පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, May 30, 2016

ෆෙඩරල් ප්‍රකාශ මගින් සිංහල ජනතාව කුපිත වෙයිද


                                

            යළිත් වරක් උතුරේ මහඇමතිවරයා සහ පළාත්සභාව රට බෙදීමේ භයානක උන්මත්තක යෝජනාවලියක් සමාජ කරළියට දමා ඇත. ගංවතුර පීඩාව නිසා විස්සෝපයට පත්දකුණේ ජනතාව උතුරේ මහ ඇමතිවරයා ගේ මීට පෙර ප්‍රකශ  අමතක කළ බවට නිසැකය. නමුත් තුවාළයක් පාරන්නා සේ උතුරේ මහ ඇමතිවරයා නැවතත් සිය බෙදුම්වාදී   වුවමනාවන් සිංහල ජනතාවට යළි මතක් කර දී තිබේ.

         මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන සමයේදී උතුරු පළාත්සභාව පත්කිරීම පිණිස චන්දය පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේදී මෙරට ජාතික බලවේග විසින් කරුණු කීපයක් එතුමන්ට අවධාරණය කළහ. එකක් නම් පළාත්සභා පණතේ තිබෙන ඇතැම් හානිකර වගන්ති ඉවත්කරන ලෙසටය. පළාත්සභා පණතේ 154 (අ) සිට 154 (ඩ) දක්වා වූ ව්‍යවස්ථාවේ 17 (අ) පරිඡේදය වෙනස් කිරීම . 155(3 අ) අනුව්‍යවස්ථාව වෙනස් කිරීම සහ නවවන උපලේඛණය පරිච්ඡින්න කිරීම මෙම සංශෝධන යෝජනාවන්ට අයත් විය. පොලිස් බලතල පිළිබඳ ෆෙඩරල් ප්‍රතිපත්ති උතුර සහ නැගෙනහිර එක් කිරීම සඳහා ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ සහමුලින්ම වෙනස් කිරීම මෙහි අදහස විය. එසේම යම්පළාතක් රජයට එරෙහිව කටයුතු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයට එයට මැදිහත් විය හැකිවන සේ පළාත්සභා පණත සංශෝධනය විය යුතු බවට එහිදී යෝජනා විය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 170 ප්‍රතිපාදනයේ ලිඛිත නීතිය යන්නහි අර්ථ කථනයේ පළත් සභාවක් විසින් සාදන ලද ප්‍රඥප්ති හෝ කවර වූ නීතියක් යටතේ යන වචන වෙනුවට කවර හෝ නීතියක් යටතේ යන වචන අදේශ කිරීමටද මෙහිදී යෝජනා විය.අනෙක නම් චන්ද බලය ලබා දීමේදී 1971 ජන සංගණනය අනුව එය තීරණය කරන ලෙසය. සිංහල ජනතාව ඒ අනුව නැවත පදිංචි කිරීමකින් තොරව උතුරු පළාත්සභා චන්දය නොපවත්වන ලෙසට සියළු දෙනාම ඉල්ලීම් කර සිටියහ. එහෙත් සන්ධාන රජය ගත් ප්‍රතිපත්ති තීරණ වල වෙනස්කමක් ඇති නොවීය. ජනතා හඬට කන්නොදුන් ආණ්ඩුව පළාත්සභා මැතිවරණය පවත්වා විග්නේශවරන් මහතා මහ ඇමතිවරයා බවට පත් කරන ලදහ.නැගෙනහිර පළාත්සභා මැතිවරණය ඊට කලින් පවත්වන ලදඅතර ඒ මගින් මුස්ලිම් පක්ෂ සමග සන්ධාන ගතව පළාත් ආණ්ඩුවක් පිහිටුවීමට සන්ධාන කණ්ඩායම තීරණය කළහ.  මෙහි ප්‍රතිඵලය වූයේ උතුරු පළාත තුළ දෙමළ ජතිවාදයට අවශ්‍ය නෛතික බලය ලබාදීමයි. එසේම නැගෙනහිර පළාත තුළ මුස්ලිම් අන්තවාදයට අවශ්‍ය දේශපාලන බලයද සන්ධාන රජය මගින් හිමිකර දුන්හ.

