වලවේ ගඟ හරස් කර බැඳි බැම්ම මගින් අස්වද්දන ලද වෙල්යායක් බළන්ගොඩ කල්තොට
බින් තැන්නේ තිබේ. නීල මහා යෝධයා විසින් එම බැම්ම සකස් කලේ යයි ජන ප්‍රවාදයේ තිබෙන
සඳහන අනුව මේ පෙදෙසෙහි ඉතිහාසය පිළිබඳව අදහසක් ගත හැකිය. මේ වලවේ ගඟේ සීමාවේ සිට
කටුපත් ඔය දක්වා කිලෝමීටර දොළසක් පමණ වන කඳු බෑවුම හඳුන්වන්නේ ලංකාවේ දක්ෂිණ
වේදිකාව වශයෙනි. පසුගිය දා කැළණිය සරසවියේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ
මහාචාර්ය රාජ් සෝමදේව මහතා මේ ප්‍රදේශයේ වෙසෙසි ගවේෂණයක් ආරම්භ කොට එහි තොරතුරු
ජනමාධ්‍යන් වෙත අනාවරණය කර තිබුණි. එහිදී හෙළිවූයේ කතුහලය දනවන ප්‍රවෘත්ති කීපයකි.
මහින්දාගමනයට ප්‍රථම ලංකාවේ ජනයා බුදු දහම ට නැඹුරුව සිටියායයි යන්නට තිබෙන සාක්ෂි
කීපයක් මේ ගවේශණයේ දී සොයා ගෙන තිබුණි. ඉන් එකක් නම් කිරිමකුල්ගොල්ලේ ගල් ලෙනක
තිබී යක්ෂ ගෝත්‍රිකයෙකු විසින් කෙටවූ සෙල් ලිපියක් හමු වීමයි. මේ ලිපියේ ප්‍රධාන පාඨයට යටින් තිබූ යගස නම් නාමය මගින් අප
ඒ මානයට කැඳවා ගෙන යයි.
කූරගල පර්වතය හිටුවන්ගල
පර්වතය බෙල්ලන් ගල ආදී තැන් පිළිබඳ තිබෙන ජනප්‍රවාදයන් බොහොමයකි. 1971 වර්ෂයේ පළවූ
රසවාහිනී සඟරාවක මේ කූරගල ගැන අපූරු සඳහන් කීපයක් තිබූ බව මතකයි. එච්.ජී. විජේදාස
මහතා තමයි එහි ලේඛකයා. ඔහු විසින් කූරගලට
යොදන්නේ දිවා ගුහාව යනුවෙනි.ඔහු එම මතය සනාථ කරන්නේ මෙහෙමයි.
සමන්ත කූඨයත් කතරගමත් යා කරන
රේඛාවේ රාවණා ගේ නගරය ඇතැයි දෛවඥ කාමධේනුවේ සඳහන්ය.ඔබ ඒදෙක යාකරන්න. රාවණා ගේ නගරය
උඩින් වටෙන රේඛාවෙන් ලෝකය අර්ධ ගෝල දෙකකට බෙදෙන බව එහි ඇත.
අස්ති
ලංඛකති විඛ්‍යානා -රාජධානි සුරතු විෂා
හර්තුස්සා
මධ්‍ය රෙඛායං-සතලස්‍ය ජලස්‍ය ච
ශෛව
සීමා භවෙන් භතොර් -දක්ෂිනෝත්තර ගෝලයො
තතත්‍ර
විෂුවත් මධ්‍යච්ඡායා ස්‍යාත් ගෝලයොත්තර
දැන් අපි අනික් රේඛාව අඳිමු. අක්ෂ භාග හය සහ හත ඔබගේ
ලංකා සිතියමේ ඇත. හයහමාර අඳින්න. රේඛා දෙක එකට එකතු වන තැන කූරගල පර්වතය පෙනේ. සමන්ත
කූඨයේ සිට එතැනට සැතපුම් 27 කි. එතැන සිට කතරගමට 33 කි. කැළණියට හැත්තෑවකි.නාගද්වීපයට
240 කි. දීඝවාපියට 70 කි. මහියංගනයට 44 කි. දැන් ඔබ දිවා ගුහාව සොයා අවසානයි.
