පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Friday, July 23, 2021

අධ්‍යාපනයේ කොත ලූ වල කොතලාවල පනත

 

 

                              

අතීත කථාව -

රයිගම රාජධානි සමයේ දී වර්තමාන බණ්ඩාරගම අසල වැව් රාශියක් ඉඳි විය.රජුගේ මාළිගය පිහිටි භූමියේ පිහිටි පොකුණකට පිරිසිඳු ජලය ගෙන ඒමේ අවශ්‍යතාවයක් ඇති විය. මේ යුගයේ දී මාළිගයට නුදුරින් අසු නාවන පොකුණ නමින් තවත් තැනක් විය.ඒ අසල දාගැබක් ද විය. වරක් මේ දාගැබේ කොත අතුරුදහන් විය.පසුව අසුනාවන පොකුණේ තිබී මේ කොත සම්බ වී යැයි පැවසේ. කොත හොරකම් කිරීම භුතයෙකු විසින් කළ වැඩක් ලෙසට මිනිසුන් විසින් විශ්වාසයක් විය. පසුව මේ පොකුණ කොතලූ වල නමින් ද පසු කාලීනව කොතලාවල වැව ලෙසටද හඳුන්වා ඇත.උයන් වත්ත වැව ලෙසට ද ව්‍යවහාර වේ. මේ ප්‍ර දේශයේ සිටි බණ්ඩාර පවුල් වලට පසුකාලීනව කොතලාවල නාමය ඈඳුණ අතර යටත් විජිත සමයේ සිටි ප්‍රසිද්ධ චරිතයක් වූයේ ජොන් ලයනල් කොතලාවල යි. ඔහුගේ පුත්‍රයා වූ ජෙනරල් ජොන් කොතලාවල මේ රටේ තුන්වන අග්‍රාමාතයවරයා වූ අතර කුරුණැගල පාර්ලිමේන්තු පදවිය දිගු කාලයක් හොබවන ලද්දේය. මින්නේරිය ව්‍යාපාරය ඇරඹූණේ මෙතුමා අතිනි පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඇරඹුනේ ද මෙතුමා අතිනි.ඔහුගේ අභාවයට පෙර අක්කර 48 කින් යුතු සිය නිවස වූ කඳවල වලව්ව ත්‍රිවිධ හාමුදාව උදෙසා ආරක්ෂක විද්‍යා ඇකඩමියක්  පවත්වා ගෙන යෑමට  පවරා දුන්නේය

යටත් විජිත සමයෙන් පසු ලංකාවේ මෑත කාලීන අධ්‍යපන ධාරාව ආරම්භ කරනුයේ භික්ෂූන් වහන්සේලා විසිනි. 1869 දී දොඩන්දූව සහ පාණදුරයෙන් ඇරඹුණ මේ පාසල් බෞද්ධ පාසල් ලෙසට හැඳින්වුණි.කර්නල් ඔල්කට් පැමිණි පසු ස්වාමීන් වහන්සේලා සමග එක්ව පරමවිඥානාර්ථ සමාගම ඇති කර ඒ මගින් රට පුරා ඉස්කෝල පද්ධතියක් ඇති කරන ලදී. නැවතත් පිරිවෙන් අධ්‍යාපනය ආරම්භ කිරීමට භික්ෂූන් වහන්සේලා ඉදිරිපත් වූයේද මේ කාලවකවානුව තුළය.  රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙන විද්‍යෙදය පිරිවෙන විද්‍යාලංකාර පිරිවෙන මෙන්ම දොඩන්දූව කුමාර කන්ද පීරිවෙන එහි මුල් පෙලේ විය.නිදහස් අධ්‍යපන ක්‍රමය ස්ථාපිත වූ පසු කන්නන්ගර මහතා මෙරට තිබූ බෞද්ධ පාසල් රාශියක් දියුණු කිරීමට අත දෙමින් ඒවා මධ්‍ය මහා විද්‍යාල හා බැඳුණු පාසල් බවට පත් කරන ලද්දේය.අනතුරුව 1959 දී විද්‍යෙදය පිරිවෙන සහ විද්‍යාලංකාර පිරිවෙන විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට බණ්ඩාරනායක මහතා කටයුතු කලේය.විදුදය ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය බවටත් විද්‍යාලංකාරය කැළණිය විශ්ව විද්‍යාලය බවටත් පත් වූයේය. ජයවර්ධන පුර විශ්ව වීද්‍යාලය දැනට පිහිටා තිබෙන භූමිය පූජ්‍ය වැලිවියේ සෝරත නාහිමියන් ගේ ඉල්ලීම පිරීද  උන්වහන්සේගේ ශිෂ්‍ය පැලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනේ පූජ්‍ය මැදගොඩ සුමනතිස්ස හිමියන් විසින් පරිත්‍යාග කරන ලද්දකි.පිරිවෙන්  විශ්ව විද්‍යාල බවට පත් වන අතර 1962 දී පාසල් රජයට පවරා ගත් කල්හි පෙර පැවති  බෞද්ධ පාසල් සියල්ල ද රජයයට අයත් කර ගන්නා ලදී.

