පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, August 15, 2016

හනුමා පාළමේ නූතන දිගහැරුම

                                                   


                 ලංකාවේ බොහෝ විද්වතුන් රාවන පුරාවෘත්තය බැහැර කරන නමුදු ඉන්දියාවේ ධනුස්කොඩියත් තලෙයි මන්නාරමත් අතර බොහෝ තුනී වට ගල් අතුරා ඊට  උඩින් පහුරු යොදා සාදා තිබූ එල්ලෙන පාළම නොහොත් සංගිලි පාළම ගැන කිසිවක් නොකියති. රාම රාවන යුද්ධයෙන් පසුව විභිෂණට ලංකාවේ පාලනය භාර දී රාම ගේ අණසක යටතේ පැවතිය යුතු බවට සම්මතයක් ඇති කර ගෙන තිබුණි. විභිෂණ ගේ ඉල්ලීම පරිදි යාදව්‍ය චන්ද්‍ර වංශ අට්ටි කුලකේතු රජුට යාලප්පති නමින් තනතුරක් ලබා දී ධනුස්කාඩියේ බ්‍රාහ්මණ පරම්පරා 512 ක් පදිංචි කරන ලදී.එම නිසා කාලාන්තරයක් තිස්සේ මේ රාම සේතුව නොහොත් පාළම බදු ලබා ගන්නා තිප්පලක් වශයෙන් ප්‍රකටව තිබුණි. සේතුව පාලනය කිරීමට රාම යටතේ පත් කළ පාලකයන් මේ බදු පාලනය කළහ. සේතු පාලක වශයෙන් තනතුරක්ද ඇති කර තිබූ බව ඉතිහාසයෙන් පෙනේ. පසුකලයේදී සේතු කාසි නිකුත් කරන්නට යෙදුණේ ධනුස්කොඩියත් තලෙයි මන්නාරමත් අතර තිබූ වෙළෙඳාම අර්ථවත් කරලීම පිණිසය.නවවන සියවසෙන් පසු චෝල පලනයේ බලපෑමක් විදියට මේ සේතුව පාලනය කිරීම දෙමළ වානිජයන් විසින් අත්පත් කරගන්නට යෙදුණි.සංගිලි පාළම පාලනය කිරීම නිසා අවසාන ආර්ය චක්‍රවර්තී පාලකයන්ද සංගිලි නොහොත් සංකිලි නාමය භාවිතා කරන්නට යෙදුණි. එයින් අප තේරුම් ගත යුතුව තිබෙන්නේ ඉන්දියාවත් ලංකාවත් යා කරමින් අතීතයේ ඇති කරන්නට යෙදුණු සම්බන්ධය මත ඇති වූ යටත් විජිත දේශපාලනයයි.
                1815 න් පසු ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමෙන් පසුව වතු වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය අරභයා ඉන්දියාවෙන් කම්කරුවන් මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවය මතු විය. 1841 අංක 05 දරණ පණත සහ 1847 අංක 03 දරණ ඉන්දියානු කුලීකරුවන් සම්බන්ධ පණත මගින් කම්කරුවන් මෙරට සේවයට යොදවා ගැනීමට නීති පණවන ලදී.ඉන්දියානු භූමියේ සිටි අන්ත දුගී මිනිසුන් වහලුන් වශයෙන් බොට්ටුවල නන්වා ගෙන ලංකාවේ උතුරට ගොඩබා පසුව අලි ගහන කැලෑ ඔස්සේ දුෂ්කර ගමන් යටතේ උඩරට වතුකරයට ගෙන්වාගෙන තිබේ. පසුව 1867 දී දුම්රිය මාර්ග ඉඳිකිරීම ආරම්භයෙන් පසුව 1914 වර්ෂයේ දී  තලෙයි මන්නාරම දක්වා දුම්රිය මාර්ගයක්ද ධනුස්කොඩිය දක්වා පාලම් පාරුවකින් ගමන් කිරීමෙන් ඉන්දියාව සහ ලංකාව සම්බන්ධ කරලීමත් සිදු වූ බව පෙනේ. මේ නිසා ඉන්දියානු කම්කරුවන් වශාල වශයෙන් ලංකාවේ වතු වැවිලි ක්ෂේත්‍රයට එක් විය. එම තත්ත්වය ලංකාවේ මධ්‍ය කඳුකරයේ ජන සංයුතිය වෙනස් කිරීමට සමත් වූ බව අප දනිමු. වර්තමානය වන විට වෙනම මලය රටක් ඉල්ලීම දක්වා මේ පදිංචි කිරීම් වර්ධනය වී ඇත. පෙර දඹදිව වන්දනාවේ යන පිරිස්ද තලෙයිමන්නාරයෙමන් ඉන්දියාවට ගිය බව කවුරුත් දන්නා කාරණකි. කොටි ත්‍රස්තවාදය  ආරම්භ වූ පසු  දුම්රිය මාර්ගය විනාශ කරන්නට යෙදුණි. එම නිසා ලංකාවත් ඉන්දියාවත් අතර තිබූ ගමනාගමනය ඇණ හිටින.
       දැන් නැවතත් මේ සම්බන්ධය අළුත් කිරීමේ ප්‍රවේශයක් ලෙසට ඉන්දියාවත් ලංකාවත් යා කරනු පිණිස පාළමක් සෑදීමේ යෝජනාවක් කරළියට පැමිණි තිබේ. මෙය අද ඊයේ යෝජනාවක් නොවේ. එහි මුල් අදියර 1949 දක්වා දිව යයි. ඉන්දියානු කොන්ග්‍රසයේ සභාපති වශයෙන් සිටි පට්ටාබි සීතාරාමයියා බොම්බායේදී නිකුත් කල ප්‍රකාශයක සටහන්ව ඇත්තේ ඉන්දියානු දේශපාලන ශරීරය තුළ ලංකාව තවත් ශරීරාංගයක් බවට ( Ceylon may become on organic part of the body politic )පත් විය යුතු බවයි.එය ඉතා ඉක්මනින් හෝ පසුව විය සිදු විය යුතු බවද ඔහු දක්වා තිබුණි. මේ කරුණු එවක ලංකාවේ පුවත් පත් වල පළ වීමෙන් පසුව එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා එම ප්‍රකාශයට විරුද්ධව නිවේදනයක් නිකුත් කරන්නට යෙදී ඇත.
            මෙහි නූතන දිගහැරුම නම් ආසියානු අධිවේග මාර්ග ජාලයයි. ලංකාව ආර්ථික වශයෙන් දියුණු කරලීම පිණිස ආසියානු සංවර්ධන බැංකුව විසින් 1997 වර්ෂයේදී ව්‍යාපෘති යෝජනාවක් වශයෙන් ආසියානු මාර්ග ජාල සැලසුම ඉදිරිපත් කරන ලදී. පසුව 2004 වසරේදී එවකට සිටි විදේශ ඇමතිවරයා ආසියානු මාර්ග ජලයට ලංකාව සම්බන්ධ කරලීමේ ජාත්‍යන්තර සැලසුම් අනුව ජගත් ගිවිසුමකට අත්සන් තැබීය. ආසියානු අධිවේග මාර්ග ජලය පිළිබඳ කතාව 1959 වර්ෂය දක්වා පැරණිය. එම කාලයේදී රටවල් 15 ක් සමග එකඟතාවයට පැමිණ කි.මී. 65000 ක් සම්පූර්ණ කරන්නට දරණ උත්සාහයන් පිළිබඳ වාර්තා වෙයි. ඉන්පසුව 1960 -1970 දශක වලදී ආසියාවේ ප්‍රවාහන යටිතල පහුසකම් සැපයීමේ ව්‍යාපෘතිය (ALTID ) ලෙසට එය ඉදිරියට ගෙන ගොස් ඇත. පසුව එක්සත් ජාතීන් ගේ ආර්ථික සාමාජීය කොමිසම මගින් 1992 දී එහි 48 වන සැසියේදී සම්මත කරගත් පරිදි ආසියානු අධිවේග මාර්ග ජාලය පිළිබඳ කතිකාව පුළුල් කරන ලදී. ඒ මගින් යුරෝපය සහ ආසියාව ඉතා ලන්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ආසියාතික දුම්රිය මාර්ග පද්ධතියක් පිළිබඳවද මෙහිදී ඉදිරිපත් කරන ලද යෝජනාව ඔවුන් ගේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇත. මෙම (ESCAP)  ව්‍යාපෘතිය 2003 නොවැම්බර් 18 දින බැංකොක් නගරයේ පැවති සමුළුවේදී රටවල් 32 ක අනුමැතියෙන් සම්මත විය. ඒ අනුව 2004 අප්‍රියෙල් මස වන විට එම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට එම රටවල් වල නියෝජිතයන්ට සිදු විය.එහි අවසාන අරමුණ ආසියාතික රටවල් රාශියක මහ නගර සම්බන්ධ කර කි.මී. 141000 ක මාර්ග ජාලයක් සම්පූර්ණ කිරීමයි. ඒ අනුව ලංකාවේ එවකට සිටි විදේශ අමාත්‍යවර ලක්ෂමන් කදිරගාමර් මහතා  විසින් එම ලියවිල්ලට අත්සන් කිරීම සිදු කර තිබේ. එම අවස්ථාවෙන් පසුව මාධ්‍යට නිවේදනයක් නිකුත්කළ එතුමා කියා සිටියේ ආසියානු නගර සම්බන්ධ කිරීමට වඩා ගැමියා ගෝලීයකරණට ලක් කිරීම මෙහි අදහස බවයි.
          දැනට කඩුවෙල මාතර අධිවේගය තනා නිමකර තිබෙන අතර ඉදිරියේදී මුදල් ලැබෙන පිළිවෙලට අනෙකුත් මාර්ග පද්ධති තනා නිම කෙරෙනු ඇත.  එහෙත් ලක්ෂමන් කදිරගාමර් මහතා අත්සන් කරන ලද ජාත්‍යන්තර ගිවිසුමට අනුව ධනුස්කොඩියත් ලංකාවත් අතර පාළමක් සෑදීමට සැලසුම් කර නොමැත. එහි සඳහන් කර ඇත්තේ පාළම් පාරුවක් පමණකි. නමුත් 2009 වසරේ මහින්ද රාජපක්ෂ රජය යටතේ පැවති ඉංජිනේරු ඉදිකිරීම් නිවාස අමාත්‍යංශය යටතේ තිබෙන භෞතික සැලසුම් අංශය විසින් සකස් කර 2011 වසරේ නිකුත් කරන ලද ජාතික භෞතික සැලැස්මේ  ඉන්දියාවත් ලංකාවත් අතර මාර්ග ජාලය සම්බන්ධ කිරීමත් සවර්ධනය කිරීමෙත් වැදගත් කම දක්වා තිබේ. එයින් ඇති වන ආර්ථික ප්‍රතිලාභයන් සහ භාණ්ඩ ප්‍රවාහනයට අත්වන වාසි දක්වා තිබේ.එහෙත් එහිද පාළමක් ගැන සාකච්ඡාවී නොමැත.
        බණ්ඩාරනායක මහතා 1949 දී සඳහන් කර ඇති පරිදි ලංකාවට බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබෙන විට එයට ඊර්ෂ්‍යා කිරීම බොහෝ අයගේ පුරුද්දක් බවට පත්ව තිබේ. එයින් නොනැවතී දීර්ඝ කාලීනව උගුල් ඇටවීමෙන් ද ගිවිසුම් ගැසීමෙන් ද මේ ඓතිහාසික රාජ්‍යය බෙලහීන කිරීමට තැත් කර තිබේ.අද අප නැවතත් අත් දකින්නේ මේ දේශපාලන යථාර්තයයි. දිවයිනක් වශයෙන් ලංකාව ශත වර්ෂ ගණනාවක් ස්වාධීනව පැවතීමට බල පෑ භූගෝලීය සංදර්භය වෙනස් කිරීම කුමන ආර්ථික වර්ධනයකට සාපේක්ෂව හෝ හිතකර නොවන බව අප අතීතයෙන් ඉගෙන ගත් පාඩමයි. එම නිසා ඉන්දියානු සැලසුම් පරාජය කිරීම මෙන්ම ස්වාධීනත්වය මුල් තැනේ තබාගෙන ලංකාව ගැන තීරණය කිරීමේ බමුණු කුලයක් නිර්මාණය කරලීම අප ඉදිරියේ තිබෙන වර්තමාන වගකීම බව අවසාන වශයෙන් සඳහන් කරමි.


