පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, August 18, 2013

එළකිරිත් මීකිරිත් හොඳයි හාල් කිරිත් හොඳයි


                                   

 

      කිරිපිටි වල ප්‍රොටීන් කොටස් ඉවත් කර මෙලමයින් හෝ ඩයසයන් ඩයමයිඩ් රසායනය එක්කර පෝෂණය සමබර කොට වෙළෙඳපළට නිකුත් කිරීම සදාචාරාත්මක නොවන බව සත්‍යයක් වුවද වර්තමාන වෙළෙඳ පළ ක්‍රමය තුළ එය ප්‍රශ්න කිරීමකට ලක් කළ නොහැකි තත්ත්වයට පත් කර ඇත. වෙසෙසින්ම  විදේශවලින් යැපෙන ලංකාව වැනි රටක් එවැනි සමාගම් වලට එරෙහිව කටයුතු කිරීමේ දී නීතිය සැමට එක සමානයි යන සම්මතය යතාර්ථයක් බවට පත් නොවේ. මේ නිසා ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි ඇති වන අවදානම තව දුරටත් වැඩි වර්ධනය වන බව අත් දැකීමයි.

        විසිවන සියවස ආරම්භයේ සිටම මෙලෙස කිරිපිටි සමාගම් ලංකාවේ කිරි පිළිබඳ ජනතා රුචිකත්වය වෙනස් කරමින් තමන්ගේ නිෂ්පාදන වලට අලෙවිය සාදා ගත් හැටි ප්‍රකටව පෙනේ. ආසියාවේ රටවල මේ තත්ත්වය බහුලය . එම නිසා 1974 මාර්තු මාසයේ දී බ්‍රිතාන්‍ය ස්වේච්ඡා කණ්ඩායමක් ආසියාතික රටවල වෝර් ඔෆ් වෝන්ට්ස් යනුවෙන් කළ ගවේශණයකින් පසු වාර්තාවක් ද පල කළහ.එය හඳුන්වන ලද්දේ දබේබි කිලර් යනුවෙනි.ඉන් පසුව ස්විස්ටර්ලන්තයේ බර්න් නුවර මූලස්ථානය කොට ගත් තුන්වන ලෝකයේ කණ්ඩායමක් විසින් තවත් වාර්තාවක් මාස දෙකක් ඇවෑමෙන් ප්‍රසිද්ධියට ලත් කරන ලද්දේය. එය කෙළින්ම හඳුන්වන ලද්දේ නෙස්ලේ කිල්ස් බේබීස් යනුවෙනි.  දශක ගණනාවකට පසු වර්තමානයේ ද අප මුහුණ දී තිබෙන්නේ මෙම තත්ත්වයටමයි කීවොත් නිවරදියයි සිතමි.

              වර්තමාන  සංගණනයන් අනුව දොලොස් ලක්ෂයක් පමණ ගවයන් ලංකාවේ සිටින බව පෙනී යයි. එයින් කිරි එළ දෙනුන් වශයෙන් භාවිතා කරන්නේ ලක්ෂ එකහමාරක් පමණක් බවද ආරියශිල වික්‍රමනායක මහතාගේ අදහසයි. අපගේ පැරණි මුතුන් මිත්තන් කිරි බිවු ජාතියක් වශයෙන් නොව කිරි කෑ ජාතියක් වශයෙන් හැඳින්වුවහොත් නිවරදි යයි සිතමි. එයට හේතුව එළකිරි වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ කුඩා දරුවන් පමණක් වන බැවිනි. නමුත් මුදවා ගත් කිරි විශාල වශයෙන් දෛනික ආහාර වේලට එකතු කර ගත් බව පෙන්නුම් කළ හැකිය. ඊට අමතරව  ආහාරයට මෙන්ම ඖෂධ වශයෙන් ගිතෙල් හා මෝරු  භාවිතා කර ඇත.

