මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුම යම්
කිසි ප්‍රකෘතියක් අනුව උප්පත්තිය ලබයි. මෙහිදී
සඳහන් ප්‍රකෘතිය යනු පංච මහා භුත තත්වයන් අනුව ජනිත ප්‍රකෘතියන්ය. ඒ අනුව
කෙනෙක් සෙම් ප්‍රකෘතිකයෙක් බවටද තවකෙක් පිත් ප්‍රකෘතිකයෙකු බවටද ඇතැම් අය වාත ප්‍රකෘතිකයන්
ලෙසටද නම් කළ හැකිය.සිංහල ජනතාව මේ
බැව් දැන ගන්නේ කේන්ද්‍ර සටහනිනි. හඳහනේ
ලියැවී තිබෙන මේ ස්වභාවය මේ රටේ කීයෙන් කීදෙනෙකු අධ්‍යනය කලාදැයි මම නොදනිමි.
නමුත් ජ්‍යෙතිෂය පෙරදැරිව වෙදකම් කරන වෛද්‍යවරයෙකු නම් අදාළ රෝගියාගේ හඳහනද
පරීක්ෂා කොට බලා ප්‍රතිකාර නියම කරලීම සිරිත වෙයි. වාත පිත්ත සහ සෙම යනුවෙන් පවතින
මේ ප්‍රකෘතිය කෝප වීම නිසා දොස් කෝප තත්වයන් ජනිත වෙයි. මෙවැනි කෝප ලක්ෂණ ඇතිවූ
කල්හි පුරුෂයෙකු ගේ නම් දකුණු අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද කාන්තාවකගේ නම් වම්
අතේ නාඩිය පරීක්ෂා කිරීමෙන් ද දැන ගත හැකිය. ඇතැම් විට වා සෙම් හෝ පිත් සෙම් රෝග
ලක්ෂණද ජනිත වීම ස්වභාවිකය. පැරණි වෙද මහතුන් සියලු දෙන නාඩි ශාස්ත්‍රය ප්‍රගුණ
කරනුයේ මේ දොස් කෝප තත්වය නිවරදිව විමසා බලා ප්‍රතිකාර නියම කරලීමටයි.එහෙත්
අවාසනාවකට වර්තමාන ආයුර්වේද වෛද්‍යවරුන් පවා මේ ශාස්ත්‍රය ප්‍රගුණ කර නැත. ඒ
වෙනුවට ඔවුන්ද බටහිර වෛද්‍යවරුන් මෙන් වෙද නලාව භාවිතා කරති. මෙයින් ගත හැකි සහාය
අල්පය.
සෙම කෝප වීම නිසා ශරීරයේ දියර ස්වභාවය
වෙනස් වේ.සෙම්ප්‍රතිශ්‍යාව යනුවෙන් දක්වන්නේ එයයි. ඇතැම් විට නහයෙන් සොටු දියර
ගැලීමට පටන් ගනී. වාත ප්‍රකෘතිකයෙකු නම් වාතය බලවත් වී සෙම නොයෙකුත් තැන් වල ට
ගමන් කරමින් ඒ තැන් ආසාදනයට ලක් කරයි. උගුරේ වේදනාව හට ගන්නේ මෙවැනි විටකය. උගුරේ
වියළී ගතිය මස් දලු ඉදිමීම රතුවීම ආදී කරුණු නිසා කැස්ස ඇති වීමට පටන් ගනී. සෙම්ප්‍රතිශ්‍යාවක් ඇතැම් විට කෙනෙකුගෙන් බෝවන්නක් විය හැකිය. එවිට
සෙම් කෝප වී පෙර සඳහන් කළ තත්වයම විවිධ අන්දමින් ඇති විය හැකිය.වෛද්‍යවරයා රෝගියා
පරීක්ෂා කොට පවතින දොස් කෝප තත්වයන් සලකා බලා ප්‍රතිකාර නියම කරයි.වාතය සහ සෙම
සමබර වූ වහාම මේ හෙම්බිරිස්සාව හෝ එයින් හට ගන්නා උණ බැසයයි. තරුණ ජවරයකදී (උණකදී
) උපවාසය කොට ලුණු කැඳ ලබා දීමෙන්ම ආමය පැසවීම කොට රෝගියාට සුවය සලසා දිය
හැකිය.නමුත් සෙමත් සමග විශේෂයෙන්ම පිතත් සෙමත්
සමග ඇතිවන සෙම් කෝප තත්වයකදී වමනය අතීසාරය ආහාර අරුචිය කැස්ස සහ උණ දරුණුවට ඇති
වීමට තිබෙන අවස්ථා බොහෝය. වා පිත් සෙම් තුනම කෝප කර තත්වයකදී සන්නිපාත ලක්ෂණ පවා
ඇති විය හැකිය.අතැම් පාරම්පරික වෙද පොත්වල කෝලේගාය යනුවෙන් දක්වා ඇත්තේ මෙවැනි
අවස්ථාවන්ය.
