පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, December 18, 2015

පදවියේ නිවුන් වැව නාම්බකඩ සොයා ගිය ගමන

                                

             මොග්ගල්ලාන රජ දවස ඉදි කලා යයි සැලකෙන පදවිය මහා වාරි ව්‍යාපාරය විශාල කරවා මහා සාගරයක් බවට පත් කරන ලද්දේ මහා පරාක්‍රමබාහු රජ දවසදී යයි පැරණියන් ගේ කියමනකි.මේ මහා සාගරය නිසා කොකල කලපුව( කෝකිලායි ) දක්වා මහා භූමියක් අස්වද්දන ලද බවත් මුලතිව් දිශාව දක්වා ජලය රැගෙන ගිය බවත් පවසන කතා තවමත් දනන්ගේ තුඩ තුඩ පවතී.මේ වාරි ඉතිහාසය සොයා රජරට පීරූ සුදු නිළධාරීන් අතර ලන්දේසි ජාතික බ්‍රෝහියර් මහතා ඉදිරියෙන්ම සිටී. මිනුම්පතිව සිට තමන්ගේ රාකාරියට අමතරව ලංකාවේ වාරි ක්‍රමය ගැන අගනා ග්‍රන්ථ කීපයක් ඔහු අතින් රචනා විය. මේ වාරි දැනුම සොයා නොසන්සිදෙන පිපාසයෙන් රජරට ගම් දනව් වල හක්කොලන් කළ ඔහු අපගේ උදාර සංස්කෘතික උරුමය පාලකයන් හට පෙන්නා දුන් බව පැහැදිලිය. 1900 දී ආරම්භ කරන ලද වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනුගමනය කරන ලද්දේ මේ විද්වතුන්ගේ උපදෙස් මත බව නිසැකය. එහෙත් මහවැලි ව්‍යාපාරය පිණිස මහවැලි මහසැලසුම සකස්කරන කල්හි අතීත දැක්ම සහ දැනුම නොසලකා ක්‍රියාකරන්නට පාලකයන්ට සිදු විය. හුදෙක් පිටරටින් ගෙන එන සල්ලි කන්දරාවට යටවී විදෙස් උපදේශකයන්ගේ සැලසුම් වලට පාලකයන් නැමුණි.
        අතීත සිංහල රජදරුවන් අතින් ගංගා සෘජුවම හරස් කෙරුණේ නැත. එයට හේතුව ගංගා මගින් පිටාර ගලන ජලයෙන් සාරවත් නිම්නයන් බිහිව තිබීමයි. එය ගොවිතැනට යොදා ගැනීම පැරණියන්ගේ උපක්‍රමය විය. පදවිය වැව සඳහා ජලය ගෙන එන්නේ මොර ඔයෙන් සහ මුගුණු ඔයෙනි. මේ ඔයවල් කලකදී සිඳී යන බැවින් ඒවායේ ජලය ගබඩා කොට රැස් කරගෙන ගොවිතැන සඳහා යොදා ගත යුතු විය. අක්කර අඩි ගණනකට විහිදී යන පදවියට පැරණියන් යෙදුවේ මහා සාගරය යන නමයි. මහසෙන් සමය වන විට පදවියට ඉහළින් තවත් වැවක සේයාවක් දක්නට තිබුණි. එය අද හඳුන්වන්නේ වාහල්කඩ යනුවෙනි. මුගුණු ඔයත් මොර ඔයත් කලකදී හිඳි යනබව කලින් කීවෙමි. මේ නිසා පදවියෙන් ගෙන යන ජලය උතුරු දිගට රැගෙන යන්නට බාධා ඇති විය. මේ නිසා මුගුණු ඔයට අතිරේක ජලය එක්  රැස් වන වවුනියා දිශාවෙන් ජලය ගෙන පදවියට ඉහළින් ගබඩා වැවක් තැනීමේ අදහසක් පැරණියන්ට මතු විය. අප මේ සොයන්නට යන්නේ ඒ වැව සහ වාරි මාර්ගයයි.
      කැබිතිගොල්ලෑව වවුනියා මාර්ගය පසු කර මුගුණු ඔයට ඇදී එන ජල ප්‍රවාහයකි. මේ ජල ප්‍රවාහය යකාවැවට ආසන්නයේදී මුගුණු ඔයට එකතු වේ. මේ ජල බැඳුම් සන්ධීය මත වාර්ෂිකව මහා ජල කඳක් පිටාර ගලන බව පැරණියන් දුටුවහ. යම් කිසි විදියකින් මුගුණු ඔය එහිදී හරස් කලා නම් හාත්පස සමස්ත නිම්න භූමියම යට වෙයි. එවිට කලාගම් වෙහෙර වැනි සිද්ධස්ථාන වල වැඩ සිටින මහා  සංඝ රත්නයට බාධා පැමිණෙයි.එදා කලාගම් වෙහෙර(හල්මිල්ල වැටිය ) සිට යකා වැව නිම්නයට යන මහා මාර්ගය වැටී තිබුණේ මුගුණු ඔය හරහාය. තවමත් එහි නටබුන් වී ගිය ගල් පාළමක්ද තිබේ.එසේම ගොවීන්ට සිය වාසගම් අත හැර යන්නට සිදු වෙයි. එම නිසා වඩා සුදුසු මාර්ගය ඔවුහු තොරා ගත්හ. එනම් මුගුණු ඔයට වැටෙන ජල ප්‍රවාහය කුඩා බාධකයක් යොදා හරස් කිරීමයි. මෙය ඉඳි කරන ලද ගල් වැටියක් නොවීය. ඇළ මගේ තිබූ ස්වභාවික වක්කලමක් ළඟ ගල් වැටියකට බාධකයක් යොදා ගැනීම උපක්‍රමය විය. මෙහිදී වැසි කාලයට උතුරා පිටාර යන මුගුණු ඔය ජලයද අතු ගංගාවේ ජලයද එකට එක් වීම සිදු වෙයි. එයින් උස්සාලන ජල ප්‍රවාහය යකා වැව දෙසට තල්ලු කිරීම පැරණියන් දුටු සරළතම වාරි වික්‍රමය විය.දැන් අප සිටින්නේ ඒ පැරණි යකා වැව ගම්මානයේ නටබුන් වී ගිය වාරි ඇළ සමීපයේය. පසුගිය යුද්ධ කලයෙන් පසු මෙහි සිවිල් ආරක්ෂක ගොවිපළකි. එය මැදින් මේ පැරණි ඇළේ නටබුන් විහිදී තිබේ. එම ජලය මගින් යකා වැව පුරවා උතුරු දෙසට ජලය තල්ලු කිරිම මෙහිදී  සිදුව තිබේ.

           යකා වැවට  එම නාමය සැදී තිබෙන්නේ යක්ෂ සේනාධිපතියෙකු සහ හේනක පැල් රැකි ගොවියෙකු මහ රෑ තරඟයට කවි සීපද කීම නිසාවෙනි. එහි පෙර නම අප නොදනී. එහෙත් යකා වැව ඉස්මත්තේ  වැවේ ගිල්ම ආසන්නයේ උස්ගලකන්ද යනුවෙන් සැලකෙන  වඩා උස් නොවූ මහ ගල් කුලකි. එය තරණය කළ කල්හි යකා වැවත් එය නිසා අස්වද්දන කුඹුරු යායත් ඔයත් දර්ශනය කළ හැකිය. උස්ගල කන්ද මුදුනේ ආකාශ චෛත්‍යයකි. අනුරාධපුර යුගයට ද ප්‍රථම මෙහි තපස් වරුන් වැඩ සිටි කටාරම් කෙටූ ගල්ලෙන්ය. මිහිඳු මහ රහතන් වහන්සේ ගේ ආභාශයෙන් පණ කැවුණු ශාසනික පුනරුදය නිසා උස්ගල කන්දේ ගල් ලෙන් වල රහතුන් වහන්සේලාට ලැගුම් කුටි ඉඳි විය. ශමිය ගොපක ගමික උගහ බරිය උපශක තිශය ලෙනේ  ශගශ යනුවෙන් තිබෙන එක් ලෙන් ලිපියක ස්වාමි  ගොපල්ලෙකු ග්‍රාමීය නායකයෙකු මෙන්ම උපාසකයෙකු ද උපසිකාවකගේද අනුග්‍රහයෙන් ලෙන් පූජාව කළ බව සඳහන්ය.වෙලු නම් පුත්‍රයා සහ ශමදහනම් පුද්ගලයාගේ දියණීය විසින් පිදූ ලෙනක් ද මෙහි තිබේ.මෙහිදී මගේ මතකය නැගෙන්නේ යකා වැව අරභයා මෙහි තිබෙන ජන ප්‍රවාදයයි. ගොපළු යකා ගේ වේශයෙන් පැමිණ කවි සීපද කීවේ මේ ගමට අරක් ගෙන සිටින ශමිය ගොපක නම් පුද්ගලයාද යන්නයි.
          පොළොන්නරු යුගයේදී මහ පැරකුම් රජු පදවිය විශාල කරවන විට යකා වැව ගම් වාසීන්ට අගනා දායාදයක් ලැබුණි. ඒ යකා වැවේ කුඹුරු යල මහ දෙකටම පාස්සන්නට හැකි ජල දහරාවකි.නමුත් යකා වැවේ පැන්නුමෙන් නැවතත් ජලය මුගුණු ඔයට යාවෙන්නට නොදී එය ඵලක් ගත හැකි වන ලෙසට යොදා ගත යුතුව තිබුණි. එහි අරුත නම් පදවියට අවශ්‍ය අතිරේක ජලය ලබා ගැනීමයි. යකා වැවේ සිට පදවිය වැවට කිලොමීටර් තිස්පහක පමණ දුරක් වෙයි. එම නිසා යකා වැවේ උතුරන ජලය සෘජු ඇළක් ඔස්සේ තව තවත් උතුරුට තල්ලු කොට ඇත. ඒ අනුව යකා වැවෙන් පිටවන ජලය සෘජු යෝධ ඇළක් ඔස්සේ උතුරට ඇදී යයි.එම ජලය මෙනේරි වැව එසේම මානෑව හල්මිල්ලපොතාන වැනි කුඩා වැව් ද පෝෂණය කරමින් තව තවත් ඉහළට ඇදී යයි. හරියටම පදවිය වැවේ ගිල්මට ඉහළින් පැරණියන් නිසි ස්ථානයක් තෝරා ගෙන ගබඩා වැවක් සාදන්නට තීරණය කර ඇත. මෙය අද හඳුන්වන්නේ නාම්බ කඩ යනුවෙනි. විශාල වෑකන්දක් සහිත සොරොව්වක් සිහිතව තිබෙන  නාම්බ කඩට මේ නම සෑදී තිබෙන්නේ ගව නාම්බෙක් නිරන්තරයෙන් ප්‍රදර්ශණය වන නිසාය. සැබවින්ම යාකා වැවේ ගොපළු යකා අරක් ගෙන තිබෙන්නේද ගවයන්ටයි. ගවයන්ට අධිපති ගොපළු යකා නාම්බකඩ මහ වැවටද අරක්ගෙන නොසිටන්නේද. දැන් අපි මේ නාම්බකඩ ආසන්නයේ සිටිමු. කාලයක් තිස්සේ වන ගතව තිබෙන මේ විශාල වැවට පැරණියන් මති සාගරයයි( මධ්‍ය සාගරය ) කී බව බ්‍රෝහියර් මහතා සිය ග්‍රන්ථයේ දක්වා තිබේ. අද අලි වලසුන් ගහන මේ භූමියට ඇතුල් වන විට දැනෙන කුතුහලය විසින් තනිකම ඈත්කරයි. බිය පහ කරයි. නාම්බ කඩ සොරොව්වේ සිට බලන කල්හි එහි කඩවල මැනවින් පෙනේ.ඝන වනයට වැසී තිබෙන නමුත් සොරොව්ව ද හොඳින් දර්ශනය කළ හැකිය. කෙසේ වෙතත් පදවිය වැව ප්‍රතිසංස්කරණය කරන කල්හි මේ වැව ගැන සැලකිල්ලක් දක්වා නොමැත. ඒ වෙනුවට පදිවියට හිඟ වන ජලය සපයා ගැනීමට වාහල්කඩට පහළින් යාන් ඔය ජලාශය යයි නම් කර ඇති නව මහ වැවක් සෑදීමට දැන් කටයුතු කරමින් තිබේ. එහි සාධාරණත්වය ගැන දැන් මම අනාවැකි පළ කළ නොහැකිය. නමුත් අතීත රජ දරුවන් සශ්‍රීක ගොවි බම් වසා මහ වැව් සෑදුවේ නැත. මහා ජල ප්‍රවාහයන්ට ගම් බිම් යටකලේ නැත.අතිතයෙන් පාඩම් ඉගෙන නොගැනීමෙන් සිදුව තිබෙන්නේ රටපොහොරට හඬන්නටය. බහුජාතික සමාගම් වල වහලුන් වන්නටයි.

Monday, November 16, 2015

මහින්දගේ අධිවේග මාර්ගය සහ රනිල් ගේ අධිවේග මාර්ගය

                 

