පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Wednesday, August 27, 2025

විද්දෙ රනිල්ට වැදුණෙ විධායකයට

 


                                   

                   මහජන ඝෝෂා වලින් තමන් තැබූ පියවර  ආපස්සට නොගන්නා බව ජනාධිපතිතුමා භික්ෂු දිනයේ දී ප්‍රකාශ කර ඇත.නමුත් පියවර පැහැදිලි නැත. වංචනික දේශපාලකයන් අත්අඩංගුවට ගැනීම  සඳහා කටයුතු කිරීම  දැනටමත් කර ඇත. ඒ සඳහා පොලිසිය නීති අංශ මෙහෙයවීම සිදු කර ඇත.එහෙත් යළි වැරදි නොකිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කර නැත. රනිල් ගේ නඩුවෙන් ඒ පිළිබඳව පැහැදිලි වන්නට පටන් ගෙන ඇත.

        ජනපති ධූරය දරන කාලයේ නිල සංචාරය අතර පෞද්ගලික සංචාරයක්ද සිදු කර රජයට පාඩු සිදුකිරීම මේ චෝදනාවයි.අත් අඩංගුවට ගැනීම සහ නඩුව ඉදිරිපත් කිරීමට පොදු දේපළ පනත යොදා ගෙන ඇත.දහනව වන ව්‍යස්ථා සංශෝධනයෙන් පසු ජනපති මුක්තිය දුර්වල වී ඇති පසුබිමක පවතින නීතියේ තිබෙන ඕනෑම ප්‍රතිපාදනයකින් නඩු පැවරීමට හැකියාව ඇතැයි සිතනවා ඇත.එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනපති බලතල හා කාර්ය භාරයන් ගැන සළකා බලන කල්හි රටේ ආරක්ෂාව ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් සෑම ක්ෂේත්‍රයක් කෙරෙහිම ඔහුට තිබෙන වගකීම ඉතා ප්‍රබලය.එය අත් හළ නොහැකි බව කියා ඇත. ජාත්‍යන්තර වශයෙන් ජනපතිවාරයාගේ වගකීම හා හැසීරීම ද ඉතා වැදගත්ය. සාමාන්‍ය රට වැසියෙකු වශයෙන් ජනපතිවරයාට හැසිරිය නොහැකිය.ජනපති ජීවිතය තුළ පුද්ගලික සහ නිල යනුවෙන් වෙන් කළ නොහැකිය. විධායකය යනු එතරම් ප්‍රබල චරිත නිරූපණයකි.

         රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටි මුල් කාලයේ ඇමති වරයෙකු වශයෙන් කටයුතු කර ඇත. සුප්‍රසිද්ධ බටලන්ද චෝදනාව ඔහු වෙත එල්ල වන්නේ ඒ කාලයේ දීය.රාජ්‍යයට විරුද්ධව කැරළි ගැසීම අලුත්  දෙයක් නොවේ.අතීතයේ සිටම එය රාජ ද්‍රොහී ක්‍රියාවක් ලෙසට සැළකූහ.එහෙත් කැරළි මගින් රටේ පාලකයා වෙනස් කළ අවස්ථාවන් ද ඉතිහාසයේ නැතිවා නොවේ. ගිවිසුමක් මගින් රට බ්‍රිතාන්‍යන්ට භාර දුන් පසු ඇතිවූ අරගල දෙකම නිහීන ලෙසට මර්දනය කරන ලදී.ගම්බිම් පාලු කොට ජනතාව මරණයට පත් කර වැරදි කරුවන් මරා දමා ඉන්පසු පිටුවහල් කොට කළ විනාශය අති මහත්ය.බ්‍රිතාන්‍ය රජය ගැරැල්ල ගැන සිතුවේ රැජිනට ද්‍රෝහී වීමක් ලෙසටය.ඉංග්‍රීසි නීතිය විසින් හසුරුවන වර්තමාන ආණ්ඩු ද සිතන්නේ එලෙසය. 89 අරගලයේ දී ජවිපෙ ක්‍රියාධරයන් කළ නිහීන ක්‍රියාවන්ට විරුද්ධව ප්‍රා ඇතුලු විවිධ නිල නොලත් ඝාතක කණ්ඩායම් බිහි විය.බටලන්ද වධකාගාරය එහි තවත් ප්‍රතිඵලයකි.ඒ ක්‍රියා වල අපරාධකාරී ක්‍රියාවලියක් තිබේ.බටලන්ද කොමිසම් වාර්තා වලින් මේ දෙපිරිසගේම ක්‍රියා  හෙළි දරව් වේ. රනිල්වික්‍රමසිංහ එහි එක් චරිතයකි. වර්තමානයේ දී ඔහුට විරුද්ධව නඩු පවරනවා නම් අනිවාර්යයෙන්ම අනෙකුත් කණ්ඩායම් වල නිහීන ක්‍රියා ද  ප්‍රශ්ණ ගත වෙනවා ඇත. ඒ නිසා රනිල්ට විරුද්ධව නඩු පැවරීමේ දී බටලන්ද යොදා ගැනීම අනතුරුදායකයයි මේ අය සිතනවා විය හැකිය.

