පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, December 30, 2020

ශ්‍රී ලංකාව වෛරස් යුද්ධයක් අභියසට පැමිණ තිබේද

 

 


                           

           වසංගත මගින් ඇති කළ බලපෑම යනු ලෝක ඉතිහාසයේ සෑම අවස්ථාවකම ඉස්මතු වූ රෝග තත්වයකි. සූර්ය ශක්තිය විසින් පාලනය කරන ලෝකය එහි උපරිමයට පත් වන විට වසංගත පැතිරෙන බව පැරණීයන් දැන සිටියහ.එම තත්වය තුළ රෝග පැතිරෙන කාලය තුළ ශරීර ප්‍රතිහක්තිකරණය බිහි කර ගැනීමටද සිරුරේ මල කොටස් බැහැර කොට හක්තිමත් කර ගැනීමද සිදු විය.නවම් මැදින් මාස වලදී ළමුන් සඳහා විරේක බෙහෙත් ලබා දීම සිදු වූයේ මේ පසුබිම මතය.එසේම දුරුතු සහ නවම් මාස වලදී ලැබෙන වැල් අල වර්ගයන් නිසි කලට ආහාරයට ගැනීමෙන් වෙසෙස් ශක්තියක් ශරීරයේ ගබඩා වෙන බව ඔවුහු දැන් සිටියහ. කෙටි නියන් සමයකින් පසු බක් මස ආරම්භයේ වට අක් වැස්සෙන් කුඩා පැලෑටි රාශියක් මහ පොළවේ ඉබේ හට ගනී.පැරණියන් සඳහන් කරන ආකාරයට දලු නවයක් හට ගැනිණ. මේ දලු නවය තුළ සූර්ය ශක්තිය යහමින් ගබඩා වී තිබුණි. මේ දලු කඩා ඇඹුල සාදා ආහාරයට ගැනීමෙන් ශරීර ප්‍රතිශක්තිකරණය උපරිමයෙන් සිදු බව පැරණි මුතුන් මිත්තන් නිරීක්ෂණය කළහ.

    ලංකාවේ මව්වරු සිංහල වෙදමහත්වරුන් ගේ උපදෙස් පරිදි දරුවෙකු ඉපදී දින කීපයකින් පමණ රත කල්කය ලබා දීම ආරම්භ කරති. රත්හඳුන්  වදකහ ප්‍රධාන රත කල්කය මගින් දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන බව කවුරුත් දැන සිටියහ.මව්කිරි ලබා දීම කරන අතරවාරයේ ඇතිවන ළදරු සංකූලතා දුරුකරගන්නටද රත කල්කය උපයෝගී වෙයි.එයට අමතරව කලුකල්කය සහ සුරන් විදුර ගුලිය යන සරල ඖෂධයන් දරුවන්ට දෙති.දරුවෙකු තරුණ වියට පත් වන අතර වාරයේ ලැබෙන මේ ප්‍රතිශක්තිකරණ අත්තිවාරම දේශීය ආහාර මගින් තව තවත් තීව්ර වෙයි.

    1815 දී ලංකාව පරාධීන රටක් බවට පත්විය. 1818 මෙන්ම 1848 දීද ඇතිවූ විමුක්ති අරගල දෙකකින් පසුව සිංහල ජනතාව බෙහෙවින් අබල දුබල විය.රාජකාරිය ඇණ හිටීම නිසා වාරිමාර්ග විනාශ විය කුඹුරු වතුපිටි පාලු විය.ඉන්දියවෙන් වරින්වර සංක්‍රමණිකයන් කැඳවා පැමිණි ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් ඔවුන් තැන් තැන් වල පදිංචි කළහ.මේ අය සමග කොළරාවත් වසූරියත් පැතිරුණි. ලෝකයේ වසූරිය තත්වයට එරෙහිව වර්ෂ 1798  එඩ්වඩ් ජෙනර් ගව වසූරිය ( සැර බාල කරන ලද චීන ගව වසූරිය වෛරසයක්) ලබා දීමෙන් රෝගියාට ප්‍රතිශක්තිකරණය ඇතිවීමේ අවස්ථාවක් ලබා දෙන ලදී.ලංකාවේ වසූරියට එරෙහිව සිංහල වෙදමහත්වරුන් නොයෙකුත් බෙහෙත් සොයා ගන්නා ලදහ.ශ්‍රී වික්‍රම රාජසිංහ රජුද එම රෝගයෙන් මුදවා ගන්නා ලද්දේ ඔවුන් විසිනි. කෙසේ වෙතත් අබල දුබල ව ආහාර හිඟකමින් බැටකෑ සිංහලයන් වසූරියට ගොදුරු වීම සීඝ්‍ර විය. 1886 දී ඉංග්‍රීසි ආණ්ඩුව ප්‍රතිශක්තිකරණ  ආඥා පනත මගින් සෑම දෙනෙකුටම එන්නත් ලබා දීමට නියෝග කරවූයේ රටේ ඇතිවූ තත්වය සැලකිල්ලට ගෙනයි..මෙය බලහත්කාරයක් වුවද රටේ නීතියට සැමට එකඟ වන්නට සිදු විය.වසූරියට දුන් එන්නත බටහිර ලෝකයේ ජයග්‍රහණයක් විය.නව වෙලෙඳ පළකට අඩිතාලමක් විය.මේ නිසා යටත් විජිත රටවලට මේවා හඳුන්වාදීමද ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් ආරම්භ කිරීමද සිදු විය.

