දොඩන්දූව
ශෛලබිම්බාරාම විහාරය වනාහි දකුණු ලක පතළ ඓතිහාසික වැදගත්කමකින් යුක්ත වූ මහා
සිද්ධස්ථානයකි. එහි වැඩ සිටි දොඩන්දූවේ පියරත්න තිස්ස නායක ස්වාමීන් වහන්සේ බුද්ධ ශාසනයටත්
සිංහල ජාතියටත් ඉටුකළ මෙහෙයන් අතර ප්‍රමුඛ වන්නේ බොදු පාසල් ඇරඹීම සඳහා ගත් ක්‍රියාමාර්ගයයි.1812
වර්ෂයේ සිට බැප්ටිස්ට් මෙතෝදිස්ත වෙස්ලියන් ආදී මිෂනාරී සමාගම් විසින් ලංකාවේ
මුහුදු බඩ පළාත් වල ක්‍රිස්තියානි පාසල් ඇරඹීමත් ඒවාට බ්‍රිතාන්‍ය රජයේ සෘජු අනුග්‍රහය
ලැබීමත් හේතු කොටගෙන විහාරස්ථාන මුල්කොට ඇතිවුණු පිරිවෙන් අධ්‍යාපනය සම්පූර්ණයෙන්
දුර්වල විය. එසේම ක්‍රිස්තියානි මිෂනාරීන්
විසින් ගමක් ගානේ ඔවුන්ගේ ආගම ප්‍රචාරය කරමින් බුදු දහම විවේචනය කරමින් යනෙන කල ඒ
පිළිබඳව එකළ සිටි මහා සංඝරත්නයේ ඇස් විවර වූහ. වැලිවිට සංඝරාජ මාහිමියන් විසින් උපසම්පදාව
පිහිටුවා ඇති කල බෞද්ධ ප්‍රබෝධය නිසා පහත රට විහාරස්ථානයන්හිද සංඝ පරම්පරා ඇති
වෙමින් අධ්‍යාපනයට අවශ්‍ය මංපෙත් විවර වූහ.
1839 දී රත්මලානේ පරම ධම්ම
චේතිය පිරිවෙන බිහිවීමෙන් පසුව එයට සමගාමීව කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනද
පිහිටුවන ලදී. මේ අභාෂයෙන් පණ කැවී දොඩන්දූව ශෛල බිම්බාරාමය ආශ්‍රිතව 1856 දී පමණ
පිරිවෙනක් ආරම්භ විය . එහි නායකත්වය ගන්නා ලද්දේ පූජ්‍ය උඩුගල්පිටියේ සිරි
සුමනතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසිනි. මෙම පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේනාධිපති
ධූරය දැරූ දොඩන්දූවේ පියරත්න තිස්ස නායක ස්වාමීන් වහන්සේ මේ පිරිවෙන් අධ්‍යාපනයෙන්
ඇති වූ ප්‍රබෝධයත් දොඩන්දූවේ වෙළෙඳ ප්‍රජාවෙන් ලැබුණු සහයොගයත් හේතු කොට ගෙන බෞද්ධ
දරුවන් විෂයෙහි පාඨශාලාවක් පිහිටුවීම කෙරෙහි උනන්දු විය. එයට වඩාත්ම හේතු වූයේ
මොර්ගන් වාර්තාව අනුව ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1868 දී ප්‍රසිද්ධ ඉගැන්වීම්
දෙපාර්තමේන්තුව පිහිටුවීමයි.මේ නිසා ආධාර ලැබිය හැකි පාසල් විවෘත කිරීමට හැකි විය.
පියරත්න නායක හිමියන් ගේ ද බලාපොරොත්තුව වූයේ මෙලෙස රජයේ ආධාර ලබන බෞද්ධ පාසල්
ආරම්භ කිරීම විය හැකිය.
