පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, January 25, 2017

දහතුනේ එල්ලී හිටන් -රට බෙදමුද කරනට සටන්

                                      
                 හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා 1978 සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති  ධූරය ඇති කරන ලද්දේ එක් ආසනයකින් එහි චන්ද දායකයන්ගේ බලයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයෙකු රටේම අගමැති වී නායකත්වයට පත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි යැයි කියමිනි.එය සත්‍යයකි.අගමැති වරයා ධූරයෙන් පහකිරීමටද අගමැතිවරයා ගන්නා සාධාරණ තීරණයන් වුවද පසුබට කිරීමටද පාර්ලිමේන්තුවට හැකිය.1972 ජනරජ ව්‍යවස්ථාව පරිදි අගමැතිවරයා පාර්ලිමේන්තුවේ මෙන්ම රටේ නායකයාව සිටියේය  මෙම තත්ත්වය දිගින් දිගට පැවතියේ නම් සැබවින්ම තිස්වසරක් පුරා ඇවිලී ගිය දෙමළ ආක්‍රමණික කැරැල්ල පරාජය කිරීම අසීරුවනු ඇත. කෙසේ නමුත් ඉන්දියාවේ බලපෑම මත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පළාත් සභා සහිත දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට සිදු විය.එයට හේතුව ඒ වන විට දෙමළ නිජ බිම් සංකල්පයට සහ බෙදුම්වාදයට එරෙහිව ප්‍රබල විද්වත් මතයක් සහ ජනමතයක් ඇතිව නොතිබීමයි.
           දෙමළ නිජබිම් සංකල්පය යනු දහනම වන සියවසේ දී ඇමරිකන් මිෂනාරීන් විසින් අධ්‍යාපනය ලබාදී බලවත් කරන ලද දෙමළ ප්‍රභූන් ගේ මනස්ගාතයකි. මෙලෙස සිය අදහස් ප්‍රකාශයට පත් කරන ලද කිසිම දෙමළ පුද්ගලයෙකු පරම්පරා ගතව යාපනයේ ජීවත් වූවන් නොවීය. ලන්දේසීන් විසින් මලබාරයෙන් ගෙන්වා පදිංචි කරන ලද වහලුන් සහ ඔවුන්ගේ කංකානි වරුන් ගෙන් මොව්හු පැවතෙන බව පෙන්වා දිය යුතුය. නමුත් දහතුන් වන සියවසේ උතුර පාලනය කළ ආර්ය චක්‍රවර්තී වරුන් ගෙන් ඔවුහු පැවතෙන බවට බොරු මුසා ඇද බෑහ.ඒ සඳහා ව්‍යාජ පෙළපත් සටහන් පවා අන්තර්ජාලයෙට දමා ඇත.ප්‍රශ්ණය වන්නේ ලංකාවේ සිටින ඉතිහාඥයන්  මේ මතය බිඳිමට ඉදිරිපත් නොවීමයි.මහාචාර්ය කේ.එම්.ද සිල්වා වැන්නවුන් ඉදිරිපත් කළ මත දේශපාලනඥයන්ද ඉහළින් පිළිගත්හ. එම නිසා මේ ව්‍යජ දෙමළ නිජබිම් සංකල්පය මතවාදීව පරාජය කරනට ඒ යුගයේ කිසිවෙකුට හැකි නොවීය.
         යාපනයේ නගරාධිපති දොරේඅප්පා ඝාතනයෙන් පසුව මේ දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශය බලවත් විය. පසුව පොලිස් නිළධාරින් ඔවුන්ගේ ඉලක්කය විය.1983 වසරේදී හමුදාභටයන් 13 දෙනෙකු මේ ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වීමෙන් මුලු රටම කැළඹි ගියේය. මෙම අවස්ථාවේදී ජේ.ආර්.ජයවර්ධන මහතා රටේ නායකත්වය නිසි පරිදි නොගැනීමෙන් රට පුරා ප්‍රචන්ඩත්වය ඇවිලී ගියේය. කටකතා පැතිර යෑමෙන් කොළඹ නගරයටද ප්‍රහාර එල්ල වේ යැයි බියක් ඇති විය. මෙයින් කලබලයට පත් ජනතාව කොළඹ නගරයේ ඇති කළ විපර්යාසය ආරම්භ වත්නේ රාජකාරි සඳහා කොළඹ පැමිණි ජනතාව එකිනෙකා පරයා නිවෙස් වලට යෑමට කළ දැඟලිල්ලෙනි. පාර පුරා මෙන්ම පදික වෙදිකා මත්තේද ගමන් කල වාහන නිසා නගරය අවුල් ජාලාවක් විය. ඒ කලබල අවසරයෙන් ප්‍රයෝජනය ගත් ඔත්තු සේවා දෙමළ ව්‍යාපාරික ස්ථාන වලට ගිනි තැබූහ. එය ආදර්ශයට ගත් මංකොල් කරුවන් මේ කෝලාහලය කොළඹින් පටතටද ගෙන ගියහ.රටම ගිනිගත් හැටි එහිදී අපට අමතක නොවේ.
        දෙමළ බෙදුම්වාදයේ පළමු උගුලට සිංහල ජනතාව අසුවුණේ එසේය. මේ කලබලයේ ප්‍රතිඵලය වූයේ ඉන්දියාවේ පීඩනය ලංකාවට එල්ල වීමයි. දෙමළ ජනතාවට ප්‍රශ්ණයක් ඇතැයි ලෝකයට හෙලී වී ඇතැයි ඉන්දියාව සිතන්නට ඇත. ඔවුහු දෙමළ බෙදුම්වාදයට උඩගෙඩි දුන්හ. තමිල්නාඩුවේදී ආවුධ පුහුණුවද දුන්හ.රජය මේ අවස්ථාවේදී කලේ උතුරෙන් එන පීඩනය වළක්වාගන්නට වන්නි දිස්ත්‍රක්කය තුළ බහුතර සිංහල ජනගහනය පිහිටුවීමට උපදෙස් දීමයි.පසුව ගාමිනී දිසානායක මහතා ගේ මෙහෙයවීමෙන් මහවැලි කලාප වල එය ව්‍යාප්ත විය. මායිම් ගම්මාන නමින් සංකල්පයක් බිහිවූයේ එය අනුවයි. නමුත් කොටි ත්‍රස්තයන් මේ ගම්මානයන්ට පහරදීමත් සිංහල ජනතාව පළවා හැරීමත් සමගම දේශපාලන විසඳුමක් සඳහා රජයට බලපෑම් එල්ල විය. විසඳුමක් දිය යුත්තේ කුමන ප්‍රශ්ණයකටදැයි කිසිවෙක් ඇසුවේ නැත. නමුත් මේ වන විටත් උතරේ සිංහලජනයා ගැන කතාකරමින් ජනපද පිහිටුවීමේ පුරෝගාමියෙකුව සිටි   සිරිල් මැතිව් මහතා ජේ.ආර්. විසින්1984 වසරේ දී පක්ෂයෙන්  නෙරපා හැරියේය.ඒ බලය බෙදා හැරීම සම්බන්ධව ප්‍රසිද්ධියේ ජේ.ආර්. විවවේචනය කළ නිසාය.1985 වන විට ඉන්දියාව විසින් කොටි ත්‍රස්තයන් පෝෂණය කරන බවට රජයට තොරතුර ලැබී තිබුණි. නමුත් ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත් මුදලි හෝ ජේ.ආර්. හෝ එයට විරුද්ධව වචනයක් කතා කිරීමට මැලි විය. ඒ වෙනුවට සිදු වූයේ රජීව් ගාන්ධ විසින් මොවුන් බලය බෙදීමේ ක්‍රියාවලියට තල්ලු කර දැමීමයි.
