පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Sunday, May 18, 2025

දා කරඬුවක දැවටුණු පූජනීය සේද සළුවේ යටගියාව

 



          බුද්ධ අදාහන මළුවේ දී ශේෂ වූ ධාතුන් වහන්සේ ලා වැඩිම ප්‍රමාණයක් වර්තමානයේ තැන්පත් කොට තිබෙන්නේ හ්‍රී ලංකාවේ බව සැදැහැවත් බෞද්ධයන් ගේ විශ්වාසයයි.බුදුන් වහන්සේගේ යටි වම් දළදාව සහ දකුණු දළදාව පිළිබඳ උත්තුංග ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන සිංහල බෞද්ධයන්ට විශේෂිත ධාතු කරඬුවක දවටා තිබූ පූජනීය සේද සළුවක් ද වටිනා බව කිව යුතු නොවේ.දේවානම්පියතිස්ස රජ දවස දී ධර්මාශෝක රජුගේ පුත් මහින්ද  මහ රහතන් වහන්සේ මිහින්තලයට වැඩම කොට  සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කොට රජු ලවා යොදුනෙන් යොදුන විහාරස්ථානයන් කරවා ලංකා රාජ්‍යය බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කොට දැනට වසර දෙදහස් තුන්සීයක් පමණ ඉකුත් වී තිබේ. මේ එළඹෙන්නේ බුදු උපතින් දෙදහස් පන්සිය හැටනව වන වසරයි.

    


     අසෝක රජ දියණි සංඝමිත්තා තෙරණින් වහන්සේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් රැගෙන උතුරේ දඹකොළ පටුනට පැමිණි කල්හි දේවානම්පියතිස්ස රජු කරවටක් දියට බැස මහත් ශ්‍රද්ධාවෙන් එය පිළිගත් ආකාරය බෝධිවංශයේ දක්වා තිබෙන්නේ ජනතාවට ශ්‍රද්ධාව භක්තිය ඇති වන ආකාරයටයි. ඒ බෝධින් වහන්සේ සමග ශාක්‍ය වංශයට ඥාතීන් වූ හැට හතර කුලයක් ජනතාවද ලක්දිවට පැමිණියහ.ඔවුන් ගම්බිම් වල පදංචි කරවා ගම් ප්‍රධානීනන් බවට පත් කරවා බුද්ධ ශාසනයේ චිරස්තිථිය සලසනුවස් කටයුතු සැලැස්වූහ. විදුරනන්ද බෝධිගුප්ත සුමිත්ත  ආදී ලැමණි කුලයට නෑකම් කියූ දේවානම්පියතිස්ස රජු ගේ බාල සහෝදරයා කීර්ති තිස්ස විය. මේ කුමරු වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පෙදෙස භාරව කටයුතු සිදු කරන ලද්දේය. පදවිගම්වල තිබෙන ශිලා ලේඛනයකින් කියැවෙන තිස කිතස  ලෙනෙ යන නාමය මගින් හඳුන්වන්නේ ඒ කුමරු ගැනයි.

         මිහිඳු මහ රහතන්වහනසේ ගේ අනුශාසනා මත දේවානම් පියතිස්ස රජතුමා යොදුනෙන් යොදුන විහාරස්ථාන සෑදවූහ.මේ අනුව කීර්ති තිස්ස කුමරු ගේ පුද්ගලික මැදිහත් වීම අනුව ඉඳි කළ ස්ථූපයක් රඹුක්කන ප්‍රදේශයේ ලේකම් කොට්ඨාශයේ දැලිවල පිහිටා තිබේ.  මිහිඳු මහරහතන් වහන්සේ මෙම ස්ථානයට පුද්ගලිකවම වැඩම කොට ගල්ලෙනක වැඩ වාසය කරමින් මෙම ස්තූපය සෑදවීමට උපදෙස් දුන් බව ජන ප්‍රවාදයේ එන්නකි. උන්වහන්සේ වැඩ සිටි ගල්ලෙන මීදුම ගල්ලෙන බව කියැවෙයි. මෙම චෛත්‍යය නිමකරවා තිබෙන්නේ සාංචි ස්ථූපයේ වාස්තු විද්‍යාත්මක හැඩරුව අනුව බව 1957 දි මෙම ස්ථූපය වටා කරන ලද කැණිමකින් හමු වූ කරඬු 168 ක් අතර තිබූ  සුවිශේෂී රන්කරඬු ආකෘතිය  මගින් තහවුරු විය.දැවයෙන් නිම කරන ලද යූපය  සිවු පසට විහිදී ඇති චත්‍ර ආදිය නිසා දැලිවල ස්ථූපය පිළිබඳ මිහිඳු මහ රහතන් වහන්සේ ගේ මැදිහත් වීම පිළීබඳ වෙසෙසින්ම සිතා බැලිය හැකිය.වෙදිසගිරි නැතිනම් සාංචි පෙදෙස සමග මිහිඳු මා හිමියන්ගේ දැඩි සම්බන්ධයක් තිබුණි.

 


    දැලිවල පවතින මෙම ස්ථූපය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ කොටවෙහෙර යනුවෙනි. සාමාන්‍ය පස් කන්දක් ස්ථූපයක හැඩයට කපා ඒ වටා ගඩොලින්  ගර්භය බැඳ නිම කර තිබූ බව මහාචාර්ය පරණවිතාන මහතා තීරණය කර තිබුණි. එයට හේතුව ඔහු කරන ලද බාහිර නිරීක්ෂණයයි.තවත් හේතුවක් වී තිබුණේ  පේසාවේ සිට මදක් ඉහළින් නිදන් වස්තු තැන්පත් කර තිබීමයි.1957 වසරේ දී කළ කැණීමේ දී පෙර දක්වන ලද නිදන් වස්තු සමුවුණ අතර පසුව 1972 සහ 1978 වසර වලද   පසුව 2000-  2001 වර්ෂයන්හි  දී ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කොට ඇත. එවකට පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ වූ ඩබ්.එච්.විජේපාල මහතා විසින් කළ මෙම පර්යේෂණයේ  දී මුට්ටියක බහා තිබු වැදගත් ධාතු කරඬු කීපයක් සොයා ගන්නට යෙදී ඇත.මෙය හමුවූයේ ස්ථූපය මැද ගර්භයේ විශේෂයෙන්ම සකස් කරන ලද කොටසකිනි. එහි තීබූ කැටගල් සහිත ශිලාමය පසුතලය තුළින් ගම්‍ය වූයේ මෙම පූජණිය වස්තු කෙරෙහි දැක්වූ සැළකිල්ලයි.මැටියෙන් කල විශේෂ භාජනයක තැන්පත් කරන ලද රන්තැටියක මෙම පූජනීය වස්තු තැන්පත් කර තිබුණි. එම රන් තැටිය මත සාංචි ස්ථූප හැඩය ගත් කරඬුවක් විය.ඒ වටා සේද සළුවක් ඔතා තිබී ඇත. කැණීමේ දී හමු වන විට රෙදි කඩ දිරාපත්ව කරඬුවටම ඇලී තිබී ඇත.මේ සියල්ල විශේෂයෙන්ම සකස් කළ වීදුරු භාජනයකින් ද වසා තිබුණී. එය නැවත මැටි මුට්ටියකින් වසා තිබූ බව නිරීක්ෂණය වෙයි. මේ අතර තිබූ විශේෂිතම වස්තුව වූයේ සාංචි ස්ථූපයේ හැඩරුවට සමාන වූ ලෝකඩ අනුරුවයි. මෙම කරඬුව වටා පැවති රෙදි කඩ ඔස්ට්‍රේලියාවේ දී විශේෂ පරීක්ෂාවකට ලක් විය. ඒ අනුව සනාථ වූයේ එය  සේද රෙද්දක් බවයි.මීට  වසර 2200 කට ප්‍රථම එම රෙදි කඩ නිෂ්පාදනය වන්නට ඇති බව ද තහවුරු විය.කානීලියන් පබළු වලින් ගෙත්තම් කරන ලද මෙම සේද රෙද්ද විශේෂයෙන්ම නිර්මාණය කරන ලද්දකි. මෙම කරඬුව තුළ තැන්පත් කළ වස්තු වල සුවිශේෂීතාවය නිසා මෙලෙස වස්ත්‍රයකින් ඔතා තිබෙන්නට ඇත.

       සේද රෙදි නිර්මාණය කරන ලද්දේ චීන දේශය තුළය. මෙම රෙදි සේද මාවත ඔස්සේ දඹදිව පර්සියාව සහ රෝමය දක්වා එකල වෙළෙඳ සම්බන්ධකම් යටතේ හුවමාරු වී තිබේ. අසෝක රජු සිය ධර්ම විජය ප්‍රතිපත්තිය මත පදනම්ව කරන ලද විශේෂිත කටයුත්ත නම් එකළ දඹදිව තුළ මෙම සේද රෙදි වර්ණ ගැන්වීමෙන් පසු රාජකීය පරිහරණයට ගැනීමයි.. ඒවා වර්ණ ගැන්වීමෙන් පසු නොයෙකුත් කටයුතු වලට යොදා ගත් අතර විශේෂිත පූජනීය වස්තු ආවරණය කිරීමට  පබළු ආදී ද්‍රව්‍ය වලින් ගෙත්තම් කර ඇත. ධර්මාශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර තිබූ ඥාති සම්බන්ධය සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධය මත මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන ලද අතර ඒ සමග විශේෂිත රාජකීය කකුධ භාණ්ඩයන්ද  පූජා වස්තු රැසක් තෑගි වශයෙන් දූත පිරිස සමග ඒවා ඇති ආකාරය වංශ කතා වල සඳහන් කර තිබේ.දේවානම් පිතතිස්ස රජුගේ සොහොයුරු තිස්ස කීර්ති කුමරු එකල පාලනය කළ කිණිගොඩ කෝරළයේ වල්ගම් පත්තුවේ දැලිවල ප්‍රදේශයේ සාංචි හැඩය සහිත ස්ථුපයක් ඉඳි කරලිමේ අදහස තිරණය කරනු ලබන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ විසිනි. උන්වහන්සේ ඒ ඉඳි කිරීම පිළිබඳ පෞද්ගලිකව සොයා බලමින් කීර්ති තිස්ස රජු සමග මේ කර්මාන්තය කල බවට සිතන්නට හැකිය. එයට සාධක වශයෙන් ප්‍රදේශයේ කීප තැනකම ජන ප්‍රවාද රැසක් අදටත් පවතී.

       2001 වර්ෂයේ දී ඩබ්.එච්.විජේපාල මහතා විසින් කරන ලද කැණීමේ දී හමුවූ විශේෂිත පූජනීය වස්තු පිළීබඳ සොයා බැලීම් වල වැදගත්ම වටපිටාව නිර්මාණය වනුයේ 2018 වර්ෂයේ සිටයි. විජේපාල මහතා ගේ කැණීම් අංශයේ සේවය කළ ආචාර්ය නිමල් පෙරේරා මහතා සිය ආචාර්ය උපාධිය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අවදියේ දී එහි ජාතික විශ්ව විද්‍යාලයේ සේවය කළ ජුඩිත් කැමරන් නම් මහත්මියක් හමු වීම මෙහි අහම්බයයි. ක්‍රිස්තියානි භක්තිකයෙකු වු ඇය ජේසු තුමාගේ සොහොනේ තිබූ වස්ත්‍ර ගැන පර්යේෂණ පවත්වමින් සිටි තැනත්තියෙකි.මේ අවස්ථාවේ දී නිමල් පෙරේරා මහතා සමග ඇති වූ විශේෂ කතාබහකින් පසු දැලිවල ස්ථූපයෙ න් හමූ වූ සේද රෙද්ද එතූ විශේෂිත ලෝකඩ කරඬුව පරීක්ෂා කර බැලීමට සහ පර්යේෂණ වශයෙන් සහාය වීමට ඇය ලංකාවට පැමිණියහ.මෙම හමුවීම මෙරට ඉතිහාසයේ වැදගත්ම පර්යේෂණයකට දොර කවුළු හැරුණි.කැමරන් මහත්මියගේ අධීක්ෂණය යටතේ දා කරඬුවේ සිට පබළු වැලේ සිට වර්ණ ගැන්වීමේ සිට සෑම අවස්ථාවක් ගැනම විධිමත් සොයා බැලීමක් සිදු කරන ලද්දේය. සේද මාවතේ ඉන්දියාවටත් එතනින් වර්ණ ගැන්වුණු සේද සළුව අසෝක රජුගේ මෙහෙයවීමෙන් පූජනීය දා කරඬුවක ඔතා ලංකාවට සැපත් වීමත් පීළිබඳ ඉතා රසවත් කතාවක් නිර්මාණය කිරීමට මෙම පර්යේෂණය සමත් විය.පුදුමයට කරුණ නම් මේ සේද සළුව වියා තිබුණේ මල්බෙරි පට පනූවන්ගෙන් හෝ වල්ක් පට පණුවන්ගෙන් ලබා ගන්නා නූල් මගින් නොවන බව තහවුරු වීමයි. ඒ සඳහා හණ සහ ඇබකා වැනි විශේෂිත ශාක වර්ග යොදගෙන තිබුණි යැයි පර්යේෂණයේ දී හෙළි විය.. ඇතැම් විට පූජනීය වස්තුවක් ආවරණය කිරීමට පටපණු කෝෂ යොදා නොගැනීම අසෝක රජුගේ චේතනාව වූවා වන්නට පිළීවන. නමුත් එය විශේෂයෙන්ම වියා ගත්තක් ද නොවීය. මන්ද ඒ වන විටත් ශාක යොදා ගත් සේද සළු චීනයේ සකස් කර තිබුණු බැවිනි. කෙසේ වෙතත් මේ සළුවේ සංයුතිය පීලිබඳ වැදගත් සටහනක් තබන්නට ආචාර්ය නිමල් පෙරේරා මහත්මා සහ ජුඩිත් කැමරන් මහත්මිය සමත්ව තිබේ.එය( Journal of IndIan ocean archaeology) සඟරාවේ පළ කර තිබේ.