මේ අවදියේ දී දෙඩන්දූව කුමාර කන්ද
විහාරයේ පුස්කොල ලිවිම පිණිස පැමිණි සිට දාවිත් නම් තරුණයෙක් එහිම පැවැදි වී
මිගෙට්ටුවත්තේ ගුණානන්ද නමින් ප්‍රකටව ක්‍රිස්තියානි මිෂනාරි වැඩ කටයුතු වලට
එරෙහිව සටනට බැස සිටියේය. 1865 දී ක්‍රිස්තියානීන් සමග බද්දෙගම හා වරාගොඩ හා පාණදුරේ දී ඇති වූ ප්‍රසිද්ධ වාදයකින් පසුව
භික්ෂූන් වහන්සේලා අතර විශාල පිබිදීමක් ඇති විය.මේ ප්‍රබෝධයෙන් ප්‍රයෝජනය ගත් ශෛලබිම්බාරාම
විහාරාධිපති පියරත්න තිස්ස නායක ස්වාමීන්වහන්සේ 1869 දී ජින ලබ්ධි විශෝදක නමින් ප්‍රථම බෞද්ධ පාඨශාලාව දොඩන්දූව සිය විහාරස්ථානය ආශ්‍රිතව ආරම්භ කරන
ලදී. ඉන්පසු 1869 දෙසැම්බර් මාසයේ දී පාණදුර උපාධ්‍යා නමින් තවත් පාසලක් ආරම්භ කල
නමුදු ආණ්ඩුව මගින් ඒවා ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලදී. මින් පසු නොබැස
උපක්‍රමශීළීව කටයුතු කල පියරත්න තිස්ස නායක හිමියන් රොබින්සන් ආණ්ඩුකාර තැන දොඩන්දූවට කැඳවා පාසල පෙන්වා
අනුග්‍රහය ලැබ ගෙන ලියාපදිංචිය නිම කිරීමට කටයුතු කලේය.ඉන්පසු අම්බලන්ගොඩ
පටබැඳිමුල්ලේ කතළුවේ හා අහංගම දී තවත් පාසල් තුනක් විවෘතත කළේය. එහෙත් ආණ්ඩුවේ
වාර්තා අනුව 1880 වන විටත් ආධාර ලබන පාසල් වශයෙන් ක්‍රියාත්මකව තිබුණේ කොරතොට
හෝමාගම හඳපාන්ගොඩ වලහේපිටිය නම් පාසල් හතර පමණකි.ඒ අනුව බලන කල්හි පෙනෙන්නේ ප්‍රථම
බෞද්ධ පාසල බෞද්ධ වීම නිසාවෙන්ම ලියාපදිංචිය ප්‍රමාදව තිබූ බවයි.
පියරත්න තිස්ස නායක හිමියන් ගේ පාසල් ක්‍රමය
සහමුලින් ම බෞද්ධ අධ්‍යාපන ක්‍රමයක් විය. අකුරු ශස්ත්‍රය ඇරණු කොට උන්වහන්සේගේ
විෂය මාලාවට බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදයක් ඇතුළත් විය. එහි පළමුවරට තිබුණේ පළමුවන
පාඩම් පොතයි. දෙවනුව බුද්ධ වන්දනාවත් තෙවනුව සරණත්තය දීපනී නම් ග්‍රන්ථයත්
සිවුවනුව ජිනධර්ම විකාශිනී නම් ග්‍රන්ථයත් පස්වෙනුව සෙය්‍යාර්ථ දීපනී නම් ග්‍රන්ථයත්
ඇතුළත් වූහ. මෙයින් සරණත්තය දීපනී නම් ග්‍රන්ථයෙන් සරණාගමන ආනිශංස ප්‍රකාශ කිරිමත්
ජින ධර්ම විකාශිනීය සරණාගමනේ පටන් ප්‍රාණඝාතාදී අකුශල කර්මයන්හි යෙදීමෙන් ලැබෙන
කර්ම විපාකය දැක්වීමටද සිගාලෝවාද සූත්‍රයෙන් දැක්වෙන සතර කර්ම ක්ලේශයන් සතර අගති
ආදියද මව්පිය ගුරුවර ආදීන් කෙරෙහි දරුවන් දැක්විය යුතු ගෞරවාදරය ආදියද සරලව විස්තර
තර තිබුණි. ස්‍යොර්ථ දීපනියෙහි බුද්ධ චරිතය සවිස්තරව ද චතුරාර්ය සත්‍යය ආදී ධර්ම
විභාගය ද බෞද්ධ ගුණ ධර්ම වගා කිරීමෙන් මෙලොව පරලොව වැඩ සාදන අයුරුද තුන් සූත්‍රය
හා එහි සරල අදහස් අන්තර්ගතව තිබුණි.මේ තත්ත්වය එකල හැටියට බෞද්ධ දරුවෙකු බිහි
