පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Showing posts with label දේශපාලනය. Show all posts
Showing posts with label දේශපාලනය. Show all posts

Sunday, May 3, 2026

විදේශ කටයුතු ලේකම් ගේ හදිසි තීරණය පිටිපස සිටින්නේ කවුරුන්ද

 

                       

         මේ වන විට භික්ෂූන් වහන්සේලා විසි දෙනමක් මත් ද්‍රව්‍ය සමග කටුනායක ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට පත් වී ඇත. කාලයක් තිස්සේ කළ මගඩියක් මේ ලෙස හෙළිදරව් වූයේ මත්ද්‍රව්‍ය නාශක පොලිසියට ලැබුණු ඔත්තුවක් නිසා බව සැළවේ.මෙම මත්ද්‍රව්‍ය පැන්නවීම පිටිපස කඩවත රන්මුතුගල විහාරයක භික්ෂුවක් ද ගාල්ල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ද සිටින බවට මේ වන විට වාර්තා පළ ව තිබේ.ඒ අතර අන්තර් ජාල සාකච්ඡාවකට සාභාගි වෙමින් නාමල් කුමාර මහතා ප්‍රකාශ කර සිටින්නේ මෙම ජාවාරම පිටිපස තායි කාන්තාවක්ද එංගලන්තයේ වසන ඇයගේ සැමියාද ඇතුළු විශාල පිරිසක් සිටින බවයි. මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන පැමිණි භික්ෂූන් වහන්සේලාගෙන් වැඩි පිරිසක් මේ සම්බන්ධව තොරතුරු නොදන්නා කමින් උගුලකට හසුව තිබෙන බව මේ සිද්දිදාමයෙන් පැහැදිලි වේ.

        භික්ෂූන් වහන්සේලා විදේශ ගත වීම අහම්බයක් නොවේ. විශේෂයෙන්ම ඉන්දියාව තායිලන්තය වැනි පැරණි බෞද්ධ රටවල් හි ආරාධනයෙන්ද වන්දනාව සඳහාද වැඩම කිරීම සුළභය.සියම් දේශය සහ අමරපුරය උප සම්පදා කර්මයන් සමග අතීතයේ සිටම තිබුණු සම්බන්ධය නිසා මෙරට භික්ෂූන් වහන්සේලා කෙරෙහි ඒ රටවල තිබෙන ගෞරවය අති මහත්ය. මෙම මත් ද්‍රව්‍ය සිද්දිය නිසා මෙම ගෞරවය පළුදු වීම සැබවින්ම ඛේදවාචකයකි. මෙතෙක් කලක් භික්ෂූන් වහන්සේලා විදේශ ගත වීමේ දී නායක ස්වාමීන් වහන්සේලා ගේ නිර්දේශය බුද්ධ ශාසන අමාත්‍යංශය හරහා නිකුත් කිරීම සිදුව ඇත. මන්ද වැඩම කරන කරණු ලබන භික්ෂූන් වහන්සේලා පිළීබඳව සංඝ සංස්ථාව දැන සිටිය යුතු බැවිනි. එම නිර්දේශය තානාපති කාර්යාල සඳහා ඉදිරිපත් කළ යුතු විය.පසුගිය ජනවාරි මස පළමු වන දින සිට මෙම නිර්දේශය අවශ්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් විසින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වෙත ලිපියකින් දන්වා ඇත. තානාපති කාර්යාල වලට මෙම යොමු කරලීම සිදු කර තිබෙන්නේ 2025 දෙසැම්බර් මාසයේ දීය.පසුව එහි පිටපතක් සහිතව බුද්ධ ශාසන අමාත්‍යංශයට දන්වා යවා ඇත. අනතුරුව එම තත්වය භික්ෂූන් වහන්සේලා වෙතද මෙහෙණින් වහන්සේලා වෙත ද ලිඛිතව දන්වා යවා ඇත.

       තායිලන්තය වැනි රටවලට වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවය පසුගිය කාලයේ අහෝසි කෙරුණු නමුත් නායක ස්වාමීන් වහන්සේලාගේ නිර්දේශය ලබා ගැනීමේ වැදගත්කමක් ඇත.ඒ නිර්දේශය මගින් විහෙෂයෙන්ම තරුණ භික්ෂූන් වහන්සේලා ගේ සංචාරයන් ගැන  පූර්ව අවබෝධයක් නායක ස්වාමීන් වහන්සේලාටත් අදාළ අමාත්‍යංශයටත් ලැබෙන බැවිනි.එහෙත් එම තත්වය නොසලකා හැර  විදේශ කටයුතු ලේකම් වරයා විසින් නිකුත් කරන ලද ලිපියේ බරපතල කාරණා අඩංගු  වෙයි. විදේශ ගත වීමක දී පොදු මහජනතාව ,අන්‍යාගමික පූජකයන් තානාපති කාර්යාල වලට ඉදිරිපත් කරන ලේඛන ලෙසටම භික්ෂූන් වහන්සේලාද කටයුතු කළ හැකි බව එහි දක්වා ඇත. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තිය මගින් කියැවෙන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන්නේය යන වගන්තිය මේ මගින් උල්ලංඝණය කර තිබේ. මෙම තීරණය ගැනීමට ප්‍රථම මහා නායක ස්වාමීන්වහන්සේලාගේ අදහස් විමසීමට විදේශ කටයුතු ලේකම් වරයා කටයුතු කර නැත. තානාපති කාර්යාල වලට ලිපිය තැපැල් කිරීමෙන් පසුව බුද්ධ ශාසන අමාත්‍යංශයට දන්වා යවා ඇති බව ලිපියෙන් පැහැදිලි වේ. මෙම තත්වය උදාවූයේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම නිසාවෙන්ද එසේත් නැතිනම් අමාත්‍ය මණ්ඩල තීරණයකින් ද නැති නම් ජනාධිපතිවරයාගේ තීරණයකින් ද යන්න පැහැදිලි නැත.

       මෙම ක්‍රියාව මත බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් ලිපියක් ගෞරවනීය ස්වාමීන් වහන්ලොට තැපැල් කළ පසු සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් මහා නායක ස්වාමීන් වහ්නසේලා දැනුම්වත් කරමින් 2026/ 01/ දින ලිපියක් යවා තිබුණි. ඒ සම්බන්ධව මහා නායක ස්වාමීන් වහන්සේලා සෘජුව මැදිහත් වූ බවක් පෙනෙන්නට නැත. මෙම තත්වයේ බරපතල කම ඉස්මතුව පවතින්නේ මත්ද්‍රව්‍ය ගෙන පැමිණි තරුණ භික්ෂූන් වහන්සේලා බහුතරයක් තම නායක ස්වාමීන් වහන්සේලා දැනුම්වත්ව විදේශ ගතව නොමැති බවයි.එලෙස කරුණු වසන්ගා ගැනීමට හේතු වන්නට ඇත්තේ වටස්ඇප් සමූහ වල උන්වහන්සේල සම්බන්ධ කොට ගෙන කරන සංවාද අනුව විය හැකිය. නායක ස්වාමින් වහන්සේලා දැනුම්වත් වීමෙන් ගමනට බාධාවක් ඇති වන්නට ඉඩ ඇති බව එහිදී සාකච්ඡා වන්නට ඇත. කෙසේ වෙතත් මෙහි ප්‍රතිඵලයක් වශයෙන් විහාරස්ථාන වල ඉතා වැදගත් කාර්යයන් කළ තරුණ භික්ෂුන් වහන්සෙලා සිවුරු අරවන්නට ද ගිහියන් ලෙසට නඩු කටයුතු සඳහා යොමු කරවන්නට ද මහා නායක ස්වාමීන් වහ්නසේලා අනුමැතිය දී තිබේ. මෙම තත්වය මෙම ප්‍රශ්ණය තවත් සංකීර්ණ කරන්නට හේතු වී තිබේ.මත්ද්‍රව්‍ය ගෙන ඒම සංවිධානය කිරීම ඊට සමගාමීව විදේශ ගත විමේ නිර්දේශය අවංලංගු කිරීම පැහැදලිව පවතින ආණ්ඩුවේ මැදිහත් වීමකින් සිදු වූවකි. මෙම භික්ෂූන් වහ්නසේලාගෙන් කීප දෙනෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට ද සෘජුව සම්බන්ධ වී ඇති බව ප්‍රකටය. එලෙස සම්බන්ධ වූවන් දඩමීමා කරගෙන කිසිවක් නොදන්නා බහුතර තරුණ භික්ෂූන් වහ්සේලා මෙයට මැදිහත් කර ගැනීම ඛේදවාචකයකි.

යටත් විජිත සමයේ දී වැඩ සිටි නැණවත් ප්‍රාචීන පණ්ඩිත උගතෙකු වශයෙන් කටයුතු කළ ප්‍රකට යතිවරයෙකුට අත්වූ ඉරණම මෙහිදී සටහන් කර ලිපිය අවසන් කරමි. උන්වහන්සේ නමින් සූරියගොඩ සුමංගල විය. වර්ෂ 1919 දී බ්‍රිතාන්‍ය යේ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයට ඇකුල් වීමට වරම් ලැබූ මෙරට ප්‍රථම භික්ෂූන් වහන්සේ වූයේ පූජ්‍ය සූරියගොඩ සුමංගල තෙරණුවෝය.බ්‍රිතාන්‍යයේ හෙන්රි මැන්චෙස්ටර් ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ උන්වහන්සේ උගෙනුම ලැබූ බව දක්වා ඇත. භික්ෂුවක් ලෙසට තම තරුණ වියෙහිදීම 1903 වසරේ දී සංයුක්ත නිකාය ගාථා සන්නය ඉංග්‍රීසි බසට පරිවර්තනය කළ උන් වහන්සේ ඉන්පසුව 1914 දී ධම්මපදය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දේය..පසුව දශකුමාර චරිතයද ප්‍රකාශයට පත් කර ඇත.මේ ග්‍රන්ථයන් ප්‍රකාශයට පත් කරන ලද්දේ ප්‍රාචීන භාෂෝපකාර  සමිතිය සහ රාජකීය ආසියාතික සඟරා ප්‍රකාශන මගිනි.ප්‍රාචීන භාෂා පිළිබඳ මහත් උනන්දුවක් දැක්වූ හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා ගේ අනුග්‍රහයෙන් පූජ්‍ය සූරියගොඩ සුමංගල හිමියන්ට ඔක්ස්ෆඩ් මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයට දෙවසරක ශිෂ්‍යත්වයක් ලැබුණේ පෙර අපරදිග භාෂා පිළිබඳ උන්වහන්සේ සතුව තිබූ දැනුම නිසාවෙනි. මහා බ්‍රිතාන්‍යයේ වැඩි දුර අධ්‍යාපනය පිණිස  වැඩම කළ සූරියගොඩ සුමංගල හිමියන් යළි ලංකාවට වැඩම කළ පසු ලංකා විශ්ව විද්‍යාලයේ පෙරදිග භාෂා අධ්‍යන අංශය ආරම්භ කිරිමට උනන්දු කර අනුග්‍රහය ලබා දී ඇත.

      උන්වහන්සේ  එංගලන්තයට බල පිටතව ගොස් එහි සිටද තම ඥානාලෝකය බබුළුවමින් උපන් රටට ගෞරවයක් අත් කර දුනි.උන්වහන්සේ ආපසු සිය රටට වැඩම කර නැවෙන් ගොඩ බසින විට  ගෙනා ගමන් මළු පරීක්ෂා කෙරුණි. එහිදී කාන්තා නිරුවත් පින්තූර රැසක් සොයා ගන්නට හැකි විය. උගත් නැණ භික්ෂූන් වහන්සේ නමක් ලෙස උපන් බිමේ ගෞරවය ලබන්නට සිටි උන්වහන්සේ ගේ කීර්තියට කළු පැල්ලමක් එකතු විය.ස්වල්ප කාලයක් නිහඩව සිටි උන්වහන්සේ උපැවිදි වී සුමංගල සූරියගොඩ නමින් ප්‍රකටව සිට මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට සිය කාලය ධනය වැය කරන ලද්දේය.නමුත් සුසුනට වැදගත් යතිවරයන් වහන්සේ නමක් අහිමි විය.ඒ අඩුව පිරිමැහිය නොහැකි තරම්ය.එම නිසා වරදෙහි යෙදෙන භික්ෂූන් වහන්සේලා නිවැරදි මගට පත් කර බුදු සසුන ආරක්ෂා කර ගැනීම අද දවසට වඩා සුවිශේෂීය. මන්ද සසුනෙහි පිහිටුවන්ට තරමේ දරුවන් ජාතියට අද දායාද නොවන බැවිනි.

මතුගම සෙනෙවිරුවන්

Saturday, March 28, 2026

ඩොලර් ගිවිසුම් සමග තෙලෙන් නැටවෙන ශ්‍රී ලංකාව

 

                           


         ඉරානය සහ ඊශ්‍රායලය අතර ඇති වූ යුධ ගැටුමට මැදිහත් වූ ඇමරිකානු අවි මෙහෙයුම නිසා ලෝක ප්‍රමාණ අර්බුදයක් නිර්මාණය වී තිබේ.ප්‍රධානතම ප්‍රශ්ණය ගොඩ නැගී තිබෙන්නේ මැද පෙරදිග තෙල් ලබා ගැනීම  තිබෙන අවිනිශ්චිතභාවයයි. ඒ නිසා ඛනිජ තෙල් මිළ ඉහළ ගොස් ඇති අතර ඒවා ලබා ගැනීමට තිබෙන බාධා නිසා තෙල් ලබා ගන්නා රටවල් රැසක් අමාරුවේ වැටී තිබේ. ලංකාව මේ දැවැන්ත අර්බුදය නිසා විශාල අපහසුතාවයකට පත් වී තිබේ.ඛනිජ තෙල් රටේ සෑම ආර්ථික ක්‍රියාකාරකමකටම බලපාන බැවින්  ආහාර නිෂ්පාදනය පවා කඩා වැටීමට තිබෙන ඉඩකඩ විශාලය.1970 දශකයේ දී හිටපු ඇමරිකානු ජනපති රිචඩ් නික්සන් විසින් තෙල් ගනුදෙනු වලදී භාවිත කළ යුතු මුදල් ඒකකය ඩොලරය බවට පත් කිරීමෙන් පසු එය පෙට්රො ඩොලරය ලෙසින් හඳුන්වන්ට විය.අද පවතින අර්බුදයේ ස්වභාවය නිර්මාණය වන්නේ මෙම මුල්‍ය ඒකාධිකාරය බිඳ දැමීම පිණිස චීනය රුසියාව ඇතුළු රටවල් කීපයක් උත්සාහ දැරීම මගිනි.නමුත් මෙහි ඉතිහාසය ඊට වඩා පැරණිය.