        1949 දී ක්ෂය රෝග එන්නතද  1961 දී ගල පටල එන්නතද  1962 දී මුඛ පෝලියෝ එන්නතද 1963 දී නවජ දරුවන්ට බී.සී.ජී. ඒන්නතද 1969 දී ගර්භනී මව්වරුන්ට පිටගැස්ම එන්නතද හඳුන්වාදුනි. 1974 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය ප්‍රතිශක්තිකරණ වැඩ සටහන ආරම්භ කරන ලද්දේ එන්නත් වෙළඳ පළ ජය ගැනීමේ අදියරක් වශයෙනි. ලංකාවේ මෙය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ 1979 වසරේදීය. ඉන්පසු 1986 දී සරම්ප එන්නත හඳුන්වා දීමෙන් මෙරට පැවති යම් බෝවන රෝග වැලැක්වීමේ සාම්ප්‍රදායික ක්‍රමයට නිල වශයෙන් පහර දීම ආරම්භ කරන ලදී.එතෙක් සරම්ප සහ පැපොල දෙයියන්ගේ ලෙඩ වශයෙන් හඳුන්වනු ලැබූහ.එම රෝග වරක් වැළඳුණු කල්හි නැවත ඇති නොවේ. ඒ නිසා. කුඩා කාලයේ දී මේ රෝග ඇතිවීම බලාපොරොත්තුවෙන් සිටියහ.මෙම රෝග වළැක්වීම පිණිස පත්තිනි ඇදිහිලි ප්‍රචලිතව තිබුණි.ත ගම්මඩු නැටීම වැනි ශාන්තිකර්ම ප්‍රචලිතව තිබුණි.නමුත් සරම්ප එන්නත විසින් මේ රෝගයට එරෙහිව ඇති කරනු ලැබූ සංස්කෘතික පහරදීම බෙහෙවින් ප්‍රබල විය. 

  

1988 හඳුන්වාදුන්  ජැපනීස් එනසෙපලයිටීස් එන්නතේ සිට 2015 දී නිකුත් කළ අජීවී පෝලියෝ එන්නත දක්වා කාලය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප රටට කරන ලද බලපෑම සුලු පටු නොවේ.ලංකාවේ සෞඛ්‍ය තත්වය පිළිබඳ යම් වෙනසක් සිදු කරන කල්හි. මේ ජගත් සංවිධානයෙන් අවසර ගැනීම දක්වා එම බලපෑම දීර්ඝ වී තිබේ.

    සරම්ප සහ රුබෙල්ලා වැනි රෝග සඳහා ද එන්නත් ලබා දීමෙන් මනුෂ්‍යා සදා සුරක්ෂිතයයි යන හැඟිමක්  ලෝකය පුරාවටම  ඇති කර තිබෙන්නේ ජගත් සෞඛ්‍ය සංවිධානයන්හි පෙළඹවීමෙනි.නමුත් කලකට ඉහත හඳුන්වාදුන් එන්නත් වලින් ඇති කරන ලද ප්‍රතිශක්තිකරණය අද වන විට හීන වී තිබේ.ක්ෂය රෝග එන්නත උදාහරණයකි.මෙවැනි එන්නත් කුඩා දරුවන්ට මෙන්ම පසුව වැඩිහිටියන් බවට පත් වූ අයටද ඇති කරන ලද බලපෑම සුලු පටු නොවේ.ස්වභාවිකව ලැබී තිබෙන ප්‍රතිශක්තිකරණය අභිබවා කෘතිම ක්‍රියාවලියක් ශරීරය තුළ ඇරඹීම මීට හේතුවයි.මේ නිසා නොයෙකුත් බෝනොවන රෝග ගණනාවක්ම පුද්ගලයන් තුළ වර්ධනය වී තිබේ.මෙවැනි පුද්ගලයන් හුරුව තිබෙන්නේ කෘතිම ප්‍රතිශක්තිකරණයකට බැවින් දියවැඩියාව හෘද රෝග වැනි අවස්ථාවන්හිදී ඒවාට ඒරෙහිව ප්‍රතිදේහ ක්‍රියාත්මක නොවේ.එවිට සිදු වන්නේ විවිධ ඖෂධ මගින් මෙම රෝග පාලනය කිරීමට සිදු වීමයි.. ඇමරිකාවේ කරන ලද නොයෙකුත් අත්හදා බැලීම් නිසා ජානමය එන්නත් පවා අද නිෂ්පාදනය වෙයි. එම නිසා ඇමරිකාවේ චීනයේ සහ රුසියාවේ විද්‍යාගාර පැරණි වෛරස ක්ෂුද්‍ර ජීවින් ගබඩා කොට නොයෙකුත් අත්හදා බැලීම් සිදු වෙයි. කෙරෝනා යනුවෙන් අද පිටවී ඇතිතේ එම විද්‍යාගාර වලින් නිකුත් වූවක්ය යන්න දැන් කතාබහට ලක් වී ඇත. වර්තමානයේ පැතිරුණ කොරොනා වෛරසය ට අමතරව දැන් බ්‍රිතාන්‍යයෙන්ද තවත් නව වෛරසයක් පැතිරෙන්නට පටන් ගෙන ඇත.

    මෙමගින් අප තේරුම්ගත යුත්තේ කුමක්ද.සිය ලාභංශ වැඩි කර ගැනීමට ඖෂධ සමාගම් දරන උත්සාහයයි. ඔවුහු විද්‍යාඥයන් කුලියට ගනී. ලකාවේ උගෙන විදෙස් වලට සංක්‍රමණය වූ විද්‍යාඥයන් පවා මෙලෙස විශාල පඩියකට ඖෂධ සමාගම් යටතට පත් වී තිබේ. කලකට ඉහත මෙරට කෘෂි විද්‍යාඥයන් විදෙස් ගතව ජාන විකරණය කරන ලද ආහාර නිෂ්පාදනයට දායක වී ඇත. විවිධ හයිබ්‍රිඩ් එළවුලු වර්ග අද වෙළෙඳපළට නිකුත්ව තිබෙන්නේ මෙම වෑයමේ ප්‍රතිඵලයක් වශයෙනි.මේ තත්වය අභියස ලෝකය පවතින්නේ බහුජාතික සමාගම් විසින් හසුරුවනලද යන්ත්‍රණයක් මගින් යැයි කීම විහිලුවක් නොවේ.ලංකාව වැනි රටකට මේ වෛරස් යුද්ධය නොහොත් සමාගම් වල ජාන හැසිරවීම ඔරොත්තු දෙන්නේ නැත. මෙරට පාලකයන් ගේ හෙචයියන් සැම විටම විවිධ ජාවාරම් මගින් කරන මුදල් ගනුදෙනු වල කොමිස් බැරවන්නේ දේශපලකයන්ගේ සාක්කු වලයි. එම නිසා කොරෝනා වෛරසයට දෙනු ලබන එන්නත මෙරටට ගෙන්වීම පිටුපස මේ ජාවාරමුන් පෙළ ගැසී සිටී. මෙරට පවතින දේශීය වෙදකමෙන් බිහිවන විවිධ ඖෂධ සමාජය ඉදිර්යේ හෑල්ලූ කිරීම මේ ජාවාරමුන්ගේ තවත් ව්‍යාපෘතියකි.එසේම සෞඛ්‍ය අංශ වල නිසි බලධාරිත්වය හොබවන පිරිස මුදලට නතු කරගෙන දේශීය වෙදකමට ගැරහීමත් නීති රීති වෙනස් කිරීමට ඉඩ නොදීමත් තවත් ව්‍යාපෘතියකි. පවිත්‍රා ඇමතිවරියගෙන් සහ සුදුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අමතිණියගෙන් ප්‍රකාශ වන්නේ එම කටුක සත්‍යයි. කෙසේ වෙතත් අනාගතයේ දී මෙරට පැතිරෙන වෛරස් යුද්ධ අබියස සටන් කළ හැකි වන්නේ ස්වභාවික ප්‍රතිශක්තිකරණයක් ඇත්තවුන්ට පමණි.ඒ පිරිස වැඩි කර ගැනීම අපට  අද තිබෙන අභියෝගයයි.

