පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, December 29, 2013

1815 සිට 2015 ට වසර දෙසීයයි


                                            


 

          ලංකාවේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයන් ජීව ග්‍රහයෙන් ගෙන පිටුවහල් කළ පසු අත්සන් කල බ්‍රිතාන්‍ය සිංහල ගිවිසුම මගින් සිංහලේ රටවල් සියල්ල එංගලන්තයේ රජුට පවරා දෙන ලද්දේ 1815  වර්ෂයේ දීය. මෙලෙස අපේ රටේ ස්වාධීනත්වය නැතිවී 2015 වසරට වසර දෙසීයක් සපිරෙයි. 1948 වර්ෂයේ අප බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබුවද 1972 වර්ෂයේදී ජන රජයක් ලෙසට නම් කර ස්වදේශීය පාලනයක් පිහිටුවුවද 1815 ට පෙර තිබූ රාජකීයත්වය හෝ දේශිය අනන්‍යතාවය යලි පිහිට වීමට නොහැකි වී තිබේ. මෙයට හේතුව සැබෑ ස්වාධීනත්වය උදෙසා අවශ්‍ය ප්‍රඥප්තීන් සකස් කර ගැනීමට වර්තමාන දේශපාලනඥයින් අසමත් වීමයි.  1815 වර්ෂයේ දී ලංකාව බ්‍රිතාන්‍යයන්ට පවරාදීමටද සුවිශාල හේතු රාශියක් පෙළ ගැසී තිබුණි.එම තත්වය මතු වන්නේ 1615 වැනි ඈත යුගයක සිටයි. එම පසුබිම සකස් වීමට ලංකාව තුල ගොඩනැගී තිබූ දේශපාලන පරිසරය තේරුම් ගැනිම ඉතා වැදගත්ය.

        කෝට්ටේ රාජධානිය මෙහෙයවමින් ලංකාව ස්වාධීනත්වය කර මෙහෙයවූ සයවන පරාක්‍රමබාහු රජු ලංකාව එකසේසත් කළ අවසාන නරපතියා වෙයි. එතැන් සිට වර්තමානය දක්වා සලකා බලන කල්හි. මේ ස්වාධීනත්වය ක්‍රමයෙන් අභාවයට ගිය ආකාරය මැනවින් පැහැදිලි වේ. මෙතැන් සිට විග්‍රහ කිරීමට බලාපොරොත්තු වන්නේ එම පරිහානිය සිදු වූ ආකාරයයි.

             කෝට්ටේ රාජධානියේ ඉතිහාසය සැබවින්ම වර්තමාන දේශපාලනයට බෙහෙවින්ම සමාන කතා ප්‍රවෘත්තියකි. දහතුන් වන සියවස පුරා සිංහල දේශපාලනය කැළඹූ විදේශ ආධිපත්‍ය වෙනස් කොට සිංහල රාජ්‍යය නැවත සකස් කිරීමට සමත් වූ සයවන පරාක්‍රම බාහු නම් නරපතියෙකුගේ ආගමනය සිදු විය. ඒ නිදහස කරා ගිය ගමනක ඇරඹුම විය. එහිදී රට එක සේසත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වීම විශේෂ සිදු වීමකි. කොළඹ ආසන්නයේ දරගම නම් ග්‍රාමයේ ජය භූමියෙක බැඳ වූ කෝට්ටයක සිය සැලසුම් කරන ලද සටන් ප්‍රයාම සියල්ල සාර්ථක විය. උතුරේ ආර්ය චක්‍රවර්තී පාලකයින්ට මුහුණ දිය හැකි ශක්තිමත් දේශපාලන සංස්ථාවක් බිහිවිය. ඒ කොට්ටේ ශ්‍රී ජයවර්ධන පුරය කේන්ද්‍ර කොට ඇරඹි නව දේශපාලන කාල පරිඡේදයකි.

        ක්‍රි.ව. 1412සිට 1469 දක්වා වු සයවන පරාක්‍රමබාහු රජුගේ පාලන සමය ලංකා ඉතිහාසයේ දේශපාලන පිළිබඳ අත්දැකීම රාශියක් හෙළි පෙහෙළි වූ කාල වකවානුවකි. සතුරු ආක්‍රමණ හමුවේ රාජ්‍යයක පැවැත්ම සතුරු අභියෝගයන්ට විධිමත්ව සැලසුම් සහගතව මුහුණ දීම සතුරු බලවේ ග මිතුරු කර ගැනීම ජාතික ආර්ථිකයක් පදනම් කරගෙන රට සමෘද්ධිමත් කරගැනීම කලාපීය දේශපාලනය සමග තිබෙන සමබරතාවය ජාත්‍යන්තර සම්බන්ධතාවයන් මගින් රටේ ස්වාධීනත්වය ගොඩනැගීම ආදී දේශපාලන ක්‍රියාකාරකම් රාශියක් පිළබඳ ගැඹුරින් හැදෑරීය හැකි වන තරමට එම යුගයේ දේශපාලන සංකීර්ණ විය. එය හුදෙක් ඉතිහාසයක් පමණක් නොවීය.