             මේ දිනවල පාර්ලිමේන්තුව මදක් උණුසුම්ය. අගමැතිවරයාට අවශ්‍ය ආකාරයට එය උණුසුම් කිරීමද සිසිල් කිරීමද සිදුවන බව පෙනේ. ඇවන්ගාඩ් පලහිලව්ව මෙන්ම විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීම ආදී කරුණු රටේ ප්‍රමුඛ ජාතික ප්‍රශ්න බවට තල්ලු කොට ඇත්තේ කවුරුදැයි මෙම පාර්ලිමේන්තු සැසි වාර වලදී දැන ගත හැකිය. රටේ ප්‍රශ්ණ සහ ඒවාට සොයා යා යුතු විසදුම් ගැන ප්‍රයෝජනවත් සාකච්ඡා මතු කිරීමට ඕනෑ තරම් අවස්ථාව තිබියදීත් කාලය කා දමමින් වට්ටි අම්මලා සේ කෑ කොස්සන් ගසමින් පාර්ලිමේන්තුවේ හැසිරෙන දර්ශනය සැබවින්ම ජුගුප්සා ජනකය. මේ අතර වාරයේ අධිවේග මාර්ග වල ටෙන්ඩර් සහ ඇස්තමේන්තු ගැන ද  මහහයියෙන් වාද විවාද කරනු පෙනේ. මහනුවර කොළඹ අධිවේග මාර්ගය සෑදීම ගැන ගිය ආණ්ඩුවේ කතා සහ මේ ආණ්ඩුවේ කතා අතර එතරම් වෙනසක් නැත. හදන්නේ කොන්ක්‍රීට්  වලින්ද රත්තරනෙන් ද යන්නද එතරම් වැදගත් නොවනවා විය හැකිය. චන්ද කාලයට පමණක් ජනතාව ඉදිරියේ පැවසීමට උණුසුම් මාතෘකාවක් අවශ්‍ය බැවින් කුණු බාල්දි ඇවිස්සීම මන්ත්‍රීවරුන්ගේ සිරිතවී තිබේ.
        කෙසේ වෙතත් අධිවේගී මාර්ගයන් අවශ්‍ය ව තිබෙන්නේ කා හට දැයි යන ප්‍රශ්ණය මේ කිසිවෙක් අසා නොමැත. අත මිට මුදල් ඇත්නම් වාහනයක් ඇත්නම් අධිවේග මාර්ගයේ වේගයෙන් යන්නට ඕනෑම කෙනෙක් කැමතිය. එහෙත්  එකට දෙසීය ගණනේ පොලී ගෙවා මේ මාර්ග වල යන්නට කුවුරුත් කැමති නොවනවා නිසැකය. අධිවේග මාර්ග ප්‍රවිශ්ටයට ගෙවන්නේ රුපියල් දෙසීයද දෙසිය පණහද යන්නට වඩා ගෙවන පොලිය ගැන විමසිල්ලෙන් සිටිනවා නම් හොඳය. කොළඹ සිට මහනුවර යෑමට කුරුණෑගල හරහා යනවාට වඩා කටුනායක සිට මහනුවරට යෑම සියල්ලටම වඩා ලාභ යයි රනිල් වික්‍රමසිංහ අගමැති වරයා පවසයි. ඒ සැලැස්ම වෙනස් කර වෙනත් මගක් තෝරා ගෙන තිබෙන්නේ කොමිස් වැඩිපුර ගන්නට යයිද කියති. රාජපක්ෂ ආණ්ඩුව තනා නිම කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩු කාලයේ ආරම්භ කරන ලද ව්‍යපෘතියක් බව කාහටත් දැන් අමතක ව තිබේ.
       මෙම අධිවේග මාර්ග සංකල්පය අපේ දෙයක් නොවේ. එය එක්සත් ජාතීන් ගේ සංවිධානය හරහා ලෝක බලවතුන් මැදිහත් වී සාදන ලද සැලැස්මකි. ලෝකය ලිබරල්කරණයේදී නිදහස් වෙළෙද පළවල් හරහා දියුණු මාර්ග පද්ධතියක අවශ්‍යතාවය ඉලක්ක කර ගෙන  මෙම යොජනාව එක්සත් ජාතින්ගේ සංවිධානයේ රටවල් ගණනාවක් සමග සාකච්ඡා කිරීමෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේදී ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිවරයා එම ගිවිසුමට අත්සන් තබන් ලද්දේ 2004 අප්‍රියෙල් මස 26 වනදාය. ඒ අනුව තලේ මන්නාරමෙ සිට දඹුල්හරහා කටුනායකටත් අනතුරුව කොළඹටත් පසුව මාතරටත් දඹුල්ල සිට මහනුවරටත්  මේ අධිවේග මාර්ග ජාලය පුළුල් කිරීමට මූලික සැලැස්මක් මත මේ ගිවිසුම අත්සන් කර ඇත.
        ආසියානු අධිවේග මාර්ග ජලය පිළිබඳ කතාව 1959 වර්ෂය දක්වා පැරණිය. එම කාලයේදී රටවල් 15 ක් සමග එකඟතාවයට පැමිණ කි.මී. 65000 ක් සම්පූර්ණ කරන්නට දරණ උත්සාහයන් පිළිබඳ වාර්තා වෙයි. ඉන්පසුව 1960 -1970 දශක වලදී ආසියාවේ ප්‍රවාහන යටිතල පහුසකම් සැපයීමේ ව්‍යාපෘතිය (ALTID ) ලෙසට එය ඉදිරියට ගෙන ගොස් ඇත. පසුව එක්සත් ජාතීන් ගේ ආර්ථික සාමාජීය කොමිසම මගින් 1992 දී එහි 48 වන සැසියේදී සම්මත කරගත් පරිදි ආසියානු අධිවේග මාර්ග ජාලය පිළිබඳ කතිකාව පුළුල් කරන ලදී. ඒ මගින් යුරෝපය සහ ආසියාව ඉතා ලන්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලදී. ආසියාතික දුම්රිය මාර්ග පද්ධතියක් පිළිබඳවද මෙහිදී ඉදිරිපත් කරන ලද යෝජනාව ඔවුන් ගේ න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇත. මෙම (ESCAP)  ව්‍යාපෘතිය 2003 නොවැම්බර් 18 දින බැංකොක් නගරයේ පැවති සමුළුවේදී රටවල් 32 ක අනුමැතියෙන් සම්මත විය. ඒ අනුව 2004 අප්‍රියෙල් මස වන විට එම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට එම රටවල් වල නියේජිතයන්ට සිදු විය.එහි අවසාන අරමුණ ආසියාතික රටවල් රාශියක මහ නගර සම්බන්ධ කර කි.මී. 141000 ක මාර්ග ජාලයක් සම්පූර්ණ කිරීමයි. ඒ අනුව ලංකාවේ එවකට සිටි විදේශ අමාත්‍යවර ලක්ෂමන් කදිරගාමර් මහතා  විසින් එම ලියවිල්ලට අත්සන් කිරීම සිදු කර තිබේ. එම අවස්ථාවෙන් පසුව මාධ්‍යට නිවේදනයක් නිකුත්කළ එතුමා කියා සිටියේ ආසියානු නගර සම්බන්ධ කිරීමට වඩා ගැමියා ගෝලීයකරණට ලක් කිරීම මෙහි අදහස බවයි.
          රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේදී පාර්ලිමේන්තුවේ කියන පරිදි මෙහි මුල් සැලැස්ම වී ඇත්තේ දඹුල්ලේ සිට කටුනායකටත් ඉන්පසු කොළඹටත් අධිවේග මාර්ග ජාලය සම්බන්ධ කිරීමයි. නමුත් චන්ද්‍රිකා ආණ්ඩු කාලයේදී ඇතිවූ විරෝධතා නිසා එය කළ නොහැකි විය. පසුව මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ පසු මුලින් මාතර කොළඹ අධිවේග මාර්ගයත් පසුව කටුනායක අධිවේග මාර්ගයත් අවසන් කරන ලදී. ඔහු ගේ ඊළඟ බලාපොරොත්තුව වූයේ කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවරට ළඟා වීමයි. එයට අමරතව මුල් සැලස්මේ නොමැති මාර්ග කීපයක්ම නිර්මාණශීලී ලෙසට සකස් කර ගැනීමටත් එයට අවශ්‍ය මුදල් ලබා ගැනීමටත් සමත් විය. යහපාලන ආණ්ඩුව බලයට පත්වීම සඳහා කළ මැතිවරණ මෙහෙයුමේදී මේ අධිවේග මාර්ගයන්ට වැයවන අධික මුදල්කන්දරාව ජනතාව ඉදිරියේ ප්‍රශ්ණ කරන ලදී. මුදල් නාස්තිය ගැන ඔවුන් කී කතා ජනතාව විශ්වාස කරන්නට ඇත. යළිත් දැන් කොළඹ මහනුවර මාර්ගය ඉඳි කිරීමට චීනයෙන් මුදල් ලබා ගැනීමට සැලසුම් කරමින් සිටී. එහිදී ද වෙනසක් නැත. කිලෝමීටරයට වැයවන මුදල තවත් වැඩිවී තිබේ. මේ තත්ත්වය ජනතාවගෙන් වසන් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ රජයට දොස් පවරන්නේ කටුනායක සිට නුවරට මාර්ගය තැනුවා නම් මේ මුදල් නාස්තිය සිදු නොවන බව කියාපාමිනි. නමුත් ඇත්ත තත්ත්වය එය නොවේ. එය මෙහි මුල් සැලසුම් කියැවීමෙන් පසක් කර ගත හැකිය.
        එක්සත්ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් යන දෙපිලම එකිනෙකා ගෙන් වෙනස් වන්නේ ඉතාමිත් සීමිත කාරණා කීපයකින් පමණි. හොරකම වංචාව ආදී දෙවල් වලින් දෙපිළම අඩු වැඩි වශයෙන් සමාන වෙති. ජාත්‍යන්තරය ඉදිරියේ දණ නැමීමේදී පුද්ගල පෞරුෂය මත වෙනස් වුවද විදේශ වලට අවශ්‍ය පරිදි ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීමේ දී ද දෙපිලම සමාන වෙති. ආසියානු අධිවේග මාර්ග ජාලයට මේ දෙපිරිසම එකඟවන්නේ මේ නිසාය. ඔවුන් දෙපිලම ගැමියා ගෝලීය කරණයට සූදානම්ය. ගැමියා සතු හර පද්ධතිය සුන් කරමින් ඔවුන්ගේ පරිසර පද්ධතියටද අර්බුද ඇති කරමින් බහුජාතික සමාගම් වලට අවශ්‍ය යටිතල පහසුකම් සූදානම් කරති.අධිවේග මාර්ග නිසා ලංකාවේ විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන් බවට පත් විය. මේ නිසා ගොවියන් කම්කරුවන් බවටද අවසාන වශයෙන් සමාගම්වල  වහලුන් බවටද පත් කරවීමේ ක්‍රියාදාමය දියත් කරවීමේ කොන්ත්‍රාත්තුව භාර ගෙන කටයුතු කරන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකයි. ඒ මගින් අතලොස්සක් වන දේශීය ධනවතුන්  සන්තර්පණය කිරීමද බලාපොරෙත්තුව බවට පත් වේ.
        ධනුස්කොඩිය හරහා තලේමන්නාරමට පාලමක් දැමීම කලින් සැලසුමේ නැත. දැන් ඒ සඳහාද ඉන්දියාව යෝජනාවක් ගෙනවිත් තිබේ. එවිට ආසියානු අධිවේග මාර්ග ජලය සෘජුවම ලංකාවට සම්බන්ධ වේ. මේ මගින් ලංකාවේ විවෘත කළ නොහැකි දෙයක් ඉතිරි නොවනු ඇත. මේ ලෝක ප්‍රවණතාවයන්ට අප කෙසේ අනාගතයේ මුහුණ දෙන්නේද. එය අප ඉදිරියේ තිබෙන ප්‍රශ්ණයයි. පාර්ලිමේන්තුවේ  දිගහරින වට්ටිඅම්මලා ගේ කතා වලින් හෝ මාධ්‍ය සංදර්ශන මගින් රටේ අභියෝග ජය ගත නොහැකිය. අප කැමති වුවත් නැති වුවත් අධිවේග මාර්ග පිළිබඳ ජගත් සම්මුතියකට අත්සන් කර කබේ. අත්සන් කළ පුද්ගලයාද දැන් නැත. නමුත් අධිවේග මාර්ග වල අවශ්‍යතාවය රටට ඔරොත්තු දෙන ලෙසට සීමා කර ගන්නේ නම්ද රටෙ ස්වාධිනත්වය ආරක්ෂා වන පරිදි තව දුරටත් දූපතක් ලෙසට රට තබා ගැනීමට ප්‍රතිපත්තියක් ඇති කර ගන්නේනම් බෙහෙවින්ම සුදුසුය.අධිවේග මාර්ග පද්ධතියට වඩා ලංකාවේ වාරි ශිෂ්ඨාචාරය නැවත ගෙඩනැන්විය හැකි කුඩා වැව් අතුළත් එල්ලංගා පද්ධතිය නැවත ගොඩ නැන්වීම රටේ ස්වාධීනත්වයට බෙහෙවින් ඉවහල් වනවා නිසැකය. ගැමියා තනි පුද්ගලයෙකු වශයෙන් ගෝලීයකරණය නොකොට සමූහ වශයෙන් ලෝක ප්‍රවණතායන්ට මුහුණදීමට පුරුදු පුහුණු කළ යුතුය.මෙවැනි නව අදහස් ක්‍රියාත්මක කිරීම ලේසි පහසු නැත. රට වේගයෙන් විදෙස් හාම්පුතුන් ගේ ග්‍රහණයට අසුවෙමින් පැවතීම ඊට හේතුවයි.  නමුත් වෙනසක්කළ හැකිය.එයට පාර්ලිමේන්තුවේ මෙන්ම ජනතාව අතරද සංවාදයක් අවශ්‍ය වෙයි.


Sunday, November 8, 2015

1958 කුඹුරු පණත නිසා සිංහල බෞද්ධයනට සිදුවූ අසාධාරණය

                         

