පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, March 30, 2017

යුධ අපරාධ කුමන්ත්‍රණය කිනම් සැලසුමක්ද

                                     

                   ලංකා රාජ්‍යයේ දේශපාලනය අද ඉතාමත් බැරෑරුම් තත්ත්වකට පත්ව ඇත. සිංහල දේශපාලකයන් සියල්ල දෙමළ ජනතාවගේ අත පල්ලනේ වැටීමත් ඔවුන්ගේ දෙමළ නිජ භූමිය පිළිගැනීමත් නිසා ඉන්දීය පදයට නැටවෙන රූකඩ බවට පත් වී තිබේ. මාරුවෙන් මාරුවට බලය ලබා ගනිමින් දෙමළ අභිලාෂයන් සංතර්පණය කරදීම ලංකා දේශපාලනයේ පිළිවෙත වට පත්ව ඇත. 1951 වර්ෂයේ දී අපගේ රාජකීය කොඩියට පටි දෙකක් ගසා බෙදුම්වාදය ආරම්භ කළ බව කවුරුත් අමතක කර තිබේ. දිගින් දිගටම සිදු වූ මේ බෙදීම් හමුවේ සිංහලයන්ට ඇති අධිකාරි බලය අහිමි කිරීමේ කුමන්ත්‍රණය යථාර්තයක් බවට පත් කරමින් ඇත. ඊට එක් හේතුවක් වන්නේ නව යටත් විජිත වාදය විසින් ලංකාව සිය අභිමතාර්ථ සාධනයයෙහි යොදා ගැනීමයි. ඉන්දීය සාගරයේ වැදගත් සථානයක් වන ලංකාව තුළ ඇමරිකන් ගැති පාලනයක් තිබීම ඔවුන්ට වාසි සහගතය.ඉන්දියාව සිය බල ව්‍යාප්තිය තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා ලංකාවේ සවාධීනත්වයට ඉඩ තබන්නේ නැත. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ සියළුම රාජ්‍ය නායකයන් මතවාදීව ඔවුන් ඉදිරියේ දණ නැමීමයි.
        මහින්ද රාජපක්ෂ රජය ජන කැමැත්තෙන් පෙරළා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත් වන්නේ මෙකී විදේශීය හාම්පුතුන්ගේ අභිලාශයන් යථාවත් කරලීමටයි. රනිල් වික්‍රමසිංහ මහතා කවදත් බෙදුම්වාදයට පක්ෂය. ඊට හේතුව ඔහුගේ සන්තානයේ ඇති බටහිර ගැති බවයි. තමන්ගේ සවාමීවරුන් වන ඉංග්‍රීසීන්  ඉදිරියේ ඉංග්‍රිසි කාරයෙකු ලෙසට පෙනී සිටිමින් ලංකාව ඔවුන්ගේ වෙළදපළක් බවට පත් කිරීම සඳහාද දෙවනුව තම බල පරාසය ආරක්ෂා කර ගැනීමට ඉන්දීය වුවමනාවන් සඳහා  පෙනී සිටීමද දැක්විය හැකිය.කොටි ත්‍රස්තවාදය ඉදිරියේ දණින් වැටුණු රනිල් වික්‍රමසිංහ නොර්වේ සාම නියෝජියන් ගේ ඉල්ලීම පිට අභ්‍යන්තර ස්වයං පාලනයක් සඳහා ප්‍රභාකරන් සමග සාම ගිවිසුමක්ද අත්සන් කලේය. නමුත් වැඩි කලක් යන්නට මත්තෙන් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිඳවැටුණෙන් මහින්ද රාජපක්ෂ රජය විසින් කොටි ත්‍රස්තවාදය අවසන් වශයෙන්ම පරාජය කරනු ලැබිණි. මේ යුද්ධය ආරම්භ වූ කාලවකවානුවේදී රනිල් වික්‍රමසිංහයන්  එවකට සිටි ඇමරිකන් තානාපති රොබට් ඕ  බ්ලෙක් සහ තවත් තානාපතිවරුන් හමුවේ රටට එරෙහි ප්‍රකාශ රාශියක්ම කර ඇත. මේවා රහස් වාර්තා ලෙසට කේබල් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පිටත් කර ඇති බව එම විකිලිස් වෙබ් අඩවි වල සඳහන්ව ඇත. රනිල් වික්‍රමසිංහ මහතා යුද්ධය ගැන කියූ කේලමක් ඒ ආකාරයෙන්ම විකිලීස් වෙබ් අඩවියේ ඇතුලත් කර තිබේ. මෙම ප්‍රකාශනයෙන් කියවෙන්නේ යුද්ධමය විසඳුමක් ඉදිරිපත් වුවහොත්  40000 ක් පමණ අතිරේක වශයෙන් මිය යා හැකි බවයි. wickremesinghe predicted that the government would pursue a military solution in the north. He estimated that fighting could cause as many as 40,000 additional deaths and large numbers of new internally displaced persons.( 2008-01-14 ) මේ ප්‍රකාශය යථාර්ථයක් බවට ගෙන  ශ්‍රීලංකාවට එරෙහි යුධ අපරාධ ගොනු කර ඇති  ආකාරය වර්තමානයේදී අපට පැහැදිලි වේ.2015 ජිනීවා මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමති මංගල සමරවීර මානව හිමිකම් කොමසාරිස් ගේ වාර්තාවට සම අනුග්‍රහය දක්වමින් එකඟත්වය පළ කර සිටින්නේ 2008 වැනි කාලයක සිට ඇති කරගත් තත්ත්වයන් පදනම් කරගෙනයි.ත්‍රස්තවාදයෙන් රට බේරා ගත් රණ විරුවන් හට බොරු චෝදනා ගොනුකරමින් සිරගත කිරීමද මෙහි එක් ක්‍රියාදාමයකි.ඉදිරියේදී විදෙස් විනිසුරුවන් ඉදිරියේ අපගේ රණවිරුවන්ගේ ඉරණම විසඳෙන්නේද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ පාවා දීම හේතුවෙනි.