Wednesday, August 10, 2016

රජයේ ප්‍රවිචාරණය පුස්සක් අතුරුදහන් වූවන් සඳහා පණත හොර පාරෙන්

                 

         2016 මැයි මස 27 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පණතට අදාල ගැසට් පත්‍රයේ  සඳහන් පරිදි සාක්ෂි ආඥාපණතේ සීමාවන් ඉක්මවා යන බලතල ඊට හිමි බව පැහැදිලිය. ඊට අමතරව වරෙන්තුවක් නොමැතිව පොලිස් ස්ථානයකට හෝ හමුදා කඳවුරකට ඇතුළු වීමට බලතල ද හිමි වන්නේය. මීනීවලවල් හෑරීමටද අවශ්‍ය බලතල හිමි බව සටහන්ව ඇත. මේ ගැසට් පත්‍රය පළ කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ ආඥාව පරිදිය.මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) 13 සහ 14 යන වගන්ති උල්ලංඝණය කරන බව නීති විශාරදයන් පෙන්වා දී ඇත.
                2015 වසරේ විදේශ ඇමති මංගල සමරවීර මහතා ජිනීවා ගියේ මහින්ද රාජපක්ෂ රජය සහ හමුදාව කල නොපණත්කම් ගැන මානව හිමිකම් කොමිසම ඉදිරියේ සිය කණගාටුව පළකරන්නට බව  පැහැදිලි කර ඇත. යහපාලන රජයත් මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ ප්‍රකාශයට මංගල සමරවීර මහතා එකඟතාවය පළ කර ඇත.ඒ අනුව  ලක්රජය වෙනුවෙන් පොරොන්දු කීපයක් දී තිබෙන බවද පැහැදිලිය. මේ එකඟතාවය හෝ පොරොන්දුව අනුව  2015 දෙසම්බර් 18 දින සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාලයක් පිහිටුවනු ලැබ ඇත.එයද අග්‍රාමාතයවරයාගේ ආඥාව පරිදි සිදුව තිබේ. මේ කාර්යාවලියේදී රාජ්‍ය නොවන සංවිධාන වලින් සෘජුවම  සහයෝගය ගැනීමටත් විශේෂ නියෝජනයක් ඔවුන් හට ලබා දීමටත් රජය එකඟ වී තිබේ. පාක්‍ය සෝති සරවන්මුත්තු මහතා මෙම බලකායේ ලේකම් බවට පත්වන්නේ එලෙසයි. ඔහුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයනම් රාජ්‍ය නොවන් සංවිධානය නියෝජනය කරන පිරිස ට පැවරී තිබෙන කාරිය නම් රට පුරා ගොස් මහජන අදහස් ගැනීමයි. ඉන්පසුව පෙර කී පොරොන්දුව අනුව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය සත්‍ය සෙවීමේ කොමිසම සහන සම්පාදක කාර්යලය මෙන්ම විශේෂ අධිකරණයත් පිහිටුවීම කළ යුතු වේ. මෙය ජනධිපති කාර්ය සාධක බලකායට පැවරී  තිබෙන ප්‍රධාන වගකීමයි. දැන් මාස හයකට වඩා ඉක්ම ගොසින් ඇත. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ‍ වල මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය යස රඟේට කෙරෙන බවත් ව්‍යජ සාක්ෂි එකතු කරන බවත් මීට පෙර මා දිවයින පුවත් පත මගින් හෙළි කල බව කිව යුතුයි.
             මේ හෙළිකිරිමෙන් කලබලයට පත් වූ ආණ්ඩුව වහාම දිසාපතිවරුන් කැඳවා මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය රට පුරා ම පැවැත්වීමට උපදෙස් දී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දිනවල බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර යන ස්ථාන වල ප්‍රවිචාරණ ක්‍රියාවලිය සිදු කරමින් ඇත. එහිදී එහි සභාපති වරයා වශයෙන් කටයුතු කරන නීතීඥ සුර්ශන ගුණවර්ධන මහතා මෙම මස තෙවනි දින කළුතර දස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි ඇතර ඔහුගේ කණ්ඩායමට දෙමළ මුස්ලිම්  බහුතරයක් අඩංගුව සිටි බව අප නිරීකෂණය කළෙමු. මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ ගුණවර්ධන මහාතා මහජන අදහස් විමසීමෙන් පසු සත්‍ය හා යුක්තිය ඉටු කිරීමට රජය බැඳී ඇති බවයි.මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය වැදගත් වන්නේ සිවිල් සංවිධාන වල අදහස් නියෝජනයෙන් එය සකස් කිරීම සිදු කරන බැවිනි යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල බව මෙහිදී සඳහන් කළ යුතුයි.මේ අවසථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි යන් ඇතුළු ප්‍රදේශ වාසී භික්ෂූන් වහන්සේලා කීපනමක් සාභාගි විය.
         සුදර්ශන ගුණවර්ධන මහාතා කෙසේ සඳහන් කළද මේ වන විටත් මෙම ක්‍රියාවලියේ රජය එකඟ වී ඇති අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය දැනටමත් පාර්ලිමේන්තුවට පණතක් ලෙසට ඉදිරිපත් කර ඇත.මේ අවස්ථාවේ දී ඒ පිලිබඳ ප්‍රශ්ණ කිරිමක් කරන ලදී. නමුත් කමිටුවේ පිළිතුර වූයේ දැනටමත් සංහිඳියා කටයුතු ප්‍රමාද බැවින් මෙවැනි පියවරක් රජය විසින් ගන්නට ඇතැයි කියාය. එහෙත් 2015 දෙසැම්බර් මාසයේ සිට මේ කමිටු එකක්වත් පොල් ගෑවේ නැත. උතුර සහ නැගනෙහිර පළාත්වල සැරිසරමින් ඔවුහු දෙමළ ජනතාවගෙන් ප්‍රශ්න විචාරීම කළහ.ව්‍යාජ සාක්ෂි එකතු කළහ. නමුත් දකුණේ සිංහල සමාජය මේ ගැන දැනුවත්ව නොසිටියහ.එය මාධ්‍ය මගින් හෙළිදරව් වීම සමගම කලබලයට පත්ව ලහිලිහියේ අනෙකුත් පළාත් වලද මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව අපගේ වැටහීමයි. අගොස්තු 03 දින රැස්වීම පිළිබඳ කළුතර දිස්ත්‍රික් ලේකම් වරයාට වාර්තා කොට තිබුණේ ජූලි මස 27 දිනය. නිවාඩු දින දෙකක් ඉදිරියේ තබා දැනුම් දීමෙන් දිස්ත්‍රික් ලේකම් වරයාට අවශ්‍ය පරිදි ජනතාව දැනුම්වත් කිරීමට අවස්ථාව නොලැබී ඇත. සැබවින්ම කමිටුව බලාපොරොකත්තු වන්නේ ද එයයි. උඩින් පල්ලෙන් අදහස් ටිකක් මෙම පළාත් වලින් ගොනුකර රජය විසින් කලින් සකස් කරන පණත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ දැරීමයි. අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පණත මෙයට ප්‍රබල උදාහරණයකි. මේ සම්බන්ධව නිසි පරිදි මන්ත්‍රී වරන් පවා දැනුම් වත්ව  නොසිටි බව පෙනේ.
           බෙදුම්වාදය හිස් මුදුනේ තබාගෙන දෙපයින් නැගී සිටීමටත් කොන්ද නොනවා සිටීමටත් වෑයම් කිරීම සැබවින්ම විහිලුවකි. තිස්වසරක් පැවති  කොටි ත්‍රස්තවාදය මේ රටේ ජීවත් වූ සිංහල දෙමළ මුස්ලිම් සැමට මහත් වූ පීඩාවක් ගෙනදුන්නකි. එය මැඩලීම මෙන්ම සාමය උදාකරදීමද රජය සතු යුතුකමක්ව පැවතුණි. 2009 ට පෙර රනිල් වික්‍රමසිංහ  රජය යටතේ කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් උත්සන්න විය. එම රජයට සාමය උදා කළ නොහැකි වුණි. එම නිසා මහින්ද රාජ පක්ෂ මහතාට එම වරම ජනතාව විසින් ලබා දුන්නේය. වසර කීපයක් යුද්ධයකින් පසුව කොටි ත්‍රස්තවාදය රටින් අතුගා දැමීමට ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාකල හමුදාවට ශක්තිය ලැබුණි. එම සටන යුක්ති යුක්තය. සාමය පුල පුලා බලාසිටි ජනතාවට එය මගින් සාධාරණයක් ඉටු කළේය. එසේ නම් තව දුරටත් සත්‍ය හෝ යුක්තිය සෙවීම සඳහා කොමිසන් පිහිටුවීම හෝ අධිකරණ පිහිටුවීම  කල යුතු දැයි පැනයක් නගී. සිංහල දෙමල සහ මුස්ලිම් තුන් පාර්ශවයෙන්ම ජනතාව යුද්ධයේදී මරණයට පත් විය. ඇතැම් විට අතුරුදහන් වූයේ දෙමාපියන්ට මළ මිනියවත් දැක ගන්නට නොහැකි වන පරිදිය. අලිමංකඩ අසල නාවික කඳවුරට පහර දුන් කල්හි. එහි සිටි නාවික සොල්දාදුවන් පානයට ජලය නොමැති කමින් මිය ගියහ. මළ සිරුරු එම ස්ථානයේම වළ දැමූහ.මේ සටනේදී ඇතැම් හමුදා භටයන් ආබාධිත  වූහ.ඉතින් අප කළ යුත්තේ තව දුරටත් බෙදුම්වාදය ඇති නොවීමට වග බලා ගැනීම නොවේද.නව යහපාලන රජයේ කුහක ක්‍රියාකාරකම් නිසා දිවිපරදුවට තබා ක්‍රියාකළ හමුදා භටයන්ට පමණක් නොව සාමය අපේක්ෂාවෙන් සිටි සමස්ත ජනතාවම අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. තවදුරටත් ස්වාධීන රටක ජීවත් වීමේ අයිතිය හිමි නොවන්නේ යයි සැවොම කල කිරීමකට පත්ව ඇත.


