පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Thursday, February 8, 2024

උතුරේ නව දේශපාලන ප්‍රවණතා සහ සිංහල ජාතික ව්‍යාපාරය

 

                              


         යාපන අර්ධ ද්වීපයේ දේශපාලනය අරුම පුදුම ක්‍රියාවලියකි.යාපන රජ පවුල නැතහොත් ආර්ය චක්‍රවර්තී රාජකීයත්වය අවසන් කර පරංගින් ගේ ආධිපත්‍ය පිහිටුවීම තුළ යාපනයේ සිටි බ්‍රාහ්මණයන් ගේ හැසිරීම විවිධාකාර විය.කතෝලික ආගම පැතිරවීම නිසා ඔවුන් ඇතැමෙක් සිය ලබ්ධිය වෙනස් කළහ. ලන්දේසි සමයේ දී කතෝලික ආගම වෙනුවට රෙපරමාදු ඇදහීම් පෙරට ඒමේ දී දකුණු ඉන්දියාවෙන් ආනයනය කරන ලද වහල් ශ්‍රමිකයන් අතර වූ වෙල්ලාලර් සහ වෙල්ලාලස් යන ගෝත්‍ර ද සිය ලබ්ධිය වෙනස් කර ගනිමින් කුල වතුන් ලෙසට නම්බුනාම ලබා ගත්හ. ඒවා ලබා ගත්තේ කාසි පොට්ටනියක් ප්‍රදානය කිරීමෙන් යැයි යාල්පාන වෛපමාලය කියයි.පරංගීන් විසින් විනාශ කරන ලද බෞද්ධ වෙහෙර විහාර අභිමුව ලන්දේසි පල්ලි ඉඳි වන්නේ මේ කාලවකවානුවේ දී බව බල්දෙයස් නම් ලන්දේසි පූජක තැන සිය ග්‍රන්ථයේ දක්වා තිබේ.මලලගම නැතිනම් මල්ලාකම් ප්‍රදේශයේ තිබූ සංඝ ඝණ විහාරය අබියස තිබෙන චෙන්ගානේ පල්ලිය අදටත් දැක ගතහැකිය. විහාරයේ නටබුන්ද ශේෂව පවතී.තොගපිටින් මලබාරයෙන් ගෙනා විවිධ කුල වලට අයත් ජනයා යාපන සිංහල ගම් වල පදිංචි කර දුම්කොළ වගාවලට සහ වෙනත් වෘත්තීන් කරා යොදවන ලද්දේ ලන්දේසීන් විසිනි.මේ මලබාර් වහලුන් පැමිණෙන  විට යාපනයේ ඉතිරිව සිටියේ කිසිවක් කරකියා ගත නොහැකිව සිටි සුලු කුල වල ජනයා පමණකි. ඔවුන්ගෙන් ඇතැමෙක් අසුර නාග ගෝත්‍ර වලට අයත් වූහ.මලබාර් වහලුන් උදෙසා පැණවුණු තේසවලාමෙයි නීතිය සමස්ත අඩු කුල ජනතාවටම ආදේශ කරලීමට ලන්දේසීන් සමත් විය. ඒ නිසා අලුත් ආගම වැළඳ ගත් බ්‍රහ්මණයන්ටද මුදල් දී කුල වතුන් බවට පත් වූ වෙල්ලාලරයන්ටද සිය දෙවනි පෙලේ ආධිපත්‍ය ගෙන යෑමට හැකි විය.

