පිටුවේ ඇත.(Permit 2 Five star hotels in Colombo to operate gaming facilities by auctioning licenses ) එසේම වර්තමානයේ කොළම නගරයේ සිදු වන සංවර්ධන ක්‍රියාදාමය විශේෂයෙන්ම යටත් විජිත ගොඩනැගිලි යලි ප්‍රතිසංස්කරණය ගතහොත්  එයද මේ වාර්තාවේ 208 පිටුවේ දක්වා දී තිබේ.( Transform Colombo city into an interesting tourism venue by restoration and conversion of historically important buildings into entertainment venues such as restoration of the Dutch hospital Art and cultural center project ) මෙම ව්‍යාපෘති වලට අනුමැතිය දී තිබෙන්නේ කොළඹ නගරය ආසියාවේ විනොදාත්මක නගරය බවට පත් කිරීමටයි. ඒ සඳහා ඕනෑම බදු සහනයක් දීමටද වාර්තාව නිර්දේශ කර තිබේ.  මේ සැලසුම් ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීම සිදු වී ඇති අතර දේශපාලකයන් මාරු වුනද මේ වාර්තා සකස් කල නිළිධාරීන් දිගින් දිගටම රජයේ රැඳී සිටිම නිසා අඛණ්ඩව ඒ සැලසුම් ක්‍රියාත්මක මට්ටමේ ඇත. වත්මන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉටු කරනු ලබන්නේ මේ ව්‍යාපෘති බව පෙනේ.

        මොරගහකන්ද හා යාන් ඔය ජලාශ ව්‍යාපෘති දෙකම මුල් මහවැලි සැලැස්මේ අන්තර්ගත ව තිබුණකි. එම ජලාශ දෙකින් ලැබෙන ප්‍රතිඵලයන්හි යම්කිසි වාසිදායක තත්ත්වයක් තිබුණද නිළධාරීන් ඒවා ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇත්තේ කිසිම වෙනස් කමක් නොකරමිනි. ලංකාවේ පුරාණ වාරිමාර්ග පද්ධතිය හෝ දේශීය දැනුම හෝ සලකා බැලීම එහිදී සහමුලින්ම ප්‍රතික්ෂේප කර කිබුණි. ඒ වෙනුවට කොන්ත්‍රාත් ගන්නා සමාගම් සතුව පවතින යන්ත්‍ර සූත්‍ර ලංකාවේ දී භාවිත කිරීමටත් ලැබෙන ණය ඒවා මිලදී ගැනීමට යෙදවීමත් සිදු ව තිබේ. මාතර කොළඹ අධිවේග මාර්ගය ගැන සලකා බලුවහොත් එම ව්‍යපෘති යෝජනාවලිය ද ඉහතකී යළි පුබුදමු ශ්‍රී ලංකා  වාර්තාවේ 187 පිටුවේ අඩංගු වන්නකි. එහිදී කටුනායක කොළඹ කොට්ටාව අධිවේගය සඳහා ගණන් බලා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 552 කි. ආසියානු මාර්ග ජාල පද්ධතියට සම්බන්ධ මේ සැලසුම් සකස්ව තිබෙන්නේ විදේශවලට අවශ්‍ය වෙළෙඳ වුවමනාවන් ඉෂ්ඨ කර ගැනීමටයි. ඒවා දිගූ කාලීණ යටත් විජිත වුවමනාවන් බව නොකිවමනාය.මෑතකදී ඇමෙරිකානු ඩෝල් සමාගමට කෙසෙල් වැවීම සඳහා සෝමාවතී රක්ෂිතයෙන් සහ තණමල්විලෙන් ඉඩම් ලබා දී තිබෙන අතර එම නිෂ්පාදන නිදහසේ මේ අධිවේග මාර්ග හරහා ප්‍රවාහනයටද සැලසුම් කර තිබේ.වර්තමානය වන විට මේ අධිවේග මාර්ගයන්හි එක් කිලෝමීටරයක් ඉඳි කිරීමට වැයවෙන මුදල් ඇස්තමේන්තු වල වටිනාකම දහදොළොස් ගුණයකින් ඉහළ දමා ගෙන ඇත. විජාතික වුවමනාවන් මත සැලසුම් සකස් වන්නට වන්නට පාදඩ ධනපතියන්ගේ හොද්ද බොර වන බව මෙයින් පැහැදිලිය. මේවා සැලසුම් කරන අය මෙන්ම ඒවාට මුදල් දෙන පිරිසද දන්නා එක් දෙයක් තිබේ. ඒ නම් ආසියාතික රටවලදී මේ මුදල් දේශපාලකයන් හා නිළධාරීන් විසින් ගසාකන බවයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වන්නේ ඒවා නැවැත්වීමට නොව තම අරමුණු හා ඉලක්ක සඳහා පාලකයන් මෙහෙයවීමයි. එහෙත් සීමාව ඉක්මවා යම් අයෙක් එම වංචාවල යෙදෙත් නම් එම පුද්ගලයා ඉවත් කිරීමට අවශ්‍ය කුමන්ත්‍රණය කිරීමටද ඔවුන් පසුබට වන්නේ නැත.

           වර්තමාන දේශපාලන තලයේ ප්‍රධාන පක්ෂ දෙක විජාතික හා ජාතික වශයෙන් වෙන්කර ගෙන තිබුණද මේ කොටස් දෙකේම විජාතික හා ජාතික යන අදහස් දෙකම සම්මිශ්‍රණයව තිබෙන බව කවුරුත් කල්පනා කරන්නේ නැත. ගොවි කම්කරු බලවේග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කලද ඔවුන් බොහෝ දෙනෙකු  මත වාදීව සිටින්නේ විජාතික බලවේග සමග බව නොරහසිකි. එක්සත් ජාතික පක්ෂය සැලකෙන්නේ කොම්ප්‍රදෝරු ධනපති පන්තිය නියෝජනය කරන පක්ෂයක් ආකාරයටයි. ඉඩම් හිමි ධනපති පන්තිය හෝ කර්මාන්ත අයිති ධනපති පන්තිය අත තිබූ බලය අද ක්‍රමයෙන් වෙනත් පුද්ගලයන්ට මාරු වී තිබේ.ඇතැම් විට  ගොවි කම්කරු  පන්තිය තුළින් ඉහළට නැග නොයෙක් සටකපටකම් වලින් ධනය රැස්කරගෙන ධනවත් වූවන් බොහොමයක් අද සමාජයේ සිටිති. සූදුව සුරාව මෙන්ම මත්ද්‍රව්‍ය ගෙන්වා බෙදා හරින පාදඩ ධනපති පන්තියක් අද නිර්මාණයව තිබේ. ඔවුහු එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නියෝජනය කරමින් සිටිති. වාමාංශික පක්ෂ වල බහුතරයක් පිරිසද මාක්සවාදය ගෙඩි පිටින්ම ලංකාවට ආදේශ කිරීමට උත්සාහ කරන මූලධර්මවාදීන් පිරිසකි. මාක්ස්වාදී අදහස් එලෙසම ලංකාවට ගැලපෙන්නේ නැත. මාක්ස්ගේ කියවීම ලංකාව වැනි බෞද්ධ රටකට ආදේශ කිරීමේදී යම් වැරදීම් සිදු වේ. එබැවින් ඔවුන් කල යුතුව තිබුණේ සමාජවාදී සංකල්ප ලංකාවට ගැලපෙන ආකාරයෙන් ආදේශ කරලීමයි. ඒහෙත් එය සිදු නොවීය.එහි ප්‍රතිඵලය වූයේ ඊලාම් මතවාදය සමග එක පෙළට සිට ගන්නට  පෙළඹවීමයි.ආචාර්ය වික්‍රමබාහු වැන්නන් එළිපිටම කොටි ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන්හ. මේ නිසා මාක්ස්වාදී ව්‍යාපාරයද විජාතික බලවේගයක් ලෙසට හිතන්නට අපට සිදුව තිබේ.

               වත්මන් දේශපාලන ව්‍යාපාරය තුළ තිබෙන්නේ යම් පෞරුෂයන් ගෙඩනගා ගත් චරිත පමණකි. ඔවුහු පක්ෂ නියෝජනය කළද බලවේග නියෝජනය කරන්නේ නැත. එහෙත් ඇතැම් විට විජාතික බලවේග වල නියෝජිතයන් ලෙසට ක්‍රියාකරන අවස්ථා තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාද චන්ද්‍රිකා මැතිණියද එලෙස විජාතික බලවේග වල ඉත්තන් බවට පත්වූ අවස්ථා පසුගිය කාලයේදී දක්නට තිබුණි. 2002 වර්ෂයේ දී රනිල් ගේ රජය විසින් ගෙනා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන නැවත ක්‍රියාත්මක කරලීමට තම රජය මෙහෙයවූ මහින්ද රාජපක්ෂ මහතාද ඒ අතින් විජාතික බලවේග වල නියෝජිතයෙක් ලෙසට ක්‍රියා කර තිබේ. නමුත් කොටි පැරදවීමේදී ඔහු ජාතික මතය පිලිගෙන එය ජයග්‍රහණය කරන්නට කැප වූ බවද අපට අමතක කළ නොහේ. සිංහල දේශපාලකයන් මෙලෙස ක්‍රියාකරන අතරවාරයේ මුස්ලිම් සහ දෙමළ නායකයන් තමන්ගේ ආගමින් හෝ මතවාදයෙන් උගන්වනු ලබන මූලධර්මවාදී අදහස් පෝෂණය කරමින් අරාබියේ හෝ තමිල්නාඩුවේ බලවේගවලට ලංකාව තුළ වැඩෙන්නට ඉඩ හැර ඇත. මුස්ලිම් හා දෙමල ජනයාට තමන් අදහන ආගම තුළ සිටගෙන සිංහල සංස්කෘතියට එක් වන්නට තිබෙන ඉඩ ප්‍රස්ථා ඉන් අහුරති. මේවාට උඩගෙඩි දෙන සිංහල දේශපාලකයන්ද මේ විජාතික බලවේගයන් නියෝජනය කරමින් මූලධර්මවාදය ස්ථාපිත කිරීමට කැමැත්තක් දැක්වූවන් වෙති. එලෙසින් කල්පනා කර බලන කල්හි ලංකාවේ පවතින්නේ විජාතික හා ජාතික බලවේග අතර සටනක් බව පැහැදිලිය.

         වත්මන් රජයට අභියෝග කළ හැකි කිසිවෙක් හෝ පක්ෂයක් නොසිටි බව ඒත්තු ගනිමින් සිටියදී හදිසියේම නොසිතූ ආකාරයෙන් විරුද්ධ බලවේගයක් ශක්තිමත් විය. දොස්පරොස් සහිත සන්ධානයට හොඳ හැටි බඩ එළිය යන්නට යස කෂායක් දී ඇති බව පැහැදිළිය.එහෙත් ප්‍රතිවාප සඳහා සහිඳලුණු වෙනුවට ජාපාල ඇට දමා දී තිබෙන බව පෙනෙන්ට තිබේ. එයින් සිදුව ඇත්තේ කුමක්ද පක්ෂ විපක්ෂ සැමට අතීසාරය ඇති වීමයි. එපමණක් නොව එහි සුවඳ ආග්‍රාණය කළ ජාතික ව්‍යාපාරයටද හොඳ හැටි බඩ එළිය ගොස් තිබේ. ජාතික වලවේග යටයමින් විජාතික බලවේගයන්හි අක්මුල් එළියට එන්නට පටන්ගෙන ඇත්තේ එහෙයිනි.  එහෙත් මේ වැදගත් කරුණ ලංකාවේ දේශපාලන වේදිකාවේ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට එකිනෙකාට මඩ ගසා ගැනීම සිදු වෙති. 1815 වසරේදී අප පරාජයට පත් වී නිදහස අහිමි ව ගියේ මෙලෙස විජාතික බලවේග වල කුමන්ත්‍රණයන් හිස ඔසවා එයට ජාතික බලවේග ගොදුරුකර ගැනීමෙනි. වසර 200 කට පසුව වුවද 2015 දී ඉතිහාසයේ ඒ අඳුරු රේඛා යළිත් මතු වෙන්නට පටන් ගන්නේ යයි සිතන්නට ඉඩතිබේ.  ප්‍රධාන අපේක්ෂකයන් අතරින් කවුරුන් දිණුවද ඔවුන් වෙලා ගෙන තිබෙන විජාතික මනස් ප්‍රතිසංස්කරණයකට බඳුන් නොවුවහොත් යළිත් අප රටට නිදහස අහිමිවන්නට තිබෙන ඉඩකඩ බොහෝ වෙතැයි කියන්නට සිදුව තිබේ.

         

Monday, December 8, 2014

ඇහැලේපොළ නාඩගම වෙතින් උගත යුතු පාඩම්


                              


 

               වසර දෙදහස් පන්සීයක කාලයක් සිංහල රාජ්‍ය බලය අරභයා කල සටන ඉතිහාසයේ ලියැවෙන්නේ රාජාවලියේ බල අරගලයක් ලෙසටය. මෙම බල අරගලය ඊට ආවේණික ශිල්ප ක්‍රමයන් ගෙන් සමන්විතය.  සිංහල රාජ්‍යය පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් කළ මේ බල අරගලය ඇතැම් විට සතුරු පක්ෂයේ සිට කළ දෙයක් විය. ඇතැම් විට රජවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක් විය. 1815 වසරේදී මේ  ප්‍රයත්නයන් සියල්ල අසාර්ථක විය. එයට හේතු ගණනාවක් තිබුණද පරාජයේ සැබෑ හේතු නිර්මාණය වන්නට පටන් ගත්තේ බොහෝ කලකට ඉහතදී බව පැහැදිලි වෙයි. මෙවැනි සටන් විග්‍රහ කිරීමට අවශ්‍ය මිනුම් දඬු කුමක් වුවද එය අප රටට ආවේණික උපායශීලීත්වය පිළිබඳව පැහැදිලි කියවීමක් වෙයි.

