පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, October 24, 2020

ග්‍රාමීය වැව් සහ පද්ධති යලි නගන්නේ කෙලෙසකද

                   

         රට පුරා පවතින විනාශයට පත් වැව් පන්දහසක් යළි ප්‍රතිසංසකරණය කිරීමට රජය තීරණයක් ගෙන තිබේ. සිරිලක පුරා කුඩා වැව් තිස්දහසකට අධික සංඛ්‍යාවක් පැවති බව පැරණියන් ගේ මතය වී තිබෙන අතර එයින් දැනට භාවිත වන්නේ වැව් පහලොස් දහසක් පමණකි.විශේෂයෙන්ම රජරට සහ රුහුණේ පැවති අධික වැව් ඝනත්වය පැරණි සිතියම් වලින් සනාථ වේ.මේ වැව්  යළි ගොඩ නැගීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.ඒ සඳහා මේ වැව් යලි හඳුනාගත යුතුය. කැළයට යටවී පාරවල් මගින් දෙපලු වී නාගරික සංවර්ධනය නිසා විනාශ වී ගිය වැව් හඳුනාගන යළි සිතියම් ගත කිරීමේ අවශ්‍යතාවය දැඩිව තිබේ.එසේම වැව් යලි ගොඩ නැගීමට පළමු වැව් යනු කුමක්ද යන්න ගැනද අවබෝධයක් ඇති කර ගැනීම වඩා වැදගත්යයි සිතමි. චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය ජනාධිපතිව සිටි සමයේ දී කළ දහසක් වැව් පුනරුත්ථාපන කටයුතු වලදී වැව යන්නෙහි තේරුම නොදැන කටයුතු කිරීම දක්නට ලැබීමට ඊට හේතුවයි.

      අප් යනු ජලයයි. ජලය උසුලා දරා ගැනීමට හැකි නිම්න භූමියට වාප් නොහොත් වාපීය යන්න යෙදෙයි.ජලය පුරාවා ගත් කුඹූරක ලියැද්දේ තිබෙන වක්කඩ නොහොත් වප්කඩ මගින් ජලය පිටතට නිකුත් කරන අතර එහිදී ලියැද්ද වාපියක් ලෙසට ක්‍රියා කරයි.මේ නිසා වාපී නොහොත් වැව ඉටු කරන්නේ සුලුපටු කාරියක් නොවේ.මහ පොළවේ භූගත ජලයත් වර්ෂා ජලයත් මැනවින් කළමනාකරණය කිරීම එහි වගකීමයි.වැව පොකුණක් නොවන්නේය.ජල තඩාගයක්ද නොවන්නේය. සොබාදහමේ පරිසර පද්ධතියකට ඇතුලත්ව වැව පිහිටා තිබීම නිසා එය හදවතක් බඳුව ක්‍රියාකරයි.

වැවේ පරිසර පද්ධතිය -

කඳු වැව් කුලු වැව් නොහොත් මූකලාන් වැව් නිවුන් වැව් ගම්වැව්  එල්ලංගා වැව් සහ මහ වැව් මෙරට පරිසර පද්ධති වල තිබෙන වැව් සුවිශේෂතා ලෙසට හඳුනාගත හැකිය.ඉහළ කදුකර නිම්නයක සකස්කළ හරස් වැටියකින් වර්ෂා ජලය එක් රැස් කර ගැනීම කඳු වැවක විශේෂතාවයයි. අහසේ සැරිසරන වැහි වළාකුලු වලින් ජලය ආකර්ෂණය කර ගැනීම මෙහි සමත්කමයි.ඉන්පසු වැවේ පැන්නුමකින් ජලය නිකුත් කරන අතර එම ජලය කඳු බෑවුමේ තිබෙන මහ කැළය දිගේ ජල උල්පත් බිහි කරමින් පහළට රූරා බසී.කුලු වැවෙන් හෝ මූකලාන් වැවෙන් සිර කර ගනු ලබන්නේ මේ ජලයයි.මහ කැළයද පෝෂණය කරමින් පහල නිම්න වලට ජලය නිදහස් කරන කුලු වැව මහවැසි වලින් පැමිණෙන සෝදා පාලුවද වළකයි.එසේම කැළයේ ජීවත්වන සතාසීපාවන් ගේ දියපවස නිවීමට ද කුලුවැව උපකාරි වෙයි. කුලු වැවෙන් නිදහස් වන ජලය ඇළදොල ඔස්සේ ගමේ වැවටත් නිවුන් වැවටත් එල්ලංගා වලටත් ගමන් කරයි.කදු වැවේ සිට ගම් වැව දක්වා වූ පරිසර පද්ධතියට ජලය හිඟ නොවන්නේ මේ සිද්දාන්තයන් මතයි.

