පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Saturday, October 31, 2015

මහාවංශයට පූර්විකාවක් සපයන දඹුල්ල ඉබ්බන්කටුව

                         


                      මහානාම හිමියන් මහාවංශය රචනාකරන ලද්දේ තත්කාලීන දේශපාලන ආගමික හා ශාසනික පරිවර්තනයන් සඳහා පාලකයන් මෙහෙයවීමේ සද් අරමුණින් බව නිසැකය. ඒ ඓතිහාසික කෘතිය ලියැවුණු වකවානුවේ සිදු වූ විදෙස් ආක්‍රමණ බල අරගල සහ භික්ෂු සමාජයේ ඇති වූ වෙනස්කම් සියල්ල සැලකිල්ලට ගෙන සමාජය තුළ යම් සංවාදයක් ඇති කරලන්නට මේ කෘතිය රචනා වන්නට ඇත. සංඝයා වහන්සේලා මෙන්ම රාජ වංශකයන් අතර තිබූ ජන ප්‍රවාදයන් හා මූලාශ්‍ර මේ කෘතියට පදනම් වී තිබේ. එහෙත් එහි එක් දෙයක් පිළිබඳව වැඩි විස්තර දක්නට නැතිය. එනම් මිහිඳු මහා හිමියන් ලංකාවට බුදු සසුන ලබා දෙන්නට ගත් උත්සාහයට පළමු  බුදුන් වහන්සේ විසින් ලක්දිවට කරන ලද ආගමික බලපෑමත් එකල ජීවත් වූ සමාජයේ පැතිකඩත් එහි විස්තරාත්මකව අන්තර්ගත නුවුණි. දැන් එය සොයා යෑමට අපට සිදුව ඇත. එයට හේතුව වන්නේ වර්තමාන ලංකා දේශපාලන සංදර්භය තුළ මෙන්ම සමාජ සංදර්භය තුළද මතුව තිබෙන ප්‍රතිවිරෝධතාවයන්ය. මේ ප්‍රතිවිරෝධතාවයන් සමනය කරගැනීමට  තිබෙන එකම ප්‍රතිකර්මය නම් රටේ ජනතාව තුළ ජාතික මනස අවදිකරවීමයි. ඉතිහාසයේ අභිමානය එයට කෙතරම් වැදගත් වන්නේ දැයි අප කල්පනා කළ යුතුය.
        දැන් අප පැමිණ තිබෙන්නේ දඹුල්ල නගරයට කිලෝ මීටර පහක් පමණ මෙපිට කුරුණෑගල මහා මාර්ගය අභියස හමුවන ඉබ්බන් කටුව ගම්මමානයටයි. මහා මාර්ගය අසබඩ මීටර පන්සීයක් පමණ ඇතුළතින් ඉබ්බන් කටුව ඓතිහාසික සූසාන භූමිය හමු වෙයි. මෙම භූමිය මතු පිට තිබූ ගල් පියන්  සහිත නටබුන්  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලද්දේ මීට කලකට පෙරය.ඒ 1984 වර්ෂයේ දී කරන ලද කැණීමකදීය. ඉන්පසුව 1986 වර්ෂයේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම ස්ථානය පිළිබඳ සැලකිල්ලට ගෙන සිතියම් ගතකිරීම ආරම්භ කරන ලදී. පසුව ජර්මනියේ කාවා අරමුදලේ අනුග්‍රයෙන්  කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක්  1988 දී කැණීමක් ආරම්භ කරන ලදී. මෙම භූමියේ වර්ග මීටර් පහළොවක්  පමණ වන පරිදි විහිද යන ඉඩක් මෙම කැණීමට යොදා ගෙන තිබුණි.මෙයින් මතු කර ගත් ගල් සොහොන් ප්‍රමාණය දහයකි. ඒ තුළ තිබූ මැටි යෙන් සකස් කළ මිනී පාත්‍ර රාශියක් විය. එසේම මිනී දැවූ පිලිස්සු ආදාහන වේදිකාවක්ද මතු කර ගැනීමට හැකිවුණි. මැටි බරණි තුළ විචිත්‍ර කානේලියන් ( අර්ධ මැණික් ) පබළු සහ ඔනික්ස් ගණයේ මාල හමු වීමෙන් මේ මහා ශිලා සභ්‍යත්වයේ ශ්‍රී සමෘද්ධිය පිළිබඳව වැටහීමක් ලබා ගන්නට හැකිවිය.
             වර්තමාන දඹුළු රජ මහා විහාරයට අයත් ලෙන් සංකීර්ණය සහ එහි ඇතුළත්  ලෙන් ලිපි සැලකෙන්නේ ක්‍රි. පූ . පළමුවන සියවසේ නිර්මාණයන් බවයි. නමුත් ඉබ්බන්කටුව තුළ කරන ලද කැණීමෙන් හමු වූ අවශේෂයන් පරීක්ෂාවට ලක් කළ කල්හි විද්‍යාඥයන්ට සොයා ගත හැකි වූයේ ඉබ්බන්කටුව සංස්කෘතිය ක්‍රි.පූ. 750-400 දක්වා වූ කාලය තුළ වර්ධනය වූවක් බවයි. මෙය නම් අහම්බයක් නොවේ. මහා වංශයේ සඳහන් විජයාගමනයට ප්‍රථම කාලයකි. එවැනි කාලයක සුඛෝපභෝගී ලෙසට ජීවත් වූ දියුණු මිනිස් කොට්ඨාශයක් සිටියේ යැයි අප කෙසේ අදහන්නද. නමුත් එය සිදුව තිබේ. එයට හේතුව 1988 කරන ලද කැණීමේ දී මතු කරගත් එක් සොහොනක ගල් පියනක් මත දකුණු ආසියාවේ  පැරණිතම ශිලා සටහනක් හමු වීමෙනි. එවකට කැළණිය විශ්ව විද්‍යාලයේ  සිසුන් කණ්ඩායම නියෝජනය කරමින් කැණීම් මෙහෙයවූ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියන පරිදි මෙම පියන් ගල් වලින් හමු වූ සංකේත අක්ෂර දෙක ඉන්දියාවේ මොහෙන්දෝජාරෝ -හරප්පා වලින් හමු වූ සංකේත හා සමාන වෙයි.
මෙම සංකේතය බ්‍රාහ්මී අක්ෂරයට එකතු කරලූ සංකේත වලින් සමන්විතව තිබෙන බව බැලූ බැල්මට පෙනෙයි. නමුත් ඔහු කියන පරිදි ඉබ්බන්කටුව ශිලා සංස්කෘතිය දකුණු ඉන්දියාවේ මෙගලිතික සංස්කෘතියක් හෝ උතුරු ඉන්දියාවේ ප්‍රභවයක් නොවේ.ඔහු එම නිගමනයට එන්නට ඇත්තේ පසුගිය කාලයේ සපරගමු පළාතේ රංචමඩම හල්දුම්මුල්ල කූරගල සහ බුදුගල කරන ලද ගවේශණ හා කැණීම් වල දත්ත සහ විද්‍යාත්මක කාල නීර්ණයන් අනුව විය යුතුය. මීට වසර හයදහසකටවත් කලියෙන් ලංකාවේ මානව සංස්කෘතිය ඉතා දියුණු අඩියක තිබෙන්නට ඇතැයි. ඔහු උපකල්පනය කරයි.

