පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Tuesday, October 24, 2017

යූඑන්පී ව්‍යවස්ථා වාර්තාව ශ්‍රී ලංකා කාරයන්ට පිළිගන්න පුළුවන්ද

                  

          එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයේ මෙහෙයුම් කමිටු වල අදහස් ඇතුලත් සංක්ෂිප්ත අතුරු වාර්තාවක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අමතර වශයෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හෙළ උරුමය දෙමළ ජාතික සන්ධානය ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පක්ෂ කීපයකම අදහස් ද ඊට අමුණා තිබේ.එක්සත් ජාතික පක්ෂයේ අදහස් මෙම ඇමුණුමට ඇතුලත් කර නොමැති බැවින් අතුරු වාර්තාව මගින් පිළිබිඹු වන යෝජනා එක්සත් ජාතික පක්ෂයේ යෝජනා බව අපට පිළිගන්නට සිදුව තිබේ.ඒ අනුව බලන විට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස උපයෝගී වන අවසාන වාර්තාවක් එළි දක්වා නොමැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දීපවාලී උත්සව කතාවේදී පවසා තිබෙන්නේ තවමත් ව්‍යවස්ථා කෙටුම් පතක් පිළිබඳ අවසන් නිගමනයකට එළඹ නොමැති බවයි. නමුත් අගමැති වරයා ඉහතකී අතුරු වාර්තාව මෙම මස අවසානයේ දී පාර්ලිමේන්තුව තුළ විවාදයකට බඳුන් කිරීමට අදහස් කර තිබෙන බව ප්‍රකාශ කර ඇත.
    අගමැතිවරයාගේ අතුරු වාර්තාවෙහි අන්තර්ගතය සලකා බලන විට එම යෝජනා සියල්ලේ ඉලක්කය වන්නේ දෙමළ බෙදුම්වාදීන් වන දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වන උපරිම බලය බෙදා හැරීමක් ඇත කළ හැකි යෝජනා ඉදිරිපත්  කිරීමයි.උපරිම බලය බෙදීම යන්නෙන් අපට පැහැදිලිව ගම්‍යා වන්නේ 1987 දී ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ගෙනා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා යෝජනා තුළ තිබෙන නමුත් දැනට ක්‍රියාත්මක නොමැති පොලිස් හා ඉඩම් බලතල ඇතුළු පළාතකට අවශ්‍ය සවයං පාලන බලතල ලබා දීමට සූදානම් අවන ආකාරයයි.නිදසුනක් වශයෙන් ගතහොත් වර්තමාන ව්‍යවස්ථාවේ පස් වන වගන්තියේහි දැක්වෙන දිස්ත්‍රික්ක විසිහතර සහ දේශසීමා වෙනුවට පළාත් වල දේශ සීමා යන්න අන්තරුගත කිරීම දැක්විය හැකිය.විසිවන සංශෝධනය මගින් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරණයක් ලෙසට අසම්මත ලෙසට සම්මත කරගන්නේ ඉදිරියේදී ස්ථාපිත කළ යුතු(උතුරුනැගෙනහිර) පළාතට අනන්‍යතාවයක් ලබා දීමටයි.එවැනි පළාතක් ව්‍යවස්ථාවෙන් බහි වුණහොත් එම පළාත තුළ වසන ජනතාවගේ කැමැත්ත ( පළාත් සභා මැතිවරණයකින් ) විමසා ශ්‍රී ලංකාවෙන් වෙන් විය හැකි ප්‍රතිපාදන සකස් කර ගත හැකිය.
       නමුත් ජනාධිපතිවරයා නායකත්වය සපයන ශ්‍රී ලංකා නිදහස් පකෂය සිය යෝජනා මගින් දක්වන්නේ එවැනි බලතල බෙදීමකට ඔවුහු එකඟ නොවන බවයි.ඔවුහු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1 සිට නව වන ව්‍යවස්ථාව දක්වා කිසිම සංශෝධනයක්( ජාතික ගීය ඇරුණු කොට) අපේක්ෂා නොකරති.එයින් කියැවෙන්නේ13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේදී ජේ.ආර්. විසින් පැනවූ සීමා කිරීම් එලෙසම පවත්වාගෙන යායුතු බවයි. නමුත් ඔවුහු එම අන්තයේ සිට නැවතත් එ.ජා.ප. අතුරු වාර්තාවට එකඟ වෙමින් පළාත යන්න බලය බෙදා හැරීමේ ඒකකය ලෙස පිළිගනී. එලෙසම ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් පළාතකට සැලැස්වෙන බලතල ගැන ලිහිල් අදහස් පල කරමින් එකඟ වෙමින් ලියා දක්වා ඇත.කෙසේ වෙතත් ඔවුහු සමස්ත වශයෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පමණක් කටයුතු කළ යුතු බවට අදහස් ප්‍රකාශ කර තිබේ.
