පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, July 27, 2023

මහා විහාර ව්‍යාපෘතිය පෙන්වා ත්‍රිකුණාමලය බිලිදෙන ට්‍රෝජන් සංකල්ප

 



         අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී මෙරටේ ආර්ථික දේශපාලනික ව්‍යුහයට  ඉන්දීය මැදිහත් වීම තහවුරු කළ රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි විගසම සිදු කරන ලද්දේ අනුරාධපුරයට ගොස් අටමස්ථාන නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී සංස්කෘතික සාකච්ඡාවකට මුල පිරීමයි.ඉන්දීය බලහත්කාරය ඔස්සේ බලය බෙදීම හරහා රට දෙකඩ වන තත්වයකට තල්ලු විය හැකි බව හොඳින්ම දැන දැන ගිවිසුම් කීපයක් අත්සන් කළ ජනපතිවරයාට වහාම මහා විහාරය මතක් වූ යේ ඇයි. මීට කලින් කුරුන්දි විහාර ප්‍රශ්ණය සහ ඉඩම් ප්‍රශ්ණය ඇද ගත් අවස්ථාවේ දීද මහා විහාරයට වඩා කුරුන්දි වෙහෙර  ඉඩම් ලොකුද යන්න ගැන විවාදයක් ඇති කල බව කවුරුත් දනී.එම කතාව මගින් කියැවෙන්නේ  මහා විහාර සීමාවේ පවතින ස්ථාන කැණීම් කොට සංරක්ෂණය කරනවා විනා  රටේ විවිධ ස්ථාන වල පවතින ‌ෙඑතිහාසික නටබුන් කැණීම් කොට සංරක්ෂණය කිරීම ට හදිසි නොවිය යුතු බවයි.

            මිහිඳු මහ රහතන් වහන්සේ මිස්සක පව්වට වැඩම කොට ලක් බුදු සසුන ස්ථාපිත කළ පසු දේවානම්පියතිස්ස රජතුමා අලි ඇතුන් ඈදා රන් නගුලින් අනුරාධපුර මහා  සීමාව ලකුණු කළ  හැටි මහා වංශ ගත ඉතිහාසයෙන් දැන ගත හැකිය.මහා වංශයේ දැක්වෙන පරිදි පණ්ඩුකාභය රජතුමා පැරණි අනුරාධ ගමෙහි වෙසෙමින් නව අනුරාධ නාගරය නිර්මාණය කර තිබේ. මේ නගරයට අදාල වැදගත් ස්ථාන විසි අටක් ගැන සඳහන් වේ. ඒ අතරින් අභය වැව ජය වැව කාලවේල දෙවොල චිත්‍රරාජ දෙවොල වාලමුඛී නිවස්නය නීච සූසානය සැඩොල් ගම් ආදිය ගැන වෙසෙසින් සඳහන් කරයි.පූර්ව අනුරාධපුර සමයේ පැරණි අනුරාධ ගම දැනට තිබෙන පස් තට්ටු වලින් යට අඩි ගණනාවක් ගැඹුරින් පිහිටා තිබූ බව ඇතුලු නුවර කැණීමෙන් සනාථ වී ඇත. අබි අනුරදිය යනුවෙන් සඳහන් වළන් කැබැල්ලක් හමු වීමෙන් පසු ස්ඵුට වූයේ බ්‍රාහ්මී අක්ෂර වල පරිණාමය මහින්දාගමනයට ප්‍රථම සිදු වූ බවයි.