      මෙම වාර්තාවට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා වරින් වර විදේශ තානාපති නිළධාරීන් අභිමුවෙහිදී රටට එරෙහිව කළ ප්‍රකාශ රාශියක් මේ වෙබ් අඩවි වල සටහන්ව තිබේ. ඉන් එකක් නම් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරලීමට එක්සත් ජාතික පක්ෂය සහාය දෙන බවයි. මේ ප්‍රකාශන නිකුත් වන්නේ 2007 -2008 වසර ඇතුළතදීය. රටට සිංහල ජනතාවට එරෙහි ක්‍රමන්ත්‍රණය දියත් කිරීමට කෙතරම් කාලයක සිට ඔහු වලිකෑවේද යන්න මෙයින් තේරුම් ගත හැකිය.වර්තමානය වන විට ඔහු බලයට පත් වී තමන් විසින් ඇමරිකානු බලධාරීන් ඉදිරියේ පොරෙන්දු වූ සියළුම දේ ක්‍රියාත්මක කරලීම ආරම්භ කර ඇත. අතුරුදහන් වූවන් සඳහා කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ පණත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ ඇස්වසා සම්මත කරගන්නා ලද්දේ මේ න්‍යාය පත්‍රය සම්පූර්ණ කරලීමේ අදියරක් වශයෙනි.අග්‍රාමාත්‍ය කාර්යාලය මූලික කරගෙන පාක්‍ය සෝති සරවණමුත්තු මහතා ලේකම් වශයෙන් පත්කොට සංහිඳියා බලකායක් පිහිටුවන ලද්දේ මෙයට අවශ්‍ය මතවාදී වාර්තාව සකස් කරලීමටයි. සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකායේ අවසන් වාර්තාව යනුවෙන් දැන් එය නිකුත්ව ඇත.(2016 නොවැම්බර් )එහි විසිතුන් වන  විසිහතරවන සහ විසිපස්වන නිර්දේශ බලන්න.
        (23) ස්වාධීනත්වය හැකියාව ප්‍රවීණත්වය හා විනිවදභාවය සඳහා වන අවශයතාවය ජාත්‍යන්තර විනිශ්චයකරුවන් අභිචෝදකයන් විමර්ශකයන් හා අධිකරණ යාන්ත්‍රණයේ අනෙකුත් කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවය තහවුරු කරයි. උතුරේ හා දකුණේ දෙමල ජාතිකයන්ගේ ඉතා විශාල බහුතරයක් ජාත්‍යන්තර මැදිහත්වීමක් ඉල්ලා සිටින අතරම මෙම යාන්ත්‍රණය තුළ දෙමල භාෂාව කතා කරන පුද්ගලයන් පැවැතීමේ වැදගත්කමද අවධාරණය කරයි. මෙම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවේ බහුජන හා බහු ආගම් ස්වභාවය පූර්ණ වශයෙන් දරන්නේ නම් ඒ පිළිබඳ විශිවාසය තහවුරු වන බවට කෙරෙන තර්කයත් සමග මෙම හයිබ්‍රිඩ් මාදිළිය නිසැක ලෙස එමෙන්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තවත් ශක්තිමත් කෙරෙයි.(24) ප්‍රවිචාරන කාර්ය සාධක බලකාය විසින් නිර්දෙශ කරනුයේ දේශීය විනිශ්චයකරුවන් බහුතරයක් හා ප්‍රමාණවත් තරමේ ජාත්‍යන්තර විනිශ්චයකරුවන් ප්‍රමාණයකින් යුක්ත හයිබ්‍රිඩ් අධිකරණයකි.(25 ) අධිකරණ යාන්ත්‍රණයේ ප්‍රධානතම අධිකරණ කටයුත්ත වන්නේ යුධ අපරාධ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හා ජාත්‍යන්තර ව්‍යවහාර නීතිය උල්ලංඝනය අභිචෝදනය කිරීමයි. වධදීම ලිංගික ප්‍රඩන්ඩත්වය ඝාතන රොහල් වලට බෝම්බ දැමීම ඖෂධ හා ආහාර සැපයීම ප්‍රතික්ෂේප කිරීම වැනි සිතා මතාම සිවිල් ජනතාව ඉලක්ක කිරීම තහනම් ආයුධ භාවිතා කිරීම හමුදාමය ක්‍රියාකරුවන්ට භාරවූ පුද්ගලයන් අතුරුදහන් වීම බලහත්කාරයෙන් සිවිල් වැසියන් පළවා හැරීම හා දරුවන් බලහත්කාරයෙන් බඳවා ගැනීම යනාදිය විමර්ශනයට  ලක් කළ යුතු නිශ්චිත අපරාධ ගෙස කමිටුව වෙත කෙරුණු ඉදිරිපත් කිරීම්වල විශේෂයෙන් සඳහන්ව තිබිණ.
         සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම සහන සම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කිරීම සහ විදෙස් විනිසුරුවන් යටතේ අධිකරණයක් පිහිටුවීම යන කාරණා වලට 2015 වසරේදී රනිල් ආණ්ඩුව පොරොන්දුව සිට ඇති බව සංහිඳියා කාර්යසාධක බලකාය විසින් නිකුත් කර ඇති පත්‍රිකා වලද සඳහන් වෙයි.පාක්‍යසෝති සරවන මුත්තු ගේ ප්‍රධානත්වයෙන් ඇති විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් අච්චු ගස්සන සාම විමර්ශී නම් සඟරාවේ ද මේ බව පැහැදිලිව සටහන් වේ.පසුගියදා ජිනීවාවලදී මේ කණ්ඩායම් දෙමළ බෙදුම්වාදී මතයට සමගාමීව යන රජයේ මතයද නිල මතයක් විලස ප්‍රකාශ කරනු දක්නට ලැබුණි. රජයේ සංහිඳියා බලකා ප්‍රධානියෙකු ජිනීවා නියෝජනය කිරීමෙන් එම චිත්‍රය ජාත්‍යන්තර ප්‍රජාවට තහවුරු කෙරිණ. එහෙත් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙම මත ඛණ්ඩනයට ගත් උත්සාහය තුළින් රජයේ නිරුවත ඉස්මතුව කැපී පෙනුණි.
    රජය නව ව්‍යවස්ථාවක් පිළිබඳව දක්වන සැලකිල්ලද මෙලෙස දුන් පොරොන්දුවකි.ජනමත විචාරණයකින් තොරව දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමෙන් දෙමළ නායකයන්ගේ මනදොළ සපුරාලිය හැකියයි සිතනවා විය හැකිය.දැනටමත් උතුර සහ නැගෙනහිර ප්‍ර දේශ වල හමුදා කඳවුරු ඉවත් කිරීම උතුරු ඵලාත් සභාවට ස්වාධීනව ක්‍රියාකරලීමට ඉඩ දීම වැනි කටයුතු සිදු වේ.එය ෆෙඩරල් රාජ්‍යයක් පවතින බවට ජනතාවට සහ ලෝකයාට කියා පෑමකි.මේ අතර යුධ අපරාධ සූදුව භාවිත කරමින් ජන මනස ව්‍යාකූල කරමින් මේ පියවර තබන්නේ බෙදුම්වාදයේ නව න්‍යාය පත්‍රයකට දැයි විමසිලිමත් වීම වත්මන් ජාතික ව්‍යාපාරයේ වගකීමයි.





Friday, March 17, 2017

රට බෙදීමට විලිලෑම සහ ඊළම සීසර් කිරීම

                                       
           සිංහලද්වීපය නොහොත් උඩරට ගිවිසුමේ සඳහන් සිංහලේ ට එල්ලවූ විදේශ ආක්‍රමණ ඉතිහාසය පුරාම නිමක් නැතිය. වරෙක මේ ආක්‍රමණිකයන් රට අල්වා ගත්හ.තමන්ට රිසි පරිදි පාලන පහසුවට බෙදා වෙන්කර ගත්හ. යුරෝපීයන්  පෙරදිගට පැමිණීමත් සමගම මේ ආක්‍රමණය නව ස්වරූපයකින් බලවත් විය. මේ නිසා සිංහල රජවරුන්ටද ඇතැම් විට සිදු වූ යේ උඩරට පහතරට වශයෙන් බෙදාගෙන පාලනය කර ගැනීමටයි. නමුත් මේ සෑම අවස්ථාවකදීම බෙදුම්වාදය පරාජයට පත් කරමින් නැවතත් රට එක් සේසත් විය. එහි අදහස නම් එක් රජෙකු යටතේ එක් ධජයක් යටතේ රට පාලනයට පසුබිම් සැකසීමයි.මෙම සිංහලද්වීපය ගිවිසුමකින් බ්‍රිතාන්‍ය රජුට පවරා දීමේ ඓතිහාසික වැරැද්ද සිංහල රදළ වරුන් නොකළා නම් අදත් එක සේසත් රටක් අපට හිමි වන්නට ඉඩ තිබුණි. කෙසේ වෙතත් ගිවිසුමකින් රට පවරා ගත් ඉංග්‍රීසීහු රට පළාත් පහකටද අනතුරුව නවයකටද බෙදා ජාතිය බේද භින්න කිරීම ආරම්භ  කරනු ලැබිණ. එතෙක් පැවති රුහුණු මායා පිහිටි තුන් සිංහලය කැබලි කිරීම ආරම්භ වූයේ එලෙසයි.ලංකාවට සංක්‍රමණිකයන් සහ වහලුන් වූ මලබාර් දෙමළ ජන වර්ගය උතුරේ ස්ථීරව පැලපදියම් කර ඔවුන් හට විශේෂ අධ්‍යාපන අවස්ථා හිමිකර දී සිංහලයන්ට එරෙහිව පෙළ ගස්වන ලද්දේ මෙ කියන ලද ඉංග්‍රීසීන් ගේ වුවමනාව පිටයි.
       පාලන ප්‍රතිසංස්කරණ සඳහා ඉංග්‍රීසීන් අනුදත්  ගමනේ අවස්ථා කීපයකදීම සිංහල ජන ප්‍රධානීන්ට අවස්ථාව නොදී දෙමළ සහ මුස්ලිම් ආගන්තුකයන්ට මුල් තැන් දීම නිසා රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේදීම ඔවුහු පණහට පණහ ඉල්ලූහ. 1976 වඩුගොඩ දෙමළ සම්මේලනයේ දී සම්මත කර ගත් අදහස් අනුව මේ දෙමළ ජන ප්‍රධානීහු වෙනම ස්වයං පාලන ඒකකයක් ඉල්ලීමට තරම් සාහසික වූහ. මේ බෙදුම්වාදී ස්ථාවරය ඉන්දීය රජයේ ද අනුග්‍රහය ඇතිව ශක්තිමත් කරලීම පිණිස 1985 දී තිම්පු වලදීද 1987 දී නව දිල්ලියේ හා කොළඹදීද 1989 දී නැවත කොළඹදීද 1994 1995 කාලයේදී යාපනයේදීද 2002 -2003 කලයේදී ලෝකයේ විවිධ රටවලදීද කරන ලද සාකච්ඡා මගින් ස්ථීර කර ගෙන ඇත. නමුත් මේ සමග ඇතිවූ කොටි ත්‍රස්තවාදයද ඊළාම් මතවාදයද සුන්නත් දූවිලි කරමින් නන්දිකඩාල් කලපුවේ දී බෙදුම්වාදය සන්නද්ධ වශයෙන් පරාජය කරන ලදී.
