පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, March 27, 2016

ටී.එන්.ඒ. ගෝත්‍රිකත්වය ප්‍රකට කරවන ඉඩම් කොල්ලය

                               
               විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධව සිට බ්‍රිතාන්‍යයෙන් පිටිවහල් කරන ලද සුදු ජාතිකයන් ඇමරිකාවට ගොඩබැසීමෙන් පසු ස්වදේශිකන් සතුව තිබූ සශ්‍රීක ඉඩම් කොල්ල කෑ ආකාරය කියවෙන චිත්‍රපටයක් ළඟකදී දැක ගන්නට ලැබුණි. එම ඉඩම් කොල්ලය සැලසුම් කර තිබුණේ විවෘත භූමියකයි. මලල ක්‍රීඩා තරඟයක් ආකාරයට සංවිධානය කර තිබූණු අතර දෙපයින් අසු පටින් සහ අශ්ව කරත්ත වලින් දිවයන තරඟකරුවන් ඉඩම් යායේ සිටුවා ඇති කොඩි කණු අත්පත් කරගත යුතුයි. එකිනෙකා පරයා දිවයන ඔවුන් තමන්ගේ ප්‍රතිවාදීන්ටද පහර දෙමින් ඉඩම් කැබලි අයිති කර ගැනීමට තියුණු සටනක යෙදෙයි. නූතන ඇමරිකාව බිහිවන්නේ මෙලෙස කොල්ල කා ගත් ඉඩම් යායන් රාජ්‍ය  ලෙසට සංවිධානය වීමෙනි.
           පෘතුගීසින් ලන්දේසීන් සහ ඉංග්‍රීසින් ලංකාවේ ඉඩම් මංකොල්ල කෑමට කරනලද ක්‍රියාදාමයන් මීට වෙනස්ය.එයට හේතුව සිංහල ජනතාව දිගින් දිගටම දේශයේ ස්වාධීනත්වය උදෙසා සටන් වැදීමයි. ඒ නිසා අත්පත් කර ගත්  භූමිය තුළ මරා දමන ලද සිංහලයන්ගේ භාර්යාවන් සහ ළමුන් බලකොටු තුළ ගාල් කොට ක්‍රිස්තියානි ආගමට ගෙන විවිධ අණ පණත් මගින් පාරම්පරික ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු   කර ඇත. උතුරේ ඉඩම් සහ නැගෙනහිර ඉඩම් වල තත්ත්වයද එසේමය.වවුනියාව දකුණ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් කමක් උසුලයි.දළදා වහන්සේ වැඩම කරන ලද්දේ මේ ප්‍රදේශය හරහා බව තිබෙන ජනප්‍රවාද රාශියකි. එම නිසාම සිංහල ජනතාව බහුතරයක් මෙහි ජීවත්ව සිටි බව පැහැදිලිය.පසුගිය දා කොක් එළිය සිංහල ගම්මානය ට නුදුරුවම මහා ඉඩම් කොල්ලයක් ආරම්භ විය. දෙමල ජාතික සංවිධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකු වන සින්නමන්  කොක්එළිය ගම්මානයේ ඉඩම් අක්කර පණහක් බලයෙන්ම ඩොසර් කොට එහි දෙමළ ජනතාව පදිංචි කරලීමට උත්සාහ කොට ඇත.ඒ අතර උතුරු පළාත් සභාවේ දී සර්වේස්වරන් මන්ත්‍රීවරයා කෑ කෝ ගසමින් කියා ඇත්තේ කොක්එළියේ හෝ උතුරේ ඉඩම් වලින් සිංහලයන් ඉවත් විය යතු බවයි.උතුරේ සහ නැගෙහිර ක්‍රියාත්මක වන්නේ දෙමළ දේශපාලකයන් විසින් සාදා ගත් පණහට පණහේ නීතියයි.බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමෙන් මෙන්ම ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමෙන් පසු මේ තත්ත්වය උදා වී ඇත. ප්‍රාදේශීය ලේකම් වරු  ඔවුන් යටතේ සිටින ග්‍රාම නිළධාරීන්ද මීට අනුබල දෙති.
          කොක් එළිය ගම්මානය තුළ සිංහල සහ දෙමළ අනාථ වැසියන් පදිංචි කොට පහසුකම් සපයන ලද්දේ කොක්එළිය පණස්හය වන සේනාංකයයි.සිංහල දෙමළ භේදයකින් තොරව සියලූ දෙනාටම එක සේ සැලකූ බව එම කාර්යය බාරව සිටි බ්‍රිගේඩියර් රණවක මහතා වරක් මට පැවසීය.කොක්එළිය ගම්මානය පසුකර යනෙන විට අපට කැලෑ බෝගස් වැව පුරාණ සිංහල ගම්මානය හමු වේ. පසුගිය යුද්ධ කාලයේ දී මේවායේ තිබූ අනාරක්ෂිත බව නිසා සිංහල ජනතාව ට උන්හිට තැන් අහිමි වී තිබුණි.නමුත් යුද්ධයේ අවසානයත් සමග  යුධ හමුදාව මැදිහත් වීමෙන් වැව් අළුත් වැඩියා කරමින් නැවත අවතැන් වූ ජනතාව පදිංචි කරවීමට පටන් ගත්හ. පණස් හයවන සේනාංකය එහිදී විශේෂ කාර්ය භාරයක් ඉටු කළ හැටි මට මතක් වේ.එකළ ජනාධිපති උපදේශකව සිටි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මේ කාර්යයේ දී විශාල මෙහෙවරක් ඉටු කළ හැටි මට මතක් වේ. උන්වහන්සේ ගේ ඉල්ලීම මත  රුපියල් දශලක්ෂ සීයක් වැයකර  විදුලිය ලබාදීමට එවකට විදුලි බල බලශක්ති ඇමතිවරයාව සිටි චම්පික රණවක මහතා උනන්දු විය.
       මේ ප්‍රදේශයේ සෑම වැවක් අසබඩම පුරාවස්තු රැසකි. දළදා වහන්සේ වැඩම කළ ගමන් මාර්ගය නිසා නෙදුන්කර්නි සිට සෑම තැනකම හමුවන පුරාණ ඓතිහාසික සිද්ධස්ථාන අපගේ පහන් සංවේගයට හේතු වෙයි.මහින්ද රාජපක්ෂ ජනාධිපතවරයාගේ  ජනාධිපති කාර්ය සාධක බලකාය මේ පදිංචි කිරීම් කළද එහි සිටි නිළධාරීන්ගේ අත්තොනෝමතික ක්‍රියා නිසා කැලෑබෝගස් වැව ගම්වාසීනට උතුරු පළාත් සභා මැතිවරණයට  චන්දය භාවිතා කිරීමට පවා නොලැබුණි. මැතිවරණ නිළධාරීන් මෙම ගමට සම්බන්ධ කරලීමට යුධ හමුදාව කටයුතු කළද පැමිණි නිළධාරියා විසින් ලියාපදිංචි කොට තිබුණේ පවුල් 225 ක් පමණි. මේ නිසා පසුගිය උතරු පළාත් සභා මැතිවරණයේ දී කැලෑබෝගස් වැව වැලි ඔය සහ කෝකිලායි යන ප්‍රදේශ වල  නැවත පදිංචි කරන ලද සිංහල ජනතාවට සිට චන්දය ප්‍රකාශ  කිරීමේ අයිතිය අහිමි වී ඇත.නමුත් මේ ප්‍රදේශ වල අවතැන් වූ දෙමළ හා මුස්ලිම් පවුල් සඳහා චන්දය ලියාපදංචි කරලීමේ කඩිනම් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වූ  බව දැන ගන්නට ඇත. එසේම ඔවුන් ගේ ඉඩම් වලට අවශ්‍ය බලපත්‍ර හෝ ඔප්පු ලාබ දීමටද උනන්දු නොවුණි. වර්තමාන රජය පත් වූ පසු එස ප්‍රදේශයෙන් හමුදාව ඉවත් කර නැවත අනාරක්ෂිත තත්ත්වයට එම ගම්මාන පත්කොට ඇත. සංවර්ධන වැඩ අතරමග නැවතී තිබේ. ඒ අතර එම ප්‍රදේශ වල දෙමළ හා මුස්ලිම් ජනතාවද පදිංචි කිරීමට දේශපලඥයන් උත්සාහ දරමින් සිටී. සිංහලයන් ගේ තත්ත්වය එයයි.

