පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, August 15, 2016

හනුමා පාළමේ නූතන දිගහැරුම

                                                   


                 ලංකාවේ බොහෝ විද්වතුන් රාවන පුරාවෘත්තය බැහැර කරන නමුදු ඉන්දියාවේ ධනුස්කොඩියත් තලෙයි මන්නාරමත් අතර බොහෝ තුනී වට ගල් අතුරා ඊට  උඩින් පහුරු යොදා සාදා තිබූ එල්ලෙන පාළම නොහොත් සංගිලි පාළම ගැන කිසිවක් නොකියති. රාම රාවන යුද්ධයෙන් පසුව විභිෂණට ලංකාවේ පාලනය භාර දී රාම ගේ අණසක යටතේ පැවතිය යුතු බවට සම්මතයක් ඇති කර ගෙන තිබුණි. විභිෂණ ගේ ඉල්ලීම පරිදි යාදව්‍ය චන්ද්‍ර වංශ අට්ටි කුලකේතු රජුට යාලප්පති නමින් තනතුරක් ලබා දී ධනුස්කාඩියේ බ්‍රාහ්මණ පරම්පරා 512 ක් පදිංචි කරන ලදී.එම නිසා කාලාන්තරයක් තිස්සේ මේ රාම සේතුව නොහොත් පාළම බදු ලබා ගන්නා තිප්පලක් වශයෙන් ප්‍රකටව තිබුණි. සේතුව පාලනය කිරීමට රාම යටතේ පත් කළ පාලකයන් මේ බදු පාලනය කළහ. සේතු පාලක වශයෙන් තනතුරක්ද ඇති කර තිබූ බව ඉතිහාසයෙන් පෙනේ. පසුකලයේදී සේතු කාසි නිකුත් කරන්නට යෙදුණේ ධනුස්කොඩියත් තලෙයි මන්නාරමත් අතර තිබූ වෙළෙඳාම අර්ථවත් කරලීම පිණිසය.නවවන සියවසෙන් පසු චෝල පලනයේ බලපෑමක් විදියට මේ සේතුව පාලනය කිරීම දෙමළ වානිජයන් විසින් අත්පත් කරගන්නට යෙදුණි.සංගිලි පාළම පාලනය කිරීම නිසා අවසාන ආර්ය චක්‍රවර්තී පාලකයන්ද සංගිලි නොහොත් සංකිලි නාමය භාවිතා කරන්නට යෙදුණි. එයින් අප තේරුම් ගත යුතුව තිබෙන්නේ ඉන්දියාවත් ලංකාවත් යා කරමින් අතීතයේ ඇති කරන්නට යෙදුණු සම්බන්ධය මත ඇති වූ යටත් විජිත දේශපාලනයයි.
                1815 න් පසු ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමෙන් පසුව වතු වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය අරභයා ඉන්දියාවෙන් කම්කරුවන් මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවය මතු විය. 1841 අංක 05 දරණ පණත සහ 1847 අංක 03 දරණ ඉන්දියානු කුලීකරුවන් සම්බන්ධ පණත මගින් කම්කරුවන් මෙරට සේවයට යොදවා ගැනීමට නීති පණවන ලදී.ඉන්දියානු භූමියේ සිටි අන්ත දුගී මිනිසුන් වහලුන් වශයෙන් බොට්ටුවල නන්වා ගෙන ලංකාවේ උතුරට ගොඩබා පසුව අලි ගහන කැලෑ ඔස්සේ දුෂ්කර ගමන් යටතේ උඩරට වතුකරයට ගෙන්වාගෙන තිබේ. පසුව 1867 දී දුම්රිය මාර්ග ඉඳිකිරීම ආරම්භයෙන් පසුව 1914 වර්ෂයේ දී  තලෙයි මන්නාරම දක්වා දුම්රිය මාර්ගයක්ද ධනුස්කොඩිය දක්වා පාලම් පාරුවකින් ගමන් කිරීමෙන් ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ කරලීමත් සිදු වූ බව පෙනේ. මේ නිසා ඉන්දියානු කම්කරුවන් වශාල වශයෙන් ලංකාවේ වතු වැවිලි ක්ෂේත්‍රයට එක් විය. එම තත්ත්වය ලංකාවේ මධ්‍ය කඳුකරයේ ජන සංයුතිය වෙනස් කිරීමට සමත් වූ බව අප දනිමු. වර්තමානය වන විට වෙනම මලය රටක් ඉල්ලීම දක්වා මේ පදිංචි කිරීම් වර්ධනය වී ඇත. පෙර දඹදිව වන්දනාවේ යන පිරිස්ද තලෙයිමන්නාරයෙමන් ඉන්දියාවට ගිය බව කවුරුත් දන්නා කාරණකි. කොටි ත්‍රස්තවාදය  ආරම්භ වූ පසු  දුම්රිය මාර්ගය විනාශ කරන්නට යෙදුණි. එම නිසා ලංකාවත් ඉන්දියාවත් අතර තිබූ ගමනාගමනය ඇණ හිටින.