මතුගම සෙනෙවිරුවන්

  

Sunday, December 27, 2020

මැටි පුවරු ලේඛනයක් මුල් වරට පට්ටියපොළින් හමුවෙයි

 

 

 


                             

         ලංකාවේ ඉතිහාස තොරතුරු දැන ගැනීමට තිබෙන මූලාශ්‍රයන් අතර වංශකතා මුල්තැන් ගනී.දෙවැන්න නම් ශිලාලේඛන සම්ප්‍රදායයි.මහාවංශයේ අඩංගු තොරතුරු පවා තහවුරු කර ගැනීමට ශිලාලේඛන  භාවිත කර ඇත. විශේෂයෙන්ම ඉන්දියාවේ ඉතිහාසයට පවා ආලෝකයක් සපයන ලද්දේ  බ්‍රාහ්මී අක්ෂර විග්‍රහ කරගැනීමට උත්සාහ කළ ප්‍රින්සෙප් ගේ ව්‍යායාමයෙනි.පසුව ටර්නර් ගොල්ඩ් ස්මිත් සහ ම්‍යුලර් වැනි බ්‍රිතාන්‍ය ජාතිකයන් ගේ උත්සාහය මත   මේ රටේ ශිලා ලේඛන   විශාල ප්‍රමාණයක් ගැන මනා හැදෑරීමක ආරම්භයක් ඇති කරන ලදහ. පැරණි බ්‍රාහ්මී අක්ෂර මගින් කරන ලද ශිලාලේඛන පිළිබඳ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් පළ කල Inscriptions of Ceylon (vol 1)  නම් ග්‍රන්ථය මේ රටේ ඉතිහාසයට විශේෂ වැදගත්කමක් සපයා දී තිබෙන්නේ මේ හැදෑරීම් වල ප්‍රතිඵලයක් වශයෙනි. ශිලා ලේඛන යනු ස්වභාවික පර්වතයක යට තිබෙන ගල්ලෙනක පිහිටි ගලක හෝ ගල් ටැඹක කොටන ලද විශේෂ වැදගත්කමක් උසුලන රචනාවකි. රාජ්‍ය ව්‍යවස්ථා දීමනාවන් පිළිබඳව තොරතුරු මෙහි අඩංගු වේ.තල් පත්‍ර වැටකෙයියා පත්‍ර සහ වෙනත් ශාකමය ද්‍රව්‍ය වල අකුරු ලිවීමද පුරාණ කාලයේ පටන් පවත්වාගෙන පැමිණි සම්ප්‍රදායකි.නමුත් මෙම ලේඛන කලකදී දිරාපත් වෙයි.නමුත් ලංකාවේ භාවිතා කරන තල්පත් බොහෝ කාලයක් පවතින බවද මෙහි සඳහන් කළ යුතුය.එයට හේතුව එහි පත්‍ර වල අඩංගු සිලිකා ප්‍රතිශතයයි. නමුත් වේයන් සහ දීලීර ආක්‍රමණයන් නිසා තල්පත්‍ර දිරාපත් වීමට තිබෙන ඉඩකඩ වැඩිය. එම නිසා පැරණි රාජ්‍ය පාලකයන් සිය ආඥාවන් නිතරම ගලේ කෙටූහ. ගලේ කෙටූ අකුරු වැනි යැයි වහරක්  ප්‍රවාද ගතව තිබෙන්නේමෙසේ කොටන ලද අකුරු වසර දහසක් ගියත් නොමැකෙන බැවිනි..

         මෙවැනි තත්වයක් මත ලංකාවේ ලේඛන සම්ප්‍රදාය පවත්වාගෙන යෑමට වෙනත් මාධ්‍යයක් භාවිතා කිරීම ගැන එතරම් සාධක හමු වන්නේ නැත. නමුත් මැටි බඳුන් වල අකුරු කෙටීම ගැන සාධක රාශියක්ම පුරාවිද්‍යා පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබේ.විශේෂයෙන්ම අනුරාධපුරය ඇතුලු නුවර කරන ලද කැණීම මගින් හමු වූ වළන් කැබැල්ලේ කොටා තිබූ බිය අනුරදි යන වැකිය ගැන සඳහන් කළ හැකිය. ඊට අමතරව තිස්සමහාරාම අකුරුගොඩ කැණීමෙන් හමුවූ අකුරු කොටූ වළන් කැබැල්ල ගැනද විද්වතුන් අතර වෙසෙස් සංවාද රාශියක් සිදු විය.යාපනයේ කදුරුගොඩ කැණීමෙන් හමු වූ වළන් කැබලි වලද මෙලෙස අක්ෂර කොටා තිබූ අතර මෙවැනි අක්ෂර වල කාලය ක්‍රි.පූ. 6 වන සියවස වැනි ඈත කාලයට දිවයව බව ද සොයා ගන්නා ලදී.ඒ අනුව මෙරට බ්‍රාහ්මී අක්ෂර වල විකාශනය දැනට ලිඛිතව දක්වා ඇති කාලයට වඩා පැරණි බවද සනාථ විය.මේ අතර දිවයිනේ විවිධ තැන් වලින් හමු වූ වෙනත් මැටි වළන් කැබලි වල දක්නට ලැබුණු අකුරු ගැනද තව තවත් සොයා බැලීම විද්වතුන් ගේ වගකීම වී ඇත. මෙවැනි මැටි ලේඛන අතර පුවරුවක කොටා තිබූ ලේඛන ලංකාවෙන් මෙතෙක් හමු වී නැත.  මොහෙන්දාජාරෝ හරප්පා නගර වලින් හමු වූ මෙවැනි මැටි පුවරු(මෘන්මය) ලේඛන නිසා ඉස්මතු වූ ඉතිහාසය ඉතා ප්‍රබල බව මෙහිදී මතක් කළ යුතුය.ඉන්දියාවේ බෝඝස්කොයි පෙදෙසින් සොයා ගත් 15 සියවසට අයත් මැටිතහඩු ලේඛනය ඉහතකී සම්ප්‍රදායේ විකාශයනයක් ලෙස හඳුන්වාදීමක් කර ඇත.මේ අතර ලංකාවෙන් හමුවූ  අංග සම්පූර්ණ ලේඛනයක්  ගැන මෙහිදී දැක්විය යුතුය.ඒ නම් හොරොව්පොතාන කපු ගොල්ලෑව විහාරස්ථානයෙන් හමු වූ මැටි පාත්‍රයයි. එහි සබ්බ පාපස්ස අකරණං යන ගාථාව සම්පූර්ණයෙන්ම කොටා තිබුණි. 