කිරීමට ප්‍රමාණවත් පරිදිම විය.මිථ්‍යා දෘෂ්ටිකයන්ට සිංහල කියවීමට හා ලිවීමට බෞද්ධ
පූජකයන් විසින් වඩාත් හොඳින් උගන්වනු ලැබේ යයි 1833 දී ලංකාවට පැමිණි කොල්බෘක්
කැමරන් කමිටුව ඉදිරියේ ආච්ඩිකන් වරයා කළ ප්‍රකාශය මෙහිදී සිහිපත් වේ.බෞද්ධ දරුවන්ට
සුදුසු අධ්‍යාපනය කුමක්දැයි දන්නේ උගත් නැණවත් භික්ෂූන් වහන්සේලා පමණකි.දශක කීපයකට
පසුව පියරත්න තිස්ස නායක හිමියන් අතින් එය නැවත ප්‍රතිෂ්ඨාපනය විය.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන්
වහන්සේ සහ පාදිලියන් ද ක්‍රිස්තියානි කතීසේරුවරුන් ද අතර ඇති වූ පාණදුරා වාදයෙන්
බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් හට ගත්තේය.ටයිම්ස් ඔෆ් සිලෝන් ප්‍රවෘත්ති පත්‍රයේ
කතුවරයා වූ ජෝන් කූපර් වාදය පිළිබඳව සියලු තොරතුරු සම්පූර්ණ වාර්තාවක් ඉංග්‍රීසි
බසින් පළ කළේය. ජේ.එම්. පීබල්ස් විසින් ලියන ලද හැඳින්වීමක් සහිතව මෙම වාර්තාව
නැවත ඇමරිකා එක්සත් ජනපදයේ දී පළ කෙරිණි.1864 දී පරම විඥානාර්ථ සංගමය නමින් නව
දෘෂ්ඨි සම්මේලනයක් පිහිටුවාගෙන සිටි කර්නල් ඔල්කොට් මේ ආකර්ශණීය වාදයෙන් ඔද
වැඩීබෞද්ධ ධර්මය ගැන හැදෑරීමට සුදුසු වන්නේ කවරෙක්දැයි යන්න විපරම් කොට බැලීය.
ඔහුට දැන ගන්නට ලැබුණේ දොඩන්දූවේ පියරත්න තිස්ස නායක හිමියන් මීට ඉතා සුදුසු
බවයි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඔල්කොට් තුමා පියරත්න හිමියන්ට ලැබෙන්ට හැකිවන පරිදි
ලිපියක් තැපැල් කර එවන ලදී. පියරත්න හිමියන් මේ ලිපියට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව
දිගින් දිගටම ලියුම් ගනුදෙනු කරන ලද බව පෙනේ. 1878
අගෝස්තු 22 දාතම යටතේ එතුමා පියරත්න තිස්ස නායක හිමියන් වෙත එවන්නට යෙදුණු ලිපියේ කොටසක
මෙලෙස සඳහන් වෙයි.
මා මේ නගරයේ නොසිටි කාලය තුළ ඔබ විසින්
මා වෙත එවන ලද ජූනි 15 දින දරණ ලිපිය පමාවී ලැබුණු නමුත් ඒ ගැන මාහද සතුටින් ඉපිලී
යයි. එහ් අන්තර්ගතය සතුරන්ට මැදිව කුමණ හෝ කළ හැකි අනතුරකට මුහුණ පාසිටින පිරිසක්
වෙනුවෙන් ඉතා තදින් අවශ්‍ය වන ආරක්ෂාව හා දිරිගන්වන සුළු ප්‍රකාශනයකි. එය අපට
නොපෙනෙන එහා කෙළවරේ අපගේ ප්‍රධාන සංගමයට සම්බන්ධ වී සිටින පුරෝගාමී අනුඛන්ඩය
කෙරෙහි සංවේදීබව අනුකම්පාව වේගයෙන් ජනිත කරවන්නකි. විශ්වාස වන්ත මිතුර ඔබ විසින්
අප වෙත දිගු කළ දෑත් සහෝදරත්වයෙන් හා උණුසුම්ව ග්‍රහණය කර ගත්තෙමි. අපගේ උපදේශක
මණ්ඩලයේ සියළු දෙනගේ එකඟත්වයෙන් ඔබ අපගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස පත්කරගන්නා අතර
ඒ සම්බන්ධ සන්නස් පත මේ සමග එවමි.