      දහතුන් වන සියවසේ දී යාපනය මුල්කරගත් උතුරේ ස්වාධින රාජ්‍යයක් ඇතිවීමට හේතු වූයේ එවකට තිබූ කලාපීය දේශපාලන තත්වයයි. පළමුවන පරාක්‍රමබාහු රජුගෙන් පසුව පොළොන්නරුවේ රජවූ නිශ්ශංකමල්ල රජු විජය රජුගේ සහ පණ්ඩුකාභය රජුගේ ඔක්කාක වංශය නෑකම් කිවූ සූර්යවංශික කුමාරයෙකු විය. කාලිංග විජය බාහු රජුගේ දියණියක් විවාහ කරගත් බැවින් රාජ උරුමය තවදුරටත් තහවුරු විය. මේ නිශ්ශංකමල්ල රජු දවස සුමාත්‍රා දේශය දක්වා පැතිර ගිය ශ්‍රී විජය රාජ්‍යයේ සූර්ය නාරායන ගංගා වංශික රජු විවාහ වූයේ නිශ්ශංකමල්ල රජුගේ දියණිය වූ සුනාරි කුමරිය සමගයි. මොවුන් දෙදෙනාට මාඝ නම් පුත්‍රයෙකු විය. සිංහල ඉතිහාසයේ සඳහන් වන කෘරතම ආක්‍රමණිකයා මේ කාලිංග මාඝ යි. සිය මවගේ උරුමයෙන් ලංකාවට පැමිණි මාඝ ගේ දෙමළ ජාවක සෙනග විසින් සම්බුද්ධ ශාසනයත් සිංහල රාජ්‍ය බලයත් අඩපණ කලේය. මේ කාලිංග මාඝගේ එක් පුත්‍රයෙකු වූ ගංඩ ගෝපාලද ආක්‍රමණිකයෙකු විලස පැමිණ ලක්දිව ආණ්ඩු කලේය. ගංඩ ගොපාලයන්ට කුලංක සිංහ නම් පුත්‍ර යෙකු විය. ඔහු තම පියාගේ මවගේ  ලේනව  සවුලු උරුමයෙන් යාපනයේ රාජ්‍යය ලබාගත්තේය. ඔහුගේ විවාහය සිදු වූයේ මානවම්ම ගිරි වංශික පරපුරේ තිලකවතී කුමරිය සමගයි. එම නිසා යාපන රාජ්‍යය උරුමය තවදුරටත් තහවුරු විය. මොහු විජය කුලංක සිංහ ආර්ය චක්‍රවර්තී ලෙසද ඉතිහාසයෙ සඳහන්ය. කුලංක සිංහ රජු ධනයෙන්ද බලයෙන්ද පිරිස් සමූහයෙන්ද සපිරිව සිටියේය.

     ඔහුගේ  සතරවන පරම්පරාවේ මුණුපුරකු වූ මර්තාණ්ඩ සිංහ ආර්යන් රජු දවසදී එවක තිබූ අග්‍ර රාජධානයි වූ ගම්පළට දැකුම් බදුගෙවීම ප්‍රතික්ෂේප කොට යාපනය ස්වාධීන රාජ්‍යයක් ලෙසට ඉස්මතු කිරීමට යත්න දැරීය. මලල චන්ද්‍රවංශීකයින් වූ වන්නිවරුද තම පාර්ශවයට පොළඹවාගෙන ලංකාවේ මුහුදු තොටුපළවල් අල්වා ගෙන සම්පූර්ණ වෙළෙඳ ආර්ථිකය පාලනය කිරීමට පටන් ගත්තේය. හලාවග කැඩෙන මුතු වල වටිනාකම ඔහු දැන සිටියේය. ඒ ඒකාධිකාරයද තමන් සතු කරගත්තේය. මේ ස්වාධීනත්වය ට රුකුල්දුන් දකුණු ඉන්දියානු චෝල පාලකයින් දෙමළ වානිජ බලය ඉස්මතු කර ගැනීම උදෙසා ආර්ය චක්‍රවර්තී වරුන්ට උදව් කළහ.