        දෙවන පෑතිස් රජු   මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් පරිදි මහා සීමාව පිහිටුවාලූයේ පැරණි අනුරාධපුර නගරයේ පැරණි ස්ථානයන් අසු වන පරිද්දෙනි.මහා සීමාව කොලොම්හොයේ පහණ තොටින් ඇරඹී දක්ෂීණා වෘත්තව ගමන් ගෙන දක්ෂිණ ස්ථූපයට දකුණෙන් ගමන් කර විජයාරාමඋයන පසු කර අභය වැවේ බටහිර පැත්තේ වූ කොක්ගල අසළින් උතුරට හැරී මහා සූසානයට ඇතුළු වී තිබේ.ඉන්පසු  මහා සූසානය මැදින් ගමන් කර නැගෙනහිරට බරව ගොස්  පුර දොවොල් පසු කරමින් පසු බැස නැවත දකුණු දිශාමුඛව ගමන් කර ඇත. එහිදී හමු වන්නේ දිගු ගල් විල නොහොත් දීඝ පාෂාණයයි. මෙය වත්මන් බුලන් කුලම යයි මහාචාර්ය ඒ .ඇස් හොට්ටි ආරච්චි මහතා පවසයි. අනතුරුව කම්මාර දේවතාවගේ දොවොල් හමු වෙයි.ඉන්පසු නීච සූසානයයි. එයද පසු කළ කල්හි මස්තොටු පිරිවෙනයි.පසුව පරිභ්‍රාජකයන් සිටි තැන පියමන් කරමින් ගොස් කොලොම් නදියේ දී මහා සීමාව සම්පූර්ණ කර තිබේ.අනුරාධපුර මහා සීමාවේ එක් පර්ශවයක් තනිකරම කොළොම් නදියෙන් ආවරණය වන්නේය.

      දේවානම් පියතිස්ස රජු ගෙන් පසුව අනුරාධපුර නගරය බෞද්ධ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ක්‍රමානුකූලව ගොඩ නැන්වෙයි.රුවන් මැලි සෑය ජය ශ්‍රී මහා බෝධිය ථූපාරාමය ජේතවනය  මිරිසවැටිය ඉසුරු මුණිය ආදී වශයෙන් සංඝාරාම උපෝසථ ශාලා දන් ගෙවල් පිරිවෙන් භෛෂජ්ජ ශාලා රජ මාළීගා වැව් අමුණු තැනවේ.නමුත් මෙරට වාසීන් තුළ බෞද්ධ සංකල්ප බිහිවන්නේ මහින්දාගමනයටත් පෙර සිටය. 

 මහා වංශයෙන් ඊට ලැබෙන ආලෝකය මද වුවද බුදුන් වහන්සේගේ ඥාති පරම්පරාව සමග තිබූ අඛණ්ඩ සම්බන්ධතාවය මත අනුරාධපුරයත් දිවයිනේ නැගෙනහිර පළාතත් සංවර්ධනය වූ බව පැහැදිලි කරගත හැකිය.අනුරාධපුර ශිෂ්ටාචාරය සතුරු ආක්‍රමණ හමුවේ බිඳ වැටීමෙන් පසුව සිංහල රාජධානිය ක්‍රමයෙන් පොලොන්නරුවටත් අනතුරුව දඹදෙණිය යාපහුව කුරුණෑගල ගම්පළ කොට්ටේ සීතාවක සහ මහනුවර වශයෙන් විතැන් වීම සිදු වෙයි. මෙහිදී මහා විහාර වාසී භික්ෂුන් වහන්සේලා සිය රැකවරණය උදෙසා රජුන් සමිපයේ ද දිඹුලාගල වැනි වනපත්‍ය ආරණ්‍ය වලද අච්ඡගිරි නොහොත් වලස්ගලද පැවැතුණු බව ශාසන ඉතිහාසය දක්වයි. අවසාන වශයෙන් සෙංකඩගල මහනුවර අස්ගිරියටත්  පුෂ්පාරමයටත් වර්ධනය වී වත්මන් මහා විහාරය නිර්මාණය වෙයි.

          රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා මහා විහාරය පිළිබඳ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියටත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ වරයාටත් පාඩම් කියාදෙන තත්වයට වැටී තිබෙන බව පෙනේ. ජනපතිවරයාගේ ඉතිහාස කීයවීම තුළ ඔහු දෙමළ නිජබිම පිළිගනී. ඒ අනුව නොර්වේ ඇමරිකා මෙන්ම ඉන්දියාව සමගද අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි. උතුර සහ නැගෙනහිරට ස්වයං පාලනයක් දීමටද ඉඩම් බලතල දේශපාලඥයන්ටද දීමට උත්සුක වන්නේ මේ මිථ්‍යා අදහස් වලින් ඔහු තරව බැඳී ඇති බැවිනි. මෙලෙසම ඔහු මහා විහාරය ගැන හිතලු මවාගෙන සිටින්නේ යැයි මට සිතේ.මහාවංශය, මහා සම්මත මනු වංශය, මහා විහාර ආදී වදන් වල මහා යන්නෙන් නැගෙන අදහස විවිධය.මහා වංශය යනු උභයකුල පාරිශුද්ධ සූර්යවංශ රාජ පරම්පරාවයි.  බුදුන් වහන්සේ ගේ ශ්‍රාවකයන් ගෙන් පැවතෙන භික්ෂුන් වහන්සේලාගෙන් මහා විහාර පරම්පරාව සමන්විත වේ. .අනුරාධපුර යුගයේ සිට අඛණ්ඩව මෙම පරම්පරාවන් සීතාවක යුගය දක්වා පැවත පැමිණ ඇත. නමුත් සතුරු ආක්‍රමණ හමුවේ ශාසනික පැවැත්ම අභියෝගයට ලක් වීමෙන් පසු උපසම්පදාවට භික්ෂූන් නොමැති විය. කීප වරක්ම උත්සාහ කොට සියම් දේශයට හසුන් පත් සමග දූතයන් පිටත් කර සියම් උපාලි හිමියන් මෙහි වඩම්මවා නැවත මහා විහාර පරම්පරාව ස්ථාපිත කර ඇත.

             රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ වැඩ සිටින මහා විහාර වංශික භික්ෂූන් වහන්සේලා අභීමුවේහිදී මහා විහාරය ලෝක පූජිත තැනක් කිරීමට අවශ්‍ය කැණීම් සංරක්ෂණ කටයුතු යෝජනා කරයි.ඒ සඳහා පුරාවිද්‍යාඥයන් කොපමණ සිටින්නේ දැයි ප්‍රශ්න කරයි.මෙම ප්‍රශ්ණයට පිළිතුර  කල්තියා බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් වරයාගෙන් ලැබ ගත හැකිව තිබුණි. නමුත් මාධ්‍ය ඉදිරියේ ඔහු එය ප්‍රකාශ කරනු ලබන්නේ වෙනත් අදහසක් ඇතිව යැයි සිතේ. ඒ අතර ලුම්බිණයේ කැණීම් වලින් මතු කරගත් දේ ගැනද දක්වයි. ඒ කැණීම් කරන ලද්දේ  රොබින් කණින්හැම් නම් පුරාවිද්‍යාඥයෙකි.ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරීන් පැත්තකට දමා විදෙස් රටකින් පුරාවිද්‍යාඥයෙකු ගෙන්වා පර්යේෂණ කිරීම රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට නම්බුවකි.මහාචාර්ය ශිරාන් දැරණියගල ද එසේ කර ඇත.ඒ නිසා සමනල වැව යකඩ උදුන්ද අපට අහිමි විය.මෙවැනි විදෙස් විද්වතුන් පර්යේෂණයන් කරන විට ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වේ. මහාවිහාර සීමාවේ පවතින පැරණි පිරිවෙන්  යටින් මේ විදේශීය විද්වතාට කෝවිල් වල නටබුන්ද සොයා ගන්නට වුවමනාවක් ඇති වේ නම් එයද සිදු විය හැකිය.පොලොන්නරුවේ ශිව දේවාල පරිශ්‍රයේ පර්යේෂණ අගල් කීපයක් ඇති කලේ ඒ සඳහාය. නමුත් එහිදී බෞද්ධ පිළිමගෙයක නටබුන් මතු වූ බැවින් ඒ පර්යේෂණය නවතා දමා ඇතැයි කියති.මෙරට වර්තමාන ඉතිහාසය දෙමළ ඊලාම් ඉතිහාසයක් බවට පත් කිරීමට වලි කන පිරිසකට උඩගෙඩි දෙන ජනපතිවරයා මහා විහාරය ගැන කතා කරමින් උතුර සහ නැගෙනහිර පෙදෙස් වල බෞද්ධ නටබුන් සුන්නත්දූලි කිරීමට විදේශීය සමාගම් වලට අවසර දේ. 

