පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, November 29, 2012

නැගෙනහිර බෞද්ධ උරුමය දෙපලු කළ හෝරාව

                                         

     තවත් සිංහල බෞද්ධ උරුමයක් හිත්පිත් නැති නරුමයින් විසින් විනාශ කර ඇත. මොට්ටාගල ගමිණි තිස විහාරයේ දාගැබ විනාශ කොට යන්තමින් මාස තුනක් වත් ගත  වූයේ නැත. මුස්ලිම් වර්ග වාදය පසු පස්සේ හඹා එන දෙමළ ජාති වාදයෙන් පණ කැවුණු අධමයින් කිසිම බයක් හැකක් නොමැතිව මහ දවාලේ මොට්ටාගලට නුදුරු ඉපැරණි දාගැබක් දෙකට මැද්දෙන් දෙපලු කර පුරා වස්තු හා සර්වඥ ධාතූන් වහණ්සේලා පැහැර ගෙන ගොස් ඇත.මේ ගත වන්නේ ශ්‍රී ලංකාවේ තලේබාන් වරුන්ගේ හෝරාව දැයි සැක සිතේ.දැන් දැන් ඉස්මතු වන සිද්දීන් ගෙන් එවැනි රැල්ලක් ඇති නොවුණානම් පුදුම විය යුතුය.
       ලංකාව පුරාවටම විසිර පවතින්නේ බෞද්ධ නශ්ඨාවශේෂයන්ය. කාලිංග මාඝ පෘතුගීසීන් ලන්දේසීන් ඉංග්‍රීසීන් අතින් වැනසුන පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන අද මෙසේ නටබුන් වී තිබේ. ඒවා රැක බලා ගන්නට මලක් පහණක් වත් පුදන්නට ඇතැම් විට ඉංග්‍රීසි පාලන සමයේ දී ඉඩක් නොලැබුණි. නැගෙනහිර පළාතේ මෙන්ම උතුරේ ද සිංහල ජනගහනය තුනී ව යද්දී වරින්වර දකුනු  ඉන්දියාවෙන් දෙමළ වහලුන් ගෙනවිත් පදිංචි කරවන ලදහ. දකුණු ඉන්දීය මුස්ලිම් වර්ගයන්ද  හම්බන් සමගින් පැමිණ මෙහි පැලපදියම් වූහ. ජන ශූන්‍ය වූ උතුරු දිග තැනිතලාව මෙන්ම නැගෙනහිර පෙදෙස්ද ඔවුන් ගේ ග්‍රහණයට අයත් විය. සෙනරත් රජු විසින් පදිංචි කරවන ලද  මුස්ලිම් මට්ටයින්ද මේ අයට එකතු ව බලයක් ගෙඩ නගා ගත්හ. ඉතිරිව සිටි සිංහලයින්ට හා මූදු කර වැද්දන්ට යන එන මං නැතිව දෙමල මුස්ලිම්වරුන්ගේ පාසල් වලට ගාල් කරන ලදහ. එම නිසා ඔවුන්ගේ ගෙදර බස දෙමළයම විය. වර්තමානයේ නැගෙනහිර බහුතරයක් වාසය කරන්නේ දෙමළ හා මුස්ලිම් වරුන් පමණකි. පෙර රජ දරුවන් විසින් වෙහෙර විහාරයන්ට පිදූ ඉඩකඩම් මොවුන් විසින්  අල්ලා ගෙන ඇත. ඉංග්‍රීසීන්ගේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේවායේ නෂ්ඨාවශේෂ පමණක් ආරක්ෂා කරමින් සිටියහ.නමුත් ඒ කිසි තැනක් නැවත මහා විහාරයට හෝ ආරණ්‍යයකට බාර නොදුන්හ.. දීඝවාපිය වැනි අති පූජනීය සිද්ධස්ථානයන් රැකුණේ දකුණේ සිට පැමිණි ශාසන හිතකාමී යතිවරයින් වහණ්සේලා  නිසාවෙනි. එහෙත් වැලි කැට ගාණට මෙහි පැරණි සිද්ධස්ථාන වෙයි. ඒ සියල්ලම රකින්නට ඉදිරි පත් වන්නට අවැසි බෞද්ධ භික්ෂූන් වහණ්සේලා ද අද නොමැත.
        මේ හෝරාව නරුමයින්ගේ හෝ තලේ බාන් වරුන්ගේ හෝරාව බවට පරිවර්තනය වී යමින් සිටින්නේ මේ නිසාය. අශ්රොෆ් ඇමැති වරයා විසින් ඇවිලූ මුස්ලිම් වර්ගවාදය නිසා අද නැගෙනහිර කලාපයම උණුසුම් වී තිබේ. සිංහල දේශපාලනඥයින් සිංහල ජනතාවගේ චන්දයෙන් බලයට පත්ව සිංහලයින්ගේ ම උරුමය අන්සන්තක කරවීමේ තුච්ඡ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරමින් සිටී. කූරගල දෙවන ගල කුංචි කුලම සිට මොට්ටයාගල දක්වා මේ වර්ග වාදය දලු ලමින් ඇවිදින් ඇත. පුරා වස්තු ආඥා පණතේ  15 (අ) (ආ)  සහ 31 වගන්ති අනුව හානි කරන ලද පුරා වස්තු වෙනුවෙන් සිරබත් කෑමට හෝ දඩමුඩ ගෙවිය යුතු බව මේ නරුමයින් හොඳ හැටි දනී. එහෙත් ඒ ටික කලකට පමණකි. උසාවියෙන් ඉතා ඉක්මනින් නිදහස් විය හැකිය. මේ නරුමයන්ට මග පෙන්වන්නේ සිංහල දේශපාලඥයින්ය. අනුරාධපුරයේ කලත්තෑවේ වන්නම් මඩුවේ ඉපැරණි දාගැබක් හාරමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගැනුණේ 2011 වසරේ දී ය. මේ පිරිසගෙන් එක්කෙකුට ලක්ෂ හය බැගින් දඩ මුදල් නියම කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. එක් පුද්ගලයෙක් ඇරුණු කොට අනෙක් පස් දෙනා දඩ මුදල් නොගෙවා බන්ධනාගාර ගතවූහ. මේ පිරිස අනුරාධපුර පළාතේ හිටපු දේශපාලන ප්‍රබලයෙකුට සම්බන්ධකම් පවත්වන ගෝල බාලයින්ය. බන්ධනාගාරගත වී මාස් තුනක් ඉකුත් වූයේ නැත. පෙබරවාරි හතරවන දා ඔවුන් නිදහස ලබා එළියට පැමිණියහ.