    මෙකී අක්‍රමණ නිසා දුර්වල වූ සිංහල රාජ්‍යය දකුණට තල්ලු වී ගොස් ගම්පළ දක්වා පසුබට වූ යුගයක දේශපාලන අස්ථාවරත්ව නිසා රජවරු සැම අතින්ම මුලු ගැන්වී සිටියහ. මේ අතර වාරයේ දෙමළ වානිජ බලය ට එරෙහිව තකට තක සිටිය හැකි නායකයෙක් බස්නාහිර ප්‍රදේශයෙන් බිහි විය. පල්ලව දේශයේ මානවර්වමන් රජුට සේවය කොට අටවන සියවසේ දී සිංහල රාජ්‍ය ගලවා ගත් මානවම්ම පරපුරෙන් පැවත ආ අලගක්කෝණාර නොහොත් අල්කේශ්වර පරපුරේ දසවැනියා වූ ඔහු නමින්න් නිශ්ශංක අලකේශ්වර විය. ජන ප්‍රිය වෙළෙඳ තොටක් බවට පරිවර්තනය වෙමින් පැවති කොළඹට ආසන්නයේ දරගම සමීපයේ බලකොටුවක් ඉඳිකළ හෙතෙම සිංහල රාජ්‍යයට එල්ල වූ වෙළෙඳ ආක්‍රමණය සාර්ථක ලෙසට මැඩ පැවැත්වීය. හලාවත දෙමටාන පානදුර ආදී ප්‍රදේශ වල තිබූ දෙමළ වානිජ මධ්‍යස්ථාන විනාශ කර දැමීමට ඔහුට හැකි විය. මෙවැනි අභීත පියවර මගින් ඔහු ඇතුලු පිරිස මෙහෙයවීමට එවකට තිබූ කලාපීය දේශපාලනය හේතු විය. මෙහිදී ඉන්දියාවේ විජය නගර අධිරාජ්‍යය දුර්වල වීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇත. එම නිසා මේ ජයග්‍රශණය සුලු සටනකින් සිදු වූවක් විය. නමුත් නිශ්ශංක අලකේශවරයන් ගෙන් පසු කෝට්ටේ ඇතුලු සිංහල රාජධානිය නැවතත් දුර්වල විය.

       ගම්පළ රජකළ ලැමැණි වීරබාහු  ගේ සොහොයුරා වූ ලැමැණි අලකේශ්වර සිය මවුගේ ගිරිවංශික උරුමයෙන් (පද්මාවතී දේවිය ) රයිගම රාජ්‍යය ලබා ගෙන ස්වාධීන බලවත් රාජ්‍යයක් බවට පත් කිරිමට උත්සාහ ගත්තේය. ඒ සඳහා නැගී ගෙන එන කලාපීය වානිජ දේශපාලන අධිකාරිය වන මුස්ලිම් සමූහය සමග සමගි සන්ධානයකට එළඹ කටයුතු කිරීමට ඔහුට සිදු විය. ගම්පළ වීරබාහු සහ මෙම ලැමණි වීර අලකේශ්වර අතර වූ රාජ්‍ය උරුම තරඟය නිසා වීර අලකේශ්වරට සොලී දේශයට පලා යන්නට සිදු විය. ඒ අවදියේ දි ඉන්දියාවේ ඇතැම් රාජ්‍යයන් සහ ස්වර්ණ දීපය (සුමාත්‍රාව ) ආදී රාජ්‍යයන් සියල්ල මුස්ලිම් බලයට නතු වී තිබුණි. වීර අලකේශ්වර එතැනින් මලක්කාවට පැමිණෙන විට එහි සිටි පරමේශ්වර රජුත් ඉස්ලාම් ආගම වැළඳගෙන තිබුණි. රාජ්‍ය බලය ලබා ගැනීමේ ආශාව නිසා මෙම ලමැණි වීර අලකේශවර ද මුස්ලිම් ආගම වැළඳගැනීමට පොරොන්දුවී පරමේශ්වර රජු සපයා දුන් බල පිරිසද කැටිව පානදුරා තොටමුණට ගොඩබැස ඒ තොටමුණේ සිටි මුස්ලිම් පිරිස ද කැටිව රයිගමට ගොස් වීරබාහු පරාජය කර අටලු ගම මුස්ලිම් බලකොටුවක් තැනවූ  බව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා සිය ලිපියකින් පෙන්වා දෙයි.මේ අවස්ථාවේ දී ආසියාවේ වෙළෙඳ තරඟය දෙසට නැඹුරු වූ චීන දූත පිරිසක් ලංකාවට පැමිණියහ. ඔවුහු 1408 දීරයිගමට පැමිණ ලමැණී වීර අලකේශ්වර බැහැ දුටුවහ. පියන්. ඉ.ටියන් නම් වූ චීන මූලාශ්‍රයක සඳහන් පරිදි මේ අලකේශ්වර බුදුදහමට ගරු සත්කාර කිරිමට උනනන්දුවක් නොදැක්වීය. ඔහු ජනතාවට ප්‍රිය මනාප නැති ත්‍රස්තවාදියෙකු බව ද සහන් කර ඇත. බැතිමත් බෞද්ධයෙකු වූ මේ චීන දූත කණ්ඩායමේ ප්‍රධානියා වූ චෙංහෝ ලමැණී වීර අලකේශවර යන්ට බෞද්ධ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් ලබා දීමට උත්සාහ කලේය. එහෙත් මිථ්‍යා දෘෂ්ඨීය කෙරෙහි නැඹුරු වී සිටි අලකේශවරයන් නිසි මගට ගැනීමට ඔහුට නුපුලුවන් විය.

