පිවිසිය

ආයුබෝවන්!
තෙරුවන් සරණයි,

වරින් වර පුවත් පත් වල සහ වාර ප්‍රකාශනයන් හි පළ වූ මාගේ ලිපි සමුච්චය මෙම බ්ලොග් අඩවියෙහි ඇතුලත්ය. ඉතිහාසය පුරාවිද්‍යාව සිංහල ගොවිතැන වාස්තු විද්‍යාව වැනි විෂයන් අරභයා සංග්‍රහ කරන ලද මෙම ලිපි එක් තැනක ගොනු කොට තැබීමෙන් පාඨකයා හට පහසුවක් සැලසීම මෙහි අරමුණය. එයට අමතරව විවිධ කේෂ්ත්‍රයන් හි කරුණු ඇතුලත් නව ලිපි ද මෙයට එක් කරමි.
වසර දෙදහස් පන්සීයයකට වඩා එහා දිව යන ඉතිහාසයක් ඇති ජාතියක් වශයෙන් අපගේ පාරම්පරික උරුමයන් හි සුරැකියාව මුල් කොට මෙම සියලු ලිපි සම්පාදනය වේ. මෙහි අඩංගු කරුණු සහ පාරම්පරික දැනුම උපුටා ගැනීමට අවසර ඇත. එහෙත් එය ජාතියේ උන්නතිය වෙනුවෙන් පරිහරණය කරන්නේ නම් මාගේ ව්‍යායාමය සඵල වූවා වෙයි.
ඉතිහාසයේ ජාතිය හමුවේ පැවති අභියෝග රැසකි. ඒවා සියල්ලටම අප සාර්ථකව මුහුණ දුන්නෙමු. අද දින ද එය එසේ විය යුතුය. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හරය මැනවින් වටහා ගෙන නැවතත් ඒ අභිමානවත් මහා සම්ප්‍රදාය තහවුරු කරලීමට සැවොම ‍එක්වෙමු.

Monday, December 22, 2025

විශ්‍රාම වැටුප් ,පොලිස් බෑන්ඩ් උපහාර ලැබූ නායක්කර් පරපුර

 

                         


              ලංකා රාජාවලියේ අවසන් රජු 1815 දී ඉංග්‍රීසි හමුදාව විසින් අත්අඩංගුවට පත් කරගෙන පසුව වෙල්ලෝරයට පිටුවහල් කර තිබේ.අනතුරුව එම නායක්කර් පරපුරෙන් පැවතෙන එකසිය පනස් හතර දෙනෙකු නඩත්තු කිරීමට විශ්‍රාම වැටුප් ද ගෙවා තිබෙන බව පැහැදිලිය.1818 දී ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඌව වෙල්ලස්සෙන් ඇරඹි විමුක්ති අරගලයෙන් පසු අත් අඩංගුවට පත් පිළිමතලව්වේ  ඇතුළු විසිහතර දෙනෙකු මුරිසියට පිටුවහල් කර තිබෙන අතර ඔවුන් ගෙන් ඇතැමෙක් 1832  ක වන විට ආපසු ලංකාවට පැමිණියහ. එහෙත් මේ රදළවරු වෙනුවෙන් ඉංග්‍රීසි ආණ්ඩුව විශ්‍රාම වැටුපක් අනුමත කලේ නැත. ඉතිහාසයේ සැඟව ගිය මෙම පුවත අනුව නායක්කර් පරිඡේදය අවසන් නොකර නඩත්තු කිරිමට ඉංග්‍රීසි ආණ්ඩුවට හේතු තිබුණා විය හැකිය.