වැවේ ආගාර -

අගාරපාරවල් යනුවෙන් හැඳින්වෙන්නේ වැවට ජලය කාන්දු කරන වැවත් හාත්පස පරිසර පද්ධතියත් සමතුලිත කරන ලවණ ජලය පාලන කරන කුඩා මසුන් ගේ පැටි පොළවල් බවට පත් කරන ජල නහර පද්ධතියයි. ආඬියා යනුවෙන් කියවෙන උල්පත් ආගාරය ගල් ආගාරය ඖෂධ ආගාරය ගෙඹි ආගාරය රැස් ආගාරය පෙණ ආගාරය කුඩුම්බා ආගාරය භූමිටි ආගාරය යනුවෙන් එය වර්ග කළ හැකිය. ගල් ආගාරය ජල පෙරනයකි. බෙහෙත් ආගාරය ඖෂධ පැලෑටි සංරක්ෂණය සඳහාය.එයින් පෙරී එනජලය වැවේ ජල තලය මෙන්ම වැවට හිතකර සතුන්ද ජීවත කරයි. ගෙඹී ආගාරය ජලජ ජීවින් ගේ පැවැත්මටයි. රැස් ආගාරය තිබෙන්නේ ජලය ජලය ගැටීමෙන් ඇති වන ශක්තිය ප්‍ර යෝජනයට ගැනීමටයි. පෙණ ආගාරය මගින් ජලයේ පිරිසිඳු බව තීරණය කෙරේ.කුඩුම්බා ආගාරය මගින් ජලය පිට කිරීම පාලනය කරයි. භූමිටු ආගාරය යනු උල්පත් පෝෂණයට උදව් දෙන ස්ථානයකි.නොහොත් භූගත ජලය උලුප්පන ස්ථානයකි.වැවක පරිසර පද්ධතිය තුළ පවතින පෝෂක ප්‍රදේශය ඉතා වැදගත්ය.වැවට ඉස්මත්තෙන් පවතින තැනිතලා භූමියක් හෝ වැව් බැම්මට යාවී තිබෙන කඳු වැටියක් මේ පෝෂක ප්‍රදේශයට අයත් විය හැකිය.මෙම කැළය තුළ පවතින ආවේණික ශාක ගහනය මගින් ජල උල්පත් පණ ගන්වන අතර වැහි කාලයේ දී ගස්වැල් වලින් උරා ගත් ජලය දීර්ඝ කාලයක් හිමින් හිමින්  වැවට නිදහස් කරයි.කුඹුක් වැනි වනස්පති වැව්බැම්ම ආසන්නයේ ද මී මයිල වීර මොර වැනි ශාක පෝෂක ප්‍රදේශය තුළද දක්නට ලැබේ.එයට අමතරව විශාල ඖෂධීය ශාක ප්‍රමාණයක් මේ කැලෑ ගහනය තුළ පවතී.

