පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, January 11, 2017

යූ.එන්.පී. ආණ්ඩුවේ ලේ පිපාසය එළි දැක්වූ ජනවාරි අට

                              

               හම්බන්තොට වරාය ආශ්‍රිත ඉඩම් අක්කර පහලොස්දාහක් චීන සමාගම් සඳහා පැවරීමට වත්මන් යහපාලන ආණ්ඩුව ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.එම මූලික උත්සවයට විරෝධය පාමින් හම්බන්තොට ජනතාව සහ දේශප්‍රේමීන් මිරිජ්ජවිල අවට කළ උද්ඝෝසනයට පොලීසිය සහ විශේෂ කාර්ය බලාකාය විසින්ද කොළඹ සිට පැමිණුන මැරයින්ද පහර දුන්හ.එම පහර දීමෙන් මහා සංඝ රත්නය ඇතුළු බොහෝ පිරිසකට තුවාල සිදු විය.සාමණේර හිමි නමකගෙන් පැහැර ගත් චීවරයකටද ගිනිතැබූ බව ආරංචි පැතිරුණි.මේ සිද්දිය සිදුවූයේ 2017 ජනවාර් හත් වනදාය. හරියටම වසර පණස් එකකට පෙරද එක්සත් ජාතික පක්ෂ රජය සංඝයා වහන්සේ පෙරටු කොට ගත් පෙළපාලියකට පහරදී සාමණේර හිමි නමක් ඝාතනය කළහ.එය සිදුවූයේ මෙලෙසය.
             අඩ සියවසකට එහා කාලයක සිට ජාතික නිදහස් සටන් වල යෙදී සිටි සිංහල ජනතාව  1956 දී මහජන එක්සත් පෙරමුණු රජයට ඓතිහාසික ජයග‍්‍රහණයක් අත් පත් කර දුන්නේ බණ්ඩාරනායක මහතා සිංහල ජාතික බලවේගයන්හි මතයට අවංකව ම ගරු කළ බැවින් යැයි කල්පනා කළ හැකිය. එහෙත්  1956 ජූලි 06 වන දා උත්තර මන්ත‍්‍රී මණ්ඩලයෙන් සම්මතව ක‍්‍රියාත්මක භාවයට පත් රාජ්‍ය භාෂා  පණත ට දෙමළ රාජ්‍ය පක්ෂය විසින් එල්ල කරන ලද බලවත් විරෝධතාවයන් ඔස්සේ බණ්ඩාරනායක මහතා සිය මුල් ස්ථාවරය දෙසට දෝලනය විය. දෙමළ බසට ද සාධාරණ තැනක් තිබිය යුතු බව ඔහුගේ මුල් මතය විය. ඒ අනුව චෙල්වනායගම් මහතා සමග ඇති කර ගත් ගිවිසුම 1957 ජූලි 26 වනදා  ප‍්‍රකාශයට පත් විය.
      අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගත් එක්සත් ජාතික පක්ෂය  මහජන එක්සත් පෙරමුණෙන් සිංහල ජාතික බලවේග ඈත් කර ලීමටත් සිය බල කඳවුර ශක්තිමත් කර ගැනීම සදහාත් නිමක් නැති උද්ඝෝෂණ මාලාවක නිරත විය. චෙල්වනායගම් ගේ පක්ෂය ශ‍්‍රී විරෝධී ව්‍යාපාරයක යෙදමින් ශ‍්‍රී අකුරේ තාර ගෑහ.   සත්‍යග‍්‍රහ කළහ. ජාතික බලවේගවල විරෝධතා නිසාවෙන් ගිවිසුම අහෝසි වුවද දෙමළ භාෂා විශේෂ විධි විධාන පණත 1958 සැප්තැමිබර් 04 වන දා නීතියක් බවට පත් විය. එසේම මේ පණත් වලට අදාලව උසාවි වල සිංහලෙන් නඩු ඇසීමේ පණත   1959 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. බණ්ඩාරනායක මහතා 1959 දී අවසන් ගමන් ගියේ මෙලෙස සිංහල ජාතික බලවේගයන්හි අභිප‍්‍රායයන් දුර්වල කරමිනි.
         පරිපාලනය සම්පූර්ණයෙන් සිංහලට හැරවීමේ  ක‍්‍රියා මාර්ගය 1961 ජනවාරි 02 වන දායින් ආරම්භ වූ අතර 1964 වන විට එය අවසන් කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ බලාපොරොත්තුව විය. නමුත් එවකට  ක‍්‍රියාත්මක වූ වෙළෙද පළ ධනේශ්වරය ඇති කළ අර්බුදය තුල සභාග රජය බිඳ වැටී 1965 දී එක්සත් ජාතික පක්ෂය පෙඩරල් පක්ෂය සමග එකඟතාවයකට පත්ව හත් හවුල්  ආණ්ඩුවක් ස්ථාපනය විය.         මෙයට පසුබිම සකස් වූයේ චෙල්වනායගම් මහතා 1961 සිට උතුරේ කළ ක‍්‍රියා වලියයි.උතුරු පළාත වෙන් කොට වෙනම රාජ්‍යයක් බිහි කරලීමේ (ඊශාන දිග ලංකාව) වුවමනාව මත ඔහු ක‍්‍රියා කළේය.  ඊළාම් උසාවි ඊළාම් තැපැල් කාර්යාල ඊළාම් බැංකු පිහිටුවන ලදහ. පුලිය පාදෙයි( කොටි මග) නමැති සන්නද්ධ කල්ලියක් ද  සූදානම් කෙරුණි. 1962 රාජ්‍ය විරෝධී කුමණ්ත‍්‍රණය අසාර්ථක වීමෙන් පසුව චෙල්වනායගම් මහතා ලන්ඩනයට ගොස් ජාත්‍යන්තර වශයෙන් දෙමළ ජාතිවාදය පෝෂණය නිරීමට උත්සාහ කළේය.
         1965 මාර්තු 24 ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම අනුව 1966 දෙමළ භාෂා විශේෂ විධි විධාන පණත  සකස් වුණි. එහි රෙගුලාසි අනුව සියලුම ව්‍යාපාරික ගනුදෙනු කිරීම සඳහාද උතුරු හා නැගෙනහිර පළාත් වල රජයේ නීති ගත සංස්ථාවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල හෝ පොදු වාර්තා පවත්වාගෙන යාම සඳහාද රජයේ නීති ගත සංස්ථා විසින් සහ ව්‍යස්ථාපිත ආයතනයන් විසින් සිංහල පළාත් වල නිකුත් කරණ සියලුම නිල ප‍්‍රකාශණ චක‍්‍ර ලේඛණ හා ආකෘති පත‍්‍ර දෙමළ භාෂාවෙන් ද නිකුත් කළ යුතු යයි නීති පැනවුණි. එසේම දෙමළ භාෂාව කථා කරන පුද්ගලයෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයක දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ලැබෙන අයුරු ද නීති පැනවුණි. මේ ක්‍රියාමාර්ග නිසා උතුර සහ නැගෙනහිර ජීවත් වන සිංහළයන්ට පවා උසාවි වල කටයුතු දෙමළ භාෂාවෙන් කිරීමට සිදුව ඇත.මේ තත්ත්වය තුළ සිංහලයේ රාජ්‍ය භාෂා බලය තව දුරටත් දුර්වල වූ අතර දෙමළ භාෂාවට ද රාජ්‍ය භාෂා තත්ත්වය ඇතිවිය . වඩාත්ම නරක තත්ත්වය වූයේ උතුර හා නැගෙනහිර පළාත් දෙමළ ප‍්‍රදේශ ලෙසට පිළි ගැනීමයි.

       මෙම භයානක තත්ත්වය වටහා ගත් දේශපේ‍්‍රමී ජනතාව 1956 ඓතිහාසික ජය ග‍්‍රහණයට මුල් වූ සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේග මුල් කොට ගෙන පණතට විරුද්ධව මහා පා ගමනක් සංවිධානය කළහ. ඩඩ්ලි සේනානායක මහතාට ඉදරිපත් කළ යුතු මහජන පෙත්සම සූදානම් කළහ.    පූජ්‍ය මොට්ටුන්නේ ශ‍්‍රීඉන්දසර නායක හිමි පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස නායක හිමි ආදී මහා සංඝ රත්නය  මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළහ. නමුත් පා ගමනට කොල්ලුපිටිය ඉක්මවා යා නොහැකි විය.බැරියර් යොදමින් ගාලු පාර වසා තිබුණි.පිරිස මාර්ග බාධක ඉදිරියේ මහපාරේ වාඩි වූහ.ඒ අතර කීප දෙනෙකුට පමණක් පාර්ලිමේන්තුවට යෑමට අවසර එනතෙක් බලාසිටියහ.හිටිහැටියේ කබල් වාහනයක් පිරිස අතරින් ධාවනය විය. මේ නිසා පිරිස සීසී කඩ විය.ඒ ක්ෂණයකින්  ගුවනින් කඳුළු ගෑස් විෂ වායුව ඉසිමින් පා ගමන කඩාකප්පල් කළහ. පොලීසියේ බැටන් ප‍්‍රහාර  මධ්‍යයේ සෙනග සී සී කඩ විසිර ගියහ. ආණ්ඩුවේ මැරයන් පෙළපාලිය මැදට පැමිණ පහර දුන්හ.අනතුරුව භික්ෂූන් වහණ්සේලාට ද සාමකාමී මහජනතාවට  පොලීසිය වෙඩිතැබීමට පටන් ගත්හ. මොට්ටුන්නේ ඉන්දසර නා හිමියන් මේ බිහිසුණ අවස්ථාව ගැන ප‍්‍රකාශ කරන්නේ මෙසේය.

      ‘පොදු යහපත උදෙසා ඉදිරිපත් වූ අහිංසක පිරිසක් වෙඩි පහරවලට නිරපරාදේ ගොදුරුවන දුටු මට මා පමණක් දිවි ගලවා ගැනීම මනුෂ්‍යයන්හට නොහොබනා දෙයක් ලෙස හැගුණු නිසා කොහේවත් නොගොස් පාරේම රැදී සිටියා. මාත් මරලා දැම්මාවේ යයි සිතා කඳුලු පිරි දෙනෙතින් වරින් වර යුද පිටිය දෙස බලමින් සිටින අතර කව්දෝ දෙදෙනෙක් දුව ඇවිත් පාරෙන් බටහිර පැත්තේ පාරේ සිට  යාර විසි පහක් හෝ තිහක් පමණ ඈතින් පිහිටි ගොඩනැගිල්ලකට මාව ඔසවා ගෙන ගොස් තැබීය. එහි සිටියේ මගේ ගෝලයෙක් වන සාරානන්ද නමත් වෙඩි වැදී මිය ගිය දම්බරාවේ රතනසාර කුඩා නමත් පමණි. පිරිස අවුත් රැස්වීමෙන් ඉස්තෝප්පුවත් කන්තෝරු කාමරයත් පිරී ගියේය. එවිටම හත් අට දෙනෙකුගෙන් යුක්ත පොලිස් පිරිසක් මාරයින් මෙන් පාරෙන් හැරී අප දිහාවට තුවක්කු මානාගෙන වෙඩි තබමින් දුවගෙනආවෝය.මේ වෙඩි ප‍්‍රහාරය නිසා මට දකුණු පසින් සිටි රතනසාර කුඩා නම වෙඩි උණ්ඩයක් වැදී මැරී වැටුණේය.මේ සිද්දියේ දී පිලිස්සුම් තුවාල ලත් මීරුප්පේ ආනන්ද හිමියන් සිය අත්දැකීම් විස්තර කරන්නේ මෙසේය.