       සිංහල රාජාවලියේ අවසාන  රජු ලෙසින් සැළකෙන වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහයන් හට රජකුල දරුවකු නොසිටීම නිසා රජුගේ නායක්කර් මෙහෙසියගේ සහෝදර විජය බල මහා රාජයන් සිංහාසනයට තෝරා ගැනීම පිළිබඳ කතාව මෙරට ඉතිහාසයේ ඛේදවාචකයක් වෙයි.මෙම අර්බුදය හට ගැනෙනුයේ පළමුවන විමලධර්මසූරිය රජුගෙන් පසු බලයෙන්ම සිහසුනට පත් රදළයෙකු වූ සෙනරත් කුමරු නිසාය.විමලධර්මසූරිය රජුගේ බිසව වූ කුසුමාසන දේවිය කීරවැල්ල පරපුරට ඥාතිත්වය සහිත ලේනව කුමරියකි.සෙනරත්ගේ රාජ්‍ය පදවිය තහවුරු වන්නට නම් ඇය අග බිසව විය යුතුය.කුසුමාසන දේවිය සමග විවාහ වීමේ අභිප්‍රායෙන් පැමිණි ඌවේ වීදිය බණ්ඩාරයන් මරා දැමූ සෙනරත් කුසුමාසන කුමරියගේ ඇවැස්ස මස්සිනා වූ දෙනවක මායාදුන්නේ රටින් පළවා හැරියේය.මේ නිසා දුබල වූ  කුමරිය ලබා  ගැනීමට සෙනරත්ට හැති විය.එහෙත් රාජ්‍යත්වය තවදුරටත් තහවුරු කර ගැනීමට නම් එනම් දළදා වහන්සේ සමග තිබෙන රාජ්‍ය සම්බන්ධය තහවුරු කර ගැනීමට නම් කිරවැල්ල කුමරියක් ලබා ගත යුතුව තිබුණි. සෙනරත් ගේ නොපණත්කම් සහ රදළයෙකු වීම නිසා හිරිපිටියේ දිවන රාළ එයට කැමති නොවීය.මින් කිපුණු සෙනරත් දළදා භාරකාරිත්වය කීරවැල්ල පරපුරෙන් ඉවත් කර ඒ පරපුරට ඥාති සබඳකම් තිබෙන අස්ගිරිවිහාර වාසී ස්වාමීන් වහන්සේලා වෙත පැවරීය.මේ සම්බන්ධ පුවත පූජ්‍ය කිරිඇල්ලේ ඥාන විමල හිමියන්ගේ සපරගමුවේ පැරණි ලියැවිලි ග්‍රන්ථයේ සඳහන් වෙයි.

          අග බිසව තනතුරට ගැලපෙන කීරවැල්ල සහ ලේනව පවුල් වල රාජකීය කුමරියන් නොමැතිවීම නිසා දෙවෙනි රාජසිංහයන් සමයේ ද ඉන්පසු වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ සමයේද මදුරාවෙන් බිසෝවරුන් ගෙන ඒමට කටයුතු පිළීයෙල කෙරිණ. හුලංගමුවේ මුදලි ඇතුළු රාජ දූතයන් එහි යන කල්හි එහි සිටි විජය රංග චෙක්කනාථ රජු  උපහාසයෙන් විමසා සිට ඇත්තේ  ඥාති සම්බන්ධකම් පැවැත්වීමට ඔබලාගේ රජු අපගේ කුලයේ අයෙක් ද යන්නයි . අනතුරුව රජුට නෑකම් කියන දුගී නායක්කර් පවුලක එනම් පිට්ටි නායක් පරපුරේ තරුණියක් සම්බන්ධ කරගෙන රජු වෙත යැවීමට දූතයන්ට සිදු විය.මේ තත්වය මත රජු රැවටීමට පත් වූ අතර නායක්කර් ඥාතීන් විශාල ප්‍රමාණයක් රජවාසල අරක්ගත්හ. අවසානයේ රදළ කුමරියකට දාව ඉපැදුණු උනම්බුවේ බණ්ඩාරයන්ට රජකම හිමි නොවුණු අතර මදුරාවෙන් පැමිණි නායක්කර් කුමරියගේ සහෝදරයාට( මරුමක්කථායම් නීතිය අනුව ) රජකම හිමි විය.මේ පරිවර්තනය තුළ සිංහල රාජවාලියේ පමණක් නොව සිංහල රාජධානියේ ද අවසානය සිදුවන්නට තරුණු පෙළ ගැසුණි .ලක්දිව අවසාන රජු වශයෙන් සැළකෙන කන්නසාමි නොහොත් ශ්‍රී වික්‍රම රාජසිංහ ජීවග්‍රහයෙන් අල්වා ගත් ඉංග්‍රීසි හමුදාව රජු ඇතුළු ඒ යුගයේ වරින්වර ලංකාවට පැමිණි නායක්කර සනුහරයම රටින් පිටුවහල් කරලීය. එයට හේතු වූයේ ඉංග්‍රීසින් සමග වූ ගිවිසුම ප්‍රකාරව එය කළ යුතු වූ බැවිනි.නමුත් යම් කිසි පිරිසක් ද මෙහි ඉතිරි වී සිටියහ.