ඔබ සම්බන්ධව යමක් කාරුණිකව මා වෙත ප්‍රකාශ
කරයි. එතරම් වටිනාකමක් නැති මා ගැන කරුණු කීපයක් කීමට මට පොඩියකට අවසර දෙන්න. දැනට
හතලිස් හයවන වියේ පසුවන මා උපතින් ඇමරිකානුවෙකි. 1635 සිට අපගේ පවුල මෙහි වෙසෙන්
අතර 1776 සහ 1812 දී බ්‍රිතාන්‍යට
විරුද්ධව යුධ වැදුනෙමි. සැබෑ සහෝදරත්වයෙන් හා මානව දයාවෙන් යුතුව මෙම සංගමයට
අඩිතාලම තබන තෙක්ම මා දැඩිමතධාරී දේශමාමකයෙකු වීමි. එහෙත් මා දැන් ඉතා තදින්
සිතනුයේ හැම ජාතිකයෙකුම අප එකම පවුලක සහෝදරයන් ලෙසය. බටහිර හොඳින් උගත් ජනයා
පෙරදිග මගේ බහුශැත භික්ෂූන් හා සසඳන කළ මෝඩයන් ලෙස පසුවෙයි. මා ඔවුන්ගේ අන්තිමයා
වෙමි. ප්‍රඥාව යනු මිනිසා සහ ලෝකය පිළිබඳව වන්නා වූ සැබෑ අවබෝධයයි. මෙය ක්‍රිස්තියානි
ලොවට උගත හැකිද. පිපාසාවෙන් පෙළෙන
සිසුවෙකුට මේ ලෝකායත ස්වභාවය නම් කටුවෙන් වැසී ගිය සත්‍යය විශ්ව විද්‍යාලයකින්
ආචාර්ය වරයෙකුගෙන් හෝ පොතපතින් ලද හැකියි. පෙරදිග යතිවරු යෝගීන් හා පැවිද්දන් මෙම
දිව්‍යමය ඥානය රැකගෙන සිටිනාතර එය මිථ්‍යදෘෂ්ටික රටවල ජනයාගේ පිළිකුලට හා ගැරහීමට
පාත්‍රව ඇත. පාරිශුද්ධත්වය බලය ආලෝකය හා පරම සුඛයට මාර්ගය ඇති බව පෙන්වා දිය
හැකියි. බටහිර රටවල සිත දූෂ්‍ය කරන දේවධර්මවාදයත් පංචකාමයේ ගැලුණු පූජකයන්ද පූජ්‍ය
කටයුතු වලට ආදේශකයක් වන ව්‍යාජ පොත් හුදු ක්‍රියාදාමයකට දායක වන වචන පමණකි. ප්‍රයෝගකාරී
කොටස් විසින් ජනතාවට සත්‍ය දැන ගැනීමට ඇති මංවසා ගෙන ඔවුන්ගේ මිථ්‍යා විශ්වාස
නමැති අගල් කපා ගෙන සිටී. නමුත් ජනතාවගේ හෘදය සාක්ෂිය හා දෛව්‍ය පාලනය කිරීම නූතන භෞතික
විද්‍යාව විසින් බැහැරකර ඇත. ඔවුන්ගේ අධ්‍යත්මික දේ හා ශික්ෂාවන් ඒ සමගම අඳුරෙන්
වැසී ගියේය. දස දහස්ගණන් ක්‍රිස්තියානි අනුගාමිකයන් හා ඓතිහාසික බලාපෑම්වල අන්තිම
සංඤාවන් ද බොහෝ දුරට මෙලහකටත් අතුගෑවී හමාරය.
මෙහි පවතින තත්ත්වය මෙලෙසය. ඉදින් අපි
කොයිබටද මිනිසාගේ ස්වභාවය හා දෛවය පරීක්ෂා කර බැලීමට අපට පෙළඹවීමක් ලබා ගත හැකිද.