      සටන පටන් ගත් තැනම වාගේ සිටි මටද නොසිතූතරම් ඉක්මනට හැඩිදෙමළ පොලිස් රාළහාමි කෙනෙකුගේ පාපහරක් එල්ල විය.එම පහර කාගෙන බඹ දෙකක්වත් යන්නට නොලැබිණ.දුවමින් සිටි කෙනෙකුගේ ඇඟේ හැපී මා බිම ඇද වැටින.එසේ වැටුණු මාගේ ඇඟ උඩ තව හත් අට දෙනෙක් පමණ පෙරලුන බව දරන්නට වූ බරින් ම තේරුනි.මා දඟ ලන්නට උත්සාහ කළද ඉන් පලක් නොවීය.මේ අයුරින් විනාඩි දෙක තුනක් ගත වූවාට පසු මට මහත් දාහ ගතියක් සමග ඇවිලෙන ගින්නක ලකුණු දැනෙන්නට විය. ඒ තමා එක පොදියට වැටී සිටි අපට එල්ල වූ විෂ වායු වෙඩිල්ලක් පත්තු වී මේ ප්‍රතිඵලය.ක්‍රමයෙන් ඇඟ මා ඇඟ උඩ වැටී සිටි පිරිස නැගිට දුවන්නට විය. ඒ වන විට මගේ කකුල් දෙක අතරට වැටුනු විෂවායු වෙඩිල්ලක් පැට්රල් ලාම්පුවක් මැන්ටලයට ගිනි ඇවිලෙන විට ඇතිවන ශබ්දයට සමාන ශබ්දයක් දෙමින් මගේ සිවුරු වලට ඇවිලී අවසානය.මේ හේතුවෙන් මගේ පපුවෙහිද පිලිස්සුම් තුවාල කීපයක් ඇති විය.
        ආනන්ද හිමියන් පසුව කීප දෙනෙකු විසින් ඔසවා  ගනු ලැබ අසල නිවසකට ගෙනයනු ලැබිණ. නමුත් එතනටත් කඩා වැදුණු පොලිසිය උන්වහන්සේට කරන ප්‍රථමාධාර වලට බාධා කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ තුවාල කරුවන් වසන් කර රොහල් ගත කිරීමටයි.නමුත් එහි සිටි පිරිස  වහා වෙනත් ස්ථානයකට උන්වහන්සේ රැගෙන ගොස් ප්‍රථමාධාර පහසුව සැලසූහ. අනතුරුව එම ස්ථානයට පැමිණි ස්ටැන්ලි තිලකරත්න මෛත්‍රීපාල සේනානායක සහ ප්‍රින්ස් ගුණසේකර යන මහත්වරන් විසින් මීරුප්පේ ආනන්ද හිමියන් රෝහල් ගත කරන ලදහ.
          දම්බරාවේ රතනසාර කුඩා හිමියන් ඝාතනය කිරීමෙන් නොනැවතුණු එක්සත් ජාතික පක්ෂය භාෂා පණත පාර්ලිමෙන්තුවේදී සම්මත කළහ.එය බෙදුම්වාදයේ තවත් අවස්ථාවකි. ඉන්දියාවට යන්නට සිටි දෙමළ වතු කම්කරුවන් නවත්වාගෙන පුරවැසි කම් ලබා දුන්හ. අවසානයේ මේ විරෙධාතාවන් මධ්‍ය යේ 1970 දී ආණ්ඩුව පරාජය කොට සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධනත්වයෙන් නව රජයක් පිහිටුවද බෙදුම්වාදයේ අරමුණු පරාජය කරන්නට හැකි නොවුණි.වරින් වර එය මතුවෙයි.වත්මනෙහිද එය නැවත නව ප්‍ර වේශයකින් මතු වී තිබේ.පසුගිය අත්දැකීම් වලින් මේ ප්‍රශ්ණය තෝරා බේරා ගැනීම වත්මන් ජාතික ව්‍යාපාරයේ වගකීමයි. එසේ නැතහොත් සිදු වන්නේ ආණ්ඩු පෙරළියකින් නව රජයක් බිහිවීම පමණකි. එය මේ රටේ බහුතර සිංහල ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නක් බවට පත් වන්නේ නැත.
        
    

Tuesday, January 10, 2017

ගොවිතැනෙහි පාරම්පරික දැනුම සහ භාවිතය


                    යම් පරිසර පද්ධතියක් සොබාදහම තුළ පවතින්නේ එයට අනන්‍යවූ සාධකයන් ගෙන් සමන්විතය. ජල සම්පත ගොවිතැනට අවශ්‍ය  බීජ ඖෂධ වැනි ස්වභාවික සම්පත් ගොඩනැගෙන්නේ මේ පරිසර පද්ධතියට සාපේක්ෂකවය. එසේම මිනිස් පරිහරණය සිදු වීමෙන් පසුව වාරිමාර්ග හා වැව් ඉඳිකිරිම් ආදියද එම පද්ධතියට එකතු වේ. මේ එකතු වීම් වඩා සාධාරණව සිද්ධවීමට නම් එම පරිසර පද්ධතිය පිළිබඳව දැනුම මිනිස් ප්‍රජාවට තිබිය යුතුය. පරම්පරාවෙන් පරම්පරාවට පැවත පැමිණ තිබෙන්නේ මේ දැනුම සම්භාරය යයි සිතමි. මේ දැනුම අභාවයට යාම සහ නොසලකා හැරීම තුළින් පරිසර පද්ධතියට අලුතින් එකතු කෙරෙන දේ ප්‍රතික්ෂේප . එසේම එකතු කරනදේ වඩා ප්‍රබල නම් පරිසර පද්ධතිය අර්බුදයට පත් වේ.පසුගිය සියවසක කාලය තුළදී පාරම්පරික දැනුම ක්‍රමයෙන් යටපත්වෙමින් පැවතුණි.එය ගැටළුවක් ලෙසට ඉදිරියට පැමිණ ඇත්තේ නූතන සංවර්ධන ව්‍යාපෘති වලින් ලැබෙන ප්‍රතිඵල විනාශකාරී මට්ටමකට පැමිණ තිබෙන බැවිනිග
       දේශීය ගොවිතැන නොහොත් සිංහල ගොවිතැන පිළිබඳ පාරම්පරික දැනුම සහ භාවිතය මෙලෙස වර්ග කළ හැකිය.
            1-සොබාදහම වටහා ගැනීම
            2-ජලය සහ තෙතමනය
            3- සාමූහික බැඳීම
            4- අත් හැරීම
            5- සංස්කෘතික පරිසරය
            6- බීජ සංරක්ෂණය
            7-  කෙම්පහන්
            8 - ජ්‍යෙතිෂය
            9 -නිවරදි පරිභෝජනය
සොබාදහම වටහා ගැනීමේ දැනුම -
            මැදින් මස අමාවක දිනයෙන් චන්ද්‍ර මාස අවුරුද්ද ආරම්භ වේ. මෙම මස බක් මාසය ලෙසට ව්‍යවහාරයේ පවතී. මැදින් මස මාසේ පොහොය පසුවී දස දිනක් ඉක්ම ගිය කල්හි උදාවන එකොළොස්වක දිනයේදී අහසේ මේඝ ඝර්ජනා ඇති වී වැසි ඇති වන්නට පටන් ගනී .යල් කන්නය එලෙස ආරම්භ වේ.නිකිණි මාසයේ පසලොස්වක ගෙවී උදාවන ජලවක දිනයේදී අහසේ මේඝ ඝර්ජනා ඇති වී  නිකිණි පාළු වැස්ස ආරම්භ වේ. එයින් සනිටුහන් වන්නේ මාස් කන්නයයි. පෙර මහ, මහ සහ මාස්පස්ස යනුවෙන් මාස් කන්නය කොටස් තුනකට වෙන් වේ. හේන් ගොවිතැන පටන් ගැනෙන්නේ පෙරමහ අක් වැස්සත් සමගය.
ජලය සහ තෙතමනය පිළිබඳ දැනුම -ලංකාවේ කඳුකරය සහ ඒ මත පතිත වන වර්ෂාව වැව් නිර්මාණයට බෙහෙවින්ම ඉවහල් වී තිබේග මධ්‍යම කඳුකරයේ සිට විහිද යන කඳු වැටි පන්තිය ක්‍රමානුකූලව ලංකාවේ ඊශාන දෙසට පහත් වී යයිග වයඹ ප්‍රදේශයේ වුවද අක්‍රමවත් ලෙසට කඳු පන්ති ස්‌වල්පයක්‌ පිහිටා ඇත.
            මේ නිසා කඳුකරයේ සිට ගලා බසින මහා දිය දහරාවලින් ලංකාවේ පහත් තැනිතලා නිරන්තරයෙන්ම පෝෂණය වේග එසේම මේ දිය කඳුරු පොළව යටින් ගමන් කරමින් උතුරු දිග තැනිතලාවේ දිය බුබුල් රාශියක්‌ ඇති කර ඇත. ගොවිතැනට වෙසෙසින්ම වී ගොවිතැනට වඩාත් උචිත භූමි ලෙස මෙම තැනිතලා ප්‍රදේශ හඳුනා ගෙන තිබුණි. ඒ නිසා වැව පළමුවෙන් නිර්මාණය වූයේ දිය බුබුල් හා කඳුරු ආශ්‍රිතවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුංචුට්ටු කෝරළයේ පිහිටි දිය උල්පත් රාශිය මෙයට උදාහරණයකි.
කෙම් පහන් සහ සංහිඳියාව -
            1 /කෙත ආරෝපණය කිරිම
            * දෙවියන් බුදුන් වැඳීම
            * අතු සිටවීම
            * දෙවොල් මඩු සහ අලූත් සහල් මංගල්ලය
            2/ වගා නඩත්තුව සහ කෙම්පහන්
            * ඉස්නන් බැදීම
            * අළු සාත්තුව
            * පහන් දැල්වීම
            * ශබ්ද  පූජා
            * කිරි කෙම
            කෙම් පහන් කරන්නෙ බැරිම තැනකයි. මොකද මැස්සෙක් කීඩෑවෙන් වුණත් මරණයට පත් වුණොත් පාපය එමටයි. ඒ නිසා තමයි ඉස්සෙල්ලාම කුඹුරට බිත්තර වඩවනකොට නියඳ පැළයක් හබරල පැළයක් කහ පඳුරක් එහෙම නියරෙ හිටවලා නමෝ විත්තියෙන් බුද්ධ භෝගය වඩවන්නෙග කලින් දා  ඉඳල සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවෙන් පිරිත් කලා තිබෙන බිත්තර ගෙඩි ටිකට ආරක්ෂාවයි වුණත් තවත් පරස්සම් වෙන්න තියනව. වපුරල අහක් වෙලා කෙත වටේම කැප්පෙට්ටිය අතු සිටවන්නෙ ඒ නිසයි. වටේ පිටේ ගම්බාර ඇත්තන්ගෙ ආරක්ෂාව ලැබෙන්නට කියල තමයි එහෙම කරන්නෙ. එහෙම වුනාම ගොයම් කපන කාලෙ දක්වාම කෙතට ආරක්ෂාව ලැබෙනව. සිංහල ගැමියාගෙ කෙත හරි අපූරු තැනක්.රටේ සැම තැනකම එක් විදියට මේ ගොවිතැන නොකරුණත් පොදුවේ එහි සිදු කරනු ලබන චාරිත්‍ර ධර්මයන්හි සමතාවයක් තිබෙන බව පැහැදිලි. ගම් වැව් කොටු වල දක්නට තිබූ කුරුළු පාළුව මෙහිදී වෙසෙසින්ම මතක් කරන්නට පිළිවන්. පෝල්ඊපීරිස් මහතාගේ සිංහල සමාජ සංවිධානය කියන ග්‍රන්ථයේ මෙවැනි කෙතක සටහනක් පළ කොට තිබෙන.වැවට යාවෙන හරියේ ඉහළ බාගෙ සහ පහළ බාග කියල කොටස් දෙකයි. ඉහල ඇළ පත ගම්වසම ඇලපත් පංගුව වශයෙන් ඉහත්තාවෙ ලියදි නම් කරල තියෙන අතර පහළ ඇළපත් වශයෙන් පහළින් නම් කල ලියද්දකුත් තිබෙනව. මේ කොටස් වලට ඉස්සරින්ම තියෙන්නේ කුරුලු පාළුවයි. පහළින්ම තියෙන්නේත් කුරුළු පාළුවයි. ඒ චාර්ත්‍රධර්මයෙන් අත් හැරීම ප්‍රකාශ වෙ.තමන් ලබා ගන්න අස් වැන්න සිංහල බෞද්ධයන් පළමු වරට අත්හරින්නේ  එහෙමයි.
බීජ සංරක්ෂණය පිළීබඳ දැනුම -
            ආහාරමය ගුණාංග සහිත වී වර්ග
            ඖෂධීය ගුණාංග සහිත වර්ග
            1/ අකුරම්බඩ වියේ රස දැන ගල්ලා -කුකුළම්පළපිරිමිගස්හැරනොබදිල්ලා
               විපරම්කරල කවි සීපද  කියපල්ලා -      කුකුළම්පළ පිරිමි   ගෑනිට වැඳ පල්ලා
            2/   ගස් රුක්අත්තන අර ගෙන එදිනේ -     වැල් රුක් අත්තන සමකර සොඳිනේ
               සියඹල කොළ පොතු යුෂ මුසු කරනේ -    පොළොන් විෂට හීනටි කැඳ දෙමිනේ
            ගොවිතැනේ වර්ධනය හා රඳා පැවැත්ම තිබෙන්නේ හොඳින් සකස් කරන ලද බීජ මතයි. එම නිසා මෙම ගොවීහු බීජ කල් තබා ගැනීම උදෙසා පාරම්පරික ක්‍රම රාශියක් භාවිතා කර ඇත.
            වෙල්මුඩ හෝ කොහොඹ කොළ මිශ්‍ර කර තැබීම. වේලාගත් දෙහි කොළ හා මැල්ල කොළකලවම් කර බටපොතු පෙට්ටියක බීජ අසුරා තැබීමගඑම බට පොතු පෙට්ටියේ අඩියේ අමුගොම හුඹස්මැටි අනා ගෑම.   කුරුඳු ගම්මිරිස් කොළ සමග එක්කර අසුරා තැබීම .කුරුඳු කරාබු නැටිකොළ කොහොඹ කොළ වියළා බීජ කලවම් කර තබා ගැනීම .වී අව්වේ වියලා දුම්වදින ස්ථානයක තැබීම .
 ගොවිතැන සහ ජ්‍යෙතිෂය -
            පනවා කණු පිට පඹයෝ සදතී - බලවා ජප කර වැලි ගෙන ඉසිතී
           එළවා මැස්සන් පිළවුන් හරිතී - ගලවා ගෙන ගොයියෝ වෙල රකිතී
            සිටුවා තැන තැන දිය බැඳ බලතී  - දුටුවා පීදුණු කරලූත්      උපතී
           යෙදුවා කරණය නැකතුත්  උපතී - සිටුවා කුඹුරට කෙන් කරලා යති
            සඳුදා විසේනිය උත්තර           පුටුපේයා-   කටක ලග්න ගනු දෑමුණු   දෙපෑලයා
            කුජ දින පුෂ මීන එකොළාස්වක ගෙනේයා -දෑමුණු පස් කුරිණි ගන්නට වැඬේයා