         දැලිවල කොටවෙහෙර යනු මෙරට බෞද්ධ ඉතිහාසයේ අද්විතීය නිර්මාණයකි. වැඩිම පූජනීය වස්තු ප්‍රමාණයක් එනම් ශිලාමය කරඬු, පබළු කරඬු ,රන් කරඬු ඇතුළු  ධාතු කරඬු 177 ක් පමණ හමුව තිබෙන ස්ථානයකි.මෙවැනි විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් සම්මුඛ වීමට තිබෙන ප්‍රධානතම හේතුව නම් මිහිඳු මහරහතන් වහන්සේගේ සෘජු මැදිහත් වීම ඊට හිමි වූ නිසාවෙනි.අසෝක රජතුමා විසින් සිය දූත මෙහෙවරේ දී ලක් රජුට තෑගි කර එවූ පූජනීය වස්තු රැසක් මේ අතර වෙයි. මෙම ස්ථානයෙන් හමු වුණු පූජනීය වස්තු තැන්පත් කර තැබීමට පුරාවිද්‍යා කෞතුකාගාරයක අවශ්‍ය තාවය විටින් විට මතුව තිබුණු අතර එලෙස කටයුතු කිරීම ප්‍රමාද වීම නිසා විහාරස්ථ දායක සභාවත් විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලාවේ අරියවංශ හිමියන්ගේ මැදිහත්වීමක් මත මෙම ධාතු කරඬු තැන්පත් කිරීමට විශේෂෂ ධාතු මන්දිරයක් ඉඳි කරනු ලැබූහ.නමුත් 2022 වසරේ පෙබරවාරි මාසයේ 04 වන දින දී මෙම ධාතු මන්දිරය විවෘත කොට එහි තීබු ඉතාමත් වටිනාම ධාතු කරඬුව වූ චත්‍ර සහිත රන් කරඬුව ඇතුළු කරඬු කීපයක් සොරාගෙන ගොස් තිබේ. ඒ පිළිබඳ කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නොමැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬය. කිසිම පරීක්ෂණයක් ඉදිරියට ගෙනයන බවක් නොපෙනේ.නමුත් සිදු වූ දේ සිදු වී අවසන්ය. පුරාවිද්‍යාඥයන්ට අනුව ආසියාවේ වටිනාම පුරාවස්තුවක් රටට අහිමි වී තිබේ.බෞද්ධයන් වශයෙන් ධර්මාශෝක රජතුමාගේ වටිනාම තිළිණය අප වෙතින් ගිලීහි ඇත. මේ පීළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධයන් අද විරලය.පුරාවිද්‍යාඥයන් ද මුනිවතරකින්නේ ඇයිද යන්න ප්‍රහේලිකාවකි.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, May 7, 2025

උතුරේ අවතැන් සිංහල ජනයා ගැන ආණ්ඩුවට කැක්කුමක් නැද්ද

 

                        


          ජනපති අනුර කුමාර දිසානායක මහතා උතුරට සහ මන්නාරමට ගොස් දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් ගැන බොහෝ වේදනාවෙන් කතා කර තිබේ.ආරක්ෂක කඳවුරු වලට යටව තිබුණු ඉඩම් සහ මහා මාවත් විවෘත කිරීම ගැන කතා කරයි.පලාලි ආරක්ෂක මූලස්ථානය හරහා දිවෙන මාවත විවෘත කරන ලද්දේ කියන දේ ඔප්පු කර පෙන්වන බව ප්‍රකාශ කරමිනි..පසුගිය කාලය පුරාවටම මේ ප්‍රදේශයන්හි ආරක්ෂක හමුදා සතුව පැවති ඉඩම් ජනතාවට නිදහස් කර ඇත. 2013 වසරේ හමුදාව විසින් කරන ලද සම්පූර්ණ මැනීමකින් මෙම ඉඩම් හඳුනාගන්නට යෙදී තිබූ අතර ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ නිර්දේශය මත ඒවා වැඩි ප්‍රමාණයක් නිදහස් කරලීමට කටයුතු කර ඇත. උතුරේ නැතිනම් යාපන අර්ධද්වීපය ඇතුළු යපාන දිස්ත්‍රික්කයේම යුද්ධයට ප්‍රථම 1981 ජන සංගණන වාර්තා අනුව සියයට 97 ක්ම වාසය කර ඇත්තේ දෙමළ ජනතාවයි. මුස්ලිම් ජනතාව සියයට 1.6 වන අතර සිංහල ජනතාව සියයට 0.8 ක් විය.

          උතුර දෙමළ ජනතාවගේ නිජ භූමියද යන ප්‍රශ්ණයට මහචාර්ය සෙනරත් පරණ විතාන ,මහාචාර්ය අභය ආර්යසිංහ සහ මහාචාර්ය විමල විජේසූරිය යන විද්වතුන් මනා සේ පිළිතුරු දී තිබේ.පෘතුගීසී සමය ආරමභ වන විට යාපනයේ ජීවත් වූ බහුතරයක් සිංහලයෝ වූහ.ලන්දේසි යුගයේ දී යාපනයේ දුම්කල වගාවට මලබාරයෙන් වහල් ජනතාව විශාල වශයෙන් ගෙන්වා පදිංචි කර ඇත.නෙදර්ලන්තයේ  (Beeldbank National Archives) හි 1695 වසරට අයත් ලංකාව පිළිබඳ සිතියමක් ඇත.එහි වලිකාමම්, වඩමාරච්චිය සහ තෙන්මාරච්චි යන යාපන දිස්ත්‍රික්කයේ පළාත් වල පවතින සිංහල සහ මලබාර් ගම්මාන පිළිබඳ විස්තර ඇතූළත් කර ඇත.එසේම ලන්දේසි යුගයේ දී යාපනයේ සිටි රෙපරමාදු පූජකයෙකු වන පිලිප්පුස් බල්දෙයස්  රචනා කළ (True and exact description of the  great island of Ceylon)නම් ග්‍රන්ථයේ ද යාපනයේ සිටි සිංහල ජනතාව පිළිබඳව ද බෞද්ධ වෙහෙර විහාරස්ථානයන් ගැනද මනාව සඳහන් කර ඇත.මෙම සිංහල ජනයා පරංගි සහ ලන්දේසි යුග වලදි පළවා හැරීමට මූලික හේතුව වූයේ 1591 දී අත්සන් කරන ලද නල්ලූර් ගිවිසුමයි . පෘතුගීසින් සහ යපන තෙන්මාරච්චියේ සිටි සිංහල නිළධාරින් අතර අත්සන් කල ගිවිසුමෙන් ඒ පෙදෙස පාතුගීසීන්ට පැවරුණි. නමුත් යාපන වඩමාරච්චිය තව දුරටත් ආර්ය චක්‍රවර්තී පරපුර සතුව පැවතිණි. ඉන්පසු ඇතිවූ සටන් වලදී සිංහල ජනතාව විශාල වශයෙන් ඝාතනයට ලක් විය.අනතුරුව යාපනයේ සම්පූර්ණ පාලනය පෘතුගීසින් සතුවූ අතර රාජකීයන් සහ සිංහල ජනයා වන්නියට සහ උඩරට මාතලේ කඳුකරයට පලා ආහ.මේ නිසා ඇති ජන ශූන්‍යතාවය පිරවීමට මලබාර්යෙන් දෙමළ ජනයා ගෙන්වා පදිචි කළ බවට සිතිය හැකිය.බ්‍රිතාන්‍ය සමයේ විශෙෂයෙන්ම 1796 දී මදුරාසිය විසින් යාපනය පාලනය කළ බැවින් නොකඩවා දෙමළ වැසියන් යාපනයට විත් පදිංචි විය. විසිවන සියවස මුල් භාගය වන විට යාපන දිස්ත්‍රිකකයේ හත්ලක්ෂයට අධික දෙමළ ජන ඝනත්වයක් පවතින්නේ ඒ හෙයිනි.

     නව සිය තිහේ දශකයේ දී ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයත් සමග දකුණේ සිට භික්ෂූන් වහන්සේලා නැගෙනහිර පළාතට සහ උතුරට වැඩම කළහ.සේරුවාවිල මුහුදු මහා විහාරය එරාවුර් යන ස්ථානයන්හි සහ උතුරේ යාපනය යන ස්ථානයන්හි පවතින පැරණි බෞද්ධ නටබුන් දැක බලාගෙන වන්දනාමාන කොට ඒවා යළි ප්‍රතිසංස්කරනයට උන්වහන්සේලා උත්සුක වූහ. මෙයට බලවත් ශක්තියක් වූ යේ දකුණේ දෙඩන්දූවේ සිට ඇරඹි නෞකා ගමනාගමන සේවයයි. ඒ අනුව දකුණේ වෙළෙඳ ව්‍යාපාරිකයන් රැසක් යාපනයට සහ නැගෙනහිරට පැමිණ ව්‍යාපාර ආරම්භ කළහ. උත්තර ලංකා බෞද්ධ සංගමයේ ආරාධනයෙන් 1935 දී යාපනයට වැඩම කළ පූජ්‍ය කඩවැද්දූවේ නන්දාරාම හිමියන්ගේ මෙහෙයවීමෙන් යාපන නාග විහාරය නැවත ආරම්භ කෙරෙන අතර පසුව නයිනතිවු දූපතේ නාගද්වීප විහාරය ද ආරම්භ වී ඇත.1950 දශකය වන විට යාපන නාග විහාරය, නාගද්වීප විහාරය, දඹකොළ පටුන විහාරය,කන්කසන්තුර තිස්ස විහාරය සන්තොරියම් විහාරය සහ කිලිනොච්චි ලුම්බිණී විහාරය යනුවෙන් විහාරස්ථාන රැසක් ඉඳි විය. යාපනයේ ජීවත් වූ මලබාර් දෙමළ වැසියන් මේවන විට එවකට රෙජිස්ටර් ජනරාල්ව සිටි පොන්නම්බලම්  ගේ වුවමනාව පිට ශ්‍රී ලාංකික දෙමළ ජනයා ලෙසට ජන සංගණනයට ඇතුළත් කර සිටි අතර සිංහලයන්ගේ ක්‍රියාකාරකම් පිලීබඳ ඔවුන්ගෙන් කිසිම විරොධතාවයක් එල්ල නොවුණි.ඉංග්‍රීසින් ඔවුන් වෙනුවෙන් කෝවිල් 300 ක් ගොඩ නැන්වූ නමුත් වෙසක් උත්සවය, පොසොන් උත්සවය වැනි අවස්ථා වලදී සිංහල බෞද්ධයන් විසින් පවත්වන දන්සැල් සහ පින්කම් සඳහා මේ මලබාර් දෙමළ ජනයා ගේ විහාල සහයෝගයක් ලැබුණි.ඊට එක් හේතුවක් වන්නේ උතුරේ තිබූ උග්‍ර කුල පීඩනයයි.මලබාරයන් පැමිණි වෙල්ලාලර් ප්‍රභූවරු මේ හීන කුල වල ජනයා පාගාගෙන මූලික මිනිස් අයිතිවාසිකම් පවා උල්ලංඝණය කර තිබූ සමයක යපනයේ සිංහල පාඨශාලා වල සිංහල දරුවන් සමග එක්ව සිටීමට ඔවුන්ට අවස්ථාව ලැබුණි.උතුරට පැමිණෙන වන්දනා කරුවන් හට විහේෂ සැලකිල්ලක් දැක්වීමට මේ දෙමළ ජනයා කටයුතු කර තිබූ අතර දැඩි හිතවත් කම් සහ ඇතැම් විට ඥාති සබඳකම්ද වර්ධනය කරගෙන තිබුණි.