         පෙර සඳහන් කළ පරිදි බෙදුම්වාදයට විලිලෑම මෙන්ම ඊළම නමැති ස්වයංපාලන ඒකකය එළියට ගැනීම වරින් වර හදිසියේ කරන්නට උත්සාහ කළ හැටි අපට හොඳ හැටි මතකය. මේ උත්සාහයන් ගෙන ඇත්තේ එකම කල්ලියක කීප දෙනෙකි. දෙමළ මතවාදය ශක්තිමත් කළ ලෝකයේ විවිධ රටවල සිටින දෙමළ ඊළාම් වාදීන් ඔවුන්ගෙන් කප්පම් ලබන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මෙන්ම ලංකාවේ සිටින ලිබරල් සහ මාක්ස්වාදී මතධාරීන් මෙලෙස විවිධ අවස්ථාවලදී ඊළම නමැති අවජාතක දරුවා බිහිකරන්නට උත්සාහ ගත්හ. 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව 2005 වසරේදී සිටි ආණ්ඩුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් පිහිටුවා මේ අවජාතක දරුවා බිහිකරන්නට වෑයම් ගනු පෙනුණි. 2005 මැයි 04 දින ඒ සම්බන්ධව පැවති  විවාදයේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දැක්වූ අදහස් මෙහි බහාලීම සුදුසු යැයි සිතේ.
        ගරු කතානායක තුමනි අද අපේ ඉතිහාසය තීරණාත්මක සන්ධිස්ථානයකට පිවිස ඇත. පසුගිය එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවද වත්මන් සන්ධාන ආණ්ඩුවද ගෙවී ගිය තුන් වසරක කාලය තුළ විටින් විට  කලේ කොටි ත්‍රස්තවාදීන්ට නිල නොලත් පාලනයක් ලබා දීමේ උත්සාහයයි. දැන්  නැවත වතාවක් එය කරළියට පැමිණ ඇත. පසුගිය ආණ්ඩුව කොටින්ට රට පාවා දුන්නායි කියමින් රට බේරා ගනු වස් ජනතාව ගෙන් වරමක් ගෙන බලයට පත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින්ම මේ මහා පාවා දීම කිරීමට කැස කැවීම ගැන අප මවිත වන්නේ නැත. මන්ද ජාතික හෙළ උරුමයෙන් අපි මැතිවරණට පිවිසුණේ මේ තත්ත්වය වැලැක්වීමට වන නිසාය. කොටි සමග ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ සාකච්ඡාවක් පවතීදැයි අප විසින් මේ සභාවේදී ප්‍රශ්ණ කළ විට නිදහස් සන්ධාන ආණ්ඩුවේ ප්‍රකාශකයා ඒ ප්‍රශ්ණය මග හැර ගියද අද වෙනතුරුත් මේ ජනතා නියෝජිත සභාව හෝ අඩු තරමින් රටේ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය හෝ එකී යෝජනා නොදනී. ජාතික මට්ටමේ කූඨ මණ්ඩලයක්ද ප්‍රාදේශීය පාලන මණ්ඩලයක්ද දිස්ත්‍රික් සභා වලින්ද විශේෂ අරමුදලකින්ද එය සමන්විත වන බව වාර්තා වී ඇත. වගකිව යුතු කිසිවෙක් ප්‍රතික්ෂේප කර නැති නිසා ඒවා සත්‍යයක් ලෙසට භාර ගැනීමට අපට සිදු විණ. වසර 2002 පෙබරවාරි 22 දා එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රස්තවාදියෙකු වූ ප්‍රභාකරන් සමග ඊනියා සටන් විරාම ගිවිසුමකට එළඹුණ අතර ඉන්පසු සාක්ච්ඡා වාර ගණනාවක් පවත්වන ලදී. 2003 මැයි 21 දාතමින් එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ වහතා උතුර හා නැගෙනහිර අන්තර්වාර පාලනයක් සඳහා කූඨ මණ්ඩලයක් යෝජනා කර ඇත. එමෙන්ම එම කාලයේදී විවිධ යෝජනාවන් ද සාකච්ඡා වට ගන්නා ලදුව සුනාමියට මුවාවී මේ යෝජනා කර ඇත්තේද එදා අන්තර් වාර පාලනය සඳහා රහස් සාකච්චා කළ යෝජනාවල සාරාංශයයි. එහෙයින් ඒකාබද්ධ යාන්ත්‍රණය හා සුනාමිය අතර ඇත්තේ කොටින්ගේ අන්තර් පාලනයට සුනාමිය කඩතුරාවක් කර ගැනීම පමණකි.