         සපරගමුව භාරව පැමිණි ඇහැලේ පොළ මහ අදිකාරම ප්‍රබල රදළ පරපුරකින් පැවතඑන එසේම සුවිශේෂී   ඥාති  බලයක් ‍ගොඩනගා ගෙන සිටියෙකි. රජ වාසලේ පළමුවන අදකාරම වූ පිළිමතලව්වේ මෙන්ම දෙවන අදිකාරම වූ ඇහැලේපොළද රජුට යටි සිතින් ද්වේශ කලේය.ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගේ රාජ්‍ය පාලනය ලංකාවේ අතිශයින්ම තීරණාත්මක අවදියක් බවට පත් වන්නේ පිළිමතලව්වේ මහ අදිකාරම් විසින් මේ රජු සහ පාලනය තම සියතට ගැනීමේ කූඨ උපක්‍රමයක යෙදී සිටි බැවින්ය.තරුණ කන්නසාමි මේ බැව් මුලින් දැන නොසිටියද පසුව සිය ආධිපත්‍ය තහවුරු කරගැනීම පිණිස රදළවරුන් ගේ බලය අඩු කරලීමට පියවර ගත්තේය.වඩුග පාලනය පිළබඳව නොසතුටෙන් සිටි භික්ෂූන් වහන්සේලා මේ අවදියේදී කළකුමන්ත්‍රණ ගැනද ඉතිහාසයේ සඳහන්ය. සංඝරාජ හිමියන් භික්ෂු සමාජය කෙරෙහි ඇති කරන ලද බලපෑම නිසා ඒ වන විට උපසම්පදා භික්ෂූන් රාශියක් ලංකාවේ තැන තැන ශක්තිමත් වෙමින් සිටියහ. රජු මේ බැව් දුටුවේය. සිය වඩුග  නෑ පිරිස් වලට රජ වාසලේ ඉහළතනතුරු ප්‍රධානය කළ ඔහු ඉන්දියාවේදී අහිමි වූ නායක්කර් පාලනය ලංකාවේ පිහිටුවීමට අවශ්‍ය පසුබිම සකසමින් සිටියේය.

             ලංකාවේ ගොවිතැන් කරන කන්න දෙක වන යල සහ මහ කන්න වල දී ගොවීන් සිය කාර්යයේ නිරතව සිටින අතර ඒ කාලයේදී සාමාන්‍යයෙන් මහනුවර රාජකාරි සඳහා කැඳවීම පෙර සිරිත නොවීය.ශ්‍රී වික්‍රම මෙම සම්ප්‍රදාය බිඳ දමමින් සත්කෝරල් රදළවරුන් අණවා සාමාන්‍ය ජනතාව නුවරට ගෙන්වා ගත්තේ එකල ටිඟොලේ වෙල නමින් හැදින්වූ  මාළිගාව අසල තිබූ වෙල කණවා වැවක් සෑදීම පිණිසයි.මෙම නුවර වැව කැණීම මහා විහාරය අනුමත නොකලේය.එයට හේතුව රජු මල්වතු විහාරය නොහොත් පුෂ්පාරාමය එතනින් ඉවත්කර වෙනත් ස්ථානයකට ගෙන යෑමේ අදහසින් සිටි බව දැන ගත් පසුය. මේ විරෝධතා මධ්‍යයේ වැවේ කටයුතු ආරම්භ වූ අතර දිනක් ගම් වැසියකු කිතුල් ගසකින් වැටී  මිය යෑමෙන් තත්ත්වය තවත් බරපතල විය.රාජකාරියට පැමිණි වැසියන් සේවය ප්‍රතික්ෂේප කලේය.එයින් කෝපයට පත් වූ රජු නඩු කැඳවා තීන්දු දෙමින් රදළ වරු සහ වැසියන් ඝාතනයට අවසර දුන්නේය.ඉන්පසු ඔවුන් සැම බෝගම්බර වැව වටේ උල හිඳවූ අතර ඇතැමෙක්ගේ හිස ගසා දැමිණි.

           ටිඟුලේ වෙල කණවා කිරි මුහුද කිර්මාණය කිරීමට 1812 දී කන්නසාමි කළ නියෝගය නොතැකූ රදළ වරු ජීවිතක්ෂයට පත් වුවද මල්වත්තේ සහ අස්ගිරියේ මහ නාහිමි වරුන්ට කළ හැකි කිසි දෙයක් නොවීය. සේනා සම්මත වික්‍රමබාහු රජු විසින් සෙන්කඩගල ශ්‍රී වර්ධන පුර නගරය ගොඩනැගීමේ දී පිහිටුවන ලද මල්වත්තේ බෝධීන් වහන්සේ සහ දාගැබ ඉවත්කර කිරි මුහුද විශාලකොට මල්වත්තේ කොටස තණ තලාවක් බවට පත් කිරීමේ වුවමනාවක් රජුට විය. එහිදී නම් මහා විහාරයට මුණවත රැකීමට නොහැකි විය.රජුගේ යෝජනාව පරාජයට පත් කර මල්වතු අංගනය බේරා ගැනීමට හැකි වූයේ මහනායක් හිමිවරුන් සූක්ෂමව කටයුතු කළ බැවිනි.මේ විරෝධයට මුල් වූ  පුෂ්පාරාම විහාරයේ පරණාතල රතනපාල අනුනායක හිමියන් යම්කිසි වරදකට අස කරගැනීමට රජු සිතුවේ ඉදිරියේ දී උන්වහන්සේගෙන් පැහැදිලිවම විරෝධතා ව්‍යාපාරයක් එල්ලවන බව දත් බැවිනි. රාජාධිරාජසිංහ රජුගේ රාජගුරු වූ මොරතොට ධම්මක්ඛන්ධ මහනාහිමියන් ගේ සහෝදරයාගේ පුත්‍රයා වූ පරණාතල හිමි මොරතොට හිමියන් සෙවනේ භික්ෂු ශීලය වැඩූවෙන් ධර්මස්කන්ධය ගැන පමණක් නොව ගුප්ත විද්‍යාවන් කෙරෙහිද හසල දැනුමක් ඇති සුපේශල ශික්ෂාකාමී හිමි නමක් විය. පරණාතල අනුනාහිමියන් රාජ උදහසට ලක් වූයේ මෙලෙසයි.

         රජු මල්වත්තේ මැද පන්සලට තරුණියක් පිටත්කර හරින ලද්දේය. ඒ සමගම  රජුට හිතැති බමුණෙකුද පරණාතල හිමි අභිමුවට පිටත් කල බව පැවසේ. මල්වත්තේ විහාරයට පැමිණි බමුණා පරණාතල හිමියන්ගෙන් පැන් බඳුනක් ඉල්වා සිටියේය. පරණාතල හිමියන් පැන් ගෙන එන්නට පහළ ළිඳට ගිය අතරතුර පරණාතල හිමියන්ගේ කුටියෙන් මෑත්ව යන තරුණිය බමුණාට දකින්ට ලැබුණි. පරණාතල හිමියන්ගෙන් පැන් පවස නිවා ගත් බමුණා රජුට මේ කාරණය දැන්වීය. පසුදා උදෑසන කටුබුල්ලේ නිලමේලා කීප දෙනෙකු පන්සලට පැමිණියහ. පරණාතල හිමිට විරුද්ධව මහ නඩුව කැඳවා ඇති ව දැන ගත් භික්ෂූන් වහන්සේලා වහාම උන්වහන්සේ වටකරගත්හ. තත්කාලය බැලූ පරණාතල හිමි සිය ගෝල නම වන දුනුමාලේ ශීලවංශ හිමි කැඳවා  මෙය තමාගේ අවසාන ගමන විය හැකි වන බව පෙනෙන්නට තිබෙන හෙයින් කාරණා කාරණා බලාගෙන ඉවසිල්ලෙන් සිටිය යුතු බව පවසා ඇත. මහ නඩුවේදී බමුණාගේ සාක්ෂි ද විමසා පරණාතල හිමි විනය කඩ  කරන ලදැයි රජු කළ නිගමනයට අනුව හිස ගසා මරා දැමීමට අණ කෙරිණි. මෙහිදී මෙම තීරණයට විරුද්ධව ප්‍රකාශයක් කළ මල්වත්තේ මහ නාහිමියන් විනය නීතිරීති කඩ කරල ලද අවස්ථාවක් නම් ඒ බැව් විනිශ්චය කළ යුත්තේ සංඝසභාව වුවද මරා දැමීමට අණ කිරීම බෞද්ධවිනය නීති වලට එකඟ නොවන්නේ යැයි පවසා සිටියේය. නමුත් උන්වහන්සේ ගේ උපදෙස් පිළි නොගත් රජු පරණාතල හිමියන් වධකයන්ට භාර දිය යුතු බවට නියෝග කලේය.

              මල්වත්තේ මහ නාහිමියන් වචනයකදු ඉන්පසු කතා කලේ නැත. උන්වහන්සේ ගේ හිස පහතට නැමුණි. බොඳ වුණු ඇස් දෙකින් කඳුළු කැටයක් රූරා ගිය බව දුටුවේ භික්ෂූන් වහන්සේලා කීප දෙනෙකු පමණකි. පරණාතල හිමියන් ඉතා වේගවත්ව සිය කටහඩ අවදිකලේ මේ අවස්ථාවේ දීය.  නැත මහරජානෙනි ඔබට ගිහියන් පිළිබඳව නඩු විසඳන්නට හැකිය. මම භික්ෂුත්වයට පත්  බුද්ධ පුත්‍රයෙක්මි. මගේ නඩුව නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය. මතු බුදු වන නාථ දෙවියන් ඉදිරියේ කිව යුතුය. කන්නසාමි මොහාතක් කල්පනා කලේය. පසුගිය වර්ෂ කීපය තුළ තමා අතින් ආගමික මෙහෙයක් සිදු නොවූ බව ඔහු මෙනෙහි කරන්නට ඇත.ඔහු ඉදිරියේ සිටි බලවේග වලට නායකත්වය දෙන ලද්දේ පිළිමතලව්වේ සහ පරණාතල හිමියන්ය.මේ වන විට පිළිමතලව්වේ ඝාතනය කර අවසන් කොට තිබුණි. පරණාතල හිමියන්ද ඝාතනය කිරීමටගත් තීරණය වෙනස් නොකිරීමට රජු තීරණය කලේය. වධක ස්ථානයට ගෙනයන අතර මග නාථ දේවාලය කරාද පරණාතල හිමියන් ගෙන යා යුතු බවට ඔහු නියෝග කලේය.

             නාථ දේවාල භූමියඉදිරියට සැපත් වූ පරණාතල හිමියන් එහි දිග්ගෙය පියමන් කර එළිපත්ත ඉදිරියට පැමිණ අත්දෙක ඔසවා මෙසේ හඬ නැගීය. දෙයියේ සාක්කි දෙයියෝ සාක්කි නාථ දෙවියනි දශරාජ ධර්මයෙන් යුතුව සතර අගතියෙන් තොරව සතර සංග්‍රහ දානය කරමින් සෑම තැනකදීම නරපතියෙකු සිහිපත් කල යුතු වන්නේ සත්‍ය යයි. චිරාත් කාලයක් තිස්සේ පැරණි රජ වරුන් ඒ සත්‍යය අනුගමනය කෙළෙහිය. ජාතිය වෙනුවෙන් ඉදිරිපත් වූ වීරෝධාර රණ විරුවන් මෙන්ම මවුබිමේ ජාති පුත්‍රයන් ඝාතනය කරද්දී මේ සම්ප්‍රදාය වැනසුණු  බව ඔබ නුදුටුවෙහිද. බීමතින් වැටුණු රජෙකුගේ වියරුව ඔබ නුදුටුවෙහිද. එහෙව් යුගයක බුද්ධ ශාසනය පන්දහසක් කල් පවතින්නේ යයි ඔබ වහන්සේ සිතන්නෙහිද. මේ ප්‍රකාශයෙන් පසු පරණාතල අනු නාහිමියන් සිය සිවුරු කඩ නාථ දේවලයේ එළිපත්ත අභිමුව එලා පූජා කොට අවසන් වරට දළදා මන්දිරය දෙස බලා කුමාර හපුව වධක ස්ථානය බලා පිය මැන්නේය. ඒ සේ නික්මෙන්නට කලියෙන් කිවු මේ වස් කවිය නිසාවෙන් රටට ශපයක් වූ ඒකාධිපතියෙකු ගේ සමුගැන්ම සිදු විණැයි පවසති.