       ලන්දේසීන් පාලනය කල මුහුදුබඩ පළාත් ඉංග්‍රීසීන් විසින් පවරා ගත් පසු තත්වය තව දුරටත් වෙනස් විය.1796 සිට 1798 දක්වා උතුරේ තිබුණේ මදුරාසි පාලනයකි. මේ නිසා දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් තව දුරටත් උතුරට සංක්‍රමණය විය.ඔමින්දාර් නම් මදුරාසි පාලක පනිතියක්ද උතුරට පැමිණියහ.මදුරාසි නීති රීති අනුවද උතුර පාලනය විය. උතුරේ ජනතාව ආගමට හරවා ගැනීමේ ව්‍යාපාරයට නව මුහුණුවරක් දීමට මේ අවස්ථාවේ දී ඉංග්‍රීසීන් සමත් විය. ඇමරිකන් මිෂනරි කණ්ඩායම් වලට උතුරට පැමිණීමට ආරාධනා කරන ලදී. එහි පල්ලි පිහිටුවීමටද පාසල් ඇති කිරීමටද ඔවුන් සමත් විය. ඉන් බලාපොරොත්තු වන ලද්දේ උතුරේ ප්‍රභූ පන්තිය සිය අණසක යටතට ගැනීමයි.මේ තුළින් අනාගතයේ දී සිංහල ජනතාවට විරුද්ධ දෙමළ නායකයන් ඇති කිරීම ඔවුන්ගේ ශූර උපායමාර්ගය විය.1819 දී ගාල්ලේ දී රැස්වූ මිෂනාරීන් උතුර දෙමළ රටක් ලෙසටද දකුණ සිංහල රටක් විදියටද පිළිගෙන ඒ අනුව ආගම් ප්‍රචාරක වැඩ ආරම්බ කළහ.වර්තමාන දෙමළ නායකයන් වන බොහෝ පිරිස් මලබාරයෙන් පැමිණි වෙල්ලාලර් ගෝත්‍රයන්ට අයත් වූහ. ඔවුහු ලන්දේසීන් ගෙන් ලබාගත් වරප්‍රසාද තවත් දියුණු කර ගනිමින් ඉංග්‍රීසීන්ට සමීපව සිටිමින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා රජයේ ඉහළ තනතුරු වලට පැමිණියහ.ඒ අතර  උතුරේ මලබාර් සමාජයේ බහුතරයක් වූ කුලහීන ජනතාව තව දුරටත් පාගාගෙන සිටීමට ඔවුහු තේසවලාමේ නීතිය භාවිතා කළහ.එහිදී වෙල්ලාලයන් කවුරුද යන්න ප්‍රශ්ණයක් විය හැකිය.වෙල්ලාල නාමය සිංහල ගොවි කුලයට සහ බ්‍රාහ්මණයන්ටද යෙදූවකි.උතුරේ පමණක් නොව දකුණේ පාණදුරයේ ද ඇතැම් මුහුදු බඩ පළාත් වලද වෙල්ලාල කුලයේ  අය අදටත් සිටී.මේ දේශීය කුල සහ මලබාර් කුල පටලවා නොගත යුතුය.