Tuesday, January 3, 2017

ව්‍යවස්ථා දංගෙඩියට යන පවුකාරයා කවුරුද

                                      

            නව ව්‍යවස්ථා සම්පාදනය තුළින් ලංකාව කෑලි නවයකට කැඩීමට තිබෙන ඉඩකඩ විශාලය.වාර්ගික වශයෙන් මෙලෙස බලය බෙදීම යනු රට අස්ථාවරත්වයට පත් වීමයි. මෙම ප්‍රතිසංස්කරණ දේශපාලනඥයන්ගේ මනෝ විකාරයන් බවට තිබෙන නිදසුන් බොහෝය. විග්නේශවරන් සම්බන්ධන් වේවා. රනිල් වික්‍රමසිංහ මෛත්‍රී පාල සිරිසේන වේවා ඔවුනට තිබෙන වුවමනාව සාමාන්‍ය ජනතාවට නොමැති බව ඔප්පු වී ඇත. ලාල් විජේනායක වැන්නවුන් ද මේ ගණයට වැටේ.මේ එකිනෙකා ගැන අධ්‍යනයක් කළහොත් ඔවුන් දරණ මතාවාද සහ ගැට ගැසී තබෙන කඳවුරු අනුව  මේ මනෝවිකාරයන් පෙළ ගැසී එන අකාරය පෙන්වා දිය හැකිය.
           2017 වර්ෂය තුළ මෙම නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට එ.ජා.ප ආණ්ඩුව සූදානම්ය.වත්මන් ජනාධිපතිවරයා අස්ගිරි මල්වතු මහා නාහිමි දෙපළ හමු වී කුමක් කිවූවද බලය බෙදීම නම් මනෝ විකාරයෙන් අගමැතිවරයා පෙලෙන බැවින් නව ව්‍යවස්ථාව තුළ බෙදුම්වාදී ලක්ෂණ අන්තර්ගතවීම වැලැක්විය නොහැකිය.ඇතැම් විට  සිංහල ජනතාව සහ දෙමළ ජනතාව අතර හෝ මුස්ලිම් ජනතාව අතර ගැටුම් අවුළුවා ව්‍යවස්ථාවට අවශ්‍ය පසුබිම සාදා ගන්නට උතසාහ දරුන ඇත.නැවතත් විල්පත්තු වන විනාශය කරළියට ගෙන ඇත්තේ ඒ නිසාය. මෑතකදී හිස්බුල්ලා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය අනුවද පෙන්වා දිය හැක්කේ මෙවැනි ගැටුමකට ජනතාව තල්ලු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවයි.එසේම ජාතික ව්‍යාපාය අතරම යම් අසමගිකමක් ඇති කර ආණ්ඩු විරෝධය වෙනතක හැරවීමට ද ඉඩ ඇත. කුමක් සිදු වුවද අරමුණ නම් නව බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත ර ගැනීමයි. පාර්ලිමේනුතවේ සිටින මන්ත්‍රී වරුන් මේ ව්‍යවස්ථාවට අත උස්සන්නේ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර වඩා වැදගත් වන බැවිනි. මුදුලට හෝ බෙදුම්වාදී මිත්‍ර කම් හෝ නිසා ව්‍යවස්ථාව කෙරෙහි විරෝධයක් නොදක්වාම මග හැර යෑමටද ඉඩක් ඇත.
        ඉන්දියාවේ ශිව සංකර් මෙනන් මෑතකදී කල හෙළිදරව්ව මේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට ඉතා වැදගත්ය. ප්‍රභාකරන් බේරා ගැනීමට ඇමරිකාව සහ නෝර්වේ රාජ්‍යය මැදිහත් වූ ආකාරය සහ ඉන්දියාව ඊට විරුද්ද වීම මගින් තේරුම් කර ගත හැක්කේ කුමක්ද . කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමට ඉන්දීය භූමිය යොදා ගැනීම යනු ලංකාවට බලාපෑම් කිරීමේ එක් ක්‍රමයකි. ලංකා රජයට විරුද්ධව කොටි උසි ගන්වා රටේ දේශපාලන අස්ථාවරත්වය ඇති කිරීම ගැන ඉන්දීය රජය වග කිව යුතුය. පසුව ප්‍රභාකරන් ගේ සගයන් අතින් රජීව් ගාන්ධි මහතා ඝාතනය වූ කල්හි ඔවුන්ගේ දේශපාලන න්‍යායාචාර්ය වරුන්ට තරු පෙනිණ.අවසාන වශයෙන් ප්‍රභා බේරා ගැනීමට ඉන්දියාව විරුද්ධ වූයේ මේනිසාය. මහින්ද රාජපක්ෂ මහතා මෙය නිසැකවම දැන සිටින්නට ඇත. ඔහු සිය හමුදාව ට අවශ්‍ය ශක්තිය දී යුද්ධය අවසන් කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තේය. නමුත් යුද්ධයෙන් පසුව ඇතිවූ සාම කාලයේදී ඔහු ඉන්දීය උගුලේ හිර වූයේ යුද්ධයෙන් පසුව ඔහුට ජාතික ඉලක්කයක් නොතිබුණු බැවිනි. රට තුල ඇතිවූ භෞතික දියුණුව යනු බටහිරයන්ට අවශ්‍ය වූ යටිතල පහසුකම් මිසක සැබෑ සංවර්ධන ප්‍ර වේශයක් නොවීය. රට තුල කර්මාන්ත ඇති කිරීම නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා සර්ව ජනතා සාභාගිත්වයක් අපේක්ෂා කරනු වෙනුවට රටේ සාරය උරාබොන බහුජාතික සමාගම් සමග හුදකලා ආර්ථික සංග්‍රාමයක් ඇරඹීම ඛෙදවාචකයක් වට පත් විය. නිදසුනක් වශයෙන් දැක්විය හැක්කේ දිවිනැගුම සඳහා භාවිතා කළ බහුජාතික සමාගම් ප්‍රවේශයයි.එදා සැබෑ නිෂ්පාදන තත්ත්වයක් රට තුල නිර්මාණය වූවානම් අද පවතින ආරථික අපහසුකම් මතු වන්නේ නැත.
        නව ව්‍යවස්ථාව ඉදිරියට එන්නේ රටේ දුර්වලතාවයන් මතය.රටේ වත්මන් නායකයන් ගේ විදෙස් ගැති ස්වාභාවය මීට මූලික හේතුවයි. ඉන්දියාව යළිත් සිය දේශපාලන ආධිපත්‍ය පතුරුවමින් ඉක්ටා වැනි ගිවිසුම් මගින් ඉන්දීය ආර්ථික ග්‍රහණයට ලංකාව නතු කරගනිමින් සිටී. මේ සඳහා ඉන්දියාවෙන් කප්පම් ලබන්නේ දේශපාලනඤයන් පමණක් නොවේ. ඉහල ආර්ථික සැලැසුම් කරුවන් ද රට පාවා දීමට කැප වී සිටිති.මෙම ජනාවාරි මාසයේ  නව ව්‍යවස්ථාව නාමයෙන් කමිටු වාර්තා හය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනු ඇත.කමිටු වාර්තා පදනම් කොට ගත් ව්‍යවස්ථා කෙටුම්පත ඉදරිපත් නොකොට මෙලෙස නිර්දේශ පමණක් පාර්ලිමේන්තු විවාදයටගන්නේ ඇයි.එයට හේතු කීපයක් තිබෙනු ඇත. එකක් නම් ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා උගුලට අසු කර ගැනීමයි. දෙවැන්න නම් රටේ දැනට පවතින විරෝධය දිය කර හැරීමට කාලය ගැනීමයි.පාක්‍යසෝති සරවනමුත්තු මහාතාගේ මූලිකත්වයෙන් සංහිඳියා කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාවද මේ මුල් මාසයේ එළියට පැමිණීමට නියමිතව ඇත. බහුතර සිංහල ජනතාවගේ සාභාගීත්වයක් නොමැතිව සකස් කරන ලද එම වාර්තාව තුළ සැබවින්ම බෙදුම්වාදී වුවමනාවන් වර්තා ගත වනු නිසැකය. එමෙන්ම  යුද්ධ සමයේ සිදුවූ ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳව ව්‍යාජ වාර්තාවක් බවටද එය පත්විය හැකිය.කෙසේ වෙතත් වත්මන් රජයට නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරලීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ එයින් විය හැකිය. එයට හිමිවන ජගත් ප්‍රසාදය මත ලංකාවට බටහිර අතපෙවීම් සිදු විය හැකිය.
     අගමැති වරයා ගේ බලය බෙදීමේ මනෝවිකාරය සාර්ථක කරගැනීමට වත්මන් ජනාධිපතිවරයාගෙන්ද සහාය ලැබේ.මනෝහර ද සිල්වා මහතා සරත් වීරසේකර මහතා වැනි අය ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී එය ප්‍රකට විය. රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජන්ම පත්‍රය අනුව එළඹෙන මාර්තු මාසයත් සමගින් ඔහුගේ දේශපාලන ගමන ප්‍රබල වනු ඇත. ව්‍යවස්ථා කෙටුම්පත සඟවාගෙන ඔහු කල්මරන අනික් කාරණය එයයි.මේ ගැන ඉවක් හෝ ඒකාබද්ධ විපක්ෂයට ඇතැයි මම නොසිතමි.ඔවුන් ගේ අරමුණ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අගමැති කම් ලබා ගැනීමයි.පළාත් වශයෙන් බෙදා ජණාධිපතිවරයාගේ විධායක බලය හීන කල රටක අගමැති කම් දැරීමට මේ විපක්ෂයටද හිත හදා ගැනීමට සිදු වනු ඇත. එයට හේතුව ඔවුන් තුළද මේ බෙදුම්වාදයට තිබෙන සැබෑ ලෙන්ගතු කමයි. සිංහලයන් මේ රටේ ප්‍රමුඛ පිරිස බව ඔවුන්ද පිළි නොගන්නා බව ඇතැම් විට කළ ප්‍රකාශයන් ගෙන් පැහැදිලිය.එම තත්ත්වය තුළ අගමැතිවරයාගේ මනෝවිකාරය සාර්ථක කොට ගෙන ඔහු බලයෙන් පහකොට ඒකාබද්ධ විපක්ෂයට රටේ බලය ලබා දීමට බටහිරයන් උත්සාහ කරන්නේ නම් එයට තිබෙන ඉඩකඩද බොහෝය.ඒ බැව් අප කල්පනා නොකරන්නේ පක්ෂ දේශපාලනයෙන් මත් වූ සිතැත්තන් බැවිනි.