       සර්ව පාක්ෂක සම්මේලන එහිදී ඇති වූ එකඟතාවය ආදී කරුණු වලින් පසු 1987 දී දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පිණිස පසුබිම සැකසුණි. ඉන්දු ලාකකා ගිවිසුම මගින් ඉන්දීය බලහත්කාරය තව තවත් දැඩි කරන ලදී. එයම සිංහල ජනතාව උතුරෙන් පළවා හැරීම පිණිස යොදා ගන්නා ලදී.මේ තරම් දුරක් බෙදුම්වාදය පැමිණියේ සැබවින්ම ශක්තිමත් බෙදුම්වාදී විරෝධි මත වාදයක් රට තුළ ස්ථාපිත නොවී තිබීම නිසාය. උගතුන් යයි කියා ගන්නා බහුතරයක් නිහඬව සීටියහ. මහාචාර්ය විමල විජේසූරිය අභය ආර්යසිංහ වැනි වියතුන් ද අධිනීතිඥ හරිස්චන්ද්‍ර විජේතුංග මහතා පමණක් බෙදුම් වාදයට  ඉතිහාසයෙන්ම පිළිතුර දුන්හ.
           දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය වනාහි ජේ.ආර්.රජය කෙරෙහි බලයෙන් පටවන ලද්දක් නොවේ. ඔවුහු ක්‍රමයෙන් එයට මානසිකව අනුගත වෙමින් පැවතුණි. බලය බෙදීම අවශ්‍යතාවයක් ලෙසට ජේ.ආර්. පිලිගනු ලැබූවේ ව්‍යාජ දෙමළ නිජබිම් සංකල්පය හේතුවෙනි. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම මගින් එය පිළිගෙන තිබුණි. මේ නිසා රට බෙදීමේ ක්‍රියාවලිය සඳහා සිංහල දේශපාලනඥයන්ගේ මානසික එකඟතාවය තිබූ බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ මහතා විසින් නන්දිකඩාල් කලපුවේ දී පරාජයට පත් කරන ලද්දේ දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශයයි. එය ද සැබවින්ම දේශපාල විසඳුමක් විය. නමුත් දෙශපාලනඥයන් සියල්ල සැබවින්ම හදවතින්ම බලය බෙදීම නමැති සංකල්පය අත්නොහළහ. ජේ.ආර්. කලා මෙන්ම මහින්ද රජයද වන්නි දිස්ත්‍රක්කයට මායිම්ව සිංහල ගම්මාන පිහිටුවීම ආරම්භ කළහ. නමුත් උතුරේ හෝ මන්නාරමේ එය සෘජුවම කිරීමට පසුබට වූහ. වරක් විදෙස් මාධ්‍ය හමුවකදී ඇසූ පැනයට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ සිංහලයන්ද අවතැන් වූවන් බැවින් ඔවුන්ද පදිංචි කල යුතු බවයි.නමුත් එම වචනය පොළව මට්ටමේ සක්‍රීය නොවීය.
         මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ අවසාන කාලයේදී ජාතික බලවේගයන්ගේ ඉල්ලීම වූයේ දහතුන් වන සංශෝධනයට අයත් යම් යම් බලතල ඉවත් කරන ලෙසයි. මේ වන විට උතුරේ බෙදුම්වාදය මතවාදීව පරාජය කිරීම ආරම්භ කර තිබූ අතර දෙමළ ජනතාවට අනන්‍යවූ වෙනම ප්‍රශ්ණයක් නැතැයි සමාජය පිළිගෙන තිබුණි. මහාචාර්ය නලින්ද සිල්වා මහතා වැනි අය මෙම මතය ප්‍රබල ලෙසට සමාජගත කරන්නට උත්සාහ කළහ.මේනිසා ජාතික ව්‍යාපාපාරය විසින් ඉදිරිපත් කළ යෝජනා මහින්ද පිළිගත යුතුව තිබුණි. එහෙත් අවාසනාවකට ඒවා ඉදිරිපත් කරන ලද්දේ මහින්ද මහතාව පාලනය කරගත හැකි අවස්ථාවකදී නොවේ. ඔහු ඒ වන විට තම බලය සඳහා නව සැලැස්මකට අවතීරණ වෙමින් සිටි අවස්ථාවයි.ජාතික හෙළ උරුමය වැනි පිරිස් මෙම ඉල්ලීම් යුද්ධය අවසාන වූ වහාම කලේ නම් ඇතැම් විට එය සාර්ථක වන්නට ඉඩ තිබුණි. නමුත් ජාතික ව්‍යාපරයේ ඇතැම් කාරණා සිදු වන්නේ ද බලය සහ බලය උදෙසාමය.ඒවා පදනම් වන්නේ මාක්ස්වාදී න්‍යායන් ගුරුකොට ගනිමිනි.
       වර්තමාන රජය පත් වීම අහම්භයක් නොවන බව පැහැදිලිය. දෙමළබෙදුම්වාදීන් ගේ නිහඬ ක්‍රියාකාරිත්වය සහ බෙදුම්වාදීයට පක්ෂ සිංහල දෙශපාලනඥයන්ගේ කුමන්ත්‍රණ හේතු කොට ගෙන මහින්දට පරාජය පිළිගන්නට සිද විය. පසුව යහපාලන රජය පත් වී වසරක් කාලයක් තුළ අප දුටුවේ ඔවුන්ගේ බෙදිමවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන ආකාරයයි.නව ව්‍යවස්ථාව සකස් කිරීම ට ගත් උත්සාහය. එයට මහජන අදහස් විමසීම. එහි වාර්තාව තුළ අඩංගු වූ බෙදුම්වාදී අදහස්. පසුව පාර්ලිමේන්තු අනු කමිටු වාර්තාව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පණත සම්මත කිරිම මෙන්ම සංහිඳියා බලකායේ වාර්තා පිටවීම දක්වා මේ බෙදුම්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වී තිබේ.නමුත් ජාතික ව්‍යාපාරයේ ඉදිරිපත් වීම මත මේ න්‍යාය පත්‍රය තාවකාලිකව හකුලා ගැනීමට රජයට දැන් සිදුව තිබේ නමුත් ඔවුහු දෙමළාට ප්‍රශණ්යක් ඇතැයි විශ්වාස කරති. එයට දෙන විසඳුම කුමක්දැයි. ජනාධිපති තුමා අද්මිරාල් සරත් වීරසේකර මහතා ගෙන විමසා සිටියේ එහෙයිනි.එම නිසා රජයේ බෙදුම්වාදී පිළිවෙත තවම වෙනස් වීම නොමැති බව පෙනේ. මේ අතර අගමැති කාර්යාලය විසින් පත් කළ සංහිඳියා බලකායේ වාර්තාව ඔවුහු ජිනීවා වලට ඉදිරිපත් කිරීමේ සූදානමකින් පසුවෙති.එයට සමගාමීව උතුරේ දෙමලජනතාව සංවිධානය කොට රජයට බලපෑම් කිරීමටද ඉඩ ඇත. මේ තත්ත්වයෙන් පීඩාවට පත්වන රජය  සමහරක් විට දහතුනට එහා යන බලය බෙදීමකට එකඟවනු ඇත. ඉඩම් පොලිස් බලතල දීමට එකඟ වනු ඇත. නව ව්‍යවස්ථාව පසෙක ලා පවතින ව්‍යවස්ථාවට සංශෝධනය ගෙන ඒමට යලි පිඹුරු පත් සකසනු ඇත.එය 1987 දී ජේ.ආර්. ජයවර්ධනයන්ට ඇටවූ උගුලයි.ජේ.ආර්. මෙන්ම වර්තමාන දේශපාලන නායකයන්ද මානසිකව බලය බෙදීමකට එකඟ හෙයින් සුළු පීඩනයක් එල්ලකීරීමෙන් හෝ බෙදුම්වාදී සිතියම පුළුල් කර ගැනීමට ඔවුනට හැකි වනු නියතය. මේ තත්ත්වය නැවත නැවත උදා වන්නේ දෙමළ ප්‍රශ්ණය නමැති ඊනියා සංකල්පය ඉතුරු වී ඇති හෙයිනි. එම සංකල්පය ව්‍යාජයක් බව ජාතික හා ජාත්‍යයන්තර වශයෙන් ඔප්පුකිරීමට දැන් කාලය පැමිණ ඇත.