        රජයේ පාර්ශව කරුවෙකු වන ජාතික හෙළ උරුමයද එම මගම ගනිමින් සිය අදහස් දක්වා තිබ්.ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වඩා ස්වාධින ව අදහස් පළ කරමින් සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙන්නේ යූඑන්පී වාර්තාව පොඩි පට්ටම් කරමිනි. අනුපූරකතාවය පිළිබඳ අදහස් පළ කිරීමේ දී වාර්තාවේ පැණ නගින කරුණුත්  සැබෑ අනුපූරකතාවය අතරත් පරස්පරයක් ඇති බවට දක්වා තිබෙන අදහසින් ඒ පිළිබඳ ගම්‍යා වේ.මේ තත්ත්වය මෙසේ වුවද පසුගිය සැතැම්බර් 20 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසිවන සංශෝධන පණත තුළින් කාන්තා නියෝජනය සහතික කරන අතර තුර වත්මන් ව්‍යස්ථාවේ 4වන වගන්තිය සංශෝධනය කරලීමට ඔවුහු එකඟතාවය පළ කර තිබේ.එනම් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරනයක් දක්වා ඔසවා තැබීමට කරන ලද අතිරේක සංශෝධනයයි.එයින් ගම්‍ය වනුයේ ශ්‍රීලංකා නිදහස් පකෂයද නොමග යවමින් අගමැතිවරයා විසින් සිය මතයට ඔවුන් නම්මවා ගෙන ඇති ආකාරයයි. පාඨලී චම්පික රණවක අමාත්‍ය වරයාද සිය නිරීකණ මගින් ස්වාධිනව අදහස පළ කර ඇති නමුදු ඔහුද අගමැතිවරයාගේ උගුලේ පැටලී විස්සට ඡන්දය භාවිතා කොට තිබේ.
       ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව පවසන පිරිස ඊට විකල්ප ඉදිරිපත් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි. විකල්ප ඉදිරිපත් කරලීමට නම් ප්‍රශ්ණයක් තිබිය යුතුය. මෙරට දෙමළ ජනතාවට අනන්‍ය වූ වෙනමම ප්‍රශ්ණ නැති බව තර්කානුකූල ලෙස ඔප්පු කර අවසන්ය.සාමාන්‍ය දෙමළ ජනතාවටඅවශ්‍ය වන්නේ රටේ අනෙක් මිනිසුන් මෙන් දිවි ගෙවන්නටයි. නමුත් විදෙස් මුදල් වලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ දෙමළ දේශපාලනඥයන් ඊට ඉඩ නොතබති. උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කොට වෙනම කලාපයක් නිර්මාණය කොට ඒ සඳහා ස්වයං පරිපාලන බලතල ස්ථාපිත කර ගැනීම මේ අන්තවාදී පිරිසගේ අභිලාශයයි. එලෙස වෙනම කලාපයක් දෙන්නට තරම් ඔවුනට තිබෙන අයිතිය කුමක්දැයි සෘජුව ඇසුවහොත් කිසිවකුට දෙන්නට පිළිතුරක් නැත. දෙමළ නිජබිම් සංකල්පය නමැති ව්‍යාජ ඉතිහාසයක් පෙන්වා විදෙස් බලවතුන් මුලා කිරීමෙන් හෝ වසර තිහක් තිස්සේ කොටුව සිටි සාමාන්‍ය මිනිසුන් ඇන්දවීමෙන් පලක් නැත. ප්‍රශ්නය වන්නේ දකුණේ ජීවත් ව සිංහල දේශපාලනඥයන් බහුතරයක්ද මෙම මිථ්‍යා මතවල එල්බ ගෙන සිටීමයි. පසුගියදා වවුනියාවේ සංචාරයක නියුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රකාශ කර තිබුණේ වවුනියාව ඇතුළු උතුර දෙමළ රජවරුන්ද පාලනය කොට ඇති බවයි.නමුත් ඒ කුමන දෙමළ රජු දැයි පෙන්වා දෙන්නට ඔහු අසමත්ය.ජනාධිපතිවරයා ප්‍රශ්නයට විසඳුමක් සෙන්නට යැයි කියන්නේ ඔහුද මේ මිථ්‍යාවේ පැටලී  සිටින බැවිනි.