 

 ශිලා ලේඛන සම්ප්‍රදාය අභිබවා මැටි ලේඛන පිළිබඳ සාක්ෂි ලංකාවේ ඉස්මතු නොවුණද මෑතකදී දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පට්ටියපොළ ග්‍රාමයෙන් හමු වුණු මැටි ලේඛනය මගින් ලේඛන මාධ්‍ය පිළිබඳ අලුතින් කතා කරන්නට ඉඩහසර ලැබී තිබේ. ශිලා පුවරුවක ලියන පරිද්දෙන්ම ගඩොල් කැටයක ලියන ලද ලේඛනයක් පළමුවරට මෙහිදී හමු වී තිබේ.    මෙම ලේඛනය සොයා ගන්නා ලද්දේ දුමින්ද ජයවර්ධන මහතා විසිනි. ඔහු දැනට අගලවත්තේ පදිංචි වී සිටියද තම මවගේ ගම වන පට්ටියපොළට නිතරම යෑම් ඊම් කළ පුද්ගලයෙකි. එහිදී එම ගමේ ස්ථානයක  පැරණි ගඩොල් අවශේෂ තිබේ යැයි ලද ආරංචියකට අනුව ගිය විට කැලෑවෙන් යටවුණු පෙදෙසක තුඹසක් තුළ මෙම ගඩොල් ලේඛනය දකින්නට ලැබී තිබේ.

      පට්ටියපොළ ග්‍රාමය පිළිබඳ සැඟවුණු ඉතිහාසයක්ද තිබේ.දුටුගැමුණු මහ රජතුමාගේ යෝධ සේනාවට සෙන්පතියන් බඳවා ගන්නා කාලයේ දකුණේ තංගල්ලට නුදුරු නෙටුල්විටි නම් ගමෙහි සිටි ගෝඨ නම් තරුණයෙක් කල මහා විස්කමක් ගැන රජුට ආරංචි වී තිබේ. සද්ධර්මාලංකාර කතා වස්තුවේ එන පරිදි ගෝඨ තරුණයා විසින් විශාල ඉඹුල් (කොට්ට ) ගසක් තම්පලා ගසක් ගලවන්නා සේ ගලවා මහා කුඹුරක් අස්වද්දවා තිබේ.එසේම රාජ පුරුෂයන් නෙටුල්විටියට පැමිණ ගෝඨ තරුණයා කැටිව ආපසු යන විට සප්පඳුරු නම් විහාරයේ සෙවණට වන්හ.එහි මනරම් පොල් උයනක් විය.එහිදී ගෝඨයා විසින් පොල් ගස් කරකවා කුරුම්බා ගෙඩි බිමට ඇද හෙලා රාජපුරුෂයන්ගේ පවස සන්සිඳවීමට ලබා දී තිබේ.මේ ගෝඨ තරුණයා ගෝඨයිම්බර වූයේ එතැන් සිටයි. රාජ සේවයට ගිය ගොඨයිම්බර එළාරට එරෙහිව දුටුගැමුණු රජු ගේ සේනාවේ මහා වික්‍රමයන් කර රාජ ප්‍රසාද ලත් කාලයේ තම උපන් ගම සමීපයේ මහා වැවක් කරවාලූ බව ජනප්‍රවාදයේ එයි.ඒ තමන් විසින් ඉඹුල් ගස් ගලවා කුඹුරු අස්වැද්දූ ප්‍රදේශයේ බවද දැක්වෙයි. ඒ ගම අද හඳුන්වනු ලබනුයේ පට්ටියපොළ යනුවෙනි.පට්ටියපොළ වැව පාමුළ තිබෙන කැඳහැලියාවල නම් කුඹුර ට ඒ නම යෙදී තිබෙන්නේ කුඹුරු අස්වද්දන සමයේ  ගොවි සමූහයාට දීමට ගෙනා කැඳ හැළිය මෙම ස්ථානයේ තබා තිබූ හෙයිනි. මේ යෝධයා විසින් බඳවන ලද ගම් වැව පෝෂණය වනුයේ රක්වාන කඳුකරයේ සිට පහත් වන ජල ධාරාවන්ගෙනි. දුටුගැමුණු එළාර යුද්ධයෙන් පසු රජු සමග යම් අමනාපයක් ඇති කරගත්  ගෝඨයිම්බර යෝධයා විදේශ ගතව මහණදම් පිරූ බව සද්ධර්මාලංකාර කතා වස්තුවේ සඳහන්ය.