වර්තමාන කතාව -

      ජෙනරල් ජෝන් කොතලාවල මහතා බලාපොරොත්තු වූයේ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා උසස් අධ්‍යාපනයක් ලබා දීමටයි. 1981 වර්ෂයේ දී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය බිහි වන්නේ ඒ අනුවයි.ඉන්පසු 1988 දී මෙම ආරක්ෂක විද්‍යා පීඨයේ සහතික පිළිගැනෙන මට්ටමින් සංශෝධනය වන අතර 2007 දී එම ඇකඩමිය විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු යොදා ඇත.. ඉන් පසුව ආරක්ෂක අංශ වල සාමාජිකයන් පමණක් නොව මුදල් ගෙවා ඉගෙනුම ලැබිය හැකි සිවිල් පුරවැසියන්ටද එම ස්ථානය විවෘත කරන ලදී.එය සිදු වූයේ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ වලින් පිටවෙන සිසුන්ට මෙම විශ්වවිද්‍යාලය ට අනුබද්ධ වන ආකාරයටයි.මෙම තීරණයෙන් පසුව ආරක්ෂක අංශ සාමාජිකයන් පමණක් නොව   විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුන් ද ඇතුලත් වීමට ඉඩ හරින ලදී.මුදල් ගෙවා ඉගෙන ගැනීමට කැමති සිසුන්ට විදෙස් වලට නොයා මෙහි ඉගෙන ගැනීමට අවස්ථාව සැලසීම එහි අරමුණ විය. 2018 දී යහ පාලන රජය කාලයේ මෙම කොතලාවල පනත නැවත අලුතින් ඉදිරිපත් කරන ලදී.එහි අරමුණ වන්නට ඇත්තේ ඒ වන විට ජනප්‍රිය මට්ටමේ තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල බල ගැන්වීමයි. එම පනතම නැවත වර්තමාන රජය විසින්ද දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.මෙම පනතේ තිබෙන සුවිශේෂය නම් විශ්ව විදයාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බල සීමාවෙන් එපිට පැවැත්මට තිබෙන හැකියාවයි. 1981 දී ඇකඩමියක් ලෙසට ස්ථාපනය වන විට. එය ආරක්ෂක අංශය යටතේ තිබුණද විශ්ව විද්‍යාලයක් බවට පත්වන විට  පත්‍රිපාදන කොමිසමට යටත් විය යුතුය.නමුත් අලුත් පනතින් මේ ව්‍යුහය වෙනස් වෙයි.දෙවැන්න නම් මෙම කොතලාවල විශ්ව විද්‍යාලය පදනම් කරගෙන රට පුරා පෞද්ගිලක විශ්ව විද්‍යාල බිහි කර ගැනීමට තිබෙන ඉඩ කඩයි.ඒ සමගම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමග ඒකාබද්ධ වීමට තිබෙන අවස්ථාද පුලුල් වන බව මෙහි සඳහන්ය. එවිට ශරියා නීතිය ඉගැන්වෙන හිස්බුල්ලගේ පූනානි විශ්වවිද්‍යාලයද මේ යටතට ගත හැකි වනවා පමණක් නොව ශරියා නීතිය තිබෙන අරාබි රටවල් සමග ඒකාබද්ධ වීමටද අවස්ථාව සැලසේ.

     කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මෙවැනි තත්වයකට පත් කිරීම එක් අකින් කොතලාවල මහතා අභිබවා යන්නකි.අනෙක් අතින් පවතින රාජ්‍ය විශ්ව විද්‍යාල බිඳ වැටීමට ඉඩ සලස්වා වෙනත් පෞද්ගලික අධ්‍යාපන ධාරාවක් බලවත් කිරීමට ගන්නා උත්සාහයකි.  පෙර දැක්වූ පුරිදි මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය පමණක් නොව පාසල් පද්ධතියද නිරිමාණය කරලීමට මෙරට භික්ෂූන් වහන්සේලා දැක්වූ දායකත්වය සුවිශේෂීය. උන් වහන්සේලා ගේ කැපවීම අති මහත්ය. මෙම පාසල් සහ පිරිවෙන රජයට පවරා දීමට කටයුතු කරන ලද්දේ පූජනීය හැඟිමකින් යයි කිව හැකිය.මෙම බෞද්ධ අධ්‍යාපන  ආයතන ස්ථූපයක කොතක් වැනිව ගෞරවනීය හැඟිමක් ජනිත කරවූ  පද්ධතියකි .එහිදී පන්සල් වල පැවති ඉඩකඩම් රාශියක්  රජය සතු කරමින් කළ කැපකිරීම රජයේ වගකිමක් බවට පත් විය. කෝට්ටේ රජ මහ විහාරය සතුව තිබෙන ඉඩම ආනන්ද ශාස්ත්‍රාලයට පවරා දුන් පසු එය රජය සතු වීම උදාහරණයකි.එම භූමියේ පැරණි සීමා මාලකය පවා අදද දක්නට ලැබේ.