           එළකිරි වලට වඩා මී කිරි පරිභෝජනය අප සමාජය තුල පැවතීමට එක් කාරණයක් වූයේ මේ කිරි වර්ග දෙක තුළම තිබූ පෝෂණ ගුණාංග වල වෙනස් කමයයි සිතමි. එළකිරි වලට වඩා දෙගුණයක් පමණ  කැල්සියම් ප්‍රමාණයක් මීකිරි වල අඩංගු  වන අතර ප්‍රෝටීන් ප්‍රමාණයද විශාල වෙයි. එසේම පොස්පරස් හා විටමින් වර්ග ද මීකිරි වල බහුලව පවතී. එළකිරි ගුණයෙන් සීතල වන අතර මීකිරි ගුණයෙන් උෂ්ණ වීර්යවත්ය. එළකිරි මගින් නාඩි ව්‍යුහය ශක්තිමත් කරන අතර ශරීරය පුෂ්ටිමත් කිරීමටද බෙහෙවින්ම උපකාරි වෙයි. එසේම ගර්භණින්ට හිතවත්ය. නමුත් මීකිරි තෙල් පදාර්ථ බහුල ආහාරයක් වන අතර වෙහෙසා වැඩ කරන අයට බෙහෙවින්ම ගුණදායක වේ. බත් සමග හා කුරහන් සමග මීකිරි කෑම සිංහලයා පුරුදු කර ගෙන ඇත්තේ මීකිරි වල පවතින ගුරු ගුණය මග හරවා ශරීරයට හිතකාරි ලෙසට පරිවර්තනය කර ගැනිමටයි.  විටමින් ඒ විශාල වශයෙන් පවතින ගිතෙල් හා වෙඬරු ද පැරණියන් පුරුදු කර ගෙන තිබුණි. ඒවා බලවත් රසායනයන් වන බැවින් ආහාරයට මෙන්ම රසායන ඖෂධ පිණිස ද යොදා ගැනීමෙන් නිරෝගී සමාජයක් පවත්වා ගෙන යාමට පිළිවන් කම ලැබී තිබුණි. වෙසෙසින්ම මහලු අවදියේ ඇති වන දුර්වලතාවයන් මග හරවා ගැනීමට ගිතෙල බෙහෙවින්ම ප්‍රයෝජනවත් විය.මේ ආහාර සංස්කෘතිය වෙනස් වූයේ යටත් විජිතකරණයෙන් පසුව බව පැවසීම වැරැද්දක් නොවේ. බ්‍රිතාන්‍යයන් තමන්ගේ ආහාර පුරුදු ලංකාවේ ජනතාව මත බලයෙන්ම පැටවීම නිසා කිරි ආහාර පමණක් නොව අනෙකුත් ධාන්‍ය ආහාර ගැනද තිබූ හුරු පුරුදු සමාජයෙන් ඈත්ව ගිය බව පෙනේ. මේ නිසා විසිවන සියවස මුල් භාගයේ දී ලංකාවට පැමිණි බහුජාතික සමාගම් අලංකාර දැන්වීම් පළ කරමින්  එලකිරි ආහාර වලින් ජනතාව ඈත් කරමින් ඔවුන්ගේ කිරි පිටි හා උකුකිරි වලට ආකර්ශණය කර ගැනීමට උත්සාහ කර තිබේ.

           1929 දිනමිණ පත්‍රයේ පළ වූ මේ වාර්තාව මේ සත්‍යය පැහැදිලි කරන බව කිව යුතුය. රෝග පීඩා ඇති වීමට හේතුව කලවම් කළ බාල කලාවූ අපිරිසිදු කිරි පාවිච්චි කිරීමයි. සම්පූර්ණ පිරිසිදු කොට කිසිම කළවමක් නැති යොදය ඉවත් නොකළ කිරි බවට සහතික දරණ කිරි පාවිච්චි කොට ආරක්ෂා වී සිටිනු. මිල්ක් මේඩ් නෝනා ලකුණ දරන උකු කිරි මුලු ලෝකයෙන්ම පිරිසිදු කිරි බැව් පිළිගෙන තිබේ. මේ 1929 මාර්තු මාසයේ පළ වූ තවත් දැන්වීමකි. මව් සනීප වුනාට පසු දරුවාට කිරි දෙන්නට නැති වීමෙන් ළමයා වැඩෙන්නෙ නැති බව කාටත් පෙනී ගිය කාලයක් තිබුණි. ළමයාගේ බර වැඩි වුනේ නැත. ඇඟේ මස් දැම්මේත් නැත. අරෙකෙන් ටිකකුත් මේකෙන් ටිකකුත් එක්කාසු කොට එළකිරි පොවන්නට ඕනෑය කියා කවුරුත් කියන කියන දේ පමණක් මව් කළ නමුත් අන්තිමේ දී දොස්තර මහත්තයා කියන එක පමණක් පිළිගෙන ළමයාට ලැක්ටෝජන් කිරි ආහාරය දුන්නේය. දැන් ළමයාගේ හැටි බලන්න යි කියමින් මව් ආඩම්බර වෙයි.