       අප රටේ ඉහළම නීතිය ව්‍යස්ථාදායකයයි. මේ රටේ ව්‍යවස්ථාවේ 157 වන වගන්තිය අනුව බෙදුම්වාදී සංවිධාන සමග කරන ගනුදෙනු ව්‍යවස්ථා විරෝධීය. 148 වන වගන්තිය අනුව පාර්ලිමේන්තුව රාජ්‍ය මූල්‍ය පාලනයේ මූලික ආයතනයයි. 76 වන වගන්තිය අනුව පාර්ලිමේන්තුව හැර වෙනත් ආයතන වලට නීති තැනීමටද නොහැකිය. උතුර හා නැගෙනහිරට යෝජිත ඒකාබද්ධ යාන්ත්‍රණයෙන් මේ සියළු වගන්ති උල්ලංඝණය වනවා නොවේද  මෙයින් ලබා දෙන නරක පූර්වාදර්ශය නම් රටේ ව්‍යවස්ථාව නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය ත්‍රස්තවාදයට යට කිරීමට රටේ පාලකයන් සූදානම් බව නොවේද.1994 -1995 කාලය තුළ ජනාධිපතිවරියගේ සාකච්ඡා නිසා මිය ගිය අයද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සාකච්ඡා නිසා මරාගෙන මැරෙන ගුවන් යානාද කොපමණ ලබා දී ඇතිද. හැමදාම ඒ ද්‍රෝහී ක්‍රියා නිසා වන්දි ගෙව්වේ අපගේ ආරක්ෂක හමුදා සහ අහිංසක දෙමළ ජනතාවයි.එමෙන්ම කොටි සංවිධානය සමග ඒකාබද්ධ යාන්ත්‍රණයකට එන්නැයි අපට බල කෙරෙන එක්සත් ජනපදයයෙන් අප විමසා සිටින්නේ ඉරාකයේ ආණ්ඩුව අල් සර්කාවි එකතු කර නොගන්නේ මන්ද කියාය. එක්සත් යුරොපයෙන් අප විමසා සිටින්නේ අෆ්ඝනිස්ථානය ආණ්ඩුව මුල්ලා ඕමාර් සහ තලේබාන්වරු සමග සාකච්ඡා වලට නොයන්නේ මන්ද කියාය. බටහිර දෙබඩි පිළිවෙත දැන් ලොවට ඉතා පැහැදිලිය.
    ගරු කතානායක තුමනි. උතුර සහ නැගෙනහිර එක පාලන ප්‍රදේශයක් ලෙස මෙකී යෝජනාවෙන් පිළිගෙන ඇත. දෙමළ බහුතර නියෝජනයක් ලබා දීමෙන් හා එහි නියෝජනය තනිව කොටි ත්‍රස්තවාදයට ලබා දීමෙන් උතුර නැනෙහිර යනු දෙමළ නිජබිමයි. එහි දෙමළ ජාතිය පමණක් ජීවත් වේ. දෙමළ ජාතියේ සෘජු නියෝජනය කොටි සංවිධානයයි. ඔවුන්ගේ එකම නායකයා ප්‍රභාකරන්ය.යන සියළුම මිත්‍යාවන් නිල වශයෙන් පිළි ගැනීම සිදු කර ඇත.
          පූජ්‍ය අතුරලියේ රතන හිමියන් 2005 මැයි මස 03 දින පැවැත්වූ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන කෙටුම්පත සාකච්ඡා වේදීද ඉතා වැදගත් අදහස් කීපයක් ප්‍රකාශ කර ඇත. ඒවා මෙසේය. සරත් අඹේපිටිය මහතාගේ ඝාතනය තුළින් මේ රටේ පාතාල ලෝකයේ මැරවරයන් ඒ වාගෙම යම් යම් දේශපාලකයන් සහ සම්බන්ධව කටයුතු කරන බවට දැවැන්ත අනාවරණයක් සිද්දවුණා. ඒ කටයුතු තව දුරටත් අධිකරණය තුළ සාකච්ඡා වෙමින් යන කාරණා. මෙන්න මේ තත්ත්වය හමුවේ තමයි මෙවැනි විශේෂ විධිවිධාන පණතක් ගෙන එන්නට ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ. නීතිය කියන්නේ යම්කිසි සම්මුතියක් බව මුලින්ම කියන්න කැමතියි. ඒ සම්මුතීන් ඇති කර ගන්න ප්‍රධාන වන්නේ ව්‍යවස්ථාදායකය නොහොත් පාර්ලිමේන්තුවයි. මේ පාර්ලිමේන්තුවේ නීති කෙටුම්පත් සකස් කර ගැනීමේදී එය සම්මත කර ගැනීමෙදී යම් කිසි ක්‍රියා පටිපාටියක් පිළිවෙතක් තිබෙනවා. විශේෂයෙන් මහජන නොසන්සුන්තාවයක් ඇති කරන බරපතල අපරාධ සම්බන්ධයෙන් පැය 24 ක් රඳවා තබා ගැනීමේ කාලය පැය 48 දක්වා වැඩි කරන්න මේ පණත් කෙටුම්පත් තුළින් යොජනා කර තිබෙනවා.අවුරුදු තිහකට අධික කාලයක් තිස්සේ මේ රටේ බරපතල ත්‍රස්තවාදී යුද්දයක් තිබෙන බව කවුරුත් පිලිගන්න කාරණයක්. මරාගෙන මැරෙන බොම්බ කරුවන් සිටින පොතේ නොලියපු තමන්ගේ සිතට එන දේ කරන ත්‍රස්තවාදී කණ්ඩායමක් අප රටේ ජීවත් වන බව ඇත්තක්. ඒ වගේම මේ රටේ ලොකුම පුස්තකාලය තිබුණු  රටේ ප්‍රධානතම ආයතන වූ මහ බැංකුව ඒකේ ආසියාවේ වැදගත් තොරතුර තිබුණා.ඒ ත්‍රස්තවාදී නායකයා සිය දිවි නසා ගන්න බෝම්බ කරුවන් මගින් බෝම්බ තබා විනාශ කළා. එහිදී ජීවිත ගණනාවක් විනාශ වුණා. ඊට පසුව ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූවා. ඒ පර්යේෂණ ඉතා වැදගත්. මේ බෝම්බ කරුවාගේ සයනයිඩ් කරල පළදාපු පුද්ගලයාගේ ඇඟිලි සළකුණු තිබුණු බව ඉතා වැදගත් රස පරීක්ෂණ වාර්තාවෙන් හෙළිදරව් වුණා.ඒ අනුව ඒ සයනයිඩ් කරල තමයි අපට ඉතා වැදගත් සාධකය බවට පත් වුණේ. එනම් ඒ සයනයිඩ් කරලේ වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ ඇඟිලි සළකුණු තිබුණා. ඒ අනුව තමයි මේ පුද්ගලයා වසර 200 කට සිර දඬුවමට ලක් කරන්න කොළඹ මහාධිකරණය තීරණය කලේ. ඒ නඩු තීන්දුව දුන් විනිශ්චකාර තුමා තමයි. සරත් අඹෙපිටිය මහතා.