        ලංකාවේ දෙමළ ජාතිවාදය බිහි වීමට පසුබිම සකස් වූයේ ඉංග්‍රීසීන් විසින් ව්‍යවස්ථාදායක සභාවට සිංහල මන්ත්‍රීවරයෙකු සහදෙමල මන්ත්‍රීවරයෙකු පත් කිරීමෙනි..ලන්දේසීන් සහ ඉංග්‍රීසීන් යටතේ ප්‍රභූ පන්තියක් ලෙසට වර්ධනය වූ වෙල්ලාරයන් සයිමන් කාසි චෙට්ටි ගේ මග පෙන්වීම යටතේ ඉංග්‍රීසි පාලනයේ මුල් තැන් වලට පත් වූහ. මේ අය අතර සිටි දෙමළ උගතුන් උතුරේ වෙනම දෙමළ රාජ්‍යයක් තිබූ බවට පොත් ලිවූහ.ඒවාට මුල් වූයේ යාල්පාන වෛපමාලය ඇතුලු පැරණි පොත් කීපයක් වුවද පියසිරි අමරකෝන් මහතාගේ පර්යේෂණ අනුව පැහැදිලි වන්නේ ඉංග්‍රීසින් ගේ මෙහෙයවීම මත මේ පොත් ලිවූ බවයි.මෙකී දෙමළ උගතුන් මුල්වී වෙල්ලාලර් සමාජය සිංහල ජනතාවට එරෙහිව සංවීධානය කළහ.යාපන සංගමය ඉන් බිහිවිය.ඉංග්‍රිසීන් ගෙන් ඔවුන් විශේෂ වරප්‍රසාද බලාපොරොත්තු වූහ. දෙමල ජාතිවාදයට මූලිකව අඩිතාලම වැටුණේ එලෙස වුවද දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පක්ෂය බිහිවීම තුළ එයට පන්නරයක් ලැබුණු බව කිව යුතුය.1947 න් පසු ඉන්දියාවට නිදහස ලැබුණි. දකුණු පෙදෙසේ  ආධිපත්‍ය ඉසුලූවන් අතර බ්‍රහ්මණයන් ප්‍රමුඛ වූහ.අයියර් අයියනාගර් ශාස්ත්‍රී  සහ භාරද්වාජ වැනි බ්‍රාහ්මණයන් ඉන්දීය දේශපාලනයේ සුපිරි පන්තිය සමග ගනුදෙනු කළහ. නිදහස ලැබීමෙන් පසු රාමසාමි නායක්කර් නම් පුද්ගලයෙකු විසින් මේ ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් ව්‍යාපරය ආරම්භ කරන ලද්දේ හීන කුල වල ජනයා  බ්‍රාහ්මණ ආධිපත්‍යයෙන් මුදවා ගැන්මටයි. ඒ නිසා ඉහළ ගෝත්‍ර විසින් අදහන විවිධ දෙවිවරුන් කෙරෙහි ඔවුන් ගේ විරෝධය එල්ල විය. නුමුත් ශිව සම්බන්ධව එසේ නොවීය. පසුව අන්නදොර් විසින් මේ ව්‍යාපාරය පසුබිම් කරගෙන ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පකෂය පිහිටුවා ලීමෙන් පසු ඉන්දීය දේශපාලනයට කේවල් කිරීමට හැකි ශක්තිමත් ජන බලවේගයක් බිහිවුණි.මදුරාසි ආන්ද්‍ර කේරල සහ මධ්‍ය ප්‍රදේශ් හි ජීවත් වූ කුල අතරින් බහුරතයක් හීන කුල වලට වර්ග කර ඇති පිරිසක් බැවින් මේ කාර්යය ඉතා පහසු විය.නිදහස් ඉන්දියාවේ අභිනවයෙන් බිහිවුණ මේ බලවේගය විසින් ඇති කරන ලද අභියෝගය මැනවින් තේරුම් ගත් බ්‍රාහ්මණයන් අවසානයේ තමන්ගේ ගෞරවයන් නොසලකා මෙකී පක්ෂයට එක් වූහ. එක් වූවා පමණක් නොව එහි නායකත්වයටද පත් වී වෙනම දෙමළ රටක් නම් සංකල්පය පෝෂණය කිරීමටද දායක විය.මේ බලපෑම එකල ශ්‍රී ලංකාවට ද බලපෑය.1949 දී තමිල් අරසුපක්ෂය බිහිවන්නේ ඒ නිසාය.  මලබාර් හි සිට පැමිණි වෙල්ලාලර් සහ වෙල්ලාලස් වැනි හීන කුල ජනයා මෙයට එක් විය.නමුත් මේ දෙමළ නායකයන් උතුරේ පවතින ජන පීඩනය පෙරසේම නොතකා හැර ප්‍රභූ පන්තියක් ලෙසට වැජඹීමට කළ උත්සාහයන් නිසා දෙමළ විමුක්ති කොටි සංවිධානය බිහිවිය. අවසානයේ දී ඒ සංවිධානය යටතේ ඇති වූ ත්‍රස්තවාදයත් එයට ඇති වූ විදේශ  සහයෝගයත් එය මර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය ගත් උත්සාහයත් පිළිබඳ අප මැනවින් දනිමු.