            මෙට්ටාගල දාගැබ ඩෝසර් කල නරුමයින් ද අත් අඩංගුවයට ගැණුනි. යම් කිසිවෙක් පුරා වස්තු වලට හානි කර සිර භාරය ට පත් වූ   පසු පුරා විද්‍යා වර්තාව එනතෙක්ම ඇප නියම කරන්නේ නැත. නඩු පවරන්නේ ද නැත. එහෙත් මේ සිද්දියේ දී මුස්ලිම් දේශපාලනඥයින්ගේ පිහිටෙන් වාර්තාව එන තුරු නොසිට ඉතා සුලු දඩයකට යටත්ව මේ පිරිස නිදහස් කෙරුණි. පුරාවිද්‍යා අංශ වලට කල හැකි දෙයක් නැත. අම්පාරේ පුරාවිද්‍යා  කාර්යාලයේ සිටින සහකාර අධ්‍යක්ෂවරයා මේ ස්ථාන ගැන දැනුම්වත් නැත. එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුලු ස්වාධීන ගවේශකයින් කරන ලද ගවේශණ ඇරුණු කොට නැගෙනහිර පළාතේ බොහෝ පුරා වස්තු ස්මාරක වශයෙන් තවමත් ලියාපදංචි කොට ගැසට් කර නැත. හේතුව මේ කාර්යයයන් යෙදවිය හැකි වන නිළධාරීන් පිරිසක් දෙපාර්තමේන්තුව සතු නොවීමයි. අම්පාර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක වරයා ඇතුලුව සිටින්නේ දෙදෙනෙකි.   පසු ගිය කාලයේ උපාධිධාරීන් බඳවා ගැණුනද ඒ අය  ස්ථාන මාරු සකස් කර ගෙන ගොස් ඇත. සමහරක් විශ්‍රාම ගොස් ඇත. වෙනත් අය උපාධිධාරී පත්වීම් වලට ගොස් ඇත.
               ප්‍රධාන කාර්යාලයේ අධ්‍යක්ෂක තනතුරු රාශියක් පුරප්පාඩු වි තිබේ. මේ පදවි උසුලන්නේ වැඩබලන සහකාර අධ්‍යක්ෂක වරුන්ය. මේ තනතුරු පුරවන්නට හා දෙපාර්තමේන්තුවේ මුල්‍යමය හිඟයන් පියවීමට රජයේ කිසිම උත්සාහයක් නැත. මේ විෂයට පත් වන ඇමති වරු බෙහෙවින් ම නිද්‍රාශිලි වෙත්. ලේකම් ලාද එසේමය. හරි හම්බ කර ගැනීමට නොහැකි අමාත්‍යංශයක් බැවින් අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ ද නැත. ඒ වෙනුවට දේශපාලනඥයින් ගේ හස්තයට අසුවූ දිවයිනේ සිද්ධස්ථාන ගල් බෝර වලින් දෙපලු වෙයි.  නිදන් සෙවීමේ ආශාවෙන් පිරි ඔවුහු ඇතැම් විට ආරක්ෂක අංශ ද යොදවා ගනිමින් නිදන් රැගෙන යති.. ඔයා මඩුව හොරොව්පතාන වැනි පෙදෙස් වල එසේ සිදු වූ බවට නිවරදි සාක්ෂි ඇත. මේ අපරාධයන්ට මූලිකත්වය ගන්නේ සාමාන්‍ය මිනිසුන් නොවේ. හයිරන් කාර දේශපාලඥයින්ය. නමුත් පුරා විද්‍යා දෙපාරතමේන්තුව නිදන් නොමැති බව කියමින් ජනතාව මුලා කරති. එහෙත් ඇතම් පුරා විද්‍යා නිලධාරින්ද මේ නිහීන ක්‍රියාවන්හි යෙදුණු බවට සාක්ෂි තිබේ.
