පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, September 18, 2020

ගුලවිට ආදි මානව ගල්ලෙන ගල් කොරියක් වේවිද

 

 

 


                               

            ලංකාවේ වැදි ජනතාව වරිග කීපයක එකමුතුවක් ලෙසට සලකන අතර ඔවුහු ආදි මානවයාගේ විකාශනයක් යැයිද සැලකීමක් ඇත. මොවුන්ගේ තොරතුරු සොයා මානව විද්‍යාඥයන් මහ ඝන කැලෑවල ඔවුන්ගේ චර්යා රටා අධ්‍යයනය කළහ.චායාරූපයට නැගූහ. සංස්කෘතික වටපිටාව සටහන් කොට තැබූහ. ගල් ගෙවල් සහ එළිමහන් ස්ථාන කැණීම් වලට ලක් කළහ. සැරසින්ස් පාකර් සෙලිග්මාන් හර්ට්ලි වේලන්ඩ් මෙන්ම පී.ඊ.පී. දැරණියගල මහතාද ඒ අතර විය. මේ ගවේෂණ මගින් පැහැදිලි වූයේ යුරෝපාදී රටවල වසර 12000 කට පමණ එහාදී දක්නා ලැබෙන ශිලා මෙවලම් වසර 28000 කට එහා සිට ලංකාවේදී හමු වීමයි. 1915 දී වේලන්ඩ් නම් විද්‍යාඥයා ඉරණමුඩු පස් ස්ථරවල වැදගත්කම පෙන්වා දී තිබුණු අතර 1972 දී ශිරාන් දැරණියගල මහතා විසින් කරන ලද පර්යේෂණ මගින් මෙම ක්ෂේත්‍රය පුළුල් කර ගැනීමට නව මාවතක් එළඹුණි. ඒ මග ගත් ආචාර්ය ඩබ්.එච්.විජේපාල මහාචාර්ය රාජ සෝමදේව ආචාර්ය නිමල් පෙරේරා  වැනි පුරා විද්‍යාඥයන් අතීතයේ පටන් ලංකාවේ හමුවන මානව ජනාවාස කරණයට නව අත්දැකීම් එකතු කර ඇත. මේ පර්යේෂණ අතර බලන්ගොඩ මානවයා නම් කිරීම පාහියන්ගල මානවයා විශිලේෂණය කිරීම සුවිශේෂි කඩයිම් දෙකකි. පාහියන්ගල පවතින වැදගත්කම ඉස්මතු වන්නේ එහි ගල් ඇන්ද හේතු කොට ගෙනය.වර්තමානයේ දී මහාචාර්ය නිමල් පෙරේරා මහතා විසින් මේ ගල් ඇන්ද පාමුළ කරන ලද පර්යෙෂණ මගින් සනාථවී තිබෙන්නේ පාහියන්ගල ජනාවාසයේ ඉතිහාසය වසර 48000 ඉක්මවා යන බවයි.. එලෙසම බෙලි ලෙන බටදොඹලෙන වැනි තැන් වලදීද එවැනි කාල වකවානුවක ඉතිහාසයක් හමුවන බව පෙන්වා දී තිබේ.

      ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් දක්නට ලැබෙන කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සීමාවේ පවතින මේ ආදි මානව ජනාවාස රාශියක්ම පහුගිය කාලයේ දැන හඳුනාගන්නට ලැබී තිබේ.  පාහියන්ගල සිට පැතිරෙන මේ මධ්‍ය ශිලා යුග මිනිසා මතුගම ආසන්නයේ කළුපහන ගල උඩ කන්ද ප්‍රදේශයට පවා පැතිර  ඇති බවට කරුණු හෙළි වී තිබේ. මේ ප්‍රදේශයේ මැණික් පතල් වලින් ලැබෙන යුග ගණනාවක තොරතුරු මත වරින් වර නාය යමින් වැළලෙමින් ස්ථර වෙනස් වෙමින් පැවති සංස්කෘතියක තොරතුරු ද හෙළි වෙයි.