 දෙවන ලෝක යුද්ධයෙන් පසුව කඩු වැටුණු යුරෝපය නැවත ගොඩ නැන්වීම පිණිස 1944 දී බ්‍රෙටන්වුඩ් හි මුළු දුන් ලෝක නායකයන් ගේ එකමුතුව තුළ ඇති වූ එකඟතාවය මෙයට මූලික පදනම දැමූ බව පැවසේ.මෙම එකඟතාවයට රටවල් 44 ක් අත්සන් තැබූ අතර එයට ලංකාව ද අයත් විය.බ්‍රෙටන්වුඩ් සම්මුතියේ අරමුණ බවට පත් වූයේ ලොව පුරා රටවල ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමයි.ඒ මගින් ලෝක ආර්ථීකය පාලනය කළ හැකි බව සාකච්ඡා වී ඇත. ඒ සඳහා මූලිකව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවන ලදී. එයට අමතරව ලෝක බැංකුව හෙවත් නැවත ගොඩනැන්වීමේ සහ සංවර්ධන කිරීමේ ජාත්‍යන්තර බැංකුව වෙළෙඳ හා තීරු බදු ගිවිසුම සහ ආහාර හා කෘෂීකර්ම සංවිධානය යන ආයතන ඇති විය. අවියෙන් සහ මංකොල්ලකෑමෙන් අත්පත් කරගෙන තිබූ රටවල් ඉන් නිදහස් වන විට ඒ රටවල් ආර්ථීක වශයෙන් නැවත බැඳ තබා ගැනීමට මෙම එකඟතාවයන් ඉතා වැදගත් විය.

       එක් දහස් නමසිය හතලිස් අටේ බ්‍රිතාන්‍ය විසින් අපට ලබා දුන් නිදහස 1815  කරා ආපසු කැඳවා  ගෙන යෑමක් නොවුණු බව  සඳහන් කළ යුතුය.1815 වන විට ලංකාවට  රජෙකු සිටියේය. රජු කවරෙකු වුවද සියවස් ගණනාවක් විකාශනය වූ රාජකීය සම්ප්‍රදායක් විය. 1815 උඩරට ගිවිසුම මගින් සිදු වූයේ  රාජ්‍යත්වය අහෝසි වීම නොව එංගලන්ත රජුට රටේ පක්ෂපාතිත්වය හිමි වීමයි.1948 වන විට එම පදනම මත ලංකාව එංගලන්ත රැජින යටතේ පාලනය වෙමින් තිබිණ. නිදහස ලැබිය යුතු අවස්ථාව උදා වුවද රටේ පැරණි සම්ප්‍රදාය මත පදනම්ව නිදහස නොලැබුණි. ඒ වෙනුවට එංගලන්තය ට පත්ෂපාතී අග්‍රාමාත්‍ය වරයෙකු පත් විය.ඒ තත්වය 1972 දක්වාම පැවතිණ. 1972 ඇති කළ ජනරජ ව්‍යවස්ථාව සකස් කරන ලද්දේ ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා විසිනි. මාක්ස්වාදියෙකු වූ ඔහු කිසි විටක රටේ රාජකීය සම්ප්‍රදාය පිළීබඳව හිස නැමීමක් සහිත පුද්ගලයෙකු නොවීය.එම නිසා රටේ අග්‍රාමාත්‍ය තනතුර සහ ව්‍යවස්ථාදායකය ආදී බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තවදුරටත් ස්ථාපිත වූවා මිස ස්වාධීන ගමනක් යෑමට මුල පිරිමක් සිදු වූයේ නැත.මේ කාලයේ ලංකාවේ විදේශ මුදල වූයේ රන් පවුමයි. මහ බැංකුව සතුව තිබූ රන් සංචිත මගින් ආනයන අපනයන ආර්ථිකය හැසිරවීම සිදු විය.1944 ජූලි මස  දී අත්සන් කරන ලද බ්‍රෙටන්වුඩ් සම්මුතියෙන් පසු ලොව නොයෙකුත් රටවලට ඒ එකඟතා ආදේශ කිරීමේ පියවර ඇරඹිණ. ඒ අනුව 1950 දී මෙම එකඟතාවය ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. එය 1950 අංක  20 දරණ ආඥා පනත යනුවෙන් හැඳින්විණ.මෙම පනත සම්මත වූවායින් පසුව මුදල් අමාත්‍යවරයා එහි බලධරයා බවට පත් විය. එහි 3(1) වගන්තිය අනුව රන්පවුම් වලින් සහ ලංකා රුපියල් වලින් ගනුදෙනු කිරිමේ හැකියාව මෙතෙක් ලැබුණද එහි පස් වන වගන්තිය අනුව රන් පවුම් සහ ඇමරිකානු ඩොලරයට මාරු වීම සඳහා අවකාශ ලබා දී තිබේ.

    1859 දී ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පොළව කැණීමකින් පළමු වරට ඛනිජ තෙල් ලබාගෙන තිබේ. ඒවා පිරිසිඳු කර කාර්මික ලෝකයේ යන්ත්‍ර සූත්‍ර දිවවීමට යොදා ගත හැකි බව තේරුම් යෑමෙන් පසු එය පිස්සුවක් මෙන් පැතිරුණි. මේ පිස්සුවට අසුවූ රොකෆෙලර් නම් තරුණයෙකු ඒ තෙල් ගොඩ නැගිමෙන් විශාල ධනවතෙකු බවට පත් විය.ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ තෙල් අධිකාරිය ආරම්භ කරන ලද්දේ එලෙසිනි. ඉන්පසු  රුසියාවේ සහ මැද පෙරදිග පොළව යටින් ද මේ තෙල් මතුකර ගැනීමෙන් තෙල් සඳහා තරඟකාරිත්වයක් ඇති විය. මේ තෙල් තරඟකාරිතවය පාලනය කිරීමට ඔපෙක් සංවිධානය බිහි වූ අතර  බ්‍රෙටන් වුඩ් සම්මුතියෙන් පසු ඇමරිකානු ඩොලරයේ බලපෑම් මත වක්‍රකාරයෙන් මැද පෙරදිග තෙල් සම්පතේ ඒකාධිකාරය ඔවුන් සතු විය.තෙලෙන් නැටවෙන ලෝකයක ශ්‍රී ලංකාව එහි ඉත්තෙකු බවට පත් වීමේ පසුබිම මෙයයි. ලංකා පාර්ලිමේන්තුව මෙයට එකඟ විම ජනතා පරාමාධිපත්‍ය ‍ලෙසට හැඳින්වේ.ජනතාව විසින් තෝරා පත් කර යවන මන්ත්‍රීලා විසින් ඕනෑම ගිවිසුමකට ඕණෑම පනතකට එකඟවන බැවින් එය මන්ත්‍රී පරාමාධිපත්‍ය ලෙසට ද හැඳින්විය හැකිය. ලංකාව සහ එහි ජනතාව අද  මේ ඉරණමෙහි හිර වෙමින් පීඩාවට පත් වෙමින් ඇත.ඩෙලරය මගින් විදේශ සංචිත ඉහළ නන්වා ගැනීමේ ක්‍රමවේදය ආරම්භ වූවායින් පසුව රට ස්වාධීනව ඉදිරියට යෑමක් සිදු නොවිය.උපයන මුදල් ණය ගොවීම සඳහාම වැය කෙරිණ. එම ණය උගුල නිසා වර්තමානය වන විට රට තදබල ලෙස කඩා වැටීමකට ලක්ව තිබේ.

 පසුගිය කාලයේ හිටපු බල ශක්ති අමාත්‍යවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් විශාල ප්‍රමාණයක් සිනොපෙක් සහ තවත් විදෙශීය සම්ගාම් වෙත නිදහස් කරන ලද්දේ ඒ මගින් ඇතිවන තරඟකාරිත්වය මත ජනතාවට අඩු මිළට තෙල් ලබා ගත හැකි බව පවසමිනි  නමුත් එය ඉටු වූයේ නැත.  සංස්ථාව   දරා  සිටින පාඩුව නැති කර ගැනීම ද අරමුණක් වුවද එයද ඉටු වූයේ නැත. නමුත් ඇත්ත තත්වය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දෙසි මත රජය ව්‍යාපාර වලින් ඈත් වීම සිදු වීමයි.බ්‍රෙටන්වුඩ් සම්මුතිය නිසා  (IMF) හෙවත් ජගත් මූල්‍ය අරමුදල රටේ අදිසි පාලකයා බවට පත්ව තිබේ. රට කොයි තරම් උගුලක අසු වී ඇත්දැයි මේ නිදසුන් වලින් තේරුම් ගත හැකිය.

         තෙල් සහ ඩෙලර් මත පවතින ලෝකයක මේ බැඳීම් වලින් නිදහස් වීම ලෙහෙසි පහසු නොවේ. විශේෂයෙන්ම ඩොලරයෙන් නිදහස් වී ම ලෙහෙසි නැත. නමුත් වර්තමානයේ ඩොලරය අභිබවා යුවාන් සහ රූබලය ඉදිරියට එමින් ඒක ධ්‍රැවීය ආධිපත්‍ය බිඳ වැටෙමින් පවතී.එවැනි තත්වයක් තුළ ලංකාව හැසිරිය යුත්තේ නෙලසකදැයි තීරණය කර ගත යුත්තේ පක්ෂයක නායකයෙකු විසින් නොවේ යයි සිතමි.එයට හේතුව පක්ෂය ප්‍රවර්ධන කිරීම හැරුණු කොට ජාතික න්‍යාය පත්‍රයක් ඔවුන්ට නොමැති බැවිනි.මෙය වෙනස් කළ යුතු තත්වයකි.බුද්ධිමතුන්ගේ සහයෝගය සහ ප්‍රඥාවන්ත නායකත්වයක අවශ්‍යතාවය රට ඉදිරයේ පවතින්නේ එහෙයිනි.

 මතුගම සෙනෙවිරුවන්

      

Monday, February 9, 2026

දහම් පාසල ගොඩනැගීමේ පින්කම නීති විරෝධී කළ පොලිස් මරිසිය

 


                        

           ත්‍රිකුණාමලයේ වෙරළාසන්නයේ පිහිටි බෝධිරාජවිහාරයේ බෝධිවර්ධන දහම් පාසල ගොඩනන්වන්නට ගොස්  විහාරාධිපති ස්වාමීන්වහන්සේ ඇතුළු සිවුනමක් සහ දායකයන් කීප පළක් මේ වන විට බන්ධනාගාර ගත කර ඇත.ත්‍රිකුණාමල පොලිසිය එම ස්වාමීන් වහන්සේලා ප්‍රාණ ඇපයට තබා ගැනීමට උත්සාහ දැරීම නිසා ඇප පිට නිදහස ද අහිමි වී ඇත. මේ වන විට මෙම ක්‍රියාවලියට එරෙහිව කොළම අභියාචනාධීකරණයේ නඩුකරයක් ක්‍රියාත්මක වෙමින් ඇත. පුවත් පත් වාර්තා කරන අන්දමට උසාවි නඩු කාර්ය සටහන් අස්ථානගතව ඇත. ප්‍රශ්ණය දිග් ගැස්සී සියල්ල දේශපාලනීකරණය වී තිබේ.

          බෝධිරාජ විහාරයේ දහම් පාසල ආරම්භ කර ඇත්තේ 1952 වර්ෂයේ දීය. එය ත්‍රිකුණාමලයේ ආරම්භ කළ පළමු දහම් පාසල විය.පූජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහ නායක ස්වාමීන් වහන්සේ පවා කුඩා කළ මෙම දහම් පාසලේ ඉගෙනුම ලැබූවෙකි.පූජ්‍ය බලපිටියේ ශාන්ත හිමියන් විසින් ආරම්භ කරන ලද මෙම දහම් පාසල පිහිටුවන ලද්දේ වර්ෂ 1753 දී සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන පැමිණි සියම් භික්ෂූන් වහන්සේලා ගොඩබට ගෝකණ්න තිත්ථ වරාය වෙරළාසන්නයේය.එම ගමන සිහිපත් කරනු වස් වෙරළාසන්නයේ බෝධීයක් ද උපාලි තෙරුන් ඇතළු සියම් සංඝයාවහන්සේලා විවේක සුවයෙන් වැඩ සිටි තැන බෝධීන් වහන්සේලා සතර නමක් ද එකළ රෝපණය වී ඇත. මේ දහම් පාසල පිහිටුවන්නේ බෝමලුවට යාබදවයි. බලපිටියේ ශාන්ත හිමියන්ගේ ශිෂ්‍ය පූජ්‍ය මිහිඳුපුර මහින්ද වංශ සහ වෙල්ගම් විහාර වර්තමාන විහාරාධීපති අම්පිටියේ ශීලවංශ තිස්ස යන දෙනමගේ උපසම්පදා පින්කම පවා සිදු වන්නේ මෙම බෝධි සමීපයෙහි තිබෙන ගල්පරය ආශ්‍රිතවය. ඒ අතින් බලන විට මෙම ස්ථානයත් ඒ අවට  ප්‍රදේශයත්  ශාසනික ඉතිහාසයේ වැදගත් ස්මාරකයන් ලෙසට හඳුනවා දිය හැකිය.