               අද නැගෙනහිර පළාතේ තත්ත්වය මීට වඩා සහාසික අන්දමින් ක්‍රියාත්මක වේ.එහි බහුතර ජනගහනය මුස්ලිම් සහ දෙමළ වන්නේ ලන්දෙසීන් විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජු ගෙන් අත්පත් කර ගත් ගව්වක බිම් තීරුවට එම පළාත් අයත් වන බැවිනි.  ඉංග්‍රීසීන් ගේ යුගයේ දී විවෘත කරන ලද ස්වදේශික පාසල් තුළ ප්‍රධාන බස වූයේ දෙමළයි. ඒ නිසා මේ පාසල් තුළ ගාල් කරන ලද කවරෙක් වුවත් තමන්ගේ ප්‍රධාන බස කර ගත්තේ දෙමළයි. මුහුදුකරයේ සිටි වැදි දරුවන්ද මේ පාසල් වලට ගාල් කරලීමෙන් සිදුවූයේ වැදිබස මෙන්ම සිංහල බස ද අතහැර ඔවුන් දෙමළ බවට පත් වීමයි.  මෙලෙස ද්‍රවිඩීකරණය වූ වැදිපවුල් පන්දහසක් පමණ අදටත් වාකරේ ඇතුළු නැගෙනහිර ප්‍රදේශ වල ජීවත් වන බව සොයා ගෙන තිබේ. විසිවන සියවසේ මුල් භාගයේදී මේ ප්‍රදේශ වලට වෙළෙඳාමේ පැමිණි දකුණේ මිනිසුන් නිසා කඩපිල්  ගඩොල් පෝරණු මෙන්ම බේකරි කර්මාන්තයත් දියුණු විය. දකුණේ සිංහලයන් ඉඩම් අස්වද්දමින් ඇතැම් විට බදු පදනමින් ඉඩම් වල සිටිමින් ක්‍රමයෙන් නැගෙනහිර ජනාවාස කළ නමුත් 1987 වර්ෂයේ අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු පසුගිය තිස් වසරක කාලයේදී කොටි ත්‍රස්තයන් විසින් කරන ලද අරෝවන් නිසා ඔවුන් නැවතත් පොළොන්නරුව අනුරාධපුර මෙන්ම නැවත දකුණටත් සංක්‍රමණය වූ බව පැහැදිළිය. යුද්ධය නිමා වීමෙන් පසු ඔවුහු නැවතත් තමන්ගේ සුපුරුදු වෙළහෙළදාම් සඳහා නැගෙනහිරට පැමිණියද ඒ ඉඩම් ඔවුන්ට යළි ලැබී නැත.නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය යටතේ ඇති ප්‍රතිපාදන මත මේ සිංහලයන් නැවතත් පදිංචි ට ගියද ඇතැම් ඉඩම් වලට ව්‍යාජ ඔප්පු ලියා අත්පත් කර ගෙන තිබුණි. මේ ඊට උදාහරණ දෙකකි.
       එක ඉඩමක් මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තු මිරාවෝඩේහි පිහිටි පොරුක්කම් මුම්මාරි කුඹුරයි. එය අක්කර 51 යී  රූඩ් 03 පර්චර්ස් 5 ක් තිබෙන පුණ්‍යදාස සිල්වා මහතාට අයත්ව තිබූවක්. නමුත් කලබල සමයේ අවතැන් වීමෙන් පසු මේ ඉඩම මීරා ලෙබ්බේ ආදම්බාවා නම් මුසල්මානයෙක් බද්දට ගෙන පසුව ව්‍යාජ ඔප්පුවක් සකස් කර ගෙන ඇත. 2007 වර්ෂයේ සිට මෙම ඉඩමේ අයිතිය පිණිස වාලච්චේන උසාවියේ නඩුවක් ඇත. එහෙත් එය ඇහෙන්නේ දෙමළ බසිනි..හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු වග කිවයුත්තන්ට මේ ගැන දැන්වූ බව දැන ගන්නට ඇතද සිංහල අයිතිය තහවුරුවට කිසිවක් සිදුවී නැත.එසේම කූඨ ලේඛන සැදූ පුද්ගලයන්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයක්ද නැත.
   අනෙක් ඉඩම මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තුවේම පාලක්කාට්ටුවෙට්ටෙයි තියාවට්ටන්හි අක්කර 05 ක කුඹුරකි. 1955 වර්ෂයේ දී මඩකලපු කච්චේරිය මගින් අංක 4028 අංකය යටතේ එම්.බී.නිමල් සිල්වා මහතාට මෙම කුඹුර සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ත්‍රස්ත කලබල වලින් පසුව අවතැන් වීම නිසා මේ ඉඩම අස්වැද්දීම තාවකාලිකව නතර කර තිබුණි. ඒ අතර 2008 වර්ෂයේ දී අහමදු ලෙබ්බේ හප්සා¸ මුහමදු අසනාර්¸ මුහමදු වසීම් සදක්කු ලෙබ්බේ¸ මුහමදු අහමදු අසනාර් සහ මුහමදු අසනාර් ෆාතුම්මා යන මුසල්මානුවන්ට යථොක්ත ඉඩම බලපත්‍රකින් යළි පවරා තිබේ.  මේ පුද්ගලයන්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට කටයුතු කල යුතු බවට එවකට සිටි පළාත් ඉඩම් කොමසාරිස් සිරිමෙවන් ධර්මසේන මහතා විසින්  ප්‍රාදේශීය ලේකම් වරයාට දන්වා ඇති නමුත්  එය මෙතෙක් සිදුවූ බවක් දැන ගන්නට නැත. එරාවුර් වල ප්‍රාදේශිය සභාව මගින් පාලනය වන වෙළෙඳ සලේ සිංහල කඩ පණස් දෙකක් තිබුණද යුද්ධයෙන් පසු නැවත පදිංචියට යද්දී එහි සිටි ප්‍රාදේශීය සභා සභාපති වරයා සිංහලයන්ට විරුදධව නඩුවක් පවරා ඇත. එම නඩුව තවමත් විභාග වෙයි. අද එහි තිබෙන්නේ එක් සිංහල කඩයක් පමණකි. අනෙක්වායේ අනවසර මුස්ලිම් කඩ පවත්වා ගෙන යනු ලැබේ.මේ අකාරයට සිංහලයන් කාලයක් තිස්සේ භුක්ති විදින ලද ඉඩම් සහ වානිජ දේපළ මුසල්මානුවන්ට සහ දෙමළ ජනතාවට අත්පත් කර ගැනීමට අවශ්‍ය කූඨ ලේඛන සාදා දීමට නැගෙනහිර පළාතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ සිටින නිළධාරීන් ගෙන් ලැබෙන සහාය අපමණය. මේ පිළිබඳව නඩු මාර්ගයට පැමිණියත්  නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කෙරෙන ජාතිවාදී  විනිශ්චයන් නිසා සිංහල ජනතාවගේ උරුමය ශෝචනීය ඉරණමකට ලක්ව ඇත. මේ පළාත් නියෝජනය කරන සිංහල දේශපාලකයන්ද මේ කරුණු අධ්‍යනය නොකරති. එසේම ඔවුන් ගේ ද සහාය ලැබෙන්නේ අන්‍ය ජන වර්ග වලට බව පැහැදිළිය.
        බලය බෙදීමට අකමැති අය ගොත්‍රිකයන් බව මේ මෑතකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබුණි. මේ සිද්දිදාමයෙන් පැහැදිලි වන්නේ ගෝත්‍රිකයන් කවරෙක්ද යන්නයි. ගෝත්‍රිකත්වය පිටුදැක සංහිඳියාව තහවුරු කළ හැක්කේ වර්ගවාදී ලෙස බලය බෙදීමෙන් හෝ කොල්ල කන්නට ඉඩ දීමෙන් නොවන බව දැන්වත් මේ දේශපාලකයන් වටහා ගත යුතුය.