         2017 වසරේ දී බස්නාහිර පළාත් පුරාවිද්‍යා කාර්යාලයේ ගවේශණ කණ්ඩායම විසින් පාලින්ද නුවර ප්‍රදේශයේ කරන ලද අධ්‍යනයේ දී හෙළි වූ කරුණු ද මෙහි බහාලීම උචිත යයි සිතමි. බදුරලිය නගරයට ආසන්නයේ නමුත් වඩාත් පැතිරුණු කඳු ස්ථරයන්හි සැඟවුනු ගල් ගුහා රාශියක් තිබෙන බවට එහිදී කරුණු හෙළි විය.අත්වැල්තොට බොල්ලුන්න රුසිගල හැඩිල්ල තවාන යකුපිටිය කලුගල මූකලාන මිරිහාන්කන්ද කලුගල ආරණ්‍ය වවුලුගල පූජාලෙන ආරණ්‍ය  යන ස්ථානයන්හි ප්‍රාග් ඓතිහාසික ජනාවාස තිබුණු බව එහිදී පැහැදිලි වී ඇත. විශේෂයෙන්ම පාලින්ද නුවර ජලාශ්‍රිත භූමි කලාපයක් ලෙසට සැලකෙන අතර පානීය ජලය ලබා ගැනීමට පහසු වන පරිදි එම ජනාවාස සකස්ව ඇති බවද හෙළිදරව් විය.එම නිසා පාහියන්ගල මිනිසා සහ කලුපහන  මිනිසා  අතර ඇති සම්බන්ධය හෝ වෙනස් කම් හැදෑරීමට තවත් කාලයක් ගත වනු ඇතැයි මෙහිදී සඳහන් කළ යුතුය.ඒ සමගම පැවසිය යුතු වැදගත්ම කරුණ වන්නේ ඓතිහාසික යුගයන්ට එළඹීමට ප්‍රථම මේ ප්‍ර දේශයේ ජීවත් වූ ආදි මිනිසා සතුව වැදගත් සංස්කෘතියක්ද සොයා හෙළිදරව් කිරීමට හැකි බවයි.ක්‍රි.පූ. 3000 පමණ සිට ක්‍රි.පූ. පස්වන සියවස දක්වා කාලය තුළ මෙම මිනිසා ගේ පරිවර්තනය හැදෑරීමට දැන් අවස්ථාවක් පැමිණ තිබෙන බව සඳහන් කළ යුතුය.

 

         කලුතර දිස්ත්‍රික්කයේ නොහොත් පුරාණ පස්යොදුන් කෝරළයේ ආදි මානවයා ක්‍රමයෙන් සංවර්ධනයට ලක්  වෙමින් ගොවි ජීවන ක්‍රමකට හැඩ ගැසුණු ආකාරය ද මෙහිදී හමුවුණු ඇතැම් පුරාවස්තු වලින් ඉස්මතු කරගත හැකිය. පාලින්ද නුවර අවට මැණික් පතල් වල අඩි තිහක් පමණ යට ස්ථරයකින් හමු වුණු නගුල් තුන මෙයට හොඳ උදාහරණයකි. ලංකාව පුරා පැතිර සිටි ගොවි ජනතාව භාවිතා කළ නගුල් වලට වඩා ප්‍රාථමික බවක් මෙයින් හෙළි වේ.

   මේ කතාවේ ඊළඟ පරිඡේදය ලියැවෙන්නේ කලුතර වලල්ලාවිට ප්‍ර දේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගුලවිට කන්ද පෙදෙසේද පාහියන්ගල මෙන් විශාල ගල් ලෙනක් පිළිබඳ තොරතුරු හමුවීමෙනි.2009 වසරේ දී මෙම ගුලවිට කන්දේ පවතින සින්නකර ඉඩමක ගල් කොරියක් පවත්වාගෙන යෑම පිණිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවසරයක් ලබා දී තිබුණේ එම ගල්පර්වතය පිහිටි ස්ථානය පරීක්ෂා කරලීමෙන් පසුවයි.ඉන්පසු 2009 සිට 2018 වසර දක්වාම එම පර්වතය කැණීමකට ලක්වුණු අතර 2020 වසරේ දී එම ගල්වලේ බලපත්‍රය යළි අලුත් කරලීම පිණිස ඉල්ලුම් කෙරිණ.මෙම කාරණය උදෙසා එම ස්ථානයට ළගාවූ පුරාවිද්‍යා කණ්ඩායමට දිස්වූයේ ගල් කොරියට ඉස්මත්තෙන් වූ විශාල ගල්ලෙනකි.දැනට පවත්නා ගල් වලට ආසන්නයේ මීටර විස්සක් පමණ ඉහළින් මේ ගල්ලෙන පිහිටා තිබුණි.  කාලාන්තරයක් තිස්සේ මහා වනයෙන් වැසී තිබූ  මේ ගල්ගෙය ප්‍රාග් ‌ෙඒතිහාසික මානවයාට වාසය සැලසූ ගල් ලෙනක් ලෙසට  මහාචාර්ය නිමල් පෙරෙරා මහතා විසින් හඳුනාගන්නට යෙදුණී.  මහාචාර්ය වරයා පවසන පරිදි පාහියන්ගල මෙන්ම විශාල ගල් ඇන්දක් මෙහි පවතී. පාහියන්ගල කැණීමේ දී ගල් ආයුධ ඇතුලු මානවයා පරිහරණය කල බොහෝ අවශේෂ හමු වූයේ ගල් ඇන්ද අසල කරන ලද කැණීම් වලිනි.මේ නිසා ගුලවිට ගල්ලෙන පාහියන්ගල මෙන්ම ඉතා වැදගත් මානව ජනාවාසයක් බව ඔහුගේ නිගමනය විය.මෙම ගුහාවේ මතු පිට ස්ථරයේ පවා විශේෂ ගල් ආයුධ එනම් සත්ව ඇටකටු වලින් තනන ලද ගල් ආයුධ රාශියක් දක්නට තිබෙන අතර කලු මැටි වළන් ද තිබිය හැකි බව නීරීක්ෂණය වී තිබේ.මෙම ගල් ලෙන සොයා ගැනීම පිළිබඳ පුවත්පත් වල පළ වීමෙන් පසු විශාල ජනකායක් මෙම ස්ථානයට ළඟා වෙමින් තිබෙන අතර ගල්ලෙනේ මතුපිට පස්තට්ටුව මේ ජනතාවට පෑගීමෙන් ඉදිරි පර්යේෂණ කටයුතු වලට බාධාවක්  ඇතිවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මතයයි.