                 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා පොදු ජන යුගයක් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨයෙකු ලෙසට වර්තමාන සමාජයේ සැලකීමක් ඇත. 1956 ජනතා විප්ලවය ආස්වාදනීය දේශපාලන කඩයිමක් ලෙසට මෙරට ජාතික ව්‍යාපාරය සලකන්නේ සඟ වෙද ගුරු ගොවි කම්කරු බල වේගයන් සියල්ල කැටිව ගොඩ නගා ගත්තක් බැවිනි. එහෙත් වසර තුනක් වැනි කෙටි කාලයක් පැවති බණ්ඩාරනායක ආණ්ඩුව ඉතා ඉක්මනින් සිංහල බෞද්ධයන් අතර අප්‍රසාදයට ලක් විය. බස් හා වරාය ජනසතුව සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැනි ජන හිතකාමී පියවරයන් ලබා ගත්තද අසංවිධිත ව්‍යුහයක් තුළ ඒවායේ පවා වටිනාකමක් ජනතාවට නොදැණුනි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම නිසා සිංහලයන්ගේ සිත් බිඳුණි.අවසානයේ දී සිදු වූයේ බණ්ඩාරනායක මහතා  කුමන්ත්‍රණකරුවන් අතින් ඝාතනයට ලක් වීමයි. බුද්ධ රක්ඛිත හිමියන් අතින් වෙඩි තැබීමක් කළ බවට උසාවියේ ඔප්පු කළද බණ්ඩාරනායක මහතා ඝාතනය කලේ සැබවින්ම ප්‍රතිගාමී විදෙස් බලවේග විසින් බව දැන් තහවුරු වී අවසන්ය. එයින් සිදු වූයේ සිංහල බෞද්ධයන් ගේ අයිතිවාසිකම් උදෙසා ම ජයග්‍රහණය කළ රජයක් බිඳ වැටීමයි.
          බණ්ඩාරනායක මහතා බස් සහ වරාය ජනසතු කලේ ඉතා සද් භාවයෙන් බව නිසැකය.පෞද්ගලික අංශය සතුව තිබූ ආයතන ජනතාව සතු කිරීමෙන් වඩා හොඳ සේවයක් ලබා ගැන්මද ජනතාවගේ මුදල් ජනතා සේවකයන්ට ලබා දීමද ඔහුගේ බලා පොරොත්තු වන්නට ඇත. මහ මුදලිගේ පුතා වූ ඔහු ජාතික වැඩට ජාතික ඇඳුමද බලු ප්‍රදර්ශනයන්ට යුරෝපීය ඇඳුමද ඇඳි ආසියාවේ රිදී සීනුව යයි නම් දරා සිටි චතුර කථිකයෙකි. එහෙත් ඔහුගේ ලිබරල් ප්‍රතිපත්ති සහ ඔහු සමග සිටි වාමාංශික බලවේගයන්හි මාකස්වාදී ප්‍රතිපත්ති පාර්ලිමේන්තු ගැලරියේ ජනප්‍රිය මාතෘකා බවට පත් වූයේ ගොවියා ගොවියාගේ භූමිකාව මෙන්ම කම්කරුවා කම්කරුවාගේ භූමිකාව කළ යුතු ය. නමුත් ඔහුට හිමි තැන පාර්ලිමේන්තුව නොවේය යන්නෙහි සීමා ඉවත්කරමිනි. මේ බැව් එකල පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කෙරුණු මාතෘකා වලින් පැහැදිලිව ගම්‍ය වෙයි.
         මහජන එක්සත් පෙරමුණ රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියේ අවිස්සාවේල්ල මහජන මන්ත්‍රී පිලිප් ගුණවර්ධන මහතාය. ඔහු ද රදළ පවුලකින් පැවත පැමිණි විප්ලව වාදියෙකි. ඔහුට ගොවි කරම්කරුවන් ගැන පැවතියේ ආස්වාදනීය  අනුකම්පා සහගත හැඟීමකි.ඇමරිකාවට ගොස් විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ අධ්‍යපනය හදාරා ඇමරිකාවේ කොමියුනිස්ට් පක්ෂයට බැඳී එංගලන්තයේ මාකස්වාදීන් සමග අත්වැල් බැඳ ගත් පිලිප් ගුණවර්ධන මහතා 1932දී ලංකාවට පැමිණ කොල්වින් ආර්ද සිල්වා සහ ලෙස්ලි ගුණවර්ධන සමග එක්ව ලංකා සමසමාජ පක්ෂය බිහි කලේය. පසුව 1951 දී විප්ලවකාරී සමසමාජ පක්ෂයේ නායකත්වය ගන්නා ලද්දේය.පසුව මහජන එක්සත් පෙරමුණ බවට පත් වූයේ එයයි. ඔහු තුළ වැඩුණු වාමාංශික අදහස් විදෙස් වලදී රෝපණය වන්නට ඇතිවාට නිසැකය. ලංකාවේ රදළ පන්තිය සහ භික්ෂූන් වහන්සේලා යුරෝපීය වැඩ වසම් මොඩලයේ දා තර්කානුකූල කළ පිලිප් සිය සිංහ වාග් විලාසයෙන් මේවා විග්‍රහ කල බව ප්‍රකටය. කුඹුරු පණත ඉදිරිපත් කරන කල්හි ලංකාවේ අඳ ගොවීන් සිටයේ 27 % ක් පමණකි. නමුත් ඔහු සමස්ත ගොවි ජනාවටම මේ පණත ආදේශ කරන්නට උත්සාහ දැරීය.
    අඳ ගොවියාගේ අඳ තත්ත්වය සුරක්ෂිතකිරීම කුඹුරු පණතේ  මූලික පරමාර්ථය විය. එයට අනුව අඳ භාවය ලබා සිටි ලක්ෂ දෙකක් පමණ ගොවි ජනතාවක් නිදහස් කිරීම අරමුණු කර ගෙන තිබුණි. ඉඩම් හිමියාට නියමිත කුලිය ගෙවනවා විනා අන් මොනම ගැතිකමක් නැතිව ඉඩමෙන් අස් කරනවා යයි තිබෙන භීතියෙන් ගොවියා ගලවා ගැනීමට පිලිප් ගුණවර්ධනයන්ට තිබූ අවශ්‍යතාවය ඔහුගේ ලිබරල් අදහස් වලින් ආවක් විය. සෑම අඳ ගොවියෙකුටම තමන්තේ ඇවෑමෙන් අසවල් තැනැත්තාට ගොවි අඳය හිමි විය යුතු යයි නම් කිරීමට මේ පණතෙන් ඔහුට බලය ලැබී තිබුණේය.ඉඩම් ගොවිතැන් කිරීමේදී ඉඩම් හිමියා විසින් අයකරනු ලබන බදු මුදල සීමා කිරීමටද මේ පණතෙන් ඉඩකඩ සැලසුණි. මෙතෙක් අඳේට හෝ බද්දට ඉඩම් දෙන ඉඩම් හිමියා ස්වකීය අඳ කාරයාගෙන් හෝ බදු කාරයාගෙන් බදු වශයෙන් ඉඩමෙන් උපදින අදායමෙන් භාගයක් හෝ හතරෙන් පංගුවක් දීමට පුරුදුව සිටියේය. කුඹුරු පණත මගින් අක්කරයකට බුසල් පහළොවක් හෝ අස්වැන්නෙන් හතරෙන් පංගුවක් හෝ දීමට නිශ්චිත කොට ඇත්තේය.
           කුඹුරු පණතෙන් කෙරෙන අනෙක් වැදගත්ම කාරණය වූයේ මහජනයා විසින් නායකත්වය දෙන  ගොවි කාරක සභා පිහිටුවා ලීමයි. ඒ මගින් අඳ කාරයා මෙතෙක් බැදතබා සිටි විලංගු වගින් මුදවා අලුත් නිදහසක් ලබා දී ඔහුට වුවමනා ණය මුදලක් ලබා දීමට විවිධ සේවා සමූපාකර සමිති පොළඹවනු ලබයි. තවද අස්වැන්න හානි වූ විට රක්ෂණ ක්‍රමයකින් ආරක්ෂා කිරීමද මීට අයත්ය. එසේම පණතේ එන ප්‍රධාන කාර්යයක් නම් අස්වැන්න වැඩි කිරීමයි.මෙතෙක් අඳ අයිතිය පිට බිම සරු කිරීමට ගොවියා තැත් නොකලේයයි පණත සකස් කළවුන් කියයි.  ඒඅනුව බලාපොරොත්තු වන්නේ ගොවි කාරක සභා හරහා නව ගොවි කර්මාන්ත හඳුන්වාදීමයි . නොහොත් නව තාක්ෂණික දැනුම ලබා දීමයි.මේ පණත ක්‍රියාත්මක කිරීමෙන් පසුව 1958 මාර්තු 1 දා සිට ගොවිතැන් කරමින් සිටි කුඹුරකින් අඳ ගොවියෙකු පහ කිරීමට නොපුළුවන් බව තහවුරු කෙරුණි.මේ කුඹුරු පණත මගන් කුඩා ඉඩම් කැබලි එක් කොට සමූහ ගොවිපළවල් ඇති කිරීමටද යෝජනා කරනලද්දේ පිලිප් ගුණවර්ධනයන් ඇමරිකාවේ දී එවැනි විශාල ගොවිපළවල්වල වැඩ කරන දියුණු ගොවීන් දර්ශණය කළ බැවිනි  යැයි සිතන්නට පිළිවන.
       කුඹුරු පණතට රට පුරා විරෝධය එල්ල විය. ඉඩම් හිමියන් ගෙන් පමණක් නොව භික්ෂූන් වහන්සේලාගෙන්ද විරෝධය එල්ල විය.පූජ්‍ය තල්පාවිල ශිලවංශ හිමියන් ඒ අතර ප්‍රධාන විය.1959 වර්ෂයේදී මේ කුඹුරු පණත පාර්ලිමේන්තුවේ දෙවන වර කියවන විවාදයට එක් වෙමින් අවිස්සාවේල්ල මහජන මන්ත්‍රී කෘෂිකර්ම අමාත්‍ය පිලිප් ගූණවර්ධන මහතා  පළ කළ අදහස් මෙසේය.කුඹුරු කැබලි එක් කොට මහා කුඹුරු යායවල් ඉදි කිරීමටත් වී ගොවිතැන සඳහා සමූහ ගොවිපළවල් පිහිටුවීමත් ගොවීන්ට දෙන ණය සඳහා ගෙවිය යුතු පොළිය හා ගොවීන් විසින් කුලියට ගන්නා ගොවි උපකරණ හා මී හරකුන්ට ගෙවන ගාස්තු නියම කිරීමට ගොවි සභා පිහිටුවීමටත් විධි විධාන යෙදීමටත් එකී ගොවි සභා වල බලතල හා යුතු කම් නියම කිරීමටත් ආහාර නිෂ්පාදන අධ්‍යක්ෂකවරයා වෙත ඇතැම් බලතල හා යුතුකම් පැවරීමටත් වර්ෂ1953 අංක 1 දරණ  කුඹුරු පණත අවලංගු කිරීමටත් ඉහත කී කරුණු හා සම්බන්ධ වූ හෝ ඊට අදාල වන කරුණු උදෙසා විධි වධාන පැවැත්වීමටත් මේ පණත යෙදවෙන බව ප්‍රකාශ කළ යුතුය. 
      පිලිප් ගුණවර්ධන මහතා සිය සුපුරුදු මාක්ස්වාදි අදහසින් මෙම පණත ඉදිරිපත් කරන ලද බව පැහැදිලිය. මේ පණත ඉතිරි පත් කරන ලද කාලවකවානුවේදී භික්ෂුන් වහන්සේලා ගෙන් ඊට දැඩි විරෝධතා පැමිණි බව මීට පෙර සඳහන් කෙරුණි. ඔහු ඒවා විවේචනය කලේ මෙසේය. ආගමික ස්ථාන වල මුල් තනතුරු දරන  ඇතැම් අය අඳ ගොවින් අස් කොට වෙන අය යොදවා මෙයින් බේරීමට වෑයම් කර තිබෙන බව දැන ගන්නට තිබෙයි. 1956 අප්‍රියෙල් මාසයේ 12 වන දා යම් කුඹුරක අඳේට වැඩ කලා නම් එවැනි ගොවියෙකුට කවුරුන් වුවත් ගිහියෙකු වේවා කතෝලික පල්ලියට වේවා බෞද්ධ රජ මහා විහාරයක් වේවා යම් අසාධාරණයක් කර තිබෙනවා නම්  ගොවියාගේ අයිතිවාසිකම් වෙනුවෙන් මේ පණත ආරක්ෂා කර දීමට අප පසුබට වන්නේ නැති බව මම ඒ තැන් වලට පැහැදිලිවම කියන්න සතුටුයි.කුඹුරට ආගම් නැති බව අප පිළිගන්නවා. ගොයමට ආගමක් නැති බව අප පිළිගන්නවා.
පිලිප් ගණවර්ධන සිය රදළ ප්‍රවේනියේ මුල් වලට පහර දුන්නේ මෙසේය.   අප රටක් හැටියට ජනතාවක් හැටියට දියුණු වන්නට නම් රදළ යුගයෙන් ඉතිරි වී තිබෙන සියළු දෙය සම්පූර්ණයෙන්ම අවසන් කර දමා ආර්ථික වශයෙන් දියුණු වීමට මග සලසා ගන්නට ඕනෑ. ඒ නිසයි ගොවියාට අස්වැන්නෙන් වැඩි කොටසක් දීම පමණක් නොව ඔහුට නීතියෙන් ආරක්ෂාව සැලසීම පමණක් නොව මනුෂ්‍යයෙකු වශයෙන් සම්පූර්ණ නිදහසක් ඔහුට දිය යුතු වන්නේ. මේ පණත ඉදිරි පත් කළ අවස්ථාවේදී බොහෝ මන්ත්‍රිවරු මෙයට ප්‍රසංසා කලේය. ලංකාවේ අඳ ගොවියා එතරම්ම පීඩනයකින් සිටී යයි ඇතැමෙක් උපකල්පනය කලා වැන්න. නමුත් ලංකාවේ ගොවි ජනතාවගෙන් සියයට පණස් පහක්ම කුඹුරු ඉඩම් හිමියන් වෙයි. මෙම විවාදයේදී අදහස් පළ කළ නියෝජ්‍ය කතා නායක පී . තෙන්නකෝන් මහතා පළ කල අදහස් මෙසේය. බෞද්ධ ආයතන වලට අයත් කුඹූරු වැඩ කරන ගොවි ජනතාව පවා කෙතරම් අයුතු ලෙස සූරා කෑම් වලට භාජනය වන්නේ දැයි පරික්ෂා කර බැලුව හොත් ඒ අයතන වලට අයිති ඉඩ කඩම් මහජන සන්තක කිරීමට සිදු වනවාට කිසිම සැකයක් නැත. මහනුවර දළදා මාළිගයට අයිති කුඹුරු පෑල් 36 ක් ගැන මම හොඳින්ම දන්නවා. මේ කුඹුර පෑල් 36 කොටස් හැත්තෑ දෙකකට බෙදා එක කොටස බැගින් දුප්පත් ගොවීන්ට දී එක කන්නයකට එක් කෙනෙකුගෙන් රුපියල් 150 බැගින් අය කරනවා. එළවුළු ගොවිතැනටද මේ අයුරින්ම  බෙදා දෙනවා.කුඹුරු ගොවිතැනටත් එළවුළු ගොවිතැනටත් ඒ අයුරින් ඉඩම් බදු දී. ගොවියන්ගෙන් අයකරන මුදල බදු කාරයාට එක් අවුරුද්දකට රුපියල් 16000 ක් කට වැඩියෙන් ලැබෙනවා. නමුත් මේ ආදයමින් දළදා මාළිගයට ලැබෙන කොටස් ගණන පරීක්ෂා කර බැළුව හොත් තමුන්නාන්සේලා පුදුම වෙනවා ඇති.රුපියල් 16000න් රුපියල් 850 යිමෙසේ ලැබෙන්නේ.ඉතිරි සියල්ල ගන්නේ දියවඩන නිළමේ සහ ගොවියා මැද්දේ සිටින කොන්ත්‍රාත් කාරයායි.
       ටී .බී . තෙන්නකෝන් මන්ත්‍රී වරයා මේ පණත වේලාවේ කවියක් කියන්නටද අමතක කලේ නැත.බඹේ කට විතර ඇත කුඹුර පරවෙනි -අඳේකට අනේ ඉන් පළක් නොලැබුණි
     ඔබේ ගෙදර අත්තම් මේ මට පුළුවනි -ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනි.
               සැබවින්ම කුඹුරු පණත සකස් කර තිබුණේ මේ රටේ ගොවිජනතාවනේ 27% දෙනෙකු ගේ සුභ සිද්දියට පමණකි. 1935 සිට ලංකා සම සමාජ පක්ෂයේ සිට වාමාංශික අදහස් මේ රට ප්‍රචලිත කරන්නට වෙර දැරූ ඔහු මහජන එක්සත් පෙරමුණේ පිහිටෙන් එසේම 1956 ජනතා ආණ්ඩුවේ පිහිටෙන් ඇමති කමක් ගෙන සිය මුල් අභිලාෂයන් ක්‍රියාත්මක කිරීමට වෙහෙස මහන්සිව වැඩ කලේය. ඩී.එස්. සේනානායක මහතා ගොවි ජනපද ව්‍යාපර ආරම්භ කරන විට ලංකා සම සමාජ පක්ෂය ඊට විරුද්ධ විය. ජනතාවට පහසු කම් නොමැතිව පදිංචි කරවීම දෝෂාරෝපණයට ලක් කිරීම පක්ෂයේ ක්‍රියාවලිය විය. නමුත් ගොවි ජනතාව කෙරෙහි හදිසියේ කරුණාවක් පහළව කුඹුරු පණත ඉදිරිපත් කිරීමෙන් ඔහු රටේ සම්ප්‍රදාය සහ අයතන ගත ක්‍රමවේදය සහමුලින්ම අවුල් කළ බව සහතිකය. බෞද්ධ ආරාමයන්ට පෙර රජ දවස කුඹුරු වතු පිටි දුන්නේ එහි පැවැත්මටයි.  කුඹුරට ගොයමට ආගමක් නැති වූවද ලංකාවේ සංස්කෘතිය අනුව ගොයම යනු බුද්ධ භෝගයයි. ඒ බැව් වාමාංශිකයන් නොදැන සිටියහ. නැතහොත් වුවමනාවෙන් අමතක කළහ. ආයතන තුළ යම් අකටයුත්තක් සිදු වන්නේ නම් සංඝයා වහ්නසේ බණවා ඒවා සුද්ද කිරීම පෙර රජ වරුන්ගේ පිළිවෙලියි. නමුත් මේ කුඹුරු පණත නිසා සමස්ත විහාරගම් දේවාලගම් පැවැත්මට  බලවත් තර්ජනයක් ඇති විය. එවකට ලංකාවේ විහාරගම් අක්කර 9453 විසිරී තිබුණි. දේවාලගම් අක්කර12730 ක් ද විය. එසේම නින්දගම් අක්කර 12 360 ක්ද විය. මෙහි වැඩ කළ අඳ කාරයන් හෝ බදු කාරයන් යම් කිසි රාජකාරියකට බැදී සිටියහ. දළදා මළිගාවේ නම් පෙරහැර රාජකාරිය හෝ ගබඩාගමේ රාජකාරිය  විය. නාථ දේවාලයේ නම් පෙරහැර රාජකාරියට මෙන්ම තේවා රාජකාරි ද නියම විය.අඳ කාරයා නිදහස් කරලීමෙන් සිද්ද වූයේ කුමක්ද. කුඹුරු පණතෙන් ලැබූ නිදහස නිසා ඔහු සිය ඉඩම් අන්සන්තක කොට රාජකාරියෙන් නිදහස් වීමට මාන බැලීමයි. මෙවැනි සිද්දි ඕනෑ තරම් දිවයින පුරාවටම වාර්තා වී තිබුණි. වත්මන් දෙවනගල විහාර භූමියේ ඉඩම් බදු කාරයා විසින් කාලයකදී සිය බදු අයිතිය මුස්ලිම් අයට විකිණිමේ ප්‍රතිඵලයක් වශයෙන් එමගල වටා විශාල මුස්ලිම් ජනගහනයක් අද වන විට සිටී.
       විහාරගම් දෙවාලගම් වල ඉඩම් වලින් 75% ක් පමණ ඉංග්‍රීසි පාලන සමයේදී කොල්ල  කෑමට ලක් විය. ඒ 1856 අංක 10 දරණ පණතිනි. ඉන් පසුව 1870 අංක 04  දරණ සේවා භුක්ති ආඥා පණත මගින් ගොවියන් ගේ ප්‍රවේණි දාස භාවය වෙනස් කිරීමට තැත් කරන ලදී.එහිදී සේවාව වෙනුවට එය මුදලට පරිවර්තනය කිරීම කරන ලදී.මේ සේවාවට මුස්ලිම් ජන වර්ගයන්ද බැදී සිටිය අතර ඔවුහු කන් කෙදිරි ගෑමකින් තොරව එම සේවය ඉට කර තිබුණි.පිලිප් ගුණවර්ධන මහතා සිය පණතෙන් විග්‍රහ කරන්නේ මෙලෙස ඉංග්‍රීසීන් ගේ පරිපාලන නීති වලින් අගතියට පත් ව තිබූ ආයතන වල සේවාවන්ය. එය සමස්තයක් ලෙසට සලකා ගොවීන් නිදහස් කිරීමෙන් සහ විහාර අධිකාරිය සහ අඳ හෝ බදු හිමියා අතර තිබූ සම්බන්ධයට ගොවිකාරක සභා නම් අතර මැදියෙකු පත් කිරීමෙන් සිදු වූයේ විහාරගම් දේවාලගම් පරිපාලනය අවුල් වී යෑමයි. අඳ හිමියා පෙර සඳහන් කළ පරිදිම නව පරම්පරාවේ ආකල්පයන් පරිදි සේවාවෙන් නිදහස් වීම සිදු වූ අතර  සිය අඳ අයිතිය විකුණා දැමිණ. මේ නිසා දළදා මාළිගය නාථ දේවාලය වැනි ආයතන  සතු මහනුවර නගරයේ ඉඩම් පවා අන්‍ය ජාතිකයන් සතු විය. පෙර සඳහන් කළ පරිදි මුස්ලිම් ජාතිකයන් මඩිගේ සේවාව යටතේ විහාරගම් වලටගවලම් මගින් ලුණු සපයීමට බැදී සිටියහ. එය නිසි පරිදිම ඉටු කෙරුණි. නමුත් නව තත්ත්වයන් යටතේ මුස්ලිම් ගොවියා ද සිය සේවය පැහැර හරිමින් එම ඉඩම් වලට ව්‍යාජ ඔප්පු තිරප්පු සාදමින් තම වර්ගයාගේ ව්‍යාප්තිය ඇති කර ගන්නා ලදී.
         නැගෙනහිර පළාතේ මේ තත්ත්වය ඉතා දරුණු විය. මෙහි ඉඩම් බහුතරයක් උඩරට රාජධානි සමයේ අවසාන කාලයේ සිටි සිංහලයන් සතු විය. ඇතැම් ඉඩම් දකුණේ සිට වෙළෙදාමේ පැමිණි සිංහලයන් සතු විය. මෙවුහු සිය අඳ කාරයන් සහ බදු කාරයන් වශයෙන් දෙමළ සහ මුස්ලිම් අය යොදා ගන්නා ලද්දේය.එයට හේතුව සෙනරත් රජු විසින් මෙහි මට්ටයන් පදිංචි කරලීමෙන් මෙන්ම දකුණු ඉන්දියාවෙන් හම්බන් යාත්‍රා මගින් මුස්ලිම් ජන වර්ගපැමිණීමයි. ඔවුහු ඕනෑම සේවාවක් සඳහා සූදානම්ව සිටියහ. කුඹුරු පණත ක්‍රියාත්මක කළ පසු මුස්ලිම් බදු කාරයන්ට හොඳ ඉල්ලුමක් පෑදුනාක් වැනි විය. කන්නයකට සැරයක් සිය ඉඩම් වගා කිරීමට පැමිණෙන සිංහලයන් 1983 කාලයේ ජාතිවාදී කලබල නිසා නොපැමිණ සිටි හෙයින් සිය බදු අයිතියට ව්‍යාජ ඔප්පු සාදා හිමි කර ගන්නට උත්සාහ දරා තිබේ. එවැනි ඉඩමක් පිළිබඳ වාර්තාවක් පසුගියදා ප්‍රසිද්ධියට පත් විය.වාලච්චේන මිරාවෝඩේ ගමහි ඩබ්.පී.පී. ද සිල්වා මහාතා සතුව පැවති පොරුක්කන් මුම්මාරි නම් අක්කර 52 ක වපසරිය ඇතිකුඹුර මෙලෙස මීරා ලෙබ්බේ ආදම් බාවා නම් අය බලහත්කාරයෙන් අයිති කර ගෙන ඇත.
      කුඹුරු පණත නිසා සිදු වූ අනික් කරුණ නම් ලංකාවේ ව්‍යාපාර පුළුල් කිරීමට මාන බලමින් සිටි පොහොර සමාගම් ගොවි කාරක සභා තුළට රිංගා ගැනීමයි. 1968 වර්ෂයේදී ඩඩ්ලි සේනානායක රජය අත්සන් කල ගිවිසුම් නිසා නව තාක්ෂණය සමග කෘෂි රසායන සහ රසායනික පොහොර ගොවි බිම්වලට සීමාවකින් තොරව ගලා ආයේය. මේවා පාලනය කරන්නට කිසිවෙක් සිටියේ නැත. රදළයන් ගෙන් නිදහස් වූ ගොවියා පොහොර සමාගම් වල වහලෙක් වන්නට වැඩි කලක් ගියේ නැත.එසේම අඩු අස්වැන්න ලබන බස්නාහිර පළාත් කුඹුරු අතහැර නගරයට සංක්‍රමණය වන්නට නව පරම්පරාව වැඩි කැමැත්තක් දැක්වීමේ ප්‍රතිඵලය වූයේ එහි අක්කර දහස් ගණනක් පුරන් බවට පත් වීමයි. ඒවා ගොඩ කර මහ නගර හදන්නට වත්මන් පාලකයන් පිඹුරු පත් අටවමින් සිටී. සැබවින්ම සැලැස්මක් නොමැතිව ගොවියා නිදහස් කිරීමේ ප්‍රතිඵලය කිසිසේත්ම ලංකාවට සුභදායි නොවූ බව පසක් වී අවසන්ය.