        කෙසේ වෙතත් දඹුල්ල ඉබ්බන් කටු සුසාන භුමියෙන් හමූ වූ ගල් සොහොන් දැන් නැවතත් පරීක්ෂාවට බඳුන් වෙමින් පවතී.2015 වර්ෂයේ දී නැවතත් කැණීම් ආරම්භ කරන ලද ඉබ්බන්කටුව පුරා විද්‍යා භූමිය තුළින් ගල් සොහොන් හතලිස් දෙකක් පමණ  මුල් වරට කුඩා ඉඩ ප්‍රමාණයකින් සොයා ගෙන තිබේ. මෙම කැණීම මෙහෙයවන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුග්‍රහයෙන් කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ රංජිත්බණ්ඩාර මහතා ඇතුළු පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි.මේ තුළින් ලැබුණු මැටි බරණි තවමත් පරීක්ෂාවට බඳුන්ව නොමැත.එම නිසා වත්මන් කැණීම සහ එහ ප්‍රතිඵල ලබා ගන්නට තව කෙටි කලක් ගත විය හැකිය.
       පැරණි කැණීමට ඉතා නුදුරින් තිබෙන මෙම ස්ථානය අසබඩම අළුතින් තනා නිම කර ඇති නිවසකි. 1980 දශකයේදී මෙම ඉබ්බන්කටුව ප්‍රදේශය තුළ නව මානව ජනාවාසයක් ආරම්භ කරන ලදී. ඉඩම් නොමැති පුද්ගලයන් සඳහා ඉඩම් ලබා දීමේ චේතනාවෙන් සකස්කරන ලද නව ගම්මානය එවකට පුරා විද්‍යා ස්ථානයක් ලෙසට හඳුනාගෙන නොසිටියහ. මේ වන විට පුරා විද්‍යා නටබුන් පිහිටා තිබෙන වර්ග කිලෝමීටරයක පමණ ප්‍රදේශය පුරා නිවාස කඩපිල් නව ආපන්න ශාලා සහ සංචාරක ස්ථාන රාශියක් දක්නට හැකිය. මේ නිසා නව මතු කර ගැනීමෙන් අපට ප්‍රශ්ණාවලියක්ම සිතට නැගෙයි. දඹුල්ල කරා යන එන සංචාරයකයන් මෙන්ම වන්දනා කරුවන්ට දැක බලා ගත හැකි වන පරිදි මෙම භූමිය සංරක්ෂණය නොවී තිබීම මෙම ප්‍රශ්ණය මතු කරන මානයයි.මේ පිළිබඳ වගකීම පවතින්නේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුවයි. යම් ප්‍රතිපත්තිමය තීන්දුවකින් ගල් සොහොන් පවතින අක්කරයක පමණ ඉඩක්වත් මතු පුරා විද්‍යා කටයුතු සඳහා වෙන් කොට කටුගෙයක් සහ සංචාරක නිවහනක් ඇති කළ හොත් එය මතු පරපුරට අගනා ඉතිරියක් වේ.
      1988 දී කරන ලද කැණීමෙන් පසු දඹුල්ල කුරුණෑගල මහා මාර්ගයේ ඉබ්බන් කටුව සොහොන් භූමියට සමාන්තරව ඉබ්බන්කටුව වැවට ඉහළින් තිබූ පොල් වත්තේ ජනාවාසයක අවශේෂයන් හඳුනා ගන්නා ලදී. එහි අරුත නම් ඉබ්බන් කටුවේ මිහිදන් කරන්නට ඇත්තේ මෙකී ජනතාවගේ මළමිනී බවයි. වසර දහස් ගණනකට පසුව මෙම සොහොන සහ එයට අදාල සංස්කෘතිය අපගේ ඉතිහාසයට නොයෙකුත් අයුරින් වැදගත්ව ඇත. මහාචාර්ය සෝමදේව මහතා කියන පරිදිම මේ මූල ඓතිහාසික යුගයේ සභ්‍යයත්වය ඉන්දියාවෙන් ආනයනය කෙරුණක් නොවේ. නමුත් එවකට දඹදිව සහ කලාපයේ තිබූ දේශපාලන  සමාජීය  ආර්ථික සංස්කෘතියෙන් ඔප් නැන්වුණු දියුණු පවුණු  වූ සමාජ දහරාවකි. සපුරගමු බින්තැන්නේ රංචමඩමේ මෙන්ම මොවුන්ද මිනී දැවීමට ඔරු සුසාන වේදිකා තනා ගෙන තිබුණි. මන්දාරම් නුවර   රිටිගල සීගිරිය මානෑ කන්දේ පවැතුණු යක්ෂ රාක්ෂ ශිෂ්ඨාචාරයේම තවත් අදියරක් ලෙසට මෙය සලකන්නට නොහැකිද. යක්ෂ බස රහස්  බසක් සේ තබා ගෙන උතුරු ඉන්දියාවේ දේශපාලන අභිලාශයන් සමග මෙන්ම ව්‍යාපාර මානසිකත්වයන් ගලපා ගත හැකි වන පරිදි එහි පැවති මූල ප්‍රාකෘත අක්ෂර භාවිතයෙන් මහා සභ්‍යත්වයක් බිහි කරන්නට වෙර දැරූ අභිමානවත් හෙළයන් පිරිසක් දඹුල්ලේ සිටින්නට ඇතැයි අපගේ නිගමනයයි. එය නම් මහාවංශයේ ප්‍රකාශිත අර්ථයම වන ගොවි වෙළෙද බල දේශපාලනයයි .මේ දේශපාලනයේ සිටි පරුමක වරුන් විසින් දඹුළු ලෙන කටාරම් කොටවා මුල් තපස් පිල් ආරම්භ කරන්නට ඇත්තේ මිහිඳු මා හිමියන් වැඩම කරන්නටද පෙරාතුවයි. පසුව බුදුන් වහන්සේ ගේ ලංකාගමනය නිසා අවිලුණු දහම් පිපාසය නිසා මේ ලෙන් රහතුන් වෙනුවෙන් කැප කරන්නට ඇත. මේ නිගමනයන් විවාද සම්පන්න වුවද මහාවංශය ගුරු කොට තබා ගනිමින් එහෙත් එයටත් වඩා පෙර ඉතිහාසයක අභිමානය කැටි කරනු වස් තතනන වත්මන් තරුණ පරපුරට මේ ප්‍රවෘත්තිය ආඩම්බරයක්ම වන නිසා එවැනි විවාදපන්න අදහසක් වුවත් සමාජ ගත කිරීමට අප පසුබට නොවන බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