    මේ වන විට මෙම ගල්ලෙන ආසන්නයේ පවතින ගල්වල තාවකාලිකව අත්හිටුවා තිබේ.සැබවින්ම ගුලවිට කන්ද මෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ තිබෙන මෙවැනි ගල්පර්වත රාශියකම ජල උල්පත් බහුලව පවතී. ගල් ඇන්දෙන් මෙන්ම ගල යටින්ද ජල උල්පත් ගලා යෑම දක්නට ලැබේ. ඒවායේ ආගාර පාරවල් මගින් පහළ නිම්නය පෝෂණය කරයි. මෙවැනි ගල්පර්වත කැඩීම නිසා ජල උලපත් හිඳී යෑමේ තර්ජනයයක් ද ඇත. මේ නිසා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මෙවැනි ස්ථාන වලට බලපත්‍ර දීමේ දී වඩාත් සැලකිලලක් දැක්විය යුතු බව පරිසර වේදීන් ගේ පවසයි.

මතුගම සෙනෙවිරුවන්

    

 

Saturday, September 12, 2020

හරක් මැරීම නැවැත්වීම පරලොවට සෙතසලසන පින්කමකි

 

 

 

                          

           ගල් සපා කමින් රතු ලේ බොමින් සිටි පෘතුගීසීන් ගැන රාජාවලියේ සඳහන්ව ඇත.ඒ  අතර ඔවුන්   ගෙරි මස්ද අනුභව කළහ. මේ ක්‍රියාවලිය පිළිකුලෙන් හෙලා දුටු සිංහලයන් පරංගින් දුටු තැන පන්නා දැමූහ. එහෙත් අපගේ රජ වරුන්ගේ දුර්වලකම් නිසා පරංගින්ට ගෙරි හම් කඩක බිම දුන්දා සිටම සිංහල සිරිත අකා මාකා ගියහ. 1817 ජාතික විමුක්ති සටනේදී ඉංග්‍රීසීන් ඌව වෙල්ලස්සේ දී මේ ගවයන් මරා  පළාතේ ළිං වලට දැමූහ. සිංහලයා විනාශ කරන්නට මෙන්ම කොන් කරන්නට හැකි සෑම දෙයක්ම කළහ. මේ සටනෙන් පසු රදළවරු අත් අඩංගුවට ගෙන පිටිවහල් කොට දේශයේ විනාශය සඳහා මුල් පියවර තැබූහ. ඒ සඳහා දේශිය හරකා විනාශ කළ යුතු යයි ඉංග්‍රීසින් ඉවෙන් මෙන් වටහා ගෙන සිටියහ. 1820 වර්ෂයේ රජයේ ගැසට් පත්‍රයේ මෙයට ගත් පියවර සෘජුව සඳහන් වෙයි. එහි සඳහන්ව ඇත්තේ මෙවැනි දැන්වීමකි.