මේ වන විට ත්‍රිකුණාමලයේ සාම්පූර් පෙදෙසේ අක්කර පන්සීයක භූමි කඩක සුළං බල ව්‍යාපෘතියක් ඇති කිරීමට අදානි සමාගමට අවසර දී ඇත. මොවුන් සුළං ජනන යන්ත්‍ර සවි කිරීමට යන තැන් අතර ගල්ලෙන් ආරාම සංකීර්ණ සහිත කඳු මුදුන්ද හමුවේ.පුරාවිද්‍යා හානි අගැයුම් වාර්තාවක්ද නොමැතිව මෙම ව්‍යාපෘතීන්ට අවසර දීමට උත්සාහ කරන අතර  ඉන්දියාවට ගොස් මෙවැනි ව්‍යාපෘති කීපයකට අවශ්‍ය ගිවිසුම් වලට අත්සන් තබා තිබේ.මහා විහාර භික්ෂූන් වහන්සේලා ගේ අවධානය අනුරාධපුරයේ තබා රට වටා තිබෙන ජාතික උරුමය ඩෝසර කිරීමට සහ ඉඩම් මංකොල්ලයට  පසුබිම සකසන නූතන නිදහස් ආර්ථික පිළිවෙත මගින් කියැවෙන්නේ බෞද්ධයනි නුඹලා වැඩි වශයෙන් දඹදිව වන්දනාවට පැමිණෙත්වා. නුඹලාගේ බෞද්ධ ස්මාරක කෝවිල් බවට පත් කර ඉන්දීය සංචාරකයන් ලංකාවට පැමිණෙන්නට මග සලසමි යන්නයි. ත්‍රිකුණාමලයේ වැදගත්ම බෞද්ධ ස්මාරකය වන ගෝකණ්නය අද හින්දු කෝවිලකි. එම භූමිය තුළ ඉන්දීය සංචාරකයන්ට විශ්‍රාම ශාලාවක් සෑදීමට නැගෙනහිර ආණ්ඩුකාරවර සෙන්දිල් තොන්ඩමන් වලිකයි.ලංකාව ඉන්දියාවේ ආර්ථික දේශපාලනික ප්‍රාන්තයක් බවට පත් කිරීමට මෙම මෙහෙයුම ප්‍රමාණවත්ය.

මතුගම සෙනෙවිරුවන්

Sunday, July 9, 2023

ඉන්දියානු ආක්‍රමණයේ තවත් පැතිකඩක් ආයුර්වේද පනතින් හෙළිවෙයි

 

 


                        

            දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා  ගේ අමාත්‍යංශයෙන් සකස්කරන ලද ආයුර්වේද සංශෝධන පනතක් පසුගිය ජූනි මස 12 වන දා ගැසට් පත්‍රයේ පළ කරතිබේ.එම පනත 2023/0705 වන දින  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඉතා ඉක්මනින් සම්මත කරගන්නා බව මේ වන විට දැනුම් දී තිබේ.මෙම පනතේ තිබෙන විවිධ පරස්පරතා සහ අඩුපාඩු පැහැදිලි කර දීමට අමාත්‍යවරයා හමු වීමට ගිය පාරම්පරික වෛද්‍යවරුනට සහ සිවිල් ක්‍රිකාරීන් කීප දෙනෙකුට ඔහු පවසා තිබෙන්නේ  ආයුර්වේද පනත සංශෝධනය කිරීම මගින් බාධාවක් නොමැතිව කංසා නීතිගත කිරීමට හැකි වන බවයි.කෙසේ වෙතත් මේ වන විට මෙම සංශෝධන පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව පෙන්වා දෙමින් දේශීය වෛද්‍යවරු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

            ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටතේ පැවති ආණ්ඩු ක්‍රමයන්හි දේශීය වෙදකමට නිසි තැනක් අත් වූයේ නැත. ග්‍රාමීය වෛද්‍යාවරයා ඔවුන්ට වෙදරාළ විය.ඒයි වෙදරාළ මෙහෙට වරෙන් යයි ඇමතූ සුදු දිසාපතිවරු මෙන්ම සිංහල දිසාපතිවරුද  එකල වූහ. 1926 දී පමණ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී දේශීය වෙදකමට ලැබිය යුතු තැන පිළිබඳ කතාබහක් ඇති විය. ඒ අනුව බාලසිංහම් නම් මන්ත්‍රී වරයා යටතේ ස්වදේශ වෛද්‍ය උපදේශක සභාවක් පත් කරන ලදී. මෙම තත්ත්වය මත 1928 කෝට්ටේ පාරේ වෛද්‍ය විදුහලක්ද රෝහලක්ද බෙහෙත් සාදන ස්ථානයක්ද ඇති කරන්නට ඉංග්‍රීසි ආණ්ඩුව කටයුතු යෙදූහ. පසුව එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙම උපදේශක සභාවේ සභාපති වූවායින් පසුව 1937 ද පමණ කවිරාජ් දාස් ගුප්තා මහතා යටතේ කොමිෂන් සභාවත් පත් කර තිබේ. එසේම 1950 දී සිංහල වෙදකම පිළිබඳ පැවැත්වූ කොමිෂන් සභා වාර්තාවක් ඇති අතර රජය අද පිළිගනු ලබනුයේ 1947 වසරේ මුලු දුන් ආයුර්වේද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශයන්ය  මෙහි කොමිෂන් වාර්තාව අනුව ආයුර්වේද දෙපාර්තමේන්තුවක් පිහිටුවා වෛද්‍ය වරු ලියාපදිංචිය ඇරඹී දේශීය ආයුර්වේදය නව මුහුණු වරකින් ඉදිරියට පැමිණියේය.

         1956 ජයග්‍රහණයේ දී බණ්ඩාරනායක මහතා නැවතත් දෙශීය වෙදකමට අවශ්‍ය ස්ථානය ලබා දීමේ අභිප්‍රායෙන් සිටියද එතුමාගේ හදිසි අභාවයෙන් පසුව එය ඇණ හිටින. නමුත් 1960 බලයට පත් වූ සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ආයුර්වේද පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනත ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය ඇමති වෛද්‍ය ජේ. පී. ඔබේසේකර මහතා විසිනි.මෙම පනතේ දී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළට දේශීය වෙදකම ඇතුලත් කර වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබා දී ඇත. නමුත් දේශීය වෙදකම පිළිබඳ ග්‍රාමීය වෛද්‍යවරුන්ට තිබෙන පරිචය සහ පළපුරුද්ද මත තවමත් ආයුර්වේදයට වඩා ග්‍රාමීය වෛද්‍යවරුන් ගෙන් ජනතාවට සේවයක් සිදු වේ.ඒ නිසා 1961 ආයුර්වේද පනත වෙනස් විය යුතු යැයිද දේශීය වෛද්‍යවරුන්ගේ අනන්‍යතාවය සහතික කරන්නා වූ පනතක් සකස් කරගත යුතු යැයිද හඬක් වූ බැවින් රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ පාලන සමයේ දී ඒ සඳහා කමිටුවක් පත් කර පනත් කෙටුම්පතක් භාර දී ඇත. නමුත් මෙම පනත් කෙටුම්පත් ද සැළකිල්ලට නෙගෙන නව සංශෝධිත පනත ඉදිරිපත් කර ඇති බවද ග්‍රාමීය වෛද්‍යවරුන්ගෙන් හෝ සංරක්ෂණ සභා වලින් කිසිම යෝජනාවක් නොගෙනම යම් කිසි රහස්‍ය ක්‍රමවේදයකට සකස් කර ඇති බවද වෛද්‍යවරු චෝදනා කරති.          1961 පනතේ ආයුර්වේදය යන අර්ථනිරූපනයට සිද්ධ යුනානි දේශීය චිකිත්සා ක්‍රමවල වෛද්‍ය කර්මය හා ශල්‍ය කර්මයද ආසියාතික රටවල දේශීය වූද ඒ ඒ රටවල රජය මගින් පිළිගනු එසේ යැයි  පිළිගනු ලැබූද වෙනයම් වෛද්‍ය ක්‍රමයක්ද ඇතුළත් වෙයි යන්න අඩංගුය.