      පට්ටියපාළ ග්‍රාමය ආශ්‍රිතව අප විසින් කරන ලද සොයා බැලීම් වලදී දැනට එහි දක්නට ලැබෙන පුරාවිද්‍යා වටිනාකම් සහිත ස්ථාන කීපයක් පිළිබඳ කරුණු අනාවරණය විය. පට්ටියපොළ හැඩවින්න රජ මහාවිහාර භූමියේ තිබෙන ටැම්පිට විහාරය හා සීමාමාලකය නුවර යුගයට අයත්ය. ටැම්පිට විහාරයේ ව්‍යුහය පමණක් පැරණි ස්වරූපයෙන් දැනට ඉතිරිව පවතී. විහාරස්ථානයට නුදුරු ව විතාරන්දෙණිය මාර්ගයේ ස්ථාන දෙකකම ගඩොල් සහ මැටි උලු කැබලි සහිත ස්ථාන දෙකක් හඳුනාගන්නට හැකිය.එක් තැනක එළවලු කොරටුවකි. අනෙක් ස්ථානය කැළයට යටවී පවතී. මේ ස්ථාන දෙකම පෞද්ගලික හිමිකරුවන් සතුව පවතී.පෙර දක්වන ලද අකුරු කෙටූ ගඩොල් කැටය සම්මූඛ වූයේ මෙම ස්ථාන‌ය අසළිනි. වරින් වර මෙම ස්ථාන වලින් පස් ඉවත් කිරීම නිසා පැරණි බෞද්ධ ස්ථූපයකට හෝ පිළිම ගෙයකට හානි වී තිබෙන බව පෙනී ගියේය. ඒවායින් ඉවත් කරන ලද පස් වෙසෙසින්ම පාරවල්කැපීමේ දී ඉවත් කරන ලද පස් තැන තැන දැමීමෙන් පසු මේ වටිනා ලේඛනය සහිත ගඩොල වෙනත් ස්ථානයක තැන්පත් වන්නට අතැයි අනුමාන කළ හැකිය. 

 ( 1908 -1911) කාලයේ හම්බන්තොට දිසාපතිව සිටි ලෙනාර්ඩ් වුල්ෆ් මහතා පට්ටියපොළට පැමිණ එම වැවට පැමිණෙන අලි රංචු බැලීමට නැග හුන් යෝධ සියඹලා ගසද පට්ටියපොළට ‌ෙඑතිහාසික අගයක් එකතු කර තිබේ.එයට අමරතව පට්ටියපොළට නුදුරු මැදගම ග්‍රාමයද ‌ෙඑතිහාසික වශයෙන් වැදගත් බව හඳුනාගනන්ට හැකිය. එහි ජීවත් වන පැරණි ප්‍රභූවරුන් ගේ පරම්පරාවන් සතු වලව්ව යම් ස්මාරකයක් ලෙසට නම් කළ හැකිය. මැදගම ආශ්‍රිතව අනුරාධපුර යුගයට අයත් යම් ශිලාමය අවශේෂද දක්නට හැකිබව සඳහන් කල යුතුය.



           අක්ෂර කෙටූ ගඩොල් ගැබෙල්ල අඩියක් පමණ පළල ට සහ අඟල් දහයක් පමණ උසකින් යුක්තව තිබෙන්නට ඇත. මෙම ගඩොල දැනට දෙකඩ වී තිබේ. ඒ නිසා හඳුනාගත හැකි අක්ෂර සහ වැකි තිබෙන්නේ කීපයකි. මෙම ලිපියේ පේළි  පහකි. ගඩොලේ අනෙක් පැත්තේද එක් පේළියක් තිබේ. අකුරු විසිපහක් පමණ දැනට හඳුනාගන්නට හැකිය. අක්ෂර වල ලක්ෂණ අනුව මෙම ලිපිය දෙවන සියවසට පමණ අයත්ය.යම් අමාත්‍ය වරයෙකු විසින් ( අමෙතෙ ) මෙහි ඉඳි කරන්නට යෙදුණු  නව විහාරයකට කරන ලද කරිසයක් පමණ පූජාවක් ගැන මෙම ලිපියෙන් හෙළිදරව් වේ යැයි සිතමි. එම ලිපියේ පළමුවැනි පේළියේ අමෙතෙ යනුවෙන් ද අවසාන පේළියේ මෙවිහර යනුවෙන්ද අක්ෂර සටහන් වී තිබේ.වසභ රජතුමාගේ කාලයේ කරනලද  වල්ලිපුරම රන් සන්නස තුළ තිබෙන අක්ෂර මෙන්ම හැබැස්ස සහ පාලු මැකිච්චාව නම් ශිලාලේඛන වල අක්ෂරයන්ට මෙහි අක්ෂර සමාන කමක් දක්වයි.පාලුමැකිච්චාව ලිපිය ගජබාහු රජුගේ කාලයේ කොටවන ලද්දකි. ගජබාහු රජු නීලමහායෝධයා සමග ඉන්දියාවට ගොස් දොලොස් දහසක් සෙනග මෙහි ගෙනා බව ඉතිහාසයේ සඳහන්ය.එහිදී  ගම්වල සිටි  ගොවි වංශයට ( අසුර ගොවි කුල ) අයත් ජනතාව පට්ටියට ගියා යැයි  සඳහන්ය. පට්ටියපොළ ග්‍රාමයද විශාල ගව පට්ටි වලින් පරිපූර්ණ වූ ස්වයංපෝෂිත ප්‍රදේශයකි.මේ නිසා ගජබාහු රජුගේ කාලයේ (ක්‍රි.ව.112 -134) හෝ එයට පසු මෙම ගමෙහි නව විහාරයක් කරවන කල්හි මෙම ලේඛනය තැන්පත් කරන්නට අතැයි  මේ අනුව කල්පනා කල හැකිය.

     ශිලා ලේඛන මෙන් නොව මෙවැනි මැටි ලේඛන තැන්පත් වී තිබූ ස්ථාන වලින් බැහැර වූ කල්හි විනාශ වී යන්නට තිබෙන ඉඩකඩ බොහෝය. මෙම ලිපිය පුරාවිද්‍යා භාණ්ඩ අගයන මහත්මයෙකුට ලැබී තිබීම භාග්‍යයකි.මෙම ලේඛනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාරදීමට දැනට කටයුතු කරමින් ඇත.මෙම ලිපියේ අනෙක් කොටස ද මෙම ස්ථානයේ කොතනක හෝ  තිබේ යැයි අනුමාන කළ හැකිය. දැනට එළවලු කොරටුවකට යටව තිබෙන භූමියේ ගඩොල් කැට රාශියක්ම හමුවන හෙයින් එම බිම පළමුව සංරක්ෂණය කොට දෙවනුව කැණීමක් මගින් මෙම සාධක මතු කරගත හැකි වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

මූලාශ්‍ර -

1/ ලක්දිව සෙල්ලිපි - කොත්මලේ අමරවංශ හිමි (1969 )

2/ සිංහල ශිලා ලේඛන විවරණය - ධර්මබන්ධු අමරසේකර (1961 )

3/සිංහල ශිලා ලේඛන -  ඩබ්.එස්. කරුණාරත්න (1956)