2016 මාර්තු 28 දිවයින

Saturday, March 12, 2016

ඉන්දියන් සාම සාධක හමුදා කළ භික්ෂු ඝාතනය

                                      

                 එක්දහස් නවසිය අසූහත වර්ෂයේ ජූලි 29 දිනය ලංකාවට අඳුරු දිනයක් විය. ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කලේ එදිනය. ගිවිසුමේ වගන්ති ප්‍රකාරව ලංකාවේ හමුදා බැරැක්කවලට සීමා කෙරිණ. පොලිසියේ සිවිල් රාජකාරි පවා ඉන්දියානු සාම සාධක හමුදා අතට පත් විය.සුප්‍රකට වඩමාරච්ච මෙහෙයුමේදී පහසුවෙන් එල්.ටී.ටීඊ. සංවිධානය පරාජය කල හැකිව තිබියදී ඉන්දිය රජය මැදිහත් වීමෙන් ගුවනින් ආහාර හෙලීමත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හිර කොට ගිවිසුම අත්සන් කිරීමත් සිදු විය.මේ ගිවිසුම ඉතා බරපතල ලෙසට ලක්රජයේ ස්වභාවය  දුර්වල කල ලියවිල්ලකි. ලංකාව බහුවාර්ගික බහුභාෂාමය බහු ආගමික රාජ්‍යයක් ලෙසට එහිදී පිළිගෙන තිබුණී. බලය බෙදාහැරීම සඳහා එහි සඳහන් කළ ප්‍රතිපාදන මගින් උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළයුතුව තිබුණි. ඒසඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සුදුසු යයිද තීරණය විය. පැය හතලිස් අටක් යන්නට ප්‍රථමයෙන් ලංකාවේ හමුදා බැරැක්ක වලට සීමා  කරන ලදී. එ නමුත් දෙමල කොටි ත්‍රස්තයන්ගේ  කණ්ඩායම් වලට එවැනි තහංචියක් නොවැටුණි. එහි ප්‍රතිඵලය වූයේ  නැගෙනහිර පළාත් තුළ ඔක්තෝබර් මාසය තුල අතිමහත් භිෂණයක් මතු වීමයි. ඉන්දියන් සාම සාධක හමුදාවේ මදුරාසි සේනාංක ත්‍රිකුණාමලේ සහ අම්පාර යන දිස්ත්‍රික්ක වල ස්ථානගත වීම නිසා තත්ත්වය බරපතල විය.ශ්‍රීලංකා හමුදාව සහ පොලිසිය මෙන්ම සිවිල් පරිපාලනයද අක්‍රීය කිරීම නිසා කැලෑ නීතිය යටතේ කොටි සංවිධානය ක්‍රියාත්මක විය. කරන දෙයක් කරන්නට ඉඩදී ඉන්දියන් හමුදාව බලා සිටින්නට විය. මේ නිසා ගෙවල් ගිනී තැබීම මංකොල්ල කෑම් විශාල වශයෙන් ව්‍යාප්ත  විය. 1987 ඔක්තෝබර් මස 03 දිනට උදා විය. එදින ත්‍රිකුණාමල පහේ කණුව සහ හතරෙ කණුව අතර සිංහලයන් උපවාසයක් ආරඹන ලද්දේ තමන්ට එල්ල වූ පීඩා ඉවසා දරා ගත නොහැකි බව ප්‍රකාශ කරන්නටයි.