2015/10/31 rivira sunday


Friday, October 16, 2015

බෙදුම්වාදය සඳහා මෛත්‍රී සම්මුතිය කුමක්ද

                                     


                  ලංකාව ඩෛරල් රාජ්‍යයක් ලෙසට හෝ අභ්‍යන්තර ස්වයංපාලනයක් සහිත රටක් වශයෙන් බෙදා වෙන් කිරීම වාසි සහගත වන්නේ කුමකටද යන්න පැහැදිලිය. ඉන්දියාවට හෝ ඇමරිකා එක්සත් ජනපදයට සිය දේශපාලනික ආර්ථික සහ ඇතැම් විට ආගමික ව්‍යාපෘති පහසුවෙන් ක්‍රියාත්මක කරලීම උදෙසා මෙවැනි බෙදීමකට යෑම පහසුතරය. දෙමළ ඊළාම් සංකල්පය වෙල්ලාලර් උගතුන් ගේ නිර්මාණයක් වුවද එයට දේශපාලනික හා යුධමය ශක්තියක් ලබා දුන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයයි. සිය දේශපාලනික වුවමනාවන් සඳහා කොටි පුහුණු කරලීමේ කඳවුරු වලට ඉන්දියාව ඉඩ දුන්නේය. ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය අවි ලබා දීමෙන් සහ ජගත් ප්‍රජාව අතර මතවාදී ශක්තිය ජනිත කරලීමට උදව් උපකාර ලබා දුන්නේය. පක්ෂ දේශපාලනික වශයෙන් බෙදී සිටින රටක් වශයෙන් ලංකාවේ දෙශපාලනය විදේශවලට අවශ්‍ය පරිදි හැසිරවිය හැකිය. මේ බෙදුම්වාදය ක්‍රයාත්මක කරලීමේ වගකීම ඇන්ටන් බාලසිංහම් සහ ප්‍රභාකරන් නම් පුද්ගලයන් හට වගකීමක් ලෙසට තිබුණි. ඇන්ටන් බාලසිංහම් මිය යෑමෙන් පසු ප්‍රභාකරන් සිය ස්වාමිවරුන් අභිබවා යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු ඇතුළු එල්.ටී.ටී. සංවිධනාය විනාශ කිරීමට මහින්ද රාජපක්ෂ රජයට යම් ඉඩක් ලබා දුන් බවද පැහැදිලිය. එහෙත් යුධ ජයග්‍රහණයේ ස්වරූපය මත ප්‍රභාකරන් බේරා ගැනීමට පවා බටහිර රටවල් අවසාන මොහොතේ උත්සාහ දැරූ බව ප්‍රකටය.මේ නාටකයේ යථාර්ථවාදී ස්වරූපය නිසාම ජනතාව ඉන් උද්දාමයට පත්වීම හේතු කොට ගෙන බටහිර කූටෝපායික සැලැස්ම පිලිබඳ කතිකාවක් රට තුළ ඇති නොවුණි.
       ප්‍රභාකරන් මෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද බටහිරයන්ට හිසරදයක් විය. මහින්ද රාජපක්ෂ මහතා විදේශ අධිපතිවාදයට හිස නොනැමීය. එහෙත් ඔවුන්ගේ ආර්ථික වලෑමට යටත් වුණි.පී.බී.ජයසුන්දර මහතා හරහා ක්‍රියාත්මක වූයේ බටහිර ගැති ආර්ථික ප්‍රතිපත්තියකි. එහි ප්‍රතිඵලයක් ලෙසට ලංකාව තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වුණි.දිගින් දිගටම ණය ගැනීමත් එම මුදල් වැඩි ප්‍රමාණයක් අව භාවිතයේ යෙදීමත් කරණ කොට රට තුළ රජය කෙරෙහි බලවත් අප්‍රසාදයක් ඇති විය. මේ වාතාවරණය යටතේ ජනාධිපතිවරයා ඉවත් කිරීමේ සුප්‍රකට කුමන්ත්‍රණය ඇරඹුණි. මාක්ස්වාදී මත වලින් ඔළුව කුරුවල් කරගත් බලය සඳහා සිය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන එමෙන්ම ජාතිකවාදියෙකුද නොවන මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වයට තෝරා ගැනුණේ මහින්ද එලවීමේ ව්‍යාපෘතියේ උච්චතම අවස්ථාවේදීය. පක්ෂ දෙකක පුද්ගලයන් දෙදෙනෙකු එක්කර ඊනියා ජාතික ආණ්ඩුවක් යයි කියැවෙන සභාගයක් අටවා සම්මුතිය තුලින් බෙදුම්වාදය කරා රට දැක්කවීම බටහිර න්‍යාය පත්‍රය විය. නමුත් එළවූ මහින්ද වෙනුවෙන් රටපුරා යළිත් රැල්ලක් නිර්මාණය වීම මේ බෙදුම්වාදයට ඇතිවූ ප්‍රධාන බාධාව විය. එයටද විසඳුමක් ඔවුන් සොයා ගන්නට ඇත. එය මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ක්‍රියාත්මක විය. එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා හරහාද ක්‍රියාත්මක විය. අවසාන ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමයි.
                1951 වසරේදී බණ්ඩාරනායක මහතා හරහා රට පක්ෂ වශයෙන් බෙදා බෙදුම්වාදය මගින් සිංහලයා දුර්වල කිරීම බ්‍රිතාන්‍යයන්ගේ අරමුණ වූවා සේම මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා පක්ෂ එකට එක්කොට ජාතික ආණ්ඩුවක්  අටවා බේදුම්වාදය ක්‍රියාත්මක කිරීම වර්තමාන න්‍යාය පත්‍රය වෙයි. මෙහිදී අප පළමුව සලකා බැලිය යුත්තේ මහින්ද රජපක්ෂ රජය යටතේ මේ බෙදුම්වාදය කිනම් ආකරයකින් තිබුණේද යන්නයි. එවිට මෙම ප්‍රශ්ණය තේරුම් ගැනීමට යම් පහසුවක් ඇතිවෙයි. මහින්ද රජපක්ෂ මහතා විසින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත් කළද ඉන්පසු දෙමළ ඊළාම් මතවාදය පරාජයට පත් කිරීම උදෙසා පියවර ගැනීමට පසුබට විය. ඔහු බැන්කී මූන් ලංකාවට පැමිණි පසු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේය. එම ප්‍රකාශය සමාන්‍ය රජ්‍ය තාන්ත්‍රික පුරුදක් වුවද එහි යම් වෙනසක් කිරීමට රජය අපොහොසත් විය. ඇමරිකා එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය හා නොර්වේ යන රටවල් ත්‍රස්වාදීන්ට උදව් කිරීම යුද්ධය පැවති කාලවකවානුවේදී තහවුරුව තිබුණද ඒ පිළිබඳව ජාත්‍යන්තරය දැනුවත් කිරීමක් සිදු නොවීය. මෙම ඒකාබද්ධ ප්‍රකාශය හරහාවත් එය කළ යුතුව තිබුණි. අනෙක් කරුණ නම් දරුස්මාන් වාර්තාව හරහා බොරු බේගල් ඇදබෑම නිවරදිව විවේචනය නොකිරීමයි. එසේම මැක්සවල් පරණගම කොමිසම මගින් යුද්ධය ඇති වීමට සෑබෑ ලෙසටම හේතු වූ කරුණු මෙන්ම එල්.ටී.ටී.ඊ . ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් නිවරදිව එළදැක්වීමට කටයුතු නොකිරීමයි. මැක්ස්වල් පරණගම යනු හිටපු විනිසුරු වරයෙකි. ඔහුට මේ සම්බන්ධව තිබෙන සුදුසකම කුමක්ද. සැබැවින්ම විනිසුරවරයෙකු ලෙසට සිටීම පමණි. ලංකාවේ බොහෝ විනිසුරුවරයන්ට සමාජයේ ප්‍රශ්ණ පිළිබඳව කිසිම අවබෝධයක් නොමැත. එවැනි පුද්ගලයන් අතින් බිහිවන වාර්තා වලින් සිදු වූයේ ලංකාවේ සැබෑ තත්ත්වය තව දුරටත් වසන් වීම පමණකි.