සමත මතඟා කුල මතඟා - තුරිත තුරඟා සිත දජ      තුඟා

දරිත දරඟා කුල සිරි රඟා - මහිම හිමඟා මහ වාළුක ගඟා

                 ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහාසනප්‍රාප්ත වූයේ 1798 දීය. ඒ වන විට රජ වාසල අරක්ගෙන සිටි නායක්කර් වඩුගයන් ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය අත්පත් කර ගෙන උන්හ.ආනයන අපනයන වෙළෙඳාම සහමුලින්ම වඩුගයන් කීප දෙනෙකු අතර විය. රදළවරුන්ට අල්ලස් දීමෙන්ද වැදගත් ඨානාන්තර පිරිනැමීමෙන්ද තම අණසකට ගැනීම නිසා සිංහල නිලමේලා බලවත් වුවද කළ හැකි කිසි දෙයක් නොවීය. ආන්ද්‍ර බස රජ වාසලේ ප්‍රධාන බස බවට පත් විය. සිංහල නිළමේලා වුවද සිය මුද්‍රාව තැබූවේ ආන්ද්‍ර අක්ෂර වලිනි.පිළමතලව්වේ අදිකාරම විසින් කන්නසාමි සිංහාසනයේ තැබෙව්වේ මේ තර්ජනයන්ට මුහුණ දීම පිණිසය. තමන්ට ගැති රූකඩ රජෙකු මගින් සිය අභිප්‍රායන් ඉටු කර ගැනීම එහි බලාපොරොත්තුව විය. ඒ සඳහා ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය ලබා ගැනීමට ඔහු ක්‍රියාකලේ 1800 දී පමණය. පිලිමතලව්වේ ගේ අනුග්‍රය ගැන සැලකිලිමත් වූ ඉංග්‍රීසීහු කලින් සකසන ලද ගිවිසුමක් ද අතැතිව කනකමය මංජුසාවක් සහ අශ්ව රථයක් ඇතුළු පඬුරු රැගෙන 1800 මාර්තු 2 දා කොළඹන් පිටත් විය. ගිවසුම මෙසේය. රජු ගේ ආරක්ෂාව පිණිස කොළඹ ආණුඩුකාරයාගේ මෙහෙයවීමෙන් හත්සීයක පමණ ඉංග්‍රීසි හමුදාවක් උඩරට නැවැත්වීම. මේ පිරිසගේ වියදම සිංහලගේ රජු විසින් දැරිය යුතුවීම.අවශ්‍යතාව මත  ඉදිරියේ දී එම සෙබළු ප්‍රමාණය වැඩිකිරීම ආදි වශයෙන් විය. වගන්ති නවයකින් සමන්විත මේ ගිවිසුමට රජු එකඟ නොවීය. මේ ගිවිසුම රැගෙන උඩරටට පැමිණි සෙන්පතියා වූයේ මැක්ඩොවල්ය.  මේ ගිවිසුම අසාර්ථක වූවායින්  පසු 1803 දී නෝර්ත් අණුඩුකාරයාගේ ඇණවීමෙන් මැක්ඩොවල් උඩරට ආක්‍රමණය කලේය. සෙන්කඩගලට පැමිණි විට ශ්‍රී වික්‍රම හෝ කිසිවෙක් එහි නොවූයෙන් මුත්තු සාමි එහි රජ කොට ගිවිසුම පරිදි ආරක්ෂාව සැපයීමට ඉංග්‍රීසි ආණ්ඩුව එකඟවිය. ඒ සමගම කොළඹ සිට ත්‍රිකුණාමලය තෙක් මාවතක් ඉඳිකරනු වස් බිම් තීරුවක් දීමටද සත් කෝරළයේ පලනය ඉංග්‍රීසීන් වෙත පවරා දීමද කළ යුතු විය. නමුත් පිලිමතලව්වේගේ හමුදාව නුවරට පැමිණි ඉංග්‍රීසින් පළවා හැරියෙන් ගිවිසුම ඵල රහිත විය.

         මුත්තුසාමි සමග පසුබසිමින් සිටි මැක්ඩොවල් සෙනවි මේ අතරවාරයේ පිලිමතලව්වේ සමග ගිවිසුමක් ඇතිකර ගත්තේය. රජු නෙරපා හැර පිළමතලව්වේට රට භාරවන පරිදි මේ ගිවිසුම සකස් විය.  මීගස්තැන්නේ අදිකාරමත්  මුත්තුසාමිත් මැක්ඩොවල් සෙනවියාත්  මේ ගිවිසුමට අත්සන් කළ බව පැවසේ. මේ තුන් හවුල් ගිවිසුම අනුව කලින් මුත්තුසාමි සමග වූ එකඟතා අළුත්කර ගන්නටත් මුත්තුසාමි වෙනුවෙන්  උතුම් වූ කුමාරයා යන නමින් සිංහලේරටවල් පාලනය පිලිමතලව්වේට ලබාදීමටත් ඉංග්‍රීසීන් ගෙන් පතාග 30000 ක් ලබා යාපනයේ සිට රජ කිරීමටත් එකඟතාවය විය. මෙම ගිවිසුමෙන් පසු හමුදා භට පිරිසක් මහනුවර නවත්වා මැක්ඩොවල් කොළඹ බලා පිටත් විය. එහෙත් සැඟවී සිට ශ්‍රී වික්‍රම රජුගේ දසදහසකට වැඩිතර සෙනග ඉංග්‍රීසීන් වටලා ඔවුන් සමූලඝාතනය කොට මහනුවර යළි අල්වාගෙන පිළමතලව්වේ සහ මුත්තුසාමි ඇතුළු රාජ ද්‍රොහීනට දඬුවම් ලබා දුන්නේය.

                 ඇහැලේපොළ  මහ අදිකාරම සපරගමුවට යැවෙන්නේ ඔහුට විරුද්ධව රජුට ගතු කියූ පිලමතලව්වේ ගේ මෙහෙයවීමෙනි.මේ අතරවාරයේ අදිකාම් නිලයට තෙවැන්නෙකුද පත් විය. ඒ මොල්ලිගොඩයි.රජුගේ අරමුණ වූයේ රදළයන් ගේ බලය ක්‍රමයෙන් අඩු කරලීම බව පෙනේ.කෙසේ වුවත් සපරගමුවට වන් මහ නිලමේ එහි වැව් අමුණු සදවා වෙල් අස්වද්දවා රජයට ලැබෙන ආදායම තර කලෙන් රාජ ප්‍රසාදයද ජනතා ප්‍රසාදයද දිනා ගත්තේය. මෙයට ඉරිසියා කළ මහනුවර නිලමේලා ඇහැලේපොළට විරුද්ධවරජුට ගතු කීහ. රජු විසින් පිළමතලව්වේ මැරවූයේ 1811 වර්ෂයේ මාර්තු 26 වනදාය. ඉන්පසු මහ අදිකාරම් ධුරයට පත්වූයේ ඇහැලේපොළය. නමුත් පෙර කී කුමන්ත්‍රණ මධ්‍යයේ  සපරගමුව කරමින් සිටි ඇහැලේපොළ බිඳ වීමට මොල්ලිගොඩ විසින් එවන ලද ලිපියක් හේතු වී යැයි පැවසේ. රජු ඇහැලේපොළ කැඳවූයේ වෙනත් කරුණකටය. එහෙත්  වෙනත් ලිපයක් මගින් ඔහුට දැනුම් දී තිබුණේ රජු උදහස් වී ඇති බවත් නුවර නොපැමිණිය යුතු බවත්ය. එම නිසා රජු කෝප විය. ඇහැලේපොළ ඉංග්‍රීසීන් වෙතට පැණ යන්නේ යැයි රජුට කේලාම් බස් පැවසින. මේ වන විටද ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා සමග ඇහැලේපොළ සම්බන්ධකම් පවත්වමින් සිටියේය.  කල හැකි දෙයක් නොවූ කළ කළුගඟදිගේ අඟුලක් මගින් පහළට ආ ඇහැලේපොළ පාණදුරයට පැමිණ ඉංග්‍රීසි හමුදාවේ සහායෙන් කොළඹ කොටුවට සැපත් වී ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සම්මුඛ විය. කන්නසාමි පැන්නවීමට ඉංග්‍රීසින් සමග ඇති කර ගත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන් ගත්තේ එතැන් සිටයි.

                       වඩුග රජෙකු වූ ශ්‍රී වික්‍රම සිංහල සම්ප්‍රදාය ඉක්මවා දශරාජ ධර්මය කඩකොට රට පාලනය කළ තැනැත්තෙකි. සියවස් ගණනාවක් තිස්සේ රාජඅභිෂේකයේදී ලක් රජවරු නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ දැහැමි පාලකයෙක් වන බවට සපථ කරමින්ය. නමුත් උද්දච්ච පුද්ගලයෙකු වූ ශ්‍රී වික්‍රම රාජ සිංහ නාථ දේවල භූමියෙන් නාථ දේවාලය ඉවත් කිරීමට පවා සැලසුම් කලේය. ඒ යුගයේදී නාථ දෙවියන් වෙනුවට පිටියේ දෙවියන් බලවත්ව සිටියේ යයි සැලකෙන්නේඒ නිසාය. කෙසේ වෙතත් එක දිගට රදළවරු සමග ඇති වූ විරසකයන් නිසා 1815 වර්ෂයට ආසන්න කාල වකවානුවේදී ඝාතන රැසක් සිදු විය. අවසාන වශයෙන් ඇහැලේ පෙළ නිළමේ ගේ භාර්යාව කුමාරිහාමි සහ දරුවන් විනාශ කිරීමට අණදී ඒය මහත් අභිරුචියෙන් බලා සිටි ආකාරය ඉතිහාසයේ සඳහන්ය. මෙයට හේතුව නම් ජෝන් ඩොයිලි නම් ඔත්තුකරුවා උඩරට රාජධානිය සියතට ගැනීම පිණිස කළ මෙහෙයුමයි. මෙහිදී රදළවරුන්ට හා රජුට උසස් වර්ගයේ මධ්‍යසාර ගෙන්වා පිළිගන්වා සිහිවිකල් තත්ත්වයට පත් කළ ආකාරය සඳහන්ය.මහාචාර්ය තෙන්නකෝන් වමලානන්ද මහතා ජෝන් ඩොයිලි ගැන සඳහන් කරන්නේ මෙසේය.

       ඩොයිලි අවික්ෂප්තව සන්සුන්ව හා ජයග්‍රහණය පිළිබඳව අධිෂ්ඨානයෙන් යුතුව තම උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා දේශපාලන වේදිකාවක් නිර්මාණය කළේය. මේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන නළුවෝ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රොබට් බ්‍රවුන්රිග් ඇහැලේපොල මහ නිළමේ මොල්ලිගොඩ මහ නිළමේ ජේම්ස් සදර්ලන්ඩ් එඩ්වඩ් ගිෆර්ඩ් කොබ්බෑකඩුව මල්වත්තේ මහානායක හිමියන් අස්ගිරි විහාරයේ යටවත්තේ මහානායක හිමියන් දුනුවිල දිසාවේ කපුලියද්දේ දෙවෙනි අදිකාරම් තම්බි මුදියන්සේ මැලේ මුහන්දිරම් ඉලංගකෝන් මුදලි සේරම් මුදලි හා තල්ගම උන්නාන්සේ වූහ. මේ හැම දෙන ඩොයිලි ගැසූ තාලයට නැටූහ. මේ සියලු දෙනාගේ නිසැක භක්තිය හා විශ්වාසය දිනාගත් අතරම ඔවුන්ගේ ප්‍රකාශනයන්හි සත්‍යාසත්‍ය භාවය වගවිභාගකරන ක්‍රමයද ඩොයිලි සතු විය.

         ඩොයිල් අවසාන වශයෙන් තම අභමතාර්ථ සාධනයෙහි යොදා ගත් ඇහැලේපොළ මහ නිලමේ දක්ෂ ප්‍රාදේශීය පාලකයෙක් වශයෙන් අවංකව රජුට සේවය කළ තැනැත්තෙකි. එහෙත් අවසාන කාලයේදී රදළවරුන්ගේ උසිගැන්වීම් මත රජු ඔහු හා විරසක වුණි. ඉන්පසු ඔහුට ඕනෑ වූයේ රජු පාවා දී ඉංග්‍රීසින් ගේ සහායෙන් සිහසුන් ගැනීමයි. මෙහි මුල් අදියර සාර්ථක ලෙස ක්‍රියාත්මක වුවද ඉංග්‍රීසින් සිය අභිලාෂය මත සිංහල ජාතික බලවේගය යටපත් කර ගත්තේය. සිංහල බෞද්ධයන්ට ඉතිරිවූයේ උඩරට ගිවිසුමේ පස්වන වග වගන්තිය පමණකි. එයද 1817 දී ඇරඹි ජාති විමුක්ති අරගලයෙන් පසු සංශෝධනය විය. අනතුරුව සියවසක් ඉක්ම ගිය පසු ලංකාවට නිදහස ලබා දීමෙන් පසු ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ 29 වන වගන්තිය මගින් සිංහල බෞද්ධයන් තිබූ අයිතිය සහමුලින්ම අහෝසි කරන ලද්දේය. මේ නිසා දේශපාලන උපායශීලිත්වය පිළබඳව අප සිතා බැලිය යුත්තේ ඉතා මැදිහත් සිතිනැයි කල්පනා කළ හැකිය. යම් කිසි විදියකින් වැරදීමක් වුවහොත් පුද්ගලයන්ගේ ජීවිත පමණක් නොව ජාතියේම නිදහස ද නැතිවන බව පෙනේ. අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගෙන නැවත නැවත අත්හදා බැලීම් කරන්නේ නම් සිංහල ජාතියේ මතුඉරණම කෙසේ පවතීදැයි සැකයක් මතුවේ.

Thursday, November 6, 2014

එරාවුර් හන්දියේ සිංහල අව නඩුව


                                          

 


                  1956 වර්ෂයේ දී  සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් සමගම ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජියන් බෙහෙවින් කුපිත වූහ.ඔවුන් ගේ උසිගැන්වීම් මත එවකට වාහන වලට  හඳුන්වාදී තිබූ ශ්‍රී අකුරට තාර ගෑම ඇරඹුණි.මෙයට හේතු වූයේ 1945 සිට ජී.ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා ද්‍රවිඩ කොන්ග්‍රසය මගින් දියත් කළ ජාතිවාදී දේශපාලනයයි. ඔවුහු සමතුලිත නියෝජනයක් ඉල්වමින් සෝල්බරි කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළහ. පණහට පණහක් සේ සිංහල හා දෙමළ ජනතාවට නියෝජනයක් අවශ්‍ය වන බව ඉන් පැවසෙයි. සොල්බරි කොමිසම මෙය පිළි නොගත් අතර ද්‍රවිඩ කොන්ග්‍රසයෙන් කැඩී ගිය පිරිසක් විසින් 1949 දී ඉලංකෙයි තමිල් අරසු කච්චි නොහොත් දෙමළ රාජ්‍ය පක්ෂය පිහිටුවා ගත්හ. මෙම පක්ෂය ස්ථාපනය කිරීමේදී අනුමත කෙරුණු මූලික යෝජනාවේ මෙසේ සඳහන් වෙයි.