          මේ අනාථ තත්ත්වය එකළ දිවයින ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කරන්නේ මෙසේය.අපට කරදර ඇති වෙන්නට පටන් ගත්තේ 1984 වර්ෂයේ සිටයි.අපිට ජනපදයේ ඉන්ඩ බැරිව ගිය අවස්ථා තිබෙනවා.එහෙම අවස්ථාවක  කඳවුරක සිටි අපට තුවක්කු 45 ක් දුන්නා. රුපියල් 500 කුයි පොල් අතුයි දීලා රිසිවේෂන් ඉඩම් වල පදංචි වෙන්න කීවා. අපි පොල් අතු වලින් ගෙවල් තනා ගෙන ජීවත් වුණා. මෙහෙම ගෙවල් හදා ගෙන ගොවිතැන් කරගෙන ඉන්න විට අපේ තුවක්කු ආපහු රජයට ගත්තා. ඒ ටික දවසකින් ත්‍රස්තවාදීන් ආවා. ඒ ආවේ ඉන්දියන් හමුදාවත් එක්කයි. ඒ ඇවිත් කීවා එහෙන් පිට වෙන්න. නැතිනම් මරා දමනවා කියලා.අපිට යන්න තැනක් නැති නිසා ජයපුර ග්‍රාම ආරක්ෂක මහත්වරුන් සමග හමුදා කඳවුරකට ගියා.චීන වරායෙන් හතරේ කණුවෙන් අපිව පැන්නුවේ එහෙන් නොගියොත් මරල හම ගලෝල යුනිෆෝම් මහනවා  කියලයි.අභයපුර විදුහලේ ගුරුවරියක් වන එම්.ඒ.කරුණාවතී මහත්මිය කියූ කතාව පත්‍රය වාර්තා කරන්නේ මෙසේය. පසුගිය කාලයේ හදිසි තත්ත්වය නිසා සැරෙන් සැරේ අපේ පාසල වසා තැබුවා. ඒ අතරතුර ත්‍රස්තවාදීන් ගේ ප්‍රහාර අපට එල්ල වුණා. අපි අවුරුදු පහක් තිස්සේම ඔය පරිසරයෙහි ජීවත් වුණේ. ඒත් මෙහෙම දාලා එන්ඩ වුණ පළවෙනි අවස්ථාව මෙයයි. සාම ගිවිසුමෙන් පස්සෙ තත්ත්වය දරුණු වුණා. සැත්තැම්බර් 30 දා සිට මේ අයගේ ප්‍රහාර වැඩි වුණා. අපට පාරේ බැහැල යන්න බැරි වුණා. ඔක්තෝබර් 5දා ත්‍රිකුණාමලේ සෑම ගමකටම එකවර පහර දුන්නා. ඉතින් හැමෝම කඳවුරු වලට රොක් වුණා. පසුදා පාන්දර ඉඳල මිනිස්සු ගහන්ඩ පටන් ගත්තා. හවස හය වන විට ත්‍රිකුණාමලයම හිස් වුණා.අපි කන්තලේ කඳවුරේ දවස් පහක් හිටියා.එතැනින් දඹුල්ල කඳවුරට ආවා. එතනත් ඉඩ නෑ. ඊට පස්සේ ගලේවෙලට ගියා.
          හතරේ කණුවේ ඇරඹි උපවාසය රජයට පීඩනයක් එල්ල කිරීමට සමත් විය. චීනවරාය පොලිසියේ ස්ථානාධිපතිව සිටි ජයන්ත ප්‍රනාන්දු මහතා මේ තත්ත්වය  ගැන චීන වරයා නායක ස්වාමීන් වහන්සේට පැහැදිලි කර දෙන ලදී. පොලිසියේ හඬට කන්දුන් රඹුකන සද්ධාලංකාර නායකහිමියන් පොලිස් ස්ථානාධිපති සමග වහා හතරේ කණුවට වැඩම කරන ලදී.උපවාසය නැවැත්වීමට උපදෙස් දුන් නායක හිමියන් ආපසු වැඩම කිරීමට පය ඉක්මන් කළ විගසම මෙම ස්ථානයට පැමිණි ඉන්දීය හමුදාව දිගින් දිගටම වෙඩි තබන්නට වූ අතර ස්වාමීන් වහ්නසේටද වෙඩි වැදුණි.මේ තත්ත්වය ඇසින් දුටු ත්‍රිකුණාමලේ හතරෙ කණුවේ සිටි එම්. මැගිනෝනා එය විස්තර කලේ මෙසේය.
     ත්‍රස්තවාදීන්ගේ අකටයුතුකම්වලට විරුද්ධව හතරේ කණුවේ සහ පහේ කණුවේ උපාසකම්මලා එකතුවෙලා උපවාසයක් ආරම්භ කලා 4 කණුවේ හන්දියේ. අපිට හොඳින් ආරක්ෂාව ලබා ගන්නයි ග්‍රාමාරක්ෂකයන්ට තුවක්තු ලබා ගන්නයි අපි එහෙම උපවාස කලේ. පස්සේ ගුවන් හමුදාවේ විස්සක් පමණ දෙනා ආරක්ෂාව ලබා දුන්නා ඒ අතරතුරේදී ඉන්දියන් හමුදාව ඇවිත් ඒ අය දණ ගස්වලා  ගුවන් හමුදාවේ අයට වද දුන්නා. වද දීලා ඒ අය ඉන්දියානු හමුදා විසින් අරගෙන ගියා. ඊට පස්සේ ඒ අය ඉල්ලලා අපි උපවාසයක් කලා. හැන්දෑවේ හයට විතර චීන වරායේ හාමුදුරුවන් ආවා. ඇවිත් බණ කතාවක් එහෙම කරලා උපවාසය නවත්වා විසිර යන ලෙසට උන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කලා. එහෙම කියලා හාමුදුරුවන්ට බඹ දෙකක් යන්ඩ ලැබුණේ නැහැ. ඉන්දියන් හමුදා ට්‍රක් හතරක් ආවා. අපි වාඩි වලා සිටියා. යකඩ තොප්පි දාපු කීප දෙනෙක් දණ ගසා ගෙන අපිට තුවක්කු එල්ල කර ගෙන සිටියා. තවත් කීප දෙනෙක් සිංහලෙන් කතා කලා. පිටිපස්සේ සිටි පිරිමි ළමයින්ට ඉදිරියට එන්න කීවා. අපි පුදුම වුණා මේ මොකද සිංහලෙන් කතා කලේ කියලා. අප මොනවවත් පැමිණිල්ලක් කරන්න ගියාම දෙමළත් සිංහලත් බැරි ඉන්දියන් හමුදාවේ අය මේ වෙලාවේ සිංහලෙන් කතා කරන්නේ කොහොමද කියලා අපි පුදුම වුණා. කොහොම වුණත් ඒ අයගේ නියෝගයට කීකුරු වූ අපේ පිරිමි ළමයි ඉදිරියට ආවා. ඒ ආවායින් පස්සේ තොප්පි දමාගෙන සිටි එක් අයෙක් මැෂින් තුවක්කුවක් පට පට ගාලා වටේට එල්ල කලා. අපි බිම දිගා වුණා. හාමුදුරුවන්ට වෙඩි වැදුණා.හාමුදුරුවන් ළඟට ආ තරුණයෙකුටත් වෙඩි වැදුණා. හාමුදරුවෝ එතැනම වැටුණා.ඒ වෙලාවේ එතැනට ඇවිත් හිටිය චීනවරායේ පොලීසියේ ලොකු මහත්තයා ඉන්දියන් හමුදාව අල්ල ගත්තා. එහෙම අරගෙන පොලිසියේ ලොකු මහත්තයාගේ පටි බොත්තම් කඩලා දැම්මා.පස්සේ අත් දෙක පිටි  පස්සට කරලා කෝට් එක පැන්නුවා. එහෙම කෝට් එක පන්නලා දන ගැස්සුවා. එහෙම කරලා අත්දෙක පස්සට කරලා දම්වැලක් දැම්මා. එහෙම දාලා පොලිසියේ ලොකු මහත්තයවයි හාමුදුරුවොයි ඇද ගෙන ගියා. පිරිමි ළමයි අසූවක් විතර ට්‍රක් වලට නග්ගා ගත්තා. ඒ ළමයින්ට අද වෙනකන් මොකද වුණේ කියලා දැන ගන්නට ලැබුණේ නැහැ.
         තමන් වහන්සේගේ නායක හමුදරුවන් ඝාතනය කළ ආකාරය වර්තමාන චීනවරාය විහාරාධිපති පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය. ඉන්දියන් රජයත් ලංකා රජයත් ගිවිසුම් ගහලා සාම සාධක හමුදාවට නැගෙනහිර බාර කලා. පසුව දිගට හරහට සිංහල ගම්මාන විනාශ කරන්නට කොටි සංවිධානයට ඉඩකඩ ලැබුණා. මේ අසාධාරණයට විරුද්ධව තමයි උපවාසය ආරම්භ කලේ ඒ කාලේ දිසාපති වරුන්ගේ බලයත් තිබුණේ ඉන්දියන් හමුදාව අතේ. මේ නිසා වෙඩි වැදී අපවත් වූ හාමුදුරවන්ගේ මිනියවත් ගන්න ඉඩ දුන්නේ නැහැ. මිනිය ඇදගෙන ඇවිත් ට්‍රක් එකේ දාලා පෑගුවා. පස්සෙ මෝචරියට ගිහින් දමා තිබුණා. හාමුදුරුවන්ගේ ආදාහන උත්සවය ගන්න දුන්නේ නැහැ. ඒ නිසා පන්සල් වත්තේම දර සෑයක් හදලා දර කෑලි අඩුක් කරලා රෙදි සිවුරු පොරවලා තමයි ගින්දර තිබ්බේ. හාමුදුරුවන්ගේ පාංශකූලෙට පළාතේ භික්ෂූන් වහන්සේලා ගෙන්න ගන්න දුන්නෙ නැහැ. කන්තලේ වෙළුන්න රජමාහාවිහාරාධිපති ස්වාමීන් වහන්සේ කැලෑ පාරකින් පන්සලට ආවා. ඉන් පස්සේ තමයි අවසන් කටයුතු කලේ.
            අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම නිසා ලංකාව ඉන්දියාවේ දේශපාලන හස්තයට නොනිල වශයෙන් යටත් වුණි.තිලීපන්ගේ මාරාන්තික උපවාසය විසින් මේ ගිවිසුම ඇති කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන ලදී. එයට අමතරව පේදුරුතුඩුවට ඔබ්බෙන් මුහුදේදී උත්අඩංගුවට පත් එල.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් ගේ සිය දිවිනාසාගැනීමත් විසින් ප්‍රබල බලපෑමක් ඇති කරන ලදී. උතුර සහ නැගෙනහිර පළාත් වල කලබල ඇති කිරීම සැබවීන්ම ඉන්දීය රෝ ඔත්තුකරුවන්ගේ ක්‍රියාදාමයක් විය. එවැනි කලබල කාරී අවස්ථාවක් උදාකර ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා හිර කිරීම අවසාන අරමුණ විය.එය සාර්ථක විය. ඉන්දියාවේ මෙහෙයවීම මත 13 වන් ආණ්ඩුක්‍රම සංශෝධනය මගින් ඒකීය රාජ්‍ය දුර්වල කොට බලය බෙදා හැරීමේ මුවාවෙන් දෙමල ප්‍රදේශ වෙන් කොට දක්වන ලදී. එපමණක් නොව දෙමල භාෂාවටද රාජ්‍ය භාෂා තත්ත්වයක් ඇති කොට සිංහලයාගේ බලය අඩපණ කරන ලදී. 1987 වර්ෂයේ දී නැගනෙහිර හා උතුරේ කරන ලද සිංහල සංහාරයෙන් සනාථ වූයේ ගිවිසුමෙන් බලාපොරොතු වූ අරමුණු බව පැහැදිලිය. වයඹ පළාතේ නයිනමඩමේ සිට නැගෙනහිර පළාතේ කුමන දක්වා  මුහුදු තීරය බද ඉඩම් ඊලාම් රාජ්‍යය ලෙසට සළකුණු කොට එකළ බෙදා හරින ලද පත්‍රිකා සුළභ විය. මේ මගින් බලාපොරොත්තු වූයේ සිංහල ජනතාවගේ මානසික බලය බිඳ දැමීමයි. ඉන්දියන් සාම සාධක හමුදා මගින් වාර්ගික පවිත්‍රකරණය ආරම්භ කරන ලදී.
          1987 වර්ෂයෙන් පසු වර්තමානය දක්වා වසර විසිනවයක් ගතව ඇත. මේ කාලවකවානුව තුළ ලක් රජය කොටි ත්‍රස්තවාදය සහමුලින්ම අතුගා දමා ලංකාව පුරා සාමය ඇති කරන්නට කටයුතු යෙදුවහ. නමුත් අවසාන වශයෙන් රට තුළ බෙදුම් වාදය ඇති කළ පළාත් සභා අහෝසි කරලීමටත් වාර්ගික පවිත්‍රකරණය මත පළවා හරින ලද සිංහලයන් නැවත පදිංචි කරලීමටත් වැඩපිළිවෙලක් නොයෙදූහ. අතීතයෙන් පාඩම් ඉගෙන නොගැනීමේ ප්‍රතිඵලය නම් ඉතිහාසයේ සිදු වීම් නැවත පසු පසින් පැමිණීමයි. වසර විසිනවයකට පසු නැවතත් භීෂණ සමයේ ග්‍රහචාරය එළඹෙමින් ඇත.කුජට සතුරු රාශිය වූ සෙනසුරු වෘශ්චිකයේ තැන්පත්ව ඇත. නව ව්‍යවස්ථාවක් ඇති කරලීමට රජය බලහත්කාරයෙන්ම කටයුතු යොදමින් තිබේ.ජනතාව විසින් ප්‍රතිකෂේප කරන ව්‍යවස්ථා වෙනස ඉටුකොට බෙදුම්වාදය නැවතත් ශක්තිමත් කළහොත් යටකී ඊලාම් සිතියමේ තිබෙන සිංහල ගම්බිම් සියල්ලෙන් සිංහලයන් පළවා හැරීමට කටයුතු කිරීම සිදුවනු ඇත.විග්නේශ්වරන් මහඇමතිවරයා පාරම්බාන්නේ මේ සඳහාය. සම්බන්ධන් ගේ උද්දච්ඡ  ප්‍රකාශ මගින් ගම්‍ය වන්නේ එයයි.උතුරේ රජයේ ඉඩම් දෙමළ ජනතාව සඳහා පමණක් බෙදා දෙන්නේ මේ සඳහාය. මේ අනතුර නොදකින්නන් බහුතරයක් සිටින රටක් නිර්මාණය කිරීම වත්මන් යහපාලනයේ අරමුණ බව පෙනේ.
        වර්තමාන කෝට්ටේ මහනායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් 1987 වර්ෂයේ ඔක්තෝබර් මස 28 දින දිවයින පත්‍රයට සැපයූ උපන් බිමේ අනාථයෝ නම් ලිපියකින් උපුටා ගත් කොටසක් දක්වමින් මේ ලිපිය අවසන් කරමි. උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල සිංහල බෞද්ධ පිරිස සංඛ්‍යා වශයෙන් අනෙක් අයට වඩා අඩු විය හැකිය. එහි ඇති වරද කුමක්ද. නමුත් ඔවුන්ට මේ රටේ කොතැනකත් කොහේ වුවත් ජීවත් වීමට ඇති අයිතිය එක සමානය.සුළු හෝ කොටසකට එම අයිතිය අහිමි වන්නේ නම්.එය සුරක්ෂිත කරදීම රටක පරම යුතුකම වන්නේය. මේ පුංචි දිවයිනේ ඓතිහාසික වශයෙන් බහුතරය වූ සිංහලයන්ට ඇති අයිතිය තහවුරු කිරීමෙන් පසුව නේද අනෙක් සියල්ලම කල යුත්තේ. නමුත් මේ විසිවන සියවසේ නව වන දශකයේ අරුම පුදුම සිද්දිය වන්නේ ඒ සිංහල යයි කියා ගන්නා පිරිසට රටේ එක් පැත්තක ජීවත් වීමට ඇති අයිතිය අහිමි වීමයි. අහිමි කිරීමයි. අද මේ වන විට තත්ත්වය කුමක්ද උතරේ සිටි සිංහලයන් කලකට පෙර අනාථයන් ලෙස දකුණ බලා පැමිණියද තවත් සිය ගණන් දහස් ගණන් පිරිස ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වී නැවත ආපසු නොඑන ගමන් වූ පරලොවක් බලා ගියහ. එක් අතෙකින් බලන විට ඒ දෙවනුව කී පිරිස වාසනාවන්තයෝ වෙති. ඊළඟට නැගෙනහිර සිංහලයන්ද ටිකින් ටික දකුණ බලා එමින් සිටියහ. ඒ අතර සාම යයි කියාගන්නා ගිවිසුමක් අත්සන් කළහ. භීම සමය ආරම්භ විය.ගිවිසුමෙන් පසු නැගෙනහිර පළාතේ ඉතරි වී සිටි සිංහලයන්ගේ වැඩිම පිරිසක් ත්‍රස්තවාදීන් ගේ දරුණු ප්‍රහාරයට ලක්වී වාසනාවන්තයයි කිව හැකි ඒ මරණය උරුම කර ගත්හ.
        බහු ජාතික බහු ආගමික බහු භාෂා හා බහු සාහිත්‍ය බහු සංස්කෘතීන් යයි කියමින් බහු බූත නීති රීති සම්මත වී රාජ්‍ය සම්මත වී ඇති රටක සිංහලයන් හා සිංහල ජාතිය ගැන කතා කිරීම ලිවීම එක් අතෙකින් බරපතල දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක් වන්නට පිළිවන. එසේ කතා කිරීම හා ලිවීම නිසා යම් දවසක නිදහසට කරුණු කියන්නට උසාවියක් හමුවට වුවත් යෑමට සිදු විය හැකිය. කමක් නැත. කලක් එසේ කියා ගෙන ආ නිසා අන්තිම වරට හෝ මේ රට සිංහල බෞද්ධ රටක් යයි කියමි.

