පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, July 27, 2020

කෝමාරිකා වගාව පරිසරය සහ ඉඩම් ගැටළුව





                              
         කුමරි නැතිනම් කෝමාරිකා යන නාමයෙන් හඳුන්වන පලෑටිය දේශීය බෙහෙත් හේත් වලට යොදා ගැනෙන බලගතු ඖෂධයකි.පිලිස්සුම් තුවාල සඳහා සම මතු පිට ගෑම ට මෙන්ම තෙල් බෙහෙත් සිඳ ගැනීමටද යොදා ගන්නා කෝමාරිකා ඌව පළාතේ ජනප්‍රිය ඖසධීය ආහාරයකි.සිංහල ජනතාව මෙම අගනා ඔෂධ පැලෑටිය සිය ගෙවතු වල වගා කොට රැක බලාගන්නේ ඉතාමත් ආදරයෙනි.මෑත කාලයේ දී කෝමාරිකා පැලෑටිය විවිධ රූප ලාවන්‍ය අලේප වලට යොදා ගැනීමට කරන ලද පර්යේෂණ නිසා ලෝකයේ ජනප්‍රියතම ආර්ථික භෝගයක් බවට පත් වී තිබේ.කොමාරිකා වගාවට අවශ්‍ය පස දේශගුණය ආදිය තීරණයකරනු ලබන්නේ ද ස්වභාව ධර්මය විසිනි.එයට හේතුව ඖෂධයක් වශයෙන් එහි පවතින ගුණ ඉස්මතු වීමට මේ පරිසර සාධක උපයෝගී වන බැවිනි.ඖෂධයක් වහයෙන් වගා කරන වෙද කෝමාරිකා ඇරුණු කොට මස් කෝමාරිකා සහ මල් කෝමාරිකා නමින්ද තවත් වර්ග දෙකක් තිබේ. කෙසේ වෙතත් ගෙවත්තට නැතිවම බැරි පැලෑටීයක් වන කෝමාරිකා වානිජ වගාවක් ලෙසට පැතිරවීමේ  ව්‍යාපෘතියක්  නිසා බරපතල පාරිසරික ගැටළු කීපයක් මතු වී තිබෙන ආකාරය  වර්තමානයේ දී සාකච්ඡාවට ගෙන තිබේ.
         2019 වසරේ සිට විල්පත්තු වන රක්ෂිතය ආසන්නයේ රාජාංගනය යාය 18  මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන් බිඳුණු වැව කැබිතිගොල්ලෑව සහ තවත් ගම්වල මෙම ව්‍යාපෘතිය මහා පරිමාණයෙන්ආරම්භ කිරීමට තැත් කරන බව දැන ගන්නට තිබේ. මේ වගාව පරිපාලන කරනු ලබන සමාගම් අටක් පමණ මේ වන විට සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඇත. ප්‍රසිද්ධ ආයුර්වේද සමාගමක් ඔවුන්ට අයත් කතරගම ප්‍ර දෙශයේ අක්කර 80 ක පමණ වපසරියකද මෙම වගාව සාර්ථක ලෙසට පවත්වාගෙන යයි.  මෙකී සමාගම් ගොවීන් ගේ ඉඩම් යායවල් පිටින් ලබා ගෙන ගිවිසුම් ගතව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරමුණු වශයෙන් තබා ගෙන ඇත. ඇතැම් පිරිස් පවසනුයේ ගොවීන් ගේ ඉඩම් බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට තබා  ණය ලබාගෙන සමාගම සන්තකයේ තබාගෙන වගාවට වියදම් කරන බවයි. නමුත් දැනට භූමියේ ගනුදෙනු කරන සමාගම් කීපය එලෙස කරන බවට තහවුරු වූ තොරතුරු   නැත. එහෙත් කෝමාරිකා වෙළඳ පළ සක්‍රීය වන විට ජාවාරම් කාරයන් එවැනි තැනකට තල්ලු වීමට තිබෙන ඉඩකඩද නැතිවා නොවේ. කෙසේ වෙතත් සමාගම විසින් වගාව පිළිබඳව අනුගමනය කළ යුතු කොන්දෙසි ලබා දෙන අතර අක්කර කාලේ සිට වැඩි ප්‍රමාණයකට යෑමට ගොවීන්ට නිදහස හිමිවේ. ගොවියා විසින් කල යුතු වන්නේ සමාගම විසින් දෙන උපදෙස් මත වගාව නඩත්තු කිරීම සහ පවත්වාගෙන යෑමයි.ඒ සඳහා ඉඩම් යාය ‌ඩෝසර කොට සමතලා කරන අතර වගාව ලොකු මහත් වූ පසු මාස අටක සිට වසර දොළහක් දක්වා කාලයක් තුළ  ලක්ෂ දෙකක පමණ ආදායමක් ගොවීන් හට ලබා ගත හැකි බවද දක්වා ඇත.