       දැන් නැවතත් මේ සම්බන්ධය අළුත් කිරීමේ ප්‍රවේශයක් ලෙසට ඉන්දියාවත් ලංකාවත් යා කරනු පිණිස පාළමක් සෑදීමේ යෝජනාවක් කරළියට පැමිණි තිබේ. මෙය අද ඊයේ යෝජනාවක් නොවේ. එහි මුල් අදියර 1949 දක්වා දිව යයි. ඉන්දියානු කොන්ග්‍රසයේ සභාපති වශයෙන් සිටි පට්ටාබි සීතාරාමයියා බොම්බායේදී නිකුත් කල ප්‍රකාශයක සටහන්ව ඇත්තේ ඉන්දියානු දේශපාලන ශරීරය තුළ ලංකාව තවත් ශරීරාංගයක් බවට ( Ceylon may become on organic part of the body politic )පත් විය යුතු බවයි.එය ඉතා ඉක්මනින් හෝ පසුව විය සිදු විය යුතු බවද ඔහු දක්වා තිබුණි. මේ කරුණු එවක ලංකාවේ පුවත් පත් වල පළ වීමෙන් පසුව එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා එම ප්‍රකාශයට විරුද්ධව නිවේදනයක් නිකුත් කරන්නට යෙදී ඇත.
            මෙහි නූතන දිගහැරුම නම් ආසියානු අධිවේග මාර්ග ජාලයයි. ලංකාව ආර්ථික වශයෙන් දියුණු කරලීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව විසින් 1997 වර්ෂයේදී ව්‍යාපෘති යෝජනාවක් වශයෙන් ආසියානු මාර්ග ජාල සැලසුම ඉදිරිපත් කරන ලදී. පසුව 2004 වසරේදී එවකට සිටි විදේශ ඇමතිවරයා ආසියානු මාර්ග ජලයට ලංකාව සම්බන්ධ කරලීමේ ජාත්‍යන්තර සැලසුම් අනුව ජගත් ගිවිසුමකට අත්සන් තැබීය. ආසියානු අධිවේග මාර්ග ජලය පිළිබඳ කතාව 1959 වර්ෂය දක්වා පැරණිය. එම කාලයේදී රටවල් 15 ක් සමග එකඟතාවයට පැමිණ කි.මී. 65000 ක් සම්පූර්ණ කරන්නට දරණ උත්සාහයන් පිළිබඳ වාර්තා වෙයි. ඉන්පසුව 1960 -1970 දශක වලදී ආසියාවේ ප්‍රවාහන යටිතල පහුසකම් සැපයීමේ ව්‍යාපෘතිය (ALTID ) ලෙසට එය ඉදිරියට ගෙන ගොස් ඇත. පසුව එක්සත් ජාතීන් ගේ ආර්ථික සාමාජීය කොමිසම මගින් 1992 දී එහි 48 වන සැසියේදී සම්මත කරගත් පරිදි ආසියානු අධිවේග මාර්ග ජාලය පිළිබඳ කතිකාව පුළුල් කරන ලදී. ඒ මගින් යුරෝපය සහ ආසියාව ඉතා ලන්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ආසියාතික දුම්රිය මාර්ග පද්ධතියක් පිළිබඳවද මෙහිදී ඉදිරිපත් කරන ලද යෝජනාව ඔවුන් ගේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇත. මෙම (ESCAP)  ව්‍යාපෘතිය 2003 නොවැම්බර් 18 දින බැංකොක් නගරයේ පැවති සමුළුවේදී රටවල් 32 ක අනුමැතියෙන් සම්මත විය. ඒ අනුව 2004 අප්‍රියෙල් මස වන විට එම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට එම රටවල් වල නියෝජිතයන්ට සිදු විය.එහි අවසාන අරමුණ ආසියාතික රටවල් රාශියක මහ නගර සම්බන්ධ කර කි.මී. 141000 ක මාර්ග ජාලයක් සම්පූර්ණ කිරීමයි. ඒ අනුව ලංකාවේ එවකට සිටි විදේශ අමාත්‍යවර ලක්ෂමන් කදිරගාමර් මහතා  විසින් එම ලියවිල්ලට අත්සන් කිරීම සිදු කර තිබේ. එම අවස්ථාවෙන් පසුව මාධ්‍යට නිවේදනයක් නිකුත්කළ එතුමා කියා සිටියේ ආසියානු නගර සම්බන්ධ කිරීමට වඩා ගැමියා ගෝලීයකරණට ලක් කිරීම මෙහි අදහස බවයි.