    රනිල් අගමැති වූයේ 2002 වර්ෂයේ දීය.ඉන්පසු කීප වතාවක්ම එම පදවිය හොබවමින් විවිධ තීන්දු තීරණ ගනිමින් කටයුතු කිරීම තුළ ඔහුගේ චරිතයේ සුවිශේෂතා හඳුනාගත හැකිය. රනිල් බලය වෙනුවෙන් විවිධ දිශානතීන් භාවිතා කරන ලද්දේය.වරක් ඔහු ඇමරිකානු තානාපතිවරයාට කේලාම් පැවසීය. යුද්ධය නිසා 40000 ක් ඝාතනය විය හැකි යැයි පුරෝකථනය කලේය. මේ ප්‍රකාශය කේබල් මගින් ඇමරිකාවට පිටත් කර ඇත. හමුදාවට යුධ අපරාධ චෝදනා නැගීමට එම ප්‍රකාශය අද යොදාගෙන ඇත. රනිල් ගේ අගමැති භූමිකාවේ වැදගත් ම සංධිස්ථානය වන යහපාලන ආණ්ඩු කාලය තුළ ඔහු බිලියන 12.5 ණය ගනිමින් රටේ ආර්ථිකය බරපතල ලෙසට දුර්වල කරන ලද්දේය. ඒ අතින් ඔහු ආරිථික ඝාතකයෙකි. ඉන්පසු මහ බැංකු බැඳුම්කර මගඩිය පිළීබඳ වගකීමෙන් බැඳුණි. අර්ජුන් මහේන්ද්‍රන්ට රටින් පිටව යන්නට ඔහු සෘජුව උදව් උපකාර කර ඇත.මිලේනියම් සිටි පාවා දීම, ව්‍යවස්ථා දායකයට නොදන්වා ප්‍රභාකරන් සමග ගිවිසුම් අත්සන් කිරීම ඔහුට තිබෙන තවත් චෝදනා කීපයකි.එසේම ඔහු ව්‍යවස්ථාව කීප විටක්ම උල්ලංඝණය කරමින් හිතුවක්කාර ලෙසට කටයුතු කර තිබේ.පුරාවිද්‍යා රක්ෂිත රිසි සේ ජනතාවට බෙදා දීමට කටයුතු කිරීමේ තැත වෙනුවෙන් මේ වන විට නඩුවක් ද පවතී.දිවුලපතාන ගම වසා ජනතාවට ඇතුල්වීමට ඉඩ නොදීම සම්බන්ධව තවත් නඩුවක් විභාග වෙමින් ඇත.ඒ අනුව බල කල්හි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරය හෙබවූ කාල වකවානුව තුළ කටයුතු කළ ආකාරය පිළිබඳ නීතිය ඉදිරියේ ප්‍රශ්ණ කිරීමට ඕනා තරම් අවස්ථාව තිබේ.එහෙත් ඒ කිසිවක් ප්‍රශ්ණ කරලීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කර නොමැත. ඒ වෙනුවට ඔවුන් කරළියට ගෙනවිත් තිබෙන්නේ ජනපතිධූරයේ වැඩ කළ කාලය තුළ කරන ලද කටයුතු වල අනීතික බවයි.පෙර සඳහන් කළ පරිදි ජනපතිවරයෙකුට නිල ජීවිතය සහ පෞද්ගලික ජීවිතය යනුවෙන් දෙකක් නොමැති අතර එම පදවියට පත් වූ දා සිටම ඔහු මේ රටේ පළමු පුරවැසියා බවට පත් වෙයි. ඒ නිසා ජනපති පදවිය සඳහා විවධ වරප්‍රසාද සංග්‍රහ කර තිබෙන අතර මුක්තිය ලබා දි තිබෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය රටට ඉතා වැදගත් වන බැවිනි.පුද්ගයෙකු ජනපති ධූරයෙන් පහකළ හැක්කේ අල්ලස පිළිබද චෝදනා, රාජ ද්‍රොහී විමේ වරද, දූෂණය, ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම ආදිය පිළිබඳ ශ්‍රේෂඨාධිකරණයේ මතය විමසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක චන්දයෙන් එය අනුමත කිරීමෙන් පමණකි.දහනව වන සංශේධනයෙන් මුක්තිය අහිමි වූ පසු මෙය වෙනස් වන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. එහෙත් ජනතා පරමාධිපත්‍ය මගින් පත්වන තනතුරක් බැවින් යටකී පියවරයන් අනුගමනය කිරීම වඩාත් සාධාරණය.නමුත් පසුගිය දිනක ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දුන් නඩු තීන්දුවකින් ප්‍රකාශ වන්නේ අරගලය විසුරුවාහැරීමට ජනපතිවරයා විසින් ගත් තීරණය මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙසිනි.වර්තමාන නඩුකරයේ  දී ද පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කිරීම කෙසේ ව්‍යවස්ථාවට එකඟද යන්න  පිළිබඳව නීතිඥවරුන් ප්‍රශ්ණ කර නැත.