සිංහල රටේ උකුලේ රාවණා ගේ නගරය ඇතැයි මීට වර්ෂ හාරදහසකට කලින් ලිවූ ගරුඬ පුරාණය
පෙන්වයි. සමනොළ කන්දේ උකුලේ භගවා ලෙන ඇති බව සමන්ත කූඨ වර්ණනාව කියයි.
තතොරහන්තා
පගනත්වා සුගතෙ භගාමී
තස්මිං
නිතම්බේ ගිරිගබ්භාරයං
දිවා
විහාරය නිසදි යත්ථා
සුපාකං
තංභගවා ගුහාති( ඒ ගුහාව භගවා ගුහාව නමින් සුප්‍රකටය)
භූගෝල විද්‍යා පාඩමේ බලංගොඩ ප්‍රදේශයට
කියන්නේ දක්ෂිණ වේදිකාව කියායි. එසේත් නැතිනම් ඇද හෝ පුටුවයි. මේ ඇඳ කූරගල පර්වතයේ
කොටා තිබේ. අඩි 5000 ක් උස ලෝකාන්තයේ බිත්තිය පුටුවේ ඇන්දය. ඉදිරියට දුවන බළංගොඩතැන්න
ඉඳගන්න කොටසයි. අඩි 200 ක් ගැඹුරු දක්ෂිණ ප්‍රාකාරය නම් වූ මේ කඳු පෙළ පුටුවේ පා
කකුල්ය. අඩි 500 ක්උස මහවලතැන්න පාපුටුවයි. දැන් මේ පුටවේ වාඩිවී රන් කරඬුවක්
උකුලට ගන්න. අන්න ඒ කරඬුව කූරගලයි. ඒ ඇතුලේ භගවා ලෙන තිබේ.අනුරාධපුර සිට පොත් ලිවූ
අය භගවා ලෙන ගැන කිසිත් නොදත්හ. දඹදෙණියේ සිටි අය ආරංචි මාත්‍රයෙන් ටිකක් දත්හ.
සපරගමුවේ අය හොඳින් දැන සිටියහ. පූජාවලියේ භගවාලෙන සමනොළ බෝවිටේ නොව පා බිමේය.
වේදේහ හිමි හරියටම කීහ. කැටකිරිලි සංදේශ කතුවරයා අත් දික්කර කූරගලට භගවාලෙන යයි
කීහ.
කූරගල පර්වතයට පාමුළින් තිබෙන්නේ බුදුගලයි.
බෙල්ලන්ගල රක්ෂිතයේ සිට කටුපත් ඔය දක්වා දිවෙන මහ කැලෑවේ මහත් හාස්කම් ඇතැයි පැරණි
ගැමියන් පළකරන මතය දෙසට ද මදක් හැරී බලමු. මීට දශක ගණනාවකට ප්‍රථම එක් පුද්ගයෙක්
කැලේ අතර මං විය. ඔහු ගමට එන පාර සොයා කැලය පීරද්දි. ගල් ලෙනක් හමු විය. එහි ඇතුළට
ගිය ඔහු මහත් සේ විශ්මයට පත් විය. ඇතුලාන්තය පහන් නොමැතිවම ආලෝක වී තිබුණි. එහි
තැන්පත් කර ඇති බුදු පිළිමය මගින් නිකුත්කළ කාන්තියෙන් ඔහු වශිකෘතවිය. මේ ආරංචිය
ගමට කීමට ඔහුට අස්වැසිල්ලක් නොවුණි. එහෙත්
ගමට පැමිණ ආපසු තමන් අතරමං ව සිටි ඉසව්වට ගිය පසු එවැනි ලෙනක සළකුණක් වත් නොවීය.