              දෙමළ පක්ෂ සැමවිටම ඉතිහාසය තුළ පෙන්නුම් කරන ලද්දේ  සිය ජාතිවාදී වුවමනාවන් ක්‍රමානුකූලව ලබාගැනීමයි. එකක් ලබා ගැනීමෙන් පසු තවෙකක් ලබාගැනීම ඔවුන්ගේ පිළිවෙත විය. පසුකාලයේදී මුස්ලිම් පක්ෂ ද එම පිළිවෙතම අනුගමනය කරන ලදී. යම් හෙයකින් පවතින ආණ්ඩුව එම ඉල්ලීම් වලට කන්නොදුනහොත් විපක්ෂය සමග  එක්වී කුමන්ත්‍රණකාරී ලෙසට කටයුතු කිරීම ඔවුන්ගේ පිළිවෙත විය. සිංහල බෞද්ධ ජනතාව ඉදිරියේ තිබෙන අභියෝග සමාජ ගත කරමින් ඒවාට විසඳුම් ඉල්ලා සිටි බොදු බලසේනාව උගුලකට හසුකරන ලද්දේ මෙලෙස කුමන්ත්‍රණකාරී ලෙසට කටයුතු කළ අන්තවාදී පක්ෂ විසිනි. අළුත්ගම ධර්ගානගරයේ ඇතිවූ කෝලාහලය කලින් සැලසුම් කරන ලද්දකි. මේ කෝලාහලයේ වගකීම බොදුබලසේනාව වෙතට පැවරීම ඔවුන්ගේ ප්‍රයෝගයේ එක් අදියරක් විය. අනෙක නම් බොදු බල සේනාවට ආණ්ඩුව පැත්තෙන් උදව් කිරීම අතිශයෝක්තියෙන් සමාජ ගත කිරීමයි.නමුත් ඇත්ත තත්ත්වය නම් හලාල් ප්‍රශ්ණයේදී සහ මුස්ලිම් අන්තවාදී ක්‍රියාපිළිවෙත හමු වේ නීතිය කාහටත් එකසේ බලපැවැත්වීම සඳහා ආණ්ඩුව කටයුතු නොකළ බවයි.අන්තවාදීන්ගේ මෙම උපක්‍රම සියල්ල සැබවින්ම සාර්ථක විය. ගිනිතබන ලද මුස්ලිම් දේපළ ගැන පමණක් වාර්තා සකස් කරන ලද අතර ඒවා ජාත්‍යන්තර තලයට පිටත් කර හැරීමේ කාර්යයද ඉතා සාර්ථක අන්දමින් සිදු කරනු ලැබිණ. මහින්ද රාජපක්ෂ රජය මගින් සියළු වරප්‍රසාද ලබාගත් මුස්ලිම් දේශපාලඥයන් සිය අභිමතාර්ථ සාධනයෙහි තත්පරව අවසානයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ බලය උදෙසා සන්ධාන ගතවිය.

             1987 වර්ෂයේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරන ලද පළාත්සභා පණතට කලියෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරනු ලැබිණ. මේ ගිවිසුමට රටපුරා ජන විරෝධයක් එල්ල වූ අතර ඒවා මැඩ පවත්වමින් ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් එයට එකඟතාවය ප්‍රකාශ කරනු ලැබිණ. මේ ගිවිසුමෙන් පසුව ඉන්දීය සාමසාධක හමුදාව සහ කොටිත්‍රස්තවාදීන් එක්වී  උතුරු සහ නැගෙනහිර පළාත් තුළ සිටි සිංහල ජනතාව එලවා දමන ලදහ. මේ ක්‍රියාවලියේදී සිංහලයන් බලවත් සේ ප්‍රකෝප විය. ජන උද්ඝෝෂණ මෙන්ම විරෝධතා රාශියක්ම එල්ල විය. දකුණේ ජාතික බලවේගයන් මේ විරොධතාවයන්ට සෘජුව මැදිහත් වනු දක්නට ලැබුණි. අවසාන ප්‍රතිඵලය වූයේ මහජන ප්‍රකෝප කිරීම් උත්සන්නවී ලංකා රජය වෙත ජාත්‍යන්තර පීඩනයක් එල්ල වීමයි. මේ නිසා ජයවර්ධන රජයට  ඉන්දුලංකා ගිවිසුම අත්සන් කරලීමටත් පළත් සභා පණත සම්මත කර ගැනීමටත් උතුරු නැගෙනහිර ප්‍රදේශ ද්‍රවිඩ ජනතාවගේ සාම්ප්‍රදායික නිජභූමි ලෙසට පිළිගැනුමටත් සිදු විය.1984 වර්ෂයේ සිට 1987 දක්වා මේ කුපිත කිරීම් එකදිගට අඛණ්ඩව සිදු විය. මේ කෝලාහල පිටිපස ඉන්දීය රහස් ඔත්තු සේවා සිටි බව නිසැකය.