      

Saturday, October 31, 2015

මහාවංශයට පූර්විකාවක් සපයන දඹුල්ල ඉබ්බන්කටුව

                         


                      මහානාම හිමියන් මහාවංශය රචනාකරන ලද්දේ තත්කාලීන දේශපාලන ආගමික හා ශාසනික පරිවර්තනයන් සඳහා පාලකයන් මෙහෙයවීමේ සද් අරමුණින් බව නිසැකය. ඒ ඓතිහාසික කෘතිය ලියැවුණු වකවානුවේ සිදු වූ විදෙස් ආක්‍රමණ බල අරගල සහ භික්ෂු සමාජයේ ඇති වූ වෙනස්කම් සියල්ල සැලකිල්ලට ගෙන සමාජය තුළ යම් සංවාදයක් ඇති කරලන්නට මේ කෘතිය රචනා වන්නට ඇත. සංඝයා වහන්සේලා මෙන්ම රාජ වංශකයන් අතර තිබූ ජන ප්‍රවාදයන් හා මූලාශ්‍ර මේ කෘතියට පදනම් වී තිබේ. එහෙත් එහි එක් දෙයක් පිළිබඳව වැඩි විස්තර දක්නට නැතිය. එනම් මිහිඳු මහා හිමියන් ලංකාවට බුදු සසුන ලබා දෙන්නට ගත් උත්සාහයට පළමු  බුදුන් වහන්සේ විසින් ලක්දිවට කරන ලද ආගමික බලපෑමත් එකල ජීවත් වූ සමාජයේ පැතිකඩත් එහි විස්තරාත්මකව අන්තර්ගත නුවුණි. දැන් එය සොයා යෑමට අපට සිදුව ඇත. එයට හේතුව වන්නේ වර්තමාන ලංකා දේශපාලන සංදර්භය තුළ මෙන්ම සමාජ සංදර්භය තුළද මතුව තිබෙන ප්‍රතිවිරෝධතාවයන්ය. මේ ප්‍රතිවිරෝධතාවයන් සමනය කරගැනීමට  තිබෙන එකම ප්‍රතිකර්මය නම් රටේ ජනතාව තුළ ජාතික මනස අවදිකරවීමයි. ඉතිහාසයේ අභිමානය එයට කෙතරම් වැදගත් වන්නේ දැයි අප කල්පනා කළ යුතුය.
        දැන් අප පැමිණ තිබෙන්නේ දඹුල්ල නගරයට කිලෝ මීටර පහක් පමණ මෙපිට කුරුණෑගල මහා මාර්ගය අභියස හමුවන ඉබ්බන් කටුව ගම්මමානයටයි. මහා මාර්ගය අසබඩ මීටර පන්සීයක් පමණ ඇතුළතින් ඉබ්බන් කටුව ඓතිහාසික සූසාන භූමිය හමු වෙයි. මෙම භූමිය මතු පිට තිබූ ගල් පියන්  සහිත නටබුන්  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද්දේ මීට කලකට පෙරය.ඒ 1984 වර්ෂයේ දී කරන ලද කැණීමකදීය. ඉන්පසුව 1986 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම ස්ථානය පිළිබඳ සැලකිල්ලට ගෙන සිතියම් ගතකිරීම ආරම්භ කරන ලදී. පසුව ජර්මනියේ කාවා අරමුදලේ අනුග්‍රයෙන්  කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක්  1988 දී කැණීමක් ආරම්භ කරන ලදී. මෙම භූමියේ වර්ග මීටර් පහළොවක්  පමණ වන පරිදි විහිද යන ඉඩක් මෙම කැණීමට යොදා ගෙන තිබුණි.මෙයින් මතු කර ගත් ගල් සොහොන් ප්‍රමාණය දහයකි. ඒ තුළ තිබූ මැටි යෙන් සකස් කළ මිනී පාත්‍ර රාශියක් විය. එසේම මිනී දැවූ පිලිස්සු ආදාහන වේදිකාවක්ද මතු කර ගැනීමට හැකිවුණි. මැටි බරණි තුළ විචිත්‍ර කානේලියන් ( අර්ධ මැණික් ) පබළු සහ ඔනික්ස් ගණයේ මාල හමු වීමෙන් මේ මහා ශිලා සභ්‍යත්වයේ ශ්‍රී සමෘද්ධිය පිළිබඳව වැටහීමක් ලබා ගන්නට හැකිවිය.
             වර්තමාන දඹුළු රජ මහා විහාරයට අයත් ලෙන් සංකීර්ණය සහ එහි ඇතුළත්  ලෙන් ලිපි සැලකෙන්නේ ක්‍රි. පූ . පළමුවන සියවසේ නිර්මාණයන් බවයි. නමුත් ඉබ්බන්කටුව තුළ කරන ලද කැණීමෙන් හමු වූ අවශේෂයන් පරීක්ෂාවට ලක් කළ කල්හි විද්‍යාඥයන්ට සොයා ගත හැකි වූයේ ඉබ්බන්කටුව සංස්කෘතිය ක්‍රි.පූ. 750-400 දක්වා වූ කාලය තුළ වර්ධනය වූවක් බවයි. මෙය නම් අහම්බයක් නොවේ. මහා වංශයේ සඳහන් විජයාගමනයට ප්‍රථම කාලයකි. එවැනි කාලයක සුඛෝපභෝගී ලෙසට ජීවත් වූ දියුණු මිනිස් කොට්ඨාශයක් සිටියේ යැයි අප කෙසේ අදහන්නද. නමුත් එය සිදුව තිබේ. එයට හේතුව 1988 කරන ලද කැණීමේ දී මතු කරගත් එක් සොහොනක ගල් පියනක් මත දකුණු ආසියාවේ  පැරණිතම ශිලා සටහනක් හමු වීමෙනි. එවකට කැළණිය විශ්ව විද්‍යාලයේ  සිසුන් කණ්ඩායම නියෝජනය කරමින් කැණීම් මෙහෙයවූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියන පරිදි මෙම පියන් ගල් වලින් හමු වූ සංකේත අක්ෂර දෙක ඉන්දියාවේ මොහෙන්දෝජාරෝ -හරප්පා වලින් හමු වූ සංකේත හා සමාන වෙයි.
මෙම සංකේතය බ්‍රාහ්මී අක්ෂරයට එකතු කරලූ සංකේත වලින් සමන්විතව තිබෙන බව බැලූ බැල්මට පෙනෙයි. නමුත් ඔහු කියන පරිදි ඉබ්බන්කටුව ශිලා සංස්කෘතිය දකුණු ඉන්දියාවේ මෙගලිතික සංස්කෘතියක් හෝ උතුරු ඉන්දියාවේ ප්‍රභවයක් නොවේ.ඔහු එම නිගමනයට එන්නට ඇත්තේ පසුගිය කාලයේ සපරගමු පළාතේ රංචමඩම හල්දුම්මුල්ල කූරගල සහ බුදුගල කරන ලද ගවේශණ හා කැණීම් වල දත්ත සහ විද්‍යාත්මක කාල නීර්ණයන් අනුව විය යුතුය. මීට වසර හයදහසකටවත් කලියෙන් ලංකාවේ මානව සංස්කෘතිය ඉතා දියුණු අඩියක තිබෙන්නට ඇතැයි. ඔහු උපකල්පනය කරයි.

        කෙසේ වෙතත් දඹුල්ල ඉබ්බන් කටු සුසාන භුමියෙන් හමූ වූ ගල් සොහොන් දැන් නැවතත් පරීක්ෂාවට බඳුන් වෙමින් පවතී.2015 වර්ෂයේ දී නැවතත් කැණීම් ආරම්භ කරන ලද ඉබ්බන්කටුව පුරා විද්‍යා භූමිය තුළින් ගල් සොහොන් හතලිස් දෙකක් පමණ  මුල් වරට කුඩා ඉඩ ප්‍රමාණයකින් සොයා ගෙන තිබේ. මෙම කැණීම මෙහෙයවන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුග්‍රහයෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ රංජිත්බණ්ඩාර මහතා ඇතුළු පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි.මේ තුළින් ලැබුණු මැටි බරණි තවමත් පරීක්ෂාවට බඳුන්ව නොමැත.එම නිසා වත්මන් කැණීම සහ එහ ප්‍රතිඵල ලබා ගන්නට තව කෙටි කලක් ගත විය හැකිය.
       පැරණි කැණීමට ඉතා නුදුරින් තිබෙන මෙම ස්ථානය අසබඩම අළුතින් තනා නිම කර ඇති නිවසකි. 1980 දශකයේදී මෙම ඉබ්බන්කටුව ප්‍රදේශය තුළ නව මානව ජනාවාසයක් ආරම්භ කරන ලදී. ඉඩම් නොමැති පුද්ගලයන් සඳහා ඉඩම් ලබා දීමේ චේතනාවෙන් සකස්කරන ලද නව ගම්මානය එවකට පුරා විද්‍යා ස්ථානයක් ලෙසට හඳුනාගෙන නොසිටියහ. මේ වන විට පුරා විද්‍යා නටබුන් පිහිටා තිබෙන වර්ග කිලෝමීටරයක පමණ ප්‍රදේශය පුරා නිවාස කඩපිල් නව ආපන්න ශාලා සහ සංචාරක ස්ථාන රාශියක් දක්නට හැකිය. මේ නිසා නව මතු කර ගැනීමෙන් අපට ප්‍රශ්ණාවලියක්ම සිතට නැගෙයි. දඹුල්ල කරා යන එන සංචාරයකයන් මෙන්ම වන්දනා කරුවන්ට දැක බලා ගත හැකි වන පරිදි මෙම භූමිය සංරක්ෂණය නොවී තිබීම මෙම ප්‍රශ්ණය මතු කරන මානයයි.මේ පිළිබඳ වගකීම පවතින්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුවයි. යම් ප්‍රතිපත්තිමය තීන්දුවකින් ගල් සොහොන් පවතින අක්කරයක පමණ ඉඩක්වත් මතු පුරා විද්‍යා කටයුතු සඳහා වෙන් කොට කටුගෙයක් සහ සංචාරක නිවහනක් ඇති කළ හොත් එය මතු පරපුරට අගනා ඉතිරියක් වේ.
      1988 දී කරන ලද කැණීමෙන් පසු දඹුල්ල කුරුණෑගල මහා මාර්ගයේ ඉබ්බන් කටුව සොහොන් භූමියට සමාන්තරව ඉබ්බන්කටුව වැවට ඉහළින් තිබූ පොල් වත්තේ ජනාවාසයක අවශේෂයන් හඳුනා ගන්නා ලදී. එහි අරුත නම් ඉබ්බන් කටුවේ මිහිදන් කරන්නට ඇත්තේ මෙකී ජනතාවගේ මළමිනී බවයි. වසර දහස් ගණනකට පසුව මෙම සොහොන සහ එයට අදාල සංස්කෘතිය අපගේ ඉතිහාසයට නොයෙකුත් අයුරින් වැදගත්ව ඇත. මහාචාර්ය සෝමදේව මහතා කියන පරිදිම මේ මූල ඓතිහාසික යුගයේ සභ්‍යයත්වය ඉන්දියාවෙන් ආනයනය කෙරුණක් නොවේ. නමුත් එවකට දඹදිව සහ කලාපයේ තිබූ දේශපාලන  සමාජීය  ආර්ථික සංස්කෘතියෙන් ඔප් නැන්වුණු දියුණු පවුණු  වූ සමාජ දහරාවකි. සපුරගමු බින්තැන්නේ රංචමඩමේ මෙන්ම මොවුන්ද මිනී දැවීමට ඔරු සුසාන වේදිකා තනා ගෙන තිබුණි. මන්දාරම් නුවර   රිටිගල සීගිරිය මානෑ කන්දේ පවැතුණු යක්ෂ රාක්ෂ ශිෂ්ඨාචාරයේම තවත් අදියරක් ලෙසට මෙය සලකන්නට නොහැකිද. යක්ෂ බස රහස්  බසක් සේ තබා ගෙන උතුරු ඉන්දියාවේ දේශපාලන අභිලාශයන් සමග මෙන්ම ව්‍යාපාර මානසිකත්වයන් ගලපා ගත හැකි වන පරිදි එහි පැවති මූල ප්‍රාකෘත අක්ෂර භාවිතයෙන් මහා සභ්‍යත්වයක් බිහි කරන්නට වෙර දැරූ අභිමානවත් හෙළයන් පිරිසක් දඹුල්ලේ සිටින්නට ඇතැයි අපගේ නිගමනයයි. එය නම් මහාවංශයේ ප්‍රකාශිත අර්ථයම වන ගොවි වෙළෙද බල දේශපාලනයයි .මේ දේශපාලනයේ සිටි පරුමක වරුන් විසින් දඹුළු ලෙන කටාරම් කොටවා මුල් තපස් පිල් ආරම්භ කරන්නට ඇත්තේ මිහිඳු මා හිමියන් වැඩම කරන්නටද පෙරාතුවයි. පසුව බුදුන් වහන්සේ ගේ ලංකාගමනය නිසා අවිලුණු දහම් පිපාසය නිසා මේ ලෙන් රහතුන් වෙනුවෙන් කැප කරන්නට ඇත. මේ නිගමනයන් විවාද සම්පන්න වුවද මහාවංශය ගුරු කොට තබා ගනිමින් එහෙත් එයටත් වඩා පෙර ඉතිහාසයක අභිමානය කැටි කරනු වස් තතනන වත්මන් තරුණ පරපුරට මේ ප්‍රවෘත්තිය ආඩම්බරයක්ම වන නිසා එවැනි විවාදපන්න අදහසක් වුවත් සමාජ ගත කිරීමට අප පසුබට නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