ගොවිතැනෙහි නියැලී සිටින ගොවියන් නිතර
සෙම් රෝග වලට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ බොහෝය.සහජ පීනස් ලක්ෂණද එවැනි විටකදී මතු විය
හැකිය.එවැනි අවස්ථාවලදී පැරණි ගොවීහු සෙම් කෝප වීම වාතය විමාර්ග ගත සහ ඇඟ පත රුදාව
වළක්වා ගැනීමට තොටිල පොතු මුරුංගා පොතු අමු ඉඟුරු සහ සුදු ලූණූ අඩංගු ඖෂධයක්
භාවිතා කළහ.එසේම කුප්පමේනිය ඔළිඳ කොළ ඉඟුරු
ඇඹුල් දොඩම් ආදිය ඇතුලත් ඖෂධයක් භාවිතා කළහ.සාමන්‍ය සෙම් කෝප අවස්ථාවලදී බුද්ධ රාජ
කල්කය යොදා ගැනීම ගැමියන් ගේ ප්‍රශස්ථ ප්‍රතිකාර විදියක් විය.එහි අනුපාන වශයෙන්
ගැනෙන ශාක ඔසු විවිධය.විශේෂයෙන්ම ආඩතෝඩ නික ඇඹුල් දොඩම් කිරි අඟුන දළුවල යුෂ
අනුපාන සහිතව ගැනිණ.වා සෙම් ප්‍රධාන ව හට
ගැනෙන ස්වාශ උණ සහ සන්නිපාත අවස්ථාවලදී වලදී කුඹූරු දළු අමුඉඟුරු යකිනාරන් දළු යකවනස්ස
දළු දෙහි දළු නික දළු සහ සුදු ළුනු යොදමින් කල්කය ලබා දුන්හ.මැදින් මාසය ගෙවී බක්
මාසය උදාවන සමයේ දී වසංගත තත්වයන් ඇති වෙයි. එවිට සෙම කෝප වීම සිදු වෙයි.බෝවන රෝග
පැතිරීම සිදු වෙයි.ඒ නිසා පත්තිනි මෑනියන්ට පුද සත්කාර කිරීමද ගම්මඩු නටා ආශිර්වාද
සපයා ගැනීමද සිදු කළහ.විපත් රෝග උපත්‍රායාදී යස කීර්ති තේජසං පත්තිනි දේවි සමින්දා
පාද පත්මා බි වන්දේ යනුවෙන් පත්තිනි මෑනියන් වන්දනා මාන කලේ එනිසාවෙනි.දෙයියන්ගේ
ලෙඩ වැළඳුන කල්හි බෙලි කොළ කොහොඹ කොළ නික කොළ ආදීයෙන් තම්බා ගත් දියෙන් සේදීමද
පැපිළිය කටුවැල්බටු තැම්බුම ලබා දීමත් සිදු විය.මේ අතර ශරීර ප්‍රතිශක්තිය ජනිත වන
ආහාර ගැනීම අනිවාර්ය විය.ජනවාරි පෙබරවාරි කාලයේ ලබා ගන්නා ලද වැල් අල අස්වැන්න
තුළින් සිරුර ශක්තිමත් කරන අතර බක් මාසයේ වට වැස්සත් සමග දලුලන විවිධ කොළ වර්ග
ආහාරයට ගැනීමෙන් ශරීර ප්‍රතිශක්තිය තවදුරටත් වර්ධනය වේ.(නව දලු ඇඹුල )කුඹූරු වැඩ
වල නිරත ගොවීන් සිංහල අවුරුද්දට ප්‍රථම වපුරා අවසන් කරනුයේ බක් මාසය තුළ මඩේ බැස
වැඩ කිරීමෙන් ගවයන් සහ ගොවියන් දෙපිරිසම රෝගී වන බැවිනි.එසේම වන පළතුරු සියඹලා දන්
සහ දිවුල් ආහාරයට ගැනීමට රජරට ගැමියන් ට
ලැබීමද මෙහිදී දැක්විය හැකි මහඟු නිදර්ශනයකි..