            උතුරේ ජිවත් වූ දහස් ගණනක් සිංහල ජනතාව එයින් පන්නා දමා වාර්ගික පවිත්‍රකරණයක් සිදු වූ ආකාරය ඉතිහාසයට අයත් නමුත් ඉඩම් පිළිබඳ ඔවුන්ගේ අයිතිය මේ ප්‍රශ්ණයේදී යටපත් කළ නොහැකිය. ලංකාවේ පාලකයන් තුළ සිංහලයන් පිළිබඳ තිබෙන කැක්කුම ඉතාමත් අල්පය. එයට එක් හේතුවක් වන්නේ මුස්ලිම් සහ දෙමළ ව්‍යාපාරිකයන් විසින් දේශපාලඥයන් නඩත්තු කිරීමයි. අනෙක් කරුණ නම් ජාත්‍යන්තර ආයතන විසින් මේ දේශපාලනඥයන් නඩත්තු කිරීමයි. මේ ඛෙදවාචකය යහපාලන සමයේ පමණක් නොව ඉන් අතීතයට ද දිවයන සංසිද්දියකි. දෙමළ හෝ මුස්ලිම් ජනතාව කරන ප්‍රකෝපකාරී ක්‍රියා නීතිය ඉදිරියේ ප්‍රශ්ණ නොකිරීමත් ඔවුන්ට සමාජය තුළ විශේෂ වරප්‍රසාද අත් කර දීමත් සිදු වන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.
          ලංකාවේ රජ්‍ය භාෂාවන් අතර සිංහල ඉදිරියෙන්ම සිටී. එහි අනන්‍යතාව කිසිවෙකුටත් අවතක්සේරු කළ නොහැකිය. නමුත් ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙවීමෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා විසින් මෑතකදී රජයේ සේවකයන් වෙත නිකුත්කරන ලද දෙමළ අකුරු නම් ග්‍රන්ථය තුළ අන්තර්ගත කරුණු අනුව දෙමළ සහ සිංහල භාෂා එකම මූලයකින් පැමිණ ඇතැයි අවධාරණය කර තිබේ.. අනෙක් කරුණ නම් දෙමළ බහුතරයක් සිටින දිස්ත්‍රික්කයන්ට සිංහල නිළධාරීන්ට අමතරව දෙමළ නිළධාරීන්ද බඳවා ගැනීමයි. උදාහරණයක් වශයෙන් මහනුවර දිසාපති කාර්යාලයේ දැනට සිටින සිංහල කාර්යාල සහායකට අමතරව දෙමළ කාර්යාල සහායකයෙකු බඳවා ගැනීම දැක්විය හැකිය. සිංහල නිළධාරීනට  දෙමළ බස ඉගැන්වීම කරන අතර තුරම මෙවැනි දේ කිරීම තුළින් මතු වන්නේ බෙදුම්වාදයේ මූලධර්මයි. මේ තත්ත්වයට අමතරව මෙවර පහේ ශිෂ්‍යත්ව අවම ලකුණුදීම දැක්විය හැකිය. දිස්ත්‍රික්ක කීපයකම ලකුණු මට්ටම් අතර විශාල පරස්පරයක් තිබෙන බව මෙහිදී පෙන්නුම් කළ හැකිය. කොළඹ සිංහල මාධ්‍ය සිසුන්ට ලකුණ 160 ක්ද දෙමළ මාධ්‍ය සිසුන්ට ලකුණු 154 ක් දක්වා තිබීමද ත්‍රිකුණාමලයේ සිංහල සිසුන්ට 153 ක්ද දෙමළ සිසුන්ට 151 දක්වා තිබීද මෙහිදී දැක්විය හැකිය. මෙලෙස එකම රටක ජීවත් වන පිරිසකට දෙවිදියකට සැලකීම  බෙදුම් වාදය ශක්තිමත් කිරීමකි.විභාගදෙපාර්තමෙන්තුව විසින් මෙම ක්‍රමය අනුගමනය කිරීමට හේතු වන්නට ඇත්තේ යුද්ධකාලයේ ඇති වූ තත්ත්වයයි. නමුත් එම බෙදීමට දිගින් දිගටම  අනුබලය දැක්වීම කළයුතු නොවේ.අනෙක නම් යාපනය කිලිනොච්චිය මන්නාරම සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක තුනටම සිංහල මාධ්‍ය සිසුන් සඳහා විභාගදෙපාර්තමේන්තුව ලකුණු මට්ටමක් නොදැක්වීමයි. එයින් පැහැදිලි වන්නේ මෙම ප්‍ර දේශ වල සිටින අතලොස්සක් පමණ සිංහලයන් ගේ දරුවන්ද අනිවාර්යයොන්ම දෙමල මාධ්‍ය මගින් පිළිතුරු සැපයිය යුතු බවයි.
       අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ රජය අනුගමනය කරන ලද්දේ දුර්වල ක්‍රියාදාමයකි.යුද්ධයෙන් පීඩාවට පත්ව විනාශයට ගිය උතුර සහ නැගෙනහිර සංවර්ධනයට විදේශ මුදල් ලබා ගැනීම තුළ දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් පදිංචි කිරීම මෙහිදී දැක්විය හැකිය. සිංහලයන් පදිංචි කිරීමට විදේශ ආධාර නොලැබෙන බවට පූර්ව නිගමනයක් තිබීම මෙයට හේතුව විය හැකිය. කෙසේ වෙතත් වන්නිය හා යාපන අර්ධ ද්වීපයේ මෙන්ම මන්නාරමේ සිට අවතැන් වූ සිංහල පවුල් වලට යලිත් ආපසු යෑමට රජයෙන් ධෛර්යයක් නොලැබුණි. නාවක්කුලියේ පදිංචි වීමට සිටි සිංහල පවුල් වලට රජයෙන් පවා තර්ජන ඇති විය. නැගෙනහිර සිටි සිංහලයන් ගේ ඉඩම් වලට ව්‍යාජ ඔප්පු සාදා මුස්ලිම් අය පදිංචි ව සිටින බව පෙන්වා දුන්නද රජයේ බලධාරීන් නොඇසූ කන් ඇතිව සිටිනු දක්නට ලැබුණි. රිෂාඩ් බද්යුදීන් ඇමතිවරයාට විශේෂ වරප්‍රසාද රජයෙන් ලැබුණු බව පෙනේ. මන්නාරම මරිච්චකට්ටු රක්ෂිතය කපා මුස්ලිම් ජනයා පදිංචි කරවීමට ඔහුට රිසි සේ අවසර ලැබුණි. මහින්ද රාජපක්ෂ රජය පෙරලීමට යහපාලන පෙරමුණට හේත්තුවූයේද මේ පිරිසමයි. අවසානයේ එක්සත් ජාතික පක්ෂ රජය පත් වූ පසු වැඩිම විෂය ගණනාවක් සහිතව මේ මුස්ලිම් නායකයාට ඇමතිකමක්ද නැවත ලැබුණි. ඔහු නැවත සිය බෙදුම්වාදී වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යයි.
           උඩරට කඳුකරයේ වතු ඉඩම් රාශියක් දෙමළ වතු කම්කරුවන්ට ලබා දීමට රජය පසුගියදා  කටයුතු සැලසීය. නමුත් ඉංග්‍රීසීන් ගේ වතු වගාව නිසා සිය ඉඩම් අහිමි වූ සිංහලයන් වෙනුවෙන් මේ අය ගන්නා පියවරක් නැත.ඒ අතර සිරගතකර සිටින දරුණු ගණයේ කොටිත්‍රස්ත සැකකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා උද්ඝෝෂණ කරනු පෙනෙයි. මෙය රජයේම න්‍යාය පත්‍රයකි.අවසානයේ දී යුද්ධයට නායකත්වය දුන් රණවිරුවන් පෝරකයට දක්කවා කොටි අපරාධකරුවන් නිදහස් කරලීමට රජය එකඟතාවය පළ කරනු නිසැකය.මේ තත්ත්වයෙන් අපට පැහැදිලි වන්නේ බටහර න්‍යාය පත්‍රයට අනුව පත්වූ යහපාලන රජය මෛත්‍රී සම්මුතියෙන් වාර්ගික වශයෙන් රට තුළ බෙදුම් වාදය ඇති කිරීමට පසුබිම සකස් කරන ආකාරයයි. ඉදිරියේදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් දෙමළ ජනතාවට අවශ්‍ය  දේ ලබා දෙන්නේ යැයි ජිනීවා වලදී විදේශ ඇමතිවරයා පොරොන්දු වී ඇත. නමුත් ලංකාවේ බහුතර සිංහලයන් මුහුණ දෙන ප්‍රශ්ණයන් ගැන මේ කිසිවෙකුට නිනව්වක් නැත. මේ අවාසනාව ගැන රටේ බහුතරයක් දෙන දැනුවත්ව නොසිටින බව ද සහතිකය.