2015/10/31 rivira sunday


Friday, October 16, 2015

බෙදුම්වාදය සඳහා මෛත්‍රී සම්මුතිය කුමක්ද

                                     


                  ලංකාව ඩෛරල් රාජ්‍යයක් ලෙසට හෝ අභ්‍යන්තර ස්වයංපාලනයක් සහිත රටක් වශයෙන් බෙදා වෙන් කිරීම වාසි සහගත වන්නේ කුමකටද යන්න පැහැදිලිය. ඉන්දියාවට හෝ ඇමරිකා එක්සත් ජනපදයට සිය දේශපාලනික ආර්ථික සහ ඇතැම් විට ආගමික ව්‍යාපෘති පහසුවෙන් ක්‍රියාත්මක කරලීම උදෙසා මෙවැනි බෙදීමකට යෑම පහසුතරය. දෙමළ ඊළාම් සංකල්පය වෙල්ලාලර් උගතුන් ගේ නිර්මාණයක් වුවද එයට දේශපාලනික හා යුධමය ශක්තියක් ලබා දුන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයයි. සිය දේශපාලනික වුවමනාවන් සඳහා කොටි පුහුණු කරලීමේ කඳවුරු වලට ඉන්දියාව ඉඩ දුන්නේය. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අවි ලබා දීමෙන් සහ ජගත් ප්‍රජාව අතර මතවාදී ශක්තිය ජනිත කරලීමට උදව් උපකාර ලබා දුන්නේය. පක්ෂ දේශපාලනික වශයෙන් බෙදී සිටින රටක් වශයෙන් ලංකාවේ දෙශපාලනය විදේශවලට අවශ්‍ය පරිදි හැසිරවිය හැකිය. මේ බෙදුම්වාදය ක්‍රයාත්මක කරලීමේ වගකීම ඇන්ටන් බාලසිංහම් සහ ප්‍රභාකරන් නම් පුද්ගලයන් හට වගකීමක් ලෙසට තිබුණි. ඇන්ටන් බාලසිංහම් මිය යෑමෙන් පසු ප්‍රභාකරන් සිය ස්වාමිවරුන් අභිබවා යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ඇතුළු එල්.ටී.ටී. සංවිධනාය විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ රජයට යම් ඉඩක් ලබා දුන් බවද පැහැදිලිය. එහෙත් යුධ ජයග්‍රහණයේ ස්වරූපය මත ප්‍රභාකරන් බේරා ගැනීමට පවා බටහිර රටවල් අවසාන මොහොතේ උත්සාහ දැරූ බව ප්‍රකටය.මේ නාටකයේ යථාර්ථවාදී ස්වරූපය නිසාම ජනතාව ඉන් උද්දාමයට පත්වීම හේතු කොට ගෙන බටහිර කූටෝපායික සැලැස්ම පිලිබඳ කතිකාවක් රට තුළ ඇති නොවුණි.
       ප්‍රභාකරන් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද බටහිරයන්ට හිසරදයක් විය. මහින්ද රාජපක්ෂ මහතා විදේශ අධිපතිවාදයට හිස නොනැමීය. එහෙත් ඔවුන්ගේ ආර්ථික වලෑමට යටත් වුණි.පී.බී.ජයසුන්දර මහතා හරහා ක්‍රියාත්මක වූයේ බටහිර ගැති ආර්ථික ප්‍රතිපත්තියකි. එහි ප්‍රතිඵලයක් ලෙසට ලංකාව තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණි.දිගින් දිගටම ණය ගැනීමත් එම මුදල් වැඩි ප්‍රමාණයක් අව භාවිතයේ යෙදීමත් කරණ කොට රට තුළ රජය කෙරෙහි බලවත් අප්‍රසාදයක් ඇති විය. මේ වාතාවරණය යටතේ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ සුප්‍රකට කුමන්ත්‍රණය ඇරඹුණි. මාක්ස්වාදී මත වලින් ඔළුව කුරුවල් කරගත් බලය සඳහා සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එමෙන්ම ජාතිකවාදියෙකුද නොවන මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වයට තෝරා ගැනුණේ මහින්ද එලවීමේ ව්‍යාපෘතියේ උච්චතම අවස්ථාවේදීය. පක්ෂ දෙකක පුද්ගලයන් දෙදෙනෙකු එක්කර ඊනියා ජාතික ආණ්ඩුවක් යයි කියැවෙන සභාගයක් අටවා සම්මුතිය තුලින් බෙදුම්වාදය කරා රට දැක්කවීම බටහිර න්‍යාය පත්‍රය විය. නමුත් එළවූ මහින්ද වෙනුවෙන් රටපුරා යළිත් රැල්ලක් නිර්මාණය වීම මේ බෙදුම්වාදයට ඇතිවූ ප්‍රධාන බාධාව විය. එයටද විසඳුමක් ඔවුන් සොයා ගන්නට ඇත. එය මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ක්‍රියාත්මක විය. එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා හරහාද ක්‍රියාත්මක විය. අවසාන ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමයි.
                1951 වසරේදී බණ්ඩාරනායක මහතා හරහා රට පක්ෂ වශයෙන් බෙදා බෙදුම්වාදය මගින් සිංහලයා දුර්වල කිරීම බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ වූවා සේම මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා පක්ෂ එකට එක්කොට ජාතික ආණ්ඩුවක්  අටවා බේදුම්වාදය ක්‍රියාත්මක කිරීම වර්තමාන න්‍යාය පත්‍රය වෙයි. මෙහිදී අප පළමුව සලකා බැලිය යුත්තේ මහින්ද රජපක්ෂ රජය යටතේ මේ බෙදුම්වාදය කිනම් ආකරයකින් තිබුණේද යන්නයි. එවිට මෙම ප්‍රශ්ණය තේරුම් ගැනීමට යම් පහසුවක් ඇතිවෙයි. මහින්ද රජපක්ෂ මහතා විසින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත් කළද ඉන්පසු දෙමළ ඊළාම් මතවාදය පරාජයට පත් කිරීම උදෙසා පියවර ගැනීමට පසුබට විය. ඔහු බැන්කී මූන් ලංකාවට පැමිණි පසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේය. එම ප්‍රකාශය සමාන්‍ය රජ්‍ය තාන්ත්‍රික පුරුදක් වුවද එහි යම් වෙනසක් කිරීමට රජය අපොහොසත් විය. ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය හා නොර්වේ යන රටවල් ත්‍රස්වාදීන්ට උදව් කිරීම යුද්ධය පැවති කාලවකවානුවේදී තහවුරුව තිබුණද ඒ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමක් සිදු නොවීය. මෙම ඒකාබද්ධ ප්‍රකාශය හරහාවත් එය කළ යුතුව තිබුණි. අනෙක් කරුණ නම් දරුස්මාන් වාර්තාව හරහා බොරු බේගල් ඇදබෑම නිවරදිව විවේචනය නොකිරීමයි. එසේම මැක්සවල් පරණගම කොමිසම මගින් යුද්ධය ඇති වීමට සෑබෑ ලෙසටම හේතු වූ කරුණු මෙන්ම එල්.ටී.ටී.ඊ . ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිවරදිව එළදැක්වීමට කටයුතු නොකිරීමයි. මැක්ස්වල් පරණගම යනු හිටපු විනිසුරු වරයෙකි. ඔහුට මේ සම්බන්ධව තිබෙන සුදුසකම කුමක්ද. සැබැවින්ම විනිසුරවරයෙකු ලෙසට සිටීම පමණි. ලංකාවේ බොහෝ විනිසුරුවරයන්ට සමාජයේ ප්‍රශ්ණ පිළිබඳව කිසිම අවබෝධයක් නොමැත. එවැනි පුද්ගලයන් අතින් බිහිවන වාර්තා වලින් සිදු වූයේ ලංකාවේ සැබෑ තත්ත්වය තව දුරටත් වසන් වීම පමණකි.
            උතුරේ ජිවත් වූ දහස් ගණනක් සිංහල ජනතාව එයින් පන්නා දමා වාර්ගික පවිත්‍රකරණයක් සිදු වූ ආකාරය ඉතිහාසයට අයත් නමුත් ඉඩම් පිළිබඳ ඔවුන්ගේ අයිතිය මේ ප්‍රශ්ණයේදී යටපත් කළ නොහැකිය. ලංකාවේ පාලකයන් තුළ සිංහලයන් පිළිබඳ තිබෙන කැක්කුම ඉතාමත් අල්පය. එයට එක් හේතුවක් වන්නේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් විසින් දේශපාලඥයන් නඩත්තු කිරීමයි. අනෙක් කරුණ නම් ජාත්‍යන්තර ආයතන විසින් මේ දේශපාලනඥයන් නඩත්තු කිරීමයි. මේ ඛෙදවාචකය යහපාලන සමයේ පමණක් නොව ඉන් අතීතයට ද දිවයන සංසිද්දියකි. දෙමළ හෝ මුස්ලිම් ජනතාව කරන ප්‍රකෝපකාරී ක්‍රියා නීතිය ඉදිරියේ ප්‍රශ්ණ නොකිරීමත් ඔවුන්ට සමාජය තුළ විශේෂ වරප්‍රසාද අත් කර දීමත් සිදු වන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
          ලංකාවේ රජ්‍ය භාෂාවන් අතර සිංහල ඉදිරියෙන්ම සිටී. එහි අනන්‍යතාව කිසිවෙකුටත් අවතක්සේරු කළ නොහැකිය. නමුත් ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙවීමෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා විසින් මෑතකදී රජයේ සේවකයන් වෙත නිකුත්කරන ලද දෙමළ අකුරු නම් ග්‍රන්ථය තුළ අන්තර්ගත කරුණු අනුව දෙමළ සහ සිංහල භාෂා එකම මූලයකින් පැමිණ ඇතැයි අවධාරණය කර තිබේ.. අනෙක් කරුණ නම් දෙමළ බහුතරයක් සිටින දිස්ත්‍රික්කයන්ට සිංහල නිළධාරීන්ට අමතරව දෙමළ නිළධාරීන්ද බඳවා ගැනීමයි. උදාහරණයක් වශයෙන් මහනුවර දිසාපති කාර්යාලයේ දැනට සිටින සිංහල කාර්යාල සහායකට අමතරව දෙමළ කාර්යාල සහායකයෙකු බඳවා ගැනීම දැක්විය හැකිය. සිංහල නිළධාරීනට  දෙමළ බස ඉගැන්වීම කරන අතර තුරම මෙවැනි දේ කිරීම තුළින් මතු වන්නේ බෙදුම්වාදයේ මූලධර්මයි. මේ තත්ත්වයට අමතරව මෙවර පහේ ශිෂ්‍යත්ව අවම ලකුණුදීම දැක්විය හැකිය. දිස්ත්‍රික්ක කීපයකම ලකුණු මට්ටම් අතර විශාල පරස්පරයක් තිබෙන බව මෙහිදී පෙන්නුම් කළ හැකිය. කොළඹ සිංහල මාධ්‍ය සිසුන්ට ලකුණ 160 ක්ද දෙමළ මාධ්‍ය සිසුන්ට ලකුණු 154 ක් දක්වා තිබීමද ත්‍රිකුණාමලයේ සිංහල සිසුන්ට 153 ක්ද දෙමළ සිසුන්ට 151 දක්වා තිබීද මෙහිදී දැක්විය හැකිය. මෙලෙස එකම රටක ජීවත් වන පිරිසකට දෙවිදියකට සැලකීම  බෙදුම් වාදය ශක්තිමත් කිරීමකි.විභාගදෙපාර්තමෙන්තුව විසින් මෙම ක්‍රමය අනුගමනය කිරීමට හේතු වන්නට ඇත්තේ යුද්ධකාලයේ ඇති වූ තත්ත්වයයි. නමුත් එම බෙදීමට දිගින් දිගටම  අනුබලය දැක්වීම කළයුතු නොවේ.අනෙක නම් යාපනය කිලිනොච්චිය මන්නාරම සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුනටම සිංහල මාධ්‍ය සිසුන් සඳහා විභාගදෙපාර්තමේන්තුව ලකුණු මට්ටමක් නොදැක්වීමයි. එයින් පැහැදිලි වන්නේ මෙම ප්‍ර දේශ වල සිටින අතලොස්සක් පමණ සිංහලයන් ගේ දරුවන්ද අනිවාර්යයොන්ම දෙමල මාධ්‍ය මගින් පිළිතුරු සැපයිය යුතු බවයි.
       අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජය අනුගමනය කරන ලද්දේ දුර්වල ක්‍රියාදාමයකි.යුද්ධයෙන් පීඩාවට පත්ව විනාශයට ගිය උතුර සහ නැගෙනහිර සංවර්ධනයට විදේශ මුදල් ලබා ගැනීම තුළ දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් පදිංචි කිරීම මෙහිදී දැක්විය හැකිය. සිංහලයන් පදිංචි කිරීමට විදේශ ආධාර නොලැබෙන බවට පූර්ව නිගමනයක් තිබීම මෙයට හේතුව විය හැකිය. කෙසේ වෙතත් වන්නිය හා යාපන අර්ධ ද්වීපයේ මෙන්ම මන්නාරමේ සිට අවතැන් වූ සිංහල පවුල් වලට යලිත් ආපසු යෑමට රජයෙන් ධෛර්යයක් නොලැබුණි. නාවක්කුලියේ පදිංචි වීමට සිටි සිංහල පවුල් වලට රජයෙන් පවා තර්ජන ඇති විය. නැගෙනහිර සිටි සිංහලයන් ගේ ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සාදා මුස්ලිම් අය පදිංචි ව සිටින බව පෙන්වා දුන්නද රජයේ බලධාරීන් නොඇසූ කන් ඇතිව සිටිනු දක්නට ලැබුණි. රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයාට විශේෂ වරප්‍රසාද රජයෙන් ලැබුණු බව පෙනේ. මන්නාරම මරිච්චකට්ටු රක්ෂිතය කපා මුස්ලිම් ජනයා පදිංචි කරවීමට ඔහුට රිසි සේ අවසර ලැබුණි. මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට යහපාලන පෙරමුණට හේත්තුවූයේද මේ පිරිසමයි. අවසානයේ එක්සත් ජාතික පක්ෂ රජය පත් වූ පසු වැඩිම විෂය ගණනාවක් සහිතව මේ මුස්ලිම් නායකයාට ඇමතිකමක්ද නැවත ලැබුණි. ඔහු නැවත සිය බෙදුම්වාදී වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යයි.
           උඩරට කඳුකරයේ වතු ඉඩම් රාශියක් දෙමළ වතු කම්කරුවන්ට ලබා දීමට රජය පසුගියදා  කටයුතු සැලසීය. නමුත් ඉංග්‍රීසීන් ගේ වතු වගාව නිසා සිය ඉඩම් අහිමි වූ සිංහලයන් වෙනුවෙන් මේ අය ගන්නා පියවරක් නැත.ඒ අතර සිරගතකර සිටින දරුණු ගණයේ කොටිත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා උද්ඝෝෂණ කරනු පෙනෙයි. මෙය රජයේම න්‍යාය පත්‍රයකි.අවසානයේ දී යුද්ධයට නායකත්වය දුන් රණවිරුවන් පෝරකයට දක්කවා කොටි අපරාධකරුවන් නිදහස් කරලීමට රජය එකඟතාවය පළ කරනු නිසැකය.මේ තත්ත්වයෙන් අපට පැහැදිලි වන්නේ බටහර න්‍යාය පත්‍රයට අනුව පත්වූ යහපාලන රජය මෛත්‍රී සම්මුතියෙන් වාර්ගික වශයෙන් රට තුළ බෙදුම් වාදය ඇති කිරීමට පසුබිම සකස් කරන ආකාරයයි. ඉදිරියේදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් දෙමළ ජනතාවට අවශ්‍ය  දේ ලබා දෙන්නේ යැයි ජිනීවා වලදී විදේශ ඇමතිවරයා පොරොන්දු වී ඇත. නමුත් ලංකාවේ බහුතර සිංහලයන් මුහුණ දෙන ප්‍රශ්ණයන් ගැන මේ කිසිවෙකුට නිනව්වක් නැත. මේ අවාසනාව ගැන රටේ බහුතරයක් දෙන දැනුවත්ව නොසිටින බව ද සහතිකය.