       1987 දී ත්‍රිකුණාමලයට භීෂණය උදාවූ සමයක් විය. චීන වරායේ නායක හිමියන් ඉන්දියන් හමුදාව අතින් ඝාතනය විය. එසේම නගරයේ ජීවත් වූ සිංහලයන් එළවා දමන ලදහ.මෙම බෝධි රාජ විහාර දහම් පාසල් ගොඩනැගිල්ල අත්පත් කරගත් ඔවුහු එය ජරාවාස කළහ. අනතුරුව ඒ ස්ථානය ආපසු විහාරය වෙතම ලැබුණද යළි දහම් පාසල ඇරඹීම දුෂ්කර විය.මේ අතර 1981 වර්ෂයේ දී වෙරළ සංරක්ෂණ පනත ක්‍රියාත්මක වීම නිසා වර්තමාන ලන්දේසි බොක්ක මුහුදු තීරය ඒ පනතට යටත් විය.2004 වසරේ දී මුහුදු ගොඩ ගැලීම නිසා දහම් පාසල සම්පූර්ණයෙන්ම බිමට සමතලා විය.එය නැවත ගොඩ නැගීම වෙනුවෙන් ඉල්ලීම් කළද එවක සිටි ත්‍රිකුණාමල දේශපාලන අධීකාරිය වන ආර්.සම්බන්ධන් ඇතුළු දෙශපාලකයන්ගේ දැඩි විරුද්ධත්වය මත ඉදිරි කටයුතු කරලීම දුෂ්කර විය.බෝමලුව පමණක් සංරක්ෂණය කිරීමට පිළිවන් විය. අනතුරුව පූජ්‍ය මිහිඳු පුර මහින්ද වංශ හිමියන්ගේ දැඩි උත්සාහ නිසා බෝමලුවත් දහම් පාසලත් පිහිටි භූමිය සඟ සතු දේපළක් ලෙසට පිළීගත් අතර මෙම භූමිය 2008/03/28 ගැසට්ටුව මගින්  බෝධී වර්ධන දහම් පාසලේ භෘරකාර මණ්ඩලය වෙත බදු දීමනාවක් වශයෙන් රජය විසින් ප්‍රදානය කරන ලදී. මේ අතර මෙම ඉඩමට පූජා ඔප්පුවක් ලබාදීම පිණිස අදාළ ගැසට් නිවේදනයෙහි සඳහන් ප්‍රතිපාදන අනුව  ඒ සඳහා  නගර හා කඩවත ප්‍රාදේශීය ලේකම්  විසින් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් වෙත යවන ලද ලිපියට 2012/08/08 දාතම සහිත ලිපියෙන් ඔවුන්ගේ පිළීතුර වූයේ වෙරළ කලාපයේ ඉඩම් වල අයිතිය පැවරීම සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ පනත අනුව අවසරයක් අවශ්‍ය නොවන බවයි.ඒ අනුව මෙම ඉඩම වෙරළ කලාපයෙන් බැහැර කරන ලද ඉඩමක් බව පැහැදිලි වේ.මේ තත්වය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2014 වර්ෂයේ දී බදු දීමනාව අවලංගු කර මෙම සඟ සතු දේපළට පූජා ඔප්පුවක් ලබා දී තිබේ. එසේම 2016 වර්ෂයේ දී වෙන්කරන ලද භූමියෙහි ආරක්ෂිත වැටක් ඉඳි කරලීම පිණිසා රජයේ ප්‍රතිපාදන වෙන් වූ අතර එයට ද වෙරළ සංරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන ඇත.එය නිම වීම නිසා විහාරස්ථාන භූමිය නිශ්චිතවම වෙරළ කලාපයෙන් බැහැර විය.

        මේ තත්වය මෙසේ වන අතර නගර සභාවේ මැදිහත් වීම මත පන්සල් භූමිය ඇතුළු ප්‍රදේශයේ පයිනස් වගාවක් සිදු කරලීමට කටයුතු කර ඇත. එහි දී වූ එකඟතාවය වනුයේ දහම් පාසල් ගොඩ නැගිල්ල යළි ඉඳි කරන කල්හි එම ශාක ඉවත් කිරීමේ පොරොන්දුවයි. නමුත් මෙම පොරොන්දුව කඩමින් නගර සභාවද වරින් වර විහාරස්ථානයේ දියුණුවට බාධා පමුණුවා ඇත. නඩුවක් ද පවරා තිබුණි.මේ කාලවකවානුවේ දී විහාරාධිපති හිමියන්ගේ අපවත්වීම නිසා දහම්පාසලේ ඉදි කිරීම තවදුරටත් පමා විය.මිහිඳුපුර හිමියන්ගේ ශිෂ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් විහාරාධිපති බවට පත් වීමෙන් අනතුරුව පන්සලට වෙන් කරන ලද ඉඩමේ කෙළවරක අවන්හලක් පවත්වගෙන යෑමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙන්තුවෙන් සහ අදාළ රාජ්‍ය ආයතන වලින් අවසර තබා ගෙන ඇත. මෙම අවන්හල බිහිකිරිමට හේතුව දහම් පාසල ඉඳි කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමයි. මේ අවස්ථාවේ දී ද ආර්.සම්බන්ධන් මහතා දැඩි ලෙසට විරුද්ධත්වය පළ කර තිබේ. ඒ පෙළඹවීඹ මත නගර සභාව විසින් වෙළෙඳ සල පවත්වාගෙන යන අයට විරුද්ධව නඩුවක් පවරා තිබුණි.කෙසේ වෙතත් මෙම වෙළඳ සලේ ඉදිරිපස කණු කීපයක් සිටුවා අතිරේක ඉඳි කිරීමක් කළ විට වහා මැදිහත් වූ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අනවසර ඉඳි කිරීම කඩා ඉවත් කරලීමට 2025 ජූලි  දී නිවේදනයක් නිකුත් කර ඇත.එයට ප්‍රතිචාර වශයෙන් විහාරාධිපති හිමියන් විසින් කොළඹ ඇපැල් උසාවියේ දී නඩුවක් පවරන ලද අතර එහිදී වෙරළ සංරක්ෂණය සහ විහාරාධිපති හිමියන් අතර සමථයක් ඇති වී තිබේ. එනම් අතිරේක ඉඳි කිරීම ඉවත් කර ගැනීමයි.මෙම උණුසුම් තත්වය මත බෝධිවර්ධන දහම් පාසල ට එල්ල වූ තර්ජනය පිළීබඳ දැනගත් බෞද්ධ ජනතාව දහම් පාසල යළි ගොඩ නැන්වීමට ස්වාමීන් වහ්නසේ වෙත ආධාර උපකාර ලබාදෙන්නට ඉදිරිපත් විය. ඒ අනුව 2025/12/16 දින ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩමවා පිරිත් දේශනා කොට පැවති දහම් පාසල් ගොඩනැගිල්ලේ පාදම මත කණු කීපයක් සිටුවා තාවකාලික වහළයක් සවි කර බුදු පිළිමයක් තැන්පත් කරන ලදී. 2006 වසරේ දී මෙම දහම් පාසල ගොඩ නැගීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගත් අවසරය මත මෙම කටයුතු සිදු කර තිබේ.



   මේ දිනයේ ඒ ස්ථානයට සිවිල් ඇඳුමෙන්  පැමිණි ත්‍රිකුණාමල ජ්‍යේෂඨ පොලිස් අධීකාරි තුමා සහ වරාය පොලිසියේ පොලිස් පරීක්ෂ තුමා ඇතුළු පිරිස ස්වාමීන් වහන්සේට තර්ජනය කොට වහාම ඉඳි කිරීම ඉවත් කර ගත යුතු බව දන්වා ඇත.අනතුරුව රාත්‍රී කාලයේ විශාල පොලිස් පිරිසක් කැටුව පැමිණි පොලිස් අධිකාරි තුමා ආරක්ෂිත වැටත් කපා අනීතිකව ඇතුළු වී බුදු පිළීම වහන්සේ රැගෙන යෑමට තැත් කිරීමේ දී ඇති වූ කලබලයේ දී විහාරාධිපති හිමියන්ට බොරලු කන්ද විහාරාධිපති හිමියන්ට සහ මෙම ස්ථානයේ පින්කමට සාභාගි වූ බළන්ගොඩ කස්සප හිමියන්ට පහර දී මුතුකුඩය කඩා එයින් ද පහර දී බුදු පිළීමය පොලිසියට ගෙනගොස් ඇත.මෙයින් අවිස්සුණූ දිවයිනේ බෞද්ධ ජනතාව සහ භික්ෂූන් වහන්සේලා ත්‍රිකුණාමලයට පැමිණීම නිසා කලබල වූ පොලිසිය පසු දින නැවත බුදු පිළිම වහන්සේ ස්ථානයටම වැඩම කර වූ බව රටම දනී.

         භික්ෂූන් වහන්සේලාට පහර දීමෙන් නොනැවතුණු පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමනට ලබා දී ඇති දණ්ඩනීති සංග්‍රහය ද අව භාවිතා කර තිබේ.ඔවුන් නිකුත් කළ පළමුවැනි බී වාර්තාවට අනුව බෝධි රාජ විහාර පරිශ්‍රය තුළ රැස්වී පිරිත් කීම බුදු පිළීමය තැන්පත් කිරීම ආවරණ වහළයක් සවි කිරීම ආදී පින්කම් කටයුතු නීති විරෝධී රැස්වීමකි. එයටම වෙරළ සංරක්ෂණ පනතේ වගන්ති ඒකාබද්ධ කරලීමෙන් කර තිබෙන්නේ අපරාධමය වරදක් බවට පත් කිරීමයි. මේ තත්වය  නිසා විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් පමණක් නොව පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමි පූජ්‍ය සුඛිතවංශ තිස්ස හිමි සහ තිරියායේ නන්ද යන හිම වරුන්ද එනම් එම පින්කමට සාභාගි වූ භික්ෂූන් වහ්නසේලා කීප නමක්ද දායකයන් සහ කොළඹින් පැමිණි පිරිසද විත්තිකරුවන් බවට පත් කර ඇත. මෙලෙස වීකෘති කරන ලද කරුණු නිසා  මහේස්ත්‍රාත් තුමාට ඇප දීමට නොහැකි විය. ඇප ප්‍රදානය කිරීම පිණිස මහේස්ත්‍රාත්තුමා විකල්ප දෙකක් ඉදිරිපත් කළ අතර පළමු වැනි විකල්පය ලෙස බී වාර්තාව නැවත සකස් කර ඉදිරිපත් කරන ලෙසට පොලිසියෙන් ඉල්ලා සිටියේය. ඊට හේතුව 2006 වසරේ දී මෙම ස්ථානය නැවත ගොඩ නගා ගැනීමට වෙරළ සංරක්ෂණයෙන් දී තිබූ අවසර ලිපිය ඉදිරිපත් වීමයි.එසේම තාවකාලික වහළය ඉවත් කර ගැනීමට විත්ති පක්ෂය එකඟ වීමයි. නමුත් පොලිසිය එකඟ නොවීය. ඒ වෙනුවට ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිසිය විත්තිකරුවන් ප්‍රාණ ඇපයට ගැනීමට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලද්දේය. එනම් පහර දීමට විරුද්ධව ස්වාමීන් වහන්සේ සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් නඩුව ඉල්ලා අස් කර ගත යුතු යැයි යන ඉල්ලීමයි. මෙම නඩු දිනයේ උදය වරුවේ දී නීති පති දෙපාර්තමේන්තුවෙන් පැමිණි රජයේ නීතඥයාද ඉඳි කිරීම ඉවත් කර සමථයකට යෑම අනුමත කළ නමුත්  හවස් වරුවේ දී ඉහළින් පැමිණි නියෝග  අනුව එම මතය වෙනස් කර ඇත. කෙසේ වෙතත් පොලිසිය මෙහිදී ස්වභාවිත යුක්ති මූලධර්මයන්ද කඩ කරමින් උසාවියට ද අපහාස කරමින් තමන්ගේ බේරීම සඳහා කළ මෙහෙයුම බෙහෙවින්ම පිළිකුල් සහගතය. ප්‍රදේශය නියෝජනය කරන ජාතික ජනබලවේග මන්ත්‍රීවරයාගේ මැදිහත් වීමද මෙයට බලපා ඇත.  නීතිය රකින්නට සිටින නිළධාරීන් මෙලෙස මහජනයා පීඩාවට පත් කරමින් හැසිරෙන්නේ නම් යුක්තිය පතා වෙනත් මාර්ග විවෘත කර ගැනීමට මහජනයා පෙළඹෙණු නිසැක බව කිව හැකිය.