Sunday, October 11, 2015

1956 ධර්ම යුද්ධය පිළිබඳ නැවත කියවීමක්

                                 

           ලංකාවට නිදහස ලැබී පිහිටුවා ගන්නා ලද පළමුවැනි ස්වදේශික ප්‍රජාතන්ත්‍රවාදී රජය එක්සත් ජාතික පක්ෂය  පදනම් කරගෙන බිහිවිය. ඩී.එස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය තනතුරට පත් වීමත් සමග සමස්ත රටවාසී සිංහල ජනතාව බලාපොරොත්තු දල්වා සිටියහ. අනගාරික ධර්මපාල ශ්‍රී මතාණන් විසින් ලක්වාසීන්ගේ මනසේ ඇති කරන ලද ජාතික අභිමානය අනුව එෆ්. ආර්. සේනානායක මහතාගේ සහෝදරයා වූ ඩී.එස්.සේනානයක මහතා කටයුතු කරනු ඇතැයි  සිතූහ. ධර්මපාල තුමා ගෙන් පසුව එෆ්. ආර්. විසින් ඇති කළ ප්‍රබෝධය මීට තවත් හේතුවක් විය. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ බලපෑම් මධ්‍යයේ සහ පොන්නම්බලම් සහ චෙල්වනායම් වැනි දෙමළ දේශපාලඥයන් විසින් ඇති කරනු ලැබූ පීඩනය යටතේ ඩී.එස්. කටයුතු කලේ සිංහලයන්ට අවශ්‍ය පරිදි නොවේ.ජනපද ව්‍යාපාරයන් ඇති කොට ක්‍රමානුකූලව සිංහල ආධිපත්‍ය ඇති කිරීමට කටයුතු කළද අධිරාජ්‍යවාදීන්ගෙන්  පීඩාවට පත්ව සිටි බෞද්ධයන් ආරක්ෂා කිරීමට රජය බැඳී නොසිටින බව ඔහු කළ ඉඟිය ඉවසුම් නොදෙන්නක් විය.ආණ්ඩුව සරණං ගච්ඡාමි කියන්ට එපා යයි යනුවෙන් ඔහු කළ ප්‍රකාශය බෞද්ධ නායකයන් ගේ සිත් රිදවීමට සමත් විය. මේ නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේලා රජයට විරුද්ධව ඒකරාශි වීම දක්නට ලැබුණි. මේ අතර නවසිය හතලිස් ගණන් වල අගභාගයේදී ලංකා සමසමාජ පක්ෂය ඉදිරියෙන්ම සිට වැඩ වර්ජන මෙහෙයවා ජනතාව පොළඹවා ආණ්ඩුව කැඩීමට මාන බැලීය.  ඩී.එස්. ගේ හදිසි අභාවය සිදුවූයේ මේ කාලයේදීය.ඉන්පසු ඔහුගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත්වීම නිසා ආණ්ඩුව ඇතුලේ හීන් නූලෙන්ම බල අරගල ඇති වන්නට විය. මහමුදලි ගේ පුත් වූ බණ්ඩාරනායක මෙහි ඉදිරියෙන්ම විය. කොතලාවල මහතාද සිටි නමුත් ඔහු දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියේ පුද්ගයෙකු නොවීය.
        මේ අරගලය තේරුම ගත් සෝල්බරි සාමි ඔවුන් සියළු දෙන දිනක් ආණ්ඩුකාර නිවසට කැඳවා ප්‍රථමයෙන් සංග්‍රහ කොට රටේ පවත්නා තත්ත්වය පිළිබඳ විග්‍රයක් කරන ලදී. ලංකා සමසමාජ පක්ෂය විසින් පොළඹවන ජනතා බලය රටට එතරම් හොඳ නැති බවත් ඉංග්‍රීසි ආණ්ඩුවට හිතවත් ශක්තිමත් විපක්ෂයක් තිබීම මගින් සමසමාජයේ අභිප්‍රායන් පරාජය කරගත හැකි බවත් ඔහුගේ අදහස විය. බලය සඳහා ගමනක් යෑමට පුල පුලා බලා සිටි බණ්ඩාරනායක මෙහිදී යමක් නොපැවසුවත් ආණ්ඩුකාරයාගේ අත දිගු වූයේ ජෝන් කොතලාවල මහතා වෙතටයි. ආණ්ඩුවෙන් එළියට ගොස් විපක්ෂයක් සාදන ලෙසට කොතලාවල පෙළඹවීම ආණුඩුකාරවරයාගේ අභිප්‍රාය විය. මේ ඉල්ලීම නිසා කොතලාවල මහතාට කේන්ති ගියේය. අවශ්‍ය නම් අවියක් රැගෙන ගොස් සමසමාජ නායකයන් ඝාතනය කළ හැකි නමුත් මෙවැනි නිවට යෝජනා ක්‍රියාත්මක කිරීමට තමන්හට වුවමනාවක් නොමැති බව කියා සිටියේය. මෙහිදී බණ්ඩාරනායක මහතාගේ අවස්ථාව පැමිණුනි.ආණ්ඩුකාරවරයාගේ ඉල්ලීම මත තමා ආණ්ඩුවෙන් ඉවත්ව ශක්තිමත් විපක්ෂයක් සාදන බවට ඔහු ප්‍රකාශ කර සිටියේය.(මේ අවස්ථාවේ මෙම රැස්වීම වාර්තා කළ දයාරත්න නම් පොලිස් නිළධාරියාගේ මතකය ඇසුරෙනි) මේ ප්‍රකාශනයත් සමග ඉදිරිපත් කළ කොන්දේසි වර්තමනා දේශපාලනය මෙන්ම ජාතිකවාදී දේශපාලනඥයන්ගේ හැසිරීම තේරුම් ගන්නට මනා පිටිවහලක් වනාව නිසැකය.
           සිංහල මහ සභාව 1951 දී මාදම්පේ පැවති සංවත්සර මහ සභා රැස්වීමේ දී ඒකමතිකව ගත් තීරණයක් වූයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි.1936 පටන් සවභාෂාවන් මගින් රජය කටයුතු කළ යුතුයැයි දේශපලානඥයන් විසින් දක්වා තිබුණද රටේ ජාතික භාෂාව වන සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමට විශාල හඬක් නැගුණේ මින් පසුවයි.නමුත් අගමැති ඩී.එස්. ගේ අදහස වූයේ සිංහල සහ දෙමළ  යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කළ යුතු බවයි.මේ විසංවාදය තම බල ව්‍යාපෘතියට ප්‍රයෝජනවත් ලෙසට යොදා ගැනීම බණ්ඩාරනායක මහතාගේ අභිප්‍රාය විය.මේ තත්ත්වය තුළ සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරය විසින් සටන් පාඨයක් ලෙසට ශක්තිමත් කර තිබූ සිංහල රාජ්‍ය භාෂාව කිරීම සෝල්බරිසාමි ඉදිරියේ ඔහුගේ ප්‍රමුඛ කොන්දේසිය විය. බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමස්ත ජාතික ව්‍යාපාරයේ දේශපාලන නායකත්වය ලබා ගැනීම මත නව ජවයකින් සිංහල දේශපාලනය පණ කැවුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවීම මත ප්‍රථමයෙන්ම ආසන අටක් දිනා ගැනීමෙන් පසු ඊළඟ රජයේ බලය ලැබ ගැන්මට බණ්ඩාරනායක මහතා මූලිකව කලේ බෞද්ධ බල මණ්ඩලය ඇතුළු පිරිසට කිට්ටු වීමයි.මේ තත්ත්වය මෙසේ වුවද 1947 වර්ෂයේ දී ජාතික කොඩියක් නිර්මාණය කරන විට එම කොඩි කාරක සභාවේ සිටි බණ්ඩාරනායක මහතා සිංහලයන් ගේ කොඩිය පිළිබඳව අයිතිවාසිකම් කතා කලේ නැත. එසේම 1947 වර්ෂයේ දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලද අධ්‍යපන ආඥා පණත කතෝලික සභාව විසින් කරන ලද බලපෑම් ඉදිරියේ දී එ.ජා.ප.ය විසින් ඉවත් කර ගන්නා විට එයට එරෙහිව කතා නොකළ බවට සාක්ෂි ඇත.
             1956 මාර්තු මාසයේදී මහා සංඝයා විසින් බණ්ඩාරනායක මහතාට දසපණත පිළිගන්වන අවස්ථාවේ දී කරන ලද කතාවේදී එක්සත් ජාතික පක්ෂ විරෝධය උණුසුමව ඉදිරියට පැමිණියේය. ඔවුහු එදින මෙසේ කීහ. අපේ ඊනියා නායකයෝ නිදහස් ආණ්ඩු පණත පිළියෙල කරන අවස්ථාවේ එහි ආගමික සංස්ථා පිලිබඳ වූ 29 වන වගන්තිය රෝමානු කතෝලික ආර්ච් බිශොප් තුමාගේ උපදෙස් පිට එතුමාට ඕනෑ අයුරින් සකස් වුණු බව ඒ අණ්ඩු පණත සකස් කළ අයෙකුගෙන් කෙනෙකු වන අයිවර් ජෙනිංස් මහතා විසින් මෑතකදී අනාවරණය කර තිබේ. මහා සංඝායාගේ හෝ යටත් පිරිසෙයින් මහා නායක හිමිවරුන්ගේ අදහස්වත් මොවුන් විමසුවේ නැත. බෞද්ධ කොමිෂන් වාර්තාව කියන පරිදි  මේ වගන්තිය නිසා ලංකාවේ පාර්ලිමේන්තුවට මහ රැජිනගේ බලය අඩු කළ හැකි වුවත් ක්‍රිස්තියානි ආගම ලංකාවේ සිංහාසනාරූඩ කර තිබේ. එහෙත් එසේ කර තිබෙන්නේ ලංකාව අත්පා බැඳ කුරුසියේ පාමුල බිලි දීමෙන්ය.
       