          කෙසේ වෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය රටේ ඒකීය බවට හෝ බුද්ධාගමට තිබෙන තැන අහිමි කරලීමට අකමැතිය.ඔවුහු  බලය බෙදීමේ ඒකකය ලෙස පළාත පිළිගන්නේ  රනිල් වික්‍රමසිංහ මහතාගේ වැරදි මග පෙන්වීම මධ්‍යයේ බව පැහැදිලිය. ඒ නිසා කළ යුතු වන්නේ සියළුම දේශපාලන පක්ෂ වල නිරීක්ෂණ අනුව අවසන් අතුරු වාර්තාවක් ඇති කරලීමයි. ඒ සඳහා නැවත මෙහෙයුම් කමිටුව රැස්වී තීරණය ගත යුතුය. එසේ නැතහොත් දැනට තිබෙන වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීම  යනු අනෙක් පක්ෂ වල මතය නොසලකා හැරීමකි.මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ඇමතිවරයා මෙන්ම පාඨලී චම්පිත ඇමතිවරයාද අගමැතිවරයා ගෙන් සෘජුව ප්‍රශ්ණ කළ යුතුය.සැප්තැම්බර් 30 වනදා කිරීමට යෝජිත විවාදය සදාචාරවත් නොවන බව පෙන්වා දිය යුතුය.ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේශ් ගුණවර්ධන මහතාගෙන්ද අපි එවැනි ප්‍රකාශයක් බලාපොරොත්තු වෙමු.      කොහොමටත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ පොරොන්දුවක් දී නොමැත. සියළුම පක්ෂ එකඟ වූ මතය නම් මැතිවරණ ක්‍රමය වෙනස් කරලීමයි. එය විකෘති ලෙසට වෙනස් කොට විසිවන සංශෝධනය නමින් පළාත් සභා මැතිවරණය ජාතික මැතිවරණයක් තැනට ඇද දමා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කපටි උපාය මගිනි. එම නිසා මහා නායක ස්වාමීන් වහන්සේලා ගේ මතයට එක්කෝ ගරු කළ යුතුය. මේ අවස්ථාවේ දී රටේ දුගීභාවය නැති කොට ණය බරින් නිදහස් කරලීමට කටයුතු කරනවා හැරෙන්නට පවතිනා රජයකට කළ හැකි විශේෂ දෙයක් නැත. යුද්ධය දැන් අහවරය. යුධ අපරාධ සොයා බැලීමෙන් වත් සත්‍ය සෙවීමෙන්වත් අබමල් රෙණුවක් තරමින් රටේ සංවර්ධනයට ඉදිරිගමනට ප්‍රයෝජනයක් නැත. මේ බැව් ජාතික ආණ්ඩු උගුලේ සිරවී සිටින ශ්‍රී ලංකා කාරයන් දැන ගත යුතුය.


         

Friday, October 13, 2017

ව්‍යවස්ථා සර්පයා එළියට පනී- ඒකාබද්ධය නයි නටවයි

                             
             නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීම සම්බන්ධව මහජන අදහස් විමසීමේදී එයට සාක්ෂි ලබා දී තිබෙන්නේ හාරදහසකටත් අඩු සංඛ්‍යාවකි.එයිනුත් උතුරේ සහ නැගෙනහිර රාජ්‍ය නොවන සංවිධාන වලින් ලබා ගත් නියෝජනය අති මහත්ය. ඔවුහු සංවිධානාත්මකව තමන් දරන ජාතිවාදී අදහස් එම කමිටුවට ඉදිරිපත් කර තිබේ. නමුත් මේ රටේ බහුතරයක් වන සිංහල ජනතාව නියෝජනය කරන සංවිධාන වලින් හෝ අස්ගිරි මල්වතු සංඝ සභාවෙන් හෝ අදහස් ලබා ගැනීමට මෙම කමිටුව අසමත්ව තිබුණි. ඉන්පසු මෙම කමිටු වාර්තාවත් ව්‍යවස්ථාදායක මණ්ඩලයන්හි අතුරු වාර්තාවනුත් සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍ය වරයා සැප්තැම්බර් මාසයේදී අවසාන අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යෙදුණි .එම කෙටුම්පත ට අමුණා පාර්ලිමේන්තුව නියෝජනය කරන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සංධානය ජනතා විමුක්ති පෙරමුණ ජාතික හෙළ උරුමය වැනි පක්ෂ මගින් ව්‍යවස්ථාව සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවන්ද දක්වා තිබේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය දක්වා නැත.එහෙත් අපට පිළිගත හැකි වන්නේ අතුරු වාර්තාව මගින් පිළිබිඹු වන්නේ එම පක්ෂයේ අදහස් බවයි. එම වාර්තාව තුළ යටකී පක්ෂ  බහුතරයක අදහස් සහ යෝජනා අන්තර්ගතව නොමැත. එසේ තිබියදීත් අගමැතිවරයා රට පුරා පැවති රැස්වීම් වලදී මෙන්ම මල්වතු මහානායක හිමියන් අභිමුවේදීද කියා ඇත්තේ මෙම අතුරු වාර්තාව අනෙකුත් සියළු පක්ෂ වල එකඟතාවය මත සකස් කොට ඇති බවයි.මෙම ප්‍රකාශය පට්ටපල් බොරුවකි.