        මහා රාජෝත්තමයානන් වහන්සේ ගේ නැව් යාත්‍රා වලට ත්‍රිකුණාමල වරායේ දී අමු හරක් මස් සපයා දෙන ටැන්ඩර් නොහොත් පොරොන්දු ලියමන් ඒ ඒ කාලවලට හරියන්ඩ පුලුවන් පලා කොල ජාති ඇතුලුව දෙන හැටියට සාදා ගෙනත් දුන්නාම මෙහි පහත සඳහන් කල උන්නාන්සේ ගේ කන්තෝරුවේ දී නොවැබ්‍ර මස තිස් වෙනි දින වෙනතුරු භාර ගනිමින් ඊට උත්‍ර ලබන දෙසැබ්‍ර පහලොස් වෙනි දින වෙන තෙක් දෙන්ඩ යෙදෙනවා ඇත. ඒ ටැන්ඩර් නොහොත් පොරොන්දු ලියමන් වල ඉංග්‍රීසි ගණනෙන් නොහොත් හන්ඩ්‍රඩ් වීට් නොහොත් සියේක කිරුන් බර ඉහත කී දේවලින් කෙපමණ මුදල් ගණනකට දෙනවාද යන බව සඳහන් කොට එක එක පාර්ෂ අය විසින් තම තමන්ගේ ඒ පොරොන්දු වල් හොඳ කර ඉෂ්ට කර දීමට පනාහර දෙදෙහසක් දඩ නියම ව පොරොන්දු වී බැඳී තිබෙඬ ඕනෑය. මෙම වාරයේ දී හොඳ තර බාරු කම් ඇති ගවයින් සපයා දීමට වෙන පොරොන්දු වල්ද හොඳින් සොයා බලා ඒත්තුවට ගන්ඩත් යෙදේය. මෙම පෙරොන්දු වලට බැඳෙන්ඩ මනාප අයවල් වලට ලේසියෙන් දැන ගන්නා පිණිස දන්වනවා  පසුගිය ජූනි මාසේ තිස් වෙනි දින වෙනතුරු අවුරුද්දට නැවු වලට සපයා දුනොත් ( හන්ඩ්‍රඩ් වීට් කිරුන් බරින් ) අමු හරක් මස් හත්සිය හැටයි එසේම පලාකොළ ජාති හයසිය පණහයි. වෂ එක්දාස් අටසිය විස්සක් වූ ඔක්තොබ්‍ර මස පළමු වැනි දින ත්‍රිකුණාමලේ නැවු වලට කෑම වියදම් දෙන්ඩ පෙරොන්දු වෙන උන්නාන්සේ ගෙ කන්තෝරුවේ දීය. අත්සන් කලේ තෝමස් කින් උන්නාන්සේ.

      අමු හරක් මස් සපයා දීම උනන්දු කරවීමට දැමූ මෙම දැන්වීම නිසා ඉංග්‍රීසින් අනුගමනය කළ රදළයන් වෙසෙසින්ම රටේ මහත්වරු වැනි අය ටැන්ඩර් ලබා ගැනීමට උත්සාහ කළහ. මෙහි ප්‍රතිඵලය වූයේ ගම් වල සිටි කුලු හරක්  හා සමාන කම් ඇතිව සිටි ගවයන් ඝාතනය කිරීමට පටන් ගැනීමයි. එහිදී එළ ගවයින් මෙන්ම මීගවයින්ද එක විට ඝාතනය කළහ. මේ ක්‍රියාවලිය සිංහලයින් පිළිකුල් කළ බැවින් ගම් ගානේ වෙළෙදාම් කරමින් තැනින් තැන සංක්‍රමණය වී සිට මුස්ලිම් පිරිස මේ කාරිය පිණිස මහා මාර්ග අයිනේ හරක්මස් කඩ විවෘත කළහ.මේ කාරිය ටෙන්ඩර මගින් ලබා දීමට ඉංග්‍රීසි ආණ්ඩුව මෙන්ම 1948 න් පසු පත් වූ සිංහල ආණ්ඩුද කටයුතු කරතිබේ.වර්තමානය වන විට සෑම නගරසභාවකම ප්‍රාදේශීය සභාවකම හරක් මස කඩයක්  වෙන්දේසි කරයි. මේ කඩ ලබා ගන්නා මුස්ලිම් වෙළනේදන් බලපත්‍ර සහිතව සහ බලපත්‍ර රහිතව හරක් මරා මස් කරන බව රහසක් නොවේ.පසුගිය කාලයේ දී ‌තොරතුරු දැන ගැනීමේ පනත භාවිතා කොට ගව ඝාතනය පිළිබඳ සංඛ්‍යා ලේඛන ලබා ගතිමි.එහිදී තහවුරු වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් ලබා දෙන බලපත්‍ර වල අඩංගු ප්‍රමාණයකට වඩා හරකුන් ඝාතනය වන බවයි.

 

      විශේෂයෙන්ම කුඩා පැටවුන් එළදෙනුන් සහ මීගවයන් මැරීම තහනම්ය. නමුත් ගම්වල සිටින මේ ගවයන් හොරෙන් දක්කාගෙන මස් කඩයට ගෙන ඒමට තැරැව් කාරයන් පිරිසක්ද සිටිති. කුඩා පැටවුන් පටවා ගෙන පැමිණෙන්නේ ත්‍රි රෝද රථවලිනි. වරක් මෙම ලියුම් කරු යතුරු පැදියෙන් ගමන් කරද්දී ඉදිරියෙන් ගිය ත්‍රිරෝද රථයේ සිටි වසු පැටියෙක් අත්අඩංගුවෙන් මිදීපාරෙන් ඉවතට පැන වෙල දිගේ දිව ගියේය.හරක් වෙළෙන්දා වැටි වැටී වසු පැටියා පස්සේ පන්නා ගියේය. මේ පිළිබඳ ක්ෂණයකින් අසල තිබෙන පොලිසියට පැමිණිලි කළද ගත් කිසිම ක්‍රියා මාර්ගයක් නොවීය.