          දැනට කඩුවෙල මාතර අධිවේගය තනා නිමකර තිබෙන අතර ඉදිරියේදී මුදල් ලැබෙන පිළිවෙලට අනෙකුත් මාර්ග පද්ධති තනා නිම කෙරෙනු ඇත.  එහෙත් ලක්ෂමන් කදිරගාමර් මහතා අත්සන් කරන ලද ජාත්‍යන්තර ගිවිසුමට අනුව ධනුස්කොඩියත් ලංකාවත් අතර පාළමක් සෑදීමට සැලසුම් කර නොමැත. එහි සඳහන් කර ඇත්තේ පාළම් පාරුවක් පමණකි. නමුත් 2009 වසරේ මහින්ද රාජපක්ෂ රජය යටතේ පැවති ඉංජිනේරු ඉදිකිරීම් නිවාස අමාත්‍යංශය යටතේ තිබෙන භෞතික සැලසුම් අංශය විසින් සකස් කර 2011 වසරේ නිකුත් කරන ලද ජාතික භෞතික සැලැස්මේ  ඉන්දියාවත් ලංකාවත් අතර මාර්ග ජාලය සම්බන්ධ කිරීමත් සවර්ධනය කිරීමෙත් වැදගත් කම දක්වා තිබේ. එයින් ඇති වන ආර්ථික ප්‍රතිලාභයන් සහ භාණ්ඩ ප්‍රවාහනයට අත්වන වාසි දක්වා තිබේ.එහෙත් එහිද පාළමක් ගැන සාකච්ඡාවී නොමැත.
        බණ්ඩාරනායක මහතා 1949 දී සඳහන් කර ඇති පරිදි ලංකාවට බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබෙන විට එයට ඊර්ෂ්‍යා කිරීම බොහෝ අයගේ පුරුද්දක් බවට පත්ව තිබේ. එයින් නොනැවතී දීර්ඝ කාලීනව උගුල් ඇටවීමෙන් ද ගිවිසුම් ගැසීමෙන් ද මේ ඓතිහාසික රාජ්‍යය බෙලහීන කිරීමට තැත් කර තිබේ.අද අප නැවතත් අත් දකින්නේ මේ දේශපාලන යථාර්තයයි. දිවයිනක් වශයෙන් ලංකාව ශත වර්ෂ ගණනාවක් ස්වාධීනව පැවතීමට බල පෑ භූගෝලීය සංදර්භය වෙනස් කිරීම කුමන ආර්ථික වර්ධනයකට සාපේක්ෂව හෝ හිතකර නොවන බව අප අතීතයෙන් ඉගෙන ගත් පාඩමයි. එම නිසා ඉන්දියානු සැලසුම් පරාජය කිරීම මෙන්ම ස්වාධීනත්වය මුල් තැනේ තබාගෙන ලංකාව ගැන තීරණය කිරීමේ බමුණු කුලයක් නිර්මාණය කරලීම අප ඉදිරියේ තිබෙන වර්තමාන වගකීම බව අවසාන වශයෙන් සඳහන් කරමි.


Wednesday, August 10, 2016

රජයේ ප්‍රවිචාරණය පුස්සක් අතුරුදහන් වූවන් සඳහා පණත හොර පාරෙන්

                 

         2016 මැයි මස 27 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පණතට අදාල ගැසට් පත්‍රයේ  සඳහන් පරිදි සාක්ෂි ආඥාපණතේ සීමාවන් ඉක්මවා යන බලතල ඊට හිමි බව පැහැදිලිය. ඊට අමතරව වරෙන්තුවක් නොමැතිව පොලිස් ස්ථානයකට හෝ හමුදා කඳවුරකට ඇතුළු වීමට බලතල ද හිමි වන්නේය. මීනීවලවල් හෑරීමටද අවශ්‍ය බලතල හිමි බව සටහන්ව ඇත. මේ ගැසට් පත්‍රය පළ කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ ආඥාව පරිදිය.මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) 13 සහ 14 යන වගන්ති උල්ලංඝණය කරන බව නීති විශාරදයන් පෙන්වා දී ඇත.