         හරි හමන් ආදායමක් නොමැතිව අතැම් විට ජලය ද නොමැතිව ණය වී ගොවිතැන් කරන ගොවීන් සමාගමේ පැකේජය ඉදිරියේ දණ නමන්නේ තමන්ට ලැබෙන ආර්ථික ප්‍රතිලාබ නමැති මස්කට්ටට ලොබ කරමිනි.ගොවියාගේ ඉඩම බැංකුවට ඇපයට තබා සමාගම සූදූකෙළීමට සැරසෙන්නේනම් එය ඛෙදවාචකයකි.  සමාගම වෙත තැන්පත් කරනු ලබන මුදල වෙනත් දේට ආයෝජනය කිරීම මහා පරිමාණ සමාගකට එතරම් කජ්ජක් නොවේ.පැළ පොහොර සහ වතුර සහ ගොවියාගේ ශ්‍රමයට වෙන්


කරන ලක්ෂ විස්ස ට වඩා මුදලක් ඉතාමත් ලස්සනට සමාගමට හරි හම්බ කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දීමට කැස කවනුයේ  වර්තමාන ඉඩම් ඇමතිවරයා බවද දැන ගන්නට ඇත. රජරට බොහොමයක්ම ඉඩම් බලපත්‍ර ඉඩම්ය. පරවේණී ඉඩම්ද මේ අතර තැනින් තැන තිබේ.මේඉඩම් වලට අදාල නීති සමාගම් වලට මහත් හිස රදයකි. විශේෂයෙන්ම 2001 වසරේ දී ගැසට් කරන ලද අවශේෂ කැලෑ යනුවෙන් තිබූ වන ලැහැබ් වන සංරක්ෂණයට ගැසට් කිරීම මහත් හිසරදයකි.ඒ නිසාම ඉඩම් ඇමතිවරයා විසින් 2001 චක්‍රලේඛනය අවලංගු වන ලෙස කැබිනට් අනුමැතියක් ලබා ගන්නට උත්සාහ කරතිබේ..වන සංරක්ෂණ නීති ලිහිල් වූ කල්හි සුපුරුදු පරිදි ඉඩම් මංකොල්ල කෑමට ලැබෙන ඉඩ ප්‍රස්ථා සීඝ්‍රයෙන් විවර වන බව  ඇමතිවරයා හොඳින් දනී.මීට පෙර ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ රණ විරු ගම්මානයක් සෑදීම සඳහා විශාල වන විනාශයකට මුල පිරීය.අවසානයේ එම ගම්මානයද සැදුණේ නැත.     