      ' ද්‍රවිඩයන්ට නීතියෙන්ම නිදහස හා ආත්ම ගෞරවය සහතික කිරීමේ හා සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඔවුන්ගේ ප්‍රශ්ණ විසඳා ලීමේ එකම ක්‍රියාමාර්ගය වන්නේ රටේ ද්‍රවිඩ ජාතිය සඳහා ස්වයං පාලනය හා ස්වයං නිර්ණය කිරීම සහතික කරනු වස් ඔවුන්ට ඔවුන්ගේම ස්වාධීන රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඉඩකඩ සලසා දීමයි.'

      ලංකාව තුළ වෙනම රාජ්‍යයක් ලෙස වන මෙම සංකල්පය එතැන් පටන් දිනෙන් දින වර්ධනය විය.1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීම ඔවුන්ගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් බඳු විය. චෙල්වනායගම් ගේ කණ්ඩායම තමන්ගේ අභිලාෂය පතා ඇති කළ කෝලාහලය මහා ව්‍යසනයක ආරම්භයක් විය. මෙහිදී සිංහල ව්‍යාපාරිකයන් ගේ වෙළෙඳ ස්ථාන කඩා පුළුස්සා  විනාශ කිරීම  සිදු වූ අතර ජන ඝාතනද සිදු විණි. මේ තත්ත්වය රජයට පාලනය කර ගැනීම ඉතා අසීරු විය.ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ ද තත්ත්වය එයින් වෙනස් නොවීය. සෙන්ගල්වාඩිය නොහොත් සෙන්කලාඩිවල කඩයක් දමා ගෙන සිටි මනිමෙල් සිල්වා නොහාත් උපාසක මහතා මේ අරගලයේදී ඝාතනය වූ සිංහලයෙකි. හැඩිදැඩි පුද්ගලයෙකු වූ ඔහු ප්‍රදේශයේ සියළු යුක්තිගරුක පුද්ගලයන්හට නිර්භීතව නයාකත්වය සැපයූ වෙකු විය. මේ තත්ත්වය තුළ කාලයක් තිස්සේ වෙළහෙළදාමේ යෙදී සිටි සිංහල ව්‍යපාරිකයන් තම ජීවිත ආරක්ෂාව පතා ගම් රටවල් බලා පැමිණියහ.

            ගාල්ලේ දොඩන්දූවේ උදේරිස් සිල්වා පුලියන්දූවට පැමිණියේ 1895 වර්ෂයේ දීය. ඔහු එහි සිල්ලර කඩයක් ආරම්භ කරනලද්දේ 1895 ජූනි මස පළමුවනදාය. රෙදි පිළි සීනි පුවක්  උම්බලකඩ ජාඩි තුනපහ කඩදාසි ඇතුළු බොහෝ ද්‍රව්‍යයන් වෙල හෙළඳාම් කරමින් ගම සමගද සම්බන්ධකම් පැවැත්වීය. ගාල්ලේ දොඩන්දූව එකල ප්‍රසිද්ධ නාවික වරායකි. එහි සිට ඉන්දියාව බලා යාත්‍රා කල යාත්‍රා ද්‍රෝණි නම් නෞකා මගින් ඉන්දියාවේ සිට ජාඩි  කැලිකට් රට උළු මාලදිවයිනේ සිට කරවල මෙන්ම බොන්දි අළුවා ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය රාශියක් ආනයනය කළහ.එසේම නැගෙනහිර පළාතෙන් දැව ලබා ගෙන දකුණට නැව් මගින් ප්‍රවාහනය කරන ලද අතර ඒ දැව භාවිතා කොට ගොඩනැගිලි තැනූ ඔවුහු නැව් තැනීම සඳහාද  ජාඩි පීප්ප නිෂ්පාදනය ද කළහ.ලන්දේසීන් ගේ කාලයේදී දිවයින වටා නිදහස් වෙළෙඳාම පැවති අතර මුස්ලිම් වෙළෙඳුන්ට දමා තිබූ තහංචි හේතුවෙන් සිංහලයන් හට තම පැරණි නාවික බලය යළි ගොඩනගා ගත හැකි විය.1702 වර්ෂයේ දාතම සහිතව ලිපියක් දැනට දොඩන්දූ නාවිකයන්ගේ වත්මන් පරපුරේ සාමාජිකයෙකු වූ ගාමිණි පටුවතවිතාන මහතා ළඟ තිබේ.සේරුවාවිල බෞද්ධ පුනරුදයේ පුරෝගාමියා වූ දඹගස්ආරේ මේධංකර මහා යතිවරයාණන්වහන්සේද 1922 වර්ෂයේ දී ත්‍රිකුණාමල වරාය දක්වා ගමන් කලේ දොඩන්දූ නැව් මගිනි. ඒ යන අතර මග මඩකලපුවේ නැවතී එහි මංගලාරාමයද ස්ථාපිත කළ බව කියති. පානම පත්තුව අක්කරායි පත්තුව කරවාකු පත්තුව සමන්තුරේ පත්තුව මානමුනේ පත්තුව බින්තැන්න පත්තුව එරුවිල් පත්තුව එරාවුර් පත්තුව සහ වෑගම් පත්තුව යනුවෙන් පත්තු නවයකට බෙදා තිබුණු පැරණි මඩකලපු දිස්ත්‍රික්කය තුළ සිංහල වෙළෙද ප්‍රජාවට නායකත්ව ගැනීමට හැකි වූයේ ප්‍රබල නාවික බලයකට හිමිකම් කියමින් දකුණු පළාත සමග සෘජු සම්බන්ධතා පවත්වමින් එසේම ඉතා ශක්තිමත් බැඳිමකින් කටයුතු කළ බැවිනි.

            දොඩන්දූවේ සිට හම්බන්තොට වරායට ගමන්කරන දොඩන්දූවේ නැව් එහිදී ලුණු පටවා ගෙන නැගෙනහිර වෙරළට සේන්දු වෙති. එහිදී අක්කරපත්තුව කල්මුනේ කාරතිවු හරහා ත්‍රිතුණාමලයට වෙළෙඳ බඩු සපයන ඔවුහු අනතුරුව ලංකාවේ උතුරේ පේදුරුතුඩුව දක්වාම යාත්‍රා කොට අලෙවි කටයුතු කළ බව පැරණියන් පවසති. නැවතත් දකුණු දිග මුහුදු තීරය දිගේ මන්නාරම දක්වා ගොස් එහි මල්වාඩියේ  පදිංචිව වෙලෙ හෙළදාමෙන් දියුණු ව සිටියහ.දොඩන්දූවේ මේ වෙළඳ පරපුරු වල මහා බල කුණු කීපයක් එකල සිටියහ. ඒ අතරින් පළමු කී උදේරිස් සිල්වා ඔහුගේ පුත්‍රයා වන එලියස් අප්පු සහ මුණුපුරා වූ අමරදාසද විය. අමරදාස මහතා අවසන් වරට කඩයක් වත්වා ගෙන ගොස් තිබුණේ කාරතිවු වලයි. 1956 වර්ෂයේ දී ඇති වූ කලකෝලාහලයේ දී මේ කඩය පුලුස්සා දමන ලදී .එසේම සිංහලයන් පිරිස ලොරියක පටවා ගෙන ඝාතනය කිරීමට ගෙන යද්දී එයින් පැනගත් තිදෙනා අතර අමරදාසද වෙයි. එහිදී පොලිසියට කරන ලද පැමිණිල්ලෙන් ඵලක් නොවුණු අතර මඩකලපුවේ පොලිස් ස්ථානාධිපති ඔහුට ලිපියකින් දන්වා එවා ඇත්තේ මෙම අපරාධයට සැකකරුවෙකු නොමැති බවයි. මේ අවනඩුව ගැන එකල අරාක්ෂක අගමැති වරයාටද දැනුම් දෙන ලද්දේ නමුත් ප්‍රතිඵලයක් අත් නොවුණි. පසුව කෝලාහලය සන්සුන්වූ පසු නැවත ආපසු ගොස් කලවංචිකුඩිහි ව්‍යාපාර ආරම්භ කර  පවත්වා ගෙන ගොස් ඇත. අවසාන වශයෙන් ඔවුන්ට තම ව්‍යාපාරික ස්ථාන අතහැර යන්නට සිදු වූවේ 83 වර්ෂයේ ඇති වූ කලබල වලින් පසුවයි.

        ඩබ්.චාර්ලිස් සිල්වා ගාල්ලේ තල්පේ පදිංචි කරුවෙකි. ඔහු ද නාවික යාත්‍රා මගින් මඩකලපුවට සේන්දු වූවෙකි. ඒ නමසිය තිහේ දශකයේ දීය. එරාඌර් නොහොත් එරාවුර් හන්දියේ සින්න මුදලාලිගෙන් කඩයක් බදු ගත් චාර්ලිස් ද පෙර අය පරිද්දෙන්ම වෙළෙදාමෙන් දියුණු විය. මඩකලපුවට දුම්රිය මාර්ගය වැටෙන්නට පළමුව නාවික යාත්‍රා මගින් වෙළෙඳ බඩු ප්‍රවාහනය කර ගත්තද පසුව ගාල්ලේ වෙලින්ටන් බස් සමාගමේ ප්‍රවාහන රථ මගින් ඒ පහසුව සැලසීය. මේ නිසා වෙළ හෙළදාම සීඝ්‍රයෙන් දියුණු විය.      ඒ අවදියේදී සෙන්කල් අඩියේ ලුණු කඩේ ඊනා අහමදු ලෙබ්බේ කොට්ටමුනේ කානා සින්නතම්බි තැඹිලිවිල කුමාරපෙරුමාල් සින්නතම්බි වැනි මහම්මත් වෙළෙඳුන් ද ව්‍යාපාර වල නියැලී සිටියද ඔවුන් ඉතා සුහදව සිංහල වානිජයන් සමග කටයුතු කරන ලද්දේය. එසේම හේරා ඔරුවේ(එරාඌර්) පොක්කර උරුම කණ්ඩ වැනි දෙමල ව්‍යපාරිකයන්ද මේ සුහදත්වය ආරක්ෂා කෙට ගත්තේ සංස්කෘතික වශයෙන් සමාන කම් දැක්වූ බැවිනි. මේ තත්ත්වය 1956 වර්ෂයෙන් පසුව වෙනස් වූයේ යටකී ලෙස එස්.ජේ.වී.චෙල්වනායගම් විසින් ගෙන ගිය ජාතිවාදී ඇවිස්සීම් වලින් දෙමළ ජනතාව කුපිත වූ බැවිනි. මේ නිසා සිංහල දෙමළ ප්‍රජාව අතර සෙමින් විරසකයක් ගොඩ නැගුණි. මෙහි සඳහන් කළ චාර්ලිස් සිල්වා මහතා ගේ සහෝදරයා ගේ පුත්‍රයා වූ අල්විස් වල්ගම එරාවුර් හන්දියට පැමිණුනේ 1948 වසරේදීය. ඔහු සිය බාප්පා කර ගෙන ගිය වෙළෙඳ ව්‍යාපාරය දියුණු කරමින් කෝපාවෙල සහ එරාවුර් වල කඩ දෙකක්ම පවත්වාගෙන ගියේය. ඒකාලයේ සිටි හෝටලය නමින් ජනප්‍රිය සිංහල භෝජන ශාලාවක්ද තිබූ බව පැවසෙයි. ඒ ආකාරයට සිංහල කඩ දහයකට අධික සංඛ්‍යවක් නවසිය පණහ දශකය වන විට එරාවුර් හන්දියේ ශක්තිමත්ව තිබුණි. 1956 දී මනිමෙල් සිල්වාට වෙඩි තබා ඝාතනය කළ පසු සුපුරුදු පරිදි නැවතත් මේ වෙළෙන්දෝ සිය ව්‍යපාර ආරම්භ කළද අසූව දශකය වන විට චෙල්වනායගම් ගේ දෙවන පරපුරෙන් බිහිවූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය විය. නැගෙනහිර පළාත තුළ කරුණා අම්මාන් ගේ ප්‍රධානත්වයෙන් මේ කොටි බල මුළු ගැන්විණ.

       1985 වසරේ දී කොටි ත්‍රස්වාදීන් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස කළ මනුෂ්‍යඝාතනය මුළු ලංකාවම සසල කරවන්නක් විය. එයට සමගාමීව එරාවුර් සහ මඩකලපු ප්‍රදේශ වලද ත්‍රස්ත ක්‍රියා වර්ධනය විය. චාර්ලිස් සිල්වා ගේ බෑනා වූ අල්විස් වල්ගම මහතාගේ කෝපාවෙල කඩය එහිදී ගිනිබත් කෙරුණු අතර එහි තිබූ ඔප්පු තිරප්පු සහ වෙනත් වටිනා ලියකියවිල රැසක් අතුරුදහන් වූ බව පැවසෙයි.මේ අවදියේ දී අල්විස් වල්ගම මහතා එරාවුර් සිංහල වෙළෙඳ සංගමයේ ප්‍රධානියා විය. වෙළෙඳ පළ කඩ අතරින් පණස් දෙදෙනෙකු සිංහලයන් විය. නමුත් 1987 දී මේ නැගෙනහිර සිංහලයන්ගේ කලදසාව නරක අතට හැරුණි. කරුණා අම්මාන් ගේ මූලිකත්වයෙන් මෙහි සැඟවී සිටි ත්‍රස්තයන් වරින් වර ප්‍රහාර එල්ලකළහ. හිටිහැටියේ දිනක් සිංහලයන් සියළු දෙන එරාවුර් පොලිස් ස්ථානයට කැඳවන ලදහ. ඊට හේතුව පොලසියට පහරදීමේ තැතක් අනාවරණය වීම නිසාය. සමහරු සිය කඩ සාප්පු වසා නොදමාම පොලීසියට ගිය බව පැවසෙයි. කොසේ වෙතත් 1987 ඔක්තෝබර් මස 6 වන දින වන විට සිංහලයන් 1200 පමණ පිරිසක් පොලිසියට රොක් වී සිටියහ.නමුත් කොටි ත්‍රස්තයන් කලේ සියළු වෙලෙඳ ව්‍යාපාර ගිනිබත් කිරීමයි. අනතුරුව එරාවුර් සිංහල විදුහලේ රාත්‍රිය ගතකළ මේ වෙළෙන්දන්ට අනාථයන් ලෙසට ගම් රටවලට පැමිණීමට සිදු විය.මේ වන විට නව වෙළෙඳ පලේ කඩ හැත්තෑ දෙකෙන් පණස් දෙකක් තුළම සිංහලයන් ගේ වෙළෙඳ ව්‍යාපාර විය. එම නව වෙළෙඳ පල තනා වෙලෙඳ මහතුන් තොරා ගන්නා විට එය නිසි පරිදි වූයේ දැයි පාර්ලිමේනතුවේ දී ප්‍රශ්ණ කරනු ලැබිණි. එවකට විපක්ෂයේ සිටි පාරලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් ජයකොඩි මහතා එම ප්‍රශ්ණය නගන ලද්දේ මෙසේය.