    කොතලාවල විශ්ව විද්‍යාලයේ පාලකයන් මෙන්ම මෙම ආයතනයට සිසුන් ඇතුලත් කළ දෙමාපියන්ද නගන එක් තර්කයක් ඇත. එනම් රාජ්‍ය විශ්ව විද්‍යාල වල තිබෙන විනය පිරිහීමයි.එය සැබෑවකි. මේ රටේ රාජය විසින් මෙහයවා පවත්වාගෙන ගිය බොහෝ ආයතන වල විනය පිරිහුණි. පක්ෂ දේශපාලනය එයට ප්‍රමුඛ හේතුවයි.ලංගම වැනි ආයතන මෙන්ම සමූපකාරයද ඒ තත්වයේ ලා පෙන්විය හැකිය.ඇතැම් ආයතන බංකොලාත් වන්නට ඉඩ හැර වසා දැමුණි. ඇතැම් ආයතන විකුණා දැමින.1977 න් පසු ඇති වූ විවෘත ආර්ථික සංකල්ප වල තිබුණු අතිශය පෞද්ගලික කාරණා මත රාජ්‍ය මැදිහත් වීම ක්‍රමයෙන් අඩපණ කර ඇත.

  බටහිර ලෝකයට පමණක් නොව අද පෙරදිග අතැම් රාජ්‍යයන්ටත් අධ්‍යාපනය කර්මාන්තයකි. රාජ්‍ය මැදිහත් වීම මත හෝ පෞද්ගලික ප්‍රාග්ධනය මත අධ්‍යාපනය විකිණීම සිදු වෙයි. නමුත් අපගේ සංස්කෘතිය තුළ අධ්‍යාපනය යනු සුපිරිසුදු ක්‍රියාවලියකි. ඒ මගින් දෙන දැනුම මිළ කළ නොහැකිය.එය පූජනීය වූ තරමට රටේ අභිමානවත් පරපුරක් බිහි කරන්ට හේතු වේ. විශ්ව විද්‍යාලයකින් පිට වන්නා රටේ සංස්කෘතිය ස්පර්ශ කරන ස්වාධීන පුද්ගලයෙකු විය යුතුය.ඔහුගේ වගකීම රට වෙනුවෙනි.එසේම මේ විද්වතුන් අතලොස්ස විසින් රටට ස්වාධීන ප්‍රතිපත්තියක් සකස් කර දිය යුතුය.එසේම මග පෙන්වීම් කල යුතුය. දේශපාලකයන් වෙනුවෙන් විද්වතුන් බිහි කිරීමේ ක්‍රියාවලිය මෙරට විශ්ව විද්‍යාල තුළ ආරම්භ කිරීම නිසා රට පිරිහී ඇත. හමුදා විනයක් යටතේ විද්වතුන් බිහි කිරීමද එයට දෙවනි නොවේ. මෙරට බෞද්ධ අධ්‍යාපනය විසින් දායාද කරන ලද පූජනීය වූ උසස් අධ්‍යාපන ආයතන රැක ගැනීම සියලු දෙනගේම යුතුකමක් වන්නේ එහෙයිනි.කොතලාවල පනත ඉවත් කිරීමට බල කළ යුත්තේ මේ කරුණු සැලකිල්ලට ගෙනය.

මතුගම සෙනෙවිරුවන් 

Tuesday, July 20, 2021

පොල් පැළ කහ පැළ වැවූ පසු කුමක්ද ඇතිවන ප්‍රතිඵල

 

 

                                   

                                 

         රජය පසුගිය කාලයේ ගත් යහපත් තීරණයක් වූයේ විදේශ වලින් කහ ගෙන්වීම තහනම් කිරීමයි.විදේශ විනිමය හිඟයකට මුහුණ  දුන් පසු එවැනි තීරණයන් ට යෑමට සිදු වන බව සැබෑය. එහෙත් මේ තීරණය නිසා ලංකාවේ කහ වගාවට හොඳ කලක් උදාවිය. බොහෝ දෙනෙකු ගෙවත්තේ කහ වැවීමට උනන්දු වූ අතර ඇතැම් ගොවීන් විශාල වශයෙන් කහ වැවීමට උනන්දු වූහ. කුලුබඩු අලෙවියේ ප්‍රධාන ව්‍යාපාරික සමාගම් කීපයක්ම විශාල වශයෙන් කහ වැවීමට ආයෝජනය කළ ආකාරය දැක ගත හැකි විය.සැබවින්ම ඉන්දියාවේ භාවිතා වන කහ විශේෂයට වඩා දෙගුණයක කර්කියුමීන් දේශීය කහ ප්‍රභේදවල තිබෙන බව කෘෂි විද්‍යාඥයන් දැන සිටියහ. නමුත් ඔවුහු මේ වගාව සඳහා ගොවීන් උනන්දු නොකළහ. තමන්ගේ රැකියා වපසිරිය තුළ යම් උපදෙසක් දීමෙන් නැවතුණු අතර දිරි ගැන්වීමක් නොවුණි.විශේෂයෙන්ම දේශීය කහ වියළීම සඳහා තාක්ෂණය දියුණු කර දීමට සැබෑ සහයක්  අපනයන කෘෂීකර්ම දෙපාර්තමේන්තුවෙන් නොලැබුණු බවද කිව යුතුය.කහ ගෙන්වීම සපුරා තහනම් කළ පසු මෙරට කහ අස්වැන්න සැලකිය යුතු මට්ටමින් දියුණු වූ අතර විදේශීය කහ ප්‍ර භේද යන්ද ලංකාවේ වගාවට එකතු වී තිබේ. විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කය තුළ එම ප්‍රභේද  කාලයක් සිටම ජනප්‍රිය වී තිබුණි.