         මෙලෙස වර්ධනය වූ  සිංහල දෙමළ සමගියට අකුල් හෙලන ලද්දේ එස්.ජේ.වී. චෙල්වනායගම් නම් පුද්ගලයා විසිනි. මැලයාසියාවේ උපන් චෙල්වනායගම් දෙමළ කතෝලිකයෙකු විය. ඒ  වන විට උතුරේ ව්‍යාප්තව තිබූ මිෂනාරි ව්‍යාපාරයේ අරමුණ වී තිබුණේ දෙමළ වැසියන් කතෝලික කරණය කිරීමයි. මේ ව්‍යාපාරයට පළමුව ගොදුරු වූයේ යාපනයේ සිටි බ්‍රාහ්මණ සහ වෙල්ලාලර් පිරිසයි. මේ අතර යාපනයේ නැවත ඇතිවූ බෞද්ධ ප්‍රබෝධය පිළිබඳ සහ ජාතික සමගිය පිළිබඳ මේ මිෂනාරීන් සිටියේ සතුටකින් නොවේ. බෙදා පාලනය කිරීමේ මූලධර්මයන් මත කටයුතු කල ඉංග්‍රීසීන් මිෂනාරි ව්‍යාපාරය හරහා මේ බෙදීම තවත් තීව්ර කළහ. චෙල්වනායගම් 1952 දී කන්කසනතුර අසුනට තරඟ කර පරාජයට පත් විය. පසුව ඔහු පාගමන් යමින් දෙමළ ජාතිවාදය ඉස්මතු කරමින් ත්‍රස්තවාදියෙක් ලෙසට යකටයුතු කලේය. මෙහි ප්‍රතිඵලය වූයේ 1956 දී විශාල චන්ද ප්‍රමාණයකින් කන්කසන්තුර අසුන ජය ගැනීමයි.අනතුරුව 1957 දී සිංහල රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සිංහල බේද්දයන්ට රටේ නිසි තැන හිමි වීමත් සමගම චෙල්වනායගම් ඇතුලු දෙමළ ජාතිවාදීන් තැන තැන කළකෝලාහල ඇති කළහ.ශ්‍රි අකුරට තාර ගෑහ.යාපනයේ තිබූ බෞද්ධ වෙහෙර විහාරස්ථානයන්ට හානි කළහ. සිංහල ජනයාට අඩන්තෙට්ටම් කළහ.මේ ජාතිවාදය නිසා සිංහල දෙමළ සමගිය පලුදු විය.චෙල්වනායගම් විසින් යාපනයේ සිටි තරුණයන් කෙරෙහි කරන ලද බලපෑම සුලු පටු නොවීය. ප්‍රභාකරන් නම් ත්‍රස්තවාදියා බිහිවූයේ ඒ පසුබිම තුළය.1977 දී කන්කසන්තුර පොලිසියට පහර දුන් ත්‍රස්තවාදීන් විසින් කරුනානිධි සහ ෂන්මුගනාදන් යන දෙමළ කොස්තාපල් වරු දෙදෙනා ඝාතනය කළහ. ඒ දෙමළ ත්‍රස්තවාදයේ ඇරඹුමයි. එතනින් පසු යාපන නගරාධිපති දොරේඅප්ප ඝාතනය කරන ලදී. 1981 ජන සංගණන වාර්තාව අනුව යාපන දිස්ත්‍රික්කය තුළ එවකට සිංහල ජනගහනය හය දහස ඉක්මවිය. 1985 වන විට මේ සියලු ජනයා පළවා හරිනු ලැබූහ. වෙහෙර විහාරස්ථාන ගිනි තබා විනාශ කළහ. ස්වාමීන් වහන්සේලාට අඩන්තෙට්ටම් කලහ.

          ජනපති අනර දිසානායක කතා කරන්නේ මේ ඉතිහාසය නොදැන නොවේ.දැනටත් උතුරේ සමගියට බාධා කරන ගජෙන්ද්‍රකුමාර පොන්නම්බලම්, ශිවාජිගිංගම් වැනි දෙමළ ජාතිවෘදීන් සිටිති. පොන්නම්බලම් මහතා කොළම සිටිමින් කොළම දිස්ත්‍රික්කයේ පිහිටි වත්තක අයිතිකාරයා වෙමින් යාපනයට ගොස් දෙමළ ජනයා උසිගැන්වීමේ යෙදෙති. මේ ජාතිවාදින්ට නීතිය ක්‍රියාත්මක කිරිමට ඉඩ නොලැබෙන්නේ දකුණේ දේශපාලකයන් ඒවා වළක්වන බැවිනි.ඒ අතර සිංහල දෙමළ සමගිය ගැන කතා කිරීමට සංහිඳියා ලේකම් කාර්යාලය විසින් රැස්වීම් පවත්වති.සිංහල ජනතාවට සංහිඳියාව අමුතුවෙන් උගැන්වීමට අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ දෙමළ ජාතිවාදය උසිගන්නවන දේශපාලනඥයන් පාලනය කිරීමයි. ප්‍රාදේශිය සභා චන්දය හෝ මැතිවරණය හෝ බලාගනෙ දෙමළ චන්දය ලබා ගැනීමේ චේතනාවෙන් දෙමළ ජාතිවාදය උලුප්පා සිංහල ජනයාගේ අයිතිවාසිකම් යමෙක් උලල්ංඝණය කරන්නේ නම් එය බලවත් අගතියකි.1981 සිටි සිංහල ජනගහනයෙන් කිසිවෙක් මේ වන විට යළි උතුරේ පදිංචි කර නැත.යාපනේ සිංහල ජනගහනය තුන්දහසට අඩු වී ඇත.බේකරි ව්‍යාපර කළ කිසිවෙකුට ඒවා යළි අරඹන්නට ඉඩ දී නැත.සිංහල ජනතාවගේ ඉඩම් මහවිරු පවුල් වලට ලබා දුන්නේ කොටි සංවිධානයයි. ඒ මග යමින් හමුදාව විසින් නිදහස්කරනු ලබන ඉඩම් දෙමළ ජනයාට පමණක් ලබා දෙන යුක්තිය කුමක්ද යන්න අප විමසිය යුතුය.දෙමළ ජනයා සහ මුස්ලිම් ජනයා පමණක් යාපනයේ තබාගෙන ඉන්දීය ආශිර්වාදයෙන් ක්‍රියාත්මක බෙදුම්වාදයට උඩගෙඩි දීම භයානක කරුණකි. නැවත ත්‍රස්තවාදයට අත වැනීමකි.

මතුගම සෙනෙවිරුවන්

Friday, May 2, 2025

ශීල ගුණැති යතිවර මග -අරියවස සද්ධම්ම යුක්ති සැමරුම් වග

 



               ලංකාවේ ශාසන ඉතිහාසය වූ කලි ඉතා ගාම්භීර වූ රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ ආශිර්වාද ලත් සංවිධිත සංස්ථාවකි.අනුරාධපුර යුගයේ සිට අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ මහා රහතුන් වහන්සේලා විසින් ඇති කල ලංකා ශාසනය අඛණ්ඩව අවිච්ඡින්නව පැවත පැමිණ වරින් වර සතුරු ආක්‍රමණ හමුවේ දුර්මුඛව තිබී නැවතත් ශාසන ලැදි රජවරුන් අතින් ආලෝකමත් වූ නික්ලේෂී ගමන් මගකි.කෝට්ටේ යුගයේ දී සිදු වූ පර සතුරු ආක්‍රමණ රටට ආගන්තුක විය. පෙර නුවූ විරූ අවි ආයුධ සම්පන්නව පැමිණි පෘතුගීසි ලන්දේසි ආදීන් නිසා රට දැය සමයට උදා වූයේ නරක කල දවසකි.උසම්පන්න භික්ෂුව අතුරුදහන් විය.නැවතත් ශාසනාලෝකයක් ඇති කරන ලද්දේ සෙංකඩගල මහනුවර අභිනව රාජධානි සමයේ දීය. ඒහෙත් එය වැඩි කලක් නොපැවතිණ.ශාසනය තුලින්ම ඇති වූ ප්‍රතිවිරෝධතා මධ්‍යයේ උපසම්පන්න භික්ෂුවක් සොයා ගනු නොහැකි විය. සිල්වත් සමාගම යයි ප්‍රකට ශීල ගුණැති පිරිසක් යම් ශාසන උන්නතියක් වෙනුවෙන් දුෂ්කරතා මධ්‍යයේ උකටලී නොවී ගම් නියම් ගම්හි හැසිරුනහ. මේ කාලය රාජ්‍යයට අභාග්‍ය කැන්දන සමයක් ද  විය. සිංහල රාජවාලිය අවසාන වී වඩුග නායක්කර් පවුලකට රජකම පිරිනැමුනේය. එහෙත් සිල්වත් සමාගමේ භික්ෂූහු පසුබට නොවුණහ. රාජ්‍ය අනුග්‍රහයෙන් කෙසේ හෝ ශාසනය නැවත පිහිටුවන්නෙමියි යන දෘඩතර අධිෂ්ඨානයෙන් රජු කැමති කරවාගෙන  උපාලි තෙරුන් ප්‍රමුඛ සියම් භික්ෂු පිරිස දහසක් දුෂ්කරතා වන්ට මුහුණ දෙමින් කැඳවාගෙන පැමිණ යළි උපසම්පදාව මෙහි ඇති කළහ.කාලයක් ගත විය.දිවයිනේ විවිධ තැන්වල වැලිවිට සංඝරජුගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වැඩ සිටි අතර නොයෙකුත් කරුණු ඉස්මතු වී ශාසන විභේදනය සිදුවිය. වර්ෂ 1800 දී බුරුමය නොහොත් අමරපුරයෙන් යළි උපසම්පදාව රැගෙන මෙරට පැමිණ අමුරපුර උපසම්පදාවද පවත්වා  අනතුරුව තවත් කලකින් රාමඤ්ඤ රටට ගොස්  උපසම්පදාව රැගෙන පැමිණි කළ රාමඤ්ඤ වශයෙන් නිකායන්  බෙදී ගියහ.

    මෙලෙස බිහි වූ මහා විහාර වංශික අමරපුර නිකායේ වර්තමානයේ පාර්ශවයන් විසි දෙකක් ප්‍රභේද වී තිබේ. ඊට හේතු කාරණා විවිධය මෙහිදී මාතෘකා වන්නේ වර්ෂ 1900 දී ආරම්භ කරන්නට යෙදුණු අමරපුර අරියංවංශ සද්ධම්ම යුක්තික නිකාය පිළිබඳවයි.මෙම නිකායේ ආරම්භය සනිටුහන් වන්නේ සියම් මහ නිකායේ පහතරට භික්ෂු පරම්පරාව හෙබවු පූජ්‍ය කතළුවේ ගුණරත්න මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් අමරපුර කල්‍යාණවංශය පිහිටුවීමෙනි. පසුකාලීනව මෙම නිකායේ උපසම්පදාව ලත් මාතර ධම්මාරාම ස්වාමීන් වහන්සේ භික්ෂූන් පිරිසක් සමග එක්ව අමරපුර සද්ධම්ම යුක්ති නිකාය පිහිටුවා ගත්හ.මෙම මාතර නිකායේ ශිල සම්පන්න භික්ෂුන් වහන්සේ නමක් වු පූජ්‍ය වලේබොඩ පියරත්න ස්වාමීන් වහන්සේ කීප විටක්ම අමරපුර නිකායේ උපසම්පදාව ලබාගෙන කටයුතු කිරීමට උත්සාහ දැරූවද එය ව්‍යර්ථ වී බුරුමයට වැඩම කොට වර්ෂ 1838  රාමවතී පුරයේ දී උපසම්පදාව ලැබ ආපසු ලක්දිවට පැමිණ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා නව දෙනෙකු බිහි කළහ. මේ අතර අමරපුර සද්ධම්මවංශ මහා නිකායේ මහානායකව වැඩ සිටි මාතර ධම්මාරාම හිමි අපවත්වීමෙන් පසු ඇති වූ වියවුල් තත්වයක් නිසා වලේබොඩ පියරතන හිමියන් විසින් වෙනම නිකායක් බිහි කිරීම පිණිස ඇති කල පසුබිම ප්‍රයෝජනයට ගෙන වර්ෂ 1900 වෙසක් පුර  පෑළවිය ලත් රිවි දිනයේ දී කළුතර බෝඹුවල ශ්‍රී සුබෝධිරාජාරාමයේ දී අභිනව නිකායක් එනම් අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය බිහි කිරීම පිණිස තීරණයක් ගෙන තිබේ. දැන් මේ නිකායට වර්ෂ එකසිය විසිපහක් සපිරෙයි.මෙම සැමරුම් උත්සවය 2025 අප්‍රියෙල් මස 29 දින සිට මැයි මස 08 වන දින දක්වා කළුතර බෝඹූවල හ්‍රී සුබෝධිරාජාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