 

 

 මෙම සංශෝධිත පනතේ දී එම නාමය  කප්පාදු කර දේශීය චිකිත්සා ඖෂධ ප්‍රතිකාර යනුවෙන් ලඝු කර තිබේ. ඒ අනුව ඖෂධ ප්‍රතිකාර නොවන මැතිරීම් නූල් බැඳීම් ආදිය මෙන්ම විවිධ කෙම් ක්‍රමයන්ද ගෙඩි පැලීම් ආදී දේශීය ශල්‍ය කර්මද ඇතැම් විට නස්‍ය කර්මද තහනම් වන අතර එවැනි ප්‍රතිකාර කරනු ලබන දේශීය වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට බලය ලබා දී තිබේ. එසේම ඔසු උයන් පවත්වාගෙන යෑමට පෞද්ගලික අංශයටටද ඉඩ ලබා දෙනු ලබන අතර අපනයනය සඳහා එම ඔසු භාවිතා කළ හැකි වේ. මෙම පනතේ සගවා තබා ඇති කාරණය නම් කංසා වගාව ප්‍රචලිත කිරිමයි. දේශීය වෛද්‍යවරුයෙකුට සිය වට්ටෝරුවකට අනුව කංසා පැලෑටියක් වගා කර ගැනීමට සහ යොදා ගැනීමට නීත්‍යනුකූල තත්වයක් මෙහිදී ඇති කර නොමැතිය. ඒ වෙනුවට ඔහුගේ සමස්ත ඔසු වගාවත් ලියාපදිංචි කරවීමට බල කර තිබේ.සැබවින්ම කංසා වගාකිරීමට දේශීය වෛද්‍යවරුන්ට අවසර ලබා ගත් හැක්කේ අන්තරායකර ඖෂධ පනත ට වගන්තියක් එකතු කිරීමෙන් පමණකි.මෙම පනතේ ප්‍රතිපාදන යටතේ විදේශික සමාගම් වලටද ඖෂධ වගාවට  අවස්ථාව හිමිවන අතර දැන ගන්නට තිබෙන අතර උතුරේ ඉඩම් ඩයස්පෝරාවට සහ  ඉන්දියානු සමාගම් වලට ලබා දී වැඩි දියුණ කරන ලද (හයිබ්‍රිඩ්) කංසා වගාව මගින් අපනයනය සඳහා පමණක් වගා කිරීමට දරන උත්සාහයක් ද ප්‍රකට වෙයි.වෙසෙසින්ම ඉන්දියානු ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙරට විවෘත කරලීමටද දේශීය වෙදකම සමතලා කොට උතුර සහ නැගෙනහිර පෙදෙස්වලද පසුව මුලු ලංකාවේමද ඉන්දියානු ආයුර්වේදය ප්‍රචලිත කිරීමේ වෑයමක්ද මෙහි වෙයි.දැනට ලංකාවේ වගා කරන කංසා මෙරටට ආවේණික පාරම්පරික පැලෑටියකි.අපනයනය සඳහා සැකසීමේ දී එවැනි පැලෑටි වලට දැනට වෙළෙඳ පළක් නැත. එබැවින් වැඩි දියුණු කරන ලද කංසා යොදා ගැනීමට උත්සාහ කරනවා විය හැකිය.අපනයනය මගින් ඩොලර් ඉපැයිය හැකියැයි අමාත්‍යවරයා සඳහන් කරනුයේ මෙකී අරමුණු පදනම් කොට ගෙනය. ජනපතිවරයා විසින් මෙම පනත පිළිබඳ දැඩි උනන්දුවක් දක්වා ඇත්තේ ෙපර කී පරිදි උතුර සහ නැගෙනහිර පෙදෙස් වල ඉඩම් ඩයස්පෝරාවට සහ විදේශික සමාගම් වලට ලබා දීමට මෙයින්  මග විවර වන බැවිනි.