   1957 වර්ෂයේ(1988 සංශෝධනය කර ඇත.) නිකුත් කරන ලද ගව ඝාතකයෝ පනතේ හැටියට එහි 12 17 සහ 21 වන වගන්ති වල ප්‍රකාරව ගේඝාතකාගාර පවත්වාගෙන යෑමට නීතියක් ඇත. ගවයෙකු ඝාතන කිරීමට ප්‍රථම එම සත්වයා පැය විසිහතරක් මහාජනතාවට ප්‍රදර්ශනය කළ යුතුය.ගෝඝාතකාගාර බලපත්‍ර සහිත ස්ථාන විය යුතු අතර හරක් මස් කඩ ලබා ගන්නා වෙළෙන්දන් මාසිකව විකුණණ ලද මස් ප්‍රමාණය සහ මරන  ලද ගවයන් සංඛ්‍යාව ප්‍රාදේශීය  සභාවට හෝ නගර සභාවට දැන්විය යුතුය.නමුත් නීති ප්‍රකාරව මේ කිසිවක් සිදු වන්නේ නැත. ගව ඝාතකයා විසින් නීත්‍යානුකූල නොවන මාර්ගයෙන් ගවයන් ප්‍රවානය කරනු ලබන අතර අදාල පනතේ නීති රීති ප්‍රකාරව ගවයා ප්‍රදර්ශනය කිරීමක් සිදු නොකරයි. ඝාතනය කරන ලද ගවයා ගේ මස්  විකිණිම පිණිස මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා විසින් මුද්‍රාවා තබන අතර එලෙස මුද්‍රා තබන මස් ප්‍රමාණයට අමතර මස් ප්‍රමාණයක්ද හරක් මස් කඩයේ දක්නට ලැබේ ඊට හේතුව විවිධ තැන්වල අනවසරයෙන් මරන ලද හරක් මස් ද  මස් කඩයට ගෙනෙන බැවිනි.අධීවේගී මාර්ගය විවෘත වූවායින් පසුව කලුවීදුරු සවි කළ වාහන වල පටවන ලද හරක් මස් පළාතේ හරක් මස් කඩ වලට ප්‍රවාහනය කරනු ලබත් . මේවා කිසිවක් පරීක්ෂාවට බඳුන් නොවේ.

      සැබවින්ම ගව ඝාතනය නතර කිරීම පිණිස අප අනුගමනය කළ යුතු ප්‍රථම පියවර වනුයේ නීති ප්‍රකාරව ගව ඝාතක ස්ථාන පවක්වා ගෙන යෑමට දිරිදීමයි. පසුගිය කාලයේ දී ඇතැම් ප්‍රාදේශීය සභා මගින් හරක් මස් කඩ වෙන්දේසි කිරීම නවත්වනු ලැබූහ. පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරත්න හිමියන් දළදා මාළිගය ඉදිරිපස දී කළ ජීවිත පූජාවෙන් පසු රට පුරා ඇති වූ මහජන මතය ක්‍රියාත්මක වූයේ එලෙසිනි. නමුත් එම පියවර සෑම ප්‍රාදේශීය සභාවක් මගින්ම අනුගමනය නොකලහ. ගව ඝාතන ආඥා පනත අනුව  ගවයා මරන්නා විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග නිසි පරිදි අනුගමනය කළහොත් හරක් මැරීම බෙහෙවින්ම පාලනයට යටත් වෙයි.හින්දූන් මෙන්ම බෞද්ධයන්ද හරක් මැරීමට විරුද්ධ වෙති ගෙරිමස් කෑම පීළිකුල් කරති. නමුත් මත් පැන් ශාලා වැඩි වශයෙන් ප්‍රචලිත වීමත් බෞද්ධ සාරධර්ම ගිලිහී යෑමත් නිසා මස් කෑමේ ගිජුතාවය ඉතා ඉහළය.මුස්ලිම් සහ ක්‍රිස්තියානි අය පමණක් නොව වැඩි වශයෙන් බෞද්ධයන්ද හරක් මස් අනුභව කරති. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහත් බලයකින් සිටි අවදියේ මේ ගව ඝාතන තහනමට ඔහුගෙන අවසර පැතූ බව මෙහිදී මතක් කළ යුතුය. පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිය සිරුරට ගිනි තබා ගත්තේ මේ ඉල්ලීම නොසලකා හැරි බැවිනි. මෙවැනි තත්වයක් උදා වුවද ඒකල මේ ඉල්ලීම් වලට කන් දීමට ඔහුට ඉස්පාසුවක් ලැබුණෙ නැත. දැන් 2020 වසර වන විට එවැනි හිතක් හදිසියේ පහළ වීම අපට විමතියට කරුණක් නොවේ මහින්ද රාජපක්ෂ මහතා  ගේ දෙශපාලන ජීවිතයේ උච්චතම අවස්ථාව දැන් ගෙවී යමින් පවතින අතර ගව ඝාතනය තහනම් කිරීමට සිතක් පළ වීමම මහත් පින්කමක් ලෙසට සැලකිය යුතුය . එය පරලොව සුගතියට හේතුවක් වන්නේ රාජ්‍ය නායකයෙකු විසින්  ඊට නායකත්වය දීමෙනි.පෙර රජවරුන්ද එසේ කළහ.ඒ මගින් ජනිතවන පුණ්‍ය මහිමය මුලු රටේම සෞභාග්‍යට ද හේතු වනවා නිසැකය.