Saturday, July 30, 2016

රනිල් කේලමාගේ ගජබින්න රටක් අනතුරේ හෙළයි

                                 

                   ලංකා රාජ්‍යයේ දේශපාලනය අද ඉතාමත් බැරෑරුම් තත්ත්වකට පත්ව ඇත. සිංහල දේශපාලකයන් සියල්ල දෙමළ ජනතාවගේ අත පල්ලනේ වැටීමත් ඔවුන්ගේ දෙමළ නිජ භූමිය පිළිගැනීමත් නිසා ඉන්දීය පදයට නැටවෙන රූකඩ බවට පත් වී තිබේ. මාරුවෙන් මාරුවට බලය ලබා ගනිමින් දෙමළ අභිලාෂයන් සංතර්පණය කරදීම ලංකා දේශපාලනයේ පිළිවෙත වට පත්ව ඇත. 1951 වර්ෂයේ දී අපගේ රාජකීය කොඩියට පටි දෙකක් ගසා බෙදුම්වාදය ආරම්භ කළ බව කවුරුත් අමතක කර තිබේ. දිගින් දිගටම සිදු වූ මේ බෙදීම් හමුවේ සිංහල අධිකාරිය අහිමි කිරීමේ කුමන්ත්‍රණය යථාර්තයක් බවට පත් කරමින් ඇත. ඊට එක් හේතුවක් වන්නේ නව යටත් විජිත වාදය විසින් ලංකාව සිය අභිමතාර්ථ සාධනයයෙහි යොදා ගැනීමයි. ඉන්දීය සාගරයේ වැදගත් සථානයක් වන ලංකාව තුළ ඇමරිකන් ගැති පාලනයක් තිබීම ඔවුන්ට වාසි සහගතය.ඉන්දියාව සිය බල ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරගැනීමට ලංකාවේ සවාධීනත්වයට ඉඩ තබන්නේ නැත. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ සියළුම රාජ්‍ය නායකයන් මතවාදීව ඔවුන් ඉදිරියේ දණ නැමීමයි.
        මහින්ද රාජපක්ෂ රජය ජන කැමැත්තෙන් පෙරළා රනිල් වික්‍රමසිංහ බලයට පත් වන්නේ මෛත්‍රී රූකඩය ඉදිරියේ තබමිනි. රනිල් වික්‍රමසිංහ කවදත් බෙදුම්වාදයට පක්ෂය. ඊට හේතුව ඔහුගේ සන්තානයේ ඇති බටහිර ගැති බවයි. තමන්ගේ සවාමීවරුන් වන ඉංග්‍රීසීන්  ඉදිරියේ ඉංග්‍රිසි කාරයෙකු ලෙසට පෙනී සිටිමින් ලංකාව ඔවුන්ගේ වෙළදපළක් බවට පත් කිරීම සඳහාද දෙවනුව තම බල පරාසය ආරක්ෂා කර ගැනීමට ඉන්දීය වුවමනාවන් සඳහා  පෙනී සිටීමද දැක්විය හැකිය.කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් වික්‍රමසිංහ නොර්වේ සාම නියෝජියන් ගේ ඉල්ලීම පිට අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා ප්‍රභකරන් සමග සාම ගිවිසුමක්ද අත්සන් කලේය. නමුත් වැඩි කලක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ රජය බිඳවැටුණෙන් මහින්ද රාජපක්ෂ රජය විසින් කොටි ත්‍රස්තවාදය අවසන් වශයෙන්ම පරාජය කරනු ලැබිණි. මේ යුද්ධය ආරම්භ වූ කාලවකවානුවේදී රනිල් වික්‍රමසිංහයන්  එවකට සිටි ඇමරිකන තානාපති රොබට් ඕ  බ්ලෙක් සහ තවත් තානාපතිවරුන් හමුවේ රටට එරෙහි ප්‍රකාශ රාශියක්ම කර ඇත. මේවා රහස් වාර්තා ලෙසට කේබල් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිටත් කර ඇත. රනිල් වික්‍රමසිංහ යුද්ධය ගැන කියූ කේලමක් ඒ ආකාරයෙන්ම විකිලීස් වෙබ් අඩවියේ ඇතුලත් කර තිබේ. මෙම ප්‍රකාශනයෙන් කියවෙන්නේ යුද්ධමය විසඳුමක් ඉදිරිපත් වුවහොත්  40000 ක් පමණ අතිරේක වශයෙන් මිය යා හැකි බවයි. wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) මේ කේලම උපයෝගී කොට ගෙන ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ ගොනු කර ඇති අතර රට බේරා ගත් රණ විරුවන් සිරගත කරමින් ඇත.ඉදිරියේදී විදෙස් විනිසුරුවන් ඉදිරියේ අපගේ රණවිරුවන්ගේ ඉරණම විසඳෙන්නේද රනිල් වික්‍රමසිංහයන්ගේ පාවා දීම හේතුවෙනි.
      මෙම වාර්තාවට අමතරව රනිල් වික්‍රමසිංහ වරින් වර විදේශ තානාපති නිළධාරීන් අභිමුවෙහිදී රටට එරෙහිව කළ ප්‍රකාශ රාශියක් මේ වෙබ් අඩවි වල සටහන්ව තිබේ. ඉන් එකක් නම් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බවයි. මේ ප්‍රකාශන නිකුත් වන්නේ 2007 -2008 වසර ඇතුළතදීය. රටට සිංහල ජනතාවට එරෙහි ක්‍රමන්ත්‍රණය දියත් කිරීමට කෙතරම් කාලයක සිට ඔහුවලිකෑවේද යන්න මෙයින් තේරුම් ගත හැකිය.වර්තමානය වන විට ඔහු බලයට පත් වී තමන් විසින් ඇමරිකානු බලධාරීන් ඉදිරියේ පොරෙන්දු වූ සියළුම දේ ක්‍රියාත්මක කරලීම ආරම්භ කර ඇත. අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සහන සම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ විදෙස් විනිසුරුවන් යටතේ අධිකරණයක් පිහිටුවීම යන කාරණා වලට 2015 වසරේදී රනිල් ආණ්ඩුව පොරොන්දුව ඇති බව සංහිඳියා කාර්යසාධක බලකාය විසින් නිකුත් කර ඇති පත්‍රිකා වල සඳහන් වෙයි.පාක්‍යසෝති සරවන මුත්තු ගේ ප්‍රධානත්වයෙන් ඇති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් අච්චු ගස්සන සාම විමර්ශී නම් සඟරාවේ ද මේ බව පැහැදිලිව සටහන් වේ.මේ පොරොන්දු හොඳින් හෝ නරකින් ඉටු කිරීම රනිල් වික්‍රමසිංහයන්ගේ සාහසික බලාපොරොත්තුවයි.ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති පාද යාත්‍රාව නිසා රජය පෙරලේයැයි බියෙන් පසුවන නමුත් රට බෙදීමේ ක්‍රියාවලිය වන සංහිඳියා යාන්ත්‍රණය වේගවත්ව ඉදරියට යයි. සැමටම වඩා බියකරු ක්‍රියාන්විතය වන්නේ ආරක්ෂක අංශ අඩපණ කිරීමයි. ඒ සඳහා නව පණතක් ගෙන ඒමට රජය බලාපොරොත්තු වේ.ඉදිරියේදී ලංකා රාජ්‍ය හමුදාවේ කිසිම විරෝධයක් නොමැතිව රට ගිල ගැනීම ට අවශ්‍ය පසුබිම ඉන් තහවුරු වෙයි. මේ ද්‍රෝහී නායකයා නූතන දොන් ජුවන් ලෙසට නැවතත් ඉතිහාසයට එක්වනවා නොඅනුමානය.


Wednesday, July 13, 2016

සංහිඳියා හොරු ගොතන පට්ටපල් බොරු ජිනීවාවලට මරු

                         