අප එය කරමුද. මිෂනාරීන් හා දූෂිත වාග් විද්‍යාඥයින් විසින් ඓතිහාසික ලේඛනයන්හි
සදොස් පරිවර්තනයන් අපට ලබා දී ඇත. ඓතිහාසික ශික්ෂාවන් හා සිද්ධාන්ත උගතුන් විසින්
වැරදියට සඳහන් කර ඇත. නැතිනම් කොහෙත්ම පෙන්වා නැත.බටහිර ලෝකය ඉන්ද්‍රිය පිනවීම හා
අවිද්‍යාවේ මෘගත්වයට ගොදුරුව මිය යමින් සිටිනා බව පෙනෙයි. පියවරුනි සහෝදරයිනි ඔබලා
පැමිණ මේ අන්ත්‍රායෙන් ඔවුන් මුදවාගන්න. මිෂනාරීන් ගුරුවරු වාදකරන්නෝ පුරෝගාමියෝ
මේ හැමටම පැමිණෙන්න යයි කියමි. වෛරකිරීමට හිතාගෙන සිටින අයද විරුද්ධවන්තයෝ ද වැරදි
අරුත් සපයන්නෝ ද අයහපත් ලෙස සැලකුම් ලැබුවෝද පැමිණෙන ලෙසට ආයාචනා කරමි. කිසිවක්
බලාපොරොත්තු නොවීම එහෙත් හැමෙකක්ම ඉටුකිරීමට ධාරණය කරගෙනම පැමිණෙන්න. මාගේ සහෝදරය
මම ඔබට කියන්නේ ජනතාව ඔවුන්ට දැනුන මෙහොතෙත්මඅසන්නට සූදානම් යන්නයි.
.සැබවින්ම එහි මිනිසුන්ට බෞද්ධ දර්ශනයෙන්
කියැවෙන නිවන් සුවය පිළිබඳව දැන ගැනීමට තිබෙන අවශ්‍යතාව කෙබඳුදැයි යන්න හිතාගන්නටවත් නොහැකි තරම්ය . යුරෝපයට හෝ
ඇමරිකාවට පැමිණ නැති ඔබ එය නොදන්නෙහිය. වරක්
අපට බෙහෝ සබඳකම් ඇති සංස්කාරකවරයක් වන ධනා මහතා කියූ කරුණක් තිබේ. ඔබ හොඳ උගත් යමක්
ඒත්තු ගැන්විය හැකි බෞද්ධ යතිවරයෙකු මෙහි කැඳවා ගෙන විත් දේශන පවත්වන්නට කීවොත්
ඔහු ඔබගේ දෑස් ඉදිරිපිටම මේ රට අතුගා පිරිසඳු කර දමනු ඇත යන්නයි. විද්‍යාත්මක
පුනරුදය නිසා මිනිසුන් තුළ ඇති වී තිබෙන ක්‍රිස්තියානි ආගම් කෙරෙහි වන පිළිකුල හා
තම ආත්මයන් සකස් කරගන්නේ කෙසේද යන පැණය ඔවුන්ගේ සිත්තුළ ද පවතී.
විෂය පතය ගැන මම කතාකලේ ටිකයි. ඒ වාගේම ඒගැන
වැඩිපුර ලියැවුනා. නමුත් මා බොහෝ දුරට ඒ ගැන නොදන්නෙක්.අපි සැවොම වාගේ දැනුමැති අය
නොවෙයි. ඒ නිසා ගුරුවරයෙකු වීමට මා දිරිමත් වන්නේ නැහැ.එම කුසලතාවය නොමැතිවීමේ වරද
දිගටම වැඩෙමින් තිබුණි. ඉදින් මා අන්තිමේදී තීරණය කලා ලංකාවටද අනෙකුත් පෙරදිග
රටවලටද ගොස් මේ ගැන අධ්‍යපනය කිරීමට. අපගේ සංගමය ලෝකයේ අනෙකුත් කොටස්වලද ක්‍රමයෙන්
වර්ධනව ඇති අතර නොයෙකුත් ඇදිහිලි අනුගමනය කරන අය එහි සිටිති. මට අවශ්‍ය මගේම
ලබ්ධිය අදහන අනෙකුත් අයගේ උපකාරය හා උපදේශනය ලබා ගත හැකි පරිදි අපගේ ප්‍රධාන
කාර්යාලය ඉතා ඉක්මනින්ම ලොව අනෙකුත් කොටස්වලටද ගෙන යෑමයි. මෙම ලිපියට පිළිතුරු ඒමට
පෙරාතුව යම්කිසි බලාපොරොත්තු නොවූ දෙයක් සිදු නොවවහොත් කියූ පරිදි බොම්බායට ඒමට සිතාසිටිමි.