මතුගම සෙනෙවිරුවන්

Saturday, September 5, 2020

නවවන වගන්තිය අනුව රජයේ ඉහළ තනතුරු බෞද්ධයන්ට පමණයි

 


          ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජියක් බවට පත් වීමට පළමු මෙරට පාලනය වන ලද්දේ ලිඛිත ව්‍යවස්ථාවකට අනුව නොවේ.නමුත් ශිලා ලේඛන මගින් ප්‍රකාශ කරන ලද්දා වූ පෙර රජවරුන් විසින් පිළිගන්නා ලද ව්‍යවස්ථාවක් විය.වෙසෙසින්ම සතරවන පැරකුම් රජු කාලයේ රචනා කරන දළදා ව්‍යවස්ථාව මගින් දක්වන ලද කරුණු සිංහල බෞද්ධ පාලකකයෙකු ගේ යුතුකම් වශයෙන් සළකන ලදී.එසේම මෙරට නායකත්වයට පත්වන පුද්ගලයා බෞද්ධයෙකු බෝධිසත්වයෙකු ලෙස පැවතීය යුතු බවට සම්ප්‍රදායක්ද ගොඩ නැගී තිබුණී.1815 වසරේ අත්සන් කරන ලද සිංහලේ බ්‍රිතාන්‍ය ගිවිසුමේ පස්වන වගන්තිය ප්‍රකාරව බුද්ධාගම ආරක්ෂා කල යුතු බවට ලිඛිත පිළිගැනීමක් සිදු විය.ඉංග්‍රීසි පාලනය විසින් මේ පිළිගැනීම පසුව කඩ කිරීම නිසා යටත් විජිත ක්‍රමය තුළ අන්‍ය ජාතිකයන් හා ආගමිකයන් ගේ පාලනයට නතු වීමට අපට සිදු විය. නමුත් 1948 වසරේ දී යම් දේශපාලන නිදහසක් ලැබී තිබුණද සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තිය ප්‍රකාරව සිංහල බෞද්ධ අයිතිය තහවුරු කරගැනීමක් සිදු නොවීය.මේ අයිතිය නැවත තහවුරු කරන ලද්දේ 1972 සහ 1978 ව්‍යවස්ථාවන් පැනවීමෙන් පසුවයි.

        1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාව කරණ කොට සිංහල ජාතිය ශක්තිමත් වීම මෙන්ම දුර්වල වීම ද සිදු ව ඇත. වෙසෙසින්ම 1948 පුරවැසි පනතින් මෙරට පාරම්පරික වැසියන් භුක්තිවිඳි වරප්‍රසාදයක් ඉවත් කරනන්නට යෙදී ඇත. එම තත්ත්වය තුල සිංහල ජාතිකත්වය වෙනුවට ශ්‍රී ලාංකික ජාතිකත්වයක් ආරෝපණය කොට තිබේ. එසේම දිවයින පුරාම සිංහල භාෂාව භාවිතා කරලීමට තිබූ අයිතියද 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි කොට තිබේ.නමුත් ව්‍යවස්ථාවේ නවවන වගන්තියෙන් බුද්ධාගමට බුද්ධ ශාසනයට තිබූ පිළි ගැනීම යම් ආකාරයකින් ශක්තිමත් කර තිබේ. ජේ.ආර.ජයවර්ධන මහතා මෙම ව්‍යවස්ථාව සම්පාදනය කරන කල්හි එක් අතකින් සිංහල බෞද්ධයන් තෘප්තිමත් කර ඇත. අනෙක් අතින් විදෙස් ගැති අන්‍යාගමිකයන්ද තෘප්තිමත් කරතිබේ.නවවන ව්‍යවස්ථාවේ සඳහන් පාඨය මෙලෙස දැක්වේ

ශ්‍රීලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙත් 10 වන ව්‍යවස්ථාවෙන් සහ 14 ව්‍යවස්ථාවේ(1) වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරදෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිතකොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.