          කළුතර බෝඹුවල ග්‍රාමය අතීතයේ සිටම රාජ පූජිත වු ගම්වරයෙකි.කෝට්ටේ හයවන පරාක්‍රමබාහු රජකුමා සිය මව සිහි වීම පිණීස තැනූ පැපිළියානේ සුනේත්‍රාදේවී පිරිවෙනට පුද දෙනු ලැබූ ගම්වර අතර මග්ගොන බද්දෙන් බෝඹුවලද විශේෂ යැයි පැපිළියාන සන්නසේ සඳහන් වේ.ඒ නිසාම එය රාජ පූජිත ගම්වරයකි.සුවිශේෂි ප්‍රභුවරුන්ට වාස භූමිය සැලසූ මෙහි වර්ෂ 1840 දි පමණ මහා ශාස්ත්‍ර ආලෝකයක් ඇති විය. පෙර සඳහන් කළ පූජ්‍ය වලේබොඩ පියරත්න ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේ වන පොල්දූවේ  ධම්මාරාම  තිස්ස නම් හිමි නමක් බෝඹුවල ගම්පියසේ වස් වැස සිටියහ. නමුත් උන්වහන්සේ වැඩි කලක් එහි රැඳුනේ නැත. ඒ කාලයේ බෝඹුවල ගම්පියසේ පොලිස් විදානේ වශයෙන් සිටි සිරිනේරිස් පොලිස් විදානේ මහතාට ආවාස ඉඩම රුපියල් දහයකට අලෙවි කොට උන්වහන්සේ සිය ගම්පියසට වැඩම කරන ලද්දේ ඥාතීන් ගේ ඉල්ලීම පිටය. නමුත් බෝඹුවල ගම්වාසීන් පසුබට නොවීය.පූජ්‍ය වලේබෙඩ පියරත්න සිවාමීන් වහන්සේ ගේ තවත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූ මහගම මංගල තිස්ස හිමියන් වහන්සේ ගමට වැඩම කරවා වස් වස්සවා බෝධින් වහන්සේ නමක් රෝපණය කර  ඇරඹූ විහාරස්ථානය එකල දූවේ විහාරස්ථානය නමින් ප්‍රකට විය.ඒ අතර වස්කඩුවේ සුභූති නායක ස්වාමීන් වහන්සේගේ පැවිදි  පරපුරේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වූ බෝඹුවල දස්සනසාර නායක ස්වාඹීන් වහන්සේ මෙහි වැඩම කරවන ලද්දේ ගම්වාසීන් ගේ දැඩි ඉල්ලීම මතයි.වර්තමාන සඟ පරම්පරාව ඇරඹෙන්නේ මේ ශිල ගුණ සම්පන්න යතිවරයන් වහන්සේ ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතිනි.



            බෝඹුවල සුබෝධිරාජාරමායේ ස්වර්ණමය යුගය 1850 සිට 1920 දක්වා දිවෙයි. ඒ කාලය තුළ වර්ෂ 1860 දි පමණ සීමා මාලකය සහ දළදා මන්දිරය ද 1905 වසරේ දී විහාරගෙය ද 1916 දී  ධර්ම ශාලාව සහ සංඝවාසය  ද 1929 දී චෙත්‍යරාජයාණන් වහන්සේ ද ආදී විහාර අංගයන් සංවර්ධනයට බඳුන් කරනුයේ යථොක්තව සඳහන් කල පූජ්‍ය මහගම මංගලතිස්ස ස්වාමීන්ද්‍රයණන් වහන්සේ ගේ මෙහෙයවීමෙනි.විහාරස්ථානයේ තිබූ පැරණි ලේඛන පරීක්ෂා කර බලන කල්හි. ඒ කාලයේ විහාරස්ථානයේ කටයුතු සංවිධානය කර  ගැනීමට පත් කළ නිලයක්  වන  විහාර මැම්බර් තනතුර ගැනද කියැවෙයි. මහා විහාරයේ පැවති දේපළ බලාගැනීමේ ක්‍රියාවලියට පත් කර තිබූ සංගක්කාර තනතුර මෙන් මෙයද ගෞරවනීය තනතුරක් විය. දේපළ සංවර්ධනයට ඒ තනතුර හෙබවූ පුද්ගලයා දායක විය. ගණන් මිනුම් හරිහැටි ඉෂ්ඨ සිද්ධ කර විහාරස්ථානයට අය විය යුතු මුදල් ලබා දීම සිදු විය. සමහරක් විට විහාරගම් දේවාලගම් පනත ආශ්‍රයෙන් මෙවැනි තනතුරක් ඇති වූ බව සිතිය හැතිය.

         මෙවැනි පරිසරයක බිහිවූ මහා විහරස්ථානයක 1900 වසරේ දී අභිනව මහා නිකායක් බිහි වීම අරුමයට කරුණක් නොවේ.සුපේෂල ශික්ෂාකාමී යතිවරයන් වහන්සේලා වැඩ සිටි බැවින්ද සුවිශේෂී සංඝ පීතෘ වරයන් වහන්සේල නිතර ආව ගිය තැනක් වශයෙන්ද ප්‍රකටව තිබීම නිසා අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය බිහි වී ඇත. ඒ සඳහා සමකාලීන සඝ තෙරවරුන් වහන්සේලා තිස් අට නමක් සාභාගි වූ බව වාර්තා වල දැක්වෙයි.සද්ධම්මයුක්ති නිකායෙ බිහි කිරීමට මුල් වූ මාතර ධම්මාරාම මහානායක් හිමියන්ගෙන් උපසම්පදාව ලැබූ බොහෝ භික්ෂු පිරිසක් මෙයට අයත් විය. එයට මුල් වූයේ ගාල්ලේ දංගෙදර ජයවර්ධනාරාමාධිපතිව වැඩ විසූ  පූජ්‍ය දංගෙදර සුමනජෝති නායක ස්වාමීන් වහන්සේය. අරියවංශ නාමය හඳුන්වා දි ඇත්තේ ද උන්වහන්සේ විසිනි.සටිකා බුද්ධ ශික්ඛා නම් විනය ග්‍රන්ථයේ ශෝධක කර්තෘවරයා වූ උන්වහන්සේ ගේ උගත් නැණවත් ගති පැවතුම් නිසා නායකත්වය නිතැතින්ම හිමි විය. පූජ්‍ය වලේබොඩ පියරතන හිමියන් උන්වහන්සේ ගේ උපාධ්‍යවරයන් වහන්සේ විය.ඒ අවස්ථාවේ දී ගණචරිය සිරි වාචිස්සර යන ගෞරව නාමය සහිතව අමරපුර අරියවංශ සද්ධම්මයුක්ති නිකාය පාර්ශවයේ මහානායක ධූරයට  උන්වහන්සේ පත් කරගෙන ඇත.ඒ සමගම කළුතර පළාතේ  ප්‍රධානත්වය බෝඹුවල දස්සනසාර හිමියන්ට ද ගාලු පළාතේ ප්‍රධානත්වය කිහිඹියේ සුමංගල මහා ස්ථවිරයන්ට ද කොළඹ පළාත පූජ්‍ය කණුගල ගුණතිස්ස මහා ස්වාමීන් වහන්සේට ද මීගමු පළාත යාගොඩමුල්ලේ සාරානන්ද මහා ස්වාමීන් වහන්සේ ට පැවරීම සිදු ව තිබේ.



මේ වන විට මේ සද් කටයුත්ත සිදු වී වර්ෂ 125 ක් ගතව තිබේ. මේ නිකාය  පාර්ශවය යටතේ පළාත් සංඝ සභාවන් නමයක් බිහිව තිබේ.ඒ අනුව විහාරස්ථාන පන්සිය දහයකි පි. ස්වාමීන් වහන්සේලා දෙදහසකට අධික සංඛ්‍යාවක් පැවිදිව සිටී. විසිවන සියවස මුල්  දශකයේ 1903 දී පමණ  ඇරඹි  පළමු උපසම්පදාවෙන් පසු 1916 දී  බෝඹුවල සුබෝධිරාජාරාම සීමාමාලකයේ දී උපසම්පදා උත්සවය පැවැත්වූ අතර එදින මුද්‍රණය කර බෙදා හරින ලද විභජ්ජවාදිනො අරහතො සම්බුද්ධස්ස නම් වූ  පත්‍රිකාව මිගින් උපසම්පදා උත්සවයට සම්බන්ධවී සිටි  භික්ෂුන් වහන්සේලාගේ නාම ලේඛනය පාළියෙන් රචනා කර ප්‍රසිද්ධ කර ඇත. මේ වන විට උපසම්පදා උත්සව 44 ක් පවත්වා ඇති අතර මෙවර හතලිස් පස් වන උපසම්පදා පින්කම ද සිදු වෙයි.මේ නිකාය පාර්ශවය මගින් කරන සේවාවන් ද අති විශාලය සමාජ සේවා කර්තව්‍යයන් ද සුවිශාලය.ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය බැබළවීමට මෙවැනි ශීල ගුණ සම්පන්න භික්ෂූ පිරිසක් දායාද කළ අරියවංශ සද්ධම්ම යුක්තික නිකාය පෝෂණය කරමින් සංඝ සාමග්‍රිය ඇති කර ගැනීම වර්තමාන භික්ෂූ පරපුරේ කාර්යභාරයයි.

මතුගම සෙනෙවිරුවන්

Sunday, April 6, 2025

අලුත් අවුරුද්දට වින කරන දේදුනු සංකල්ප පිටු දකිමු

 

                              




                සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැළකෙන අලුත් අවුරුද්ද ඒළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක් වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.අවුර් යන නාමය සූර්යයාට යෙදෙයි. අවුරුදු කාලයට ලංකාවට සාපේක්ෂව සූර්යයා ලංකා මහී තලයට මුදුන් වෙයි.යකඩත් හබල පෙතිත් මේ කාලයට උණු වන්නේ යැයි ජන වහරේ පවතින්නේ නිකමට නොවේ.අවුර් නැතිනම් සූර්යා එක කෙළින් මුදුන් වන බැවින් දුරාතීතයේ පටන්ම ලක් වාසී ජනතාව මෙම කාලයට අවුරුදු කාලයයි දක්වති.මේ සිද්ධාන්තයට අමතරව ආසියාතික රටවල සංස්කෘතික සංකලනයක අවස්ථාවන් දක්නට හැක්කේ මේ අවුරුදු කාලය තුළයි.විශේෂයෙන්ම චීනය කොරියාව තායිලන්තය බුරුමය වැනි රටවල් සමග තිබූ දිගු කාලීන සංස්කෘතික  බැඳියාව නිසා අලුත් අවුරුදු කාලයේ දී අනුගමනය කරන සිරිත් විරිත් රාශියක්   දේශයට ආවේණික ලෙසට හැඩ ගැසී පවතී.ඒ අතර හින්දූන් අතර පැවති ජ්‍යෙතිෂ්‍ය සිද්ධාන්ත යොදා ගැනීමද දැක්විය හැකිය.මහනුවර යුගයේ අවසාන කාලයේ දී මෙරට පාලනය කළ වඩිග රජවරු අනුගමනය කළ චාරිත්‍ර වාරිත්‍රයන්ද මෙයට එකතු වීම නිසා අතැමෙක් මෙයට හින්දු හෝ දෙමළ අවුරුද්ද යයි කියා සිටිති. එය වැරදි ව්‍යවහාරයකි.දකුණු ඉන්දීය දෙමළ ජනතාවට වෙනමම සංවත්සර කාලයක් ලබා දෙන්නේ ඒ දේශයට සූර්යයා උදාවන කාලය වෙනස් බැවිනි.කෙසේ වෙතත් මෙරටට ආවේණිකව හැඩ ගැසුණු අලුත් අවුරුද්ද සැබවින්ම ජාතික දිනයකි.