Sunday, October 11, 2015

1956 ධර්ම යුද්ධය පිළිබඳ නැවත කියවීමක්

                                 

           ලංකාවට නිදහස ලැබී පිහිටුවා ගන්නා ලද පළමුවැනි ස්වදේශික ප්‍රජාතන්ත්‍රවාදී රජය එක්සත් ජාතික පක්ෂය  පදනම් කරගෙන බිහිවිය. ඩී.එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් වීමත් සමග සමස්ත රටවාසී සිංහල ජනතාව බලාපොරොත්තු දල්වා සිටියහ. අනගාරික ධර්මපාල ශ්‍රී මතාණන් විසින් ලක්වාසීන්ගේ මනසේ ඇති කරන ලද ජාතික අභිමානය අනුව එෆ්. ආර්. සේනානායක මහතාගේ සහෝදරයා වූ ඩී.එස්.සේනානයක මහතා කටයුතු කරනු ඇතැයි  සිතූහ. ධර්මපාල තුමා ගෙන් පසුව එෆ්. ආර්. විසින් ඇති කළ ප්‍රබෝධය මීට තවත් හේතුවක් විය. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ බලපෑම් මධ්‍යයේ සහ පොන්නම්බලම් සහ චෙල්වනායම් වැනි දෙමළ දේශපාලඥයන් විසින් ඇති කරනු ලැබූ පීඩනය යටතේ ඩී.එස්. කටයුතු කලේ සිංහලයන්ට අවශ්‍ය පරිදි නොවේ.ජනපද ව්‍යාපාරයන් ඇති කොට ක්‍රමානුකූලව සිංහල ආධිපත්‍ය ඇති කිරීමට කටයුතු කළද අධිරාජ්‍යවාදීන්ගෙන්  පීඩාවට පත්ව සිටි බෞද්ධයන් ආරක්ෂා කිරීමට රජය බැඳී නොසිටින බව ඔහු කළ ඉඟිය ඉවසුම් නොදෙන්නක් විය.ආණ්ඩුව සරණං ගච්ඡාමි කියන්ට එපා යයි යනුවෙන් ඔහු කළ ප්‍රකාශය බෞද්ධ නායකයන් ගේ සිත් රිදවීමට සමත් විය. මේ නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා රජයට විරුද්ධව ඒකරාශි වීම දක්නට ලැබුණි. මේ අතර නවසිය හතලිස් ගණන් වල අගභාගයේදී ලංකා සමසමාජ පක්ෂය ඉදිරියෙන්ම සිට වැඩ වර්ජන මෙහෙයවා ජනතාව පොළඹවා ආණ්ඩුව කැඩීමට මාන බැලීය.  ඩී.එස්. ගේ හදිසි අභාවය සිදුවූයේ මේ කාලයේදීය.ඉන්පසු ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත්වීම නිසා ආණ්ඩුව ඇතුලේ හීන් නූලෙන්ම බල අරගල ඇති වන්නට විය. මහමුදලි ගේ පුත් වූ බණ්ඩාරනායක මෙහි ඉදිරියෙන්ම විය. කොතලාවල මහතාද සිටි නමුත් ඔහු දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියේ පුද්ගයෙකු නොවීය.
        මේ අරගලය තේරුම ගත් සෝල්බරි සාමි ඔවුන් සියළු දෙන දිනක් ආණ්ඩුකාර නිවසට කැඳවා ප්‍රථමයෙන් සංග්‍රහ කොට රටේ පවත්නා තත්ත්වය පිළිබඳ විග්‍රයක් කරන ලදී. ලංකා සමසමාජ පක්ෂය විසින් පොළඹවන ජනතා බලය රටට එතරම් හොඳ නැති බවත් ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත් ශක්තිමත් විපක්ෂයක් තිබීම මගින් සමසමාජයේ අභිප්‍රායන් පරාජය කරගත හැකි බවත් ඔහුගේ අදහස විය. බලය සඳහා ගමනක් යෑමට පුල පුලා බලා සිටි බණ්ඩාරනායක මෙහිදී යමක් නොපැවසුවත් ආණ්ඩුකාරයාගේ අත දිගු වූයේ ජෝන් කොතලාවල මහතා වෙතටයි. ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයක් සාදන ලෙසට කොතලාවල පෙළඹවීම ආණුඩුකාරවරයාගේ අභිප්‍රාය විය. මේ ඉල්ලීම නිසා කොතලාවල මහතාට කේන්ති ගියේය. අවශ්‍ය නම් අවියක් රැගෙන ගොස් සමසමාජ නායකයන් ඝාතනය කළ හැකි නමුත් මෙවැනි නිවට යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන්හට වුවමනාවක් නොමැති බව කියා සිටියේය. මෙහිදී බණ්ඩාරනායක මහතාගේ අවස්ථාව පැමිණුනි.ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත තමා ආණ්ඩුවෙන් ඉවත්ව ශක්තිමත් විපක්ෂයක් සාදන බවට ඔහු ප්‍රකාශ කර සිටියේය.(මේ අවස්ථාවේ මෙම රැස්වීම වාර්තා කළ දයාරත්න නම් පොලිස් නිළධාරියාගේ මතකය ඇසුරෙනි) මේ ප්‍රකාශනයත් සමග ඉදිරිපත් කළ කොන්දේසි වර්තමනා දේශපාලනය මෙන්ම ජාතිකවාදී දේශපාලනඥයන්ගේ හැසිරීම තේරුම් ගන්නට මනා පිටිවහලක් වනාව නිසැකය.
           සිංහල මහ සභාව 1951 දී මාදම්පේ පැවති සංවත්සර මහ සභා රැස්වීමේ දී ඒකමතිකව ගත් තීරණයක් වූයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි.1936 පටන් සවභාෂාවන් මගින් රජය කටයුතු කළ යුතුයැයි දේශපලානඥයන් විසින් දක්වා තිබුණද රටේ ජාතික භාෂාව වන සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට විශාල හඬක් නැගුණේ මින් පසුවයි.නමුත් අගමැති ඩී.එස්. ගේ අදහස වූයේ සිංහල සහ දෙමළ  යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කළ යුතු බවයි.මේ විසංවාදය තම බල ව්‍යාපෘතියට ප්‍රයෝජනවත් ලෙසට යොදා ගැනීම බණ්ඩාරනායක මහතාගේ අභිප්‍රාය විය.මේ තත්ත්වය තුළ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් සටන් පාඨයක් ලෙසට ශක්තිමත් කර තිබූ සිංහල රාජ්‍ය භාෂාව කිරීම සෝල්බරිසාමි ඉදිරියේ ඔහුගේ ප්‍රමුඛ කොන්දේසිය විය. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමස්ත ජාතික ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය ලබා ගැනීම මත නව ජවයකින් සිංහල දේශපාලනය පණ කැවුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම මත ප්‍රථමයෙන්ම ආසන අටක් දිනා ගැනීමෙන් පසු ඊළඟ රජයේ බලය ලැබ ගැන්මට බණ්ඩාරනායක මහතා මූලිකව කලේ බෞද්ධ බල මණ්ඩලය ඇතුළු පිරිසට කිට්ටු වීමයි.මේ තත්ත්වය මෙසේ වුවද 1947 වර්ෂයේ දී ජාතික කොඩියක් නිර්මාණය කරන විට එම කොඩි කාරක සභාවේ සිටි බණ්ඩාරනායක මහතා සිංහලයන් ගේ කොඩිය පිළිබඳව අයිතිවාසිකම් කතා කලේ නැත. එසේම 1947 වර්ෂයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද අධ්‍යපන ආඥා පණත කතෝලික සභාව විසින් කරන ලද බලපෑම් ඉදිරියේ දී එ.ජා.ප.ය විසින් ඉවත් කර ගන්නා විට එයට එරෙහිව කතා නොකළ බවට සාක්ෂි ඇත.
             1956 මාර්තු මාසයේදී මහා සංඝයා විසින් බණ්ඩාරනායක මහතාට දසපණත පිළිගන්වන අවස්ථාවේ දී කරන ලද කතාවේදී එක්සත් ජාතික පක්ෂ විරෝධය උණුසුමව ඉදිරියට පැමිණියේය. ඔවුහු එදින මෙසේ කීහ. අපේ ඊනියා නායකයෝ නිදහස් ආණ්ඩු පණත පිළියෙල කරන අවස්ථාවේ එහි ආගමික සංස්ථා පිලිබඳ වූ 29 වන වගන්තිය රෝමානු කතෝලික ආර්ච් බිශොප් තුමාගේ උපදෙස් පිට එතුමාට ඕනෑ අයුරින් සකස් වුණු බව ඒ අණ්ඩු පණත සකස් කළ අයෙකුගෙන් කෙනෙකු වන අයිවර් ජෙනිංස් මහතා විසින් මෑතකදී අනාවරණය කර තිබේ. මහා සංඝායාගේ හෝ යටත් පිරිසෙයින් මහා නායක හිමිවරුන්ගේ අදහස්වත් මොවුන් විමසුවේ නැත. බෞද්ධ කොමිෂන් වාර්තාව කියන පරිදි  මේ වගන්තිය නිසා ලංකාවේ පාර්ලිමේන්තුවට මහ රැජිනගේ බලය අඩු කළ හැකි වුවත් ක්‍රිස්තියානි ආගම ලංකාවේ සිංහාසනාරූඩ කර තිබේ. එහෙත් එසේ කර තිබෙන්නේ ලංකාව අත්පා බැඳ කුරුසියේ පාමුල බිලි දීමෙන්ය.
       
බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභාව  සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් කැඳවන ලද්දකි. 1954 මැයි 7 දාතම මගින්  සකස් කරන ලද ප්‍රශ්ණ මාලාවක් ඔවුන් විසින් සමස්ත බෞද්ධ ජනතාව වෙත නිකුත් කරන ලදී. අඹන්වැල්ලේ ධම්මානන්ද බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි පලන්නොරුවේ විමලධම්ම නායක හිමි හපුවලානේ ඥාණාලෝක හිමි හල්යාලේ සමුනතිස්ස හිමි කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි ටි.බී. ඇල්ලෙපොළ මහතා පී.ද.එස් .කුලරත්න මහතා ඩී.සී.විජයවර්ධන මහතා ජී.පී. මලලසේකර මහතා ඇල්.එච් මෙත්තානන්ද මහතා තෙන්නකෝන් විමලානන්ද මහතා යන පිරිසද මේ කාරක සාභාවේ සාමාජිකයන් බවට පත් වූහ. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්ණ විස්සක් භික්ෂුන් වහන්සේලා පිළිබඳ තොරතුරු  ප්‍රශ්ණ  තිස් දෙකක් සමාජ තත්ත්වය ගැන  ප්‍රශ්ණ දොළසක් සහ බෞද්ධයන්ට ඇති බාධා යන මාතෘකා යටතේ මේ ප්‍රශ්ණ අටක් ද මේ ලියවිල්ලට අන්තර්ගතව තිබුණි. මේ අනුව ගම්දනව් සිසාරා යමින් තොරතුරු එක් රැස් කළ කාරක සභාව  සිය වාර්තාව 1956 වර්ෂයේ දී  නිකුත්කරන ලද්දේය. මේ වන විට ඇවිලෙමින් තිබූ දේශපාලනයේ දී බණ්ඩාරනායක මහතා ඇතුළු මහජන එක්සත් පෙරමුණ මෙයට සමීප වෙමින් සිය දේශපාලන අභිලාෂය ඉටු කරගන්නට සමත් විය. බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නැගී සිටීම සැබවින්ම 1956 දී  එක්සත් ජාතික පක්ෂ පරාජයට හේතු කාරණා බවට පත් විය.
            1926 දී පමණ ෆෙඩරල් මතයක සිටි බණ්ඩාරනායක මහතා සිය බල දේශපාලනය උදෙසා ජාතික ව්‍යාපාරය සමග එක්වීම සංසන්දනය කල හැකි නිදසුන් කීපයක්ම වත්මන් දේශපාලන තුලින් ද දැක්විය හැකිය.උපතින්ම කතෝලිකයෙකු වූ ඔහු බුදු දහම වැළඳ ගැනීම සහ එක්සත් භික්ෂු පෙරමුණ සමග එක පෙළට සිට ගැනීම දස පණත පිළිගැනීම යනු කරුණු ඒ යුගයේ හැටියට වැදගත්සේ සැලකිණ. වරක් රත්නපුරයේ සමන් දේවාලයේ පැවති උපවාසයකට ගොස් සිට බණ්ඩාරනායක මහතාට අවස්ථානුකූලව පන්සිල් දී තිබෙන්නේ සිවුරු පොරවා ගත් පොට්ටනිකාරයෙකු බව එකල පුවත් පත් වාර්තා කලේය. කෙසේ වෙතත් එකල ද මෙකල මෙන්ම සාමන්‍යයෙන් සිදුවන කාරණා දෙකක් පත්‍රවල වාර්තා කර තිබුණි. එකක් නම්  ඇමෙරිකානු විදේශභාර ලේකම් ඩලස් මහතා ලංකාවට පැමිණීමය. ඔහු ලංකාවට උපදෙස් දීම හැරුණු කොට ඔත්තු බැලීමද කළ බව ප්‍රකටය. මෙයට විරෝධය පා ශ්‍රීලංකා විද්‍යාලාධිපති පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියන් කළ කතාව මෙසේය. අද එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් රෝමානු කතෝලික සභාවත් අනික් අතින් ඒ පක්ෂ ඇමරිකානු ආණ්ඩුවත් අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධකම බෞද්ධාගම මෙන්ම මුළු මහත් ජනතාවට අපලදායි එකකි. සියයට අනූවක් බෞද්ධයන් ඇති පෝර්මෝසායාවේ චියන් කායි ෂෙක් නම් ක්‍රිස්තු භක්තිකයා බලයට පත් කලේ වෙන කවුරුවත් නොවේ ඇමරිකානු ආණ්ඩුවයි. එසේම සීයට අනූහතක් පමණ බෞද්ධයන් ඇති කොරියාවේ සිංග්මරි නම් ක්‍රිසිතු භක්තිකයා බලයට පත් කලේ ඇමරිකානු ආණ්ඩුවයි. එමෙන්ම සීයට අනූවක් පමණ බෞද්ධයන් සිටින දකුණු වියට්නාමයේ ඩිංග්ඩියෙම් නම් කතෝලිකයා බලයට පත් කලේ ඇමරිකානු ආණ්ඩුවයි. දැන් ඔවුන් ලංකාවේද කතෝලිකයන්ට අති මිත්‍ර බෞද්ධ නාමධාරී කොතලාවල මහතා ඒකාධිපත බලයට පත් කොට බුද්ධාගම නසා දමා මෙරට ක්‍රිස්තියානි බලකොටුවක් මෙන්ම ඇමරිකානු බල කොටුවක් කිරීමට මේ මස 11 වන දා ඩලස් මෙහි එන්නේ ඒ කුමන්ත්‍රණයකටයි. වකිකානුවේ තානාපති ලූකස් පියතුමා ද මේ දිනවල මෙහි සිටීම සැලකිය යුතු කරුණකි.
          වර්තමානයේ ද ලංකාවේ පවතින දේශපාලන දූෂණ අල්ලස් කොමිස් ගැන දිනපතා පත්‍ර සහ විද්‍යුත් මාධ්‍ය නන්දොඩවති. පණස් ගණන් වලදීද මෙය මෙසේ විය.1956 මාර්තු 07 දින නිකුත්වූ බෞද්ධ පෙරමුණු පත්‍රය එය වාර්තා කරන්නේ මෙසේය. මහා මැතිවරණයකදී සිදු වන කලකෝලාහල දූෂණ ක්‍රියා අල්ලස් දීම හා තාඩන පීඩනාදිය ගැන මේ රටේ භික්ෂූන් වහන්සේ අනෙක් කාටත් වඩා හොඳින් දනිති. ඒ නිසා  බුද්ධ ජයන්ති කාලයට පෙර හෝ පසු කාලය තුළ හෝ මැතිවරණයක් නොපැවැත්විය යුතුයයි මහා සංඝයාවහන්සේ අගමැති තුමාගේන් කළ ඉල්ලීමට ඇහුන්කම් නොදුන් එතුමා ලබන වර්ෂයේ අගෝස්තු මාසය තෙක් පාර්ලිමේන්තුවේ ආයු කාලය තිබියදීත් කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් සඳහා සූදානම් වීමයි. භික්ෂූන් වහන්සේලා එයට සංවේගය දැක්වීමක් වශයෙන් රටපුරා මහා උපවාසයක යෙදී දැන් ධර්ම යුද්ධයකට සූදානම් වෙති. ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දුෂ්ට හිතින් ඒ සඳහා තමන්හට යොදන්නට පුලුවන් සෑම උපක්‍රමයක්ම අගමැතිවරයාත් ඔහුගේඅනුගාමිකයනුත් යොදනවාට සැකයක් නැත. දැනට ප්‍රකටව තිබෙන අන්දමට නම් මෙවර මැතවරණය සඳහා වියදම් කිරීමට රුපියල් පණස්ලක්ෂයක අරමුදලක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන බව සැලයි. මෙයින් විශාල මුදලක් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී ධූරාපේකෂකයන් සහ හිටපු මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට වියදම් කොට ඇති බව කියනු ලැබේ.මේ මුදලින් රැවටුණු සමහර දෙනා අද දේශපාලන භූමියේ පාරාජිකාවට පැමිණ යන එන මං නැතිව සිටිති. ධන බලයට නොරැවටී ස්ථීරව සිටින නියම මහජන හිතෛෂීන් ද මේ අතර දක්නට ලැබීම ප්‍රීතියට කරුණකි. මේ හැර පණස් ලක්ෂයේ අරමුදලින් විශාල කොටසක් ඡන්ද දායකයන් අතර බෙදා දීමට සහ මත්පැන් වලටද වෙනකර ඇති බවදැන ගන්නට ඇත.
        අල්ලස් සහ දූෂණ ක්‍රියා රජය මගින් නැවැත්විය යුතු දේය. මහජනයාට අල්ලස් දී සුරාවෙන් ඔවුන් මත් කොට නොමග යවා ඡන්දය රැගෙන බලයට පත්වන රජයකට ඒවා නැවැත්විය හැක්කේ කෙසේද සිදුවන්නේ ඒවා තවත් දියුණු ලෙස පැවැත්වීමය. මේ අතර ලේක්හවුස් පත්‍ර සියල්ලම ඇත්ත නැත්ත කොට අයුක්තිය යුක්තිය කොට පෙන්වා මහජනයා මුලා කිරීමේ ව්‍යාපාරය මහා ඉහළින් පවත්වාගෙන යයි. මේ ගැන හොඳින් දත් භික්ෂූන් වහන්සේලා පසුගිය තුන් වනදා නගර ශාලවේදී ලේක්හවුස් පත්‍ර වර්ජනය කිරීමේ යෝජනාවක් සම්මත කර ගත්තේය. එක්සත් ජාතික පක්ෂයට කතෝලික පත්‍ර වලින් සම්පූර්ණ සහයෝගයට දීමට එහි අයිතිකරුවෝ පොරොන්දුව සිටිති. එහෙයින් මහජනයා ඒ පත්‍රවල ප්‍රචාරක ක්‍රියා වලින් පරිස්සම් වියයුතුය.
         