      මේ ආදර්ශය ලංකාවේ තලේ බාන් වරුන්ට හොඳටම ප්‍රමාණවත්ය. මොට්ටාගල මෙන්ම එයට මීටර පන්සීයක් නුදුරු ස්ථානයක තිබූ  හඳුනා නොගත් විශාල දාගැබ මහ දවාලේ දින දෙකක් පුරා ඩෝසරයක් යොදවමින් හාරන්නේ සිංහල දේශපාලකයින් විසින් සපයා දී ඇති ආදර්ශයන් ප්‍රයෝජනයට ගෙනයි.අම්පාරට දැයට කිරුළ ප්‍රදර්ශනය එන බව ඔවුහු දනිති. ඒ කළ නිදන් හාරන්නට මේ පෙදෙස් පීරන්නට දේශපාලනඥයින් එන බවද ඔවුහු දනිති. එම නිසා ඊට කලියෙන් තිබුණහොත් යමක් ලබා ගැනීම මේ නරුමයින් ගේ ආශාවයි. එමතුද නොව නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය ඩෝසර් කරමින් නෂ්ඨාවශේෂ පවා අතුගා දැමීම ඔවුන්ගේ අරමුණයි. යුද්දයට කලින් අක්කර පත්තුවේ සිංහල පවුල් දෙසීයක් පමණ දිවි ගෙවූහ. කොටි ත්‍රස්තවාදය නිසා අවතැන්ව අසරණව සිටි දෙමළ මුස්ලිම් අය නම් නැවත පදිංචි කරවීමට නොයෙකුත් වැඩ සටහන් ක්‍රියාත්මක විය. එහෙත් තමන්ගේම ශක්තියෙන් අක්කර පත්තුවට පැමිණි සිංහල පවුල් අනූවක් පමණ දුකසේ එහි ලැගුම් ගෙන ඇත. අක්කර පත්තුව සිංහල පාසල තවමත් තිබීම වාසනාවකි. නගරයේ ඔරලෝ කණුවේ දාගැබ තවමත් දක්නට ලැබිම වාසනාවකි. එහෙත් අසරණව ජීවිකාවට සටන් කරන්නට වන් මේ සිංහලයින්ට මොට්ටාගල වැනි මහා සිද්ධස්ථාන රැක ගන්නට තරමේ ශක්තියක් නැත.
දෙපලු කරන ලද මොට්ටාගල අසල වෙල්යායේ ඉපැරණි දාගැබ ගර්භයේ තිබී මංජුසා කීපයක්ම නිදන් හෑරූ ද්‍රවිඩ ජාතිකයින් විසින් ගෙන ගොස් ඇත. ඒවා අත් අඩංගුවට නැවත පත් වූයේ 2012 නොවැම්බර් මස 27 වැනිදා  ය. එහි රන් පත් ඉරුවලින් සකස් කරන ලද කරඬුවක් ඉතා දුබල ගණයේ කුෂාන යුගයේ ප්‍රතිමාවක් පබලු ඇට සත්වන සියවසට අයත් යැයි කිව හැකි කිර ගරුඬ කරඬුවක්  හා රන් ගුලි කීපයක්ද විය. රන් කරඬුව දීඝවාපියෙන් හමු වූ කරඬුවට සමානය. දෙවනි සියවසට අයත් යැයි අනුමාන කළ හැකිය. තවත් පුරාවස්තු රාශියක් එහි තිබෙන්නට ඇතැයි විශ්වාශ කළ හැකිය. මෙම දාගැබ පිහිටා තිබෙන භූමිය අක්කර එකොළහක් පමණ කුඹුරු යායක පිහිටා ඇත. මෙය අයිති නැගෙනහිර පළාතේ එක්සත් ජාතීන් ගේ සංවිධානයේ ගණකාධිකාරී වරයෙකු ලෙසට සේවය කරන ද්‍රවිඩ ජාතිකයෙකුටයි.ඔහුගේ මෙහෙයවීමෙන් තවත් සය දෙනෙකු පමණ එක්ව මේ විනාශය කර ඇත. මීට වසරකට පමණ පෙර මේ දාගැබ ආසන්නයේම තිබූ තවත් පරිවාර චෛත්‍යයක් ඩොසර් කොට එහි කුඹුරු ලියදි කීපයක් තනා ඇති ආකාරය හොඳ හැට පෙන්නුම් කෙරේ. මේ විනාශයන් දිගින් දිගටම සිදු වී ඇති බව පැහැදිළිය. මීට මාස තුනකට පමණ ප්‍රථම මොට්ටාගල ආසන්නයේ දාගැබ ඩොසර් කිරීමෙන් පසු ජාතික උරුමයන් පිළිබඳ ඇමති ජගත් බාලසූරිය මහතා ප්‍රකාශ කලේ මාස තුනක් ඇතුලත මෙය සංරක්ෂණය කරන බවයි. නමුත් මේ වන තුරු ආරක්ෂක අංශ නිළධාරීන් ඇරුණු කොට අදාල පුරා විද්‍යා නිළධාරීන් කිසිවෙක් එහි ගොස් නැත. ඇමති වරයා දුන් නියෝගයක් ද නැත. නොවැම්බර් විසි නව වන් දින බොදු බල සේනා සංවිධානය විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වටලා අදාළ ඇමති වරයාගෙන් හා පුරාවිද්‍යා අධ්‍යක්ෂක වරයාගෙන් පෙරොන්දුවක් ගත්තද මේවා පිළිබඳ විශ්වාශය තැබීම අනුවණ කමකි. ඒ වෙනුවට මේ ස්ථාන කීපයකට එකක් හෝ බැගින් තෝරා ගෙන  විහාරස්ථාන ගොඩනැගීම කළ යුතුමය.    හිරුකෝවිල් පොලීසිය විසින් මේ ද්‍රවිඩ ජාතිකයින් හත් දෙනා අත් අඩංගුවට පත් නොකරන්නට මේ අපරාධයද වැල්ලේ වසන්ව යන්නට හොඳටම ඉඩකඩ තිබුණි. අපගේ ප්‍රණාමය මේ නිළධාරීන්ට හිමි විය යුතුය. නමුත් දිගින් දිගටම මේ සිදු වන දේ සාක්ෂි ඇතිව  බලා සිටින සිංහල බෞද්ධයින් අසරණව නිද්‍රාශිලීව තුෂ්නිම්භූතව සිටිති. මේ නිද්‍රාව අවදිකරන්නට සෝම ස්වාමීන් වහණ්සේ යලිත් වඩින්නේ  කවදාදැයි අප බලා සිටිමු.