                2015 වසරේ විදේශ ඇමති මංගල සමරවීර මහතා ජිනීවා ගියේ මහින්ද රාජපක්ෂ රජය සහ හමුදාව කල නොපණත්කම් ගැන මානව හිමිකම් කොමිසම ඉදිරියේ සිය කණගාටුව පළකරන්නට බව  පැහැදිලි කර ඇත. යහපාලන රජයත් මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ ප්‍රකාශයට මංගල සමරවීර මහතා එකඟතාවය පළ කර ඇත.ඒ අනුව  ලක්රජය වෙනුවෙන් පොරොන්දු කීපයක් දී තිබෙන බවද පැහැදිලිය. මේ එකඟතාවය හෝ පොරොන්දුව අනුව  2015 දෙසම්බර් 18 දින සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාලයක් පිහිටුවනු ලැබ ඇත.එයද අග්‍රාමාතයවරයාගේ ආඥාව පරිදි සිදුව තිබේ. මේ කාර්යාවලියේදී රාජ්‍ය නොවන සංවිධාන වලින් සෘජුවම  සහයෝගය ගැනීමටත් විශේෂ නියෝජනයක් ඔවුන් හට ලබා දීමටත් රජය එකඟ වී තිබේ. පාක්‍ය සෝති සරවන්මුත්තු මහතා මෙම බලකායේ ලේකම් බවට පත්වන්නේ එලෙසයි. ඔහුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයනම් රාජ්‍ය නොවන් සංවිධානය නියෝජනය කරන පිරිස ට පැවරී තිබෙන කාරිය නම් රට පුරා ගොස් මහජන අදහස් ගැනීමයි. ඉන්පසුව පෙර කී පොරොන්දුව අනුව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය සත්‍ය සෙවීමේ කොමිසම සහන සම්පාදක කාර්යලය මෙන්ම විශේෂ අධිකරණයත් පිහිටුවීම කළ යුතු වේ. මෙය ජනධිපති කාර්ය සාධක බලකායට පැවරී  තිබෙන ප්‍රධාන වගකීමයි. දැන් මාස හයකට වඩා ඉක්ම ගොසින් ඇත. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ‍ වල මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය යස රඟේට කෙරෙන බවත් ව්‍යජ සාක්ෂි එකතු කරන බවත් මීට පෙර මා දිවයින පුවත් පත මගින් හෙළි කල බව කිව යුතුයි.
             මේ හෙළිකිරිමෙන් කලබලයට පත් වූ ආණ්ඩුව වහාම දිසාපතිවරුන් කැඳවා මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය රට පුරා ම පැවැත්වීමට උපදෙස් දී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දිනවල බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර යන ස්ථාන වල ප්‍රවිචාරණ ක්‍රියාවලිය සිදු කරමින් ඇත. එහිදී එහි සභාපති වරයා වශයෙන් කටයුතු කරන නීතීඥ සුර්ශන ගුණවර්ධන මහතා මෙම මස තෙවනි දින කළුතර දස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි ඇතර ඔහුගේ කණ්ඩායමට දෙමළ මුස්ලිම්  බහුතරයක් අඩංගුව සිටි බව අප නිරීකෂණය කළෙමු. මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ ගුණවර්ධන මහාතා මහජන අදහස් විමසීමෙන් පසු සත්‍ය හා යුක්තිය ඉටු කිරීමට රජය බැඳී ඇති බවයි.මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය වැදගත් වන්නේ සිවිල් සංවිධාන වල අදහස් නියෝජනයෙන් එය සකස් කිරීම සිදු කරන බැවිනි යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල බව මෙහිදී සඳහන් කළ යුතුයි.මේ අවසථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි යන් ඇතුළු ප්‍රදේශ වාසී භික්ෂූන් වහන්සේලා කීපනමක් සාභාගි විය.