      2001 චක්‍රලේඛනය අනුව වන ලැහැබ් පවරා ගැනීම තුළ ප්‍රා යෝගික ගැටළු තිබෙන බව ඇත්තකි.  මේ පවරා ගැනීමේ දී කිසිම වග විභාගයක් කර නොමැත. ජල පෝෂක ප්‍රදේශ වැව් කුඹූරු මෙන්ම ජල උල්පත් සහිත ප්‍රදේශ ගැන අවබෝධයක් නොමැතිව සියල්ල ඇතුලත් කොට ගැසට් කිරීම ඊට හේතුවයි. රජරට පාරම්පරික ගැමියන් සතුව තිබූ පරව්ණි ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත මගින් බොහෝ කාලයකට පෙර ඉංග්‍රීසීන් අතින් රජසන්තක වූවා සේම 1968 අංක 30 නින්දගම් ආඥාපනත යටතේ ද රාජසන්තක කරගෙන තිබේ. හේන් ඉඩම් වැව් පිටි පිල්ලෑවන් ආදී සියල්ලම ඒ නම් වලින්ම ගැසට්ටුවට ඇතුලත් වී තිබෙන්නේ ඒ නිසාය.මේ ඉඩම් වල පරිසර විවිධත්වය ගැන කිසිම සැලකීමක් නොමැතිව වන සංරක්ෂණය විසින්ම සමාගම් වලට බැහැර කළ අවස්ථා බොහෙමයකි.වර්තමාන කෝමාරිකා ව්‍යාපෘතිය මගින් මුල් අවස්ථාවේ ලබා ගනු ඇත්තේ ගොවීන් ගේ ඉඩම් වුවද අවසානයේ සිදු වන්නේ වනයට යට කර ඇති ළඳු කැලෑද ලබා ගන්නට කැස කැවීමයි.ඉන් පසු සිදු වන්නේ මෙම ඉඩ කඩම් එක යායට තබා ඩෝසර කිරීමයි. කෝමාරිකා වගාවේ නිර්දේශ වල තිබෙන අහිතකර පැත්ත එයයි.බිංදු ජල සම්පාදන කිරීමට මෙන්ම ඒකාකාර වගාවක් නඩත්තු කිරීමට මෙවැනි දේ කරන බව සමාගම් පැවසුවද ඩෝසර කිරීම මහා විනාශයක ඇරඹුමකි.මින් පෙර බඩ ඉරිඟු සඳහා සමාගම් විසින් කළ විනාශයට එය දෙවනි නැත. මෙයින් අහිමි වන්නේ වනය පමණක් නොව ජල පෝෂක වැව් පිටි සහ වන ජීවීන් ගේ බිම්කඩවල්ය.කොළඹ සිට කාරිය කරවන නිළධාරීන්ද දේශපාලකයන්ද මහා අන්ද මන්ද ගමනක් යන අතර ගොවීන් සිය දරිද්‍රතාවය මත තමා ගේ සන්තකය උගස් කරති.වත්ත බද්දට දී ඇස්සට දත නියවන ජාතියක් ඉදිරියේ දී නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ බොහෝ වන්නේ එහෙයිනි.
       ලෝක වෙළඳ පලේ කෝමාරිකා නිෂ්පාදන වලින් සියයට පහළොවක් දැනට අත්පත් කරගෙන තිබෙන්නේ ඉන්දියාව හා චීනයයි.විදේශ විනිමය උපයන හොඳ වගාවක් ලෙසට එයට අනාගතයක් හිමිය.නමුත් ගැටළුව පවතින්නේ කෝමාරිකා වගාව ලංකාවේ පාරිසරික තත්වයන් යටතේ හැඩ ගස්වා ගැනීමට තිබෙන අභියෝගයයි.සැබවින්ම මේ ශාකය ගෙවතු මට්ටමින් වුවද වගා කළ හැකිය.මෙහි පිති කිලෝවක් රුපියල් 35 සිට 70 දක්වා මිලකට අලෙවි වන අතර සමාගම් වල ප්‍රමිතිය අනුව ලබා දිය හැකි වුවහොත් ගෘහ ආර්ථිකය නන්වා ගැනීමේ හැකියාව වැඩි වන බව කිව යුතුය. යායන් වශයෙන් වානිජ මට්ටමින් කරන වගාවකදී පොළව ‌ඩෝසර නොකොට අඹ නෙල්ලි කොච්චි ආදී ආර්ථික වටිනාකමින් යුතු භෝග සමග මිශ්‍ර වගාවක් ලෙසට පවත්වාගෙන යෑමේ දී ගොවියාට ලැබෙන ප්‍රතිලාභ ඉහළය.යම්කිසි වගා හානියකදී වුව ආරක්ෂණයක් ලැබෙන්නේ එවිටය.එසේම2001 වන ලැහැබ් පිළිබඳ චක්‍රලේඛනය අවලංගු කිරීම මෙවැනි ඉලක්ක මත නොකළ යුතු බව මගේ හැඟීමයි. චක්‍ර ලේඛණය මගින් ඇති කර

තිබෙන  ප්‍රායෝගික ගැටළු විසඳීමට අන්තර් අමාත්‍යංශ කමිටුවක් පරිසරවේදීන් ගේ සාභාගිත්වය ඇතිව පත් කොට මෙම ගැටළු විසඳා ගැනීමට කාලය ලබා දිය යුතුය.මැතිවරණයෙන් පසුව එට ඉඩකඩ විවෘත වනු ඇත.