චායාරූප හා විස්තර - සුසන්ත අමර බන්දු - අම්පාර
                    

Saturday, November 17, 2012

දියවැඩියාවට වැලි කොස් ඇට

                             
              අත්තේ පනත්තේ කොහොඹේ ලියක් ඇති-ඒකිගෙ බඩේ දරු තුන්සිය හැටක් ඇති යනුවෙන් ප්‍රචලිතව පවතින තේරවිල්ල ගැමි කට වහරට අයත්ය. මේ කතාව කොස් ගැනය. අත්තක්උඩ බුම්මාගෙන කටු රෙද්දක් පොරවා ගෙන කිවුවත් කොස් ගැනමය. හෙරලිය කියන්නේ ද කොස් වලටමය. එය වටා තිබෙන ජන කතාවක් ද ඇත. කොස් තම්බා කෑමට හපන් අපේ ගැමියන් ගැට කොස් ද වං කොස් ද බත් පොලොස්ද දඩු පොලොස්ද පිටොස් ද කොස් ඉරි ද සිවිඩිද ආදී වශයෙන් කොස් වහල්ල ඇරුණු කොට අන් සියල්ලම ආහාරයට ගනිති. මේ කොයිවත් ආහාරයට මෙන්ම නිරෝගී තාවයටද ඉතා උතුම් යයි කියවෙතත් මේ අතරින් බෙහෙත් වශයෙන්ම ගන්නා පස්පංගුවක් ඇත. ඒවා අතරින් මුල් තැන් ගන්නේ පොලොස් ගෙඩියයි. මව් වරුන්ට කිර එරෙන්නට ද පෙලොස් තම්බා දීම  කරති.අතීසාර රොගීන්ට ග්‍රහණි රොගීන්ට ඉතා ගුණ දායක ආහාරයක් වන පොලොස් උණු අලු පල්ලේ දමා කෑමෙන් වඩා ගුණ ලැබෙන බවද කියති. නින්ද නොයන අයට ගුණ දායක පනා මල ද දියවැඩියා රෝගීන්ට හිතවත් වැලි කොස් ඇටද ඉදුණු කොස් කොළයද කොස් මුලද මේ පස්පංගුවට අයත්ය.
        පාලින්ද නුවර යකුපිටියේ පදිංචි කොහිලමුල්ල ආරච්චිගේ විජේරත්න  වෙද මහතා මාලේවන ආයුර්වේද විදුහලේ ආචාර්ය වරයෙකි. එසේම විද්‍යා ගුරුවරයෙකි. සාම්ප්‍රදායික ආයුර්වේද බෙහෙත් භාවිතා කරනවාට වඩා දේශිය ආහාර හා ඖෂධ ගැන වැඩි නැඹුරුවකින් කටයුතු කරන බැවින් කොස් ගහේ පංචාංගය සිය රෝගීන්ට නියම කරන්නෙකි. මේ පංචාංගය අතරන් වැලි කොස් ඇට ගැන හෙතෙම වැඩි මනාපයක් දක්වයි. එයට හේතුව වෛද්‍ය තුමා ගේ නිවස අසල ගැමි ගෙවල් වල මුලුතැන් ගෙයි කොස් ඇට මුල්ලක් නොවරදින හෙයිනි. වැලි කොස් ඇට ගැන ප්‍රසිද්ධ ජන කවියක් මෙසේය.
අහේනියට වැලි මුල්ලේ ලූ සංගා - කෑවිට වාත වේගන පාතින්        රිංගා
කෑ අට වේල උතුරන මුත්තර ගංගා - වේලී යාවී සදහට නොකරන් ඩුංගා
කොස් ඇටය වැලි කොස් ඇටය බවට පරිවර්තනය වීමද ඉන් ඇති වන ඖෂධීය විපර්යාසයද විජේරත්න වෙද මහතා පැහැදිලි කර දුන්නේ මෙසේය.  හොඳට පැසුණු කොස් ගෙඩියේ තිබෙන කොස් ඇටය බරයි. ඒ කියන්නේ දිරවන්න ටිකක් අපහසුයි. නමුත් මේ ඇට වැලි හා මැටි කොටස් සමග එකට එක් කර තබන විට කොස් ඇටය වියළී නොගොස් සෛලීය ස්වශනයකට ලක් වනවා. මේ නිසා පිෂ්ඨය  ශක්තිය   බවට පත් ව කොටසක් ඉවත්ව යනවා. ඒ නිසා බර ආහාරය ලඝු නැත්නම් සැහැල්ලු ආහාරයක් බවට පත් වෙනවා. ඒ සමගම මැටි හා වැලි වල තිබෙන පඨවි භූතය මගින්  ග්‍රාහී ගුණය( වැගිරෙන බව නවතාලන ගුණය ) ඇටයට ඇතුලත් වෙනවා. එයට වෙද මූල ධර්ම වල පදාර්ථ විඥාණයේ දී කියන්නේ සමවාය ගුණය කියලයි. උදැල්ලේ මිට ගොරෝසු නිසයි අතේ කරගැට එන්නේ. ගොරෝසු කම අත්ලට එනවා. එය ස්වභාව ධර්මයේ සංසිද්ධියක් .මේ විදියට වැලි කොස් ඇටයේ සිදු වන ශක්ති විපර්යාසය නිසා ප්‍රමේහ රෝග වලට ඉතා ගුණයි. වැඩියත්ම දියවැඩියා නොහොත් බහුමුත්‍රතාවය නවත්වාලන බව කියවෙනවා. කොස් ඇටයේ තිබෙන පොටෑසියම් ප්‍රමාණය ඉතා අධිකයි. පොස්පරස් හා කැල්සියම්ද යහමින් තිබෙනවා. මේ නිසා නිරෝගීව සිටින්නට වැලි කොස් ඇට හොඳ ආහාරයක්. නමුත් වර්තමානයේ වැලි කොස් ඇට දමන්නේ පොලිතීන් මලුවලයි. ඒ අර සමවාය ගුණය නොදැනයි. පැරණි අය එය දැන සිටියා. මේ නිසා කොස් වාරයට අපතේ නොහැරම කොස් ඇට පිරිවැස්සක වැලි හා පස් සමග දැමීම කාටත් ප්‍රයෝජනවත් වේවි.