   

Wednesday, January 11, 2017

යූ.එන්.පී. ආණ්ඩුවේ ලේ පිපාසය එළි දැක්වූ ජනවාරි අට

                              

               හම්බන්තොට වරාය ආශ්‍රිත ඉඩම් අක්කර පහලොස්දාහක් චීන සමාගම් සඳහා පැවරීමට වත්මන් යහපාලන ආණ්ඩුව ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.එම මූලික උත්සවයට විරෝධය පාමින් හම්බන්තොට ජනතාව සහ දේශප්‍රේමීන් මිරිජ්ජවිල අවට කළ උද්ඝෝසනයට පොලීසිය සහ විශේෂ කාර්ය බලාකාය විසින්ද කොළඹ සිට පැමිණුන මැරයින්ද පහර දුන්හ.එම පහර දීමෙන් මහා සංඝ රත්නය ඇතුළු බොහෝ පිරිසකට තුවාල සිදු විය.සාමණේර හිමි නමකගෙන් පැහැර ගත් චීවරයකටද ගිනිතැබූ බව ආරංචි පැතිරුණි.මේ සිද්දිය සිදුවූයේ 2017 ජනවාර් හත් වනදාය. හරියටම වසර පණස් එකකට පෙරද එක්සත් ජාතික පක්ෂ රජය සංඝයා වහන්සේ පෙරටු කොට ගත් පෙළපාලියකට පහරදී සාමණේර හිමි නමක් ඝාතනය කළහ.එය සිදුවූයේ මෙලෙසය.
             අඩ සියවසකට එහා කාලයක සිට ජාතික නිදහස් සටන් වල යෙදී සිටි සිංහල ජනතාව  1956 දී මහජන එක්සත් පෙරමුණු රජයට ඓතිහාසික ජයග‍්‍රහණයක් අත් පත් කර දුන්නේ බණ්ඩාරනායක මහතා සිංහල ජාතික බලවේගයන්හි මතයට අවංකව ම ගරු කළ බැවින් යැයි කල්පනා කළ හැකිය. එහෙත්  1956 ජූලි 06 වන දා උත්තර මන්ත‍්‍රී මණ්ඩලයෙන් සම්මතව ක‍්‍රියාත්මක භාවයට පත් රාජ්‍ය භාෂා  පණත ට දෙමළ රාජ්‍ය පක්ෂය විසින් එල්ල කරන ලද බලවත් විරෝධතාවයන් ඔස්සේ බණ්ඩාරනායක මහතා සිය මුල් ස්ථාවරය දෙසට දෝලනය විය. දෙමළ බසට ද සාධාරණ තැනක් තිබිය යුතු බව ඔහුගේ මුල් මතය විය. ඒ අනුව චෙල්වනායගම් මහතා සමග ඇති කර ගත් ගිවිසුම 1957 ජූලි 26 වනදා  ප‍්‍රකාශයට පත් විය.
      අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගත් එක්සත් ජාතික පක්ෂය  මහජන එක්සත් පෙරමුණෙන් සිංහල ජාතික බලවේග ඈත් කර ලීමටත් සිය බල කඳවුර ශක්තිමත් කර ගැනීම සදහාත් නිමක් නැති උද්ඝෝෂණ මාලාවක නිරත විය. චෙල්වනායගම් ගේ පක්ෂය ශ‍්‍රී විරෝධී ව්‍යාපාරයක යෙදමින් ශ‍්‍රී අකුරේ තාර ගෑහ.   සත්‍යග‍්‍රහ කළහ. ජාතික බලවේගවල විරෝධතා නිසාවෙන් ගිවිසුම අහෝසි වුවද දෙමළ භාෂා විශේෂ විධි විධාන පණත 1958 සැප්තැමිබර් 04 වන දා නීතියක් බවට පත් විය. එසේම මේ පණත් වලට අදාලව උසාවි වල සිංහලෙන් නඩු ඇසීමේ පණත   1959 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. බණ්ඩාරනායක මහතා 1959 දී අවසන් ගමන් ගියේ මෙලෙස සිංහල ජාතික බලවේගයන්හි අභිප‍්‍රායයන් දුර්වල කරමිනි.
         පරිපාලනය සම්පූර්ණයෙන් සිංහලට හැරවීමේ  ක‍්‍රියා මාර්ගය 1961 ජනවාරි 02 වන දායින් ආරම්භ වූ අතර 1964 වන විට එය අවසන් කිරීම සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ බලාපොරොත්තුව විය. නමුත් එවකට  ක‍්‍රියාත්මක වූ වෙළෙද පළ ධනේශ්වරය ඇති කළ අර්බුදය තුල සභාග රජය බිඳ වැටී 1965 දී එක්සත් ජාතික පක්ෂය පෙඩරල් පක්ෂය සමග එකඟතාවයකට පත්ව හත් හවුල්  ආණ්ඩුවක් ස්ථාපනය විය.         මෙයට පසුබිම සකස් වූයේ චෙල්වනායගම් මහතා 1961 සිට උතුරේ කළ ක‍්‍රියා වලියයි.උතුරු පළාත වෙන් කොට වෙනම රාජ්‍යයක් බිහි කරලීමේ (ඊශාන දිග ලංකාව) වුවමනාව මත ඔහු ක‍්‍රියා කළේය.  ඊළාම් උසාවි ඊළාම් තැපැල් කාර්යාල ඊළාම් බැංකු පිහිටුවන ලදහ. පුලිය පාදෙයි( කොටි මග) නමැති සන්නද්ධ කල්ලියක් ද  සූදානම් කෙරුණි. 1962 රාජ්‍ය විරෝධී කුමණ්ත‍්‍රණය අසාර්ථක වීමෙන් පසුව චෙල්වනායගම් මහතා ලන්ඩනයට ගොස් ජාත්‍යන්තර වශයෙන් දෙමළ ජාතිවාදය පෝෂණය නිරීමට උත්සාහ කළේය.
         1965 මාර්තු 24 ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම අනුව 1966 දෙමළ භාෂා විශේෂ විධි විධාන පණත  සකස් වුණි. එහි රෙගුලාසි අනුව සියලුම ව්‍යාපාරික ගනුදෙනු කිරීම සඳහාද උතුරු හා නැගෙනහිර පළාත් වල රජයේ නීති ගත සංස්ථාවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල හෝ පොදු වාර්තා පවත්වාගෙන යාම සඳහාද රජයේ නීති ගත සංස්ථා විසින් සහ ව්‍යස්ථාපිත ආයතනයන් විසින් සිංහල පළාත් වල නිකුත් කරණ සියලුම නිල ප‍්‍රකාශණ චක‍්‍ර ලේඛණ හා ආකෘති පත‍්‍ර දෙමළ භාෂාවෙන් ද නිකුත් කළ යුතු යයි නීති පැනවුණි. එසේම දෙමළ භාෂාව කථා කරන පුද්ගලයෙකුට දිවයිනේ ඕනෑම ස්ථානයක දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ලැබෙන අයුරු ද නීති පැනවුණි. මේ ක්‍රියාමාර්ග නිසා උතුර සහ නැගෙනහිර ජීවත් වන සිංහළයන්ට පවා උසාවි වල කටයුතු දෙමළ භාෂාවෙන් කිරීමට සිදුව ඇත.මේ තත්ත්වය තුළ සිංහලයේ රාජ්‍ය භාෂා බලය තව දුරටත් දුර්වල වූ අතර දෙමළ භාෂාවට ද රාජ්‍ය භාෂා තත්ත්වය ඇතිවිය . වඩාත්ම නරක තත්ත්වය වූයේ උතුර හා නැගෙනහිර පළාත් දෙමළ ප‍්‍රදේශ ලෙසට පිළි ගැනීමයි.