        එහි ප්‍රධාතනම චාරිත්‍රය වන්නේ ඒකම මොහොතක වැඩ අවසන් කර පේ වී නොනගත කාලයක් ගත කර එකම මොහොතක වැඩ ඇල්ලීමට පුරුදුව සිටීමයි. වැඩ ඇල්ලීම යනු ආහාර අනුභවය හෝ ගනුදෙනුව නොවේ.කැත්තක් උදැල්ලක් රැගෙන වත්ත පිටියට ගොස් අලුත් අවුරුද්දේ සුභ මොහොතින් නිෂ්පාදන වර්ෂයකට ආරම්භය දීමයි. ලංකාව ගොවිතැනෙන් යැපෙන රටක් බැවින් සියලු දෙනම එකම මොහොතක ඒ ලෙසට වැඩ ඇල්ලීම මිගින් ඇතිවන මානසික ශක්තිය මෙන්ම කායික කැප වීම අවුරුද්දක් පුරා වෙහෙස මහන්සිව වැඩ කිරීමට දහිරිය සපයන බව අමුතුවෙන් කිව යුතු නැත.පිරිමි පාර්ශවය ඒ ලෙස වැඩ අල්ලන විට කාන්තා පාර්ශවය සුභ මොහොතින් ලිප ගිනි මොළවා ආහාර  පිස අනුභයට ලක ලෑස්ති කරයි.අනාදිමත් කාලයක සිට ගින්දර මිනිසාට නැතිවම බැරි විය. ගිනි දෙවියාට ගෞරව කිරීම පිණිස ලිපට වැඳීම සිරිතකි.නිෂ්පාදනයෙන් ලැබෙන බොහෝ දේ අරපිරිමැස්මෙන් වඩා ගුණ දායක ලෙසට සකස් කර දරුවන්ටත් පවුලේ සියලු දෙනටත් අනුභව කරන්නට දීම මගින් ඇති වන චිත්ත ඒකාග්‍රතාවය ජාතියකට කෙතරම් වැදගත්ද. දෙමළ ජනතාවට මුස්ලිම් ජනතාවට සහ කතෝලික ජනතාවට මේ චාරිත්‍රවාරිත්‍ර වැදගත් නොවන්නේ යැයි ඇතැමෙක් සළකති. එය වැරදි මතයකි.අලුත් අවුරුද්ද යනු ආගමික උත්සවයක් නොවේ. එය ජාතික දිනයකි. අවුරුද්දේ සතරවන මාසය යනුවෙන් සලකා දැනටමත් දෙමළ ජනතාව සිත්තර පුන්නාඩු යයි කියමින් මේ අවුරද්දට එක්වෙති.ඔවුන්ගේ හින්දු සංකල්ප වලින් වුවත් මෙම ජාතික දිනයට එක් වීම ඉතා වැදගත්ය. මුස්ලිම් ජනතාව දැන් චිරාත් කාලයක් තිස්සේ ලංකාවේ ජීවත් වෙති. ඔවුනටම වෙන් වූ ආගමික චාරිත්‍ර තිබුණද ජාතියක් වශයෙන් මෙම දිනයට එකතු වීමට ඔවුනට බාධාවක් නැත. මූල ධර්මවාදී අදහස් පසෙකලා නව නිෂ්පාදන වර්ෂයක් ආරම්භ කිරීමට ද ආහාර අනුභයට  එක්වීමට ද කල්පනා කළහොත් රටේ ඒකීය භාවයට  මහත් රුකුළකි. කතෝලික ජනතාව බහුතරයක් සිංහල සිරිතට ඒතරම් ගරු කරන්නේ නැත. බටහිරකරණයට වැඩි වශයෙන් ගොදුරු වූයේ ඔවුන්ය. නමුත් වර්තමානයේ ජාතියක් වශයෙන් අපට එක්වීමට නම් මේ ජාතික දිනය ඔවුන්ගේද ජාතික දිනය කර ගැනීම ඉතා වැදගත්ය

       චිරාත් කාලයක් තිස්සේ ශක්තිමත්ව ගොඩ නගා ගෙන තිබුණු මේ රටේ ජාතික දිනය පිළිබඳ හර පද්ධතිය බිඳ වැටීමට පක් වන්නේ යටත් විජිත පාලනයත් සමගය.ඔවුහු සැම විටම බ්‍රිතාන්‍ය සංස්කෘතික ලක්ෂණයන්ගෙන් මේ රටේ ජනතා හසුරු වීමට උත්සාහ ගත්හ. විශේෂයෙන්ම ආගමට හරවා ගැනීම ප්‍රධාන විය. විසිවන සියවස මුල භාගයේ පාණදුර වාසී බෞද්ධයන් ආණ්ඩුකාරවරයාට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එහි දැක්වෙන්නේ ක්‍රිස්තියානිකාර බුද්ධ ඇදහිලිවන්තයන්ට සිදුවන හිරිහැර සම්බන්ධවයි. ආගමින්  බෞද්ධයන් වුවද ආණ්ඩුවේ බලපෑම සහ තනතුරු ලබා ගැනීමේ දී සිදුවන ආගමට හැරවීම් නිසා ඔවුහු ක්‍රමයෙන් පෙර සඳහන් කළ එංගලන්ත සංස්කාතියේ කොටස් කරුවන් වූහ. අලුත් අවුරුද්ද වෙනුවට ඔවුන් ජනේරුව උසස් කොට සැළකූහ. 'බහුරු කිචල් බහුරු කිචල් ජනේරු නත්තල් නාකි කටේ අත ඇනිලා හරිම කරච්චල්' යනුවෙන් ජන කවියක් මේ සංස්කෘතියේ නිර්මාණය වන්නේ මෙකී දෙබිඩි ජීවන රටාවට පත් වුවන්ගේ ආකල්පයන් කියා පෑමටය. වර්තමානය වන විට ජනවාරි පළමුවන දා නොහොත් නව වසර ද සිංහලයන් බහුතරයක් සමරති.උත්සව පවත්වති. සැරසිලි කරති. නෑගම් යති. ඒ තත්වය උදා වූයේ බ්‍රිතාන්‍ය සංස්කෘතික ලක්ෂණයන් තම ජීවිතයට වැද්දා ගැනීමෙන්ය. ජනේරුව යනු සොබා දහමට අනුකූලව සකස් කර ගත් උත්සවයක් නොවේ. නමුත් අලුත් අවුරුද්ද පෙර කී පරිදි මේ රටේ නිෂ්පාදන වර්ෂයත් සමග ඒකාත්මිකව බැඳී පවතින උත්සවයකි.

        බුද්ධ ශාසන ඇමති මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා අයවැය කාරක සභා විවාදයේ දී දේදුනු ජාතියක් පිළිබඳ ගැඹුරු අදහසක් පළ කරන ලද්දේය.එයට පදනම් වූයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේ දී කියැවුණු ශ්‍රී ලාංකික දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ගෙන එන ලද යෝජනාවයි . ලංකාවේ සියලුම ජාතින්ට එකට එකතු විය හැකි දිනයක් අවශ්‍ය යැයි ඔහු එහිදී කියා සිටියේය.එහෙත් අලුත් අවුරුද්ද ජාතික දිනයක් වශයෙන් ශක්තිමත්ව පැවතියේ යැයි ඔහු නිකමටවත් ප්‍රකාශ නොකළේය.බුද්ද ශාසන ඇමතිවරයා තව දුරටත් පලිප්පු දමමින් මේ ජාතික දිනයට මිලියන 300 ක් මුදල් වෙන් කරන බවත් මෙතෙක් ඒ සඳහා ගත් උත්සාහයන් ආසාර්ථක වූයේ අවංක කැපවීමක් නොමැති වූ නිසා බවද සඳහන් කරයි. දේදුනු ජාතියක් පිළීබඳ මෑත කාලයේ දී ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරන ලද්දේ දකුණු අප්‍රිකාවේ ආර්ච්බිෂොප්ව සිටි ඩෙස්මන් ටුටූ නම් දේවගැතිවරයා විසිනි. බයිබලයේ උත්පත්ති කතාවේ එන දෙවියන්වහන්සේ  පිළිබඳ විශ්වාසයේ සංකේතයක් ලෙසට සළකන දේදුන්න සහ ඒ මගින් ජනිත වන සංකල්පය ගැන ඔහු( Rainbow people) නමින් ග්‍රන්ථයක්ද රචනා කරන ලද්දේය . දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට විරුද්ධව හඬ නැගූ මෙම අගරදගුරුවරයා  සමානත්මතාවය සහ දේව විශ්වාශය පිළිබඳව යටකී පල්ලියේ සංකල්පය ආදේශ කලේය.පසුව 1994 දී ජනාධිපතිවරයා වශයෙන් පත් වූ නෙල්සන් මැන්ඩෙලා මේ කතාව නැවත උලුප්පා දක්වමින් ඩෙස්මන් ටුටූ ගේ  දේදුනු ජාතිය අගය කරමින් වර්ණභේදය නිසා පීඩාවට පත් ජනතාවට යුක්තිය සඳහා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ස්ථාපිත කොට එහි ප්‍රධානියා බවට ඩෙස්මන් ටුටූ පත් කලේය.

   මේ රටේ සිටින ලිබරල් උගතුන්ට දේශිය සංකල්ප නැත. උග්‍රවර්ණ භේදයක් තිබුණු දකුණු අප්‍රිකාවේ මෙන් ලංකාවේ ජාතිවාදයක් හෝ ආගම් වාදයක් නැත. ඇමරිකන් චර්ච් මිෂනරින් විසින් යාපනයට විත් දෙමළ උගතුන් බිහි කර පල්ලියට පක්ෂපාති කොට ඔවුන් සිංහලයන්ට විරුද්ධව උසි ගන්වන ලද්දේය.තිස්වසරක කුරිරු යුද්ධය ඒ හේතුවෙන් හට ගන්නා ලද්දකි. මේ ඉතිහාසය ගැන නොදන්නා බුද්ධ ශාසන ඇමති ගේ බංකොලතේ බව පැහැදිලි වන්නේ තමන්ගේ විෂයයට වත් නොගැලපෙන පල්ලියේ සංකල්පයක් අනුකරණය කිරීම නිසාවෙනි.වෙසක් උත්සවයට මිලියන 12ක් වෙන් කරන රජය මේ සංකල්ප ප්‍රවර්ධනයට මිලියන 300 ක් වියදම් කිරීමම මරි මෝඩ ක්‍රියාදාමයකි. දිගු ඉතිහාසයක් තිබෙන අලුත් අවුරදුද වැනි සංස්කෘතික උත්සවයක් කෙරෙහි විශිවාසය නොතබන මෙවැනි උගතුන් සහ දේශපාලනඥයන් රටේ පාලකයන් බවට පත් වීම රටට මහත් අවාසනාවකි.

මතුගම සෙනෙවිරුවන්

Tuesday, March 4, 2025

රාජ්‍යත්වය සමග බැඳි දළදා දැකුම් මංගල්‍යය

 


                                         

              බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව බුද්ධ අදාහන මළුවේ දී ධාතු කොටස් දෙකක් වශයෙන් විසිර ගිය බව දැක්වේ.ඒ භින්න ධාතු සහ අභින්න ධාතු වශයෙනි.මේ ධාතු කොටස් ද්‍රෝණ නම් බමුණා විසින් රජ දරුවන් වෙත බෙදා දෙන ලදහ. අභින්න  ධාතුන් වහන්සේලා අතර   දළදා වහන්සේ සතර නමක් ගැන සඳහන් වෙයි. පරිනිබ්බනා සූත්‍රයේ මෙලෙස එම කරුණ දැක්වේ.

ඒකාහි දාඨාතිදිවෙහි පූජිතා -ඒකා පන ගාන්ධාර පුරෙ මහීයති

කලිංග රඤ්ඤො විජිතෙ පුනෙකං -ඒක පුන නාග රාජාමයන්ති

මෙම සතර දළදා වහන්සේ අතරින් නාග ලෝකයේ වැඩ සිටි දකුණු දළදා වහන්සේ දෙවනපෑ තිස් යුගයේ දී ලංකාවට වැඩම කොට සෝමනුවර චෛත්‍ය ස්ථානයේ නිදන් කරන ලද අතර  කාලිංගයේ වැඩ සිටි යටි වම් දළදා වහන්සේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයේ (ක්‍රි.ව.330-331) ලංකාවට වැඩම කරවීමට දායකත්වය සපයන ලද්දේ කාලිංගයේ උදෙනිපුර දන්තකුමරු සහ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරියයි.උදේනි රාජ පුත්‍ර දන්ත කුමරු දළදා වහන්සේට ගරු සත්කාර කිරීමේ අරමුණින් ගුහසීව රජවාසලට පැමිණී ඇත. ඒ බැව් මෙලෙස දළදා සිරිතේ දක්වා ඇත.