තන්ජන්තැන්නේ මංගර දේවාලයේ උපසාක මහතා දරන්නේද එම අදහසයි. ඔහුට කීප වරක් ම
සිහිනෙන් භගවා ලෙන පෙනී තිබේ. දැනට කූරගල
පර්වත මස්තකයේ තිබෙන කටාරම් කොටූ ගල් ලෙන නොව සමන් දෙවියන්ගේ භගවා ලෙන ගුප්ත
ස්ථානයක සැඟවී තිබෙන බව ඔහුගේ මතයයි. මහාචාර්ය රාජ් සෝම දේව මහතා ටැම් කැටිය අසල
ගල්ලෙනක තිබී දේව නාමය තිබෙන සෙල්
ලිපිදෙකක් සොයා ගත්තේය. එහි සඳහන් වන්නේ අශදේව ගේ පුතා වන ශීතදේව විසින් භික්ෂු
සංඝයා උදෙසා පූජා කරන ලද පටිබණ කුටියක් පිළිබඳවයි.
බුදුන් වහන්සේ පළමුවරට ලංකාවට වැඩි ගමනේදී සමනොල සිරසට පිවිස
එහි සිරිපා පත්ම පිහිටුවා පසුව සමන් දෙවියන් ගේ දේවස්ථානයේ දිවා විහරණය කළ බවට
තිබෙන සඳහන අනුව මහින්දාගමනයට ප්‍රථම බුදුදහම පැතිරෙන්නට අවශ්‍ය පසුබිම සකස්ව තිබූ
බව පෙනේ. සපරගමුවේ විසූ දේව නාමය දරන ප්‍රභූ වරුන් බුදු දහම තේරුම් ගෙන කටයුතු කළ
බවට තිබෙන හොඳම සාක්ෂිය මේ ගල් ලෙන් සමූහයයි. ඒ අවස්ථාවේ දී යක්ෂ ගොත්‍රිකයන් කීප
පළක්ම බුදුදහමට ආකර්ෂණය වූ බවට තිබෙන සාක්ෂිය නම් කිරිමකුලු ගොල්ල සෙල් ලිපියයි.
එච්.ජේ. විජේදාස මහතා කූරගල අතීතය ගැන
කියන්නේ කුමක්දැයි මීළඟට බලමු. ක්‍රි .පූ. දහදාහේ සිට ආර්යයෝ තුන් වරක් දඹදිවට ආහ.
ඉන් පළමුවැනි හා දෙවැනි වාරවල ආ අය අක්‍රමණිකයන් වශයෙන් තනිව ආ නිසා ස්වදේශික
කාන්තාවන් සරණපාවා ගෙන අසුරයෝ වූහ. තුන්වැනි වර එළු බැටළු සතුන් දක්කාගෙන පවුල්
පිටන් ආ නිසා අමිශ්‍ර ආර්යයෝ හෙවත් ශුද්ධ ආර්යයෝ
හෙවත් දෙවියෝ වූහ. අශෝකයන්ගේ රූප නාථ මස්කි සහ බ්‍රහ්මගිරි යන ශිලා ලිපිවල දඹදිව
අමිශ්‍රව සිටි දෙවියෝ මාගේ කාලය කුළ මිශ්‍ර වූහ යි කී තැන හා දේවානංපිය යන තැන ද බුදු රජා ණන් වහන්සේ
දක්නට රාත්‍රියේ දෙවියන් ආ බවද කියන තැනද දෙවියන් කීවේ මේ ශුද්ධ ආර්යයන්ටය. ලංකාවට
වූයේත් මේ ටිකමය. බුද්ධ පූර්ව හත්දහස් පන්සියය පමණ විෂ්ණු ආර්යයෝ දකුණ බලා ගොඩ
බිමින් විත් ලෝකය අවසන් වූ විට දෙවුන්දරට ගොඩ බැස අයිරාට මකුට මරා රාජ්‍යය ගත්තෝය.
