මහානාම හිමියන් මහාවංශය රචනාකරන ලද්දේ තත්කාලීන
දේශපාලන ආගමික හා ශාසනික පරිවර්තනයන් සඳහා පාලකයන් මෙහෙයවීමේ සද් අරමුණින් බව
නිසැකය. ඒ ඓතිහාසික කෘතිය ලියැවුණු වකවානුවේ සිදු වූ විදෙස් ආක්‍රමණ බල අරගල සහ
භික්ෂු සමාජයේ ඇති වූ වෙනස්කම් සියල්ල සැලකිල්ලට ගෙන සමාජය තුළ යම් සංවාදයක් ඇති
කරලන්නට මේ කෘතිය රචනා වන්නට ඇත. සංඝයා වහන්සේලා මෙන්ම රාජ වංශකයන් අතර තිබූ ජන ප්‍රවාදයන්
හා මූලාශ්‍ර මේ කෘතියට පදනම් වී තිබේ. එහෙත් එහි එක් දෙයක් පිළිබඳව වැඩි විස්තර
දක්නට නැතිය. එනම් මිහිඳු මහා හිමියන් ලංකාවට බුදු සසුන ලබා දෙන්නට ගත් උත්සාහයට පළමු බුදුන් වහන්සේ විසින් ලක්දිවට කරන ලද ආගමික
බලපෑමත් එකල ජීවත් වූ සමාජයේ පැතිකඩත් එහි විස්තරාත්මකව අන්තර්ගත නුවුණි. දැන් එය
සොයා යෑමට අපට සිදුව ඇත. එයට හේතුව වන්නේ වර්තමාන ලංකා දේශපාලන සංදර්භය තුළ මෙන්ම සමාජ
සංදර්භය තුළද මතුව තිබෙන ප්‍රතිවිරෝධතාවයන්ය. මේ ප්‍රතිවිරෝධතාවයන් සමනය කරගැනීමට තිබෙන එකම ප්‍රතිකර්මය නම් රටේ ජනතාව තුළ ජාතික
මනස අවදිකරවීමයි. ඉතිහාසයේ අභිමානය එයට කෙතරම් වැදගත් වන්නේ දැයි අප කල්පනා කළ යුතුය.
දැන් අප පැමිණ තිබෙන්නේ දඹුල්ල නගරයට
කිලෝ මීටර පහක් පමණ මෙපිට කුරුණෑගල මහා මාර්ගය අභියස හමුවන ඉබ්බන් කටුව
ගම්මමානයටයි. මහා මාර්ගය අසබඩ මීටර පන්සීයක් පමණ ඇතුළතින් ඉබ්බන් කටුව ඓතිහාසික
සූසාන භූමිය හමු වෙයි. මෙම භූමිය මතු පිට තිබූ ගල් පියන් සහිත නටබුන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා
ලද්දේ මීට කලකට පෙරය.ඒ 1984 වර්ෂයේ දී කරන ලද කැණීමකදීය. ඉන්පසුව 1986 වර්ෂයේ දී
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම ස්ථානය පිළිබඳ සැලකිල්ලට ගෙන සිතියම් ගතකිරීම
ආරම්භ කරන ලදී. පසුව ජර්මනියේ කාවා අරමුදලේ අනුග්‍රයෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් 1988 දී කැණීමක් ආරම්භ කරන ලදී. මෙම භූමියේ වර්ග
මීටර් පහළොවක් පමණ වන පරිදි විහිද යන ඉඩක්
මෙම කැණීමට යොදා ගෙන තිබුණි.මෙයින් මතු කර ගත් ගල් සොහොන් ප්‍රමාණය දහයකි. ඒ තුළ තිබූ
මැටි යෙන් සකස් කළ මිනී පාත්‍ර රාශියක් විය. එසේම මිනී දැවූ පිලිස්සු ආදාහන
වේදිකාවක්ද මතු කර ගැනීමට හැකිවුණි. මැටි බරණි තුළ විචිත්‍ර කානේලියන් ( අර්ධ
මැණික් ) පබළු සහ ඔනික්ස් ගණයේ මාල හමු වීමෙන් මේ මහා ශිලා සභ්‍යත්වයේ ශ්‍රී
සමෘද්ධිය පිළිබඳව වැටහීමක් ලබා ගන්නට හැකිවිය.