'එකල්හි උදේනි රට උදේනි රජුගේ පුත්‍ර වූ සුචරත්‍ර මිත්‍ර වූ දන්තෙන්ද්‍රිය ඇති සුදන්ත දන්ත නම් රාජ කුමාරයෙක් දළදා වහන්සේට පූජා කිරීමෙන් සඟමොක් සුව සාධා ගන්නා කැමතිව කළිඟුරටට අවුත් ගුහසීව රජහු දැක සිරිත්විරිත් ගුණෙන් ඒ රජහු පහදවා රෑ දෙවෙහි පූජා සත්කාරයෙහි නොපමාව විසීය. පසුව කල් යෑමෙන් කළිඟු රජු දන්තකුමාරයන්ගේ ගුණයන් විමසා තමන්ගේ හේමමාලාභරණ විභූෂිත වූ හේමමාලා නම් දියණියන් රුසිරු මහරු වූ සිරිසර ඉසුරු හා සමග ඕ හට පාවාදී ඉසුරු විඳිමින් සිටින සඳ.'...මෙම වාක්‍ය අනුව දන්ත කුමරු ගේ ශ්‍රද්ධාවත් පුරුෂයෙකු රජුගේ විශ්වාසය දිනාගෙන ඇති බව  පැහැදිලි වේ.

    කාලිංගයේ රජවරු දළදාවහන්සේ හිමිකරගැනීමට කරන ලද යුද්ධ හේතු කොට ගෙන දළදාව ලංකාවට වැඩම කරන ලද බව දක්වා ඇත. කාලිංගයේ සිටි මේ රජවරු කවුරුද යන්න ඉතිහාසයෙන් සාක්ෂි එළවිය හැකිය.මහා භාරත කතාවේ මෙන්ම බුදුන් වහන්සේගේ ඥාති පරම්පරාව ගැන විස්තර කරන වංශකතා වල චේතිය නම් රජෙක් ගැන සඳහන්ය. ආකාශචාරී මේඝවණ්න යනු  ඔහුගේ වංශනාමයයි..දඹදිව සිටි රජ දරුවන් රාජධානි පහකට වෙන් වී ගිය බව දක්වා තිබේ. ඉන් බ්‍රහ්මදත්ත පරම්පරාව පැවත එන්නේ කාලිංග දේශයේය.චේතිය රජුගේ පුතණුවන් වූයේ ආකාශචාරී  දධිවාහනයි. ඔහුගේ පුතණුවන් වූ ආකාශචාරී චක්‍රවර්තී කරකණ්ඩු රජු විවාහ වන්නේ  ලංකාවේ කුමරියක් වන රිතිවේගා කුමරිය සමගයි.මේ දෙදෙනාට වාසුපාල නම් පුතණුවෙක් විය.ඉන්පසු සිටි බ්‍රහ්මදත්ත රජු බුද්ධ කාලයේ සිටි රජකෙනෙකි. බ්‍රහ්මදත්ත රජුගෙන් පසුව කාසි නම් රජ කෙනෙක්ද ඉන්පසු ඛාරවේල නම් රජ කෙනෙක් ද අනතුරුව සුදන්ත නම් රජ කෙනෙක්ද විය.මේ පරපුරේ ගුහසීව රජු දවසදී  කිඩාර නම් මැද පෙරදිග ආක්‍රමණයක් ඇති විය.මේ යුද්ධයට යෑමට පෙර දන්ත ධාතුන් වහන්සේ දන්ත කුමරුට සහ හේමමාලා කුමරියට භාරදී තම මව් පස ඥාතීන් සමීපයට යන ලෙසට දැන්වීය.මෙම යුද්ධයේ දී ගුහසීව රජු මරණයට පත් වූ අතර හේමමාලාවෝ සහ දන්ත කුමරුවන් රහසේම ලංකාව බලා පිටත් විය.කාලිංග රජ වාසල සමග තිබූ ඥාති සම්බන්ධය නිසා කිත්සිරිමෙවන් රජුද හැඳින්වූයේ කීර්ති ශ්‍රී මේඝවර්ණාභය යනුවෙනි. මහසෙන් රජුගේ නැගණිය  දන්ත කුමරුගේ මව වන සාගරිකා බිසවයි.හව් පස ඥාතීන් වෙතට යා යුතු බව දැක්වූයේ මේ සම්බන්ධය උඩයි. තමන්ගේ ඥාති පරම්පරාවේ රජුන් හමුවේ දන්ත ධාතුන් වහන්සේ සුරක්ෂිත වන බව ගුහසීව රජු විශ්වාස කරන්නට ඇත.

         ලංකාවට සැපත් වූ  දළදා වහන්සේ අනුරාධපුරය දක්වා වැඩමවා මහමෙව්නා උයනේ ධම්මචක්ක පවත්නා ගෘහයේ වඩා හිඳුවා  පසුව මේඝගිරි විහාරයෙත් වැඩ සිටීමට සැලැස්වූ බව දැක්වේ. අනතුරුව විසිතුරු දළදා ගෙයක් කරවා එහි තැන්පත් කරන ලද බවද ඉතිහාසයේ දැක්වේ.කිත්සිරි මේඝ රජු දළදා වහන්සේ පිදීම සඳහා චාරිත්‍ර ලේඛනයක් සකස් කළ බව දාඨා වංශයේ 67 වන ගාථාවේ සඳහන් වේ.ඒසේම නව ලක්ෂයක් ධනය වියදම් කොට දිනපතා දළදා වහන්සේ පිදීම චාරිත්‍රයක් කර ගත් බව දක්වා තිබේ.දළදා වහන්සේ තමන්ගේ සිංහාසනය මත තබා ලංකා රාජ්‍යය දළදා වහන්සේට පූජා කරන ලද්දේ ප්‍රාතිහාර්යයත් ආශ්චර්යත් හේතු කොට ගෙනය.එතැන් සිට රජවරු දළදා වහන්සේ මූලික කර ගත් බෞද්ධ රාජ්‍යයක් පාලනය කිරීම සඳහා සපථ කළහ.දන්ත හේමමාලා පරපුරේ අයට දාඨා රක්ඛාධිකාරී තනතුර හිමි කර දී දළදාව භාරකොට ජාතිග්‍රාමයෙහි පදිංචි කරවන ලදී. මෙම කීරවැල්ල පරපුරේ මව් පස ඥාතිත්වය පවතින භික්ෂූන් වහන්සේලාට දළදා තේවාව පිණිස කාර්යය පැවරූහ.සෙනරත් රජුට කීරවැල්ල බිසවක් ලබා නොදුන් බැවින් ඔහු විසින් දළදා භාරකාරිත්වයට මේ මව් පස ඥාතිත්වය හිමි භික්ෂූන්වහන්සේලා පත් කළ බව පූජ්‍ය කිරිඇල්ලේ ඥාන විමල හිමියන් දක්වා ඇත.සකල කලා වල්ලභ රජුගේ කීරවැලි බිසවගේ දුවණිය ඌවේ මහ රාළට විවාහ කරදුන් අතර එම පරපුරට රඹුක්වැල්ලේ ගම ලැබුණි. කීරවැලි මිත්තණියගේ මව්පස ඥාතිත්වය හිමි රඹුක්වැල්ලේ පරපුරේ දරුවන් මහණ කර දළදා තේවාව බාර කර ඇත. ඉන්පසු දුනුමාලේ, කොටිකාපොළ කොබ්බෑකඩුව ආදී කීරවැල්ලේ මව් පස ඥාතීන් දළදා තේවාව භාරව සිටියහ.වාරියපොළ සුමංගල නා හිමියන්    එම මව් පස ඥාතිත්වයට හිමි කම් කියයි.

        බුදුන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා අතර ජීවමානව මහජනතාව වෙනුවෙන් පවතින ප්‍රධාන ධාතුකොටස  යටි වම් දළදා වහන්සේය.රාජ්‍යත්වයේ හිමිකාරිත්වය ලැබිමට නම් දළදා වහන්සේ එම රජුට අයත් විය යුතුය. රජු කීරවැල්ල පරපුරෙන් කුමරියක් අවාහ විවාහ කර ගත යුතුය. මේ සිරිත දඹදෙණි යුගයේ සිට වඩාත් දැඩිව අනුගමනය කර ඇත.දඹදෙණි යුගයේ ලියැවුණු දළදා සිරිතේ දැක්වෙන පරිදි රජු විසින් දළදාවහන්සේ වෙනුවෙන් නිතිපතා චාරිත්‍ර ඉටු කළ යුතුය.දාඨාරක්ඛාධිකාරී නොහොත් දිවන රාළ(දිව්‍යාමය සම්බන්ධය ඇති ) සමග පංච ඖෂධයෙන් ස්නානය කර දළදා මාළිගයට ප්‍රවිශ්ඨව තනිවම එම මාළිගය මුස්නෙන් පිරිසිඳු කිරීම් කොට අනතුරව දළදා වන්දනය කළ යුතු බව මෙසේ දැක්වේ.   ' 'සිරිලක රජ පැමිණී දැහැමින් යුතු මහ රජුන් විසින් දවසට විටත් දළදා ගෙට ගොස් වඳිනා කල නියමු පිරිවර පිට. රඳවා පිරිසිදු ආදර බුහුමන් ඇතිව ගෙට වැද මුහුන් ගෙන ගෙය ඇමද අත්දෙව රුවන් හා මල් ආදිය පුදා නව අරහාදී බුදුගුණ සිහි කර   පන්සිල් සමාදන් විය යුතුය.'දළදා වහන්සේට ලැබෙන එක කහවණුවක්වත් රජු වියදම් නොකළ යුතු බවද මේ දළදා සිරිතේ තව දුරටත් දක්වා තිබේ.


     මේ ආකාරයෙන් බලන කල්හි දශ රාජ ධර්මයෙන් රට පාලනය කරන රජෙකු ජීවමාන බුදුන් වහන්සේට සලකන ආකාරයෙන් දළදාවහන්සේට සත්කාර කොට දැක්විය යුතුබව පැහැදිලිය.සෙංකඩගල රාජධානිය තුළ රජ බවට පැමිණි කොනප්පු බණ්ඩාර කුමරු ට සිය රාජ්‍යත්වය තහවුරු කර ගැනීමට කුසුමාසන දේවිය විවාහ කර ගැනීමට සිදු වූයේ කීරවැල්ල පරපුර හා සමග ඇයට තිබූ ඥාති සම්බන්ධය නිසාවෙනි.ඉන්පසු ද්‍රවිඩ නායක්කර් යුගයේ දී මේ සම්ප්‍රදාය අභාවයට ගිය අතර සිංහල බෞද්ධ රාජ්‍යය පිළිබඳ සංකල්පයන් යටපත් විය. අවලොකිතේශ්වර නාථ සංකල්පය මුල් බැස ගන්නා ලද්දේ සත්වන සියවසේ දීය. ඉන්පසු රජු අභිෂේක කරලීමේ දී නාථ දෙවියන් ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.දළදා වහන්සේ මූලික කරගත් දළදා වහන්සේට වග කියන රජෙකු අභිෂේක කරන ලද්දේ නාථ දෙවියන් ඉදිරියේ දීය.අතීතයේ දී දන්ත ධාතුන් වහන්සේ රජුගේ හිස මත තබා ස්වර්ණාභිෂේකය කළ යුතු යැයි චාරිත්‍රයක් විය.එය කළ හැකි වූයේ දිවන රාළට පමණි. ඒ සිංහල බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට රජුට තිබෙන  වගකීම පිළිබඳ සපථ කරමින්ය.