            බත අපගේ ප්‍රධාන ආහාරයයි. බත් කෑමටත් වඩා පැරණියන් කැඳ බිව් බව මෙහිදී කිව යුතුයි. කොලකැඳ ලුණු කැඳ සහ බෙහෙත් කැඳ වශයෙන් ප්‍රභේද කොට ගෙන ඒවා භාවිතා කිරිමට පුරුදු වී සිටියහ. සහල් ඇටය සෑදී තිබෙන්නේ ගොයම් ගසට වදින කිරි වර්ගයන්ගෙනි. අප එයට කිරි වදිනවායයි කියන්නේ එහෙයිනි. එසේනම් හාල් ඇටයේ කිරි ගුණය ඉස්මතු කර ගැනිමටද අපට හැකියාවක් තිබිය යුතුය. ඒ සඳහා පැරණියන් කලේ අප්පල්ලයක් හෝ කට පළල හට්ටියක් ගෙන සහල් ස්වල්පයක් දමා එයට ජලය ප්‍රමාණවත් පමණින් එකතු කර රම්පේ කොළ කැබැල්ලක් ද දමා හොඳින් තැම්බෙන්නට හැරීමයි. ඇට බෙරි වී තැම්බුනායින් පසු පොල් කටු හැන්දකින් හොඳින් මත ගා පොඩිකරගෙන ගිනි රශ්ණය වැඩි කර එයට නටන උණු වතුර අවශ්‍ය පමණ එක්කර ගැනිමෙන්ද එය හොදින් හැඳි ගා ගැනීමෙන්ද  හාල්කිරි සාදා ගත් බව පැරණි අය කියති. හාල් කිරි සඳහා සුවඳ සම්බා සහල වඩාත් අගනේය. මෙයට මද වශයෙන් ලුණු එක් කර හකුරු කෑල්ලක් සමග උදේ පානය කිරීමෙන් සහල්වල තිබෙන පෝෂක කොටස් අවශ්‍ය පමණින් ශරීරයට ලැබෙන බවද පැරණියන් විශ්වාස කළහ. ලෙඩක් දුකක් හැදුණු විටදී එයට ලුණු ප්‍රමාණය මදක් වැඩි කර දෙති. ඊට අමතරව මණ්ඩ ලාජා මණ්ඩ අෂ්ට ගුණ මණ්ඩ පේයා හා විලේපී යනුවෙන් ඒ ඒ අවස්ථාවල දෙන කැඳ වර්ගයන්ද ඇත. මෙහිදී මණ්ඩ හා අෂ්ට ගුණ මණ්ඩ වලට භාවිතා කරන්නේ තැම්බූ සහල්ය. අෂ්ට ගුණ මණ්ඩ වලට කොත්මල්ලි වියලි ඉඟුරු ගම්මිරිස් පෙරුංකායම් හා තලතෙල් ද එක් කර ගනිති. උණ සෙම්ප්‍රතිශ්‍යාව අවස්ථාවලදි ගන්නේ පේයාවයි. එහිදී ජලය මදක් වැඩි කර තැම්බූ සහල් සමග සකස් කර ගනිති. පිපාසය වෙහෙස දුබල කම නැති කර ඩහදිය පිටකිරීමට මෙය උපකාරි වෙයි. මේ නිසා උණ නාශනය කරන බව කියති. මෙයට වැඩි පුරම භාවිතා කල හැකි පාරම්පරික සහල් වර්ග කීපයක්ද තිබෙන බව කිව යුතුය. ඒ අතර හීනටි දහනල පොලැල් සහ හැට දා සහල් ප්‍රධාන වෙයි. ලාජා මණ්ඩ යනුවෙන් හඳුවන්නේ වී පොරි යොදා ගනිමින් සකස් කරන කැඳ විශේෂයකි. මෙහිදීද තිප්පිලි වියළි ඉඟුරු ආදියද සම්මිශ්‍රණය කර ගනිති. පිපාසය අතීසාරය සමනයට මෙය මහඟු ඔසුවක්ය. ළමුන්ට හා මහලු අයට විශේෂ වෙති.