එක් පසෙකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් පසෙකින් මහජන එක්සත් පෙරමුණත් දේශපාලන පොරපිටියේ සටන් වැදී සිටියේ පරස්පර මතවාද ජයග්‍රහණය කරන්නටයි. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කඳවුරු බැඳගත් සිංහල බෞද්ධ  ජාතික ව්‍යාපාරය එම සටනින් ජයග්‍රහණය කරන ලද්දේය. භික්ෂූන් වහන්සේලා මෙම සටන හැඳින්වූයේ ධර්ම යුද්ධය යනුවෙනි. 1955 දී ඇති වූ පූර්ණ සූර්යග්‍රහණය මේ ජයග්‍රහණයට හේතු වූ බවද කියති. කෙසේ වෙතත්  අල්ලස් දූෂණ ක්‍රියා මෙන්මරජයේ බ්‍රිතාන්‍ය ගැතිකම පෙන්වා බන්ඩාරනායක මහතා බලයට පත් වුවද ඔහු අතින් සිදු වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමත් බස් වරාය ආදී කොටස් ජනසතු කිරීමත් වැනි සංශෝධන කීපයක් පමණකි. ඔහු සිය පැරණි මතයට යළිත් යමින්  දෙමළ බසටද සම තැන දීම සඳහා චෙල්වනායගම් මහතා සමග ගිවිස ගන්නා ලද්දේය. පක්ෂය ඇතුලත මෙන්ම පිටතද රැඳී සිටි කතෝලික බලවේගයන්හි දුෂ්ට ඉලක්කයට ලක්ව බණ්ඩාරනායක මහතා මෙලොව හැර ගියේය. ඉන්පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ ජනතා සුභවාදී කටයුතු රාශියක් සිදුවුණු බව සැබෑය. එහෙත් සිංහල බෞද්ධයාට සිය සිවාධීනත්වය යළි තහවුරු කරලීමට අවශ්‍ය වාතාවරණය ඇති කරලීමට විශේෂයෙන් රට ආර්ථික වශයෙන් නිදහස් කරලීමට ගත හැකි පියවරයන් ඉදිරියට නොපැමිණි බව සිහිපත් කළ යුතුය.සිදු වූයේ රට ඇමරිකන් උගුලකට හසුවී ණය බරින් පීඩිත වීමයි. මෙයට එක් හේතුවක් වූයේ මාක්ස්වාදී පක්ෂ සමග සභාගයට යෑමයි. තිරයෙන් පසු පස සිට විජාතිකයන්  විසින් නිතරම ලංකා දේශපාලන බල තුලනය කර තිබීම මේ පරාජයන්ට හේතුවයි. 1977 න් පසු ජේ.ආර්.ජයවර්ධන රජය ජාතික ව්‍යාපරය මැඩපවත්වමින් ලබරල් ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ස්ථාපිත කරමින් රට ලෝක බලවතුන් ගේ දඬු අඩුවට හිර කර තැබීය. කොටි ත්‍රස්තයන්ගෙන් නිදහස් වුවද ජාතික ව්‍යාපාරයේ හැසිරීම් ඉතා සූක්ෂමව අධ්‍යනය කළ විජාතික බලවේග නැවතත් බලයට පත්ව තිබේ. යුද්ධ කාලයේදී බිහිවූ බොරු ජාතික ව්‍යාපාරයන්ගේ හැසිරීම මීට ප්‍රබල හේතුවක් විය.

2015/10/12 දිවයින

Tuesday, September 22, 2015

යක්ෂ වංශිකයන්ද බත් කෑබවට සාක්ෂි වැලිගෙපොලින් හමුවේ

                          


         වී උප්පත්තිය පිලිබඳව බෞද්ධ සාහිත්‍ය තුළ දක්වා ඇති මතය බෙහෙවින් සිත් ගන්නා සුළුය. ලෝක උප්පත්තියත් මානවයාගේ ආරම්භයත් ඉන් පසු ඔවුහු ආහාර සොයා යෑමත් ක්‍රමික විකාශනයේ  සිදු වීම්ය. ආහාර වශයෙන් වෙඬරු මෙන්ව තිබූ පොළවේ රසය ගත් නමුත් කල් යෑමේදී බදලතා ද අවසාන වශයෙන් ස්වයං ජාත හැල් වර්ගයන්ද ලබා ගැනීමට සොයා ගැන්මට දැක්වූ සමත් කම් මගින් ආහාර සංස්කෘතියේ විකාශනය සිදු වූ බව සූත්‍ර දේශනාවන්හිද සඳහන්ය. ග්‍රැමිනේ කුලයට අයත් ගොයම් පැළයෙන් හට ගන්නා වී ගෙඩිය ගැන පුරාවිද්‍යාඥයන් ගේ මතය අනුව ආසියාවට තිබෙන්නේ විශේෂ අයිතිවාසිකමකි.  වසර නව දාහකට ප්‍රථම  ආසියාවෙන්  වී ගැන තොරතුරු හමු වන අතර චීනයේ යූ චෑනියන් නිම්නයේ කර ඇති පුරාවිදු පරීක්ෂණ මගින් වී ගෙඩියේ පොසිල සොයා ගන්නට සමත්ව තිබේ. එම පොසිල වසර දහතුන්දාහකට වඩා පැරණිය.නවීන විද්‍යාඥයන් ඔරයිසා සැටීවා නමින් මෙම වී වර්ගයන් දක්වා තිබේ. ඉන්ඩිකා ජැපොනිකා සහ ජැවනිකා වශයෙන් මේවා ප්‍රභේදකරණයට ද ලක්ව ඇත.
        වියැට ගෙඩිය නොහොත් ධාන්‍ය ඉතා සියුම්ව නිර්මාණයව තිබෙන්නකි. වී ගෙඩියේ පරිණාමය අනුව වී වර්ගයේ හැඩය වර්ණය තීරණය වේ. වී පොත්ත ඝන ආවරණයකි. පැරණි ස්වයංජාත ඇල් වල ඝන ආවරණයක් නොතිබූ බව කියැවේ. වී පොත්තේ සිලිකා බහුලය. ඇතැම් විට දිස්නයක් සහිතය. බූවක් තිබේ. වී පොත්ත ඉවත් කළ පසු නිවුඩු ස්ථර පහක් සහිත සහල් ඇටය හමු වේ. ඉන්ඩිකා වර්ග වල බහුලව හමු වන්නේ රතු කුරුට්ටයි. කුරුට්ට ඉවත් කළ පසු මදය නොහාත් භ්‍රැණ පොෂය හමු වේ. මදයේ සියයට අසූවක් පමණ ඇත්තේ පිෂ්ටයයි.වී මදය ඇතුලේ ප්‍රරෝහණයට අවශ්‍ය මූලය වන කළලය අඩංගුය.
               මෙම කළලයට අවශ්‍ය ආහාර දින 14 කට සෑහෙන බව පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත. නමුත් ඒ තත්ත්වය වර්ග අනුව වෙනස්වේ. වියැට ගෙඩිය ප්‍රරෝහණය වී එක් පෙති දෙපෙති වී ගොයම් පැළයක් වර්ධනය වේ. අවසානයේ නව පෙත්තේදී බණ්ඩි පුපුරා කොණ්ඩු මල එළියට එයි. තණ පවුලට අයත් ලෙසට සැලකෙන ගොයම් පැළය තණ පැලෑටියට වඩා වෙනස් වන්නේ එහි කර්ණිකාව සහ ජීහ්වලය යන දෙකම තිබීම නිසාය.ස්ව පරාගණයෙන් ගොයම් ගස සිය පරම්පරාව ගෙන යයි. නමුත් සියයට දශම එකක ප්‍රමාණයක් පර පරාගණයට ලක්ව අළුත් පරම්පරාවන් ඇති කරයි. නව වී වර්ග ඇති කරන්නේ මේ මූල ධර්මය යොදා ගෙනයි. ප්‍රධාන ගොයම් කඳේ එක් පත්‍රයක බැගින් දින හතකට වරක් එහි පත්‍ර ඇති කරයි. අවසානයේ ඇති වන්නේ ධජ පත්‍රයයි. සෙ.මී. 50 සිට මීටර් පහක් දක්වා උස ගොයම් ගස් වී වර්ග අනුව දක්නට ලැබේ. ලංකාවේ සහ ඉන්දියාවේ වැවෙන බොහෝ වර්ගයන් මීටර් එකකට වඩා උසින් යුක්තය. වියැට ගෙඩියේ විද්‍යාත්මක දත්තයන් එසේ නමුත් ගැමියා නම්  වී ගෙඩියේ ස්වභාවය  රසවත් තේරවිල්ලක් බවට පත් කරයි.
ගසට නමකි ගස මැරුණම වෙන නමකි -ගෙඩියට නමකි ගෙඩියේ සුඹුලට      නමකි
මදට නමකි මද කනකොට තව නමකි -මෙතුන් පදේ තෝරාලා කියන්               සකි
ගසවෙයි ගොයම් පිදුරුයි මළ පසු ගොයම -ගෙඩියයි වී දහයියයි පොතු අළු වලට නම
සහලුයි මදය කන විට බත් වෙයි එයම - මෙතුන් පදේ තෝරාලා දෙමි            ඔහොම
     මෙවැනි ආකාරයට වී ගෙඩියට විවිධ නම් පට බැදුනේ  කිමද යන්න කුතුහලයට කාරණයකි. පැරණි යක්ෂ වංශිකයන් වී ගෙඩියට කිණිර යන නාමයද භික්ෂූන් වහන්සේලා උදෙසා දන් දෙන විට මිණිර යන නාමයද දෙවියන් උදෙසා පූජා තබන කල්හි සුසිර යන නාමයද කැඳ බත් දීමේදී රධික යන නාමයද භාවිතා කර තිබෙන බව මානෑවේ යක්ෂ වංශිකයන් පවසති. නමුත් පොදුවේ ඔවුහු ධාන්‍ය වලට බතක යන නමින් නාමකරණය කර ඇත.කමතේ දී වී බැත වන්නේය. පසුව නිවසේදී වී කොටා ගැනීමෙන් පසු සහල් වී කෑමට ගැනෙන විට බත් වෙයි.පෙර ජන කවියෙන් කියැවෙන්නේ එයයි. එය සමාජයේ ක්‍රමික විකාශනය මගින් සිංහල භාෂාව පෝෂණය කිරීමක් ලෙසටද හඳුනා ගත හැකිය. ජන කවියා වී උපත  තවත් ආකාරයකට පෙන්වා දුන්නේ මෙසේය.
වියේ වියේ නුඹ කොතනින් ගෙනා වියේ - සක බඹතලේ ගල මුදුනින් ගෙනා වියේ
දිනෙන් දිනම ගොබ ඇදි ඇදි පමා වියේ - අත්තනගල්ල ගල මතුපිට පඳුර මා වියේ
          පැරණි සිංහල ජනතාව මඩ ගොවිතැනට වඩා කඳුකර ඇල් ගොවිතැනට ප්‍රියමනාප වූ බව පැවසෙයි. ඇල් වර්ග රාශියක නම් අපගේ ජන සාහිත්‍ය තුළ හමු වෙයි. ඇල් වී ජාති නම් පුස්කොළ ග්‍රන්ථයේ සඳහන් පරිදි ඒවා විවිධ නාමකරණයෙන් ප්‍රචලිත වී තිබී ඇත.මේ ඇල් වී වර්ග අතරින් සුවදැල් සහ රත් ඇල් උතුම් බව සැලකෙයි.පැරණි යක්ෂ වංශිකයන් රදල් සහ සුරල් යනුවෙන් දක්වා ඇත්තේ මෙවැනි වී වර්ගයන් බව නිසැකය.

          කෙසේ වෙතත් මෑතකදි මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් බළන්ගොඩ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉළුක්කුඹුර ගමේ ලුනුගල්ගේ තුළ කළ කැණිම් වල ප්‍රතිඵලයක් වශයෙන් දැවී ගිය වී පොතු කැබැල්ලක් සොයා ගැනීමට සමත්ව තබේ. ගල් ආයුධ, මැටි පබළු, රතු කලු මැටි බදුන් කැබලි, සිදුරු කල අවසාදිත මැණික් සහ යකඩ කැබලි , විවිධ ධාන්‍ය කැබලි අතරින් වී පොත්තක් මතුවීම සැබවින්ම ලංකාවේ ඉතිහාසයට නව පිටුවක් එක් කර තිබේ. මීට ප්‍රථම හෝර්ටන් තැන්නෙන් ධාන්‍ය වල  පොසිල හමු වී තිබුණද වී ගෙඩියේ අංගාරිකෘත පොසිල හමු වන්නේ පළමුවරටයි. මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ නිගමනයට අනුව දළ වශයෙන් මේ පොසිලය වසරතුන්දහස් පන්සියයේ සිට පන්දහසක කාලයට අයත් ලෙසට සැලකිය හැකිය.එනම් යක්ෂ වංශිකයන්ගේ රාජධානි පැතිර තිබූ සමයයි. ලුණු ගල්ගේ පිහිටා තිබෙන්නේ බළන්ගොඩ පර්වත හෙලේ බැවින් මෙම ස්ථානය ආරක්ෂිත ස්ථානයක් ලෙසට ද හඳුනා ගත හැකිය. නමුත් එහි පැරණි බව නිවරදිව තීරණය කර ගත් හැක්කේ මේ කැණීම් වලින් හමු වූ අඟුරු විද්‍යාත්මක කාල නිර්ණයට හසු කිරීමෙනි.