ඉදිරියේ දී ලංකාවටද ඒමට බලාපොරොත්තු වන අතර එහිදී අපට මුහුණට මුහුණ ලා අදහස්
හුවමාරු කර ගැනීමට හැකිවනු ඇත.
අපගේ සංගමයේ පදනම වන්නේ සහෝදරත්වය හා මානව
දයාව බව මීට ඉහතින් අවධාරණය කර කියා ඇත.
එය බොහෝ විට පොදු සතුරා වන ක්‍රිස්තු ධර්මයට එදිරි සංවිධානයක් බව කිව යුතු
වෙයි.අපට යුදෙව් ආගම අදහන්නන් හේතු ධර්මවාදන් විඥානවාදීන් පර්සි ජාතිකයන්
බෞද්ධයන් තිබ්බතයන් බ්‍රාහ්මණ හා ජෛන
ආගමිකයන්ද සිටිති. තවද නොයෙකුත් නිකායනට බෙදුනු නාමික ක්‍රිස්තියානින් වන තවද
කිසිවක් නොමැති මුත් තම පැරණි ආගමික දාසබවෙන් මිදීමට තරම් ධෛර්යක් නොමැති අයද
වෙති. අවස්ථාවෝචිත පරිදි මේ කණ්ඩායම් කොටස්වලට බෙදා මව් සංගමයට යා කොට ඇත. එය ප්‍රන්සයේ විවිධවූ විද්‍යාස්ථානයන් ගේ
එකතුවක් ලෙස විශ්ව විද්‍යාල සුසැදී ඇති ආකාරයට සමාන වෙයි. බාල වයස්කාරයන් හික්මීම
සඳහා පණ්ඩිත් දායානන්ද් සරස්වතී ස්වාමීන් ගේ ආර්ය සමාජ නම සංගමය සමගද කිට්ටු සබඳතායක් ඇත.
පූජනීය සත්‍ය වසා ගත් ව්‍යාජ හා දුෂඨ
දෘෂ්ඨිවදයන් අතුගා දමා සුපිරිසිදු ආර්ය දර්ශනය පෙර ස්වභාවයට නැවත ගෙන ඒමට කෙතරම්
වෙහෙසක් දැරුවාද යන්න මා ඔබට විස්තර කිරීමට අවශ්‍ය නැත. මගේ මුල් ලිපියෙන් එය ඔබට
ලැබෙන්නට ඇතැයි සිතමි. පරම විඥානාර්ථ සංගමයේ නායකයන් වන අපි ශාක්‍ය මනින්ද්‍රයන්
වහන්සේ විසින් දේශිත තේරුම් ගැනීමට දුෂ්කර
මූල ධර්මයන් අඩංගු දිව්‍යමය දර්ශනය අදහහන්නෝ වෙමු. සෑම මිනිසෙකු විසින්ම විසිරුවා
හැරිය යුතු මේ සත්‍යයේ ආලෝකය ඔවුන් තුළ ඇති බව අපි දනිමු. එය සියළු මිනසුන්ගේ
ඇදහිලි වල දැකිය හැකි පොදු පසුබිමක රැඳුනා වූ සත්‍යයේ කොටසකි. අපි ක්‍රිස්තියානීන්ට
විරුද්ධ සංගමයක් නම් එසේ වන්නේ එම ඇදහිලි කෘර හා හිංසා කාරී වූ ද මිනිසා ගේ යහ
කැමැත්තට එදිරි වූවක් නිසාය. බුදුන්ගේ
දිව්‍යමය ප්‍රඥප්තියක් වන්නේ අන් සමයන්ද තමන්ගේ සමය එකම සමය ලෙස පිළිගැනීමයි.එහෙත්
ඔවුහු තම සමය අනෙක්වාට වඩා ඉහළින් තබා ඒවා තමා යටතට ගෙන ගරහමින් මුළු පෘතුවියම
දූෂිතභාවයට පත්කර ඇත. ක්‍රිස්තියානීන් ගේ මේ ස්වභාවය හඳුනාගනිමින් අපගේ තරුණ සංගමය
විසින් එළිපිටම අභියෝගගාත්මකව ඔවුන්ගේ මුහුණටම ඔවුන්ගේ ඇදහිලි වල ඇති ව්‍යාජ
ස්වභාවයද බයිබබලය හා ගැලවුම් කරු අතර කිසිදු සබඳතාවයක් නොමැති බවද මිථ්‍යා
දෘෂ්ඨියක් බවද ප්‍රසිද්ධියේ පුකාශ කර ඇත්තෙමු.