          ලංකාව දෙකඩ කිරීම විදේශ දේශපාලනයේ අරමුණයි. ඉන්දියාවද ලංකාව සිය අණසක යටතේ දීර්ඝ කාලයක් තබාගෙන ආර්ථික වශයෙන් සිය වෙළෙඳ පළ අවශ්‍යතාවයද දේශපාලන අවශ්‍යතාවයද සපුරා ගැනීමේ චේතනාවෙන් පසුවෙයි. අවසාන වශයෙන් ලංකාව තුළ සිංහල ජනතාවට තිබෙන අයිතිය නැති කිරීම අරමුණක් වශයෙන් තබා ගෙන තිබේ. එයට හේතුව වසර පන්සීයකටත් එපිට සිට බටහිර බලවතුන්ට එය කළ නොහැකිව තිබීමයි. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ දේශපාලන මැදිහත් වීම් අවසන් කිරීම ඉලක්කයක් වශයෙන් පවතී.වත්මන් යහපාලන රජය කුමන්ත්‍රණයක් මගින් පත් කරගන්නා ලද්දේ ඒ සඳහාය. සිය බල වුවමනාවන් පිණිස රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාද කටයුතු කිරීම මීට විශාල අනුබලයකි. පවත්නා ව්‍යවස්ථාව වෙනස් කොට ලංකාව ප්‍රාන්ත කීපයකට කඩා බලය දුර්වල කිරීම එහි පළමු අදියරයි. අනතුරුව සමස්ත ලංකාවම ගිල ගැනීමට පිඹුරු පත් සකස් වනු ඇත.මෙම ව්‍යවස්ථා පෙරහැරට කස පුපුරුවාලීම දැන් ආරම්භ කොට ඇත. උතුරු පළාත් මහ ඇමතිවරයා කරන ප්‍රකාශ මෙන්ම නැගෙනහිර මහ ඇමතිවරාගේ හැසිරීම් ඊට උදාහරණයන්ය. මේ තත්ත්වය තුළ සිංහල ජනතාව යළි කුපිත කිරීම් ඔවුන්ගේ බලාපොරෙත්තුවයි. එමගින් රටේ දෙශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කොට සංශෝධනය කරන ලද ව්‍යවස්ථාව සම්මත කරලීම සිදු වනු ඇත.

        මේ වනතෙක් ඒකාබද්ධ විපක්ෂය නිල වශයෙන් ෆෙඩරල් යෝජනාව පිළිබඳව සිය මතය ප්‍රකාශ කර නොමැත.එසේම ව්‍යවස්ථා වෙනස තුළින් විධායක අගමැති කම ඇතිකිරීම ටද ඔවුන්ගේ සහාය පළවෙමින් පවතී. ජාතික හෙළ උරුමයද මෙම යෝජනාවට එරෙහිව බස්නාහිර පළාත්සභාවට යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් රජය තුළදී එය සාකච්ඡා කළ බවක් දක්නට නොමැත. මෙම නිශ්ශබ්දතාවයෙන් සිදු වන්නේ ක්‍රමානුකූලව සිංහල ජනතාව ගැටුම් කරා ගෙනයෑමට පසුබිම සකස් කිරීමයි. මෑතකදී මඩවල මදීනා මුස්ලිම් පාසලේ සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර දමා ගැසීමේ සිද්දියෙන් පසු එයට මග විවර වෙමින් ඇත. සැබවින්ම මෙම තත්ත්වය ඉතා ඛේදනීය වෙයි. මෙයින් හිරිහැරයට පත් වන්නේ අහිසංක ජනතාවයි. දේපළ අහිමි වන්නේත් ජීවිත වලින් වන්දි ගෙවන්නේත් ඔවුන්ම වේ. එම නිසා සිංහල ජනතාව ගැටුම් කරා මෙහෙයවීමට තිබෙන ඉඩකඩ වහා ඇවිරිය යුතුය. බෙදුම්වාදය පරාජය කිරීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ කිරීමේ වගකීම ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටයි. එසේම ජනධිපතිවරයා සහ අගමැතිවරයා සමග මෙම ප්‍රශ්ණයන් සෘජුව සාකච්ඡා කොට විසඳා ගැනීම කළ හැක්කේ ජාතික හෙළ උරුමය වැනි රජයේ පාර්ශවකාර කණ්ඩායමකට පමණි. එසේ නැතිව මාධ්‍ය මගින් මේ ගැටුම් සමාජ කරළියට දමා ගැසීමෙන් සිදුවන විපත් අප දැන්වත් තේරුම් ගත යුතුය.

 

No comments:

Post a Comment