       මෙම භයානක තත්ත්වය වටහා ගත් දේශපේ‍්‍රමී ජනතාව 1956 ඓතිහාසික ජය ග‍්‍රහණයට මුල් වූ සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේග මුල් කොට ගෙන පණතට විරුද්ධව මහා පා ගමනක් සංවිධානය කළහ. ඩඩ්ලි සේනානායක මහතාට ඉදරිපත් කළ යුතු මහජන පෙත්සම සූදානම් කළහ.    පූජ්‍ය මොට්ටුන්නේ ශ‍්‍රීඉන්දසර නායක හිමි පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස නායක හිමි ආදී මහා සංඝ රත්නය  මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළහ. නමුත් පා ගමනට කොල්ලුපිටිය ඉක්මවා යා නොහැකි විය.බැරියර් යොදමින් ගාලු පාර වසා තිබුණි.පිරිස මාර්ග බාධක ඉදිරියේ මහපාරේ වාඩි වූහ.ඒ අතර කීප දෙනෙකුට පමණක් පාර්ලිමේන්තුවට යෑමට අවසර එනතෙක් බලාසිටියහ.හිටිහැටියේ කබල් වාහනයක් පිරිස අතරින් ධාවනය විය. මේ නිසා පිරිස සීසී කඩ විය.ඒ ක්ෂණයකින්  ගුවනින් කඳුළු ගෑස් විෂ වායුව ඉසිමින් පා ගමන කඩාකප්පල් කළහ. පොලීසියේ බැටන් ප‍්‍රහාර  මධ්‍යයේ සෙනග සී සී කඩ විසිර ගියහ. ආණ්ඩුවේ මැරයන් පෙළපාලිය මැදට පැමිණ පහර දුන්හ.අනතුරුව භික්ෂූන් වහණ්සේලාට ද සාමකාමී මහජනතාවට  පොලීසිය වෙඩිතැබීමට පටන් ගත්හ. මොට්ටුන්නේ ඉන්දසර නා හිමියන් මේ බිහිසුණ අවස්ථාව ගැන ප‍්‍රකාශ කරන්නේ මෙසේය.

      ‘පොදු යහපත උදෙසා ඉදිරිපත් වූ අහිංසක පිරිසක් වෙඩි පහරවලට නිරපරාදේ ගොදුරුවන දුටු මට මා පමණක් දිවි ගලවා ගැනීම මනුෂ්‍යයන්හට නොහොබනා දෙයක් ලෙස හැගුණු නිසා කොහේවත් නොගොස් පාරේම රැදී සිටියා. මාත් මරලා දැම්මාවේ යයි සිතා කඳුලු පිරි දෙනෙතින් වරින් වර යුද පිටිය දෙස බලමින් සිටින අතර කව්දෝ දෙදෙනෙක් දුව ඇවිත් පාරෙන් බටහිර පැත්තේ පාරේ සිට  යාර විසි පහක් හෝ තිහක් පමණ ඈතින් පිහිටි ගොඩනැගිල්ලකට මාව ඔසවා ගෙන ගොස් තැබීය. එහි සිටියේ මගේ ගෝලයෙක් වන සාරානන්ද නමත් වෙඩි වැදී මිය ගිය දම්බරාවේ රතනසාර කුඩා නමත් පමණි. පිරිස අවුත් රැස්වීමෙන් ඉස්තෝප්පුවත් කන්තෝරු කාමරයත් පිරී ගියේය. එවිටම හත් අට දෙනෙකුගෙන් යුක්ත පොලිස් පිරිසක් මාරයින් මෙන් පාරෙන් හැරී අප දිහාවට තුවක්කු මානාගෙන වෙඩි තබමින් දුවගෙනආවෝය.මේ වෙඩි ප‍්‍රහාරය නිසා මට දකුණු පසින් සිටි රතනසාර කුඩා නම වෙඩි උණ්ඩයක් වැදී මැරී වැටුණේය.මේ සිද්දියේ දී පිලිස්සුම් තුවාල ලත් මීරුප්පේ ආනන්ද හිමියන් සිය අත්දැකීම් විස්තර කරන්නේ මෙසේය.