      ක්‍රි.ව. 1409 දී චෙංහෝ සෙනවියා නැවතත් ලංකාවට පැමිණෙන විටද මේ වීර අලකේශවරයන් වඩ වඩාත් විරුද්ධත්වය දක්වා චීන දූත කණ්ඩායමට අවහිර කලේය. ඒ සඳහා ගස් කපා දමා රයිගම මාර්ගයට පිවිසීම ට බාධා කලේය. චෙංහෝ සෙනවීයා  තුන්දාහක පමණ සේනාවක් ගෙන වට පාරකින් රයිගමට පැමිණෙන විට ලමැණි වීර අලකේශවර ගම්පළට පැනගොස් සිටියේය. එතැනින්  ඔහු මුන්නේශ්වරමට පැන ගිය පසු එහිදී මරා දමන්නට ඇතැයි පැවසේ. නමුත් ලැමැණි වීර අලකේශ්වර ගේ නැගණියගේ පුත්‍රයා මෙහිදී චෙංහෝ සෙනවියාට විරුද්ධව සටනට එළඹුණි. ඔහු එවකට දැදිගම (කෑරගල ) රජු වශයෙන් සිටියේය. සැදැහැතිස් බාහු නෙහොත් අලකේශ්වර විජයබාහු ලෙසට ඉතිහාසයේ හැඳින්වුණු. මොහු සටනින් පැරදුන අතර චීන දූත කණ්ඩායමේ අත්අඩංගුවට පත් වුණි.අනතුරුනව චීනයට ගෙන ගිය රජ ඇතුලු පිරිස යුංලෝ අධිරාජයාගේ කරුණාව ලැබ නැවත ලංකාවට ගෙන එන ලද්දේ ඔහුගේ පුත්  මෙහෙණවර පරාක්‍රම ඈපාණන් රජු ලෙසට නම් කරමිනි. ඒ මගින් ප්‍රකට වන්නේ මුස්ලිම් වානිජ ආධිතපත්‍යට මුහුණ දීමට චීනය ඇතුලු පෙරදිග රටවල් ක්‍රියා කළ ආකාරයයි. එහිදී පරාක්‍රම ඈපා කුමරු ඔවුන්ගේ අනුප්‍රාප්තිකයෙකු විය.

     නමුත් ඒ වන විටද වීදාගම හිමියන් ගේ මෙහෙයවීම පිට චෝල දේශයයේ සිට ලැමැණි වීර අලකේශ්වර ගේ පුත් ලැමණි පරාක්‍රම ඈපා රුකුල පොල්වත්තේ සඟවා තබා ගෙන සිට රජු වශයෙන් ඉදිරිපත් කොට තිබුණි. ගිරා සංදේශය සඳහන් කරන පරිදි කොලොම්තොටට ගොඩ බට මෙහෙණවර වීර අලකේශ්වර නෙහොත් විජය බාහු කුමරුට ඥාතීන් වසදී මරාදමා ජයවර්ධන පුරයේ බහිරව පොකුණේ කිඹුලන්ට දමන්නට යෙදුණි. ඔහුගේ පුත් පරාක්‍රම ඈපාණන් 1412 දී දැදිගමදී සිංහාසනයේ පිහිටවූ නමුත් වීදාගම හිමියන් ගේ මූලිකත්වයෙන් පැනනැගුණු ජාතික බලවේගය විසින් මේ කුමරුවන් හා රයිගම අලකේශවරයන් පරාජයට පත් කර ලැමණි පරාක්‍රම ඈපාණන් රජ බවට පත් කරන ලදී. අනතුරුව සයවන පරාක්‍රමබාහු යනුවෙන් කෝට්ටේ දී ඔටුණු පළඳවන ලද්දේ මේ කුමරාටයි.