වර්තමාන දඹුළු රජ මහා විහාරයට අයත්
ලෙන් සංකීර්ණය සහ එහි ඇතුළත් ලෙන් ලිපි
සැලකෙන්නේ ක්‍රි. පූ . පළමුවන සියවසේ නිර්මාණයන් බවයි. නමුත් ඉබ්බන්කටුව තුළ කරන
ලද කැණීමෙන් හමු වූ අවශේෂයන් පරීක්ෂාවට ලක් කළ කල්හි විද්‍යාඥයන්ට සොයා ගත හැකි
වූයේ ඉබ්බන්කටුව සංස්කෘතිය ක්‍රි.පූ. 750-400 දක්වා වූ කාලය තුළ වර්ධනය වූවක්
බවයි. මෙය නම් අහම්බයක් නොවේ. මහා වංශයේ සඳහන් විජයාගමනයට ප්‍රථම කාලයකි. එවැනි
කාලයක සුඛෝපභෝගී ලෙසට ජීවත් වූ දියුණු මිනිස් කොට්ඨාශයක් සිටියේ යැයි අප කෙසේ
අදහන්නද. නමුත් එය සිදුව තිබේ. එයට හේතුව 1988 කරන ලද කැණීමේ දී මතු කරගත් එක්
සොහොනක ගල් පියනක් මත දකුණු ආසියාවේ
පැරණිතම ශිලා සටහනක් හමු වීමෙනි. එවකට කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායම නියෝජනය කරමින් කැණීම් මෙහෙයවූ
මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියන පරිදි මෙම පියන් ගල් වලින් හමු වූ සංකේත අක්ෂර දෙක
ඉන්දියාවේ මොහෙන්දෝජාරෝ -හරප්පා වලින් හමු වූ සංකේත හා සමාන වෙයි.
මෙම සංකේතය බ්‍රාහ්මී
බ අක්ෂරයට එකතු කරලූ සංකේත වලින් සමන්විතව තිබෙන බව බැලූ බැල්මට පෙනෙයි.
නමුත් ඔහු කියන පරිදි ඉබ්බන්කටුව ශිලා සංස්කෘතිය දකුණු ඉන්දියාවේ මෙගලිතික සංස්කෘතියක්
හෝ උතුරු ඉන්දියාවේ ප්‍රභවයක් නොවේ.ඔහු එම නිගමනයට එන්නට ඇත්තේ පසුගිය කාලයේ
සපරගමු පළාතේ රංචමඩම හල්දුම්මුල්ල කූරගල සහ බුදුගල කරන ලද ගවේශණ හා කැණීම් වල දත්ත
සහ විද්‍යාත්මක කාල නීර්ණයන් අනුව විය යුතුය. මීට වසර හයදහසකටවත් කලියෙන් ලංකාවේ
මානව සංස්කෘතිය ඉතා දියුණු අඩියක තිබෙන්නට ඇතැයි. ඔහු උපකල්පනය කරයි.
කෙසේ වෙතත් දඹුල්ල ඉබ්බන් කටු සුසාන
භුමියෙන් හමූ වූ ගල් සොහොන් දැන් නැවතත් පරීක්ෂාවට බඳුන් වෙමින් පවතී.2015 වර්ෂයේ
දී නැවතත් කැණීම් ආරම්භ කරන ලද ඉබ්බන්කටුව පුරා විද්‍යා භූමිය තුළින් ගල් සොහොන්
හතලිස් දෙකක් පමණ මුල් වරට කුඩා ඉඩ ප්‍රමාණයකින්
සොයා ගෙන තිබේ. මෙම කැණීම මෙහෙයවන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුග්‍රහයෙන්
කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ රංජිත්බණ්ඩාර මහතා ඇතුළු පුරා විද්‍යාඥයන්
කණ්ඩායමක් විසිනි.මේ තුළින් ලැබුණු මැටි බරණි තවමත් පරීක්ෂාවට බඳුන්ව නොමැත.එම
නිසා වත්මන් කැණීම සහ එහ ප්‍රතිඵල ලබා ගන්නට තව කෙටි කලක් ගත විය හැකිය.