     1815 උඩරට ගිවිසුම අත්සන් කරන ලද රදළ සමූහය ඒ වන විට නායක්කර් පෙළපතට විරුද්ධව පෙළ ගැසී සිටියහ. වාරියපොල සුමංගල හිමියන් ගේ උපදෙස් පරිදි ගිවිසුමට බුද්ධශාසනය හා දේවාගම රැක ගත් යුතු බවට ප්‍රතිපාදනයක් ඇති කළහ.නමුත් 1817 ඇති වූ විමුක්ති අරගලයේ දී සුමංගල හිමියන් ඉංග්‍රීසීන්ට විරුද්ධව වැඩ කිරීම හේතු කොට ගෙන උන්වහන්සේ කයිකාවල මුරපලේ දී අත් අඩංගුවට ගෙන නඩු අසා  යාපනේ  සිරගත කළ බව දැක්වේ.එතනින් පසු දළදා පෙරහැරක් හෝ දැකුම් මංගල්‍යයක් නොතිබුණු අතර රටේ ඇති වූ දුර්භික්ෂය හේතු කොට ගෙන වසර දහයකට පමණ පසු 1828 දී දළදා ප්‍රදර්ශනයක් එනම් මහජනතාවට දැක බලා ගනීමට සැලැස්වීමක් ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සිදු කරන ලද්දේය.පුරාණ සිරිත වූයේ දළදා දැකුම් මංගල්‍යයයි.රජු තම සිත පහදවා ජීවමාන බුදුන් වහන්සේට මෙන් දළදා වහන්සේට සත්කාර කර දශරාජ ධර්මයට පිවිසෙන අතර මහජනතාව සිය ශ්‍රද්ධාව භක්තිය වර්ධනය කර ගනිමින් රජු සමග ඒකාත්මික වෙයි.මේ දැකුම් මංගල්‍යය සිදු කිරීමේ අරුත එයයි.නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව සිරිත් ප්‍රකාරව දළදා වහන්සේට ගෞරව නොකිරීම නිසා සුළි කුණාටු සහිත මහා වර්ෂාවක් ඇද හැලී මහනුවර වැව උතුරා මහා විනාශයක් සිදු විය. එය දළදා වතුර නමින් ඉතිහාස ගත වී තිබේ.දන්ත ධාතුන් වහන්සේ සමග මේඝවර්ණ දෙවිඳුන්ගේ සම්බන්ධයක් ඇත. ඉසුරුමුනි විහාරය එකල මේඝ ගිරි විහාරය නමින් හදුන්වන ලදදේ ඒ නිසාය. නුවර යුගය අවසාන කාලයේ දන්ත ධාතුන් වහන්සේ සඟවා තැබූ පුසුල් පිටිය රාජ මහා විහාරයේ ද මේඝවර්ණ දෙවිඳුන්ගේ ප්‍රතිමාවක් ඇත.ඒ විශ්වාසය ගොඩ නැගී පවතින්නේ දළදා භාර පරපුරු සමග පෙර පටන් පැවති දිව්‍යමය සම්බන්ධය හේතු කොටගෙනය.

මතුගම සෙනෙවිරුවන්

 

 

Saturday, February 22, 2025

ගෙදර අය වැය නොදන්න පාර්ලිමේන්තු අය වැය

 

                                




                     වැටුප් පත ලැබුනහොත් එහි අඩංගු මුදල වියදම් කර ගැනීමට සැලසුමක් රාජ්‍ය සේවකයාට හෝ පෞද්ගලික අංශයේ සේවකයාට ඇත. මන්ද නිශ්චිත මුදලක් ඔහු හෝ ඇය අතට ලැබෙන බව දන්නා බැවිනි. නමුත් රටේ ඉන්නා සියල්ලෝම රාජ්‍ය සේවකයන් නොවෙති. කුලී වැඩ කරන්නන්ට  කාර්මිකයන්ට සහ පෙදරේරුවන් වැනි වෘතිකයන්ට ත් තමන්ගේ මහන්සිය මත වැටුපේ නිශ්චිත බවක් ඇත. එහෙත් මේ තත්වයෙන් බැහැර සාමන්‍ය ජනතාවට මුදලක් අතට එන්නේ ගොවිතැනෙන් හෝ සේවා ආර්ථිකයකට සම්බන්ධ වීමෙනි.නුමුත් මේ සියල්ලෝම ආණ්ඩුවට අය බදු ගෙවති.ඒ අයබදු එකතු කර ඒ ලැබෙන මුදල් සංචිතය අනුව ආණ්ඩුව අය වැයක් හදන්නේ රටේ සංවර්ධනය සඳහා වර්ෂයක් තුළ කළ යුතු වියදම් සැලසුමක් අනුවයි.නමුත් බදු අදායමෙන් බැහරව ද රජයේ බැංකු විසින් ණය ලබා දීමෙන් උපයන මුදලක් ද ඇත. ප්‍රාදේශීය සභාවල වරිපනම් වලින් ලැබෙන මුදලක් ද ඇත. පෞද්ගලික අංශයේ ව්‍යාපාරික කටයුතු මගින් එකතු වන බදු ආදායමට අමතරව ඒවුහු ද සංවර්ධනය සාජුව දායක වෙති.සංවර්ධනය සඳහා වන රජයේ යුතුකම සහ මහජන යුතුකම යනුවෙන් කොටස් දෙකක් පවතී. නමුත් මහජනතාව බලාපොරොත්තු වනුයේ රජයේ යුතුකම පමණකි.මහජනයා සම්බන්ධ කර නොගන්නා සංවර්ධන ක්‍රියාකාරකම් මගින් මුදල් නාස්තියක් මිස ඵලදායීතාවයක් ඇති වන්නේ නැත.

      ( බජට් ස්පීච්) යනු සුද්දන් ගේ ක්‍රමයට හැඩ ගැසුණු මුදල් ඇමතිවරු මහත් උජාරුවෙන් කරන පාර්ලිමේන්තු කාතාවකි.විශේෂ පෙට්ටියක හංගා ගෙන එන මේ කතා ප්‍රකාශනය එළියට දැමීම එකල කාගෙත් උනන්දුවක් ඇති කරන සිදු වීමක් විය. මන්ද බදු අඩු කරලීමහෝ වැඩි කිරීම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිළ අඩු කිරීම හෝ වැඩි කිරීම නිසා ජනතාවගේ ජීවන වියදම් දර්ශකය වෙනස් වන බැවිනි.පාන් පිටි, සීනි, පරිප්පු, කඩල ,ලුණු, කරවල, අල සහ මස් මාලු යනු එදිනෙදා අවශ්‍ය වන දේය.ඒවායේ මිළ වැඩි කිරීමට අත තැබීම ආණ්ඩුවක පැවැත්මට යහපත් නොවේ. ඒ නිසා දේශපාලනයේ දි මේ ක්‍රියාකාරකම් වලට අත දා අත පුච්චා ගන්නට පාලකයන්ට කැමැත්තක් නැත. වර්තමාන ආණ්ඩුව නොකියා කියන්නේ මේ තත්වයෙන් වෙනස් විය යුතු බවයි. එහෙත් වෙනස් වන්නට අවශ්‍ය මාර්ගය සොයා ගන්නට ඔවුනට හැකියාවක් නොමැති බව දැනටමත් පෙන්නුම් කරමින් පවතී. මංමුලා වීම දිගින් දිගටම සිදු වේ.IMF අනුදත් පරාමිතින් නිසා එය සිදු වනවා යන්න කාලින ක්‍රියාවලියකි. එය වෙනස් කරන්නට වුවමනා නම් එයට දර්ශනයක් තිබිය යුතුය. දිශානතියක් මෙන්ම විනිවිද යා හැකි විශ්ලේෂණයක් ද තිබිය යුතුය. ගතානුගතික භාණ්ඩාගාර ලේකම්ලාට පුලුවන් දේ මෙතෙක් ඔවුන් කර ඇත. ඒ කෙන්සියානු ආර්ථික ක්‍රියවලියේ අනුසාරයෙනි . ඉන් එපිට ලෝකයක් තිබෙන බව ඔවුහු නොදනිති. දේශපාලකයන්ද එයින් පිට පනින්නට උත්සාහ නොකරන්නේ පෙර කී ලෙස අත පුච්චා ගන්නට නොකැමති බැවිනි.හර්ෂ සිල්වා කියන පරිදි රනිල් වික්‍රමසිංහ ඉදිරියේ වාඩි වී සිටි මහින්ද සිරිවර්ධන ලේකම් තුමා තම රෝද පුටුව අනික් පැත්තට හරවා අනුර දිසානායක දෙසට හැරී රනිල් ගේ අයවැය ලේඛනයේ කරුණු එහා මෙහා කර ඉදිරිපත් කර ඇත. කාරණය ඇත්තයි. එහෙත් හර්ෂ සිල්වාට ද ඉන් පිට මාර්ගයක් පෙන්වා දෙන්නට හැකියාවක් නැත. ඔහු සිතන්නේ ද අනුමත කරන්නේ ද මහින්ද සිරිවර්ධන නන්දලාල් වීරසිංහ අනුදත් මාර්ගයේ වඩාත් ක්‍රියාශීලිව ගමන් කරන්නට පමණකි.

     පාර්ලිමේන්තු අයවැය මගින් ආදායම සොයන ආකාරය පැහැදිලි කර නැති බව විපක්ෂයේ චෝදනාවයි.IMF යෝජනා අනුව බදු වැඩි කර ආදායම ඉපැයිය යුතුය.ඉන් පිට මාර්ගයකට කල්පනා කර නැත. මෙරට ව්‍යාපාරිකයන් විසින් විදෙස් වල තැන්පත් කර ඇති අපනයන ආදායමෙන් සියයට හැටක් වත් ලංකාවට ගෙන්වා ගැනීමට යෝජනාවක් ආවේ නම් අපට සතුටු වන්නට පිළිවන. එකස්ප්‍රස්පර්ල් නැවේ සමුද්‍ර පරිසර විනාශය වෙනුවෙන් තක්සේරු කරන ලද බිලියන 6.4 ක වන්දි මුදල ලබා ගැනීම උදෙසා පසුගිය රජය ගෙන ගිය ඇල් මැරුණු ක්‍රියාමාර්ගය ප්‍රාණවත් කර ගැනීම පිණිස හෝ ලංකාවේ නඩු පවරා අය කර ගැනීමට කිසිම යෝජනාවක් නැත. ලංකාවේ ප්‍රධාන ඛනිජ සම්පත වන මිනිරන් ,ඉල්මනයිට් වැනි අගනා ද්‍රව්‍යයන් මේ වන විටත් විදෙස් සමාගම්වල ග්‍රහණයට හසුවී තිබේ. පසුගිය රජයේ අදූරදර්ශී වැඩ පිළිවෙල අනුව ඛනිජ ගොඩ ගෙන අමුද්‍රව්‍ය වශයෙන්ම අපනයනය කිරිමට ගෙනා නීති අහෝසි කල යුතුය.මෙරට ව්‍යාපරිකයන්ට අවස්ථාව ලබා දී ඛනිජ ගොඩ ගෙන අගය එකතු කළ කර්මාන්ත ඇති කරලීමට දිරි දිය යුතුය.එවැනි පියවරකට බරක් තබන්නට ආණ්ඩුව බියවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තරහ කරගන්නට බැරි බැවිනි. මේ තත්වය තුළ 2025 වසරේ අපනයන ඉලක්කය වන ඩොලර් බිලියන 19 දක්වා යෑමට අවස්ථාවක් නැත.නමුත් උපාය ඥාණය භාවිතා කර එය කළ හැකි වෙයි.

     ගෙරම අයවැය හදා ගන්නේ වැටුපෙන් සහ එදිනෙදා ලැබෙන කුලී ආදායමෙන් පමණක් බවට සිතන නිළධාරීන්ට මතක් කර දිය යුතු වන්නේ ග්‍රාමීය ආර්ථිකයට ඉන් එහාට මාර්ගයක් තිබෙන බවයි. ගෙවත්තේ වැවෙන, ආහාර කුඹුරෙන් ,හේනෙන් ,කොරටුවෙන් පොල් ගහෙන්, තැඹිලි ගහෙන් ලැබෙන ආහාර සංචිතය අත්කම් සහ සුළු වෙළෙදාම් වලින් ලැබෙන ආදායම මේ සියල්ල ශක්තිමත් ආර්ථිකයක පුසබිම සකසන බව හිතාමතාම අමතක කර ඇත. අප කුඩා කාලයේ දී ගැමියන් තම දරුවන් හට උගන්වනු ලැබූයේ කරුංකා සහ පුවක් විකිණීමෙනි. කිතුල් හතුරු සහ පැණි විකිණීමෙනි.තල, කුරහන් විකිණීමෙනි.මේවාට තිබුණ වටිනාකම නැතිව ගියේ වෙළඳ පළ ආර්ථිකයේ නැගීමත් සමගයි.දැනටත් යම් කිසි ප්‍රතිශතයකින් මේ ආර්ථිකය ප්‍රභවයන් ක්‍රියාත්මක වන නමුත් මහබැංකුවට ඒවායේ සංඛ්‍යා ලේඛන වැදගත් නැත. අතනින් මෙතනින් අහඹු සංඛ්‍යා ලේඛන එකතු කර දළ ජාතික නිෂ්පාදනය හැදීම ඒ නිළධාරීන් ගේ සිරිතයි.රාජ්‍ය අය වැය සමබර කර ගැනීමට විදෙස් වලින් ණය ලබා ගැනීම අනිවාර්ය බවට ඔවුහු මතයක් හදා ඇත.මේ අයවැයෙන් ද ඒ මතය තහවුරු කර ඇත. මහ බැංකුව ස්වාධීන කිරීමෙන් පසු තත්වය තවත් දරුණු වී ඇත. ආර්ථික පරිවර්තන පණත මගින් රටේ ස්වාධීන තීරණ ගැනීම දුර්වල කර ඇත. මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියට අනවශ්‍ය සීමා පණවා ඇත.කඩිමුඩියේ ඩිජිටල් කරණයට යෑමෙන් සාම්ප්‍රදායික මුදල් සංසරණයේ තිබෙන ශක්‍යතාවයන් තව දුරටත් අඩපණ වනු ඇත.පාර්ලිමෙන්තුවේ දී මේ අයවැය ගැන කියැවෙන පුරසාරම් සහ විවේචන සත පහකට වැඩක් නැත. ජනතාව චූන් වෙමින් නැවතත් විරෝධතා වලට යෑමෙන් අනවශ්‍ය අරගල රට පුරා නිර්මාණය වීම වැළැක්විය නොහැකිය.ගෝඨාභයට වූ දේ අනුරට නොවන්නට නම් පළිගැනීම් පුරසාරම් දෙඩීම් අවම කර පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහ මහජනතාවගේ සහයෝගය ගෙන නිෂ්පාදන සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කරගත යුතුය. ඉන් එපිට රටේ ඉදිරි ගමනක් නැත.