              

Saturday, December 7, 2013

දෙවනගල බෞද්ධ උරුමයට කොකා පෙන්වන දේශපාලනය


                              


      ඓතිහාසික දෙවනගල පුදබිම වර්තමානය වන විට අන්‍යාගමිකයන් ගේ ග්‍රහණයට ගොදුරුව ඇත.කටුගහවත්ත කඩ මණ්ඩියෙන් මෙන්ම අයගම හන්දියේ ඉදිරිපිට මාර්ගයෙන්ද උඩපමුණුව මාර්ගයෙන් ද දෙවනගලට පිවිසිය හැකි වන අතර එහි මස්තකයට දර්ශනය වන්නේ සතර කොරළයේ කඩයිම් බව කිව යුතුය. ජූනි මාසයේ දී සමකයට ආසන්න ව ගමන් කරන හිරු ලංකාවට මුදුන් වන්නේ අප්‍රියෙල් මාසයේ දීය. දෙවුන්දර දේවාලය ඉහළින් මුදුන් වන හිරු සමනොල කන්ද පසුකර දෙවනගලටද මුදුන් වෙයි. අනතුරුව අනුරාධපුරයේ ඉසුරුමුණි යෙන්ද නික්ම ඉරුමියන්කුලම හරහා පැදුම් දොර නොහොත් පේදුරු තුඩුවෙන් ලංකාවෙන් නික්ම යයි.දෙවනගල ට නැගි කල්හි මේ අතීත සූර්ය දේවාලයේ නටබුන් අපට දක්නට හැකිය. එවැනිම ගල් දෙවොලක් දෙවිනුවර ද වෙයි. රාවණ යුගයේ ඉතිහාසය පිළබඳව ඉඟියක් අප සිත් තුළ පැන නගින්නේ මේ නිසාය.

    සීතාවක රාජසිංහයන් භික්ෂූන් වහන්සේලාට විරුද්ධව ආඬි පක්ෂය ගෙන කටයුතු කරන අවස්ථාවේ දී සෙංකඩගලින් යුග පුරුෂයෙකු බිහි විය. ඔහු නමින් කොනප්පු බන්ඩාර විය. කලක් පරංගි යටතේ යුධ සෙනෙවි කම් කළ හෙතෙම උඩරට භික්ෂූන් වහන්සේලා සමග සම්බන්ධකම් ඇති කරගෙන රට නිදහස් කර ගැනීමේ සූක්ෂම ව්‍යාපාරයක නිරත විය. මල්වතු විහාරයට අයත් භික්ෂු පරම්පරාවේ දෙවනගල රතනාලංකාර නායක හිමි මේ කටයුත්තේ දී දුන්සහාය නිසා උඩරට ජය ගැනීම මෙන්ම රාජ උරුමය ඇති කුසුමාසන දේවියද තමන් ළඟට ගැනීමට කොනප්පු බණ්ඩාරයන්ට හැකි විය. පළමුවන විමලධර්ම සූරිය නමින් රජ වූ කොනප්පු බණ්ඩාර උඩරට රාජධානියට නව ජීවයක් එක් කොට නැති ව තිබූ උපසම්පදාව යලි ඇති කොට ශ්‍රී පාදය නැවත ආඬින් ගෙන පවරා ගෙන බෞද්ධයින් සතු කොට තමන්ට උපකාර කළ දෙවනගල රතනාලංකාර ස්වාමීන්ට ද පුද සත්කාර කලේය ඒ වෙනුවෙන් ගම් බිම් පුදා දෙවනගල ගලේ කරන ලද ශිලා ලිපියක් වෙයි.