ඊට දෙදහස් පන්සියකට පසු චන්ද්‍ර වංශික ස්ක්න්ධ ආර්යයයෝ ඒ පාර දිගේ විත් දෙවුන්දර
සිටි තාරක මරා රාජ්‍ය ගත්තෝය. කතරගම දේවාලය ඇති විය. මේ අක්‍රමණයේ දී උතුරට පැනගත්
විශ්ණු ආර්යයෝ කූරගල පදිංචි විය. මේ දිවා ගුහාවේ පටන් ගැන්මයි. මේ පරපුරේ අගස්ති
පුලස්ති රාවණාදී මහ බල සම්පන්න විද්‍යාඥයන් සිටියෙන් ඊට සප්ත සෘෂි පරම්පරාව යයි කියති.
හිමාලයේ ලෝක මහා වෛද්‍ය සම්මේලනයට ලංකාව වෙනුවෙන් සාභාගි වූ පුලස්ති සෘෂීවරයාගේ
රූපය වෙද පොතක් සමග ඔහුගේ නගරයේ ඇත්තේය. ඊට දෙදහස් පන්සියයකට පසු සීතා කැඳවා ගෙන
යෑමට රාම ලක්ෂමණ සොහොයුරෝ කුමර කුමරියන් පිරිවරාගෙන පැමිණියහ. කූරගල ගුහාව අසලදී
ක්‍රි.පූ. 2386 දී ලෝකයේ මේ තාක් ඇති වූ අති භයානක යුද්ධය ඇති විය. ලක්ෂමණ කුමාරයා
රාවණා මරා රාම සීතා යුවළ ගෙදර යවා කූරගල පදිංචි විය. ඔවුහු අමිශ්‍ර ශුද්ධ ආර්යයෝ
හෙවත් දෙවියෝ විය. බොල්තුඹේ සහ සපරගමුවේ ලක්ෂමණ දේවාල ඇති විය.
රාවණා යුගය සහ සමන් දෙවියන් පිළිබඳව
එච්.ජේ. විජේදාස මහතා දරන අදහස අනුව කූරගල බුදුගල යනු ඉතිහාසයේ යුග කීපයක් නියෝජනය
කරන ස්ථානයකි.එහෙත් කැටකිරිලි සංදේශ කතුවරයා
පවසන්නේ දිවා ගුහාව යනු සමනල පාබිමේ තිබෙන බවයි. එහි තිබෙන පැදිවල ඒ බැව්
සඳහන්ය.
අඟවා
සුමන සුරිඳුට වැඩිය මුනි සඳ-
දිගවා දහස් මෙහොතක් විසූ තද
සඟවා
සියලු ලෙව් සතකරන බුදු පුද -බගවා ලෙන මෙ තතු දැක වඩිනේ සබඳ
මේ
සංදේශ කාව්‍ය අනුව පරදෙහි මල තැන්න බගවා ලෙන
සීත ගඟුල යනුවෙන් මාර්ග විස්තරය දක්වා ඇත. නමුත් සමන්ත කූට වණ්ණනාවේ එය සඳහන් කර
ඇති ආකාරය මදක් විමර්ශනය කළ යුතු යයි සිතමි. එහි ඇති. 784 ගාථාවේ තහංතහංකංසු දිවා
විහාරං යන්නෙන් පේළියක් ඇත. තන්හි තන්හි දිවා විහාරණය කලාය යන්න එහි අදහස බව පූජ්‍ය
වෑගම පියරතන හිමිසඳුන්ගේ අදහසයි. එය තවත් සනාථ කරන ලෙසට 516 ගාථාව ලියැවී ඇත. දිවා
විහරණයෙන් පසු රෝහණ දේශයට වැඩම කල බව එහි දැක්වෙයි. කූරගලද එකල රෝහණ දේශයට අයත්ය.