      ලංකාවේ ආහාර සංස්කාතිය මේ ආකාරයෙන් විවිධත්වයක් ගන්නා බැවින් පෝෂණය සඳහා මෙන්ම සෞඛ්‍ය පිණිස විශාල ව්‍යායාමයක් ගෙන කිරි පමණක් ව්‍යාප්ත කිරීමට වෙහෙස දැරිය යුතු නොවේ යයි සිතිමි. එළකිරි පිටි බවට පත් කිරීම  සඳහා වෙන්ව පවතින හයිලන්ඩ් පැල්වත්ත වැනි කර්මාන්ත යෝග්‍ය පරිදි ප්‍රචලිත කරන අතරම මීගව සම්පතෙන් උපරිම ප්‍රයෝජනය ගෙන මීකිරි නිෂ්පාදනයත් දෙවනුව ගිතෙල් නිෂ්පාදනයත් වැඩි කර කිරි ගොවියා ශක්තිමත් කරන අතර තුර හාල් කිරි තණ හාල් කිරි මෙන්ම කුරහන් කිරිද දෛනික ආහාර වේල් වලට එක් කර ගැනීම වඩාත් කාලෝචිතය. එවිට පිටරටින් ගෙන්වන මෙට්රික් ටොන් අසූ තුන් ලක්ෂයක් පමණ වන කිරි පිටි තොගය අත්හිටුවීමට හැකිවන බවද මෙහි සටහන් කර තැබිය යුතුය.

           

Friday, August 9, 2013

ෙද්ශපාලකයන්ට පඩි - රතුපස්වලට ෙවඩි


                                       

 

         අපගේ මුතුන් මිත්තන් මහ පොළොව ට මිහිකත යන ව්‍යවහාරය කරන ලද්දේ ඇය මවක් ලෙසට සැලකුම් ලැබූ නිසාවෙනි. මේ නිසා ජල මාර්ග වලට මුත්‍රා කිරීම බරපතල පාපයක් ලෙසට පෙන්වා දෙන ලදී. ඉහළට වීසි නොකර උණු වතුර පොදක් පවා මහ පොළවට නොදැමීමට වග බලා ගන්නා ලදී. මිහිකත මිහි මවක් විලසින් සැලකූ මේ දයාබර මිනිසුන්ගේ සිත් සතන් දූෂණය කිරීම ආරම්භ කරන ලද්දේ යුරෝපීයන් විසින් බව පැවසීම මුසාවක් නොවේ. යටත් විජිත සමයේ දී ඇරඹුණු රසායනික ගොවිතැන නිසාවෙන් මහ පොළව දූෂණය කිරීම ආරම්භ කරන ලද්දේ වුවද ඒ බව නිවරදිව වටහා ගැනීමට ස්වදෙශිකයන්ට නොහැකි වුණි. ඊට හේතුව බ්‍රිතාන්‍යයන් විසින් අපට දෙන ලද අධ්‍යාපනයයි. කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංසකරණ යටතේ රට නිදහසේ ඉගැන්වීමේ ක්‍රියාවලියකට පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ස්වදේශික දුප්පත් පොහොසත් සියලු දෙනාට එකලෙස එකම ක්‍රියාවලියේ අධ්‍යාපනයක් ලැබීමේ වරම් හිමිවුණි. මෙය වඩාත් ප්‍රගතිශීලී පියවරක් වුවද අධ්‍යාපන ප්‍රතිපත්ති දේශීය කරණය නොවීම නිසා  මුලුමනින්ම රටට අහිතකර ඉගැන්වීමේ මූලධර්ම රටතුළ ව්‍යාප්ත විය.  රසායනික ගොවිතැන පුරුදු පහුණුකිරීමේ විෂය මාලාව අධ්‍යාපනයට ඇතුලත් වීම එක් උදහරණයක් පමණකි. යටත් විජිත සමයේ දී යම් තරමකින් හෝ රසායනික ගොවිතැනෙන් මිදීම පිණිස යම් උත්සාහයක් ගැණුනද නිදහසෙන් පසු වෙසෙසින්ම හරිත විපල්වය නිසා එම බලාපොරොත්තු සුන් වී ගිය බව පැවසිය යුතුය.