පැරණි කැණීමට ඉතා නුදුරින් තිබෙන මෙම ස්ථානය
අසබඩම අළුතින් තනා නිම කර ඇති නිවසකි. 1980 දශකයේදී මෙම ඉබ්බන්කටුව ප්‍රදේශය තුළ
නව මානව ජනාවාසයක් ආරම්භ කරන ලදී. ඉඩම් නොමැති පුද්ගලයන් සඳහා ඉඩම් ලබා දීමේ චේතනාවෙන්
සකස්කරන ලද නව ගම්මානය එවකට පුරා විද්‍යා ස්ථානයක් ලෙසට හඳුනාගෙන නොසිටියහ. මේ වන
විට පුරා විද්‍යා නටබුන් පිහිටා තිබෙන වර්ග කිලෝමීටරයක පමණ ප්‍රදේශය පුරා නිවාස
කඩපිල් නව ආපන්න ශාලා සහ සංචාරක ස්ථාන රාශියක් දක්නට හැකිය. මේ නිසා නව මතු කර
ගැනීමෙන් අපට ප්‍රශ්ණාවලියක්ම සිතට නැගෙයි. දඹුල්ල කරා යන එන සංචාරයකයන් මෙන්ම
වන්දනා කරුවන්ට දැක බලා ගත හැකි වන පරිදි මෙම භූමිය සංරක්ෂණය නොවී තිබීම මෙම ප්‍රශ්ණය
මතු කරන මානයයි.මේ පිළිබඳ වගකීම පවතින්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුවයි. යම්
ප්‍රතිපත්තිමය තීන්දුවකින් ගල් සොහොන් පවතින අක්කරයක පමණ ඉඩක්වත් මතු පුරා විද්‍යා
කටයුතු සඳහා වෙන් කොට කටුගෙයක් සහ සංචාරක නිවහනක් ඇති කළ හොත් එය මතු පරපුරට අගනා
ඉතිරියක් වේ.
1988 දී කරන ලද කැණීමෙන් පසු දඹුල්ල
කුරුණෑගල මහා මාර්ගයේ ඉබ්බන් කටුව සොහොන් භූමියට සමාන්තරව ඉබ්බන්කටුව වැවට ඉහළින්
තිබූ පොල් වත්තේ ජනාවාසයක අවශේෂයන් හඳුනා ගන්නා ලදී. එහි අරුත නම් ඉබ්බන් කටුවේ මිහිදන්
කරන්නට ඇත්තේ මෙකී ජනතාවගේ මළමිනී බවයි. වසර දහස් ගණනකට පසුව මෙම සොහොන සහ එයට
අදාල සංස්කෘතිය අපගේ ඉතිහාසයට නොයෙකුත් අයුරින් වැදගත්ව ඇත. මහාචාර්ය සෝමදේව මහතා
කියන පරිදිම මේ මූල ඓතිහාසික යුගයේ සභ්‍යයත්වය ඉන්දියාවෙන් ආනයනය කෙරුණක් නොවේ.
නමුත් එවකට දඹදිව සහ කලාපයේ තිබූ දේශපාලන
සමාජීය ආර්ථික සංස්කෘතියෙන් ඔප් නැන්වුණු
දියුණු පවුණු වූ සමාජ දහරාවකි. සපුරගමු
බින්තැන්නේ රංචමඩමේ මෙන්ම මොවුන්ද මිනී දැවීමට ඔරු සුසාන වේදිකා තනා ගෙන තිබුණි.
මන්දාරම් නුවර රිටිගල සීගිරිය මානෑ කන්දේ පවැතුණු යක්ෂ රාක්ෂ
ශිෂ්ඨාචාරයේම තවත් අදියරක් ලෙසට මෙය සලකන්නට නොහැකිද. යක්ෂ බස රහස් බසක් සේ තබා ගෙන උතුරු ඉන්දියාවේ දේශපාලන අභිලාශයන්
සමග මෙන්ම ව්‍යාපාර මානසිකත්වයන් ගලපා ගත හැකි වන පරිදි එහි පැවති මූල ප්‍රාකෘත
අක්ෂර භාවිතයෙන් මහා සභ්‍යත්වයක් බිහි කරන්නට වෙර දැරූ අභිමානවත් හෙළයන් පිරිසක්
දඹුල්ලේ සිටින්නට ඇතැයි අපගේ නිගමනයයි. එය නම් මහාවංශයේ ප්‍රකාශිත අර්ථයම වන ගොවි
වෙළෙද බල දේශපාලනයයි .මේ දේශපාලනයේ සිටි පරුමක වරුන් විසින් දඹුළු ලෙන කටාරම්
කොටවා මුල් තපස් පිල් ආරම්භ කරන්නට ඇත්තේ මිහිඳු මා හිමියන් වැඩම කරන්නටද
පෙරාතුවයි. පසුව බුදුන් වහන්සේ ගේ ලංකාගමනය නිසා අවිලුණු දහම් පිපාසය නිසා මේ ලෙන්
රහතුන් වෙනුවෙන් කැප කරන්නට ඇත. මේ නිගමනයන් විවාද සම්පන්න වුවද මහාවංශය ගුරු කොට
තබා ගනිමින් එහෙත් එයටත් වඩා පෙර ඉතිහාසයක අභිමානය කැටි කරනු වස් තතනන වත්මන් තරුණ
පරපුරට මේ ප්‍රවෘත්තිය ආඩම්බරයක්ම වන නිසා එවැනි විවාදපන්න අදහසක් වුවත් සමාජ ගත
කිරීමට අප පසුබට නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.
2015/10/31 rivira sunday