1/ එරාවුර් සුළු නගර සභාවට අයත්ව තිබී දැනට කඩ දමා ඇති ගොඩ නැගිල්ලේ වෙළෙඳ ව්‍යාපාර කරන අයගේ නම් සහ ලිපිනයන් එතුමා ඉදිරිපත් කරනවාද

2/ එම අයගෙන් කොපමණ සංඛ්‍යාවකට අලුතින් .තනන ලද වෙළෙඳ සැලේ කඩ කාමර ලබා දී තිබේද

3/ කඩ කාමර ලබා නොදී ඇති අයගේ නම් සහ ලිපිනයන් එතුමා සඳහන් කරනවාද

4/ එම අයට කඩ කාමර ලබා දීමට එතුමා කටයුතු කරනවාද

5/ නොඑසේනම් ඒ මන්ද‍

       මේ ප්‍රශ්ණය යොමු කරන ලද්දේ අගමැති පළාත්පාලන නිවාස ඉදිකිරීම් ඇමති සහ මහජන පරිපාලන අමාත්‍ය වර යන තුන්පළගෙනි. එදා අද වගේ නොව පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් විමසූ කල්හි නිවරදි පිලිතුරු ලැබුණි. පළාත් පාලන ඇමති වින්සන්ට් පෙරේරා මහාතා මේ ප්‍රශ්ණයන්ට දුන් පිළිතුරු අතර සිංහල වෙළෙඳ මහතුන් ගේ නම් පණස් දෙකක් සහ මුස්ලිම් වෙලෙඳ මහතුන් ගේ නම් දහනවයක් සහ එක් දෙමල ව්‍යාපාරකයෙකු ගේ නමක් සටහන්ව තිබුණි . මෙම වාර්තාව 1987 මැයි අට වන දින හැන්සාඩ් වාර්තාවේ පළව තිබේ.

        කෙසේ වෙතත් 1987 ඔක්තෝබර මාසයෙන් පසුව මේ සිංහලයන්ට උන්හිටි තැන් නැති විය. ඊට එක් හේතුවක් වූවේ 1987 ජූලි මාසයේ අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමයි. එහිදී දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම් ලෙසින් උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පිළිගනු ලැබ අතර කිසිවෙකුත් නැවත සිංහලයන්ට පදිංචි වීමට ඉඩ ප්‍රස්ථා  ඇති නොකළහ. නමුත් 2005 දී කොටි පරාජය කිරීමෙන් පසුව නැවත ආපිට ගිය සිංහලයන් මේ ස්ථානයන් නැවත අත්පත් කරගෙන පදිංචි වීමට උත්සාහ කළහ . එසේම පුනරුත්ථාපන අධිකාරියෙන් වන්දි ලබා ගෙන සිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුවක් ද විය. එහෙත් එවක වන විට එහි බලවත් ව සිටි මුස්ලිම් භක්තික ප්‍රාදේශීය සභාපතිවරයා ගෙන් ඊට ඉඩ නොලැබුණි. අල්විස් වල්ගම මහතා සහ අනෙක් පිරිස එහි ගොස් නව වෙළෙඳ පළ කඩ කාමර අස්පස් කරමින් සිටින විට ඔවුන් එරෙහි තහනමක් පැනවූ සභාපති වරයා ඔවුන්ට විරුද්ධව නඩුද පැවරුවේය. ඒ ප්‍රාදේශීය සභාවේ දේපළ වලට බලහත්කාරයෙන් ඇතුළු වී අලාභ හානි කරන ලද බව දක්වමිනි. දැන් මේ නඩුව කාලයක් තිස්සේ මඩකලපු උසාවියේ දී දෙමල භාෂාවෙන් විභාග වන අතර රජය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ ඊට මැදිහත් වී සමථයකට පත් කර නොමැත. 1881 වර්ෂයේ දී මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 5012 කි. එය 1891 වන විට 6403 දක්වා වර්ධනය ව තිබුණි. 1946 ජන සංගණනයේ දී හෙළිදරව් වූයේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය එකොලොස් දහස ඉක්මවා තිබූ බවයි.ඒ දෙමල ජනගහනය ලක්ෂයක් ඉක්මවා යන අවස්ථාවකය. එහෙත් ඒ දෙමල ජනගහනයෙන් අඩක් පමණ වැදි ජනතාව විය.ජාතිවාදී කලබල නිසා මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 1981 වන විට 2289 කට පහත වැටී තිබුණි.

             කලක් මහා සමුදුරු බලයක්ද ව්‍යාපාරික බලයක්ද හිමිව සිටි නිර්භීත අධිෂ්ඨානශීලී මිනිසුන් පිරිසගේ ඉරණම අද මෙලෙස තීන්දු වී තිබේ. තම මුතුන් මිත්තන් විසින් වසර හාරසියයක පමණ තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන පැමිණි නිදහස අද ඔවුනට අහිමිව ඇත. කොටි ත්‍රස්තවාදය පරදාවා ජාතිය බේරා ගැනීම පිණිස දිවි කැප කළ අභීත රණවිරුවන් ගේ අභිප්‍රායට වඩා චෙල්වනායගම් පරපුරේ ඊලාම් අභලාසයද නව මුහුණුවරකින් කළ එළිදකින ඉස්ලාම් මූලධර්මවාදී අභිලාෂයද නැගෙනහිර පළාතේ ජයග්‍රහණය කර තිබේ. එයටහොඳම නිදර්ශනය  පෙන්වන්නේ අල්විස් වල්ගම මහතා ඉගෙනුම ලැබූ බණ්ඩාරමුල්ල විදුහල අද මුස්ලිම් සිසුන්ගේ අරාබි විශ්වවිද්‍යාලයක් බවට පත් වීමයි. මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් සහා හසන් අලි යන මහත්වරුන් අද නැගෙනහිරට වෙනමම මුස්ලිම් පරිපාලන කොටසක් ඉල්වන්නේ මෙම ලිපියේ සඳහන් ජනවාර්ගික පවිත්‍රකරණය සිදු කර අවසන් වූ පසුවයි. එහෙත් ඔවුන් සඟවන එක් කාරණයක් නම් 1990 වසර වන විට සිංහලයන් මෙන්ම ඔවුන්ද කොටි ත්‍රස්තයන්ගෙන් බැටකා අනාථව සිටි බවයි.


 

            

Saturday, October 25, 2014

බෞද්ධ අධ්‍යාපන ක්‍රමය උඩුයටි කුරු කළ ඔල්කට් ගමන


                          

 

                   දොඩන්දූව ශෛලබිම්බාරාම විහාරය වනාහි දකුණු ලක පතළ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වූ මහා සිද්ධස්ථානයකි. එහි වැඩ සිටි දොඩන්දූවේ පියරත්න තිස්ස නායක ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයටත් සිංහල ජාතියටත් ඉටුකළ මෙහෙයන් අතර ප්‍රමුඛ වන්නේ බොදු පාසල් ඇරඹීම සඳහා ගත් ක්‍රියාමාර්ගයයි.1812 වර්ෂයේ සිට බැප්ටිස්ට් මෙතෝදිස්ත වෙස්ලියන් ආදී මිෂනාරී සමාගම් විසින් ලංකාවේ මුහුදු බඩ පළාත් වල ක්‍රිස්තියානි පාසල් ඇරඹීමත් ඒවාට බ්‍රිතාන්‍ය රජයේ සෘජු අනුග්‍රහය ලැබීමත් හේතු කොටගෙන විහාරස්ථාන මුල්කොට ඇතිවුණු පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන් දුර්වල විය. එසේම  ක්‍රිස්තියානි මිෂනාරීන් විසින් ගමක් ගානේ ඔවුන්ගේ ආගම ප්‍රචාරය කරමින් බුදු දහම විවේචනය කරමින් යනෙන කල ඒ පිළිබඳව එකළ සිටි මහා සංඝරත්නයේ ඇස් විවර වූහ. වැලිවිට සංඝරාජ මාහිමියන් විසින් උපසම්පදාව පිහිටුවා ඇති කල බෞද්ධ ප්‍රබෝධය නිසා පහත රට විහාරස්ථානයන්හිද සංඝ පරම්පරා ඇති වෙමින් අධ්‍යාපනයට අවශ්‍ය මංපෙත් විවර වූහ.

                     1839 දී රත්මලානේ පරම ධම්ම චේතිය පිරිවෙන බිහිවීමෙන් පසුව එයට සමගාමීව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනද පිහිටුවන ලදී. මේ අභාෂයෙන් පණ කැවී දොඩන්දූව ශෛල බිම්බාරාමය ආශ්‍රිතව 1856 දී පමණ පිරිවෙනක් ආරම්භ විය . එහි නායකත්වය ගන්නා ලද්දේ පූජ්‍ය උඩුගල්පිටියේ සිරි සුමනතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති ධූරය දැරූ දොඩන්දූවේ පියරත්න තිස්ස නායක ස්වාමීන් වහන්සේ මේ පිරිවෙන් අධ්‍යාපනයෙන් ඇති වූ ප්‍රබෝධයත් දොඩන්දූවේ වෙළෙඳ ප්‍රජාවෙන් ලැබුණු සහයොගයත් හේතු කොට ගෙන බෞද්ධ දරුවන් විෂයෙහි පාඨශාලාවක් පිහිටුවීම කෙරෙහි උනන්දු විය. එයට වඩාත්ම හේතු වූයේ මොර්ගන් වාර්තාව අනුව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1868 දී ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව පිහිටුවීමයි.මේ නිසා ආධාර ලැබිය හැකි පාසල් විවෘත කිරීමට හැකි විය. පියරත්න නායක හිමියන් ගේ ද බලාපොරොත්තුව වූයේ මෙලෙස රජයේ ආධාර ලබන බෞද්ධ පාසල් ආරම්භ කිරීම විය හැකිය.

             මේ අවදියේ දී දෙඩන්දූව කුමාර කන්ද විහාරයේ පුස්කොල ලිවිම පිණිස පැමිණි සිට දාවිත් නම් තරුණයෙක් එහිම පැවැදි වී මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් ප්‍රකටව ක්‍රිස්තියානි මිෂනාරි වැඩ කටයුතු වලට එරෙහිව සටනට බැස සිටියේය. 1865 දී ක්‍රිස්තියානීන් සමග බද්දෙගම හා වරාගොඩ හා  පාණදුරේ දී ඇති වූ ප්‍රසිද්ධ වාදයකින් පසුව භික්ෂූන් වහන්සේලා අතර විශාල පිබිදීමක් ඇති විය.මේ ප්‍රබෝධයෙන් ප්‍රයෝජනය ගත් ශෛලබිම්බාරාම විහාරාධිපති පියරත්න තිස්ස නායක ස්වාමීන්වහන්සේ 1869 දී ජින ලබ්ධි විශෝදක  නමින් ප්‍රථම බෞද්ධ පාඨශාලාව  දොඩන්දූව සිය විහාරස්ථානය ආශ්‍රිතව ආරම්භ කරන ලදී. ඉන්පසු 1869 දෙසැම්බර් මාසයේ දී පාණදුර උපාධ්‍යා නමින් තවත් පාසලක් ආරම්භ කල නමුදු ආණ්ඩුව මගින් ඒවා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. මින් පසු නොබැස උපක්‍රමශීළීව කටයුතු කල පියරත්න තිස්ස නායක හිමියන් රොබින්සන්  ආණ්ඩුකාර තැන දොඩන්දූවට කැඳවා පාසල පෙන්වා අනුග්‍රහය ලැබ ගෙන ලියාපදිංචිය නිම කිරීමට කටයුතු කලේය.ඉන්පසු අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ කතළුවේ හා අහංගම දී තවත් පාසල් තුනක් විවෘතත කළේය. එහෙත් ආණ්ඩුවේ වාර්තා අනුව 1880 වන විටත් ආධාර ලබන පාසල් වශයෙන් ක්‍රියාත්මකව තිබුණේ කොරතොට හෝමාගම හඳපාන්ගොඩ වලහේපිටිය නම් පාසල් හතර පමණකි.ඒ අනුව බලන කල්හි පෙනෙන්නේ ප්‍රථම බෞද්ධ පාසල බෞද්ධ වීම නිසාවෙන්ම ලියාපදිංචිය ප්‍රමාදව තිබූ බවයි.     