                සැබවින්ම ප්‍රභාකරන් පිළිබඳ අවසාන තීන්දුව ගනු ලැබූවේ නන්දිකඩාල් කලපුවේදීය. ඔහු ඇතුළු ත්‍රස්වාදී ක්‍රියා කළ කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබිණ.ඒකාබද්ධ යාන්ත්‍රණය ගෙනා මහින්ද රාජපක්ෂ මහතා ගේ නායකත්වය යටතේම මේ තීන්දුව ගනු ලැබූ බවද සිහිපත් කළ යුතුය.එදා දෙමළ බෙදුම්වාදයට එරෙහිව පාර්ලිමේන්තුවේ මෙන්ම පිටතත්  ඉතා ගැඹුරු දේශන පැවැත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොටි සංවිධානය සමග ගිවිසම් ගැසූ එම ස්ථාවරය කවදත් වෙනස් නොකළ වත්මන් අගමැතිවරයා ඉතා හොඳ මහත්මයෙක් යැයි පිළිගෙන  ඔහුගේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ වැඩ සිටී.මෙය දෛවයේ සරදමක්ද.  2005 වසරේ මෙන්ම වත්මන් රජයද රට බෙදීමේ න්‍යාය පත්‍රය සාර්ථක කර ගැනීමට කෙටි පාරවල් සොයමින් සිටී.එයින් ඊළම නමැති අවජාතක දරුවෙකු බිහිකරන්නට විලිලන අතර වරින් වර සිසේරියන් සැත්කම් කරන්නටද උත්සාහ දරයි.වත්මන් කතානායක වරයා පසුගිය දා රඟ දැක්වූයේ මේ සිසේරියන් නාටකයට පෙරහුරුවක්ද.සැබැවින්ම දෙමළ ඊළාම් මතවාදයට බෙද්ම්වාදයටද නන්දිකඩාල් කලපුවේ දුන් විසඳුම මෙන්ම තීන්දුවක් දීම දැන් අත්‍යවශ්‍ය වෙයි.ඒ තීන්දුව ලිබරල් මත දරන සිංහල බෙදුම්වාදීන්ටද අදාළ වෙයි.

    



Sunday, March 12, 2017

පොදු න්‍යාය පත්‍ර නොමැති සභාග ආණ්ඩු

                                   
  
                නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු බලය විවිධ පක්ෂ වල මූලිකත්වයෙන් හෙබවිණි.එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වරින් වර ආණ්ඩු බලය සිය මූලිකත්වයෙන් ගෙන ගියහ. නමුත් පණහේ දශකයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් එ.ජා.පයෙන් කැඩී වෙන් වී ගිය බලවේගය නිසා තනි ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා සභාග සෑදීමට ප්‍රධාන පක්ෂවලට සිදු විය.1956 මෙන්ම 1960වර්ෂයේද  එලෙසම 1965 හත් හවුල් ආණ්ඩුව මෙන්ම 1970 සමගි පෙරමුණද පසුව අනූව දශකයේ මෙන්ම 2000 න් අනතුරුව ඇතිවූ  හවුල් ආණ්ඩු වලින් සනාථ වූයේ සිංහල ජනතාව බෙදීමේ ප්‍රති විපාකයයි. මුල් කාලයේදී ප්‍රධාන පක්ෂයට එකතු වූ ප්‍රධාන පිළ වූයේ සමසමාජ පක්ෂයයි. නමුත් 1965 සිට එය ක්‍රමයෙන් වෙනස් විය. සමසමාජ පක්ෂය ක්‍රමයෙන් දුර්වල වන විට එම තැන ගත්තේ ද්‍රවිඩ එක්සත් පෙරමුණ තොන්ඩමන් ගේ වතු කම්කරු කොන්ග්‍රසය හෝ මුස්ලිම් කොන්ග්‍රසයයි.