        2000 වසරේ දී අප එහි යන විට මෙහි ගල පාමුළ අරක් ගෙන සිටි මුසල්මානුවන් සහ ඔවුන්ට උදව් කරන සිංහලයින් ගේ නිධන් ආශාවට මේ ස්ථානය ගොදුරුව තිබුණි. ඒ සෙල් ලිපියේ සූර්ය ලාංඡනය මත ඇසිඩ් වත් කර එය කඩා දමන්ට කළ උත්සාහය  මොනවට දිස් වුණි. ඒ මතුද නොව නුවර යුග‍යේ දී ඉඳිකළ ටැම් පිට විහාරයේ දොර කඩා එහි තිබූ බුදු පිළිමය යවුල් වලින් ඇණ දෙපලු කර එහි ද නිධන් සෙවීමේ නියුක්ත  වී ඇත. පළමුවන විමල ධර්මසූරිය රජුගේද දෙවනගල රතනාලංකාර හිමියන් ගේද පිලිරූ නියඬවම මේ විනාශය දර සිටිනු දක්නට ලැබුණි.එකල මේ විහාරය සම්පූර්ණයෙන් ආරාජිකව තිබූ අතර දෙවනගල චෛත්‍ය රාජයානන් වහන්සේ ගේ සතරැස් කොටුව පවා මේ නිධන් හොරුන්ගෙන් හානියට පත්ව තිබුණි.

    දෙවනගල හිරු ගල් දෙවොලට පහලින් උඩ පමුණුව පාරට වැටෙන පඩිපෙළ මදක් දුර යන විට තවත් සෙල් ලිපියක් හමුවෙයි.පොළොන්නරුව ජය ගත් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා  විසින් කෙට වූ එම සෙල් ලිපිය වටේ ගසා තිබූ යකඩ වැටද කඩා දමා තිබුණි. සෙල් ලිපිය මත ගඩොල් වලින් හූරා එයට හානි කරන්නට මුසල්මානුවන් කළ උත්සාහයද ප්‍රකට වෙයි. කිත් නුවර ගල් නම් නෙනෙවියෙකු බුරුමයේ රාමඤ්ඤ රට කුසුමිය නගරය ජය ගෙන එහි රජ කරමින් සිටි අහංකාර අලෞංසිතු රජු දමනය කොට කරන ලද දස්කම සඳහා උඩ පමුණුව පල්ලෛ පමුණුව සහ ලබුටුව ආදී ගම් වලින් අමුනු පණස් දෙකක ඉඩ කඩම් නින්දගම් කොට පවරාදීම පිණිස මේ සන්නස් කොටවා තිබේ. කොත්මලේ අමරවංශ හිමියන් ගේ ලක්දිව සෙල් ලිපි ග්‍රන්ථයේ මේ සෙල්ලිපි පාඨයන් අඩංගු කර ඇත. නමුත් මේ සෙල් ලිපි පාඨ වල සඳහන් ඉඩ කඩම් බොහොමයක් අද විහාර සන්තකයේ නොමැත. 

         1941 වර්ෂයේ දෙසැම්බර් දොලොස් වනදා නිකුත් කරන ලද ගැසට් පත්‍රයක් මගින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගල්බොඩ හා කිණිගොඩ කෝරළ බදව අලුත් නුවර වසමේ පිහිටා තිබෙන දෙවනගල විහාර සන්තක ප්‍රදේශය පුරා විද්‍යා ස්මාරක ලැයිස්තුවට ඇතුලත් කර ඇත. නමුත් පෙර සඳහන් කරන ලද රජ වරුන් පූජා කරන ලද ගම් බිම් සහිත සම්පූර්ණ විහාරගම ඇතුලත් බිම් මැනුම සකස් කර ඇත්තේ 1876 වසරේ දීය. කැකිරිගොඩ ලියන රාළ නැමැත්තෙක් හේන් කෙටීම  සඳහා  දෙවනගල විහාරස්ථානයෙන් අවසර ලබා ගෙන ඇත්තේ මීට කලකට පෙරය. ඒ අනුව ගල පාමුළ කැලේ කොටා හේන් පැල් ඇටවිණ. කලක් යද්දී ස්වාමීන් වහන්සේ අපවත් වූ පසු මේ ඉඩම් වලට බලපත්‍ර ලබා ගත් ඔවුහු  ස්ථිර නිවාස ද ඉඳි කළහ. අනතුරව වරින් වර රුපියල් එකසිය පණහක් වැනි සුලු මුදලකට මේ ඉඩ කඩම් මුස්ලිම්වරුන්ට විකුණා දමා ඇති බව දැන ගන්නට තිබේ. විහාරස්ථානයත් ගමත් අතර සම්බන්ධය බිඳ වැටෙද්දී අන්‍ය ජාතිකයින් දෙවනගල ගල වටේ අක්‍රමණය කරන්නේ මෙලෙසය.

    අනූව දශකයේ සිටම මේ විහාරය  ආරාජිකව පැවතුණි.මුස්ලිම් වරුන්ගේ මෙහෙයවීම මත විහාරයේ බොහෝ විනාශකාරී සිදු වීම් දියත් වූ බව පැවසේ. මල්වතු මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් මේ ස්ථානයේ භාර කාරත්වයට ස්වාමීන් වහන්සේලා පත්කළද වරින් වර උන්වහන්සේලාද අපවත් වීම නිසා තව දුරටත් නායකත්වයක් නොමැති ස්ථානයක් බවට පත් ව තිබුණි. පසු ගිය කාලයේ දී යවුලෙන් ඇණ කඩා බිඳ දැමූ පිළිම වහන්සේලා නැවත ප්‍රතිස්ඨාපනය කිරීමේ වගකීම ඉටු කරන ලද්දේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිස විසිනි. එහෙත් දෙවනගල ගල පාමුළ වටයක් තුළ පුරා විද්‍යා රක්ෂිතයට අයත් ඉඩ කඩම් කිසිවක් තවමත් නිදහස්ව නොමැත. පුද බිම පාමුළ උඩ පමුණුව පැත්තෙන් ගලේ කොටසක් කැඩීමට දමන ලද ගල් වලකි. කටු ගහවත්ත හා අයගම මාර්ගයන්ට මැදිව තිබෙන්නේ මුසල්මානුවන්ගේ ගව මස් කඩ හා කුකුලු කොටුය.

         2009 වර්ෂයේ ඔක්තෝබර් 05 දින දෙවනගලට නිරීක්ෂණ චාරිකාවකට පැමිණි එවකට සපරගමු පළාත් ආණ්ඩුකාරවරයාව සිටි ජානත ප්‍රියන්ත බණ්ඩාර මහතා ස්ථානයේ පැවති තත්ත්වය සලකා බලා පහත සඳහන් තීරණ ගන්නා ලදී.

1/වැට ඉඳි කිරීම( පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් වෙන් කර ඇති කම්බි කණු 100 රැගෙන විත් මදිපාඩුවට කම්බි කණු සහ කම්බි සොයා ගැනීම  )

2/ උඩමලුවට පොලිස් ආරක්ෂක මුර පළක් විවෘත කිරීම

3/මාසයක් ඇතුලත ආවාස ගෙයි භික්ෂූන් වහන්සේ නැවත පදිංචි කිරීම

4/  ඉහත කමිටුව 2009 ඔක්තෝබර් 22 දින පස්වරු 2.00 ට නැවත දෙවනගල විහාරයේ උඩමලුවේ ධර්මශාලාවේ රැස්වී ප්‍රගතිය සාකච්ඡා කිරීම.

මෙම තීරණයන් ගන්නා ලද අවස්ථාවේ දී දෙවනගල විහාරාධිපති පූජ්‍ය අඹතලාවේ සංඝරතන හිමි ආණ්ඩුකාරවර ලේකම් බන්දුල නාගසිංහ මහතා සපරගමු පළාත් සහකාර පුරා විද්‍යා කොමසාරිස් ටී.කේ මදුරප්පෙරුම මහතා  අරණායක වැඩ බලන ප්‍රාදේශිය ලේකම් ඩබ්.එම්.ඩී . වන්නිනායක මහතා ගරු ආණ්ඩුකාර තුමාගේ සම්බන්ධීකරණ ලේකම් වරු  පුරා විද්‍යා ගවේශණ නිළධාරිනී මැණිකේ එදිරිසිංහ මිය ඇතුලු දෙවනගල ගම්වාසීන් ග්‍රාම නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් සාභාගි වී සිටියහ. නමුත් එයින් කලබල වුණු පලාතේ මන්ත්‍රීවරයා වන ඇමති ආතාවුද සෙනෙවිරත්න මහතා තමන්ගේ චන්දදායකයින් වන මුස්ලිම් වරුන්ද කැටිව එම රැස්වීමට කඩා පැණ මෙම රැස්වීම පිළිබඳව දොස් නගමින් ආණ්ඩුකාර තුමාටද තර්ජනය කරමින් අශෝභන ලෙසට හැසිරෙමින් කළ කලබගෑනිය තවමත් මට හොඳ හැටි මතකයට නගා ගත හැකිය. මෙම බලහත්කාරය නිසා දෙවනගල පුරවිද්‍යා ස්මාරකය ලකුණු කිරීම තාවකාලිකව කල් දැමීමට සිදු විය. පසුව දිගින් දිගටම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත මේ කරුණ දැනුම් දීමෙන් මෙම කටයුත්ත පිලිබඳව ස්ථිර නිගමනයකට එළඹීමට පිළිවන විය. මෙහිදී දෙවනගල ජාතික උරුමය  සුරැකීමේ ව්‍යාපාරයේ බුද්දික ඩයස් මහතා සහ අනුරාධපුර අමතධම්ම ස්වාමීන් වහන්සේ මැවනැල්ල නගරයේ කළ උපවාසය නිසා සීතාවක පුරා විද්‍යා නිලධාරීන් එහි පැමිණ මැනුම් කටයුතු ආරම්භ කරන බවට සහතික විය. ඒ සඳහා රැපියල් 66000 ක් මුදලක්ද වෙන් කරගත් බව දැනුම් දෙන ලදී. 2013දෙසැම්බර් 03 දින දෙවනගලදී මැනුම් කටයුතු ආරම්භ කරන ලද අතර ගල වටේ පූජා භූමියට අයත් ඉඩ කඩම් වල අනවසරයෙන් පදිංචිව සිටින සිංහලයන් ගෙන් කිසිම බාධාවක් එල්ල නොවීය.  නමුත් මුස්ලිම් ජනතාව ප්‍රකෝප කළ පුද්ගලයන් පිරිසක් විශල ජනකායක් සමග පැමිණ මැනුම් කටයුතු නවතා දමන්නට උත්සාහයක යෙදුණි. පොලිසියද මේ අවස්ථාවේ දී නිහඬවම බලා සිටියා මිස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සහාය දුන්නේ නැත. අනතුරුව  දෙසැම්බර් 05 දා කෑගල්ල දිසාපති තුමා ගේ මූලිකත්වයෙන් රැස්වීමක් පවත්වා එකඟතාවයකට පැමිණීමට තීරණය කර ගන්නා ලදී. දෙසැම්බර් 05 දින දිසාපති කාර්යාලයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සෙනරත් දිසානායක මහතා සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂ වරයා ආතාවුද සෙනෙවිරත්න සා ජගත්බාලසූරිය යන අමාත්‍යවරු දෙපළ ගවේශණ නිළධාරීන් සිංහල රාවය සංවිධානයේ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි  පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමි බුද්දික ඩයස් ඇතුලු දෙවනගල ජාතික උරුමය සුරැකිමේ ව්‍යාපාරයේ පිරිස  දෙවනගල ගැමියන් මෙන්ම මුස්ලිම් ජනතාවගේ පිරිසක්ද සාභාගි වී සිටියහ.

      මෑතක දී දෙවනගල ගල වටා කළ ගවේශණයකදී පැරණි ප්‍රාකාර බැම්මක් හඳුනා ගන්නට යෙදී තිබූ අතර මෙම කරුණු දිසාපතිවරයා ඉදිරියේ තබා මැනුම් කටයුතු වල නිරවද්‍යතාවය ප්‍රකාශ කිරීම පුරා විද්‍යා ගවේශන නිළධාරිණි. ඒ.ජී.ටී.සංජීවනී  මහත්මියට අවශ්‍යව තිබුණි.සැබෑවටම කම්බි කණු සිටුවිය යුත්තේ මෙම පැරණි ප්‍රාකාර බැම්ම සීමාවේ සිටයි. එසේ කළ හොත් කටුගහවත්ත පැත්තේ අනවසර ඉඳි කිරීම් සියල්ල අසුවන බව දැනගත් ආතාවුද සෙනෙවිරත්තන ඇමතිවරයා මෙම සත්‍ය ප්‍රකාශ කිරීමට ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට පුරා විද්‍යා නිළධාරිනියට බැණ වැදී මුස්ලිම් වරුන්ට පමණක් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුන්නේය. මෙහිදී ඇති වූ උණුසුම් තත්ත්වය මත පුරා විද්‍යා අධ්‍යක්ෂ තුමාට පුරා විද්‍යා ආඥා පණත පිලිබඳව කරුණු පැහැදිලි කිරීමට සිදු වූ අතර අවසාන වශයෙන් දිසාපති තුමා පැහැදිලි තීරණයක් ප්‍රකාශයට පත් කලේය. ගල සම්පූර්ණයෙන් මැනීමටත් තවත් අඩි 400 ක් ප්‍රේරණ කලාපයක් ඇති කීරීමටත් එම කටයුත්ත දෙසැම්බර් මස 23 වන දිනට යොදා ගැනිමත් එකඟතාවයකින් යුතුව සිදු විය.ඓතිහාසික දෙවනගල බෞද්ධ පුදබිමේ අනන්‍යතාවය ආරක්ෂාවනු ඇත්තේ මේ පියවරයන් සාර්ථක වුවහොතිනි.