    මෙරට ජනතාවගේ ගෙවතු වල වැවෙන ප්‍රධාන භේගයක් වන කහ මගින් ඉටු කරන සෞඛය ආරක්ෂාව පිළිබඳ පැරණියන් හොඳ හැටි දැන සිටියහ.එම නිසා වර්ෂයක් පුරා භාවිතයට අවශ්‍ය කහ වියළා ගැනීමට ඔවුහු සමත් වූහ. කහ බීජ පැළ වන වේලාව ගැන ඔවුහු හොඳින් හැටි දැන සිටිහය.එසේම කහ වියළා ගැනීමටද වියළා ගත් කහ වලින් වියමනට අවශ්‍ය කහ අඹරා ගැනීමටද අවශ්‍ය දැනුම පාරම්පරිකව පැවත පැමිණියහ. නමුත් විවෘත ආර්ථික සංකල්ප රටට පැමිණි පසු වෙළෙඳ පළ කහ සකසන්නන් බහුල වූහ. ඉන්දීය කහ වෙළෙඳ පළ සිසාරා කහ සොයාගත් මේ වෙළෙන්දන් කර්මාන්ත කරුවන් කහ කුඩු කර වෙළෙඳ පළට නිකුත් කළහ.ක්‍රමයෙන් නාගරිකයන් බවට පත් වූ පිරිසක් මෙයට ආකර්ශනය වූ අතර ගැමියන්ද කල් යන විට  වෙළෙද පලෙන් කහ ලබා ගැනීමට උත්සුක වූහ. පසුගිය කාලයේ කහ තහනම් කරන විටත් තත්වය එසේ විය. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කහ වගාව ප්‍රවර්ධනය කිරීම මන්දගාමීව සිදු කරන ලද්දේ මේ පසුබිම මතය. ඒ නිසා ගෙවතු වල කෙරෙන කහ වගාව පිළිබඳ සංඛ්‍යාලේඛන පවා කෘෂිකාර්මික සංගණනය තුළ දක්නට නොහැකි විය. 2020 වර්ෂයේ සිට ඇරඹෙන නව කහ පුබුදුව මත  දිවයින පුරාවටම විශාල ප්‍රමාණයක් කහ වගාව සිදු කර තිබේ.ගෙවතු වලද සැලකිය යුතු මට්ටමේ කහ වගාව ප්‍රචලිත වී තිබෙන නමුත් මේ පිළිබඳ ගණනය කිරීම් අවම මට්ටමක පවතී.

          පොල් වගාව සම්බන්ධව නම් සංඛ්‍යා ලේඛන විශාල වශයෙන් දක්නට හැකිය. දිවයින පුරා පොල් වගාව වතු ආශ්‍රිතවද ගෙවතු මට්ටමින් විසිරි ආකාරයෙන්ද සිදු වෙයි. වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 2800 ක් පමණ වේ. ඒ තත්වයට පැමිණෙනන්ට අවශ්‍ය පොල් ගස් සංඛයාව 40361.023 කි. තැඹිලි ගස් 941.165 ක් දක්නට ඇති බව සංගණන වාර්තා දක්වයි.වතු වැවිලි ක්ෂේත්‍රයේ ගස් 711585ක් දක්නට ඇත. රජයේ නව වැඩ පිළිවෙල යටතේ පොල් පැළ ලක්ෂ 40 ක් සිටු වීමට යෝජනා කෙරී තිබේ. එම ඉලක්කය සාර්ථක වුවහොත් රටට අවශ්‍ය මාලු පොල්ද කොප්පරාද වෙනත් පොල් නිෂ්පාදනද යහමින් ලබා ගත හැකිය.ලංකාවේ පොල් විවිධත්වයක් පවතින අතර කුන්දිරා කමන්දලා නවසි බෝදිරි පොල්ලෙපොල් සියම් පොල් ආදී විවිධ වර්ගයන් දක්නට හැකිය. තැඹිලි වර්ග කීපයක්ද දක්නට ඇත.

 මෙවැනි තත්වයක් යටතේ ලංකාවේ ආර්ථික ඉලක්ක කරා ළඟා වීට අවශ්‍ය සම්පත් වුවමනාවටත් වැඩියෙන් තිබෙන ආකාරය සැලකිල්ලට ගත හැකිය.මේ තත්වය මෙසේ වුවද හුදු ස්වයංපේෂිත බව හා ආහාර සුරක්ෂිතතාවයට වඩා ඔබ්බෙන් රටේ ආර්ථිකය ගැන සිතන්නට අපට අද සිදුව තිබේ. හේතුව විදේශ විනිමය හිඟකමයි. අනවශය ප්‍රමාණයට වඩා භෞතික සම්පත් ගොඩ ගසා ගැනීමට ණය වීම නිසා මේ හිඟය නිර්මාණය වී තිබේ.මේ අතර කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කර ගැනීමේ දී තිබෙන සීමාවන් අතික්‍රමණය කර ගැනීමටද නොහැකි වී තිබේ.මෙවැනි තත්වයකට එකම විසඳුම ඩොලර් ණයට ගැනීම යයි සිතුවහොත් එය මුළාවකි. පසුගිය වසර තිහක් පමණ කාලයක් තුළ ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව ජාතික සම්පත් සහ ඉඩම් පවා විකුණන මට්ටමකට රට පත්ව තිබේ. එවැනි මාර්ගයක තව දුරටත් ගමන් කිරීම බෙහෙවීන් අනතුරුදායකය.එම නිසා මෙරට ජාතික නිෂ්පාදනයන් තුළින් විදේශ විනිමය සොයා ගැනීමේ විකල්ප මාර්ගයකට අප අද එළඹිය යුතුව ඇත්තෙමු.