4/ කඩයිම් පොත් විමර්ශනය -එච්.ඒ. පී අභයවර්ධන (1978 )

 

 

 

 

 

 

Thursday, December 17, 2020

එන්නතක් එනකන් සිංහල බෙහෙත් වලට වලිය අදිනවද

 

                      


               කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර නම් කපු මහත්මයෙකු විසින් කොරෝනා රෝගයට බෙහෙතක් ලබා දීමෙන් රෝගීන් සුවපත් කල කතාව සමාජ ගත වී ඇති සමයක මෙම විෂය ගැන තවදුරටත් කතා කිරීම කලෝචිතය.මෙම සාකච්ඡාව පටන් ගත යුත්තේ නිදහසින් පසු මෙරට සෞඛ්‍ය සේවය අත්පත් කරගත් ආධිපත්‍ය ගැන සඳහන් කරමිනි.මෙරට ප්‍රධාන සෞඛ්‍ය ධාරාව ඇලොපති වෙදකම විසින් අත්පත් කර ගැනීමට ප්‍රථම  ලන්දේසී යුගයේ දී ලංකාවේ වැවෙන ශාක හා ඖෂධ පැලෑටි වර්ග කීපයක් වර්ෂ 1746 දී රසායනාගාර පරීක්ෂාවක් පිණිස බතාවියට යවා තිබේ. ඉන්පසු වර්ෂ 1772 දී ප්‍රථම වරට කොළඹ කොටුවේ රෝහලක් ඉඳි කිරීම මත බටහිර වෛදය ක්‍රම මෙරට අත්හදා බැලෙන්නට විය. අනතුරුව 1850 දී ඉංග්‍රීසින් මනිපායි රෝහල ආරම්භ කළ අතර  බටහිර වෛද්‍ය සේවාව වඩාත් ප්‍රචලිත වන්නට විය.නමුත් නිදහසට පෙර මධ්‍යගත කේන්ද්‍රයක් මගින් සෞඛ්‍ය පහසුකම් සැපයීම සිදු වූයේ අවම මට්ටමකිනි. ඇලොපති ක්‍රමය ට වඩා ගම්වල සිටි සිංහල වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මහත් සමත්කම් දැක්වූහ.නමුත් රටේ ප්‍රජාතන්ත්‍රීය සමාජය ශක්තිමත් වීමෙන් පසුව මධ්‍ය ගත සෞඛ්‍ය සේවයක් ක්‍රමයෙන් ස්ථාපිත වන්නට විය.එය සිදු වූයේ ජාතික සෞඛ්‍ය සේවය 1952 දී ආරම්භ වීමෙනි.

        වර්ෂ 1796 න් පසු ලන්දේසීන් සතු පළාත් ඉංග්‍රීසීන්  භාරගත් පසු විශාල වශයෙන් දකුණු ඉන්දියාවෙන් ජනයා ගෙනවුත් පදිංචි කර තිබේ.මේ ජනයා සමග වසූරිය සහ කොළරා වසංගත පැමිණි බවට වාර්තා රාශියක් ඇත.ඉන්පසු 1815 න් පසු උඩරට රාජධානියද ඉංග්‍රීසීන් ට භාරවුණි. අනතුරුව ඇති කළ ප්‍රතිසංස්කරණ නිසා රටේ සමාජය දුර්වල විය. ‌සේවා සැපයීම අඩාල වුණි.‌මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වසූරිය ‌මෙන්ම මැලේරියාවත් වේගයෙන් ගම්වල පැතිරුණු බව දක්වා තිබේ.මෙවැනි වසංගත දෙයියන්ගේ ලෙඩ වශයෙන් හඳුන්වා එම රෝගීන් සමාජයෙන් දුරස්තර කරලීමට ජනයා පෙළඹුණහ. කැලේ පැලක් සාදා රෝගියා ඒහි ගොස් තැබූ බවයි සඳහන් වෙයි.

    1805 දී වසූරිය වසංගතය නැවතත් උග්‍ර වුණි. සිංහල රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ටත් මේ රෝගය වැළඳී තිබූ බව සඳහන්ය. නමුත් රජුගේ වෙදනාවන් එයට ප්‍රතිකාර කොට ඔහු සුවපත් කර ඇත.ඒ  යුගයේ ගම්වල සිංහල ‌වෙදකම ‌බොහෝ සාර්ථකව ක්‍රියාත්මක විය. ‌බෝ වන ‌රෝග ‌නොහොත් ‌දෙයියන්ගෙ ‌ලෙඩ පාලනය කරගන්න ‌වෙද මහත්වරු තමන් දත් දැනුමින් අලුත් ඖෂධ ‌හොයා ගත්හ.ඉන් එක ඖෂධයකි දිව්‍ය රාජ ගුලිය.(මාලේවන බෙහෙත් අත් පොත -වෛද්‍ය ඩී.ඒ.මුණසිංහ මහතා සතු වූවකි ) ‌මේ ගුලිය තමන්ගේ හිණ බැඳ යෑමෙන් ‌ලෙඩ ‌රෝග ‌බෝවන්නේ නැතැයි සඳහන්ය.‌ගෙයි උඩලිපතේ තැබීමෙන් නිවසට ‌‌රෝගය පැමිණීම වලක්වන බවද. ගමේ හතර ‌කොණ ‌මේ ගුලිය වළ ලෑමෙන් ගමට පැමිණීම වළක්වන බවද දක්වා ඇත..මාතර  දෙවිනුවර රාජගුරු මුදියන්සේ රාළහාමි නම් වෛද්‍යවරයෙකු  ද්‍රව්‍ය ගුණ විඥාණය පිළිබඳ සිය දැනුම භාවිත කොට පීත කරෝසන ගුලිය නමින් ඖෂධයක් සාදා වසූරිය ලෙඩුන්ට ලබා දී තිබේ.මෙම ඖෂධයන්හි බෙහෙවින්ම රස බෙහෙත් අඩංගුය .රසදිය සාදිලිංගම් පාෂානම් වැනි සැර බෙහෙත් සමග දේශීය ශාක ඔසු යොදා ගනිමින් කල පර්යේෂණ බොහොමයක් විය.මේ ගුලි මීපැණියෙන් මෙන්ම විෂ්ණු ක්‍රාන්ති යුෂයෙන්ද අඹරනු ලැබූහ.