Monday, September 7, 2015

මහනගර සැලසුම් හරහා රට ඩැහැ ගන්න සියල්ල සූදානම්


                      




                 යහපාලන රජයේ ඇමතිපට්ටම් අතර අමුතුම මාදිලියේ ඇමතිකම් කීපයක් දක්නට ඇත. ඉන් එකක් නම් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමතිකමය. යහපාලන ආණ්ඩුව ස්ථාපිත කරන්නට  වෙහෙසුණු මධ්‍යම පාන්තික ජනතාව බෙහෙවින්ම ජීවත් වන කොළඹ ගම්පහ ආදී නගර වැසියන්ට නම් මෙය ප්‍රීතිදායක ආරංචියකි.  පසුගිය රජයේ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් කොළඹ නගරය විධිමත් කරලීම පිණිස විශේෂ වැඩසටහනක් ඇති කරලීමට පියවර ගත් බැවින් මේ නව නාගරික සංවර්ධනය ගැන ඉවක් ඔවුන් තුළ ඇති වීම මේ ප්‍රීතියට හේතුවයි. ඒ ක්‍රියාකාරකම් තුළින් ලැබූ දැනුම මිසක් ඉන් එපිට මහනගර සැලසුම ගැන දන්නා අයෙක් ඇතැයි සිතිය නොහැකිය.

      සැබවින්ම මහනගර නොහාත් අධිනගර සැලැස්මට ඉතිහාසයක් ඇත.  කොළඹ නගරය විධිමත්ව සැලසුම් කරලීම පිණිස මුල් කොට ගත් ක්‍රියාමාර්ගයන් මෙහි අන්තර්ගතය. 1949 දී පමණ පැට්රික් ඇඹකොම්බේ විසින් කොළඹ නගරය සංවර්ධනය පිණිස සැලසුමක් සකස් කර තිබුණි. එම සැලසුමෙන් බලාපොරොත්තු වූයේ කොළඹ වරාය ආශ්‍රිතව වර්ග සැතපුම්  14 ක ප්‍රමාණයක් සංවර්ධනය කිරීමයි. ඉන්පසුව 1978 වර්ෂයේ දී ක්‍රියාත්මක කරන්නට උත්සාහ දැරු කොළඹ මහා සැලැස්ම(Colombo Master Plan ) මගින් කොළඹ පරිපාලන දිස්ත්‍රක්ක හඳුනාගෙන සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට සැලසුම් සකස් කරන ලදී. ජයවර්ධනපුරය, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය මෙන්ම  පරිපාලන ගොඩනැගිලි ජයවර්ධන පුරයට සංක්‍රමණය කිරීමද මෙහිදී සිදු විය. ඉන්පසුව  1985 දී මෙම සැලැස්ම මගින් ඇති වූ අහිතකර ප්‍රතිඵල නැවත සමාලෝචනය කොට සකස් කිරීමක් සිදු කළද දේශපාලන වශයෙන් ඇති වූ කලබගෑනි නිසා අපේක්ෂිත ඉලක්කයන්ට යෑමට නොහැකි විය. ඒ තත්ත්වය තුළ 1996 දී සියළු අත්දැකීම් පදනම් කර ගෙන කොළඹ අධිනගර ව්‍යුහාත්මක සැලැස්මක්(Colombo Metropolitan Regional Structure Plan ) සකස් කර ගන්නා ලද්දේය. මෙම සැලසුම පිළිබඳව නිළධාරීන් දැනුවත්කිරීමේ වැඩමුලුවක් 1996 අගෝස්තු 23 දින බේරුවල ඊඩන් හෝටලයේදී පවත්වා ඇත. ලෝක බැංකුවට සම්බන්ධ වූ ලාංකිකයන් හා ජගත් ආයතනයන්හි නිළධාරීන් ගේ උපදෙස් පිට සකස් කරන ලද මේ ව්‍යාපෘතිය පසුව 2002 වර්ෂයේ දී යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩ සටහනට ද ඇතුලත් කරන ලදී.පස්දුන් කෝරළය ගොඩකර නගර සෑදීමට යන බව රනිල් වික්‍රමසිංහ මහතා අගලවත්තේදී මීට කලකට ඉහත  කළ ප්‍රකාශය මේ සැලසුමට අදාලය. ඊට සමගාමීව බෙන්තර ගඟ ආසන්නයේ මීගමදී ගුවන් තොටුපළක් ඇති කිරීමටස සැලසුමක් විය. නමුත් එය පසුව හම්බන්තොටට ගෙන යන ලදී.

         කොළඹ අධිනගර සැලැස්ම යටතේ වර්ධක මධ්‍යස්ථාන 06 ක් තෝරා ගැනීමට නියමිතව ඇත. කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ට අදාලව මීගමුව, ගම්පහ ,බියගම, හෝමාගම, හොරණ සහ මතුගම යන කලාප ඊට අයත්ය. එහිදී නේවාසික, කර්මාන්ත ,වෙළෙඳ ,ආයතනික, විනෝදාංශ කටයුතු සහ මාර්ග පද්ධති වලට ඉඩම් වෙන් කරලීමට සැලසුම් සකස්කර ඇත. 1949 වර්ෂයේ සිට ක්‍රියාත්මක වූ මුල් සැලසුම් වලදී නේවාසික ස්ථානයන්ට වැඩි අවධානයක් යොමු නොකරන ලද අතර මේ සැලැස්මේ දී එයට දැඩි අවධානයක් යොදවා තිබේ. නමුත්  මේ නේවාසික ස්ථානයන්  සාම්ප්‍රදායික කුටුම්භයන්ට වෙනස් වේ. සිමිත ඉඩ කඩම් වල මහල් නිවාස වලට ජනතාව ගාල් කිරීම එහි අරමුණයි. ජයවර්ධන පුරය මේ අධිනගරයේ පරිපාලන පෙදෙස වශයෙන් සැලකෙන අතර මීගමුවේ සිට මතුගම දක්වා ම බස්නාහිර මහනගරය නොහොත් අධිනගරය ක්‍රියාත්මක වේ.

       යෝජිත වර්ධක ප්‍රදේශ මූලික කරගත් ව්‍යුහාත්මක සැලැස්ම අදියර හතකින් ක්‍රියාත්මක වේ. ඉන් පළමුවැන්න නම් ඉඩම් පරිභෝජන පිළිවෙලට අදාලව  කලාප සැලසුම් සකස් කිරීමයි. ඉන් අනතුරුව විස්තීරණ සැලසුම් සකස් කරලීම සිදු වේ. තෙවැන්න නම් හඳුනාගත් ස්ථාන සඳහා තිරස් හා සිරස් නාගරික හැඩයද ස්වරූපයද සමග ගොඩනැගිලි ඝනත්වය දක්වාලීම සිදු කෙරේ. සිවුවැන්න නම් අපේක්ෂිත සැලසුම් සඳහා අවශ්‍ය නීතිමය රාමුව සැකසීම වේ.දැනට 1978 අංක 41 ,1978 අංක 04 ,1979 අංක 17, ආදී පණත් කීපයකින් මෙන්ම බස්නාහිර පළාත් පණත නගර සභා පණත ආදී තවත් නීතිමය රාමු තුළ නගර සංවර්ධනය ක්‍රියාත්මක වන අතර මෙහිදී ඒවා සම්පිණ්ඩනය කොටබස්නාහිර පළාත් සංවර්ධන අධිකාරියක් යටතේ යළි පණ ගැන්වීම අරමුණයි. අනතුරුව පාරිසරික වැදගත් කමින් යුතු ජලජ ප්‍රදේශ හඳුනා ගැනීම වැදගත්කමක් ලෙසට සැලකේ. ඉන්පුසව විනෝදාත්මක අංශයන්ට අදාල ස්ථාන වෙන් කිරීමද  ජලය විදිලිය ප්‍රවාහන ඇතුළු යටිතල පහසු කම් දියුණ කිරීම ද සිදු කෙරේ.

    මේ අතින් බලන කල්හි බස්නාහිර අධිනගර සැලස්ම වූ කලි ලෙහෙසි පහසු ක්‍රියාවලියක් නොවේ. ජාත්‍යන්තර උපදෙසින් පිළියෙල කෙරුණ එය වාස්තු විද්‍යඥයාගේ සිට  මහා යන්ත්‍රෝකරණ  ආනයනය කරන්නා දක්වා සේවා දායකයන් එකට එක් කරන මහා සංවර්ධන සැලැස්මකි. ඒ මගින් ඇති වන රැකියා, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය, රටට ගලාඑන විදේශ මුදල් දෙස බැලුවහොත් මහවැලිය ක්‍රියාත්මක වූවාටත් වඩා දැවැන්ත බවක් ප්‍රදර්ශනය කෙරේ. එහෙත් මේ මගින් ලබා ගන්නා ප්‍රතිඵලය කුමක් විය හැකිද.පසුගිය රජයේ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරන ලද්දේ සැබවින්ම මේ ව්‍යාපෘතියේ කොටසකි. අවිධිමත්ව තිබූ කොළඹ නගරය විධිමත් කොට පැරණි යටත් විජිත ගොඩනැගිලි යලි පිළිසකර කොට  නාගරික ජනතාව සාම්ප්‍රදායික නිවාස වලින් ඉවත් කොට තට්ටු නිවාස වලට ගාල් කිරීම දක්නට හැකිවුණි.. සාම්ප්‍රදායික ගොවිබම් හාරා පොකුණු ඇති කර තෝරා ගත් ප්‍රදේශ වල පමණක් ගොවිබිම් ඇති කර විනෝදාස්වාදය සඳහා පදික තීරු සහ විවේකස්ථාන ඇති කිරීම ක්‍රමයෙන් සිදු විය.මේ මගින් අපේක්ෂා කරන ලද්දේ සංචාරකයන් පිනවීම පිණිස කොළඹ හා තදාසන්න ප්‍රදේශ විනෝදාත්මක කලාප බවට පත් කිරීමයි. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශංසාවටද ලක් විය.කොළඹ ජීවත් වන ඇතැමුන් ගේ සිහින ලෝකය මෙයින් තහවුරු වූ බව කියනු දක්නට ලැබුණි.

       එහෙත් අප තේරුම් ගෙන සිටින බොහෝ දේ මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා සැලසුම් සකස් කරන්නන්ට අමතක වී ඇති බව කිව යුතුය. බස්නාහිර පළාතේ බොහෝ ගම්මාන තවමත් හද්දා පිටිසර පරිසරයක පිහිටා තිබේ. නිවාස මහාමාර්ග විදිලිය ආදිය නවීන පන්නයට ඇති නමුත් ගැමියන් භුක්ති විඳින නිදහස සාම්ප්‍රදායික සංස්කෘතියට සමීපය. කුඹුරු වතුපිටි සොබාදහමට අනුකූලව හැඩ ගැසෙන අතර දෛනික ආහාර වේලට එකතු වන වනපලා සහ ගඩාගොඩි වර්ගයන් බහුලය. රෝහල් ළඟ පාතක නැතද ගමේ වෛද්‍යවරයාගෙන් ගන්නා ප්‍රතිකාර ක්‍රමයෙන් සහ උපදෙසින් සෞඛ්‍ය ආරක්ෂා වේ. ග්‍රාමීය කර්මාන්ත ස්වයං රැකියා තවමත් සුළු වශයෙන් පවතින නමුත් එම නිෂ්පාදනයන්  ට වෙළෙඳ පළ සපයන සුපිරි වෙළෙඳ සල් විසින් සූරා කෑමකට ලක් කිරීම නිසා පාරිභෝගිකයාද පීඩාවට පත්ව සිටී.මෙවැනි තත්ත්වයක් තුළ ග්‍රාමීය ප්‍රදේශ අනවශ්‍ය පරිදි නාගරීකරණයට ලක් කළහොත් ස්වයංපෝෂිත සමාජය අතරුදහන් වේ. දැනටමත් ග්‍රාමීය රැකියා අතහැර නගරයට සේන්දු වී රස්තියාදු වන තරුණ තරුණියන් බොහෝය. එයින් සිදුව තිබෙන්නේ කුඹුර සහ කොරටුව මුඩුබිම් බවට පත් වීමයි. නාගරීකරණය දැඩි කිරීම නිවාස පිළිබඳ නිදහස අවම කරමින් වර්ග අඩි කීපයක්ට සීමා කිරීම ආදී කටයුතු මානසික වශයෙන් කෙතරම් බලපාන්නට ඇත්දැයි සමීක්ෂණයක් කර නැත. කෙසේ වෙතත් කොළඹ නගරය ආශ්‍රිත කැසිනෝ ශාලා සහිත මහ සංචාරක හෝටල් දෙකක් ඇති කිරීමේ යෝජනාවලියද මෙම සැලසුමට  අයත්ය. එය යලි පුබුදමු ශ්‍රීලංකා වැඩසටහනේද විශේෂ යෝජනාවක් විය. නාගරික සංවර්ධන අමාත්‍යංශ විසින් එය ක්‍රියත්මක කිරිමට උත්සාහ ගෙන ඇත්තේ ආයෝජන ප්‍රවර්ධන ව්‍යපෘතියක් විලසය. චීන වරයා නගර ව්‍යපෘතිය මෙයට සමගාමී වැඩ සටහනක් නොවුවද කොළඹ අධිනගර සැලැස්මට මෙය ඇතුළත් කරගැනිමට බාධාවක් නැත.

       වර්තමාන යහපාලන රජය මේ ඉදිරිපත් කරන්නේ අළුත් සැලැස්මක් නොවන බව මේ කරුණු වලින් සනාථ වේ. රජයයන් වෙනස් වුවද ලංකාව පාලනය කරන අදිසි හස්තයන් වන බටහිරයන් අඛණ්ඩව තම සැලසුම් ඉදිරියට ගෙන යන බව මෙය හොඳම සාක්ෂියෙකි.එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ  දිගු කාලීනව ලංකාව ණය ගැතිභාවයෙන් තබා ගෙන  සිය යටත් විජිත වුවමනාවන් ඉෂ්ඨ කර ගැනීමයි. ඉන්දියාවද නුදුරුවම සීපා ගිවිසුම ක්‍රියාත්මක කරලීම පිණිස බල කරනු ලබන අතර තලෙයි මන්නාරම හරහා සේතුව නොහොත් පාළම තැනීමටද බල කරනු ඇත. එවිට අධිවේග මාර්ග හරහා මෙරටට එන ඉන්දියානු ශ්‍රමිකයන් හා බල පුළුවන්කාර සමාගම් විසින් ලංකාවේ ආර්ථිකය දැඩි ලෙසට අල්ලා ගනු නිසැකය.බස්නාහිර සංවර්ධනය මගින් මෙම ප්‍රදේශයන් හි පිහිටා තිබූ සාම්ප්‍රදායික ජන ජීවිතය ක්‍රමයෙන් බිඳ වැටෙනු ඇත. පුරන් වී මුඩුබිම් බවට පත් වන ඉඩම් සමාගම් මගින් අත්පත් කර ගැනීමට උත්සාහ දරනු ඇත. විදේශිකයන්ට ඉඩම් අත්පත් කරගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දැනටමත් සකස් වී අවසන්ය.කර්මාන්ත පුර කීපයක් දැනටමත් කටුනායක බියගම හොරණ සහ මතුගම ප්‍රදේශ වල ආරම්භ කර ඇත. ඒවායින් නිකුත් කරන විෂ වායු දැවි තෙල් විසින් ගහකොළ ඇතුළ පරිසරයම ආතුර කරනු ඇත. පිරිසිදු ජලය බීමටලැබෙන ගංගා ඇළ දොළ පමණක් නොව ළිං ජලයද දූෂණය වනු ඇත. එවිට ජලය විකිණීමේ ප්‍රතිපත්තිය නීතිමය තලයට ගෙනඒම වේගවත් කෙරෙණු ඇත.   සොබාදහමෙන් වෙන් කරනු ලැබූ කල්හි සිංහලත්වය ජාතිකත්වය ගිලිහී යෑම වේගවත් වේ. ජාතිකවාදියෙකු ලෙසට පෙනී සිටි චම්පික රණවක මහතා පිට මෙම බස්නාහිර සංවර්ධන ඇමතිකම පැටවීම පිළිබඳව අප දෙවරක් කල්පනා කළ යුත්තේ මේ නිසාය. රනිල් වික්‍රමසිංහයන්ගේ සට කපට උපායන් මගින් අරමුණු කීපයක් ඉටු කර ගැනීමට මාන බලන බව මෙයින් පෙනේ. දක්ෂ ඇමතිවරයෙකු වන චම්පික රණවක මහතා සිය වපසරිය තුළ කාර්යක්ෂමව ක්‍රියාත්මක වුවත් ඔහුව දිගේලි කිරීමකට ලක්ව ඇති බව තේරුම් ගන්නා විට කල් පසුවී අවසන් වනු ඇත. සිංහල ජාතිකත්වය මෙන්ම තම නිජබිමට ඇති අයිතිය අහිමි කරහැරීමේ අවසන් අදියර මෙය වන්නේය.