          මෙම අතුරු වාර්තාව එළියට දමන දිනයට ප්‍රථම දිනයේ පළාත් සභා  මැතිවරණය සම්බන්ධව විසිවන සංශෝධනය පාර්ලිමේන්තුවේ දී  සම්මත කර ගත්හ. මෙම විසිවන සංශෝධනය යනුවෙන් වූ අංක 195 සහ 204 යනුවෙන් පණත් දෙකක් පාර්ලිමේන්තුව තුළ තිබූ බව පැවසෙයි. අවසානයේ ජූලි මාසයේ ඉදිරපත් කරන ලද කාන්තා නියෝජනය සම්බන්ධ පණත මූලික කරගෙන එම අරමුණු ද පෙරදැරිකර ගෙන  යටකී පණත් දෙක තුළ පැවති අදහස් සහ අමතරව තවත් කරුණ 33 ක්ද අන්තර්ගතව මෙම පණත සම්මත කර ගෙන තිබේ. මෙම අරුම පුදුම හයිබ්‍රිඩ් පණතේ මූලිකව කරුණු දෙකක් ඉස්මතු කර ඇත. එකක් නම් පළාත් සභා මැතිවරණය එකම දිනයකදී පැවැත්වීමට දැක්වූ ප්‍රතිපාදනයයි. අනෙක නම් ඉදිරිමැතිවරණයකදී කොට්ඨාශ ක්‍රමයට සියයට පණහක්ද සමානුපාතික ක්‍රමයට සියයට පණහක්ද වශයෙන් ජනතා නියෝජිතයන් පත් කර ගත යුතු බවයි. මීට කලින් පක්ෂ නායකයන්ගේ සම්මේලනයේ දී එකඟව තිබෙන්නේ සියයට හැටක් කොට්ඨාශ ක්‍රමයටත් සියයට හතළිහක් සමානුපාතික ක්‍රමයටත් යන පදනමයි. එහෙත් යටකී පණත එනම් කාන්තා නියොජනය වැඩි කිරීමේ අරමුණ පෙරදැරි කොටගෙන ඊට කිසිසේත්ම අදාළ නෙවන පළාත් සභා මැතිවරණ සංශෝධනයක් ගෙනවුත් ඇත. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ කාරක සභා අවසථාවකදී සිදු නොකරන සංශෝධන රැසක් ගෙනවුත් ජනතාවගෙන් වසන් කරන ලද ලියවිල්ලක් ලෙසට එය හොර පාරෙන්ම සම්මත කර ගෙන ඇත.
        මෙම ලියවිල්ලෙන් සිදුවන්නේ කුමක්ද.මෙය තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සේ සලකා මේවන විටත් හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතා නඩු පවර තිබේ. එයට සහායට නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතාද නඩුවට එක්ව තිබේ. මේ නඩුවට විරුද්ධව මේ වන විට ප්‍රති විරෝධතාවයක්ද  සුමන්තිරන් මන්ත්‍රී වරයා මෙන්ම නීතීඥ වැලිඅමුණ මහතා විසින් ද ඉදිරිපත් කර  තිබේ. එයට පදනම්ව තිබෙන්නේ ජනතා පරමාධිපත්‍ය  භුක්ති විඳිමීට තමන්ට ඇති අයිතිය පිළිගන්නා ලෙසටයි.