         කොස් ඇට වගේම පනා මල්ද බෙහෙතට ගැනේ. නින්ද නොයන රොගීන්ට මේවා ගුණදායකයයි පැවසේ. මෙම කරුණ විජේරත්න වෙද මහතා විග්‍රහ කරන්නේ මෙසේය. පනාමල් කියන්නේ ගෙඩිය එන්නට පළමු හටගන්නා නොපෙනෙන මල් කොටසයි.  මේවා රාත්‍රියට මලවා කෑමෙන් නින්ද නොයන අයට නිදි සුව ලබන්නට හැකිවන බව කියැවෙන්නට හේතු කීපයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නින්ද නොයන අයගේ පිත් කෝප ගතිය වැඩියි. හිත කලබලයි. පිත ඉහළට ගැසීම( උර්ධවගාමී වීම) මේකට හේතුවයි. පනා මල් වල තිබෙන කසට රසය නිසා පිත්ත ශාමක ගුණය අන්තර්ගත වනවා. එහිදී වාතයත් අනුලෝමනය වෙලා පිත ඉහළට යාමට ඉඩ නොදී රෝගියා සන්සුන් කරනවා. මෙය පැරණි ගැමියන් ගේ අත්දුටු ප්‍රතිකාරයක්.       1935 දී   කොස් ගැන පර්යේෂණ වල යෙදුණු බර්කිල් නම් විද්‍යාඥයා මේ ඖෂධ ගුණයන් මැනවින් පෙන්වා දී තිබේ.වෙසෙසින්ම කොස් කොළ කොස් ගහේ මුල් බීජ කොහොල්ලෑ ආදියෙහි ඇති විශේෂතා මේ පර්යේෂණ මගින් හෙළි දරවු කොට තිබේ.1961 වසරේ දී ක්‍රිෂ්ණ මූර්ති  1965 වසරේ දී මෝටන් වැනි විද්‍යාඥයින්ද ප්‍රංශයේ පැවේරෝ නම් විද්වතෙක්ද මේ කොස් ගුණ ගැන මැනවින් දක්වා තිබේ. පැවේරෝ දක්නා විදියට කොස් ඒඩ්ස් රෝගයට මහඟු ඔසුවක් වනවා.
          ආතර වී දියෙස් මහතා කොස් පැළ වැවීමටත් ඒවා රටේ බත් ගස ලෙසට ජනප්‍රිය කරවීමටත් වෙහෙස මහන්සි වූයේ මේ ගුණ පණ පාරම්පරිකව අත්දුටුව නිසයි.මේ ජන කවියේ සඳහන් වන්නේ එම අත් දැකීමයි.
වැස්සට පින්නකට නොතෙමා මනා කොට -පස් යට කර තබා කොස් නැති අවාරෙට
නිස්සට පොල් ගා තම්බා   දවාලට - කොස් ඇට වැනි රසයක් කෝ             හැබෑවට
 මෑතකදී දියෙස් මහතාගේ පුත් නන්ද ඩයස් මහතා සහ කොස් සංවර්ධන පදනම මූලික වී යලිත් පැළ සිටුවීමේ ව්‍යපාරයක් ආම්භකර තිබෙන අතර එහදී එක් අවස්ථාවකදී කල්‍යාණි දිසානායක පාසල් සිසුවිය විසින් මේ කොස් ආහාර හා ජන සමාජය ගැන ඇඳි චිත්‍රයක් ද මෙම ලිපිය සමග පළ කරන්නට යෙදෙනුයේ වර්තමානයේ වුවද ජාතියේ නිරෝගී තාවයට මෙන්ම ආහාර සුරක්ෂිතතාවයටත් කොස් ගහේ අමිල සේවාව අවශ්‍ය නිසයි. වෛද්‍ය විජේරත්න මහතා සම්බන්ධකර ගැනීමට අවශ්‍ය නම් 0718393889  අංකය යොදා ගත යුතු බව අවසාන වශයෙන් සඳහන් කරමි.