      සටන පටන් ගත් තැනම වාගේ සිටි මටද නොසිතූතරම් ඉක්මනට හැඩිදෙමළ පොලිස් රාළහාමි කෙනෙකුගේ පාපහරක් එල්ල විය.එම පහර කාගෙන බඹ දෙකක්වත් යන්නට නොලැබිණ.දුවමින් සිටි කෙනෙකුගේ ඇඟේ හැපී මා බිම ඇද වැටින.එසේ වැටුණු මාගේ ඇඟ උඩ තව හත් අට දෙනෙක් පමණ පෙරලුන බව දරන්නට වූ බරින් ම තේරුනි.මා දඟ ලන්නට උත්සාහ කළද ඉන් පලක් නොවීය.මේ අයුරින් විනාඩි දෙක තුනක් ගත වූවාට පසු මට මහත් දාහ ගතියක් සමග ඇවිලෙන ගින්නක ලකුණු දැනෙන්නට විය. ඒ තමා එක පොදියට වැටී සිටි අපට එල්ල වූ විෂ වායු වෙඩිල්ලක් පත්තු වී මේ ප්‍රතිඵලය.ක්‍රමයෙන් ඇඟ මා ඇඟ උඩ වැටී සිටි පිරිස නැගිට දුවන්නට විය. ඒ වන විට මගේ කකුල් දෙක අතරට වැටුනු විෂවායු වෙඩිල්ලක් පැට්රල් ලාම්පුවක් මැන්ටලයට ගිනි ඇවිලෙන විට ඇතිවන ශබ්දයට සමාන ශබ්දයක් දෙමින් මගේ සිවුරු වලට ඇවිලී අවසානය.මේ හේතුවෙන් මගේ පපුවෙහිද පිලිස්සුම් තුවාල කීපයක් ඇති විය.
        ආනන්ද හිමියන් පසුව කීප දෙනෙකු විසින් ඔසවා  ගනු ලැබ අසල නිවසකට ගෙනයනු ලැබිණ. නමුත් එතනටත් කඩා වැදුණු පොලිසිය උන්වහන්සේට කරන ප්‍රථමාධාර වලට බාධා කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ තුවාල කරුවන් වසන් කර රොහල් ගත කිරීමටයි.නමුත් එහි සිටි පිරිස  වහා වෙනත් ස්ථානයකට උන්වහන්සේ රැගෙන ගොස් ප්‍රථමාධාර පහසුව සැලසූහ. අනතුරුව එම ස්ථානයට පැමිණි ස්ටැන්ලි තිලකරත්න මෛත්‍රීපාල සේනානායක සහ ප්‍රින්ස් ගුණසේකර යන මහත්වරන් විසින් මීරුප්පේ ආනන්ද හිමියන් රෝහල් ගත කරන ලදහ.
          දම්බරාවේ රතනසාර කුඩා හිමියන් ඝාතනය කිරීමෙන් නොනැවතුණු එක්සත් ජාතික පක්ෂය භාෂා පණත පාර්ලිමෙන්තුවේදී සම්මත කළහ.එය බෙදුම්වාදයේ තවත් අවස්ථාවකි. ඉන්දියාවට යන්නට සිටි දෙමළ වතු කම්කරුවන් නවත්වාගෙන පුරවැසි කම් ලබා දුන්හ. අවසානයේ මේ විරෙධාතාවන් මධ්‍ය යේ 1970 දී ආණ්ඩුව පරාජය කොට සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධනත්වයෙන් නව රජයක් පිහිටුවද බෙදුම්වාදයේ අරමුණු පරාජය කරන්නට හැකි නොවුණි.වරින් වර එය මතුවෙයි.වත්මනෙහිද එය නැවත නව ප්‍ර වේශයකින් මතු වී තිබේ.පසුගිය අත්දැකීම් වලින් මේ ප්‍රශ්ණය තෝරා බේරා ගැනීම වත්මන් ජාතික ව්‍යාපාරයේ වගකීමයි. එසේ නැතහොත් සිදු වන්නේ ආණ්ඩු පෙරළියකින් නව රජයක් බිහිවීම පමණකි. එය මේ රටේ බහුතර සිංහල ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නක් බවට පත් වන්නේ නැත.
        
    