        ත්‍රිකුණාමල බෝධි රාජ විහාරය සම්බුද්ධ ශාසනය සතු දේපළකි. වර්තමාන නීතිය අනුව එයට පූජා ඔප්පුවක් ලබා දී ඇත්තේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග කියවිය යුතු නවවන වගන්තිය ප්‍රකාරව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන්නේ නම් එය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම නම් ශාසනාධාරී භික්ෂූන් වහන්සේලාට මෙලෙස අඩන්තේට්ටම් නොකළ යුතුය. වෙරළ සංරක්ෂණ පනත අනුව වරින් වර අවසර ලබා ගෙන තිබියදී මෙලෙස ක්‍රියාකිරීම අයුක්ති සහගතය. මේ තත්වය තුළ රජයේ ඇමති වරුන් පමණක් නොව පොලිස් පති ද ක්‍රියා කර තිබෙන්නේ පක්ෂපාතීවයි. මෑතකදී කතෝලික පාදිලිවරුයෙකුට පහර දුන් පොලිස් නිළධාරීන් වහා අත් අඩංගුවට පත් වූ අතර මෙම භික්ෂූන් වහන්සේලාට කළ පහර දීම පීලිබඳ පරීක්ෂණයක් පවා මේ වනතෙක් සිදු කර නොමැත.නීතියේ ආධිපත්‍ය සුරකින්නට පැමිණි අය අතින්ම මෙවැනි පරිසරයක් නිර්මාණය වීම බෙහෙවින්ම වේදනාකාරී වෙයි.කෙසේ වෙතත් මෙම සිදු වීම පිටිපස තිබෙන්නේ රජයත් ඉන්දීය රජයත් අතර මෑතකදී අත්සන් කරන ලද රහසිගත ගිවිසුම් වල කොන්දේසී යැයි දක්වන අදහස් කිසිසේත්ම බැහැර කළ නොහැකිය.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, December 2, 2025

රට උඩු යටි කුරු කළ දිට්වා -සැමට හොඳ පාඩමක් වෙත්වා

                           


         සුනාමි ව්‍යසනය සිදුව වසර විස්සක් ගෙවී ගොස් ඇත.දිට්වා නමින් සුළි සුළඟක් කඩා වැදී තවත් ව්‍යසනයකට රටම ඇද දමා තිබේ.මියගිය ගණන තවමත් නොදනී. හානි වූ ජීවිත, දේපළ, නිවාස පිළීබඳ අසන්නට දකින්නට ලැබෙන කල්හි හද කම්පා වේ.ඉන්දියන් සාගරයේ බෙංගාල බොක්ක අවට තිබෙන සියලුම සුළං ධාරා එක් කොට ලංකාව මුදුන් කොට මෙලෙස කරකවන ලද්දේ කුමන සුළියක් ද.මේ කාලයට හමන ඊසාන දිග මෝසම් සුළඟක් ලෙසට ගණන් ගත නොහැකිය.එසේ නම් මෙය කුමක්ද සුනාමි ඛෙදවාචකයෙන් පසු නැවතත් රටක් වශයෙන්  මහත් ආගාධයකට වැටී ඇත.මෙකී සමාජ ආර්ථික භූගෝලීය කඩා වැටීම් හමු වේ රටත් වශයෙන් උගත යුතු පාඩම් කුමක්ද යන්න සිහිපත් කළ යුතුව තිබෙන බව මෙහිදී පෙන්නුම් කර ඇත.

          එක්දහස් අටසිය විසිඅටේ දළදා වතුර යයි නම් කළ ව්‍යසනය සහ 1957 මහා ගං වතුර සහ ඉන් පසුව නැගෙනහිර පළාතේ සිදු වූ සුළි සුළං තත්වය සමග සංසන්දනය කර බලන කල්හි ඒවායින් ලද පාඩම් අනුව රට ඉදිරියට ගොස් තිබෙන්නේ ද යන්න පිළිබඳ මේ අවස්ථාවේ දී සළකා බැලිය යුතුය.ලොවම දේශ ගුණික විපර්යාසයන්ට ගොදුරු වී තිබිය දී ලංකාව වැනි කුඩා රටකට ඉන් ගැලවීමක් නැත. පෘතුවියේ චුම්බක ක්ෂේත්‍රය යම් පමණකින් වෙනස් වෙමින් පවතින අතර ඉන්දියන් සාගරයේ භූතැටි කම්පනය වීමෙන් මේ සියල්ලටම බලපෑම් එල්ල කරයි.

         ලංකා භූමියෙන් සියයට පණහකට වඩා ජල තලයෙන් පිරී පවතී. ඒ ස්වභාවික තත්වයක් නොවේ. මිනිසා විසින් සාදන ලද වැව් සහ ජලාශ නිසා ඇති වූ වෙනස් කමකි.මේ ලොකු කුඩා වැව් නිසා රටේ භූගත ජලය ඉහළ මට්ටමක පවතින අතර ඒවා වාෂ්පීකරණය වෙමින් වළාකුළු ගැබ් බර කරමින් කලට වැසි ලබා දේ.මෙවැනි භූගෝලීය තත්වයකට රට ඔරොත්තු දීමට නම් භෞතික ක්‍රියාකාරකම් සහ ගුප්ත ක්‍රියාකාරකම් වල සහාය ලබා ගත යුතුය.කුඩා කුඩා වැව් සාදමින් රටේ ගොවිතැන සශ්‍රීක කළ අතීත මුතුන් මිත්තන් සොබාදහමේ හැසිරීම නිරීක්ෂණය කරමින් එයට අවශ්‍ය දිශානතිය තෝරා ගත්හ. ඔවුන් ගේ විශ්වාසය අනුව ලංකාවේ ජීවත් වූ පරම්පරා වල භූතාත්මයන්ගේ බැල්ම බලය මේවා රැක ගැනීමට උපකාරී වේ.වැව් ආශ්‍රිතව අදටත් මුට්ටි මංගල්ලය, කිරි ඉතුරුම් මංගල්ලය, පනම් බැඳීම වැනි චාරිත්‍ර සිදු වන්නේ වැවේ ආරක්ෂාවට සහ සශ්‍රීකත්වය උදෙසාය. බුද්ධ ශාසනය පිහිටුවීමෙන් පසු දළදා වහන්සේට, ශ්‍රී මහා බෝධියට, කතරගම කිරිවෙහෙරට කිරි පිඬු පූජාව ගෙන යන්නට සැදැහැතියන් පෙළ ගැසී සිටිති.ගම්මඩු දෙවොල් මඩු නටා අලුත් බතින් පුද දී කෙත්වතු ආරක්ෂාව සශ්‍රීකත්වය ප්‍රාර්ථනා කරති.අතීත රජ දරුවන් මේ චාරිත්‍රයන්ට මුල් තැනක් දුන්හ.රටේ පාලකයා ධාර්මිකව මේ කටයුතු වලට සහාය පළ කරත් නම් දුර්භික්ෂ නැතිව සුභික්ෂ රටක් පවතින බව වැසියන්ගේ විශ්වාසය විය.ශිලා ලේඛනයන්හි 'පෙරසිරිත් ප්‍රකුර් වඩා' යනුවෙන් දක්වා තිබෙන අතර රාජාවලියේ සඳහන් සෑම රජ දරුවෙකුම ඒ නීති රීති අනුගමනය කළහ.

         රට සතුරු ආක්‍රමණ වලින් බැට කන හැම අවස්තාවකදීම මේ පෙර සිරිත කඩ විය. චෝල ,පාණ්ඩ්‍ය, කේරළ ආක්‍රමණ වලදී මෙන්ම කාලිංග මාඝ ආක්‍රමණයේ දී දළදා වහන්සේ සඟවා තබන්නට සිදු විය. දන්ත ධාතුන් වහන්සේට කරන නිසි පුද පිළීවෙත් මග හැරුණි.වලගම්බා සමයේ දී සිදු වූ බැමිණිතියා සාය පීලිබඳ සිහිපත් කළහොත් අපට දැක ගත හැතිවන්නේ රටේ අධර්මය නිසා දෙවියන් කෝප වූ බවයි. ඒ බැව් එම කතාවේ දක්වා තිබෙන්නේ මෙලෙසය. 'අහස උඩ උන් වලාහක දෙව් පුතුගේ ආනුභාවයෙන් තේජස උත්සන්න වූ කල්හි මහා මේඝ නගා ආ කල්හි අන්තරා වෙයි.එසේම අහස උඩ වැස්ස වලාහක දේවත‌ාවගේ අනුහසින් ධාතු  උත්සන්න වූ කල්හි මහා මේඝ හා වැසි ගප් සුළගේ පතිතව එම මුහුදෙහි අන්තැනෙකට දුවන්නේය.එසේම අහස උඩ වැසි මේඝ නගා ආ කල්හි  රාහු අසුරෙන්ද්‍ර තමාගේ  දෙසීයක් යොදුන් පළල අත්ලෙන් ගෙන මුහුදට වන්නේය. එසේම යම් කලෙක වැස්ස වලාහක  දේවතාවෝ  ප්‍රමාදව සඳු ගම් නොවී නම් පස් වනුව යම් කාලෙක... අධර්මිෂ්ටව පැවතීම ලෝකචාර නොකෙරෙන්ට වී නම් මනුෂ්‍යයා අධර්මිෂ්ට වූ කල්හි වැසි නෙවසිනා පරිදි කෙසේද යත්  යම් කලෙක කලියුගයේ හි රජහු අධර්මිෂ්ටව වේ .රජු බලා රාජ පුරුෂයෝ අධර්මිෂ්ට වේ.රාජ පුරුෂයෝ බලා බ්‍රාහ්මණ ගෘහපති අධර්මිෂට වෙති.ඔවුන් බලා ජනපද නියන්ගම වැසි අධර්මිෂ්ට වෙති. ඔවුහු අධර්මිෂ්ට වූ කල් හිරු සඳු දෙදෙනාද විෂම ගමන් ගිය කල්හි නක්ෂත්‍ර තාරකාවෝ විෂම ගමන් යෙයි.ඔවුන් විෂම පවතින කල්හි රෑ දවල් දෙක විෂම වෙයි. රෑ දවල් දෙක විෂම වූ කල්හි මස අමාවක විෂම වෙයි. මාසයන් විෂම වූ කල්හි ඉර්තු විෂම වෙති.ඉර්තු විෂම පෙරලූ කල්හි විෂම වාත හමා යයි. විෂම වාත හැමූ කල්හි දේවතාවෝ බොහෝ සේ කුපිත වෙත්. දේවතාවෝ කුපිත වූ කල්හි කලට වැසි නොවස්නේය.අකලට වැසි ඇති වන්නේය.වාසුළි ඇති වන්නේය. කලට වැසි නොවට කල්හි ගොවිතැන් සෂ්‍ය පලා සමව වැසී ඵල නොදෙයි.විෂම පැසුණු පලයන් අනුභව කරන මනුස්සයෝ අල්ප ආයුෂ වෙති. කය දුබල වෙයි. බොහෝ ආබාධ වෙයි. ලෙඩ හට ගනියි. නුවණ මද වෙයි. සිත්මුලා වෙයි.'

        වර්ෂ 1828 දී සෙංගකගල මහනුවර ජලයෙන් යට කරමින් දළදා වතුර යයි නම් කළ මහා ධාරානිපාතය ඇති වූයේ කාලයක් නොපැවත්වූ දළදා පෙරහැර පැවැත්වීමත් සමගය. ඒ ප්‍රාතිහාර්යක් නොවේ. බ්‍රිතාන්‍ය පාලකයන් අධර්මිෂ්ඨව පෙර සිරිත කඩ කරමින් ගත් තීන්දු තීරණ සහ රදළ වරුන්ගේ වැරදි ක්‍රියාකලාපය නිසාවෙනි.1957 මහා ගංවතුර ආසන්න කාලයේ දීද බුද්ධ ශාසනයට නිග්‍රහ කරමින් තාපස නිකායන් එළි බසිමින් එකල සිටි දේශපාලන ව්‍යාපාරයක් වන සමසමාජ ව්‍යාපාරයන් විසින් එල්ල කළ අභූත චෝදනා නිසාවෙන් විපරීතව ගිය කාලවකවානුවකි.එසේම 1957 වසරේ දී බණ්ඩාරනායක සහ චෙල්වනායගම් අතර ඇති වූ ජාතිවාදී ගිවිසුම නිසා   භික්ෂූන් වහන්සේලා රොස්මීඩි නිවස වට කළ අතර ඒ ගිවිසුම නිසා අගමැති වරයා අප්‍රසාදයට ද පත් විය. සිංහල රාජ්‍ය භාෂෘව කිරීම, බස් ජනසතු කිරීම වැනි ප්‍රගතිශීලි පියවරයන් සමග අගමැතිවරයා සිටියද මෙරට පෙර සිරිත එහිදී අනුගමනය නොවීය. 1957 ව්‍යසනය එහි ප්‍රතිඵලයක් වන්නට ඇත. අවසානයේ පෙඩරල් පක්ෂයේ ජාතිවාදී ක්‍රියා උත්සන්න වී 1959 දී අගමැතිවරයා ඝාතනයට ලක් විය.

         ගෝඨාභය ජනාධිපතිවරයා බලයෙන් පන්නා දමමින් බලයට පත් වූ අරගලයෙන් ආරෝපිත මාලිමා ආණ්ඩුව වර්තමානයේ පාලන බලය උසුලයි.අපේ රටේ පෙර සිරිත කඩ කරමින් ඔවුහු ජය මංගල ගාථා ගායනය ප්‍රතික්ෂේප කළහ.ආණ්ඩු පක්ෂයේ මඩ බලකායන් විසින් ප්‍රසිද්ධියේ භික්ෂූන් වහන්සේලාට නිග්‍රහ කරන අතර ජාතිවාදී අන්තවාදී බෙදුම්වාදීන්ට සහාය පළ කරමින් සිටී.දළදා දැක්ම අව භාවිතයට ගනිමින් සෙංකඩගල අපවිත්‍ර කළහ.දළදා වීදියේ රති කෙළි කරවන සැණකෙළියක් සංවිධානය කළහ. බුදු පිළිම වහන්සේ නමක් පැහැර ගැනීමට ද නොබියවම රාජ්‍ය බලය යොදා ගැනීම නිසා ජනතා අප්‍රසාදයට පත් වී වැඩි දවසක් ගත නොවීය.දිට්වා සුළි කුණාටුව බෙංගාල බොක්ක දෙසට ඇදී නොගොස් ලංකාවේ හරි මැද කැරකී මහා ව්‍යසනයක් සිදු කරන ලද්දේය.පෙර සිරිත විශ්වාස නොකිරීම පිදිය යුත්තන් පිදීම නොසලක හැරීම සොබා දහමේ විපරීතයන්ට හේතුය.