Tuesday, December 27, 2016

බුද්ධ ශාසන ඇමතිට න්‍යාය පත්‍රයක්

                                           

              යහපාලන රජයේ බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍ය ධූරය ලැබූ විජේදාස රාජපක්ෂ මහතා ලංකාව සිංහල රටක් යැයි නොපිළිගන්නෙකි.තම නිල රාජ කාරිය භාරගෙන දීර්ඝ නින්දකින් පසු අවදිව සිටින ඔහු දැන් භික්ෂූන් වහන්සේලා මුණ ගැසෙමින් බෞද්ධයාගේ ප්‍රශ්ණ විසඳන්නට සාකච්ඡා කරමින් සිටී.පසුගියදා පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමි ආදී මහා සංඝ රත්නය පෙරටු කොට ඔහු වත්මන් ජනාධිපතිවරයා හමු විය. එහිදී දැනට පුරා වස්තු වශයෙන් පවතින බෞද්ධ සිද්ධස්ථාන වලට අත්ව ඇති ඉරණම පිළිබද ගැඹුරින් සාකච්ඡා කර තිබේ.මෙම අවස්ථාවට පැමිණ සිටි පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා වෙත මේ  සියළු විනාශයන් ගැන වැරදි පටවා ඇති බවද අසන්නට ලැබිණ.
       පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යනු කාලයක සිට මානව සම්පත් හිඟයකින් පෙළෙන ආයතනයකි.පුරා විද්‍යා විෂය පිළිබඳ මනා පරිචයක් තිබෙන පළපුරුද්දක් තිබෙන විද්‍යාර්ථීන් බඳවා ගැනීමට එම දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ආයතනික චක්‍ර ලේඛන බාධාවක්ව පවතී. මේ නිසා කාලයක සිට ප්‍රාදේශීය අධ්‍යක්ෂ තනතුරු දරන්නේ අයතනයේ පැරණි නිළධාරීන්ය. පසුගිය රජය කාලයේ උපාධිධාරීන් බඳවා ගැනීම කරන ලද නමුත් ඔවුන් මෙම විෂය සඳහා නියමිත පළපුරුද්ද ලබා ගන්නට තවත් කාලයක් ගත වනු ඇත. ඉහළ නිලතල සඳහා අවශ්‍ය පිරිස බඳවා ගැනීමට කීප වරක්ම කැබිනට් අනුමැතිය ලබා ගන්නට උත්සාහ කළද එය සාර්ථක නුවූ බව අධ්‍යක්ෂක වරයා පවසයි. එසේම කාලයක් තිස්සේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දක්ෂ ඇමතිවරයෙකු යටතට පත් නොවීමෙන් මුදල් ප්‍රතිපාදන ලබා ගැන්මද හීන වෙමින් ඇත.මේ තත්ත්වය තුළ පුරා විද්‍යා දෙපාර්තමේන්තව වෙත පමණක් වරද පටවා අපට නිදහස් වීමට හැකියාවක් නැත. යහපාලන රජය යටතේ මෙම දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශය ට අයත්ය. අධ්‍යපනය වැනි පළල් විෂයක් සමග මෙය යෙදීමෙන් දෙපාර්තමේන්තුව අනාථ වී තිබේ.
        බුද්ධ ශාසන ඇමතිවරයා යම් තරමකින් හෝ මේ විෂයයන් ගැන සොයා බැලීම අප අගය කළ යුතුය. එහෙත් වර්තමානයේ ගෙනෙන්නට බලාපොරොත්තු වන නව ව්‍යවස්ථාවට  භික්ෂූන් වහන්සේලා ගේ  තිබෙන විරෝධය සමහන් කරන්නට ඔහු උත්සාහ ගන්නේ යැයි සාධාරණ සැකයක්  ද මතුව තිබේ. එම නිසා මේ අවස්ථාවේ  ඔහුගේ වෑයමට සාපේක්ෂව සමස්ත බෞද්ධ සමාජයම අවදියෙන් කටයුතු කළ යුතුය.ඒ සඳහා සිංහල බෞද්ධයන් ගේ ගැටළු විසඳිය යුත්තේ කෙලෙසකදැයි සඳහන් යෝජනාවලියක් හෝ වැඩසටහනක් ඉදිරිපත් කිරීම කාලෝචිතය.ප්‍රමුඛතාවය අනුව වසරක් තුළ මෙහි පහත සඳහන් කරුණු ඉටු කලහොත් ඔහුට අපගේ ප්‍රණාමය හිමිවෙයි. එසෙත් නැතිනම් නව ව්‍යවස්ථාව සඳහා භික්ෂූන් වහන්සේලාගේ විරෝධය ඉවත් කිරීමේ සැලසුමක් ලෙසට ඔහුගේ ක්‍රියාවලිය අප දකිමු.
විගසඉටුකළයුතුකාර්යයන්
 -
1 -
රජයේ සන්තකය ආපසු පවරා ගැනීම සඳහා බළන්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ දුන් නඩු තීන්දුව අනුව කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ තිබෙන ඉස්ලාම් යාඥා මඩුව ඉවත් කිරීම.මහාචාර්ය රාජ් සෝමදේව මහතා ගේ කල්තොට ගවේශණ වාර්තාව අනුව හඳුනා ගත් නව ප්‍ර දේශ කූරගල රක්ෂිතයට එක්කර ගැසට් කිරීම.
2 -
දෙවනගල විහාර භූමියේ ප්‍රේරණ කලාපයේ අටවා ඇති මුස්ලිම් ඉඳි කිරීම් ඉවත් කිරීම ආරම්භය.
3 -
පොතුවිල් මුහුදු මහා විහාරය සඳහා ගැසට් කර තිබෙන මුල් පුරා විද්‍යා රක්ෂිතය වටා මායිම් කණු සිටුවාකම්බිගැසීම.
4 -
එරාවුර් නව වෙළෙඳ පළ තුළ වෙළෙදාම් කරමින් සිටි සිංහලයන්ට නැවත එම ස්ථානයේ වෙළෙදාම් කිරීමට ඉඩ සැලසීම. එසේම එම වෙළෙඳ පළට විදුලිය ලබාදීම.
5 - 1971
සහ 1981 ජන සංගණන වාර්තා වල සඳහන් පරිදි උතුරෙන් සහ නැගෙනහිරෙන් පළවා හරිනු ලැබූ සිංහලයන් පදිංචි කිරිමට බුද්ධ ශාසන අමාත්‍යංශය යටතේ දෙපාර්තමේන්තුවක් පිහිටුවීම.
6 -
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුද්ධ ශාසන අමාත්‍යංශය යටතට ගැනීම.