    පොල් සහ කහ වගා කිරීම අහාර සුරක්ෂිතතාවයෙන් ඔබ්බට ගෙන යා යුත්තේ එබැවිනි. අප දන්නා පරිදි පොල් නිෂ්පාදන රාශියක් වෙති. අපනයන තත්වයේ විශිෂ්ට දිසිඳි පොල් අප සතුය. දැනටමත් ඉතාමත් පිරිසඳු පොල් තෙල්  අපනයනය සිදු කෙරයි.පොල් ගසෙන් නිපදවන විවිධ නිෂ්පාදනයන්ට විශාල ඉල්ලුමක් ඇත. පොල් ගස් තුනක් පමණ තිබෙන නිවසකට මාලු පොල් වශයෙන් යොදා ගනු ලබන ප්‍රමාණය නිවැරදිව ගණනය කළහොත් අතිරික්තය අලෛවි කල හැකිය.පොල්කටු සහ පොල් ලෙලි ද එලෙස අලෙවි කළ හැකිය.අවශ්‍ය නම් රැකියාවකට නොයන පුද්ගලයෙකුට පොල්කටු නිෂ්පාදන රාශියක් නිවසේදීම සිදු කළ හැකිය.දැනට වාර්ෂික පොල් තෙල් පරිභෝජනය මෙට්රික් ටොන් 180000 ක්පමණ වේ. මේ තත්වයට ළඟා වීමට කොප්පරා මෙට්රික් ටොන් 13000 ක් පමණ මසකට අවශ්‍ය වේ.ගෙවතු වලින් ලබා ගන්නා අතිරික්ත පොල් අස්වැන්නෙන් ගුණාත්මක කොප්පරා නිෂ්පාදනය කළ හැකි අතර පිරිසිඳු පොල් තෙල් නිකුත් කළ හැකි වනවා නිසැකය.කහ වල තත්වයද එසේමය නිවසකට කහ පඳුරු විස්සක් හොඳටම ප්‍රමාණවත්ය.ඊට අමතරව කහපැළ තවත් විස්සක් ගෙවත්තේ පැළ කරනු ලැබවහොත් වෙළෙඳ පළට දැමීමට තරම් කහ නිෂ්පාදනය වේ.ආහාර ගුණවත් කිරීමට සහ ඖෂධ පිණිස කහ භාවිතා කිරිමට අමරතව වෙනත් නිෂ්පාදන දැනට නොමැති නමුත් ඉදිරියේදී එවැනි කාර්මික නිෂ්පාදන ඇති කරමින් වෙළෙඳ පළ පුළුල්කළ හැකිය.

     සැබවින්ම ගාහස්ථව නිෂ්පාදනය කරන බොහෝ දේ ආහාර වලට ලබා ගැනීමෙන් පමණක් රටේ දළ ජාතික නිෂ්පාදනයට එකතු නොවේ. වෙළෙඳ පල ආර්ථිකයක් තිබෙන බැවින් ඒ නිෂ්පාදන මිළ කිරීමකට පත් විය යුතුය. එසේ කිරීමට නම් රජය මැදිහත්ව කර්මාන්ත කරුවන් පෙළ ගස්වා ගෘහස්ථ නිෂ්පාදන මිළදී ගැනීමට වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය.කහ පොල් පමණක් නොව කෙසෙල් තැඹිලි කුන්දිරා පුවක් ගම්මිරිස් කරාබු කෝපි කොකෝවා සාදික්කා මෙන්ම බෙහෙත් පැලෑටිද ඒ ගණයට අයත් වේ.ගෘහස්ථ නිෂ්පාදන මිළ කිරීමෙන් ග්‍රමීය ආර්ථිකය ශක්තිමත් වන අතර ජාතික ආර්ථිකයට අවශ්‍ය විදේශ විනිම ඉලක්ක වලටද ළඟා විය හැකිය.එසේ නොවුණහොත් කහ පැළ බෙදා දීම පොල් පැළ බෙදා දීම වැනි ක්‍රියාවලින් පළක් ගැනීමට නොහැකිව වනු ඇත.