වැව් කරේ ගංකරේ සිරිත දුරුවන් කරේ - කිරිකලේ කිරිබතේ පුදට            අවමන් කරේ

බුදුබණේ සඟ ගනේ හඬට කෙනෙහිලි කරේ - රජකුලේ දම්බලේ කිමද නොතකා කරේ

        මෑත කාලීන ලක් ජනතාව හොඳටත් නරකටත් රැළි වලටම ඇදෙති. රට පුරා සිදු කරන සංවර්ධන ක්‍රියාකාරකම් වලදී තැන නොතැන නොබලා ඉඳි කිරීම් කරනුයේ ඒ නිසාය. අනුරාධපුර නගරය ජලයෙන් යටවන්නේ  ඉංග්‍රීසින් ආරම්භ කරනලද  වැරදි සංවර්ධන ක්‍රියාකාරකම් වත්මන්හි කලු සුද්දන් ද දිගින් දිගටම අනුගමනය කළ හේතුවෙනි. ජල විදිලිය වෙනුවෙන් හෝ කෘෂිකර්මය වෙනුවෙන් මධ්‍යම කඳුකරයේ එදා මහා ජලධාරා සම්පූර්ණයෙන් හරස් කර ජලාශ තැනූයේ නැත.ඒ වෙනුවට ජලය රොද බන්දා( රිදී බැඳි තාක්ෂණය ) අන්තැනකට ගෙන ගොස් කෙත්වතු කුඩා වැව් පෝෂණය කළහ. මිනිපේ ඇළ උදාහරණ වේ. ජලයේ බරට ,ජල ශක්තියේ විපරීත ක්‍රියාකාරිතවයට පොළෝ බහිරවයන් ගේ විරෝධයක් ඇත. කඳු නාය යන්නේ ද ජල රකුසෙක් විලසින් ගම්බිම් ගිල ගන්නේ ද මහ පොළව සුරකින අදෘෂ්‍යමාන බූමාටු  කොට්ඨාශයන් ද කෝප වීමෙනි.සිතුදේ නොමවෙයි නොසිතුදේම වෙයි යන බුදු වදන අනුව තිරසර පැවැත්ම ප්‍රඥාවෙන් යුතුව ඇති කර ගැනීම ට වඩවා ගෙන තිබූ පෙර සිරිත අභාවයට ගොස් ඇත්තේ බටහිර අධ්‍යාපනය කර පින්නා ගැනීමෙනි. දිට්වා සුළි කුණාටුව මගින් ඇස් පනා පිට අපට පෙන්වා දුන් මේ සත්‍යය දේශපාලඥයන්ට පමණක් නොව සමස්ත මහජනතාවටද බරපතල පාඩම් කියා දෙන්නේය.

මතුගම සෙනෙවිරුවන් 

Tuesday, November 4, 2025

ලංවීම විකුණලා - විදුලි ඇමතිට මල පැන්නේ ඇයි

 

                                


             විදුලි බල සංශෝධන පනත සම්මත වීමෙන් පසු රටේ බල ශක්ති ක්ෂේත්‍රය අනතුරට පත් ව ඇති බව විද්වතුන්ගේ මතයයි.විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය මෙන්ම මේ ක්ෂේත්‍රය තුළ පවතින රජයේ දායකත්වය තව දුරටත් රැකෙන්නේ ද යන්න මහ ජනතාවට අවබෝධයක් නොමැති බව පෙනී යයි. විශේෂයෙන්ම විදුලි බල වෘත්තීය සමිති විසින් අකුරට වැඩ කිරීම සහ උද්ඝෝෂණ ක්‍රියාවලියක් දියත් කර තිබුණේ මේ අවින්ශිචිතතාවය නිසාය. පසුගිය ඔක්තෝබර් 13 වන දින විදුලි බල අමාත්‍යංශ යේ දී මෙම ගැටළු සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සාකච්ඡාවට විදුලි බල මණ්ඩලයේ දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති තිස් හතරක නියෝජිතයන් ඇතුළු තවත් පිරිසක් සාභාගි විය.නමුත් එම සාකච්ඡාව අතර තුර ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමයේ ලේකම් වරයා වන සමින්ද ගමගේ මහතාට විදුලි බල අමාත්‍යංශයේ ආරක්ෂක නිළධාරීන් විසින් පහර දී කිබුණි. එසේම එම සංගමයේ සභාපතිවරයාව කාමරයක දමා සිරකර ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ දත්ත මකා දැමූ බවද වාර්තා විය.මේ සම්බන්ධව දැනට කොල්ලුපිටිය පොලිසිය මගින් විමර්ශනයක් සිදු කරන අතර කිසිවෙකුත් අත්අඩංගුවට නොමැති බවද කටඋත්තර ගෙන නොමැති බවද දැන ගන්නට ලැබේ.

           1969 අංක 17 විදුලි බල මණ්ඩල පනත මගින් රජයේ ආයතනයක් විලස සංස්ථාපිතව රට පුරා බලශක්ති ක්ෂේත්‍රෙය් ප්‍රගමනයට විශාල කාර්ය භාරයක් සිදු කර ඇත.එම ආයතනය පූර්ණ රාජ්‍ය හිමිකාරිතවයෙන් මුදවා වර්තමාන පනත මගින් සමාගම් සතු කර ඇත.මේ බැව් 2024 අංක 36 දරණ නව විදුලි බල පනතේ විස්තර වන්නේ මෙසේය.කොටස් වෙළඳ පලේ ලැයිස්තුගත කිරීම යනුවෙන් මෙහි වැඩි දුරටත් සඳහන්වන්නේ ඒ තත්වයයි.

'විදුලිබලය උත්පාදනය කිරීම සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම, වෙළෙදාම් කිරීම ,සැපයීම සහ ප්‍රසම්පාදනය කිරීම සම්බන්ධව සියලු කටයුතු පැවරී ඇති සංස්ථාමය අස්තිත්ව 2007 අංක 07 දණෙ සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීමට දාළ ව්‍යවස්ථාමය පියවර සැපයීම සඳහාද ඒ හා සම්බන්ධ සියලු කටයුතුවලට අදාළවන ක්‍රියාපරිපාටි නිශ්චිතව දැක්වීම සඳහා ද 1969 අංක 17 දරන විදුලි බල මණ්ඩලය පනත සහ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි බල පනත පරිච්ඡින්න කිරීම සඳහා සහ ඒ සම්බන්ධ හෝ ඊට අනුශාංගික කාරණා සඳහා විධි විධාන සැලැස්වීම පිණිස වූ පනතකි.

 1/ස්වාධීන සංස්ථාමය අස්තිත්ව සංස්ථාගත කිරීම මගින් වර්තමානයේ දී රජයට හිමි තනි අස්තිත්වයක් වෙත පැවරී ඇති විදුලි බල කර්මාන්තයේ කටයුතු වෙන් කර තැබීම සහ වෙන් කිරීම මගින් තහවුරු කරනු ලබන විදුලි බල කර්මාන්තයට අලුත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි

2/කොටස් වෙළඳ පල ලැයිස්තු ගත කිරීම සහ රාජ්‍ය පෞද්ගලික අංශ හවුල් ව්‍යාපාර පිළීවෙත් භාවිතා කර විදුලි බල කර්මන්තයේ සෑම කටයුත්තක දීම පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පහසුකම් ගැලැස්වීම සඳහා

         පසුගිය දා අමාත්‍යංශයේ පැවති රැස්වීමේ දී වෘත්තීය සමිති විසින් මතු කළ යුතු සහ සාකච්ඡාවට බඳුන්කළ යුතු කරුණු වූයේ මේවා බව පැහැදිලිය. සේවක සුරක්ෂිතතාවය වෘත්තීය සමිතියකට වැදගත් වුවද රටේ බලශක්තිය පිළිබඳ රජයේ පංගුවට සිදුවන්නේ කුමක්ද යන්න පිළීබඳව ප්‍රශ්න කිරීමේ වගකීම ද ඔවුන් සතුය. නමුත් දැන ගන්නට ඇති අන්දමට අකුරට වැඩ කිරීමෙන් සහ උද්ඝෝෂණ කිරීමේන් ප්‍රකාශ කළ සටන්පාඨ කිසිවක් මේ සකච්ඡාවේ දී ඉදිරියට ගෙන නොතිබිණ. ඒ වෙනුවට එම සාකච්ඡාවට පැමිණසිටි  යෝජිත සමාගම් වල නව සභාපති වරුන් සහ වෘත්තීය සිමිත අතර සකච්ඡාවක් බවට එය පත්ව තිබී ඇත.සමාගම් පිහිටුවාලීමෙන් පසුව  වෘත්තීය සමිති වල ශාඛා එම සමාගම වල පිහිටුවීමට අවස්ථාව තිබෙන බව ද එහිදී කුමාර ජයකොඩි අමාත්‍යවරයා දක්වන ලද අදහසට කිසිවෙකුත් විරුද්ධ වි නොමැත. ඒකාබද්ධ විදුලි සේවක සංගමය වශයෙන් සිටින කිසිම නියෝජතයෙකු විරුද්ධ වී නොමැත.සේවකයන් විශ්‍රාම ගැනීවීමේ දී ලැබිය යුතු මුදල් පිළීබඳව ද මෙහිදී සකච්ඡාවට බඳුන් වී නොමැත. එයින් ගම්‍ය වනුයේ විදුබල මණ්ඩලය අහෝසි කොට සමාගම් හතරකට කඩා කොටස් වෙළඳ පලේ ආයෝජනයෙ කිරීම මෙම වෘත්තීය සමිති විසින් අනුමත කර ඇති බවයි. නමුත් ඔවුන් ජනතාවට පෙන්වන්නේ වෙනත් දෙයකි.එළියේ විරුද්ධ වී ඇතුලේ දී පූස් පැටව් බවට පත් වීමෙන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ සැබෑ මුහුණයි.

     මෙම සාකච්ඡාවට සාභාගි වූ ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමය නව වෘත්තීය සමිතියකි. ඔවුහු මෙහිදී වෙනත් ප්‍රවේශයක් ගනිමින් රටේ සම්පතක් වන විදුලිය පෞද්ගලීකරණය වීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවසථාව උල්ලංඝණය වන ආකාරය පෙන්වා දීමට උත්සහ දරා ඇත.ඒ ගැන සවිස්තරාතමකව සඳහන් ලිපියක් ද භාර දීමට කටයුතු කර තිබේ. ඒ ලියැවිල්ලේ සඳහන් මෙම කාරණා අතිශයින් බරපතලය. උසාවිය ඉදිරියයේ මේවා  සැබීවටම අභියෝගයට ලක් වී නැත. එහි මෙසේ සඳහන්ය.

ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සේවකයින් 23,000 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමය වන අපි 2024 අංක 36 දරන ලංවිම පනත සහ 2025 අංක 14 දරන එහි සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි කනස්සල්ල  මෙලෙස මතු කරමු.මෙම පනත් තවමත් සම්පූර්ණයෙන් බලාත්මක කර නොමැති වුවද  දැනටමත් මුල් බැසගත් ව්‍යවස්ථාමය විධිවිධාන උල්ලංඝනය කිරීමට උත්සාහ දරා ඇත. - එනම් 1 2 3 9 27  85(2) 104 සහ  105 මගින් ජාතික බලශක්ති වත්කම් පෞද්ගලික හෝ විදේශීයන්ට ක්‍රමයෙන් මාරු කිරීමට ඉඩ දීමෙන් ජනතාවගේ ස්වෛරීභාවය තර්ජනයට ලක් වෙයි.

වගන්ති 13: පරමාධිපත්‍යය ජනතාව තුළ පවතින අතර එය අහිමි කළ නොහැකි ය. විදුලිබල උත්පාදනය සහ බෙදා හැරීම එම ස්වෛරීභාවයෙන් ලබාගත් ජාතික කාර්යයන් වේ. සෘජු මහජන කැමැත්තකින් එනම් ජනමත විචාරණයකින් තොරව හිමිකාරිත්වය හෝ පාලනය පැවරීම මෙම මූලික වගන්ති උල්ලංඝනය කරයි.

9 වන වගන්තිය - බුද්ධාගම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ පෝෂණය කිරීමට රජයට බැඳී සිටී මෙම වගකීම සමාජයේ සදාචාරාත්මක හා සමාජීය ව්‍යුහය පවත්වා ගැනීම දක්වා විහිදේ - පාලනයේ දී අනුකම්පාව" සමානාත්මතාවය සහ යුක්තිය සහතික කිරීම සිදු කළ යුතුය. විදුලිය වැනි අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් වාණිජකරණය කිරීම මෙම සදාචාරාත්මක හා සමාජීය බැඳීම් වලට හානි කරයි . මහජන සුභසාධනයට වඩා ලාභය ඉහළට ඔසවා තැබීමෙන් බුද්ධ ධර්මයට සහ 9 වන වගන්තියේ වරමට ආවේණික වටිනාකම් වන සමාජ සමගිය අනුකම්පාව සහ සාමූහික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට රාජ්‍යයට ඇති හැකියාව දුර්වල කරයි.  එබැවින්, විදුලිය සඳහා සාධාරණ ප්‍රවේශයක් සඳහා වන ජාතික වගකීම අඩු කරන ඕනෑම ප්‍රතිපත්තියක් 9 වන වගන්තියේ වක්‍ර උල්ලංඝණයකි.

27" 104 සහ 105 වගන්ති:

මේවායින් රාජ්‍යය ජාතික සම්පත් සාධාරණ ලෙස බෙදා හැරීම සහ විනිවිද පෙනෙන පරිපාලන අධීක්ෂණය සහතික කිරීම අවශ්‍ය වේ. ලංවිම පෞද්ගලික ආයතන බවට පරිවර්තනය කිරීම මෙම බැඳීම් වලට වල කපන අතර මහජන වගවීම අඩු කරයි.