               රටේ දේශපාලනය බොහෝ සෙයින් ව්‍යාකූලය. පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වැන්න. ජනතාවට හොරෙන් ජනතා ද්‍රෝහී බොහෝ දේ සම්මත කර ගැනීමට කැස කවමින් ඇත. නව ව්‍යවස්ථාව පිළිබඳව අවසාන විග්‍රහය අගමැතිවරයා සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය  සතුය. අනාගමික රාජ්‍යයක් කෙසේ වෙතත් කෑලි කීපයකට කඩා දමන රටක් සඳහා හොර ලියවිලි තැන තැන සාදමින් ඇත. ඒ අතර  යුද්ධයට සාභාගි වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හට දඬුවම් දීම පිණිස ස්ථාපිත කරන දෙමුහුම් අධිකරණයට පිඹුරුපත් සැකසෙමින් පවතී. එලෙස නොකරන බවට රටේ නායකයා විසින් පැවසුවද එය කරන ආකාරය දැන ගැනීමට නම් උතුරු පලාතේ සිදු වන්නේ කුමක්දැයි සොයා බැලිය යුතුය.
          අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව සංහිඳියා ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලබන්නේ 2015 දෙසැම්බර් 18 දිනදීය.පාකියසෝති සරවනමුත්තු මහතා එහි ලේකම් වරයා වෙයි. මනෝරි මුත්තෙට්ටුවේගම මහත්මිය එහි සභාපතිනියයි. ගාමිණි වියන්ගොඩ විසාකා ධර්මදාස ශාන්තා අභිමානසිංහම් මහාචාර්ය චිත්‍රලේඛා මානගුරු කේ.ඩබ්.ජනරංජන දයා සෝමසුන්දරම් අචාර්ය ෆර්සානා හනීෆා මහාචාර්ය ශමිලා සරමරසිංහ සහ මීරාක් රහීම් එහි සෙසු සාමාජිකයන් වශයෙන් සිටිති. එහි කාර්ය භාරය වන්නේ සත්‍ය හා හුක්තිය ස්තාපනය කිරීම මානව හිමිකම් උල්ලංඝණය වගවීම් සහතික කිරීම යනාදියයි.එහි යට අරුත නම් දෙමල ජනතාව යුද්ධයේදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳ සත්‍ය සෙවීමයි.විශේෂයෙන්ම යුද්ධය ආශ්‍රිතව මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ සත්‍යය සෙවීම විශේෂ වෙයි. මීට ප්‍රථම පරණගම කොමිසම මගින්ද එවැනි වාර්තාවක් සකස් කලද එය පිළිගන්නට දෙමල නාකයන් කැමති වූයේ නැත. මෙම ලේකම් කාර්යාලය මේ වන විට කොළඹ රැස්වීම් වාර කීපයක් පවත්වා ඇත. ඉන් පළමුවැන්න වන්නේ ආරක්ෂක ලේකම් වරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරීම උදෙසා පැවැත්වූ සම්මන්ත්‍රණයයි. හමුදා නිළධාරීන්ගෙන්ද සාක්ෂි විමසීමට නියමිත බව මෙහි සඳහන්ව තිබීම මීට හේතුවයි. මීට අමරතව ගිහි ආගමික නායකයන් දැනුවත් කිරිමටද 2016 ජූලි නව වනදා රැස්වීමක් පවත්වා තිබේ. ජමාත් ඉස්ලාම් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ඉවැන්ජලික සභාව ජාතික ෂූරා සභාව සමස්ත ලංකා මුස්ලිම් තරුණ සංගමය සමස්ත ලංකා හින්දු සම්මේලනය  තරුණ බෞද්ධ සංගමය ජමාත්අත්සලාමාහ් සහ ක්‍රිස්තියානි ආයතනය පමණක් මෙයට සාභාගි කරවාගෙන ඇත.
        සංහිඳියා ලේකම් කාර්යාලය සිය ප්‍රවිචාරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම උදෙසා ප්‍රශ්ණ මාලාවක් ජනතාව වෙත ඉදිරිපත් කර තිබේ. එහි අන්තර්ජාල පෝර්මයක්ද තිබෙන අතර එහි 7ඒ වගන්තිය මගින් කියැවෙන්නේ සත්‍ය සෙවීමේ කෙමිසම සම්බන්ධ කටයුතු කුමන කාලසීමාවක් තුළ අවසාන කළ යුතුද යන්නයි. එසේම එහිම 7 බී වගන්තිය තුලින් අසන ප්‍රෂ්ණය නම් මෙම කමිටුවේ සේවය කළ යුත්තේ කවුරුන්ද යන්නයි.  7 සී මගින් අසන ප්‍රශ්ණය නම් ලැබෙන තොරතුර අනුව කුමක් සිදු කල යුතුද යන්නයි. 8 ඒ ප්‍රශ්ණය ඉතා වැදගත්ය. අධිකරණ යාන්ත්‍රණය ගැන එහිදී විමසයි. කුමන ආකාරයේ උල්ලංඝණය කිරීම් සම්බන්ධව කටයුතු කළ යුතු දැයි එහිදී විමසයි.එසේම එම අධිකරණයට සේවය කල යුත්තේ කවුරුද යන්න ඊළඟ ප්‍රශ්ණයයි. එසේම විශේෂ අධිකරණ යාන්ත්‍රණයක් අවශ්‍ය වන්නේද යන්න එහිදී විමසා තිබේ. 9 ඒ සිට 9 ඩී දක්වා අසන ප්‍රශ්ණ නම්  අතුරුදහන් වූවන් වෙනුවෙන් කාර්යාලයක් පිහිටුවිය යුතුද මෙම ගැටළු සඳහා කුමන ක්‍රියාමාර්ගයක් ගත යුතුද එහි සේවය කළ යුත්තේ කවුරුන්ද ලැබෙන තොරතුරු අනුව කුමක් සිදු කළ යුතුද යන්නයි.11 වන වගන්තිය මගින් ප්‍රකාශ වන්නේ යුද්ධයේ මූලාරම්භයට මූලික වූ හේතු ආමන්ත්‍රණය කිරීමටත් ගැටුම් නැවත ඇති වීම වැලැක්වීමටත් රජය විසින් ගන්නා ක්‍රියාමාර්ග කෙලෙසක වියයුතුද යන්නයි.එසේම විවිධකාරයෙන් ප්‍රචන්ඩත්වය වැනි සිදුවීම්  රජය විසින් පිළිගැනීම සිහි කිරීම සහ සැමරීම සිදු කළ යුත්තේ කෙසේද මෙය සිදු කල යුත්තේ ජාතික වශයෙන්ද ජාත්‍යන්තර වශයෙන්ද යන්න විමසීමයි.
       මෙ ප්‍රවිචාරණ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇත. එම ප්‍රශ්ණ කිරීම ලංකාව පුරාම සිදු කරනබව ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.මුළු දිවයිනටම අදාලව යම් යම් තැන්වල මෙම ප්‍රශ්ණ කිරීම් සිදු වුවද  දැනට යාපනය කිලිනොච්චි මන්නාරම ත්‍රිකුණාමලය වවුනියාව  මඩකලපුව වැනි උතුරු සහ නැගෙනහිර පළාත් වල තොරතුරු ගැනීමට වඩා උනන්දුවක් දක්වන බව පෙනේ. එයට හේතුව සංහිඳියා ලේකම් කාර්යාලය සිය ශ්‍රම බලය  උපරිම වශයෙන් යොදවන්නේ එම දිස්ත්‍රික්යන්ට පමණක් වීමයි.මෙහිදී ග්‍රාම නිළධාරි මට්ටමෙන් මෙම කරුණ සැලකා බැලේ.නමුත් මේ වන තෙක් අවතැන් වූ සිංහල ජනතාව ඔවුන්ගේ දේපළ හානිවීම් අතුරුදහන් වීම මෙන්ම පළවා හැරීම ගැන කිසිවෙක් ප්‍රශ්ණ කර නොමැත.එසේම ආරක්ෂක අංශ මූලිකව දැනුවත්කර ඇති නමුත් පහළ මට්ටමේ නිළධාරීන් මේ සබන්ධයෙන් යෙදවීම උත්තර ලබා ගැනීම හිතාමතාම පැහැර ඇති බව පෙනේ.
             ඉහත සඳහන් ප්‍රශ්ණ මාලාව අනුව උත්තර ලබා ගැනීමද මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලියේ අරමුණ වී ඇත. උදාහරණයක් වශයෙන් අධිකරණ යාන්ත්‍රණය ගැන අසන ප්‍රශ්ණයේදී මෙහි සේවය කල යුත්තේ කවුරුන්ද යනුවෙන් අසන විට එයට විශේෂ විනිසුරුවරුන් සභාගි කරගත යුතු යයි උත්තර ලබා දීමට ජනතාව පොළඹවනු ලබති. ඒ සඳහා මෙම ප්‍රශ්නාවලිය ජනතාව අතරට ගෙන යන නිළධාරීන්ට උපදෙස් සපයා ඇත.එසේම යුද්ධයේදී සිදුවූ අපරාධ සම්බන්ධයෙන් කුමක් කළ යුතු දැයි අසන විට. (සත්‍ය දැන ගැනීමද අපරාධ පිළිබඳ වගවීමද දඬුවම් දීමද හානිපූරණයද ) උත්තර ලබා දිය යුතු වන්නේ දඬුවම් දීම සහ හානි පූරණය යනුවෙනි. සංහිඳියා ලේකම් කාර්යාලයට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන ඇරුණු කොට මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සඳහා දෙමළ ගෝලීය සංසදය විසින් මෙහෙයවන රාජ්‍ය නොවන සංවිධානද ඇමරිකානු ආධාර යටතේ ක්‍රියාත්මක ක්‍රිස්තියානි කණ්ඩායම්ද දෙමල ජාතික සංවිධානයද සාභාගි වී තිබේ. කතෝලික පූජක වරයෙකු වන එලීල් නැමැත්තා මෙහි ප්‍රධානයෙකි. ඔහු ඇතුලත් සංවිධානයට දිනකට ඩොලර් දෙසීයක මුදලක්ද දුරකතන සහ පරිඝණක ඇතුලත් පහසුකම් ලබා දී ඇත. ඔවුහු මෙම ප්‍රශ්ණ මාලාව රැගෛන ගමට යන අතර තමන්ට අවශ්‍ය උත්තර දෙමළ ජනතාවගෙන් ලබාගෙන සටහන් කර ගනී.මෙම ගැටළු සම්බන්ධයෙන් අභ්‍යන්තරයේ පැවති සම්මන්ත්‍රණ කීපයකදී ප්‍රශ්ණ කර ඇති නමුත් මනෝරි මුත්තෙට්ටුවගම මහත්මිය ඊට සාධාරණ පිළිතුරක් ලබා දී නොමැති බව සැලවෙයි. එක් අවස්ථාවක මානව හිමිකම් උල්ලංඝණය වීම පිළිබඳව දේශනයක් කරගෙන ගිය ඇය සූරියකන්දේ මිනීවලේ සිද්දිය නිදර්ශනයක් වශයෙන් පෙන්වා දී ඇත.  දෙමල ජනතාව සමූල ඝාතන ක්‍රියාවලියට මෙය නිදර්ශනයක් බව මෙම කතාව දෙමලබසට පරිවර්තනය කල පුද්ගලයා මෙහිදී පවසා තිබේ. තවත් වතාවකදී සිංහල අයගේ අතුරුදහන් වීම් ඝාතනය ගැන ප්‍රශ්ණ කිරීමේදී ඇය දුන් පිළිතුර වූයේ මානව හිමිකම් කඩකල හමුදාවට දඬුවම් දීම අනිවාර්ය බවත් එලෙසම දැනට ප්‍රභාකරන් ජීවතුන් අතර නොමැති බැවින් ජීවත්ව සිටින කරුණා සහ පිල්ලෙයන් වැනි පෙර කොටි සාමාජකයන්ට ඒ සඳහා දඬුවම් දියයුතු බවය.
          වර්තමාන රජයේ බෙදුම්වාදී නාටකයේ තවත් ජවනීකා කීපයක් පමණි මෙය. පාර්ලිමේන්තුවට පණත් කීපයක් එකවර ගෙනවුත් ජනතාව මංමුලා කිරීම මගින් මේ ප්‍රශ්ණය යටපත් කිරීමට රජයට උපදෙස් ලැබී ඇත. එසේම එක් පැත්තකින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමද අනෙක් පැත්තෙන් සත්‍ය සෙවීම සහ අධිකරණ යාන්ත්‍රණය ගැන කතා කිරීමටද තවත් පැත්තකින් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම පිණිස සිරගත කිරීමද අඛණ්ඩව සිදු වේ.ජනධිපතිවරයා සිය පෞද්ගලික මතයන් විහාරස්ථාන වලදී එළිදක්වන අතර දිවයින පුවත්පත විවේචනය කොට කියා ඇත්තේ මෙවැනි අසත්‍ය දේ ප්‍රකාශ කරමින් ජනතාව මංමුලා නොකරන ලෙසටයි. ප්‍රශ්ණය ඇත්තේ මෙවැනි අවස්ථාවකදී දැනුවත්ව සිටින කිසිම බෞද්ධ ආගමික නායකයෙකු නොසීටීමයි. කෙසේ වෙතත් ඉදිරි ජනමත විචාරණයකට සූදනම් වීම රජයේ අදහසබව පෙනේ. විදෙස් ගත දෙමල ප්‍රජාවට චන්දය භාවිත කිරිමට සැලැස්වීම උතුරු නැගෙනහිර දෙමල ජනතාවගෙන් එකතු කරන සාක්ෂි ජිනීවා වෙත යැවීම මගින් මේ ජනමත විචරණයේ දී ජයග්‍රහණය කිරීම රජයේ බලාපොරොත්තුව වී තිබේ. ලබන සැත්තැම්බරයේදී සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කරන බව විදේශ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ. ඒ වන විට ප්‍රවිචාරණ ක්‍රියාවලිය අවසන් ව වාර්තාව රජයට භාර දීමට  නියමිතය. ඒ අනුව වැඩි පිරිසක් විදෙස් විනිසුරුවන් ගෙන් සමන්විත අධිකරණයක් සහ සත්‍ය සෙවීමේ කොමිසමක් ඇති කිරීමට එකඟ බව ප්‍රකාශ කරනවා ඇත. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සඳහා මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියේද සිදු වූයේ මෙයයි.මීට අමතරව යුද්ධයට අමතරව  රටතුල සිදුවූ ගැටුම් පිලිබඳව සහ මානව හිමිකම් උල්ලංඝණය වීම් ගැනද විමසීමට ජනතාවගෙන් උත්තර ලබා ගනිමින් තිබේ. ඉහත සඳහන් කල මුස්ලිම් සහ දෙමල ක්‍රිස්තියානි සංවිධාන වෙත භාර දී ඇත්තේ එයයි. ඒ අනුව රට පුරා ඉඳිකළ අනවසර යාඥා මඩු ඉවත් කරගැනීමට ජාතික බලවේග විසින් ගත් ක්‍රියාමාර්ග මෙන්ම අළුත්ගම දර්ගා නගරයේ සිදු වූ ගැටුමට අදාල සිංහල සංවිධානයන්ට විරුද්ධවද සාක්ෂි සටහන් කරනවා ඇත.මෙම සියළු කටයුතු අවසානයේ චූදිතයන්හට දඩුවම් දීම පිණිස පවතින රජය මෙහෙයවීමට මානව හිමිකම් ජාත්‍යන්තරය උත්සාහ දරනවා ඇත.මෙහිදී ඒකාබද්ධ විපක්ෂය ඇතුළු රජයට එරෙහි බලවේග කුමක් කරන්නේද යන්න ජනතාවට ප්‍රශ්ණයකි. ඔවුහු උතුර සහ නැගෙනහිර සිදුවන දේ ගැන උනන්දුවක් නොදක්වති. දෙමල සහ මුස්ලිම් ජනතාවගේ චන්දය ඉදිරියේදී අත්‍යවශ්‍ය බැවින් මේ ක්‍රියාවලිය ගැන දැනුම්වත්ව සිටියද මත ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිති. එම නිසා මේ බෙදුම්වාදී ක්‍රියාවලිය ආපසු හැරවීම පිණිස සියළු වගකීම් අසරණ සිංහල ජනතාව වෙතට පැවරී තිබේ. ඉතිහාසයේ සිංහලයන් සිය ස්වාධීනත්වය අහිමි කරගත්තේ රැවටීමෙන් පමණකි. රැවටීමෙන් පසු නැගී සිටීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් රටත් ජාතියත් සම්බුද්ධ ශසනයත් ආරක්ෂා කරගත් බව අප නැවත නැවත සිහිපත් කර ගත යුතු වෙයි.