   ජයවර්ධන ජනපතිවරයා ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ කරන සඳහනින්.බුද්ධාගම මුල් තැන ලබා දෙන බැවින් බුදුදහම පිලිපදින බෞද්ධයාටද ප්‍රමුඛස්තානය හිමිවේ.ඒ අනුව ශ්‍රී ලංකා ජනරජය වන විධායකය ව්‍යවස්ථාදායකය මෙන්ම අධීකරණයද යන ආයතන තුනේම බෞද්ධයාට ප්‍රමුඛස්ථානය ලබා දී තිබේ. නමුත් ඉංග්‍රීසි පිටපතේ කරන ලද සුලු වෙනස්කමක් මගින් මේ ප්‍රමුඛස්ථානය නැවත නිෂේධනය වේ. එනම් මෙම වගන්තියේ වාක්‍ය අතර නැවතීමේ ලකුණ ඉවත් කිරීමෙනි. ඉංග්‍රීසි භාෂා පාඨය මෙලෙසය.

The republic of sri lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the state to protect and foster the Buddha sasana while assuring to all religious the rights granted by articles 10 and 14 (1)(e) මෙම ඉංග්‍රීසි වගන්තිය මෙලෙස යොදන්නට ඇත්තේ කලු සුද්දන් සහ අන්‍ය ආගමිකයන් සැනසීමටයි.

 

 

   ඉංග්‍රීසි පාඨය මගින් ලැබෙන අර්තයෙන් බුදු දහමට ලැබෙන ප්‍රමුඛස්ථානයක් හිමි වන්නේ නැතැයි කෙනෙකුට තර්ක කළ හැකිය.නමුත්  යම්කිසි අර්බදුයක් ඇතිවූ අවස්තාවකදී සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බවටද නීතියක් ව්‍යවස්ථාවට ඇතුලත් කර තිබේ.(1978 මුල් ව්‍යවස්ථාවේ තිබෙන්නේ රාජ්‍ය භාෂා ඵාඨය යනුවෙනි. 13 වන සංශෝධනයෙන් පසු දෙමළ ද රාජ්‍ය භාෂාව වූ බැවින් සිංහල බාෂා පාඨය යනුවෙන් ඇතුලත් වී තිබේ.)     ව්‍යවස්ථාවේ සිංහල භාෂා පාඨය සහ ඉංග්‍රීසි භාෂාපාඨය අතර ඇතිවී තිබෙන මේ වෙනස්කම මත බුද්ධාගමටත් බුද්ධ ශාසනයටත් හිමි ‌ ‌ෙඑතිහාසික ස්ථානය ආරක්ෂා වී අති බව පෙනේ. මෙම කාරණය පිළිබඳව සැලකිලිමත් වූ නිතිඥ අරුන උණවටුන මහතා මේ වන විට ඉහළ අධිකරණයට නඩුවක්ද ගොනු කර තිබේ.

     පෙර ඉතිහාසය තුළ බුදු සසුන ආරක්ෂා කරලීමට රජවරු අපමණ මහන්සි ගත්හ.දළදා වහන්සේ ප්‍රාණය මෙන්රැක ගිනිමින් සතුරු ආක්‍රමණ පරදවමින් අඛණ්ඩව අවිච්ඡින්නව සම්ප්‍රදාය රැක ගත්හ.සෙනරත් රජතුමා රාජවංශිකයෙකු නුවූ බැවින් දළදා වහන්සේ රැක ගත් කීරවැල්ල පරපුරෙන් කුමරියක් ලබා ගත නොහැකි විය. පසුව අවාහ කරගත් දෝන කතිරිනා අවසාන රාජවංශික බිසව කතෝලිකකරණයට ලක් වීම නිසා බුදුසසුනට කළ යුතු මෙහෙය නිසි පරිදි ඉටු කරලීමට රජුට නොහැකි විය.මේ තත්වය මත දළදා වහන්සේ ගේ රැකවරණයට කීරවැල්ල ඥාතීන් අතරින් කෙනෙකු තෝරා පත් කර ගැනිණ(රඹුක්වැල්ලේ විත්ති පොත ) .නායක්කර යුගය දක්වාම මේ සම්ප්‍රදාය පැවති අතර නායක්කර් රජවරු වන කීර්ති ශ්‍රී රාජසිංහයන් දළදා වහන්සේ මහා සංඝ රත්නයට භාර කළහ.ඉංග්‍රීසි යුගයේ දී දළදා වහන්සේ රැගෙන පළාගිය භික්ෂූන් වහන්සේලා සැම දෙනම කීරවැල්ල පරපුරට ළඟම ඥාති සම්බන්ධකමක් දැක්වූ වන්ය.බුදුදහමත් දළදා වහන්සේ පිළිබඳවත් තිබෙන පැරණි සම්ප්‍රදායන් මෙලෙසය.