       ඒකාබද්ධ නිදහස් විදුලි සේවක සංගමය විසින් ඉදිරිපත් කරන ලද මෙම ලිපිය දැනටමත් මාධ්‍ය වලට නිකුත් කර තිබේ.මෙය අමාත්‍යවරයා අතට පත් වීමත් සමග ඉන් කලබල වූ අමාත්‍යවරයා අදාල වෘත්තීය සමිති නියෝජිතයන් ගේ පැමිණීම දෝෂ දර්ශනයට ලක් කර වහාම ඒ දෙදෙනා රැස්වීම් ශාලිවෙන් පිට කරන ලෙසට ආරක්ෂක නිළධාරීන්ට පවසා ඇත. මෙහදී වහාම ක්‍රියාත්මක වූ එම නිළධාරීන් සහ එක වෘත්තීය සමිති නියෝජිතයෙකු එක්ව ලේකම්වරයාට පහර දී බිම දමා රැස්වීම් ශාලාවෙන් එළියට ඇද දැමීමෙන් විශාල කලබලයක් ඇති විය. සැබවින්ම සත්‍යය සහ යුක්තිය පෙන්වා දීමේ දී අමාත්‍යවරයාට මල පැන්නේ ඇයි. නව පනත ගැන ගැටළු සාකච්ඡා කොට අදහස් හුවමාරු කර ගැනීමට අවශ්‍ය නම් ඒවා ඉතාමත් සාමකාමී ලෙසට කළ යුතුව තිබුණි. මෙහිදී ප්‍රචන්ඩත්වය ඉස්මතු කරගෙන තිබුණු අතර ඉදිරිපත් කරන කළ කරුණු අවඥාවෙන් ඉවත දමා තිබුණි. මෙලෙස ඉවත් දමා ඇත්තේ සුළු පටු කාරණා නොවේ. මෙරෙට ව්‍යවස්ථාපිත කරුණුය. විශේෂයෙන්ම බුද්ධ ශාසන විෂයට අදාළ කරුණුය.කොටස් වෙළෙඳපල තුළ විදුලි බල සමාගම් ආයෝජනය කළ පසු  විහාරස්ථාන පෝෂණය කිරීමෙන් රජය බැහැර වෙයි.මෙරට පෞද්ගලික සමාගම් හෝ යම් හෙයකින් කොටස් වෙළදපලෙන් සමාගම් මිලදී ගත් විදෙස් සමාගම් වලට බුද්ධ ශාසනය පෝෂණය කිරීම වගකීමක් වන්නේ නැත. රජය සිය වගකීමෙන් බැහැරවන අතර ජනතාවගේ බලශක්ති ස්වෛරීත්වය අනතුරට පත් වෙයි.

     විදුලි බල මණ්ඩලය පසුගිය වසරට වඩා මෙම වසරේ බිලියන 12.3 කින් පාඩු වී ඇත. ඒ පාඩුව සිදු කර ඇත්තේ ගෘහස්ථ විදුලි පාරිභොගිකයා නොවේ ඔවුහ මාසික ව විදුලි බිල ගෙවති.එසේනම් මණ්ඩලයට පාඩු කර ඇත්තේ කවුරුද. ඒ අතලොස්සක් දෙනෙකි. විශේෂයෙන්ම කූඨ ලෙස විදුලිය ලබාගෙන මණ්ඩලයට පාඩු කළ කීප දෙනෙකුය. වාර්තාවන අන්දමට කැකිරාවේ පමණක් වීමෝල් සහ කර්මාන්ත ආයතන පමණක් 18 ක් එලෙස විදුලි වංචා කරමින් මණ්ඩලයට පාඩු කර තිබේ. ඒ මාෆියාව පිළීබඳව මෙතනදී විග්‍රහ කිරීම අසීරු වුවද වාර්ෂිකව අය විය යුතු කෝටි ගණනක මුදල් සම්භාරයක් නාස්ති වී ගොස් ඇත. ඒවා අය කර ගෑනිමට උත්සාහයක් නොමැති අතර රජය සිදු කරනුයේ  මණ්ඩලය පාඩු ලබන්නේ යැයි කියමින්   රජයේ භාරකාරිත්වයෙන් සහ වගකීමෙන් නිදහස් කිරීමයි. කොටස් වෙළදපල තුළ ආයෝජනය  කිරීමයි.අඩුගණනේ සියයට පනස්එකක ප්‍රතිශතයක් රජයට තබා ගැනීමටවත් උත්සාහ කර නැත. විපක්ෂයේ සිටින විට බලශක්ති ස්වෛරීත්වය පිළිබඳ හරවත් දේශන තිබූ පිරිසක් මෙලෙස පාවා දීමකට එකඟවන්ට ඇත්තේ කුමක් නිසාද යන්න ජනතාව ප්‍රශ්ණ කළ යුතුය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා යැයි කියමින් මග හැරීමට ඉඩ දිය යුතු නොවේ.

මතුගම සෙනෙවිරුවන්

Thursday, October 23, 2025

නාවක්කුලි කොටිත් එක්ක උස්සන දෙසැම්බරයේ කොඩි

 

                         


      යාපන දිස්ත්‍රික්කයේ එකම සිංහල ගම්මානය පිහිටා තිබෙන චාවකච්චරි ප්‍රා දේශීය සභාව විසින් අරුම පුදුම නිවේදනයක් නිකුත් කර තිබේ.නාවක්කුලි හි  දුම්රිය ස්ථානයට යාබදව පවත්වාගෙන යනු ලබන සමිද්ධි සුමන විහාරස්ථානයේ පිහිටුවා තිබෙන වන්දනා කරුවන්ට තිබෙන විශ්‍රාම ශාලා පහසුකම් වහාම නවතා දමන ලෙසටත් එසේ නොකළහොත් නඩු පවරන බවටත් මේ නිවේදනයේ කියා තිබේ.මේ පිළීබඳව පුවත් පත් වල පළ වී තිබෙන වාර්තා අනුව නාවක්කුලියට පමණ් නොව යාපනයේ සිංහල ජනතාව ජීවත් වන තවත් ප්‍රදේශ වලටත් මේ නීතිය බලපවත්වන්නට ඔවුන් කැස කවන බව පෙන්නුම් කෙරේ.

          දෙමළ ඊළාම් මතවාදයෙන් පෝෂණය වූ   වර්ගවාදී මෙහෙයුම් ආරම්භ වන්නේ කන්කසන්තුර මහජන මන්ත්‍රීවරයාව සිටි එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ උසි ගැන්වීම් මත 1950 දශකයේය.බොහෝ සාමකාමීව තිබූ උතුර ගිනි ගැනීම්වලට ලක්වන්නේ ඔහුගේ උග්‍ර වර්ගවාදී හැසිරිම් වලට ආකර්ශණය වූ දෙමළ තරුණයන් රට බෙදීමේ ව්‍යාපාර වලට තල්ලු වී යෑමෙන්ය.මේ නිසා යාපන දිස්ත්‍රික්කයේ සිටි විසිහතරදහසකට අධික සිංහල ජනතාවට පමණක් නොව මුස්ලිම් ජනතාවට සහ මේ දෙගොල්ලන් සමගම සමගියෙන් සිටි දෙමළ ජනතාවත් මහත් සේ පීඩාවට පත් වූශ.

        උත්තර පස්සය, උතුර සහ නාග ද්වීපය යනුවෙන් හඳුන්වන කලාපය තුළ අතීතයේ දී පැවති බෞද්ධ සභ්‍යත්වය සතුරු ආක්‍රමණ හේතුවෙන් වැනසී ගියේය. ඇතැම් තැන්වල රහතුන් වහන්සේලා පමණක් හයසීයයකට අධික සංඛ්‍යාවක් වැඩ වාසය කළ බව වංශ කතා දක්වන අතර යම් මුහුද ගොඩ ගැලීමක් නිසා මේ ප්‍රදේශය විනාශ වීමෙකට ලක්ව මීටර තුනක පමණ වැලි තට්ටුවකින් වැසී ගොස් ඇති බව මෑතකදී කළ පුරාවිද්‍යත්මක කැණීම් වලින් හෙළි වී තිබේ. කදුරුගොඩ විහාරයේ පවතින නටබුන් චෛත්‍ය වලට යටින් පූර්ව යුග වලදී ඉඳි කරන ලද බෞද්ධ නටබුන් රැසක් තිබෙන බව මේ සොයා ගැනීම් වලින් තහවුරු වී තිබේ.දහ අට වන සියවස් වලදී උතුරට ගෙන්වන ලද වහල් ශ්‍රමිකයන් වන මලබාරයන් නිසා මේ ජන ශූන්‍ය වූ භූමිය නැවත වහල් ජනපද වශයෙන් ජනාවාස කර ඇත.ලන්දේසීන් විසින් අඳින ලද පැරණි සිතියම් වලින් ඒ බැව් සනාථ වේ.මෙකී ජනාවාස භූමි වල සාරය විදෙස් වලට යැවුණූ අතර මලබාර් දෙමළ ජනයා ඉතාමත් දුක්ඛිත ජීවිතයක් ගත කළහ. ලන්දේසි ආධිපත්‍යය ලිහිල් වී යෑමෙන් පසු මේ ජනයා පාලනය කිරීම උදෙසා නැවතත් මලබාර් දිස්ත්‍රික්ක වලින් වත් පොහොසත් කම් ඇති වෙල්ලාල ජනයා යාපනයට පැමිණියහ. ඔවුහු ලන්දේසීන් ගෙන් සහ පසුව ඉංග්‍රීසින් ගෙන් ඉඩම් මිළදී ගෙන වහල් ජනපද පාලනය කළහ. මේ වන විටත් යාපනයේ ජීවත් වූ සිංහල ජනයා වන මඩප්පිලි ගොවි කුලය සහ ඉන්දීය වෙල්ලාල වර්ගය ෙඇතැම් විට එක සමාන කර ඇතද සිංහලයන් බෞද්ධයන් වූ බවද මලබාර් වෙල්ලාලයන් හින්දූන් වූ බවද පැහැදිලි කළ හැකිය. ලන්දෙසි පල්ලි ඉඳි කළ ඇතැම් ප්‍රදේශ වල සිටි  සිංහල බෞද්ධ ජනතාව ගැන බල්දෙයස් නම් ලන්දේසි පූජක තැනගේ විග්‍රහයෙන් ඒ බැව් පැහැදලි වේ.

         නාවක්කුලිය ,කදුරුගොඩ, උඩුප්පිඩිය ,චුන්නාකම කැස්බ දූව නොහොත් කයිට්ස්, බූරු දිවයින නොහොත් ඩෙල්ෆ්ට්, කාරතිවු නොහොත් කාර දිවයින එලෙස සිංහල ජනතාව ජීවත් වු ප්‍රදේශ අතරට ගැනේ. ඉංග්‍රීසීන් ගේ කාලයේ දී මේ ප්‍රදේශ වල සිටි සිංහල ජනයා අභිබවා දෙමළ ජනගහනය වර්ධනය වන කල්හි ඇතැම් සිංහලයන් වන්නියට සහ අනුරාධපුරයට සංක්‍රමණය වී ඇත. නමුත් ලංකාවට නිදහස ලැබීමෙන් පසු උතුර යළි ක්‍රමයෙන් සිංහල ව්‍යාපාරිකයන් ගෙන් පිරී ගියේය. බේකරි කර්මාන්තය ,ගරාජ නොහොත් කාර්මික වැඩ පළ වල් මේ අයගේ ප්‍රධාන ජීවනෝපාය වීය. හතළිහේ දශකයේ දී උතුරේ විහාරස්ථාන යළි ඉඳි වීමෙන් පසු ඒවායේ වන්දනා කරුවන් සඳහා නවාතැන් පහසුකම් ඇති විය. දායකයන් නොමැතිව වන්දනා කරුවන් නිසාම පැවතුණු මෙවැනි විහාරස්ථාන නඩත්තු වූයේ ඒ ශත්තියෙනි. අසූව දශකයේ ඇරඹුණු යුද්ධයෙන් පසුව 1985 දී පමණ උතුරේ සිටි සිංහල ජනතාව ඝාතනයය ලක් වීමෙන් සහ පහරදීම් වලින් පීඩාවට පත්ව දකුණට සහ අනාථ කඳුවරු වලට සංක්‍රමණය වූහ.නාවක්කුලියේ  තිබූ සිංහල පාසල විනාශ කරන ලද අතර සිංහල ජනතාවට උන්හිටි තැන් නැතිවූහ. 2009 වසරේ දී යුද්ධය හමාර වූ පසු අවතැන් ව සිටි නාවක්කුලියේ සිංහල පවුල් 180 ක්  2010 දී නැවතත් උතුරට ගොස් බැලූ විට ඔවුන් පරිහරණය කළ ඉඩම් කොටි මහවිරු පවුල්  විසින් අත්පත් කරගෙන තිබුණි. එහිදී ඔවුන් නවාතැන් ගෙන තිබුනෙ දුම්රිය ස්ථානයේ බව එකල පුවත් පත් වාර්තා කළහ. අනතුරුව මේ ජනතාවගේ උද්ඝෝෂණයන් නිසා එංගලන්තයේ සිටින සිංහල ජනතාවගේ ආධාරයෙන් උපතාරයෙන් සහ සිංහල රාවයේ මෙහෙයවීමෙන් නාවක්කුලියේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් පොල් වත්තක ඉඩම් කට්ටි කීපයක් ලබාගෙන පදිංචි වන්නට ඉඩ ප්‍රස්ථා ලැබිණ. අනතුරුව දුම්රිය ස්ථානයට යාබදව විහාරස්ථානයද ඉඳි කිරීම ආරම්භ කළද මන්ත්‍රී ශිවාජිලංගම් ගේ විරෝධය හමුවේ  එවකට පැවති ප්‍රාදේශිය සභාව විසින් වාරණයක් ගැනීම නිසා අතර මග නැවතුණි. නමුත් නඩු කටයුතු වලදී එවකට සිටි ශ්‍රී නිධී නන්දසේකරන් මහේස්ත්‍රාත් තුමිය විසින් දෙන ලද අපක්ෂපාතී තීන්දුව නිසා යළිත් නාවක්කුලි විහාරස්ථානය ඉඳි කරලීමට අවස්ථාව ලැබුණි.අද වන විට උතුරේ බෞද්ධ සිද්ධස්ථාන වන නාග ද්වීපය, තිස්ස විහාරය, නාග විහාරය සහ කදුරුගොඩ ආදීයට වන්දනාවට යන සැදැහැවතුන් සඳහා නවාතැන් පහසුකම් සපයන ස්ථාන අතරින් ප්‍රමුඛ තැනක් ගන්නේ නාවක්කුලි විහාරස්ථානයයි. වන්දනාකරුවෝ එහි නවාතැන් ගෙන උයා පිහා ගෙන ගිමන් නිවා ගෙන විහරස්ථානයටත් මූල්‍යමය ශක්තියක් වී පිටත්ව යති.