Saturday, July 2, 2016

දේශපාලන පඹයා සහ පඹයාගේ දේශපාලනය

                                        
                 සකලයන් නැතිනම් කුරුල්ලන්ගෙන් කෙත්වතු ආරක්ෂා කරගන්නට පැරණි ගොවියන් තමන්ගේ කුඹුරේ පඹයෙක් සිටවූ බව අසා ඇත්තෙමු. කෙතේ ගොඩගසා ඇති පිදුරු වලින් පුරවන ලද මේ පඹයාට මුළුතැන් ගෙයින් ඉවත් කළ හැලියක් ඔළුවක් වෙයි. ඒ නිසා මේ පඹයාට හැලිකටා නමින් ද ව්‍යවහාරයක් වෙයි. පඹයා ගේ කාර්යය කෙත රැකීමයි. ගොවියා සැම විටම කෙතේ නොසිටින බැවින් මේ අජීවී පඹයා ට නියම කරන ලද රාජකාරිය අකුරටම සිදු විය යුතුය. පැරණි ගොවියන් පඹයා සිටුවන්නේ නැකතකිනි. එම සුභ මුහුර්තය නිසා පඹයාට ගොවියාගේ ප්‍රාණය පිහිටුවයි. පඹයා අතපය වනමින් හෝ අත්පුඩි සලමින් කෑගසමින් සිය රාජකාරිය නොකරන්නෙකි. නිසොල්මනේ කෙත මැද සිටින විට සකලයන් පඹයාට බිය වී වෙනත් අතකට පියාසර කරති. ගොවිපළක පඹයා හිටුවා තබන්නේ කාරණා දෙකක් ඉටු කර ගැනීමටයි. ඉන් එකක් නම් පක්ෂින් ඇතුළු සකලයින් බියට පත් කිරීමයි.අනෙක නම් පඹයා තුළින් ගොවිපළ ආරෝපණය කිරීමයි. ගොවිපලේ මිනිසුන් සිටින අවස්ථාවලදී සාමාන්‍යයෙන් ගිරවුන් සහ රංචු ගැසී එන කුරුල්ලන් ලන් නොවෙති. ගොවියාගේ ජීවමාන ප්‍රතිරූපය පිහිටුවා ලීම මෙහි අර්ථය වශයෙන් දැක්විය හැකිය. එහිදී මිනිසා ගේ කුයිල නැතිනම් ගන්ධය ගොවිපලේ ඇති කළ  යුතුය.  හැලි කටා යනු මිනිසා ගේ ස්වරූපය ගත් රූකඩයකි.
            සඳුදා දිනයක උතුරුසල නැකතින් සඳු සිටින ලග්නයෙන් හෝ කුජ සිටින ලග්නයෙන් ද සඳනැති අමාවක දිනයක හෝ කුජ දිනක පුෂ නැකත යෙදෙන සෙනසුරාදාවක ශනි සිටින ලග්නයෙන් ද පඹයා බැඳීම කරති. අවසානයේ දී පඹයා දිරාපත් වන තුරුම තිබෙන්නට හැරීම කරති. මෙහිදී උතුරුසල නැකත අයත් වන්නේ වායෝ භූතයට බව කිව යුතුය.සෙනසුරාදා දිනය ද වායෝ භූතයට අයත්ය.මෙහිදී පඹයා පිහිටවනු ලබන පුද්ගලයා අනුව මෙම භූත ලක්ෂණ ක්‍රියාත්මක වීමට පටන් ගනී. ලග්නයේ අඟහරු සිටින විට ඇතිවන තේජස් භාවය ද සඳු ඇති විටදී සිදු වන කාන්තියද එකලෙස මෙහිදී බල පැවැත්වේ. ශනි ලග්න භාවයේ සිටීම මගින් ද සතුරන් මැඩීමට ශක්තියක් ඇති වේ. මේ නිසා පඹයා නිකම්ම නිකම් රූකඩයක් නොව මිනිස් ගති ගුණ පිහිටුවා ලූ ප්‍රාණ කරන ලද වස්තුවක් විලස හැඳින්විය හැකිය. ඒ මගින් සකලයින් බය ගැන්වීම හෙවත් සිංහ වික්‍රමය පෙන්වීම  කරති.
             පඹයා ගේ මේ දේශපාලනය ගැන අද බොහෝ දෙනෙක් නොදනිති. ඒ නිසාම ඇතැම් මිනිසුන්හට පඹයෙක් යයි කියමින් ගර්හාවටද ලක් කරති.
            ලංකාවේ ජනාධිපති තනතුර රජෙක් හා සමාන කරන්නට ජෙ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපති තුමා කටයුතු කළහ. ලංකාවේ අනාගත පෞරුෂය කෙබඳු විය යුතු දැයි  ඔහු ගේ දේශපාලන ශෛලියෙන් ප්‍රකට වේ. අත්තනගල්ලේ චන්ද දායකයන්ගෙන් තොරා පත් කරගත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලංකාවේ විධායක අගමැති වශයෙන් සිටීම නුසුදුසු  වනබව ජේ.ආර්.ගේ මතය විය. ඒ නිසා සියළුම රටවාසීන් ගේ චන්දයෙන් පත්වන්නා රටට රජෙක් හා සමානව කටයුතු කරනු ඇතැයි  බලාපොරොත්තු වක් ඔහු තුළ විය. සැබවින්ම ජේ.ආර්. ගේ පාලන සමයේදී එය එසේ විය.නමුත් දඩබ්බර ඉන්දියානු දේශපාලකයන්ගේ ගැටයකට අසුවූ  ඔහු ලංකාව සාදාකාලික දේශපාලන වහල්භාවයකට ඇද හෙළීය.වර්තමානය තුළ මේ ජනාධිපති තනතුර සතුව පවතින බලතල කප්පාදු කරන්නට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු යයි හඬක් නැගී ඇත. රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ දේශපාලන සිවිල් සංවිධාන මේ හඬ නැගීමට උත්සුක් වෙමින් ඇත. ඒ තත්ත්වය තුළ වත්මන් ජනාධිපතිවරයා අගමැතිවරයාට යටත් වෙමින් ඔහු අනුව ක්‍රියාකරනු දක්නට ලැබේ. දෙමුහුන් අධිකරණයක් මෙරට තුළ ස්ථාපිත නොකරනු ඇතැයි ඔහු පවසන විට රජයේ විදේශ ඇමතිවරයා එය ප්‍රතික්ෂේප කරයි. බැංකු අධිපතිවරයා ගේ දූෂණ මත ඔහු ඉවත් කරලීමට ජනධිපතිවරයා ඉදිරිපත් වන විට අගමැතිවරයා මැදිහත්ව එය වළක්වයි.කෙත රැකීමට පඹයා කරන දේශපාලනය හෝ අවම තරමින් ඉටු කරලීමට නොහැකි වන තරමට අද රටේ ප්‍රධාන පුරවැසියා පත්ව තිබේ. එදා ජේ.ආර්. ජයවර්ධන මහතා බලාපොරොත්තු වූ ඒකීය රට රැක ගන්නට මේ තනතුරට තව දුරටත් නොහැකි බව ඔප්පු කර තිබේ. එසේ නම් ලංකාවේ අනාගතය කුමක්දැයි අප තේරුම් ගන්නේ කෙසේද.
      ඉතා පැරණි සංස්කෘතියක් සහිත කොරියාව  සහ එහි දේශපාලනය ගැන ලක් වැසියන් බහුතරය තුළ වටහීමක් ලැබ ගන්නට රූපවාහිනය මගින් විකාශනය  වන ටෙලි නාටක මාලාව ඉවහල්ව ඇත. කොරියාවේ දේශපාලනය සමග බුදුසමය බද්ධවී තිබූ ආකාරය මෙන්ම පසුකාලීනව එහි ඇති වූ වෙනස්කම් කෙනෙකුට අධ්‍යනය කළ හැකිය. 1910 වසරේ දී කොරියාව ජපනුන්ට යටත් වීමෙන් පසු 1911 දී සිදු කළ ආගමික ප්‍රතිසංස්කරණ නීති මගින් ජපන් ඌරුවට බුදුදහම හැඩ ගැසුණු හැටි අපට පෙන්වා දී ඇත. 1961-1979 අතර කාලවකවානුවේදී පාක් ජුන් හී පාලකයා විසින් හඳුන්වා දෙන ලද ආගමික ප්‍රතිසංස්කරණ කොරියාවේ බුදුදහම පමණක් නොව දේශපාලනයද වෙනස් කර ඇත. 1980 වන විට චුන් ඩූහ්වාන් නම් ජනාධිපතිවරයා පත් විය. ඔහු ප්‍රොතෙස්තන්ත මෙතොදිස්ත යෙකු විය. ඔහු කොරියාවේ ආගමික සම්භවය සහමුලින්ම වෙනස්කලේය. විහාරස්ථාන සහමුලින්ම සංචාරක නිකේතන බවට පත් කිරීමට නීති සම්පාදනය විය. භික්ෂූන් පුන්රුත්ථාපන කඳවුරු වලට ගාල් කිරීම ඇරඹුණි. එම තත්ත්වය තුළ සියවස් ගණනක් තුළ කොරියානු ඉතිහාසයේ දක්නට තිබූ බෞද්ධ හැඩ ගැස්ම  මෙන්ම රාජ්‍ය මැදිහත් වීම ක්‍රමයෙන් අතුරුදහන් විය. අද වන විට එහි බෞද්ධ ජනගහනය සියයට විසිහතරක් දක්වා පහත් බැස ඇත. ක්‍රිස්තියානකරණය බරපතල අන්දමින් ක්‍රියාවට නැගෙමින් පවතී. ආගමක් නැති නූතනවාදීන් විසින් මෙහෙයවන බහුභාණ්ඩික සමාජයක් බවට කොරියාව පත් කර තිබේ.
       ලංකාවේ රාජ්‍ය පාලකයා ක්‍රිස්තියානි කිරීමට සහ ඔහු යුරෝපයේ යටත් පාලකයෙක් බවට පත් කර ගැනීමේ මෙහෙයුම ආරම්භ වන්නේ දාසය වන ශත වර්ෂයේ සිටයි. ධර්මපාල කුමරුගේ අනුරුවක් පෘතුගාලයට ගෙන ගොස් අභිෂේක කරනුයේ ඒ සඳහාය. එසේම වරින් වර යාපනයේ කුමාරවරුන්ද එලෙස බෞතීස්ම කොට පෘතුගාලයට යටත් පාලකයන් ලෙසට තබා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක ව තිබේ.එහෙත් වසර පන්සීයක කාලයේ දී එතෙක් මෙතෙක් මේ රට සහමුලින්ම අබෞද්ධ රටක් බවට පතකර ගැනීමට යටත් විජිතවාදීන්ට හැකියාව ලැබී නොමැත. වර්තමානය දෙස බලන කල්හිඉතිහාසයේ එවැනි අඳුරු කාලවකවානුවක් නැවත උදාව තිබෙන බව සක්සුදක් සේ පෙනේ. පඹයෙක් නොව රූකඩයක් බවට පත්ව තිබෙන ජනාධිපති තනතුර අව භාවිතා කරමින් රටේ ව්‍යවස්ථාව වෙනස් කොට එහි බුද්ධශාසනයට තිබෙන තැන අවලංගු කොට ඇමරිකාවට හෝ ඉන්දියාවට යටත්වූ ඔවුන් ගේ අණසක මගින් පාලනය කරන්නා වූ රටක් වශයෙන් පත් කිරීමට පියවර ගනිමින් ඇත. කොරියාවට අත්වූ ඉරණමට ක්‍රමයෙන්  ලංකාව පත් වන්නේ දැයි සිතා බැලිය යුතුය.බෞද්ධයන් මර්දනය කොට සංහිඳියාව නාමයෙන් යෙහෝවා යාඥාකරුවන්ට සහ මුස්ලිම් අන්තවාදීන්ට රට අත්පත් වීමට ඉඩ තැබීම රූකඩ දේශපාලනයේ නවතම ප්‍රයෝගය බවට පත් වී තිබේ. මෙම තත්ත්වය තේරුම් නොගෙන ඇති බව පැහැදිලි වන්නේ රට භයානක නිශ්ශබ්දතාවයකට පත්ව තිබීමෙනි.