Sunday, March 6, 2016

සිංහලයා ‍‍ ‍වෙනු‍‍‍‍‍වෙන් ජනපද බිහිකළ නුවර එළි‍‍යේ වඩු බාස්


                               


 

                 1960 -1965 අතර කාල‍‍ය තුළ නුවර එළිය ආසනය නි‍‍යෝජනය  කළ ටී.විලියම් ප්‍රනාන්දු මහතා වෘත්තියෙන් තේකම්හල් වල වැඩ කල මිකැනික් බාස්වරයෙකි. ජනතා ඉල්ලීමට කන්දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පකෂයෙන් නුවර එළි ආසනයට තරඟ කොට ජයග්‍රහණය කරන ලද්දේ චන්ද 2737 ක් ලබා ගනිමිනි.යටත් විජිත සමයෙන් පසුව උඩරට වතුකරයේ ඇති වූ සිංහල ජනපද ඔහුගේ නිර්මාණයන් වෙයි. නමුත් 1965 මැතිවරණයෙන්  ‍‍‍‍‍‍මෙන්ම  1970 වස‍‍‍‍රේ  පැවැත්වූ මැතිවරණ‍‍යෙන්ද ඔහු පරාජයට පත් විය .ඒ ඔහුට මහජනතාව විසින් කෘතගුණ සැලකූ ආකාරයයි. වසරින් වසර දිස්ත්‍රික්ක‍‍‍‍‍‍යේ ජනගහනය වර්ධනය වී‍‍‍‍‍‍මේ දී විලියම් ප්‍රනාන්දු මහතා විසින් 1956 සිට බිහිකළ සිංහල ජනපද වල ති‍‍බූ චන්දපදනම ඉහළ යායුතුව තිබුණි. නමුත් එය එ‍‍ය එසේ වූයේ සෙමෙනි.1965 දී විලියම් ප්‍රනාන්දු මහතා චන්ද 5509 ක් ලබා ගත් අතර 1970  දී චන්ද 8810 ක් බවට පරිවර්තනය විය. ‍‍‍‍කෙසේ   ‍‍‍‍‍‍වෙතත්  එක්සත් ජාතික පක්ෂ‍‍‍‍යේ  චන්ද පදනම වර්ධනය  වූ‍‍‍‍යේ   වඩාත්ම ‍‍‍සෙමිනි.එහෙත් ඔවුන් දෙමල නායකයන් සමග ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව ජයග්‍රහණයන් අත්පත් කර ගන්නා ලදී.  1970 න් පසු නුවර එළිය මස්‍‍‍කෙළිය නමින් බහුආසනයක් නිර්මාණය වන්‍‍‍නේ   සිංහල චන්ද පදනම ශක්තිමත් වීමට ඉඩ    ‍‍‍නොතබමිනි. එයින් සිදු වූයේ මනාප චන්ද ක්‍රමය යටතේ  වතු දෙමළ නියෝජනය වැඩි වීමයි.මේ තත්ත්වය මෙසේ වුවද විලියම් ප්‍රනාන්දු මහතා ‍  ‍‍වෙනත් ‍‍‍‍‍‍‍ලෙසකින් එනම් නුවර එළිය නගරාධිපති වරයා බවට 1970 වසරේදී පත් වූයේ ආසන දහයෙන් නවයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා ගනිමිනි. නගරාධිපතිවරයා වූ පසු  බලය බලය සඳහාම ‍‍  ‍‍නොව මහජන  ‍‍සේවා අරමුණු උ‍‍‍‍දෙසා බව නැවතත් පසක්කරලීමට ඔහුට හැකි විය.

          විලියම් ප්‍රනාන්දු මහතා ගොඩ නැගූ පළමු සිංහල ජනපදය කිකිළියාමාන කඳුකරයේ ශාන්තිපුරය විය. පාර්ලිමේන්තුවේ දී විලියම් ප්‍රනාන්දු මහතාට නිරන්තරව සිහිවූයේ  උඩරට වතු කරයේ දුක් විදින සිංහල ජනතාවයි.1964 හැන්සාඩ් වාර්තාවේ සදහන් පරිදි එය මෙසේය.ලාංකික ජනතාව අතර විශාල මුදල් අඩු නිසා වතුකරයේ ඉන්දියානු කන්ගානිලාත් අසරණ කම්කරුවන් සූරා කමින් වතුකරයේ ජීවත්වන ඉන්දියානු ව්‍යාපාරිකයනුත් ඒ වතු මිලදී ගන්නට පිළිවනි. එම වතු එයින් බේරා ගැනමටත් යම් කිසි සැලැස්මක් වහාම පිළයෙල කරන්නට ඕනෑ. ඒ සඳහා අප දැන් පිළියම් නොකළෙහොත් අපේ රටේ වටිනා දේපොළ විදේශිකයන් සතු වන්නට ඉඩ තිබෙනවා. එම නිසා එදත්අදත් කවදත් මේ විදේශිකයන් සතු දේපොළ රජය සතු කළ යුතුය. යන හඬ මා කීප විටක්ම ඇති කර තිබෙනවා. ගරු කතානායක තුමනි. අද ලංකා කර්මාන්ත සියල්ලක්මපාහේ අත්පත්කර ගෙන තිබෙන්නේ සම්මාන පුර වැසි කම් ලැබූ ලංකාව සූරා කෑ ධනේශවර විජාතිකයන්. සමහර කර්මාන්ත සම්බන්ධයෙන් දැනට ඒකාධිකාරයක් පවත්වාගෙන යනවා. එක පුද්ගලයෙකුට නැත්නම් එක සමාගමකට පමණක් මේ රටේ සුළු කර්මාන්ත කීපයක් කරගෙන යෑමට පුළුවන්කම ලැබී තිබෙනවා. ඔවුන් පමණක් ඒ සඳහා ලියාපදිංචිව සිටිනවා.