සෙම් රෝග නැසීමට භාවිත වන ප්‍රධාන ඖෂධ අතර
පාවට්ටා නොහොත් ආඩතෝඩා ප්‍රධානය. එයට වෛද්‍ය මාතා යයි ද කියති. පෙර දැක්වූ පරිදි මෙහි
දලු අනුපානය සමග ඉඟුරු සුදු ලූනු සමග ගුලි කල්ක යෙදීම තුළින් සෙම නිසා ඇතිවන විවිධ
සංකූලතා නැතිකරගත හැකිය. විශේෂයෙන්ම සෙම නිසා ඇති වූ උගුරේ ලෙඩ වලට පිළීයම් කර
ගැනීම පිණීස කණ්ඩමාල කල්කය නමින් අගනා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෛද්‍යවරුන් සකස් කරගෙන
තිබුණී.උගුර ඉදිමීම උගුරේ ගෙඩි සෙම වියළීම නාසය ඇසිරීම ගිලීමට අපහසුව ගොළුවීම වැනි
උත්සන්න අවස්ථාවලදී හිඟුරුපට ඉස්මෙන් කුකුරුමාන් ගෙඩි ඉස්මෙන් මෙන්ම දෙමට ගෙඩි
ඉස්මෙන් කල්ක ලබා දීමෙන් අසීරු අවස්ථා මගහරවා ගනිති.අඩතෝඩා තිප්පිලි කුප්පමේනියා
ඉඟුරු ඉරිවේරිය අරත්ත කලාඳුරු එලබටු යකිනාරන් කුඹූරු කරපිංචා ඔළීඳ වැල්මී නික
යකිනාරන් යක වනස්ස සහ පිටවක්කා වැනි ඖෂධ ගෙවත්තේ වවා ගත හැකි අගනා ඔසු ශාක
වෙති.අතැම් ශාක ඉබේ වැවෙන බව අප සිහිපත් කල යුතුය.මේ ඖෂධ මනා ලෙසට ප්‍රයෝග කර ගැන්මේ
දැනුමක් අපගේ පැරණීයන්ට පිහිටා තිබුණි. එයට හේතුව ගමේ සිටි පාරම්පරික වෛද්‍යවරයා
ගමේ ප්‍රධානියෙකු ද වීමයි. ඔහු දෙන උපදෙස් මත කටයුතු කිරීම සැම තැනකදීම දක්නට හැකි
තත්වයක් විය. දෙයියන්ගේ ලෙඩක් හැදුණු විටදී එනිවෙස කිළීහරණයට ලක් කරන ලදී. ගමෙන්
වෙන් කරන ලදී. නමුත් එම රොගීන් අරභයා ප්‍රතිකාර කිරීම ගමේ වෙදනාවන් ගේ උපදෙස් මත
කිරීම සිදු විය
කැස්ස හෙම්බිරිස්සාව දරුණූ රෝගයක් බවට පත්
කරන්නට වර්තමාන නවීන සමාජය උත්සාහ කොට ඇත. වර්තමාන වසංගත තත්වය හමුවේ කිළිහරණය
පැත්තකින් තබා නිරෝධානයට යොමු වී ඇත. සමාජ දුරස්ථකරණයට යොමු ව ඇත.කිළිහරණයට ඖෂධ ප්‍රතිකාරයන්ද
ඇතුලත්ය එහෙත් නිරෝධානයට එය නැත. එහි දැක්වෙන්නේ මහජනතාව පාලනය කිරීමට අවශ්‍ය නීති
රීති පමණකි.මෙය මහත්ම වූ දුක්ඛිත තත්වයකි. වසර දෙදහස් පන්සීයක් තිස්සේ අප වඩා ගත්
පුරුෂාර්ථ පසෙක ලා රෝගයකට බිය වී ජන ජීවිතය අඩාල කර ගැනීම ඉතාම දුක්ඛිත තත්වයකි.
නිදහස් අධ්‍යාපනයේ වැරදි සහගත ප්‍රවේශයක් මගින් ඇති කළ මොළ සේදීම නිසා අද වන විට
දේශීය ඖෂධ ගැන දැන හැදිනීමක් ජනතාවට නැත. යට කියන ලද ඖෂධ වලින් ගෙදර වවා ගන්නේ
ඉඟුරු පඳුරක් කහ පඳුරක් සහ කරපිංචා
ගහක් පමණකි එයද කුලු බඩු වලට අවශ්‍ය
බැවිනි. නමුත් අපගේ මුතුන් මිත්තන් විසින් යටකී ඔසු වර්ග රාශියක්ම ගෙවත්තේ වගා
කොට ගෙන තිබුණි.අවශ්‍ය අවස්ථාවක දලු මිටක් කඩාගෙන ගුලියක් දියකර දී ලෙඩක් සනීප
කරගන්නට මනා හැකියාවක් ඔවුනට තිබුණි.නමුත් අද වන විට සුලු හෙම්බිරිස්සා තත්වයකදී
වුවත් දොස්තරවරයෙකු චැනල් කොට රෝගියා පෙන්වීමේ මෝස්තරතයක් ඇති වීම කණගාටුදායකය. මේ
වසංගත තත්වයට නිවරදිව මුහුණ දෙන්නට නොහැකි වී ඇත්තේ මෙවැනි නොදැනුවත්කම් බිය ගුලු
කම් සහ පරගැතිකම් නිසාවෙනි.