Tuesday, January 10, 2017

ගොවිතැනෙහි පාරම්පරික දැනුම සහ භාවිතය


                    යම් පරිසර පද්ධතියක් සොබාදහම තුළ පවතින්නේ එයට අනන්‍යවූ සාධකයන් ගෙන් සමන්විතය. ජල සම්පත ගොවිතැනට අවශ්‍ය  බීජ ඖෂධ වැනි ස්වභාවික සම්පත් ගොඩනැගෙන්නේ මේ පරිසර පද්ධතියට සාපේක්ෂකවය. එසේම මිනිස් පරිහරණය සිදු වීමෙන් පසුව වාරිමාර්ග හා වැව් ඉඳිකිරිම් ආදියද එම පද්ධතියට එකතු වේ. මේ එකතු වීම් වඩා සාධාරණව සිද්ධවීමට නම් එම පරිසර පද්ධතිය පිළිබඳව දැනුම මිනිස් ප්‍රජාවට තිබිය යුතුය. පරම්පරාවෙන් පරම්පරාවට පැවත පැමිණ තිබෙන්නේ මේ දැනුම සම්භාරය යයි සිතමි. මේ දැනුම අභාවයට යාම සහ නොසලකා හැරීම තුළින් පරිසර පද්ධතියට අලුතින් එකතු කෙරෙන දේ ප්‍රතික්ෂේප . එසේම එකතු කරනදේ වඩා ප්‍රබල නම් පරිසර පද්ධතිය අර්බුදයට පත් වේ.පසුගිය සියවසක කාලය තුළදී පාරම්පරික දැනුම ක්‍රමයෙන් යටපත්වෙමින් පැවතුණි.එය ගැටළුවක් ලෙසට ඉදිරියට පැමිණ ඇත්තේ නූතන සංවර්ධන ව්‍යාපෘති වලින් ලැබෙන ප්‍රතිඵල විනාශකාරී මට්ටමකට පැමිණ තිබෙන බැවිනිග
       දේශීය ගොවිතැන නොහොත් සිංහල ගොවිතැන පිළිබඳ පාරම්පරික දැනුම සහ භාවිතය මෙලෙස වර්ග කළ හැකිය.
            1-සොබාදහම වටහා ගැනීම
            2-ජලය සහ තෙතමනය
            3- සාමූහික බැඳීම
            4- අත් හැරීම
            5- සංස්කෘතික පරිසරය
            6- බීජ සංරක්ෂණය
            7-  කෙම්පහන්
            8 - ජ්‍යෙතිෂය
            9 -නිවරදි පරිභෝජනය
සොබාදහම වටහා ගැනීමේ දැනුම -
            මැදින් මස අමාවක දිනයෙන් චන්ද්‍ර මාස අවුරුද්ද ආරම්භ වේ. මෙම මස බක් මාසය ලෙසට ව්‍යවහාරයේ පවතී. මැදින් මස මාසේ පොහොය පසුවී දස දිනක් ඉක්ම ගිය කල්හි උදාවන එකොළොස්වක දිනයේදී අහසේ මේඝ ඝර්ජනා ඇති වී වැසි ඇති වන්නට පටන් ගනී .යල් කන්නය එලෙස ආරම්භ වේ.නිකිණි මාසයේ පසලොස්වක ගෙවී උදාවන ජලවක දිනයේදී අහසේ මේඝ ඝර්ජනා ඇති වී  නිකිණි පාළු වැස්ස ආරම්භ වේ. එයින් සනිටුහන් වන්නේ මාස් කන්නයයි. පෙර මහ, මහ සහ මාස්පස්ස යනුවෙන් මාස් කන්නය කොටස් තුනකට වෙන් වේ. හේන් ගොවිතැන පටන් ගැනෙන්නේ පෙරමහ අක් වැස්සත් සමගය.
ජලය සහ තෙතමනය පිළිබඳ දැනුම -ලංකාවේ කඳුකරය සහ ඒ මත පතිත වන වර්ෂාව වැව් නිර්මාණයට බෙහෙවින්ම ඉවහල් වී තිබේග මධ්‍යම කඳුකරයේ සිට විහිද යන කඳු වැටි පන්තිය ක්‍රමානුකූලව ලංකාවේ ඊශාන දෙසට පහත් වී යයිග වයඹ ප්‍රදේශයේ වුවද අක්‍රමවත් ලෙසට කඳු පන්ති ස්‌වල්පයක්‌ පිහිටා ඇත.
            මේ නිසා කඳුකරයේ සිට ගලා බසින මහා දිය දහරාවලින් ලංකාවේ පහත් තැනිතලා නිරන්තරයෙන්ම පෝෂණය වේග එසේම මේ දිය කඳුරු පොළව යටින් ගමන් කරමින් උතුරු දිග තැනිතලාවේ දිය බුබුල් රාශියක්‌ ඇති කර ඇත. ගොවිතැනට වෙසෙසින්ම වී ගොවිතැනට වඩාත් උචිත භූමි ලෙස මෙම තැනිතලා ප්‍රදේශ හඳුනා ගෙන තිබුණි. ඒ නිසා වැව පළමුවෙන් නිර්මාණය වූයේ දිය බුබුල් හා කඳුරු ආශ්‍රිතවයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුංචුට්ටු කෝරළයේ පිහිටි දිය උල්පත් රාශිය මෙයට උදාහරණයකි.
කෙම් පහන් සහ සංහිඳියාව -
            1 /කෙත ආරෝපණය කිරිම
            * දෙවියන් බුදුන් වැඳීම
            * අතු සිටවීම
            * දෙවොල් මඩු සහ අලූත් සහල් මංගල්ලය
            2/ වගා නඩත්තුව සහ කෙම්පහන්
            * ඉස්නන් බැදීම