Thursday, June 16, 2016

බෙදුම්වාදය සමලිංගිකත්වය තහවුරු කරන ලාල් විජේනායක වාර්තාව


                           

        ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය උදෙසා රජය විසින් පත් කරන ලද ලාල්විජේනායක කමිටු වාර්තාව දැන නිකුත්ව තිබේ. එහි මූලික නිර්දේශයක් නම් අනාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීමයි.ආගමක් යනු ඇදහිල්ලකි. හින්දු දේව ඇදහිලි කිතුනු දෙවියන් අල්ලාහ් සමග ලෝකයේ දේශපාලනය ගැටගැසී තිබේ. රටක පාලකයා නොහොත් රජු දෙවියන්ගේ පුත්‍රයෙකු ලෙසට සැලකීමක්ද අතීතයේ විය. සූර්ය දිව්‍ය පුත්‍ර යනුවෙන් අතීත රාජ අභිධානයන් සැකසී තිබෙන්නේද ඒ නිසාය. වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළද මේ දේශපාලනික ආගමික සංකල්පය වඩාත් ශක්තිමත්ව ක්‍රියාත්මක වේ.මහා බ්‍රිතාන්‍ය ඊට උදාහරණයකි. ඇතැම් රාජ්‍ය ව්‍යවස්ථා තුළ රාජ්‍ය ආගම යනුවෙන් සඳහනක් තිබුණද ඒසේ නොමැති ව්‍යවස්ථාවන්ද ඇත. නමුත් ආගමික අර්ථයෙන් වත්මන් ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයන්ද ආගමික පසුතලයක ක්‍රියාත්මක වේ. වි‍ශේෂයන්ම පාප්වරයාගේ බලපෑම මත ක්‍රියාත්මක වේ.නමුත් පල්ලියේ අඥාදයකත්වය නිසා පහළ ස්ථරයේ ජනතාවට විඳින්ට සිදුවූ ගැහැට නිසා පසුකාලයේදී යුරෝපය පුරා අනාගමික රජ්‍ය පිළිබඳ සංකල්පයන් ප්‍රචලිතව ගියේය.එම සංකල් මගින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලටද  බලපෑමක් එල්ල කර ඇත.

        බුදුදහම ආගමක් නොවේ. හින්දු පදනම මත බුදු දහමේ නොයෙකුත් සංකල්පයන් ඇති වීමට පසුබිම සැකසුණද ආගමික රාජ්‍යයකට වඩා පුළුල් අර්ථ විග්‍රහයක් බෞද්ධ රාජ්‍යකට ඇත. නොයෙකුත් සංස්කෘතික බැඳීම් මගින් රාජ්‍යය ශක්තිමත්ව තිබීම ඓතිහාසික විකාශනය අනුව සහේතුක වේ. නමුත් ධර්මාශෝක අධිරාජ්‍යායාගේ බෞද්ධ දේශපාලනික සංකල්ප මත රාජ්‍යක පැවැත්මට මෙන්ම රජවරුන්ගේ පැවැත්මට මනා පදනමක් ඇති කර තිබුණි. ලංකාවේ ක්‍රියාත්මක වූයේද විශේෂයෙන් දශරාජධර්මය මගින් ශික්ෂණය ලබා දුන්නේද මේ සඳහාය. එම නිසා ඓතිහාසික සිංහල රාජ්‍යය ආගමික රාජ්‍යක් ලෙසට අර්ථ විග්‍රහ කිරීම වැරදි සහගතය. එය සැබවින්ම බෞද්ධ සංකල්ප හා මතවාද මගින් පාලනය වන ධාර්මික රාජ්‍යයකි. ලංකා ඉතිහාසයේ විවිධ යුග වලදී ඇතිවූ සතුරු ආක්‍රමණ හමුවේ මෙකී පාලන ක්‍රමය පවත්වා ගෙන යෑමට බාධා ඇති විය.එම නිසා සිංහල බෞද්ධ සංස්කෘතික හර  පද්ධතියකින් නිතරම රජ්‍යය ආරක්ෂා වුණි. සත්වන සියවසෙන් පමණ පසු ඇති වූ මහායාන සංස්කෘතික බලපෑම මධ්‍යයේ ඇතිවූ බෝධිසත්ව සංකල්පය මගින්ද  ලංකා රාජ්‍යය ශක්තිමත් වීමට පසුලලලබිම සකස් වුණි.

          පෘතුගීසීන් ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ගේ ආක්‍රමණ නිසා රටේ ස්වාධීනත්වය ක්‍රමයෙන් නැතිවූ බව අප දනිමු.  විශේෂයෙන්ම 1815 දී අත්සන් කරන ලද ගිවිසුම නිසා ලංකාව ආගමික රාජ්‍යක් ලෙසට පරිවර්තනය විය. God save The King යනුවෙන් ඉංගිරිසි පාඨයක් ඉංගිරිසි රජයේ සේවකයන් විසින් භාවිතා කලේ එහෙයිනි.නමුත් අප අතීතයේදී භවිතා කලේ පස්වාන් දහසකට බුදුවන්ඩ දේවයන් වහන්ස යනුවෙනි. වසර පන්දහසක් කල් පවතින බුද්ධ ශාසනය රැකීම පිණිස ධාර්මික රජයක් පැවතිය යුතු බව අපගේ කියවීම විය. සැබවින්ම අපගේ මේ පැරණි සංකල්ය ක්‍රමයෙන් අභාවයට පත් විය.1815 දී උඩරට ජන ප්‍රධානීන් විසින් එම ගිවිසුමට ඇතුලත් කරන ලද පස්වන වගන්තිය ප්‍රකාරව ඉංග්‍රීසි රජය කටයුතු කිරීම අත්හලේය.1948 දී අපට නිදහස යනුවෙන් පාලන බලයක් හිමිකර දෙන කල්හි ඉංග්‍රීසින් විසින් අනුදැන සිටි ආගමික රාජ්‍යය පවත්වාගෙන යෑමට පාලකයන්ට සිදු විය.ඩොනමෝර් ව්‍යවස්ථාවේ 29වන වගන්තිය මගින් ඒ තත්ත්වය තහවුරු විය.

         නව ව්‍යවස්ථාවක් ලක් රජයට සාදා දීමට  කැබිනට්ටුව මගින් පසුගියදා ආචාර්ය ලාල් විජේනායක මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් කලේය. කොමිෂන් පණත යටතේ එම පත්කිරීම නොකළ බැවින් එහි නීත්‍යානුකූල බව පිළිබඳ ප්‍රශ්ණ තිබුණද මාස කීපයක් තුළ මහජන අදහස් ලබාගෙන දැන් වාර්තාවක් නිකුත් කර තබේ. එහි ආගම යනු‍වෙන් විස්තර වන ඡෙදයෙහි. තිබෙන එක් නිර්දෙශයක් නම් ලංකාව අනාගමික රාජ්‍යක් කළ යුතු බවයි. ලොකයේ කොහි රටකවත් එම තත්ත්වය දක්නට නැති වුවද එය එලෙස දක්වා තිබේ. මට පෙනෙන ආකාරයට ඔවුන් එසේ සඳහන් කරන්නේ 1815 ගිවිසුම ප්‍රකාරවද 1972 ව්‍යවස්ථාව අනුවද තහවුරු කරන ලද බුද්ධශාසනය පිළිබඳ ප්‍රමුඛතාවය ඉවත් කිරීමටයි. එවිට ක්‍රමානුකූලව ලංකාව පාලනය කරන බටහිර රාජ්‍යයන් හි ආගමික භාවය ලංකාවට ආරෝපණය වේ.       මෙම වර්ෂයේ පෙබරවාරි මස 27 දින දාතමින් යුතුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව වෙත මාගේ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කළෙමි. එහිදී කමිටුවේ ලේකම් රංගා ජයසුන්දර මහත්මිය  විද්‍යුත් තැපෑලෙන් පිළිතුරු ලිපියක් එවමින් සඳහන් කරන ලද්දේ එම යෝජනා කමිටුවේ සැලකිල්ලට ලක් කිරීම පිණිස ඉදිරිපත් කරන ලද බවයි. නමුත් වාර්තාව නිකුත් කළ පසු එය පරීක්ෂා කිරීමේදී මාගේ යෝජනා සැලකිල්ලට ගෙන නොමැති බව පෙතී ගියේය. එසේම යෝජනා ඉදිරිපත් කළ අයගේ නාම ලැයිස්තුවේද මාගේ නම ඇතුලත් වී නොමැති බවද සඳහන් කළ යුතුය.මාගේ යෝජනා වල ප්‍රධාන කරුණක් වූයේ නවවන ව්‍යවස්ථාව පිළිබඳ සඳහන් කිරීමයි. එහි හැඳින්වීම මෙන්ම අර්ථ නිරූපණයන්ද වඩාත් ශක්තිමත්  විය යුතු බව මාගේ අදහස විය.එහි සඳහන් කරන ලද යෝජනා මෙලෙස විය.