බෞද්ධ තොරතුරු පරීක්ෂණ සභාව  සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් කැඳවන ලද්දකි. 1954 මැයි 7 දාතම මගින්  සකස් කරන ලද ප්‍රශ්ණ මාලාවක් ඔවුන් විසින් සමස්ත බෞද්ධ ජනතාව වෙත නිකුත් කරන ලදී. අඹන්වැල්ලේ ධම්මානන්ද බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි පලන්නොරුවේ විමලධම්ම නායක හිමි හපුවලානේ ඥාණාලෝක හිමි හල්යාලේ සමුනතිස්ස හිමි කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි ටි.බී. ඇල්ලෙපොළ මහතා පී.ද.එස් .කුලරත්න මහතා ඩී.සී.විජයවර්ධන මහතා ජී.පී. මලලසේකර මහතා ඇල්.එච් මෙත්තානන්ද මහතා තෙන්නකෝන් විමලානන්ද මහතා යන පිරිසද මේ කාරක සාභාවේ සාමාජිකයන් බවට පත් වූහ. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳව ප්‍රශ්ණ විස්සක් භික්ෂුන් වහන්සේලා පිළිබඳ තොරතුරු  ප්‍රශ්ණ  තිස් දෙකක් සමාජ තත්ත්වය ගැන  ප්‍රශ්ණ දොළසක් සහ බෞද්ධයන්ට ඇති බාධා යන මාතෘකා යටතේ මේ ප්‍රශ්ණ අටක් ද මේ ලියවිල්ලට අන්තර්ගතව තිබුණි. මේ අනුව ගම්දනව් සිසාරා යමින් තොරතුරු එක් රැස් කළ කාරක සභාව  සිය වාර්තාව 1956 වර්ෂයේ දී  නිකුත්කරන ලද්දේය. මේ වන විට ඇවිලෙමින් තිබූ දේශපාලනයේ දී බණ්ඩාරනායක මහතා ඇතුළු මහජන එක්සත් පෙරමුණ මෙයට සමීප වෙමින් සිය දේශපාලන අභිලාෂය ඉටු කරගන්නට සමත් විය. බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නැගී සිටීම සැබවින්ම 1956 දී  එක්සත් ජාතික පක්ෂ පරාජයට හේතු කාරණා බවට පත් විය.
            1926 දී පමණ ෆෙඩරල් මතයක සිටි බණ්ඩාරනායක මහතා සිය බල දේශපාලනය උදෙසා ජාතික ව්‍යාපාරය සමග එක්වීම සංසන්දනය කල හැකි නිදසුන් කීපයක්ම වත්මන් දේශපාලන තුලින් ද දැක්විය හැකිය.උපතින්ම කතෝලිකයෙකු වූ ඔහු බුදු දහම වැළඳ ගැනීම සහ එක්සත් භික්ෂු පෙරමුණ සමග එක පෙළට සිට ගැනීම දස පණත පිළිගැනීම යනු කරුණු ඒ යුගයේ හැටියට වැදගත්සේ සැලකිණ. වරක් රත්නපුරයේ සමන් දේවාලයේ පැවති උපවාසයකට ගොස් සිට බණ්ඩාරනායක මහතාට අවස්ථානුකූලව පන්සිල් දී තිබෙන්නේ සිවුරු පොරවා ගත් පොට්ටනිකාරයෙකු බව එකල පුවත් පත් වාර්තා කලේය. කෙසේ වෙතත් එකල ද මෙකල මෙන්ම සාමන්‍යයෙන් සිදුවන කාරණා දෙකක් පත්‍රවල වාර්තා කර තිබුණි. එකක් නම්  ඇමෙරිකානු විදේශභාර ලේකම් ඩලස් මහතා ලංකාවට පැමිණීමය. ඔහු ලංකාවට උපදෙස් දීම හැරුණු කොට ඔත්තු බැලීමද කළ බව ප්‍රකටය. මෙයට විරෝධය පා ශ්‍රීලංකා විද්‍යාලාධිපති පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියන් කළ කතාව මෙසේය. අද එක් අතකින් එක්සත් ජාතික පක්ෂයත් රෝමානු කතෝලික සභාවත් අනික් අතින් ඒ පක්ෂ ඇමරිකානු ආණ්ඩුවත් අතර ඇති ඉතා කිට්ටු සම්බන්ධකම බෞද්ධාගම මෙන්ම මුළු මහත් ජනතාවට අපලදායි එකකි. සියයට අනූවක් බෞද්ධයන් ඇති පෝර්මෝසායාවේ චියන් කායි ෂෙක් නම් ක්‍රිස්තු භක්තිකයා බලයට පත් කලේ වෙන කවුරුවත් නොවේ ඇමරිකානු ආණ්ඩුවයි. එසේම සීයට අනූහතක් පමණ බෞද්ධයන් ඇති කොරියාවේ සිංග්මරි නම් ක්‍රිසිතු භක්තිකයා බලයට පත් කලේ ඇමරිකානු ආණ්ඩුවයි. එමෙන්ම සීයට අනූවක් පමණ බෞද්ධයන් සිටින දකුණු වියට්නාමයේ ඩිංග්ඩියෙම් නම් කතෝලිකයා බලයට පත් කලේ ඇමරිකානු ආණ්ඩුවයි. දැන් ඔවුන් ලංකාවේද කතෝලිකයන්ට අති මිත්‍ර බෞද්ධ නාමධාරී කොතලාවල මහතා ඒකාධිපත බලයට පත් කොට බුද්ධාගම නසා දමා මෙරට ක්‍රිස්තියානි බලකොටුවක් මෙන්ම ඇමරිකානු බල කොටුවක් කිරීමට මේ මස 11 වන දා ඩලස් මෙහි එන්නේ ඒ කුමන්ත්‍රණයකටයි. වකිකානුවේ තානාපති ලූකස් පියතුමා ද මේ දිනවල මෙහි සිටීම සැලකිය යුතු කරුණකි.