            බ්‍රිතාන්‍ය පාලකයන් විසින් රටට කරන ලද මහා වරදක් හරිගැස්සීමට තබන ලද පළමු පියවර ශානතිපුර ජනපදය බිහිකිරීම විය. පසුව මහගස්තොට ගැමුණු පුර ධර්මපාල පුර සේන පුර සිරිසඟබෝපුර ආදී ගම්මාන බිහිකරන ලදී. මෙම ශාන්ති පුරයට සහ පසුව විවෘත කරන ලද කලාපුරයට පැමිණි ගමනේදී අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මහත්මිය තබා තිබෙන්නේ මෙවැනි සටහනකි. කන්ද උඩරට ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අනාගතය අන්ධකාරවීමට තරම් හේතු වූයේ එම ප්‍රදේශයේ ඉඩකඩම් වැඩි හරියක් විදේශිකයන් අත්පත් කොට සිටි බැවිනි. එහෙත් එම භයානක උවදුරෙන් උඩරට ප්‍රදේශය ගලවා ගැනීමට නුවරඑළිය මහජන මන්ත්‍රී ටී.විලියම් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරන්නට යෙදුනු සිංහල ගොවි ජනපද ව්‍යාපාරය සමත්වන බව අද ශාන්තිපුර උත්සවයට සාභාගි වූ මගේ එකම හැඟීමයි. මේ වෙනුවෙන් සෑම සිංහල දේශප්‍රේමියෙකුගේම සහය නොඅඩුව ලැබෙනු ඇතැයි මාගේ එකම බලාපොරොත්තුවයි.

        නාගරාධිපති ධූරයට පත් වූ පසු විලියම් ප්‍රනාන්දු මහතා කළ පළමු කාර්යය නම් ශාන්ති පුරයට අවශ්‍ය පාසලක් සේම විහාරස්ථානයක්ද ඉදි කිරීම ආරම්භ කිරීමයි. මුල් යුගයේදී ශාන්ති පුරය දිනා ගැනීමට සටන් කල අවදියේ භාවානායෝගීව සිටි කිකිළියාමාන කඳු වැටියේ පාමුල ගල් පර්වතයක් මස්තකයේ දාගැබක්ද ඊට පහළින් විහාරස්ථානයද ඉඳි කරන ලද අතර එය 1973 වසරේ ජනවාරි 18 වන දින සංස්කෘතික අධ්‍යක්ෂ එස්.එස්. කුලතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘතකර පූජ්‍යපාද නියන්ගන්දර සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පූජාකරන ලදී.එහි දහම් පාසලද 1974 සැප්තැම්බර් 30 දින තෙල්දෙණියේ රාජ්‍ය සභා නියෝජිතව සිටි රාජා කුලතිලක මහතා අතින් විවෘත කර ඇත. පන්සලට  නුදුරින් පාසල ඉඳි කරන ලදී.එය1971 වසරේ  මාර්තු මස තුන්වන දින විභාග කොමසාරිස් බෝගොඩ ප්‍රේමරත්න මහතා අතින් විවෘත කොට ඇත. විලියම් ප්‍රනාන්දු මහාතා සිංහල ජනපද බිහි කිරීමෙන් සිය සේවාවන් අවසන් නොකරන ලදී. එයට හේතුව ජනපද වාසීන්ට අවශ්‍ය නිත්‍ය රැකියා සහ ගොවිතැනට අවශ්‍ය පරිසරය බිහි කළ යුතුව තිබූ බැවිනි.එක් පුද්ගලයෙකුට අක්කර කාල බැගින් වෙන් කරන ලද අතර එම ඉඩම් වල අර්තපල් කැරට් ලීක්ස් ගෝවා ආදී උඩරට එළවුළු වගා කරවීමට සලස්වන ලදී. නුවරඑළියේ මාගස්තොට ඉඳි කරන ලද බලවේග කම්හල ඒ යුගයේ හැටියට නුවර එළියට විශාල කර්මාන්තයක් විය.එහි සේවකයන් ගණන පන්සීය ඉක්ම විය.මේ බලවේග කම්හල එක්සත් ජාතික පක්ෂයේ අදූරදර්ශි ක්‍රියා නිසා පසුව වැසී ගිය අතර මෙම කම්හල නිසා සිය තරුණ ජීවිතය ජයගත් ප්‍රදේශ වාසී තරුණ තරුණියන් අදත් එය සිහිපත් කරන්නේ මහත් උද්දාමයෙනි.  එයට අමතරව සංචාරකයන් අද්දවා ගැනීමට ශාන්තිපුරයට යාබදව ඉඳි කරන ලද කලාපුරයද දැක්විය හැකිය. නර්තන  හැකියාවන්ගෙන් සහ සංගීත හැකියාවන්ගෙන් සමන්විත කලාකරුවන්ට ඉඩම් ලබා දී පදිංචි කොට  සංචාරකයන්ට අවශ්‍ය සේවා සැපයීම ඔහුගේ අභිප්‍රාය විය. මේ කලාපුරය සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ අතින් 1973 දී විවෘත විය.

        වර්තමානයේදී නුවර එළියේ ප්‍රධාන භෝගය වන්නේ අර්තපල් අලයයි. විදේශවලින් ගෙන්වන ලද අර්තපල් ලංකාවේ වගා කල හැකි බව ඔප්පු කරන ලද්දේ සැබවින්ම විලියම් ප්‍රනාන්දු මහතාය.  නුවුරඑළියේ කෘෂිකර්ම නිළධාරීන් ලවා බඹර කැලේ පිහිටි තමන්ගේ නිවසට යාබද ගෙවත්තේ පළමු පර්යේෂණාත්මක අල වගාව කරලීමට උපදෙස් ලබාදුන් අතර කඩ පලෙන් ලබා ගත් පැළවූ අල කීපයක් තම නිවසට ඉහළින් වත්තේ පසට යට කිරීමටද ඔහු අමතක නොකලේය. අවසානයේ අස්වනු නෙලන කල්හි කෘෂිකර්ම නිළධාරීන් ගේ වගාවට වඩා කඩ පලෙන් ලබා ගත් අල වලින් සිටුවන ලද වගාව සාර්ථක මට්ටමක පැවතිණ. එතැන් පටන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය කළ නෝමන් ගුණතිලක මහතාගේ අප්‍රතිහත ධෛර්ය මතින් නුවර එළියේ අල වගාව ව්‍යාප්ත වූ බව කවුරුත් දනිති.          