         මේ ජනතා පරමාධිපත්‍ය යනු කුමක්ද 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තෙවන වගන්තිය මගින් කියැවෙන්නේ  ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය  ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය.පරමාධිපත්‍ය අත්හළනොහැක්කේය.පරමාධිපත්‍යයට පාලන බලතල මූලික අයිතිවාසිකම් සහ චන්ද බලය ද ඇතුලත් වන්නේය. මෙම ජනතා පරමාධිපත්‍ය ඊළට හතරවන වගන්තියෙන්ද අර්ථ දක්වා තිබේ. එහි (ඉ) කොටසේ එය සඳහන් වන්නේ මෙසේය.
 (ඉ) අටලොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද මෙහි මින්මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්ද හිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුලත් කරනු ලැබ සිටින සෑම පුර වැසියෙකු විසින්ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේදී ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේදීද ජනමත විචාරණයකදීද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේය.මෙයින් කියැවෙන්නේ කුමක්ද ජනාධිපතිවරණය මහ මැතිවරණය සහ ජනමත විචාරණය මගින් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන බවයි. මෙය වෙනස් කිරීමට නම් සැබවින්ම ජනතා කැමැත්ත අවශ්‍ය වේ.
      1987 දී දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමෙන්තුවේදී සම්මත කර ගන්නා කල්හි එය ජනමත විචාරණයකින් සම්මත වූයේ නැත. ඒ වෙනුවට තුනෙන් දෙකේ බලයෙන් ජනතා කැමැත්ත නොවිමසාම සම්මත කර ගන්නා ලදී. එවිට පළත් සභා පැවැත්වීම යම් ප්‍රමාණයකින් නීති විරෝධී වන්නා සේම එම මැතිවරණයද ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු නොකරන හෙයින් ජාතික මැතිවරණයක් බවට පත් නොවේ. නමුත් රජය හොර පරෙන් ගෙනා පණතක් මගින් සම්මත කර ගෙන ඇත්තේ පළාත් සභා මැතිවරණයත් ජාතික මැතිවරණයක තත්ත්වයට දමමින්ය. මෙම ක්‍රියාව නීති විරෙධී වනවා සේම අනාගතයේ ඇති කරන්නට යන දෙමළ පාලන ඒකකයට අවශ්‍ය පදනම දමා ගැනීමද එයින් සිදු වේ. සුමන්තිරන් මහතා සරත් නන්ද සිල්වා මහතාගේ නඩුවට ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කරමින් තර්ක කරන්නට උත්සාහ දරන්නේ පළාත් සභා මැතිවරණය ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමද භුත්තිවිඳීමද සහතික කරන බැවින්  එය නීති ගත කරන ලෙසටයි. රට බෙදන ව්‍යවස්ථා සර්පයන් දැන් මල්ලෙන් එළියට පනින්නට පටන් ගෙන තිබේ.
         ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය රජයට එරෙහිව යුද්ධයක් දියත් කරන ලද්දේ ඔවුන් බලාපොරොත්තු වන ඊලාම් දේශය උතුරු නැගෙනහිර පළාත් වල පිහිටුවීම පිණිසයි. ඒ සඳහා උතුරේ සිටි සිංහල ජනතාව පළවා හරින ලදහ.