            ආගම -බුදු දහම ආගමක් නොවේ. එම නිසා බුද්ධාගම ගැන සඳහන් නවවන ව්‍යවස්ථාවේ හැඳින්වීම බුද්ධ ධර්මය, බුද්ධ ශාසනය සහ බෞද්ධ සංස්කෘතිය යනුවෙන් වෙනස් විය යුතුය.බුද්ධ ධර්මය ,බුද්ධ ශාසනය සහ බෞද්ධ සංස්කෘතිය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රාජ්‍ය යේ මූලික වගකීම වේ යනුවෙනන් එය සංශෝධනය විය යුතුය..

බුද්ධ ශාසනය පිළිබඳ අර්ථ නිරූපණයක් අවශ්‍ය වේ. එසේම මූලික අයිතිවාසිකම් නීතියකින් හෝ වෙනත් නීතියකින් මෙම ව්‍යවස්ථාව දුර්වල නොකල යුතුය. පෙර සිරිත පරිදි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පනවන ලද විනය නීති පිළිගැනීමකට ලක් කල යුතුය. ඒ සඳහා මෙම ව්‍යවස්ථාව යටතේ ප්‍රතිපාදන පැනවිය යුතුය. ශාසනික පැවැත්ම තහවුරු කරලීම උදෙසා සංඝාධිකරණ පණතක අවශ්‍යතාවය මතුව ඇත. නමුත් එය රෝම ලන්දේසී නීතිය මගින් දුර්වල නොකළ යුතුය. පෙර සිරිතට අනුකූලව නීති සම්පාදනය ඉතා වැදගත් වේ.

බෞද්ධ ප්‍රතිපත්ති සහ මූලධර්ම මත රටේ ආර්ථික සමාජීය දේහය ශක්තිමත් කල යුතුය.මෙම කරුණු මත පදනම් වූ රාජ්‍ය තන්ත්‍රයක් තහවුරු කරලීමට උත්තරීතර සංඝ මණ්ඩලයක් පිහිටුවිය යුතුය.

දේව ඇදහිලි සහ ආගම් -

උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය ප්‍රකාරව මෙරට පුරාණයේ සිට පැවති ඇදහිලි විශ්වාස ඇතුලත් දේවාගම්(ජන ආගම්) ආරක්ෂා කිරීමටත් එය වටා පවතින සංස්කෘතික තත්ත්වයන් ප්‍රවර්ධනය කිරීමටත් රජය බැඳී සිටී. නමුත් යුරෝපීයන්ගේ පැමිණීමෙන් පසු මෙරට ප්‍රචලිත වූ ආගම් සුරක්ෂිත කිරීමට හෝ ප්‍රවර්ධනය කිරීමට ව්‍යවස්ථාව තුළ ඉඩක් වෙන් නොකළ යුතුය. එහෙත් රට තුළ ජීවත් වන පුර වැසියන්ට තමන්ගේ ආගම් ඇදහීමට බාධාවක් නොකල යුතුය.ඒ නුමුත් බුද්ධ ශාසනයට හෝ බෞද්ධ සංස්කෘතියට එරෙහි යම් ආගමක් ව්‍යාප්ත වන්නේ නම් එය රට තුළින් ඉවත් කිරීමට සහ තහනම් කිරීමට ප්‍රතිපාදන ව්‍යවස්ථාව තුළ පැවතිය යුතුය.

         රටපුරා විසිරී තිබෙන විහාරස්ථාන වල සිටින භික්ෂූන් වහන්සේලා බහුතරයක් මෙයට සමාන යෝජනා මෙම කමිටුවට ඉදිරිපත් කළ බවට නිසැකය. එයට හේතුව වර්තමාන ව්‍යවස්ථාවේ බුද්ධාගම යනුවෙන් සඳහන් ඡේදය හිස් පිටුවක් ලෙසට පැවතීමයි. අප  තර්ක කලේ එය වඩා අර්ථ ගැන්විය යුතු බවයි. මහා සංඝරත්නයේ යෝජනා යම් තරමකින් හෝ සඳහන් නොකිරීමට කමිටුව වග බලා ගෙන ඇත. නමුත් ලාල් විජේනායක කමිටුවේ ඇතැම් අය යෝජනා කොට ඇත්තේ බුද්ධාගම යනුවෙන් කියැවෙන හැඳින්වීම පවා වෙනස් කොට ආගම් යනුවෙන් සඳහන් කළ යුතු බවයි. එහිදී මෙම ලිපියේ පළමුව සඳහන් කොට ඇති පරිදි බදුදහම ආගමක් නොවන බව මෙම කමිටු සාමාජිකයන් හට අවබෝධයක් නොතිබෙන බව පෙනේ. එහිදි මෙම වාර්තා රචනයේදී ඔවුහු පවසන එක් වැදගත් කරුණක් තිබේ. එය මෙසේය.

      අප පෞද්ගලිකව අනාගමික රාජ්‍යයකට කැමති නමුත් මහජනතාව ඉදිරිපත් කළ විවිධ අදහස් අනුව අපට පෙනී ගියේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම වගන්ති වෙනස් කිරීම අනවශ්‍ය ගැටුමකට හේතුවක් විය හැකි බවත් එය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට බලපෑ හැකි බවත්ය.සැබවින්ම මෙහිදී මෙම රචකයන් වඩාත් බිය වී ඇත්තේ මහනායක හිමි වරුන් ඇතුළු සිංහල බෞද්ධයන් මෙම ව්‍යවස්ථාවට විරුද්ධ වීමෙන් බෙදුම්වාදය ශක්තිමත් කරන ඉතිරි යෝජනාද  කුණු කූඩයට යෑමට ඉඩ ඇති බවයි. එහෙයින් ඔවුහු නව වන ව්‍යවස්ථාව වෙනස් කිරීම උදෙසා වන යෝජනා පරිස්සමින් පරිහරණය කරමින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.නමුත් ජාතික කොඩිය වෙනස් කිරීම මෙන්ම ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම යන කාරණා වලදී කමිටුව නොබියව අදහස් ඉදිරිපත් කොට ඇති බව පෙනේ. අගමැති ප්‍රධාන වෙස්ට්මිනිස්ටර් පාලන තන්ත්‍රයක් ඇති කිරීම දෙමල හෝ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන උප ජනාධිපති ධූරයක් ඇති කිරීම යන කාරණා වලට විශේෂ තැනක් දෙමින් එමයෝජනා පැහැදිලි කරමින් මෙම කමිටුව ප්‍රබල ආකාරයට නිර්දේශ ඉදිරිපත් කොට ඇති බව පෙනේ.උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල සිංහල ජනයා පදිංචි කිරීමෙන් ජන අසමතුලිතතාවයක් ඇතිවූ බව මෙම වාර්තාවේ මහත් අභිරුචියෙන් සඳහන් කර ඇත. නමුත් දහසය වන සියවසෙන් පසු යාපනය සහ මඩකලපු ප්‍රදේශ වලින් එළවා දමන ලද සිංහල ජනගහනය පිළබඳ සඳහන් නොකිරීමට කමිටුව වගබලා ගෙන ඇත.( ටික්කම මහින්ද කුමාර මහතා යාපනයේදී සිය යෝජනා ඉදිරිපත් කරමින් මෙම සංගණන වාර්තා ලබාදී ඇත.) මෙම සවිස්තර වාර්තාවේ පසුබිමේ තිබෙන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය බව පැහැදිලව පෙනේ. එසේම කමිටු වාර්තාවේ සමලිංගික ප්‍රජාවක් සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පිලීබඳ කරන සදහනට වැඩි ඉඩක් වෙන්කරනු ලැබ ඇත.එහි සඳහන් නිර්දේශය මෙසේය.

    වයස සම්පූර්ණ වී ඇතිසියළු පුද්ගලයන්ට ජනවර්ගය ජාතිය ආගම ලිංගික අන්‍යතාවය( නාරිමෛථුන සම ලිංගික ද්වී ලිංගික පාරලිංගික සහ අන්තර්ලිංගික) හෝ ලිංගිකනැඹුරුව ආදියේ සීමාවකින් තොරව විවාහ වීමට හා පවුලක් සෑදීමට අයිතිය තිබේ. විවාහය තුළ හා එය අවලංගු කිරීමෙන් පසුව ඔවුනට සමාන අයිතිවාසිකම් ලැබිය යුතුය.සැබවින්ම රටක සදාචාරය සහ යහපාලනය ඇති කළ හැකි ප්‍රතිපාදන සැලසිය හැකි නව වන ව්‍යවස්ථාව අර්ථ නිරූපණයට වඩා මෙවැනි දුරාචාරයන්ට රට යොමු කිරීම ලාල් විජේනායක කමිටුවට වඩාත් අභිමතව ඇති බව පැහැදිලිය. එයට හේතුව  මෙම කමිටුව පත් කරන්නට යෙදුණු පාලකයන්ද එවැනි දුරාචාර අනුමත කරන නිසාවෙනි. එසේම මෙම කමිටුව නියෝජනය කරමින් ස්ත්‍රී වාදයට කඩේ යන පුද්ගලයන්ද රාජ්‍ය නොවන සංවිධානයන්හි වැඩකළ පුද්ගලයන්ද  සිටින නිසා බව පැහැදිලිය. එසේ හෙයින් අනාගමික රාජ්‍යයක් බවට ලක්රජය පත් කිරීමේ භයානක යෝජනාව ඇතුළු සමස්ත වාර්තාවම කුණු කූඩයට යැවිය යුතු බව එක හෙළා පැවසිය යුතුය. විධායක අගමැති සිහිනයෙහි සිටින්නන්ද අවබෝධ කළ යුතු කාරණය වන්නේ මෙම වාර්තාවේ එක් වගන්තියක් හෝ සම්මත කිරීමට ඉඩ දුනහොත් ඒ මගින් ව්‍යවස්ථා කුමන්ත්‍රණය සාර්ථක වන බවයි.

 

Monday, May 30, 2016

ෆෙඩරල් ප්‍රකාශ මගින් සිංහල ජනතාව කුපිත වෙයිද


                                

            යළිත් වරක් උතුරේ මහඇමතිවරයා සහ පළාත්සභාව රට බෙදීමේ භයානක උන්මත්තක යෝජනාවලියක් සමාජ කරළියට දමා ඇත. ගංවතුර පීඩාව නිසා විස්සෝපයට පත්දකුණේ ජනතාව උතුරේ මහ ඇමතිවරයා ගේ මීට පෙර ප්‍රකශ  අමතක කළ බවට නිසැකය. නමුත් තුවාළයක් පාරන්නා සේ උතුරේ මහ ඇමතිවරයා නැවතත් සිය බෙදුම්වාදී   වුවමනාවන් සිංහල ජනතාවට යළි මතක් කර දී තිබේ.

         මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන සමයේදී උතුරු පළාත්සභාව පත්කිරීම පිණිස චන්දය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී මෙරට ජාතික බලවේග විසින් කරුණු කීපයක් එතුමන්ට අවධාරණය කළහ. එකක් නම් පළාත්සභා පණතේ තිබෙන ඇතැම් හානිකර වගන්ති ඉවත්කරන ලෙසටය. පළාත්සභා පණතේ 154 (අ) සිට 154 (ඩ) දක්වා වූ ව්‍යවස්ථාවේ 17 (අ) පරිඡේදය වෙනස් කිරීම . 155(3 අ) අනුව්‍යවස්ථාව වෙනස් කිරීම සහ නවවන උපලේඛණය පරිච්ඡින්න කිරීම මෙම සංශෝධන යෝජනාවන්ට අයත් විය. පොලිස් බලතල පිළිබඳ ෆෙඩරල් ප්‍රතිපත්ති උතුර සහ නැගෙනහිර එක් කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ සහමුලින්ම වෙනස් කිරීම මෙහි අදහස විය. එසේම යම්පළාතක් රජයට එරෙහිව කටයුතු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට එයට මැදිහත් විය හැකිවන සේ පළාත්සභා පණත සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා විය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 ප්‍රතිපාදනයේ ලිඛිත නීතිය යන්නහි අර්ථ කථනයේ පළත් සභාවක් විසින් සාදන ලද ප්‍රඥප්ති හෝ කවර වූ නීතියක් යටතේ යන වචන වෙනුවට කවර හෝ නීතියක් යටතේ යන වචන අදේශ කිරීමටද මෙහිදී යෝජනා විය.අනෙක නම් චන්ද බලය ලබා දීමේදී 1971 ජන සංගණනය අනුව එය තීරණය කරන ලෙසය. සිංහල ජනතාව ඒ අනුව නැවත පදිංචි කිරීමකින් තොරව උතුරු පළාත්සභා චන්දය නොපවත්වන ලෙසට සියළු දෙනාම ඉල්ලීම් කර සිටියහ. එහෙත් සන්ධාන රජය ගත් ප්‍රතිපත්ති තීරණ වල වෙනස්කමක් ඇති නොවීය. ජනතා හඬට කන්නොදුන් ආණ්ඩුව පළාත්සභා මැතිවරණය පවත්වා විග්නේශවරන් මහතා මහ ඇමතිවරයා බවට පත් කරන ලදහ.නැගෙනහිර පළාත්සභා මැතිවරණය ඊට කලින් පවත්වන ලදඅතර ඒ මගින් මුස්ලිම් පක්ෂ සමග සන්ධාන ගතව පළාත් ආණ්ඩුවක් පිහිටුවීමට සන්ධාන කණ්ඩායම තීරණය කළහ.  මෙහි ප්‍රතිඵලය වූයේ උතුරු පළාත තුළ දෙමළ ජතිවාදයට අවශ්‍ය නෛතික බලය ලබාදීමයි. එසේම නැගෙනහිර පළාත තුළ මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය දේශපාලන බලයද සන්ධාන රජය මගින් හිමිකර දුන්හ.

              දෙමළ පක්ෂ සැමවිටම ඉතිහාසය තුළ පෙන්නුම් කරන ලද්දේ  සිය ජාතිවාදී වුවමනාවන් ක්‍රමානුකූලව ලබාගැනීමයි. එකක් ලබා ගැනීමෙන් පසු තවෙකක් ලබාගැනීම ඔවුන්ගේ පිළිවෙත විය. පසුකාලයේදී මුස්ලිම් පක්ෂ ද එම පිළිවෙතම අනුගමනය කරන ලදී. යම් හෙයකින් පවතින ආණ්ඩුව එම ඉල්ලීම් වලට කන්නොදුනහොත් විපක්ෂය සමග  එක්වී කුමන්ත්‍රණකාරී ලෙසට කටයුතු කිරීම ඔවුන්ගේ පිළිවෙත විය. සිංහල බෞද්ධ ජනතාව ඉදිරියේ තිබෙන අභියෝග සමාජ ගත කරමින් ඒවාට විසඳුම් ඉල්ලා සිටි බොදු බලසේනාව උගුලකට හසුකරන ලද්දේ මෙලෙස කුමන්ත්‍රණකාරී ලෙසට කටයුතු කළ අන්තවාදී පක්ෂ විසිනි. අළුත්ගම ධර්ගානගරයේ ඇතිවූ කෝලාහලය කලින් සැලසුම් කරන ලද්දකි. මේ කෝලාහලයේ වගකීම බොදුබලසේනාව වෙතට පැවරීම ඔවුන්ගේ ප්‍රයෝගයේ එක් අදියරක් විය. අනෙක නම් බොදු බල සේනාවට ආණ්ඩුව පැත්තෙන් උදව් කිරීම අතිශයෝක්තියෙන් සමාජ ගත කිරීමයි.නමුත් ඇත්ත තත්ත්වය නම් හලාල් ප්‍රශ්ණයේදී සහ මුස්ලිම් අන්තවාදී ක්‍රියාපිළිවෙත හමු වේ නීතිය කාහටත් එකසේ බලපැවැත්වීම සඳහා ආණ්ඩුව කටයුතු නොකළ බවයි.අන්තවාදීන්ගේ මෙම උපක්‍රම සියල්ල සැබවින්ම සාර්ථක විය. ගිනිතබන ලද මුස්ලිම් දේපළ ගැන පමණක් වාර්තා සකස් කරන ලද අතර ඒවා ජාත්‍යන්තර තලයට පිටත් කර හැරීමේ කාර්යයද ඉතා සාර්ථක අන්දමින් සිදු කරනු ලැබිණ. මහින්ද රාජපක්ෂ රජය මගින් සියළු වරප්‍රසාද ලබාගත් මුස්ලිම් දේශපාලඥයන් සිය අභිමතාර්ථ සාධනයෙහි තත්පරව අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය උදෙසා සන්ධාන ගතවිය.

             1987 වර්ෂයේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද පළාත්සභා පණතට කලියෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබිණ. මේ ගිවිසුමට රටපුරා ජන විරෝධයක් එල්ල වූ අතර ඒවා මැඩ පවත්වමින් ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් එයට එකඟතාවය ප්‍රකාශ කරනු ලැබිණ. මේ ගිවිසුමෙන් පසුව ඉන්දීය සාමසාධක හමුදාව සහ කොටිත්‍රස්තවාදීන් එක්වී  උතුරු සහ නැගෙනහිර පළාත් තුළ සිටි සිංහල ජනතාව එලවා දමන ලදහ. මේ ක්‍රියාවලියේදී සිංහලයන් බලවත් සේ ප්‍රකෝප විය. ජන උද්ඝෝෂණ මෙන්ම විරෝධතා රාශියක්ම එල්ල විය. දකුණේ ජාතික බලවේගයන් මේ විරොධතාවයන්ට සෘජුව මැදිහත් වනු දක්නට ලැබුණි. අවසාන ප්‍රතිඵලය වූයේ මහජන ප්‍රකෝප කිරීම් උත්සන්නවී ලංකා රජය වෙත ජාත්‍යන්තර පීඩනයක් එල්ල වීමයි. මේ නිසා ජයවර්ධන රජයට  ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරලීමටත් පළත් සභා පණත සම්මත කර ගැනීමටත් උතුරු නැගෙනහිර ප්‍රදේශ ද්‍රවිඩ ජනතාවගේ සාම්ප්‍රදායික නිජභූමි ලෙසට පිළිගැනුමටත් සිදු විය.1984 වර්ෂයේ සිට 1987 දක්වා මේ කුපිත කිරීම් එකදිගට අඛණ්ඩව සිදු විය. මේ කෝලාහල පිටිපස ඉන්දීය රහස් ඔත්තු සේවා සිටි බව නිසැකය.

          ලංකාව දෙකඩ කිරීම විදේශ දේශපාලනයේ අරමුණයි. ඉන්දියාවද ලංකාව සිය අණසක යටතේ දීර්ඝ කාලයක් තබාගෙන ආර්ථික වශයෙන් සිය වෙළෙඳ පළ අවශ්‍යතාවයද දේශපාලන අවශ්‍යතාවයද සපුරා ගැනීමේ චේතනාවෙන් පසුවෙයි. අවසාන වශයෙන් ලංකාව තුළ සිංහල ජනතාවට තිබෙන අයිතිය නැති කිරීම අරමුණක් වශයෙන් තබා ගෙන තිබේ. එයට හේතුව වසර පන්සීයකටත් එපිට සිට බටහිර බලවතුන්ට එය කළ නොහැකිව තිබීමයි. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත් වීම් අවසන් කිරීම ඉලක්කයක් වශයෙන් පවතී.වත්මන් යහපාලන රජය කුමන්ත්‍රණයක් මගින් පත් කරගන්නා ලද්දේ ඒ සඳහාය. සිය බල වුවමනාවන් පිණිස රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාද කටයුතු කිරීම මීට විශාල අනුබලයකි. පවත්නා ව්‍යවස්ථාව වෙනස් කොට ලංකාව ප්‍රාන්ත කීපයකට කඩා බලය දුර්වල කිරීම එහි පළමු අදියරයි. අනතුරුව සමස්ත ලංකාවම ගිල ගැනීමට පිඹුරු පත් සකස් වනු ඇත.මෙම ව්‍යවස්ථා පෙරහැරට කස පුපුරුවාලීම දැන් ආරම්භ කොට ඇත. උතුරු පළාත් මහ ඇමතිවරයා කරන ප්‍රකාශ මෙන්ම නැගෙනහිර මහ ඇමතිවරාගේ හැසිරීම් ඊට උදාහරණයන්ය. මේ තත්ත්වය තුළ සිංහල ජනතාව යළි කුපිත කිරීම් ඔවුන්ගේ බලාපොරෙත්තුවයි. එමගින් රටේ දෙශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කොට සංශෝධනය කරන ලද ව්‍යවස්ථාව සම්මත කරලීම සිදු වනු ඇත.

        මේ වනතෙක් ඒකාබද්ධ විපක්ෂය නිල වශයෙන් ෆෙඩරල් යෝජනාව පිළිබඳව සිය මතය ප්‍රකාශ කර නොමැත.එසේම ව්‍යවස්ථා වෙනස තුළින් විධායක අගමැති කම ඇතිකිරීම ටද ඔවුන්ගේ සහාය පළවෙමින් පවතී. ජාතික හෙළ උරුමයද මෙම යෝජනාවට එරෙහිව බස්නාහිර පළාත්සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් රජය තුළදී එය සාකච්ඡා කළ බවක් දක්නට නොමැත. මෙම නිශ්ශබ්දතාවයෙන් සිදු වන්නේ ක්‍රමානුකූලව සිංහල ජනතාව ගැටුම් කරා ගෙනයෑමට පසුබිම සකස් කිරීමයි. මෑතකදී මඩවල මදීනා මුස්ලිම් පාසලේ සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර දමා ගැසීමේ සිද්දියෙන් පසු එයට මග විවර වෙමින් ඇත. සැබවින්ම මෙම තත්ත්වය ඉතා ඛේදනීය වෙයි. මෙයින් හිරිහැරයට පත් වන්නේ අහිසංක ජනතාවයි. දේපළ අහිමි වන්නේත් ජීවිත වලින් වන්දි ගෙවන්නේත් ඔවුන්ම වේ. එම නිසා සිංහල ජනතාව ගැටුම් කරා මෙහෙයවීමට තිබෙන ඉඩකඩ වහා ඇවිරිය යුතුය. බෙදුම්වාදය පරාජය කිරීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ කිරීමේ වගකීම ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි. එසේම ජනධිපතිවරයා සහ අගමැතිවරයා සමග මෙම ප්‍රශ්ණයන් සෘජුව සාකච්ඡා කොට විසඳා ගැනීම කළ හැක්කේ ජාතික හෙළ උරුමය වැනි රජයේ පාර්ශවකාර කණ්ඩායමකට පමණි. එසේ නැතිව මාධ්‍ය මගින් මේ ගැටුම් සමාජ කරළියට දමා ගැසීමෙන් සිදුවන විපත් අප දැන්වත් තේරුම් ගත යුතුය.