දීර්ඝකාලීනවසිදුකලයුතුකාර්යයන්
  -
1 -
උතුර සහ නැගෙනහිර පළාත් වල සිංහලයන්ට අයිතිව තිබූ ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සාදා ඇති ස්ථාන හඳුනා ගෙන ඒවා නිරවුල් කොට සිංහලයන් ට පවරා දීම.
2 -
යුද්ධයෙන් පසු අවතැන්ව නැවත පදිංචි කරවන ලද සිංහලයන්ට චන්ද අයිතිය ලබා දීම.
3 -
උතුරු සහ නැගෙනහිර තිබෙන බෞද්ධ සිද්ධස්ථාන වල ආරක්ෂාවට ඒවා ආසන්නයේ සිංහල බෞද්ධ ගම්මානපිහිටුවීම.
4 -දීඝවාපී සිද්ධස්ථානය අසන්නයේ ඉඳිකළ ගම්මානය විවෘත කොට සිංහල බෞද්ධයන් ප දිංචි කිරිම.
5 -මාණික්කමඩු පුරාවිද්‍යා ස්ථානයේ රක්ෂිතයට අවශ්‍ය ප්‍රේරණ කලාපයක් නිර්ණය කොට එම ස්ථානයේ පදිංචිමුස්ලිම්ජනතාවඉවත්කිරීම..
6 -වවුනියාවේ කැලෑබෝගස් වැව ඇතුළු සිංහල ගම්මාන සඳහා නව ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයක් පිහිටුවීම.
6 - උතුරු සහ නැගෙනහිර පළාත් වල උසාවි වල නඩු වාර්තා පැමිණිලි පිටපත්සිංහලෙන් ලබා දීමට සිංහල නඩුකාරවරුන් සහ නිළධාරීන් පත් කිරීම සහ සිංහල ග්‍රාම නිළධාරීන් පත් කිරීම.
7 - උතුර සහ නැගෙනහිර තිබෙන සියළුම බෞද්ධ සිද්ධස්ථාන හඳුනා ගැනීම සහ ඒවා කැණීම් කර තහවුරුකරලීමටමුදල්වෙන්කිරීම.
8 - අන්තර් ජාල සිතියම් වල එම සිද්ධස්ථාන ලකුණු කිරීමට සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ දැන ගැනීමට යුනෙස්කෝවසමගවැඩසටහනක්ආරම්භකිරීම.
9- පසුගිය රජය අවදියේ යටගැසූ -අන්‍යාගම් පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
10 -සිංහල ජනතාවගේ කෘෂිකටයුතු වලදී සහාය දක්වන ගව සම්පත විනාශ කිරීමට එරෙහි නව නීති ඇති කිරීම.
11 - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වන වගන්තිය බලාත්මක කිරීම පිණිස අවශ්‍ය පණත් කෙටුම්පත් සකස් කිරීම.කතිකාවත් පණත් වැනි ශාසනය පාලනය කරන පණත් ඉවත් කර ගැනීම...




Thursday, December 22, 2016

නැගෙනහිර ඉඩම් කොල්ලයේ වට්ටමඩු නිදසුන

                               

               ලංකාවේ නැගෙනහිර දිග්භාගය අතීතයේදී හඳුන්වන ලද්දේ දිගාමඩුල්ල යනුවෙනි.අනුරාධපුරය ජය ගන්නට අවශ්‍ය ආහාර සපයන්නට සද්ධාතිස්ස කුමරු දිගා මඩුල්ලට එවූයේ දුර දක්නා නුවණැති කාවන්තිස්ස රජුය.මේ මහා කාර්යයේදී දීඝවාපී මහා චේතිය මුල් කර ගත් අවශේෂ ථූප සංස්කෘතියක් බිහි කරන්නට එතුමා සමත් විය. ඒ නිසාම දීඝවාපීය අවට පරිවාර චේතියන්  මෙන්ම ගව්වෙන් ගව්ව විහාරස්ථාන ද සෑම කුඹුරු යායක් මැදි කරගත් ස්ථූපයන්ද ගොඩනගන්ට හැකි විය. මාණික්ක මඩු වට්ටමඩු මොට්ටාගල ආදී දිගාමඩුල්ලේ  මහා භුමි අස්වද්දන්ට සිංහලයන්ට හැකි වූයේ  මේ ආරමයන්හි වැඩවාසය කළ භික්ෂුන් වහන්සේලාගේ මග පෙන්වීම නිසයි.
             වර්ෂ 1766 දී ලන්දේසීන් සමග ඇති කර ගත් ගිවිසුමක් මගින් නැගෙනහිර පළාත උතුරු පළාත ඇතුළු ලංකාවේ මුහුදු බඩ පළාත් වලින් ගව්වක පමණ දුර ප්‍රමාණයක් සිංහල රාජ්‍ය යෙන් බැහැර විය. ලන්දේසීන් ගෙන් පසු ඉංග්‍රීසීන් ගේ  ආධිපත්‍ය මත එම ප්‍ර දේශ වෙළෙදාමට පැමිණි මරක්කලයන්ට  අයත් විය. සිංහල ජනගහනය බෙහෙවින්ම තුනී විය.මුහුදු බඩ පළාත් වල සිටි වැද්දන්හට  පොලු මුගුරු වලින් තලමින් දෙමළ පාසල් වලට ගාල් කරනු ලැබූ බව ඒ වැදි පරපුරේ වත්මන් නායකයන් පවසති.මේ හේතුව මත වැදි පවුල් පන්දහසක් පමණ ද්‍රවිඩයන් බවට පත්ව ඇත. විසිවන සියවසේ මුල් භාගයේ සිට දකුණේ සිංහල ජනතාව නැවතත් මෙහි සංචාරය කරමින් වෙළ හෙල දාම් ද ධීවර කර්මාන්තයේද නිතර වීම නිසා ත්‍රිකුණාමලය මඩකලපුව වැනි පෙදෙස් වල නව සිංහල ජනාවාස බිහි විය. ගල්ඔය ජනපද ව්‍යාපරය නිසා මේ තත්ත්වය නැවතත් වැඩි දියුණු විය. පූජ්‍ය දඹගස්ආරේ මේධංකර ස්වාමීන් වහන්සේ වැනි යතිවරයන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසා වනවාසයට ගිය පුරාණ සිද්ධස්ථාන නැවත පිළිසකර වෙමින් නව පුනර්ජීවනයකට පත් විය.නමුත් අසූව දශකයේ දී ඇති වූ දෙමළ කෝලාහල නිසා සිංහලයන්ට තමන්ගේ ගම්බිම් දමා යන්නට සිදු විය. දේපළ ගිනි තැබීමෙන් ව්‍යාපාර අන්සතු වීමෙන් පසු සිංහල ජනතාව නැවතත් දකුණේ සහ තමන්කඩුවේ සිට ඥාතීන්ට එක් විය.
       නැගෙනහිර ඉඩම් කොල්ලය ආරම්භ වන්නේ මේ සිද්දිදාමයෙන් අනතුරුවයි. පසුගිය යුධ සමයේදී මෙම පළාත් වල පාලනය ගෙනගිය කොටි ත්‍රස්තයන්  බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන්නට උත්සුක නොවීය. ඔවුහු ඇතැම් විට මෙම සිද්ධස්ථාන මත සිය කෝවිල් ඉඳි කරගත්තද ඒවා විනාශ කිරීම සිදු නොකළහ. නමුත් මෙම ප්‍ර දේශ වල සිටි මරක්කලයන් සැම විටම උත්සාහ දරන ලද්දේ මේවා විනාශ කිරිමටයි. පෙර සඳහන් කළ පරිදි නැගෙනහිර පළාතේ සෑම බිම්කඩකම ස්ථූපයන් නොමැති තැනක් දකින්නට නැති තරම්ය. 2012 වර්ෂයේදී මොට්ටාගල දාගැබ සම්පූර්ණයෙන්ම ඩෝසර කොට කුඹුරු අස්වැද්දීමටත් තිරුකෝවිල් දාගැබ දෙපළු කර නිදන් ගැනීමටත් මේ පිරිසට හැකි විය. එසේම සිංහලයන් සතුව තිබුණු කුඹුරු ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සාදා මරක්කලයන් සතු කිරීම ජයටම සිදු වී ඇත.මේ එවැනි නිදසුනකි.
             එක ඉඩමක් මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තු මිරාවෝඩේහි පිහිටි පොරුක්කම් මුම්මාරි කුඹුරයි. එය අක්කර 51 යී  රූඩ් 03 පර්චර්ස් 5 ක් තිබෙන පුණ්‍යදාස සිල්වා මහතාට අයත්ව තිබූවක්. නමුත් කලබල සමයේ අවතැන් වීමෙන් පසු මේ ඉඩම මීරා ලෙබ්බේ ආදම්බාවා නම් මුසල්මානයෙක් බද්දට ගෙන පසුව ව්‍යාජ ඔප්පුවක් සකස් කර ගෙන ඇත. 2007 වර්ෂයේ සිට මෙම ඉඩමේ අයිතිය පිණිස වාලච්චේන උසාවියේ නඩුවත් ඇත. එහෙත් එය ඇහෙන්නේ දෙමළෙන්.රජයේ වග කිවයුත්තන්ට මේ බව දන්වා ඇති නමුදු විසඳුමක් අත් වී නොමැත.එසේම කූඨ ලේඛන සැදූ පුද්ගලයන්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයක්ද නැත.
           අනෙක් ඉඩම මඩකලපු දිස්ත්‍රික්කයේ කොරළේපත්තුවේ පාලක්කාට්ටුවෙට්ටෙයි තියාවට්ටන්හි අක්කර 05 ක කුඹුරකි. 1955 වර්ෂයේ දී මඩකලපු කච්චේරිය මගින් අංක 4028 අංකය යටතේ එම්.බී.නිමල් සිල්වා මහතාට මෙම කුඹුර සඳහා බලපත්‍රයක් නිකුත් කර ඇති අතර ත්‍රස්ත කලබල වලින් පසුව අවතැන් වීම නිසා මේ ඉඩම අස්වැද්දීම තාවකාලිකව නතර කර තිබුණි. ඒ අතර 2008 වර්ෂයේ දී අහමදු ලෙබ්බේ හප්සා¸ මුහමදු අසනාර්¸ මුහමදු වසීම් සදක්කු ලෙබ්බේ¸ මුහමදු අහමදු අසනාර් සහ මුහමදු අසනාර් ෆාතුම්මා යන මුසල්මානුවන්ට යථොක්ත ඉඩම බලපත්‍රකින් යළි පවරා තිබේ.  මේ පුද්ගලයන්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට කටයුතු කල යුතු බවට පළාත් ඉඩම් කොමසාරිස් සිරිමෙවන් ධර්මසේන මහතා විසින්  ප්‍රාදේශීය ලේකම් වරයාට දන්වා ඇති නමුත්  එය මෙතෙක් සිදුවූ බවක් දැන ගන්නට නැත.
       නැගෙනහිර ඉඩම් කොල්ලයේ අළුත්ම නිදසුන නම් හිරු කෝවිල් පෙදෙසට අයත් වට්ටමඩු වැවට ආසන්න බක්මිටියාව තිඹිරි ගොල්ල රක්ෂිතයේ අක්කර 4000 ක් පමණ භූමි ය මරක්කලයන් අතින් විනාශයට පත් වීමයි. වට්ටමඩු තණ භූමිය  1976-09-17 අංක 231ගැසට් පත්‍රය මගින් දී රක්ෂිත තෘණ භූමියක් ලෙසට ප්‍රකශයට පත්ව තිබෙන්නකි. ඉන්පසු 2010-10-01 දරණ ගැසට් ත්‍රය මගින් මෙම තෘණ භූමියත් බක්මිටියාව තිඹිර ගොල්ල වනයත් රක්ෂිතයක් ලෙසට යලි ප්‍රකාශයට පත් කර තිබේ.රූපස් කුලම වම්මිඅඩිය සාගම වැව ආදියට මායිම්ව පැවතෙන මේ භූමිය තුළ නිදැල්ලේ හැසිරෙන ගවයන් තණ උලා කෑමෙන් ජීවත්ව වෙයි. නමුත් ත්‍රස්ත කලබල සමයේ මේ පෙදෙස නැවතත් ජනශූන්‍ය භාවයට පත් වී තිබේ.  යුද්ධය අවසන් වූවායින් පසුව මෙම තෘණ භූමියට පත් මරක්කල ජනතාව එහි වගා කිරීම ආරම්භ කර තිබේ.වගා කරනු වස් බලපත්‍ර 224 නිකුත් කර ඇති බව ගොවීන් පවසති. නමුත් අම්පාර දිසාපති තුසිත වනිගසිංහ මහතා සමග ඔවුන් කළ සාකච්ඡාවේ දී මේ බලපත්‍ර සියල්ල කූට ලේඛන බවට ඔප්පුවිය. ඒ බැව් 2015-07-14 දාතමින් නැගෙනහිර ආණ්ඩුකාර ලේකම්ට  යැවූ ලිපියෙන් සනාථ වෙයි. එහි මෙසේ සඳහන්ය.