       පියරත්න තිස්ස නායක හිමියන් ගේ පාසල් ක්‍රමය සහමුලින් ම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් විය. අකුරු ශස්ත්‍රය ඇරණු කොට උන්වහන්සේගේ විෂය මාලාවට බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදයක් ඇතුළත් විය. එහි පළමුවරට තිබුණේ පළමුවන පාඩම් පොතයි. දෙවනුව බුද්ධ වන්දනාවත් තෙවනුව සරණත්තය දීපනී නම් ග්‍රන්ථයත් සිවුවනුව ජිනධර්ම විකාශිනී නම් ග්‍රන්ථයත් පස්වෙනුව සෙය්‍යාර්ථ දීපනී නම් ග්‍රන්ථයත් ඇතුළත් වූහ. මෙයින් සරණත්තය දීපනී නම් ග්‍රන්ථයෙන් සරණාගමන ආනිශංස ප්‍රකාශ කිරිමත් ජින ධර්ම විකාශිනීය සරණාගමනේ පටන් ප්‍රාණඝාතාදී අකුශල කර්මයන්හි යෙදීමෙන් ලැබෙන කර්ම විපාකය දැක්වීමටද සිගාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන සතර කර්ම ක්ලේශයන් සතර අගති ආදියද මව්පිය ගුරුවර ආදීන් කෙරෙහි දරුවන් දැක්විය යුතු ගෞරවාදරය ආදියද සරලව විස්තර තර තිබුණි. ‍ස්‍යොර්ථ දීපනියෙහි බුද්ධ චරිතය සවිස්තරව ද චතුරාර්ය සත්‍යය ආදී ධර්ම විභාගය ද බෞද්ධ ගුණ ධර්ම වගා කිරීමෙන් මෙලොව පරලොව වැඩ සාදන අයුරුද තුන් සූත්‍රය හා එහි සරල අදහස් අන්තර්ගතව තිබුණි.මේ තත්ත්වය එකල හැටියට බෞද්ධ දරුවෙකු බිහි කිරීමට ප්‍රමාණවත් පරිදිම විය.මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිංහල කියවීමට හා ලිවීමට බෞද්ධ පූජකයන් විසින් වඩාත් හොඳින් උගන්වනු ලැබේ යයි 1833 දී ලංකාවට පැමිණි කොල්බෘක් කැමරන් කමිටුව ඉදිරියේ ආච්ඩිකන් වරයා කළ ප්‍රකාශය මෙහිදී සිහිපත් වේ.බෞද්ධ දරුවන්ට සුදුසු අධ්‍යාපනය කුමක්දැයි දන්නේ උගත් නැණවත් භික්ෂූන් වහන්සේලා පමණකි.දශක කීපයකට පසුව පියරත්න තිස්ස නායක හිමියන් අතින් එය නැවත ප්‍රතිෂ්ඨාපනය විය.

          මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ සහ පාදිලියන් ද ක්‍රිස්තියානි කතීසේරුවරුන් ද අතර ඇති වූ පාණදුරා වාදයෙන් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් හට ගත්තේය.ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රවෘත්ති පත්‍රයේ කතුවරයා වූ ජෝන් කූපර් වාදය පිළිබඳව සියලු තොරතුරු සම්පූර්ණ වාර්තාවක් ඉංග්‍රීසි බසින් පළ කළේය. ජේ.එම්. පීබල්ස් විසින් ලියන ලද හැඳින්වීමක් සහිතව මෙම වාර්තාව නැවත ඇමරිකා එක්සත් ජනපදයේ දී පළ කෙරිණි.1864 දී පරම විඥානාර්ථ සංගමය නමින් නව දෘෂ්ඨි සම්මේලනයක් පිහිටුවාගෙන සිටි කර්නල් ඔල්කොට් මේ ආකර්ශණීය වාදයෙන් ඔද වැඩීබෞද්ධ ධර්මය ගැන හැදෑරීමට සුදුසු වන්නේ කවරෙක්දැයි යන්න විපරම් කොට බැලීය. ඔහුට දැන ගන්නට ලැබුණේ දොඩන්දූවේ පියරත්න තිස්ස නායක හිමියන් මීට ඉතා සුදුසු බවයි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඔල්කොට් තුමා පියරත්න හිමියන්ට ලැබෙන්ට හැකිවන පරිදි ලිපියක් තැපැල් කර එවන ලදී. පියරත්න හිමියන් මේ ලිපියට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව දිගින් දිගටම ලියුම් ගනුදෙනු කරන ලද බව පෙනේ. 1878 අගෝස්තු 22 දාතම යටතේ එතුමා පියරත්න තිස්ස නායක හිමියන් වෙත එවන්නට යෙදුණු ලිපියේ කොටසක මෙලෙස සඳහන් වෙයි.

          මා මේ නගරයේ නොසිටි කාලය තුළ ඔබ විසින් මා වෙත එවන ලද ජූනි 15 දින දරණ ලිපිය පමාවී ලැබුණු නමුත් ඒ ගැන මාහද සතුටින් ඉපිලී යයි. එහ් අන්තර්ගතය සතුරන්ට මැදිව කුමණ හෝ කළ හැකි අනතුරකට මුහුණ පාසිටින පිරිසක් වෙනුවෙන් ඉතා තදින් අවශ්‍ය වන ආරක්ෂාව හා දිරිගන්වන සුළු ප්‍රකාශනයකි. එය අපට නොපෙනෙන එහා කෙළවරේ අපගේ ප්‍රධාන සංගමයට සම්බන්ධ වී සිටින පුරෝගාමී අනුඛන්ඩය කෙරෙහි සංවේදීබව අනුකම්පාව වේගයෙන් ජනිත කරවන්නකි. විශ්වාස වන්ත මිතුර ඔබ විසින් අප වෙත දිගු කළ දෑත් සහෝදරත්වයෙන් හා උණුසුම්ව ග්‍රහණය කර ගත්තෙමි. අපගේ උපදේශක මණ්ඩලයේ සියළු දෙනගේ එකඟත්වයෙන් ඔබ අපගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස පත්කරගන්නා අතර ඒ සම්බන්ධ සන්නස් පත මේ සමග එවමි.

       ඔබ සම්බන්ධව යමක් කාරුණිකව මා වෙත ප්‍රකාශ කරයි. එතරම් වටිනාකමක් නැති මා ගැන කරුණු කීපයක් කීමට මට පොඩියකට අවසර දෙන්න. දැනට හතලිස් හයවන වියේ පසුවන මා උපතින් ඇමරිකානුවෙකි. 1635 සිට අපගේ පවුල මෙහි වෙසෙන් අතර 1776 සහ  1812 දී බ්‍රිතාන්‍යට විරුද්ධව යුධ වැදුනෙමි. සැබෑ සහෝදරත්වයෙන් හා මානව දයාවෙන් යුතුව මෙම සංගමයට අඩිතාලම තබන තෙක්ම මා දැඩිමතධාරී දේශමාමකයෙකු වීමි. එහෙත් මා දැන් ඉතා තදින් සිතනුයේ හැම ජාතිකයෙකුම අප එකම පවුලක සහෝදරයන් ලෙසය. බටහිර හොඳින් උගත් ජනයා පෙරදිග මගේ බහුශැත භික්ෂූන් හා සසඳන කළ මෝඩයන් ලෙස පසුවෙයි. මා ඔවුන්ගේ අන්තිමයා වෙමි. ප්‍රඥාව යනු මිනිසා සහ ලෝකය පිළිබඳව වන්නා වූ සැබෑ අවබෝධයයි. මෙය ක්‍රිස්තියානි ලොවට උගත හැකිද.  පිපාසාවෙන් පෙළෙන සිසුවෙකුට මේ ලෝකායත ස්වභාවය නම් කටුවෙන් වැසී ගිය සත්‍යය විශ්ව විද්‍යාලයකින් ආචාර්ය වරයෙකුගෙන් හෝ පොතපතින් ලද හැකියි. පෙරදිග යතිවරු යෝගීන් හා පැවිද්දන් මෙම දිව්‍යමය ඥානය රැකගෙන සිටිනාතර එය මිථ්‍යදෘෂ්ටික රටවල ජනයාගේ පිළිකුලට හා ගැරහීමට පාත්‍රව ඇත. පාරිශුද්ධත්වය බලය ආලෝකය හා පරම සුඛයට මාර්ගය ඇති බව පෙන්වා දිය හැකියි. බටහිර රටවල සිත දූෂ්‍ය කරන දේවධර්මවාදයත් පංචකාමයේ ගැලුණු පූජකයන්ද පූජ්‍ය කටයුතු වලට ආදේශකයක් වන ව්‍යාජ පොත් හුදු ක්‍රියාදාමයකට දායක වන වචන පමණකි. ප්‍රයෝගකාරී කොටස් විසින් ජනතාවට සත්‍ය දැන ගැනීමට ඇති මංවසා ගෙන ඔවුන්ගේ මිථ්‍යා විශ්වාස නමැති අගල් කපා ගෙන සිටී. නමුත් ජනතාවගේ හෘදය සාක්ෂිය හා දෛව්‍ය පාලනය කිරීම නූතන භෞතික විද්‍යාව විසින් බැහැරකර ඇත. ඔවුන්ගේ අධ්‍යත්මික දේ හා ශික්ෂාවන් ඒ සමගම අඳුරෙන් වැසී ගියේය. දස දහස්ගණන් ක්‍රිස්තියානි අනුගාමිකයන් හා ඓතිහාසික බලාපෑම්වල අන්තිම සංඤාවන් ද බොහෝ දුරට මෙලහකටත් අතුගෑවී හමාරය.

        මෙහි පවතින තත්ත්වය මෙලෙසය. ඉදින් අපි කොයිබටද මිනිසාගේ ස්වභාවය හා දෛවය පරීක්ෂා කර බැලීමට අපට පෙළඹවීමක් ලබා ගත හැකිද. අප එය කරමුද. මිෂනාරීන් හා දූෂිත වාග් විද්‍යාඥයින් විසින් ඓතිහාසික ලේඛනයන්හි සදොස් පරිවර්තනයන් අපට ලබා දී ඇත. ඓතිහාසික ශික්ෂාවන් හා සිද්ධාන්ත උගතුන් විසින් වැරදියට සඳහන් කර ඇත. නැතිනම් කොහෙත්ම පෙන්වා නැත.බටහිර ලෝකය ඉන්ද්‍රිය පිනවීම හා අවිද්‍යාවේ මෘගත්වයට ගොදුරුව මිය යමින් සිටිනා බව පෙනෙයි. පියවරුනි සහෝදරයිනි ඔබලා පැමිණ මේ අන්ත්‍රායෙන් ඔවුන් මුදවාගන්න. මිෂනාරීන් ගුරුවරු වාදකරන්නෝ පුරෝගාමියෝ මේ හැමටම පැමිණෙන්න යයි කියමි. වෛරකිරීමට හිතාගෙන සිටින අයද විරුද්ධවන්තයෝ ද වැරදි අරුත් සපයන්නෝ ද අයහපත් ලෙස සැලකුම් ලැබුවෝද පැමිණෙන ලෙසට ආයාචනා කරමි. කිසිවක් බලාපොරොත්තු නොවීම එහෙත් හැමෙකක්ම ඉටුකිරීමට ධාරණය කරගෙනම පැමිණෙන්න. මාගේ සහෝදරය මම ඔබට කියන්නේ ජනතාව ඔවුන්ට දැනුන මෙහොතෙත්මඅසන්නට සූදානම් යන්නයි.

        .සැබවින්ම එහි මිනිසුන්ට බෞද්ධ දර්ශනයෙන් කියැවෙන නිවන් සුවය පිළිබඳව දැන ගැනීමට තිබෙන අවශ්‍යතාව කෙබඳුදැයි යන්න  හිතාගන්නටවත් නොහැකි තරම්ය . යුරෝපයට හෝ ඇමරිකාවට  පැමිණ නැති ඔබ එය නොදන්නෙහිය. වරක් අපට බෙහෝ සබඳකම් ඇති සංස්කාරකවරයක් වන ධනා මහතා කියූ කරුණක් තිබේ. ඔබ හොඳ උගත් යමක් ඒත්තු ගැන්විය හැකි බෞද්ධ යතිවරයෙකු මෙහි කැඳවා ගෙන විත් දේශන පවත්වන්නට කීවොත් ඔහු ඔබගේ දෑස් ඉදිරිපිටම මේ රට අතුගා පිරිසඳු කර දමනු ඇත යන්නයි. විද්‍යාත්මක පුනරුදය නිසා මිනිසුන් තුළ ඇති වී තිබෙන ක්‍රිස්තියානි ආගම් කෙරෙහි වන පිළිකුල හා තම ආත්මයන් සකස් කරගන්නේ කෙසේද යන පැණය ඔවුන්ගේ සිත්තුළ ද පවතී.

        විෂය පතය ගැන මම කතාකලේ ටිකයි. ඒ වාගේම ඒගැන වැඩිපුර ලියැවුනා. නමුත් මා බොහෝ දුරට ඒ ගැන නොදන්නෙක්.අපි සැවොම වාගේ දැනුමැති අය නොවෙයි. ඒ නිසා ගුරුවරයෙකු වීමට මා දිරිමත් වන්නේ නැහැ.එම කුසලතාවය නොමැතිවීමේ වරද දිගටම වැඩෙමින් තිබුණි. ඉදින් මා අන්තිමේදී තීරණය කලා ලංකාවටද අනෙකුත් පෙරදිග රටවලටද ගොස් මේ ගැන අධ්‍යපනය කිරීමට. අපගේ සංගමය ලෝකයේ අනෙකුත් කොටස්වලද ක්‍රමයෙන් වර්ධනව ඇති අතර නොයෙකුත් ඇදිහිලි අනුගමනය කරන අය එහි සිටිති. මට අවශ්‍ය මගේම ලබ්ධිය අදහන අනෙකුත් අයගේ උපකාරය හා උපදේශනය ලබා ගත හැකි පරිදි අපගේ ප්‍රධාන කාර්යාලය ඉතා ඉක්මනින්ම ලොව අනෙකුත් කොටස්වලටද ගෙන යෑමයි. මෙම ලිපියට පිළිතුරු ඒමට පෙරාතුව යම්කිසි බලාපොරොත්තු නොවූ දෙයක් සිදු නොවවහොත් කියූ පරිදි බොම්බායට ඒමට සිතාසිටිමි. ඉදිරියේ දී ලංකාවටද ඒමට බලාපොරොත්තු වන අතර එහිදී අපට මුහුණට මුහුණ ලා අදහස් හුවමාරු කර ගැනීමට හැකිවනු ඇත.