          වර්තමානයේ පත්ව සිටින චාවකච්ඡරි ප්‍රාදේශීය සභාවේ පාලන අධිකාරියට ප්‍රශ්ණයක්ව තිබෙන්නේ මේ ක්‍රමවේදයයි.ඔවුහු ඉතාමත්ම වර්ගවාදීව කටයුතු කරමින් සිටී.මේ අතර  දෙසැම්බර් මාසයේ 12 13 සහ 14 යන තෙදින තුළ සංහිඳියාව උදෙසා ජාතික දිනයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.සියලු ජාතීන් සහ ආගම් නියෝජනය කරමින් මේ දිනය උත්කර්ශවත් කිරීම ද සංස්කෘතික අවස්ථාවන් ප්‍රදර්ශනය කිරීම ද සිදු කිරීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙන් කළ මුදල මිලියන තුන්සීයකි.රටේ අතැම් පිරිස් විශේෂයෙන්ම උතුර සහ නැගෙනහිර පළාත්වල දේශපාලන නායකයන් විසින් රටේ නීතියට ද පයින් ගසා සංහිඳියාවට බාධා කරන වර්ගවාදී ඇවිස්සීම් සිදු කරන කල්හි  උසාවි නියෝග පවා නොතකා විහාරස්ථාන ඉදිරියේ කලහකාරී අන්දමින් හැසිරෙන කල්හි රජය පැත්තෙන් දියත් කරන සංහිඳියාව ගොළු වී ඇත. නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ තොප්පිගල ආසන්නයේ දිවුලපතාන නමැති පාරම්පරික ගම්මානයේ ජීවත් වූ සිංහල ජනතාවට නඩු දමා එළවා දැමීමට කටයුතු කරන ලද්දේ පසුගිය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවයි. ඒ මගම ගනිමින් ඒ ජනතාව මඩකලපු දිස්ත්‍රික්කයෙන් ඉවත් කර අම්පාර පමණක් කේන්ද්‍ර කොටගෙන ඉඩම් බලපත්‍ර ලබා දීම සිදු කරන්නේ මඩකලපු දෙමළ මන්ත්‍රීන්ගේ ඉල්ලීම් මතයි. මේ කිසිවක සංහිඳියාව නැත.ප්‍රායෝගිකව සංහිඳියාව සඳහා කැප වන්නේ දකුණේ සිංහල ජනතාව පමණකි. කෝවිලක් සැදුවත් පල්ලියක උත්සවයක් තිබුණත් ඒ සැම විටම කරුණාවෙන් මෛත්‍රියෙන් සැළකීමටත් ඒ සංස්කෘතික උත්සව  වලට සාභාගි වීමද සිංහල ජනතාවගේ සිරිතකි.ජාතික දිනයක් කෘතිමව නිර්මාණය කර  සර්ව ආගමික උත්සව පැවැත් වීම තුළින් ඒ අයට අලුතින් ඇතිවන හැඟිමක් නැත. රජය නාවක්කුලිය ගැන මේ වන තෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැත.ජාතිවාදය අවුස්සන්නේ යැයි පවසා නැත.රටේ අනෙක් පළාත් වල පාතාලේ ක්‍රියාකාරකම් සිදුවන විට විපක්ෂයට ඇගිල්ල දිගුකරන  ආණ්ඩුව උතුරේ වර්ගවාදය පෝෂණය කරමින්   නිහඬවම බලා සිටී.චාවකච්ඡරි දේශපාලනයේ වර්ගවාදී කොඩි දකුණේ ඉස්සීමෙන් කිසිවෙකුට පලක් නැත. රටේ සංස්කෘතික උත්සව විශේෂයෙන් අවුරුදු දින වැනි සුවිශේෂි උත්සව තිබෙද්දී විශාල මුදල් කන්දරාවක් වියදම් කිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුව කරන ඇත්තන් ගේ බංකොලොත්භාවයයි.

මතුගම සෙනෙවිරුවන්

Saturday, September 27, 2025

හරිනාරි උඩටගත් මිෂනාරි න්‍යාය පත්‍රය

 

                                     


                එළඹෙන වසරේ සිට පාසලේ හය වසරේ සිට සර්ව ආගමික මොඩියුලයක් ක්‍රියාත්මක කරන බවට අගමැතිනිය ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර ඇත. එනම් සෑම දරුවෙකුටම සියළුම ආගම් පිළිබඳ උගැන්වීමක් ලබා දීමයි.මෙය මහ බරපතල ප්‍රකාශයකි. ලන්දේසි පල්ලිකුඩම් අධ්‍යාපන ක්‍රමයත් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා සහ ට්විස්ල්ටන් පූජක තුමාගේ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයත් ආදර්ශයට ගෙන උඩටගත් සැලසුම්සහගත න්‍යාය පත්‍රයකි.

         පරංගි අධිපත්‍ය යටතේ ලංකාවේ මුහුදු බඩ පළාත් විදේශ පාලනයට නතු  වූ පසු එම පෙදෙස්වල තිබූ පන්සල් අධ්‍යාපන ආයතන අභාවයට පත් විය. කෝට්ටේ නැතක් පිරිමින් ද ගැහැණුන්ද ක්‍රිස්තියානිය වැළඳ ගැනීම නිසා ඔවුන්ගේ ඉදිරි පරම්පරාවට බයිබලය අනිවාර්ය විය. පරංගින්ගෙන් බලය උදුරාගත්  ලන්දේසීන් ගේ රෙපරමාදු අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව පල්ලි කුඩම් නමින් හඳුන්වන පාසල් රැසක් බිහි විය. ඒවායේ විවාහ උප්පැන්න මරණ ලියාපදිංචි කරන ලදහ.ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබාදෙන ලදී.බ්‍රිතාන්‍ය පාලන සමය එළඹෙන තෙක් මේ පාසල් විසින් සමාජය හසුරුවනු ලැබූහ. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් වෙස්ලියන් ,බැප්ටිස් සහ ඇන්ග්ලිකන්  මිෂනාරීන්ට ආගම පතුරුවා හැරීම පිණිස අවස්ථාව ලබා දෙනු ලැබූ අතර ඒ අනුව පල්ලි පාසල් කොළඹ යාපනේ ඇතූලු බොහෝ  ප්‍රදේශ වල ආරම්භ විය.නමුත් දොඩන්දූවේ පියරත්න තිස්ස නා හිමියන් ගේ ආරාධානයෙන් කර්නල් ඔල්කට් තුමාගේ සම්ප්‍රාප්තියත් සමග නැවත බෞද්ධ පාසල් පුනර්ජීවනයක් ඇති විය. ඒ නිසා මිෂනාරි අධ්‍යාපනය විසින් බලාපොරොත්තුවන ලද අරමුණ සාර්ථකව ඉටු කරගනු නෙහැකි විය. අනතුරුව 1945 න් පසු ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමග සංවර්ධනය වූ සියලුම බෞද්ධ පාසල්  ජාතික පාසල් පද්ධතියට ඇතුළත් වීමෙන්  ඇතිවූ ප්‍රගමනය කවුරුත් අත් විඳින්නට ඇති බව නිසැකය.1962 දී බෞද්ධ පාසල් සහ මිෂනාරි පාසල් රජයට පවරා ගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ පාසල් ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක විය.මේ ඒකාබද්ධ පාසල් පද්ධතිය නැවත මිෂනාරි ග්‍රහණයට ගැනීම පිණිස මේ වන තුරුත් දරණ උත්සාහයන් රැසක් ඇත.වර්තමානයේ සිදු වන්නේ එයට ක්‍රමානුකූලව රාජ්‍ය අනුග්‍රහය හිමි වීමයි.

            දහඅට වන සියවසේ සහ දහනව වන සියවසේ මිෂනාරි ක්‍රමය විසින් දැඩි ලෙස බෞද්ධ ඉගැන්වීම් වලට සහ සංස්කෘතියට පහර දෙනු ලැබූහ. පානදුරාවාදය අවස්ථාවේ දී පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් මතවාදීව පරාජයට පත් කරන ලද්දේ ඒ මිෂනාරි වෑයමයි. ලංකාවේ පවතින බෞද්ධ සංස්කෘතිය නිදහස් මතධාරී ආර්ථික ක්‍රියාකාරම් වලට බලවත් බාධාවකි. සාර් ධර්ම මත සීමාවන් තබාගෙන මිනුම් දඬු තබාගෙන සිටින සමාප්‍රදායික  ජනතාව ඉන් නිදහස් කර ගැනීම මේ නව මිෂනාරීන් ගේ අරමුණයි. ජාතික අභිමානය ,ජාතික සිරිත් විරිත් තව දුරටත් පවත්වන්නට ඉඩ දීමෙන් ඒ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරගනු නොහැකිය. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසස්කරණ මුවාවෙන් ඒ සැලසුම දැන් උඩට ගෙන තිබේ.

    කොරියාව බෞද්ධ රටකි. අසූව දශකයේ දී ඇති කරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුව අද එහි බෞද්ධ ජනගහනය සියයට විසිහතකි.කොරියාවේ බහුතරයක් තරුණ තරුණියන් ආගමක් නැති ලෙසට හැසිරෙති.එවිට ආර්ථීක හයියක් තිබෙන ආගමික සංස්ථාවන්හි ජනප්‍රිය උපක්‍රමයන් මගින් විශේෂයෙන්ම නවීන සන්නිවේදන උපක්‍රමයන් මගින් ඒ නිරාගමික කොටස් තමන් වෙත ආකර්ශණය කර ගනිති.කොරියාවේ බෞද්ධ නොවන ජනගහනය වැඩිවී ඇත්තේ ඒ ක්‍රමයෙනි.

        ලංකාවේ බෞද්ධ ජනතාවට ද මේ ඉරණම අත් කර දීමට පළමු බෙදීම් ඇති කළ යුතුය. සිද්ධාර්ථ ගෞතමයන්ගේ උප්පත්තිය ලංකාවේ දී සිදු වී යැයි පවසන අමු කෙප්පය ඇත්තක් ලෙසට ප්‍රවර්ධන කරනු ලැබීමෙන් මේ බෙදීම ඇති කර තිබේ. අනෙක ධර්ම විකෘතියයි.ඒ සංකල්ප මත ඇති වූ ව්‍යාප්තිය වසංගතයක් මෙන්   ඔඩු දුවා ඇත. ඒ මත දරණ වෙනම නිකායක් බිහි කිරීම ද ආරම්භ කර තිබේ.ඉතින් බෞද්ධ සමාජය දෙකඩ කිරීම මගින් ශක්තිමත් සම්ප්‍රදයක් දුර්වල කර තිබේ.වර්තමාන ආණ්ඩුව තුළ සිටින ප්‍රබලතම චරිතයක් වන්නේ අගමැතිනියයි. ඇයට අධ්‍යාපනය භාර දී තිබේ.කන්නන්ගර ශ්‍රී මතාණන් විසින් ආරම්භ කරන ලද නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ පවතින වර්තමාන වීකෘතිය මත අඩුපාඩු රැසක් ඇති බව සැබෑය. එහෙත් රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් ප්‍රතිනිර්මාණය කරගත හැකි වන්නේ නවසිය තිස් ගණන් වල දැමූ පදනම තුළ සිට ගෙනය.1944 දී නිදහස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුව තුළ විවාද  කරන අතර  මිෂනාරි පාසල් වල උගෙන ගන්නා ළමුන් ගැන   පී .ද .එස්. කුලරත්න මහතා මෙලෙස කියා ඇත. 'ඔවුහු කිසිම ආගමක් නැතිව පාසලෙන් අස්වෙති.ඔවුන්ගේ ආගම විනාශ කර ඇති අතර ඒ වෙනුවට වෙනත් ආගමක් ඔවුනට නැත.එබඳු මිනිසුන් ඉතා භයානකය.ඔවුන් අවිනිශ්චිත තත්වයක පසුවන අතර  ඔවුන්ගේ ආගම බොහෝ විට තීරණය කරනු ලබන්නේ විවාහ වන අවස්ථාවේ දීය.එම ක්‍රිස්තියානි පන්තිය ඉස්ත්‍රියානි යනුවෙන් හැඳින්වේ.ඔවුන්ගේ ආගම භාරයාව මත රඳා පවතී.'