        මෙරට සිංහල වෛද්‍යක්‍රමයට තිබෙන ඉතිහාසය අනුව විවිධ යුග වල නොයෙකුත් දැනුමින් පෝෂණය වෙමින් ඒ ඒ පළාත්වල ඔසු වර්ග භාවිත කරමින් සාර්ථක ප්‍රතිකාර ලබා දෙන පාරම්පරික වෛද්‍ය කමයක් පවත්වාගෙන යන පිරිසක් ඇති වූහ.වට්ටෝරු වෙදකම් යයි සමහරක් බටහිර වෛද්‍යවරුන් විසින් ගර්හාවට පත් කරන ලද්ද් මෙම පාරම්පරික වෙදකමයි. තමන්ගේ පළාතට ආවේණික ඖෂධ වර්ග භාවිතා කරන හෙයින් ද තමන් විසින්ම ඖෂධ නිෂ්පාදනයේ යෙදෙන හෙයින්ද මේ ප්‍රතිකාර ක්‍රම වල සාර්ථකත්වය ඒ වෛද්‍යවරුද ජනතාවද අත්දුටුවහ.එදා වෛද්‍යවරයා ප්‍රතිකාර කරන ලද්දේ බුලත් අතටය. මුදලට නොවේ.බෞද්ධ සාරධර්මයන්ගෙන් හැඩ ගැසුණු වෛද්‍ය  සම්ප්‍රදායට බුදුන් වහන්සේ විසින් දේශනා කළ අනු දැන වදාල ක්‍රමවේදයන්ද ඇතුළත්ව තිබේ.දැන් මෙම පනත මගින් සිංහල වෛද්‍ය සම්ප්‍රදායට අනුව සකස් වී තිබෙන මෙකී බොහෝ දේ ක්‍රමානුකූලව ශූන්‍ය කිරීමට උත්සාහ දරා තිබේ.එසේම සම්බාහන ශිල්පීන් සහ ශිල්පිනියන් යනුවෙන් මෙම පනතේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද යෙදීමද සැකයට තුඩු දෙන්නකි. වෙනත් කිසිම පනතක නැති මෙම විලාශය මෙයට ආදේශ කරන්නට ඇත්තේ සම්බාහන මුවාවෙන් ගණිකා වෘත්තිය නීතිගත කිරීමට දැයි සැකයක් උපදී.කොරෝනා සමයේ දී වීරයෙක් බවට පත්වුණු සිසිර ජයකොඩි අමාත්‍යවරයා ද්‍රෝහියෙකු කර ඔහු ලවා කොස් ඇට බෑවීම තුළින් එක ගලෙන් කුරුල්ලන් කීප දෙනෙකුම මරා ගැනීමේ වෑයමක් ද තිබෙන්නේ යැයි මෙහිදී  අප තේරුම් ගත යුතුය.

මතුගම සෙනෙවිරුවන්