     ඉංග්‍රීසි ආණ්ඩුවේ  සිරකරුවෙකු ලෙසට මාස දහයක පමණ කාලයක් කොළඹ කොටුවේ සිර අඩස්සියේ සිටිමට   රජුට සිදුවිය. රාජසිංහ   රජුගේ කුලය වන විෂ්ණු නම් කුලයේ ජනයා මදුරාවේ සිටි බැවින්   එහි යැවීමට තීරණය  කරගෙන තිබුණද පසුව එම තීරණය වෙනස් විය.  අවසානයේදී රජුව වෙල්ලෝරයට යැවීමට තීරණය විය. බොම්බායේ වරායේ තිබුණු කොන්වෝලිස්  නම් වූ නැව ඒ සඳහා යොදා ගැනීමට තීරණය කෙරුණි.1815 දෙසැම්බර් මස 27 වන දින  කොන්වෝලිස් නෞකාව බොම්බායේ සිට ලංකාව වෙත නාවික ගමන ඇරඹීය.1816 ජනවාරි අග වන විට නෞකාව කොළඹ වරාය වෙත සේන්දු  විය.රාජසිංහ රජු සහ බිසෝවරුන් කොළඹ කොටුවේ ඔවුන් සිටි නිවසට සමුදී  1816 ජනවාරි 24 වන දින කොන්වෝලිස් නෞකාව වෙතට ගෙන ගිය අතර  ඒ සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට ආණ්ඩුකාරවරයාගේ නිල අශ්ව රථයත් බිසෝවරුන්ට දෝලා කිහිපයකුත් බ්‍රිතාන්‍ය රජය සපයා ඇත. 1816 ජනවාරි 24 වන දින වෙල්ලෝරයට ළඟ වූ රජු ඇතුළු පිරිස 1832  දක්වා එහි ගත කර ඇත. රජු පිටුවහල් කළද  බිසවගේ ඥාතීන් ලංකාවේ ඉතිරි ව සිටියහ.

         වේලෝරයට පිටුවහල් කරන ලද ශ්‍රී වික්‍රම රාජසිංහ ඇතුළු නායක්කර් සනුහරය අභාවයට පත් වූ පසු ඔවුන්ගෙන් පැවතෙන්නන් පිළිබඳ ප්‍රශ්ණයට ද ඉංග්‍රීසි ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු විය.එක් පැත්තකින් ඒ නායක් පෙළපත ඉංග්‍රීසීන්ට වැදගත් විය. මන්ද සිංහල රාජවලියේ කුමාරයෙකු නැවත මතුවී රාජ උරුමය සඳහා ඉදිරිපත්ව සංවිධානය වනු  ඇතැයි යන බියක් ඔවුනට තිබුණි. 1871 දී සර් ජෝන් ඩග්ලස් විසින් මොවුන් පිළීබඳව වාර්තාවක් සකස් කර පළ කර ඇත.ඒ අනුව   ඒ පිරිසට විශ්‍රාම දීමනාවක් ගෙවීමට කළ තීරණය අනුව වර්ෂ 1820 දක්වා එය සිදු කර තිබේ. ඉන්පසු 1929 වසරේ දී තේරීම් කාරක සභාවක් පත් කර විශ්‍රාම දීමනාව යාවත්කාලීන කිරීමට  තීරණය කර තිබේ.මේ තත්වය විසිවන දියවසේ මුල් දශක කීපය දක්වාම සිදුව තිබේ. අනතුරුව සාකච්ඡා වාර අටකින් පසු  1929 මාර්තු 15 දින වාර්තාව නිකුත් කර තිබේ.එවකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කටයුතු කළ ඩී.පී. බ්‍රයන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ.ඩබ්. පොරේරා සී.ඩබ්.ඩබ්. කන්නන්ගර  ඊ.ආර්. .තම්බි මුත්තු  පී.බී. රඹුක්වැල්ල ඩී.බි. ජයතිලක සහ කේ නටේසන් අයියිර් යන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත තේරීම් කාරක සභාවක් පත් කර මෙම විශ්‍රාම දීමනා ගැන නැවත සමාලෝචනයක් සිදු කර තිබේ. ඒ අනුව.