මතුගම සෙනෙවිරුවන්

Friday, July 9, 2021

වැව් මව් පහස නොලැබූවන්ගේ වැව් හෑරිල්ල ගැරිල්ලක් පමණයි

 

      


                         

      වැව යනු පැරණි සිංහලයාගේ අනන්‍යතාවය පෙන්වන මහා ව්‍යායාමයකි.. වැවක් ඇති තැන බතක් ඉදෙන අතර රටක් සවිමත් කරන්නට වැව් සවිය පමණක්ම ඇතැයි ඒ පැරණියන් ගේ විශ්වාසය විය.ලංකාවේ පැරණිම වැව ගැන මහාවංශයේ සඳහන් වන්නේ පණ්ඩුකාභය අවදිය ගැන විස්තර කිරීමේදීය. නමුත් පැරණි සිංහලයන් කඳු උඩ ජීවත් වෙමින්  පසුව අනුක්‍රමයෙන් පහළට විත් ගම් අටවා ගෙන සාරවත් භූමි වල ගොවිතැන් බත් කිරීමට පටන් ගත් පසු ගම්වැව් ඇති කළ බව සොයා ගත හැකිය..  නියන් කාලයට ජලය ලබා ගැනීමට මෙන්ම කඳුරු පෝෂණයටත් අවශ්‍ය ලෙස ගම් වැව් තාක්ෂණය දියුණු කර ගත් ආකාරය නිරීක්ෂණය කරගත හැකිය.ඔවුන්ගේ මුල් වැව් හැදෙන්නේ කඳුඋඩය. අනතුරුව කන්දෙන් පහළ මූකලානේ වැව් ඇටවෙයි.මේ වැව් පසු කලෙක කුළු වැව් වශයෙන් හැඳින්වූහ.කුලුවැව් වලින් ඇදී ගෙන එන ජලය ගම් වැවට පාත් වෙයි.

      ගම් වැවේ අංගෝපංග රාශියකි. එහි පළමු  මෙන්ම වැදගත්ම අංගය වන්නේ වෑකන්දයි. ඉතා කෙටි වෑ කඳු මෙන්ම දිගු වෑ කඳු වලින්ද ගම් වැවට ඇදී එන ජලය රඳවා තබා ගනී. සුදුසු වැටි දෙකක් යොදා ගෙන ඇතැම් විට සමෝච්ච රේඛා දිගේ මේ වැව් බැමි ඉඳි කරනු ලබයි.  හලන ලද පස් දමා තලා ගවයින් ලවා පාගවා  බැම්ම ශක්තිමත් කරනු ලබති. වෑ කන්දට පහළින් වැව පැත්තට වන්නට සොරෙව්ව සෑදීම කරත්. සොරොව් වර්ග කීපයකි. මහ කොටුව යනුවෙන් පැරණියන් වහරට ගත්තේ මහ වැව් වල බිසෝකොටුවයි. හීරු කොටුව යනු මඩ හොරොව්වයි.කැට සොරොව් ගම් වැව් වලටයි. වැව් පතුළ තෙක් ජලය හිඳුණු පසු ගවයන් ලවා වැව මඩ කරවා රොන් මඩ කන්දරාව වෙල් කරා ගෙන යෑමට මේ සොරෙව්ව සාදා ඇත. තෙවැන්න නම් බූටිය නම් සොරොව්වයි. තුංගය නමින් භාවිතා කරන පැරණි සොරොව් වර්ගයක් තිබී ඇත. එය රහසිගතය. එය පොළව අභ්‍යන්තරයේ පවතී. වැව වාන් දමන්නට ආසන්නයේ මේ තුංගයෙන් පිටවන ජලය නිසා ආසන්නයේ තිබෙන පතහ උතුරන්නට පටන් ගනී. එවිට වැව රැක ගන්නට කළමනා යුතුකම් වලට පෙළ ගැසේ.

        ආඬියා යනුවෙන් කියවෙන උල්පත් ආගාරය ගල් ආගාරය ඖෂධ ආගාරය ගෙඹි ආගාරය රැස් ආගාරය පෙණ ආගාරය කුඩුම්බා ආගාරය භූමිටු ආගාරය යනුවෙන් වැවට ජලය ගලන උල්පත් ගැන සඳහන් කළ හැකිය. ගල් ආගාරය ජල පෙරනයකි. බෙහෙත් ආගාරය ඖෂධ පැලෑටි සංරක්ෂණය සඳහාය. ගෙඹී ආගාරය ජලජ ජීවින් ගේ පැවැත්මටයි. රැස් ආගාරයෙන් කෙරෙන්නේ ජලය ජලය ගැටීමෙන් ඇති වන ශක්තිය ප්‍රයෝජනයට ගැනීමයි. පෙණ ආගාරය මගින් ජලයේ පිරිසිඳු බව තීරණය කෙරේ.කුඩුම්බා ආගාරය මගින් ජලය පිට කිරීම පාලනය කරයි. භූමිටු ආගාරය යනු උල්පත් පෝෂණයට උදව් දෙන ස්ථානයකි.      වෑකන්ද නිසා පිරෙන ජලයෙන් වැවේ උපරිම ජල ප්‍රමාණය අල්ලා වැවේ ගිල්ම ගසයි. ජල තාවා දිය නිසා වැවේ තාවල්ල ඇති වේ. ආතේඩය යනු තාවල්ලට තවත් නමකි. තාවල්ලට ඉහළින් පෝටා වැටි ඇත. ඉහත්තාවෙන් එන ජලයේ රොන් මඩ නවතා ලන්නට මේ පෝටා වැටි උපකාරී වේ. වැව් ඉහත්තාව ළඳු කැළෑ වලින් යුතු පෝෂණිය පෙදෙසකි.කුඹුක් මයිල පළු වීර නැබඩ බක්මී  වැනි වනස්පතීන් ඇත.මේවා චන්ද්‍ර ගණයේ ශාක ලෙසට හැඳින්වේ.වැව් දිය තුළ කැරැන් වැනි ශාක පැතිර පවතින්නේ වාෂ්පීකරණය අඩු කිරිමටයි.එසේම ලවණතාවය පාලනය කිරීමටයි.. වැවේ පතුල දීගතය යනුවෙන් හඳුන්වයි. සෝලමය ඡවිත්‍රය රුසිය යනුවෙන්ද නම් ඇත. වැව් බැඳීමේදී වැව් පතුලේ ඇති පාෂාණ නිධි භූගත උලපත් ආදිය ගැන උනන්දුවක් ඇති කර ගත යුතුය.