         නීතිපති විසින් ගොවීන් වෙත විකල්ප ඉඩම් ලබා දීමේ හැකියාවක් තිබේද යන කාරණය නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් සමග සාකච්ඡා කර දැනුම් දෙන ලෙස මාවෙත දන්වා ඇති නමුත් මෙම ගොවීන් සතුව නීත්‍යානුකූ බලපත්‍ර නොමැති බැවිනුත් විකල්ප ඉඩම් ලෙස ලබා දීමට සුදුසු ඉඩම් ප්‍ර දෙශයේ නොමැති බැවිනුත් ගොවීන්ට ඉඩම් ලබාදිය නොහැකි බව දන්වා යවන ලදී.. මේ අතර ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් මේ අනවසර වගා භූමි සංවර්ධනය කිරීම වෙනුවෙන් මුදල් ප්‍රතිපාදනයන්ද වෙන් කර ඇත. එහිදී තහවුරු වන්නේ නැගෙනහිර පළාතේ රාජ්‍ය ආයතන තුළ අන්තර් සම්බන්ධීකරණයක් නොමැති ආකාරයයි.දිසාපතිතුමා විසින් මෙම ගැටළුව නිතරම ඉස්මතු කරන්නේ ජාතිවාදී  ප්‍ර වේශයකිනි. ඒ බැව් ඔහු ගේ ලිපියෙන් මෙසේ සනාථ වෙයි.

     ඉහත සඳහන් පරිදි මේ වන විටත් අභියාචනාධිකරණයේ වට්ටමඩු තෘණ භූමිය පිළිබඳ නඩුවක් විභාග වුවද වී ගොවීන් විසින් සංවිධානාත්මකව වට්ටමඩු තෘණ භූමිය හා එය පිහිටා ඇති බක්මිටියාව කිඹිරිගොල්ල රක්ෂිතය හෙළි පෙහෙළි කකිරීම නිරන්තරයෙන් සිදු කරයි. මේ තුලින් ජාතින් දෙකක් අතර ඇතිවීමට ඉඩ ඇති අරගලය වළක්වාලීමට බක්මිටියාව තිඹිරි ගොල්ල රක්ෂිතය ආරක්ෂා කිරීමටත් දිශා වන නිළධාරි ප්‍රදේශීය ලේකම් එක්ව ක්‍රියා කරනු ලැබේ.
       එහෙත් 2015 මාස් කන්නයේද 2016 මාස් කන්නයේද ගොවීහු  යන්ත්‍ර සූත්‍ර දමමින් මහා පරිමාණයෙන් මෙම තෘණ භූමිය අස්වද්දන්ට කටයුතු කරද්දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලැබූහ. පසුව උතුරු නැගෙනහිර සිංහල සංවිධානයේ ලේකම් පූජ්‍ය සේනාපතියේ ආනන්ද හිමි යන්ගේ මැදිහත් වීමෙන් පසුගියදා මෙම අනවසර එළිකිරීම් නවත්වන්නට රාජ්‍ය ආයතන මැදිහත් විය.මෙම ප්‍ර දේශයේ කිරිගවපට්ටි කරුවන්ගේ ලේකම් එස්.පුෂ්පරාසා මහතා පවසන පරදි මෙම අනවසර ගොවීන් විසින් මෙම භූමිය ආක්‍රමණය කිරීමේදී පැරණි පුරා වස්තූන්ද ඩෝසර කිරීම සිරිතක් කර ගෙන ඇති බව අනාවරණය විය. කුකුළුව කන්ද පාමුළ පිහිටි පිළිම ගෙයක නටබුන් මත ඔවුන්ගේ පල්ලියක්ද ඉඳි කර ඇති බවද දැක ගන්නට හැකි විය. පුරණා ගල් කණු මත කොළපාට තීන්ත ආලේප කොට විනාශ කර තිබේ.එසේම තම සංගමයේ සාමාජිකයන් ගේ කිරි පට්ටි මෙම පෙදෙසට මුදා හැරීම වළක්වාලීමට ඇතැම් රාජ්‍ය නිළධාරීන් කටයුතු කරන බවද ඔහු පැවසීය.මෙම සිදු වීමෙන් පෙනී යන්නේ නැගෙනහිර පළාතේ නීතිය පුද්ගලයන් සහ සංවිධාන අනුව නවා ඇති ආකාරයයි.
        බක්මිටියාව තිඹිරිගොල්ල රක්ෂිතය යනු තවත් අතකින් අලි මංකඩකි. ගල්ඔය රක්ෂිතයේ සිට ලාහුගලට සංක්‍රමණය වන අලි රංචු මේ තෘණ භූමිය අවට අතරමංවන්නේ ගොවීන් ගේ වගාවන් නිසාවෙනි. අලි රංචු වල ගමනට බාධා කිරීම මත වෙනත් දිශා වන් වෙත සංක්‍රමණය වීම අරඹති. එම නිසා අලි  ගම් වැදීමෙන් බරපතල හානි සිදු කරති.පරිසර සංවේදී ප්‍ර දේශ නොතකමින් රජයේ නීති රීති තුට්ටුවකට නොසලකමින් කරන නැගෙනහිර ඉඩම් කොල්ලය නවතා ලීමට කිසිවෙක් මැදිහත් නොවන්නේ මුස්ලිම් චන්ද වලට තිබෙන ගිජුබව යයි ඔප්පු වී තිබේ.එම තත්ත්වය තුළ වසර දෙදහස් පන්සීයක් තිස්සේ මහා ශිෂ්ඨාචාරයක් බිහිකල දිගාමඩුල්ල මෙන්ම සිංහල ජාතියද බරපතල අනතුරකට මුහුණ පා සිටී.


Wednesday, November 30, 2016

ආණ්ඩුවට හිසරදේ බුද්ධ ශාසනය දඬුකඳේ

                                          