           අපගේ සංගමයේ පදනම වන්නේ සහෝදරත්වය හා මානව දයාව බව මීට ඉහතින් අවධාරණය කර කියා ඇත.  එය බොහෝ විට පොදු සතුරා වන ක්‍රිස්තු ධර්මයට එදිරි සංවිධානයක් බව කිව යුතු වෙයි.අපට යුදෙව් ආගම අදහන්නන් හේතු ධර්මවාදන් විඥානවාදීන් පර්සි ජාතිකයන් බෞද්ධයන්  තිබ්බතයන් බ්‍රාහ්මණ හා ජෛන ආගමිකයන්ද සිටිති. තවද නොයෙකුත් නිකායනට බෙදුනු නාමික ක්‍රිස්තියානින් වන තවද කිසිවක් නොමැති මුත් තම පැරණි ආගමික දාසබවෙන් මිදීමට තරම් ධෛර්යක් නොමැති අයද වෙති. අවස්ථාවෝචිත පරිදි මේ කණ්ඩායම් කොටස්වලට බෙදා මව් සංගමයට යා කොට ඇත.  එය ප්‍රන්සයේ විවිධවූ විද්‍යාස්ථානයන් ගේ එකතුවක් ලෙස විශ්ව විද්‍යාල සුසැදී ඇති ආකාරයට සමාන වෙයි. බාල වයස්කාරයන් හික්මීම සඳහා පණ්ඩිත් දායානන්ද් සරස්වතී ස්වාමීන් ගේ ආර්ය සමාජ නම සංගමය සමගද කිට්ටු  සබඳතායක් ඇත.

    පූජනීය සත්‍ය වසා ගත් ව්‍යාජ හා දුෂඨ දෘෂ්ඨිවදයන් අතුගා දමා සුපිරිසිදු ආර්ය දර්ශනය පෙර ස්වභාවයට නැවත ගෙන ඒමට කෙතරම් වෙහෙසක් දැරුවාද යන්න මා ඔබට විස්තර කිරීමට අවශ්‍ය නැත. මගේ මුල් ලිපියෙන් එය ඔබට ලැබෙන්නට ඇතැයි සිතමි. පරම විඥානාර්ථ සංගමයේ නායකයන් වන අපි ශාක්‍ය මනින්ද්‍රයන් වහන්සේ  විසින් දේශිත තේරුම් ගැනීමට දුෂ්කර මූල ධර්මයන් අඩංගු දිව්‍යමය දර්ශනය අදහහන්නෝ වෙමු. සෑම මිනිසෙකු විසින්ම විසිරුවා හැරිය යුතු මේ සත්‍යයේ ආලෝකය ඔවුන් තුළ ඇති බව අපි දනිමු. එය සියළු මිනසුන්ගේ ඇදහිලි වල දැකිය හැකි පොදු පසුබිමක රැඳුනා වූ සත්‍යයේ කොටසකි. අපි ක්‍රිස්තියානීන්ට විරුද්ධ සංගමයක් නම් එසේ වන්නේ එම ඇදහිලි කෘර හා හිංසා කාරී වූ ද මිනිසා ගේ යහ කැමැත්තට එදිරි වූවක් නිසාය.  බුදුන්ගේ දිව්‍යමය ප්‍රඥප්තියක් වන්නේ අන් සමයන්ද තමන්ගේ සමය එකම සමය ලෙස පිළිගැනීමයි.එහෙත් ඔවුහු තම සමය අනෙක්වාට වඩා ඉහළින් තබා ඒවා තමා යටතට ගෙන ගරහමින් මුළු පෘතුවියම දූෂිතභාවයට පත්කර ඇත. ක්‍රිස්තියානීන් ගේ මේ ස්වභාවය හඳුනාගනිමින් අපගේ තරුණ සංගමය විසින් එළිපිටම අභියෝගගාත්මකව ඔවුන්ගේ මුහුණටම ඔවුන්ගේ ඇදහිලි වල ඇති ව්‍යාජ ස්වභාවයද බයිබබලය හා ගැලවුම් කරු අතර කිසිදු සබඳතාවයක් නොමැති බවද මිථ්‍යා දෘෂ්ඨියක් බවද ප්‍රසිද්ධියේ පුකාශ කර ඇත්තෙමු.

           කර්නල් ඔල්කට් ගේ මේ ලිපිය කියවන කල්හි කාරණා කීපයක් ප්‍රත්‍යක්ෂ වෙයි. එකක් නම් ඔහු ක්‍රිස්තියානි ආගමට විරුද්ධ වූයේ ඇයිද යන්නයි. යුරොපයේ ඇතිවූ විද්‍යා පුනරුදය මගින් ඇති කළ ආලෝකය මත තම ලබ්ධිය පිළබද විශ්වාසය ගිලිහීම එහි අංක එකට ගත හැකිය. ඔල්කට් තුමා ලෝකයේ සියළුම ආගම් වගින් කියවෙන්නේ එක සත්‍යයක් ලෙස විශ්වාස කරන්නෙකුව සිට ඇත. නමුත් පාණදුරා වාදයෙන් ඇති වූ ප්‍රබෝධය නිසා අළුත් යමක් දැන ගැනීමේ ආශාවෙන් මඩනා ලද සිත් ඇති ව ඔහු ලංකාවට පැමිණීමට අදහස් කර ඇත. ඔල්කට් තුමා 1880 මැයි 19  දින ගාලු වරායෙන් ලංකාවට පැමිණියේ බලැවැට්ස්කි මැතිණියද සමගින්ය. මෙහිදී පොරොත්තුව සිටි අති පූජ්‍ය බුලත්ගම ධර්මාලංකාර සිරි සුමනතිස්ස නායක හිමියන් පූජ්‍ය වැලිගම සුමංගල නා හිමියන් සහ දොඩන්දූවේ පියරතන තිස්ස නා හිමියන් තුන් පළ එතුමාට ආශිර්වාද කොට පිළිගෙන ගාල්ලේ දොන් දානියෙල් පිලිප් විජේරත්න මහතාගේ අභිනව ගෘහයට කැඳවා ගෙන ගොස් තිසරණ සහිත පංචශිලයෙහි පිහිටවූහ. මැයි 26 වන දින ඔල්කට් තුමා ඇතුළු පිරිස දොඩන්දූවට පැමිණි අතර එහිදී සවස හතරට පමණ අධික වර්ෂාව නොතකා රැඳී උන් පිරිසට දේශානාවක් කරමින් බුදුරජානන් වහන්සේ ගේ උත්තම භාවයත් මිථ්‍යාආගම් ඇදහීමෙන් වන විපත්තියත් තේරුම් කර දුන් බව සඳහන්ය. මේ පිළිබඳව විස්තර දොඩන්දූවේ ධරමසේන අපවත්වී වදාල නායක හිමියන් ගේ ගේ ලේඛන අතර තැන්පත් තිබුණි.

                         පියරත්න තිස්ස නායක හිමියන් ගේ මග පෙන්වීම යටතේ ඔල්කට් තුමා විසින්  1881 දී පාසල් අරමුදලක් ඇති කරන ලදී. ඉන්පසු රට පුරාම බෞද්ධ පාසල් පිහිටුවීම ආරම්භ කොට පවත්වාගෙන එන ලදී. කලක් ගිය පසු පියරත්න තිස්ස නායක හිමියන් විසින්ආරම්භ කරන ලද මුල්ම පාඨශාලා දෙකද බෞද්ධ පරම විඥානාර්ථ සමාගමට භාර දුන් බව සඳහන්ය.යුරෝපයේ එකල සමානාය ජනතාවට පාසල් නොවීය. විද්‍යා පුනරුදයත් සමග ඇති වූ කම්හල් සහ පතල් වල වැඩට යොදා තිබූ බාල දරුවන් නොහික්මුණු හිතුවක්කාර පිරිසක් විය. ඔවුන්ගේ දැඩි ගති හික්මවීමට නොහැකි තරම් වූයේ ඉරිදා දිනයටයි. ඒ  නිවාඩු දිනය බැවිනි. මෙයට පිළයමක් වශයෙන් ක්‍රිස්තියානි පල්ලිය විසින් ඉරිදා පාසල් ආරම්භ කරන ලදී. නමුත් ලංකාවේ තත්ත්වය එය නොවීය. කුමන කරාතිරමේ පුද්ගලයෙකුට වුවද මළ පතේ අකුරක් කියවීමට හැකි වන පරිදි අකුරු ශාස්ත්‍රය ඉගැන්වීම කරන ලදී. ඔවුන්ගේ එදිනෙදා විද්‍යා දැනුම ලබා ගත්තේ සොබා දහමෙනි. විද්‍යාදැනුම හික්මවන ලද්දේ දහම් කරුණු කියා දීමෙනි. එය නිතිපතා සිදු වූ දෙයකි. තවත් විශේෂ දෙයක් එහි විය.වැඩිහිටියෙක් බවට පත් වීමේ දී හමුදාවට සහ ආරක්ෂක සේවයට බැඳිය යුතු බැවින් සටන් ශිල්පය හා ව්‍යායාම් අනිවාර්යෙන් උගත යුතු විය. මේ තත්ත්වය වටහා නොගත් ක්‍රිස්තියානු පූජක වරු ළමුන් ගේ ව්‍යායාම් ගැන වාර්තා කරති. මෙවැනි පන්සල් පාසල් 6000 ක් පමණ තිබූ බව කෝල්බෘක් කෙමිසම වාර්තා කර ඇත. කෙසේ වුවත්1869 දී පිහිටවූ බෞද්ධ පාසල් වල නොතිබුණේ මෙම ව්‍යායාම් නොහොත් සටන් පුහුණුව පමණකි. එය එකළ තහනම් දෙයක් විය.

        නොහික්මුණු දරුවන් යහමගට ගැනීමට යුරෝපයෙන් දුන් ආදර්ශය සහ ඉන්දියාවේ ආර්ය සමාජ ආදර්ශය ගුරු කොට දහම් පාසල් ඇති කිරීම ඔල්කට් තුමා අනුමත කල දෙයක් විය.ලංකාවේ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම 1881 දී  ප්‍රථමයෙන්ම කලේ මෙලෙස ඉරිදා පාසල් පිහිටුවීමයි.1886 දී කොළඹ පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රීසි පාසල ඉරදා පාසලිකි.සී.ඩබ්. ලේඩ් බීටර්  එහි ප්‍රථම විදුහල්පති විය. පසුව එය ප්‍රසිද්ධ ආනන්ද විද්‍යාලය බවට පත් විය.කෙසේ වෙතත් බෞද්ධ දරුවෙකු සමාජයට මුදා හරින්නේ කෙසේද යන්න වටහා නොගැනීම හේතුවෙන් 1880 න් පසුව බිහිවූ පාඨශාලා සියල්ල මගින් ඉටු කෙරුණේ බටහිරයන්ට අවශ්‍ය ලෙස සිංහල මොළ සේදීම  පමණකි. යුරෝපයේ විද්‍යා පුනරුදය ලංකාවට ආදේශ කොට ක්‍රිස්තියානීන්ට නාමිකව විරුද්ධ වන පිරිසක් බිහිකොට සියළු ආගම් සම තත්ත්වයේ සලකන මානවයෙක් බිහි කිරීමේ ඔල්කට් අදිටන ලංකාවේ දී සාර්ථක වූ බව පමණක් අවසානයේ දී ලියා තැබිය යුතුය.නිදහස් අධ්‍යාපන ක්‍රමය මගින් රට පුරා ප්‍රචලිත කරන ලද්දේද 1962 වර්ෂයේ දී ඒවා  රජයේ අධ්‍යාපන ක්‍රමයක් ලෙසට තහවුරු කරන ලද්දේද කිසිම විචාරයකින් තොරවයි.ඒ මගින් අපට අතීතයෙන් උරුම වූ බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදය අහිමි විය.

Friday, October 3, 2014

පාප්ගේ වරම් මත ජුසේ වාස් පැළකිරීම නිසා රට දෙකඩ වෙයිද


                           

                    දාහත්වන සියවසේ දී ලංකාවට පැමිණි මිෂනාරියෙකු පමණක් නොව ඔත්තුකරුවෙකු ලෙසටද හඳුන්වාලිය හැකි ජුසේ වාස් පියතුමා මරණයට පත් වූයේ 1710 වසරේ ජනවාරි මස දාසයවනදාය.උපතින් කොන්ගානි බ්‍රාහ්මණයෙක් වූ ඔහු එක් අතකින් මායාකාරයෙක් ලෙසින්ද ප්‍රකටය. ඊට හේතුව බ්‍රාහ්මණ වංශිකයෙක් ලෙසට උපතින් ලැබූ තන්ත්‍ර මන්ත්‍ර දැනුමයි. ක්‍රිස්ටෝපර් වාස් සහ මාරි මිරැන්ඩෝ ගේ පුත්‍රයා වූ ජුසේ වාස් සිය තරුණ වියේ දීම පූජකවරය ලබා ඔරතේරියානු නිකායේ නායකයෙකු විය. එකල ඉන්දියාවේ පැවති මුස්ලිම් ආක්‍රමණයන් හමුවේ සිය මිෂනාරි කටයුතු සාර්ථක ලෙස කරගෙන යෑමේ අපහසුතාවය මත ජුසේ වාස් ලංකාවට පැනගත්තේය. එහෙත් ඕලන්ද රෙපරමාදු සභාවේ බලපෑම මත කතෝලිකයන්ට දැඩි පීඩනයක් එල්ල වී තිබූ සමයක් බැවින් ලංකාවට පැමිණීමත් සැරි සැරීමත් බලගතු අභියෝගයක්ම විය. එහෙත් දක්ෂ මන්ත්‍රකාරයෙක් වූ ජුසේ වාස් හිඟන වෙස් ගෙන1687 වර්ෂයේ දී මන්නාරමට ගොඩබැස යාපනය දක්වාපැමිණියේය. පෘතුගීසි සමයේදී මිෂනාරීන් ගේ ප්‍රධාන තිප්පළක් වූ යාපනය තුළ සිය පදනම සකසා ගැනීම වඩාත් යෝග්‍ය බව වටහා ගත් ඔහු රෙපරමාදු බලාපෑම මත පීඩනයට පත්ව සිටි කතෝලිකයන් ඉන් ගලවා ගැනීම් පිණිස රහසේ සංවිධාන කටයුතු ආරම්භ කිරීමට උත්සාහ දැරීය.