සිංහලයන් ජීවත් වූ භුක්ති විඳින ලද ඉඩම් පන්සල් පාසල් සියල්ල ඔවුන් ගේ කොටි මහවිරු පවුල්වලට පවරා දී ඇත. යුද්ධය අවසන් වූ පසු මේ තත්ත්වය තවත් සීඝ්‍ර විය. නැගෙනහරි ප්‍ර දේශයේ සිංහලයන් සතු ඉඩකඩම් වලට ව්‍යාජ ඔප්පු තිරප්පු සාදන ලදී. අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය සිංහලයන් උදෙසා සිය යුතුකම ඉටු කරන ලද්දේ ඉතාමත් මන්දගාමීවයි. වවුනියාව දකුණේ සිංහල ගම්මාන පහක් සෑදුවද අවශ්‍ය ඔප්පු තිරප්පු ලබා දීමද ඡන්ද බලය ගබා දීමද ප්‍රමාද කරන ලදී. අවසානයේ 2013 -14 සීමා නිර්ණය යටතේ මේ ගම්මාන සියල්ල නොයෙකුත් ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශ  සහ දිස්ත්‍රිකයන්ට කඩා උතුරට අවශ්‍ය නියෝජනය දුර්වල කොට ඇත.මේ අතර මරිච්චකට්ටුව ආශ්‍රිතව කැලය කපමින් මරක්කලයන් මෙන්ම විදේශ වලින් ගෙනා සරණාගතයන්ද පදිංචි කිරීමට බද්යුදීන් ඇමතිවරයාට ඉඩ දුන්හ. අද එහි රජයේ අවසරයකින් තොරව අරාබිකාරයන් බැස ආධාර ලබා දෙමින් මරක්කල කලාපයක් නිර්මාණය කරමින් තිබේ. උතුරේ මහ ඇමතිවරයාට බලය ලබා ගන්නට මග පාදා දුන්නේ ගිය රජයයි. දැන් ඔහු ජාතිවාදීව සිය පළාත් සභාව තුළ සිංහල ජනතාවට විරුද්ධව නෙයෙකුත් පණත් සම්මත කරගනිමින් ඇත. උතුරේ බුදු පිළිම ඉවත් කිරීම හමුදා කඳුවරු ඉවත් කිරීම ඒ සියල්ල සිදු කිරීමට පසුබිම සැකසෙමින් ඇත.රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් වූ පසු ගිය රජය පැවති කාලයේ ඉතා සෙමන් සිදු වූ ඇතැම් දෙමළ ජාතිවාදී ක්‍රියා මෙන්ම මුස්ලිම් අන්තවාදී ක්‍රියා උත්සන්න විය.මේ දෙපිරිසට භූමිය තුළ සිංහලයන් ගෙන් තොරව හිතුවක් කරගන්නට ඉඩ දෙමින් ඇත. දැන් අවශ්‍යව ඇත්තේ බලය බෙදා ගැනීමේ ව්‍යවස්ථා කරදාසියට මුද්‍රා තැබීම පමණකි.
           පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකේ ඡන්දයෙන් ව්‍යවස්ථා කෙටුම්පත සම්මත කර ගැනීමද ජනමත විචාරණයකින් දිනීමද ලෙහෙසි පහසු නොවන බව ආණ්ඩුව දනී. එයට පෙර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ප්‍රධාන රජයට තිබෙන සබඳකම් එකින් එක ඉවත් කිරීම  උපක්‍රමයක් ලෙසට ක්‍රියාත්මක වෙමින් තිබේ.එනම් මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවක් සහ උතුරේ තවත් පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයයි. කොළඹ අගමැති සහ උතුරේ මහ ඇමති අතර බලය බෙදා ගැනීම යන තැනට සිංහල ජනතාව දක්කා ගෙන යෑම මේ අනුව සිදු වෙමින් පවතී. එවිට උතුරේ  සහ නැගෙනහිර බුද්ධ ශාසානයට ප්‍රමුඛ තැන ලැබෙන්නේ නැත.
         විසිවන සංශෝධනය නීති විරෝධීව සම්මත කරන කල ඊට විරුද්ධව පාර්ලිමේන්තුව තුළ අරගල නොකරන ඒකාබද්ධ විපක්ෂය උතුරේ ජනතාව දිනා ගැනීම නලා පිඹී.ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් නොවන ඔවුන් දිනෙන් දින රනිල් වික්‍රමසිංහ සහ සුමන්තිරන් ලාගේ උතුලට හසු වෙමින් ඇත.ඊළඟට අතුරු වාර්තාව පාර්ලිමේන්තුව තුළ විවාදයට ගන්නේ ඡන්ද විමසීමකින් තොරවයි. ඉන්පසු අමාත්‍ය මණ්ඩලයේදී එය සම්මත කර ගනු ඇත.එවිට ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථාවට සුජාත බව දී අහවරය. ඔවුන් කවදත් තේරුම් නොගත් එක් දෙයක් නම් ලංකාවේ සිංහල දේශ ප්‍රේමීන් නොමැති තැන ජයග්‍රහණයක් නොලද හැකි බවයි.පක්ෂ දෙකකට වෙන්ව සිටින සිංහල ජනතාව පක්ෂ මානසිකත්වයෙන් ගලවා සැබෑ දේශමාමකත්වයෙන් කුළු ගන්වා රට බෙදමේ කුමන්ත්‍රණය පරාජයට පත් නොකර කරන මේ නයි නැටවීමෙන් අහිකුණ්ටකයාද පරලොව යනු ඇත.