  ඇළ බැම්ම, වැව් බැම්ම සෑදීමේදී බැම්මේ පතුලට යොදන පස්‌ විශේෂයක්‌ ගැනද සඳහන් වෙයි. ඒවා හඳුන්වන්නේ මඩාර නමිනි. මේ පස නිසා ජලයෙහි ඇති අහිතකර විෂ ස්‌වභාවයක්‌ උරාගෙන ඇළ බැම්මෙන් පිටතට අප ද්‍රව්‍යයන් වශයෙන් ඉවත් කරයි. එම අපද්‍රව්‍ය තුළින් මිනිසාට තදබල හානියක්‌ නොවුණත්, ඇළ බැම්ම පාමුල ඒවා වර්ධනය වීම වැළැක්‌වීම උදෙසා මී. ඇටඹ, කුඹුක්‌, නබඩ වැනි ශාක රෝපණය කරයි. පැරණි යෝධ ඇළ බැම්මේද මේ ගස්‌ විශේෂ නොඅඩුව දක්‌නට ලැබේ. වැව් බැම්ම මීට වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගනී. අප ද්‍රව්‍යය සහිත එම ජලය එකතුවීම සඳහා වැව් බැම්මට පහළන් විශාල දිය අගලක්‌ කපනු ලැබේ. බොහෝ දෙනකු සිතන්නේ වැව් බැම්මට පස්‌ ගැනීම සඳහා එවැනි අගලක්‌ කපන ලද බවයි. නමුත් මෙහි රහස නම් වැවේ විෂ සහිත ජලය එකතුවීම සඳහා සාදාගත් දිය අගලකි. මේ අගල හඳුන්වන්නේ පූවල නමිනි. මේ පූවලෙහි ජලය කිසි විටෙකත් කුඹුරට එකතු කර ගන්නේ නැත. මෙහි වැඩි ජලය පූ ඇලට කපා හරින අතර එම ජලය පිරිසිදු කිරීම සඳහා පෙර කී ගස්‌ වර්ග සිටුවන අතර විවිධ පන් වර්ග හා පොතු කොළ ආදිය වැවෙන්නට ඉඩහරී. පූ ඇළ අද හඳුන්වන්නේ කුණු ඇළ නමිනි. පූ වළෙහි ජලය කිසි විටෙකත් ප්‍රයෝජනයට නොගන්නා අතර කුඹුරු හාන විට කෙවිටෙන් පහර කා සුළු තුවාල ඇති මී හරක්‌ පූවලට මුදා හරිනු ලැබේ. කුර රෝග සහිත හරක්‌ මේ පූවලෙහි බඳිනු ලැබේ. අංගුට්‌ටන්, මගුරන්, හුංගන් කාවයියන් වැනි මාළු වර්ගද දිය කූඩැල්ලන් ද මේ වළවල් වල බහුලව දැකිය හැකිය. "මඩාර" නමින් හඳුන්වන මේ පස්‌ විශේෂය පස්‌ වර්ග කීපයක්‌ එකතු කර සකසා ගත් මිශ්‍රණයක්‌ද නැතිනම් විශේෂ පස්‌ වර්ගයක්‌ද යන්න සොයා බැලීම වැදගත් වෙයි.

වැවක නිර්මිතයන් -

ගම් වැවක නිර්මිතයන් වශයෙන් දැක්විය හැක්කේ සොරොව් පෝටා වැටි කෙත් ඇළමං රළපනා පැන්නුම් ආදියයි.සොරොව් වර්ග කීපයක් ඇති අතර මහ වැවේ සිට ග්‍රාමීය වැව් දක්වා ඒවායේ නිර්මිතයන් වෙනස් වේ. වෑ කන්දට පහළින් වැව පැත්තට වන්නට සොරෙව්ව සෑදීම කරත්. සෙරොව් වර්ග කීපයකි. මහ කොටුව යනුවෙන් පැරණියන් වහරට ගත්තේ මහ වැව් වල බිසෝකොටුවයි. හීරු කොටුව යනු මඩ හොරොව්වයි. වැව් පතුළ තෙක් ජලය හිඳුණු පසු ගවයන් ලවා වැව මඩ කරවා රොන් මඩ කන්දරාව වෙල් කරා ගෙන යෑමට මේ සොරොව්ව සාදා ඇත. තෙවැන්න නම් බූටිය නම් සොරොව්වයි. තුංගය නමින් භාවිතා කරන පැරණි සොරොව් වර්ගයක් තිබී ඇත. එය රහසිගතය. එය පොළව අභ්‍යන්තරයේ පවතී. වැව වාන් දමන්නට ආසන්නයේ මේ තුංගයෙන් පිටවන ජලය ආසන්නයේ තිබෙන පතහ උතුරන්නට පටන් ගනී. තුංගය මගින් පිට කරන ජල‌යේ පීඩනයෙන් වැව ආසන්නයේ තිබෙන වස්තුවක් කැරකැවීමට යන්ත්‍රයක් නිර්මාණය කර ගැනීමද පැරණියන් ගේ දස්කමකි.හොරොව්පොතාන වැවේ එවැනි යන්ත්‍රයක් ක්‍රියාකරවා තිබුණූ බවට සාක්ෂි හමුවෙයි.