  



Sunday, July 5, 2020

වැලි එකයි ජරාව හතයි නීති පොත නම් මල් හතයි


                              
              දහනවවන ව්‍යවස්ථා සංශෝධනය යනු මෙරට පාර්ලිමේන්තුවක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කරමින් කොළේ වසා ගැසූ කූඨ ලියවිල්ලක් බව ඔප්පු වී අවසන්ය.ජනපතිවරයාගේ බලතල කප්පාදු කොට විධායක බලය අගමැති අතට ගැනීමට කළ මේ ප්‍රෝඩාව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සුමන්තිරන් මංගල සමරවීර වැන්නවුන් ගේ දීර්ඝ කාලීන න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියාත්මක වූවකි. කොටි ත්‍රස්තවාදය අවසන් කොට රට එක් සේසත් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරායද මෙම කුමන්ත්‍රණයට අසුවූයේ කෙලෙසකදැයි සිතා බැලිය යුතුය.
     ජයවර්ධන ජනාධිපති වරයා 1978 ව්‍යවස්ථාව සම්පාදනය කරන කල්හි ඒකීය රටක පැවතිය යුතු ව්‍යවස්ථා ප්‍රතිපාදන ගණනාවක් පිළිබඳව අවධානය යොමු කලේය.නමුත් ඔහු කොටි ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය ආක්‍රමණ හමුවේ සිරවුණු කල්හි බලය බෙදා හැරීම නමැති ඊනියා බෙදුම්වාදී න්‍යාය පත්‍රය ට ඒකීය ස්වභාවය වෙනස් නොකරන තත්වයට සුදුසු ප්‍රතිපාදනයක් ඇතුල්ත කලේය.බෙදුම්වාදය යුධ පිටියේ දී පරාජයට පත් කළද මතවාදී තලයේ පරාජයට පත් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික අනුබලය නොලැබුණ බැවින් යළි බලවත් වූ බෙදුම්වාදීන් මහින්ද රාජපක්ෂ උගුලේ සිරකර පරාජයට පත් කොට රනිල් සමග ජාතික ආණ්ඩුවක් අටවා ගත්හ. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වූයේ ජාතික ආණ්ඩුව නාමයෙන් අගමැති තනතුරට බලය ලබා ගෙන ජගත් තලයේ පුම්බන ලද නායකයෙක් වන්නටයි. එසේම ලංකාවේ ආර්ථිකය ඝාතනය කොට ඇමරිකාවට යටත් රාජ්‍යයක් බවට පත් කර එහි ආණ්ඩුකාරයා බවට පත් වීමටයි. ඒ සඳහා ඔහු විසින්  සුප්‍රකට බැඳුම්කර මංකොල්ලය මෙහෙයවන ලදහ. ප්‍රභාකරන් අතින් ගිලිහී ගිය බෙදුම්වාදී න්‍යාය පත්‍රය සුමන්තිරන් සම්බන්ධන්  විසින් රනිල් මගින් ඉටු කර ගැනීමට පෙළ ගැසුණ බව අප තේරුම් ගත යුතුය.