සමන්ත කූට වණණනාවේ යක්ෂයන් ගැන සඳහන් වන පැදි දෙකකි. මිහින්තලය ලක්ගල හා ලොක්ගල කරඹගල ( ගිරිභණ්ඩක ) යක්දෙස්සා
ගල දිඹුලාගල රිටිගල මෙන්ම කූරගල ද(තණ්ඩුල්‍යෙය) ද මෙකී යක්ෂයන්ගේ වාසභූමි ලෙසට
දැක් වේ. එම තැන් වෙසෙසින්ම ගිරි යනුවෙන් දැක්වීමද වෙසෙසියාවකි. කූරගල අවට ඇත්තේ
සඳගිරියයි. තණ්ඩුල්‍යෙය යනු වී සුලභ පර්වතය යන අදහස තිබෙන බව පණ්ඩිත කිරි ඇල්ලේ ඥානවිමල
නා හිමියන් පවසා ඇත. කාලයක් තිස්සේ අළුත් සහල මංගල්ලය කරවූ තැනක් වශයෙන් කූරගල අදත්
ප්‍රකටය. එම නිසා සමන්තකූට වණණනාවේ සඳහන් ලෙසට බුදුන් වහන්සේ රෝහණය බලා යන ගමනේදී
දිවා විහරණයට මෙහි මදක් නැවතී සිටි යායැයිද සිතන්නට පිළිවන.බුදුගල තිබෙන අලේඛ්‍ය
චිත්‍රය මගින් එය තවත් සනාථ වේ. එහි ගුවන් යානයක් බඳු චායාරූපයක් ද තිබේ.බුදුන්
වහන්සේ අහසින් වැඩම කිරීම එහි දැක්වෙන්නේ යයිද මතයකි.ඒ අතර ලංකාවතර සූත්‍රය දේශනා
කළ ස්ථානය ලංකා පබ්බතය යනුවෙන් දක්වා සිටීමක් ද ඇත. මලය පර්වතයේ තිනිකොණ කඳු මුදුනක
පිහිටි එම රාවණා ගේ නගරයට වැඩම කොට එම සූත්‍රය දේශනා කළ බව එහි දක්වා තිබේ. මේ
ලංකා පබ්බතය යනු කූරගලයි.එහෙත් රවණා ගේ රාජධානි කාලය බුද්ධ උප්පත්තියට බොහෝ කලිනි.
එසේ නම් බුද්ධ දේශනාවට එතුමා සවන් දුන්නේ කෙසේද . සැබවින්ම රාවණා රජු දේවත්වයට
පත්ව ඒ අවස්ථාවට දෙවියෙකු වශයෙන් සම්බන්ධ වන්නට ඇතැයි යන අදහස මතු කළ හැකිය. සමන්
දෙවියන්ට සමන් බොක්සැල් යන නාමය භාවිතා වන්නේ එතුමා ගේ නිවාසස්ථානය කූරගල බුදුගල
වූ බැවිනි.මේ පෙදෙස බුදුන් වහන්සේට පූජා
කිරීම නිසා භුක්තශෛලය විය. පසුව එය බුදුගල වශයෙන් සිංහල ජන වහරට එකතු විය. ඒ අනුව නිගමනය
කළ හැක්කේ සුමන් සමන් දෙවියන් ගේ මූලිකත්වයෙන් මෙම පෙදෙසේ බෞද්ධ ප්‍රබෝධය ව්‍යප්තව
තිබූ බවයි.