     1965 දී විලියම් ප්‍රනාන්දු මහතා සිය ආසනයෙන් පරාජයට පත් වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ෆෙඩරල් පක්ෂය සමග ඇති කරගත් ගිවිසුම පරිදි  උතුරු සහ නැගෙනහිර ඉඩම් රාශියක් දෙමල ධනපතියන්ට සහ සමාගම් වලට ලබා දෙන ලදී. මේ සම්බන්ධයෙන් 1966 නොවැම්බරු 07 දින ටී.බී. තෙන්නකෝන් මහතා විසින් ඉඩම් හා වාරිමාර්ග ඇමතිවරයාගෙන් අසන ලද ප්‍රශ්ණයක් මත එලෙස ඉඩම්දෙන ලද අයගේ නාම ලේඛනයක් සභා ගත කරන ලදී.එම ලේඛනය විලියම් ප්‍රනාන්දු මහතා විසින් රචිත සිංහලේ ඉඩම් කොල්ලය නම් වූ ග්‍රන්ථයේ පළ කොට ඇත. එයට අනුව පුද්ගලයන් විසිතුන් දෙනෙකුට අක්කර විසිපහේ සිට අක්කර හයසීය දක්වා වූ ප්‍රමාණයක් කජුවගාව සඳහා ලබා දී ඇත.අද මන්නාරම යාපනය කිලිනොච්චිය මුලතිවු සහ උඩරට වතු කරය තුළ විදේශ වලින් ගෙන්වා පදිංචි කොට තිබෙන්නේ මෙලෙස බදු ලෙස දෙන ලද ඉඩම් වලයි. එයින් නොනැවතුණු එක්සත් ජාතික පක්ෂය විශේෂ බදු සහනය යටතේ ඉඩම් අක්ක 78612 ක් බෝරා කාරයන්ට දේශපාලනඥයන්ට සහ දේශීය ධනපතියන්ට බෙදා හැර ඇත.පසුගිය කාලයේ කොටි ත්‍රස්ත ප්‍රහාරයටයන්ට ලක්වන්නේ මෙලෙස බදු දෙන ලදු ඉඩම් වල පදිංචිව සිටි සිංහල ජනපදිකයන්ය.

        දශක කීපයකට පසු එක්සත් ජාතික පක්ෂය දැන් නැවතත් උඩරට වතු කරය තුළ දෙමල ජාතිවාදය ශක්තිමත් කරලීමට දෙමළ දේශපාලනඥයන් සමග ගිවිසුකට එළඹ තිබේ. ඒ අනුව පළමු වරට උඩරට නව කඳුකර ගම්මාන අමාත්‍යංශයක් පිහිටුවා තිබේ. එහි පරමාර්ථය නම් වතු කරයේ සිටින දෙමළ ජනතාවට ඉඩම් වෙන් කොට ඔවුන් සඳහා නව කෘෂිකර්ම වැඩපිළිවෙලක් ආම්භ කිරීමයි. වසර සියයක් පැරණි උඩරට වතු කරයේ නිසරු තේ වැවිල්ලට යටවුණු වතු කම්කරුවන් උදෙසා එවැනි වැඩ පිළිවෙලක ඇති ප්‍රඥගෝචර බව සැබෑ නමුත් වසර දෙසීයක පමණ සිට සිට නිජ බිම් අහිමි ව සිටි සිංහලයන්ට එයින් වන සෙතක් නැත. නමුත් එදා විලියම් ප්‍රනාන්දු මහතා සිංහල ජනපද පිහිටුවූවා සේම දෙමළ වතු කම්කරුවන්ටද අසාධාරණයක් වන්නට ඉඩ නොතබන ලදී. දෙමළ මුස්ලිම් සිංහල සහ බර්ගර් සෑම පවුලකින්ම පාසල් ළමුන් තෝරා ගෙන ළමා සමජයක් පිහිටුවා සමගිය ඇති කරලීමටද එක්ව වැඩකිරීමට පුරුදු පුහුණු කරලීමද ආරම්භ කරන ලදී. නමුත් එය දැන් කණපිට හැරී වතු කරයේ දේහපාලඥයන්ගේ වුවමනාවට දෙමළ ජාතිවාදය ශක්තිමත් වී තිබේ.

         සිරිමා බණ්ඩාරනායක මැතිණිය සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුව වතුකරයේ සිටි රටක් නොමැති දෙමළ ජනතාව පන්ලක්ෂයක් ඉන්දියාවට පිටමංකිරීමට ගිවිස ගන්නා විට එයට වැඩියෙන්ම විරුද්ධ වූයේ එක්සත් ජාතික පක්ෂයයි. එසේම තොන්ඩමන් වැනි කන්ගානිලා ගෙන් පැවතඑන පසුව වතු අයිති කරගත් දෙමළ ධනපතියන් ද මෙයට දැඩු ලෙස විරුද්ධ විය. දෙමළ වතු කම්කරුවන් නොමැතිව උඩරට වතු දිවවිය නොහැකි බව ඔවුන්ගේ තර්කය විය. මෙයට හොඳ සාර්ථක පිළිතුරක් පමණක් නොව ප්‍රායෝගික විසදුමක් දුන්නේ විලියම් ප්‍රනාන්දු මහතාය. ඒ අනුව නුවරඑළියට යාබදව රජයේ ළදු කැලෑ අක්කර දාහක් වෙන්කරගෙන එහි තේ වැවිල්ල ආරම්භ කරන්නට යෙදුණි. නුවරඑළිය වැවිලි සමාගම යනුවෙන් හඳුන්වන එහි සිංහල කම්කරුවන් ලවා තේදළු කැඩීම ආදී නොයෙකුත් කටයුතු ආරම්භ කරන ලදී. අදත් මේ නුවර එළිය වැවිලි සමාගම ලාභදායීව ක්‍රියාත්මක වෙයි. එම වත්තට ඉතා නුදුරුව බඹර කැලේ පැවති විලියම් ප්‍රනාන්දු මහතා සතුව තිබූ අක්කර දෙකක පමණ ඉඩමක් නොමිළයේම රජයට පවරා එහි පාසල් ගොඩනැගිල්ලක් සාදා බඹර කැලේ විහාරස්ථනයේ ආදී කර්තෘ වර පූජ්‍ය විදුරුපළ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ නමින් නම් කරන ලද්දේය. අදත් එම විදුහල බඹර කැලේ විහාරස්ථානයට නුදුරින් විරජමානව පැවතෙයි.මෙවැනි මහඟු සද් කාර්යයන් රාශියක් ඉටු කළ සබෑ මහජන සේවකයෙකු වූ විලියම් ප්‍රනාන්දු මහතා 1977 වර්ෂයේ දී නුවර එළි ජනතාව අතරින් වෙන් වූයේ යලිත් මේ මව්බිම ඉපිද සිංහළයන් වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් වැඩ කරන්නට දෝ යයි අපට නිකමට සිතෙයි.ඔහුගේ අන්තිම කැමැත්තේ අවසන් වගන්ති කීපය කියවන විට දිරා යන කුණු ශරීරය පිළිබඳවද ඔහුදැක්වූ ආකල්පය වත්මන් දෙහපාලඥයන්ට ආදර්ශයක් බව නොකියාම බැරිය. එය මෙසේය.

     මාගේ දෙතිස් කුණුපයෙන් යුක්ත වූ මෘත ශරීරය භූමාදානය කිරීමෙන් මා ජීවත්ව සිටියදී මා පෝෂණය කළ මාතෘ භූමියේ පසට ජීර්ණවී යාමෙන් සාරභූමියක් ඇති වේවා යයි පතන අතර වසර කීපයකට පසු නොදිරා ඇති ඇටසැකිල්ල පොළවෙන් ඉවත් කර භාවනා යෝගී වරුන්ගේ ප්‍රයෝජනය සඳහා ශාන්ති විමානයේ භාවනා මධ්‍යස්ථානයේ තැන්පත් කර තබන්නේ නම් මැනවැයි සිතමි.