    ඉංග්‍රීසීන් 1818 සිදු වූ ජාතික විමුක්ති අරගලයෙන් පසුව උඩරට ගිවිසුම සංශෝධනය කොට අන්‍යාගමික පූජකයන්ට විශේෂ වරප්‍රසාද හිමිකර දුන්හ.මේ නිසා ලංකාවේ සෑම පළාතකම දේවස්ථාන ඉඳි කරලීමට මෙන්ම බෞද්ධයන් ගේ වරප්‍රසාද අඩු කරලීමටද පියවර ගැනුණි.1848 අරගලයෙන් පසුව දළදා වහන්සේ සම්බන්ධ රජයේ වගකීම මහා සංඝ රත්නයටත් දියවඩන නිලමේ තුමාටත් භාර දීමෙන් පසුව ශාසනික වගකීම් සියල්ලටම උර දෙන ලද්දේ සැදැහැති බෞද්යන් ය. 1948 වර්ෂයේ දී ලංකාවේ පාලනය නැවත භාරදෙන කල්හි උඩරට ගිවිසුම ප්‍රකාරව කටයුතු නොකලා පමණක් නොව ලංකා  නිදහස් රාජඥා පනතේ 29 වන වගන්තිය තුළින් බුද්ධාගමටත් අනෙක් ආගම් වලටත් එක ලෙස සැලකීමට නීතිමය ප්‍රතිපාදන ඇතුලත් විය.වලිසිංහ හරිස්චන්ද්‍ර  තුමා අනුරාධපුරයට ගොස් කල අරගලයේ දී ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්තව සිටි බුක් මහතා කීප වතාවකදීම බෞද්ධයන් ගේ පූජා විධි කහනම් කරන ලදී. විශේෂයෙන්ම හේවිසි වාදනය තහනම් කොට හේවිසි කරුවන් උසාවියට ඉදිරපත් කොට සිරදඬුවම් ද පමුණුවා ඇත.කලුතර බෝධිය කැපීම සඳහා ද ආණ්ඩුවේ ඒජන්ත වරයා උත්සුක වූ ආකරයද ඒ සඳහා ඇති වූ අරගලයේ දී ඇතිවූ පෙරළියද වාර්තා වී තිබේ.

    පශ්චාත් නිදහස් සමයේ ද මේ තත්වය විශේෂයෙන්ම බෞද්ධයන්ට සිදු වූ කෙණෙහෙලිකම් ගැන වාර්තා රාශියකි. 1972 ජනරජ ව්‍යවෂ්ථාව සහ 1978 ව්‍යවස්ථා දිගුව තුළින් සිදු වූයේ මේ කෙණෙහෙලිකම් යම් පමණකින් අඩු වීමයි.නමුත් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තුළ බෞද්ධ අයිතීන් තහවුරු වී නොමැත.78 ව්‍යවස්ථාවේ 105 (4) ප්‍රතිපාදනය අනුව මේ වනු තුරුම සංඝාධිකරණයකට නීති පනවා නැත.වරින් වර ව්‍යවස්ථාදායකයේ සහ අධීකරණයේ මුල් පුටු වලට අබෞද්ධයන් පත් කර තිබේ.ඒ මගින් සිදු වූ හානියද සුලු පටු නොවේ.

 

 

 වර්තමානයේ දී 20 වන සංශෝධයක් ද කරළීයට පැමිණ තිබේ.පසුගිය යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ 19 සඳහා හොර රහසේම කාරක සභා අවස්ථාවේ රටට අහිතකර වගන්ති ඇතුලත් කලා සේ 20 සඳහාද එවැනි අහිතකර වගන්ති ඇතුලත් කිරීමේ ඉඩකඩක් නැතිවා නොවේ.වෙසෙසින්ම නව වන ව්‍යවස්ථාව හෑල්ලු කිරීමට නැතිනම් ශූන්‍ය කිරීමට යම් ප්‍රතිපාදනයක් ඇතුලත් කිරීමට ඉඩ කඩක් ඇත. මන්ද අධීකරණයේ මුල් පුටුවට අබෞද්ධයෙකු පත් වී තිබෙන බැවිනි.

මතුගම සෙනෙවිරුවන්