          වර්තමානයේ ද ලංකාවේ පවතින දේශපාලන දූෂණ අල්ලස් කොමිස් ගැන දිනපතා පත්‍ර සහ විද්‍යුත් මාධ්‍ය නන්දොඩවති. පණස් ගණන් වලදීද මෙය මෙසේ විය.1956 මාර්තු 07 දින නිකුත්වූ බෞද්ධ පෙරමුණු පත්‍රය එය වාර්තා කරන්නේ මෙසේය. මහා මැතිවරණයකදී සිදු වන කලකෝලාහල දූෂණ ක්‍රියා අල්ලස් දීම හා තාඩන පීඩනාදිය ගැන මේ රටේ භික්ෂූන් වහන්සේ අනෙක් කාටත් වඩා හොඳින් දනිති. ඒ නිසා  බුද්ධ ජයන්ති කාලයට පෙර හෝ පසු කාලය තුළ හෝ මැතිවරණයක් නොපැවැත්විය යුතුයයි මහා සංඝයාවහන්සේ අගමැති තුමාගේන් කළ ඉල්ලීමට ඇහුන්කම් නොදුන් එතුමා ලබන වර්ෂයේ අගෝස්තු මාසය තෙක් පාර්ලිමේන්තුවේ ආයු කාලය තිබියදීත් කඩිමුඩියේ පාර්ලිමේන්තුව විසිරුවා හැර මැතිවරණයක් සඳහා සූදානම් වීමයි. භික්ෂූන් වහන්සේලා එයට සංවේගය දැක්වීමක් වශයෙන් රටපුරා මහා උපවාසයක යෙදී දැන් ධර්ම යුද්ධයකට සූදානම් වෙති. ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ දුෂ්ට හිතින් ඒ සඳහා තමන්හට යොදන්නට පුලුවන් සෑම උපක්‍රමයක්ම අගමැතිවරයාත් ඔහුගේඅනුගාමිකයනුත් යොදනවාට සැකයක් නැත. දැනට ප්‍රකටව තිබෙන අන්දමට නම් මෙවර මැතවරණය සඳහා වියදම් කිරීමට රුපියල් පණස්ලක්ෂයක අරමුදලක් එක්සත් ජාතික පක්ෂයට තිබෙන බව සැලයි. මෙයින් විශාල මුදලක් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රී ධූරාපේකෂකයන් සහ හිටපු මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට වියදම් කොට ඇති බව කියනු ලැබේ.මේ මුදලින් රැවටුණු සමහර දෙනා අද දේශපාලන භූමියේ පාරාජිකාවට පැමිණ යන එන මං නැතිව සිටිති. ධන බලයට නොරැවටී ස්ථීරව සිටින නියම මහජන හිතෛෂීන් ද මේ අතර දක්නට ලැබීම ප්‍රීතියට කරුණකි. මේ හැර පණස් ලක්ෂයේ අරමුදලින් විශාල කොටසක් ඡන්ද දායකයන් අතර බෙදා දීමට සහ මත්පැන් වලටද වෙනකර ඇති බවදැන ගන්නට ඇත.
        අල්ලස් සහ දූෂණ ක්‍රියා රජය මගින් නැවැත්විය යුතු දේය. මහජනයාට අල්ලස් දී සුරාවෙන් ඔවුන් මත් කොට නොමග යවා ඡන්දය රැගෙන බලයට පත්වන රජයකට ඒවා නැවැත්විය හැක්කේ කෙසේද සිදුවන්නේ ඒවා තවත් දියුණු ලෙස පැවැත්වීමය. මේ අතර ලේක්හවුස් පත්‍ර සියල්ලම ඇත්ත නැත්ත කොට අයුක්තිය යුක්තිය කොට පෙන්වා මහජනයා මුලා කිරීමේ ව්‍යාපාරය මහා ඉහළින් පවත්වාගෙන යයි. මේ ගැන හොඳින් දත් භික්ෂූන් වහන්සේලා පසුගිය තුන් වනදා නගර ශාලවේදී ලේක්හවුස් පත්‍ර වර්ජනය කිරීමේ යෝජනාවක් සම්මත කර ගත්තේය. එක්සත් ජාතික පක්ෂයට කතෝලික පත්‍ර වලින් සම්පූර්ණ සහයෝගයට දීමට එහි අයිතිකරුවෝ පොරොන්දුව සිටිති. එහෙයින් මහජනයා ඒ පත්‍රවල ප්‍රචාරක ක්‍රියා වලින් පරිස්සම් වියයුතුය.
         