 


 

වැවක සඳහන් කළ යුතු වැදගත් තැන් අතර රළපනාවද දැක්විය හැකිය. සෙමින් වුවත් වැව දිය පතුලේ ඇතිවන චලනය රැළි වශ‍යෙන් මතුපිටට විත් විහිදී යෑමේදී නිරන්තරෙයන් වෑකන්දේ හැපේ. කාලාන්තරයක් තිස්සේ දිය රැළි හැපීම කරන කොට වෑ කන්ද සේදීමකට ලක් වේ මෙය වැලැක්වීම පිණිස වෑකන්දේ වෑවට නිරාවණය වන කොටසේ කළු ගල් ඇතිරීම කළහ. විශාල වැව් වල විශාල කැපූ ගල් කුටට්ටි ඇතිරීම දක්නට තිබේ.

        වැවකින් ජලය පිට කිරීමට සොරොව්ව භාවිතා කරනවා සේම එයට අවශ්‍ය ඇළ මාර්ග තැනීමද කරති. එයින් එකක් නම් කුටීර ඇළයි. එය කිසි දිනක හිඳෙන්නේ නොවේ. අනෙක් ඇළ නම් මඩහොරෙව්වෙන් පිට කරන ඇළයි. වැවක වතුර පරිහරණයේදී තොට යන වචනය යෙදේ. එහිදී පෙයිය තොට යනු වැවේ කුඹුක් ගස් මණ්ඩියක තිබෙන පිරිසිදු වතුර කඩයි. එහි දිය නෑම සතුන් සේදීම තහනම්ය. අනෙක නම් නාන තොටයි. එහි කරන්නේ දිය නෑම පමණකි. වැවට බැසීම සදහා ඇතැම් විට ගලින් පඩි තනා තිබේ. භික්ෂූන් වහන්සේලාට දිය නෑම පිණිසද වෙනමම නාන තොටක් පරිහරණය කිරීම පැරණියන් ගේ සිරිත විය. සතුන් සේදීමටද එසේමය. මෑතක් වන තුරුම පෙයිය තොට මගින් ගත් ජලය නිවෙස් වල පරිහරණයට ගැනිම සිරිත විය. එයට හේතුව වැවේ මතුපිට ජලය මෙන්ම කුඹුක් වැනි ශාක වලින් පෙරෙන ඖෂධ ජලය බීමට සුදුසු වීමයි.රජරට අයට එදා වකුගඩු රෝග නොසෑදෙන්නට එක් හේතුවකි එම පිළිවෙත.

      ගම් වැවක අංග මෙසේ වන අතර ගම් වැවට සමානතරව නිවුන් වැව් පිහිටීමක්ද විය. ගම් වැව් පිහිටා තිබෙන්නේ එකක් යටිවත එකක් පිහිටා තිබෙන ආකාරයටයි. මෙය වැව් එල්ලංගාව ලෙසට හැදින්වෙයි. එල්ලංගාව සැම තැනකම තිබූයේ නොවේ. පිහිටි රටට එය වඩාත් ආවේණික විය.නිවුන් වැව් යොදා ගන්නේ දැඩි නියන් කාලයක ප්‍රයෝජනයට ගන්නටයි. මේ නිවුන් වැව් කීපයක් එක්කර තැනූ පරාක්‍රම සමුද්‍රය පොළොන්නරුවේ මහා සාගරය ලෙස හැඳින්වෙයි.වැව ගැන ලියා ලැබූ පුස්කොළ ග්‍රන්ථයක් පැරණියන් අතර තිබී එය තමාද දුටු බව   මුදියන්සේ තෙන්නකෝන් මහතා පවසයි.එය නම් කර තිබුණේ ජල බිංදු ජල ප්‍රමාණ ජල දීපිකා යනුවෙනි. එවැනි තවත් ග්‍රන්ථයක් මල්වතු මහානායකව සිටි පුරිජ්ජල සරණංකර මහානායක හිමිපාණන් සන්තකයේ තිබී සුදු දිසාපතිවරයෙකු රැගෙන ගිය කතාවක් ද අසා තිබේ. කෙසේ වෙතත් මේ ශිල්පියාව ගැන සටහන් වූ අගනා දැනුම් සම්භාරයක් අද අප අතරින් ගිලිහී ගොස් ඇත.නමුත් පෙර සිටි අප මුතුන් මිත්තන් ගේ ශක්තිය මත ඒ දැනුම යලි යලි මතුවෙයි.එය සැඟවිය නොහැකිය.