ජයවර්ධන මහතාගේ ඒකීය සංකල්පය හලා පළත්සභා වෙත් ස්වයං පාලනයක් ලබා ගත හැකි ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම ඔවුන් ගේ අභිප්‍රාය විය. යහපාලන අවුරුදු හතරහමාර තුළ මේ වැඩ පිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක විය.ලාල් විජේනායක ගේ ව්‍යවස්ථාසම්පාදක මණ්ඩලයේ වාර්තා ඊට සාක්ෂි සපයනු ඇත. ඒ අතර රනිල් ගේ න්‍යාය පත්‍රය තුළ ජනපති ගේ විධායක බලය කපා හැරීම සඳහා වන දහනවය ගෙන ඒම වෙනුවෙන්ද බෙදුම්වාදී කල්ලි දහදිය හෙලූහ.ජනමත විචාරණයකින් පමණක් වෙනස් කළ යුතු 1978 ව්‍යවස්ථාවේ  වගන්ති ගණනාවක්ම හොර පාරෙන් සම්මත කර ගැනීම එහි අඩංගු විය.වසර හතරහමාරක් ගත වන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නොහැකි වීම මහමැතිවරණයක්  ජනපතිවරයාගෙන් ඉල්ලා පාර්ලිමේන්තුව විසින් ගෙන එන යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ යුතු වීම ජාතික ආණ්ඩුවක ඇමතිධූර සහ නියෝජ්‍ය ඇමති ධූර සීමාවකින් තොරව හෑත්තෑවකින් එපිටට වැඩිකර  ගැනීමටහැකි ප්‍රතිපාදන ඇතුල් කිරීම යම්තාක් ඇමතිමණ්ඩලය පවතින්නේද ඒතාක් අගමැතිධූරය පවතින්නේය යන්න හොර පාරෙන්ම ව්‍යවස්ථාවට ඇතුල් කිරීම මූල්‍ය කොමිසමට වාර්ගවාදී ලෙස නියෝජනයන් ඇතුල් කිරීම ආදී නීති විරෝධී කරුණු ගණනනාවක්ම එයට ඒක් කළහ.
       මහින්ද රජපක්ෂයන් මීට කැමති වූයේ මන්ද. පැරදී මැදමුලනට ගිය මහින්ද ගේ ජන ආකර්ෂණය ඔහු හැර නොගියේය. නුගේගොඩින් ඇරඹි ඒ සුළඟ මැදමුලනට පැමිණි කුණාටුවක් බවට පත් වී මහින්ද යලි විපක්ෂ නායක ධූරය දක්වා ඔසවා තැබීය. 2014 කාල වකවානුව වන විට මහින්ද මහත්මයා සිටියේ රාජ ඌෂ්ණය ගසා උමතුවෙන්ය. ඔහුට ඉහළින් කිසිවෙකුට පියෑඹීය නොහැකි විය.රාජ්‍ය නායකයෙකු විසින් නොකල යුතු මරි මෝඩකම් කීපයක් ඔහු අතින් සිදු විය.මෙරට සම්‍යක් දෘෂ්ටික බලවේග ඔහුට පිටුපානු ලබන්නේ මේ මිථ්‍යා වැඩ නසයි. අසන්නතම උදහරණය නම් පාප් තුමා කැඳවා ගෙන කරගත් විගඩමයි.කෙසේ වෙතත් විපක්ෂ නායක ධූරය යළි හිමිකරගත් මහින්ද මහත්මයා ජනතා අභිලාශයන් තේරුම් ගත්තාදැයි නොදනිමි.රනිල් වික්‍රමසිංහ සහ බෙදුම්වාදී බලවේග විසින් දියත් කරන ලද මෙහෙයිම් වටහා දීම පිණීස ජාතික බලවේග විසින් නිරන්තරව කැපවී සිටියද  මහින්ද මහතා එය සළකන ලද්දේ තමන් නැවත රජ පුටුවේ ඔසවා තබන්නට කරන ලද වෑයමක් ලෙසටය. මේ නිසා ඔහු ඇතුලු පාර්ලිමේන්තු කණ්ඩායම දහනව සම්මත කර ගැනීමට උදව් කළහ. මෛත්‍රීපාල ජනපතිවරයා ට තිබූ විධායක බලතල අඩු වී අගමැතිට විධායක බලය ලැබීම තුළින් යලිත් ජනපති නොවිය හැකි මහින්ද සතුටු කර ඇති බව තේරුම් ගත යුතුය.