         සභාගයන් පිහිටුවන්නේ ප්‍රජාතන්තුවාදී පිළිවෙතට ආණ්ඩු පිහිටුවන්නටයි. වැඩි බලයක් ප්‍රදර්ශනය කොට ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අනුව අණ පණත් සම්මත කර ගන්නටයි. ඛේදවාචකයට කරුණ නම් නිදහසින් පසු ආණේඩුක්‍රමය ගත් කිසිම පක්ෂයකට ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීමයි. ඔවුහු කාලීනව රටේ තත්ත්වයද ජාත්‍යන්තර තත්ත්වයද සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්ති එහා මෙහා දෝලනය කළහ.සැබෑවටම ජාතික ප්‍රතපත්තියක් ශක්තිමත්ම ඇති කොට ගෙන ස්ථාවර ජාතික රජයයක් පිහුටුවීමට තිබූ අවස්ථා කීපයක් අපෙන් ගිලීහි ගොස් ඇත. එකක් නම් 1956 වසරයි. අනෙක නම් 1977 වසරයි. පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ යුධ ජයග්‍රහණයත් සමගම නැවත එම ස්ථාවර භාවය උදාවිය. එහෙත් සිදු නොවූ එකම දේ නම් ජාතික ප්‍රතිපත්තියකට පැමිණීමට නොහැකි වීමයි.
         1970 බිහිකර ගත් සමගි පෙරමුණ රජය ද සභාගයකි. සමසමාජය සමග ඇති කරගත් සභාගයකි.1965 -70 අතර කාලයේදී එක්සත් ජාතික පක්ෂය ගෙනගිය දුරදාන්ත පාලනයෙන් කෝප ගැන්වුණු ජනතාව එ.ජා.ප.යඅන්ත පරාජයකට පත් කළහ.නමුත් 1975 දී ආචාර්ය එන්.එම්. සතු මුදල් අමාත්‍යංශය පවරා ගැනීමත් සමග එම සභාගය බිඳි වැටුණි.සිරිමා මැති ණියත් එන්.එම්. මුදල් ඇමතිවරයාද අවසානයේ එකිනෙකාට අවලාද කර ගැනීමේ තත්ත්වයකට ඇද වැටුණි. මෙයට හේතුව කුමක්ද.
         1970 සමගි පෙරමුණ රජය පත්වූ පසු එහි මුදල් අමාත්‍ය ධූරය ලබා ගත්තේ කලින් වූ එකඟතාවයකට අනුවය. ඇමතිකම්  අටක්ම ඉල්වා සිටියද  සම සමාජයට ලැබුණේ තුනක් පමණකි.මේ වන විට 1965 ආණ්ඩුව විසින් ජගත් මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගනිමින් හැත්තෑකෝටි තිසිහතර ලක්ෂයක් ණය ලබා ගෙන තිබුණි. මුදල් ඇමතිවරයාගේ ප්‍රමුඛ අරමුණ වූයේ භාණ්ඩාගාරය ශකිතිමත් කිරීමයි. ඔහුගේ ප්‍රථම අයවැය කතාවේදී මේ ගැන ඔහු සඳහන් කලදේ මෙහි බලහාලීම උචිතයයි සිතමි.
      එහිලා අප කළ යුතු පළමු කටයුත්ත අඩු ගණනේ පුනරාවර්තන වියදම් සම්බන්ධයෙන්වත් අය වැය පරතරය අහෝසි කිරීමට ක්‍රියා කිරීමයි. එදිනෙදා පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය මුදල් බදු මාර්ගයෙන් සොයා ගැනීම අප සතු දෙයක්. එසේම මූලික ප්‍රාග් ධන වියදම් සඳහා සහ අතිරේක ආදායමක් ද ලබා ගැනීමට අප ක්‍රියා කරන්නට ඔනෑ. හිඟ අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමත් උද්ධමනය ඇතිවී ඒ හා සමානව ඇති වන අනෙක් ස්වභාවික අන්තරාවන්ට මුහුණ පාන්නට වන බව අමුතුවෙන් කියන්න ඔනෑ නෑ.අප සතු දෙවන කාර්යය නම් අයවැයේ ඇති උද්ධමනය පාලනය කිරීමයි.එය කළ හැක්කේ සැම පොදු ජන කොටසක්ම ඇති තරම් මුදල් ඉතිරි කිරීමෙනි.
          ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා 1970 ඔක්තෝබර් 27 සිට නොවැම්බර් මද 03 දින දක්වා පරිවර්තන කාලයක් ලබා දෙමින්  රුපියල් පණහේ සහ 100 නෝට්ටු අවලංගු කලේය.මේ නිසා රාජ්‍ය බැංකු වලට ලැබුණු මුදල් ලක්ෂ ගණනකි. නිවෙස් වල එකතු කළ මුදල් මෙන්ම කළු සල්ලි ද බැංකු වට ඇදී එන්නට විය. මෙම ක්‍රමය මුදල් මගින් කරන ලද සූදුවකි. එයින් රජයට අවශ්‍ය මුදල් සංචිතයක් ලැබුණද ජනතාවගේ සිත් පෑරිණ.සමගි පෙරමුණ රජය හිතාමතා කළකිරවීමට ගත් උත්සාහයක් යැයි ඇතෙමෙක් සැක කළහ.මැතිණිය 1975 අගොස්තු මස 14 දින දී එන්.එම්ට එවන ලද ලියුමක මෙසේ සඳහන් විය.
        1970 මැතිවරණ ප්‍රකශනය සකස් කරන ලද අවස්ථාවේදී බැංකු ජනසතුව ඊට ඇතුලත් විය යුතුයයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් යෝජනා කරන ලද බවද බැංකු අන්ක්‍රම වලින් පාලනය කළ හැකි නිසා එම විෂය ඇතුලත් කිරීම අනවශ්‍ය බව ඔබ සිතූ වගද එහෙත් පසුව අපගේ බලවත් ඉල්ලීම නිසා එය මැතිවරණ ප්‍රකාශනයට ඇතුලත් කිරීම ගැන ඔබ විරුද්ධ නොවුණ බවද මට පැහැදිලිව මතකය.එන්.එම් එයට දුන් පිළිතර මෙසේය.