         සුදර්ශන ගුණවර්ධන මහාතා කෙසේ සඳහන් කළද මේ වන විටත් මෙම ක්‍රියාවලියේ රජය එකඟ වී ඇති අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය දැනටමත් පාර්ලිමේන්තුවට පණතක් ලෙසට ඉදිරිපත් කර ඇත.මේ අවස්ථාවේ දී ඒ පිලිබඳ ප්‍රශ්ණ කිරිමක් කරන ලදී. නමුත් කමිටුවේ පිළිතුර වූයේ දැනටමත් සංහිඳියා කටයුතු ප්‍රමාද බැවින් මෙවැනි පියවරක් රජය විසින් ගන්නට ඇතැයි කියාය. එහෙත් 2015 දෙසැම්බර් මාසයේ සිට මේ කමිටු එකක්වත් පොල් ගෑවේ නැත. උතුර සහ නැගනෙහිර පළාත්වල සැරිසරමින් ඔවුහු දෙමළ ජනතාවගෙන් ප්‍රශ්න විචාරීම කළහ.ව්‍යාජ සාක්ෂි එකතු කළහ. නමුත් දකුණේ සිංහල සමාජය මේ ගැන දැනුවත්ව නොසිටියහ.එය මාධ්‍ය මගින් හෙළිදරව් වීම සමගම කලබලයට පත්ව ලහිලිහියේ අනෙකුත් පළාත් වලද මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව අපගේ වැටහීමයි. අගොස්තු 03 දින රැස්වීම පිළිබඳ කළුතර දිස්ත්‍රික් ලේකම් වරයාට වාර්තා කොට තිබුණේ ජූලි මස 27 දිනය. නිවාඩු දින දෙකක් ඉදිරියේ තබා දැනුම් දීමෙන් දිස්ත්‍රික් ලේකම් වරයාට අවශ්‍ය පරිදි ජනතාව දැනුම්වත් කිරීමට අවස්ථාව නොලැබී ඇත. සැබවින්ම කමිටුව බලාපොරොකත්තු වන්නේ ද එයයි. උඩින් පල්ලෙන් අදහස් ටිකක් මෙම පළාත් වලින් ගොනුකර රජය විසින් කලින් සකස් කරන පණත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ දැරීමයි. අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පණත මෙයට ප්‍රබල උදාහරණයකි. මේ සම්බන්ධව නිසි පරිදි මන්ත්‍රී වරන් පවා දැනුම් වත්ව  නොසිටි බව පෙනේ.
           බෙදුම්වාදය හිස් මුදුනේ තබාගෙන දෙපයින් නැගී සිටීමටත් කොන්ද නොනවා සිටීමටත් වෑයම් කිරීම සැබවින්ම විහිලුවකි. තිස්වසරක් පැවති  කොටි ත්‍රස්තවාදය මේ රටේ ජීවත් වූ සිංහල දෙමළ මුස්ලිම් සැමට මහත් වූ පීඩාවක් ගෙනදුන්නකි. එය මැඩලීම මෙන්ම සාමය උදාකරදීමද රජය සතු යුතුකමක්ව පැවතුණි. 2009 ට පෙර රනිල් වික්‍රමසිංහ  රජය යටතේ කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් උත්සන්න විය. එම රජයට සාමය උදා කළ නොහැකි වුණි. එම නිසා මහින්ද රාජ පක්ෂ මහතාට එම වරම ජනතාව විසින් ලබා දුන්නේය. වසර කීපයක් යුද්ධයකින් පසුව කොටි ත්‍රස්තවාදය රටින් අතුගා දැමීමට ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාකල හමුදාවට ශක්තිය ලැබුණි. එම සටන යුක්ති යුක්තය. සාමය පුල පුලා බලාසිටි ජනතාවට එය මගින් සාධාරණයක් ඉටු කළේය. එසේ නම් තව දුරටත් සත්‍ය හෝ යුක්තිය සෙවීම සඳහා කොමිසන් පිහිටුවීම හෝ අධිකරණ පිහිටුවීම  කල යුතු දැයි පැනයක් නගී. සිංහල දෙමල සහ මුස්ලිම් තුන් පාර්ශවයෙන්ම ජනතාව යුද්ධයේදී මරණයට පත් විය. ඇතැම් විට අතුරුදහන් වූයේ දෙමාපියන්ට මළ මිනියවත් දැක ගන්නට නොහැකි වන පරිදිය. අලිමංකඩ අසල නාවික කඳවුරට පහර දුන් කල්හි. එහි සිටි නාවික සොල්දාදුවන් පානයට ජලය නොමැති කමින් මිය ගියහ. මළ සිරුරු එම ස්ථානයේම වළ දැමූහ.මේ සටනේදී ඇතැම් හමුදා භටයන් ආබාධිත  වූහ.ඉතින් අප කළ යුත්තේ තව දුරටත් බෙදුම්වාදය ඇති නොවීමට වග බලා ගැනීම නොවේද.නව යහපාලන රජයේ කුහක ක්‍රියාකාරකම් නිසා දිවිපරදුවට තබා ක්‍රියාකළ හමුදා භටයන්ට පමණක් නොව සාමය අපේක්ෂාවෙන් සිටි සමස්ත ජනතාවම අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. තවදුරටත් ස්වාධීන රටක ජීවත් වීමේ අයිතිය හිමි නොවන්නේ යයි සැවොම කල කිරීමකට පත්ව ඇත.