සරත් වීරසේකර මහතා මෙම ව්‍යවස්ථා විරෝධී ප්‍රතිපාදන ගැන හොඳ අධ්‍යනයකින් යුතුව එයට විරුධධව චන්දය පාවිච්චි කල අතර ජානක බණ්ඩාර මහතා එයට පුද්ගලිකව විරෝධය පළ කොට පාර්ලිමේන්තුවෙන් පිටවී ගියේය. සම්මත වූ දහනවය ජනමත විචාරණයකට යොමු කල යුතුව තිබුණි ඊට හේතුව 1978 ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති කීපයක්ම වෙනස් කරන්නට නම් එසේ කළ යුතු බව ශ්‍රේෂ්ඨාධීකරණය විසින් දැනුම් දීමයි. නමුත් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා එසේ නොකොට තමන්ගේ අත්සන පමණක් යෙදීමෙන් දහනවය අසම්පූර්ණ ලෙස සම්මත කිරීමට දායක විය. නමුත් නීතිය ඉදිරියේ අදටත් 19 බලරහිතය.
      දහනව වන සංශෝධනය මුලින්ම පාර්ලිමේන්තුවට පැමිණියේ 2002 වසරේ දීය.නමුත් එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කලෙන් ලබා දුන් තීන්දුව වූයේ ජනමත විචාරණයකින් තොරව ඒය සම්මත කර ගත නොහැකි බවයි.යලි 2015 දී මෙම සංශෝධනයම පාර්ලිමෙන්තුවේ සම්මත කලානම් ජනමත විචාරණය අනිවාර්යය විය යුතුව තිබුණි. නමුත් කතානායක වරයා ඒ ගැන සැලකිල්ලක් දක්වා නොතිබුණි. ආරංචි වල හැටියට එසේ කරන ලද්දේ රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදිය. 2015 ජනවාරි ජනපතිවරණයෙන් මෛත්‍රීපාල සසිරිසේන මහතාට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් වී ඇති හෙයින් එලෙස ජනමත විචාරණයකට යෑම අනවශ්‍ය බව ඔහුගේ උපදෙස් විය. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහයන්ගේ සාටෝප කතා නිසා රැවටීමට පත් වී ඇත. එසේම ඔහු ඇතුලු පාර්ලිමේන්තුවේ වැඩි කොටසක් රැවටීමකට ලක් කර ඇත්තේය. දැන් 19 සම්මතවූවාක් මෙන් ක්‍රියාත්මක වෙයි.ස්වාධින කොමිසම් සභා  වලින් යම් සේවයක් ලබා ගත හැකිවුවද  ඒවා ක්‍රියාත්මක වනුයේ ඉතාමත් හිතුවක්කාර අන්දමිනි.මැතිවරණ කොමිසම මානව හිමිකම් කොමිසම ක්‍රියාකරන ආකාරය මෙයට උදහරණ සපයයි.එසේම ව්‍යවස්ථාදායක සභාව ට ඒකාධිකරබලයක් ඇති ලෙසට ක්‍රියාකරමින් වර්ගවාදී නියෝජනයන් නිළධාරි තන්ත්‍රය තුළ වපුරමින් සිටී.