   මෑතකදී වැව ගැන නව සාකච්ඡාවක් ඇති වී තිබේ. දකුණු පළාතේ තිබෙන ‌ෙඑතිහාසික වැවක වූ තිස්ස වැව ඉහත්තාව හාරා රොන්මඩ ඉවත් කර වැලි ගැරීමට චීන සමාගමක් පැමිණීම ඊට හේතුවයි. රුහුණු මාගම රාජධානියේ කිරිඳි ඔය නිම්නයේ පවතින වීරවිල වැව දෙබරවැව යෝධකණ්ඩිය සහ තිස්ස වැව සියවස් ගණනාවක සිට විකාශනය වෙමින් පැවති  වාරි සභ්‍යත්වයක කොටසකි. ඌව කඳුකරයෙන් නිරන්තරයෙන් ගලා බසින උල්පත් කඳුරු පෝෂණය කරගනිමින් කුලුවැව් සහ ගම් වැව් සාදා ගනිමින් ආරම්භ වූ මේ වාරි පැතිරියාව මාගම රාජධානිය බිහිවීමත් සමග වේගවත් පිම්මකින් සංවර්ධනය විය. ඉහත්තාවේ තිබුණු කුලු වැව් සහ ගම් වැව් නිසා තිස්ස වැව රොන්මඩ වලින් නොපිරුණු බව පැරණියන් දනිති.

        වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් වරයෙකු ව සිටි ඒ.ජේ.බී. පොන්රාජ් නම් මහතමයෙකු 1988 දී සකස් කළ (Technical Guide lines Irrigation Department) නම් ග්‍රන්ථයේ හැටියට 1900 -1988 දක්වා වූ කාලයේ වැව් වල රොන් මඩ ඉවත් කිරීමක් සිදුව නැත. එවැනි ක්‍රියාවක් සිදුකලා නම් මෙම ග්‍රන්ථයේ එයට අවශ්‍ය මාර්ග උපදේශ දැක්විය යුතුව තිබුණි.  කෙසේ වෙතත් අසූව දශකයෙන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ යුගයේ දී ආරම්භ වූ වැව් දසදහසේ ව්‍යාපෘතිය යට‌තේ වැව් හෑරීමක් සිදු වී තිබේ. මේ හෑරීම නිසා යම් විනාශයක් සිදු වුවද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු වීම නිසා විනාශය යම් තරමකින් වළක්වා ගත හැකි විය. 2008 වර්ෂයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් කීපයක රොන් මඩ ඉවත් කිරීම සඳහා එවකට කුරුණෑගල භාරව සිටි ඉංජිනේරු වරුන් අවසර දී තිබුණි. මෙම ක්‍රියාව රොන් මඩ ඉවත් කිරීමක් පමණක් නොව වැලි ගැරිල්ලක් ද විය. විශේෂයෙන්ම බතලගොඩ වැව එසේ හෑරීමට උත්සාහ කරන ලදී. ලලිත්කොතලාවල මහතාට අයත් සමාගමක් විසින් කළ මෙම මැදිහත් වීම වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ පරිසර අංශයේ මැදිහත් වීම මත නවතා දමන ලද්දේ ඉන් වැව් වලට වන විනාශය සලකා බැලීමෙනි. අද වන විට නැවත මතුව තිබෙන්නේ ඒ පැරණි උත්සාහයයි. චීනයෙන් ආනයනය කරන ලද යන්ත්‍ර භාවිතා කර ඔවුන්ගේ ද උපදෙස් මත තිස්ස වැව හාරා වැලි ගැරීම එහි අරමුණයි. මෙම ලිපියේ කලින් සඳහන් කළ පරිදි වැව ඉතා සංවේදී ප්‍රදේශයකි. ‌ෙඑතිහාසික වැවක් නම් වැව් බැම්ම ආසන්නයේ පමණක් නොව වැව් ඉහත්තාවේ මෙන්ම අවටත් පුරාවස්තු සැඟව තිබෙන්නට පිළිවන.තිස්ස වැවත් වීරවිල වැවත් අවට පරිසරය අභය භූමියක් බවටද ප්‍රකාශයට පත් කර තිබේ. එවැනි තත්වයක් යටතේ හිතූමතයට වැව් හෑරිල්ල සිදු කළ නොහැකිය.රොන්මඩ ඉවත් කිරීම වාරිමාර්ගයේ අධීක්ෂණය යටතේ කළ හැකි වුවද වැලි ගැරිල්ල සම්පූර්ණයෙන්ම නීති විරෝධීය.යන්ත්‍ර මගින් වේගයෙන් ඇදගන්නා රොන්මඩ හා ජලය නිසා වැව් පතුලටද ඉහත්තාවටද සිදු විය හැකි හානිය විශාලය.වැව් යට තවමත් සැඟය තිබෙන පැරණි වැව් ක්‍රමවේදයන්ද මේ නිසා සම්පූර්ණයෙන්ම විනාශයට පත් විය හැකිය. එම නිසා වැව ගැන දැනුම්වත් වෙමින් සංවර්ධන ව්‍යාපෘතීන්ට අත ගැසීමට රජයට වගකීමක් තිබෙන බව මෙහිදී මතක් කර දිය යුතුය..

මතුගම සෙනෙවිරුවන්