 

වැව නැවත ගොඩ නැන්වීම -

කාලාන්තරයක් තිස්සේ පරිසර පද්ධති සමගම විනාශ වී ගිය වැව යළි ගොඩනැන්වීම පහසු කාරණයක් නොවේ.ඒ සඳහා ඉහතකී පාරම්පරික දැනුම මැනවින් යොදා ගත හැකිය.විශේෂයෙන්ම වැව් එල්ලංගා පද්ධතියක් ගොඩ නැන්වීමේදී මේ දැනුම ඉතා වැදගත්ය.මේ වන විට ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය මගින් වැව් එල්ලංගාපද්ධති තෝරා ගෙන නැවත ගොඩ නැන්වීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.කාලයක් තිස්සේ අත්හැර දමන ලද වැව් සහ නාගරික ජනගහනයට යටවුණු වැව් නැවත පුනරුත්ථාපනය ඉතා සෙවීමකින් බැලීමකින් කළ යුතු දෙයකි.එසේම වනසංරක්ෂණ කලාපයන්ට යටවුණු වැව් ගණනාවක්ද ඇත.මේ විෂය කරුණු ගැන විශේෂ සාකච්ඡාවක්ද ඇත. ඉඩම් ගෙවිජන කෘෂිකර්ම සහ වන සංරක්ෂණ අංශයන්හි සහයෝගය අවශ්‍ය වන්නේ මේ විෂය කරුණු බරපතල ලෙසට සාකච්ඡාවට ගනිමින් විසඳා ගැනීමටය.2004 වර්ෂයේ දී එවැනි බරපතල සංවාදයකට යෙදීමට පසුබිමක් සකස්ව තිබුණද භූමියෙහි ක්‍රියාත්මක වීමේදී බරපතල දුර්වලතා මතුවිය.වර්තමාන වැව් සංවර්ධන කටයතු වලදී එම අතීත අත්දැකීම් සලකා බැලීමේ වුවමනාවක් නිළධාරීන්ට තිබේ නම් මේ අගනා වෑයම සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබෙනු නිසැකය.

     


Wednesday, October 14, 2020

ඉපැරණි ගෝකණ්න විහාරය අභිබවා නන්දි ගවයා මතුවීම

 



             නැගෙනහිර පළාතේ පැරණි ගෝකණ්න වරාය ඉස්මත්තේ මහසෙන් රජු විසින් ඉඳි කළ ගෝකණ්න විහාරය සිංහල බෞද්ධයන් ගේ ගෞරවාදාරයට පාත්‍ර වූ වැදගත් සිද්ධස්ථානයක් විය. මානවම්ම සහ පස්වන අග්බෝ රජවරුන් එම ස්ථානය වැඩි දියුණු කරමින් තපෝවනයක් ලෙසට සංවර්ධන කල බව පෙනේ. අග්බෝ රජු විසින් මෙම විහාරය අසල පධාන ඝරයක් සකස් කල ආකාරය මහාවංශයේ දැක්වෙයි. මෙම ගෝකණ්න විහාරය සාදවන ලද්දේ මෙම ස්ථානයේ පැවති ජෛන තීර්ථකාරාමයක් ඉවත් කිරීමෙන් බවද පැවසේ. පසු කාලයේ දී චෝල ආක්‍රමණ සමයේ ඉපැරණි වෙල්ගම් වෙහෙර මෙන්ම ත්‍රිකුණාමලයේ ගෝකණ්න විහාරයද හින්දු බලපෑමට නතු විය.ගෝකණ්න විහාරය අසබඩ හින්දු දේවාලයක් නිර්මාණය වන්නේ මේ යුගයේදීය.පරංගීන් ලංකාවට කඩා වැදුණු දහහතරවන සියවසේ දී ඔවුන්ගේ ආක්‍රමණයට ලක්වූ මුල්ම ස්ථානයක් ලෙසට ගෝකණ්නය සැලකේ.