 

      1936 වසරේ දී දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ වාර්තාවක් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරනු ලැබිණ.මෙහි දී පාරම්පරික  වෛද්‍ය ක්‍රම ඉහල නැන්වීම ගැන වෙසෙසින්ම කතා බහ කෙරිණ.නමුත් 1947 පිටවූ  දේශීය වෛද්‍යක්‍රම  පිළිබඳ කොමිෂන් වාර්තාව මගින් මෙරට වෛද්‍ය ක්‍රමය ගැන ගත් ප්‍රතිපත්තිමය තීරණය මෙරට වෛද්‍ය සංස්කෘතියෙන් බැහැරව ගත්තක් විය.

 

 1956 බණ්ඩාරනායක රජය දේශීය වෛද්‍ය විද්‍යාවට සුවිසල් සහයෝගයක් ලබා දෙන ලද්දේ මේ වාර්තාව පදනම් කොට ගෙනයි..ඉන්පසු   සිරිමා මැතිණියගේ රජයත් මීට දුන් සහයෝගය අති මහත්ය.බණ්ඩාරනායක මහතා ආයුර්වේදය මෙරට ඉහළින්ම ඔසවා තබන ලදහ. එම තත්වය තුළ ප්‍රාචීන අධ්‍යාපනයෙන් පිරිපුන් පාරම්පරික වෛද්‍ය පරම්පරා වල දරුවන් ආයුර්වේදය දෙසට ඇදී ගියහ.එයට හේතුව ඒ මගින් ලැබෙන සමාජ පිළිගැනීම නිසාවෙනි.බටහිර සෞඛ්‍ය සේවයත් ආයුර්වේද සේවයත් මෙරට අධිපති සංස්කෘතිය තුළ පැලපදියම් වූයේ එලෙසිනි.

        පාරම්පරික සිංහල වෛද්‍යවරයා යනු සිංහල ජීවන රටාව සමග බැඳී සිටි තමන් ජීවත්ව සිටින පරිසරයේ කොටස් කරුවකු ලෙසින් කටයුතු කළ පුද්ගලයෙකි. එම නිසා ස්වකීය වෙදකම සිදු කරලීමට ඔහු ඖෂධ සපයා ගනු ලැබූයේ ගම අවටිනි.කැඩුම් බිඳුම් ඇනුම් කෙටුම් ඇස් රෝග ගෙඩි වන පිළිකා ආදී ගැමියන්ට නිරන්තරයෙන් වැළඳෙන රෝග කෙරෙහි මේ  වෛද්‍යවරයා සංවේදී විය.ඔහුයට අධ්‍යාපනය ලබා දෙන ලද්දේ ස්වකීය පරපුරෙහි දැනුමැත්තන් විසිනි. ඇසු පුරුද්ද දැක පුරුද්ද හා පළ පුරුද්ද යනු ඔහුගේ ප්‍රත්‍යක්ෂය හා අනුමානය විය. අතැම් විට තම පරපුරේ සිට නැසී ගිය සමත් වෛදයවරුයෙකු  විසින් සිහිනෙන් කියන ලද බෙහෙතක් ඔහු තමන්ගේ වට්ටෝරු අතරට එක් කරගත්තේය.අතැම් මව්වරුන්ටද මේ ගති ගුණය පිහිටා තිබුණි. ආහාර සකස් කරලීමේ දී මුලු තැන් ගෙයි සතු රහස් රැසක් බිහි වූයේ සිහිනෙන් පවසන ලද වට්ටෝරු මගිනි. එමෙන්ම දරුවන් බිහි කරලීමෙන් පසු සූතිකාවන් උදෙසා කරන විශේෂ සත්කාර  මෙන්ම බිළඳුන්ට කරන අත් බෙහෙත් ගැන විශේෂ දැනුමක් කාන්තාවන් විසින් පෝෂණය කරන ලද්දේ විය. ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථයක් වූ යෝග පිටකයට මෙන්ම දඹදෙණි යුගයේ රචනා කරන ලද වරයෝග සාරයට පවා ඇතුල් කරන ලද්දේ මෙවැනි වට්ටෝරු රැසකි.ප්‍රත්‍යක්ෂය සහ අනුමානය මගින් රෝග වලට ප්‍රතිකාර කිරීම සිංහල ක්‍රමවේදය විය.පැරණි ඉසිවරුන් ගේ දැනුම ද මෙයට එකතු විය.පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වැනි බටහිර පර්යේෂණ ක්‍රමවේදයන් ගෙන් මෙම ක්‍රමය වෙනස් විය.

    ගැමි වෛද්‍යවරයා ඇතැම්  විට රජගෙදර සේවය කරන ලද්දේ විය.ඔහු ගේ පරම්පරා නිලය කුමක් වුවද වෙදකමෙහි සමත් නම්  රාජකීය වෛද්‍යවරයෙකු වන්නට සුදුසු කමක් උදා විය.නුවර යුගයේ භාවිත වූ රජගෙදර බෙහෙත් අත්පොත වැනි ග්‍රන්ථයක අතුලත් කරුණු මගින් ඔවුන්ගේ ක්‍රම රාශියක් හදුනාගත හැකිය. සයවන භුවනෙකබාහු රාජ්‍ය සමයේ දී මෙවැනි රාජකීය වෛද්‍යවරයෙකු  ගෙන් බෙහෙත් ලබා ගැනීමට පැමිණි ඉතාලි කුමරියක ගැන ඉතාලියේ ඉතිහාසයේ දැක්වේ. ඇය ලංකාවෙන් ගෙන යන ලද භාණ්ඩ දැනට නාපෝලි කෞතුකාගාරයේ තැන්පතව තිබේ.මෙලෙස වෙදකම පිළිබඳ සම්ප්‍රදායයන් දෙකක් ක්‍රියාත්මක විය. බැහැරින් පැමිණි ආයුර්වේද සහ යුනානි ක්‍රමයන්හි චිකිත්සාවන් මෙන්ම විවිධ විදෙස් ඖෂධ රාශියක් වෙදකමට සම්බන්ධ වූයේ මේ  සම්ප්‍රදායේ හැසිරීම අනුවයි. 