කර්නල් ඔල්කට් ගේ මේ ලිපිය කියවන
කල්හි කාරණා කීපයක් ප්‍රත්‍යක්ෂ වෙයි. එකක් නම් ඔහු ක්‍රිස්තියානි ආගමට විරුද්ධ
වූයේ ඇයිද යන්නයි. යුරොපයේ ඇතිවූ විද්‍යා පුනරුදය මගින් ඇති කළ ආලෝකය මත තම ලබ්ධිය
පිළබද විශ්වාසය ගිලිහීම එහි අංක එකට ගත හැකිය. ඔල්කට් තුමා ලෝකයේ සියළුම ආගම්
වගින් කියවෙන්නේ එක සත්‍යයක් ලෙස විශ්වාස කරන්නෙකුව සිට ඇත. නමුත් පාණදුරා වාදයෙන්
ඇති වූ ප්‍රබෝධය නිසා අළුත් යමක් දැන ගැනීමේ ආශාවෙන් මඩනා ලද සිත් ඇති ව ඔහු
ලංකාවට පැමිණීමට අදහස් කර ඇත. ඔල්කට් තුමා 1880 මැයි 19 දින ගාලු වරායෙන් ලංකාවට පැමිණියේ බලැවැට්ස්කි
මැතිණියද සමගින්ය. මෙහිදී පොරොත්තුව සිටි අති පූජ්‍ය බුලත්ගම ධර්මාලංකාර සිරි සුමනතිස්ස
නායක හිමියන් පූජ්‍ය වැලිගම සුමංගල නා හිමියන් සහ දොඩන්දූවේ පියරතන තිස්ස නා
හිමියන් තුන් පළ එතුමාට ආශිර්වාද කොට පිළිගෙන ගාල්ලේ දොන් දානියෙල් පිලිප්
විජේරත්න මහතාගේ අභිනව ගෘහයට කැඳවා ගෙන ගොස් තිසරණ සහිත පංචශිලයෙහි පිහිටවූහ. මැයි
26 වන දින ඔල්කට් තුමා ඇතුළු පිරිස දොඩන්දූවට පැමිණි අතර එහිදී සවස හතරට පමණ අධික
වර්ෂාව නොතකා රැඳී උන් පිරිසට දේශානාවක් කරමින් බුදුරජානන් වහන්සේ ගේ උත්තම භාවයත්
මිථ්‍යාආගම් ඇදහීමෙන් වන විපත්තියත් තේරුම් කර දුන් බව සඳහන්ය. මේ පිළිබඳව විස්තර
දොඩන්දූවේ ධරමසේන අපවත්වී වදාල නායක හිමියන් ගේ ගේ ලේඛන අතර තැන්පත් තිබුණි.