එක් පසෙකින් එක්සත් ජාතික පක්ෂයත් අනෙක් පසෙකින් මහජන එක්සත් පෙරමුණත් දේශපාලන පොරපිටියේ සටන් වැදී සිටියේ පරස්පර මතවාද ජයග්‍රහණය කරන්නටයි. අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කඳවුරු බැඳගත් සිංහල බෞද්ධ  ජාතික ව්‍යාපාරය එම සටනින් ජයග්‍රහණය කරන ලද්දේය. භික්ෂූන් වහන්සේලා මෙම සටන හැඳින්වූයේ ධර්ම යුද්ධය යනුවෙනි. 1955 දී ඇති වූ පූර්ණ සූර්යග්‍රහණය මේ ජයග්‍රහණයට හේතු වූ බවද කියති. කෙසේ වෙතත්  අල්ලස් දූෂණ ක්‍රියා මෙන්මරජයේ බ්‍රිතාන්‍ය ගැතිකම පෙන්වා බන්ඩාරනායක මහතා බලයට පත් වුවද ඔහු අතින් සිදු වූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීමත් බස් වරාය ආදී කොටස් ජනසතු කිරීමත් වැනි සංශෝධන කීපයක් පමණකි. ඔහු සිය පැරණි මතයට යළිත් යමින්  දෙමළ බසටද සම තැන දීම සඳහා චෙල්වනායගම් මහතා සමග ගිවිස ගන්නා ලද්දේය. පක්ෂය ඇතුලත මෙන්ම පිටතද රැඳී සිටි කතෝලික බලවේගයන්හි දුෂ්ට ඉලක්කයට ලක්ව බණ්ඩාරනායක මහතා මෙලොව හැර ගියේය. ඉන්පසු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ ජනතා සුභවාදී කටයුතු රාශියක් සිදුවුණු බව සැබෑය. එහෙත් සිංහල බෞද්ධයාට සිය සිවාධීනත්වය යළි තහවුරු කරලීමට අවශ්‍ය වාතාවරණය ඇති කරලීමට විශේෂයෙන් රට ආර්ථික වශයෙන් නිදහස් කරලීමට ගත හැකි පියවරයන් ඉදිරියට නොපැමිණි බව සිහිපත් කළ යුතුය.සිදු වූයේ රට ඇමරිකන් උගුලකට හසුවී ණය බරින් පීඩිත වීමයි. මෙයට එක් හේතුවක් වූයේ මාක්ස්වාදී පක්ෂ සමග සභාගයට යෑමයි. තිරයෙන් පසු පස සිට විජාතිකයන්  විසින් නිතරම ලංකා දේශපාලන බල තුලනය කර තිබීම මේ පරාජයන්ට හේතුවයි. 1977 න් පසු ජේ.ආර්.ජයවර්ධන රජය ජාතික ව්‍යාපරය මැඩපවත්වමින් ලබරල් ආර්ථික ප්‍රතිපත්ති මෙන්ම නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ස්ථාපිත කරමින් රට ලෝක බලවතුන් ගේ දඬු අඩුවට හිර කර තැබීය. කොටි ත්‍රස්තයන්ගෙන් නිදහස් වුවද ජාතික ව්‍යාපාරයේ හැසිරීම් ඉතා සූක්ෂමව අධ්‍යනය කළ විජාතික බලවේග නැවතත් බලයට පත්ව තිබේ. යුද්ධ කාලයේදී බිහිවූ බොරු ජාතික ව්‍යාපාරයන්ගේ හැසිරීම මීට ප්‍රබල හේතුවක් විය.

2015/10/12 දිවයින