                             

Friday, November 2, 2012

ෙමාටිටාගල දාගැබ මටිටමි කිරීම පිටුපස තිෙබන බල ෙවිගය

                                                                                                                                                                                                                 අම්පාර දිස්ත්‍රික්කයේ අලයාඩිවෙම්බු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන මොට්ටයාන් මලේ නොහොත් තට්ටගල නමින් වර්තමානයේ දී හඳුන්වන ස්ථානය අවට විසිරී තිබූ ගඩොල් සමග පවතින පස් කඳු කීපයක් පසුගිය දා ඩෝසර් කරන  ලදහ. ඒ ගල් තලාව අවට හාත්පසම පැතිර පවතින්නේ විශාල වෙල් යායාකි.. මෙහි වගා කරන මුස්ලිම් ගොවියන් පිරිසක් එම ස්ථානයට ඩෝසර්යක් ගෙනවුත් පස් කන්ද සමතලා වන්නට මට්ටම් කොට එහි කුඹුරු ලියැදි කීපයක් තනා තිබේ. ඒ ස්ථානයේ තිබූ තල් ගස් දෙකක් ද ඩෝසරයට අසුවී පැත්තට වැටී තිබෙනු දැකිය හැකිය. ඩෝසර පහරින් බේරුණු සෙල් ලිපිය දිරාපත් වූ ගල් තලා වේ දක්නට ඇත.මෙම විනාශය කරන ලද මුස්ලිම් වරු අත්අඩංගුවට පත් කරන ලද අතර අක්කර පත්තුව පොලීසියේ නිගමනය වූයේ මෙහි දාගැබක් නොතිබුණු බවටයි. නමුත් අක්කර පත්තුවේ පදිංචි සමන් දිසානායක මහතා ඩෝසර් කිරිමට සතියකට පමණ පළමු මෙම ස්ථානයට පැමිණ ගත් ඡායාරූපයක් නිසා පොලිසියට කර ඇරිය නොහැකි විය. ඒ අනුව සිද්දියට අදාලව නඩු පවරන ලද අතර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තාව පැමිණෙන්නටද ප්‍රථම අදාල සැක කරුවන්ට පුරාවිද්‍යා ආඥාපනත අනුව අවම දඩය වූ රුපියල් විසපන්දහසක් නියම කොට නිදහස් කරනු ලැබ ඇත. නමුත් මෙම ඓතිහාසික ස්ථානය තවමත් අනාරක්ෂිතය.                                                                           මොට්ටාගල ට දෙමළ බසින් මොට්ටයකල්ලු කියති. මේ ස්ථානය පිලිබඳව ආචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් අවධානය යොමුකර ඇත. ඒ අනුව එම ගල්තලාව වටේ පවතින කටාරම් කොටූ ගල් ලෙන් රාශියක් ගවේශණයට ලක් කර ලෙන් ලිපි කීපයක් ද පිටපත් කර එම වාර්තාව රජයේ සෙල්ලිපි සංග්‍රහයේ පළකර තිබේ. එම ලිපි කියවූ විට මේ වැකි කීපය හමු වෙයි.               දසභතික රනඣවක නය උපරඣ නග උපරඣ නගහ මරුමකනෙ මහ පසඩිකෙ අභය රඣහපුතෙ ගමණි තිසහ විහරෙ අගත අනගත භිකු සගස නියතෙ (දසබෑ රජුන්ගේ ජාවක නියමු උපරාජ නාගගේ මුණුබුරු මහපසඩික අභය රජුගේ පුත් ගාමිණී තිස්සගේ විහාරය)                                             මෙම ලෙන් ලිපියට අනුව මෙම ස්ථානයේ කාවන්තිස්ස රජු විසින් සෑදවූ විහාරස්ථානයක් පිහිටුවා තිබී ඇති බව පැහැදිළිය. මෙහි දස බෑ රජු න් ගේ ජාවක සම්බන්ධයක් සහ උපරාජ නාග නොහොත් මහා නාග රජුගේ පෙළපත දැක්වීමක්ද ඇත. ඉන්දියාවේ ශාක්‍ය ප්‍රදේශයෙන් ජාවක ප්‍රදේශ වලට රාජ්‍යයන් පිහිටුවීම සඳහා ගිය කුමාරවරුන් ගැන ඉතිහාසයේ තිබෙන්නේ දුර්ලභ විස්තරයක් වුවද මෙම ලිපියෙන් අපට පැහැදිළි වන්නේ  ඔවුන් ලංකාවේ නැගෙනහිර පෙදෙස් වලටද පැමිණ බවයි. ඒ  වන විට නැගෙනහිර නොහොත් දිගා මඩුල්ලේ බලවත්ව සිටි නාග ගෝත්‍රිකයින් නිසා ශාක්‍ය කුමාරවරුන්ද නාග අභිධානය භාවිතා කර තිබෙන බව පැහැදිලිය.  කෙසේ වෙතත් මොට්ටාගල ගමිණි තිස විහාරය දුටු ගැමුණු යුගයේ දී බෙහෙවින්ම ප්‍රචලිත ව තිබූ ස්ථානයක් වශයෙන් හඳුනා ගත හැකිය. ඒ යුගයේ  දී ගල මතු පිට දාගැබ් දෙකක් ඉඳි කර තිබී ඇත.ගල මතු පිටට නගින් පඩි පෙළක් ද ඇත. නිදන් හොරුන් විසින් හාරන ලද එම ස්ථානයන් අදටත් දැකිය හැකිය. එයට අමතරව මොට්ටාගල පර්වතයට සමීප අනෙක් පර්වතයේ ද දාගැබක් පිහිටා ඇත.                                                                                      