දැනට කර
ඇති ගවේෂණයන් තුළද පුරා විද්‍යාත්මක කැණීම් මගින්ද මේ යුගයන් පිළිබඳව යම් කිසි
නිගමන කීපයක්ට අපට එළඹිය හැකිය. කූරගල දී හමු වූ මානව ඇට සැකිල්ල මීට වසර අටදහසක ට
පමණ එපිට දිවි ගෙවූ මිනිසෙකුගේය.ඔහුගේ මානව ජාන සම්මිශ්‍රණය වර්තමාන මිනිසාට
සමීපය. යම් කිසි ජනප්‍රවාද ගත අදහසක් ඇතිව මෙම කැණීම කරන ලද්දේ නම් විජේදාස මහතා
සඳහන් කළ යුගය සත්‍යයක් දැයි සෙවීමට අසීරු නොවන්නේය. වත්මන් පුරාවිද්‍යාඥයන් අතර
එවැනි ඉලක්කයන් සහිත කණ්ඩායම් සිටින්නේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. මහාචාර්ය රාජ්
සෝමදේව මහතා එසේ නොවේ. ඔහු ජන ප්‍රවාදයන් ඉව කර බලමින් තමන්ගේ ශාස්ත්‍රීය
අභිමතාර්ථයන් සොයා දීර්ඝ ගමනක් යන්නෙකි. කූරගල බුදුගල දියවින්න ගවේෂණයේ දී සොයා
ගත් සෙල් ලිපි වල විශේෂතා රාශියක් මේ කණ්ඩායම විසින් ගෙන හැරදක්වා ඇත. එකක් නම්
අනුරාධපුරයේ භාවිතා වූ නාමයන්ට වඩා වෙනස් නාමයන් මෙහි යොදා ගෙන තිබීමයි. අනෙක නම්
ගල් ලෙන් වල කටාරම් කෙටවීම සම්බන්ධව දරන මතයයි. සාමාන්‍ය මතය නම් මහින්දාගමනයෙන්
පසුව පැමිණි ශිල්පීන් ගේ අභාෂයෙන් කටාරම් කෙටීම ඇරඹි බවයි. එහෙත් පැරණියන් යකඩ
භාවිතා කර ඇත්තේ බොහෝ ඈත පටන්ය. හල්දුම්මුල්ල ප්‍රදේශයේ සමනල වැවට යටවූ කලාපයේ මෙන්ම කූරගල අවට තන්ජන්තැන්නේද යකඩ උදුන් රැසක්
සම්මුඛ වී තිබේ. වානේ තාක්ෂණයේ ආවේණික ලක්ෂණයන් එහිදී මතුව ඇත. එවිට යකඩ හා බැඳුණු
ගල් ඔප මට්ටම තාක්ෂණයක් මෙහි තිබෙන්නට ඇතිය යන නිගමනයන් මතු වේ.
එතෙරවා කෝරළය යනු හල්දුම්මුල්ලත්
කොස්ගමත් අතර ප්‍රදේශයයයි. එහි තිබෙන ආහාර සංස්කෘතියේ එක් විශේෂයක් වන්නේ කිරවාන
ගල් උයමනයි. ගල් මොලොක් කොට තුනපහ අඩු වැඩිය යොදමින් කරන මේ උයමනෙන් තේරුම් ගත
යුත්තේ ගල් මොළොක් කිරීම පිණිස යම්කිසි තාක්ෂණයක් භාවිතා කළ බවයි. ගල් කටුව මගින්
ගලේ කටාරම් පාදා ගන්නේ වුවද යම් කිසි මොළොක් බවක් තුළ ගල් කටුව භාවිතා කිරීම
ලෙහෙසිය. පහසුය. එම නිසා පැරණි යක්ෂ ගෝත්‍රිකන් විසින් තමන්ටම ආවේණික ආකාරයට
කටාරම් තාක්ෂණය දියුණු කරගන්නට ඇතැයි යන
අනුමානය අප සිත්තුළ මතු වේ. කූරගල පාමුල තිබෙන කටාරම් කෙටූ නමුත් කඩා වැටී ඇති ගල්
ලෙන් සමූහය විසින් අපට කියා දෙන්නේ මෙහි මනුෂ්‍ය ස්පර්ශයේ පැරණි බවයි. රාවණා ඇතුළු
සප්ත සෘෂි පරම්පරාවේ අය බවුන් වැඩූ මේ ගල් ලෙන් වලින් එකක් කුහරේ ගල නොහොත් කූරගල
තිබේ. ඒ තපස් පිළයි. මින් ආරම්භ වන උමගක්
ද ඇත. බුදුන් වහන්සේ ගේ ලංකා ගමනයෙන් පසු ලංකා පබ්බත විහාරය ආරම්භව එහි ආසන්නයේ
ඇති ගල් ලෙන් සමූහය පූජා කළ බව පිළිගන්නට සිදුව තිබේ.