   බරපතල ලෙසට බෝවන ශ්වසන රෝගයක් වූ කොරෝනා ව ලංකාවට පැමිණි පසු සිංහල වෛද්‍යවරුන් බහුතරයක් මේ රෝගය හඳුනාගන්නට උත්සාහ කළහ.තමන්ගේ වෙද පොත් වල කෝල යනුවෙන් දක්වා තිබෙන රෝග මේ හා සමානයැයි යම්කිසි අනුමානයක් ඇති කරගත්හ.ඒ අනුව ඔවුහු කෝලයට භාවිත කළ හැකි ඒ පැරණි වට්ටෝරු සෙවූහ.බෙහෙත් ගුලි මෙන්ම දුම්වැරටි ද සෑදූහ. ඇතැමෙක් තම පරම්පරාවේ පැවති රහස් ඖෂධ නැවත අත්හදා බැලූහ. චූර්ණ පැණිවර්ග සහ තෙල් වර්ග පිළිබඳ තොරතුරු සමාජයට පැමිණෙන්නේ මේ ලෙසයි. ආණ්ඩුවට මෙවැනි වසංගත රෝග ගැන අත්දැකීමක්  නොවීය.

 

 

   ආණ්ඩුව විශ්වාසය පළ කරන ලද්දේ මෙරට සෞඛ්‍ය ආධිපත්‍ය උසුලන බටහිර වෛද්‍යවරුන්ගේ මතයයි. අධිපති මතවාදී තලයක ඉහළින් වැජඹුණද ආයුර්වේද වෛද්‍යවරුන්ට මෙම මතයට අභීයෝග කළ නොහැකි විය.1897 දී ආරම්භ වූ නිරෝධායන නීතිය යළිත් සක්‍රීය කරන ලද්දේ මෙම පසුබිම මතය.මෙම නීතිය යටතේ සමාන්‍ය ජනතාව බියට පත් කරනු ලැබිණ.ආසාදිතතයෙකු නිතරම  රෝහලකට පැහැර ගෙන යෑම නිසා ජනතාව වඩාත් පරිස්සම් විය. නමුත් ශ්වසන රෝගයකට මේ ආකාරයට බිය වීමක් පැරණි කාලයේ තිබුණේ නැත. අපේ පැරණියන් මූලිකව ඉඟුරු කොත්තමල්ලි අරත්ත වැනි ඖෂධ භාවිතා කරමින් රෝගයෙන් අත් මිදීමට උත්සාහ කළහ.මේ පුරුද්ද වර්තමාන සමාජයේ සංකර සිරිත් විසින් බැහැර කර තිබුණද වසංගත තත්වය නිසා එය සමාජයට නැවත පැමිණියහ.

     බටහිර සෞඛ්‍ය ආධිපත්‍ය විසින් මෙරට නිර්මාණය කරතිබෙන්නේ ඖෂධ මාෆියාවකි.නිදහස් අධ්‍යාපනයේ අධාරයෙන් ඉහළට ඉගෙන  දෙස්තරලා වූ බොහෝ අය මේ මා‌ෆියාවේ කොටස් කරුවන් වී ඇත. ඔවුහු චැනල් සෙන්ටර් ඩිස්පෙන්සරි ආදිය පවත්වාගෙන යමින් ජනතාව බියට පත් කර මුදල් ගරා ගනිති.නූතන තාක්ෂණයේ දියුණුව නිසා මේ වෛද්‍යවරුන්ට නවීන උපකරණ රාශියක් ලැබි ඇත. ඔවුහු ඒවා යොදා ගනිමින් මිනිස් අවයව ශල්‍යකර්ම මගින් ඉවත් කරති. ස්වභාවික දරු උපත් නතර කර සීසේරියන් සැත්කම් කරති.මේ මගින් උපයන මුදලින් අධිසුඛෝපභෝගී ජීවිත ගත කරති.කොරොනාව නිසා බිහිවූ සිංහල බෙහෙත් වට්ටෝරු වලින් රෝගය සුව වීම ගැන වඩාත්  කනස්සල්ල පළ කරන්නේ මේ අයයි. බෙහෙත් කොම්පැණී වලට වහල්ව සිටින ආයුර්වේද වෛද්‍යවරුද තමන්ගේ ටයිපටිය ගැලවෙනවාට බියෙන් පාරම්පරික වෙදකමට නිග්‍රහ කරති.

    ලංකාවේ සෞඛ්‍ය පිළීබඳ තීරණ ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට භාරදී තිබෙන්නේ මෙරට දේශපාලකයන්ගේ නිවට කම් නිසාවෙනි.මේ ජගත් සංවිධාන වල අධිපතිවාදී තීරණ මත ක්‍රියාත්මක වන ඔෂධ මාෆියාවේ අලුත්ම ගොදුර  බවට පත් වන්නේ බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන එන්නත් මගින් පර්යේෂනාගාර මීයන් බවට පත් කරනු ලබන සාමාන්‍ය ජනතාවයි. සිංහල බෙහෙත් වර්ග නැවත මේ සමාජයේ ඉස්මතු වුවහොත් මෙම අධිපතිවාදී ක්‍රමයට පහර වදිනවා නිසැකය. ඒ නිසා හොඳින් හෝ නරකින් මේ ක්‍රමය නැවැත්වීම ඔවුන්ගේ අරමුණයි.ඉදිරියේ දී පැමිණෙන එන්නත සිංහල බෙහෙත් වල පැතිරීම නිසා අසාර්ථක වුවහොත් කෝටි ගණනින් ඉපැයිය හැකි ලාභය අපතේ යයි. මෙරට දේශපාලකයන්ද බලාපොරොත්තු වනුයේ ඒ මගින් කොමිස් ගැනීම බව පැහැදිලිය.

     සැබවින්ම කොරෝනාව වේගයෙන් බෝවන්නක් වුවත් ලෙහෙසියෙන් සුව කළ හැකි රෝගයකි. එය ඩෙංගු තරමින් වත් භයානක නොවේ.එම නිසා සමාජයේ පවතින බිය තුරන් කොට මෙරට පහසුවෙන් සොයාගත හැකි දේශීය ඖෂධ කෙරෙහි විශ්වාසය ඇති කිරීම වඩාත් සුදුසුය.වර්තමාන දේශීය වෛද්‍ය ඇමතිවරයා ඉතාමත් සද් භාවයෙන් මෙයට ප්‍රවිශ්ට වී ඇති අවස්ථාවක ඔහුට ශක්තියක් බවට පත් වී රෝගීන් සුවපත් කරලීමේ මෙහෙයුම නව වටයකින් ඇරඹිය යුතුය.