        එහෙත් එකක් පැහැදිලිය. ආණ්ඩුවට අවශ්‍ය වන්නේ රනිල් නම් පුද්ගලයාට පහර දීමට වඩා විධායකයට පහර දීමට කරුණු රැස් කිරීම බවයි. මන්ද යම් නඩු තීන්දුවකින් මතයක් ප්‍රකාශ වූ කල්හි එය ඉන් පසු පූර්වාදර්ශයක් වීම ස්වභාවයකි. ඉදිරියේ දී කරන ව්‍යවස්ථා සංශෝධනයකදී විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට පිඹුරු පත් සකස්කිරීමේ මුල් පියවරක් වශයෙන් මෙම ක්‍රියාවලිය සිදුවන බව පැහැදිලිය. විපක්ෂයේ දේශපාලනඥයන් අතුරෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පමණක් මෙයට සමාන අදහසක් ප්‍රකාශ කර ඇත. අනෙක් අය රනිල් නම් පුද්ගලයා වටා රොද බැඳ හුදෙක් දේශපාලන ප්‍රශ්ණයක් බවට පත් කරගෙන රජය පෙරලන්න බලාගෙන සිටී.විධායකය හෑල්ලු කිරීම විධායකයේ බලතල ප්‍රශ්ණ කිරීම පිළීබඳ නීතිපති දෙපාර්තදෙපාර්තමෙන්තුවටද ප්‍රතිපත්තියක් නැත. රනිල් ජනපති ධූරයේ කටයුතු කරන විට ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ගත් පියවරයන් අභියෝයට ලක් කරන විට නීතිපති නිළධාරීන් ඔහුව ආරක්ෂා කිරීමට කරුණු ඉදිරිපත් කර ඇත. දැන් හාත්පසින් වෙනස්ය.

           මෙයින් පැහැදිලි වන්නේ පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට විදෙස් බලවේගයන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයන් කළ විට ඇති වන අර්බුදයයි.මුක්තිය ඉවත් කරන විට ඉන් පැණ නගින ගැටළු ගැන කිසිවක් නොසිතූහ. ඒ අවස්ථාවේ දී සංධෝනය සමගම ජනපතිවරයාගේ බලතල සහිත රීතිද නිර්වචනය කලේ නම් මෙවැනි අර්බුදයක් හට ගන්නේ නැත. වර්තමාන ජනපතිවරයාට ද එලෙස වුවමනාවක් ඇති බව නොපෙණේ. පුද්ගලයෙකුට දඬුවම් දීමට පෙළඹවීම ඇරෙන්නට ව්‍යවස්ථදායකය තුළින් කරන වෙනස් කම් වලට ප්‍රමුඛස්ථානය දීමක් සිදු නොවේ .මේ අවස්ථාවේ දී තානාපති කාර්යාල වලින් සහ දෙමළ ගෝලිය සංසද මගින් නඩත්තු කරන පිරිසක් පැලවත්තේ සිටින බැවින් විධායකය හෑල්ලුවට ලක් කර නඩු තීන්දු ලබා ගැනීමේ මෙහෙයුම් සිදු කරනවා යන්න පැහැදිලි වන්නට පටන් ගෙන ඇත. ඔවුන්ගේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයට මේ ආණ්ඩුව අසුවී අවසන්ය. අගමැතිට විරුද්ධව නඩු නොපවරා ජනපතිට විරුද්ධව නඩු පවරන ආකාරය හොඳින් සිදු වේ.එම නිසා මේ රටේ රාජ්‍යත්වය අර්බුදයට යවන විදෙස් න්‍යය පත්‍ර පරාජය කිරීම සියළු දෙනාගේම වගකීම බවට පත් වෙයි.එය ඉටු නොකළහොත් තවත් ඔළුගෙඩි මාරුවක් පමණක් සිදු වනු නියතය.

 මතුගම සෙනෙවිරුවන්

No comments:

Post a Comment