       කෙසේ වෙතත් විදේශීය බැංකු ජනසතු කිරීමේ ප්‍රශ්ණය තරමක් පැහැදිලි කළ යුතුව තිබේ. සම්පූර්ණයෙන් රජය සතු බැංකු ක්‍රමයක් තිබීම අනිවාර්යයෙන්ම අවශ්‍ය යන්න ගැන මා තුළ කිසිවිටෙක කිසිම සැකයක් නොතිබූ බව පැහැදිලිවම කිව යුත්තකි. එහෙත් මා අදහස් කලේ වන්දි ගෙවීමක් නැතිව මෙය ඉටු කරන්නට පුළුවන් බවයි. විදේශීය බැංකු මගින් ප්‍රධාන වශයෙන් කරන්නේ මේ රටේ විදේශ වෙළෙදාමටත් වැවිලිකරයටත් මුදල් සැපයීමයි.අපේ ආර්ථිකයේ මේ අංශ දෙකම ජනසතු කිරීමෙන් විදේශීය බැංකු වල ගණු දෙනු වලින් වැඩි කොටස ඉබේම අපේ රාජ්‍ය බැංකු වලට මාරුවනු ඇත. එවිට වන්දි ගෙවීමේ ප්‍රශ්ණයයක් මතු නොවේ. තවද මෑතදී සම්මත කර ඇති නීති අනුව ශ්‍රී ලංකාව තුළ ගණු දෙනු කරන්නටත් දේපොළ අයිති කර ගන්නටත් අවසර ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ කරන  ලද සමාගම් වලට පමණි. බැංකුවලට පමණක් විශේෂයක් කොට ඒවාට නීතිය බලනොපාන පරිදි ගෙනෙන යොජනා වලට මං දැඩි විරුද්ධත්වය පෑ බව ඔබ දන්නෙහිය.( මැතිනියනි මෙන්න ඇත්ත)
           පක්ෂ දෙකක නායකයන් දෙදෙනෙක් එකම විෂයයක් ගැන දැරූ අදහසින් ගම්‍ය වන්නේ කුමක්ද .ජාතික ප්‍රතිපත්තියකට අනුව ඔවුන් වැඩ නොකළ බවයි.වර්තමාන බැංකු බැඳුම්කර සිද්දියට සමාන නොවුවද 1969 දී ඇති වූ පී.එල්. 480 ප්‍රශ්ණය ගැනද මෙහිදී සඳහන් කළ යුතුය. 1969 පෙබරවාරි 17 දින මධ්‍යම බැංකුව විසින් භාණ්ඩාගාරයට බැර කළ 151 68 149 ශත 96 ක මුදලක් ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් එදිනම හිටිහැටියේ වියදම් කිරීම ගැන එන්.එම්. මතු කළ ප්‍රශණය මගින් පැහැදිලි වූයේ එක්සත් ජාතික පක්ෂය දිනවීමට  සී.අයි.ඒ.කුමන්ත්‍රණයක් සිදු වූ බවයි.එන්.එම් එහිදී මෙසේද පවසා ඇත. මම පී.එල්. 480 ගැන අනතුරු ඇඟවීමක් කළාම පුදුම තත්ත්වයක් ඇතිවුණේ. මම තමයි (Complainant ) හෙවත් පැමිණිලිකරු අන්තිමේදී මැතිණිය මාව තමයි (accused) හෙවත් විත්තිකරු කලේ.ඇයි. ඇමෙරිකානු තානාපති මැතිණිය හමුවන්න ආවා.ඔහු කිව්ව ඔක්කොම දේ පිළිගත්තා.ඊට පසු මට කියනවා උඹ ළඟ තියෙන ලියකියවිලි එහෙම තියනවානම් එවාපන්.කියා.එහෙමද කරන්න තිබුණේ. වෑන් හොලන් ආවා නම් මාවත් ගෙන්නල සැකයක් තියෙනව නම් ඔහු ඉදිරිපිට එය තබන්න කියන එක නේද යුතුකම.
    සැබවින්ම එම ප්‍රශ්ණය දඩමීමා කරගෙන පක්ෂ දෙක අතර අවලාද අඩ ගැසීම් සිදු වුවද ඇමරිකානු මැදිහත් වීම මත කළ කුමන්ත්‍රණය හෙළිදරව් වූයේ නැත.එහිදී ජාතික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කලේ නම් පක්ෂ මතය කෙසේ වෙතත් රටට එරෙහි බලවේගයන්ට විරුද්ධව පියවර ගැනීමට තිබුණි. වත්මන් බැඳුම්කර සිද්දිය පිටිපසද හුදෙක් මුද්ල වංචාවක් පමණක් විය නොහැකිය.මහ බැංකු අධිපති පත් කිරීම. ඔහු අගමැති විසින් සෑම තැනකම ආරක්ෂා කිරීම ආදිය තීක්ෂණව විමර්ශනය කළහොත් පිටිපස සිටින්නේ ඔත්තුසේවාවන් බව පැහැදිලි වේ.ජාතික ආණ්ඩුවකැයි කියා ගන්නා වත්මන් සභාගයටද නැති එකම දේ ජාතික ප්‍රතිපත්තිය බැවින් ඔවුන් නැටවෙන්නේ විදෙස් ඔත්තුසේවාවල පදයට බව තේරුම් ගත හැකිය.සැබවින්ම.අතීතයේ සිදු වූ දේ නැවත නැවත සිදු වන්නේ රටේ මහත් අවාසනාවන්ත තත්ත්වයක් උඩය. අප එයටද පිළියම් යෙදිය යුතුය.