      අසූව දශකයේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති තුළ රටට  නිදහසේ පැමිණි ප්‍රාග්ධන හිමි කරුවන් ලංකාවේ නිදහස් වෙළෙඳ කලාප වල අයෝජනය කිලීමේ ප්‍රතිඵලයක් වශයෙන් විසල් කර්මාන්ත ශාලා ඇති විය. ඇඟලුම් කර්මාන්තයේ පටන් රසායනික ද්‍රව්‍ය කර්මාන්ත දක්වා ව්‍යාප්තව ගිය මේ ආයෝජනයන් ගෙන් රටට විදේශ විනිමය ලැබුණද ඒවා නිසි පරිදි ප්‍රමිතිගත නොකිරීමේ වරද මුල පටන්ම දකින්නට හැකි විය. පරිසර අගැයීම්සිදු කරලීම හා පිරිපහදු ක්‍රම ගැන මුල පටන්මවෙසෙසි අවධානයක් නොවුණි. රටේ ධනපති පන්තිය විශේෂයෙන්ම අලුත පොහොසත් වූ රාජ්‍ය හිතැතැතියන් ගේ මැදිහත් විම් නිසා විධිමත් කර්මාන්ත ක්‍රියාවලියකට අවතීර්ණ වීමේ ඉඩකඩ ඇහිර ගියේය. මුදල් හරි හම්බ කිරීම එකම් අරමුණ කරගත් මේ පිරිස විවිධ බදු සහන ලබා ගනිමින් ආණ්ඩුවේ සහයෝගය ඇතිව ඉඩම් බදු ගනිමින් අත්පත් කර ගනිමින් කර්මාන්ත ඇරඹුහ. මෙම කම්හල් වල කිසිම ප්‍රමිතයක් ඇති කර ගත් බවක් නොපෙනුණි. මේ ඇරුණු කොට පලිබෝධනාශක ගෙන්වන සමාගම් රාශියක් රටේ දේශපාලකයන් සමග අත්වැල් බැඳගෙන උන්හ. දේශපාලකයන්ගේ දේශපාලන පොරපිටිය වැඩි වර්ධනය කර ගැනිමට මේ රසායනික ද්‍රව්‍ය ගෙන්වන සමාගම් ලබා දෙන දායකත්වය විශාල විය. එලෙසම රටේ කෘෂිකර්ම හා සෞඛ්‍ය අංශ වල ආයතන වල මුල් පුටු හොබවන නිළධාරින්ද මේ සමාගම් වල වහල් භාවයට පත් කර ගෙන ඇත. විවිධ වරදාන ප්‍රදනය කර ගනිමින් ඉතා සූක්ෂමව මේ ව්‍යායාමයෙහි නිරත වීමට ඔවුන් වගා බලාගෙන ඇත. පසුගිය කාලයේ දී පලිබෝධනාශක රෙජිස්ටාරවරයා හැසිරුණු අකාරයත් පලිබෝධනාශක වල ආසනික් හා රසදිය බහුල ලෙසට අන්තර්ගතයයි ඔප්පු කර පෙන්වා දුන් විටදී රටේ ප්‍රධානියා හා අනෙක් දේශපලකයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් තුළ දක්නට ලැබුණේ තමන්ගේ ජාම බේරා ගැනිම පිණිස ජනතාවගේ සෞඛ්‍ය බිල්ලට දුන් බවයි. රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගීන් ලක්ෂයක් පමණ හඳුනාගෙන තිබියදී මේ දේශපලාකයන් අදාල සමාගම්වලට නඩු නොපවරා නිහඬ වූ  ආකාරය පසුගිය කාලයේ දී ප්‍රදර්ශනය විය.

         රතුපස්වල පිහිටා තිබෙන හේලීස් ආයතනයට අනුබද්ධ විනිග්‍රොස් කම්හල ආශ්‍රිතව ඇතිවූ ගැටලුව ද මෙවැන්නකි. රබර් අත්වැසුම් සකස් කිරීම සඳහා බිහි කරන ලද මේ ආයතනය දශක දෙකකට ප්‍රථම ආරම්භ කරන ලද්දකි.  එහි ආරම්භයේ දී මෙන්ම වර්තමානයේ දීත්  කම්හලට අදාළ පිරිපහදු ක්‍රම සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මකවී නැත. රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමේදී එයට අනුගමනය කළ යුතු පිරිපහදු ක්‍රම හා ප්‍රමීතීන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දක්වා තිබේ. ඇතැම් විට රසායනික ද්‍රව්‍ය වල ස්වභාවය අනුව එම ප්‍රමිතීන්ද සුදුසු නොවන අවස්ථා ද ඇති වේ. එවිට කළ යුත්තේ එම කම්හලට ආවේණික ලෙසට නැවත ප්‍රමිතීන් නිර්මාණය කොට නිරන්තර අධීක්ෂණයට ලක් කිරීමයි. මේ සඳහා නිරත කළ හැකි  පරිසර නිළධාරීන් රාශියක් ම සිටින බව පෙන්වා දිය හැකිය. නමුත් මෙතෙක් ඔවුන් කොට ඇත්තේ ප්‍රශ්ණයක් ඇති වූ විට පමණක් කම්හලකට ගොස් පරීක්ෂා කරලීම පමණකි. රතුපස්වල විනිග්‍රොස් සමාගම සම්මත පිරිපහදු ක්‍රම අනුගමනය නොකර නිළධාරීන් සතුටු කරමින් පමණක් පවත්වා ගෙන ගිය  ආයතනයකි. මේ නිසා කලක් තිස්සේ පරිසරයට අපද්‍රව්‍ය එකතු වෙමින් තිබි ඇත. මෙහි සමාගමේ කොටස් වලින් සියයට 48 ක් ධම්මික පෙරේරා මහතාට හිමියව ඇති බැවින් නිළධාරීන් ද මෙම පරිසර විනාශය නවත්වාලීමට කටයුතු නොකළ බව පෙන්වා දිය හැකිය.