     පරංගීන් මෙම විහාරය සහ දේවාලය සුණු විසුණු කර දැමූහ.බුදු පිළිම ගල් කණු කොරවක් ගල් සඳකඩ පහන් සියල්ල මුහුදට ඇද දැමූහ.ඉන්පසු වර්ෂ 1623 දී මෙම කඳු ගැටය ඔවුන් ගේ සුපුරුදු බල කඳවුරක් බවට පත් කරගත්හ.විහාරය සහ දේවාලය විනාශ කරලන්නට ප්‍රථම පරංගීන් විසින් මෙහි එකතු වන ධනයෙන් පණම් 1280 ක් කප්පම් ගත්හ.අනතුරුව දෙවන රාජසිංහයන් ලන්දේසීන් සමග එකතුවී ත්‍රිකුණාමල බලකොටුවට පහර දී අල්වා ගත්හ.

බලේ බලේ රාසිං දෙවියන්ගේ බලේ -ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ යයි ජන කවියා සඳහන් කලේ මේ වික්‍රමය දැක්වීමටයි. වර්ෂ 1766 දී ලන්දේසීන් සමග කීර්ති ශ්‍රී රාජසිංහයන් ගිවිසුමක් ඇති කර ගෙන මුහුදු වෙරළේ සිට ගව්වක ප්‍රමාණයක් අත් හරින තෙක් මේ බල කොටුව උඩරට රාජධානිය සතු විය. ඉන්පසු ලන්දේසීන් ගේ යුධ මධ්‍යස්ථානයක්ව පැවත පැමිණ 1796 න් පසු මෙම බල කොටුව වැඩි දියුණු කරගත් ඉංග්‍රීසීන් නැගෙනහිර පළාතේ මර්මස්ථානය එය බවට පත් කරගත්හ. මෙම පේද්‍රික් බලකොටුවේ ඉහළ අන්තයේ පැරණි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව පැවති අතර බෞද්ධයන් එයට වන්දනාමාන කළහ. 1927 දී පමණ යලි මෙහි දේවාලයක් ගොඩ නැන්වෙන අතර  1964 වර්ෂයේ දී මෙහි පැවති ඉපැරණි බෝධින් වහන්සේ කෝවිල් කොමිටිය විසින් කපා දමා තිබේ. ඒ කාලයේ ත්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයන් නැවත බෝධි රෝපණයක් කරලීමට සැරසුනද ත්‍රිකුණාමලයේ හිටපු දිසාපති වරයෙක් වන එම්.බී.සේනානායක මහතා විසින් එය වළක්වා තිබේ.

          1980 වර්ෂයේ දී ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට ගැසට් කරන ලද්දේය. නමුත් 1987 න් පසු උපරිමයට පත් කොටි ත්‍රස්තවාදය හේතුවෙන් ත්‍රිකුණාමල නගරයේ බෞද්ධ බලය හීන විය. එසේම පුරාවිද්‍යා නිළධාරීන්ටද කලහැකි කිසිවක් නොවීය.මේ කලය තුළ බෞද්ධ නටබුන් තව තවත් විනාශ කරමින් කෝනේශ්වර කෝවිල වැඩි දියුණට පත් විට බෝධිය තිබූ ස්ථානයේ කොන්ක්‍රීට් දමා වේදිකාවක් තනා ඇති අතර විශාල ශිව පිළිමයක්ද සාදා ඇත. පුරාවස්තු ආඥපනතට අනුව  අවසර නොගෙනන කරන ලද ඉඳි කිරීම් සියල්ල නීති විරෝධීය.