ඉහතකී ලෙන් ලිපි වලට අමතරව තවත් පර්වත ලපි දෙකක් මොට්ටාගල තිබේ. මේවා මුල් යුගයේ දී පිටපත් කර නැත. නමුත් 1966 වර්ෂයේ  දී එක් ලිපියක් පමණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පිටපත් කර  රැගෙන ගොස් ඇති අතර එය ප්‍රකාශයට පත් කර නොමැත. මෙම ලිපිය අඩි විසි හතරක් දිගැති බවද එය ක්‍රි.වර්ෂයෙන් පළමු සියවසේ ලියැවුණක් බවද දෙපාර්තමේන්තු සතු ලේඛන වල සටහන්ව තිබේ. නමුත් මෙම ලිපියේ ස්පර්ශ ලාංඡනය ලේඛනාගාරයට ගෙන ගොස් තිබෙන බවද දැන ගන්නට ඇත.                                                              අම්පාර දිසාව එදා දිගා මුඩුල්ල යනුවෙන් හැඳින්වුණි. එහි නුදුරුව තිබෙන බෞද්ධ සිද්ධස්ථාන රාශියකි.වසර තිහක් පමණ තිස්සේ ඇදීගිය කොටි ක්‍රස්තවාදී යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රදේශ වල සිටි සිංහලයන් සිය වාසස්ථාන අතහැර අම්පාරට සහ වෙනත් දිස්ත්‍රික්කයන්ට සංක්‍රමණය විය. අක්කර පත්තුවේ පමණක් සිංහල පවුල් දෙසීයක් පමණ එකළ සිය රැකී රක්ෂා කටයුතු කරමින් සිට ඇත. එහි දැනටත් සිංහල පාසලක් වන අතර අක්කර පත්තුව නගර මධ්‍යයේ ඉඳි කර තිබෙන ඔරලෝසු කණුවේ ඉහළ කොටසේ තිබෙන ස්ථූපයෙන් පැහැදිලි වන්නේ මේ ප්‍රදේශයේ බෞද්ධ සංකේතයයි.                                                                                                නැගෙනහිර පළාත වශයෙන් වර්තමානයේ දී හඳුනා ගන්නා මේ ප්‍රදේශය පැරණි දිගාමඩුල්ලයි. ලංකාවේ රාජධානි නිරිත දෙසට සංක්‍රමණය වීමට පටන් ගත් කල්හි මේ පළාත් සියල්ල සංවර්ධනයෙන් ඈත්ව ගියේය. නමුත් යුරෝපීයන් ගේ ආගමනයත් සමගම ත්‍රිකුණාමලය මඩ කලපුව ආදී ස්ථාන වානිජ වශයෙන් වැදගත් වන්නට වූයෙන් රට මැද සිටි රජවරු මෙහි ආරක්ෂා සංවිධාන වරින්වර තර කළහ. සෙනරත් රජුගේ කාලයේ දී ඔහුගේ රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට තිබූ දුෂ්කරතා නිසා නැගෙනහිර පළාත ශක්තිමත්ව තබා ගැනීමේ අවශ්‍යතාවයක්ද මතු විය. විදේශිකයින් නිතරම මේ වෙරළ තීරයෙන් රටට ගොඩ බැස වානිජ ආධිපත්‍ය පවත්වා ගැනීමට මාන බැලීය. සෙනරත් රජුට එරෙහි සිංහල කුමාරවරුද මේ විදේශිකයින් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළහ. මේ අතර පෘතුගීසීන් ගේ තාඩන පීඩන වලට ලක්වූ දකුණු ඉන්දීය මුස්ලිම් වරු සෙනරත් රජුගේ ආරක්ෂාව අයැද සිටියහ. සෙනරත් රජු මොවුන් කෙරෙහි අනුකම්පා කොට අවතැන් වූ පිරිස දිගාමඩුල්ලේ පදිංචි කරන ලද්දේ ඒ ගම් නියම් ගම් වල රාජකාරි පිණිසමය. එහි සිටින සිංහලයින් සමග මිශ්‍ර වන ලෙසටද කියා සිටි බවට කතාවක් ඇත.               අවසාන වශයෙන් මේ දිගාමුඩුල්ල සංවර්ධනය වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අතිනි. එතුමා දීඝවාපී විහාරයට වී බිජු අමුණු දහසක පමණ  ඉඩම් පූජා කර ගල් සන්නසක් පිහිටවූ අතර දැනට දක්නට ඇත්තේ එහි පිටපතක් පමණි.  කෙසේ වෙතත් ඉංග්‍රීසි පාලන සමය වන විට මේ ප්‍රදේශයේ සිංහල ජනගහනය ක්‍රමයෙන් අඩු වන්නට විය. මේ පළාතේ දෙමළ පාසල් පිහිටුවීම නිසා සිංහල ජනතාවද වැදි ජන වර්ගයන්ද ද්‍රවිඩ බස සිය මව් බස කර ගත්හ.