වත්මන් ලෝකයේ අප දකින භෞතික සම්පත් ආශ්‍රයෙන්
ස්පර්ශ වන්නා වූ හැඟීමට වඩා සහමුලින් වෙනස් වූ ආලෝකයක් රාවණා යුගයේ දී අත්දකින්නට ඇතැයි අපගේ
විශ්වාසයයි. වර්තමානයේ මෙන්ම ඒ යුගයද ජාත්‍යන්තර වශයෙන් එකිනෙක ලන්ව පිහිටි බිහිසුණු
යුද්ධ හා ගැටීම් වලට ලක් වූ කාලයකි. බලවත් දේශයන් විසින් මුදහරින යම් සංස්කෘතක මහා
සම්ප්‍රදායන් කුඩා රටවල් මගින් පිළිගන්නටද පිළිපදින්නට වන න්‍යායය එහිදීද ක්‍රියාත්මකව
ඇතැයි සිතන්නට ඉඩ තිබේ.මහාචාර්ය සෝම දේව මහතා විසින් නිරීක්ෂණය කරනු ලැබූ
හල්දුම්මුල්ලේ මිනිස් රූපයද එවැන්නකි. එකල සමස්ත ලේකය තුළම මෙවැනි රූප ගොඩනැන්වීමේ
කලාවක් ඇතිව තිබුණි. ෙපාලිෙන්සියානු දූපත්( ester island ) රටවල මේ රූප අදත් දක්නට ඇත. එය විසින් දක්වන මහා සම්ප්‍රදායික ලක්ෂණ
අප මවිතයට පත් කරවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ යුගය රාවණා යුගයට අයත් යයි සිතීමට
ඇති ඉඩ කඩ බොහෝය. ලංකාවේ මලය කඳුකරයෙන් ඇරඹි ගිරි රාජධානිය තුළ රාවණා වංශිකයන් විසින්
ගොඩනන්වා තිබූ මහා සභ්‍යත්වය මගින් පසු කාලයේ දී එය ගිරි වංශය දක්වා විකාශනය වී ප්‍රබල
වන්නට ඇත. කූරගලට එදා දක්වා තිබූ සඳගිරි
නාමය මගින් මෙය සනාථ වේ. බෙල්ලන්ගලට පහළින්
දර්ශනය වන කූරගල ශිඛරය සඳක් මෙන් වෙයි. මේ
සඳ ගිරියේ විසූ යක්ෂ ගෝත්‍රික සමාජය දේව ගොත්‍රිකයන් විසින් යටපත් කර ගොඩ නැන්වූ
රාජධානිය ද හඳගිරිය වන්නට තිබෙන ඉඩකඩ බොහෝය. අනුරාධපුර යුගයේ දී බෝධි රෝපණ උළෙලට
පැමිණි ක්ෂත්‍රියන් වන්නේ සඳගිරි වාසීන්ය. එකල එය හඳුන්වා දී තිබෙන්නේ චන්දන ග්‍රාම
යනුවෙනි. කෝට්ටේ රාජධානිය තුළදී මේ චන්දන ග්‍රාමය තන්ජම විය. ඒ අනුව සලකා බලන
කල්හි රාවණා යුගයේ පටන් විකාශනයව පැවතී සමන් දෙවියන් ගේ අඩවියක් බවට පත්ව බුද්ධ
පාද ස්පර්ශයෙන් පූජනීයට පත්ව තිබෙන සපරගමුවේ මහා සභ්‍යත්වය අනුරාධපුරයට දෙවනි වන්නේ
නොවේ.