         කුලරත්න මහාතගේ කතාව එදාට සාපේක්ෂව අපට තේරුම්  ගත හැතිය.එය වර්තමානයට ගැලපිය හැක්කේ වර්තමාන අගමැතිනියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් පිළිබඳ කතා කරන කල්හිය.මේ වන විට අගමැතිනිය ප්‍රතාශ කර තිබෙන්නේ ලබන වසරේ සිට හය වසරේ දී සර්වආගමික කරුණු අධ්‍යනය කිරිමට මොඩියුලයක් සකස් කර ඇති බවයි. එහෙත් මේ වන තෙක් බුද්ධාගම පෙළපොත මුද්‍රණය කර නැත. කෝවිලෙත් 'පන්සලෙත්, පල්ලියේත් දැල්වෙන්නේ එකම පහනක් ය යන කතාව ඉදිරි පත්කරන ලද්දේ ආර්.ප්‍රේමදාස යුගයේ දීය. එහෙත් ඉන් ගම්‍ය වන සමාන කමක් ආගම් අතර නැත. බෞද්ධයා නිවන ප්‍රාර්ථනා කරමින් එහි උපාසක වත පුරමින් සංසාරය කෙටි කරගැනීමට උත්සාහ කරයි. බෞද්ධ සංස්කෘතිය තුළ  ඔහුට ඒ මග යන්නට  පරිසරය සකස් කර දෙයි. නමුත් ක්‍රිස්තියානි මුස්ලිම් වැනි ආගම් වල අය සංසාරයක් විශ්වාස නොකර අතර ලද ජීවිතය සැපවත් ලෙසට ගතකිරීමේ ආශාවෙන් ගිහි සැප වර්ධනය කරගන්නන් වෙති. බෞද්ධ දෘෂ්ටියෙන් සංසාරය දික් කරගන්නන් වෙති.මිථ්‍යාදෘෂ්ටි යේ එල්බ ගත් බෞද්ධයන්ද සිටින නමුත් බහුතර බෞද්ධයන් සම්‍යදෘෂ්ටියේ  පිහිටමින් නිවන අරමුණු කරගෙන සිටිති. එවිට තරුණ වියට එළඹෙන දරුවෙකුට අනෙකුත් ආගම් පිලිබඳ කියා දෙන්නේ මොනවාද. ඔවුන් ගේ සිරිත් විරිත් ද බයිබලය  ගැනද කුරානය ගැනද මට පෙනෙන ආකාරයට සර්ව ආගම් පිස්සුව ඔලුවට ගැසූ පසුව කුලරත්න මහතා කියූ පරිදිම ඒ දරුවා වැඩිහිටියෙකු බවට පත් වීමෙන් පසු ආගමක් නැති පුද්ගලයෙකු බවට පත් වේ. බුද්ධශාසනය බරපතල ලෙසට පරිහානියට පත්ව ඇති යුගයක සැප ඇති තැන් වලට ඇදෙන්නට තරුණ සිත් කැමතිවන්නේ නම් එය පුදුමයට කරුණක් නොවනු ඇත. මෙහිදී සිදු වන්නේ කොරියාවේ සිදූ වූ දෙයයි. එයට පාර කැපීම සඳහා අගමැතිනිය පමණක් නොව දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කරමින් ළමුන්ට තරවටු කරන දෙමව්පියන් සහ ගරුවරුන් හිරගෙට දක්කන්ට වළිකන පෝල්රජ් ඇමතිනියත් සට කපට අන්දමින් කටයුතු කරනු පෙනේ. අවාසනාව නම් මේ සිදු වීම දිහා නොඇසූ කන් ඇතිව සිටීමයි. දෑසින් දුටුවත් අකර්මණ්‍යව සිටීමයි. මහා නායන හිමි වරුන් පවා තමන්ගේ දෙපා මුළට ප්‍රශ්ණය පැමිණෙපතුරු බලා සිටින බව පෙනේ.

මතුගම සෙනෙවිරුවන්

Monday, September 22, 2025

මුදලේ සයිස්එක වඩවන විවෘත ආර් ථික සූදුව අයිස්

 

                                


                  එක්සත් ජාතික පක්ෂයේ සංවත්සරය දිනයේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති තුමා කළ ප්‍රකාශය මෙම මාතෘකාවට අදාළ වෙයි.සමාජයේ ඕනෑම අයෙකුට හරි හම්බ කර ගැනීමට එජාප රජයක් යටතේ විවෘත ආර්ථික ක්‍රමය ඇති කළ බවද වසන්ත සමරසිංහ අමාත්‍යවරයා පොහොසතෙකු බවට පත්ව තිබෙන්නේ ඒ බල මහිමයෙන් යැයි එහිදී අවධාරණය විය.අමාත්‍යවරයාගේ වත්කම් ප්‍රකාශ ගෙන බලනකල්හි  නම් එම ප්‍රකාශය වර්තමාන තරුණ තරුණයන්ට එකවර තේරුම් ගත නොහැකි වනු ඇත.මන්ද හැත්තෑව දශකයේ හඳුන්වාදෙන ලද විවෘත වෙළඳ පළ ක්‍රමය මේ වන විට ලංකාවේ සමාජය ගිලගෙන අවසන් බැවිනි.

        විවාත වෙළෙඳ පළ ක්‍රමයේ පරාමාර්ථය නම් ආර්ථිකය නිදහස් කරන ලද පරිසරයක ලාභ ඉපැයීමට පසුබිම සකස් කිරීමයි. විදෙස් ආයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමෙන් රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ දමා ගැනීමයි.එයට සීමා මායිම් නැත. වෙළෙඳ පළ ආර්ථිකයට ගැලපෙන ලෙසට නවීන කළමනාකරණ විධි, තාක්ෂණය, යටිතල පහසුකම් සියල්ල මේ වන විට දියුණුවට පත්ව තිබේ. විවිධ ආහාර සහ ජන ජීවිතයට අවශ්‍ය වන බොහෝ පාරිභෝගික ද්‍රව්‍යයන් රසායනිකව නව මානයකින් නිර්මාණය කරලීමට ද මේ පසුබිමේ උත්සාහ කර තිබේ.උදාහරණයක් වශයෙන් කෘතිම රසකාරක දැක්විය හැකිය.අජිනෝමෝටෝ  වල සිට අයිස් නම් මත්ද්‍රව්‍ය දක්වා මේ රසායනික කර්මාන්තයන් දියුණට පත්ව තිබේ.ඒවා ගෙන්වා නොයෙකුත් කර්මාන්ත සඳහා යොදා ගැනීමට රටේ නීතියෙන් ඇතැම් විට බාධාවක් නැත. තහනම් කළ කෘෂීරසායන පසුගිය කාලේ ගෙන්වා බෙදා හැර තිබෙන්නේ ද තහනම් නොකළ ඒවායේ ආසනික් වැනි තහනම් දේ අඩංගු වූ බව හෙළි වූයේ ද මෙම තත්වයන් යටතේය.ඇතැම් වර්ග බහාලුම් අස්සේ වෙනත් ද්‍රව්‍යයන් සමග කලවම් කොට ගෙන්වන රසායන ද්‍රව්‍යයන්ද තිබෙන බව මෑතකදී තහවුරු විය.හිටපු ඇමතිවරුන්ගේ සහ වත්මන් ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ වලින් සනාථ වන්නේ අඩු වැඩි වශයෙන් මේ වීවෘත ආර්ථික ක්‍රමයෙන් ඔවුන් ඉහළම ඵල ප්‍රයෝජන ලබා ගෙන ඇති බවයි.

     ධනය ඉපැයීම සහ  ධනය අධිපති කොටගෙන සමාජය පාලනය කිරීම අලුත් දෙයක් නොවේ. අතීතයේ දී එය ධන ධාන්‍ය ලෙසට හැඳින්වූහ.ධන්‍ය අස්වන්න වැඩි වශයෙන් ගබඩා කර තබා ගන්නා ධනවතෙකු ලෙසට සලකුම් ලැබීය.එහෙත් පැරණි සිංහල සමාජයේ ධන්‍ය අස්වැන්න පොලී කොට ඒ පොලියෙන් කඨින චීවර මාසයට අරියවංහ දේශනාව කරන භික්ෂූන් වහන්සේලාගේ ප්‍රත්‍ය පහසුකම් සැපයීමට රජ අණක් විය.බිත්තර වී අටු ,පත්තායම් සහ වී බිහි තිබෙන විහාරස්ථානයන්හි ධාන්‍ය ප්‍රමාණය රටේ ආහාර සුරක්ෂිතතාවයේ පදනම විය. එදා ධනය උපයන්නාට සාර ධර්ම විය. ධනය සතර කොටසට බෙදා එකක් පරිභෝජනයට ද දෙකක් ආයෝජනයට ද අවසන් කොටස ආපාදාවකට යොදා ගත යුතු යැයි කියැවෙන සිඟාල සූත්‍රයේ දේශනාව රජවරු සිටුවරු සහ ජනතාව අනුගමනය කළහ. අයථා පිරිභෝජනය සාර ධර්මයන්ගෙන්ම පාලනයට ලක් කරන ලද්දේය.වර්තමාන වෙළෙඳ පළ ක්‍රමය එසේ නොවේ.රටට සමාජයට නොගැලපෙන ඕනාම ද්‍රව්‍යයක් නිෂ්පාදනය කිරීමට ද අලෙවි කිරීමට ද ලාභ ඉපැයීමට ද අවසර තිබේ. කුඩා දරුවන්ට හෝ තරුණයන් ගේ ජීවිත විනාශ කරන මත් පෙති හෝ මත් ද්‍රව්‍ය කෘතිමව නිෂ්පාදනය කිරීම මේ ක්‍රමය යටතේ අනුමතය. ඒ ඒ රටවල සංස්කෘතිය අනුව ඒවාට නීති පණවා තිබේ. මෙවැනි විෂ රසායන නිෂ්පාදනයන් තහනම් කළ යුතු යැයි යෝජනාවක් මෙතෙක් මෙරට සිටි පාලකයෙක් කිසිම අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කොට නැත.

     විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන් පුද්ගලයන් ඒ මගින් රටට වෙන විනාශය  ගැන සැළකිලිමත් නොවූහ.ආනාගතය දැක අහිතකර දේ පාලනය කිරීමට නීති පණවන්නට හදිසි නොවූහ. ඔවුනට අවශ්‍ය වූ එකම දෙය වැඩි වැඩියෙන් විදේශ සංචිත වැඩි කර ගනිමින් රට පොහොසත් කිරීමයි.මුදල් සංසරණය වැඩි කිරීමයි.ඒ මග අනුදත් ඇමතිවරු අයථා ක්‍රම වලින් හෝ සල්ලි මවන තහනම් ආයෝජන ක්‍රම වලින් මුදල් ඉපැයීම ගැන පුදුම වන්නට දෙයක් නැත. සල්ලි දෙවියන්ගේ මල්ලි යැයි කියන්නේ මේ නිසාය. මේ තත්වය තුළ තවත් බරපතල ක්‍රියාවලියක් සිදුව ඇත. ස්වයංපෝෂිත සමාජයක් වශයෙන් තිබුණු රටක වෙලෙඳ පළ ක්‍රමය තුළ වැසියන් බහුතරයක් දුප්පතුන් බවට පත් වීමයි.ඔවුනට ආහාර සුරක්ෂිතතාවයක් නැත. රටට ආහාර ස්වෛරීතාවයක් නැත. වෙළෙඳ පළ වහලුන් බවට පත් වීම නිසා අයාථ පරිභෝජනය ඉහළ ගොස් තිබේ. තමන් උපයන ධාන්‍ය කොටසට සරිලන මිළක් ලැබෙන්නේ නැත.මිළ ඉහළ යන්නේ  නම් රටින් සහල් ගෙන්වන්නේ යැයි ඇමතිවරු තර්ජනය කරනුයේ රටේ ස්වයංපෝෂිතභාවයත් විවෘත ආරථිකයත් අතර ඇති කල යුතු සහ සම්බන්ධය ගැන ඔවුන් නොතකන බැවිනි.

     ලංකා සමසමාජ පක්ෂය බිහි වූයේ 1935 වැනි ඈත කාලයකදීය. 'සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියවු' කියමින් වාමාංශික නායකයන් විසින් කම්කරු පන්තිය තම රැහේ දේශපාලන වැඩට යොදා ගත්හ.එහිදී කම්කරු පන්තිය වෙනුවෙන් දිනා ගත් යම් යම් අයිතීන් තිබුණද කම්කරුවෙකු ධනවතෙකු  වීමට තිබෙන ඉඩකඩ අසුරා තිබුණි.නිදහස් අධ්‍යාපනය නිසා යමෙක් රජයේ රැකියාවක හෝ පෞද්ගලික අංශයේ ඉහළ තනතුරකට ගිය විට දී ඔහු පුද්ගලිකව ධනවතෙකු බවට පත් වෙයි. එහෙත් තමන් ට උප්පත්තිය ලබා දුන් පන්තිය ඉහළට ඔසවා තබන්නට උත්සුක නොවෙයි.සැබවින්ම සියලු දෙනටම රජ විය නොහැකිය. සියලු දෙනටම දෙස්තර හෝ ඉංජිනේරුවරුන් විය නොහැකිය.නමුත් තමන් පය ගසා සිටින ස්ථරය තුළ මනා ජීවන තත්වයක් යටතේ වැජඹෙන්නට ඒ සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබේ.ඒ හැකියාව විවෘත ආර්ථික ක්‍රමය යටතේ  වර්ධනය වුවද  ඒ මගින් සිදු වූයේ මුදල් වීසි කරමින් ධනවත් වීමටත් අයිස් වැනි මත්ද්‍රව්‍ය බෙදාහරිමින් ධනවත් වීමටත් ක්‍රිප්ටෝ කරන්සි, පිරමීඩ වැනි තහනම් ආයෝජන කරමින් ධනවත් වීමට වැඩි ඉඩකඩක් ලබාදෙමිනි.එක්සත් ජාතික පක්ෂ සමුළුවේ දී අවධාරණය කරනු ලැබූයේ මේ සඳහා විවෘත ආර්ථිකය ක්‍රමය තුළ ඉඩක් ලබා දී ඇති බවයි.වර්තමාන අමාත්‍ය මණ්ඩලය ඒ මගින් දියුණු වූවද ජනතාව කල්පනා කළ යුතතේ වාමාංශික නායකයන් ඇති කළ හිඟන මානසිකත්වයෙන් මිදී සාධාරණ ලෙසට යුක්ති සහගත ලෙසට ධනය ඉපැයීමට උත්සාහ කිරීමයි.පුද්ගලයන් විසින් එලෙස ධනය උපයන කල්හි රටක් වශයෙන්ද පොහොසත් භාවයට පත් වේ.රජය විසින් කළ යුත්තේ මේ ගමනට තිබෙන බාධක ඉවත් කිරීමයි.ඒ සඳහා බටහිර ආර්ථික විද්‍යා සංකල්ප අපට අවශ්‍ය නැත.ඒ බැව් මේ ලිපියේ පෙර  පෙන්වා දී ඇත.

මතුගම සෙනෙවිරුවන්