     වත්මන් මැතිවරණයට එරෙහිව සුමන්තිරන් මෑතකදී උසාවියට ගියේය.මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීති විරෝධී යැයි කියමින් එම ගැසට්ටුව අවලංගු කරන ලෙසටද ඉල්ලා සිටියේය.ජනපතිවරයා මෙම ගැසට්ටුව පළ කරන ලද්දේ 19 ව්‍යවස්ථාවට අනුකූලව එහි 70(2) වගන්තිය ප්‍රකරවයි.19ට අනුව නම් මෙම විසිරුවා හැරීම නීති විරෝධී නොවෙයි.2018  වසරේ අවසාන කාර්තුවේදී මෛත්‍රීපාල ජනපතිවරයාද මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.එයද 19ට අනුවය.එදා එම තීරණය වැරදි බවට අර්ථකතණයක් ලැබුණි.අප දන්නා පරිදි 1978 වළුස්ථාවේ 83 වගන්තියෙන් කියැවෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ගැනය.මෛත්‍රීපාල මහතාට උපදෙස් දුන් පිරිස එය මතක් කර දුන්නේ නැත.ඔහු එම වගන්තිය යටතේ පාර්ලිමේනුතව විසිරුවා හැරියේ නම් අධිකරණය පසුබසින්නට ඉඩ තිබුණී.හේතුව නම් 19 නීති විරෝධීව පාර්ලිමේන්තුව තුළ පමණක් සම්මත වී ඇතිබවට එහිදී සාකච්ඡා කෙරෙන් බැවිනි. 2020 මාර්තු මාසයේ දීත් ජනපතිවරයාට උපදෙස් දුන් කේවට්ටයන් අතින් ඒ වැරැද්ද සිදු වී තිබේ.මෙවරද 1978 ව්‍යවස්ථාව අනුව පාර්ලිමෙන්තුව විසිරුවා හැරියේ නම් සුමන්තිරන් ගේ නඩුවේ දී එම කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.එය සූක්ෂම ලෙසට මග හැරීමට මේ කේවට්ටයන් කටයුතු කර තිබේ.එසේම 2002 දී 19ට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දු දුන් විනිසුරුවරුන් කීප පළක්ම වත්මන් විනිසුරු මඩුල්ලේදසිටිය නමුත් ඔවුහුද 19ට දුන් පෙර තීන්දු ගැන මෙහිදී සාකච්ඡා නොකිරීමට වග බලා ගත්හ.එලෙස සාකච්ඡා කලේ නම් 19 නොසලකා හැර කටයුතු කිරීමට වත්මන් ජනපතිවරයාට හැකියාව ලැබෙනු ඇත.
මේ වන විට මැතිවරණ ව්‍යාපාරය තුළ මහින්ද ඉල්ලා සිටින්නේ 19 අහෝසි කරලීමට තුනෙන් දෙකකි.19ට අත උස්සා එයම අහෝසි කරලීමට චන්දය ඉල්ලීම විලි ලැජ්ජා නැති කමකි.යම් විදියකින් වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක් ලැබුනහොත් එසේත් නැතිනම් බහුතරයක් ලබා විපක්ෂයෙන් කොටසක් එකතු කරගෙන තුනෙන් දෙක සාදා ගත්හොත් ව්‍යවසථාව නීතිවිරෝධීව කාරක සභා අවස්ථාවේ දී පමණක් සම්මත කර ගැනීමට ඔවුන්ට යලි හැකිවනු ඇත.විශේෂයෙන්ම 13 වන ව්‍යවස්තාව මගින් කර ඇති බලය බෙදීම තව දුරටත් ඉදිරියට ගෙන යෑමට හැකි වනු ඇත. මහින්ද ජනතාවාදී වුවත් ඔහු තුළ කකියන බලලෝභය නිසා මෙවැනි තත්වයන් කෙරෙහි කිසිලෙසකින්වත් විශවාසය තැබිය නොහැකිය.එක වැලි ගොඩකින් ජරා ගොඩක් වැසිය හැකි නමුත් ජරා ගොඩවල් කීපයක් එක් වැලි ගොඩකින් වැසිය නොහැකිය. යථාර්ථය එයයි.