               නීතිය අධිකරණය පිළිබඳ ප්‍රධාන අමාත්‍ය ධූරය දරන වත්මන් අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අය වැය විවාදය අවස්ථාවේ දී මේ රටේ ආගමික අන්තවාදය ගැන කරන ලද ප්‍රකාශය අප මහත් සේ අගය කරමු. ඔහුගේ ප්‍රකාශ ය සම්පූර්ණයෙන්ම ෆේස්බුක් හරහා තිබෙන බැවින් ක්‍රමනුකූලව අධ්‍යනය කරගැන්මට අවස්ථාවක්  ද ඇත.අමාත්‍ය වරයා මෙම කතාවේදී මතුකළ ප්‍රධානතම ප්‍රවෘත්තිය නම් ලංකාවේ මුස්ලිම් පවුල් හතරකින් පමණ තරණයන් රැසක් අයි.එස්අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව කටයුතු කරන බවයි. මෙම පුවත රාජිත සේනාරත්න ඇමතිවරයා ප්‍රතික්ෂේප කරන නමුත්    මීට කාලකට පෙර ගලේවෙල ජාත්‍යන්තර පාසලක උගන්වන ලද මුස්ලිම් ගුරුවරයෙකු ඉහත සංවිධානයට බැඳි සිටි බව වාර්තා ව තිබුණි. ඒ පිළිබඳව ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කරන ලද බවටද වාර්තා විය.
       ආගමික ග්‍රන්ථ මගින්ම ත්‍රස්තවාදය උගන්වන නමුත් එම මූලධර්මවාදය අකුරටම පිළි පැදීම ප්‍රතික්ෂේප කළ මුස්ලිම් ජනතාවක් විසිවන සියවස මුල් භාගයේදී මේ රටේ විසූහ. මුස්ලිම් විවාහ නීතිය සහ වෙනම අධ්‍යාපන පහසුකම් රජයේ නීති මගින්ම තහවුරු කර ඇත්තේ ඉංග්‍රීසී පාලන සමය තුළදී නමුත් බහුතර මුස්ලිම් පිරිසක් සිංහල සංස්කෘතියට ක්‍රමානුකූලව ඇතුළුවෙමින් සිටියහ. අල් ටකියා නමින් හඳුන්වන බොරුව එම පිළිවෙතේ තිබෙන්නට ඇති නමුත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය තුළ මුස්ලිම් ජනතාව සිංහලයන් සමග සුහදව ගනුදෙනු කරමින් අවබෝධයකින් සිටි බව පැහැදිලිය .විහාරගම් දේවාලගම් නීති කටයුතු වලදීද ඇතැම් මුස්ලිම් නීතිඥයන්  පෙනී සිට ඇත්තේ ඔවුන් සතු අවබෝධය නිසාය.මේ තත්ත්වය වෙනස්කරන ලද්දේ  අශ්රොෆ් නම් දේශපාලනඥයා විසිනි. ඔහු මුස්ලිම් කොන්ග්‍රසය බිහිකරමින් මුස්ලිම් අන්තවාදයට පසුබිම සකස් කළේය.මාගේ මිත්‍රයෙකුවූ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ සේවය කළ ෆයිරූස් මහතා මෙම නව පක්ෂයේ බිහිවීම  එදා විග්‍රහ කලේ නොසතුටිනි. මින් ඉදිරියට සිංහල මුස්ලිම් සමගිය දෙදරනු ඇතැයි ඔහු අනාවැකි පළ කලේය. ෆයිරූස් මහතා මෙන්ම එම පැරණි මුස්ලිම් සමාජයද දැන් අභාවයට පත්වෙමින් ඇත.ඒ වෙනුවට නොයෙකුත් මූලධර්මවාදී නීති සමගින් මුස්ලිම් අගමික දේශපාලනය රට කළඹමින් ඇත. බුද්ධශාසන ඇමතිවරයාම පවසන පරිදි දොළොස් හැවිරිදි  මාතලේ සිංහල දැරියක් මුස්ලිම් වැඩිහිටියෙකු විසින් විවාහ කර ගෙන ඇත.ඇමතිවරයාට අනුව මේ අවනඩු සියල්ලේ පරීක්ෂණ තීරණ භාරදී ඇත්තේ මුස්ලිම් ආගමික කටයුතු ඇමතිවරයාටයි.
         මුස්ලිම් අන්තවාදය වැඩි වශයෙන් ප්‍රකට වන දිස්ත්‍රික්ක කීපයක් ඇත. මඩකලපුව ත්‍රිකුණාමලය පුත්තලම අනුරාධපුර ගාල්ල සහ කළුතර ප්‍ර දේශ මේ සඳහා උදාහරණ වෙති.නීත්‍යානුකූල නොවන ලෙස ඉඩම් ඇල්ලීම පල්ලි ඉදි කිරීම සිංහල තරුණියන් දූෂණය කිරීම ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමන් පවතී.මුහුදු මහාවිහාරය සඳහා ගැසට් කරන ලද ඉඩම් ඇල්ලීම. මොට්ටාගල දාගැබ දීඝවාපී පරිවාර දාගැබ මෙන්ම හිරුකෝවිල් දාගැබ ඩෝසර් කිරීම ඔවුන්ගේ ක්‍රියාවන්ය. මෙම අසාධාරණ  ක්‍රියාවන්ට විරුද්ධව මඩකලපුවේ මංගලාරාමයේ පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් පසුගිය කාලවකවානුව පුරාවටම අභීතව කටයුතු කළ හැටි අප දනිමු. කෙවිලියාමඩු සිංහලයන් වෙනුවෙන් උන්වහන්සේ නිබඳවම පෙනී සිටි ආකාරය අපට සිහියට නගා ගත හැකිය.මුස්ලිම් අන්තවාදය නිසා අලුතෙන්ම ඉදියට පැමිණි ශරියා නීතිය හලාල් සහ මද්‍රසා පාසල් යන කරුණු ගැන ජනතාව දැනුම්වත් කරමින් මුස්ලිම් අන්තවාදය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ ඥානසාර හිමියන් පසුගිය ආණ්ඩුවට මෙන්ම මේ ආණ්ඩුවට හිසරදයක් බවට පත් වී තිබේ.මෙම සත්‍ය කරුණු ඉදිරියට එත්ම වඩාත් කලබලයට පත් වූයේ සිංහල දේශපාලකයන්ය. දෙවනගල පුරාවිද්‍යාස්මාරකය වටා සීමා කණු සිටවන්ට සැරසෙන කල්හි එතැනට කඩාපැන රජයේ කටයුතු අවුල් කලේ අතාවුද සෙනෙවිරත්න හිටපු ඇමතිවරයාය.මෙයට හේතුව කුමක්ද මෙම දේශපාලකයන් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් යැපීමය.මුදල් මත යැපෙන මේ දේශපාලකයන් එතැනින් නොනැවතී මුස්ලිම් සිංහල ගැටුම් ඇතිකරලීමටද කුමන්ත්‍රණ කළහ. අළුත්ගම දර්ගානගරයේ ගැටුම ඉදිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කටයුතු කරන සිංහල දේශපාලනඥයෙකු ගේ කුමන්ත්‍රණයක් අනුවයි.
       බුද්ධ ශාසනය යනු භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා යන සිවු වැදෑරුම් පිරිසයි. බුදුන් වහන්සේ අනුදත් ගිහි මාර්ගය මෙන්ම නිර්වාන මාර්ගයද අනුගමනය කරන මේ පිරිස රැකගැනීම මෙන්ම ඔවුන්ගේ හිත සුභ සිද්දිය ට කටයුතු කිරීම පැරණි රජවරුන්ගේ සිරිත විය. අනුරාධපුර රජබවට පත් වූ පස්වන කසුප් රජු කළ පැනවූ ව්‍යවස්ථා මගින් ඒ බැව් හොඳින් ප්‍රකට වෙයි. මවු මැරීම රහතුන් මැරීම පෙති පිළිම වැනසීම බුදු දහම ඇර වෙනත් ආගම් ගැනීම වැනි පංචමහා සාවද්දයෙන් වැළකී සිටිය යුතු බව ඒ ව්‍යවස්ථාවේ විය. එසේම සඟුන් ගේ යම් විනය ක්‍රියාවකදී  මහා සංඝයා එක්ව හිඳ විචාරීමේ ක්‍රමය අනුමත කලේය. එසේ නොමැති නම් පමණක් රජු මැදිහත් විය යුතු බව ට ව්‍යවස්ථා ද පැණ වීය.දෙවන පරාක්‍රමබාහු රජ දවස බුද්ධ ශාසන ඇමතිවරයාව සිටියේ දේව ප්‍රතිරාජ ඇමතිවරයාය. ඔහු දුකසේ යායුතු සිරිපා ගමන් මග පහසු කලේය. බෙන්තර ගලතුරු මුල වැඩිසිට මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ට පුද සත්කාර කිරීම වෙනුවෙන්  මහත් පින්කම් පවත්වා රජුද කැඳවා අනුමෝදන් කරවීය. කපු වවා නූල් කැට සිවුරු සාදා පඬු පොවා කඨින පූජා කර්මය රාජ්‍යානුග්‍රහයෙන් පැවැත්වීමට කටයුතු කොට ජනතාවට ආදර්ශයක් ලබා දුන්නේය.අදත් සිංහල බෞද්ධයන් අතර මේ කඨින පින්කම මහත් ඉහළින් පැවැත්වෙන්නේ මේ ඇමතිවරයා දුන් මග පෙන්වීම නිසාය.
          ලංකාවේ බුද්ධ ශාසනය සහ ඒ වෙනුවෙන් සකස්ව තිබෙන බෞද්ධ සංස්කෘතිය තුළ ඕනෑම ජනවර්ගයකට අයත් පිරිසකට හෝ අන්‍ය ආගමිකයෙකුට සාමයෙන් විසිය හැකිය. අපේ පන්සල් වලට දේවාල ගෘහ ඇතුළු වූයේ මේ සහජීවනය නිසයි. ඉංග්‍රීසීනට රට භාර දෙන කල්හි  එම ගිවිසුමට බුද්ධශාසනයද දේවාගමද කඩ නොකෙට පවත්වාගෙන යායුතු යැයි වගන්තියක් ඇතුලත් කලේ එහෙයිනි. එම චාරිත්‍රයම 1972 සහ 1978 ව්‍යවස්ථා වලට ඇතුලත්ව තිබේ.එය හුදෙක් අර්ථ නිරූපණයය නොකරන ලද වගන්තියක් වුවද පාලකයන් සියල්ල එයට හිස නැමිය යුතු විය.ලංකාවේ ඕනෑම ප්‍ර දේශයක බෞද්ධ සිද්ධස්ථාන ඇරඹීමට බෞද්ධයන්ට ඇති පරම අයිතිය මේ වගන්තියෙන් ප්‍රකට වෙයි. උතුරු ප්‍රදේශය තුළ පමණක් පැරණි බෞද්ධ සිද්ධස්ථාන 223 ක් දැනට හඳුනාගෙන   තිබේ.සිරිපතුල් ගලක් නටබුන් වූ බුදු පිළිමයක් නොතිබෙන තැනක් ඒ පෙදෙස් වලින් සොයා ගත නොහැකිය.යුද්ධ සමයේදී ත්‍රිවිධ හමුදාව මේ ස්ථාන වල නැවත අළුතින් සිද්ධස්ථාන ඉඳි කලහ. ඇතැම් තැන් වල භික්ෂූන් වහන්සේලා වැඩ සිටින්නට සැලැස්වූහ.නමුත් රජයේ යම් බලපෑම් නිසා මෙම පන්සල් වලට ගොදුරුගම් වශයෙන් බෞද්ධයන් පදිංචි කිරීමට ඔවුන්ට නොහැකි විය. වත්මන් බුද්ධ ශාසන ඇමතිවරයා දෝෂාරෝපණය කරන්නේ මෙවැනි සිද්ධස්ථාන ගැනයි. නමුත් යාපන මහා මාර්ගයේ දෙපස අළුතින් කෙතරම් කුරුස ප්‍රමාණයක් ගසා ඇතිදැයි මේ පාලකයන් දන්නේ නැත.
       උතුරේ තිබෙන බුදු පිළිම ඉවත් කළ යුතු යැයි  උතුරේ සිටින සෑම ද්‍රවිඩ දේශපාලකයෙකු කියා සිටින්නේ මේ පිටිපස තිබෙන අන්‍යාගමික බලපෑම නිසයි. ඇමරිකන් චර්ච් මිෂනාරි ව්‍යාපාරය විසින් යාපනයේ ඇති කරන ලද  සෑම පල්ලියකම යට තිබෙන්නේ  ලන්දේසි පල්ලියකි. ඒ යට තබෙන්නේ බෞද්ධ සිද්ධස්ථානයකි. ඒ බැව් බල්දෙයස් නම් රෙපරමාදු පූජකවරයාගේ ග්‍රන්ථයෙන් පැහැදිලි වේ. උතුරට වෙනම ද්‍රවිඩ පාලනයක් පළාත් ආණ්ඩුවක් සාදන්නට සිය න්‍යාය පත්‍රය සකස් කරගත් රජයකට භික්ෂූන් වහන්සේලාගේ සහ ජාති මාමක පිරිසගෙන් එල්ල වන පීඩනය සුළු පටු නොවේ. මේ මහා සංඝ රත්නය සැම විටම ශාසනික සංරක්ෂණය උදෙසා හඩනගන්නන් වෙති. ඒ ක්‍රියා මගින් සංහිඳියාව බිඳ වැටෙන්නේ යයි උපකල්පනය කොට සංහිඳියා පොලිසියක් ඇති කිරීම යනු බුද්ධ ශාසනය දඬුකඳේ ගැසීමකි.මෙයට කලින් කතිකාවත් පණත් මගින් එය කරන්නට උත්සාහ දරනු පෙනුණි. එය අසාර්ථක වූ කල්හි ඊළඟ පියවර වශයෙන් ඔවුන් තෝරාගෙන ඇත්තේ සංඝයා වහන්සේලා හිරභාරයට ගැනීමයි. අයි .එස්. සංවිධානය ගැන කියමින් වත්මන් ආණ්ඩුව කැස කවන්නේ මේ අපරාධයට බව පැහැදිලිය.  රාජා හෝ මාහෝ ගංගාහෝ යයි කියමින් රජුට ලණු දුන් ආඬි ගුරෙකු නිසා මහා ප්‍රතාපවත් නරපතියෙකු වූ සීතාවක රාජසිංහයන් අතින් සඟුන් හැට නමක් ඝාතනය විය. අවසානයේ උණකටුවක් ඇණී රජුට පරලොව යන්නට සිදු විය. සීතාවක රාජධානියද අභාවයට පත් විය. මේ ඉතිහාසය අපට කියා දෙන්නේ බුද්ධ ශාසනයට අත තැබූ කල්හි වන විපත්තියයි. වත්මන් බුද්ධ ශාසන ඇමතිවරයාට අප පෙන්වා දෙන්නේ  මෙයයි. ඔහු ආදර්ශයට ගත යුත්තේ ඩවුබිගින් වැනි පොලිස්පතිවරයෙකු නොව දේවප්‍රතිරාජ වැනි බුද්ධ ශාසනයට හිතැති යන්ය.