          මේ පුද්ගලයාගේ පැමිණීම පිළිබඳව ඉව වැටුණු ලන්දේසි ආණ්ඩුකාර වෑන් රීඩ් ඔහු අත් අඩංගුවට පත් කර ගැනීමට හදිසි වටලෑම් කීපයක්ම සිදු කිරිමට අණ කලේය. එහෙත් ඔහුගේ දක්ෂතාවය මත ඒ සැම තැනකින්ම බේරී පළා යන්නට හැකි විය. වසර තුනක් තිස්සේ රහසේ ගම් දනව් වල ඇවිද යමින් කතෝලිකයන් සංවිධානය කළ හෙතෙම සිය අවසාන අරමුණ වන උඩරට රාජධානිය වෙත යෑමේ අභිප්‍රායෙන් පුත්තලමට පැමිණියේය. දෙවනි රාජසිංහයන්ගේ ඇවෑමෙන්  මේ වන විට රජු බවට පත්ව සිටියේ දෙවනි විමලධර්ම සූරියයි. ඔහු ඉතා දුර්වල පාලකයෙක් වූවා සේම මිෂනාරීගේ හිතවතෙකු විය. කල් යල් බලමින් සිටි ජුසේ වාස් පුත්තලම හරහා1691 වර්ෂයේ දී මහනුවර රාජධානියට සේන්දු විය. එහෙත් ඕලන්දයන්ගේ ඔත්තු කරුවෙක් ලෙසට එහිදී ඔහු අත්අඩංගුවට පත් විය . වසර දෙකහමාරක් තිස්සේ සිරගතව සිටි ජුසේ වාස් සිය කපටි ඥානය මෙහෙයවා තාපසයෙක් ලෙසට හැඟවීම පිණිස සිරමැදිරියේදී භාවනාවෙන් ගත කළේය. කල් යත්ම රජුට මේ හැසිරීම ආරංචි විය.මිෂනාරීන්ට හිතවත් ඇමතිවරයෙක් මේ වන විට දැන හඳුනාගෙන සිටි බැවින් රජු ගේ හිත වෙනස් කිරීමට ද පහසු විය. එම නිසා අවසානයේ සිර ගෙයින් මුදවා නිදහස ලබා දීමට රජු එකඟ විය. මේ කාලයේ උඩරට පළාත් වල දැඩි නියඟයක් ඇති විය. ජුසේ වාස් මහජනතාව ඉදිරියේ සිය මයා දර්ශන පෙන්වමින් වැසි වස්සවා පුදුමයට පත් කලේය. මේ බැව් ආරංචි වූ රජු ඔහුට පල්ලියක් සාදා ගැනීමටද අවසර ලබා දී රාජධානියේ කැමති තැනකට යෑම් ඊම් කිරීමටද නිදහස ලබා දුන්නේය.

                 එතැන් සිට සිය මිෂනාරි සේවය ආරම්භ කළ ජුසේ වාස් වරක් හිඟන්නෙකු ලෙසද වරක් ලන්දේසි හමුදාවේ ලන්ස දරන්නකු ලෙසද තවත් වරක් කුල කාන්තාවන්ගේ අන්තේවාසිකයෙකු ලෙසද කත් කාරයෙකු ලෙසද වෙස් වලාගෙන ජනතාව වෙත සිය ආගමේ පණිවුඩය ලබා දෙමින් සැරි සැරීය. එවකට මහනුවර රාජධානිය තුළ සිටි කතෝලිකයන් පමණක් නොව දුප්පත් ගැමි ජනතාවද වෙසසින්ම හීන කුල වල වැසියන්ද ආගමට හරවා ගනිමින් සැරි සැරීය.මේ කාලයේ දි මහනුවර වසූරි වසංගතයකින් ඇළලී ගියේය. වංශාධිපතියන් ජනතාව මග හැර යද්දී ජුසේ වාස් ගම් දනව් වල සැරි සරමින් රෝගීන්ට සාත්තු කරමින් ඔවුන්ගේ හිත් ගන්නට කළ වෑයම ඔහුගේ මිෂනාරි කටයුතු වලට ඉතාමත් වැදගත් විය. දැන් රජු ගේ හිතවත් කම ඔහුට නිරන්තරයෙන් ලැබේ. ඒ නිසා මහනුවරින් පිටත රජුගේ අණසක පැවති දකුණු දිග බලා යමින් එහි සිටි කතෝලිකයන් රහසේ සංවිධානය කිරීමට ඔහුට වරම් ලැබුණේය. මේ අතර වාරයේ රටේ තත්ත්වය ගැන නිරන්තරයෙන්ම වාර්තා සකසමින් ගෝවට පණිවුඩ පිටත් කිරීමට ද ඔහු අමතක නොකළේය.මේ කාලයේ දී ඔහුගේ සහායට මෙනසීස් කාර්වල්ලි හා ගොන්සාල්වේස් නම් පූජකවරුන් ගෙන්වා ගැනීමට ඔහු අමතක නොකලේ රජු ගේ සහාය බෞද්ධයන්ට වඩා කතෝලිකයන් ගේ පැත්තට යොමුව තිබූ බැවිනි. වරක් කර්වල්ලි පියතුමා රෝගී වූ විට රජු සිය රාජකීය වෛද්‍යවරයා පවා යැවීමට කටයුතු කලේ මේ සමීප සබඳතාවය නිසාවෙනි.ජුසේ වාස් මෙයින් අදහස් කලේ උඩරට රජු කතෝලික ආගමට හරවා ගෙන ඕලන්දයන්ට විරුද්ධව මෙහෙයවීම බව නිසැකය. විමලධර්මසූරිය රජුගේ අවෑමෙන් නරේන්ද්‍රසිංහ රජු බලයට පත්ව සිටි කාලය මේ මිෂනාරින් ගේ ස්වර්ණමය අවදිය විය.පළමු කී කාර්වල්ලි පියතුමා අසනීපව මිය යෑමෙන් පසුව මෘත ශරීරය පල්ලියේ වත්තේම වලදෑමීට රජු අවසර ලබා දුන්නේය.  කිසිවෙකු ගේ මලසිරුරක් මෙතෙක් මහනුවර නගරයේ වළ ලෑමට නොතිබූ අවසරයක් පවා මේ පිරිසට ලැබුණේ බුද්ධ ශසනයේ පාරිහානිය ඉතා උච්චතම අවස්ථාවට පත්ව තිබූ බැවිනි.

            නරේන්ද්‍රසිංහ රජු සෙල්ලක්කාරයෙක් විය. බෞද්ධ  භික්ෂූන් ට වඩා මේ මිෂනාරීන්ට හිතවත් කමක් දැක්වූ ඔහු හඟුරන්කෙත මාළිගයේ වාසය කරන සමයේ දී ජුසේ වාස් හඟුරන්කෙතට කැඳවා මාළිගය අසලින්ම තබා ගැන්මට පවා උත්සාහ දැරීය. එසේම නිරන්තරයෙන් මේ පූජක වරුන් හා කැල්වින් පූජකවරුන් රජ සභයට කැඳවා ඔවුන් අතර විවාද පවත්වා කතෝලික පක්ෂය ජය ලැබීම සිදු වන විට ඊට සහාය පළ කරමින් සතුට පළ කළ බව පැවසේ. ජුසේ වාස් සිය බ්‍රාහ්මණ මූලය පදනම් කරගනිමින් මායා කරුවෙකු ලෙසට පමණක් නොව ස්ත්‍රීන්ට දරු සම්පත් ලබා දෙන වඳ ස්ත්‍රීන්ට දෙවියන්ගේ වරමින් දරු ගැබ් ඇති කරන විස්මිත පුද්ගලයෙක් ලෙසට ද මේ කාලයේ ප්‍රසිද්ධ විය. 1710 වසරේ දී සිය අවසන් ලිපිය ගෝවට යොමු කරමින් ප්‍රකාශ කර සිටියේ සිය දූත කාර්යය ඉතා සාර්ථක බවයි.1705 වර්ෂයේ දී ජුසේ වාස් ගේ ඇරයුමින් මෙහි පැමුණු ගොන්සාල්වේස් නම් පූජකවරයා ජුසේ වාස් ගේ කටයුතු ඉදිරියට ගෙන යමින් බුදුදහමට විරුද්ධව පොත්  පවා රචනා කරන්නට විය. දේව වේද පුරාණය දේව නීති විසර්ජනය වේදකාව්‍යය ඔහු විසින් රචනා කරන ලද පොත් පත් වෙයි.  නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේදී උභය විහාරයේ විරෝධතාවය වැලිවිට හිමියන්ට එල්ල විය.එයට හේතුව වැලිවිට සිල්වත්සමාගම යනුවෙන් ප්‍රසිද්ධ වූ කණ්ඩායම මහා විහාරයට ගරු සරු නොදැක්වීමයි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් ගොන්සාල්වේස්  කොළඹ ප්‍රධාන කතෝලික දේවගැති හා රහසේ මන්ත්‍රණය කොට වැලිවිට හිමියන්  ඝාතනය කරලීම සඳහා කාපිරි මිනිසුන් කීප දෙනෙකු නුවරට ගෙන්වා ගත්තේය. මේ පුවත මන්දාරම් පුර පුවතේ සඳහන් වන්නේ මෙසේය.

උඩරට යුව රජ මැතිගණ නිතින -        සිය නෙත විලස ගුරුකොට අදරින රකින

සරණංකර බිදන් හෙරණිඳු ගුණ නදන-    වසදී නසනු වස් යෙදි කාපිරි        දුදන

දෙව් ගැතිගෙන් මහත් අල්ලස් ලබා ගෙන- සරණංකර හෙරණිඳු මරණ ලෙසින

විස දීමට ආමුයි උන් කී බැවින -          පසු දින යැවූ නරනිඳු වෙත උන් සදෙන

.

         ජුසේ වාස් මියගොස් 2015 වසරට වසර තුන්සිය පහක් ගතවේ. උපතින්ම කොන්ගානි වංශිකයෙක් වූ ජුසේ වාස් යාපන කතෝලිකයන්ට මෙන්ම දකුණු මුහුදුබඩ තීරයේ කතෝලිකයන්ටද ගැලවුම්කාරයෙකි. ඊට හේතුව රෙපරමාදු පීඩනයෙන් ජනතාව ලවා ගැනීමට ක්‍රියාකළ තැනැත්තෙකු නිසාය. නමුත් කතෝලික මිෂනාරි සේවයේ ව්‍යප්තිය වෙනුවෙන් ඔහු ඉටු කළ සේවයද මෙහිදී සැලකිල්ලට ගැනේ. යාපනය මන්නාරම ආදී පෙදෙස් වල කතෝලික ආගම පවත්වා ගෙන යෑමට ජුසේවාස් දැමූ අඩිතාලම නිසා දෙමළ කතෝලිකයන්ට රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු පවා හිමි වුණි.ඊලාම් රාජ්‍යය  පිලිබඳ සංකල්පය දෙමල ජාතිවාදීන්ගේ  නිර්මාණයක් වුවද එය සාර්ථක කරලීමට පසුබිම සකස් කරන ලද්දේ ද්‍රවිඩ පූජකවරුන්ය. උතුරු පළාත කතෝලික සේවා දයක රාජ්‍යයක් කරගැනීමේ පිපසාවෙන් පෙළුණු ඔවුහු ප්‍රභාකරන් ලවා එය ඉටු කරගැනීමට මාන බැලූහ.එය සාර්ථක නුවූ තැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම් ඉදිරිපත් කරමින් රාජද්‍රෝහී කුමන්ත්‍රණ වල යෙදුණහ. යුද්ධය හමාර වූවායින් පසු උතුරේ පදිංචි වීමට රිසි සේ සිංහලයන්ට ඉඩ නොදීමත් ජාත්‍යන්තර බලවේග හමුවේ මහින්ද රාජපක්ෂ රජය කතෝලිකයන්ට මෙන්ම අන්‍යගමිකයන්ට පක්ෂපාති වීමත් නිසා රායප්පු ජෝශප් වැනි පූජකයන් පෙරටුකර සිය අතීත අරමුණු ඉටු කරගැනීම මේ බෙදුම්වාදීන් ගේ අරමුණයි. පාප්තුමා ලංකාවට පැමිණෙන්නේ මේ සැලසුමේ පළමු අදියර තහවුරු කලීමටයි. ජුසේ වාස් නම්  ඔත්තුකරුවා භාග්‍යවත් නමින් සාන්තුවරයෙකු ලෙසට නම් කිරීම ඔහු මිය ගිය ජනවාරි මස 16 වන දා අසන්නයේ සිදු කරලීමට ලක් රජයේ පූර්ණ අනුග්‍රහය ලැබීමත් එහි දේව මෙහෙය ගාලු මුවදොර පැවැත්වීමට අවසර ලබා දීමත් තුළින් ගම්‍ය වන්නේ  උතුරු නැගෙනහිර පෙදෙස් වල ද්‍රවිඩයන්ගේ ආකර්ශණය ජුසේ වාස් වෙත යොමු කර ගැනීමත් ඒ මගින් කතෝලික සභාවේ බලය වැඩිකර ගැනීමත් යන කරුණුය. නරේන්ද්‍රසිංහ ගෙන් පසුව  සිංහල බෞද්ධයන් පාවා දීමට මතුව සිටින්නේ මහින්ද රාජපක්ෂ රජයයි.ඔවුන්ගේ එකම අරමුණ ඉදිරි මැතිවරණයේ දී කතෝලික ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම පමණකි. කතෝලික සභාවේ උගුලකට අසුව සිටින බව  ඔවුන් නොදනී. මෙයින් සිදු වන්නේ රට දෙකඩ කර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම පමණකි.