 

 


  

   පසුගිය යහපාලන සමයේ මෙම ත්‍රිකුණාමලය දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ආකාරයට නැටවුණු නීතියක් සහිත කලාපයක් විය. කින්නියා ස්ථූපය සංරක්ෂණයට යන පුරාවිද්‍යා නිළධාරීන්ට තහනම් නියෝග ගැනීමද ගුරකන්ද විහාරයේ නාහිමියන් ගේ අදාහන ය සිදු කිරීමට විහාර භූමිය භාවිතා කීරීම තහනම් කරමින් උසාවි නියෝග ගැනීමද සිදුවන්නේ ඒ  සමයේ දිය.වෙඩිකිරිනා මලේ නොහොත් වඩ්ඩමාන පර්වතයේ ගල්ලෙන් වල කෝවිල් අටවනු වස් රංචු ගැසෙන්නේ එ සමයේ දීය.මුහුදු මහා විහාරයේ මායිම් කණු සිටවනු වස් යන පුරාවිද්‍යා නිළිධාරීන්ට මෙන්ම එහි වැඩ සිටින ස්වාමීන් වහන්සේට අඩන්තේට්ටම කරනුයේ එ සමයේ දීය. රනිල් වික්‍රමසිංහ මහතා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත නියෝග පනවමින් නැගෙනහිර පළාතේ ස්ථාන ගැසට් නොකරන ලෙස චක්‍රලේඛන එවන්නේ මේ කාලයේ දීය.ඉදින් සිංහල ජනතාව මේ ගැන කල්පනා කලහ. තුනෙන් දෙකක චන්දබලයක් ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කරනුයේ සිංහල ජාතියට සහ සම්බුද්ධ ශාසනයට කළ කෙනෙහිලිකම් ඉවසනු නොහැකිවමය.

         වර්තමාන රජය බලයට පත් වූ පසු ඇතිවූ කොරෝනා වසංගත තත්ත්වය නිසා පුරාවිද්‍යා කටයුතු සඳහා පත් කරන ලද නැගෙනහිර කර්ය සාධක බලකාය විසින් දියත් කරගෙනයන වැඩ පිළිවෙල වරින්වර අඩපණ විය.නමුත් දෙමළ ජාතිවාදීන් ගේ අභිප්‍රායන් නැවතී නැත. කොනේශ්වරම් කෝවිල කේන්ද්‍ර කොට ඊනියා ඊළාම් දේශයේ මහා පූජා ස්ථානය ගොඩ නැගීම ඔවුන් ගේ අරමුණයි. මේ කෝවිල වටා අද්භූත පුවත් පුබන්ධ නිර්මාණය කරමින් දෙමළ ජනතාව මුලා කරමින් මුදල් ගරා ගැනීම ඔවුන්ගේ බලාපොරෙත්තුවයි. ඒ සඳහා ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ නවතම පියවර වන්නේ පැරණි ගෝකණ්න විහාර භූමියේ නොහොත් පේද්‍රික් බලකොටුව තිබූ පරිශ්‍රයේ නන්දි ගව රූපයක් තැන්පත් කිරීමයි. එය දැනටමත් ත්‍රිකූණාමලයට ගෙනවුත් තිබෙන අතර එය මෙම ස්ථානයේ ඇටවීම පිණිස ඔවුහු පුරාවිද්‍යා බලධාරීන් ගේ අවසර ඉල්ලා  ඇත. මේ සම්බන්ධව වාර්තාවක් සකස් කළ ත්‍රිකුණාමල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකරනුයේ  2020 /7/ 23 දාතමිනි. නමුත් 2020 /8/23 දාතම සහිතව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද ලිපියක් මගින් එයට අවසර ලබා දී නොමැත. එහෙත් ඔවුහු දැන් උද්ඝෝෂණයන්හි නිරත වෙති . නිළධාරීන්ට බලපෑම් ඇති කරති.මේ සඳහා වන දේශපාලනයක්ද ක්‍රියාත්මකවන බව නිසැකය.රුවන් මැලි සෑ මලුවේ දිවුරුම් දුන් ජනපති වරයා ගේ වගකීම නම් ගෝකණ්න විහාරය පමණක් නොව උතුර සහ නැගෙනහිර සෑම බෞද්ධ සිද්ධස්ථානයකටම නිසි ආරක්ෂාව සලසා දී ඒවායේ අන්තවාදී ක්‍රියා ඉදිරියට යෑම වළක්වාලීමයි. එසේම ගෝකණ්න විහාරයේ පැරණි නටබුන් මුහුදු පත්ලෙන් ගොඩ ගෙන යලි තිබූ තැන්හි ස්ථාපිත කරමින් ඉතිහාසයට යලි පණදීමේ වගකීමක්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඇත.