පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, August 30, 2015

කවි කර තැබූ පාරම්පරික සිංහල දැනුම


                                               

 

                  රටක ඉතිහාසය ලියැවෙන විට පරම්පරාවන්හි පැවැත්ම හා විකාශනය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ.මහා වංශය චූල වංශය යනුවෙන් ලංකාවේ ඉතිහාසය ලියැවෙන්නේ එලෙසය. ක්ෂත්‍රිය රාජ පරම්පරාවක අඛණ්ඩ පැවැත්ම එයින් තහවුරුව ඇත.දම්වැලක පුරුක් ලෙසට පරම්පරාවන් පැවතීම මගින් රටක අනන්‍යතාව ශක්තිමත් වේ. සංස්කෘතික සම්බන්ධතා වැඩි දියුණු වෙමින් සමෘද්ධිමත් රාජ්‍යයක් බිහිවන්නේ එවිටයි. මේ සමෘද්ධිය ඉබේ ඇති වන්නක් නොවේ. ජාතියේ දැනුම් පද්ධතිය ඊට බෙහෙවින් ඉවහල් වන බව දැක්විය යුතුය. මේ දැනුම් පද්ධතිය පරම්පරා ගණනාවක සිට අඛණ්ඩව විකාශනය වෙමින් පැවතීමද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. රාජ්‍ය පාලනය සේවා සැපයීම වාරිමාර්ග කෘෂිකර්මය ආදී විවිධ ක්ෂේත්‍රයන් සතුව මෙම දැනුම සෙමින් වර්ධනය වූ ආකාරය ඉතිහාසය මගින් හෙළිදරව් කෙරේ. ලංකාවේ පැවති මෙම තත්ත්වය අන් ආසායාතික රටවලින් වෙනස් නොවේ. එහෙත් ලංකාවේ පරිසර පද්ධතියට ගැලපෙන ආකාරයට මේ දැනුම වර්ධනය වී තිබූ බව පෙන්වා දිය හැකිය. එසේම විදේශ සම්බන්ධතා මගින් පරම්පරා දනුම ඔපවත්ව ශක්තිමත් වූ ආකාරයද දැක්විය හැකිය.

        වර්තමානයේ අප භාවිතා කරන මිනුම් ක්‍රමයන් ජාත්‍යන්තර සම්මතයන් වෙති. අධිරාජ්‍ය මිනුම ඉක්මවා ගිය ස්වභාවයත් තිබුණද එම මිනුම් වල ද ස්වාධීන බව දක්නට නැත.එහි පවතින ඒකාකාරී බව විසින් අප වානිජ සම්බන්ධතාවන්ට පමණක් බැඳ තබා තිබේ. නමුත් අතීත ලංකාවේ මිනුම් ක්‍රමයන්ට ජගත් අභාෂය තිබුණද රටට අනන්‍ය වූ ලක්ෂණයන්ද තිබූ බව පෙන්වා දිය හැකිය. උදාහරණයක් වශයෙන් දුර මැනීම සඳහා භාවිතා කළ මිනුම බලන්න. එය සිංහලයන් අතර ව්‍යවහාරව පැවතියේ මිටි රියන වශයෙනි. මාර්ග වැව් පොකුණු ආදිය මැනීමට එය භාවිතා විය.නමුත් වාස්තු විද්‍යාවට භාවිතා වූයේ වඩු රියනයි. එය හතර රියන් පුරුෂයෙකු ගේ බාහුවේ සහ ඇඟිලි ප්‍රමාණයෙන් සකස් කර ගත්තක් විය. එලෙසම කෘෂිකාර්මිකඋපකරණ තැනීමේදී භාවිතා කොට ඇත්තේ පියවර නම් මිනුම් ක්‍රමයකි. මේ ක්‍රමය ඉන්දීය මිනුම් ක්‍රමයන්ට තරමක් වෙනස් වේ. දුර මැනීම සඳහා භාවිතා කළ මේ මිනුම් ක්‍රමය කවියෙන් ලියැවීම සිංහලයන්ට ආවේණික විය.

අබ ඇට දෙකක් නම් තල ඇට එකක් වේ - තල ඇට දෙකක් නම් මුන් ඇට එකක් වේ

මුන් ඇට දෙකක් නම් වියැට එකක්   වේ - වියැට දෙකක් නම් අඟලින් එකක්  වේ

අඟලින් දෙකක් නම් අඟුලින් එකක් වේ - අඟුලින් දෙකක් නම් විග්ගුහු එකක් වේ.

විග්ගුහු දෙකක් නම් වියතින් එකක් වේ - වියතින් දෙකක් නම්  රියනින් එකක් වේ.

රියනින් දෙකක් නම් අඩබින් එකක් වේ - අඩබින් දෙකක් නම් මහ බඹ එකක් වේ

මහ බඹ දෙකක් නම් අඩු දුනු එකක් වේ - අඩ දුනු දෙකක් නම් මහ දුනු එකක් වේ

       දුර මැනීම මෙන්ම බර මැනීමද සිංහලයන්ට අවශ්‍ය වූයේ ශක්තිමත් වෛද්‍ය ශස්ත්‍රයකින් ජන ජීවිතය ආරක්ෂා කල බැවිනි. ඉතාමත් මන බඳිනා සුළු ආකාරයෙන් මෙන්ම ශූර ලෙසටද කවි ලියැවුණේ සිංහල වෙදකමේ වට්ටොරු දැක්වීම පිණිසය. වෛද්‍ය ශිෂ්‍යාට වට්ටෝරු පාඩම් සිටීමට මේ  සිවු පදය බෙහෙවින්ම ඉවහල් විය. ඇතැම් විට වෙද වට්ටෝරුවක් සඟවා කීමට අවශ්‍ය නම් වෙදගැටයක් පැබැඳීමටද ජන කවියා පසුබට නොවීය.මෙහි දැක්වෙන්නේ කෂාය කිරීමට වර්තමානයේ වුවද භාවිත කරන මාන ක්‍රමය ගැන කවියෙන් ලියැවුණු පද කීපයකි.

තල ඇට තුනක් නම් අමු ඇට එකක් වේ -අමු ඇට තුනක් නම් වියටින් එකක් වේ

අට වියටක් නම් මදටින් එකක් වේ- විසි මදටක් නම් කළඳින් එකක් වේ

තුන් කළඳට හුනකැයි පවසන තවෙක-දෙහුනක් ආ කලට පලමක් වෙයි අබෙක

දෙ අඩ පලම නම් පලමින් එකක -දෙපලමකට පවසන්නේ කළුඳුලෙක

දෙකළුඳුලක් ආකල වන්නේ පතක -සතර පතක් නම් නැඩුබෙක් වෙයි එකක

සතර නැඩුබ ලාසෙන් වන්නේ එකෙක-ලාසෙන් හතර නම් වන්නේ ද්‍රෝණයක

කවියෙන් ලියැවීම කට වහරටට ආගන්තුක නොවේ. ලෙහෙසියෙන් මතක සිටින ලෙසට කවි පබැඳීමත් ගැයීමත් පැරණි සිංහලයන් හුරු පුරුදු කළ දෙයක් විය. කෘෂිකාර්මික දිවිපෙවෙතේ මේ පිළිවෙල බෙහෙවින්ම ලගන්නා සුළු වූ බව කිව යුතුය. හේන් ගොවිතැන සාමූහික මෙන්ම මහත් දුෂ්කර තත්ත්වයන් යටතේ කළ යුතු දෙයක් වූයෙන් ජන කවිය එයට හොඳින් ගැලපෙන්නක් වී තිබුණි. කටුසර භෝග මෙන්ම රෙදිපිළි විවීම සඳහා නූල් සකස්  කිරීමට භාවිතා කල කපු ගසද සිංහල ජන කවියාගේ ඇසට ලක් වූවක් විය. ඒ හෙයින් මේ කව් පන්තිය තුළ එහි සුන්දරත්වයත් දැනුමත් ගැබ්ව පැවතිණ.

මූකලන් කොටා කපු ඇට ඉසින්නේ - දෙපෙති වෙලා පැලපත ලොකුව   යන්නේ

සමසක් ගිය කලට මල් බොකල වන්නේ - වෙසක් මසට සුරතල් කපු පිපෙන්නේ

කපු පුළුන් වල තිබෙන කපු ඇට වෙන් කර සුද්ද කරනු ලබන්නේ  කපු යන්තරයෙනි.මෙවැනි යන්ත්‍රයක් මහනුවර කෞතුකාගාරය සතුව ඇත.මේ කපු යන්තරය ගැනද ඔවුහු මෙලෙස කවී කීහ.

එරට තිබෙන්නේ වල් විරුදු යන්තරේ- මෙරට තිබෙන්නේ කපුකපන යන්තරේ

ගැරෙන්ඬියට මතුලට අහයිද මන්තරේ - දීපන් ළඳේ නුඹ කපු කපන  යන්තරේ

රොද්දක් ඇන්න නත් අටවා තියා ගෙන- පහනක් ඇන්න කඩතෙල් ලා තියා ගෙන

රෙද්දක් ඇන්න මොට්ටැක්කිලි ලා වසා ගෙන -ගසති පුළුන් රන් ලිය දොර වසා ගෙන

            කවිය සිවුපදයක් විලස සිංහල ජන ජීවිතයට සමීපවෙයි. කෙතේ කමතේ හේනේ පැලේ මෙන්ම මුළුතැන් ගේ වුවද සිවු පදයෙන් රසවත් වන ආකාරය ඇතැම් විට පුදුම එළවන සුළුය. කාෂිකාර්මික පැවැත්ම ඉදිරියට ගෙන යෑමට ජන කවිය කෙතරම් දායක වී ඇත්දැයි සෙවීමට නම් නෙළුම් කවි  කමත් කවි ආදිය පරිශීලනය කළ යුතුය. ගොයමට වැළඳෙන ලෙඩ රෝග ගැන කියවෙන මෙම කවි බලන්න.

අල කොළ රෝගයද ලෙඩක්-කොක්කනාව කියා      ලෙඩක්

උණපතයා තවත් ලෙඩක් -මේ ලෙස ලෙඩ බලා නොයෙක්

රෝග තැනෙනවාද බලා - කෙම් කරුවන්        සපයාලා

ඊට කරන කෙම අසලා -කෙම් කරවති             මීට බලා

පීදී කිරි වදින කලට - කර බුස්නා                 ලෙඩක් ඊට

කිරි කෙම කරවමින් ඊට - කරල් නැවෙයි කිව් එතකොට

ලෙඩ රෝග ගැන කියවෙන විටම ඊට පිලියම්ද පැවසීම පාරම්පරික දැනුම සංරක්ෂණය කිරීමේ ක්‍රම වේදයක් විය.සිංහල වී වර්ගයක් ගැන කියවෙන අවස්ථාවන්ද එමටය.

අකුරම්බඩ වියේ බත් රස දැන ගල්ලා- කුකුලම්පළ පිරිමි ගස් හැර නොබඳිල්ලා

විපරම් කරල කවි සීපද කියපල්ලා -කුකුලම්පළ පිරිමි බිරිඳට            වැඳපල්ලා

            ඒ සෑම අවස්ථාවකදීම ජන කවිය මගින් සිය දැනුම ප්‍රකට කරවන්නට සමත් වෙයි. බලන්න  වැලි තලප හැඳි ගෑම සම්බන්ධව ලියැවුණු සිංදුව.එහි හෙදකමත් වෙදකමත් දෙකම විය.මේ කව වැලි තලප සවුදම යන්වෙන් හඳුන්වා දී තිබෙන්නේ රසවත් ලෙසට ගායනා කිරීමට බෙර තාලයන්ද සම්බන්ධ කර ගත් නිසා විය යුතුය.

කැකුලු සහල් පිටියෙන්ද - වටකර ඕළු ඇට මෙන්ද - තම්බා කඩ පිම්මෙන්ද - සුරැකිව තබා යෙහෙන්

කිතුල් හකුරු පැණියෙන්ද -මදක් සීනි සමගින්ද - සැඳිගා කකාරමින්ද - ලණු වැටෙනා පදමින්

තිවග දෙදුරු සමගින්ද -එක එක පමණ යසින්ද -බැද සුන්කර ගනිමින්ද -එකතුව සෑම දෙයින්

බඳුනෙක ලාසතොසින්ද සමකර යස විලසින්ද -එදවස පසුව ගොසින්ද -ගනිමින් නැවත තොසින්

උදය උදය හැමදාම වළඳා උණු පැන් බීම - සිත සිත් වෙර පිනවාම - මියුරු දෙයකි සුවිපුල්

වැලි තලපය යන නාම - පැවසුව් පෙරදුරු සෑම-වා පිත් සමන කිරීම -කදිමට වේ නිරවුල්

       පුරාණ කාලයේ දී ලංකාවේ රාජ සභාවට සේවය කළ විශිෂ්ඨ ගණිතඥයන්  සිටි බව පැවසෙයි. ජයවර්ධන පුර කෝට්ටේ සමයේදී මෙන්ම සෙංකඩගල රාජ සමයේදීද මෙවැනි ගණිතඥයන්ගෙන් හිඟ නොවීය. තොටගමුවේ විජයබා පිවෙනේ ග්‍රහ ගණිතය ඉගැන්වූ බව ගිරා සංදේශයේ එන මේ පැදියෙන් හෙළි වේ.

සබා තුරු ලෙසින් බොල්ලන් ගෙන නොමඳ- තබා පෙළින් පෙළ ඇද නිල් පලස මැද

බබා සෙද තැනින් තැන ගහ ගණන් බැද- පබා කර සිදත් සමහරු               ගණිති ඉඳ

ගණිත ප්‍රශ්ණ සිසුවන්ගේ මනස බැද පවතින ආකාරයෙන් දැක්වීමට සංස්කෘත ශ්ලෝක මෙන්ම සිංහල කවිය ද උපයෝගී කර ගෙන ඇත. චමත්කාරයෙන් පිරි එවැනි කවියක් කට පාඩම් වීම මගින් කිසිදා ගණිතය එපා නොකරවයි.

බැතින් රැසක් පියුමන් පුද යෙදුවයි- තුනින් එකක් මෙහෙසුරු වැඳ පිදුවයි

පසින් එකක් ගොවිඳුන් පද සැදුවයි -සයින් එකක් හිරුදෙවි පුද ලදුවයි

සුයින් එකක් ගිරි දුව හට කර පුද - ලදින් සයක් මල් ඉතුරුව එම සඳ

ලුරුන් නොඉක්මැ ම පද වැඳකෙළෙ පුද -ඉතින් කෙතෙක් මල් පළමු තිබුණෙද

         මෙය බුද්ධි ප්‍රශණයකි.ලීලාවතී ගණිතතිලක ගණිත සාර සංග්‍රහ ආදී සංස්කෘත ග්‍රන්ථයන්ගේ සාරය ගෙන සිංහල බසින් කවිකර ලිවීමෙන් බුද්ධි ප්‍රබෝධය ඇති වන බව පැරණියන් දැන සිටියහ. බුද්ධිමතුන් එලෙස කටයුතු කරන කල්හි ගැමියා සුන්දර කවි ලීලාවෙන් ගායනා විලාසයෙන් ගම් සිසාරා යන පරිදි අඬහැරය පායි. ඒ මහා හඬ පසුබිමේ තිබෙන්නේ මහාර්ඝ දැනුම් සම්භාරයෙකි.ගැමි ජීවිතය කෙමෙන් වියැකී යත්ම මේ ජනකවියත් අතුරුදහන් වෙයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙනා දැනුම් පද්ධතියත් අභවයට පත් වෙයි. ඇතැම් විට මෙලෙස විනාශයට පත් වීම අනුදත් අධ්‍යපන ක්‍රමවේදයක්ද පසුගිය අඩ සියවසක කාලය තුල ලංකාව පුරා ක්‍රියාත්මක වුණි. බටහිර දැනුම නොහොත් පරීක්ෂණ නිරීක්ෂන මගින් පෙනවන දැනුම පමණක් නිවරදි යැයි දරන මතයට සමාජයේ මනා පිළිගැනීමක් ඇතිව තිබෙන්නේ එලෙසිනි. එහෙත් සොබා දහමට නිරුතුරු සමීපව සිටි පුද්ගල සම්බන්ධතාවන් ලෙන්ගතුව ස්පර්ශ කළ ජනතාවකට සිංහල දැනුම නොමැතිව අනාගත අභියෝගයන්ට සාර්ථක ලෙසට මුහුණු දිය හැකි දැයි සැකයක් මතු වේ. ස්වාධීන ජාතියක් වන අප ඉදිරියේ එම ප්‍රශ්ණය තියුණු අභියෝගයක් විලස මතු වේ.

Saturday, August 15, 2015

සැබෑව වසන් කළ මහවැලි සංවර්ධනය


                                             


 

              බඩගින්දර මතුව එන විට දුක් ගින්දර දෙගුණ තෙගුණව දැනෙයි. බීමට පැන් පොදක් නොමැතිව වගාවට අහස් වැස්සක් නොමැතිව හූල්ලන මහ පොළවත් කේඩෑරි වූ මිනිස් සමූහයත් දකින්නෙකුට සිහිපත් වනුයේ 1818 වසරේ සිංහලයන් අත්විඳි ප්‍රතිවිපාකයයි. සිංහල ජාතියේ කොඳුනාරටියවන් ජල සම්පාදන ක්‍රම විනාශ කර දමමින් පවුල් පිටින් මහ මූකලාන් වල සැඟවූ කැරලි දෙකකට මුහුණ දුන් ජාතියක ජීව රුධිරය තවමත් කකියයි. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට තිස්නවයක් තෙත් කරනු වස් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරය විසින් මේ දුක් ගින්දර නිවා දැමුවේද. වසර තිහකින් නිම කිරීමට සැලසුම් කළ මහවැලියේ මහිමයෙන් වන්නිකරයේ වියළී ගිය ජිවිත සැපවත් කලේද යන වග අප විමසා බැලිය යුතුව ඇත. ලංකාවේ විශාලතම ගංගාව වන මහවලිය ඇරඹෙන්නේ හැටන් නගරයට ආසන්න කඳුකරයෙනි. සැතපුම් 42 ක් මග ගෙවා ගලන කොත්මලේ ඔයට මේ ගඟ වැටෙන ස්ථානය මහවිල්ල නමින් හදුන්වයි. මහවිල්ලේදී එකට එක් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙයට මහවිල්ල ගඟ යනුවෙන් නමක් ඇති වන්නට ඇතැයි සිතිය හැකිය.

       පැරණි රජවරු මේ මහවැලි ගඟ ප්‍රයෝජනයට ගත හැකි වන ආකාරය කල්පනා කළහ. ඒ සඳහා හොඳම නිදසුන හමුවන්නේ මිණිපේ යකුන්දෑව නමැති ස්ථානයෙනි. හඳගනාවේ විසූ පුරාණ යක්ෂ ගෝත්‍රිකයන්ගේ ද සහාය ඇතිව අමුණක් බැඳ මහවැලි ගඟ වක් වූ තැනක ස්වභාවිකව තිබූ ඇළක් ප්‍රයෝජනයට ගෙන මිණිපේ යෝධ ඇළ නිර්මාණය කරමින් අගමැදිල්ල අමුණ උඩින් අඹන් ගඟ දක්වා ජලය ගෙන ගිය විශ්මිත ජල කර්මාන්තයක් නිමවා තිබේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරය දියත් කරලීමේ දී මෙම පැරණි ආදර්ශයන් උපයෝගී කොට ගත්තේද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතු ව ඇත.

             1965 -1968 වසර වල දී සකස් කරන ලද මහවැලි මහ සංවර්ධන සැලැස්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මැදිහත්වීමෙන් යෝජනා කරන ලද්දකි. වියළි කලාපය යයි සැළකෙන භූමි ප්‍රදේශයෙන් සියයට පණස් පහක් පමණ කලාපයක ජල සම්පාදනය කළ හැකි වන පරිදි යෝජනා කරන ලද ඉලක්කයන් අවස්ථා දහතුනකදී සම්පූර්ණ කළ යුතුව තිබුණි. සැබවින්ම යුරෝපීය ආර්ථික විද්වතුන්ට සහ ඉංජිනේරුවන්ට නම් මෙය මහා සංවර්ධන සැලැස්මක් විය. ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර විදේශවලින් ලැබෙන පරිදි සකස් කළ ව්‍යුහයක් ඉදිරිපත් කිරීම ඔවුන් ගේ වෑයම වී තිබුණි. ලෝකයේ පැරණි ගංගාධාර ශිෂ්ඨාචාර සියල්ල කාලයකදී අසාර්ථක විය. ස්වභාවික සම්පත් එලෙසම ප්‍රයෝජනයට ගැනීමේ විපාක නිසා ඇතැම් ජාතීන් වඳව ගියහ. ලංකාවේ ආර්ය ජනපද බිහිවීම තුළ අපට දක්නට ලැබෙන්නේද එම පැරණි ක්‍රියාවලියයි. නමුත් ඒ වන විටත් ලංකාවේ බොහෝ තැන්වල ඉඳි වූ ජල සම්පාදන ක්‍රම වලින් ස්වදේශිකයන් වූ අසුර ගෝත්‍රිකයන් වැඩ ගනිමින් සිටියහ. මේ ආදර්ශයෙන් මනා ලෙස ඵල ප්‍රයෝජන ගත් රජවරු උතුරු දිගතැනිතලාවේ සෑම තන්හිම වැව් ඇති කළහ. ඇතැම් තන්හි ගංගා ඇළ දොළ ප්‍රයෝජනයට ගනිමින්ද ඉඳිකළ වැව් මගින් සපයන ජලයෙන් ගෙවිතැන් කිරීම වඩා විද්‍යාත්මක විය.

         පැරණි යක්ෂ ගෝත්‍රිකයන් විසින් තැනවූ වැව් අතර කඳු වැව් ලදු වැව් මූකලාන් වැව් ආදිය ප්‍රධාන විය. කන්දේ මුදුනතේ තැනූ වැව කඳු වැවයි. ඉහළ ගමන් කරන තෙත බරිත වැහි වළාකුල් ජලය බා ගන්නට සමත්කඳු වැව් මගින් කන්දේ වන මූකලාන ජලයෙන් පෝෂණය කරන ලද්දෙය. වැවෙන් බේරී යන ජලයෙන් තෙත් වන දිය කදුරු වලින් පහළ නිම්නයේ ඇළ දොළද පෝෂණය කරන ලද්දේය. ලන්දේ නොහොත් ලඳු කැලෑවේ ඉඳි කරන ලද ලඳු වැව නිසා ගවයන් සහ වන සතුන්ට අවශ්‍ය ජල පහසුව උදා කෙරේ. ජලයෙන් පිරී ගිය  මේ විල්ලු වල සැරිසරන වන සතුන්ගේ ප්‍රයේජනය ලැබූයේ මිනිසා විසිනි. මූකලාන් නොහොත් මහ කැලයේ ඉදි කරනු ලැබූ මහ වැව මූකලාන් වැවයි. මිනිසාට පමණක් නොව වන සතුන්ටද මහ කැලය අවශය වෙයි. කන්දේ කැලය පෝණය කරමින් පහළ බසින ජලය මූකලාන් වැවේ සහ ලඳු වැවේ රඳවා වන සතුන්ද ගහකොළ ද රැක ගනිමින් මිනිස් ජීවිත ගතකිරීම පැරණියන්ගේ අගනා සිරිතක් විය. ඉන්දියාවෙන් පැමිණි ආර්ය ජනයා මේ අසුරයන්ට අමුත්තන් නොවූහ. දකුණු ඉන්දියාවේ වැඩි භූමි ප්‍රදේශයක් පැතිරී සිටි අසුර ගෝත්‍රකයන් ගේ සොබා දහම පිළිබඳ දැනුම ආර්ය ජනතාවටද ආගන්තුක නොවුණි. එම නිසා මලල ජනපද  බිහි වීමේදී පැරණි අසුරයන්ගේ වැව් ඉඳි කිරීමෙන් ආදර්ශය ලබා ගම් වැව් ඇති කර ගැනීමට උත්සාහ කිරීම තුළින් ඉතා මැනවි සුසංයෝගයක් ඇති විය.

        ගම් වැවේ ප්‍රධාන කාර්යය වූයේ වී ගොවිතැනට ජලය ලබා දීමයි. ඊට අමතරව වර්ෂයකට වැව් අක්කරයකින් ඕළු හාල් බුස්ල් 400 ක් ලැබූ බව පැරණියෝ කියති. කෙකටිය කෑර සේරල ඕළු නෙළුම් ආදී ජලජ පැලෑටි වලට නිවස්නය වූ ගම් වැව මිරිදිය මසුන් ගෙන් පිරී පැවතුණි. ඒ නිසා ගම් වැව විසින් ගැමියාට ලබා දෙන ලද්දේ වී වගාවට අවශ්‍ය ජලය පමණක් නොවේ. එය ආහාර ගබඩාවක් විය. එසේම වැව හිදෙන නිකිණි මාසයේදී වැව් පතුළ කළඹා මඩ සොරොව්වෙන් පිටකර හරින ලද පොහොර කන්දරාව මගින් තෙත් බිම්වලට ගෙනයන ලද්දේ ඉතා අගනා පොහොරකි. චන්ද්‍ර ගණයේ ගස් වලින් පෝෂිත ඉහළ වැව් තාවල්ල මගින් වැවට එක් කරන ලද මේ පොහොර නොමිලයේම කුඹුරුවලට ලබා දුන් සම්පතක් විය.මේ ආකාරයෙන් ලංකාවේ භූමි ප්‍රමානයෙන් සියයට පණස් පහක් නොව සමස්ත භූමි ප්‍රමාණයේම ඉඳි කරන ලද ගම්වැව් ප්‍රමාණය 35000 කට අධික විය. එවිට මුළ වියළි තැනිතලාව පමණක් නොව ඇතැම් විට තෙත් කලාපයද තෙත් කරමින් දිවයිනේ භූගත ජල මට්ටම ඉහළ නන්වන්නට සමත් වූ ගම් වැව තවතවත් පුළුල් කිරීමේ අදහසින් නිවුන් වැව් සහ මහ වැව් ඉදිකරන්නට රජවරු සමත් විය.එක සමාන්තර මට්ටමේ වැව් නිවුන් වැව් විය. ඒවායේ ජලය ගබඩා කරන ලද්දේ අසීරු අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්නා ලෙසටයි. එසේම ගංගා හරස් කර ගෙනඑන ලද ජලය මහ වැව් වල සිර කළහ. කලාවැව පරාක්‍රම සමුද්‍රය ආදී මහා වැව් මගින් විශාල ඉඩම් ප්‍රමාණයක් අස්වද්දන්ට යෙදුණි. නමුත් එක ජලය බිඳකුදු වැඩට නොගෙන මුහුදට එක් නොවන වැව් පද්ධති ක්‍රමය එලෙසම ආරක්ෂා වුණි.

      වැව් පද්ධති වල අවසානය වූයේ බේරේ වැවයි. මුහුදින් ගලන කරදියෙන් ගොඩදිය ආරක්ෂා වන පරිද්දෙන්ද ගොඩපස් සෝදා යමින් ගලන ජලය එම පස් රැගෙන මුහුද කරා යාම වළක්වනු පිණිසද පැරණියෝ බේරේ වැව් ඉඳි කළහ. ජයවර්ධන පුරය සහ කොළඹ කුරුඳු වත්ත මැදින් ගලා යන ජලය ඔස්සේ දියවෙන මඩ කන්දරාව වළකාලනු සඳහා ස්වභාවිකව සකස් කරන ලද බේරේ වැව අදද දක්නට ලැබේ. 1818 වර්ෂයේ සිදු වූ උඩරට විමුක්ති අරගලය නිසා කුපිත වූ ඉංග්‍රීසීන් කැරැල්ලට නායකත්වය දුන් රදළයන් ඝාතනය කළහ. ඇතැම් රදළයන් පිටිවහල් කළහ. ගම් නායකයන් පවා විනාශ කළහ. නායකත්වයක් නොමැති ජනතාව වල්වැදුණි. ඔවුන්ගේ ගෙවල් දොරවල් ගිනි තබන ලද්දේය. හරකාබාන විනාශ කොට ගවමස් කෑම ප්‍රචලිත කරන ලද්දේය. ගම් වැව් සියල්ල විනාශ කිරිමට අවශ්‍ය නොවූ නමුත් ගමට නායකත්වය සැපයූ රදළයන් විනාශකර දැමූ විට ජනතාව වල් වැදුණු විට ගම්වැව ඉබේටම වල් වැදුණි. ඒ වැව් කාලයකට පසු පිට්ටනි බවට පත් විය. ඉංග්‍රීසීන් විසින් මහ මාවත් ඉදි කරනු ලබන විට ගම් වැව් සහ නිවුන් වැව් විනාශ වන ලෙසට පාර ලකුණු කරන ලද්දේ වැව මැද්දෙනි. එවැනි දෙකඩවූ වැව් රාශියක් අදත් කුරුණෑගල පුත්තලම් පාරේ දක්නට හැකිය.

      කාලිංග මාඝගේ සහ චෝල අක්‍රමණ වලින් වැව් ශිෂ්ඨාචාරයට එල්ල කරන ලද පහරට වඩා ඉංග්‍රීසීන් විසින් එල්ල කරන ලද පහර දරුණු විය. වන්නිකරයේ පමණක් නොව සියලුම ගොවි බිම් හරහා කුසගින්නේ දුක් ගින්දර පැතිරයන්නේ ඉන් පසුවයි. පිට්ටනි බවට පත් වූ වැව් මිලට ගෙන ඒවා පොල් වතු බවට හරවා වැව් කලාපය පොල් ත්‍රිකෝණයක් කළ යුගයට පසුබිම් වූයේ පහත රටින් සංක්‍රමණය වූ අලුත පොහොසත් වූ සිංහලයන්ය. ධනවත් ඉංග්‍රීසි පෙලැන්තියේ පිහිට ලබා ගෙන ඔවුන් සිටි තැනට නැග ගන්නට ආසාවක් දැක්වූ මේ පිරිස විසින් ඇති කරන ලද පසු පරපුරද සේ විය. අද රට කරවන්නේද මේ පිරිසයි. ඔවුහු ඉංග්‍රීසීන් සමග එකතු වෙමින් රජරට ඇතැම් වැව් පිළිසකර කිරීමට එක් වූයේ ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරය පිලිබඳ දැනීමකින් නොවේ. ගල්ඔය ජනපද ව්‍යාපාරය දෙස බලන කල්හි ඩී.එස්. සේනානායකතුළ තිබූ උදාර අරමුණ අනෙක් පිරිස අතර නොතිබූ බව පැහැදිලිය.1912 දී ව්‍යවස්ථාදායක මණ්ඩලයේදී මහවැලිය උතුරට හැරවීමේ වැදගත්කම ගැන කතා කලේ දෙමල මන්ත්‍රී වරයෙකු වූ ඒ. කනක සබේ මහතාය. චෝල ආක්‍රමණ වලදී සිංහලයන්ගෙන් කොල්ලකන ලද උතුරු දිග තැනිතලාවේ ඉඩම් සංවර්ධනය කොට ගෙන සිංහල ජනතාව අභිබවා යෑමේ වුවමනාවක් මේ දෙමල ජාතිවාදීන් තුළ එදා පටන්ම තිබුණි. සමස්ත මහවැලි සංවර්ධන සැලැස්මේ ජේ. කේ. එල්.එම්. යන පළාත් සංවර්ධනය කරන්නට හැකි වූවා නම් තම නිජ භූමිය අහිමි වූ සිහලයන්ට පමණක් නොව දෙමල මුස්ලිම් ජනතාවට පවා සාධාරණයක් ඉටු වන්ට තිබුණි. නමුත් මහවැලි ව්‍යාපාරය මුලසිටම ක්‍රියාත්මක කරන ලද්දේ විදේශ අදිසි හස්තයන්ගේ වුවමනාව පිටය. මහවැලි මහ සංවර්ධන සැලැස්මේ සඳහන්ව තිබෙන පරිදි ප්‍රධාන ඇළ මාර්ග වලින් පමණක් සමස්ත ප්‍රදේශ වලට ජලය සැපයිය යුතුව තිබුණි. ඇතැම් ගම් බිම් මෙම ඇළ මාර්ගයන්හි ජල පිරවුම් ස්ථාන ලෙසට භාවිතා කළ යුතුව තිබුණි.එසේම අනෙකුත් සියළුම ගම්වැව් කපාදැමීම කළ යුතුව තිබුණි. ජනපදිකයන්ට ඉඩම් භාරදීමට පළමු සියලුම් වගා බිම් සුද්ද කළ යුතු අතර සමතලා කොට මට්ටම් කළ යුතුය.(all crop land will be cleared and leveled prior to hand over to the settlers ) මෙහි යෝජනා කරන ලද අනෙකුඒ ක්‍රියාකාරකම් අතර වෙසෙසි දෙයක් විය. ඒ නම් ගුරුත්ව බලයෙන් යුතු ජල සම්පාදනය වෙනුවට පිරිසෙයින් දියයෙදුම ( sprinkler Irigation ) ක්‍රමය යෝජනා කිරීමයි. මේ සඳහා විදේශීය ආයෝජන රැසක් යෙදිය යුතුව තිබෙන බැවින් තාවකාලිකව අත් හැරියද අනාගතයේදී එම ක්‍රමය සලකා බැලිය යුතු යයි නිර්දේශ කර තිබුණි.

       මේ ආකාරයට යෝජනා කරන ලද මහවැලි සැලැස්ම කිසිසේතම අතීතයෙන් ආදර්ශය ගෙන සකස් කරන ලද්දක් නොවීය. දේශීය අත්දැකීම් අතර යහපත් විද්‍යාත්මක පසුබිමක සංවර්ධනය වූ වැව් ඉදි කිරීම තුට්ටුවකට මායිම් නොකොට බොහෝ ගම් වැව් උළුප්පා දමන ලදී.වැව් සහ කුඹුර එක මට්ටමකට සමතලා කරමින් භූවිෂමතා සම කරමින් එහි අඩංගුව තිබූ කැලෑ මූකලාන්ද විනාශ කර දමන ලදී. ඒ ව්‍යාපෘතිය පිටිපස සිටි දැව හොරුන් සහ  කොන්ත්‍රාත්කරුවන්ට මහවැලිය අගනා ඉල්ලමක් විය. 1995 දී පමණ මා විසින් විමසුමට ලක් කරන ලද මහවැලි ප්‍රදේශ වලට අතරින් කණ්ඩලම ව්‍යාපාරය සඳහන් කළ යුතුය. උතුරු මැද පළාතේ කිරලව කෝරළයට අයත් දුනු මදලාඔය තුලානට අයත් මේ පුරාණ ප්‍රදේශයේ කුඹුරු අක්කර 7280 ක් පිහිටා තිබුණි. මහවැලි සංවර්ධන  ව්‍යාපාරය අනුව දකුණු ඉවුර  වශයෙන් බෙදා වෙන් කරන ලද කණ්ඩලම කලාපයේ අලුතින් ඉඩම් අක්කර 17000 ක් වෙන්වී තිබූ අතර ඉන් සියයට 15% ක් ගෙවතු වලටද 22% පළතුරු සහ පොල් වැවිල්ලටද 63% ක් හේන්වලටද වෙන්ව තිබුණි. ඒ ඉඩ කඩම් සියල්ල සමතලා කොට නව සංවර්ධන ව්‍යාපාරයට ඇතුලත් කරගන්නා ලද්දේ 1969 1981 ආදී වර්ෂවල ඉදිරිපත් කරන ලද ඉඩම් සංවර්ධන අණ පණත්වලට අනුව මහවැලි සංවර්ධන ව්‍යාපාරය සඳහා නීතිගත කෙරුණු අණපණත් වලට අනුවයි. සැබවින්ම මේ ප්‍රදේශය පුරා ගම් වැව් 70 කට වැඩියෙන් පිහිටා තිබූ බව සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි. බතලවත්ත බක්මීගහ උල්පත මඩාටුගම හැවැන්තැන්නේගම මුරුංගහිටි කන්ද උඩහිඟුර උඩකොරසගල්ල මහ ඇළ ගමුව ආදී සුන්දර ගම්මාන වලින් යුතු මේ පරිසරයේ ජීවත් වූ අතීත මුතුන් මිත්තන්ගෙන් පැවත එන උරුමක්කාරයන් නිම්නයේ නිජභූමි අයිතිය පමණක් නොව සොබාදහම පිළිබඳ උරුමයද කියාපෑවේ පුරාණ සිරිතට අනුව ජීවත් වීමෙනි. කණ්ඩලම කොටසේ තිබූ වැව් හැත්තෑවෙන් මඩාටුගම සහ මහ ඇළගමුවට වැව්ඉතිරි කර ගත් අතර අනෙකුත් සියළුම වැව් උළුප්පා දමන ලද්දේ නව යටත් විජිත වාදී ව්‍යුහය අනුව ජනපද බිහිකරන්නට බව දැන් වටහා ගත හැකිය.

     අද මහ වැලි ගොවීහු සිය නව නිෂ්පාදන විකුණා ගත නොහැකිව උපවාස කරති. ඇතැම්හු වස පානය කරති.ඒ සිය කාසි වැවිලි වලට සරිලන මිලක් නොලබීමේ හේතුවෙනි. රජරට පුරා පැතිර පවතින් වකුගඩු රෝගය මහවැලි සංවර්ධනයේ අතුරු ප්‍රතිඵලයකි.ලොකු ලූනූ මිරිස් එළවුලූ ආදී ආර්ථික බෝග මගින් ගොවි ජනතාවගේ අතමිට සරු වූ බව ඇත්තකි. එහෙත් මේ ආර්ථික ඉදිරිගමනට දේශීය ජනතාව තල්ලු කරන ලද්දේ සිය නිජ භූමියේ අයිතිය විදේශිකයන්ට උගස් කරලීමෙනි. ගම් වැව් නිවුන් වැව් ආදී වැව් පද්ධති ක්‍රමය තුළ පැවති වරිග සම්මුතිය ආදී ජනතා බැදීම් ඉවත් කරලීමට සැලසුම් කිරීම මහවැලි සැලැස්මේ එක අරමුණක් විය. කෙත් ඇළ මගින් බෙදා හැරෙන ජලයෙන් තෙත් වන ඒකක බිමක් යුනිට් එකක් ලෙසට සැලකීම නවයටත් විජිතකරනය මූළධර්මයකි. පැරණි සමාජ සංවිධාන ක්‍රම සමතලා කොට ඒ මත්තෙහි නව ගොවි සමාගම් බිහිකිරීම මගින් විදේශ ආයෝජන වලට මහවැලියේ දොරටු විවර කරලීම දැන් සිදු වෙයි. මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවට අයත් බිත්තර වී ගොවිපළවල් බොහොමයක් බහුජාතික සමාගමකට විකුණා දමා අවසන්ය. මහවැලි කලාප තුළ සහ ඉන් පිටත ඇවිළෙන සමස්ත ගොවි අර්බුදය පුපුරා යමින් පවතී.

   ගම් වැව් මගින් සහ නිවුන් වැව් මගින් බිහිකරන ලද ආර්ථික පරිසරයත් වැව් පරිසරයත් මට්ටම් කරන ලද මහවැලිය විසින් තෙත් කරන ලද වපසරිය නැවතත් කළමනාකරණය කොට පුරාණ වැව්ගම් සංස්කෘතිය තුළ නව ආර්ථික පිවිසුමක් කළහොත් මේ විජාතික සැලසුම් පරාජය කළ හැකිය.ලංකාවේ ස්වදේශිකයන් වූ යක්ෂයන්ගේ පරිසර කළමනාකරණය යම් කරමකින් වටහා ගත් ආර්ය ජනතාව උදාර සිහල ආර්ථිකයක් බිහි කරලීමට පදනම සකස් කරගත්තේ යම් සේද අද අවශ්‍යව තිබෙන්නේ නව පිවිසීම් වලට ජාතිකත්වය ආරෝපණය කිරීමයි.