මතුගම සෙනෙවිරුවන්

Wednesday, February 19, 2025

ලංකාවේ උසම ගමේ සුන්දර සංචාරක දසුනේ ඇත්ත කතාව

 


                           

               සිරිලක උසම කඳු වැටිය ලෙසින් සැළකෙන පිදුරුතලාගල කන්ද ආසන්නයේ තවත් විශේෂ ස්තානයක් ඇත. ශාන්තිපුරය යනුවෙන් හඳුන්වන එය සැළකෙන්නේ ලංකාවේ උසම ගම්මානය ලෙසිනි.මහුදු මට්ටමේ සිට අඩි හත්දහසක් ඇත.මෙම ගම්මානය අසල සුවිශේෂි ස්ථානයක සංචාරක සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දායකත්වයෙන් ඊගල්ස් වීව් පොයින්ට් නමින්  දක්වන සංචාරක නැරඹුම් මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත විය.මේ ස්ථානයේ සිට නුවර එළිය හාත්පස බලන කල්හි පිදුරුතලාගල කන්ද , කිකිළියාමන කඳු ගැටය., ග්‍රෙගරි වැව ,කලුකැලේ ආදී දර්ශනීය තැන්  සුන්දරත්වයෙන් යුතුව  අංශක තුන්සිය හැටක කෝණයකින් නැරඹිය හැකිය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට පැමිණි අවස්ථාවේ දී මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන  යැමට ගුවන් හමුදාවට භාර දී ඇති අතර දැන් එය අවසන් කර පසුගියදා විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා විසින් විවෘත කර ඇත.මේ වත්මන් කතාවයි. නමුත් මෙයට අතීත කතාවක් ඇත.ඒ කතාව නම් එතරම් සුන්දර නොවේ.

             නුවර ඒළියේ හිටපු මන්ත්‍රීවරයෙකු සහ නගරාධිපතිවරයෙකු වශයෙන් නම් දැරූ විලියම් ප්‍රනාන්දු මහතා ගේ මග පෙන්වීම මත රජයේ අනුග්‍රහයෙන් ඉහතකී  ශාන්තිපුර ගම්මානය 1959  වසරේ බඹරකැලේ දී ඉඳි වන්නේ බ්‍රිතාන්‍ය වතුවැවිලි කරුවෙකු වූ මැන්ඩ්‍රා ,වන සංරක්ෂණ නිළධාරී කෝල් මේයර් සහ එවකට නුවර එළියේ දේශපාලන බල අධිකාරිය හොබවා සිටි දේශපාලනඥයන්ගේ  බලවත් විරෝධතා මධ්‍යයේ බව සිහිපත් කළ යුතුයි.ඒ සඳහා ඉඩම් වෙන් කර දීමට එවකට අගමැතිව සිටි බණ්ඩාරනායකගේ සහයෝගය නොමදව ලැබුණි. 1818  උඩරට විමුක්ති අරගලය නිහීන ලෙසට මර්දනය කොට සිංහල ජනතාවට අයත් ඉඩම් වතු වැවිල්ලට යටකර ජනතාව අනාථ බවට පත් කිරීම එදා  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අරමුණ විය. විලියම් ප්‍රනාන්දු මහතාගේ අදිටන වූයේ එලෙස අවතැන් ජනතාව වෙනුවෙන් නුවර එළියේ උසම තැන ගම්මානයක් ඉඳි කර දීමයි. එදා සුදු ආණ්ඩුකාරයාගේ නිල නිවසට ඉහළින්  මේ ගම්මානය ඉඳි කිරීම ඔහුගේ අරමුණ විය.ඒ ප්‍රයත්නය ජය ගැනීමට ඔහු කළ දුෂ්කර ක්‍රියාවන් නිසා සුදු අධිරාජ්‍යවාදීන් ගේ පුංචි එංගලන්තය නැවත සිංහල ජනතාව සතු විය.

       විලියම් ප්‍රනාන්දු මහාතා සිංහල ජනපද බිහි කිරීමෙන් සිය සේවාවන් අවසන් නොකරන ලදී. එයට හේතුව ජනපද වාසීන්ට අවශ්‍ය නිත්‍ය රැකියා සහ ගොවිතැනට අවශ්‍ය පරිසරය බිහි කළ යුතුව තිබූ බැවිනි.එක් පුද්ගලයෙකුට අක්කර කාල බැගින් වෙන් කරන ලද අතර එම ඉඩම් වල අර්තපල් කැරට් ලීක්ස් ගෝවා ආදී උඩරට එළවුළු වගා කරවීමට සලස්වන ලදී. නුවරඑළියේ මාගස්තොට ඉඳි කරන ලද බලවේග කම්හල ඒ යුගයේ හැටියට නුවර එළියට විශාල කර්මාන්තයක් විය.එහි සේවකයන් ගණන පන්සීය ඉක්ම විය.මේ බලවේග කම්හල එක්සත් ජාතික පක්ෂයේ අදූරදර්ශි ක්‍රියා නිසා පසුව වැසී ගිය අතර මෙම කම්හල නිසා  ජීවිතය ජයගත් ප්‍රදේශ වාසී තරුණ තරුණියන් අදත් එය සිහිපත් කරන්නේ මහත් උද්දාමයෙනි.  එයට අමතරව සංචාරකයන් අද්දවා ගැනීමට ශාන්තිපුරයට යාබදව ඉඳි කරන ලද කලාපුරයද දැක්විය හැකිය. නර්තන  හැකියාවන්ගෙන් සහ සංගීත හැකියාවන්ගෙන් සමන්විත කලාකරුවන්ට ඉඩම් ලබා දී පදිංචි කොට  සංචාරකයන්ට අවශ්‍ය සේවා සැපයීම ඔහුගේ අභිප්‍රාය විය. මේ කලාපුරය සිරිමා බණ්ඩාරනායක මැතිණිය ගේ අතින්  විවෘත විය.ඒ අවස්ථාවේ දී සිරිමා මැතිණිය පළ කළ අදහස් මෙලෙස විය.' කන්ද උඩරට ප්‍රදේශයේ සිංහල ජනතාවගේ අනාගතය අන්ධකාරවීමට තරම් හේතු වූයේ එම ප්‍රදේශයේ ඉඩකඩම් වැඩි හරියක් විදේශිකයන් අත්පත් කොට සිටි බැවිනි. එහෙත් එම භයානක උවදුරෙන් උඩරට ප්‍රදේශය ගලවා ගැනීමට නුවරඑළිය මහජන මන්ත්‍රී ටී.විලියම් ප්‍රනාන්දු මහතා විසින් ආරම්භ කරන්නට යෙදුනු සිංහල ගොවි ජනපද ව්‍යාපාරය සමත්වන බව අද ශාන්තිපුර උත්සවයට සාභාගි වූ මගේ එකම හැඟීමයි. මේ වෙනුවෙන් සෑම සිංහල දේශප්‍රේමියෙකුගේම සහය නොඅඩුව ලැබෙනු ඇතැයි මාගේ එකම බලාපොරොත්තුවයි'.

.      අනතුරුව විලියම් මහතාගේ අභිප්‍රාය වූ උඩරට ගැමියන් අතර සිටි පාරම්පරික කලා කරුවන්  සහ නුවර එළියට පැමිණෙන සංචරකයන් අතර මනා සබඳතාවයක් ගොඩ නගා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය දියුණු කිරීමයි. 'ඉහතින් ආරම්භ කරන්නට යෙදුණු කලාපුරයේ සංචාරකයන්ට ප්‍රයෝජනයට තැනීමට අදහස් කරන සංචාරක කලා නිකේතන ගොඩනැගිල්ලට 1975 අප්‍රියෙල් මස පහලොස්වන දින සුභ මොහොතින් ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් මුල් ගල තබන ලදී' යනුවෙන්  විලියම් ප්‍රනාන්දු මහතාගේම අත් අකුරින් ලියන ලද වැකියක  සඳහන් වෙයි.  .මේ අවස්ථාවට එවකට වරාය සහ ගුවන්සේවා ඇමතිව සිටි පී.බී..ජී. කලුගල්ල මහතා සාභාගි වූ අතර මෙම කලා නිකේතනය නොබෝ දිනකින්ම විවෘත කිරීම සහ කලාකරුවන් වෙත ඉඩම් ප්‍රදානය කිරීම බලාපොරොත්තුව විය.. එහෙත් පසුකාලීනව නුවර එලිය ප්‍රදේශයේ ඇතිවූ දේශපාලන විපර්යාසයන් මත විලියම් ප්‍රනාන්දු මහතා දුර දක්නා නුවණින් ක්‍රියාත්මක කළ බොහෝ ව්‍යාපෘති අතරමග නතර වූ අතර විවෘත ආර්ථික සැඩ පහරට අසුවී බවේග පෙහෙකම්හලද අඩපණ විය.කලාකරුවන්ට වෙන්කරන ලද කලාපුරයේ ඉඩම් දේශපලන හිතවතුන් අතර බෙදා ගන්නා ලද අතර සංචාරක නිකේතනයේ අරමුණු ඉටු නොවීය.



     හරියටම වසර පනහකට පසු 2025 වසරේ ජනවාරි මස දී සංචාරක කලා නිකේතනය විවෘත වන්නේ ඊගල්ස් වීව් පොයින්ට් යනුවෙනි.එදා විලියම් ප්‍රනාන්දු මහතා ඔහු කළ සෑම වැඩකටම මනරම් සිංහල වචන යොදන ලද්දේය. ගාමිණි පුර ,සේන පුර, සිරිසඟබෝපුර ,අභය පුර  ආදී වශයෙන් ගම්මන රැසක් නම් කරන ලද්දේය.කාලය විසින් විශාල පරිවර්තනයක් සිදු කර ඇත.ශාන්ති පුරයේ නව පරපුර විලියම් මහතා ගැන දන්නේ දැයි මම නොදනිමි. නමුත් මේ සංචාරක දසුන යලි පුනර්ජීවනයට පත් කළ ඇත්තන් මෙහි ආරම්භකයන් ගැන කෘතවේදී වුවා නම් කලාපුරයේ සහ ශාන්තිපුරයේ ඇත්ත කතාව ගැන සමස්ත ශ්‍රීලංකා වාසී ජනතාවටම දැනෙන පරිදි කියන්නට ඉඩ තිබුණි.මන්ද බ්‍රිතාන්‍යයන් විසින් සකස් කළ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ සිටින මහජන නියෝජතයෙකු ගේ පරිවර්තනයක් බලාපොරොත්තු නොවූ අවදියක විලියම් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ කෑම වට්ටොරුවට සිංහල කෑම ආදේශ කරන්නට ද බලවත් සටනක් කළ බව බොහෝ දෙනෙකුට අමතක වී ගොස් ඇති බැවිනි. එහෙව් විප්ලවයක් කළ පුද්ගලයෙකුගේ නිර්මාණාත්මක ක්‍රියාවලියකින් පුනරුදය ලබන විට මුලු  නුවර එළිය ජනතාවටම සතුටු වන්නට තිබුණු අවස්ථාව මග හැරී ගිය බව සංවේගයෙන් සිහිපත් කළ මනාය.

මතුගම සෙනෙවිරුවන්