          

Monday, November 28, 2016

තලගුණේ පෙහෙකරුවන්ගේ ලෝකය

                                         


                    විජය කුමරු සත්සීයයක් පිරිස සමග තම්මැන්නාවට ගොඩ බසින විට කපු කටිමින් සිටි කාන්තාව නමින් කුවණ්නා විය.  කපු කටිමින් නූල් සාදා ගනිමින් රෙදි වියාගන්නට සමත් කම් දැක්වූවා නම් කුවණ්නා ගේ පරපුරේ ඇත්තන්ගේ ශිෂ්ඨාචාරය කෙලෙසක වී දැයි අපට සිතා ගත හැකිය. කුවණ්නා ගේ පරපුරේ හෙළයන් අදටත් ජීවත්ව සිටීද. මේ මාගේ සිත තුළ නැගුන පැණයකි. මධ්‍යකාලීන සිංහල කලා යන නමින් අගනා ග්‍රන්ථයක් කළ ආනන්ද කුමාරස්වාමි මහතා මෙම පැණයට පිළිතුරක් සපයා ඇත. ඔහු ගේ ග්‍රන්ථයේ සිංහල පේෂකාරයන් ගැන සඳහනක් ඇත.  දකුණු ඉන්දියාවෙන් ලංකාවට සැපත් ද්‍රවිඩ පේෂකාරයන්ගෙන් මේ පිරිස වෙනස් බව ඔහු තව දුරටත් සඳහන් කර තිබේ. සැබවින්ම මොවුන් පිළිබඳ මට මහත් කුතුහලයක් දැනුණි. ඔවුන් ගේ වත්මන් ජීවන පිළිවෙත කෙසේ වීද.යන්න දැක බලා ගැනීම මාගේ ආශාව විය.
          සිංහල පෙහෙකරුවන් ගේ නිජ භූමිය කන්ද උඩරට උඩුදුම්බර තලගුණේ ගම්මානයයි. උඩුදුම්බරින් හැරී කි.මී. තුනක් පමණ පහළට මෝටර් රථ මාර්ගයක ගමන් කළ පසු මේ පෙහෙකරුවන් ගේ පාරම්පරික නිවාස හමු වෙයි. ඔවුන් සොයා එක් හිමිදිරි උදයක මගේ සංචාරය පිළියෙල විය. උඩුදුම්බර සිට කළුගලට බසයක් තිබෙන්නේ යැයි කියැවුණද බසය නොමැති වූයෙන් පරිසරය දැක බලා ගනු රිසියෙන් පයින්ම  මග තරණය කරන්නට ඉටා ගතිමි. උදෑසන පිනි තවත් වේලී නොමැත. උඩුදුම්බරට ආවේණික කුරු වනාන්තර පද්ධතිය පාර දෙපස රූස්සව නැගී සිටී. මේ වනය අතරින් පතර  හෙළි පෙහෙළි කොට තැනූ එළවුළු කොරටුය. තලගුණේ විහාරස්ථානයට හැරෙන කඩමණ්ඩියේ සිට මහ නියරක් දිගේ පියමං කළ විට මේ පෙහෙකරුවන්ගේ නිවාස හමු වෙයි. ආනන්ද කුමාරස්වාමි මහතා මෙම ස්ථානයට පැමිණෙන්නට ඇත්තේ එක්දහස්අටසිය ගණන් වල අවසාන භාගයේදීය.ඒ දැනට වසර සියයකට පමණ පෙරදීය. එදා ඒ නිවසේ සිටි පෙහෙකාර කාන්තාවක් විය. ඇය නමින් ටිකිරාති විය. ඇයගේ චායාරූපයක් මධ්‍ය කාලීන සිංහල කලා පොතේ පිටු අතර ඇත.කාලය වෙනස් වී ඇත. ටිකිරාති ගේ පරම්පරාවේ පිරිමි දරුවා රාජපක්ෂ පංචනාදයාලෑ යක්දෙස්සලාගේ ගෙදර සිල්පා නම් විය.ඔහු 1921 සිට 1941 දක්වාත් ඔහුගේ පුත් උක්කුවා 1972 දක්වාත් ඉන්පසු   යක්දෙස්සලාගේ ගෙදර රන්කිරා අසූව දශකය දක්වාත් මේ ශිල්පය රැගෙන විත් තිබේ.. මා දැන් පැමිණි සිටින්නේ රන්කිරා විසූ ඔහුගේ පාරම්පරික නිවසටයි. රන්කිරා මෙන්ම රන්කිරා ගේ පුත්‍රයා වූ පද්ම සිරි ද මීට කලකට ඉහත අප අතරින් සදහට සමු ගෙන ගොසින්ය. දැන් වත්මන් පරපුරේ පෙහෙකම් දක්ෂයා වශයෙන් සිටින්නේ අශෝක පද්ම සිරි මහතාය.
                    ආනන්ද කුමාරස්වාමි මහතා උඩරට කලා සංගමය ඇතිකොට මේ පාරම්පරික ශිල්පීන්ට වර්තමාන සමාජය විවෘත කොට දුන්නේය. ඉන්පසු දුම්බර පෙහෙකම් රටාවෙන් සැරසෙන්නට නිවෙස් අලංකාර කරන්නට කැමැත්තක් දක්වන විශාල මධ්‍යම පන්තික පිරිසක් බිහිවිය. නවසිය හැට ගණන් වලදී මේ අත්යන්ත්‍ර පෙහෙකම් ශිල්පය ගැමි කාන්තාවන්ට යලි උගන්වනු රිසියෙන් රජය මැදිහත්ව කටයුතු කල ආකාරය මෙහිදී මතකයට නැගේ. නමුත් විවෘත ආර්ථික සංකල්ප රට පුරා පැතිරීයන්නට වූයෙන් අත්කම්  පෙහෙකම් සියල්ල නැවතත් සමාජයෙන් මුලු ගැන්විණි. එහෙත් දුම්බර රටාවන් නම් තවමත් කොළඹ සමාජයට නැතිවම බැරිය. නවසිය අසූ ගණන් වලදී ෆෙයා ෆුට් අයතනය මගින් දුම්බර රෙදි පිළි වලට හොඳ වෙළෙද පළක් අත්පත් කර දුන්හ.රන්කිරා ගේ බෑනාවරයෙකු වූ තලගුණේ ඒ.කේ.ටී සෝමවංශ පෙහෙකම් ශිල්පියා අදටත් මේ වෙළෙඳ පළට රෙදි පිලි සපයයි.ඔහු ගේ කලා ලෝකය ගැන අද ඔහු පවසන්නේ මෙසේය.
        
ආනන්ද කුමාරස්වාමි මහතා ඉන්න කාලෙ ටිකිරාති කියල සිටිය අපේ මිත්තනියක් තමයි තලගුණේ රෙදි පිළි රටා ඉදිරිපත් කරල තියෙන්නෙ. එදා තලගුණේ කපුවත්ත කියන ඉඩම් වල කපු වවල නූල් කැටල නූල් සායම් පොවල තමයි රෙදි වියල තියෙන්නෙ. පොළවේ සවි කළ අලුව තමයි රෙදි වියන යන්ත්‍රය. මේ අල්වලෙ රෙදි වියන එක ආසියාතික බොහෝ රටවල තියන ක්‍රමයක්. නමුත් අපේ අළුව අපටම ආවේණිකයි. වර්තමාන රෙදි වියන යන්ත්‍ර යේ ෂටල් එකට  අපි කිව්වේ නඩාව කියලයි.වොප් එකට කීවේ. නූල හැදය කියලයි.රීඩ් එක පනාව යනුවෙන් නම් කලා. නූල් ඔතන යන්ත්‍රය හුළුදෑවයි. ඔහොම සවිමත් භාෂාවකින් තමයි මේ හැම දෙයම තොරුම් කරල දීල තියෙන්නේ. අපේ පරපුර රාවණා යුගයේ සිට පැවතෙනවා  කියල තමයි අහල තියෙන්නේ. ඉන්දියාවෙන් ලංකාවට ආ ශිල්පීන් නිසා අපි වෙනස් වුණේ නැහැ.වර්මානයේ තලගුණේ පවුල් දහයක පමණ මේ රෙදි පිළි කර්මාන්තය කෙරෙනවා. අපිට හොඳ වෙළඳෙ පළක් තිබෙනවා. නමුත් ක්‍රමයෙන් අපේ දූදරුවන් මේ කර්මාන්තයෙන් ඈත් වෙලා යනවා. නමුත් මම  මගේ දරුවන්ට මෙය උගන්වලයි තියෙන්නෙ.
           ටිකිරාති පරපුරේ රන්කිරා ඇත්තා ගේ මුණුබුරු අශෝක පද්මසිරි කියන්නේ මෙහෙම කතාවක්. කොළඹ කොම්පැණියකට අවශ්‍ය විදියට තමයි රෙදි පිළි වියල දෙන්නේ මේ දින වල සාරි ඕඩරයක් අරගෙන වැඩ කරනවා. සාරියත් හැට්ටයට අවශ්‍ය රෙද්දත් වියන්න දින දෙකහමාරක් විතර යනවා. අපේ මුත්ත වැඩ කල අලුව  දැන් වැඩ කරන්නෙ නැහැ. නමුත් රජයෙන් දුන්නු අළුත් පෙහෙකම් යන්ත්‍රවල පරණ විදයට රටා දාල හදන දුම්බර රෙදි පිළි වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා.බිත්ති සැරසිලි දොර රෙදි මේ කොයිවත් ජනප්‍රියයි. මංගල සාරි වුණත් හදන්න පුළුවන්. මේ සාරි වියමනට අවශ්‍ය අසූවෙන් දෙකේ නූල් කිලෝවක් අපිට ගන්න සිද්ද වෙලා තියෙන්නේ එක්දහස් පන්සීයකට. සාරියක් වියල ගැනුම් කරුවන්ට දීල අත ඉතිරි වෙන්නෙ රුපියල් පන්සීයක් පමණයි. නමුත් මම විශ්වාස කරනව අපි එකතු වුණොත් අපේ පාරම්පරික කර්මාන්තය ලෝකයේ පිළිගත්ත ශිල්පයක් විදියට ඉදිරියට ගෙනයන්න හැකි වේ කියල.
          දුම්බර රටාවෙන් හැඩ ගැසුණු පුරාණ දිය කච්චිය අද වියමනට යන්නේ නැත.රටා දැමූ බුලත් මඩිස්සලයද එසේමය. ඒවා කෞතුකාගාරයට එක් වී තිබේ.අලුව ප්‍රදර්ශන උපකරණයක් පමණි. නමුත් ඉන්දියාව බුරුමය වැනි රටවල තවමත් මේ අලුවෙන් වැඩ ගන්නා හැටි අන්තර්ජාල තොරතුරු වලින් හෙළිවෙයි. තලගුණේ හේන් වල කපු වැවීමෙන් පසු කපු ඇට වෙන් කරන්නට ගත් යන්ත්‍රය කපු කපන යන්ත්‍රයයි. මේ කපු කපන යන්ත්‍රය වටා එක් රොක් වී තලගුණේ අඟනුන් කපු කැපූ හැටි කියැවෙන පුරාණ කවි සිවුපද දෙකක් දක්වමින් මේ සටහන අවසන් කරමි.ඒ එදා තලගුණේ පෙහෙකරුවන් ගේ ලෝකය විය.
මූකලන් කොටා කපු ඇට ඉසින්නේ. දෙපෙති වෙලා පැලපත ලොකුව යන්නේ
සමසක් ගිය කලට මල් බොකල වන්නේ-වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ
රටින් ගෙනා වද විරුදු යන්තරේ - මෙරට තිබෙන්නේ කපු කපන යන්තරේ
ගැරෙන්ඩියට මතුලට අහයිද මන්තරේ -දී යන් ළඳේ නුඹ කපු කපන යන්තරේ