මුස්ලිම් වරුන් ගෙන් වැඩි පිරිසක් දකුණු ඉන්දියාවෙන් පැමිණි බැවින් වානිජ භාෂාව වශයෙන් ද බලවත් වූයේ ද්‍රවිඩ භාෂාවයි. මේ අතර ඉංග්‍රීසීන් ගේ සේවාවන්ටද එකතු වූ මුස්ලිම් වරු ධන බලයෙන් හා රාජකාරි බලයෙන් ද ශක්තිමත් වූහ.                                                                                                            1916 වසරේ දී පූජ්‍ය කොහුකුඹුරේ රේවත ස්වාමින් වහණ්සේ විසින් දීඝවාපී චෛත්‍ය රාජයානන්වහණ්සේ නැවත සොයා ගන්නා කල්හි එය ඝන කැලෑවෙන් වටව තිබූ ගඩොල් ගොඩක් පමණක් වී තිබුණි. විසිවන සියවස මුල් භාගයේ දී වාරිමාර්ග කටයුතු සඳහා බඳවා ගත් මුස්ලිම් වරු මේ දාගැබේ ගර්භය බිඳ එහි තිබෙන ගඩොල් ද කලුගල් ද ගලවා ගෙන ගල් අමුණු  ඉඳි කරලීමට කටයුතු කරමින් සිටියහ. මඩකලපුවේ දිසාපතිවරයාව සිටි ඇලන්සන් බේලි මහතාගේ අනුදැනුම ඇතිව මෙසේ දීඝවාපී චෛත්‍ය විනාශ කරමින් සිටි මුස්ලිම් කම්කරුවන් පළවා හැර එම ස්ථානයේ  ගසක අත්තක් උඩ නවාතැන් ගත් රේවත හිමියන් ඉතා දුෂ්කර ලෙසට දිවි ගෙවමින් පැරණි බෞද්ධ උරුමය සුරක්ෂිත කරන්නට වෙහෙසුනේය. දීඝවාපී චෛත්‍ය වටා ඉඩම් වල හේන් ගොවිතැන් කරමින් සිටි මුස්ලිම් වරුන්ට එරෙහිව කටයුතු කළ උන් වහණ්සේ නඩු කියා ඔවුන් එතැනනි ඉවත් කළහ. සෙනරත් රජු විසින් දාහත් වන් සියවසේ පදිංචි කරන ලද මේ මුස්ලිම් වරු ඉන්පසු රේවත හිමියන් හා වෛර බැඳ ගත්හ.කොළඹ දුම්රිය සමිතියේ අනුග්‍රහයෙන් මෙහි ආවාස ගෙයක් තනවා ගෙවදී ඇත්තේ 1933 වසරේ දීය.                                      1950 ඔක්තොබර් 3 වන දින  උදෑසන රේවත හිමියන් පැන් පහසුව පිණිස ළිඳ අසලට යන විට ඒ අසල කැළයේ සැඟව සිටි ඉස්මයිල් නම් මුස්ලිම් වරයා විසින් තබන ලද වෙඩි පහරින් උන්වහණ්සේ  ජීවිතක්ෂට පත් විය.පසුගිය කාලයේදී අශ්රොෆ් ඇමති වරයාගේ අනුදැනුම ඇතිව දීඝවාපී පෙදෙසේ විහාරකාඩුවේ චෛත්‍යයක්ද ඩෝසර් කරලීමෙන් රටපුරා මහත් ආන්දොලනයක් ඇති විය. මෙයින් ඇති වූ බෞද්ධ ප්‍රබෝධය නිසා දීඝවාපී විහාරයට අක්කර පන්සීයක් පමණ වෙන්කර එය සංවර්ධනය කරලීමට රජයට සිදු විය.නමුත් මේ පළාතේ කිසිම ඓතිහාසික ස්ථානයක් සුරක්ෂිතව නොමැත. වරන් වර ඒවා නෙයෙක් අරමුණු උදෙසා විනාශ කරන ලබයි. මොට්ටාගල නොහොත් ගමිණි තිස විහාරය ද එසේමය. එම විහාරස්ථානය සතුව තිබූ ඉඩම් තවමත් පුරා වස්තු ආඥාපණත යටතේ ගැසට් නොකර සිටීමෙන්ද නිදන් හාරන්නන්ට හා මුස්ලිම් වර්ගවාදයට ඉඩහසර ලබා දී ඇත.                                                                                                 දීඝවාපී චෛත්‍යට පළන්දන ලද ධජයක්  සුළඟේ ගසා ගෙන ගොස් කුඹුරක වැටී තිබියදී   පොරෝණයක් ලෙසට පරිහරණය කිරීමේ පාපයෙන් ප්‍රේතයෙක් ලෙසට  ඉපදුණු කෙළෙඹි පුත්‍රයෙකු ගැන බණ කතා සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ඒ ප්‍රේතයාට සුගතිය අත් කර දීමට හැකි වූයේ පතාක දහසක් දීඝවාපී චෛත්‍යට පූජා කරලීමෙනි. මේ ආකාරයට ප්‍රේත ආත්ම භාවයන් හා භූත ආත්ම  භාවයන් ලබා ගෙන දුක් විඳින ලක්ෂ ගණනක් පිරිසක් මේ නැගෙනහිර ප්‍රදේශ වල වෙසෙන බව අපට දැන ගණ්නට ලැබුණේ භාවනා යොගීන් ගෙනි. වෙසෙසින්ම මුස්ලිම් වරු කලක් තිස්සේ මේ ඓතිහාසික තැන් විනාශ කරමින් හැසිරීමේ ප්‍රති විපාක වශයෙන් එසේ දුගතියෙහි ඉපද මේ පෙදෙස් වල පින්කම් කරලීමට පැමිණෙන්නන්ට කරදර පමුණු වමින් සිටින බව ද දැන ගන්නට ලැබුණි. කොහු කුඹුරේ රේවත මාහිහියන් වහණ්සේ ජීවිතක්ෂයට පත් කළ පුද්ගලයාටද අත්ව ඇත්තේ එම ඉරණමයි. ඔවුහු වෛර බැඳ ගෙන තවමත් මේ ස්ථාන ගැන ලෝභයෙන් සිටිති. ඒ නිසා අප නිරන්තරයෙන්ම මේ ස්ථාන වලට පැමිණ පුද පූජා පවත්වා දුගතියට පත් ආත්මයනට පින් පමුණුවා මේ වෛරයන් සන්සිඳ වීම කළ යුතු බව අපට දැන ගන්නට ලැබුණි. මොට්ටාගල ද දැනට විහාරයක් නැති බැවින් එතැන විහාරයක් අභිනවයෙන් තනවා හෝ ඒ ස්ථාන වලට සෙත් ශාන්තිය අත්කර ගත හැකි පින්කම් කළ යුතු බවට අවසාන වශයෙන් සඳහන් කරමි.   එසේ නොමැති වුවහොත් මේ ප්‍ර දේශ වල බෞද්ධ උරුමය නැවත ස්ථාපිත කරලීමේ කටයුත්ත බෙහෙවින්ම දුෂ්කර වනවා නිසැකය.