            * අළු සාත්තුව
            * පහන් දැල්වීම
            * ශබ්ද  පූජා
            * කිරි කෙම
            කෙම් පහන් කරන්නෙ බැරිම තැනකයි. මොකද මැස්සෙක් කීඩෑවෙන් වුණත් මරණයට පත් වුණොත් පාපය එමටයි. ඒ නිසා තමයි ඉස්සෙල්ලාම කුඹුරට බිත්තර වඩවනකොට නියඳ පැළයක් හබරල පැළයක් කහ පඳුරක් එහෙම නියරෙ හිටවලා නමෝ විත්තියෙන් බුද්ධ භෝගය වඩවන්නෙග කලින් දා  ඉඳල සබ්බ පාපස්ස අකරණං කියන ගාථාවෙන් පිරිත් කලා තිබෙන බිත්තර ගෙඩි ටිකට ආරක්ෂාවයි වුණත් තවත් පරස්සම් වෙන්න තියනව. වපුරල අහක් වෙලා කෙත වටේම කැප්පෙට්ටිය අතු සිටවන්නෙ ඒ නිසයි. වටේ පිටේ ගම්බාර ඇත්තන්ගෙ ආරක්ෂාව ලැබෙන්නට කියල තමයි එහෙම කරන්නෙ. එහෙම වුනාම ගොයම් කපන කාලෙ දක්වාම කෙතට ආරක්ෂාව ලැබෙනව. සිංහල ගැමියාගෙ කෙත හරි අපූරු තැනක්.රටේ සැම තැනකම එක් විදියට මේ ගොවිතැන නොකරුණත් පොදුවේ එහි සිදු කරනු ලබන චාරිත්‍ර ධර්මයන්හි සමතාවයක් තිබෙන බව පැහැදිලි. ගම් වැව් කොටු වල දක්නට තිබූ කුරුළු පාළුව මෙහිදී වෙසෙසින්ම මතක් කරන්නට පිළිවන්. පෝල්ඊපීරිස් මහතාගේ සිංහල සමාජ සංවිධානය කියන ග්‍රන්ථයේ මෙවැනි කෙතක සටහනක් පළ කොට තිබෙන.වැවට යාවෙන හරියේ ඉහළ බාගෙ සහ පහළ බාග කියල කොටස් දෙකයි. ඉහල ඇළ පත ගම්වසම ඇලපත් පංගුව වශයෙන් ඉහත්තාවෙ ලියදි නම් කරල තියෙන අතර පහළ ඇළපත් වශයෙන් පහළින් නම් කල ලියද්දකුත් තිබෙනව. මේ කොටස් වලට ඉස්සරින්ම තියෙන්නේ කුරුලු පාළුවයි. පහළින්ම තියෙන්නේත් කුරුළු පාළුවයි. ඒ චාර්ත්‍රධර්මයෙන් අත් හැරීම ප්‍රකාශ වෙ.තමන් ලබා ගන්න අස් වැන්න සිංහල බෞද්ධයන් පළමු වරට අත්හරින්නේ  එහෙමයි.
බීජ සංරක්ෂණය පිළීබඳ දැනුම -
            ආහාරමය ගුණාංග සහිත වී වර්ග
            ඖෂධීය ගුණාංග සහිත වර්ග
            1/ අකුරම්බඩ වියේ රස දැන ගල්ලා -කුකුළම්පළපිරිමිගස්හැරනොබදිල්ලා
               විපරම්කරල කවි සීපද  කියපල්ලා -      කුකුළම්පළ පිරිමි   ගෑනිට වැඳ පල්ලා
            2/   ගස් රුක්අත්තන අර ගෙන එදිනේ -     වැල් රුක් අත්තන සමකර සොඳිනේ
               සියඹල කොළ පොතු යුෂ මුසු කරනේ -    පොළොන් විෂට හීනටි කැඳ දෙමිනේ
            ගොවිතැනේ වර්ධනය හා රඳා පැවැත්ම තිබෙන්නේ හොඳින් සකස් කරන ලද බීජ මතයි. එම නිසා මෙම ගොවීහු බීජ කල් තබා ගැනීම උදෙසා පාරම්පරික ක්‍රම රාශියක් භාවිතා කර ඇත.
            වෙල්මුඩ හෝ කොහොඹ කොළ මිශ්‍ර කර තැබීම. වේලාගත් දෙහි කොළ හා මැල්ල කොළකලවම් කර බටපොතු පෙට්ටියක බීජ අසුරා තැබීමගඑම බට පොතු පෙට්ටියේ අඩියේ අමුගොම හුඹස්මැටි අනා ගෑම.   කුරුඳු ගම්මිරිස් කොළ සමග එක්කර අසුරා තැබීම .කුරුඳු කරාබු නැටිකොළ කොහොඹ කොළ වියළා බීජ කලවම් කර තබා ගැනීම .වී අව්වේ වියලා දුම්වදින ස්ථානයක තැබීම .
 ගොවිතැන සහ ජ්‍යෙතිෂය -
            පනවා කණු පිට පඹයෝ සදතී - බලවා ජප කර වැලි ගෙන ඉසිතී
           එළවා මැස්සන් පිළවුන් හරිතී - ගලවා ගෙන ගොයියෝ වෙල රකිතී
            සිටුවා තැන තැන දිය බැඳ බලතී  - දුටුවා පීදුණු කරලූත්      උපතී
           යෙදුවා කරණය නැකතුත්  උපතී - සිටුවා කුඹුරට කෙන් කරලා යති
            සඳුදා විසේනිය උත්තර           පුටුපේයා-   කටක ලග්න ගනු දෑමුණු   දෙපෑලයා
            කුජ දින පුෂ මීන එකොළාස්වක ගෙනේයා -දෑමුණු පස් කුරිණි ගන්නට වැඬේයා