     දැන් වසර ගණනාවක් ගෙවී ගොස් මේ දෙමළ නායකයන්ගේ ආධිපත්‍ය සහ ඔවුන්ගේ හැසීරීම යාපන දෙමළ ජනයා නොපිළිගන්නා තත්වකට පත්ව තිබේ. ඔවුන්ට අවශ්‍ය දකුණේ සිංහල ජනයා සමග එක්ව ජීවත් වීමටයි. ඒ සඳහා බලය බෙදීම පාදක කරගත් පොලිස් ඉඩම් බලතල අනවශ්‍ය වේ. යාපන අර්ධද්වීපයේ ජීවත් වන බහුතර සාමන්‍ය ජනතාව සිංහලයන් සමග එක්වීමට බලවත් කැමැත්තක් දක්වති. උතුරේ විහාරස්ථාන විසින් සිදු කරන පින්කම් වලට බලවත් කැමැත්කක් දක්වති. දන්සැල් පැවැත්වීම ඉතා ආශාවෙන් බලපොරොත්තු වෙති. නුමුත් වෙල්ලාලර් දෙමල නායකයන් විසින් ඇති කරවනු ලබන දෙමළ ජාතිවාදී දේශපාලනය නිසා තවමත් උතුරත් දකුණත් යාකරන සැබෑ පාළමක් නිර්මණය වී නොමැත.මෙලෙස පාළමක් නිර්මාණය විය යුත්තේ වසර තිහකට අධික කාලයක් උතුර සිංහල ජනයාගෙන් ඈත්ව පැවතීම නිසාවෙනි.අරූන් සිද්ධාර්ථන් නමැති තරුණ සිවිල් නායකයෙකු සමාජය ඉදිරියට පැමිණෙන්නේ මෙවැනි කාලවකවානුවයි. ඔහු උපතින් බෞද්ධයෙක් නොවුණද ඔහුගේ පියා අම්බෙඩ්කාර් තුමාගේ මග ගත් පුද්ගලයෙකු බව කියැවේ ඒ අභාෂය නිසාදෝ අරූන් බෞද්ධ සමාජයට සිය සුරත දික් කර ඇත.අරූන් නියෝජනය කරන නලවර් කුලය ඉන්දියාවේ නැත. ඒ කුල දකුණේ දුරාව කුලවල කාර්යයන්ට සමානය. නුමුත් එකී හීන කුලවලට දකුණේ නැති පීඩනයක් නලවර් කුලයට උතුරේ තිබූ බව ඔහු කියන සත්‍ය්‍ය සමාන වන්නේ දකුණු ඉන්දියාවේ තිබූ තත්වයටයි.

          යාපනන සිවිල් සංවිධානය විසින් පැවැත්වූ නිදහස් උත්සවයක් පසුගියදා පැවැත්වුණි.දකුණේ ජාතික ව්‍යාපාරය නියෝජනය කරන පිරිසක් සරත් වීරසේකර මන්ත්‍රී තුමා අනුරාධා යහම්පත් හිටපු ආණ්ඩුකාර තුමිය ඇතුලු දකුණේ භික්ෂූන් වහන්සේලා ඊට සාභාගි විය.යාපනයේ සිවිල් සංවිධානය දේශපාලන අරමුණකින් ගොඩ නැගී තිබෙන්නක් වුවද එහි පදනම කුල පීඩනයයි.දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් ව්‍යාපාරයට මෙය සමාන බව කීවේ එහෙයිනි.යාපන සිවිල් සංවිධානයේ නැගී සිටීම පිළිබඳව ඉන්දියාව මෙතෙක් අදහසක් පළ කර නොමැත.නමුත් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා යාපනයට පැමිණි අවස්ථාවේ දී අරූන් සිද්ධාර්ථන් කොරෙහි ඔහුගේ අවධානය යොමු විය. උතුරේ බිඳි වැටුණු පාසල් ගොඩ නැන්වීමට යාපන සිවිල් සංවිධානයේ සහාය රනිල් බලාපොරෙත්තු විය.රනිල් වික්‍රමසිංහ බටහිර දේශාපලන නියෝජනය කරන එයට ගැති පුද්ගලයෙකි. ඔහුට අවශ්‍ය සිංහල ජනතාවගේ හෝ දෙමල ජනතාවගේ සමගියෙන් යුතු ශක්තිමත් ලංකාවක් නොව බටහිර විසින් පෝෂණය කරන ඔවුන් විසින් පාලනය කරන ලංකාවකි.නුමුත් ඉන්දියාවෙ බලාපොරාත්තු වන්නේ උතුරේ වෙල්ලාලර් නායකයන් වෙනුවෙන් වෙන් කරන ලද පළාත් සභා දෙකක් ඒ යටතේ ඉන්දියාවට ගැති පාලනයක් ඉන් පසුව සමස්ත ලංකාවම හැසිරවිය හැකි ආර්ථික සහ මූල්‍ය යාන්ත්‍රණයකි.මේ අවස්ථාවේ දී ජවලාහල් නේරු ගේ න්‍යාය පත්‍රයට වඩා නරේන්ද්‍ර මෝදි ගේ න්‍යාය පත්‍රය වඩාත් පුලුල් වී තිබේ.එක්ටා වැනි ගිවිසුම් හරහා ඉන්දියානු කම්කරුවන්ට සහ වෘත්තිකයන්ට ලංකාව විවෘත කර දී ඉන්දියානු රුපියල මෙහි භාවිතයට පැමිණවීම මගින් ලංකාව පාලනය කිරීම ඔහුගේ අදහසය

ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් ව්‍යාපාරයට මදුරාසි ප්‍රාන්තය තුළ බලය හිමි වීමත් සමග ජාතික කොන්ග්‍රසයේ නායකයෙකු වූ රාජගෝපාලචාරි මහතා සූක්ෂමව කටයුතු කරමින් අන්නදොරේ සමග එකතුව බ්‍රාහ්මණ ආධිපත්‍ය නැවත එම පක්ෂය තුළට ඇතුලු කළහ. මේවාට ආධාර කරන ලද්දේ නොයෙකුත් තානාපති කාර්යාල බව ප්‍රකටය.මෙවැනි තත්වයක් වර්තමාන යාපනයේ වුවද ඇතිවිය හැකිය. ද්‍රවිඩ සංවිධානය විසින් ඒ පක්ෂයේ නායකත්වයට ශ්‍රී ධරන් පත් කරන ලද්දේ යාපන සිවිල් සංවිධානයේ නැගීසිටීම නිසාය.ද්‍රවිඩ සංන්ධානය ඉන්දියාවේ බළල් අතකි.අනෙක් පැත්තකින් මිෂනාරීන්ගේ බළල් අතකි. අරූන් සිද්ධාර්ථන් බෞද්ධයන්ගේ පැමිණීම සාදරයෙන් පිළීගෙන උතුරේ යළි පන්සල් ඇති කිරීමට සහාය දේ.ඔහු සමග එකතු වන සිංහල ජාතික ව්‍යාපාරය මේ පිළිබඳ අමන්දානන්දයට පත්ව සිටිති. නුමුත් ආර්ථික වශයෙන් දුර්වල කේවල් කිරීම අතින් දුර්වල මේ ජාතික ව්‍යාපාරයට උතුරේ කල හැකි දේ පිළිබඳ තක්සේරුවක් නැතිය.කෝසල පත්තිනිගේ මහතා කියන පරිදි උතුරෙන් අවතැන් සිංහලයන් නැවත පදිංචි කිරීමට සහ සිංහල පාසල් යළි ඇති කිරීමට උනන්දුවන්නන් අතලොස්සකි.යාපනයේ අඩුකුල ජනයා දේශපාලන වශයෙන් නැගී ඒ මේදී ඒ පිරිස ඉන්දීය දේශපාලනයේ ගැත්තන් වීමට තිබෙන් ඉඩකඩ වළක්වාගත හැක්කේ උතුරේ සිංහල ජනයා ශක්තිමත් කිරීමෙන් සහ දේශපාලන බලයක් ස්ථාපිත කිරීමෙනි. ඒ නිසා ඒ සඳහා  ලබන මැතිවරණයේදී අවස්ථාවක් ලබා ගත හැකිය.නුමුත් ඊට පෙර යාපන සිවිල් සංවිධානයත් සිංහල ජාතික ව්‍යාපාරයත් අතර යම්කිසි සම්මුතියක් බිහි විය යුතුය.

මතුගම සෙනෙවිරුවන්