විවාහ දීමනාව වශයෙන් රුපියල් දහසක් ද  උත්සව දීමනාවක් ද මරණයක් සිදු වූ පසු සොහොන් කිරීමේ දීමනාවක් වශයෙන් රුපියල් පන්සියක් ද ගෙවීමට තීරණය කර ඇත. කිසි ලෙසකින් වත් එම සීමාව ඉක්මවිය නොහැකි බවට ද නිර්දේශ විය. එසේම මරණයකදී පොලිස් බෑන්ඩ් කන්ඩායමක් සාභාගි කරවීමේ පහසුකම්  නවතා තිබේ.දරුවන්ට සහ මුණුපුරන්ට අධ්‍යාපන දීමනාවක් ගෙවිය හැකි බව එහි දී සම්මතයක් ඇතිව තිබේ.

මේ පිළීබඳව සම්පූර්ණ වාර්තාවක් ව්‍යවස්ථාදායක මණ්ඩලයේ 1929 සැසි වාර්තාවේ දක්වා තිබේ. මෙම වාර්තාව සකසන කාල වකවානුව වන විට 1920 දක්වා නායක්කර් පවුල් වල සමාජිකයන් විශ්‍රාමිකයන් ලෙසට සළකා එම්. ආර්.කේ. පී. වෙන්කටසාමි රාජා ට රුපියල් 164 ශත අටක් ද රාම ක්‍රිෂ්ණ රාජාට  රු1470 ක් ද  සුබ්‍රමනි රාජාට රු. 735 ක් ද කීර්ති චම්පල රාජාට රු. 928 ශත 10 ක් ද  ටි වර්ධරාජාට රු.1330 ක් ද  සන්තානා රාජාට රු. 420 ක් ද  වෙන්කටච්චි අම්මාල්ට  රු.1575 ක් ද ලක්ෂ්මී දේවී අම්මාල් ට රු. 525 ක් ද දොරේසාමි  රාජාට රු. 1470 ක් ද  මුත්තුක්‍රිෂ්ණ අම්මාල්ට  රු.1050 ක් ද  වෙන්කට නරසිංහම්ල රාජාට රු.1190 ක් ද සී.කේ.නරසිංම්ල රාජාට රු. 420 ක් ද  බන්ගරු දොරෙයිට රු.420 ක් ද  රාමචන්ද්‍ර රාජාට රු. 420 ක් ද  කන්නසාමි රාජාට රු. 420 ක් ද  රංගසාමි නයිදුට රු. 420 ක් ද ගෙවා තිබේ.1948 වසරේ රට නිදහස් කොට ස්වදේශිකයන්ට භාර දෙන කල්හි  පෙර සිටි රාජ උරුමය සහිත සිංහල කුමාරවරුන් පිළිබඳව ආණ්ඩුව විමසිල්ලක් දක්වා ඇති අතර ඔවුන් සැඟවී ඇති බව සැක හැර දැනගෙන ඉංග්‍රීසීන්ට හීලෑවූ ඔවුන් අනුව ගමන් කළ හැකි ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ කටයුතු කරන පිරිසකට රට භාර දි තිබේ.මේ වන විට ශ්‍රී වික්‍රම රජුගේ බිසවගේ ඥාතීන් පිරිසක් මහනුවර දෙයියන්නේ වෙල ජීවත් වන අතර මුරිසියට යැවූවන්  ගෙන් පැවත එන්නන් එහි ජීවත් වෙයි.

මතුගම සෙනෙවිරුවන්

               

.

                                     

                              

      

 

No comments:

Post a Comment