පියරත්න තිස්ස නායක
හිමියන් ගේ මග පෙන්වීම යටතේ ඔල්කට් තුමා විසින්
1881 දී පාසල් අරමුදලක් ඇති කරන ලදී. ඉන්පසු රට පුරාම බෞද්ධ පාසල් පිහිටුවීම
ආරම්භ කොට පවත්වාගෙන එන ලදී. කලක් ගිය පසු පියරත්න තිස්ස නායක හිමියන් විසින්ආරම්භ
කරන ලද මුල්ම පාඨශාලා දෙකද බෞද්ධ පරම විඥානාර්ථ සමාගමට භාර දුන් බව සඳහන්ය.යුරෝපයේ
එකල සමානාය ජනතාවට පාසල් නොවීය. විද්‍යා පුනරුදයත් සමග ඇති වූ කම්හල් සහ පතල් වල
වැඩට යොදා තිබූ බාල දරුවන් නොහික්මුණු හිතුවක්කාර පිරිසක් විය. ඔවුන්ගේ දැඩි ගති
හික්මවීමට නොහැකි තරම් වූයේ ඉරිදා දිනයටයි. ඒ
නිවාඩු දිනය බැවිනි. මෙයට පිළයමක් වශයෙන් ක්‍රිස්තියානි පල්ලිය විසින්
ඉරිදා පාසල් ආරම්භ කරන ලදී. නමුත් ලංකාවේ තත්ත්වය එය නොවීය. කුමන කරාතිරමේ
පුද්ගලයෙකුට වුවද මළ පතේ අකුරක් කියවීමට හැකි වන පරිදි අකුරු ශාස්ත්‍රය ඉගැන්වීම
කරන ලදී. ඔවුන්ගේ එදිනෙදා විද්‍යා දැනුම ලබා ගත්තේ සොබා දහමෙනි. විද්‍යාදැනුම
හික්මවන ලද්දේ දහම් කරුණු කියා දීමෙනි. එය නිතිපතා සිදු වූ දෙයකි. තවත් විශේෂ
දෙයක් එහි විය.වැඩිහිටියෙක් බවට පත් වීමේ දී හමුදාවට සහ ආරක්ෂක සේවයට බැඳිය යුතු
බැවින් සටන් ශිල්පය හා ව්‍යායාම් අනිවාර්යෙන් උගත යුතු විය. මේ තත්ත්වය වටහා නොගත්
ක්‍රිස්තියානු පූජක වරු ළමුන් ගේ ව්‍යායාම් ගැන වාර්තා කරති. මෙවැනි පන්සල් පාසල්
6000 ක් පමණ තිබූ බව කෝල්බෘක් කෙමිසම වාර්තා කර ඇත. කෙසේ වුවත්1869 දී පිහිටවූ
බෞද්ධ පාසල් වල නොතිබුණේ මෙම ව්‍යායාම් නොහොත් සටන් පුහුණුව පමණකි. එය එකළ තහනම්
දෙයක් විය.
නොහික්මුණු දරුවන් යහමගට ගැනීමට යුරෝපයෙන්
දුන් ආදර්ශය සහ ඉන්දියාවේ ආර්ය සමාජ ආදර්ශය ගුරු කොට දහම් පාසල් ඇති කිරීම ඔල්කට්
තුමා අනුමත කල දෙයක් විය.ලංකාවේ බෞද්ධ පරම විඥානාර්ථ සමාගම 1881 දී ප්‍රථමයෙන්ම කලේ මෙලෙස ඉරිදා පාසල්
පිහිටුවීමයි.1886 දී කොළඹ පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රීසි පාසල ඉරදා පාසලිකි.සී.ඩබ්.
ලේඩ් බීටර් එහි ප්‍රථම විදුහල්පති විය.
පසුව එය ප්‍රසිද්ධ ආනන්ද විද්‍යාලය බවට පත් විය.කෙසේ වෙතත් බෞද්ධ දරුවෙකු සමාජයට
මුදා හරින්නේ කෙසේද යන්න වටහා නොගැනීම හේතුවෙන් 1880 න් පසුව බිහිවූ පාඨශාලා
සියල්ල මගින් ඉටු කෙරුණේ බටහිරයන්ට අවශ්‍ය ලෙස සිංහල මොළ සේදීම පමණකි. යුරෝපයේ විද්‍යා පුනරුදය ලංකාවට ආදේශ
කොට ක්‍රිස්තියානීන්ට නාමිකව විරුද්ධ වන පිරිසක් බිහිකොට සියළු ආගම් සම තත්ත්වයේ
සලකන මානවයෙක් බිහි කිරීමේ ඔල්කට් අදිටන ලංකාවේ දී සාර්ථක වූ බව පමණක් අවසානයේ දී
ලියා තැබිය යුතුය.නිදහස් අධ්‍යාපන ක්‍රමය මගින් රට පුරා ප්‍රචලිත කරන ලද්දේද 1962
වර්ෂයේ දී ඒවා රජයේ අධ්‍යාපන ක්‍රමයක්
ලෙසට තහවුරු කරන ලද්දේද කිසිම විචාරයකින් තොරවයි.ඒ මගින් අපට අතීතයෙන් උරුම වූ
බෞද්ධ අධ්‍යපන ක්‍රමවේදය අහිමි විය.