              වර්තමානයේ දී මතුව ඇති කිරිපිටි ගැටලුවද මෙවැන්නකි. කාලයක් තිස්සේ විදේශවලින් ආනයනය කරනු ලබන කිරිපිටි වල මෙලමයින් සත්ත්ව තෙල් ඇතුලු නීත්‍යානුකළ නොවන දේ අඩංගු බව පෙන්වා දි ඇත. නමුත් ෆොන්ටේරා සමාගම සහ අනෙකුත් කිරි පිටිගෙන්වන්නන් ලංකාවේ ජනතාවගේ ඇස් වලට වැලි ගසමින් මේ ප්‍රෝඩාව දිගින් දිගටම කර ගෙන විත් තිබේ. ඔවුන්ගේ අලුත්ම ප්‍රෝඩාව නම් ස්වභාවික කිරි වල පවතින ප්‍රොටීන් කොටස් ඉවත් කොට එම අඩුව සපුරාලීමට ඩයිසයනමයිඩ් නම් රසායනිකය එකතු කිරීමයි. ඒවා තණ පිට්ටනි වලින් එන බව පැවසුවද එය මුසාවකි. මෙම එකතු කිරීම ඔවුන් සාපාරාධී ලෙස කරන ලද්දකි. මේ අපරාධයන් වසන් කරලීමටද ඒවාට ආවරණය ලබා දීමටද සෞඛ්‍ය අමාත්‍යංශය අතුලු රාජ්‍ය ආයතන වල නිළධාරින් සැදී පැහැදි සිටිති. ඔවුන් ගේ දෛනික ජීවිතයේ යම් යම් වියදම් පියවා ගැනීමට මෙම සමාගම් උදව් කරන බැවින් මේ අපරාධයන් වසන් කරලිමට හැකි සියුලු දේ කරති. ඩයිසයනමයිඩ් කථාව යට යන පරිදි වේ ප්‍රොටීන් ප්‍රශ්නය කරළියට ගෙන ඇත්තේ එබැවිනි. සැබැවින් රජය මෙහිදී කළ යුත්තේ මේ ගැන විධිමත් පරික්ෂණයක් කොට අදාළ තොග තහනම් කොට සමාගමට විරුද්ධව නීති මගින් කටයුතු කිරීමයි. රජය එසේ නොකරන බව පැහැදිළිය. රජයට දේශපාලකයන්ට  මැතිවරණ කිරීමට අවශ්‍ය මුදල් ලබා දීමට මෙම සමාගම් සැමද සැදී පැහැදී සිටින බව නොරහසිකි. එම නිසා තම තමන්ගේ ජාම බේරා ගැනීමට  දේශපාලකයන්ට ද සිදු ව ඇත. මේ සියල්ල පසු පස්සේ තිබෙන්නේ මුදල්ය. රතු පස්වලදී සාමාන්‍ය වැසියන් තිදෙනෙකුගේ ජීවිත අහිමි වූයේ මේ ලොකු ලොක්කන් බිත්තියට හේතු කළ බැවිනි.මෙම පූර්වාදර්ශය මගින් පෙන්වන්නේ ලංකාවේ අනාගතය ගැන භයානක පෙරනිමිත්තකි.අපගේ ආදරණීය මව්බිමේ ඉරණම එක් පැත්තකින් ඉන්දීය ප්‍රාග්ධන හිමිකරුවන්ට පාවා දී ඇත. අනෙක් පැත්තෙන් දේශපාලනය නිසා අලුත පොහොසත්ව සිටින දාමරිකයන්ට කෙළි සෙල්ලම් කිරීමේ පොර පිටියක්  බවට පත් කර ඇත.මෙය තිරස්චීන ධනවාදයක ආරම්භය බව සනිටුහන් කර තැබිය යුතුය.