Tuesday, January 3, 2017

ව්‍යවස්ථා දංගෙඩියට යන පවුකාරයා කවුරුද

                                      

            නව ව්‍යවස්ථා සම්පාදනය තුළින් ලංකාව කෑලි නවයකට කැඩීමට තිබෙන ඉඩකඩ විශාලය.වාර්ගික වශයෙන් මෙලෙස බලය බෙදීම යනු රට අස්ථාවරත්වයට පත් වීමයි. මෙම ප්‍රතිසංස්කරණ දේශපාලනඥයන්ගේ මනෝ විකාරයන් බවට තිබෙන නිදසුන් බොහෝය. විග්නේශවරන් සම්බන්ධන් වේවා. රනිල් වික්‍රමසිංහ මෛත්‍රී පාල සිරිසේන වේවා ඔවුනට තිබෙන වුවමනාව සාමාන්‍ය ජනතාවට නොමැති බව ඔප්පු වී ඇත. ලාල් විජේනායක වැන්නවුන් ද මේ ගණයට වැටේ.මේ එකිනෙකා ගැන අධ්‍යනයක් කළහොත් ඔවුන් දරණ මතාවාද සහ ගැට ගැසී තබෙන කඳවුරු අනුව  මේ මනෝවිකාරයන් පෙළ ගැසී එන අකාරය පෙන්වා දිය හැකිය.
           2017 වර්ෂය තුළ මෙම නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට එ.ජා.ප ආණ්ඩුව සූදානම්ය.වත්මන් ජනාධිපතිවරයා අස්ගිරි මල්වතු මහා නාහිමි දෙපළ හමු වී කුමක් කිවූවද බලය බෙදීම නම් මනෝ විකාරයෙන් අගමැතිවරයා පෙලෙන බැවින් නව ව්‍යවස්ථාව තුළ බෙදුම්වාදී ලක්ෂණ අන්තර්ගතවීම වැලැක්විය නොහැකිය.ඇතැම් විට  සිංහල ජනතාව සහ දෙමළ ජනතාව අතර හෝ මුස්ලිම් ජනතාව අතර ගැටුම් අවුළුවා ව්‍යවස්ථාවට අවශ්‍ය පසුබිම සාදා ගන්නට උතසාහ දරුන ඇත.නැවතත් විල්පත්තු වන විනාශය කරළියට ගෙන ඇත්තේ ඒ නිසාය. මෑතකදී හිස්බුල්ලා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය අනුවද පෙන්වා දිය හැක්කේ මෙවැනි ගැටුමකට ජනතාව තල්ලු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන බවයි.එසේම ජාතික ව්‍යාපාය අතරම යම් අසමගිකමක් ඇති කර ආණ්ඩු විරෝධය වෙනතක හැරවීමට ද ඉඩ ඇත. කුමක් සිදු වුවද අරමුණ නම් නව බෙදුම්වාදී ව්‍යවස්ථාව සම්මත ර ගැනීමයි. පාර්ලිමේනුතවේ සිටින මන්ත්‍රී වරුන් මේ ව්‍යවස්ථාවට අත උස්සන්නේ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර වඩා වැදගත් වන බැවිනි. මුදුලට හෝ බෙදුම්වාදී මිත්‍ර කම් හෝ නිසා ව්‍යවස්ථාව කෙරෙහි විරෝධයක් නොදක්වාම මග හැර යෑමටද ඉඩක් ඇත.
        ඉන්දියාවේ ශිව සංකර් මෙනන් මෑතකදී කල හෙළිදරව්ව මේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට ඉතා වැදගත්ය. ප්‍රභාකරන් බේරා ගැනීමට ඇමරිකාව සහ නෝර්වේ රාජ්‍යය මැදිහත් වූ ආකාරය සහ ඉන්දියාව ඊට විරුද්ද වීම මගින් තේරුම් කර ගත හැක්කේ කුමක්ද . කොටි ත්‍රස්තවාදය පෝෂණය කිරීමට ඉන්දීය භූමිය යොදා ගැනීම යනු ලංකාවට බලාපෑම් කිරීමේ එක් ක්‍රමයකි. ලංකා රජයට විරුද්ධව කොටි උසි ගන්වා රටේ දේශපාලන අස්ථාවරත්වය ඇති කිරීම ගැන ඉන්දීය රජය වග කිව යුතුය. පසුව ප්‍රභාකරන් ගේ සගයන් අතින් රජීව් ගාන්ධි මහතා ඝාතනය වූ කල්හි ඔවුන්ගේ දේශපාලන න්‍යායාචාර්ය වරුන්ට තරු පෙනිණ.අවසාන වශයෙන් ප්‍රභා බේරා ගැනීමට ඉන්දියාව විරුද්ධ වූයේ මේනිසාය. මහින්ද රාජපක්ෂ මහතා මෙය නිසැකවම දැන සිටින්නට ඇත. ඔහු සිය හමුදාව ට අවශ්‍ය ශක්තිය දී යුද්ධය අවසන් කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තේය. නමුත් යුද්ධයෙන් පසුව ඇතිවූ සාම කාලයේදී ඔහු ඉන්දීය උගුලේ හිර වූයේ යුද්ධයෙන් පසුව ඔහුට ජාතික ඉලක්කයක් නොතිබුණු බැවිනි. රට තුල ඇතිවූ භෞතික දියුණුව යනු බටහිරයන්ට අවශ්‍ය වූ යටිතල පහසුකම් මිසක සැබෑ සංවර්ධන ප්‍ර වේශයක් නොවීය. රට තුල කර්මාන්ත ඇති කිරීම නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා සර්ව ජනතා සාභාගිත්වයක් අපේක්ෂා කරනු වෙනුවට රටේ සාරය උරාබොන බහුජාතික සමාගම් සමග හුදකලා ආර්ථික සංග්‍රාමයක් ඇරඹීම ඛෙදවාචකයක් වට පත් විය. නිදසුනක් වශයෙන් දැක්විය හැක්කේ දිවිනැගුම සඳහා භාවිතා කළ බහුජාතික සමාගම් ප්‍රවේශයයි.එදා සැබෑ නිෂ්පාදන තත්ත්වයක් රට තුල නිර්මාණය වූවානම් අද පවතින ආරථික අපහසුකම් මතු වන්නේ නැත.
        නව ව්‍යවස්ථාව ඉදිරියට එන්නේ රටේ දුර්වලතාවයන් මතය.රටේ වත්මන් නායකයන් ගේ විදෙස් ගැති ස්වාභාවය මීට මූලික හේතුවයි. ඉන්දියාව යළිත් සිය දේශපාලන ආධිපත්‍ය පතුරුවමින් ඉක්ටා වැනි ගිවිසුම් මගින් ඉන්දීය ආර්ථික ග්‍රහණයට ලංකාව නතු කරගනිමින් සිටී. මේ සඳහා ඉන්දියාවෙන් කප්පම් ලබන්නේ දේශපාලනඤයන් පමණක් නොවේ. ඉහල ආර්ථික සැලැසුම් කරුවන් ද රට පාවා දීමට කැප වී සිටිති.මෙම ජනාවාරි මාසයේ  නව ව්‍යවස්ථාව නාමයෙන් කමිටු වාර්තා හය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනු ඇත.කමිටු වාර්තා පදනම් කොට ගත් ව්‍යවස්ථා කෙටුම්පත ඉදරිපත් නොකොට මෙලෙස නිර්දේශ පමණක් පාර්ලිමේන්තු විවාදයටගන්නේ ඇයි.එයට හේතු කීපයක් තිබෙනු ඇත. එකක් නම් ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා උගුලට අසු කර ගැනීමයි. දෙවැන්න නම් රටේ දැනට පවතින විරෝධය දිය කර හැරීමට කාලය ගැනීමයි.පාක්‍යසෝති සරවනමුත්තු මහාතාගේ මූලිකත්වයෙන් සංහිඳියා කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාවද මේ මුල් මාසයේ එළියට පැමිණීමට නියමිතව ඇත. බහුතර සිංහල ජනතාවගේ සාභාගීත්වයක් නොමැතිව සකස් කරන ලද එම වාර්තාව තුළ සැබවින්ම බෙදුම්වාදී වුවමනාවන් වර්තා ගත වනු නිසැකය. එමෙන්ම  යුද්ධ සමයේ සිදුවූ ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳව ව්‍යාජ වාර්තාවක් බවටද එය පත්විය හැකිය.කෙසේ වෙතත් වත්මන් රජයට නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරලීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ එයින් විය හැකිය. එයට හිමිවන ජගත් ප්‍රසාදය මත ලංකාවට බටහිර අතපෙවීම් සිදු විය හැකිය.
     අගමැති වරයා ගේ බලය බෙදීමේ මනෝවිකාරය සාර්ථක කරගැනීමට වත්මන් ජනාධිපතිවරයාගෙන්ද සහාය ලැබේ.මනෝහර ද සිල්වා මහතා සරත් වීරසේකර මහතා වැනි අය ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී එය ප්‍රකට විය. රනිල් වික්‍රමසිංහ මහතා ගේ ජන්ම පත්‍රය අනුව එළඹෙන මාර්තු මාසයත් සමගින් ඔහුගේ දේශපාලන ගමන ප්‍රබල වනු ඇත. ව්‍යවස්ථා කෙටුම්පත සඟවාගෙන ඔහු කල්මරන අනික් කාරණය එයයි.මේ ගැන ඉවක් හෝ ඒකාබද්ධ විපක්ෂයට ඇතැයි මම නොසිතමි.ඔවුන් ගේ අරමුණ ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අගමැති කම් ලබා ගැනීමයි.පළාත් වශයෙන් බෙදා ජණාධිපතිවරයාගේ විධායක බලය හීන කල රටක අගමැති කම් දැරීමට මේ විපක්ෂයටද හිත හදා ගැනීමට සිදු වනු ඇත. එයට හේතුව ඔවුන් තුළද මේ බෙදුම්වාදයට තිබෙන සැබෑ ලෙන්ගතු කමයි. සිංහලයන් මේ රටේ ප්‍රමුඛ පිරිස බව ඔවුන්ද පිළි නොගන්නා බව ඇතැම් විට කළ ප්‍රකාශයන් ගෙන් පැහැදිලිය.එම තත්ත්වය තුළ අගමැතිවරයාගේ මනෝවිකාරය සාර්ථක කොට ගෙන ඔහු බලයෙන් පහකොට ඒකාබද්ධ විපක්ෂයට රටේ බලය ලබා දීමට බටහිරයන් උත්සාහ කරන්නේ නම් එයට තිබෙන ඉඩකඩද බොහෝය.ඒ බැව් අප කල්පනා නොකරන්නේ පක්ෂ දේශපාලනයෙන් මත් වූ සිතැත්තන් බැවිනි.